30 November 2010

මටමයි වෙන්නේ...

ඔන්න ඉතිං සෑහෙන වෙලාවකට පස්සේ ආයෙමත් මාරභවනට ගොඩ වෙන්න උනේ...

දවල් ගම්පහ ගියා..මගේ ගිය මාසේ ජංජාල බිල ගෙවන්න..ඊට පස්සේ තව ගන්න තිබුනු අඩුම කුඩුම ටිකකුත් අරගෙන කාරිය..යක්කල හරහා සුපුරුදු විදියටම ගෙදර ආවා...
ඊට පස්සේ ජංජාලෙට ඇවිත් ටික වෙලාවක් ඉන්නකොටම ගියා නේද විදුලිය.හපෝයි..
මක් කොරන්නද..කොහොමත් ඊයේ මුළු රෑම ඇහැරිලා හින්දා..නිදිමතත් ගානට..ඒ ගමන නිදා ගත්තා..
බඩුම තමයි..නැගිටිද්දී රෑ හතයි..ඒත් ලයිට් නැහැ..ඒකත් ඉවසන්න පුළුවන්..ඒ උනාට පළාතෙන්ම ලයිට් නැත්තේ මට විතරයි..යක්ෂයා ආරූඩ වෙනවනේ අප්පා...පස්සේ ගෙදර අයිතිකාර අයියාට දැනුම් දීලා මණ්ඩලෙන් අවිත් වැඩෙ ගොඩදාලා දීලා ගියා..අපරාදේ කියන්න බැහැ..දැනුම් දීලා විනාඩි හතළිස් පහක් යනකොට වැස්සෙම ඇවිත් වැඩෙ කොරලා දීලා ගියා..හොඳ මිනිස්සු ටිකක්...වේයන්ගොඩ මණ්ඩලේ තමයි.

දැන් පුරස්නේ තියෙන්නේ මගේ මාසික ජංජාල භාවිතය උපරිම තත්වයට ඇවිල්ලා..ටිකක් විතර හෙමින් තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ...
මොනවා කොරන්නද..පස් වෙනිදා වෙනකල් හිමීට අදින්න වෙනවා..නැත්තං ඉතිං තව සුපියල් හාරසීයකට විතර තට්ටු කොරගෙන ස්පීඩ් එක හදා ගත්තැකි..
ඒත් ඉතින් මෙ මාසේ ආදායමට වඩා වියදම ඉහළ ගියා නෙව...
ඒ හින්දා අත්‍යවශ්‍ය වියදං හැරෙන්නට අනිකුත් වියදං කපා හරින්නට මංතුමා තීරණය කොරලයි ඉන්නේ..මං ගිය මාසෙත් ඔහොම තීරණය කොරලා ඉද්දී..දැම්මෙ නැද්ද පස්වෙනිදට ඔන්න මෙන්න කියලා රොයිලි මලයා හිංගල වචන සැට් එකත් එක්ක බයිස් කෝප් එකක්...
ආයේ ඉතිං ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවලිය යටපත් වෙලා මගේ සිනමාලෝලීත්වය ඉස්මතු උනා නෙව...ඒ ගමන ඉතිං වැඩිපුර හාරසීයයක් දීලා තව ජීබී එකක් ගත්තා...

මෙ මාසේනං එහෙම නොකර ඉන්න ඔන...
මොකද ගිය මාසේ මීවිත සඳහා සුපියල් දෙදහක් විතර තමයි ගිහින් තිබුනේ..මෙ මාසේ ඒකත් තුන්දහ පන්නගෙන ගිහින් තියෙනවා..ඒවා ඉතින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව යටතේ හින්දා කපා හරින්න බැහැ නෙව...
ඒ මදිවට මෙ මාසේවෙනදා වගේ කේන්දර හරහා ලැබුනු ආදායමත් පහළ බැහැලා තියෙන්නේ...
වැඩ පොළේ වැඩ වැඩි වීම හින්දා ගෙදර ඇවිත් ඒ සඳහා මිඩංගු කළ කාලය අඩුවීමත් බලපු කේන්දර කිහිපයක්ම තාම අයිතිකාරයින් විසින් රැගෙන නොයාමත් තමයි හේතුව...
නැත්තං ඉතිං ආර්ථික සමතුලිතතාවය පවත්තා ගන්ට ඇහැකි..කොහොමත් මම කේන්දර වළින් ලැඛෙන මුදල් මීවිත ගිණුමට බැර කරලා තියෙන නිසා..මීවිත සඳහා වූ අතුරු ගිණුම හැමදාම බැලන්ස්...

ආ ඒ අස්සේ අපේ කිහිප දෙනෙක්ම අහලා තියෙනවා නෙව මං වැඩ කොරන තැන මොනවැයි හදන්නේ කියලා...
අප්පා එතන සෑහෙන ජාති හදනවා...
මූලික වශයෙන්ම එතැන ආයතන දෙකක් තියෙනවා..
ඒ එක් ආයතනයක මුළු ලංකාවටම අද නැතිවම බැරි දෙයක් නිෂ්පාදනය කරනවා...
ඒ දේ සැපයීම සඳහා අද ලංකාවෙ ඉන්න සුපිරිම සැපයුම් කරු අපේ ආයතනය තමයි...
යුද්ධෙ නැවතුනත් හරි දැන් පුදුම ඉල්ලුම වැඩිවීමක් සිද්ධ වෙලා තියෙන්නේ..පොයටත් වැඩ..ඒ තරමට වැඩෙ නැගලා යනවා...

අනිත් ආයතනය ඇසුරුම් කර්මාන්තයට අයත් බොහෝ දෑ නිශ්පාදනය කරනවා...
ඒ ආයතනයේ කර්මාන්තශාලා පහක වෙනස්ම ආකාරයක නිෂ්පාදන කිහිපයක් තියෙනවා...
ඊට අමතරව අර කළින් කිවුව ආයතනයටම අනුබද්ධිත තවත් ආයතනයක් මගින් දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා..ඒකේ නැති දෙයක් නැහැ.
අපේ ආයතනයේ වෙළඳ නාමය යටතේ සුළු පරිමාණ නිෂ්පාදකයන් විසින් සපයනු ලබන විවිධ නිෂ්පාදන රාශියක් ලංකාව පුරා ඇති ඒජන්තවරු හරහා ඛෙදා හැරෙනවා...

ඒ ගැන විස්තර ඔය මදැයි...

හ්ම් දැන් හුගක් රෑ වෙලා බඩගිනියි කාලා ඉන්න ඔන...
බණ කතාවෙ ඊ ළග කොටස දාන්නත් ඔන..
ඔන්න මං නැවතුනා.

ඒ වගේ දිනක් නෑ එන්නේ...

ඔන්න අදත් මේ ගෙදරට කඩං පාත් වෙච්ච ගමං..
පොඩි වෙනසකට තියෙන්නේ වෙනදට මම මූලික වැඩ කටයුතු ඒ කියන්නේ මේ නාලා කාලා ඉන්න වැඩ වලට පස්සේ මුළින්ම කරන්නේ ජාලගත වෙලා කළින් දවසේ මට මග හැරුන ලිපි එහෙම කියවලා බලලා..මගේ ලිපිවලට ලැබිලා තියෙන ප්‍රතිචාර එහෙම බලලා ඉවර වෙලා තමයි මොනවා හරි ලියන්න පටන් ගන්නේ...

ඒත් අදනං ජාලගත වෙන්න කළියෙන්ම...මේක ලියලා ඉන්න හිතුවා...

වෙනදා වගේම ඊයෙත් මට වැඩ දවසක්...
හැබැයි වෙනදාට වඩා වෙනස් දවසක්..
මොකද මට මතක ඇති කාලෙකින්..ඇත්තටම කිව්වොත් මම මේ ආයතනයේ වැඩ බාර අර ගෙන මේ ගත වන විසි පස්වන මාසයක කාලය ඇතුළතදී..වැඩිම වැඩ තිබුණු දවස...

හේතුව ආයතනයේ භාණ්ඩවල අලවිය සීඝ්‍ර ලෙස ඉහළ යෑම...

අපි මෙහේ වැඩ බාරගත්ත දවස්වල ආයතනය පාඩු ලබමින් උන්නේ...
පහු ගිය කාල වල වැටි වැටී නැගිටිමින් තමයි ගමන ගියේ...
හැබැයි අද වෙන කොට ආයතනයේ කවදාවත් නැති විදියේ පිබිදීමක් තියෙනවා...
හැම අතින්ම ඇණවුම් ලැඛෙන කාලයක්...

ඉල්ලූමේ හැටියට සැපයුම දීගන්න බැරි තරමේ තත්වයක්..
නිෂ්පාදන කටයුතුත් එහි උපරිම තත්වයට ආසන්න වෙලා තියෙන්නේ..
සේවක බඳවා ගැනීම් අතිනුත් ඉහළ තත්වයක් තියෙනවා...

කොහොමටත් හෙට අනිද්දා වෙනකොට අළුත් යන්ත්‍ර කිහිපයක්ම ගෙන එන්න තමයි බලාපොරොත්තුව...

ඉතින් මේ වගේ තත්වයක් යටතේ අපිටත් දැන් ඉස්සරට වඩා දෙගුණයක් වැඩ කරන්න වෙලා...
මමනං කොහොමටත් මුල ඉඳලම මගෙ වැඩයි, අනුන්ගේ වැඩයි, හැම දේම කරට අරගෙන දුවලා පැනලා වැඩ කරපු හින්දා දැන් තියෙන තත්වයට මුහුණ දෙන්න ලේසි නැහැ..හේතුව මීට වඩා ඇත්තටම කරන්න අමාරුයි...

වෙනදා අපේ ආයතනයේ දෛනිකව ඩිලිවරි හතරක් පමණ කෙරෙනවා...
නමුත් ඊයේ දිනය තුළ ආයතනික රථ වලට අමතරව පිටතින් කුලියට ගත්ත වාහන විතරක් නෙවෙයි, අන්තිමට මැනේජර් උන්නැහේලාගේ වාහනවලත් ටික ටික දාගෙන ඩිලිවරි කරන්නයි උනේ...

හරියටම කිව්වොත් ඊයේ ඩිලිවරි දහයයි..
එහෙම බැළුවහම දළ වශයෙන් සීයයට එකසිය පණහක විතර වැඩි වීමක්...
ඉතින් මේ අසරණ අපිතුමාලා නහිනවා...

කොහොමින් කොහොම හරි ඊයේ මට උදේ තේ එක විතරයි...
යන්තං දවල්ට දඩි බිඩි ගාලා කාලා දැම්මා...
හවස තේ බොන්න මතක් උනෙත් නැහැ...

අන්තිමට රෑට කෑම ඕඩර් කරන්නත් අමතක වෙච්චි...
කෑම ගැන මතක් උනේ රෑ අටට විතර වෙද්දී...
ඒ ගමන යන්තං කෝල් එකක් දාලා කෑම දෙන ගෙදරකට කියලා ඉඳිආප්ප ටිකක් තම්බව ගත්තා..අපරාදේ කියන්න බැහැ ඒ මිනිස්සු ඒ අතින්නං රත්තරං...

ඒත් ඉතින් කෑම එක ගේන්න යංතං දුවා ගත්තේ නවයයි කාලට විතර..ඒ ගෙනාවත් මොන කෑමක්ද..

තවත් වාහන එනවා...
ඒ අතරේ අද උදේ පාන්දර කතරගම යවන්න කියලා ආයතනයේ ලොකු ලොරියකට බඩු පටවනවා..
ඒ අස්සේ ගබඩා ඇරලා කැඩුනු මැෂින් වලට කෑළි නිකුත් කරනවා...

රටේ නැති වැඩ...

අන්තිමට නාලා කන කොට රෑ දෙළහත් පැනලා...

ඔන්න මගේ තත්වේ...
මක්කා කොරන්නද..?

අනිත් ගෝල බාලයින් ටික සැරෙන් සැරේ යවලා නාගන්න කන්න බොන්න දීලා තිබුණු හින්දා හොඳා...
නැත්තං උන් මගේ මව්පිය උපහාර වන්දනාව නොමිලයේම කරනවා...

ඉතින් අන්න ඒ වගේ එපා කරපු දවසක් තමයි ඊයේ...

හැබැයි..ඒ හැම දෙයක්ම අනිත් අතට හැරඋන සිදු වීම් පෙළකුත් හින්දා...
ඊයේ දවස එපා කරපු දවසක් කියලා කියන්නත් බැහැ...

ඒ පිළිබඳව මුලින්ම පණිවිඩය ආවේ..අපේ "අසංකා" නංගිගෙන් තමයි...

රෑ හතට විතර ඇති මගෙ හිතේ...

දවල් ෂිෆ්ට් එකේ අය වැඩ ඇරිලා යන වෙලාව..මෙන්න එනවා සුභ පැතුම් පණිවිඩයක්..
හැබැයි මොකටද කියලා දන්නේ නැහැ..ඊට ටික වෙලාවකට පස්සේ එනවා..කාරණය කියලාම...

"අසෙනිය කුසුම"..කොළඹ රාජකීය විද්‍යාලය මගින් පවත්වන්නට යෙදුණු සාහිත්‍යය උළෙලට සමගාමීව පවත්වන්නට යෙදුණු සිංහල බ්ලොග් සඳහා පිරි නැමෙන සම්මානයක් මංතුමාටත් ලැබිලාය කියලා...

සෑහෙන සතුටක් ලැබුණා..එහෙම නොකිව්වොත් ඒක බොරුවක්...
වැඩ කප්පරකට තියෙද්දිත් මාත් පණිවිඩ කිහිපයක් කොටලා "අසංකා" නගාට ඇරලා තත්වය ටිකක් තහවුරු කරගත්තා...

නුහුරු වම් අතින් ෆොන් එකපාවිච්චි කොරන ගමන්..දකුණු අතින් සටහන් පොත්වල විස්තරත් ලිය ලියා..ඇස් දෙක කාඩ් පත් සලකුණු කරන සේවකයින් වංචා සහගත වැඩ කොරනවද කියලා බලන අතරේම..ගේට්ටුවේ සේවක මහත්වරුන් පරීක්ෂා කරමින් ඉන්න භටයෝ දෙන්නා හරියට ඒ වැඩේ කරනවාද කියලාත් බලන ගමන්ම...

යතුරු භාර දෙන්න එන උදවියත් එක්කත් කතා බස් කරමින්...
යන එන වාහන ගැන ක්‍රියාකළ යුතු ආකාරයත් කෑ ගගහා කියමින්..එක පාර වැඩ කෝටියයි.

ඒ මැසේජ් කෙරුවාව ඉවර වෙන කොටම මෙන්න "කෙහෙල් කොටුවේ උන්නැහෙ"ත් කතා කොරලා සුභ පතපි...

ඒත් එක්කම ආවේ නැද්ද පත ලොරියක්...බඩු වගයක් ගෙනියන්න..නුවර ඉඳලා...

කළින්ම ඒ බඩු ටික ගාඩ් රූම් එකට භාර දීලා තිබුනේ...

ඉතින් ඒ වෙලාවට ආරක්ෂක අංශයේ වැඩ වලට අමතරව ගබඩා බාරකරුවන්ගේ ලියකියවිලි වැඩත් කොරන්ට එපැයි..

ඉතින් ඒ වාහනයටත් බඩු නිකුත් කරලා ඉන්වොයිස්වල රාජකාරි එහෙමත් කොරන ගමන් අර ඇමතුම විසන්ධි වෙච්චි...
ආයේ ඉතින් ගන්න තරංවත් ඉඩපාඩුවක් නැහැ..මොනවා කරන්නද.."බුද්ධියා" තරහා නොවන බව දන්න හින්දා ෆෝන් එක සාක්කුවේ ඔබාගෙන වැඩ ටික කරගෙන ගියා...

ඊට පස්සේ තමයි කෑම මතක් උනේ..

අන්තිමට කෑම එක ගේන්න ගිහින් ඉන්න අතරේ තවත් ඇමතුමක්...ඒක "වත්"ගෙන්...එහෙං කෑම දෙන තැන අක්කාගේ විස්තර විභාග...ඒ මදිවට වහිනවා..මොනවා කරන්නද සුභ පැතුම භාරගෙන පස්සේ කතා කරන්නම් කියලා තිබ්බා...

අන්තිමට කොහොම හරි ඇවිත් වැඩ යන අතරෙම ලැප් එක ඔන් කරලා මේසේ පැත්තකින් තියාගෙන...
කොහොම හරි ජාලගත උනා...

මගෙ අම්මේ හතර අතින් පණිවිඩ...
සුභ පැතුම් ගලාගෙන එනවා...
පොත්පත්වල වැඩ කරන ගමන්ම..ඇස් දෙක විඩින් විඩේ තිරයමත...
ජීමේල් හරහා..ජී ටෝක් හරහා..මූණුපොතේ බිත්තිය හරහා..මුණු පොතේ කතා බස් තීරු හරහා...
එලෝ කෝටියට එනවා එනවා..මට කියවගන්නත් බැරි තරං...

ඒ අතරේ මැසේජි එන සද්දේ...ෆේස් බුක් වින්ඩෝ එකේ ඉන්නකොට ජීටෝක් පැත්තෙන් සද්දෙ ඇහෙන්න පටන් ගන්නවා...ඒ පැත්තට ගිය ගමන් ෆේස්බුක් එක පැත්තෙන් පටන් ගන්නවා...

මට හිතුනේ අද ගෙදර ඉන්න තිබ්බනං කියලා විතරයි...

ඇයි දෙයියනේ මේ පණිවිඩවලට ස්තූතියි කියලා තනි වචනෙන් හරි පිළිතුරු ලියන්න වෙලාවක් කෝ..ඒ තරමටම මම හිර වෙලා..අමාරුවෙන් හරි එක් කෙනෙක් දෙන්නෙක් එක්ක පැටළුනා...

ඒ අස්සේ මම ඇදගෙනත් නෑවා...

ඒ සඳහා සාදර අනුග්‍රහය "අසංකා" නොහොත් අපේ මඩකුමාරිගෙන් තමයි...
මම නිකං බයිට් උනා...මොනවා කරන්නද..අපිත් ඉතින් ඔය මුණු පොතේ පොටෝ කෑල්ලක් එහෙම දැක්කම ලොබ නැතුව දීලා අරිනවනේ...අනේ ඉතින් ඒවට මදි නොකියන්න හම්බ උනා...

ඉතින් ඔන්න ඔහොමයි කාරණා කාරණා සිද්ධ උනේ...

මං අහන්නේ ආයෙමත් ඒ වගේ දවසක් ඒවිද...?

.................................................

තාමත් මට නිල වශයෙන් දැනුවත් වීමක් වෙලා නැහැ...සම්මානය පිලිබඳව...
ඒත් ඒ කොහොම උනත්..නිල නොවන මට්ටමෙන් දැනගෙන..ඒ පිළිබඳව මුලින්ම මා දැනුවත් කළ අසංකා නංගී ඇතුළු ජාලගත අවකාශයේ මගේ දයාබර සියළුම සහෝදර සහෝදරියන්ට මගේ අවංක ආදර ස්තූතිය මම ප්‍රකාශ කරන්න කැමතියි..

උඹලා හැම දෙනාටම පින් සිද්ධ වෙනවා...මාව අගය කිරීමත්...දිරිමත් කිරීමත් වෙනුවෙන්...

ඒ වගේම මේ වෙලාවේ මම කැමතියි "ටැබූ" ටත් ස්තූති කරන්න..උන්නැහේ තමයි මාව පහුගිය දවසක උස්සලා තිබ්බේ..
මම හිතනවා ඒකත් ලොකු තල්ලූවක් උනා කියලා මේ දෙයට...

ඒ වගේම "විවේචන" නමින් බ්ලොග් අඩවියක් ආරම්භ කරමින් එහි පළමු විවේචනය සඳහාම මගේ අඩවිය තෝරාගත්..සොයුරාට හෝ සොයුරියටත් මම ස්තූති කරනවා...හැබැයි දැන් ඒ අඩවියේ කටයුතු නැවතිලාද මන්දා..
සමහර විට ඒ අඩවියට ලැබුණු ප්‍රතිචාර අඩුවීම ඊට බලපෑවාද කියන්න මම දන්නේ නැහැ.ඒත් ඉතින් ප්‍රතිචාර බලාපොරොත්තු නොවී ඒ කටයුත්ත කරන්න පුළුවන්නං වඩාත් හොඳයි.

ඇත්තටම මෙයින් අවුරුද්දකට විතර කළින් මේ බ්ලොග් එක පටන් ගත්තේ...
එහෙම බලනකොට චසරක් වගේ කාලයක් ඇතුළත මම ආව ගමන ගැන මට සෑහීමකට පත් වෙන්න පුළුවන්...

මගේම ජීවිතය ගැන, මේ ජීවිතේදී මම ලබපු අත්දැකීම් ගැන..දුක සතුට මැද ජීවිතය ගලාගෙන යන අන්දම ගැන මම ලියපු වචනයක් වචනයක් පාසා තිබුණේ මනුස්සයෙක් හැටියට මම ලොකය දකින හැටි තමයි...

මේ බ්ලොග් එක වගේම..මගේ ජීවිතයත් තාමත් ඔහේ ගලාගෙන යනවා..මේ දෙකේම නැවතීම කොතැනද කියලා මම දන්නේ නැහැ. කවදාක හරි ඒ දෙකින් එකක් හෝ දෙකම එකවර හෝ නවතින දවසක් එනවා...
"මාරයාගේ හෝරාව" උදා වෙන ඒ දවස වෙනකල්...
මාත් එක්ක මේ වන්දනා චාරිකාව යන්න ඔබ හැමෝම එන්න...

ඉතින් අපි යමු ඉදිරියට...

ඊයේ වගේ දවසක් ආයෙත් නෑ එන්නේ..
නමුත් හෙට දවස ඊයේටත් වඩා අපූරු විය හැකියි...
අපි පියවර තබමු...

මෙයට මාරයා...නොහොත්
චතුෂ තුෂර කුමාර...

28 November 2010

මිරිගුවටම පෙම් බැන්දා...

සියවසක් පමණ ගෙවුණා..
ඒ වගේ මෙමට දැනුණා..
ඔබ වෙන්ව ගොසින්..
දැන් බොහොම කලක්..
මගෙ සිත තනිවම හැඩුවා...

අප අපට උරුම නැතුවා..
ඔබ වෙන කාටද බැඳුනා..
මට අහිමි පෙමින්..
මතකය සමගින්..
මා මගේ ලොවේ දැවුනා...

සිහිනය නිමවෙනු පෙනුනා..
සිතුවම් බොඳ වී වැටුනා..
ඔබ නොඑන බවත්..
මා දන්න නමුත්..
මිරිගුවටම පෙම් බැන්දා...

මාරයා කියන බණ කතන්දරේ...ටිකට් නැතිව ෂෝ බැළිමේ විපාක...

හොඳයි..ඕන්න මංතුමා ආයෙමත් පටන් ගන්නයි තනන්නේ..
වෙන මොකවත් නෙවෙයි අර මම නවත්තපු තැන ඉඳලා බණ කතාන්දරේ දේශනා කොරන්ට තමයි...

හරි දැන් අපි දන්නවනේ මේ වෙනකල් සිද්ධ වෙච්ච දේවල් අකුරක් නෑරම..
හොඳයි ඉතින් දැන් අර තාපසතුමා අර අපේ බිසොඋන්නාන්සෙයි..ඒ ඇත්ති අළුත වදාපු කුමාරයා..ඒ කියන්නේ මේ උදේනි කුමාරයායි තමුන්ගේ අසපුවට අරගෙන ගොහින් තමන්ට පුළු පුළුවන් ආකාරයට කන්ට බොන්ට දීලා ආරක්ෂා කොරනවා..ඉතින් මෙහෙම ටික දවසක් යනකොට අර රජ දෝණී ඒ කිව්වේ අපේ බිසොඋන්නාන්සේ කල්පනා කරනවා පින්වතුනි මෙන්න මෙහෙම...

මේ තාපසයින් කියන ජාතිය අප වැනි ස්ත්‍රීන් පිළිබඳව වැඩි ඇල්මක් ඇති අය නෙවෙයි..ඉතින් එහෙව් එකේ මේ තාපස උන්දෑ..බැරිවෙලාවත් හෙම තමනුත් තම පුත්තරයාත් අතහැරලා දාලා වෙන තැනකට පලච්චි උනොත් අපිට ඉතින් හුළං තමා..අනික මේ උන්දෑ තව කී දවසක් අපිට කබුරයිද කියලාත් ෂුවර් නැති එකේ..මොන දහං ගැටයක් හරි දාලා මේ උන්දෑව අපේ ග්‍රහණයේම තියා ගන්ට ඕන කියලා..

ඉතින් පින්වතුනි බලංට..එදා ඉඳලා මේ අද වෙනකල්ම මේ කාන්තා පාරුෂවයේ උදවිය..මේ අහිංසක අප්පිලා ඇත්තන්ට කොරනවා වගේ..එදාත් ඒ බිසෝඋන්නාන්සේ අර අහිංසක තාපස උන්දෑට එළුවේ නැද්ද දැල...

ඉතින් දැන් මේ ගෑනු මනුස්සයා කල්පනා කොරන්නේ අර තාපසතුමාගේ ශීලය බිඳුවලා..ඒ තාපසතුමාව තමුන්ගේ වසගයට අරගෙන..තමන්ගේත් දරුවාගේත් මතු ආරක්ෂාව සලසා ගන්ට තමයි...

අනේ ඉතින් මේ මුකුත් දන්නේ නැති අර තාපසතුමා තමුන්ට පුළු පුළුවන් හැටියට අර දෙන්නව බලා කියා ගන්නවා..

ටික දවසක් යනකොට අපේ තාපසතුමාට අමුතු අමුතු අත්දැකීම් ටිකක් විඳින්ට වෙනවා...

ඔය ඉතින් දැන් උනත් ගෑනු දැරිවියෝ හොඳට කර කපාපු එල්ලා හැලෙන ඇදුම් ඇඳගෙන..ඒවා මේවා ඇහිදින්ට අපිවගේ පින්වත් උපාසක ඇත්තෝ ඉදිරිපිට නැවුනාම අපේ උනත් ඇස් ඇදිලා යන දර්ශන තියෙනවා නෙව..ආන්න ඒ වගේ මේ බිසවත් දැන් අර කැලේ මැද්දට වෙලා අවුරුදු ගාණක් ගෑණු පුළුටක් නොදැක උන්න තාපසතුමාට මැජික් පෙන්නනවා...

මොනවා කොරන්නද පින්වතුනි කරුමයක මහත අර අසරණ තාපසතුමාත් මේ නාඩගම බලන්ට ගිහින් වැඩේ වරද්ද ගත්තා නෙව...

අර බිසව නිකං වැරදීමකින් උනා වගේ ඇදන් ඉන්න ඇදුම් ලෙහෙන්න ඇරලා පෙන්නපු දර්ශනේ ටිකට් නැතිව ෆී බලන්න ගෙහුන් අන්තිමට සර්කස් එකේ ටිකට් කඩන්නයි..පුටු හෝදන්නයි..කඩේ යන්නයි.ඇතුළු එකී නොකී හැම වැඩක්ම කරන්න ඉන්න බෝයි කොළුවා වගේ..දැන් ඉතින් අර ස්ත්‍රීපරාණෙත් එක්ක පවුල් කන්ට උනා..

නරක නෑ නේද වෙච්ච සංගදිය..?

අනේ ඉතින් දැන් මේ යුවළ..අර දරුවවත් හදාගෙන ජීවත් වෙනවා..
මෙහෙම කාලයක් යනකොට දවසක් දා අහසේ තරු දිහා බල බල නැකැත් සාස්තරයට අනුව කල්පනා කොර කොර ඉන්න බමුණාට..දැන් ඉතින් තාපසතුමා කියන්නත් බැහැනේ..ඉතින් මේ බමුණාට පේනවා දඹදිව කොසඹෑ නුවර පරන්තප රජ්ජුරුවන්ට ටිකට් එක ඇදිලා වග..ඒ කියන්නේ මාරයා වසගයට..ඔව් ඔව්..මා වසගයට තමා ඕං..
ඉතිං අන්න ඒ කියූ පරිද්දෙන්..පරන්තප රජු කාලක් කිරියා කොරලා බව දැන් බමුණට පේනවා...

ඉතින් බමුණත් නිකං ඉන්න බැරුවට අර දේවියට කියනවා..
සොඳුර අදනං පරන්තප රජ්ජුරුවන්ට බඩුම තමා කියලා..
මේක අහන බිසව අඩන්ට පටන් ගත්තේ නැතිවද වැළහින්න වගේ..

ඇයි ඇයි බමුණ තා එහෙම කියන්නේ..ඔබ පරන්තප රජු සමග ඔරොප්පුවෙන් සිටිනා අයෙක්දැ

නැත නැත සොඳුර මා හා පරන්තප රජු අතර කුමන නම් ආරෝවක්දැ..මා මේ ග්‍රහ තරුවලට අනුව දුටු දේ තමයි කියලා දැම්මේ..හරියට අදින් වරුස දෙදහස් පන්සියයකට පමණ පසු අප දඹදිව්තලයට ආසන්න සිරිලංකා දීවීපයේ පහළව ග්‍රහ තරු දිහා බලා බ්‍රහ්ම අනාවැකි කියන්නා වූ මාර පුත්තරයා හා සමානව මාද මේ කියන්නට යෙදුණේ ටොප්මැ ටොප් අනාවැකියකි..යි කියා යාන්තං ජාම බේරගන්ට යෙදුණා ඕං...

යාන්තං ඒක එහෙම කියාගත්තට මොකද..දැන් බිසව අඩන කාරණයත් දැනගන්ට එපැයි..?

ඒ හින්දා ඒකට හේතු කාරණා හොයන බමුණා දැනගන්නවා සිද්ධවෙලා තියෙන හුට්ටප්පරේ මොකක්දැයි කියලා...

ඉතින් අන්තිමට බිසව බමුණාට කියනවා මට දුක රජු මියගිය එකට නෙවෙය..
පුත්තරයාට හිමි රජකම මිස් වෙලා යන එකටය කියලා...

ඔන්න දැන් බමුණා ආයෙමත් වැඩෙට එන්ටොර් වෙනවා..

බිය නොවන්න සොඳුර..රජ කරනා අයුරු මම පෙන්වමි... එහෙම කියලා එන්ට කියනවා අර පුතණ්ඩියට..දැන් ඉතින් උදේනි කොළුවත් යමක් කොමක් කියාගන්ට ඇහැකි..කර දඩු උස්මහත් වෙච්ච කොළුවා වෙච්චි...

ඉතින් එහෙම උදේනි කොළුවට එන්ට කියලා අර බමුණු තෙමේ අර කොළුවට තමුන් දන්න අලි මන්තරෙයි..ඒ කියන්නේ හස්තිකාන්ත මංතරෙයි..වීණාවයි දීලා..එක්ක ගිහින් ඒ පළාතේ ඉන්න කප් ගහපු අලි එක්කාසු වෙන පොට් එකක තිබුණු රූස්ස නුග ගහකට අර කොළුවා නග්ගනවා උපදෙසක් දීලා...

ඒ උපදෙස තමයි අර මංතරෙයි වීණාවයි පාවිච්චි කොරලා පළවෙනි තියරිය ටැස් කොරලා බලන එක..ඉතින් අංක එක සාර්ථකයි..ඒ කියන්නේ එදා රෑ අර නුගේ යටට ආව අලි ටික ඔක්කෝම බයකොරලා පන්නලා දාන්ට කොළුවා සමත් උනා..
ඉතින් ඊළග දවසේ අංක දෙකත් කිරියාත්මක කොරලා බැළුවා..වැඩේ එළකිරි වගේ වැඩ...

ඒ ගමන දැන් අවසාන සීන් එකට ඇන්ටර් වෙන්ටයි හදන්නේ..

ඊට කළින් අර බිසවට කියලා තමුන් කවුද කියලා ලියුං කරදහියක් එහෙම ලියවගෙන..අර බිසවව පැහැරගෙන එන දවසේ පොරවං ආව වටිනා කියන සළුවයි..අර පේරැස් මුද්දයි එහෙමත් අර කොළුවා අතට දීලා..

නුග ගහට නග්ගන ගමන් එදා කොරන්ට ඕන වැඩපිළිවෙලත් කියා දුන්නා..

ඉතින් ඒ කිව්ව විදියටම අර උදේනි කොළුවා මොකදෑ කොලේ...

එදා රෑ අලි ඇත්තු ටික එක්කාසු වෙනකල් ඉඳලා..අර මංතරේ එහෙම කියලා..දීලා ඇද්දේ නැද්ද වීණාවේ පළවෙනි තත ටිං ටිං ගාලා...

මෙන්න ඉතින් අලි දුවනවා..හුරේ රන් එක දීලා..
ඒත් එක්කම උදේනි කොළුවා නැවතත් අර මංතරේ මතුරලා දණහිස නවලා දෙනවා දෙවෙනි තත ඇඹරිලා යන්ට....
මෙන්න යකඩෝ අර පණ එපා කියලා දුවපු අලි එකා දෙන්නා දුවන ගමන් සයිඩ් කණ්නාඩියෙන් පස්ස බල බල දුවනවා...

ඒත් එක්කම මෙන්න පිංවතුනි ඔබ පුල පුලා බලා සිටි ඒ අසිරිමත් මොහොත...

මංතරේ කියනා ගමන්ම තුන් වෙනි තත නාදය කරනවාත් එක්කම අර දුව දුව හිටිය අලි නැවතිලා ආයෙමත් බොහෝම යටහත් පහත්ව අර නුග ගහ ගාවට එනවා..ඒ ඇවිත් ඒ ඇත් රංචුවේ හිටිය නායක ඇත් රජා අර ගහ යටට ඇවිත් දණ බිම ඔබලා තමන්ගේ පිට උඩට කුමාරයාට නැග ගන්න පුළුවන් හැටියට ඉන්නවා..

ඉතින් අපේ අර බමුණුතුමා කියා දීපු ආකාරයටම අර ඇත් රජාගේ පිට උඩින් වාඩි වෙලා එහෙම ඇත් රජාගේ හිස එහෙම පිරිමැදලා..එක කනකට කිට්ටු කරලා

මම ඇවිල්ලා කොසඹෑ නුවර පරන්තප රජ්ජුරුවන්ගේ වන් ඇන්ඩ් ඔන්ලි පුත්තරයා වෙච්ච එකේ බැරිද මට ඒ රාජ්‍යයේ රජකම අල්ලලා දෙන්ට කියලා..

ආන්න ඒ වෙලාවේ අර ඇත් රජා හිටගෙන පොඩ්ඩක් අමුතු විදියේ සද්දයක් දානවා...
ඒ සද්දේ අහපු අර ඇත් රංචුවේ හිටිය පොඩි පොඩි අලි ටිකයි පැන්ෂොන් යන්න ඔන්න මෙන්න හිටිය අලි ඇත්තු ටිකයි හිමිංම මාරු වෙලා යනවා...

අන්න ඊට පස්සේ අලි ඇතුන් පන්සීයක විතර සෙට් එකකුත් එක්ක අර නායක ඇතා උදේනි කුමාරයාවත් කරේ තියාගෙන කොසඹෑ නුවරට යන්ට පටාන් ගන්නවා...

ඉතින් පින්වතුනි අපි ඊ ළග කුට්ටියෙන් බලමු නේද මක්කදෑ උනේ කියලා...
මොකද කියනවනං මට දැන් අලියා පිටේ ගිහිං..ආ නෑ නෑ අලියා පිටෙ යන කුමාරයා ගැන ලියන්නට ගෙහුං හොඳටම මහන්සියි...

26 November 2010

මාරයා කියන බණ කතන්දරේ...සුප් බොන්න ගිහින් වෙච්ච දෙයක්...

ඕන්න අදත් යාන්තං අකුරු තුන හතරක් කොටා ගන්ට කියලයි සූදානම..
දවස් තුනක් එක දිගට ඩියුටි ඇදලා අද තමයි ගෙදරට කඩං පාත් උනේ..

ඉන්ට බැරි තරං නිදි මත..ඒ ගමන රෙදි ටික පොගන්න දාලා..මළා මම තාම රෙදි ටික හේදුවේ නැහැ නේද..

හා හා බණ කතා පස්සේ මම යනවා...

........................................

තව පොඩ්ඩෙන් මළ කෙළියයි මහ රජ කිව්වළු...
යාන්තං කෑලි හතර පහක් හෝදලා දාලා ආවා...

ඉතින් මං කොතනද හිටියේ..හරි..

ඉතින් රෙදි පොගන්න දාලා නාලා කරලා උදේට කෑවා..කෝපි කෝප්පයකුත් හදාන බීලා අහවර වෙලා චුට්ටක් විතර ජංජාලගත වෙලා ඇඳට වැටිලා දොයිය ගත්තා...

නැගිටිද්දී දොළහ හමාරයි...ඒත් හිතට මදි..ඇයි ඉතින් දවස් තුනක ඇරියස්නේ...

මුණ කට හෝදගෙන උදෙන්ම රමණි අක්කට කියලා බැඳගෙන ඇවිත් තිබුණු බත් ගෙඩියට වග කිව්වා..දැන්නං ඉතින් කව්රුත් දන්නා පරිදි රෙදි ටිකත් හෝදලා අහවරයි...

හ්ම්..එක අඩුවක් තියෙනවා..බණ කතන්දරේ ලියලා අහවර වෙලා යක්කල පැත්තේ ගෙහුන් ඒ අඩුවත් සරි කොරගෙන එන්ට ඕන...

.........................................

හරි පින්වතුනි,
දැන් ඉතින් කවුරුත් එක්ක මතක් කොර ගම්මු කළින් සිද්ධ වෙච්ච කතාන්දර ටික පිළිවෙළකට..

1) රජවරු දෙන්නා තපසට යෑම...
2) පරන්තප රජුගේ බිසව පැහැරගෙන යෑම...
3) උදේනි කුමාරයා උපත ලැබීම...

මෙන්න අද එතැන් සිට....

ඉතින් දැන් අර බිසොඋන් වහන්සේ මව්පදවිය ලබලා අර රූස්ස ගස් මුදුනේ ඉන්නවා...
ගහෙන් බිමට බහින්නවත් හැටියක් නැහැ..

ඕන්න ඔතනදී තමයි මම අර කළින් වතාවක කිව්ව අර තාපසතුමා..ඒ කිව්වේ අර ඉතිරි වෙලා ඉඳගෙන හස්තිකාන්ත වීණාවෙන් පොඩි පොඩි වැඩදාන තාපසතුමා මේ සීන් එකට ඇන්ටර් වෙන්නේ...

ඉතින් ළමායි අර තාපසතුමා තමුන්ගේ මිත්තරයා විසින් දීපු වීණාවත් එයට අදාළ මන්තරයත් පරයෝජනයට අරන් දැන් කිසි බයක් හැකක් නැතිව තමුන්ගේ පාඩුවෙ බණ භාවනා කොරාන ජීවත් වෙනවා..

හැබැයි තාපසතුමා වැඩ දැන ගත්තට වැඩිය වැඩ පෙන්නන කෙනෙක් නෙවෙයි..මොකද අපි තමුන්නැහේලාට ඔය වගේ දෙයක් හම්බ උනොත් අලි හොය හොයා ගිහින්නේ ඕක අත්හදා බලන්ට පටන් ගන්නේ..අන්තිමට රටේ ඉන්න අන්තිම අලියත් මුහුදටවත් පන්නලා දාලා තමයි නවතින්නේ..

ඒත් මේ තාපස තුමා ඉතින් ඔය අලි රංචුව තමුන්ගේ අසපුව හරියේ හක්කලං කොරන්ට ආවාම විතරක් අර පළවෙනි මංතරේ විතරක් කියලා පළවෙනි තත වාදනය කරනවා..

ඒ කියන්නේ අලි ටික පන්නලා දානවා විතරයි...

එහෙම නැතුව..අලි ආපස්ස හැරිලා බල බල දුවනවද..
එහෙමත් නැත්තං අලි හීලෑ කොරන් පිටෙ යන්ට ඇහැකිද කියලවත් ටැස් කොරලාවත් බලන්ට ගියේ නැහැ...

හරි ඉතින් ඔන්න ඔහොම කාලේ ගත වෙද්දී..මේ තාපසතුමා තමුන්ගේ අහර වේල සපයා ගන්ට පොඩි පහේ ක්‍රමවේදයන් හොයාගෙන හිටියා..

ඉතින් එයින් එකක් තමයි වනාන්තරේ ඉන්න විශාල කුරුල්ලෝ කලින් දවසේ රට වටේ කරක් ගහලා හොයාගෙන එන ආහාර ජාති ඇන්න ඇවිත් රෑ තිස්සේ කලා බීලා යන ගස් යටට ගෙහුන්..ඒ ගොදුරු කර ගත්ත ආහාර වළින් බිමට වැටිලා තිබුණු ඇට කැඹළිති ආදිය අරගෙන ඇවිත් ඒවා තලලා පොඩි කරලා ඒවා වතුරත් එක්ක කලවං කොරලා තම්බලා අර ඇට වල තියෙන සාරය සහිත ජලය පානය කොරන එක..

හරියටම කිව්වොත් ඒ කාලේ තාපස ඇත්තන්ට පවා සුප් බොන්න ක්‍රම තිබිලා තියෙනවා...

අර කුරුල්ලෝ කුකුළන් එහෙම අරන් ඇවිත් කාපු බීපු දවසට පහුවදා ඉතින් තාපස ඇත්තන්ට චිකන් සුප් තමා...
ඔන්න ඔය විදියට ඉතින් විවිධ ආකාරයේ සුප් වර්ග ඒ කාලේ තිබිලා තියෙනවා..ඒත් ඉතින් ලූණු ගම්මිරිස් එහෙම නැති එක තමා අඩුපාඩුව..ඒකටනේ ඔය හිමාල අඩවියේ පවා වෙසෙන තාපස ඇත්තෝ කාලෙකට සැරයක් ලූණු ඇඹුල් සේවනය පිණිස කියලා මිනිස්වාස වලට පැමිණෙන කතාන්දර බණපොත්වල තියෙන්නේ..

ඒත් ඉතින් ලූණු ඇඹුල් සේවනය කරන්ට ඇවිත් අන්තිමට වෙන වෙන ජාති සේවනය කොරන්ට වෙලා ආපහු හිමාල අඩවියට යන්ට බැරි උන තාපස ඇත්තෝ ගැණත් බණ කතා නැතුවා නෙවී...

හා හා ඒවා පැත්තකින් තියමුකෝ..

ඉතින් එදා..ඒ කියන්නේ මම මේ කියන දවසේත් කළින් දවසේ මහා ධාරානිපාත වරුසාව හින්දා ආහාර පාන හොයන්ට එහෙ මෙහේ යන්ට බැරි කොමට අර තාපසතුමා ගියා තමන්ට පුරුදු විශාල ගහක් ගාවට කුරුල්ලෝ කාලා දැපු ගොදුරුවල මොනවා හරි අවශේෂ උන ඇට කැඹළිති ටිකක් හොයං එන්ට කියලා...

ඔන්න පින්වතුනි පොයින්ට් එක...

දැන් මගෙන් අර කළින් කතා වලදී සමහර උපාසක ඇත්තෝ ඇහැව්වා නෙව..
තාපසවරු කොහොමද අර බිසවගේ කතාවට සම්බන්ධ උනේ කියලා...

මෙන්න ඒක සිද්ධ වෙන විදිය..

"අනේ ඉතිං අර තාපසතුමා උදෑසනින්ම තමන්ගේ ආහාරය එහෙමත් නැතිතං හීල් දානය පිණිස යමක් සොයා සපයා ගැනීමේ අරමුණින් වනාන්තරයේ ගසක් යටට වඩිනවා පින්වතුනි...

අන්න ඒ අවස්ථාව්දී..මේ තාපසතුමාට ඇහෙනවා අර විශාල ගස මුදුනින් කුඩා ළදරුවෙකුගේ හැඩුම් ශබ්දයක්...

මෙ කිසිම මනුස්ස වාසයක් නැති මහා වනානතරේ කොහොමද මෙ මනුස්ස පැටියෙකුගේ ශබ්දය නැගෙන්නේ කියලා අර තාපසතුමා එදා සොයලා බලනවා...

අන්න ඒ වෙලාවෙ තමයි පින්වතුනි..
අර පරන්තර රජුගේ මෙහෙසිය අපට නැවත වතාවක් හමු වෙන්නේ..."


හරි දැන් තේරුණා නෙව කතන්දරේ...

අපේ තාපසතුමා එදා ආහාර සොයාගෙන ගිය ගහ මුදුනේ තමයි අපේ බිසඋන්නාන්සෙයි..උදේනි පුත් කුමරුවයි හිටියේ...

ඉතින් කෙටියෙන් කියනවනං..මේ දෙන්නා අතරේ මේ වෙලාවේ කතාවක් ඇති උනා..දෙන්නා කිව්වේ ඉතින් බිසවයි..තාපසතුමයි තමා ඕං...

මොකද දෙන්නට දෙන්නාම ටිකක් සැකෙන් තමයි කතා කලේ..ඇයි ඉතින් මෙ වනාන්තරේ මැද්දේ තමුන්ට මිනිස්සු හම්බ වෙයි කියලා දෙන්නටම විස්වාසයක් නැහැ නෙව..

ඉතිං මට මතක හැටියට බණ පොතේ තියෙන්නේ දෙන්නට දෙන්නා සැක හැර ගැනීම පිණිස..ක්ෂත්‍රීය මායම් විමසුවා කියලා තමයි ඉතිං..

හැබැයි ඉතින් මමනං ඒ මොනවාද කියන්න හරියටම දන්නේ නැහැ...

ක්ෂත්‍රීය මායම් කියන්නේ ඔය රජ ගොල්ලෝ විතරක් දැනගෙන හිටිය මොනවා නමුත් මායමක් වෙන්ට ඕන..
මටනං හිතෙන්නේ අර ස්ත්‍රී මායම් කියලා කියන එව්වයෙන් මේ ගෑනු පරාණ අහිංසක ගැටවු වෙච්ච අපිව අන්දනවා වගේ...

රටේ මහජනතාව ගොනාට ඇන්දීම සඳහා රජවරු රජවරු පමණක් භාවිතා කොරපු පොලිටිකල් ට්‍රික්ස් වලට වෙන්ටෑ ඔය ක්ෂත්‍රීය මායං කියලා කිව්වේ..එහ්නං...

ඉතින් එව්වා දන්නේ රජවරු පමණක් වෙච්චි කොට රජකොම තියා ඇමති කොමක්වත් නොදන්න මංතුමානං ඔන්න ඔව්වා හරියටම දන්නේ නැතුවා.

හැබැයි ඉතිං අපි ඔයාලා නොදන්නවා උනාට..
තාපසතුමාත් හිටපු රජතුමෙක් වෙච්චි..බිසවත් රජ බිසවක් වෙච්චි..උන්නැහේලා ඕවා දැනගෙන ඉන්ට නැතැයි ටක්කෙටම..

ඉතිං ඔය හරස් පුරස්න අහලා එහෙම අහවර වෙලා..සැක සංකා දුරු කොරගෙන බොහෝම අමාරුවෙන් අර බිසවයි දරු පැටියවයි බිමට පාත් කොරගත්තයි කියමුකෝ...

ඊට පස්සේ නෙව මරු හරිය සිද්ධ වෙන්නේ...

24 November 2010

මාරයා කියන බණ කතන්දරේ...බිහිසුණු රැයක්...

අද ඉතින් වැඩ දවසක් උනාට ඒ තරං කරදරයක් නැති පොයින්ට් එකකට සෙට් වෙන්න උන හින්දා කරදරයක් නැතිව ලියන්න කරන්න නිදහස තියෙන හින්දා හොඳයි..

ඊයේත් මම වැඩ..ඒ ඉවර වෙලා අද මේ තැනට ආවේ අපේ යාළුවෙක්ගේ නිවාඩුවක් ආවරණය කොරන්ට තමා..
ඒත් ඉතිං ආයෙමත් හෙට උදැහැනක්ම ආයෙමත් මගේ සුපුරුදු ඉස්තානෙට රාජකාරි වාර්ථා කොරන්ට ඕන...

කොටින්ම කිව්වොත් එක දිගට පැය 72 ක රාජකාරි කාලයක්..එහෙම නැත්තං දවස් තුනක අඛණ්ඩ රාජකාරියක් කොරන අතරතුරේ තමා මේ ඉන්නේ..

හෙට නෙවෙයි අනිද්දා..ඒ කියන්නේ 26 වෙනිදා තමා මට මගේ සුපුදුරු නවාතැන පැත්තේ යන්ට වෙන්නේ..මක්කා කියලා කොරන්ටද...? ඔහොම තමා මේ සිකුරුටි ජීවිතේ...

ටිකක් තදින් නිදිමත දැනුනත් ඉවසා දරාගෙන ඉන්ට වෙලයි තියෙන්නේ...

..................................................

ඉතින් මම හිටියේ සඳළුතලේ වෙන්ට යන විපත ගැන දෙසාබාමින් නෙව...

ඉතින් පින්වතුනි,

දැන් අර විශාල ඇත්කඳ ළිහිණියා අර මාළිගාවේ සඳළුතලය මත්තට ලෑන්ඩ් කරනවා..ඒ කරන ගමන්ම අර සඳළුතලේ සිට පෙර මග බලනා මානවිකාවියක නොවූ ගැබ්බර දේවීයවත් අර නිය පහුරුවලින් අල්ලාගෙන නැවත වතාවක් ටේක් ඔෆ් තත්වයට පත් වෙලා ගුවන සිසාරා ඉතාමත් වේගයෙන් පියාසලනවා පින්වතුනි...

අනේ අර දේවිය..ළඳ බොළඳ සුකුමාලිය..ඉතාමත් සුළු මොහොතක් තුළදී සිද්ධ වෙච්ච මේ අකරතැබ්බය පිළිබඳව සිතා ගන්නටවත් බැරිව..ඇති වූ කම්පනයෙන් සිහිමූර්ජා තත්වයට පත් වෙනවා...

කොහොම උනත් පින්වතුනි...අර පෙරවාගෙන සිටි වටිනා කියන සළුවෙ ආරක්ෂාව නිසා..අර සත්වයාගේ බිහිසුනු නිය පහුරුවලින් මේ දේවියටත් කුසතුළ හොත් දරුවාටත් කිසිම ආකාරයක අතුරු ආන්තරාවක් නැතිව දැන් මේ ගමන යන්ට පුළුවන් වෙනවා...

අනේ පින්වතුනි..මෙන්න මෙහෙම ටික වේලාවක් යන කොට අර දේවියට නැවතත් සිහිය උපදිනවා..

ඇය ඉතාමත් භීතියට පත් වෙලා..අහස් කුස සිසාරා පියඹා යන මේ අති දැවැන්ත සත්වයාගේ නිය පොකුරේ සිට කල්පනා කරනවා..දැන් කළ යුතු දේ කුමක්දැයි කියලා...

අන්න ඒ වෙලාවේදී මේ තැනැත්තිය ඉතාමත් නුවණක්කාර සිතුවිල්ලකට එළඹෙනවා...

මෙවැනි වූ පක්ෂීන් ගොදුරක් ඩැහැගත් කල්හී...එය බුදින්නට තමාට සුපුරුදු ස්ථානයකටම යනවා විනා අතර මගදී ආහාර ගන්නට සැරසෙන්නේ නැත..එහෙනම් මා විසින් දැන් කලබල නොකර මෙසේම සිට..මේ සත්වයා කුමන හෝ ස්ථාවය නතර වූ පසු කෙසේ හෝ ගැල වෙනවා විනා..දැන් කලබල කරන්නට ගියහොත් සිද්ධ වෙන්නේ මෙකා මා බිම හෙලීමෙන් මගේ අඩු පඩු ගැලවී යෑම පමණක්මය කියලා..

ඉතින් මේ විදියට පොතේ ඇති හැටියටම කල්පනා කොරපු මේ ඇත්තී..නොකර සද්ද ලීලාවෙන් දැන් උඩින්ම ගමනේ යා...

ඉතින් ඕන්න ඔහොමයි සිද්ධ උනේ..

ඊට පස්සේ ඉතින් අර ඇත්කඳ ළිහිණියා අර බිසොවුන් වහන්සේවත් අරන් ඈත වනාන්තරේ ඌට සුපුරුදු පොට් එකට එන්ටර් වෙනවා...

ඒ යනකොට ඉතින් ටිකක් රෑ බො උන හින්දා මේක දැන් කල්පනා කරන්නේ ඩිනර් එකට මෙ බිසවව අරගන්ට තමා ඕං...

ඉතින් කොහොමින් කොහොම හරි අර වනාන්තරේ විශාල ගහක් උඩට අපේ මේ ඇත්කඳ ළිහිණි තෙමේ සැපත් වෙලා..තමුන්ගේ ආහාරය සිත් සේ බුඳින්න පටන් ගත්තා විතරයි...

මෙන්න අපේ දේවීන්නාන්සේ ඇරියේ නැද්ද පුල් වොලියුම්...

හප්පද බොල..ඒක නිකං අර ලොතරැයි කූඩුව ගාවින් යන කොටම අද අදිනවා..අද අදිනවා..කියලා කෑ ගහන ලවුස්පීකරේ පරාදයි...

අනේ ඉතින් මේ සවුන්ඩ් එකට අර සතා කොච්චර බය උනාද කිව්වොත් අද කාලේත් අර ගෙදර උන්නාන්සේ චරෝ බරෝ ගාන කොට අපේ සූර වීර හස්බන්ඩලා.. නිකං ගස් බණ්ඩලා ගහෙන් රූටනවා වගේ මාරු වෙන්නේ අන්න එහෙම සිටිස් ගාලා මාරුව දැම්මා...

යන්තං ඕන් ඒ සීන් එක ඉවරයි කියමුකෝ..

මෙන්න ඊළග සීන් එක...

හරියට නිකං හින්දි පිච්චර් එකක් වගේ තමා ඕ...

අහස ගුගුරුවාගෙන..ගස් කොළං අඹරවාගෙන..පොළව කම්පිත කරවාලමින්...
මේ මොකක්දෑ සිද්ධ වෙන්නේ....

මහා ධාරානිපාත වරුෂාවක් එක්ක මහා සැඩ සුළගක් හමාගෙන යනවා...

අනේ ඉතිං අර අසරණ දේවීන්නාන්සේ අර මහා වනාන්තරේ..කාත් කවුරුවත් නැතිව..තමං ඉන්නේ කොතැනද කියලවත් හරියට නොදැන...ඒ මදිවට තනියම බිමට බහිනවා තියා හිතන්ඩත් අමාරු මහා විශාල ගහක් උඩ තනි වෙලා...

එතනින් නැවතුනානං මදැයි...
අලි මදිවට හරක් කියන්නැහේ..
ඒ ඔක්කෝටමත් වඩා දෙයක් දැන් සිද්ධ වෙන්න යන්නේ...

කට්ටිය හිතුවේ මම එතනින් කතාව කුට්ටි කොළා තමා කියලා නේද...?
හපොයි නැහැ..මෙන්න වෙච්ච දේ...

අර මහා වරුසාවේ වැස්සට තෙමි තෙමී...අර මහා සැඩ සුළගට ගස් වැල් අඹරවාගෙන යද්දී..හීතලේ ගැහි ගැහී.. ගහක් උඩ අතු වල රැඳිලා හිටිය මේ බිසොඋන් වහන්සේට විලි රුදා පහළ වෙනවා..

ඒ රුදාව මොකක්දැයි කියලා දන්නවා නෙව...

ඉතින් හිතලා බලන්ට කවුරු කවුරුත්... සාමාන්‍ය අයකුටත් වඩා බොහෝම සැප සම්පත් ඇතිව දිවි ගෙව්ව තරුණ බිසවක්.. අතට පයට දැසි දැස්සන් ඇතිව බොහෝම සුකුමාර ජීවිතයක් ගෙව්ව ගැහැණු මනුස්සයෙකුට හිටි හැටියේ මෙ වාගේ විපතකට මුහුණ දෙන්න උනහම ආයේ ඉතින් ඊටත් වඩ දරුණු තත්වයක් තවත් තියෙයිද මේ ලෝකේ...

ඒ කොහොම උනත් පවතිනා තත්වය යටතේ දැන් මේ බිසොවුන් වහන්සේගේ හිතත් බොහෝම හයිය වෙලා..
අපි ඒකට කියන්නේ යථාර්ථයට මුහුණ දෙනවා කියලා තමා ඕං...

අපි කොයි තරං අකමැති උනත් අපේ ජීවිතවලටත් මේ වගේ අවස්ථා උදා වෙනවා...

නමුත් අපිට බැහැ ඒ වගේ වෙලාවට ඒ ප්‍රශ්න වලින් පැනලා යන්න..අපි ඒ වගේ වෙලාවට කියනවා නහය ළගටම යට වෙලා කියලා..

ආයේ මීට වඩා විපතක් වෙන්න දෙයක් නැහැ...

කරන්න තියෙන්නේ එක්කෝ උත්සහ වන්ත නොවී මැරෙන එක..එහෙමත් නැත්තං..තමන්ට පුළුවන් උපරිමයෙන් හිත තද කොරගෙන පවතින් තත්වයට මුහුණ දෙන එක..තමන්ට උදා වෙලා තියෙන අවස්ථාවත් එක්ක යුධ වදින එක..

අපි කියන්නේ අරින්න හොඳ නැහැ කියලා..ආන්න එහෙම...

ඉතින් මේ දේවීන්නාන්සේත් තමන්ගේ හිත පුදුම විදියට හයිය කරගත්තා..ඒ තමන්ට ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙන්...ඒ දරුවාගේ මුහුණ දකින්න තියෙන ආසාව වෙනුවෙන්...එදා අර ගහ මුදුණේ ඉඳලම මහා සටනක් කලා..සොබා දහමත් එක්ක..දෛවයත් එක්ක...

අන්තිමේදී පහුවදා පාන්දරට එළි වෙන්න ඔන්න මෙන්න තියලා අර මහා සුළග නැවතුනා...
එතෙක් වෙලා එක සීරුවට වැස්ස මහා වැස්ස තුරල් වෙලා ගියා...

පහුවදාට හිරු පායා ආවා...

අන්න ඒ වෙලාවේම...

අර බිසවට මුළු රැයක් පුරා තමා පෙළු වේදනාව නිමා කරමින් පින්වත් පුත් කුමාරයෙක් ඉපදුනා...

ඉතින් දැන් මේ බිසොඋන්නාන්සේ අම්මා කෙනෙක්...

ඉතිං ඒ අම්මා තමන්ට පුළුවං විදියට වැදුං ගෙයි කටයුතුත් තමන් විසින්ම කොරගෙන අර දරුවා මෙලොවට බිහි කලා..

වැදුං ගේ කිව්වට මොකද හරිනං කියන්න වෙන්නේ වැදුං ගහේ කටයුතු කියලා තමයි ඕං...

අවසානයේ මේ අම්මා ඒ වෙලාවෙම තමන්ගේ පුත් කුමාරයාට නම තිබ්බා උදේනි කියලා...

වරුසාව නිමා කරමින්..මහා සුළං අවසන් කරමින්...කළුවර දුරළමින් හිරු එළියත් සමග උපන් උදේනි රජකුමරුවාගේ උත්පත්තිය සිද්ධ උනේ ඔන්න ඔහොම තමයි...

මාරයා කියන බණ කථාව...මාළිගාවේ විලාපය...

හා ඔන්න ඉතින් ආයෙමත් වතාවක් බණ කතන්දරෙ පටන් ගන්ට තමයි මෙ තනන්නේ...

කෝ කස්ටිය ඈනුමක් කාරිය ඇරලා ලක ලැහැස්ති උනානං කතන්දරේ අහන්ට...

ආ තව අනතුරු ඇගවීමක් නං කොරන්ට ඕනෑමයි..ඔය අපේ සොඳුරු උපාසක අම්මා බණ අහන ඈයොන්ට සංගරහයක් කොරන්ට කියලා කෝපි හැලියකුත් ඇන්න ආවා මං බලාන..

හැබැයි පුතෝ ඕවා බීලා ඊළගට විඳින්ට වෙන කරදරවලටනං ඕන්න මං නං වග කියන්නේ නැහැ..ඕං කිව්වා...

හරි ඉතින් අපි ආයෙත් කතාවට යමුකෝ...

ඉතින් දැන් අපේ අර තාපසතුමන්ලාගේ ඉතිරි වෙච්ච තාපසතුමා..තමුන්ගේ හිතමිතුරු තාපසතුමාගේ වියෝවත් බණ දහමට අනුව විඳ දරාගෙන දැන් තනි පංගලමේ බණ භාවනාවේ යෙදිලා ඉන්නවා..

ඉතින් මේ අතරේ අර මිය පරලොව යන්ට යෙදුණු අපේ අනිත් තාපසතුමා තමුන් කොරගත්ත පිං දහං අනුව දිවියලෝකේ බොහෝම සැප සම්පත් ඇතිව දිවිය කුමාරයෙක් වෙලා ඉපදිලා නෙව..එහ්නං..

ඉතින් මෙ දිවිය කුමාරයා තමුන්ට පහළ වෙලා තියෙන දිවිය සැපසම්පත් දිහා බලලා එහෙම කල්පනා කොරනවා අහවල් කාරුණාවක් හින්දද මට මේ තරමේ සම්පත්තියක් පහල උනේ කියලා...

අන්න ඉතින් එතකොට පේනවා තමුන් පෙර භවයේ තාපසයෙක් විදියට බොහෝම තදින් ආරක්ෂා කොරගත්තු ශිලයට පලවිපාක ලෙසට මේ හැම සැප සම්පතක්ම තමන්ගේ ඉහේ කඩං වැටිච්ච විත්තිය..
ආ..ඒ විතරක් නෙවෙයි ඒ අතරෙම දැක්කා නෙව තමුන්ගේ මිත්තරයා..ඒ කිව්වේ අර අනික් තාපසතුමා..තාමත් අර "දුර ඝන වනන්තරේ ලොව ඈත කෙළවරේ..සැළලිහිණි ගිරා බටිති මලිති රෑනක් අතරේ.."බොහෝම නිවාඩු පාඩුවේ තාමත් බණ භාවනාවේ යෙදිලා ඉන්න විත්තියත්...

ඉතින් මෙ දිවියකුමාරයා ඒක දැකලා නිකං හිටියැයි..නෑනේ..

ඒ උන්නාන්සේ කල්පනා කෙරුවා ගෙහුං තමුන්ගේ මිත්තරයාගේ දුක සැප විමසංට කියලා..ඉතිං එහෙම හිතලා තමුන්ගේ දිවිය ලීලාව අතහැරලා බොහෝම අසරණ දුගී වේසයක් මවාගෙන..ගියා නෙව අර තාපසතුමා මුණ ගැහෙන්ට..

ඉතිං ඒ ගෙහුං අර තාපසතුමා මුණ ගැහිලා කාරිය ආ ගිය තොරතුරු ටිකක් හෙම අහලා කොරලා..පස්සෙන් පහු තමුන් කවුදෑ කියන කාරණාවත් පැහැදිලි කරලා දුන්නා...

ඉතින් ඒ විතරක් නෙවෙයි තමුන්ට කොරාපු පිනේ බලමහිමයෙන් ලැබිලා තියෙන දිවිය සැප සම්පත් ගැන එහෙමත් කියලා තව තවත් අර තාපසතුමාව උනන්දු කොලා..මොකටද..අර රැක්ක ශීලය තව දුරටත් හොඳින් රැකගෙන එන්ට..ආන්න එහෙම අයටයි මිත්තරයෝ කියන්නේ...

ඉතින් ඒ විතරක් නෙවෙයි යන්ට ලෑස්ති වෙලා ඇහැවුවා තාපසතුමාට තියෙන කරදර හිරිහැර එහෙම මොනවදැයි කියලා...

අනේ ඉතිං ඒ වෙලාවේ අපේ තාපසතුමාට කියන්න කියලා තිබුනේ එකම කරදරයයි..ඒ තමයි මෙ අල්ල පනල්ලේ නිතර ගැවසෙන මහා අලි ඇතුන් රංචුවකින් තමන්ට තියෙන හිරිහැරය..

එව්වෝ නිතරම මේ අසපුව ආසන්නයට ඇවිදින්..ඒ අහ විනාශ කොරලා යනවා නෙව...

අන්න ඒ කාරණේ දැනගත්තම අපේ අර දිවියකුමාර තෙමේ..හරි අපූරු මන්තරයකුයි..තත් තුනක් ඇති වීණාවකුයි අපේ තාපසතුමාට දීලා ඒක පාවිච්චි කොරනා පිළිවෙලත් කියා දීලා නොපෙනී යන්ට ගියා...

ආ දැන් මේ ඇත්තෝ දන්නවා නෙව මෙ මන්තරේ නමයි වීණාවේ නමයි..

ඔව් ඔව්..හස්තිකාන්ත මන්තරෙයි..හස්තිකාන්ත වීණාවයි තමයි...

ඉතිං මේක කිරියාත්මක කොරන්නේ මෙහෙමයි..යම් කිසි අවස්ථාවක තමුන්ට අලි රංචුවකින් කරදරයක් හිරි හැරයක් වේගන එනකොට අර වීණාවේ පළවෙනි තත වයන ගමන් අර මන්තරේ කියන්ට තමයි තියෙන්නේ..

ආයේ ඉතින් අලි නෙවෙයි අහල පහලක ඉන්නේ..ඇරු කියලා දුවනවා පස්ස නොබලාම..

දෙවෙනි තත පිරිමැදලා මන්තරේ කිව්වහම අර දුවන අලි ආපස්ස හැරිලා බලන ගමන් දුවනවා...

අවසාන එහෙමත් නැතිනං තුන්වෙනි තත වයන ගමන් අර මන්තරේම ජප කොළහම අර දුවගෙන ගිය අලි ආපහු හැරිලා බොහෝම යටහත් පහත්ව තමුන් ළගට එනවා..ඒ ඇවිදිල්ලා ඒ අලි ඇත් රංචුවේ ඉන්න නායක ඇතා තමුන් ගාවට ඇවිත් දණ ගහලා යටහත් පහත්ව සිටිනවා... ආන්න ඒ වෙලාවට අර දණ ගහපු නායක ඇත් රජාගේ පිට මතට ගොඩ උනාට පස්සේ තමුන් කියන ඕනෑම දෙයක් අර ඇත් රංචුව ලව්වා කරවගන්ට පුළුවන්...

දැන් හරි නෙව..මේ කිව්ව කරුණු කාරණා හොඳට මතකයිනේ... මේ ඇත්තංට...

හරි එහෙමනං අපි ඒ මතකය එහෙමම තියාගෙන දැන් ආපහු හැරෙනවා ඒ කාල වකවානුවේ දඹදිව කොසඹෑ නුවර රජකං කොළ පරන්තප කියන රජ්ජුරුවන්ගේ මාළිගාව දිහාවට...

අන්න දැන් මේ ඇත්තන්ට පේනවද..අර රජ මාළිගාවේ ඉහළ මාළයේ හවස් අතේ සැන්දෑ සිරි නරඹමින් රජතුමයි ..දේවියයි..පරිවාර ඇත්තොයි බොහෝම සතුටින් කල් ගත කොරන ආකාරය...මොකක් කිව්වා..පේනවා හොරයි..හා හා එහෙනං ටිකක් සූම් කරලා බලන්ට සූම් කරලා බලන්ට...

ආ..ඔන්න දැන් යස අපූරුවට පේනවා නෙව...

ඉතින් මොකක් නමුත් අමුත්තක් ඔයාලට පේනවාද..

ඔව්..ඒ අමුත්ත තමා මේ අපේ දේවීන්නාන්සේ බඩදරු වෙලා..ඒ කියන්නේ ගැබ්බර වෙලා නෙව ඉන්නේ...
පේනවා නේද..බොහෝම පින් පාටට තෙල් පෑදිලා ඉන්න අපූරුව...

ඒ විතරක්යෑ..අර දේවින්නාන්සේ පොරවාන ඉන්න රතු පාට අර සළුව කොයි තරං අපූරුද..අපූරු විතරක් නෙවෙයි හරි වටිනවා..ඔව් ඔව්..

ඒ විතරක්යෑ..අර උන්නාන්සේ අතේ පැළදං ඉන්න පේරැස් මුදුව..ඕක විතරක් ලක්ෂයක් වටිනවා කියලා තමයි තක්සේරු කොරලා තිබුනේ..

හරිනං ඕක මේ වෙලාවේ තියෙන්ට ඕන රජ්ජුරුවන්ගේ ඇගිල්ලේ තමයි..ඒත් ඉතිං දන්නේ නැද්ද මේ වෙලාවෙ රජ්ජුරුවන්ගේ හිතේ තියෙන සංතෝෂෙටයි, රජ බිසඋන්නාන්සේගේ හිතේ ඇති වෙච්ච මනාපෙටයි අනුව ඒක රජ්ජුරුවන්ගෙන් ඉල්ලගෙන බිසොඋන්නාන්සේ පැළදගෙන ඉන්නවා නෙව..

දන්නේ නැද්ද ඉතිං ආලවන්ත කොම ඉහවහා ගියාම අතේ තියෙන මුද්ද විතරක්යෑ..අපිනං මේ බොක්කේ තියෙන දේවළුත් ඇදලා දෙනවා නෙව...

අනේ ඉතිං මේ උදවිය හරි සතුටෙන් තමයි මේ හවස් අතේ උන්නේ..

ඔය ඇත්තෝ දන්නවනේ..ඕනම සතුටු සීන් එකක් කාබාසිනියා කොරලා දාන්න ඇහැකි උදවියත් මේ ලෝකේ එමටයි නෙව..

අන්න ඒ වගේ පින්වතුනි..දැන් මෙන්න මේ පිරීතිදායක අවස්ථාවේ මෙතනටත් එනවා නෙව ඒ ජාතියේ කඩාකප්පල් කාරයෙක්..

ආයේ ඉතිං එසේ මෙසේ භාණ්ඩයක් නෙවී...
අලි ඇත්තු පවා උස්සං යන ජාතියේ රියල් භාණ්ඩයක්...

ඇත්කඳ ලිහිණියෙක්...උඩ බලාපු කවුදෝ කෙනෙක් මේ ආකාහේ දෙබෑ කොරගෙන එන මහ විශාල සත්වයාව දුටුවා නෙව..ඒ දැකපු පාර මර ලතෝනි දීගෙන දුවන්ට පටන් ගත්තා සඳළු තලේ ඉඳලා මාළිගාවේ ඇතුල් කාමරයකට..
මේකට කලබොල වෙච්ච අනිත් උදවියත් හිටු කියලා විලාප දීගෙන පැනලා දුවපි...

ඒත් පින්වතුනි මෙන්න මේ අවස්ථාවේ..හරිම කණගාටුදායක දෙයක් සිද්ධ උනා...

අත පය හයිය හත්තිය තිබුණු හැමෝම පැනලා දිව්වට මොකෝ..
අර බඩදරු අම්මණ්ඩි..ඒ කිව්වේ මෙ බිසොඋන්නාන්සේ අර සඳළුතලය මත දුවා ගන්න බැරිවෙලා ඇදගෙන වැටෙනවා නෙව..හනෙ හපුච්චේ..

ඊගහක වේගයෙන් අර දැවැන්ත ඇත්කඳ ලිහිණියා සඳළු තලේට පාත් වෙනවා..ඇයි අර බිසඋන්නාන්සේ පෙරවගෙන ඉන්න රතුපැහැති සළුව නිසා අර දැවැන්තයාට දැන් බිසඋන්නාන්සේ පේන්නේ රතුපාට මස් වැදැල්ලක් වගේ නෙව...

අනේ අර අසරණ දේවීන්නාන්සේ කිසිවක් කරකියාගත නොහැකිව දැන් සඳළු තලය මත අසරණ වෙලා...
එහෙන් මකරාක්ෂයා වගේ හෙන හඩ නගමින් එන ඇත්කඳ ලිහිණියා...

කොහොම බලන් ඉන්නද දෙයියනේ මෙව්වා...

22 November 2010

මාරයා කියන බණ කතන්දරේ...රජවරු දෙන්නෙක්...

ඔන්න ඉතින් ඊයේ පෝය දවසේ පොරොන්දු උන ආකාරයටම..අද මං පටන් ගන්නයි හදන්නේ කතාන්තරේ කියන්ට...

හ්ම්ම්...
මට ඉතින් ඊයේ පටන් ගත්ත තැනදීම පොඩි පොඩි වැරදි ටිකක් වෙලා තිබුනා..හැබැයි බෝහෝම ඉක්මනට ඒවා දැකපු කිහිප දෙනෙක්ම ඒ වැරදි පෙන්නලා දීලා මට උදව් කලා..ඒ හින්දා දැන් ඒ වැරදි නිවැරදි කරලා තමයි තියෙන්නේ..

ඒත් තව වෙච්ච වැරැද්දක් තිබුණා කාටවත් නොපෙනිච්ච..
ඒ තමයි මම ඊයේ ලිව්වෙ..උදේනි නුවර උදේනි රජ්ජුරුවෝ කියලා නෙව..ඒකත් වෙනස් වෙන්ට ඔනෑ..කොසඹෑ නුවර කියලා..එහ්නං..

හරි ඉතින් ඔය වැරදි අඩු පාඩුකං එහෙම හදා කියාගෙන අපි බහිමුකෝ කතාවට...

ආ තව එකක් කියන්ට ඔනෑ..මෙක දෙසාගෙන යනකොට මගේ වයර් මාරු වෙලා ඔය වෙන වෙන කතා මෙකට බට් වෙන්ටත්.. මෙකේ තියෙන අතුරු කතා පුවත් හැලිලා යන්ටත් ඉඩ තියේ..ඒවත් ඉතින් ඉවසා වදාරන්ට ඕන..

මොනවා උනත් වැදගත් දේ.. නොදන්න දෙයක් යම් තරමකින් හරි දැන ගැනීම නෙව...

කාට හරි මේ කතා හරියටම දැන ගන්ට ඕනනං ඒකටත් කොරමයක් තියේ..
ඒ තමයි සද්ධම්මරතනාවලිය බලන එක...

සද්ධම්මරතනාවලිය කියන්නේ බොහෝම අනර්ඝ පුස්තකයක් නෙව..මෙ අපේ ධර්මසේන හිමියන් විසින් රචිත...

හ්ම්ම්..හරි එහෙනං කට්ටියත් එක්කම යමු අතීතෙට...

ඉතින් ඔන්න එකෝමත් එක කාලයක..එහෙම කිව්වට මොකද.. මෙ කාලය ඇවිල්ලා බුද්ධොත්පාද කාලයට ඒ කිව්වේ මේ අපේ සම්මා සම්බුද්ධ සර්වඥ රාජයානන් වහන්සේ...මෙ ලොකේ පහළ වෙන්ට ආසන්න කාල වකවානුවේ තමයි ඕං...

ඉතින් මේ කාලේ දඹදිව එක්තරා වනාන්තරයක හිටියා තාපසවරු දෙන්නෙක්...

මේ දෙන්නා බොහෝම හොඳ මිත්තරයෝ...
මට මතක හැටියට මේ දෙන්නම හිටපු රජවරු..
රජවරු උනාට මොකද රජකම ගැනයි..ජීවිතේ ගැනයි බොහෝම කලකිරිලා දෙන්නත් එක්කම තපසට යනවා...

ඉතින් මුලදී මේ දෙන්නා එකටම තපසට ගියාට මොකද..?
රැකුන තපසකුත්, කෙරුණු බණ භාවනාවකුත් නැහැ..

දෙන්නත් එක්ක නිතරම එකතු වෙලා කතා බහ කොර කොර හිටියා ඇරෙන්න..
හැබැයි මේ දෙන්නටම බොහෝම ඉක්මනට මේ වැඩේ හරියන්නේ නැහැ කියලා තේරුනා...

ඒ හින්දා දෙන්න සාකච්ඡා කොරගත්තා ටිකක් දෙපැත්තට වෙලා ජීවත් වෙන්න...

එහෙම හිතලා ටිකක් දුරට වෙන්න පිහිටි කඳු ගැට දෙකක වෙන වෙනම නැවතිලා බණ භාවනා කොරන්න තියා ගත්තා...

හැබැයි මේ කඳු දෙක පෙනෙන තෙක්මානයේ තමයි තිබුණේ...
ඒ කියන්නේ මේ කන්දට අර කන්ද පේනවා..අර කන්දට මේ කන්ද පේනවා..

මුලදි මුලදි..දවසකට වතාවක් හරි දෙන්නා මුණ ගැහිලා පොඩි කතා බහක් දැම්මා..පස්සේ පස්සේ ඒක මාසයකට වතාවක් විතර සිද්ධ වෙන තරමට දෙන්නට දෙන්නා නීති රීති දමා ගත්තා...

අන්තිමට මක්කැයි උනේ...?

දෙන්නා නීතියක් දමා ගත්තා..ආයේ කවදාකවත් දෙන්නා මුණ නොගැහෙන්ට...
හැබැයි සෑම මාසෙකටම සැරයක් පොහෝ දවසට දෙන්නා ගිනි මැලයක් ගහන්ට නියම කර ගත්තා...

ඉතින් මේ ගිනි මැලේ දුම් කඳ දකින අනිත් කන්දේ ඉන්න තාපසතුමා දන්නවා අර කන්දේ ඉන්න තාපසතුමා අතුරු ආන්තරාවක් නැතිව යහතින් ඉන්නවා කියලා...

මෙහෙම දෙන්නට දෙන්නා මාසෙකට වතාවක් කඳු දෙකේ ගිනි මැලයක් ගහලා අනිත් කන්දෙන් නගින දුම් කඳ දැකලා දෙන්නාම සුවෙන් කියලා අවබෝධ කරගෙන තමන්ගේ පාඩුවේ භාවනා කරමින් ජීවත් වෙනවා...

මෙහෙම කාලයක් ගත වෙලා ගියා.....................

එක දවසක් මොකද උනේ..?

අර එක කන්දකින් මාසෙකට වතාවක් නගින දුම් කඳ එඳා නැග්ගේ නැහැ..පින්වතුනි...

හපොයි සංසාරෙක හැටි...අර කන්ද දිහා දවසම බලාන උන්න අනිත් තාපසතුමා තේරුම් ගත්තා තමාගේ ප්‍රාණසම මිත්තරයාට මොකාක් නමුත් කරදරයක් තමා කියලා...

එහෙම හිතලා පහුවදා උදෑසනින්ම ගියා බලන්ට අර කඳු ගැටයට...

අනේ ඉතින් ඒ යන කොට වෙන්ට ඕන දේ වෙලා අහවරයි...
අර තාපසතුමා මිය පරළව ගොහින්...

21 November 2010

මාර ජීවිතේ සහ බණ කතා...

අද ඉතිං වැඩ දවසක්..ඉරිදා උනාට අපි වැඩ...
හැබැයි ඉතින් කරන්න කියලනං ඇති වැඩක් නැහැ. ඔහේ වෙන දෙයක් බලාගෙන දෙන දෙයක්..ආ නැහැ..උයාගෙන මංම බාස්කට් එකට ඛෙදාගෙන ආව කෑම එකත් කාලා ඔහේ ඉන්න තමයි තියෙන්නේ...

පහුගිය කාලෙනං මම කෑම කෑවෙ අර කලිං මම නමක අරුත පහදා දුන් රමණි අක්කාගේ කේටරින් සර්විස් එකෙන් තමයි..ඒත් නොවැලැක්විය හැකි හේතූන් මත දැන් ඉතින් මං තුමාම උයා පිහාගෙන ඇවිත් දෙසා බානවා..මක්කා කොරන්නද ඉතින්..ඔහොම තමා අපේ ජීවිත..හැබැයි ඉතින් ඒකත් නරකම නැහැ.

මොකද ඉතිං මාරයාට මාරයා උයන පිහන දේවල් දිව්‍ය බෝජන නෙව..ආයේ ඉතින් ඒවා පරාද වෙන්නේ මාරයාගේ පියාණෝ ජීවතුන් අතර හිටි සංදියේ උයා පිහාලා අනා කවාපු කෑම වේලට විතරයි...

කොහොමින් හරි ඒකෙන් මේකෙන් උනේ වෙනදා උදේ හත විතර වෙනකල් දොයියගෙන හිමීට නැගිටලා කරලා ලක ලෑස්ති වෙලා එන මංතුමාට දැන් ඉතින් උදේ පාන්දර පහමාරට විතර නැගිටින්න වෙලා තියෙනවා..

පහමාරට නැගිටලා මූණ කට එහෙම හොදා ගන්නා ගමන්ම එහෙට මෙහෙට දුවලා පැනලා කෝපි එකකුත් හදාගෙන බීලා..බතක් මාළු පිණී දෙක තුනක් එක්ක බයියං ටික උයා පිහාගෙන..ඒක මගේ කෑම බාස්කට් එකට ඛෙදලා කරලා..සැවුල එහෙම කපලා නාලා කරලා..අර ඉතිරි බයියං ටික කොටා බාලා වළං පිගන් එහෙම හෝදලා කරලා.. ඇදුම් ටිකත් චුට්ටක් මැදගෙන ඇදගෙන..තවත් වෙලාව ඉතිරි වෙලා තිබුනොත් කාරිය උදේ පාන්දරම ජාලගත වෙලා එහෙම අටට දහයක් වෙද්දී ජාලෙන් අහක පැනලා ලැප් මලයාවත් උන්නැහේගේ ගමන් මල්ලට ඔබාගෙන..කෑම එකත් අරගෙන දඩි බිඩි ගාලා උඩ තට්ටුවෙන් පහලට මන්දො කොරලා..මගේ බයිසි මොටෝ එකත් ඇන්න මං වැඩට එනවා..

හරියට අටට විනාඩියක් තියලා වැඩ බාරගන්න මං ඉතින් එතන ඉදලා අර කියන්නැහේ සෑහෙන්න බිසී නෙව...

කොහොමින් කොහොම හරි උදේ දහයේ තේ එක බොන්ටත් හුගාක් වෙලාවට අමතක වෙනවා...

වැඩ ටික අහවර කරලා දාලා කැන්ටිමෙ මල්කි කෙළීට සද්දේ දාලා තේකක් එහෙම හදාගෙන බොන්ට වෙන්නේ ඉතිං එකොළහ විතර වෙලා තමයි...

එතන ඉඳන්නං ඔන්න ටිකක් විතර වට පිට බලන ගමන් වැඩ පල ටික කරගෙන යන්ට ඇහැකි..

ඔහොම තමා සතියේ දිනවල ඒ කිව්වෙ සෙනසුරාදාත් ඇතුළුව අපේ ජීවිතේ ගෙවෙන්නේ...

දැන් ඉතින් පුරා අවුරුදු දෙකකුත් මාස තුනක් විතර මංතුමා ඔය විදියට තමයි රාජකාරී...

හැබැයි ඉතින් මේ රස්සාවේ තියෙන හොඳේ තමයි..දවසක් ඇර දවසක් නිවාඩු එක..
අද උදේ අටට වැඩට ඇවිත් ආපහු ගෙදර යන්නේ පහුවදා උදේ අටට තමා ඕං..

ආන්න ඊට පස්සේ තමයි ජීවිතේ හොඳම හරිය...

නාලා කාලා රෙදි හෝදලා දාලා..උයලා පිහලා...ඉවර වෙලා එක්කෝ ජාලගත නැත්තං නිදංගත...

දවල්ට කාලා කරලා ටිකක් පාඩුවේ ඉන්න ගමන් හිතුනොත් ඔය හම්බු වෙලා තියෙන කේන්දරයක් කාරිය බලලා කරලා..හවස දෙක හමාර තුන වෙන කොට පටාන් ගන්නවා මගේ හිත මිතුරු ඇසුර..ඒ කියන්නේ ඉතින් මා සුමිතුරු මගේ මිතුරු තමයි..

අන්න එතන ඉඳලා තමයි මාරයා පිළිවෙලකට හිතන්න පටන් ගන්නේ..මාර මීටරේ වැඩ කොරන්න පටන් ගන්නේ...

හීනියට සින්දු පොජ්ජක් මන්දෝ කොරාන...නිවී හැනිහිල්ලේ සැදැ කාලය ගත කොරනවා...

මාර උන්නැහේගේ ජීවන රටාව ඔන්න ඔහොමයි...

ඒ අතරට ඉතින් ගම්පහ පැත්තේ යක්කල පැත්තේ හක්කලං කොරන්ට...පන්සලකට ගොඩ වෙන්ට...පුංචිලාගේ ගෙදරටත් මාසයකට දෙකකට සැරයක් විසිට් එකක් දාන්ටත් අමතක කොරන්නේ නැහැ...

කොහොමටත් දවස් දෙක තුනකට සැරයක් යක්කල හරි නිට්ටඹුව පැත්තට හරි ගමන් පොජ්ජ මන්දො කොරන්න වෙන්නේ යාළුවා කැන්දං එන්ට නෙව..ඒ ඇර ඉතින් මාරයා කැමති ඔහේ පාඩුවේ ජීවිතේ ගෙවන්ට තමයි...

ඉතින් අද දවසනං බොහෝම නිවී හැනහිල්ලේ ගෙවිච්චි...

.............................................................

අද පෝය ඩේ නෙව...ඉතින් බණක් දහමක් අහන්ට හරි කියන්ට හරි ඕන කියලත් හිතුනා...
ඒත් ඉතින් කොතනින් කොහොම පටාන් ගන්නද කියලා හිතාන ඉන්නකොට තමයි මට මෙන්න මේ ගාථාව සිහිපරාද උනේ...

අප්පමාදෝ අමත පදං
පමාදෝ මච්ඡුනො පදං
අප්පමත්තා න මීයන්ති
යෙ පමත්තා යථා මතා...


අහලා ඇති නෙව..
ආ මොකද නැතිව ඔය ඉන්නේ අත ඉහල දාගත්තු උපාස ඇත්තෝ ඇත්තියෝ අම්බානකට...

හරි පාත දාගම්මු..

ඉතින් මම හිතන්නේ මෙ ගාථාවෙ තේරුම නොදන්න අයනං නැතුව ඇති..ඒ තරමට මේ ගාථාව නිතර දෙවේලේ කියවෙනවා නෙව...

ඒත් ඉතින් ඕක කෙටියෙන් හරි නොකීවොත් ඒකත් අඩුවක්නේ...

ප්‍රමාද නොවූ අය ඒ කියන්නේ මෙ මම වගේ වෙලාවට වැඩ කරන අය නෙවී...
ඔය පිනට දහමට බණට භාවනාවට ප්‍රමාද නොවුන අය...
අන්න ඒ අය අමෘතය වැනි වූ අමා නිවනට යනවා නෙව..ඒ විතරක්දෑ..උන්නැහේලා මලත් ඉතින් ජීවමානව ඉන්වා වගේත් තමයි ඕං...

එතකොට ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත ඒ කියන්නේ මේ පිනට දහමට බර නොඋන උදවිය..ඒ වගේ අංශවලට නිතරම පස්ස ගහන පරක්කු වෙන උදවිය..අන්න ඒ උදවිය නිවනට යනවා තියා හිතන්නේවත් නැහැ..ජීවත් උනත් නිකං මළකඳං වගේ තමා ඕං...

ඉතින් ඔන්න ඔහොම තේරුමක් සහිත මේ ගාථාපාඨය තියෙන්නේ මගේ මතකේ හැටියට අපේ ඔය ධම්මපදය නම් වූ මහානර්ඝ පුස්තකයේ අප්‍රමාද වග්ගය කියන පොතේ දෙවෙනි කොටසේ පළමු වෙනි ගාථාව හැටියට තමයි...

මේ කවුරු කවුරුත් මතක තියා ගන්ට ඕන මාර උන්නැහේ පන්සලට ආයුබෝං කියලා දැන් අවුරුදු දෙක හමාරකුත් වෙන්ට එන එකේ..ඔය මෙමරියේ පොඩි පොඩි අප්සැට් තැන් තියෙනවා කියන එක ඒ හින්දා මට අමතක වෙච්ච දේවල් තියේනං මතක් කොරලා දෙන එකනං වටින කියන දෙයක්..හරිනේ..

ඉතින් මේ ගාථාව අහලා තිබුනාට මම හිතන්නේ නැහැ..හුගාක් ඈයෝ මේ ගාථාව පසුපස්සේ තියෙන නිධාන කතාව අහලා ඇතියි කියලා..

ඉතින් මම කල්පනා කොළේ අන්න ඒ නිධාන කතාව සුවල්පෙන් සුවල්පේ හරි කියලා දාන්ට කියලා තමයි ඕං...

සුවල්පෙන් සුවල්පේ කිව්වම මොකද කස්ටිය කලබොල උනේ..
ඇයි හත් දෙයියනේ..ඔය ගාතාව පුංචි උනාට නිධාන කතාව එහෙම ආයේ සුළු පටු නැහැ..
හප්පච්චියේ කතා වැලක්ම තියෙනවා නෙව ඕක පිටුපස්සේ...

ඉතින් කොහොම හරි අද මේ පෝය දවසේ ඉඳලා මම පටන් ගන්නංකෝ ඒ කතාවත් කියන්ට...

මුළින්ම අපි පටන් ගන්න ඕන මට මතක හැටියට සාමාවතී උත්පත්ති කතාවෙන්...

ඒකත් පටන් ගන්නේ අපේ කොසඹෑ නුවර උදේනි රජුජුරුවන්ගේ කතාවෙන් තමයි..

හා කස්ටිය අහලා තියෙනවද... හස්තිකාන්ත මන්තරේ ගැන...

20 November 2010

මගේ වල් පල්...

හුග දවසකට පස්සේ අද ගෙදරට වෙලා ටිකක් නිවීහැනහිල්ලේ හිටින්න හිතුවා...
එහෙම හිතුවට තව ටිකකින් මොනවා හිතේවිද කවුද දන්නේ..?
මොකද ටික දවසකින් ෆිල්ම් එකක් බලන්න එහෙම ගියේ නැති හින්දා එහෙම ආසාවකුත් තියෙනවා..
අන්තිමට මම බැළුවේ බඹර වලල්ල නෙව..

ඒකනං නරකම නැහැ..ඒත් ළගදී බලන්න තරං හරි හමං චිත්තරපටියක් ගැන හෝඩුවාවක් ලැබුනේ නැහැ.

ලංකාවේ සිනමාව ඉතිං බොහෝම දුක සේ ගමන් කොරන එකක් නෙව...

මට හිතෙන හැටියටනං සිනමා නිර්මාණ දුර්වල වෙන්න හුගාක් දුරට හේතු වෙන්නේ අඩු වියදමකින් නිර්මාණ කරන්න නිෂ්පාදකයින් උත්සහ කරන එක තමයි...
ඒකට ඉතිං දොස් කියන්නත් බැහැ..ලංකාවෙ තියෙන හෝල් කිහිපයෙන් තමන්ගේ චිත්තරපටිය දුවවන්න හම්බ වෙන්නේ කීයෙන් කීයකද.. මිනිස්සු කොච්චර ඒවට එයිද... දවස් කීයක් දුවවන්න පුළුවන් වේවිද කියලා හිතලා බලනකොට වැඩි වියදමක් දරලා චිත්තරපටියක් කරනවා කියන්නේ ආර්ථීක පැත්තෙන් ගත හැකි ලේසි පාසු තීරණයක්නං නෙවෙයි...

ලංකාවේ තියෙන සියළුම සිනමා ශාලාවල එක දිගට දින සීයයක් මිනිසුන්ගෙන් පිරී ඉතිරිලා යන විදියේ ෆිල්ම් එකක් දිව්වා උනත්.. මහා විශාල ආදායමක් ලබන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ.
අහලා තියෙන දේවල් අනුවනං අනිත් රටවල්වල සිනමා කරුමාන්තයත් එක්ක සංසංදනය කරලා බලන කොට ඒක ඒ තරං ලේසි පාසු දෙයක්නං නොවන වගනං මට හිතා ගත්තැකි..

මොකද ආදායම් පැත්ත කොහොම උනත් මොන රටේ හැදුවත් හොඳ චිත්තරපටියක් හදන්න සෑහෙන මුදලක් වැය වෙනවා.
ඉතින් අපේ සිනමා කරුමාන්තේ පැත්තෙන් ඒ තරං වියදමක් කරලා ලොකු අවදානමක් ගන්න කව්ද කැමති..

අනික ඉතිං කන බොන ජාති විකුණන කෙනෙක් උනත් මිනිස්සු දහයක් ඉන්න තැනක..ඒ මිනිස්සුන්ගේ අතේ තියෙන මුදලේ හැටියට කෑම හදලා විකුණනවා මිසක් ලක්ෂ ගණන් වියදං කොරලා කෑම හැදුවා කියලා ඇති වැඩක් තියෙනවයෑ...
ඉතිං අන්තිම ප්‍රතිපලය දැන් ඔය අපිට පෙන්නන ජාතියේ චිත්තරපටියක් බලනවා ඇර වෙනත් විකල්පයක් නැති වීම තමයි...

හැබැයි ඕකෙම කිවයුතු තවත් කතාවක් තියෙනවා...
ඔය නිෂ්පාදන බරපැන දැරීමටත් වඩා ලංකාවේ සිනමා කරුමාන්තේ වැටෙන්න මුල් වෙච්ච ලොකු හේතුවක් තියෙනවා..
ඒ තමයි හොඳ වස්තුබීජ මුල් කරගෙන ලියඋන විශිෂ්ඨ ගණයේ තිර පිටපත් නැති වීම...

වැඩි හරියක් ඉතිං කොල්ලයි කෙල්ලයි දුෂ්ඨයයි විකටයයි තමයි...

ඉඳලා හිටලා පොඩ්ඩක් විතර රටාවෙන් පිට පනිනවා වගේ දැනුන සමහර චිත්‍රපටවල උනත් හිටි හැටියේ මේ සුපුරුදු චරිත ටික හිටි හැටියේ මතු වෙලා මුළු කතාවම කණපිට ගහනවා...

ඇත්තටම අපේ රටේ හොඳ තිරපිටපත් නැති වීම ලොකු ප්‍රශ්නයක්...

අද පෙන්වන හුගාක් සිනමා පටවල තිරපිටපත් ලියවිලා තියෙන්නේ බොහෝ විටම එකම පිරිසක් විසින්...

ඒක හරියට අර සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යාලංකාර උනා වගේ තමයි...හැම එකේම ඔය ටික දානවනේ...

අර තිස්ස අබේසේකර මහත්තයානං ටිකක් විතර හොඳ මට්ටමේ කතා ලිව්වා..
ඒත් ඉතින් දැන් උන්නැහෙත් මිය පරලොව ගිහින් නෙව...

හැබැයි මම කතා කරන්නේ තිස්ස මහත්තයටවත් ලං වෙන්න බැරි තරං නිර්මාණාත්මකව අළුතින් හිතන තිර පිටපත් රචකයින් අපිට ඕන කියන තැන ඉඳලයි...

සිනමා කර්මාන්තය පිළිබඳව තාක්ෂණික අංශ පිළිබඳව..කැමරාව සහ කෝණ පිළිබඳවත් හොඳ දැනීමක් ඇතිව...

අපේ රටේ පොළව ගැන, ගහ කොළ, ජන ජීවිතය ගැන වගේම..මිනිස්සුන්ගේ හිත්වල තියෙන හීන ගැනත් හරියට තේරුම් ගත හැකි..

විදේස් සිනමා කෘති ගැන හොඳ අවබෝධයක් ඇතිව ලාංකීය මොඩලයක් ඇතුව ලංකාවේ ඇති අසීමිත අමුද්‍රව්‍ය හොඳින් කළමනාකරණය කරලා කතාවක් ගොඩ නගන්න පුළුවන් රචකයින්, තිරපිටපත් ලියන්නන් අද අපිට ඕන කියන එක තමයි මගේ හැගීම...

චිත්‍රපටයට වියදම්වන මුදල තීරණාත්මක සාධකයක් උනත්, මම හිතනවා තවමත් ප්‍රභල කතා වස්තූන් මත කළ හැකි අඩු වියදම් නිර්මාණ වලට අපේ සිනමාවතුළ ඉඩක් තියෙනවා කියලා...

වස්තු බීජ අපේ රටේ ඕන තරං...

ඉතිහාසය ගත්තත්...
අපේ රටේ පරිසරය ගත්තත්..
ජන ජීවිතය ගත්තත්..
මෑත කාලීන කැරළි කෝළහල ගත්තත්..
ආදරය පිළිබඳව මාතෘකා ගැන උනත්..

අපිට හොඳ කතා ගොඩ නැගිය හැකි වස්තුබීජ ඔන තරං...

මම කියන්නේ නැහැ..නිර්මාණය වාණීජද සම්භාව්‍යද කියලා රාමුවක් ඇතුලේ හැදිය යුතුද කියලා...

අනිත් කාරණය ඇයි අපි මේ හැම චිත්තරපටියක් අස්සටම සිංදු කෑලි රිංගවන්න උත්සහ කරන්නේ කියලා...
මටනං එපාම කරපු දෙයක් තමයි ඔය වැඩේ...

හොද තේමා වාදනයක්..පසුබිම් සංගීත ඛණ්ඩ චිත්‍රපටයක රූප රාමුවලට ප්‍රභල දායකත්වයක් දෙනවා මෙන්ම..දැඩි නිහැඩියාවත් ඒ තරම්ම ප්‍රභලව යොදා ගත හැකියි...

නමුත් දැන් තියෙන හුගාක් චිත්‍රපටවල හැම මොහොතේම කුමන හෝ ශබ්ද පසුබිමින් නැගෙන එක අනිවාර්යය වෙලා..
සමහර තැන්වල තියෙන පසුබිම් සංගීතයට දෙබස් පවා යටපත් වෙනවා...

සමහර විට චිත්‍රපටයේ ඇති හොඳ කමට මිනිස්සුන්ට නින්ද යන එක වළක්වන්න සංගීතය යොදා ගන්නවද මන්දා...
මොකද ඒ සංගීත ඒ තරංම කනට පීඩාකාරීයි...

මේ චිත්තර පටි ගැන කියෙව්වට මම ඕවා ගැන දන්න රෙද්දක් නැහැ...
නැත්තං තව ටිකකින් සමහරු කියයි ඔච්චර කියන එකේ උඹ හදහංකෝ කියලා..
මම මේ කිව්වේ මම හිතන හැටියි මට දැනෙන හැටියි තමා ඕං..කව්රුවත් අමනාප වෙන්න ඕන නැහැ...

කොහෙද යන්නෙ මල්ලේ පොල් කිව්වළු..මම මේ මොනවද දොඩවලා තියෙන්නේ...

ලියන්න ගියේ අද දවස ගැනනේ...

ඉතින් අද කොහේවත් යන්නේ නැතුව ඉන්න තමයි හිත කියන්නේ..
ආ ඒත් ඉතින් උයන්න එළවළු ටිකක් ගේන්නං පාර පැත්තේ යන්න ඕන...
නැත්තං කාලා හමාරයි නෙව...හාල් තුනපහනං ගෙදර තියෙනවා..ඒත් එළවළු මොනවා හරි ගේන්න ඕන..
කොහොමටත් මම මේ දවස්වල බත් කන එක ටිකක් අඩු කරලා තියෙන්නේ..ඒ වෙනුවට එළවළු වෑංජන ටිකක් වැඩියෙන් ගිලලා දානවා..ඒකේ ප්‍රතිඵල දැන් ටිකක් පේන්න තියෙනවා...පහුගිය දවස්වල 34ක් විතර වේගන ආව ඉණ දැන් 32කේ විතර තියෙනවා...ඕක කොහොම හරි 28 විතර ගන්න තිබුණනං මල් මසුරං..ඒත් ඉතිං වැඩේ ලේසි වෙන්නෙත් නැහැ. අඩුම ගානේ 30ක්වත් කර ගත්තොත්..ඒත් මදෑ..

පාන් කන එකනං දැන් අඩුම කරලයි තියෙන්නේ...ඉඳලා හිටලා කිඹුලා බනිසයක්, සීනි බනිසයක් නොකනවාම නෙවෙයි..ඒත් එකම එකයි..ඉස්සරනං උදේට බනිස් කන්න ගියොත් තුන හතරක් උනත් ගිලින්න පස්ස ගහන්නේ නැහැ නෙව..ඒත් දැන් එකම එකයි.ටිකක් බඩගින් දැනෙනවා තමයි ඒත්.. ඉවසන් ඉන්නවා...
ආරෝග්‍යා පරමා ලාභා කිව්වළු...

ගෙනාපු බෝතලේක කොටයකුත් තියෙනවාද කොහේද..?
ඒත් අද බොන්න තරං ෆිට් එකකුත් නැහැ.
හවස් වෙන කොටවත් ෆිට් එකක් එයිද කියලා බලන්න ඕන...

හොඳ ළමයෙක් වෙන්න උත්සහ කරන්න ඕන..ඒත් ඉතින් හොඳ ළමයෙක් වෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ නෙව.. අන්න එතකොට හිතෙනවා හොඳ ළමයෙක් වෙනවට වඩා මෙහෙම ඉන්නවා හොඳයි කියලා.

පෙරේදා මම පුංචි අම්මලාගේ ගෙදර ගිහින් ඒ ගමන්ම අපේ ගෙදරත් ගිහින් ආවා.
මම ගෙදර යනවා කිව්වම පුංචි අම්මා ඒ කිව්වේ අපේ අම්මාගේ නංගී...පුදුම සතුටකින් දිවුල් උරයකුත් දීපි අම්මට දෙන්න කියලා..ඉතිං ඒකත් අරං තවත් කන බොන ජාතිත් අරන් ගෙදරට ගොඩ වෙලා ආවා.

ඒ යන ගමන් තවත් වැඩක් උනා නෙව...

වෙනදට මම හෙල්මට් දාගෙන යනවා උනත් එදා උදෙන්ම නාලා ඔළුව හරියට වේළිලා නැති හින්දා පුළුවන් තරං හෙල්මට් එක ගලවලා අතේ එල්ලගෙන නෙව ගියේ..

මෙන්න ගෙදරට කිලෝ මීටරයක් විතර තියෙද්දී තවත් බයික් එකක් මගේ ඉස්සරහින් ඇවිත් මාව පහු කරගෙන ගියා..ඒත් මම එක පාරටම ඇදුනුවා ඒකේ ගිය ජෝඩුව..

මගේ හොඳම මිත්තරයෙකුයි එයාගේ භාරියාවයි නෙව..
ඒකත් මාව දැකලා අදුර ගත්තා කියලා මට තේරුණ හින්දා මම බයික් එක ස්ලෝ කරලා ආපහු හැරිලා බැළුවා..ඒක්ත් ටිකක් දුර ගිහින් ටිකක් විතර ස්ලෝ කරලා ආයෙත් හිමින් ඉස්සරහට ගිහින් ආයෙමත් නැවැත්තුවා..ඒ ගමන මම බයික් එක හරවගෙන ගියා..එයාලා ගාවට...

ඇත්තම කියන්න එපැයි මගේ යාළුවා විවාහ උනේ මගේ පරණ ගෑනු ළමයා එක්ක නෙව..
මම ඒ ළමයා ගැන මීට කළින් විස්තර කියලා තියෙනවා...

ඉතින් මේ දෙන්නා මම මහණ වෙලා ඉන්න කාලේ ඇවිත් මගෙනුත් අවසර අරන් නෙව කසාද බැන්දේ..
ඊට පස්සේ මම මෙයාලව දැක්කෙම නැහැ.මේ වෙනකල්ම..
ඉතින් අහම්ඛෙන් හරි දැක්කම නොදැක්කා වගේ යන්න මගේ හිත කිව්වේ නැහැ..
ඒ හින්දා මම හරවගෙන ගිහින් කතා කළා...

පොච්චියේ දෙන්නා දැන් තුන් දෙනා නෙව...පුංචි කෙළි පැටික්කියෙක් දෙන්නා මැද්දේ..හිනා වෙවී මා දිහා බලා ඉන්නවා..

මම කතා කලා මගේ යාළුවට..
මිනිහත් මාව දැක්ක ගමන් අඳුරලා...කුමාරිට..ආ කුමාරි කිව්වේ ඉස්සර මගේ වෙන්න හිටි..පස්සේ මගේ යාළුවගේ වෙච්ච එක්කෙනා තමයි..
ඉතින් මාව දැක්ක ගමන් කුමාරිට කිව්වළු අන්න ච...... යනවා කියලා...කොහොම උනත් වැඩි වෙලාවක් කතා කරන්න උනේ නැහැ..දෙන්නම හදිසියේ මගුල් ගෙදරක යන ගමන්...ආපහු ඉක්මනට එන්න බලාගෙන යන ගමන්..මොකද ආපහු ඇවිත් ඉක්මනට ඉස්කෝල ළමයි ටික ගේන්න බස් එක අරන් යන්න තියෙන නිසා..
කුමාරිගේ අයියාට ඒ කිව්වේ ඒ කාලේ මගේ අතිජාත මිත්තරයා වෙච්ච උන්නැහේට බස් දෙක තුනක් තියෙනවා නෙව ළමයි ගෙනියන.. ඉතින් ඒ එක බස් එකක් දුවන්නේ මේ යාළුවා ඉතින් ඉක්මනට ආපහු එන්න ඕන හින්දා මගුල් ගෙදරට එක දාගෙන එන්නයි යන්නේ..ඒ හින්දා වැඩි වෙලාවක් කතා කරන්න උනේ නැහැ.

කුමාරි එක්කත් හිනා වෙලා මාත් ආපහු හරවගෙන ගෙදරට යන්න ගියා...

ඇත්තටම මට පෙරේදා හිතට සතුටුයි...
එයා හොඳින් ඉන්නවා දැක්ක හින්දා...ඇත්තටම ඒ කෙල්ලට හරියන්න ඕන...ඒකි ඒ තරම්ම හොඳ කෙල්ලෙක්...

ඉතින් ඒ අත් දැකීමත් විඳ ගෙන ගෙදරට ගිහිල්ලා මල්ලිගේ පුතණ්ඩියා එක්කත් ඔට්ටු වෙලා මම ආපහු ගෙදරට ආවා..

ඒත් ඉතින් ඔන්න පෙරේදා ඔය සතුටට මම බිව්වෙත් නැහැ..
ඇයි ඉතින් අපි බොන්නේ දුකට නෙව..ඉතින් සතුටු වෙලාවට බොන්න හොඳ නැහැනේ...

ඉතින් පෙරේදා අමුවටම හිටියා...(මකරා විශ්වාස කොළත් නැතත්..)

අදනං තාමත් මට දුක් සීන් එකක් ආවේ නැහැ..ආවනං බොන්න තිබ්බා...

හ්ම්ම්..දැන් මම කරන්න ඕන දුක් සීන් එකක් හොයා ගන්න එක...

දැනට තියෙන ආරංචියේ හැටියට අපි ඔක්කෝටම ලබන දෙසැම්බර් 31න් පස්සේ රස්සාව නැති වෙනවා..
ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනවාරි වල ඉඳලා අපේ ආරක්ෂක අංශය මාරු කරන්න ආයතනය තීරණය කරලා කියල තමයි.

ඉතින් ඊට පස්සේ මාරයා මොනවා කරනවද කියලා තවම හිතලා නැහැ.

ඒක දුක් සීන් එකක්ද..?
හිතලා බලන්න ඕන...

18 November 2010

පන්සලේ ජීවිතේ...මෙසේ නිමා විය...

මා විසින් මෙ කතාව කියන්නට පටන්ගෙන දැන් බොහෝ කාලයක් ගෙවී ඇත..නමුදු තවමත් එය පවතිනුයේ කතාවෙහි මුල භාගයේමය..

දැනුදු නැවත ආපසු හැරී බලනා කල මා විසින් කී කතාවේ වූවද බොහෝ දේ අතපසුවී ඇති සෙයක් මට හැගේ...නමුත් නැවත ආපස්සට ගමන් කල නොහේ..එබැවින් එම කතා අතීතය සමගම වැළලෙන්නට ඉඩ හරිනවා විනා නැවතත් ඒ සඳහා කාලය මිඩංගු කිරීමට මාහට නොසිතේ...

මාරයාගේ හෝරාව..ඔව් ඒ මගේ අඩවියයි...මා මෙම අඩවිය ආරම්භ කරන්නට යෙදුණේ පන්සල් ජීවිතය පිළිබඳව සටහන් තබන්නට නොවේ..නමුත් අද වන විට වී ඇත්තේ මා සිතූ දෙයක් නොවේ..

මෙයින් වසරකට පමණ පෙර මා ගතකරමින් තිබූ ඒ අඳුරු අතීතයේ මට කාට හෝ කතා කලයුතුව තිබිණි..නමුත් ඒ සඳහා කිසිවකු මා අසල නොවීය... දිනකට තිඛෙන්නා වූ සම්පූර්ණ කාලයෙන් අඩකටත් වඩා නිරතුරුව මා හා දොඩමින් මා ළග හුන් ඇය මා තනි කොට දමා ගොස් තිබූ ඒ අඳුරු කාල සීමාව තුළ මා පෙළු තනිකම වචනයට නැගීමට මාහට නොහැකි වීම නිසා සිතේ පුපුරු ගසමින් තිබූ වේදනාව මදකින් හෝ අඩු කර ගැනීමට මට පිහිට වූයේ මීවිත පමණි...එවන් අවදියකය මා හට මෙවැනි මාධ්‍යයක් හමුවන්නට යෙදුණේ...

අඳුර තවමත් පහව ගොස් නැතද..අද මා හට මගේ හැගීම් කියාලන්නට තැනක් තිබේ... ඒ හැගීම් අසන පිරිසක් නිබඳවම මා වටා සිටී... එය කොතරම් වැදගත්ද යන්න මට සිහිවනුයේ මෙයින් වසරක් අතීතයට මතකය ගමන් කරවූ විටය..

එසේ ආරම්භයක් ලද මා අද වන විට කතා කියන්නෙකු බවට පත්ව ඇත...
ඒ කියන්නාවූ සෑම කතාවක්ම අසමින් මා අසල රැඳී සිටින්නා වූ ළබැඳී මිතුරු මිතුරියන් රැසක් අද මා අසලය..
මට සතුටු වීමට කාරණා ඇතද..මොකක්දෝ කිව නොහැකි වේදනාවක් වැනි යමක් නිබඳවම මා අසල ගැවසෙන්නාක් මෙන් දැනෙනුයේ මන්දැයි මා නොදනිමි.

ඒ කෙසේ වූවද..කිවයුතු යමක් ඇත...

මා මෙ අඩවිය ආරම්භ කරනා අවදියේ මා හට ලියන්නේ මොනවාදැයි සිතාගත නොහැකි විණි..

අවසන මා විසින් සිතට හිතෙන සෑම දෙයක්ම අකුරු වලට හරවන්නට පුරුදු වූයෙමි...මා දන්නා එකම රටාව එය විය..දේශපාලනය හා ජොතිෂ්‍යය පිළිබඳව කතා කරන්නට සිතූවෙමි නමුත් එය සිදු වූයේ අල්ප වශයෙනි.

බොහෝ ලිපි ලියවෙන්නට යෙදුණේ බමන මතිනි.

මෙසේ කරක් ගසනා අතරතුරදීය පන්සල් කතාවට මා යොමු වූයේ..එයද අහම්ඛෙන් මෙන්ය...

මම ලීවෙමි..දිගින් දිගටම ලීවෙමි...නමුත් මා සිතනා තරම් වේගයෙන් ලියන්නට මට නොහැකි වූ මුත් මා ලීවෙමි.
අවසන අද වන විට පන්සල් කතාව කියනවා තබා සිතන්නටත් බැරි තරමට මා දුර්මුඛ වී සිටින්නෙමි.

කෙසේ කීවද එය නැවත ආරම්භ කිරීම මට මහා අපහසු කාරණයක් වී ඇත...
පන්සල් ජීවිතය ගැන ලිවිමේදී බොහෝ කටුක සත්‍යයන්ට මුහුණ දීමට මාහට සිදුවෙයි..එය නවතාලිය නොහේ..

නමුත් මා ලියනා දේ නිසා සාසනයට යම් හානියක් විය හැකිබව මට සිතේ...

ඇත්තෙන්ම මා හොඳින්ම දන්නා පරිදි ඒ පහර වදින්නේ නියම වශයෙන් තිබිය යුතු සම්බුද්ධ ශාසනයට නොවන වග මා දනිතත්...
සම්බුද්ධ ශාසනය ලෙසින් අද සමාජයේ සම්මුති වශයෙන් ඇති සසුනට පහර වැදීම සිදුවන බව මට සිතුණි.

කතාව කියාගෙන යෑමේදී මේ කතාව වටා ඒකරාශි වී ඇති සෑම චරිතයක් හා සිදු වීමක්ම විස්තර කරලිය යුතු වේ..නොඑසේනම් එම කතාවට එය බලවත් අසාධාරණයක් වන්නේ සිදු වූ දෙය ඔබ මනසේ වැරදි ආකාරයට චිත්‍රණය වන්නට ඉඩ ඇති නිසාය...

නමුත් කතාවක් කියන්නට යැයි කියා අදටත් ජීවත්වන්නා වූ පුද්ගලයින් පිරිසකට යම් තරමකින් හෝ අපහාසයක් උපහාසයක් කැලීම මා හට යුතු නොවේ..

එසේම අදටත් මා විශ්වාස කරන්නවූ පරිදි දැනට පවතිනු ලබන සසුනේ ස්වරූපය කෙබඳු වූවද එයින්ද සමාජයට සිදුවන්නේ ඉමහත් සේවයකි. මා ලියන්නා වූ දේ නිසා ඒ සසුනට සුළු හෝ හානියක් වන්නේ නම් එය බරපතල වරදකි.

මා ටැබූ නොවේ..එහෙයින් සමාජය විසින් කතා නොකරන දේ කතා කිරීමට මා හට ඇති විශේෂ අවශ්‍යතාවයක්ද නැත...

එබැවින්...

පන්සල් ජීවිතේ පිළිබඳව ලියවෙන ලිපි මාලාව පිළිබඳව මා තීරණයක් ගත යුතු බව මා හට සිතුණි.

අදවන විට මා වටා සිටින්නා වූ පාඨක පිරිස පිළිබඳව සලකා බැලීමේදී එය ඉතා දුෂ්කර තීරණයක් වේ.
මන්ද පන්සල් කතාව නැති විට හෙට දින වන විට ඔවුන් සියළුම දෙනා මෙම අඩවියෙන් දුරස්වන්නට හැක...

එවිට අදින් වසරකට උඩදී මා පෙළු තනිකම පාළුව...අන්ධකාරය නැවත මා වටා සැරි සරනු ඇත...එය විඳීමට පහසු නැත...

දිගින් දිගටම පන්සල් කතාව කියාගෙන යෑමද සුදුසු නොවන බව සිත කියයි.

මා රහත් වී නොමැත..රහත් වනවා තබා ඒ මාර්ගයට හෝ පිවිස නැත...මා හට තිඛෙන්නේ යම් අවබෝධයක් පමණි.ඒ අවබෝධයට අනුව අදවන විට මා සිටිනා තැන තේරුම් ගැනීමට උත්සහ කලෙමි..

මට යමක් අවබෝධ විය..එනම් මා පාඨක ප්‍රතිචාර වලට ලොල්වෙමින් පවතිනු ලබන බවයි...
එය වරදක් යැයි කිව නොහැක..පෘතග්ජන ස්වභාවය එයයි.
නමුදු බොහෝ දේ අතහරින්ට උත්සහ කළ යුතුව තිබියදී..තව තවත් දේ සඳහා බැඳීම් ඇති කරගැනීමට උත්සහ නොකළ යුතුව තිබිණි.

ගිහිව සිටි මුල් අවදියේ මා බොහෝ බැඳීම් රැසකින් සැදුම් ලද්දෙකු වීමි...
එක් දිනක මා ගිහි දිවියේ වූ බැමි සෑහෙන ප්‍රමාණයක් බිඳලමින් ගිහි ගෙය හැරපියා ආවෙමි...

එයින් ලද සුවය බොහෝය...
පසුව පැවිදි වීමි...එහිදීද බැදීම් යම් තරමකින් අඩු කරන්නට හැකි වූවද නොදැනීම නවමු ආකාරයේ බැඳීම් රැසක මා බැඳී ඇති බව මට අවබෝධ වූයේ පැවිදි දිවියෙන් සමුගන්නට තීරණය කරන්නට අවස්ථාව උදා වූ පසුවය..

අසීරුවෙන් හෝ එම බැඳීම්ද බිඳ ලමින් මා නැවත ගිහිවීමි.

නැවතත් බැදීමක් විය..ඒ මා සිතනා ආකාරයටනම් මාගේ මුළු ජීවිත කාලයේදීම මා වැඩියෙන්ම යම් දෙයකට බැඳුනු අවස්ථාව විය..
එය ආදර සම්බන්ධයක් විය...ඒ තුළ සිරව සිටි මාහට එම බැඳීමේ තරම පෙනුනේ සම්බන්ධය බිඳී ගිය පසුව විය...

එය එතරම්ම මා සිර කොට බැඳ දමා තිබිණි...අදටත් එම රැහැන් පටවල් මාගේ හදවතටම කිඳා බැස එහිද තදින් වෙළී ඇත..විටින් විට හදවත සිරකරමින් බැඳීමේ තරම මාහට පෙන්වා දෙනු ලබයි.

එසේ සිටිනු ලබන්නා වූ මා උත්සහ කළ යුත්තේ එම බැඳීමත් අවම කරලීම පිණිස විනා තව තවත් බැඳීම් වලට හසුවීම නොවේ...

එසේ හෙයින් ප්‍රතිචාර නැමැති බැඳීම සඳහා පන්සල් කතාව කිවයුතු නොවේ යැයි මට සිතේ...
පන්සල් කතාව නිතරම පාඨක අවධානය රඳවාගැනීමේ සමත් බව මා හොඳින්ම දනිමි. ඉදිරියටත් එය කරගෙන යන්නේ නම් එය එසේම විය හැක...

නමුත් අපහසුවෙන් හෝ තීරණයක් ගත යුතුය...

එබැවින් පාඨක ප්‍රතිචාර නැමැති දේ වෙනුවෙන් පන්සල් කතාව ලිවීම අවසන් කළයුතුව ඇත...

සියල්ලෝම කමත්වා...

හෙට සිට මාරයාගේ හෝරාව යනු පාඨකයින් ගොඩවදින අඩවියක් නොවූවද...
මා මිතුරන් මට බැණ වැදුනද...
මා ලියනා අනෙකුත් සටහන් කියවීමට කිසිවෙකුත් නොමැතිවන තත්වයක් යටතේ වූවද...

පන්සල් කතාව අදින් නිම වේ...

ජීවිතයේ අසීරු තීරණයක් ගත් පසුව දැනෙන හැගීම ඔබ විඳ ඇද්ද..?හ්ම්ම්ම්.........

14 November 2010

මාරයා පැවිදිවෙයි...

කේසා, ලෝමා, නඛා ,දන්තා,තචෝ..

තචපංචකය කියමින් හිස බානා අයුරු...
ඔයාලට පේනවද ආවාසය පිටුපස බිත්ති එහෙම කොයි තරම් අබලන් තත්වයේද තියෙන්නේ කියලා..

මම පහුගිය ටිකේම පන්සලේ කතාව නොලියා හිටියේ මෙ පින්තූර ටිට හොයා ගන්නකං..
අන්තිමට හම්බ උනා..මගේ මහණ පිංකමෙ පින්තූර තිහක් විතර තියෙනවා..ඒත් ඒ හැම එකක්ම දාන්න විදියක් නැහැ..රටෙ හුගාක් අය දන්න කියන හාමුදුරුවරු එහෙමත් ඉන්නවනේ..ඒ හින්දා තෝරා ගත්තු පින්තූර කිහිපයක් දාන්න තීරණය කලා..
ඉතින් ළගදීම පන්සල් කතාවෙ පළමු කොටසේ අවසන් කතාව දානවා..ඒ තමයි පැවිදීවීම...



මාරයා හරහා රවී වෙත සුභපැතුම්...!

ඉතින් රවි අයියේ අද බොලාගේ ජන්ම දිනේ කියලා මට රිපෝට් එකක් ආවා නෙව..

මොකක් ඇහැව්වා...? කව්ද රිපෝට් එක දුන්නේ..?

ආපෝ අයියේ ඒවා එහෙම කියනවද..? අනික ඒක දුන්න එක්කෙනා කිව්වා මක්කොරලවත් එයා කිව්වාය කියලානං කියන්ට එපාය කියලා. ඉතින් එහෙව් එකේ අයියේ ඒක කියන එක හරි නැහැ නෙව..

අනික ඉතින් මාරයා කියන්නේ නැහැ කියලා කිව්වොත් කියන්නේ නැහැම තමා ඕං...

ඉතින් මෙ වැඩෙ මාරයාටම භාර දුන්නේ ඔය වගේ වැඩවලට මාරයා කප් ගහපු පොරක් වග දන්න කියන කෙනෙක් හින්දා තමයි...

මොකද ඔය වගේ වැඩක් මෙයිට කළිනුත් මාරයා ටිප් ටොප් එකට කළා කියලා මුළු රට තොට ඒ කිව්වෙ මෙ පාතරට විතරක් නෙවෙයි කන්ද උඩරටටත් ආරංචි වෙලාය කියලානේ කාරණා කාරණා දන්න අය කියන්නේ...

අම්මේ අපරාදේ කියන්න ඔන නැහැ ඒ වතාවෙනං මාරයා හිස් ගෙඩිය බේරා ගත්තෙත් අනූනවයයි දශම කාලෙන් නෙව..

ඔය උඩහ පළාත්වල අයට උදව් උපකාර කොරන්න ගියහම ඔහොමම තමයි...

ඉතින් රවී අයියේ උඹලැහැ ඇවිත් මෙ බ්ලොග් අවකාශයේ ඉන්න ඉස්තරම්ම රසවතෙක් වෙච්චි..
හොඳ කයියෙක් වෙච්චි..අපි හැමෝගෙම ගරු සම්මානයට පාත්තර වෙච්චි රටෙ තොටෙ අත්දැකිම් බහුල වෙච්චි හොඳ දැන උගතා වෙච්චි..ඉතින් අයියේ බොලාගේ ජන්ම දිනේට අපි සුභ පතන්නේ නැතිව ආයේ වෙන කවුරු සුභ පතන්ටද..?එහ්නං...

මට ඉතින් මෙ කොන්තරාත්තුව බාර දුන්න උන්දෑනං කිව්වේ උඹැහැ මෙ දවස්වල බොහෝම තනිකං දෝසෙන් පෙලි පෙලි ඉන්නවා කියන එක තමා..ඕවා ඉතින් අපිට වඩා ඒ ඇත්තියොම තමා හොඳින් දන්නේ කියන්නේ...

මොනවා උනත් ඉතින් අයියේ උඹට මේ ලබන්නා වූ වරුසේ බොහෝම වාසනාවන්ත එකක් වෙන්ට ඕන...
ඔන්න මාරයා උඹලැහැට මුළු හදවතින්ම සුභ පතනවා...

ඒ විතරක් නෙවෙයි උඹලැහැට සුභ පැතුම් එක් කොරන්ට අපි කවුරු කවුරුත් එක්කාසු වෙනවා...ඒ කිව්වේ මෙ බ්ලොග් ලියන කියවන අපේ ආරේ අපේ උන් කවුරු කවුරුත්..

ඒ අතරම විශේෂ සුභ පැතුමකුත් තියෙනවා..

කරුමෙකට තියෙන්නේ මට ඒ සුභ පැතුම කාගෙන්ද කියලා කියන්ට තහනං ඕං..උඹම හිතා ගනින්කෝ අයියණ්ඩි..
ආ..ඒ විතරක්නං මදෑ හෙට අනිද්දාට ඔය තැපැල් සේවය මගින්ම උපන්දින තිළිණයක් හැටියට කොට්ට උර කිහිපයක් සහිත පාර්සලයක් ලැඛෙන්ටත් ඉඩ තියේ..ඒ හින්දා ටිකක් පාර බලං හිටින්..

මෙයිට වඩා දෙයක් උඹ වෙනුවෙන් අපිට කොරන්න බැහැ..නැත්තං ඉතින් වළව්වෙන් කොහෙල්මල් වෑංජනෙත් එක්කම බත් ඩිංගිත්තක් කාලා යන්ටවත් ආරාධනා කොරන්ට තිබුනා..ඒත් ඉතින් මේ අවුරුද්දේ ඒක කොරන්ට විදියක් නැතුවා ලබන අවුරුද්දේවත් බලමු.
එහෙම කිව්වට සමහර විට උඹලැහැම අපිට ආරාධනා කොරන්ටත් ඉඩ තියේ

"මාරයා මලේ වරෙං අපේ මැණිකෙලගේ වළව්ව පැත්තේ බත් ඩිංගිත්තක් කාලා යන්ට" කියලා..අනේ ඉතින් එහෙමවත් වෙනවානං ඔන්න අපි බොහෝම සංතෝෂ වෙනවා..

ඉතින් මෙයිට වඩා තවත් ලියන්ට දේවල් තියෙනවා උනත් බැරිවෙලාවත් මගේ අතින් මට මේ කොන්තරාත්තුව භාර දුන්න ඇත්තිගේ නම ගම පළාත කියවෙන්ට ඉඩ තියෙන හින්දා මෙයින් නවතින්නං

රවි අයියේ උඹට සුභ මංගලම්...!

12 November 2010

නොනිමි කවිය ලියනු මැනවි...

නුඹට තැනූ යහනේ තනිවී රැයක..
අවපැහැ ගැනුණු කොට්ටය සිරකර හිසට..
ගලනට නොදී සිරඋණු කඳුළක ගමන..
තවමත් හිදින්නෙමි සිහිකරමින් මතක..

යන්නට ගියත් නොකියා ඔබ මට රහසේ..
වෙන් වෙන බවක් නෑ පෙර කිසිවිට කීවේ..
ඉන්නට නොහැක ඉවසා පාළුව මහදේ..
එන්නේ කවදාද යළි මා වෙත පෙරසේ..

අවසන් නොවූ කවි පදයක අකුරු වැල..
තාමත් හඩ තලයි පන්හිඳ නිදි නැතිව..
වෙන්උන සිතක් ළග හඩමින් මා තවම..
ඉන්නෙමි බලාගෙන ඔබ ඒ යැයි විගස..

පුරුදු පදම...

අද දවසේ තුන්වැනි ලිපිය තමයි ලියැවෙන්නේ...

පළමු එක ලිව්වේ කේන්දරයක් බලන්න හිතිලා ඇත්තටම මට ඔන උනේ ආරම්භයක් ගන්න...

මොකද ටික දවසකින් ටිකක් විතර නිදහසේ ඉන්න හම්බ උනේ නැති හින්දා..
ඊ ළග එක පොරොන්දුවක් ඉටු කරලන්ට..ඒකත් කරලා දැම්මා..

දැන් පරණ පුරුදු විදියට ලියවෙන වෙලාව..

අද හවස ටික ටික නවන්න පටන් ගත්තා..සමහර දවස්වල වගේ ළග නැමුවේ නැහැ.

ඉතින් තාමත් ලියන්න කියන්න පුළුවන් තත්වෙ ඉන්න ලැබිලා තියෙනවා..කොහොම උනත් හුග කාලෙකින් හිතේ නිදහසේ ලියන්නේ..ඒකට ඉතින් හැමදාමත් වගේ අනුග්‍රහය පරණ පුරුදු හිතවතාගෙන්ම තමයි..

දැන් ඉතින් ටිකක් විතර බනින කට්ටියටත් ඇති..මොනවා කරන්නද මෙ තමයි මම මේක ඒ කිව්වේ මගේ මෙව්වා එක..ජීවිතේ ගෙවන හැටි.
ඊයෙත් එහෙමයි..අදත් එහෙමයි..සමහර විට හෙටත් එහෙමම වෙයි...

මම දන්නේ නැහැ මට ඇයි මේ නාකියෙක් වගේ හිතෙන්නේ කියලා..හැම වෙලේම හිතෙන්නේ මගේ කාලේ ඉවරයි කියලා..අනේ මන්දා..දැන්නං හිටියා හොඳටම ඇති.

හ්ම්..ඒ අස්සේ ඔන්න කවි වගේ ඒවත් ලියවෙනවා...

දැන් වෙලාව පහමාරයි...
මම ඉන්න තැනට බැහැගෙන යන ඉර හොඳට පේනවා ඇත්තටම ඒ දිහා බලන්නත් අමාරුයි..ඒත් හරිම ලස්සනයි...
තව විනාඩි කීපයකින් ඉර ගස් කොළන්වලට මුවා වෙලා යයි..
ඉරෙ ඡායාව ගේ ඉස්සරහා තියෙන වෙලේ ලියදි වලින් පේනවා..මට ඉරවල් දෙකක් පායලා වගේ පේනවා..
හ්ම්ම්..හරි ඉර පේන එක ඉවරයි...වෙල් යාය ඈත ගස් කොලන් අස්සෙන් පේන්නේ නැති වෙලාම ගියා..ඒත් ආකාසේ දීප්තිමත්...

ඇත්තටම බැස යන සූරිය දිව්‍යරාජයා දිහා බලන් ඉන්න මම ඉස්සර ඉඳලම ආසයි.
ගේ ඉස්සරහා පාරේ වැඩ ඇරිලා යන ගෑණු ළමයි රොත්තක් තොරතෝංචියක් නැතිව කිචි බිචි ගගා යනවා...

බැල්කනියේ කෙටි තාප්පය නිසා ඒ අයට මාව ඒ තරම් හොඳට පේන්නේ නැහැ.
ඒක හොඳට ගියා නැත්තං අරක්කු වීදුරුවකුත් ළග තියං ලැප්එකත් ළගට අරගෙන ඉර බහින හැටි බලාගෙන ඉන්න මේ පිස්සා කවුද කියලා බලයි...

මට මතක් වෙන්නේ ඒ දවස්වල අපි මේ වගේ වෙලාවට කොච්චරනං බස්හෝල්ට් ගානේ චාටර්කාලා තියෙනවද..?

පන්ති ඇරිලා එන පැංචියෝ බලන්න..
ඒ දවස්වලනං කිව්වෙ බඩුවක් පරවනවා කියලා තමයි..දැන්නං අළුත්ම වචනේ මොකක්ද කියලා දන්නේ නැහැ..

ඉතින් බඩු පරවන කාලේ හරි සුන්දරයි...
කන චාටර් අපමණයි..
විඳි දුක් කඳ නොම දනියි..

පුට් බයිසිකලේ නැගගෙන කොල්ලෝ සෙට් එකම නියම වෙලාවට වැඩෙට සෙට් වෙනවා..දැන් මේ කල්පනාවට ආවේ අපේ උන් හරියට වෙලාවට වැඩක් කෙරුවානං කලේ ඕක විතරමද මන්දා..

වේලාව නොවරදවා..
බඩුව පරවයි කුමරු සොඳවා...

අප්පා අද මම මේ මොනවද ලියන්නේ..හරියන්නේ නැහැ..මෙහෙම ගියොත් මගේ පටි රෝල් වෙයි වගේ..ඒ හින්දා මම නවතිනවා...

පස්සේ සිහි නිච්චි තියෙන වෙලාවක ලියමු.

මේක ලියන එක නවත්තලා ඔය ලිපියක් දෙකක් කියවන ගමන් කොමෙන්ට් පාරක් දාගෙන ඉන්න ඕන වෙලාවේ හැටියට ඒක ඇගට ගුණයි...

මෙන්න සැනසිලි තෑග්ග...

ඔන්න ඉතින් කළින් කිව්ව විදිහට මම වැඩෙ කොරන්නයි සූදානම...

ඒත් ඉතින් මට කාකා පස්සේ ලෙඩක් දාවිද දන්නෙත් නැහැ..මක්කා කොරන්නද...අද හිතේ ෆිට් එකෙන් හිටියේ කේන්දරයක් බලන්න ඔන කියලා නෙව..ඉතින් මෙ ප්‍රමාද දෝෂයට කාකා උරන නොවේවා...

අද උදෙන්ම ගෙදර ආවෙ හොඳ නිදහස් දවසක් ගත කොරන්න හිතාගෙන නෙව..පහුගිය ටිකේම මේ හැදුනුම්පත් හදන්නයි..රියදුරු බලපත්තරේට අඩුම කුඩුම හොයන්නයි ගෙහුන් මගේ හොඳ පණ ගෙහුන් නෙව තිබුනේ..ඒ හින්දා අද දැහැමින් සෙමින් ගත කොරන්ට ඕනය කියලා වෙලපහම හිතලා තමයි..අවශ්‍ය කරන කලමනා එහෙම වේලපහම සූජානං කොරලා තිවුනේ..

ඉතින් උදේම ලිපියක් ලියලා දාලා ටිකක් නිදාගෙන..ඊට පස්සේ නැගිටලා හොද්දක් බතක් රත් කොරාන එයින් ඩිංගිත්තක් බංඩියට දමාන..එහෙම..ටිකක් වෙලා හිටියා..දැන් ඉතින් සුන්දර සැන්දෑව මගේ යාළුවත් එක්ක නිසංසලේ ගෙවන වෙලාව වෙච්චි..

ඉතින් අපි බලමු මෙ කලිකාල පණ්ඩිත උන්නැහේගේ වේලපත් කඩේ කොහොමෙයි කියලා..හ්ම් බැළු බැල්මටම පේන්න තියෙනවා කාල සර්ප යෝගය තියෙනවා වගේ...හා කමක් නැහැ තව ටිකක් බලලා ඉන්න ඕන කාල සර්ප යෝගෙන් ගැලවෙලාද කියලා..

ධනු ලග්න කේන්දරයක් නෙව...

හ්ම්ම්..යන්තං ඉතින් චන්දරයා එළියට පැනලා කාලසර්පයෝගෙන් ගැලවිලා තියෙනවා උනත් ඒක ඒතරංම ඇති කියලා හිතන්නත් බැහැ..

හරි ඉතින් මෙහෙම කියමුකෝ...මේ කේන්දරයේ රවි, සිකුරු සහ බුධ ප්‍රභල තත්වයන්හී ඉන්නවා..ඒ වගේම දුකට අධිපති සෙනසුරු උන්නැහෙත් යාන්තං ජාමෙ බේරගෙන හොඳ විදියට යෙදිලා තියෙනවා.

ටිකක් අවුලකට තියෙන්නේ මෙ කාල සර්ප යෝගයට ටිකක් විතර ආසන්න වීමයි..ලග්නාධිපති උන්නැහේ සතුරු රාශිගතව සෙනසුරුගෙන් ටිකක් විතර පීඩාවට පත් වෙලා ඉඳීමයි තමයි...රාහු කුජ යෝග වෙලා නරකම තැනක වැටීමයි වගේ කරුණු තමයි...

හොඳයි...

මෙ ජන්මපත්තරේ හිමි අපේ කලිකාල දරුවා ටිකක් සමාජයේ තැනක් තියාගෙන ඉන්න හැකියාව තියෙන..ඒ වගේම කවදා නමුත් දවසක හෝ යම් කිසි නිශ්චිත කාල සීමාවකදී..තමන් සිටින ප්‍රදේශයේ..ගමේ රටේ..පළාතේ කිසියම් පොරසිද්ධියක් ලබන ආකාරයේ පුග්ගලයෙක් තමා.

ඒ වගේමයි හොඳ තේජස් සහිත ස්වභාවයක් ඇති අයෙක්.සිහි බුද්ධිය කල්පනාව එහෙමත් හොඳින් තියෙන හොඳ අධ්‍යාපන තත්වයක් එහෙම ලබන්නට පුළුවන් දරුවෙක්..ඒ වගේම තමයි දැන් මෙ ලබලා තියෙන කාල සීමාව තුළදී පහුගිය කාල වලදී නැවතිලා හෝ බැහැයි කියලා අත ඇරලා දමලා තිබ්බ අධ්‍යාපන අංශයේ කටයුත්තක් නැවත සාර්ථක කරගැනීමේ ස්වරූපයකුත් පෙන්නුම් කරනවා..

හැබැයි තව කාරණාවක් පෙන්නුම් කරනවා..තමන්ටත් හිතාගන්න බැරි විදියේ හිටි හැටියේ සිද්ධ වෙන නිකං සිහි කල්පනාව අඩු වීමේ තත්වයක් ඉඳ හිට මතුවීමේ ගතියකුත් ඇති වෙන්ට පුළුවන්..සමහර විට මේ තත්වය සුළු මොහොතක් විතරයි..සමහර විට කෙටි කාල සීමාවක් මෙ ආකාරයට පවතින්නත් පුළුවන්...

තමන් ඉගෙනගනු ලබන දෙයට සරිලන ආකාරයේ හොඳ රැකියා අවස්ථා ලැබීමත් ඒ වාගේම හොඳින් හරි හම්බ කිරීමේ හැකියාවත් තියෙනවා..සමහර අවස්ථාවල සිතූ පැතූ සම්පත් ලබන්නට අහැකි තරමේ වාසනාවකු=ත් පේනවා නෙව...

හැබැයි රැකියාව වෙනුවෙන් නිරන්නතර වෙහෙසක් මහන්සියක් විදින්ටත් වෙනවා වගේ තමයි පේන්නේ නම්...

නොනවතින කටයුතු රාශියක නිරත වෙන්නටත් සිද්ධ වේවී...

ටිකක් කල්පනාවෙන් පරිස්සම් කරගත්තේ නැතොත් අඩු වයසෙන්ම කෙස්ටික ගැලවිලා හඳ පායන්ටත් පුළුවන්..

තමන්ට උපතින් හිමි යම් දේපලක හිමිකාරිත්වය අහිමි වීම හෝ දායාද වැනසී යාමත්..අතට ලැඛෙන්නට වාගේ තිබූ දේවල් නොලැබී යන්ටත් පුළුහං.

හොඳ විවාහයක් එහෙමත් කෙරෙනවා...ඒ ඇත්තිත් තමන්ට පෑහෙනවා.

උප්පත්ති අවස්ථාවෙදී හෝ බාලම කාලයේදී තදබල මාරාන්තික අපල තත්වයකුත් පේනවා නෙව..ඒක තමන්ට විතරක් නෙවී තමන්ගේ මව්ටත් තරමක අපලදායී තත්වයක්...

පොඩ්ඩක් ඉස්සරහත් බලමු...

හ්ම්ම්..පහුගිය කාල වල තිබුනු කරදරනං සෑහෙන්න අහවර වෙලා තියෙන්නේ..ඒත් රැකියා සම්බන්ධ කටයුතු වලදී..තමාට වඩා වැඩිමහළු හෝ..තමන්ගේ ඉහළ සිටින අය අතර තමා පිළිබඳව වැරදි චිත්තරයක් මැවෙන ආකාරයේ කටයුතු සිද්ධ වෙන්ට පුළුවන් ඒ හින්දා ටිකක් ප්‍රවේසමට කටයුතු කරන්ට ඕන..ඒ වගේමයි කට ඩිංගිත්තක් පාලනය කොරගන්ටත් මතක තියා ගන්ට ඕන..

ටිකක් විතර ඔළුවේ අවුල් සහිත බවක් ඇතිවීමත් විය හැකියි.
රැකියා ස්ථානයට සම්බන්ධ හෝ..තමන්ගේ පිය පාර්ශවයට අයත් ඥාතියකු සමග හෝ ටිකක් විතර ගැටෙන්නට සිදධ වෙන්නත් ඇහැකි.

කරගෙන ආ කටයුතුවල වෙනස් වීමක් වෙන්ටත් පුළුවන් ඒත් ඒවා පස්සට තමාගේම හොඳට හිටීවී...
මංගල යෝග හෝ අනියම් සම්බන්ධකම්වල පැටලෙවෙන්ටත් අවස්ථා මෙ කාලයේ මතු වෙයි..
හැබැයි ඉතින් කන බොන දෙයක් පරිස්සමට තමා කොරන්න ඔන ඕං..
හදිස්සියට කොරන දේවල්වල ප්‍රතිවිපාකත් තමන්ම විඳින්න ඕන කියලා මතක තියාගත්තොත් හොඳා...

2011-05-24 වෙනකල් ටිකක් විතර ජීවිතේ සමපලදායීව ගෙවෙයි..කොහොම උනත් 2009 අවුරුද්දේ ඉඳලා 2025 විතර වෙනකල් කාලය තමා තමුන්ගේ ජීවිතේ වඩාත් පෙරළිකාර..ඒ වගේම ජීවිතේ විඳින්න ලැඛෙන කාලේ...

හ්ම්ම්..ඔය මදැයි...
මේක ඇවිල්ලා අහක යන අවස්ථාවක් ලැබීමක් නෙව..ඔන්න කාකා ආවානං මට මීට වඩා බැරෑරුම්ව මේක කොරලා දෙන්ට වෙනවා.

ඉතින් කලිකාල ළමයා...ඕං මං නැවතුනා...මෙයට අමතරව එකම එක පුරස්නයක් අහන්න අවස්ථාව මම දෙනවා..හැබැයි පෞද්ගලිකව..මගේ ඊමෙල් එකට එවලා අහන්න පුළුවන්..හැබැයි මතකනේ එකම එකයි.

කේන්දරයක් බලන්න හිතුනා...

ඔන්න හුග කාලයකට පස්සේ මට කෙන්දරයක් බලන්න හිතුනා...
මීට කළිනුත් මම එක දවසක් මෙ වැඩෙ කරන්න ගිහින් බොහෝම අමාරුවෙන් තමයි ගොඩ ගියේ..ඒක උනේ එදා කේන්දර ගොඩක් කෙටියෙන් බලන්න ගිහින්..
ඒ හින්දා අද ටිකක් විතර වෙනසක් කරන්න හිතුනා.

බලන්නේ එකම එක කේන්දරයයි.

ඉතින් වැඩෙ ලේසි නැහැනේ..ඒත් ඒ බලන්න තෝරා ගන්න කේන්දරේ චුට්ටක් විස්තර ඇතිව බලලා දෙන්නයි මම හිතාගෙන ඉන්නේ...

කොන්දේසි සහිතයි...

බලනු ලබන කේන්දරය පිළිබඳ විස්තරය පෝස්ට් එකක් හැටියට දමනවාට අකමැත්තක් නැතිවීම...

බලා අවසන් වූ පසුව නැවත නැවතත් වැඩි විස්තර ඉල්ලා මට කරදර කරන නරක ළමයින් නොවීම..

තෝරා ගනු ලබන කේන්දරය සඳහා වූ පැනයට නිවැරදි පිළිතුර ලබා දීම..

ඔන්න ඕවා තමයි මූලික කොන්දේසි..මම හිතන්නේ මම අසාධාරණ නැහැ නේද..?


ඒ අතරම විශේෂම දෙයක් තියෙනවා..ඒ තමයි ඇනෝලා පිළිබඳව කිසිදු ආකාරයකින් සලකා බැලීමක් නොකිරීම...
මුලින්ම මම ඉදිරි පත් කරනු ලබන ගැටළුවට හරි උත්තරය ලබා දෙන කෙනා හෝ කිහිප දෙනා අතරින් එක් අයකු තෝරා ගනු ලබනවා.
ඊට පස්සේ ඒ කෙනාට පුළුවන් මගේ ඊ ලිපිනයට ඔහුගේ හෝ ඇයගේ උපන් දිනය, වෙලාව, සහ උපන් ස්ථානය දන්වා එවීමට..එම තොරතුරු කිසිසේත්ම ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වලකිනු ලබනවා.

එයින් පසුව ඊළග පෝස්ට් එක හැටියට කේන්දර පලාඵලය නිකුත් කරනු ලබනවා.

මෙම ක්‍රමය මේ දැන් මට සිතුනු ආකාරයට සකස් කළ එකක් පමණි.
මෙම ක්‍රමයේ වැරදි ඇත්නම් හෝ මීට වඩා සාර්ථක ක්‍රමයක් ඇත්නම් එය මා හට දැනුම් දීම මට කරන උපකාරයක් හැටියට සලකනු ලබන බවත් කියන්න ඕන..

හරි එහෙනම් මෙන්න විසඳිය යුතු ගැටළුව...

ළමායි ඔන්න එක්තරා ගගක් තියෙනවා..මෙක මේ ගගක් කිවුවට එසේ මෙසේ ගගක් එහෙම නෙවී ඕං හරි පළලයි නෙව..
ඉතින් මේ ගගට උඩින් තියෙනවා පාලමක්...
ඉතින් ගග පළලයිනං පාලමත් හුගාක් පළලයි කියලා අමුතුවෙන් කියන්න ඕනද..?
ඔව් ඉතින් මෙ පාලමත් හරි පළලයි.

වැඩෙ කියන්නේ මෙ පාලම හරි මැද්දට වෙන්න පාලම හරහා නිදාගෙන ඉන්නවා පොරක්..හ්ම්ම්..ඌ යකෙක් කියලා හිතාගන්න ඕන අය එහෙම හිතා ගන්න..යෝධයෙක් කියලා හිතන්න කැමති අය එහෙම හිතා ගන්න...

මොනවා උනත් මේ මැද්දට වෙලා නිදා ගෙන ඉන්න බුවා කිසිම විදියකින් මෙ පාලම හරහා කාටවත් යන්න දෙන පොරක්නං නෙවෙයි ඕං..

හරිනේ දැන් මම කියපු විස්තරේ තේරුම් ගියානේ..

ඒ විතරක් නෙවී ඕං...

කෙනෙකුට මෙ පාලම හරහා යන්නනම් හරියටම පැයක් යනවා..ඔව් ඉතින් කොයි තරං සAපීඩ් කරලා ගියත් පැයක් යනවා...
පොඩි චාන්ස් එකකට තියෙන්නේ අර මැද්දේ නිදාගෙන ඉන්න බුවා ඉන්නේ නිදාගෙන කියලා ඔයාලා දැන් දන්නවනේ..
හැබැයි මේකා හරියටම පැය බාගෙන් බාගෙට ඇහැරෙනවා..ඒ කියන්නේ මොන තරං හයියෙන් ගියත් පාලම මැද්දට යනකොටම බුවා නැගිටලා ඇති.

මිනිහා නැගිටලා වට පිට බලලා කවුරු හරි පාලමට නැගලා ඉන්නවනං ඒකාව ආපහු බස්සලා දාලා ආයෙත් දොයිය ගන්නවා.

හරි දැන් මෙක තමයි සරල, පහසු, ලේසි ගැටළුව...

දවසක් ඔය පාලමෙන් යන්න ආපු පොරක්..හරියට මේ මාරයා වෙච්ච මං වගේ එකෙක් කොහොම හරි පාලමෙන් අනිත් පැත්තට ගියා...

පුස්නේ තමයි කොහොමද ගියේ කියන එක...

හරි කියමු බලන්න..?කොහොමෙයි ගියේ..
හ්ම්..වෙලාව උදේ නවය හමාරයි..පටාන් ගම්මු...

08 November 2010

සැරිසර මතක..වසරක් පිරෙනා දිනෙක...

අදනං තාමත් ඉන්නේ රාජකාරි කරන ස්ථානේ...
තව පැය එකහමාරකින් විතර ගෙදර යන්න ඇහැකි..ඒත් ඒ ගිහින් කරන්න තියෙන කප්පරක් වැඩ අස්සේ ලිය ලිය ඉන්නත් වෙලාව මදි හින්දා ටිකක් හරි මෙහෙදීම කොටාගෙන යන්න කියලා හිතුවා...

ඉතින් අද ටිකක් විශේෂ දවසක් මටත් මගේ බ්ලොග් එකටත්..
මාව බලන්න එන බොහෝමයක් දෙනා දන්නවා මොකක්ද කාරණේ කියලා...

ඹව්..අවුරුද්දක්..හරියටම අවුරුද්දක් වෙනවා අදට මම මෙ බ්ලොග් කෙරුවාව පටන් අරන්..

බ්ලොග් එකක් ලියන කවුරුත් දන්නවා මෙක ලේසි කෙරුවාවක් නෙවෙයි කියන එක...
එක දිගට අවුරුද්දක් මෙක මෙහෙමවත් කරගෙන එන්න ලැබිච්ච එක ඊටත් වඩා අමාරුයි.

දැනට අවුරුද්දකට උඩින් මම මේක පටන් ගන්නකොට මම හිතුවෙ නැහැ මෙච්චර දුරක් මම මේක එක දිගට කරගෙන එයිද කියලවත්...
ඒත් අද වෙනකොට මම ඒ ගමන ඇවිත් තියෙනවා.

ඇත්තටම පටන් ගන්නකොට මට මොනවා ලියන්නද කියලා ඒ තරම්ම පැහැදිලි අරමුණක් නොතිබුණු ගානයි...
බොහෝම දුක සේ ගත උන කාලයක් ඒක...
ඒ හිතේ වේදනාව අකුරු තුළින් ගලාගෙන යන්න ඉඩ අරින්න විතරයි මට යන්තමට පුළුවන් උනේ.
ඒත් මම හිතුවා මම දන්න කියන කේන්දර ගැනත්..රටේ දේශපාලන වෙනස්කම් මගේ දැක්මට අනුව කතා බහ කරන්නත් මුළින්ම මට හිතුනා..
ඒත් අන්තිමට නොකෙරුණුම දේත් ඒක තමයි.

ඒකට හේතුව උනේ මට ඊට වඩා කියන්න දේවල් මතක් උන එකයි..මම අකුරු කලේ මගේ ජීවිතේ ගැන..මතක තියෙන පුංචි සන්ධියේ ඉඳලා අද වෙනකල් හැලහැප්පීම් රාශියක් මැද මම ආව ගමන ගැනයි..අදටත් ඉවරවෙලා නැති මගේ ජීවන නෞකාවෙ නොනැවතුණ ගමන් විස්තරය ගැනයි.

ලියන්න ලියන්න ඒ අතීත මතක පෙළින් පෙළට ගලාගෙන එන්න උනා..
හිතට නැගෙන වේගයට සාපේක්ෂව මට ඒ දේවල් අකුරු බවට හරවා ගන්න අපහසු උනත්..හැකි උපරිම වේගයෙන් මම ඒ දේවල් අකුරු කරන්න පුරුදු උනා..මේ වෙලාවේ මම විශේෂයෙන්ම ස්තූතිති කරන්න ඕන දෙයක් තියෙනවා...

දෙයක් කියලා අප්‍රාණවාචීව කියන්න උනේ ඒ දේ පණ ඇති දෙයක් නොවෙන හින්දයි..නමුත් මගේ පණ ගැහෙන්න මට බොහෝම වෙලාවට උදව් කල මගේ මිතුරා...

ඇත්තෙන්ම මම දන්නවා මේක කිව්වහමත් මගේ සහෘදයින් මට බනිනනවා කියලා..ඒත් නොකියා කොහොමද..
ඒ තරම් ගුණමකු වෙන්න මට බැහැ..

මීවිත
තරම් මගේ ලිවීමට උදව් කළ අන් කිසිවක් නැති තරම්...
ඊළග ස්තූති කරන්න ඕන මාව දිරිමත් කරමින් අද වෙනකල් මාව අත හරින්නේ නැතිව මාව කියවන මගේ දයාබර මිතුරු කැළ...

ලියන ලියන ලිපියක් පාසා මාව දිරිමත් කරමින් මා හා නිබඳවම රැදී සිටි විශාල මිතුරු මිතුරියන් රැසක්ම මට ඉන්නවා.
නං ගං වශයෙන් ලියන්න තිබුනනම් වඩාත් හොඳ උනත් ඒක ලේසි වැඩක් නෙවෙයි...
ඒ හින්දා ඒ ගැන කවුරුවත් මාත් එක්ක අමනාප වෙන්න එපා...
මේ මිතුරු මිතුරියන් හැමෝම වගේ මට පුදුම සහයෝගයක් දක්වපු උදවිය...

ඒත් අද වෙනකොට මුල් කාලයේ අපිත් එක්ක රැඳී සිටි හුගාක් අය බ්ලොග් වලින් ඈත් වෙලා ගිහින්..
ඒ වෙනුවට අළුත් අය අපේ වටා රැදී ඉන්නවා..ඒ අතරම කිහිප දෙනෙක් එදා ඉඳලම අද වෙනකල්ම අපිත් එක්ක මේ ගමන නොනැවතී ඉදිරියට යමින් පවතිනවා.
ඉතින් මගේ මිතුරනේ නුඹලාට ස්තූතියි අද වෙනතෙක්ම මා තනි නොකලාට...

තුන්වැනුව ඇ...

ඔබ නාදුනනා ඇය...මා තනි කර මා හට ලියන්නට ඉඩ කඩ හා කාල වේලාව සලසා දුන් ඇයත් මෙයට සම්බන්ධයි අනිවාර්යයෙන්ම...

එසේ නොවන්නට "මාරයාගේ හෝරාව" නමින් බ්ලොග් අඩවියක් කවදාවත්ම බිහි නොවනු ඇති...

ඉතින් මෙවන් උදව් උපකාර සහ සහයෝගයන් මැද අද වෙන කොට මම අවුරුද්දක් සම්පූර්ණ කරනවා මගේ හෝරාවට..
මාරයාගේ හෝරාවට...

මෙ වසරක කාලය තුළ මම ලිපි දෙසීයය සම්පූර්ණ කරන්න සමත් උනා...
ඒ පිළිබඳව නම් මට තියෙන්නේ සෑහීමකට පත් වෙන්න පුළුවන් තත්වයක් නොවෙයි. මොකද මීට වඩා මට ලියන්න තිබුනා..
ඒත් කම්මැලිකමත් වෙන වෙන දේවල් නිසාත් මම ලිපි දෙසීයක සීමාවට නතර උනා..
ඒත් ඒ සංඛ්‍යාවත් ඒ තරම්ම නරක නැහැ.

ලිපි ලිවීමේදී නම් මම බොහෝම ඉක්මන්...සාමාන්‍යයෙන් මට එක ලිපියක් ලියන්න පැයක පමණ කාලයක් යනවා..
මගේ ඕනෑම දීර්ඝක් ලිපියකට ඊට වඩා කාලයක් ගත වෙන්නේ නැහැ.එක දිගට ලියනවානම්..නමුත් සමහර වෙලාවට අතර මගදී නවතා දමා උයන්න පිහන්න යන්න වෙච්ච වෙලාවට වෙලාව වැඩියෙන් අරගෙන තියෙනවා.

මම ඉක්මනට ලියන්නේ මම ලියන්න ආව දේ මටම අමතක වෙන හින්දයි..ඒත් ඉතින් හුගාක් වෙලාවට මම ලියන්න වාඩි වෙන්නේ අහවල් දේම ලියනවා කියලා අරමුණකින් නෙවෙයි..ඔහේ ලියන්න පටන් ගත්තම අන්තිමට මොනවා හරි ලියවෙනවා.
ලියලා ඉවර උන ගමන් පෝස්ට් කරලා තමයි අකුරුවල උනත් අඩුපාඩු බල බලා හදන්නේ...

හ්ම්...දැන්ට මේක ලියන එකත් නවත්තන්න වෙනවා..
කට්ටිය වැඩට එන්න පටන් අරගෙන..ඒ සඳහා අවධානය යොමු කරන්න ඕන..ඉතිරි ටික ගෙදර ගිහින් ලියනවා...
....................................................
හරි ආයෙමත් පටන් ගනිමු..
වෙලාව නවයයි...
යන්තං ගෙදර ඇවිත් නා ගත්තා..එන්න කළින් කැන්ටිමෙන් කිඹුලා බනිසයක් කාලා ආව නිසා දැන්ම බඩ ගිනි වෙන එකක් නැහැ.
කිඹුලා බනිස් කිව්වහම මතක් උනේ අපි පොඩි කාලේ ඉතින් ඕවා ජාතික ආහාර වෙලානේ තිබ්බේ..
ඒ දවස්වල මම වැඩියම ආස සීනි බනිස් වලට...
ඒකට හේතු උනේ ඒ දවස්වල මිහිර පත්තරේ ගිය පුංචි කතාවක්...
ඒ කතාවේ තිබුනේ උදේම තාත්තා බනිස් ගේන්න කඩේට ගිය අතරේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා උදේට කන්න බලාගෙන ඉන්න පුංචි ළමයෙක්ට පොඩි පහේ නින්දක් ගිහිල්ලා දකින හීනයක්..මිදුලේ සීනි බනිස් ගහක් පැල වෙලා තියෙන කතන්දරයක්..ඒකේ සීනි බනිස් ගැන විස්තර කරලා තිබුනු විදියට මට අදටත් සීනි බනිස් කන්න පිරියක් තියෙන්නේ...
ආ ඒ කතාව කිව්වහම මතක් උනේ ඒ දවස්වල විජය පත්තරේ ගියා කතාවක් ඉස්කෝලෙන් පැනලා යන ළමයි දෙන්නෙක් පාරු කාරයෝ ටිකකට එකතු වෙලා ගග දිගේ යන කතාවක්..ඒකේ තිබුණු පාරුබත ගැන විස්තරෙත් ඒ වගේම ආස හිතෙන විස්තරයක්..හැබැයි තාම මට එහෙම පාරුබතකට සෙට් වෙන්නනං හම්බ වෙලා නැහැ.
දැන් කොයින්ද ඔරු පාරු...ඔක්කෝම බෝට්ටුවලට හැරෙන කාලේන..යන්තං හරි ඉතිරි වෙලා ඉන්නේ මෙ අපි වගේ හාල්පාරුවෝ විතරයි...
හ්ම්ම්..මම මොකක්ද කිය කිය හිටියේ..

ආ සීනි බනිස්...
සීනි බනිස් විතරක්මත් නෙවෙයි
බටර් බනිස් දෙකට මැද්දෙන් පලලා මාජරින් ගාලා සීනි ඇට දෙක තුනක් ඉහලා කන්නත් පුදුම පෙරේතකමක් තියෙන්නේ..
හ්ම්ම්..අද එහෙම කාලා බලන්න ඕන හවස්වෙලා...

ඉතින් අපි ආයෙමත් මුළට එමුකෝ මම ලිය ලිය හිටියේ මගේ බ්ලොග් කෙරුවාව ගැනනේ...

මගේ බ්ලොග් කෙරුවාවට හොඳම උදාහරණේ ඔන්න උඩින් තියෙනවා..
යන්නේ කොහේද මල්ලේ පොල්...

ලියන්න යන්නේ වෙනම දෙයක් අන්තිමට ලියවෙන්නේ වෙනම දෙයක් ඔය සීනි බනිස් වගේ...

හ්ම්ම්..ඒත් මම ඒ විදියට කැමතියි..

මම තවත් මතක් කරන්න ඕන දෙන්නෙක් ඉන්නවා..ඒ තමයි මගේ අම්මයි තාත්තයි.

මට පුංචි කාලේ ඉඳලා නිදහසේ හැදෙන්න වැඩෙන්න මගේ තාත්තගේ වැඩ පිළිවෙල හුගාක් හේතු උනා.
මටත් මල්ලිටත් ගමේ හිටිය අනිත් ළමයි ඔක්කෝටම වැඩිය නිදහසක් හම්බ වෙලා තිබුනේ...

ඒ වගේමයි තාත්තා අපෙන් හුගාක් ලොකු දෙයක් බලා පොරොත්තු උනේ නැහැ.
අම්මත් එහෙමයි...

හැමෝටම තමන්ගේ දරුවෝ දොස්තරලා ඉන්ජිනේරුවෝ කරන්න ඕන වෙලා තියෙද්දී අපේ අම්මාට ඕන උනේ අඩුම ගානේ අපි දෙන්නා මේසන් වැඩවත් ඉගෙන ගත්තොත් ඇති කියලා...
එයා ගුණේ බාසුන්නැහැට එක දවසක් කියනවා මම අහගෙන

"ගුණේ අයියේ මේ දෙන්නට කවදා හරි ඔය සාස්තරේ පුරුදු කරන්ට" කියලා..

ගුණේ බාසුන්නැහැත් හා කියලා පොරොන්දු උනා...

මම ඒ වෙනකොට ගමේ ඉස්කෝලේ පළවෙනියටම ශිෂ්‍යත්වේ පාස් වෙච්ච ළමයා වෙලා කොළඹ ඉස්කෝලේ යන කාලේ...එහෙම තියෙද්දීත් අම්මාට මගෙන් වැඩි දෙයක් ඕන උනේ නැහැ..

තාත්තානං මම සීටීබී කොන්දොස්තර ජොබ් එකට යන්න ගත්තට පස්සේ බොහෝම සතුටු උනා..මොකද එයාත් පටන් ගත්තේ එතනින් නිසා...

හැබැයි එයා පටන් ගන්නකොට සීටීබී නැහැ තිබිලා තියෙන්නේ බස් කොම්පැණි..
ඉතින් මුළින්ම එහෙම කොම්පාණි බස්වල කොන්දොස්තර කෙනෙක් වෙලා..
ඊට පස්සේ 56 බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවෙන් බස් ජනසතු කළාට පස්සේ සීටීබී කොන්දොස්තර වෙලා..ටිකෙන් ටික ඉහළට ඇවිල්ලා අන්තිමට 81 වර්ජනේ දවස්වල රස්සාව නැතිවෙන කොට එයා
රත්නපුරය,බළංගොඩ,සහ ඇඹිළිපිටිය කියන ඩිපෝ තුනේම එකවර වැඩ බලපු ටයර් පරීක්ෂක වෙලා හිටියා.
ඉතින් ඒ ඩිපෝ තුනටම යන්න පහසු වෙන්න බළංගොඩින් ගෙයක් කුළියට අරන් තමයි ඉඳලා තියෙන්නේ..
මම බළංගොඩ ඕළුගංතොට රෝහලේ ඉපදුනේ ඒ නිසයි.

ඉතින් තාත්තා කළ රාජකාරිය මට දවසකට හරි කරන්න ආසාවක් තිබුනා..
තාත්තාත් ඒ ගැන සතුටෙන් හිටියා කියලා මට තේරුනා.

අම්මගෙයි තාත්තගෙයි මේ ගති ලක්ෂණවලට පින් සිද්ධ වෙන්න මම අද නිදහසේ හිතන්න පුළුවන් තත්වයක ඉන්නවා..
නිදහසේ ජීවත් වෙනවා...
ඕනවට වඩා අමාරු ඉලක්ක ජීවිතේට පටලවාගෙන ඉන්න ටික කාලේ ජීවිතේ අපායක් කරගන්න මට ඕන නැහැ.

සමහරු මේ ලෝකෙට ඉපදිලා තියෙන්නේ මොකක් හරි යන්තරේක කෑල්ලක් වෙන්න..සමහරු ඉපදිලා තියෙන්නේ ඕවර්ටයිම් කරන්න.
සමහරු ඉපදිලා තියෙන්නේ බැංකු ගිණුම්වල අංක ප්‍රමාණය දික්කර කර ඉන්න.
ඔන්න ඔය වගේ දේවල්වලට ඉපදිච්ච අය තමයි වැඩි...

ඔය ඔක්කෝමත් අතරේ මම ජීවත් වෙන්න ඉපදිලා තියෙනවා.

මේ මොනවා උනත් මට කියන්න දෙයක් තියෙනවා..
ඒ තමයි මම තාම මේ ලෝකේ..ජීවිතේ..
මෙ කිසිම දෙයක් ගැන හරියටම දන්නේ නැහැ.

මම පන්සලට එන්න කළින් මම හිතාගෙන හිටියා මම හුගාක් දේවල් දන්නවා කියලා..
ඒත් පන්සලට ඇවිත් ඒ පරිසරයත් එක්ක ජීවත් වෙද්දී..බණ දහම් ඉගෙන ගනිද්දී..
මට තේරුනා මම දන්න දෙයක් නැහැයි කියන එක...

ඊට පස්සේ මම පන්සලෙන් යන්න කිට්ටු වෙනකොට මම හිතුවා මම දැන් මොනවා හරි දන්නවා කියලා...

ඒත් පන්සලේන ඇවිත් දවස් දෙකතුනකදීම මට තේරුණා මම තාමත් දන්නේ නැහැ කියලා.

ඉතින් මම උත්සහ කරනවා අදටත් මේ ලෝකේ ගැන..මනුස්ස ජීවිතය ගැන...තේරුම් ගන්න..ඉගෙන ගන්න..
මට ඒකට තව හුගාක් දේවල් දැන ගන්න තියෙනවා.
තව හුගාක් මිනිස්සු ඇසුරු කරන්න තියෙනවා.
ආ..තව හුගාක් රස්සාවල් උනත් කරන්න වෙයි..

ඒ වගේම තමයි මගේ බලාපොරොත්තුවක් තියෙනවා දවසකට හරි හිර ගෙදරකත්, පිස්සන් කොටුවකත් ජීවත් වෙන්න...

මම හිතන්නේ මම හොයන දේට උදව් කරගන්න පුළුවන් හුගාක් දේවල් ඒ බිත්ති අතර තියෙනවා කියලයි.

දැන් මට වයස තිස් එකක් වෙනවා.

තව කොච්චර කාලයක් මම ජීවත් වෙයිද කියන්න මම දන්නේ නැහැ.ඒත්
මෙ හිටිය කාලෙට මම කරපු දේවල් වලින් මට සෑහීමකට පත් වෙන්න පුළුවන්..

ඉදිරි කාලෙත් මේ වගේම ගෙවිලා යයි කියලා මම හිතනවා.

ඉතින් මේ ලිපිය මම ලියන්න ගිය දේවල් තියෙන ලිපියක්ද නැත්තං ඒ එකක්වත් නැති එකක්ද කියලානං මම දන්නේ නැහැ.
කොහොම උනත් ඔන්න මම ලිව්වා.

ආ..තවත් එකක් කියන්න ඔන..
ඒ තමයි ටැබූ සම්මානය ගැන..ඒකත් මට හයියක් ගෙන දුන්න දෙයක්...

මොකද ටැබූ මොන මොන මතවාද දැරුවත් ඔහු මේ බ්ලොග් අවකාශයේ ඉන්න දැනුම් තේරුම් ඇති අයෙක්.
මම ඔහු ලියන හැම දෙයක්ම අනුමත කරන්නේ නැහැ.නමුත් ඔහු ලියනවා..අපට නොවරදවාම ඔහුගේ ලිපි කියවන්න හිතෙන තරමට ඔහු ඉතා හොඳින් ලියනවා.
වරෙක මම ඔහුට විරුද්ධව ලිපියක් පවා ලියලා තියෙනවා කියලත් මට මතකයි.
එහෙම තියෙද්දීත් ඔහු මට ලබාදුන් තැන ගැන මම ස්තූතිවන්ත විය යුතුයි.

අළුතින් පටන් ගත්ත විවේචන නම් වූ අඩවියකුත් මගේ බ්ලොග් එක ගැන ඔහුගේ පළමු විවේචනය තුළින්ම විවේචනය කරලා තියෙනවා.
මම ඒ ගැනනම් මුකුත්ම කියන්න ගියේ නැහැ.

මොකද විවේචන අඩවිය අළුත් නිසාත් ඔහු යන්නේ කොයිබටද කියා තවම තේරුම් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැති නිසාත්..
අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මේ බ්ලොග් අවකාශයේ හුගාක් අය විවිධ අරමුණු ඔස්සේ බ්ලොග් පටන් ගන්නවා.
මුළින් පටන් ගැන්මේදී කියන දේවල් ටික දවසක් යනකොට වෙනස්වෙලා යනවා.

අන්තිමට යටි අරමුණු එළියට එනවා..ඊට පස්සේ ටික දවසකින් හැලිලා යනවා.

විවේචන අඩවිය කරනු ලබන්නේත් මේ බ්ලොග් ඇසුරේ කාලයක් හෝ හිටිය කෙනෙක් විය යුතුමයිනේ..

ඉතින් ඒ කෙනා කවුරු උනත් මේ වගේ වැඩකට අත ගැහැව්වේ ඇයි කියලා හරියටම නොදැන ඒ පිළිබඳව මොනවාවත්ම කියන එක හරි මදි වගේ කියලා මට හිතුනා ඒ හින්දා ඒ ගැන මම ඕනවට වඩා හොයන්න ගියේ නැහැ..

ආ තව අපූරු දෙයක් කියන්න තියෙනවා
මේ අව්අස්සේ තවත් මගේ බ්ලොග් මිතුරියක් හිතලා තියෙන්නේ විවේචන අඩවිය මගේ වැඩක් කියලා.
හපොයි මට ලැජ්ජා හිතුන තරමක්...නිකං පිටකොටු ගිහින් කළිසම ගැලෙව්වා වගේ...

අප්පා මේක දැන් මහා පතරංග ජාතකේ වේගන එන්නේ...
මේ ඇති..ඇති උනත් මදි උනත් මේ ඇති.
නැත්තං අද වගේ දවසක මේ මගුලක් ලියන්න ගිහින් නාගන්නයි මට වෙන්නේ...
හුම්...

ඉතින් අවසාන වශයෙන් සියළු දෙනාටම ස්තූතියි...
(මගේ කතාව මෙතනින් අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතියි..හා හා ඔය නිදාගෙන හිටිය අය නැගිටින්න කතාව ඉවරයි..)

06 November 2010

මාර දොස්තර MBBS...

ඔන්න ඉතින් අදත් ගෙදර..
හැබැයි කළින් හිතං හිටියේ අද ගමන් කීපයක් යන්න කියලා..
ඒත් ඉතින් ගෙදර ඇවිත් නාලා තේ එකක් හදාගෙන බීලා ලැප් එකත් ඔන් කරගෙන පුටුවෙ පොඩ්ඩක් හාන්සි උනා..
මළ කෙළියයි මලා වගේ නින්ද ගෙහුන් නෙව..
ඒ මදිවට මෙන්න බොලේ හිටු කියලා වහිනවා.

දැන් ඉතින් කොරන්න හිතාගෙන උන්නු වැඩ ඔක්කෝම කොට උඩ තමයි.
කරන්න හිතාගෙන උන්නු වැඩද..?
එකක් තමයි කොහේ හරි තැනකින් අර එවේලේම දෙන ආකාරයේ ෆොටෝ කෑලි හතරක් ගන්න..ඔව් ඉතින් මගේ මූණත් තහඩුවෙ තමයි..ඊට පස්සේ එම් බී බී එස් දොස්තර මහත්තයෙක් හම්බ වෙලා වෛද සහතිකයක් ගන්න.

එම් බී බී එස් නං ඉතින් මටත් තියෙනවා ඒ විතරක්යෑ කොන් හැළුවම මාත් දොස්තර කෙනෙක් වෙලා ඉඳලාත් තියෙනවනේ..ඒත් ඉතින් මගේ එක මමම පුරවන එක හරි නැහැනේ..

ඇයි හත් දෙයියනේ වැව් බන්ට් එක රෙපෙයාර් කොරන කාලේ දවසට රුපියල් එකසිය විසි පහේ පඩියට බදාම අනාපු කාලේනේ මම ඔය විභාගේ මුලින්ම පාස් කොළේ..ඒ විතරක්නං මදෑ..ගුණේ බාසුන්නැහැ ළග රුපියල් එකසිය පණහට විශේෂඥ සේවා කොරාපු මම නොදන්න එම් බී බී එස්..පුහ්...අපි අර ඕවා තිබුනු පළියට පෙන්නන්න යන්නේ නැහැ නෙව..මෙ මෙ..අර තියෙන නිහතමානීකොම හින්දා...
අප්පච්චියේ ඒ දවස්වල අත් දෙක ගන්න දෙයක් නැහැ..
ඇගිළි පුපුරලා ඉස්ම ගලනවා...
උදේට කහයි පොල් තෙලූයි රත් කරලා ඇගිළි වල ගාගෙන රෙදි පටි ඔතාගෙන වැඩට යනවා.
ටික වෙලාවයි යන්නේ..
අර රෙදි පටි ගැලවිලා ආයෙමත් අත්වල සිමෙන්ති බදාම..ටික වෙලාවක් යනකල් පුපුරු ගගහා දනවා.
ඊට පස්සේ හරියනවා. ආයේ ඉතින් දවල්ට කන්න අත හෝදනකොට තමයි ටිකක් අමාරු වෙන්නේ.
අපි එහෙමයි ඔය එම් බී බී එස් පාස් කොළේ...
හැබැයි ඉතින් ඒ කෙරුවාව හින්දා අදටත් අතට බදාම හැන්ද හුරුයි...
නූලට ගල් ටික බැඳගන්න..කපලාරුවක් ගහ ගන්න දෙයියනේ කියලා පුළුවන් කොම ලැබුනේ ඒ කෝස් එකට පින් සිද්ධ වෙන්න තමයි.

එතකොට මගේ දොස්තරකොම.. හප්පා මෙවා කියලත් බැහැ නොකියත් බැහැ.
මම එසේ මෙසේ දොස්තර කෙනෙක්ද..?
රජයට සම්බන්ධ මණ්ඩලේ වගේම පෞද්ගලික අංශයේත් දොස්තර වෙලා හිටියා නෙව...

මතක අයට මතක ඇති අර අනූ හයේ අවුරුද්දේ වගේ ලංගම වැඩ වර්ජනයක් තිබුණේ..එළ ෆවුසි ගමනා ගමන ඇමැත්තා වෙලා හිටි සංදියේ...

ආන්න ඒ වෙලාවෙ අපේ නියෝජ්‍ය ඇමති වෙලා හිටිය මන්ත්‍රී බුවා වාහන දෙකක් හදිසියේ එව්වා අපේ තාත්තා හොයන්න..

ගමේ ඉන්න මොක්කු හරි කමක් නැහැ අරන් ගිහින් බස් දුවවන්න තමයි තියෙන්නේ..
හැබැයි එදා මොනවා හරි මගුලක් හින්දා අපේ තාත්තා ගෙදර හිටියේ නැද්ද කොහේද..
මම කරගැහැව්වා වැඩෙට...

කොහොම කොහොම හරි දන්න කියන උන් ටිකකුයි අහල පහල ගංවල හිටිය උන් ටිහකුයි ගොඩකරවාගෙන අපිත් ගියා ඩිපෝ එකට...දැන්නං එතන ඩිපෝ එක නැහැ...නුවර පාර අයිනේ තිබුනු බොධියත් මැරිලා ගිහින් වේලිච්ච කඳ විතරක් තියෙනවාද කොහේද...

මොනවද ඉතින් අර මොක්කුන්ටද මොනවාද අහු උනා වගේ...

"ලයිසන් තියෙන අය බස් එළවන්න..ඔය නවත්තලා තියෙන ඕන බස් එකක් අරගෙන ඉස්ටාට් කරගන්න බලන්න.කෝක උනත් කමක් නැහැ..
ලයිසන් නැති අය ටිකට් මැෂින් අරගන්න...
තමුන්ට ඕන රූඩ් එහෙක දුවන එකයි ඇත්තේ...
ආදායම් ප්‍රශ්නයක් නැහැ හම්බ වෙන කීය හරි ගෙනත් දෙනවා..ඒවා ප්‍රශ්නයක් නැහැ..කොහොම හරි පාරේ බස් තියෙන්න ඕන එච්චරයි..."


කව්ද මන්දා කණ්නාඩි දා ගත්ත බුවෙක් කියවගෙන කියවගෙන ගියා...

ඉතින් දැන් මාත් දොස්තර උනා ජීවිතේ මුල් වතාවට...

ඊට පස්සේ වෙච්ච කතන්දර බොහෝමයක් තියෙනවා..පස්සෙන් පහු වෙලාවක කියන්නංකෝ..
කොහොම හරි මට පස්සේ ඩිපෝ එකේම රස්සාවත් හම්බ උනා.

අන්න එහෙමයි මම ඉස්ඉස්සෙල්ලාම දොස්තර උනේ පස්සේ කාලෙක මෙ අපේ යොදයෙක් රට ගිහින් ඇවිත් ගෙනාව බස් තඩියක් ගොඩ දාලා දෙන්න ගිහින් මම පෞද්ගලික අංශයෙත් දොස්තර උනා නෙව..ඒ කතාත් සෑහෙන්න තියේ..අනේ මන්දා මම මෙව්වා කවදා කියයිද කියලා.

දැන් ඉතින් ඔය සමහරු ඉරිසියාවට කියයි ඒ දොස්තරයෑ කොන්දොස්තරනේ කියලා..
මම ඉතින් ඔය වගේ දේවල් වලට සැලෙන්නේ නැහැනේ..අනික ඉතින් ඔය පොඩි පොඩි කොන් කෑලි ගණන් ගන්නේ කවුද..?

මේ ඔක්කෝම සුදුසුකං තියාගෙනත් මට එම් බී බී එස් ලා හොයන්න උනානේ හැබෑට..?

මෙ ඔක්කෝම ඉතින් අර රියදුරු බලපත්තරේ ගන්න වැඩෙට තමයි.
පෙරේදා ගිහින් ගම්පහ රියදුරු පුහුණු ආයතනයකින් වැඩෙ කෙරෙන හැටි ගැන කතා බස් කොරගෙන ආවා.

ලිඛිත පරීක්ෂණේ ඕන නැහැයි කිව්වා මොකද මට කළින් ගත්ත ත්‍රීවීල් ලයිසොම තියෙනවනේ...

බයික් වලට විතරක්නං තුන්දහස් පන්සීයයි..සැහැල්ලූ වාහන වලටත් එක්කනං හයදහස් පන්සීයයි.

ඕන එකක් කියලා සැහැල්ලූ වාහන වලටත් එක්ක දාන්න තමයි හිතං ඉන්නේ..නැත්තං අර කළින් පාර ත්‍රීවීල්වලට විතරක් ලයිසන් ගත්තා වගේ හිටීවි.

බර වාහන ලයිසන්නං මට වැඩක් නැහැ.
අනික අවුරුදු තුනකට සැරයක් ඕක අළුත් කර කර ගෙදර තියාගෙන ඉන්නේ අහවල් එකටද..?

ඒ හින්දා සැහැල්ලූ වාහනවලටයි බයික් වලටයි විතරක් ගත්තැම මදැයි.

ගාස්තු කතා කරන්න කලින් එතන ලියන කියන වැඩ කරගෙන ඉන්න අර ගෑණු දැරිවි මගෙන් අහපි එළවන්න පුළුවන්ද කියලා..එහෙමනං ගැන අඩුයි කියලා...

ආයේ ඉතින් අහන්නත් දෙයක්යෑ..සැහැල්ලූ නෙවෙයි බර උනත් වාහනනේ..අපි එළෙව්වෙ නැති ඒවද ඔවුවා.
ඒ හින්දා මම කිව්වා පුළුවනි කියලා.

ඒ හින්දා තමයි හයදහස් පන්සීයයි කිව්වේ...

වාහන එළවන්න පුළුවන් උනාට මොකද..දැන් අවුරුදු දහයකින් විතර මම එළවපු වාහනයක්නං නැහැ.
ඒත් ඉතින් ඔව්වා මොකට කියනවද ඔය නගාට...

ඇප්ලිකේෂන් දාලා තුන් මාසයක් යනකල් එල් බෝඩ් දෙනවළු ඊට පස්සෙළු ප්‍රායෝගික පරීක්ෂණේ..
කාලා වරෙංකෝ..ජීවිතේට ගහපු නැති එල් බෝඩ් එකක් ගහං එළවන්න..චිකේ චික්..මටනං බැහැ.
එල් බෝඩ් දෙක වෙන කොහේ හරි එල්ලලා මම ඔය තුන් මාසයත් ඔය ගියා වගේ යනවා.

ඔයාකාර ඒවා එල්ලං යන්න පුළුවන්ද මං අහන්නේ..?

කොහොමින් කොහොම හරි අවුරුදු දහයකින් වාහනයක් එළවපු නැති මං උන්නැහේත් හිටි හැටියේ ආයේම වාහනයක් එළවන්න හදන්නේ තව මාස තුනකින් විතර..ඒකත් රියදුරු බල පත්‍රය ලබා ගැනීම සඳහා පරීක්ෂණ මහතැන්ලා ඉස්සරහා..මොන මගුලක් වෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ...

කෝකටත් තව තුන් මාසෙකින් විතර මං කාට කාටත් දන්වන්නංකෝ දිනය...
එදාට ඉතින් පරාණ කෙන්දට ආසාවක් ඇති ඇත්තෝ ගම්පහ පැත්තේ කරක් නොගහා හිටියොත් කාට කාටත් හොඳයි...

මොන හයියටත් වැඩිය හිතේ හයිය නෙව වැදගත්...
ඒ හින්දා මාත් අරින්නේ නැහැ...
ඕන........... කියලා එදාටම එළවලා බලනවා...
අඩුම ගානේ මට තාමත් වාහන එළවන්න පුළුවන්ද කියලා මටම හරි තේරුං ගන්න ඇහැක් වේවිනේ..

වාහන එළවිල්ල ගැන කියපුවාම මතක් උනේ මුළින්ම වාහනයක් එළවන්න අපි වින්ද දුක...අපි කිව්වේ මායි මල්ලියි.

අහල පහළ වාහන කීයක්නං හෝදලා දෙන්න ඇතිද..මටත් එහා අපේ මලයා ඌ බේකරියේ ගෙදර දර පලාගෙන, පිටි මෝලිය අල්ලගෙන සෑහෙන කට්ටක් කෑවා..ඔය වැඩේට...
මං ගැරේජ්වල මජං කඳු පිටින් හේදුවා...

එහෙව් පහිනිපත් කොරලා තමයි අපි වාහන එළෙව්වේ..ඒත් ඉතින් අපේ හිතේ හැටියට වාහන එළවන්න හම්බ උනේ නැහැ ඒ කවදාවත්ම...
පස්සෙන් පහු මමම වෑන් එක ගත්තට පස්සේ තමයි හොඳට හිතේ බය ඇරෙන්න එළවන්න ඇහැකි උනේ.

හ්ම්.. දැනට මදෑ...ලියන්න දේවල් ඔළුව ඇතුලේ කැරළි ගහනවා..ඒත් ඇගිළි තුඩු උද්ඝෝෂණය කරනවා..
අපොයි ඔහොම ගිහින් ඇගිළි තුඩු නිකමටවත් උපවාසයක්වත් කොරන්න හැදුවොත්..මේ අහක ඉන්න මංතුමා බඩගින්නේ..

හුටා දැන් දවල්ට කන්නේ මොනවැයි..?
ඒකෙන් මේකෙන් උයන්න අමතක උනානේ..
අද උයන්න දේවළුත් ගෙදර නැහැ මගේ හිතේ...
කාපංකෝ පරිප්පු..ඔව් පරිප්පුනං ඇති...බලමු ඒ පැත්තට ගාටලා..මටත් වෙන තරමක් වෙන්නේ ඔහොම වැඩමයි...

04 November 2010

ඒ සඳ...

කඩා හැලෙන සිනිඳු කෙහෙ රැළි..
කෙහෙ රැළින් මදක් වැසී ගිය නළල් තලය...
සිහින් උපැස් යුවළට යටින් වූ දිගැටි දගකාර නුවන් යුග්මය...
මනාව සුසැදි නාසය..
සිහින් රත්වන් දෙතොල්..
උල් වූ නිකට..
යන්තමින් මෙන් වළ ගැසෙන රෝස පැහැති කම්මුල්...

හරියටම චිත්‍රයක් වගේ..
එහෙමත් නැත්නම් ගීතයක් වගේ..
මටනං හීනයක් වගේ...

හරිම චාම් පෙනුම..
වැළමිටින් අගල් කිහිපයක් දික්වූ අත් සහිත සුදු කමිසය පුරාවට රෝස පැහැති මල් රටා වියමන..
විළුඹ දක්වා වූ ලා නිල් පැහැති ඩෙනිම් කළිසම හරිම සංවරයි...
සිහින් සිරුර..
සුදුවන් පැහැය..

වරින්වර නළියන නෙත් යුවළ..මොනවදෝ කතාවක් කියනවා...
දෙමාපියන්ට මැදිව සුරතල්වන දිව්‍ය අංගනාව වරින් වර දෙතොල උල් කරමින් සිය පියාගේ උරහිස සෙමින් තල්ලූ කරනවා...හරිම ආදරයෙන්...

පව්...නිදිමතදෝ... නැත්නම් නුහුරු බවදෝ මුසු උන විඩාබර ස්වභාවය මසිත අනුකම්පාවෙන් පුරවාලනවා..
වැඩිය තැළිලා පොඩි වෙලා නැති අහිංසක දැරිවියක්...

ආඩම්බර පෙනුමක් ගෑවිලාවත් නැතත්..කිසිවකු හෝ දිහා එතරම් අවධානයෙන් බලන ගතියකුදු දක්නට නැහැ..
එකම අවධානය මවත් පියාත් කෙරෙහි පමණයි...

සිහින් සරින් මුමුණන වදන් ඇසෙන්නට පින් කර ඇත්තේ දෙමාපියන් පමණයි වගේ...

එක දිගට පැය ගණනක්..නැහැ..දින ගණනක්..අනේ මන්දන්නේ නැහැ...සතී,මාස,..ජීවිතේ පුරාවටම උනත් බලන් ඉන්න පුළුවන් සොඳුරු දසුනක්....

....................................................................

පෙරේදා මම ගියා නෙව මගේ හැදුනුම්පත සාදවා ගන්න..
ඔව් කොළඹ..ජාවත්තේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්ථමේන්තුවට...

මම යනකොට වෙලාව නවයයි හතළිස් පහට විතර ඇති...
ගිහින් විනාඩි පහළවක් යන්නත් කළින් මගේ අයදුම්පත්‍රය භාර දීලා රුපියල් පන්සීයයක් ගෙවලා රිසිට් පතකුත් ගත්තා.

හ්ම්..වෙලාව..දහයයි පහයි..මොකද කරන්නේ...හැදුනුම්පත් නිකුත් කරනවා කිව්වේ හවස දෙකෙන් පස්සේ...
ෆිල්ම් එකක් බලන්න යන්නත් හිතයි...ඒත් වැරදිලාවත් මම එන්න කළින් හැදුනුම්පත හදලා ඉවර වෙලා තිබුනොත්...ආයේ නම කියනකං කොච්චර වෙලා බලන් ඉන්න වෙයිද දන්නේ නැහැ...

ඕන එකක් කියලා ඉන්නවා කියලා හිතා ගත්තා...

සෙනග පිරිලා..හැම තැනම...ලොකු කුඩා සෑම මට්ටමකම අය..මේ හැමෝම ඇවිත් තියෙන්නේ මම වගේම හැදුනුම්පත සාදවා ගැනීම සඳහා තමයි...

වැඩි හරියක් විභාග වලට අවශ්‍ය නිසා හැදුනුම්පත හදන්න ආව අය...
විවිධ ජාතීන් ඉන්න බවත් පේනවා...
නානා ප්‍රකාර දසුන්...
ඕවා බලලා මට ඇති වැඩක් ඇතෑ...

මම පසෙකින් වූ ආපනශාලාවට ගිහිල්ලා තේ එකක් එහෙම බීලා ඇවිත් පිටුපසටම වෙන්න තියලා තිබුණු පුටුවකට වෙලා ටිකක් ඇහැ පියා ගත්තා...

කරදරයක් නැතිව පැය එක හමාරක් විතර නින්දත් ගියා..කළින් දවසේ රෑ වැඩිය නිදා ගන්න හම්බ උනෙත් නැති එකේ ඒ නින්ද මල් හතයි.

ආයේ නැගිටලා කරලා වට පිටේ රවුමක් දාලා ආවා...

ටිකෙන් ටික කාලය ගතවෙලා ගියා...
හ්ම්...දෙක පහු උනා..හැදුනුම්පත් නිකුත් කරන්න පටන් ගත්තා...

මගේ නම කිය වෙන්නේ නැහැ...

වෙලාව තුනටත් ළගයි..මට පස්සේ ආපු අයටත් මට කළින් හැදුනුම්පත ලැඛෙනවා..ඒත් මට නැහැ...
මං වගේම තවත් කිහිප දෙනෙක් නොරිස්සුම් සහගතව බලාගෙන ඉන්නවා පේනවා.

මම හිතාගෙන ආවේ හැදුනුම්පත වේලපහින් හම්බ උනොත් ඉක්මනටම ගම්පහ ගිහිල්ලා රියදුරු බලපත ගැනීම සඳහාත් හොයා බලන්න...
ඒත් දැන්නම් ඒ වැඩෙ හරියන පාටක් නැහැ...

ගිහිල්ලා කැන්ටිමෙන් බත් වේලකටත් වග කිව්වා.

තවත් නැහැ..දැන්නම් ටිකක් විතර මාරයා ආවේශ වේගන එනවා මටම තේරෙනවා...

මේ මොන මගුලක්ද..මටම කියා ගන්න ගමන් ආපහු හැරුනා.

මගේ ඇස් නැවතුනේ මා පිටි පස්සේ හිටිය ඒ රූපය ළග...

එයාත් ටිකක් විතර විමසිල්ලෙන් බැළුවා...

මගේ කේන්තිය කොහේ ගියාද කියලා මට මතකත් නැහැ..
ඉක්මනටම එතනින් අහක් වෙන්න උනේ එක දිගටම බලාගෙන ඉන්න එක හරි නැහැ කියලා තත්පර ගාණකදී මට තේරුණ හින්දා.

මෙ ළමයා කොහේ ඉඳලා ආවාද..උදේ ඉඳලනං හිටියා කියලා මට මතක නැහැ.

එතන හිටියේ එයයි අම්මා යැයි සිතිය හැකි තරුණ පෙනුමැති වයස හතළිස් ගණන් වල පසුවන කාන්තාවක්..ටික මොහොතකින් තවත් පිරිමි අයකු එතනට ආවා..

ඔහුනං ටිකක් වයස පෙනුමයි..වයසටත් වඩා ඉක්මනට කෙස් හැළුන බවක් තමයි ඇත්තටම දක්නට තිබුනේ..
සිහින් උස ප්‍රිය මනාප පෙනුමැති පුද්ගලයෙක්...සම්පූර්ණ තට්ටය පෑදිලා...

මෙ අරයාගේ දෙමව්පියන් බව වටහා ගන්න අපහසු උනේ නැහැ.

වැදගත් පවුලක් පාටයි...
හ්ම්... ඕවා බලලා ඇති වැඩේ මොකක්ද..?
මම ගිහින් ආයේ වාඩි උනා...

ඒත් ආයෙමත් අර දසුන දකින්න හිත කියනවා කියනවා වගේ...

මම ඉස්සරහා බැළුවා..හ්ම්..ඔය ඉන්නේ..නිදි කිර කිර...

මට හිතෙන්නේ එයාගේ හැදුනුම්පත හදන්න තමයි ඇවිත් තියෙන්නේ...
ඒත් වැඩේට මහන්සි වෙන්නේ තාත්තා...
එයයි අම්මයි අහකට වෙලා ඉන්නවා...

වෙලාව යනවා තේරුනේ නැහැ.
ඇස් අහකට ගන්න හිතෙන්නෙත් නැහැ.

එච්චර ලොකු ළමයෙක් නෙවෙයි..ඕන නම් අවුරුදු විස්සක් විතර ඇති...

බැළුවට වරදක් නැහැනේ...
මාත් බලාගෙන හිටියා හැදුනුම්පත දැන්නම් කීයට ලැබුණාම මොකද..?
අන්තිමට හවස හය විතර වෙනකොට අර තාත්තත් ටිකක් විතර උනන්දුවෙන් එහෙ මෙහෙ යනවා තමන්ගේ වැඩේ කෙරෙනවද කියලා බලන්න..

අර සඳ කුමරී..අම්මාගෙන් ඉල්ලගෙන ලොකු පොතක් කියවනවා තමන්ගේ පාඩුවේ...

මාත් ටිකක් විතර හැදුනුම්පත ගැන අවධානය යොමු කරන ගමන්ම අර දසුන නෙත් මායිමෙන් අහකට යන්න දුන්නේ නැහැ...
අන්තිමටම කිය උන නම් ලයිස්තුවක මගේ නම කියඋනා...

මම ගියා කවුන්ටරය ගාවට මෙන්න මා ළගම අර දැරිවිගේ පියාණෝ...

මට පුදුම හැපී..ඇයි දැන් අඩුම ගානේ නමවත් අහගන්න පුළුවන්නේ...

මට කළින් නමක් කියඋනා...

"මර්සුනා මුතාලිෆ්..."

එක්වරම අර තාත්තා
"ආ මගේ.."කියමින් ඉදිරිපත් උනා...
ම්..ම්.. මුතාලිෆ්...

ඒ කියන්නේ...මුසල්මාන්...
කියන්නවත් බැහැනේ..

කවුන්ටරේ ඇතුළින් ඇහෙනවා
"ඔයාගේ කාගෙද..?"
"ආ මගේ වයිෆ්ගේ..."

හ්ම්ම්..ඒ කියන්නේ එයාගේ නෙවෙයි අම්මාගේ හැදුනුම්පත හදාගන්නයි ඇවිත් තියෙන්නේ...

ඒත් මුස්ලිම් පවුලක් කියලා මට මෙ නම ඇහෙනකන් හිතුනේ නැහැනේ...

ඒ තරම්ම සැහැල්ලූවෙන් ඒ අය හිටියේ...

අම්මා උනත් අපේ සිංහල විදියට ඇදලා කරලා හිටියේ...
තාත්තාත් එහෙමයි...

සඳකිඳුරීනං කොහොමත්ම මොන ජාතියකද කියලා මට කියන්න බැහැ...

ඔන්න බර්ගර් කියලාවත් කිව්වනං හිතන්නවත් තිබුණා...

මෙ අස්සේම මට ඇහෙනවා විශේෂ නිවෙදනයක්..කාගේද කුඩා අත්බෑගයක් ආරක්ෂක අංශයට හමු වෙලා ඇති බවත් අනන්‍යයතාවය ඔප්පු කර එය ලබාගන්නා මෙනුත් කියනවා...

හුටා මගේ නම නේද කියවන්නේ...

මම බැළුවා මෙච්චර වෙලා අතේ එල්ලගෙන හිටිය මගේ හෙල්මට් එක දිහා...
නැහැ නේන්නං..දැන් පොඩ්ඩකටත් කළින් ඒකේ තිබුනු බෑග් එක නැහැ නේන්නං...

මම ගියා වටෙන් ඒක ගන්න..

ඒ ගිහින් ඒක අරගෙන ආපහු අතනට එනකොට අර තාත්තත් නැහැ..මගේ නමත් කියවිලා ඉවරයිද කොහේද..?

ඒ අස්සේ මං ළග හිටිය මනුස්සයෙක් කියනවා..
ආ ඔයාගේද ඕක මම මේ දැන් මෙතන තිබිලා ඕක ගිහිං දුන්නේ..

කාලා වරෙංකෝ...

මගේ පිටිපස්සේ හිටපු මනුස්සයා ඕක වැටෙන පරක්කුවට අරන් දුවන්න ඕනද..?

චුට්ටක් ඇහැව්වනං මොනවා වෙනවාද...

ඒකේ ඒ හැටි දෙයක් තිබුනේ නැහැ...

ලියුම් කවර දෙකතුනකුයි..සන්ග්ලාස් එකයි...

ඒ මගුළ ගන්න ගිහින් මට හැදුනුම්පතත් මිසින්...
අරයාත් මිසින්...

ඒත් ඉතින් අර මනුස්සයටත් ස්තූති
කොරලා..තවත් පැය භාගයක් විතර කට්ට කාලා හැදුනුම්පතත් අරන් මම එළියට ආවා..

සඳ තියා සඳ බැස ගිය පාරක්වත් නැහැ..තනිකරම අන්ධකාරේ...

ඔන්න ඔහොමයි ඒ සිද්ධිය උනේ...

හිටි හැටියේ පායලා...නොකියාම බැස ගිය රාමලාන් සඳ...

.........................................


ප.ලි.

ලස්සන කියන දේ මනින්න බැහැ...
ඒත් අපිටම ආවේනික මිනුම් දඩු අපි කා ගාවත් තියෙනවා.

කාලෙකින්..සමහර විට මුළු ජීවිත කාලෙටම මම දැක්ක ලස්සනම දේ මෙ වෙන්න ඕන...
හිතේ කහටක් නැතිව ඒක කියන්න ඕන...

ආයේ කවදාවත් මම ඒ ලස්සන දකින එකක් නැහැ.
ඒත් මට සතුටුයි..එක පාරක් හරි මට ඒ ලස්සන දකින්න හම්බ උන එක ගැන...

චූටි දුකක් තියෙනවා කටහඩ හරියට අහගන්න බැරි උන එක ගැන...

මේ ආදරය කියලා හිතන්න එපා කව්රුවත් එහෙම...
අයිති කරගන්නවත්...
ලෝභකමක්වත් හිතුනේ නැහැ.
මගේ ආදරේ මැරිලා හුගක් කල්...

ඒත් ඒ සුන්දරත්වය මාව අමුතුම ලෝකෙකට අරගෙන ගියා..පැය කිහිපයකට...

ඒ සතුටත් හිත දරාන..කවි ලියනෙමි ඔබේ නමට...
බැසගිය සඳ රාමලාන්..යළි කිසිදින මා නොදකින...

බොන එකත් මාරම මාර වැඩක් අප්පා...

02 November 2010

2oo... සඳ දුටිමි...ඒකත් රාමලාන්ය...

මෙ මගේ දෙසිය වැනි පෝස්ට් එක..ඇත්තටම මම මෙ ක ලියන්න හිටියේ මෙ බ්ලොග් එකට වසරක් පිරෙන දවස දිහාවට..ඒත් අද මට නොලියා ඉන්න බැහැ.
ඒ හින්දා ඔන්න ඔහේ ලියලා දානවා...

කාලෙක ඉඳන්..ඒ කියන්නේ හරියටම අවුරුදු දෙකකටත් පස්සේ මම අද මගේ හැදුනුම්පත්‍රය හදා ගත්තා..
දැනට පැය කිහිපයකට කළින් මට තිබුනේ පැවිදි හැදුනුම් පතනේ.
ඕක වෙනස් කරගන්න බැරිව මම හිටියේ පහුගිය කාලෙම..

මොකද පැවිදි හැදුනුම්පත නැවත ගිහි හැදුනුම් පතක් බවට හරවන්න බෞද්ධ කටයුතු දෙපාර්ථමේන්තුවෙන් ලිපියක් ගේන්න ඕන..
ඒ ලිපිය දෙන්න නම් තමන් පැවිදි වෙලා හිටිය නිකායට අයත් මහා නායක හිමියන්ගෙන් ලිපියක් ගෙනවිත් බෞද්ධ කටයුතු දෙපාර්ථමේන්තුවට දෙන්න ඕන...
මහ නායක හාමුදුරුවෝ ලිපිය දෙන්න නම් තමා පැවිදි උන ගුරු හාමුදුරුවන්ගෙන් ලිපියකුයි, පළාතේ නායක හිමි නමකගෙන ලිපියකුයි, තව ග්‍රාමසේවක සහතික කරපු ලිපියකුයි, තමාගේ නම් පිළිබඳ සමාදාන විනිසුරු කෙනෙක්ගෙන් දිව්රුම් ප්‍රකාශනයකුයි දැනට පදිංචි වසමේ ග්‍රාමසේවකගෙන් ලිපියකුයි...ඕන...

ඉතින් ඔය මගුල් හින්දා මම හැදුනුම්පත ගැන නොහිතා හිටියේ...
අනික මා ගාව මම මහණ වෙන්න කළින් ගත්තු රියදුරු බලපත්‍රයක් තිබුණා.. ඉතින් හැදුනුම්පත වෙනුවට ඕක පාවිච්චි කළා..ඒ හින්දා ඒක ඒ හැටි දැනුනේ නැහැ.

හැබැයි පොඩි පුස්නයකුත් තිබුනා..
ඒ රියදුරු බලපත්‍රය ත්‍රිරෝද රථ සඳහා නිකුත් කල එකක් විතරයි.

දන්න අය දන්නවා නෙව මං ත්‍රීරෝද රියදුරු හැටියටත් හිටියා කියලා..හැබැයි මගේම ත්‍රීරෝද රථයක තමයි..

ඒ කියන්නේ මම මුළින්ම ඉතිරි කරපු සල්ලි වලින් මුළින්ම ගත්තු වාහනය උනේ ත්‍රීවීල් එකක්..පස්සේ තමා එක දෙක වෙලා ඊට පස්සේ පොඩි වෑන් පොඩ්ඩකුත් ගත්තේ..

ඒ උනාට ඔය මුල්ම ත්‍රීවීල් එක ගත්තු කාලේ මට ආර්ථීක අතින් සෑහෙන අමාරුයි...

එහෙං අම්මටයි තාත්තටයි දෙන්නටම සනීප නැහැ..තාත්තා සදාකාලික අංශභාග රෝගී තත්වයේ...
අම්මා අංශභාගේ හැදිලා යන්තං ගොඩදාගෙන විතරයි තිබුනේ..
ගෙදර වියදං..ඛෙහෙත් හේත්...ප්‍රශ්න කිව්වහම එකක් නෙවෙයි දාස් ගණන්...

ඒ අස්සෙම මට ඒ වෙනකොට කරමින් උන්න රැකියාව..ඒ කියන්නේ කුරුළු හමුදාවේ රැකියාව..දාලා එන්න උනා...
මට ගෙදර බලන්න තරං නිවාඩු හම්බ වෙන්නේ නැහැ ඒ වෙනකොට..ඒ හින්දා අන්තිමට මම රස්සාව පැත්තක තියලා ගෙදර ආවා.. මම බොහෝම ආසාවෙන් කරපු රැකියාව...
මගේ වෘත්තීය උනේ අවි ආයුධ ශිල්පී... ඒක ඔක්කෝටම වැඩිය ආස විෂයක්..ආමරි සයිඩ් එක නියමයි.ඒත් ඒ හැම දේම දාලා මම ගෙදර ඇවිත් අතේ තිබුණු හැම සතේම දාලා තමයි ඔය ත්‍රීවීල් එක ගත්තේ..ඒක ගත්තට මොකද පාක් එකේ දුවන්නනං අනිවාර්යයෙන් ලයිසන් තියෙන්න ඕන...

රියදුරු බලපත්‍රයක් ගන්න තරං මුදලක් යට කරන්න මට ඒ වෙලාවේ කොහොමටවත්ම බැහැ.
බොහෝම අමාරුවෙන් රෝල ගහගෙන යන්න වෙලා තිබුනේ..
මොන දේ උනත් කාටවත් ණයක් නොවී ඉන්න මගේ පුරුද්ද කඩන්නත් බැහැ.

ඒ හින්දා අනිත් වාහන වලට පස්සේ ගන්නවා කියලා හිතලා මම ඒ වෙලාවෙ ගත්තේ ත්‍රීවීල් වලට විතරක් වලංගු රියදුරු බලපත්‍රයක් විතරයි.

ඉතින් ඔය ත්‍රීරෝද රියදුරු බලපත්‍රය තමයි මා ළග තාමත් තියෙන්නේ...

ඒත් ඉතින් දැන් මම ගමන බිමන මොටෝ බයිසි එකෙන් නෙව...
ඕකට අරක වලංගු නැහැ..ඉතින් මක්කෙයි කරන්නේ...

පාරේ තොටේ යනකොට බොහෝම කල්පනාවට තමයි යන්නේ...
ඇහැ නිතරම ඈත තියෙන වංගුවල තියාගෙන තමයි යන්නේ...යන්තමට හරි පොලොසී උන්නැහේලා ඉන්නවා වගේ තේරුනොත් පාරේ මැද්දට අරගෙන පාරේ යන ලොරියකට හරි වෙනත් වාහනේකට කවර් කරගෙන අර පොලෝසී උන්නැහේලා ඉන්න තැනදී අර වාහනේට ඉස්සර කරනවා අර ඈයින්ට මාව නොපෙනෙන විදියට.
ඉතින් මම පාරේ යන තරමක් යන්නේ මැද්ද අල්ලලා.
ඒත් ඉතින් ඔය වතාවක් දෙකක් මාව අල්ලගෙන තියෙනවා සමහර තැන්වලදී...

ඒ වෙලාවට ඉතින් බේරිලා යන්න විදියක් නැහැනේ..ලයිසන් එක බලපු ගමන් කියනවා..

කෝ මේකෙන් බයික් පදින්න බැහැනේ ..කියලා...

මම නොදන්නවැයි ඒක...

ඉතින් සමහර තැන්වලදීනං කළින් පොලෝසියේ හිටිය විස්තර එහෙම කොහොම හරි පටලලා උඩට අරන් යන්තං ගැලවිලා යනවා...
තවත් වෙලාවකට බැරිම තැන ඇත්ත සීන් එකම කියනවා..මගේ හැදුනුම්පත් ප්‍රශ්නය..
ඉතින් හැදුනුම්පතත් අරගෙන බලලා..යන්න අරිනවා..හිතට හරි නැති උනත් වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.

සමහර වෙලාවට ඒක අදින්න තියෙන අකමැත්ත හින්දාම ඔය කීයක් හරි ඉල්ලන ගාණක් පුදන වෙලාවළුත් තිබුනා..දඩ කොළ ගෙව්ව වෙලාවළුත් තිබුනා...
ඔහොම තියාගෙන තමයි මාරයා පහුගිය දොහේ කතරගම උනත් ගියේ...
කිව්වට විශ්වාස කරන්න..මෙහෙ ඉඳන් කතරගම ගිහිල්ලා ආපහු එනකං එක තැනකදීවත් පොලිසියට අහු නොවී මම ආවයි කියමුකෝ..
ඒත් මෙහෙ ඉඳලා කිලෝ මීටර් දහයක් යන්න බැහැ බේරිලා...

ඉතින් ඕක හැමදාම කොරන්නත් බැරි හින්දා මම අකමැත්තෙන් උනත් අපේ ලොකු හාමුදුරුවන්ගෙනුයි නායක හාමුදුරුවන්ගෙනුයි ලිපි ඉල්ලූවා හැදුනුම්පත හදාගන්න..

ඕන්න ඔතනදී තමා කේස් එක උනේ...මෙයාලා දැන් මට ලියුම් නොදී වටේ අරින්න හදනවා...
ලියුම් දෙන්න කළින් අරයගෙන් අහන්න ඕන..මෙයාගෙන් අහන්න ඕන..ආදී වශයෙන් පල් හෑළි කියවන ගමන්.

මම ආයෙමත් දෙපාරක් දෙයක් ඉල්ලන්න කැමති නැහැ කියලා හොඳටම දන්නවා එයාලා..ඒත් දැන් මාව මඩවන්නයි හදන්නේ..

කට්ටියට වැරදුනේ ඔතනදී තමා...

කොහොම හරි එයාළගෙන් ලිපි ඉල්ලලා සතියක් ඇතුළතදී එයාලා මට ලිපි නොදුන්නත් මම අවශ්‍ය ලිපි නියම විදියට බාරදීලා මහනායක හිමියන්ගේ ලිපියත් අරගෙන..ඒක දීලා බෞද්ධ කටයුතු දෙපාර්ථමේන්තු ලිපියත් අරගෙන..

අපේ ගමට ගිහින් ඒ ග්‍රාමසේවක මහත්තයා මගින් අදාළ ලිපි ලේඛන පුරවගෙන..අද උදේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ඒ ලිපිලේඛනත් සහතික කරවාගෙන...
උදේ දහය වෙනකොට ගිහින් එක්දින සේවාව යටතේ හැදුනුම් පත හදන්න බාර දුන්නයි කියමුකෝ...

අන්තිමට යන්තං හැදුනුම්පත අතට ලැබුනේ හවස හතට විතර තමා..එහෙම හරි කමක් නැහැ ඔන්න අද ඉඳලා මටත් හැදුනුම්පතක් ලැබුනා.

හැබැයි මට පස්සේ ආව සියගාණක් ඒ අයගේ හැදුනුම්පත් අරගෙන ගියාට පස්සේ තමයි මට මගේ වැඩෙ කරගන්න හම්බ උනේ..

දවල් වෙන කොට මට එපා වෙලා උන්න්නේ..
ඔය හිටියා වගේ ඉතිරි කාලෙත් හිටියනං හොඳයි කියලාත් හිතුනා...

හවස දෙකට විතර තමයි මම ඔය කියන්න පටන් ගත්ත සඳ පෑව්වේ...
එතන ඉඳලානං කාලේ යන එක ඒ හැටි ප්‍රශ්නයක් උනේ නැතුවා...


හ්ම්...

කියන්න ගත්තේ ඒ කතාව උනත් දැන් ලියලා තියෙන්නේ වෙන මොකක්ද නෙව...
දැන්නං නිදිමතයි හොඳටම...

හෙටවත් ලියන්නං සඳවත පායාපු අපූරුව...
ඒ වගේම සඳ රාමලාන් වීමත් ගැනත්...