30 December 2010

තවත්නම් මට එපා...

කොතරම් සුන්දරද මල් පෙති පිපුණු නැවුම්..
කෙලෙසින් තැනුනේද පිරි පුන් පැහැ මනරම්..
දුටුවෙන් මන බැඳුණි ඒ වෙත කර නොසෙවුම්..
රිදවුම් දෙවන්නෙද කටු අග විස රැඳුනෙන්..

මල් පෙති සුමුදු සුසිනිඳු බව විය වැටහුම්..
ඒ පෙති යටින් ඇති කටු ගැන නොව විපරම්..
විගසින් ගොසින් නෙළනට ඒ මල් මනරම්..
කටු විස වැඳී තාමත් හද වීය ගිලන්..

ලොව ඇති නේක විසිතුරු මල් වල දැවටී..
ඒහා බැඳුනු කටු අතු ඉති බොහො පවතී..
ඒ බැව් නොදැන මල් නෙළුමට ගොස් වැරදී..
මා මෙන් දුක් විඳින අය තව බොහෝ වෙතී..

මල් ගොමු අතර පිපි සියළුම මල් පැරද..
හද දිනු මලට විය කාගෙත් ලෝබ සිත..
එනමුත් එමල අපහට නැතිනම් උරුම..
කටුවල පැටළිලා දුක් ගන්නෙද කුමට..

කටු අතු එපා ඒ හා ඇති මලූත් එපා..
සුවඳත් එපා මනරම් පැහැ කිසිත් එපා..
මල් ගොමු තබා වන වදුලක් උවද එපා..
කඳුළැල් වලින් නිම වෙන කවි මලූත් එපා...

අවසන් ලිපියයි ඔබට ලියන්නේ...

හොඳයි එහෙමනං මෙ අවුරුද්දෙත් අන්තිම දින දෙක උදා උනා..
සමහර විට..සමහර විට නෙවෙයි හරියටම කිව්වොත් බොහෝ විට මේ ලියන්නේ මේ අවුරුද්ද තුල මාරයා ලියන අන්තිම පෝස්ට් එක වෙන්න පුළුවන්...
ඒත් ඉතිං දන්නෙ නැද්ද මාරයා කියන්නේ මෙ ලෝකේ මිනිහෙකුට ෂුවර් කරන්න පුළුවන් එකෙක්යෑ...
ඒ කොහොම වෙතත් මෙතනින් නවත්තන්න කියලා හිතාගෙනනං ඉන්නවා ඕං...

කොහොම උනත් ආපහු හැරිලා බලලා හුගාක් සතුටු වෙන්න පුළුවන් අවුරුද්දක් කියලා මම හිතන්නේ නැහැ..ඒත් සමහර විට..තව කාලයක් යනකොට මේ අවුරුද්ද ගැන උනත් මීට වඩා ආශාවෙන් බලන්න පුළුවන් කාලයක් නොඑයි කියලා කියන්නත් බැහැනේ..මොකද අද මේ වෙන කොට මම මේ බ්ලොග් එකේ ලියලා තියෙන හුගාක් දේවල් ඒ කාලේ මම මහා දේවල් කියලා හිතපු දේවල් නෙවෙයි.
ඒත් අද වෙන කොට ඒ හැම දේටම වටිනාකමක් තියෙනවා.

අතීතය සුන්දරයි..එය හැමදාමත් එහෙමමයි..නමුත් අද අපි අතීතය කියලා හදුන්වන ඒ යුගයන් හී අප වර්ථමානය ගෙවා දමන විට ඒ කාල වල මහා සුන්දරත්වයක් අපි දකින්නේ නැහැ..
දුක..කලකිරීම..වේදනාව..නොරිස්සුම..මෙන්න මේ දේවල් එක්කයි මමනං ඒ කාල ගෙව්වෙ..අතරින් පතර සතුට සැනසුම නොතිබුණාම නොවුනත් ඒ හැම දෙයක්ම අර දුකින් කඳුළින් අපිව වසා ගන්නවා...

මනුස්ස ජීවිතේ හැටි ඔහොමයි...
හැමදාමත් ළග තියෙන දේ නෙවෙයි වටින්නේ ළග නැති දේ...
හරියට මම මළ ගිය ප්‍රේම පුරාණයට හඩනවා වගේ තමයි... මක් කොරන්නද..ඔහොම තමයි අපි...

ලියන්න දේවල්නං අපමණ තියෙනවා..ඒත් පෙළ ගැසෙන පිළිවෙල හරි අපිළිවෙලයි.

ඒ අපිළිවෙල හින්දාම පහුගිය අවුරුද්ද ගැන කියන්න කළිං හෙට අනිද්දා උදා වෙන අවුරුද්ද ගැනත් කතා කොරමුකෝ...

මෙච්චර කාලයක් ගෙදර එල්ලලා තිබුනු කැලැන්ඩර් දෙකේ..පොඩ්ඩක් හෝව්...

ආ හරි ගිහින් බලලා ආවා..එකක පිටු කඩන එක අගෝස්තු මාසෙන් නැවතිලා..
අනික ඔක්තෝබර් වලින් නැවතිලා..ඒ කියන්නේ මම ඊට පස්සේ කැලැන්ඩරේ දින බලලා නැහැ.කමක් නැහැ ඔහොමම තිබිච්චදෙන්..හෙට අනිද්දට අළුත් කැලැන්ඩරයක් හම්බු උනොත් බැරියෑ ගලවලා දාලා එකෙන්වත් දින බලන්න.
ඉතින් මම මොකක්ද කැලැන්ඩර් ගැන කියන්න ගියේ..අම්මපා මට මතක නැහැනේ..මදැයි කොලා.
හ්ම් මතක් උනොත් බැරියෑ පස්සේ හරි කියන්න.

කොහොම උනත් අළුත් අවුරුද්දේ කියලා අමුතු වෙනසක් තියේවි කියලා මම හිතන්නේ නැහැ.ඒත් මම ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ මට දැනට මේ කරගෙන යන රස්සාව නැති වෙයං කියලා.
ටිකක් අප්සෙට් වගේ නේද..?
ඔව් ඒත් ඒක මම මේ බීලා හින්දා කියන කතාවක් නෙවෙයි.
මම දැන් මහම මහා කම්මැලියෙක් වෙලා...
දවසක් ඇර දවසක් කරන රස්සාවට මම කැමතියි..ඒත් ඒක හින්දා මම එක තැන නැවතිලා.
ලොකේ කැරකෙනවා දැන් මට දැනෙන්නේ නැහැ.
මාසෙ අන්තිමට ස්ථීර වශයෙන් වැටුපක් හම්බු වෙන එකනං ටිකක් විතර සුරක්ෂිත කොරමයක් තමයි.
ඒත් ඉතිං හැමදාම එහෙමම තමයි.

පහුගිය දොහේ වැඩි වෙච්ච සුළු මුදලත් එක්ක යන්තං දහ හත් දාහක් දහ අට දාහක් විතර අතට ලැඛෙනවා...
කාලා බීලා නවාතැං කුලී ගෙවලා ජීවත් වෙන්නනං ඒක හොඳටම ඇති.
ඉතුරුවක් කියලා මහ ලොකු දෙයක් කොරන හාදයෙක් නෙවීනේ මංතුමා.

ඒත් දැන් හිතෙනවා මට කෙළවෙයං කියලා..ඒ කිව්වේ මේ ජොබ් එක නැති වෙයං කියලා..මොනවා කොළත් මම අස්වෙන පාටකුත් නැහැ.
මුං මාව අස් කොරන පාටකුත් නැහැ.
මට දැන් ඇති වෙලා...
ඕන ලබ්බක් කියලා කේන්දරයක් බලා කියාගෙන හිටින්න ආසයි.

ඒත් ඉතිං ඒක හරි හැටි ස්ථාවර ආදායමක් ඇති රස්සාවක් නොවන වග මම දන්නවා..සමහර කාල වලට මාත් ඕකෙන් මාසෙට හතළිස් දාහ පනස් දාහ හොයපු දවස් තිබුනා..ඒ වගේම ඔය වරුසා කාලෙට එහෙම මිනිස්සු කේන්දර බලන්නම කියලා පැනගෙන එන්නේ නැහැ..ඒ වගේ කාල වලට දහයක් හොයන්නත් ලේසි නැහැ. ඉතිං දැන් තියෙන නිතර වහින දේශගුණික තත්වයත් එක්ක ඒක ටිකක් අවදානම් වැඩක්.

අනික දැනට මම ඉන්න තැන උනත් ඒ වැඩෙට ඒ තරම්ම යෝග්‍යය නැහැ.
ඒ විතරක් නෙවෙයි..ඒ සඳහා මූලික වියදම් කිහිපයක් දරන්නත් වෙනවා.ඒකත් ලේසි නැහැ.
යන්තං රුපියල් විසිපන්දහක්ද කොහේද පොතේ තියෙනවා...

ඉතිං ඕකත් තියාගෙන ජීවිතේ ගැට ගහ ගන්නයි... අළුත් දේකට අත ගහන්නයි ලේසි නැහැ.
දැනට ඉතිං ඔය දන්න කියන අය බලහත්කාරයෙන් වගේ ඇගේ ගහලා යන කේන්දර මාස ගාණක් ගියාට පස්සේ තමයි බලලා දෙන්නෙත්...
ඒත් ඉතිං බඩ රස්සාවට ඕක කොරන්න ගත්තොත් එහෙම බැහැ..ටිකක් උනන්දුවෙන් මිනිස්සු රස්තියාදු කොරන්නේ නැතිව ඕක කොරන්නත් එපැයි...

කෝකටත් කියලා මම මේ දවස්වල දන්න කියන කීප දෙනෙකුට කිව්වා මට හරියන තැනකින් කුලියට කඩ කාමරයක් හරි පොඩි ගෙයක් හරි හොයන්න කියලා..නවතින්නත් ඇහැකි විදියට..මූලික වශයෙන් ටිකක් විතර මිනිස්සු ගැවසෙන..බස් යන එන තැනකින්.
එහෙම තැනක් හම්බ උනොත් මාරයා යන්නයි හිතං ඉන්නේ...

කොහොමත් හුගාක් හිර උනාම මම ටිකක් විතර හිතට අරගෙන වැඩ කොරනවා.
අන්තිම අඩියට වැටුන හැම වෙලාවෙම මම සටන පටන් ගන්නවා..ඒ මගේ හැටි.
එහෙම නැතුව ඔහේ ගලාගෙන යද්දී යන අතකට යන්න ඇරලා පාඩුවේ ජීවත් වෙන එකත් දැන් පුරුද්දට ගිහිල්ලා..

ඒකට කියන්නේ ඉතිං කම්මැලි කොම තමයි.

ඉතිං අළුත් අවුරුද්දේ කොරගෙන ඉන්න මුර ජොබ් එක නැති වෙයං.

ඊ ළගට බීම...
ඕක නවත්තලා දාන එකනං හෙනම හෙන අපරාදයක්...
යන්තං හරි ආතල් එකක් තියෙන්නේ ඕකේ විතරක් වෙච්ච එකේ නවත්තන එක වැඩක් ඇති වැඩක් නෙවෙයි...
ඒත් ලබන අවුරුද්දේ ඉඳලා ඒ සඳහා වියදං කරන මුදල සීමා කරනවා..ඒ කියන්නේ දැන් මම අනිවාර්යයෙන් මාසෙකට අරක්කුවලට රුපියල් තුන් දහත් හාර දහත් අතරේ වියදං කරනවා...
ඒක වෙන්නේ මම ගෙදර ඉන්නේ දවස් පහළොහක් නිසා..
ඒ වියදමත් මාසෙට රුපියල් එක්දහස් පන්සීයත් දෙදහත් අතර ගාණකට ගේන්නයි බලා පොරොත්තුව.
ඒකනං කරනවා කියලා හිතුවා..ඕක මහ කජ්ජක් යෑ...
කන සාක්කුවට නොදා..උරහිස ගාවින් නවත්ත ගත්තාම ඒක කොරන්ට පුළුවන්..
උපරිම මාසෙට බෝතල් දෙකයි..ස්ටෑන්ඩ්බයි බාග තියා ගන්න එකත් සපුරා තහනං.

ඔන්න ඔය දෙක තමයි මූලික වෙන්නේ අළුත් අවුරුදු උදාවට...

ඊට අමතරව වැට උඩ තියෙන කාරණාව තමයි කොහොම හරි මතකය අමතක කොරන්න උත්සහ කොරන එක.
ඒත් ඒක තනියම කොරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මොකද මම නොදන්න වෙලාවල්වලට හිටි හැටියේ මගේ හිතට එයා ගොඩ වෙන්නේ තාමත් මගේ හිතේ පූර්ණ අයිතිය එයාට සින්නක්කර ලියා දීලා තියෙන හින්දයි..ඉතිං ඒ අයිතිය තියෙනකං මට තනියම තීරණයක් ගන්න බැහැ.
ඒත් මගේ පැත්තෙන් මම උත්සහ කරනවා.

ඔන්න ඔහොම තමයි අළුත් අවුරුද්ද ගැන මම දකින්නේ...

ඉතිං පරණ අවුරුද්ද..

ඔහේ ගෙවිලා ගියා..රස්සාවටයි බ්ලොග් එකටයි පින් සිද්ධ වෙන්න ගෙවිලා ගිය වරුසයක්...
රස්සාවෙන්නං අන්තිමට කලකිරීම විතරයි ඉතුරු වෙන්නේ...

ඒත් බ්ලොග් එක මාව අදටත් ජීවත් කරවනවා.
ඇත්තටම මේක තිබුනේ නැත්තං මට මෙලහට පිස්සු හැදිලා...

කොහොම උනත් පහුගිය අවුරුද්දෙම මම මට පුළු පුළුවන් හැම වෙලේම මොනවා හරි ලිව්වා..
හුගාක් අය ආවා ගියා..නිකංමත් නෙවෙයි ඒ ආව ගිය හුග දෙනෙක් එක අකුරක් හරි මේකේ සටහන් කරලයි ගියේ...

ඉතිං මමවත් හිතුව නැති තරං මිත්තරයෝ රාශියක් අද මාත් එක්ක ඉන්නේ මේකට පින් සිද්ධ වෙන්න.
ඒ අතරේ ටැබූගේ අගය කිරීමකුත් මට හිමි උනා.
ඇත්තටම ටැබූගේ අගය කිරීම මතම තව හුගාක් අය මේ අහ ගොඩ වෙන්න පටන් ගත්තා..ඒ එක්කම රාජකීය විදුහලේ අපේ සුදාරක මලයලගේ අර සාහිත්‍යය උත්සවෙන්..ඒ කිව්වේ අර අසනිය කුසුමෙන් මට ලැබුණු තාමත් කළුද සුදුද කියලාවත් නොදන්න අපි නොදන්න සම්මානෙත් බොහෝම හිතට ගැම්මක් අරගෙන ආපු දේවල්...
ඒ ඇර අවුරුද්ද අහවර වෙන්න ඔන්න මෙන්න තියලා බ්ලොග්කරණයේ යෙදිලා ඉන්න අපේ රැහේ අපේ ඈයෝ ටිකක් සියැසින් දැක බලාගන්නත් පින තිබුණා නෙව.

ඉතිං මෙ කාලය තුල මාත් එක්ක රැඳී හිටිය ඒ හැමෝටම බොහෝමත්ම ස්තූතියි කියලා කියන්න ඕන..
ස්තූතියි අනේකවාරයක් නුඹලාට...මාරයාව ජීවත් කෙරෙව්වට...

ඉතිං ඔන්න ඔහොමයි කතන්දරේ...
තව එකම එක වටයක් වීදුරුවේ ඉතිරි වෙලා තියෙනවා..ඒකත් ආමාශගත කොරගෙනම මේ ලිපියත් මෙහෙමම අහවර කොරන්නයි ලෑස්ති වෙන්නේ...මෙ අවුරුද්දට මම ආයෙම බොන්නේ නැහැ. මොකද හෙට මම වැඩ නෙවැ.

සියළු දෙනාටම ලබන්නා වූ 2011 වසර සාමකාමී...හිතේ සැනසිල්ලෙන්..ගත කොරන්න ලැඛෙන සැනසිලි දායක වසරක් වෙවා...!
අනුන්ට ඊර්ෂ්‍යා නොකර..වෛර නොකර...අපහාස උපහාස මැදහත්ව ඉවසා දරාගෙන..ලැඛෙන දෙයින් සතුටු වෙලා බොහෝම නිහඩව ඉදිරිවසර ගත කොරන්න මටත් ඉඩ කඩ සැලසේවා...!

28 December 2010

හෙට දිනයෙත්..

නුඹෙ නමින් නෙතු කඳුළැල් ගලා හැලෙන සැදෑ කලේ..
ජීවිතයෙන් පලා යන්න කිසි විටකත් මෙමට නොහේ..
හෙට දිනයෙත් පෙර දින මෙන් පැතුම් ගගුල හොවා ලයේ..
යළි එනතුරු මාවත කොන නුඹෙ නමින් සිටිමි මෙසේ..

ජීවිතයේ පෙර දිනකදි අපමණ සුව සැදූ ලයේ..
නුඹෙ නමට කවි ගී වැල් මුතු අමුණා එවමි මෙසේ..
එදා වගේ අද මා ළග ඔබ නැති මුත් රැඳී එසේ..
සංසාරෙ මා සැමදා ඔබ ලගින්ම හිදිමි මෙසේ..

26 December 2010

මගෙ තනියට නුඹ නාඩන්..සුරතලියේ...

"පුතේ...
චුටි පුතේ.."


"හ්ම්ම්"...
සිහින් කෙඳිරිය විනා ඇය ඇස් අරිනා පාටක් නැත...
ඇගේ සුව නින්ද බිඳ දමන්නට මට සිත් නොවේ...

නැවතත් මා ඇය අසලින් වැතිර ගමි.
ඇගේ සුරත මා බඳට ඉහළින් ඇදි යන්නේ නිරායාසයෙනි..

"කපටි කෙල්ල නිදි නැහැ නේද..?"

"මං නිදි අයියෝ.."

"හා ඔව් ඔව් මට පේනවා නිදි කියලා..නිදි නං කොහොමද මේ කතා කරන්නේ.."

"අනේ මට කරදර කරන්න එපා..මං නිදි..."
ඇය පොඩි එකෙකු සේ කෙඳිරිලි හඩ නගයි...

මා නිහඩ වෙමි.හිසට යටින් අතක් යවා සිරුමාරුවට ඇගේ හිස මා පපුවමතට ගනිමි.
උණූසුමට ගුලි වෙන පූස් පැටවක සේ ඇය මා පපුතුරේ කිසිවක් සොයමින් ඉව අල්ලමින් තව තවත් තදින් මා බඳා වැළඳ ගනිමින් නිදන්නට සැරසෙයි...

"හ්ම්ම්..කමක් නැහැ එහෙනම් තව චුට්ටක් දොයිය ගන්නකෝ"..
මමද නෙත් වසා ගනිමින් පවසමි...
මොහොතක්..දෙකක්..නැත..එය කාලයෙන් මැනිය හැක්කක් නොවේ..ආත්මයක්..ඊට වැඩි කාලයක්..මහා කාලයක් ගත වූවාසේ හැගෙයි...

"ඇයි දෙයියනේ අපි හම්බ වෙන්න මේ තරම් පරක්කු උනේ"..දිනක් ඇය මගෙන් ඇසූ පැනය නැවතත් මා මගෙන්ම විමසා ගනිමි.

හදවතේ සිරව තිබූ මහා දුකක් සුසුමක් ලෙසින් පිටව ගියේ මටත් නොදැනීමය...කිසියම් වෙනසක් වූ බව මට හැගේ..මා සෙමින් දැස් විවර කලෙමි...
ඇය මා පපුතුරේ මුහුණ හොවාගෙනම දැස් විවර කර මාගේ මුහුණ දෙස බලා සිටී...මා ඇය දෙස බලනවාත් සමගින්ම ඒ දෑස් පුංචි වී යනු මා දුටිමි..
"මොනවද ඔය තරම් කල්පනා කරන්නේ.."

"මුකුත් නැහැ.."

"එහෙනම් මෙ තරමට පපුව ගැහෙන්නේ.."

"අනේ මන්දන්නේ නැහැ..මට බයයි.."


"පිස්සෙක්"..
ඇය මට කොනිත්තමින් නැවතත් නෙතු පියා ගනිමින් කීවාය...
මම සෙමින් සෙමින් ඇගේ හිසකේ අතරින් ඇගිළිතුඩු යවමින් මෘදුව හිස පිරි මදින්නට වීමි.
හ්ම්ම්...ඇය තවත් තදින් මා සිරුර වෙළා ගනිමින් සිටී...මා හිසකේ පිරිමදිනා අතරම අනිත් අතින් ඇගේ පොරවනය සකස් කලෙමි.

"දැන් කීයද වෙලාව...?"

"හ්ම් මම දන්නෙ නැහැ.."

"අනේ..?"

"තුනටත් කිට්ටුයි.."

"නැහැ"..

ඇය බියපත්ව හිස ඔසවයි..

"ඔයා හරි මොඩයෙක්නේ..ඇයි මට කිව්වේ නැත්තේ..?"

"කියන්න තමයි හැදුවේ..කෝ ඉඩක් දුන්නයෑ..."


"මැට්ටා.."

"මැට්ටී..."

"යනවා යන්න බකමූණා.."

"බකමුණී.."

"මීමා.."

"මීමී.."

"හිහ් හිහ්..ඒ මොකාද..?යනවා යන්න..හරියට රණ්ඩු වෙන්නවත් බැහැ.."


"මොකද රණ්ඩු වෙන්නනං බැරි.."

"එහෙනං රණ්ඩු වෙයංකෝ.."

"හරි රණ්ඩු වෙමු.."

"පලයං බං උඹ කොහොමද මාත් එක්ක රණ්ඩු වෙන්නේ.."

"ඇයි උඹ හිතුවද මට රණ්ඩු වෙන්න බැහැ කියලා.."

"පලයං යන්න..ආවා මෙතන මට උඹ උඹ කියන්න.."

"ඇයි දැන් තෝමනේ කිව්වේ මටත් උඹ උඹ කියලා.."

ඇය සිනාසෙයි..නොනවත්වාම සිනාසෙයි..
මා ඇත්තෙන්ම පෙම් බඳින්නේ ඇගේ මේ සිනහවට නොවේද..ඇගේ මුරණ්ඩු කමට නොවේද..?
ඒ සෑම ඉරියව්වක්ම මා නැවත නැවතත් ජීවත් කරවනවා සේය..ඇය වෙනුවෙන් කුමක් කල නොහැකිද..?

"ඇයි අනේ ඔයා මට ඇහැරෙව්වේ නැත්තේ..?"

"මට දුකයිනේ...ඒකයි වැඩිය කතා කලේ නැත්තේ.."

"ඔයා මං ගාවම නිදාගෙන ඉන්නවා දකින්නයි මම හැමදාමත් ආසා..කොයිතරම් සනීපෙට ඔය නිදාගෙන ඉන්නවාද..?මම කොහොමද ඔයාව ඇහැරවන්නේ..."

"එහෙනං ඉස්සෙල්ලා කතා කලේ..."


"ඒ ඔයාට බත් කවන්න..ඒත් ඊට පස්සේ ඔයා පපුව බදාගෙන නිදා ගන්න කොට මං කොහොමද ඔයාව ඇහැරවන්නේ..ඉතිං මාත් නිදා ගත්තා.."


ඇය හිස ඉවතට ගනිමින් ඇස් ලොකු කරමින් මදෙස බලයි..

"ඔයා ඉව්වද..?"

"ඔව්.."

"කොයි වෙලේද මම දන්නෙත් නැහැ.."

"එතකොට ඔයා නිදි.."

"ඇයි මාව දාලා ගියේ.."

"අනේ පුතේ දාලා ගියයෑ..මම කුස්සියේ ඉඳන් නිතරම එබි එබි බලන ගමන් තමයි ඉව්වේ."


"ඇයි මටත් කතා කලේ නැත්තේ උයන්න..?"

"මට ලෝබ හිතුනා..."


ඇත්තෙන්ම මට ඇය නිදා සිටිනා සැටි දුටු විට ලෝබ සිතුනි..
දිගටම..දිගින් දිගටම..අර නිදි කුමාරි වගේ ඇය මා යහනෙහි නිදා සිටින්නේ නම්..
එවිට මට හැමදාමත් ඇය දෙසම බලා ගෙන සිටිය නොහැකිද..?

ඇගේ තෘප්තිමත් සිහින් සිනහව රැඳි මුහුණ දෙස බොහෝ වේලාවක් බලා සිටි මා හට සිතුනා නොවේද..?
ඉතා සොඳුරු කාල පරාසයක් ගතවූ අවසන ඇය මාගේ උරහිසට හිස තබාගෙන නිදන්නට වූ අයුරු මා හට සිහි විණි.
කාලය ගලා ගියේ කෙසේදැයි මටවත් නිනව්වක් නොවීය..
එහෙත් හදිසියේම ඇය බඩගින්නේ නේද..?අද උදේටත් හරියට කාලා නැහැ.
ෂොප් එකට ඇවසි බඩු භාණ්ඩ කිහිපයක් රැගෙන ඒම සඳහා මා හා බයිසිකලයේ නැගී මහරගම යද්දී අතර මගදී සුළු ආහාරයකින් පමණක් සෑහීමට පත්වූ ඇය එසේම ගෙදර ඇරලවා පැමිණිය නොහැක..පසු ගිය දින කිහිපයේ අසනීපව සිටි ඇයට ආහාර පිරිය නැතිව ගොස් ඇති බව දන්නා නිසාම ඈ වෙනුවෙන් යමක් සූදානම් කරනු රිසිව ඇයට නොදැනෙන සේ හිස කොට්ටය මතින් තබා ඉවත ගොස් තිබූ පොරෝනය නිසි ලෙස සකස් කොට ඇය සතපා මා කුස්සියට වැදී උයන්නට වීමි...
එළවළු සිහිනියට ගිනිකූරූ සේ කපනා ගමන්ම මා විටින් විට ඇය සිටින මානය නෙත් හෙළුයෙමි..
කිසිදු ශබ්දයක් නොනැගෙන සේ සියල්ල කළ යුතුවිය...

තම්බා පෙරා ගත් සම්බා බත එළවළු සහ බිත්තර සමග තේම්පරාදු කිරීමේදී ශබ්දය නොනැගෙන සේ කිරීමට හැකි පමණ උත්සහ දැරීමි..
බත හැකි තාක් වියළිව තිබිය යුතුය..ඇය කැමති එසේය..
හොඳි බාල්දි ගණන් කෑමට රුසියකු වූ මා හොඳි රහිතව වියළිව මාළු පිණි සැකසීමට හුරු වූයේ ඇය නිසාමය...
බිත්තර හා එළවළු සමග බත තෙම්පරාදු කර..අනතුරුව ඇය කැමතිම මගේ වට්ටෝරුවට අනුව හතු මාළුව සකස් කලෙමි..
යහමින් කෑලි මිරිස් දමා තෙම්පරාදු කොට අවසන ලිපෙන් බෑමට පෙර පුළුස්සාගත් සුදුළුණූ බික් දෙක හැන්දකින් පොඩි කර තක්කාලි සෝස් ස්වල්පයක් සමගින් හතු බැදුමට එක්කල විට එයින් නැගෙන සුවඳට මෙන්ම එහි රසයට ඇය මහත් සේ ඇළුම් කරනා වග මා දනිමි..පළමු වතාවට එසේ හතු සකස් කර දුන් දවසේ..ඇය බත් කෑම පසෙක තබා හතු බැදුම පමණක් ආහාරය කොට ගත්තේ..ජීවිතේ කවරදාවත්ම හතු බැදුමක් නොකා තිබූ පරිද්දෙනි..
මෙයට දින කිහිපයකට පෙර ඇය මා සමගින්ම පිළියෙල කල චිලී පේස්ට් බොතලයද ඇති බැවින් ආහාරය එයින් සෑහෙනා බව මා දනිමි..මේ සියල්ල අවසන් කොටය මා ඇය පුබුදුවා ලීමට ගියේ...

"පුතේ අපි චුට්ටක් නාලා ඊට පස්සේ කාලා ඉමු.
ඔයාට රෑ වෙනවනේ.."


"හා හා..යං යං.."
ඇය ඇදෙන් බිමට පනින්නේ..හරියට මෙතෙක් වෙලා මම කම්මැලිව සිටි පරිද්දෙනි..

"අම්මද බොල බොල ඒ ගමන තියෙන හදිස්සිය..මෙන්න මෙහෙ එනවා"..
මා ඇය ඇග වටා ඔතාගෙන සිටින පොරොනයෙන් අදිමි..

"ඔය..ඕන නැති වැඩමයි කරන්නේ.."
ඇය පොරොනාව රැක ගැනීමට වෙහෙසෙමින් ගතු කියයි..
මම සිනා සෙමින් ඇෙඳන් නැගිට ඇය වඩා ගනිමි.


"අන්න ෂොක්..."

මම ඇය වඩාගෙනම සාලය පුරා ඇවිද යමි...

"බරද..?"

"හම්මේ ඔව්..කිලෝ දහයක් විතර වැඩි වෙලා"..
මම මහත් වූ වෙහෙසට පත්වූවකු නියායෙන් පවසමි..

"අනේ යන්න..බොරු කියන්න එපා"..
ඇය අඩන්නට ආසන්නය..
මගේ මෝස්තරකාරි..ඇය මහත් වෙනවාට කොතරම් බියදැයි මා හොඳින්ම දන්නා නිසා..ඇය තරහ ගැස්සවිය හැකි ආකාරය හොඳින්ම දැන සිටියෙමි.
ඇත්තෙන්ම ඇය මොස්තරකාරියෙකි...
ලස්සනට අඳින්නට පළදින්නට..හිනා වෙලා ඉන්නට ඇය ඉතා කැමතිය..

ඇගේ ඒ සෑම ඉරියව්වක්මත්..මෝස්තරයක්මත් මා සිත් ගත් ඒවා විය...

විටෙක ඇය කෝපගැන්වීම උවමනා වූ විට මම ඇගේ ස්ටේ‍රට් කොට ඇති කොණ්ඩය අවුල් කර දමා දුවමි..ඇය මා පසුපස දිව එන්නේ මා අල්ලා ගැනීමටය..මොහොතක් එහෙ මෙහෙ පනිමින් සිටියද ඇයට මා අසු වේ..

"මොකක්ද ඒ කලේ..?යනවා යන්න ඉරිසියා කාරයා"..අත උස්සා මා හට ගසන්නට මෙන් හදමින් ඇය කියයි...

දෙනොම නාන්නට ගිය විට මම ඇයව ප්‍රථමයෙන් නාවන්නෙමි...
"මට කුචු හලෝ"...
පිටේ සබන් ගෑමට යෑමේදී සැමදාමත් නළියන ඇය නැහැවීම පොඩි දරුවකු නාහවනවාට වඩා අසීරු කටයුත්තකි.

නෑමෙන් අනතුරුව තෙත හිදෙන තෙක් කොණ්ඩය ඉතා සීරුවට පිස දමන්නේ මා ඉමහත් ආශාවෙනි.තදින් පිස දැමිය නොහැක්කේ ඇගේ කොණ්ඩයේ මට සිළුටු ස්වභාවය රඳවා ගත යුතු නිසාවෙනි.

"මං බත් ඛෙදං එන්නං.."

"හා"..
ඇය හිස පසෙකට ඇල කොට කියනා ආකාරය සුන්දර දසුනකි..

කුඩා දීසියකට බත් ඛෙදාගෙන පැමිණ මා ඇයට බත් කවන්නෙමි...

"හානේ හතුත්..හැදුවද..?"

"හ්ම්..."

ඇය නැවතත් මාහට තුරුළු වීගෙන ම
"කෝ දෙන්න මම කවන්නම්" කියමින් මගෙන් දීසිය උදුරා ගනිමින් මට බත් කවයි.
ඇය බත් වලට වඩා හතු බැදුමට වග කියයි..කෙසේ වූවද කම් නැත විය යුත්ත ඇගේ කුඩා කුස පිරීමයි..
කුරුල්ලෙකු සේ ඉතා ස්වල්පයක් ආහාර ගන්නා ඇය වන් අන් කෙනෙක් මා කෙදිනකවත් දැක නැත..
විටෙක ඇගේ මව වූවද මා සමග ඒ පිළිබඳ කියමින් ඇයට දොස් පවරයි..ඒත් ඇයගේ ස්වභාවය එයයි.

කාලය වේගයෙන් ගතව යයි...
සෑම සතියකටම දින දෙකක් හෝ තුනක් අපගේ දවස ගෙවී යන්නේ මේ අයුරිනි.
අවසන්ම කොටස සැමදාම මෙන් දුක්බරය..ඇය කැටුව ගොස් ඇගේ සාප්පුව පෙනෙන නොපෙනෙන මානයේ ඇය ඇරළවා ඒම හරියටම පපුවෙන් කෑල්ලක් නන්නාදුනන තැනක දමා ඒමක් වැනිය..
ඇය ඇරළවීමෙන් පසු දුරකථනයට නිවාඩුවක් නොදීම අපි දිගින් දිගටම කතා කරන්නේමි..
ඒ කතාව අවසන් වන්නේ ඇය ගෙදර ගොස් මහ රාත්‍රීයේ නින්දට වැටුනායින් පසුය..අවසන ඇයට නින්ද යන තෙක් මා ගයන්නෙමි..
ඇයගේ ප්‍රියතම ගීතය...

"සුනිල්වන් නුවන් යුග..වසා උතුර උතුරා..."

ඇය නිදන්නීය...සුවසේ නිදන්නීය..ඇගේ හුස්ම හඩ වෙනස්වන අයුරු මා හොඳින් හඳුනමි.මඳ වෙලාවකින් දුරකථනය කොට්ටයෙන් ගිලිහී ඇඳේ කොනකට වන තෙක්ම මා ඇගේ හුස්මෙහි රිද්මය අසමින් නිහඩව සිටිමි.දිනය නිමා වෙයි..
මා සුව නින්දට එළඹෙන්නේ ඊට පසුවය...
හදවත පුරා ගැවසී ගත් ආත්මය සනහාලන මහා සුවයක් මා සිරුරෙහි නහරයක් නහරයක් පාසා විදුලි වේගයකින් ගමන් කරනු මට දැනේ...
ඇය හොඳින්..මට ඒ ඇතිය...

.............................................

එවැනිම දිනක් අවසන මාගෙන් සමුගෙන ගිය ඇය කුමන හෝ හේතුවක් නිසා මාගෙන් දුරස්ව සැගවී ගොස් අදට වසර එක හමාරක් පමණ ගෙවී ගොසිනි.එනමුදු ඇය තාමත් මා හදවතේ නිදයි.
සෑම රාත්‍රියකම ඇයගේ සිහින් සුසුම් හඩ තාමත් මට ඇසෙන්නා සේය...
විටෙක මා දෑස හැර බලමි..
ඇය මා අසල නොමැත...
යන්නටම ගොසිනි...
අද උදෑසනම කඩ පොළට ගොස් එළවළු මිලදී ගැනීමේදී අහම්ඛෙන් මෙන් එතනට ආ මනුස්සයෙක් කඩයට හතු පැකට් කිහිපයක් දැමීය..
ඇති වූ ආශාව මත එයින් එකක් මිලදීගෙන පැමිණි වරදට මා දැන් විඳවමි...

අද හතු බැඳුම හැදුවට ඔයා මා ළග නැහැ.............

මම විතරයි...
ඔයා දන්නෙ නැහැ..මට හුගාක් තනියි.
මුළු ගේම මහ පාළු සොහොන් පිට්ටනියක් වගෙයි.

ඇයි මම මේ හැම දේකින්ම විඳවන්නේ...
කන්න ගත්තට අද මට කන්න බැහැ..ඔයා මොනවා කරනවා ඇතිද..
අමතක කරනවා කියලා හිතුවට මට ඒක කරන හැටි තේරෙන්නේ නැහැ පුතේ...

අන්තිමට හතු බැදුම බත් එක්ක තරහා වෙලා..
ගිනි වතුරත් එක්ක එකතු උන එක විතරයි උනේ...

ඇයි අපිට මෙහෙම උනේ...මට තේරෙන්නේ නැහැ...
ඔයාට තේරෙනවද මගේ අරුමෝසම් කිරිල්ලියේ...?

24 December 2010

සිංහලෙන් බයිස්කෝප්..උඹලාට ස්තූතියි..

ඔන්න ඉතිං ආයෙමත්..මළ ඇඩියාව..කාගෙද..?
වෙන කාගෙද ඉතිං මගේ තමයි.
හා ඒ කෙන් කමක් නැහැ..පටන් ගමුකෝ.
වැඩි වෙලා කියලා හිතන්ඩ එපා..ඒත් එහෙම වෙලා තමයි.ඒත් මොකද..?

අද දවල් මරණයා හරි බයානක ආරංචියක් දුන්නා හෙට වහලා කියලා..
ඔව් යකුනේ බාර් තමයි..බඩ පපුව හීතල උනා..

ඒ පාර හවසම දිව්වා යක්කල..

අනේ මන්දා දැන් මෙ යක්කල කියන වචනෙත් ලියන්න නිකං කම්මැලියි වගේ..ඒ තරමට මෙක සුලභ වෙලානේ..
අරෙහෙ දුමියා කෑ ගානවා කන බොන දේවල් ලියන්න එපයි කියලා මෙහෙන් යක්කල..

ඕන බඩකඩුත්තුවක්..වචනේ හරිද මන්දා..මට බැහැ ඕවාගේ හරි වැරදි බලන්න..

දැන් ඉතිං මොනවද ලියන්නේ...
අර කඳුළු කතාව දැන් බැහැ..බණ කතා ආයේ පොයක් කිට්ටු කරලා කියමු..හුට්ටාරේ..පෝය පහු උනා නේද..?

මක් කොරන්ඩද..?

රෙද්ද..මෙ කොත්තුවට ලූණු වැඩියි.තුහ්...

ආ මට තව වැඩක් තියෙනවා..

බයිස්කෝප්..මට ඉතිං මෙ ලින්ක් කෙරුවාවනං අමාරුයි..දැන්නං කොහොමටත් අමාරුයි...

ඉතිං මට ඉස්සර මොබිටෙල් වලින් නෙට් අස්සේ කැරකෙනකොට පුළුහං උනේ බයිස්කෝප්වල ලිපි බල බල හූල්ල හූල්ල ඉන්න විතරයිනේ.
හැබැයි දැන්නං ඩයලොග් කාරයන්ගේ කොනෙක්සොන් එකට පිං සිද්ධ වෙන්න හිටු කියලා බානවා.

බෑවාට ඉතිං බලන්න තමයි වෙලාව අඩු..ඒ උනාට කොහොම කොහොම හරි බැළුවා ටිකක්.

අර බෘෘස්ලීගේ ගුරාය කිව්ව හාදයගේ නමට තිබුනු ඒවායින් පළවෙනි දෙක බැළුවා..කියලා වැඩක් නැහැ මල් හතයි.
ආ අපේ වාසලයත් රත්තරං කොල්ලා ඌ මගේ එක ඉල්ලීමටම පටස්ගාලා පොතිචාර දක්කලා තිබ්බා..ඒ එක බයිස්කෝප් එකක සබ් වැඩ කොරන්නේ නැති බව කිව්වා විතරයි මෙකා හැරෙන තැපෑලෙන් එව්වා සබ් ටික..මල් මසුරං...

මම මුලින්ම ඔය චීන සටන් කොරම තියෙන ෆිල්ම් බලන්න ගත්තේ හිච්චි එකා සංදියේ..

දැන්නං මෙ කී බෝඩ් එකත් ඇදේටද මංදා පේන්නේ..මක මක ලියන්න වෙලා..
ඒත් ඉතිං තාම මීටරේ වැඩ..

ඉතිං ඔය බෘෘස් ලී උන්නැහේ හෙම හිටිය ඔක්කෝම පිච්චර් කෑලි ටික ඒ දවස්වලම බැළුවනේ..

අප්පා ඒ කියන කොට මට ජුංගේ කතාවක් සිහියට එනවා..කියලත් බෑ..එක්කෝ පස්සේ කියන්නං..ඒ හැටි ලොකු එකක් නෙවේ ඒත් ඒකත් හොඳයි ඔය ආරළු බූරළු එක්ක දෙසා බාන්ට...

ඒ කොහොම උනත් මං මෙතුවක් කාලෙකට බලලා තියෙන හොඳම සටන් චිත්තර පටිය තමයි තායි චී කියලා ආපු එක..බයිස් කෝප් නඩෙට පුළුහංනං ඒකත් හොයං දාන්ට බලන්ට ඕන.
හරි අපූරුයි අප්පා..

ඉතිං මට ඒ මතකේ ආයෙත් අවදි කොරලා දුන්නා නෙව අපේ මෙ යිප් මාස්ටර්..යිප්ද..ඉප්ද මංදා මොකා උනත් අන්න ඒ රියල් බුවා.

සබ් ටිකනං ටිප් ටොප්...

අපේ ඔය රොයිලියා..එතකොට විකියා..වාසල මුදලි උන්නැහේ...
ආ තව මාත් එක්ක තාම ෆිට් එකක් නැති ඉසිර ලොක්කා.. මුං නඩෙ එක්ක මෙ කොරන වැඩෙනං පංකාදු පහයි..ඒ අස්සේ බලාගෙන යනකොට අපේ මේ කුසාන්ගේ වෙන්න බාරියාවත් හිටියා කියමුකෝ. පික්සු හැදෙයි..ෆා නගාත් මාර වැඩ කාරියක් නෙව..

ඉතිං පහු ගිය ටිකේ එක දිගට බැළුවා බැලිල්ලක්...

නියම බයිස්කෝප් ටික...

අන්තිමට මම බැළුවා අර ඉතාලිද කොහෙද බයිස්කෝප් එකක්.
නමනං කියන්නත් බෑ දිව උළුක් වෙනවා..හරි පොඩ්ඩක් ඉන්ටකෝ හොයලා දාන්න...

El secreto de sus ojos


ඔන්න ඔක තමයි...
ඔන්න ඔය බයිස්කෝප් එකේ අන්තිම දර්ශනයටනං මට හිතට වැදුනා පොල්ලෙං ගහන්නැහේ...
ඒ තරංම සිනමාවට...හුටා තව පොඩ්ඩෙන් මම බර වචනයක් දානවා..ඒ වාගේ වචන මං වගේ ගොබිලෙකුට ගැලපෙන්නේ නැහැ..ඒවා ඉතුරු කොරන්න ඔන අර ගාමිණී වේරගොඩද කොහෙද කියන මනුස්සයට..මං කියන්න ඔන ඉතිං මට හුරු පුරුදු මාර භාෂාවෙන් නෙව..

ආයෙත් ලූණු..හපොයි සංසාරේ...
මොනවා කොරන්නද කොත්තු බාසුත් දෙකක් ඇනගෙන හිටියේ කොත්තුව දානකොට..කමක් නැහැ..දැං ඉතිං ආයේ පහළට බහින්නයෑ...මෙකම බයිට් එකට ගන්නවා ඇර..එක අතකින් වැඩිතමත් නැහැ..හිහ්.

ඉතිං මං කැමතිම බයිස්කෝප් එකක අවසානය හැටියට ඒ අවසානය හිතේ තැන්පත් උනා..

ආ හොඳම කියන අතරේ තව එකක් මතක් උනා..

අර කොලෙක්ටර්ද කොහේද කියලා එකක් තිබිලා මං බෑවා..ඒකනං අන්තිමයි..මට බෑව මෝඩකං කියලා හිතුනා.
ඒ අස්සේ යිප් මෑන් තුනත් ාලා සබ් නැතුව..මට යකා නැග්ගා..ඇයි යකෝ දෙකක් සබ් එක්ක බලලා දැන් කොහොමෙයි සබ් නැතුව තුන බලන්නේ..මං තාම බෑවෙ නැහැ.

පහුගිය ටිකේ හුගක් ඒවා බෑවා ඒත් ඒ හැම එකක්ම කියන්න අමාරුයි..
නරක වෙලාවකනේ මේක ලියන්න පටන් ගත්තේ...

කොහොම උනත් මෙ වැඩෙනං ටොප්.
ආ තව එකක් අර මලීනා ෆිල්ම් එකයි..මව්ලින් රූජ් එකයි බාන්න බැරි තත්වයක් තියේ..අදාල ඇත්තෝ හොයා බලත්වා.

ඇමෙරිකන්
ගොස්ට් ටවුන්
ලොලීටා
වැම්පයර් ඇසිස්ටන්ට්
ද ගර්ල් නෙක්ස්ට් ඩෝ
ශ්රේක්
යිප් මෑන් 1
යිප් මෑන් 2
රැටටුයිල්
ප්‍රිටි වුමන්
ඒ විතරක් නෙවෙයි අර නින්ජා ෆිල්ම් එක..එතකොට අර කලෙක්ටර්.. අර මම කිව්ව ඉතාලිද කොහෙද ෆිල්ම් එක
ෆර්ෆියුම්..සෝල්ට්..ආ එතකොට අර හිර ගෙදර මාරාන්තික සටන් තරග තියෙන ෆිල්ම් දෙකම..
අප්පා මම මේ ටිකේ සෑහෙන බයිස්කොප් තොගයක් බලලා තියෙනවනේ..

හරි ඉතිං මට ඕන උනේ..මෙ මම බලපු සියළුම බයිස්කෝප් වෙනුවෙන් අපේ සිංහලෙන් බයිස්කෝප අඩවියේ හැමෝටම ස්තූතියි කියන්න..
මම නං දන්න වගේම නොදන්න හුගක් ඈයෝ ඕකේ ඉන්නවා..ඒ ඔක්කෝටම ස්තූතියි..
අනේ මචංලා මචීලා... පුළු පුළුවන් තරං සිංහල සබ් එක්කම බයිස් කෝප් දීහල්ලා..මේ මාරයා වගේ කඩ්ඩ අප්සෙට් බුවාලට උඹලා කොරන මේ සේවේ හරියට වටිනවා.

ඒකමයි මං මේ නිකං කොමෙන්ට් එකක් දාන්නේ නැතුව පෝස්ට් එකක්ම දාංටත් හේතුව.
ඉතිං උඹලා හැමෝටම බොහෝම පිං..තව තවත් හොඳ චිත්තරපටි මං ඇතුළු බුවාලට දෙන්ට උඹලට තව තවත් හයිය හත්තිය ලැබේවා.

ඕං ඉවරයි..
කොත්තුවේනං තව කෑලි ඉතුරුයි..බෝතලෙත් තව සෑහෙන්න තියේ..ඒකනං අද ඉවර කොරන්නේ නැහැ..හෙටත් ඉරක් පායනවානේ...

20 December 2010

කඳුළක කතාව...01

එවකට මා ඉතා කුඩා එකෙකු වීමි.
පාසල් යෑම ආරම්භ කරන්නට ආසන්න වයසේ මෙන් ඇති බව මතකය කියයි..එසේනම් අවුරුදු පහක් හෝ හයකට ඉතා ආසන්න විය හැක...

මා සිටියේ කුඩා සෙල්ලම් ලොරියක් වැනි දෙයක් සමග තනිවම විනෝද වෙමිනි..එය එහාට මෙහාට දෑතින් තල්ලූ කරනවා වැනි මතකයක් ඇත..
ඊ ළග මොහොතේ මා සිටියේ කුමක් හෝ දෙයක එල්ලීගෙනය..එය හරියට කොන්ක්‍රීට් ස්ලැබ් එකක දාරයක් වැනි..
බිම බැළු විට මා සිටියේ ඉතා ඉහළ තැනකය...
මා පැද්දෙන්නට විය...
අතේ වාරු නැති වී යන සෙයකි.
තව සුළු මොහොතකින් මා බිම ඇද වැටෙනු ඇත...
ඒ වන විට මරණය පිළිබඳ කිසිදු හැගීමක් මා තුල නොවීය..
නමුදු මා බිය වීමි...
අවසානයේ මම මහ හඩින් හඩන්නට වීමි...

"ඇයි පුතේ...මොකද?"...ඒ වදන් තාත්තාගේය...ඔහු මගේ හිස පිරි මදිමින් සිටියේය...
සිහිනය ඉතා බියකරුය...
සිහිනයත් සැබෑවත් අතර වෙනස මා හට ඒ තරම් නොවැටහිණි..මා දිගින් දිගටම හැඩුවෙමි.
කඳුළු වැල් නොනවත්වාම ගලා යමින් තිබිණි.
ඒ මගේ කඳුලේ කතාවේ ආරම්භයයි...

එදා මෙදා තුර කාලය අතරේ මා දෙනෙතින් කඳුළු ගලා හැළුනු අවස්ථා කිහිපයක්ම ඇත...
මතකය සාක්කි කියනු ලබන්නා වූ පළමු කඳුළු කතාව එයයි...
ඊට පෙර මා හඩ නැතිවා නොවේ..නමුදු අදටද මා හට හොඳින්ම මතක ඇති කඳුළ එයයි...

................................................

කඳුළ ගැන මතකය අවදි කරන්නට මා හට සිත් වූ කරුණක් ඇත...
එය ඇත්තෙන්ම සාවද්‍යයය...

පසුගිය දා තිබූ බ්ලොග් හමුවේ එක්තරා අවස්ථාවකදී මාගේ නෙත් වල කඳුළු රැඳී තිබුණේ යැයි එයට එක්ව සිටි තවත් බ්ලොග් කාරිණියක් එක්තරා ස්ථානයකදී සටහන් කරන්නට යෙදුණි.
නමුදු එවැන්නක් වූ බවට මා පිළිගන්නේ නැත...මන්ද..මා මාගේ කඳුළ හොඳින්ම හඳුනනා බැවිනි.

ඇය එසේ කියන්නට යෙදුණේ කුමක් නිසාදැයි මා නොදනිතත්...
එය එසේ නොවන බව පැවසීමට මට ඇවැසිය..එහෙයින් මෙවැන්නක් ලියන්නට හිතුණි..

ඇත්තෙන්ම මෙම ලිපියට වස්තු බීජය එම සටහන දුටු මොහොතේම මා සිත තුළ පහළ වූ මුත් එය අකුරු වැලක අමුණා සිතින් පහ කරන්නට මා ඉක්මන් නොවූයෙමි.

දැන් එයට අවස්ථාවයි...

මා පළමු අවස්ථාව ඉහතදී සටහන් තැබුවෙමි...

හරියාකාරව ගණනක් මිම්මක් කිව නොහැකි වූවද..වරින් වර අත පය තුවාළ කර ගැනීම නිසා.. ඛෙහෙත් දමන්නට ගිය අවස්ථාවල වේදනාව නිසා කඳුළු සලමින් හැඩු අවස්ථා එයින් පසු කිහිප විටක මතකය හා මුසු වූවද...
එම කඳුළු වලට ඒ තරම්ම වටිනාකමක් ඇතැයි මා නොසිතමි...

දෙවන වර මා මතකයේ රෑඳී ඇති කඳුළු කතාවයි මේ...

රාත්‍රී කාලයකි...වේලාව රාත්‍රීඅටත් නවයත් වාගේ අතර විය හැක...
තාත්තා කිසියම් හේතුවක් නිසා තරමක් කෝප වී තිබිණි.
කුමන හෝ කාරණාවකට විදුලි පන්දම උවමනා වූ විට එය නිසි ලෙස ක්‍රියා නොකිරීම එයට හේතුවයි...

කෝපය එල්ල වී තිබුණේ මා වෙතය...
ගෙදර සිටි මකබාස් මා වූ බව ඇත්තය..නමුත් විදුලි පන්දමෙහි බැටරි පැත්ත මාරු කොට දමා තිබුණේ මා නොවේ...

එසේ කලානම් එය කලැයි පවසන්නට මා බිය නොවිමී...
නමුදු චෝදනාව මා හටය...
එය මල්ලී විසින් කරන ලද්දැක්යැයි මට ස්ථීරව කිව නොහැකි වූවද ඔහු අසාමාන්‍යය ලෙස නිහඩව සිටිනු දක්නා ලදි.

තාත්තා දිගින් දිගටම බැණ වදියි...
වයස අවුරුදු අටක් හෝ නවයක් පමණ වූ මා හට එය දරා ගැනීමට නොහැකි තරම් විය...
බැනුම් අසා නැතිව නොවේ..නමුදු නිවැරැද්දේ බැනුම් ඇසීමට මා අද මෙන්ම එදාද නොකැමති වීමි.
මා ආවේශ වූවාක් වැනි විය..එදින මා කෑ ගසා හැඩූවෙමි...

"මම නෙවෙයි...මම නෙවෙයි ඕක කලේ..."

නමුදු පිළි නොගන්නා තත්වයකි...
අම්මා පිටරටය... මල්ලී ඇඳට වී පාඩුවේ සිටී..තාත්තාට මා සිටිනා ආකාරය නොපෙනේ...

මම ගෙදරින් පිටවීමි...
කළුවරට මා කුඩා කල සිටම ඒ තරම්ම බියක් ඇත්තෙකු නොවීමි...
මා අසිහියෙන් මෙන් ඇවිද ගියෙමි..
ගමනේ අවසානය කොතනදැයි නොදැනම මා ඇවිද ආවෙමි...
එදා සඳ පායා තිබුනේද නැත...කෑලි කැපිය හැකි අඳුර මැදින් මම ඇවිද ගියෙමි...
කිලෝ මීටර් බාගයක් පමණ යන විට මා තරමක් පියවි සිහියට පැමිණියද..යන්නට ගිය ගමන නවතා දැමුවේ නැත..ඒ වෙනුවට යන්නට තැනක් සිතූවෙමි...

ලොකු ඉස්කෝලේ...

මා තුන වසර වන තෙක් ඉගෙන ගත් පොඩි ඉස්කෝලය හා එතැන් සිට පහේ ශිෂයත්වය සමත් වන තෙක් ඉගෙන ගත් ලොකු ඉස්කෝලය මගේ ගමනාන්තය විය...
නිවසේ සිට කිලෝ මීටර් එක හමාරක් පමණ දුරින් වූ ලොකු ඉස්කෝලය දක්වා අඳුරේම පැමිණි මා...එහි වූ විවෘත ශාලාවකට ඇතුළු වීමි.

කල හැකි හෝ කල යුතු කිසිවක් සිතාගත නොහැකිව එහි වූ එක පෙළට ලං ලංව තබා තිබූ බංකු කිහිපයක් මත වැතිර ගත්තෙමි...

මට නැවතත් හැඩුම් ආවේය...
ඇඳ සිටි ටී ෂර්ටය පෙගෙන තෙක්ම එයින් මුහුණ පිස දමමින් මා හැඩූවෙමි..අවසන දැඩි වෙහෙසින් මා නින්දට පමුණුවා තිබිණි...

මා නිවසේ නොමැති බව දැන ගත් තාත්තා කලබල වී කිහිප දෙනෙකු සමග මා සොයා ඇවිද අවසානයේ පාසලට පැමිණ මා සොයා ගන්නා විට රාත්‍රි මැදියමට ආසන්න වී තිබිණි...

තාත්තා මා වඩාගෙන ගෙදර පැමිණියේය.. එසේ ගෙනවිත් මා ඇඳ මත තබා නිදා ගන්නට සැලැස්වූ පසුවත් සිහින් කෙඳිරිල්ලක් මෙන්...

"මම නෙවෙයි ටෝච් එකේ බැටරි මාරු කළේ"..යැයි මගේ මුවින් පිට වූ ආකාරය අදටත් මාගේ මතකයේ ඇත...

මාරයාගේ ඉවුං පිහුං...අඹ මාළුව...

මුලින්ම කියන්න ඕන මේ ලිපිය බැළීමට අවසර ඇත්තේ දැනට ලංකාවේ වාසය කොරන උදවියට විතරයි.
ඒක බොහෝම තදින් බලපවත්වන නීතියක්...
නැත්තං අන්තිමේට මට බැහැ මේ පෝය දවසේ එක එක්කෙනාගෙන් බැනුං අහන්ට...
ඕනමනං ඉදිරි සති දෙක වගේ ඇතුළත මෙහාට කඩං පාත් වෙන්න බලං ඉන්න උදවියටත් අවසර දෙන්නං අනං මනං තර්ජන දාන්න බැහැ කියන පොරොන්දුව මත විතරක්...

ආ විශේෂ නිවේදනය..දුමියාට මෙම ලිපිය කියවීම සපුරා තහනං. ආයේ නොකිව්වා කියන්න විතරක් එපා.

.......................................

ඉතිං අද පෝය දවස...
අද වගේ දවසක අපේ බහුතරයක් නොවන උපාසක ඇත්තෝ ඉන්නවා මස් මාංශ පිළහුඩු ජාති අනුභව නොකර මසින් මාංශමය ආහාරයෙන් තොරව සකස් කරන්නට යෙදුණු ආහාර පමණක් අනුභව කොරන..මං එහෙම කිව්වේ අපේ බොහෝමයක් ඇත්තන්ට දැන් පෝයය කියලා අමුත්තක් නැහැ හාල් මැස්සෙක්වත් නැත්තං බත් ඩිංග උගුරෙන් පහළට රූටවා ගන්න අමාරුයි.
අපේ පැරණි උදවියනං ඕං අද වගේ දවස්වල මස් මාංශ කනවා තියා කොටින්ම ගොයිතැන් බත් සදහාවත් උදැල්ලක් අතින් අල්ලන්නේ නැහැ..මොකද පොළොවේ ඉන්න කුඩා සතුන් මිය යාවි කියලා හිතලා..එහෙව් ජාතියකට අද ගිහිං තියෙන කල...

හුම් හුම්..ඒවයින් කාරි නැහැ..තම තමුන් කොරගන්න දේවල් තම තමුන් ගෙනියයි කිව්වළු...

.......................................
හරි අපි බලමු මුළින්ම අවශ්‍ය ද්‍රව්‍යය...

ආ මං මේ කියන්නේ මං පිළියෙල කොරන ගානට ඇති පදමට තමයි..ඒ කියන්නේ මම දෙවේලකට හරියන්න උයන විදිය තමයි..මට දෙවේලයි කියන්නේ දෙදෙනෙකුට සෑහෙන ගාන කියලා කියමුකෝ..(හොරෙන් හරි දුමියා මේක බැළුවොත් ඔන්න මට මාට්ටු වෙන තැන)

බාගෙට පැසුණු අඹ ගෙඩි දෙකක්..
මතක තියා ගන්න අඹ මාළුවට රසම අඹ තමයි කොහු අඹ..හැබැයි ඉතිං ටිකක් චාටර්..කාලා ඉවර උනහම දත් අස්සේ තියෙන කොහු ඉවත් කරන්න වෙනම මෙහෙයුමක් කොරන්ට ඕන..ඒත් ඉතිං ඒ කාලා ඉවර උනහමනේ..කොහු අඹ නැත්තං ඉතිං සාමාන්‍ය අඹ වර්ගයක් ගන්ට පුළුවන්..හැබැයි ඔය කර්තකොලොම්බන් එහෙමනං එච්චරම හරියන එකක් නැහැ. හොඳ ඇඹුල් වර්ග තමයි මෙකට යා දෙන්නේ...හුගක් පැහිච්ච අඹ ගන්ටත් එපා ඒවත් අප්සෙට්...පිහියෙන් ගෙඩිය මැද්දෙන් ඇටයත් එක්කම ටිකක් විතර බර දාපුවාම පළන්ට ඇහැකි මට්ටමට තියෙනවනං අන්න ගාණ...

දිග අදට සිහින්ව ලියා ගත් අමු මිරිස් කරලක් හෝ දෙකක්..
ශුද්ධ කර සිහින්ව කපාගත් මධ්‍යම පුමාණයේ රතු ළුණු ගෙඩි හතරක්..
පොතු ඉවත් කර යන්තමට තලා ගත් සුදු ළුණු බිකක්..
කරපිංචා ඉත්තක්..
බැදගත් උළු හාල් ඇට පහක්..
රම්පේ කැබැල්ලක්..
කුඩා කුරුදු පොතු කැබැල්ලක්..
ගම්මිරිස් ඇට දෙකක්..
කහ කුඩු තේ හැදි කාලක්..
මිරිස් කුඩු තේ හැඳි බාගයක්..
බැදගත් පහේ කුඩු තේ හැඳි එකක්..(මෙන්න මේක තමයි වැදගත්ම දේ අඹ, ඇඹරැල්ලා,පොළොස් පැහි, කළුපොල් මාළුව ඒ විතරක් නෙවෙයි සෝයා මීට් උයද්දී උනත්)..
සාමාන්‍යයෙන් අමු පහේ කුඩු තේ හැඳි දෙකක් විතර බැද්දහම ඒක හැඳි එක හමාරකට විතර අඩු වෙනවා..ඉතිං අපිට අවශ්‍ය බැද්දට පස්සේ තේ හැඳි එකක් විතර තමයි..පහේ බදිද්දී කබලක් හොඳින් රත් කරලා..රත් උනාට පස්සේ පහේ කුඩු ටික බඳින්න ඕන..එක් තත්පරයක්වත් නිකං ඉන්නේ නැතිව හොඳට හැන්දකින් පෙරළමින් බඳින්ටත් ඕන..එතකොට පහේ ටික කර නොවෙන්ට බැඳ ගත්තහැකි..පහේ ටික දුඹුරු පාට වෙලා ඊ ළගට කළු පාට වීගෙන එනකොට කබල බිමට බාලා පහේ කුඩු ටික වෙන භාජනයකට ඉවත් කර ගන්න ඕන ඉක්මනට..නැත්තං අගුරු රහක් එන්න පුළුවන්..මතක තියා ගන්න පහේ කළු වෙන්ටත් ඕන පිච්චෙන්නැති වෙන්ටත් ඕන..මොකද ඔය බැදපු පහේ ටිකින් තමයි අපේ අඹ මාළුවේ නියම රහ රඳා පවතින්නේ...
සීනි තේ හැන්දක්..
මිටි කිරි කෝප්ප තුන් කාලක්..
දිය කිරි හෝ වතුර කෝප්පයක්
කුඩා අර්තාපල් අලයක්..මේක බොහෝම නැගලා යන වැඩක්..ඔය මස් මාළු වර්ග පහේ බැදලා උයද්දී උනත්..ආ සෝයා මීට් උයනකොටත් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්...අල ගෙඩිය හතරට විතර පලා ගත්තම ඇති..
තෙල් මේස හැන්දක්..
අබ ඇට ස්වල්පයක්..
වියළි මිරිස් කරලක්..

හරි පළමුවෙන්ම අඹ ගෙඩි දෙක හෝදලා ඇස්ස කපලා දෙකට පලන්න ඕන..එහෙම පළලා අර මැද්දේ තියෙන අමු ඇට කැබළි ඉවත් කර ගන්න..අඹ ඇටයේ පොත්ත ගලවන්න ඕන නැහැ..
ඊට පස්සේ නැවත වතාවක් මැද්දෙන් කෑළි කැපුවොත් තැම්බීමට පහසුයි.ඒත් ඕනවට වඩා කුඩා කරන්නත් එපා...

දැන් ඇතිළියක් ලිපේ තියලා ගින්දර ටිකක් රස්නේ වැඩි කරලා ඇතිළිය රත් වෙන කොට එයට තෙල් ටික දාල..ගින්දර ටිකක් විතර සැර බාල කරන්න..තෙල්වල බුබුළු දාලා නවතින මට්ටමට ආවම අබ ඇට..කෑලි වලට කැඩුව වියළි මිරිස් කරල කුරුඳු පොත්ත සහ සුදුළුණු එයට එක්කර මදක් බැදෙන්න ඇරලා අර අඹ කැබලි ටිකයි අල කෑළි ටිකයි එකතු කරලා විනාඩියක් විතර දෙපැත්ත පෙරළලා අර මිටි කිරි ටික ඇර අනිත් සියළුම දේ භාජනයට එකතු කරන්න..කවුරු හරි මේ තෙම්පරාදුවට අකමැතිනම් තෙල්, අබ,වියළි මිරිස් ඇර අනිත් දේවල් මුළින්ම ලිපේ තියලා මඳ රස්නයෙන් තැම්ඛෙන්න අරින්නත් පුළුවන් ආයේ ඒකේ වරදක් නැහැ.

ඇතිළිය හොදින් වහලා මේ දේවල් තැම්ඛෙන්ට අරින්න අපේ අඔ ටිකයි අල ටිකයි හොඳින් තැම්බීගෙන එද්දී අර මිටි කිරි ටිකත් එකතු කරලා ටික වේලාවක් හැඳි ගාමින් ලිප මතම තියාගෙන ඉඳලා..කිරි ටික රත් වෙලා නටන්න ගත්තහම ගින්දර හුගාක් අඩු කරලා යාන්තං රස්නෙන් භාජනය වහලා අඹ මාළුවේ ඉස්ම හිෙඳත්ට අරින්න..යන්තමට වගේ අඹ මාළුව අඩිය ඇල්ලූවට වරදක් නැහැ..අඹ ලෙල්ලක් දෙකක් ටිකක් විතර පිච්චෙන්ට පටන් ගන්නකොටම ලිපෙන් බාන්න...ඔය අඹ මාළුව නියම පදමට ඇවිල්ලනං ඒ මාළුවේ සුවඳත් එක්ක පාං බාගයක් විතර කන්ට අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්ට ඕන..කළු පැහැති හොඳි බොරය මත ලා කහ පාටට තෙල් පෑදිලා තියෙනවනං ඒ කියන්නේ ඔබ දිනුම් කියන එකයි.

මේ අඹ එකට උම්බලකඩ ටිකක් හරි කරවල කට්ටක් හරි දැම්මානං ඒකත් ඉස්තරං..ඒත් අමතක කොරන්ට එපා අද මං කිව්වේ පිළිහුඩු ජාති නැතිව හදන විදිය තමා.

ඉතිං දැන් ඔය අඹ මාළුව කෑමට සූදානං.

තව එකක් කියන්ට එපැයි අද පෝය හින්දා නොවුනනං..ඕකට නියමෙට අල්ලලා යන්නේ හුරුල්ලෝ කරවල තෙල් දාලා තමයි.ආයේ වෙන කිසිම දෙයක් නෙවෙයි හුරුල්ලෝ කරවල..

කවදාවත් අඹ මාළුවත් එක්ක සුදට උයාපු හොඳිවර්ග ගාවා ගන්න එපා..ඒකෙන් වෙන්නේ අඹ මාළුවේ රසය අඩු වීම විතරයි..අඹ මාළුවේ නියම රස විඳින්ටනං අඹයි බතුයි විතරක් තිබුන උනත් හොඳටෝම ඇති.
සුවඳත් එක්ක පාං බාගයකුත්..මාළුවත් එක්ක තව එක හමාරකුත් වශයෙන් දැන් තියෙන ජාතියේ පාං ගෙඩි දෙකක් හීනියට ගිලලා දාන එකත් අමාරු වැඩක් නෙවෙයි..ඒ තරමටම පාං වලටත් යාදෙනවා...
ඉඳි ආප්ප වලටත් ඕක මරුවා...

පෝෂණය පැත්තෙන්නං මං කියන්ට දන්නේ නැහැ..ඒත් ඉතිං ආයේ කලවමක් නැතුව තනි මාළුවක් හැටියට බත් කනවනං ඔයිට වඩා දෙයක් තවත් නැහැ..ඒ තරමට දිවිය ලෝක රහයි..

අන්තිම වශයෙන් කියන්ට ඕන දේ තමයි..මමනං ආසම අඹ මාළුවෙ කෑලි ටික ඛෙදලා පැත්තකින් තියලා බත් මිටක් දෙකක් අර උයාපු ඇතිළියට දාලා පිහගෙන කන්ට තමා..ඕං...

හරි බලමුකෝ තැමති උදවිය හදලා බලලා රහ කියන්නේ නැතැයි.
විශේෂයෙන් අද මම අඹ මාළුව හැදුව හින්දා මේ පෝස්ට් එක දැම්මා කියලා හිතන්ට එපා.
දන්න අය කොච්චර හිටියත් ඕක හදන්ට දන්නේ නැති අය එක්කෙනෙක් හරි හිටියොත් ඉගෙන ගනීනේ කියලා හිතුන හින්දයි.

උයනවා කියන එක හරි අපූරු කලාවක්...
ඒ සඳහා තමුන් යොදා ගන්නා අමුද්‍රව්‍යවල ගුණාත්මක භාවය මෙන්ම ප්‍රමාණයද හොඳින් දැනගෙන..නිසි දේ නිසි විදියට නියම වෙලාවට හරි පරිස්සමට කරන්ට ඕන දෙයක්.

එහෙම නැතුව තියෙන පලියට ඔක්කෝම කුළු බඩු ටික කලවං කරගෙන එක පාරටම තම්බ ගන්න එකට කියන්නේ උයනවා කියලා නෙවෙයි මරනවා කියලා.

හා හා ඔය ඇති...
දුමියා එන්ට නැතිව ඇති අදනං..

මාරයා විසින් මාරයා හටම...

ඉතිං අද පෝය දවසත් වෙච්චි... වෙලාවනං පාන්දර තුන හමාරයි.
ඉන්නෙනං රාජකාරි ස්ථානයේ..එළි වෙන්න තව වෙලාව තියෙනත් එකේ මොන මොනවා හරි ලියාපාං ලියාපාං කියලා හිත කියන හින්දා ඔන්න පටන් ගත්තා...

ඉතින් පටන් ගත්තට මක්ක කියලා ලියන්ටද..?

මළ මගුළයි නෙව..මෙලෝ දෙයක් හිතට එන්නේ නැහැ නෙව...
අනිත් එක හිතට ආවා උනත් පෝය දවසටවත් ඔය අරයා මෙයා ගැන විස්තර විභාග නොකර ඉන්ට මං හිතට ගත්තා.

හරි අර කිව්වත් වගේ අද පෝයනේ...

රායිට් කස්ටියම වැඳ ගන්ට...

බහුම්පිචේ සහිතං භාසමානො
නතක්කරො හොති නරො පමත්තො
ගොපොව ගාවො ඝණයං පරෙසං
න භාගවා සාමඤ්ඤස්ස හොති...


කස්ටියට වැඳ ගන්ට කිව්වට මොකද අදනං මෙ බණ මටම තමයි කියන්නේ...

"ඒයි මාරයා... තෝ දන්නවා නේද ඔය ගාථාවෙ තේරුම..?"

"හුම් හුම් දන්නවා දන්නවා.."

"මොකද නිකං හොරකමක් කරලා අහු වෙච්ච එකා වගේ හුම් හුම් ගාන්නේ.. "

"නෑ ඉතිං මට කෙළවෙන්ට යන බණක් කියලා දැන දැන ඕවට හා කියලත් බැහැ හු කියලත් බැහැ නෙව.. "

"අනේ අම්මපා මාරයෝ..වටේ යන්නේ නැතුව කියාපං බලන්ට එහෙනං තේරුම... "

"හෆොයි...දන්නවා උනාට මොකද මතක නැහැනේ.."

"හ්ම් හ්ම්..බොරුව දාන්නේ නැතිව මතක හැටියට කියනවා හොඳයි.."

"හ්ම්ම්...
දැන් ඕක මෙහෙමනේ...
අපි හිතමුකෝ කවුරු හරි මනුස්සයෙකුට හරක් පට්ටියක් ඉන්නවා කියලා..ඉතිං ඒ මනුස්සයා මේ හරක් පට්ටිය බලා කියා ගන්ට කියලා බාර දෙනවා ඒ වැඩෙට සමත්කං තියෙන ගොපල්ලෙකුට.."

"හ්ම් හ්ම් ඉතිං..."

"ඉතිං වැඩෙ තියෙන්නේ අර ගොපල්ලා දැන් පුදුම මහන්සියකින් අර හරක් පට්ටිය බලා කියා ගන්නවා...හරක් රංචුව තැන තැන එක්ක ගිහින් උලා කන්ට සලස්සනවා..ඇළ පාරවල් අයිනට දක්කලා වතුර බොන්ට දෙනවා.. උන්ව නාවනවා..කිනිතුල්ලෝ කඩනවා... තෙල් සාත්තු කොරනවා...
හරක්ට ඉන්ට ගව ගාල් හදනවා..ඒවා නඩත්තු කොරනවා...
කිරි දොවනවා...ගොම්පස් එකතු කොරනවා..."

"ඔව් ඉතිං... "

"වැඩේ කියන්නේ මේ හැම හත්තිලව්වක්ම කොලත් උන්දැට අයිතිය තියෙන්නේ අර හරක් අයිතිකාරයා දෙන කීය හරි සොච්චම් වැටුපකට විතරයි..."

"මොන තරං කිරි දෙව්වත්..ඒ කිරි වලින් මොන තරං රසවත් දේ නිපදෙව්වත්..ඒ කිව්වෙ ඔය දී කිරි, වෙඩරු, ගිතෙල් වගේ ජාති..ආන්න ඒ කිසිම දෙයක රස බලන්ට මෙ ගොපල්ලට අවස්ථාව ලැඛෙන්නේ නැහැ.
ඒවා අයිති අර හරක් රංචුවේ අයිතිකාරයට විතරයි..ඔය එහෙං මෙහෙං හැලෙන අහුකොන් ටිකක් ඇර වෙන කිසිම දෙයක් නැහැ... "

"ආ මාරයා..දන්නේ නෑ කිව්වට ඔය අපූරුවට කියාගෙන යන්නේ..ඉතිං ඉතිං..ඉතුරු හරියත් කියමුකෝ.. "

"ඉතිං අන්න ඒ වගේ තමයි ඔය බණදහං දැනගෙන ඉඳිල්ලත්....
හුගාක් අය..බණ දහං දන්නවා..ඒත් ඉතිං..."

"මොකද ඒත් ඉතිං කියලා නැවැත්තුවේ..ලැජ්ජා වෙන්ට ඕන නැහැ..කියමු කියමු..."

"ඒත් ඉතිං අර දන්න බණ දහං වලින් ගන්න වැඩක් නැහැ..
අර ගොපල්ලා වගේ...
බණ කට පාඩං කොරනවා..
අනුන්ට කියා දෙනවා..
දැනමුතුකං කියනවා..
ධර්මය ගැන වාද විවාද කොරනවා...
ඒත්...
ඒ බණ දහං තමුන්ගේ ජීවිතේට ආදේස කොර ගන්නේ නැහැ... "

"ආ ආයෙමත් මොකද ඔය හොර පූසා වගේ ඇඹරෙන්නේ..?"

"නෑ මේ නිකං මටම ලැජ්ජයි වගේ..."

"හා හා ලැජ්ජා වෙන්ට කාරි නැහැ..කවුරුත් මනුස්සයෝ නෙව..මොකද උඹ කියලා අමුතු සතෙක්යෑ..අනික ඉතිං උඹත් ඔය බණ දහං තව ටිකක් උඹටම ආදේස කොර ගත්තනං මෙලහට නිවං දැකලානේ..ඉතිං ඒකෙන් කාරි නැහැ දැන් කියමුකෝ හරියටම පටලවලා ඔය තේරුම... "

"අපොයි අදනං මට මගෙන්ම ගැළවිල්ලක් නැති හැඩයි...
හරි ඉතිං මේකයි කතන්දරේ...
බණ දහං දැන දැනත් ඒවායිං තමුන් හැදෙන්නේ නැතිව..ඒවා තව තවත් ඉගෙන ගනිමින් අනිත් අයට කියා දෙන්ට විතරක් මහන්සි ගන්න එකා හරියට අනුන්ගේ හරක් බලන ගොපල්ලා වගේ... "

"ආන්න හරියටම හරි...දැන් තේරුණානේ..."

"තේරුණා නේන්නං.මෙච්චර දවසකුත් තේරුං අරං තමයි තිබුණේ...ඒකනේ දන්නවා උනාට ඕවා වැඩිය නොකියා මාරු වෙන්ට බලන්නේ..."

"ආන්න ආන්න..එළියට පැන්නා...
යකෝ මැටි මෝලෝ...තෝ දන්න දෙයිං පරයෝජනයක් ගනිං.. නිකං කාලකණ්නියා නොවී...
බලාපිය තොගේ හැටි...
කොයි වෙලේ බැළුවත් අපතයා වගේ බීගත්ත ගමන්මයි.
තෝ සත්තු මරන්නේ නැති උනාට ඔය බළු නගුටන්ට එහෙම ගල් වලින් ගහනවා නේද..?
ඇයි තොගේ වටෙ ඉන්න උන්ට දෙන ලණුවල සීමාවක් තියේද..?
හරි තෝ හොරකං නොකරනවා කියමුකෝ..ඒත් තොට ඔයිට වඩා දනට පිනට දෙන්ට බැරිද..?තෝ ඉස්සර කොළා වගේ දැන් මොකද නැති බැරි උන්ට ඉගෙන ගන්ට එහෙම කීය කීය හරි නොදෙන්නේ..යකෝ බොන සල්ලි දියකෝ ඉස්සර වගේම ශිෂ්‍යත්ව සල්ලි හැටියට..
ඒ විතරක්ද..? තෝ මේ ගෑණු පරාණයක් හින්දා අඩා ගත්තු ගමන්මයි..අල්ලලා දාපංකෝ..මල උලව්ව...මොකද තෝ ඔච්චරද ගෑනු දැක්කේ..තොට මතක නැද්ද ගැටයා සංදියේ තුන් වෙනි සිල්පදේ කෑලිත් නැති වෙන්ට කැඩුව හැටි...තොට තවත් ඇති උනේ නැද්ද ඔය ගෑණූ ජාතිය...
බලාපිය තෝ බණ දහං නොදැනද..?
අඩුම ගානේ සිල්පද පහ රැකපියකෝ...
තො අන්තිමට බාවා නාවනවා ඇර භාවනාවක් කොළ දවසක් තොට මතකද..?
අනේ අම්මපා තෝත් අනුන්ගේ හරක් බලන එකෙක් නෙව..?"

"අප්පා..ඇති ඇති... ඕක තමයි මං බණ ගැන වැඩි කතාවකට යන්නේ නැත්තේ..අන්තිමට මටම තමයි කෙළවෙන්නේ..."

"හුහ්..යකෝ තොට කෙළවෙන්නේ දැන් නෙවෙයි..ඔහොම ඉඳලා මැරිලා ගිය දවසක..අන්න එදාට තොට යන්ට අපායක් හොයන්ට වේවි.
තෝ චෛත්‍ය බැන්දට, පන්සල් හැදුවට, ළමයින්ට ඉගැන්නුවට අනුන්ට කොලාට තෝ තොට මොනවද කොරගෙන තියෙන්නේ..ඒ පිං හැමදාටම ඇති කියලද හිතන්නේ...?"

"ම්ම්ම්ම්........... "

"හරි හරි දැන් ඉතිං රිලවා වගේ ඇඹරෙන්නේ නැතිව අද ඉඳලවත් හොඳින් ඉන්ට බලාපිය..අනුන්ගේ හරක් බලන්නේ නැතිව... "

"බලමු.."

"මොනවා බලන්ටද..? හැදිය දැංවත්...ආවා මෙතන බලන්ට...

අනේ මංදා බණ අහලත් බෑ නොඅහලත් බැහැ..දැන් ඉතිං මේවා කොරන්ට පුළුවන් වැඩද..?
හපෝයි මගේ හිතේ තියෙන තණ්හාවක මහත..කිසි දෙයක් අත අරින්ට හිතෙන්නේ නැහැනේ...තණ්හාය ජායතී සෝකෝ තමයි...

ඒත්..ඒත්..අනේ මං දන්නේ නැහැ...

19 December 2010

ඔන්න ඉතිං මාත් ගියා...

දන්න කියන හුග දෙනෙක් ඇවිත් තිබුණා..ඒත් ඉතිං වැඩ සටහන ගියේ කාලිංග මහත්තයා ඇතුළු පිරිස විසින් සකස් කරලා තිබුණු වැඩපිළිවෙලට අනුව තමයි..ඒකට ඉතිං වරදක් කියන්ට බැහැ..උන්නැහේලාගේ මහන්සිය නෙව...
මොකද වැඩෙ අපිට සුව පහසු විදියට සකස් කොරලා තිබුණා හොඳටෝම..
ඒසී කොරාපු තැනක.. දවල්ට කොටා බාන්ටත් දීලා හොඳට වැඩෙ කොළා හීතල තමයි උහුලන්ට අමාරු උනේ..ඔන්න හීනියට දෙකක් නෙලා ගන්ටත් පහසුකං තිබුණනං ඒ හීතලෙත් වරදක් නැහැ ඔං...

ඊ ළග පාරවත් බලමුකෝ එහෙම අංශයක් සැට් වෙයිද කියලා..හියැහ්...

ඒක එහෙම කියමුකෝ..බ්ලොග් වල තාක්ෂණික පැත්ත පිළිබඳව ටිකක් විතර කතාව නැගලා ගියා ඒක නැගලා යන අතරෙ මට කඩින් කඩ නින්දත් ගියා නෙව..කොහේද ඉතිං අපිට ඔය වැදගත් විදියට ඉඳලා පුරුද්දක් ඇත්තෙම නැහැනේ..හැබැයි සැරින් සැරෙ නින්ද කැඩුනා ඒ තමයි ඉතින් මගේ අල්ලපු පුටුවෙ වාඩි වෙලා හිටිය අර පැරණි රසාංග මහත්තයා ගොරවන සද්දෙට..
මංනං ඉතිං ඒ නින්දට බාදා කොලේ නැහැ...මෙ දවස්වල උන්දැට මෙ බ්ලොග් බලන්න විදියක් නැහැ..ඒ හින්දා බය නැතිව ඔන එකක් ලියන්ට පුළුහං..නැත්තං ඉතිං ගෝරි ගොඩයි...
ආ තව එකක් උන්දෑ මං ළගින් වාඩි වෙච්ච වෙලාවෙ ඉඳලා අර එෆ්එම් මයික් එක දැකලා

අනේ මලේ මට අරකෙන් සිංදුවක් කියන්ට ආසයි බං කිය කියා ඉඳලා..කරදරේ බැරිම තැන චෑන්ස් එකක් ඉල්ලලා දුන්නත් අන්තිමට බැහැ කිව්වා නෙව..උදව් කොරන්ට යනවට අපිට හොඳ පාඩං ඔව්වා..

වැඩ සටහනනං හොඳයි..ඒත් ඉතිං බ්ලොග් සාමාජික සාමාජිකාවන්ට මීට වඩා විධිමත් විදියට අදහස් හුවමාරු කරගන්ටත් ටික වෙලාවක් හරි වෙන් උනානං කියලා මගේ ටිකිරි මොළේට හිතෙනවා...

සකස් කරගත්තු රාමුවක් ඇතුලෙම නැතුව තව ටිකක් සුහදතාවය වර්ධනය කොරගන්ට ඇහැකි විදියට කෙරුණනං..

අන්තිමට ඉතිං ඒක ටිකක් හරි කෙරුණේ කන්ට ගිය වෙලේ තමයි...
ඒත් ඉතිං හතර දෙනා හතර දෙනා මෙසවලට වෙන් වෙලා ඒක කොරන්ටත් අමාරුයිනේ...

මට හිතුනේ කෑම එකත් අරන් ඉස්සරහා වැව අයිනට ගියානං මාළුන්ටත් බත් ඇට දෙක තුනක් විසි කරලා අපිටත් කයියක් ගගහා නෙලන්ට තිබුණා නෙවද කියලා..ඔක තමයි කියන්නේ කූඩැල්ලා මෙට්ටෙ තියන්ට බැහැ කියලා...

හා තවත් නිව්ස් එකක්...මෙ අතරේ පාවති එකම එක තරගයෙන්නං ඔන්න මාරයා පළවෙනි ස්ථානෙත් අපේ නිශ් ගොයියා දෙවෙනි ස්ථානෙත් දිනා ගත්තා කියලා සතුටින් දැනුම් දෙන්ට ඔන..ඒ අතරෙ තුන් වැනියෙකුත් හිටියා...තරගෙ මොකක්ද කියලා ගිය අයගෙන්ම තමා දැනගන්ට වෙන්නේ...

අන්තිමට කා එක්කත් පුළු පුළුවන් හැටියට වචනයක් දෙකක් කතා කොරලා මාත් ඉතින් ආපහු ආවා...
ආ ඒ විතරක් නෙවී..ලෝබ නැතුව පොටෝ කෑලිවලටත් පෙනී හිටියා...
අන්තිමට මට පෝටෝ ගන්ට අමතත වෙලා ගියා..දැන් ඉතින් අනිත් උන්දලා ඔවා මුණු පොතේවත් දාලා මඩ වියාපරය පටන් ගන්ට ඔන මටත් පොටෝ කෑල්ලක් බලන්ටනං

කතා බහ කොළ හුග දෙනෙකුට තිබුණු පුස්නයක් තමයි මාරයා උන්දලා හිතුව තරං යක්ෂ පෙනුමක් නැති වීම..ඒ ඉතිං මාරයාගේ වෙස් පෙරළිවලින් එකක් තමයි.අනික ඉතිං සලමොං කාංගේ බාප්පගේ පුතාගේ නැන්දාගේ ලොකු අම්මාගේ අල්ලපු ගෙදර හිටිය කෙනෙක්ගේ යාළුවෙක්ගේ පුතෙක් වෙචිචි එකේ ඔවා ඔහොම තමා..
ආයේ ඉතිං මාරයා විතරක් නෙවෙයි හුගාක් හයේ හතරෙ බුවාලා කියලා හිතං හිටිය හුගාක් ඇත්තෝ ඒ හිතුවට වඩා ටිකක් විතර පුංචියි..දෙන්නෙක් තුන්දෙනෙක් ඇර..ඒ අය කවුද කියලත් අහන්ට එපා..එක්කෙනෙක්නං පාතාලයට අධිපති කෙනෙක් ඒ කියන්නේ පතල් හිමි කෙනෙක්..

ඉතිං දැන් මෙ මදෑ...
මං නොලීවට අද රෑට හුගාක් අය දාන්නේ නැතෑ මෙ ගැන ලියුං කරදහි.
මට දැං ටිකක් නිදිමතයි..රෑට වැඩට යන්ටත් එපෑ..හා මං බබා දොයිය බබා වෙනවා..

18 December 2010

එසේ නොවේ නම් මෙසේ විය හැක...

බැසයන හිරු සේ..
ඔබගේ අහසේ..
මා අද දින
සමුගෙන යමි මෙලෙසේ..

යළි හෙට දිනයේ..
නොනැගෙන අහසේ..
මළ ගිය හිරු ගැන
ඔබ නොසිතන සේ..

මින් මතු ආයේ..
නොම හඳුනන සේ..
පෙර දින විලසින්
දිවි ගෙවනා සේ..

කිසි දින එලෙසේ..
නාඳුනනා සේ..
දිවි ගෙවුවද මා
සිත හඩනා සේ..

මතු දින දුකසේ..
දිවි ගෙවනා සේ..
උරුමය එයනම්
මම ඉන් සැනසේ..

16 December 2010

මාරයාගේ විරෝධය..මඩ එපා...

අනෙ බුදු අප්පච්චියෝ...
තෙමුනා නොතෙමුනා..ගෙදරට යංතං පය ගහ ගත්තා...

අද උදේම මේ ආදරුසමත් ලිපි ලියන්න ගිහිං උයන්නත් පරක්කු උනා..ඊට පස්සේ උයන්න පටන් ගන්නකොට ගෑස් ඉවර උනා. හදලා තිබුනු කරවල හොද්දත් එක්ක යංතං බත්ටික ගිලලා දැම්මා..මොනවා කොරන්නද ආයේ තව දේවල් උයන්න ගෑස් නැති කොට..මදි පාඩුවට රතුළුණු ගෙඩි තුන හතරකුයි අමු මිරිස් කරලකුයි කිට්ටු කොරගත්තා..ලොකු සුදු ළුණු බිකකුත් හීනියට ලියා ගත්තා..ඒ මදැයි.

මට බත් එක්ක රතුළුණු කෑම පුරුදු කොලේනං අපේ තාත්තා..ඉස්සර මං බත් පිගාන අරගෙන හිමි හිමීට කන කොට උන්දෑ රතුළුණු ගෙඩි දෙකතුනක් ශ=ද්ධ කොරලා මගේ පංගුවට දාලා යනවා...

"පීනසේට හොඳයි" කියාගෙන...

තව දවසක කියන්නේ

"ඇස් පෙනීමට හොඳයි" කියලා...

ආයෙම වංගියක්

"සිහි කල්පනාව වැඩි වෙන්න හොඳයි" කියලා තමයි..

කොහොමින් කොහොම හරි උන්දෑ මට දවස ගානේ රතුළුණු ගිල්ලෙවුවා..මාත් බොහෝම ආසාවෙන් ඒකට පුරුදු උනා.
ඔය ගොටු කොල මිටි පිටින් කන්න මට පුරුදු කලෙත් තාත්තාම නෙව...ඒ දුන්නෙත් අර කළින් කිව්ව කතන්දර ටික කියන ගමන් තමයි...

ඉතිං අදටත් මට රතුළුණු ගෙඩියක් දෙකක් බත්පතේ පැත්තකින් තියෙනවානං පංකාදු පහයි.

මම ඒවාට පුරුදු උනාට අපේ මලයාටනං ඕවා අරහං...

ඒකා කොහොමත් අපි දෙන්නට වඩා වෙනස්...
මායි තාත්තයි මස් මාළු වලට කැමැත්තක් නැහැ.මාළු යන්තං හරි කෑමත් අපේ තාත්තා මස් කෑල්ලක් ජීවිතේට කටේ තියලා නැහැ...
මාත් ඉතිං අවුරුදු දහහතරක් විතර වෙනකල් එහෙමම තමයි...
අන්තිමට මගේ ජීවිතේ කුණාටු සමය ආරම්භ උනේ මට වයස දාහතරෙන් පස්සෙනේ..ආන්න ඒ කාලෙන් පස්සේ තමයි මාත් ටික ටික මස් මාළුවලට හුරු උනේ.
ඒත් අදටත් කට්ට කරවල හොද්දටයි... බල කරවල තෙල් දැමිල්ලයි වගේ මට මස් මාංස ඒ තරම්ම අල්ලන්නේ නැහැ.

ආ මට සුදු ළුණු පාවිච්චියනං ආවේ මෙ බොහෝම මෑතකදී...

මගේ අරයා තමයි මට ඕක පුරුදු කොලේ...

"බත් කනකොට සුදු ළුණු ගෙඩියක් අමුවෙන් පෙති ගහලා
කන්න..කොලෙස්ටරෝල් වලට හොඳයි..පපුවටත් හොඳයි"..

මං ඉතිං හොඳයි කියන දේවල් අහක දාන්නේ නැහැනේ..අදටත් පුළුවන් වෙලාවට රතුළුණු සුදුළුණු පරණ මතකයන් එක්කම ළං කරගන්නවා බොහෝම ආදරයෙන්...

ඉතිං හවස ගෙහුං ගෑස් එකත් ගෙනාවා කියමුකෝ අනිත් අඩු වැඩියත් එක්කම...

ඒත් ඉතිං ආයේම උයන්න කම්මැලියි.
තිබුනු භාජන එහෙම හවසම අස්පස් කරලා දැම්මා රෑට කඩෙන් කනවා කියලා හිතාගෙන...

මෙන්න යකඩෝ රෑ වෙනකොට වහින්න පටන් ගත්තා...
යන්තං වැස්ස ටිකක් තුරල් වෙනකං ඉඳලා දැන් ටිකකට කළින් කඩේට ගියා...
හවස ඉඳන් ප්ලෑන් කරගෙන හිටපු විදියටම වැඩෙ දඩි බිඩි ගාලා කොර ගත්තා...

බිත්තර රොටී.. පරාට.. සමග සැරම සැර මාළු හොඳි...

බිත්තර රොටී දෙකයි පරාට හතරයි කප්පවගෙනම ආවා...

දැන් ඉතින් මඳ පමණින් අනුමත වීමත් සමගම අඳාළ දේවල් ක්‍රමක්‍රමයෙන් භුක්ති විඳීමත් පටන් ඇරගෙනයි තියෙන්නේ...

.................................

හරි ඉතිං අපි ආයෙමත් හැරෙමු අද කතාව දිහාට...

ඔයාලට මතකයි නෙව අද උදේත් මං අර ආදරුසමත් ලිපියක් දැම්මා කියලා...
ඒත් ඉතිනං මටම කියන්න ලැජ්ජයි..ඒකේ ටිකක් විතර වෙන්න අඩු පාඩු තිබ්බා නෙව...
ඒක ඉතිං උනේ මගේ වරදකින් නෙවෙයි ඕං..මට තොරතුරු දුන්න අය ඒ තොරතුරු දෙද්දී හිටන් හිටිය පොළව ඇද හින්දයි.

ඉතිං දැන් මං සූදානං වෙන්නේ ඒ කරුණු කාරණාවලට සංස්කොරණ ඉදිරිපත් කොරන්ට තමයි.

පළවෙනි එක...

ආයේ මං නං ගං නොකිව්වට මොකද දන්නෝ දනිති කිව්වේ කා ගැනද කියලා...

උදෙන්ම වගේ ටිකක් තර්ජන ගර්ජන එහෙම ආවට මොකදෑ..දැන් මේ හවස් වරුව වෙනකොට මට ඒ පළමු කාරුණාවට සම්බන්ධව සෑහෙන සහයෝගය පළ කිරීම් ලැඛෙමින් පවතිනවා..

ආයේ නිකංහිපාටු සහයෝග නෙවෙයි..ජාත්‍යන්තර සහයෝග..
කිව්වට මොකද ඒකත් බලවත් උදවියගෙන්..ආ වැරදුනා බවලත් උදවියගෙන්..හැබැයි ඉතිං වැරදුනා කියන්නත් බැහැ..ඒ ඒ ඇත්තියන්ගේ පවුල්වල බලවත්ව ඉන්නෙත් උන්දැලාම නිසා බලවත් බවලත් උදවිය කිව්වත් වැරදි නෑ ආයිබෝං...

අර කට කහන මුදියන්සේගේ සදාදරණීය ප්‍රියම්බිකාව වෙච්ච ඇත්තියි...

මේ ළගදී පැරණි ලාංකීය ආහාර වට්ටෝරු දෙකක් නවීන ක්‍රමයට තාක්ෂණය මුසු කොරලා වෙනස්ම ආරක් ගත්තු මොනවාද මන්දා බයිට් බිබික්කමක් හදාපු දුකසේ ජීවත් වෙන අපේ යාළුවෙකුගේ ආදරණීය භාරියාවයි...

කියන මෙ බලවත් බවලත් ඇත්තියෝ දෙදෙනාම අද ගේමට බැස්සා නෙව...

මෙච්චර කල් දවස් අපේ මුදියන්සේ උන්දෑගේ බ්ලොග් එකෙන් තමුන්ව පතුරු ඇරිය එකේ වාඩුව අදනං ගන්නවමයි කියලා තමයි ඕං ඒ ඇත්තී කියන්නේ..
අනිත් ඇත්තී කියනවා.. දාහක් වැඩ තියෙද්දී මේ බ්ලොග් එකක් අස්සේ හිර වෙලා දුක් විඳින සුවාමි පුරුෂයාව ඒකෙන් මුදවගෙන ගෙදර දොරේ වැඩ පල කිරීම වගේ ව්‍යයාම් සහිත හරබර කාර්යයන්ට යොමු කරවන එක ඒ ඇත්තීගේ පරම පවිත්‍ර චේතනාව කියලයි.

ඉතිං හත්දෙයියනේ..උදවු නොකර පුළුවනෑ...සද්කාර්යයන් නෙව.
ඉතිං ඒ ගැන විස්තර හා වැඩි දුර සාකච්ඡා මෙ ටිකේ මුණු පොත හරහා ඉතාමත් රහසිගතව කෙරෙමින් පවතිනවා..
ඒ ආශ්‍රයෙන් මෙතෙක් කලක් ශ්‍රී ලාංකික ඔබ නොදැන සිටි ඉතා වැදගත් තොරතුරු රාශියක් මා වෙත ගලාගෙන එමින් පවතිනවා...
දැන් පුරස්නේ වෙලා තියෙන්නේ කොහොමෙයි මෙවා පිළි වෙලකට පෙල ගස්සන්නේ කියලයි...

මං හිතන විදියටනං අර කට කහන උන්දෑගේ කට කහන එක නිට්ටාවටම සුව වෙයි වගේ...

අනිත් හිතවතාගේ දුකත් නිදුකින් කෙළවර කොරන්ට අපිලට පුළුවන් වෙයි මේ යන විදියට..ඉතිං ඉස්සරහට සෑහෙන ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්..කවුරු කවුරුත් කෙල්ල ගෙට ගත්තොත් හොඳා...
දැනට ඒ මදෑ...

...............................

මට පොඩි ලේසියක් උනා නෙව..උදේ මං හාවට කියලා විඳලා තියෙන්නේ පදුරු ගාලකට නෙව...
අපේ මුව පෝතක තෙමේ මට සමාව භාජනය කොරන්ට ඕන අර කාර් එකේ ගිය විත්තිය පටලවා ගත්තට...

මං ඉතිං අර ටික ටික හිනස්සෝන ගොබිලා කීව හින්දා හිතුවෙම මේ කියන දැවැන්තයෝ දෙන්නා වෙන කවුරුවත්ම නෙවී..කතන්දර ශ+රීන්ගේ ගෙදර ගිය මුව පෝතක තෙමේ කියලාමයි..ඇයි ඉතිං සරීරේ උනත් දැවැන්තයි නෙව...අර අල්මේදා උන්නැහේ තරමටම වාගේ...

ඉතිං මේ දැන් ලැබුණු රහස් ඔත්තුවකට අනුව හෙළි උනේ..අර බැරියර් බම්පර් කතාන්දරේට උන්දෑගේ කිසිම සම්බන්ධයක් නැති විත්තිය තමයි.
මොකද පැහැදිලි සාක්කි තියෙනවා ඒ කතාව වෙන වෙලාවේ ජීවිතේ මල් කඩ කඩ මුව පෝතක තෙමේ ඩබල් දාලා කාර් එකේ තනියම ගිය විත්තිය..අර අනිත් කාර් එකේ ලොරි බාගෙක තරමට සෙනග පටවලා තියෙද්දී මේ ගොයියා තනියම අර මොන මුද්‍රාවෙන්ද මන්දා ඉන්ට දක්ෂ ජීවිතයක් එක්ක මල් කඩ කඩ යන එකට මල පැන්න අපේ අර නොපසන් සිතින් යුක්ත හාදයා..තමුන්ගේ සරීර කූඩුවත් බලහත්කාරයෙන්ම වාගේ අර මල් කරත්තෙටම රිංගවා ගත්තයි කියන එකට...

ඉතිං ඒ සාක්කි වලට අනුව මම අපේ මුව රජු නිදොස් කොට නිදහස් කරන අතරම අහිංසක මුව පෝතක සම්මාන නාමයත් ප්‍රධානය කොරනවා.

ඉතිං මං කිව්වනේ මට පොඩි ලේසියක් උනා කිව්වනේ..ඒ තමයි අර තුන්වෙනි කතාවේ ඉන්න පෝතකයම තමයි අපේ දෙවෙනි කතාවේ කාර් සීන් එකට මාට්ටු වෙන්නෙත්...

ඒත් ඉතිං මට මුකුත් කියන්නත් බැහැ..මොකද ඒ දරුවා හරි අහිංසකයා..ඔය සෙල්ලං කාර් එකක් ටික වෙලාවක් අත පත ගාන්ට දුන්නොත් ඕනෑම කඩේකට ගෝනියක් උනත් දීලා අරින්ට පුළුවන් හාදයා...

මට උදේ මෙකාව හොයාගන්ට බැරි උනේ අර අපේ පරංගින්ට ගයිඩ් වැඩ කොරපු පරම්පරාවේ මුණුපුරා දීපු හඳුන්වා දීම නිසා නෙව..
ඇයි යකඩෝ මෑන්ස් මෑන්ස්ගේ අර ටිකක් හිනස්සෝන එකේ දාලා තිබුණේ බ්ලොග් කලාවේ දැවැන්තයින් දෙදෙනෙක් කියලනේ..
ඔන්න මඩ කලාවෙ හරි බස් කලාවේ හරි දැවැන්තයෙක් කිව්වනං එක පාරෙංම මීටර් වෙන්න තිබ්බනේ...
මොකද උන්දෑ තියෙන කම්මැලි කොමට මොකුත් ලියන හාදයෙක්යැයි...
ඉඳලා හිටලා හරි ලියුං කරදහියක් ලියන්න වෙන්නේ ඔය මකොළ මාවරමණ්ඩිය පැත්තේ ගෑනු ළමයි දෙන්නෙක් බස් එකකදී පොඩි චැට් එකක් දාගෙන යන එකකට අර රබර් කණ දාලා මොනවා හරි තොරතුරක් හොයා ගත්තොත් විතරනේ...

ඉතිං ඔන්න ඔහොමයි අද දවසේ කතන්දර ඉවර උනේ...

තවත් හරබර රසබර තොරතුරු රැසක් සමගින් නැවතත් ඔබ හමු වීමේ ඉලා පොරොත්තුවෙන් ඔඛෙන් සමු ගන්නා මා..ඔබේ දයාබර ආරියසිරි විතා..හෝ හෝව් වැරදුනා...
මාරයා...

ඇයි මට පලි තහනංද..?
පලි- මේ කතන්දර තේරුං බේරුං කොරගන්ටනං මෙකට අඳාළ අනිත් උදවියගෙත් පහු ගිය දවස්වල ලිය උන ලිපි එහෙම බලලා තියෙන්ට ඕන හොඳේ...

ආදර්ශමත්ව ලිපි ලියමු...මඩ විරෝධී ජාතික වියාපාරය....

ආයෙත් ලියන්න පටන් ගත්තා ඔං...
හැමදාම කියනවා වගේ මං ගෙදර ආපු හැටියි..නාපු කාපු හැටියි නොලියම පටන් ගන්නංකෝ...
විශේෂයෙන්ම දූමී ජන පහන් සංවේගය හින්දාම මං තීරණය කොළා ඔය කන බොන හැටි..උයන පිහන කෑම ජාති ගැන එහෙම නොලිය ඉන්න...

මොකද ආරංචියේ හැටියට අපේ අර කට කහන මුදියන්සේලාගේ ගමරාළතුමාට මේ දවස්වල හරි ඇබැද්දියක් වෙලා..
ඒ මක්කැයි කියලා කියනවනං ඔය මං ලියපු කෑමක් ගැන බලලා කෙළ පෙරන්න ගොහිං ඒ කෙළ බේරිලා උන්දැගේ කී බෝඩ් එකට...දැන් නිකං අර විලිසොං මාස්ටර්ගේ සරපිනාවට වෙච්ච එකේ අනික වෙලා තියෙන්නේ...මක්කවත් කොටාගන්න බැරිව ලත වෙනවළු... මොකද කේන්තියට කොටන්න කියලා අහල පහළ කෙහෙල් ගහක්වත් තියෙන එකක්යෑ...

හොඳම හරිය ඒක නෙවෙයි..අනේ මංදා මෙව්වා කියලත් බැහැ නොකියත් බැහැ..ඒත් ඉතිං නොකියා කොහොමද..?

මෑන්ස් ගිහිං ගම හාමිනේ ගාවට ආපඳා ණයක් ඉල්ලගන්න..අළුතින් කී බෝඩ් එකක් ගන්ට කියලා...ඒ පාර තමයි වැඩේ ඉහළ උසාවි මට්ටමට ගිහිං තියෙන්නේ...

මගේ මේ කෑම හුටපටේ කොයිතරං පැහැදිලි කොරලා දෙන්ට හැදුවත් ඒ උන්දෑ නැහැළු නෙව තේරුං ගන්නෙම...
උන්දෑ කියන්නෙම..කොහේ හරි යන අර ගෑණු පරාණයක් කොම්පීටරෙන් පෙනිලා මුන්දෑ සෙම සෙවල පෙරුව පාර ඔය කියන ආපදාව වෙන්ට ඇති කියලම නෙව...
ඉතිං ඕකෙන් බේරෙන්න දන්න කියන දහං ගැට ඔක්කෝම දාලත් හරි ගිහිල්ලා නැහැනේ...මෑන්ස් කියලා ඉතිං ඇත්තටම මේ මාරයා උයපු කෑමකටම තමයි කෙල පෙරුණේ කියලා...

ඒ පාර අර ගමමහගේ අඩිය එහෙම පොළොවේ හප්පලා කියලා තියෙනවා නෙව..

"හුහ්..එහෙනං එහෙංම ගිහිං කනවා..ආයේ මගේ කෑම රහ නැති හින්දා වෙන්ට ඇතිනේ ඔය හැම තැනම යන ඒවට පෙර පෙර ඉන්නේ කියලා"...

ආයි ඉතිං කිව්වට මොකෝ ආයිබෝං...ඔය ඇත්තී ඉන්නවා නේද..?අඩි හප්පන්ට උපන්ගෙයි හපනී...මොනවද නිකං අපේ මෑන්ස් නිකං සුනාමියට අහුවෙලා ඇඹරිලා ගිය පැරෑළිය කෝච්චිය වගේ...කෙළින්ම ගේ මුල්ලේ...
මක්කා කොරන්නද..?ඔහොම තමයි ඉතිං ඔවාගේ හැටි...

අන්න ඒ කාරුණාව හින්දා මං තීරණය කොළා ආයෙම වංගියක් ඔය කෑම බීම ජාති ගැන කියලා අර පලස්තීනෙයි ඊශ්‍රායලෙයි වගේ බොහෝම සමගි සමාදානෙන් පවුල් කන ඔය ජෝඩුවට හානියක් වෙන ආකාරයේ ලිපි නොලියා ඉන්න...

.....................................

හා ඒ කතාව පැත්තකින් තියමු.
දැන් මේ අපේ අර මුව පෝතක මහතැන් ඇවිල්ලා නෙව ලංකාව පැත්තේ..මොකක් කිව්වා..ඒ කවුද කියලා ඇහැවුවා...
ඇයි බොලං අර ලොවෙත් නැති කවි සිංදු ගෙනල්ලා අපිට අහන්ට සලස්සන අර සුදු අංකල්...

ඔව් ඉතිං අංකල් කිව්වට ඒ හැටිම වයසක් නැහැ...මම ඒක සහසුද්දෙන්ම දන්නේ උන්දෑගේ අර මුණු පොතේ තිබුණු පිංතූර වලින්ම තමයි...ඒ පිංතූරවල තියෙනවා නෙව උන්දෑ ඔය හැටෙ දශකේ වගේ විස්සවිජ්ජාලෙ ඉන්දැද්දී ගත්තු හරි අපූරු පොටෝ කෑලි ටිකක්..අප්පා ඒ කාලේ හරි නාඹර කොළු ගැටයා...සරීරේ එහෙම හරියට නිකං තඹුත්තේගම යෝධයා වගේ බලන්ට එපැයි..
ඉතින් මං හිතන්නේ ඒ තිබුනු පොටෝ කෑලිවල පෙනුමේ හැටියට ඔය හරියටම හැටෙ දසකේ මුල භාගේ විතර වෙන්ට ඕන..ඒ කාලේ තිබුනු චිත්තරපටිවල තිබුණ ඇදුම් කෑළි..කොණ්ඩ විලාසිතා නෙව තිබුණෙත්...
ඒ කියන්නේ උන්දෑ හැටෙ දසකේ විස්සවිජ්ජාලේ හිටියනං දැන් වෙනකොට ඒ හැටි වයසක් නැහැ නෙව...
ඉතිං මට තියෙන පුරස්නේ මෑන්ස් ලංකාවට ආවා ආවාමයි..වෙච්ච දෙයක් හරියටම දන්නේ නැහැ නෙව...

අර අභීත මලයානං කස්ටියක් එක්ක කොහේදෝ ගමනක් යන ගමන් වෙච්ච කතන්දරයක් ලියලා තිබුණා..ඒත් මං හිතන්නේ නැහැ ඒ කතන්දරේ හිටියේ අපේ කතානායකතුමා කියලා..කොහොම උනත් කවුරුහරි පිංවතෙක් උන්දෑ ගැන හරි ආරංචියක් දන්නවානං මටත් ටිකක් දැනුං දුන්නොත් හොඳයි...

.................................

ආ අර කතාව කිව්වමයි මට මතක් උනේ අපේ මේ අර මලයා...ඔව් ඔව් අර ටික ටික හිනස්සන ගොයියා තමයි..මේ දවස්වල අළුත් වියාපාරයක් ආරම්භ කරලා...
ඔව් ඉතිං කිව්වේනං ඔය සංචාරක කරුමාන්තෙට සම්බන්ධ මොකක්දෝ කියලා තමයි..ඒත් ඉතිං දැන් අපේ බ්ලොග් ලියන එව්වෝ බොහෝම බයෙං හැකෙං තමයි මිනිහා ගැවසෙන තැන ඉන්නේ..මොකද කියලා කිව්වොත්..මිනිහට වන්දනාවේ යවන්න සුද්දෙක් තියා වැද්දෙක්වත් අහුනොවන තත්වය මත..අතට අහුවෙන ඕනම එකෙක්ව ඔය කොහේ හරි පටවලා ගාණ කපන්න හදන හින්දායි කියලායි ඒ මගඩියකට අහු උන අපේ මිත්තරයෙක් කිව්වේ...

ඒත් ඉතිං උන්දෑට අපිත් පුළු පුළුවං විදියට උදවු කොරන්න එපැයි.ඒ හින්දා ඔය දන්න කියන උදවිය ඉන්නවනං ඔය රටේ තොටේ සංචාරේ කොරන්න කැමති අපේ මලයව හම්බු වෙලා ඒ වැඩ කටයුතු පිළිවෙළක් කොරගන්න එක හොඳයි..ඕං ඉතිං අපි නොකිව්වත් උන්දෑම දැන් දැන් ටික ටික හිනා වෙන්න කියලා හීන් සීරුවේ උන්දෑගේ අර බොලොගේ රට වටේ තොරතුරු කිය කියා දැන්වීං දානවා...
අපරාදේ කියන්න බැහැ..මේ මළයා හරි දක්ෂයි ඔය සංචාරය කොරවන වැඩවලට...
ආයේ ඉතිං කොටින්ම කිව්වොත් මෑන්ස්ට ඔය දක්ෂතාවය ලැබිලා තියෙන්නේ මිනිහාගේ පරම්පරාවෙන්මයි..මොකද කිව්වොත් උන්දෑගේ මී මුත්තා තමයි අර කෝට්ටේ ගිය පරංගියාටත් ගයිඩ් වැඩේ කොරලා තියෙන්නේ...
ඉතිං එහෙව් උන්දෑගේ මී මුණුපුරා ගැන ආයේ මං කියන්ට ඕන නැහැනේ...

.............................

අප්පද බොල ඔය දැන්වීං කිව්වම මට සිහි නිච්චියට ආවේ අපේ අර මාකොළ පැත්තේ ඉන්න අයිස්පැකට් මරුවාව..
උන්දැත් පහුගිය දොහේ ඔය දැන්වීං කලාව හරි අපූරුවට කොළා...
කොටින්ම කිව්වොත් මෑන්ස්ගේ දැන්වීං වලට පිකප් වෙච්ච බ්ලොග් ලියන උන්දැලා ටික ගෝනි කරේ තියාගෙන කිරිබත්ගොඩ පැත්තේ කරක් ගහලා තියෙන්නේ...
ඉතිං පහුගිය දොහේ ඔය කිරිබත්ගොඩ තිලකවර්ධනේ..එතකොට අර අනූෂා එකේ එහෙම පෝලිම ඉවර වෙලා තියෙන්නේ කඩවත හරියෙන්..ඒ තරමට පෝලිම...

ඉතිං තිලකවර්ධන මුදලාලි විතරක් නෙවේ මුළු කිරිබත්ගොඩ වෙළඳ සංගොමේම තීරණය කොරලා මෙදා පාර නත්තලටත් මේකාවම පාවිච්චි කොරන්ට උන්දැලාගේ බඩු මුට්ටු විකුණගන්ට...

ඔය කවුරු හරි කිරිබත්ගොඩ ගිය වෙලාවක අර කඩසාප්පු ඉස්සරහා රතු ලොගුවකුත් ඇඳගෙන පිස්සු කෙළ කෙළ ඉන්න නත්තල් පප්පෙක් දැක්කොත් ටිකක් නතර වෙලා කතා කොරලා යන්ට අමතක කොරන්ට එපා..මොකද ඒ අපේ මෑන්ස් වෙන්න පුළුවන්..අඳූරගන්න තියෙන පහසුම කොරමේ තමා අර සුදු රැවුලට යටින් යාන්තමට හරි අගුරු වගේ සුදුපාට මූණු පොඩ්ඩ පොඩ්ඩක් පේන එක...

..................................

අප්පා අද මං මේ මොනවද ලියලා තියෙන්නේ...
මොනවා ලිව්වත් ඉතිං දැන් ආයේ මකන්ටයෑ..ඔන්න ඔහොම පබිලිස් කොරලා දාමු...
අනික ඉතිං මං කවදාවත් නරක දෙයක් ලියන එකක්යෑ..කාට කාටත් ආදරුසමත් දෙයක් ලීවොත් ඇර...

ඔය කාට උනත් ලියුමක් ලියා ගන්න හැටි..ඒ කිව්වේ මේ අනං මනං වල්පල් දොඩවන්නේ නැතුව එක එක්කෙනාට මඩ ගහන්නේ නැතුව... වචන හතරක් ගලපගන්න හැටි ඉගෙන ගන්න ඕනනං..දන්නවනේ තැන..අන්න එතනට එන්න..එතන මාරයා ඇති...

යඥ්ඥං.....

14 December 2010

දුම..නූඩ්ල්ස්...දවස ඉවරයි...

බොහෝම නිස්කලංකව ගලාගෙන යන හවස් කාලයක්.
පුරුදු විදියටම ඉදිරිපස දිස්වෙන්නේ වෙල් යාය කෙළවරින් රත් පැහැ හිරුගේ රාජකාරි අවසන නික්ම යෑම...ඒක එක දිගටම බලාගෙන ඉන්න තරං ලස්සන දර්ශනයක්..කොහොමත් මම දවසේ වැඩියම කැමති මේ වෙලාවට තමයි...

නිස්කාංසුවේ වාඩි වෙලා..බැස යන හිරුත් එක්කම තවත් දවසකට සමු දෙන්න...
ඒ අතරින්ම දවස ගෙවුන ආකාරය...පිළිබඳව ආවර්ජනය...

උදේම හිතං හිටියේ අපේ වැම්පයර් මලයගේ රෙසිපියට අනුව බිරියානි පාරක් දාන්නයි..
ඉතිං ඒකට අඩු වැඩියත් අරන් එන්න හිතාගෙන ගියා යක්කල පැත්තට..දඹුළු ගිහින් ගොයෙකුත් නෙලාගෙන එන්න කියලා තමයි හිතං හිටියේ...
ගොයෙක් කිව්වට මොකද පුළුහංනං තව ඔය හා පැටියෙක් මීමින්නෙක් එහෙමත් අවුවෙයි කියලත් හිත හිත..මගේ ගමන් මල්ලට අවශ්‍ය කොරන ආම්පන්න එහෙමත් දා ගත්තා...

දඹුළු යෑම කියන්නේ උයන පිහන අඩුවැඩිය අරං ඒම...
තලගොයා මැරීම කියන්නේ මගෙ අස්පයාගේ දුං පරීක්ෂාවයි ඉන්ෂුවරන්ස් එකයි කොරං එන එකයි..තව ඉතිං පුළුවං කොමක් තිබුනානං ලැයිසොමත් අළුත් කරවාගෙන එන එක තමයි...

එතකොට හා පැටියා කියන්නේ අර වේලි වේලි තියෙන සම්පත් බැංකුවට සුළු ආධාර මුදලක් දෙන එක..ඒකත් ඉතිං තව ටික දවසකින් ප්‍රතිආධාරයක් හැටියට අර කාඩ් පොජ්ජ මැෂින් පොජ්ජට මංදො කොරලා ආපහු ඇන්න එන අයිඩියාස් එකෙන් තමයි.

මීමින්නා කියන්නේ ඉතිං ලයිට් බිලත් ඔන්න ඔහේ චම්පික උන්නැහේට දෙන තල්ලූවක් හැටියට වෙලාවට ගෙවලා දාන්නත් එක්ක තමයි.

ඔය ඔක්කොමත් කොරලා අන්තිමට තව බලාපොරොත්තුවකුත් තිබුනා..ඒක ඉතිං කියන්නේ නැත.

හරි..කොහොමින් කොහොම හරි මුළින්ම මිරිස්වත්ත බලා ගමනේ යා...
ඒ ගියේ මගේ අස්පයාගේ දුම බලා කියා ගන්න තමයි...හැබැයි ගියාට මොකද මං සහසුද්දෙන්ම දන්නවා අදනං බඩුම තමා කියලා..මොකද මගේ බයික් පැටියා මේ දවස්වල ඉන්නේ හොඳ තත්වෙන් නෙවෙයි කියලා මටම තේරෙනවා...

එකක් බයික් එක පිකප් මදි...ඊළගට හිටපු ගමන් යන්තමින් මිස් කරන ගතියකුත් තියෙනවා තියෙනවා වගේ...
ඒ විතරක්යෑ පැස්ටෝල් බොන මට්ටමකුත් තිබුනා...ආ..ආයේ ඉතිං උන්දැව දැන් මාස දෙකකින්ම සර්විස් කොරලා තිබුනෙත් නැහැ නෙව.

ඉතිං ඕවාත් ඔළුවේ තියං ගිහිං..ගෙඩි රුපියල් තුන්සිය හැටක් ගෙවලා ඕං දැම්මා ටැස් එක කොරන්න...
හරි ඒකත් ඉවරයි..ගියා අනිත් පැත්තෙන් කරකෝගෙන අර කෙට්ටු කෙළි පොඩ්ඩ ඉන්න තැනට සහතිකේ ගන්න...

අනේ අපරාදේ කියන්න බැහැ..මට කට පුරෝලා හිනා වෙලා ඒ දැරිවි කිව්වෙ නැද්ද...

"ආයේ පොඩ්ඩක් බයිසිකලේ හදාගෙන එමු බලන්න" කියලා...

හ්ම්..මට තේරුනා බඩු බනිස්ම තමයි කියලා..ඒත් ඉතිං ගාණක් නැහැ ඕක අහන්න බලාගෙනනේ ආවේ.
ඒ ගමන මම ඇහුවා..

"මොකද භාණ්ඩෙ ෆේල්ද..?"
කියලා..

ආයෙමත් හිනා වෙලා කියනවා "ඔව්නෙ" කියලා...

"ආයේ හදාගෙන එන්න අපි තව පාරක් නොමිලේම කරලා දෙනව ටෙස්ට් එක...අදම උනත් ආවොත් කර ගත්තැකි..."

රයිටෝ..කිව්වා මං ආවා.

ගියා බණ්ඩාරවත්තේ මගේ දොස්තර මහත්තයා ළගට..හේමන්ත අයියා.
ඒ යනකොට මෑන්ස් ගරාජ් එක අස්පස් කොරනවා ගජරාමෙට..කොහොම හරි පැය දෙකක් විතර ඉන්න ගමන් කාබලේටරේ ශුද්ධ කරලා..පෙට්රල් ටිකක් වහලා..එයාර් ක්ලීනර් එක ශුද්ධ කොරලා..ඒ මදිවට ඕන එකක් කියලා අළුතෙන් ස්පාක් ප්ලග් එකකුත් දම්මවා ගත්තා...

හරි දැන්නම් මගේ හිතට ෆිට්..දැන් ඉතිං පාස් වෙන එක අවුලක් නැහැ කියලා මට ෂුවර්..
බිල ගෙව්වා.. "පන්සිය විසිපහයි...විසිපහ එපා මහත්තයා පන්සීයක් ඇති"...හැමදාමත් වගේ..හේමන්ත අයියාගේ ගාණ රවුං කිරීම..ඒකත් ගෙවලා ආපහු ආවා..මිරිස්වත්තට...

ඒ ගමන වැඩේ එක පාරින්ම ගොඩ...
මාත් ඉතිං අර ළමයට "යන්නාං" කියාගෙන ආවා..ගම්පහට.

ඉස්පිරිතාලේ ගාවිං යන ගමන් ටිකක් ඇරලා යන්න ඕන..නැත්තං සුදූ..ඒ කිව්වේ අපේ පුංචිගේ බාලම දූ..මගේ නංගී..
උන්දෑ ෆාමසියේ ඉන්න ගමං මාව දැක්කොත් කතා කොරලා යන්න වෙනවා..ඒ කියන්නේ තවත් මොන මොනවා හරි කොන්තරාත් ටිකක් අහු වෙනවා කියන එක තමයි...

"චණ්ඩි අයියේ..මගේ බයික් එක ආයෙත් කැඩිලා..ඇවිත් හදලා දෙන්නකෝ..
අනේ කොම්පියුටරේ මොකක්ද අවුලක් හලෝ..ටිකක් ඇවිත් බලනවකෝ.."
එකක් කියලද.. අපරාදේ කියන්න බැහැ සුදූට මාව දක්කම නිකං හිතෙන්නේ නඩත්තු කටයුතු පිළිබඳ දෙපාර්තමෙන්තුවෙ නිසි බලධාරියා හම්බු උනා කියලද කොහේද..?
වැඩ පවරනවා ඇර වෙන දෙයක් නැහැ..මෙ තියෙන පරිප්පු අස්සට තව මොන මුං ඇටද..?ඒ හින්දා ඇරලා දාලා ගියා...

වෙනදා මගේ බයික් එකේ තර්ඩ්පාටි ඉන්ෂුවරන්ස් එක දාලා තිබුනේ පාතික රක්ෂණෙන්..ඒත් මේ පාර ජන ශක්ති හරි සෙලින්කෝ හරි දාන්න ඕන කියලා මට හිතිලා තිබුණේ..වෙන එකක් හින්දා නෙවෙයි..
ජාතික රක්ෂණෙන් දෙන අර මහා පොත් කෑල්ල පර්ස් එකේ දාගෙන යන එක මට දැන් එපා වෙලා තියෙන හින්දා..පර්ස් එකෙන් එකයි ඒක..

ඒ හින්දා සෙලින්කෝ එකට ගිහිං හයසීයක් ගෙවලා ගත්තා ඉන්ෂුවරන්ස් එක..
අර කිරි ටොයියා වගේ ඉලෙක්ට්‍රොනික් කාඩ් පොජ්ජක් එක්ක...පරිස් එකටත් සැහැල්ලූයි..වතුරටත් ඔරොත්තු දෙනවා..
වතුරට ඔරොත්තු දෙන එක මට හුගාක් වටිනවා..මොකද අවුරුද්දෙන් වැඩි දවසක් වැහැවලටම අහු වෙන මංතුමා කවදාවත් වැස්සකට නැවතිලා යන්න පුරුද්දක් නැති හින්දා..
වැහි පිට වැහි හතක් වැස්සත් මම බැහැ ඔය කඩ ගානේ නැවති නැවති ඉන්න..එක පිම්මට යන ගමනක් යනවා මිසක්..ඒ ගිහින් කොහොම හරි ගෙදරට ආව ගමන් හොඳට නා ගත්තම ඔක්කොම හරි.
ඒත් මේ පර්ස් එකේ තියෙන ඒවා වේල වේල ඉන්න එක තමයි එපා වෙන්නේ..ඉතිං අර පොත් දාගෙන ගියහම සංසාරෙත් එක්ක එපා වෙනවා නෙව...

ඔය ඔක්කෝම කරගෙන ඉවර වෙනකොට වෙලාව එකයි..ලයිට් බිල ගෙවන්න කියලා යන්න හදනකොට..ලයිට් බිල ගෙනිහිල්ලා නැහැනේ...
වෙනදට කොහොම හරි ලයිට් බිල් දෙක තුනක් මගේ බෑග් එකේ සාක්කුවේ තියෙනවා..මොකද මම ලයිට් බිල ගෙවන්නේ මාස තුනකට හතරකට පාරක් හින්දා හම්බ වෙන බිල් බෑග් එකේ දාගෙන ඉන්නවා..අහු වෙච්ච වෙලාවක ගෙවන්න කියලා හිතාගෙන...

සාමාන්‍යයෙන් මට මාසෙකට ලයිට් බිල රුපියල් දෙසීයක් විතර එනවා...ඉතින් මාස හතරකට සැරයක් රුපියල් දාහක් දැම්මම වැඩේ ඉවරයි...
ඒත් පහු ගිය දවසක මගේ මහා අස් පස් කිරීමේ මංගල්ලයට අහුවෙලා බෑග් එකේ තිබුණු ලයිට් බිලූත් සුවාස් වෙලා..
ඒ ගමන මොනවා කොරන්නද..බඩගිනිත් එක්ක...දැන්නං බිරියානි කේස් එක හිතෙං අල්ලලා දාලා තිබුනේ...
ඒ වෙනුවට දෙවෙනි සැලැස්මකට හිත ගිහින් තිබුණේ...

මට මේ ළගදී රට ගිහින් ආපු කෙනෙක් දීපු තෑගි බෝග අතරෙ තිබුනා නෙව නූඩ්ල්ස් කප් එකක්.

ටිකක් විතර සයිස් එකේ ප්ලාස්ටික් කප් එකක්. ඒත් ඉතිං මං ඕකට අත තියලා තිබ්බේ නැහැ.

මේ ඊයේ පෙරේදා මම අපේ රොයිලිලා වාසලලා කොරගෙන යන බයිස්කෝප් අඩවියෙන් බෑවා හොඳ බයිස් කෝප් හත අටක්.
ඒ අතරේ තිබුනු අර නින්ජා කතන්දරේක තිබුනා කොප්පෙකට නූඩ්ල්ස් දාලා ඒකට උණුවතුර දාලා කලවං කරලා අර
චොප්ස්ටික්ද මොකක්ද කියන කෝටු දෙකකින් නූඩ්ල්ස් ටික ඇදලා අරින දර්ශනයක්...

මාත් ඉතිං ඔය ක්ෂණික ඉවුං පිහුං වලට බොහෝම කැමැත්තක් දක්වන හිංදා මේ දර්ශනේ මට අල්ලලා ගියා..
ඊට පස්සේ බැළුවේ යිප්මෑන් එක සහ දෙක...

අප්පද බොල ඒකේ තියෙන අර කෝටු දෙකෙන් ඇදලා අරින කෑම වේල් සකස් වෙලා තියෙන ආකාරය දැක්කම මට හිතුනා අර නූඩ්ල්ස් කෝප්පෙට වග කියන්න...

ඉතිං මාත් අර නූඩ්ල්ස් කප් එකට නටන උණු වතුර එහෙම නියම ගාණට දාලා තැම්බී ගෙන එනකොට අර වතුර ගතියත් එක්කම සුප් නූඩ්ල්ස් එක ඇදලා ඇරියා...

වැඩෙ මාර සැටිස්...

අපේ තියෙන නූඩ්ල්ස් වගේ නෙවෙයි ටිකක් මහතයි..හැබැයි ඉක්මනටම තැම්ඛෙනවා...ඉස්සෝ රසත්..තව අමුතුම රසකුත් එනවා...වැඩේ නරකම නැහැ...

ඒත් ඉතිං අපේ රටේ ඔවා හොයන්න නැති හින්දා මාත් හිතුවා ආදේශක ටිකක් අරගෙන හරි වැඩේ කරලා බලන්න...

ඉතිං මගේ දෙවන සැලැස්ම මේක තමා.
ඒ ගමන කීල්ස් සුපර් එකට ගිහින් ගැලපෙන විදියට බඩු ටික අරන් ආවා..ඒත් අර වගේ මහත නූඩ්ල්ස්නං හොයන්න නැහැ.
නූඩ්ල්ස් එකට ඔන කරන අඩු වැඩියයි...තව මගේ ටී බෑග් පෙට්ටිය ඉවර වෙලා තිබ්බ හින්දා ටී බෑග් පණහක පෙට්ටියකුයි අරන් ආවා ගෙදර...

අන්තිමට දඹුළු යෑම සීගිරි යෑමෙන් නැවතුනා...
තළගොයා මරන්න සෑහෙන වෙලාවක් ගියා..ඉන්ෂුවරන්ස් එක ඉවර වෙන්න තිබ්බේ විසි හතර වෙනිදා..ඒක් යන්තං අළුත් කර ගත්තා.. ලැයිසොමනං ලබන මාසේ දහය වෙනකල් තියෙනවා..ඒත් ඒකත් ඊට කළිං කරලා දා ගන්න ඕන නැත්තං අමතක උනොත් එහෙම තවත් අවුල...තල ගොයත් ඒ ගානට මරා ගත්තා...

හාවා..?ඒකත් හරි යක්කල සම්පත් බැංකුවට සුළු ආධාරයක් කොරලා දැම්මා...

මීමන්නා..කොහේද චම්පික උන්නැහේගේ නොලැබීම...නැත්තං අද තව ගෙඩි රුපියල් දාහක්ම හම්බු වෙන්න තිබුනු අවස්ථාව ගහලා ගියා...

අම්මපා බලාගෙන ගියහම මං අද දවසම මහන්සි වෙලා තියෙන්නේ චම්පික ගොයියගේ වැඩ වලට සල්ලි ගෙවන්න මහන්සි වෙච්ච එක නෙව.

උන්දැනේ..ඔය දුං පරීක්ෂණේ හිටං දාලා අපේ පොකැට්ටුවේ තියෙන තව කීයකට හරි කෙළවන්න පොට පෑදුවේ..

ඒත් ඉතිං ඕක නොවෙන්න මම තව මාස ගාණකට බයිසිකලේ අඩු පාඩු නොබලන්න තිබ්බා...ඒ ගෙව්ව ගාණ මට පාඩුවක් නැහැ...
මොකද පහුගිය දොහේ මගේ බයිසිමොටෝ එකේ පැස්ටොල් වැඩ කිරීම සවුත්තු වෙලා තිබුනේ...

ගත්තු දවස්වල ලීටරේට හැත්තෑවක් අසූවක් වැඩ කලාට පහු ගිය දවස්වල ඒක හතළිහටත් අඩු වෙලයි තිබුනේ...
ඒ මදිවට අදිනවාත් හොරයි...

අපරාදේ කියන්න බැහැ..දැන් බයික් එක හොඳට අදිනවා...පෙට්රල් වැහුවා උනත් වෙනදාට වඩා පිකප් එක වැඩියි.
දැන් ඉතිං මේ මාස දෙක පෙට්රල් ගහන වියදමෙන් මට ඔය වියදං වෙච්ච ගාණට වඩා ගාණක් ඉතිරි වෙන එක ෂුවර්.
චම්පික ගොයියත් අපිට කෙළවීමේ චේතනාවෙන් හරි කොල දේට මටනං පාඩුවක් නැහැ කියලා මට හිත හදා ගත්තෑකි.

ඒත් උන්දැට මණ්ඩලේ නඩත්තු කොරගන්න උදව් කොරන්න අද හම්බු උනේ නැති එකටනං හිතට දුකයි.
මොනවා කොරන්නද චම්පිකතුමෝ..ඉවසලා හිටියනං...හෙට අනිද්දටම ගෙවලා දාන්නං.

........................................

ඉතිං...කොහොම හරි දවල් ඇවිත් නාලා කරලා..
කූණිස්සෝ..සෝයා සෝස්..සුදුළුණු.. නූඩ්ල්ස් එහෙම දාලා ටිකක් විතර අර කප් එකේ නූඩ්ල්ස් වලට ළගින් යන්න කෑමත් හදාගෙන කාලා දවල් ටිකක් නිදා ගත්තා...ඇහැරුනේ පහට විතර...

දැන් ඉතිං පුරුදු විදියට හවස් වරුව ගත කරනවා..මගේ පාඩුවේ...

13 December 2010

ඔඛෙ අයිතිය...

නීල නුවන් යුග නටවා
බලනු එපා කළඹාලා..
හදත් හදේ හැගුම් පෙළත්
සිතත් සිතේ සිතුම් වැලත්..
ඔබ අරගෙන යාවි සොරෙන්
කිසිවක් මට ඉතිරි නොවෙයි..
එහෙම කළත් වරදක් නැහැ
පවසන්නේ කවදාවත්..
ඔබට අයිති මෙ දේවල්
ඔබ අරගෙන ගියා කියා...

12 December 2010

පොලෝසියේ මතකය..මාරයා විශාකාවේ...

උදේ වරුවම ගෙදර දොරේ පුංචි පුංචි වැඩ ටික කරලා දාලා ටිකක් නිදහසේ ඉන්න දවස අද..ඉරිදා..
මටනං ඉතිං ඉරිදා කියලා අමුත්තක් නැහැ අදත් වෙනදා වගේම තමයි..ඒත් ඉතිං ලංකාවෙ හුගාක් අයට ඉරිදා කියන්නේ නිවාඩු දවසක්.

මට ඉතිං මගේ රාජකාරියේ හැටියට දවසක් ඇර දවසක් කොහොමත් නිවාඩු හින්දා ඒක ඒ තරම් වෙනසක් නැහැ.
හැබැයි මම ඉරිදට ගෙදර ඉන්නවට වඩා වැඩට යන්න කැමතියි.
මොකද ඉතිං අද ගෙදරට වෙලා හිටියා කියලා වැඩි වෙනසක් නැති හින්දා.
ඉරිදට වැඩ වැටුනම කිසි කරදරයක් නැතිව ඒ දවස ඉන්න පුළුවන්...
ඉන්න කට්ටිය මාරුවෙන් මාරුවට ආයතනය වටේ යන්න යොදවලා..ඒ අයටත් රෙදි හෝදගන්න, බයිසිකල් හොදගන්න දීලා..මාත් බයික් එක එහෙම හෝදගෙන නාලා කරලා කකුල් දෙකත් උඩින් තියාගෙන ලැප් එකේ එල්ලිලා ජාලගත වෙලා ඉරිදා ලංකාදීපයයි, දිවයිනයි එහෙම බලලා..
අළුතින් අපේ බ්ලොග් ලියන සහෘදයින්ගේ ලිපි එහෙම කියවලා ,ටිකක් සනීපෙට ඉන්න කියන දවසනේ...

ඒ හින්දා ඉරිදට, පෝයට, අළුත් අවුරුදු නිවාඩුවට මම වැඩ කරන්න කැමතියි.
අපේ අනිත් අයනං එහෙම නැහැ.මොකද නිවාඩු දවස්වලටනේ ගෙදර හැමෝම එකතු වෙන්නේ..ඒ හින්දා කොයි වෙලාවෙත් බලන්නේ ඒ වගේ දවස්වලට ගෙදර ඉන්න..
ඉතිං ඒ අයට පුළුවන් තරං ඒ විදියට නිවාඩු හදා ගන්න ඉඩ කඩ දෙන්න මම හැම වෙලේම උත්සහ කරනවා.
ඒත් ඉතිං හැමෝටම ඒ අවස්ථාව උදා කරලා දෙන්න බැහැ..එහෙම උනොත් එහෙම ඩියුටියට මට පිටින් කට්ටිය ගේන්නයි වෙන්නේ.
ඉතිං පුළුවන් තාක් දුරට ස්ව කැමැත්තෙන්ම නිවාඩු එහෙ මෙහෙ කරගන්න දීලා හැකිතාක් දුරට අවශ්‍යතා උග්‍ර තත්වයේ අයට සාධාරණ විදියට ඒ දේ කරලා දෙනවා...

හැබැයි ඉතිං කවදාවත් හොඳක් අහන්නනං හම්බ වෙනවා බොරු.

ඔය තත්වෙ මෙතන විතරක් නෙවෙයි..මීට කළින් මම වැඩ කරපු හැම තැනම ඔහොමම තමයි.
පොලිසීයේ හිටිය කාලේ අපිට මුළින්ම හම්බ උනේ බම්බල පිටියේ පොලීසියේ සේවය කරන්න කියලා මම මීට කළිනුත් කියලා තියෙනවනේ...

අළුත් නඩය හැටියට අපි විස්සක් විතර එහෙට ආවා.ඒ ආව පිරිසෙන් අංකය අනුව ෙජ්ෂ්ඨයා උනේ මමනං නෙවෙයි. ඒත් පුහුණු පාසලේ ඉඳලම කට්ටියව බලා කියාගෙන ආව පළපුරුද්ද හින්දා කණ්ඩායමේ නිල නොවන නායකත්වය මට පැවරිලයි තිබ්බේ..

ඒ අනුව දෛනික රාජකාරි සඳහා අවශ්‍යතාවයේ ආකාරයට අපේ උදවියගෙන් පිරිස ලබා දීම මගේ අතින් තමයි කෙරුණේ.

සාමාන්‍යයෙන් පොලිසියේ ඩියුටි රෝස්ටරය සතියකට අඳාළ වන පරිදි තමයි සකස් කෙරුණේ...

ඉතින් ඊට අමතරව පිරිසක් පොරොත්තු සේවයේ යොදවනවා.
අපිත් ආපු අළුත අහු උනේ මේ පොරොත්තු සේවයට..ඒ කියන්නේ නිල වශයෙන් නියම උන රාජකාරියක් හරියටම නැහැ.
ඒ ඒ වෙලාවට අඩු පාඩු වලට අපෙන් තමයි ගත්තේ...

ඉතින් ඒ දවස්වල ඉඳලම මම ඒ රස්සාවෙන් අහක් වෙනකල්ම අපේ අයට දවසකට නියම වෙන රාජකාරි අවස්ථා ගණන සුදුසු විදියට ඛෙදලා දෙන්න මට නියම උනා.
ඩියුටි දාන්න ගියහම කොල්ලෝ නාහෙන් අඩනවා..ඒකට මොකද නිවාඩු යවන්න ලෑස්ති උනහම ඉස්සරහටම පනින්න පොරකනවා.

මක් කරලවත් විසඳන්න බැරි ප්‍රශ්න ගොඩයි.
ඒත් ඉතිං මං කොහොම කොහොම හරි ගැට ගහගෙන ගියා..
කුරුළු හමුදාවේ ඉන්නකොටත් එහෙමම තමයි.

ආ ඊට කළින් කියන්න එපැයි..පොලිසියේ ඉන්නකොට එක පාරක් හුග දෙනෙකුට නිවාඩු ඕන වෙලා..අන්තිමට මං මට අයිති නිවාඩුත් වෙන එකෙකුට දීලා කරබාගෙන ඩියුටි අදිනවා.
හැබැයි ඔය කණ්ඩායමේ මූලිකයා වෙන එකෙත් වාසි තියෙනවා..ඒ තමයි ටිකක් විතර අවුලක් නැති තැන් තෝරගෙන ඩියුටියක් දාගෙන යන්න පුළුවන් වීම.

ඉතිං ඔය කිව්ව කාලෙත් මට එපා වෙලා හිටියේ මොන තරම් සාධාරණ විදියට නිවාඩු ටික ඛෙදලා දුන්නත් අපේ එවුන්ගේ බර බරේ...

අන්තිමට මට යකා නැගලා කට්ටියට ඕන කුදයක් ගහගන්න කියලා මාත් යනවා ඩියුටියක් කියලා ගියා රිසව් එක පැත්තේ...
මෙන්න ඉන්නවා හේරත් අයියා..මිනිහා තමයි ඒ දවස්වල බම්බලපිටිය පොලීසියේ ඩියුටි රෝස්ටරය හැදුවේ..

වැඩි කාලයක් මට ආස්සරය කරන්න හම්බ උනේ නැතත් මට මේ ජීවිතේදී හම්බ වෙච්ච හරි අපූරු මනුස්සයෙක්..
හොඳ රසවතා...

මී විතට වගේම..ගී පොතටත් පුදුම ඇල්මක් ආදරයක් දක්වන නියම කොල්ලෙක්.
මට තාමත් මතකයි මෑන්ස් තේ කොළ පෙට්ටියක් මුනින් නවලා ඒක මැද්දෙන් හිලක් විදලා..ඒ හිලෙන් තංගුස් නූලක් දාලා..ඒක කපා ගත්තු කොසු මිටකට සම්පන්ධ කරලා හදාගෙන තිබුනු අපූරු බේස් ගිටාර් එක..
ඒ වගේම ඒ තේකොළ පෙට්ටියටම පැත්තකින් අටවගෙන තිබුනු ටෙනිස් බෝලයක් යොදාපු ෆුට් එක..අර ඩ්‍රම් සෙට්වල තියෙන විදියට...

ඉතින් හැම හවස්වරුවකම වාගේ බැරැක්කයට වෙලා කොහෙන් හරි උස්සගෙන ආපු බොතල් දෙක තුනකට්ටියම ඛෙදා හදාගෙන බීලා අර තේකොළ පෙට්ටියෙන් නිර්මාණය කර ගත්තු ඩ්‍රම් එක සහ බේස් ගිටාරයත් තවත් අතට අහු වෙන ඕනම දෙයක් සංගීත භාණ්ඩ බවට පත් කරගෙන කපුගේ මහත්තයාගේ ගීත කියන හැටි අදටත් හීනියට දෙකක් දාගත්ත වෙලාවට මට සිහි වෙනවාමයි..මේ දැන් වගේ.

ඉතිං ඔන්න අර මට අම්බානකට එපා වෙලා රිසව් එක පැත්තට ගිය වෙලාවේ..හම්බ උනා කියමුකෝ හේරත් අයියා...

"මොකද මල්ලී නිකං අප්සට් මූඩ් වගේ..."

"නෑ හේරත් අයියා මට මේ අපේ උන්ව නිවාඩු අරින්න ගිහින් එපා වෙලා තියෙන්නේ.."


"ඕවා ඔහොම තමයි මල්ලී..මේ මට පේන්නේ නැද්ද..මොන මගුල කළත් හැමදාම හැම එකාගෙන්ම බැනුම් තමා..
මොකද මේ තියෙන ඩියුටි වලට මම මුන්ව දාන්නේ නැත්තං කොල්ලූපිටියේ පොලිසියෙන් ගෙනත් දාන්නද..?"


"ඒක නේන්නං.. ඩියුටිවලට නං දෙන්න ගියාම එකෙක් නැහැ අයියේ..ඒකටත් එක්ක නිවාඩු කිව්වහම..ඇඳන් වලට උඩින් එන්නේ..."

"ගනන් ගන්න එපා බං ඕවා ඔහොම තමා.."

"හ්ම්ම්.. කියලා වැඩක් නැහැ... මුන්ට නිවාඩු හැදුවට මගේ නිවාඩු ටර්න් එකත් දැන් සති දෙකකින් පහු වෙලා..ඒත් කොහේද..මුන්ගේ ආච්චිලා මැරෙනවානේ එලෝ කෝටියට..එහෙම උනහම උන්ව ගෙදර අරිනවා මිසක් මට නිවාඩු යන් හිතෙන්නෙත් නැහැ..ඒත් ඉතිං ආච්චිලා මැරෙන එකේ ඉවරෙකුත් නැහැ."
හරි බං දන් මොකද කෙරෙන්න ඕන..?

"අනේ බං අයියේ මාවත් ඔය කොහාට හරි ඩියුටියකට තල්ලූ කරලා දාපන්..මුන්ගෙන් ටිකක් ඈතට වෙලා ඉන්න..."

"හරි මල්ලී ආතල් ඩියුටියක් තියෙනවා..උඹ හවසට වෙපන් එකක් දාගනින්කෝ..මම සෙට් කරන්නම්."

"අම්මේ ලොකු දෙයක් අයියේ..මම හවසට රෙඩි වෙලා එන්නම්." කියලා මාත් ආවා බැරැක්කෙට.
හවස පහට විතර යුනිෆෝම් දාගෙන මං ආමරියට ගිහින් ඩියුටි ලිස්ට් එක බලලා දා ගත්තා වෙපන් එකත්..

ආ ආමරිය කිව්වම මතක් උනේ...

ඒ දවස්වල ඉතින් අපිට ඩියුටියට වැඩි පුරම දුන්නේ ටී එයිටිවන් (T-81) වෙපන් එක...
මළකඩ ලෝකයයි..ඇයි මූද අයිනේ ලූණු හුළගට අහුවෙලා..මලකඩ කනවා බලාගෙන ඉද්දී...
යුනිෆෝම් එක ඉවරයි මලකඩ වලට...
කොටින්ම වෙපන් එක අපිට දෙද්දී ආමරියේ ඉන්න සාජන් ගොයියා විහිළුවට වගේ කියනවා..

"කොල්ලනේ ඕක ගත්තට කමක් නැහැ වෙඩි තියන්නේ බලාගෙනයි" කියලා...

"උඹලට වෙඩි තියන්න ඕනනම් කොකා ගස්සලා තුවක්කුවේ බටේ මූණ පැත්තට හරවලා බාලාපියව් පතොරම එළියට එනවද කියලා එහෙම එනවා වගේ පේනවනම් අල්ලපල්ලා ඉලක්කේ පැත්තට"...
කියලා..

ඒ තරමට බැරල් එක ඇතුලෙත් මලකඩ..වෙඩි තිබ්බට උණ්ඩෙට අර මළකඩ කඩාගෙන එළියට එන්නත් සෑහෙන වෙලාවක් යනවා.
හැබැයි මම ඕකට මගේම ප්‍රතිකර්මයක් හොයා ගත්තා..ඒ තමයි පීවීසී ගම්.

මොකද අපිට තුවක්කුවල තීන්ත ගාන්න බැහැනේ..
එකම දේ තමයි ඔයිල් කරන එක..ඒත් තෙල් ගෑවුනහම මලකඩ මදිවට අර තෙලූත් ඇදුම්වල..එපා වෙනවා...

මම කලේ ටිකක් ලොකු පීවීසී ගම් බෝතලයක් අරන් තියාගත්ත එක...

නිතරම යුනිෆෝම් එකේ ඇගේ ගෑවෙන පැත්තේ වෙපන් එක ගත්ත ගමන් ගානවා ගම් තට්ටුවක්..ටික වෙලාවක් සුදු මැලි වෙලා..ඊට පස්සේ නියමෙට ඒක වේලෙනවා..බැළු බැල්මට කාටවත් එක පාර කියන්න බැහැ මොනවත් ගාලා කියලා.
අන්න ඒ ක්‍රමයට තමයි මම යන්තං යුනිෆෝම් එක බේරගත්තේ...

ඉතිං වෙපන් එකත් අරන් ගිහින් බැළුවා ඩියුටිය කොහේටද කියලා..

අම්මටහුඩු...

විශාඛා විද්‍යාලය..ප්‍රශ්න පත්තර මුර කිරීමේ රාජකාරි.

මායි තව පරණ බුවාලා දෙන්නෙකුයි සතියකටම විශාකාවේ ඩියුටියට දාලා...හේරත් අයියා කියන්නේ මිහිපිට දෙයියෙක් කියලා මට හිතුනා.

ඉතිං මොනවා කියනවද..?ගියා ඩියුටියට...

එතකොට පාසල් නිවාඩු කාලේ..උසස්පෙළ විභාගය අවසන් වෙලා..ඒ ප්‍රශ්න පත්තර බැළිමේ රාජකාරිය තමයි විශාකාවේ කෙරුණේ...

හැබැයි ඉතිං වැඩේ කියන්නේ...අපි හිටිය කාලය පුරාවටම මමනං ප්‍රශ්නපත්තර තිබුණේ කොහේද කියලා දැක්කෙත් නැහැ..දන්නෙත් නැහැ...
අපි මුර කොලේ අහවල් එකක්ද කියලා අපිම දන්නේ නැහැ...

සතියකට ඩියුටියට ගියා උනාට මොකද හේරත් අයියා ඊ ළග සතියෙත් අපිව එතනම ඩියුටි කන්ටිනිව් කරලා දාලා තිබ්බා...

ඉතිං අපිට විශාකාවේ කාර්යාල කාමරයක් නැවතුම් පල විදියට හම්බ උනා...

ඇඳන් දෙකයි විශාලා මේසයයි..

ඇඳන් දෙ පරණ බුවාලට දීලා මම මේසය පාවිච්චි කලා නිදා ගන්න.
තුවක්කු තුනම කබඩ් එකකට දාලා ඉබ්ඛෙක් දාලා යතුර සාක්කුවේ දාගත්තා එක උන්නැහේ කෙනෙක්.

මම දවස් තුනක් ගෙදර ගිහින් ආවා.කිසි අවුලක් නැතිව...මොකා කියලා හොයලා බලනවද..?
එන දවසේ අම්මා බත් මුල් තුනක් උයලා දුන්නා අපි තුන් දෙනාටම..කෙහෙල් කොළවල ඔතලා..
මස් උයලා ගොටුකොළ සම්බෝල හදළා..නඹර කජු වලට පරිප්පු මිටකුයි කීරමින් කරවලයි දාලා හින්දවලා...

ඒ බත් එකේ රස අදටත් මට දැනෙනවා. අර මගේ රාජකාරි සගයින් දෙන්නත් බොහෝම සතුටෙන් ඒක බුක්ති වින්දා විතරක් නෙවෙයි..ආයෙත් ඩියුටිය දික් උනා කියලා දැන ගත්තු ගමන් මට ආයෙමත් ගෙදර පලයන් කිව්වා.
මගෙත් මොකද ආයෙමත් මම දවස් දෙකක් ගෙදර.
ආයෙත් බත්...

ඒ සති දෙක පුදුම සැහැල්ලූවෙන් ගෙවිලා ගියා...ගෙදර යනවයි, කනව බොනවයි, නිදා ගන්නවයි ඇර කරපු මෙලෝ දෙයක් නැහැ.
දැකපු ප්‍රශ්න පත්තරේකුත් නැහැ.

මම ආවාට පස්සේ තව එක්කෙනෙක් ගෙදර ගියා මායි වික්‍රම අයියයි විතරයි..මෑන්ස් හැමදාම හවසට එළියට ගිහිල්ලා කොත්තු දෙකකුයි ගල් බෝතලේකුයි අරගෙන එනවා..කොහෙන් හරි...

දෙන්නත් එක්ක යාන් හෑලි කිය කිය බෝතලේ හිස් කරලා කොත්තු කාලා දොයි.

අන්තිමට සති දෙක අවසානයේ ආපහු පොලෝසියට එනකොට මෙන්න ඉන්නවා අපේ එව්වෝ ටික හුළං ගිය බටර් බනිස් වගේ...

බැළින්නම් මුන් ටික මම නැති අතරේ නිවාඩු ගන්න පොරකාලා..දවසක් රිසව් එක ළග හෙන සද්දෙට වැඩේ යද්දී ඕඅයිසී මහත්තයා ඇවිත්..මල පැනපු පාර මාසයක් යනකල් එකෙකුටවත් නිවාඩු නැහැ කියලා ගිහිල්ලා...මදැයි කොළා..
ආච්චිලා මැරෙන එකත් නැවතිලා...

හැබැයි ඊට පස්සේ මට නිවාඩු හදන්න කරදරයක් උනේ නැහැ...
කට්ටියම සද්ද නැතිව තමන්ගේ වාරේ එනකල් බලං ඉන්න පුරුදු උනා.

ඔඛෙ නෙත් ළග...

නීල ගගණත උදුල තරු කැට
විලස දිදුලන ඔඛෙ නෙත් යුග..
මද හසින් වත කමල සරසා
දයාවෙන් මා සදා සැනසූ..
ප්‍රියම්බරියේ ඔඛෙ නෙත් ළග
මගේ හදවත ලැගුම් ලද සඳ..
තවත් කුමටද ලොවෙ විසිතුරු
පලක් නෑ මට එයින් කිසිවක්...

11 December 2010

පෙම් වැස්සට හසුවී...

ඔඛෙ නුරා නෙත් කැල්මෙන් නැහැවී..
මගේ හදේ මල් පොකුරු පිපේවී..
සිනා සලන සඳ තරු මල් හිනැහී..
පෙමෙ අමා රස සුවඳ ගලාවී..

නුවන් වැසී අඩවන් වී මත් වී..
නුඹෙ සුසුම් මා පුබුදු කරාවී..
ගලා හැලෙන පෙම් වැස්සට හසුවී..
අපේ ලොවට හෙට හිරු පායාවී...

08 December 2010

හුවමාරුව...

සුමනදාස වට පිට බැළුවේය.අසිහියෙන් මෙන් සිටි ඔහු පියවි සිහියට එන්නට උත්සහ කලේය.

"ඇත්තටම මම කොහෙද ඉන්නේ, අතරමංවෙලාද..?"

මොහොතක් මේ පැනය තුළ සිටි ඔහු සැනසුම් සුසුමක් හෙළුවේ 'හුණු පිටිය' යයි සඳහන් නාම පූවරුව දැකීමෙන් පසුවය.නමුත් ඊ ළග ඇසිල්ලේ නැවතත් ඔහුගේ සිතේ ව්‍යාකූල ගතිය මතුවිණි.

"දැන් ඉන්නේ හුණු පිටියේ නම් ගණේමුල්ලේ ඉඳන් වැඩි දුරක් ඇවිත් නැහැ"
යන මතකය සිහියට නැගුණු බැවින් ඔහු නැවතත් මේ අවුලට පත්වූවේය.

"මම මේ කොහේද යන්නේ..?පලා යනවා..කුමකින් පලා යනවාද..?ජීවිතයෙන්ද..නැත."

අද දිනට නියමිත
'රමේෂ්ගේ මංගල සාදයෙන්' පලා යනවා..යැයි සිතමින් ලය සැහැල්ලූ කරගත් හෙතෙම සැනසුම් සුසුමක් හෙළිය.

"දැන් තමයි කල්පනාවට ආවේ..මම මේ කොහේ යනවාද..?"හරිනම් මම තව පැයකින් පමණ සිටිය යුත්තේ 'කිරිබත්ගොඩ' පිහිටි උත්සව ශාලාවේ තිඛෙන 'මංගල සාදයට' සහභාගී වෙමින් නොවේද..?

ඒත්...

ගැටළු රාශියකි.
අළුත් ඇගළුම්, කමිස,කලිසම්,බඳපටි,ඔරලෝසු,සපත්තු, මේවා තමාගේ හිස වටා කළු දෙබරුන් මෙන් කැරකැවෙමින් තමාට අනින්නට තැත් කරනවා නොවේද..?
සුමනදාසගේ අත ඔහු නොදැනුවත්වම කලිසමේ පිටුපස සාක්කුව තුළ වූ මුදල් පසුම්බිය කරා ඇදිණි.නමුත් සැණෙකින් ඒ අත නැවතත් ඉවතට ගියේ නැවත නොබැළුවත් එහි තුළ ඇති මුදල රුපියල් තුන්දහස් දෙසීයකුත් තවත් සිල්ලර කාසි කිහිපයකුත් වන බව සිහියට නැගීමෙනි.
රමේෂ්ගේ විවාහයට සහභාගී වීමට පමණක් නම් මේ මුදල සෑහෙන බව ඔහුට සිතිණි.
සපත්තු දෙකත් බඳ පටියත් නම්.. පැරණි ඒවා පාවිච්චි කල හැකි මට්ටමේ ඇත..
තරමක් මහන්සි වී ඒවා ඔප දමා ගත්කල එහි අඩුවක් එතරම් නොදැනෙනු ඇත..අළුතින් කමිසයක් කලිසමක් මිලදී ගැනීමට නම් තවත් රුපියල් දෙදහසකට ආසන්න මුදලක් වැය වේ..ඒ විතරක්ද..?
කවරයකට දමා රුපියල් දහසක්වත් රමේෂ් අත තැබිය යුතු නොවේද..?
එතකොට ඔරලෝසුවක්..?
තමා පාවිච්චි කරනු ලබන පැරණි ඔරලෝසුව මෙම අවස්ථාවට උචිත නොවන බව ඔහු දනී..එය පැළඳ එහි යනවාට වඩා නිකම් යෑම යෙහෙකි.
ඇත්තමයි,ඔරලෝසුවක් නැතිව මංගල සාදයට සහභාගී විය නොහැකිද..?
දින කිහිපයකට ඉහතදී කාර්යාලයේ සේවය කරනු ලබන 'ප්‍රියන්ත' කී කථාවක් එක් වරම සුමනදාසට සිහියට නැගිණි.

"දැන් සුමනේ, අළුත්ම විලාසිතාව තමයි පිළිවෙලක් නැතිකම.."


"ඒ කිව්වේ..?"පැනය සුමනදාසගෙනි.

"ඒ කිව්වේ සුමනේ දැන් කාලේ කමිස යට නොකර ඕනම තැනක යාම..ඕනෙ නම් ඒ කමිසෙට උඩින් ඛෙල්ට් එක බැඳගෙන යාම..කොණ්ඩෙ අවුල් වෙලා වගේ හදාගෙන යෑම..ඔරලෝසු නොබැඳීම..බැන්දත් තමුංට නොගැලපෙන ඒවා..ඒ කිව්වේ මේ බිත්ති ඔරලෝසු වගේ එව්වා බැඳගෙන යාම"....මේ ආදී වශයෙන් විශාල ලැයිස්තුවක් 'ප්‍රියන්ත'ගේ මුවින් ගලා ආ අයුරු සුමනදාසට සිහිවිණි.දැන් තමාට අවශ්‍ය තැනට එළඹී ඇත..ඔරලෝසුවක් අවශ්‍ය නොවේ...
එසේ නම් තමාට මංගල සාදයට යෑමට හැකි නොවේද..?
ඒත්...
මෙතෙක් වෙලා කළ දෙබරුන් රැසක් කැරකැවෙමින් තිබූ හිස වටා මෙවර කැරකැවෙන්නේ උක්දඩු දුන්න අතින් ගත් මල් හී සර විඳින්නට තැත් කරන 'අනංගයා' නොවේද..?

"මහත්තයා..මහත්තයා..."

සුමනදාස තිගැස්සිණි.ඒ හඩ ආවේ කොතැනින්ද..?අනංගයාගේ මුවින්ද..?නැත
තමා මෙතෙක් වෙලා වාඩි වී සිටියේ හුණු පිටිය ස්ටේෂමේ ලෑලි බංකුවක් මත නොවේද..?එතකොට මේ තමා ඉදිරියේ අසරණ මුහුණකින් යුතුව බලා සිටින්නේ කවුරුන්ද..?

"අනේ මහත්තයා මම ලොකු කරදරයක වැටිලා ඉන්නේ, මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද..?"

සුමනදාස තරමක තිගැස්මකින් යුතුව ඔහු දෙස බලා හිඳින්නට විය. නාඳුනන තරුණයා එක දිගට කියවාගෙන යන්නට විය.උනන්දුවෙන් නෑසුවත් ඔහු කියූ දේ සුමනදාසට වැටහිණි.
දුම්රියේ යන එන විට එවැනි කතා ඕනෑ තරම් අසන්නට ලැඛෙනවා නොවෙද..?
අම්මාට ඛෙහෙත් ගෙනෙන්ට ආ පුතාගේ මුදල් පසුම්බිය කවරෙකු හෝ විසින් සොරකම් කර ඇත.දැන් ඔහු මවට ඛෙහෙත් ගැනීමටත්..තමාට ආපසු යාමට මුදල් සොයා ගැනීමටත් ආධාර උපකාර පතයි.

'ගැටළුවක්..?'

තරුණයා කියනා අන්දමට කතාව සත්‍යය විය හැක,නමුත් ඔහු අත රැඳි

'ඛෙහෙත් තුණ්ඩුව..?'


සුමනදාසට කුකුසක් ඇති කරවයි.මුදල් පසුම්බිය නැති වූ පසු ඔහුගේ අතේ ඛෙහෙත් තුණ්ඩුව ඉතිරි වූයේ කෙසේද..?තරුණයාට වාසි සහගත ලෙස උත්තර තමාට සිතා ගත හැකි වූවත් මේ එවැනි අවස්ථාවක් නොවේ..
'මේත් බොරුකාරයෙක්..'

සුමනදාස ඔහුගේ සිත හදා ගැනීමට තමාටම කියා ගත්තේය.බොරුකාරයෙකුට මුදලක් දීමෙන් තමා රැවටෙන්නේ කුමකටදැයි සිතා ඔහු සිත හදා ගැනීමට උත්සහ කලේය.තරුණයා පවසන දුක්බර කතාව තමා අසල බංකුවේ වාඩි වී සිටි මහළු කතට තනිවම අසන්නට ඉඩ ප්‍රස්ථාව සලසා ඔහු එතැනින් නැගිට දුම්රියපල ඈත කෙළවරේ වූ අසුනකට ගියේ
යන්තම් ඇති
යැයි තමාටම කියා ගනිමිනි.අසුනේ හරි බරි ගැහී වාඩි වූ ඔහුගේ සිතට වේදනාවක් නොදැනුනාම නොවේ.කවදාවත් කෙනෙකුගේ දුකට පිහිට නොවී නොසිටි ඔහුට අද කෙනෙකුගේ දුක්ගැනවිල්ලවත් අසා නොසිට පලා ගියා නොවේදැයි කල්පනා වෙද්දී සිතට නැගි කණස්සල්ල පහ කර ගැනීමට මෙන් අවට බැළු විට නැවත තමා කල්පනා කරමින් සිටි කාරණය සිහිපත් විය..
නැවතත් මල්සරා හිසවටා බමන්නට විය..
"රූපා..."
ඔව් ඇත්තටම නමටම ඔබින රූපය..සුමනදාසට තම සිත් ගත් යුවතිය මෙනෙහි වීමත් සමගම සිතේ මෙතෙක් පැවති අසහනකාරී හැගීම් පෙළ වෙනුවට ඉතා සැනසිලි දායක හැගීම් පෙළක් පහළ වන්නට විය.
ඇගේ සොඳුරු රුව..දැකුම්කළු ගමන් ලතාව..තමාව සිහින ලොවකට කැඳවාගෙන යන ඇගේ මිහිරි හඩ..ඇගේ සෑම ඉරියව්වක්ම..අහා..සොඳුරු සිහිනයක් තුළ ජීවමානව පාව යන්නාක් මෙන් දැනෙන සුවය..සුමනදාස ඉතා ඕනෑකමින්ම වින්දේ ඔහු දෙස බලා සිටින අයකුට වූවද පැහැදිලිව පෙනෙන ආකාරයේ මෙතෙක් වෙලා ඔහු තුල තිබූ කාලකණ්නි පෙනුම දුරු කරමින් මුව පුරා නැගුණු ආකර්ෂණීය සිනහාවක්ද වත පුරා පැතිර යද්දීය..

අපි මුණ ගැසී හරියටම වසරක්..

සුමනදාසට එසේ සිහිපත් වූවද එම වසරක කාලය හරියට දැනෙන්නේ දින කිහිපයක් මෙනි.ඒ උනත් හමු වූ පළමු දිනේම කතාබස්කර හඳුනාගත්,එසේම ඉතා ඉක්මනින්ම ඒ හඳුනා ගැනීම ආදරයක් බවට පෙරළාගත් අපේ කතාවේ වර්ෂ පූර්ණය වෙනුවෙන් මා විසින් ඇයට සිහිවටනයක් ලෙස කිසිවක් තිළිණ කළ යුතු නොවේදැ..යි සුමනදාසට සිතුනේ වරක් දෙවරක් නොවේ..
විටින් විට ඇය තමාටත්..තමා ඇයටත්..යම් යම් දේ තිළිණ කලද..මේ යෙදෙණ විශේෂ දිනයේ සුවිශේෂ යමක් ඇයට දීමට සුමනදාසට තදින්ම උවමනා කර තිබේ.
ඒත් මේ සෑම දෙයකටම හරහාට හිටියේ අද පවතින මංගල සාදය නොවේද..?
මේ ගත වෙන්නේ සුමනදාස අත යහමින් මුදල් ගැවසෙන කාලයක් නොවේ..අතමාරුවක් ගැනීමටවත් තමා දන්නා හඳුනන හිතවත් අයකු නැත. හිටියත් අනුන්ට ණය වීමට එතරම් කැමති නැති තමා කෙසේ නම් ණයක් ඉල්ලන්නද..?

නව සේවා ස්ථානයට පැමිණ තවම මාස දෙකක්වත් නැත..තමා නැවතී සිටින බෝඩිමට පැමිණද ගත වී ඇත්තේ ඒහා සමාන කාලයක් නොවේද..?
'රමේෂ්'..ඔහුත් තමා මෙන්ම බෝඩිමේ සාමාජිකයෙකි.හඳුනාගෙන මාසයක්වත් නැති තරම් වූවත් ඔහු විසින් තමාටත් 'මංගල ආරාධනා' පතක් ලබා දී ඇත.
බෝඩිමේ සියල්ලන්ම එයට සහභාගී වූවද..තමාට එහි යාමට අපහසු කරුණු කාරණා ගනනාවකි.
පදිංචිය වෙනස් කිරීමත් සමගම වැය වූ අධික මුදල..බෝඩිමේ අත්තිකාරම් මුදල්..තමාගේ බඩු මුට්ටු ප්‍රවාහනය සඳහා වූ වියදම්...ආදිය මෙන්ම..
නව සේවා ස්ථානයට පැමිණි පසු තවමත් තමාගේ මාසික වැටුප නිසි ලෙස සකස් නොවීම ආදී හේතූන් මත සුමනදාස දැනට ආර්ථීක වශයෙන් ගැටළු රාශියකට මුහුණ පා සිටියි. ඒ අතරේ මංගල සාදයක් ඔහු කෙසේවත් බලාපොරොත්තු නොවීය..රූපාට යමක් තිළිණ කිරීම නම් අනිවාර්යයෙන් මග හැරිය යුත්තක් නොවේ..කුමක් කල යුතුද..?
"හ්ම්ම්ම්"...ඔහුටම නොදැනී දිගු හුස්මක් හෙළුණි.

මනාලයා ඇතුළු පිරිස මංගල ගමනට පිටත් වන්නේ බෝඩිමේම සිට බැවින් මේ මොහොතේ බෝඩිමේ රැඳී සිටියහොත් ඒ සඳහා නොයා සිටිනු නොහැකි නිසාම හදිසි ගමනක් යැයි කියා බෝඩිමෙන් පිටත්ව දුම්රියේ නැගී ආවත්..යා යුත්තේ කොහේදැයි කියා හරි නිගමනයක් ඔහු තුළ නොවීය..
කෙසේ හෝ පැය තුන හතරක් ගතකර ආපසු යෑම ඔහුගේ අභිප්‍රාය වීය..
කාලය..සුමනදාස පියවි සිහියට එළඹිණ..දුම්රිය ස්ථානයේ ඔරලෝසුවේ වෙලාව පෙරවරු එකොළහට ආසන්නව තිබිණි.

"යන්තම් ඇති පැය තුනක් විතර ගෙවුණා.."

දැන් ආපසු ගියාට කම් නැත. විවාහයෙන් පසු මනාලියගේ නිවසේ නැවතීමට යන නිසා නැවත 'රමේෂ්ව' ඉක්මනින් මුණ ගැසෙන එකක් නැත.බෝඩිමේ සාමාජිකයන්ට කමක් හෝ කිව හැක. ඇත්තම කිව්වත් කමක් නැහැ.රමේෂ්ටත් පසුව ත්‍යාගයක් පිරිනැමීමෙන් සියල්ලම විසඳාගත හැකි නොවේද..? වෙලාවේ හැටියට වෙන මොනවා කරන්නද..?
ආපසු යාම සඳහා ටිකට් පතක් ලබා ගැනීමට ප්‍රවේශපත් කව්ළුව වෙත පිය නගමින් සුමනදාස සිතීය.

"ගණේමුල්ලට එකක්.."

කියමින් මුදල් දීමට සාක්කුවට අත යැවූ සුමනදාසගේ හිස ගිනිගත්තේ මෙවෙලේය...

මුදල් පසුම්බිය..?
"ඇයි දෙයියනේ සාක්කුවේ තිබුණු පර්ස් එකට මොකද උනේ..?"

එය එහි නැත.කලබලයෙන් ආපසු හැරී දිවූ සුමනදාස මෙතෙක් වේලා තමන් වාඩි වී සිටි ස්ථානයට පැමිණියේය.එය එහිත් නැත???
එසේනම් කුමක් සිදුවීද..? දැන්නම් සුමනදාසට දෙලෝ රත් වී ඇත..
රූපාට අරන් දිය යුතු තිළිණය..ආපසු යාමට ටිකට්පත.. තමාගේ ඉදිරි දින කිහිපයේ වියදම්..එහි වූ හැදුනුම්පත හා අනෙකුත් දෑ..ඔහුට එකින් එක සිහියට නැගුණි.තමාටත් වූයේ අර තරුණයාට වූ දේම නොවේද..?
'තරුණයා..'
එක්විටම සුමනදාසට සිහිපත් විය. තමා කළින් වාඩි වී සිටි ස්ථානයට වේගයෙන් දිවයන සුමනදාසගේ සිත තදින් සැලෙන්නට වූ අතර..පසුගිය පැය කිහිපය තුල සිදු වූ සියල්ල චිත්‍රපටයක රූප රාමු සේ එකින් එක සුමනදාසට මැවී මැවී පෙනෙන්නට විය.
මුදල් පසුම්බිය එහි තිබේවිද..? නොතිබුණොත්..රූපා..ත්‍යාගය..ටිකට්පත..මංගල සාදය..
ආසනය මත යමක් ඇති වග සුමනදාසට දුරදීම පෙණිනි. නමුත් එය තමාගේ මුදල් පසුම්බිය නොවන වග අසලට ගිය විට ඔහුට වැටහිණි.
'තුණ්ඩුවක්..'
සුමනදාස සැලෙන දෑත් තුඩුවලින් එය දිග හැර බැළුවේ වෙන කල හැකි අන් යමක් නොමැති නිසාවෙනි.
ඛෙහෙත් තුණ්ඩුවක්..ඔව්..අර තරුණයා අත තිබූ ඛෙහෙත් තුණ්ඩුව..

මුදල් පසුම්බිය එහි නැත. ඒ වෙනුවට ආසනය මත ඇත්තේ ඛෙහෙත් තුණ්ඩුව පමණකි.
ඛෙහෙත් තුණ්ඩුවේ හිමිකරු වූ තරුණයා අත මේ වන විට තමාගේ පසුම්බිය රැඳී තිඛෙනු ඇත.මුදල් පසුම්බියේ හිමිකරු වූ තමා අත දැන් ඛෙහෙත් තුණ්ඩුවක් රැඳී ඇත....දැන් ඉතින්.......??????

......................
අදින් වසර දෙකකට පමණ ඉහතදී මා අතින් ලියැවී තිබූ කතාවකි...

ඔන්න මං නැගිට්ටා...

උදේ පටන් ගත්ත බීම ඉවර උනේ දවල් දෙකට විතර ඇඳට කඩං පාත් වෙලා...
ඇහැරෙන කොට හය හමාරයි...
ඊයේ රෑ හරියට නින්දක් නැති එකයි...ඇගට දැනුන කෙඩෙත්තු ගතියයි..එක්ක මත් ගතියත් එකතු උනහම මලා වගේ නින්ද යන එක තමයි අවසන් ප්‍රතිඵලය...

කොහොම උනත් එක පැත්තකින් සහනයක් දැනෙනවා.
හිතේ තිබුනු බර ගතිය ටිකක් විතර අඩුයි..
ඒත් ඇගටනං ......
හරියට නිකං පොලිසියෙන් ගහලා වගේ...
දැන් දවස් දෙකක විතර ඉඳලා උගුර රිදි රිදි තිබුනේ..සෙම් ගෙඩිද මන්දා..
ඒකත් එක්කම ඇගට පණ නැති ගතියකුත් දැනෙනවා..උණ ගැනෙන්නද මන්දා..ඒත් ඉතිං දැන් ඛෙහෙත් ගන්න යන්න බැහැ..තාමත් වෙරි...

ඔක්කෝටම වැඩිය බඩ ගිනියි...ඒත් මොනවත් හදන්නත් කම්මැලියි..එළියේ ලාවට වහිනවා...මුකුත් ගේන්න යන්නත් අමාරුයි වගේ...
අනේ මන්දා...
උදේ ඉඳන් ගෙදර තිබුණු මික්ස් මුරුක්කු ටික බයිට් එකට අරන් බිබී හිටියා..අන්තිමට ක්‍රිම් ක්‍රැකර් වගේකුත් කකා බිව්වා වගේ මතකයි...
ඔව් ඔව්..දැන් ගිහින් බැළුවා බෝතලේට දාලා තිබුණු බිස්කට් වලින් හත අටක් අඩුයි..කාලා තමයි...
තව හතරක් පහක් තියෙනවා...

එක අතකට කන්න නැතත් මෙහෙම කරටි කැඩෙන්න ගහලා ඇඳට වැටිලා දවස ගෙවන්න තියෙන එකත් හොඳයි...
කොහොම උනත් හෙට වෙන කොට හිටිය තත්වෙට එන්න ලැබුනොත් හරි...

අනේ මන්දා මේ ජීවිතේ කවදා කොහෙන් කෙළවර වෙයිද කියලා...
.................................

ඕන එකක් කියලා නාලා ඉන්න ඔන...
එක්කෝ උණ ගැනෙයි..නැත්තං හොඳ වෙයි...උගුර රිදෙන එක තමයි ඉවසන්න අමාරු...

හ්ම්ම්ම්..හතත් වෙන්න ආවා..මෙතනින් නැගිටලා ඇවිදින එකත් මරනවා වගේ වැඩක්...
නාන්න කළින් තියෙන මොනවා හරි රත් කරලා..ඊට පස්සේ නාගන්න ඕන...
බෝතලේ අඩියේ තියෙන ටිකත් උගුරු දෙකට ගහලා..කාලා ආයෙත් මේ පැත්තේ එන්න පුළුවන් තත්වයක් තිබුණොත් බලමුකෝ...
ඔන්න මං නැගිට්ටා...
ආ මේක පෝස්ට් කරලා ඉන්න එපැයි...

දිගු කළකින් හමු වී සෝ ළතැවුල් අදත් විදින්නේ මා පමණයි...

මට තේරෙන්නෙ නැහැ අද මම ඉන්නෙ දුකින්ද සතුටින්ද කියලා..
ඒ කොහොම උනත් හිතනම් හුගාක් බරයි..

ඊයේ එයාගේ උපන් දිනේ...

පුදුම අපහසුවකින් දවස ගෙවිලා ගියේ..
ටිකක් හරි හිතට සහනයක් උනේ ඊයේ වැඩ දවසක් වීමයි..
රාජකාරියට හිත පැටළුනහම ටිකක් හරි මතකය අමතක වෙලා යනවා..
ඒ හින්දා යම් සහනයක් ලැබුනා උනත්...

අද...

උදෙන්ම මට මළ ගෙදරක යන්න උනා.
අපේ වැඩ පලේ සේවය කරපු දුප්පත් ගෑනු කෙනෙකුගේ මව මිය ගිහින්...
උදේ ගෙදර ආව ගමන්ම තේ එකක් හදාගෙන බීලා එහෙ ගියා..
ගිහින් පැය බාගයක් විතර රැඳී ඉඳලා ආපහු එන්නත් හිතලා ආයෙමත් හැරෙව්වා බයික් එක එයාගේ කර්ට්න් ෂොප් එක තියෙන ඉසව්වට..
මළ ගෙදර ඉඳලා ටික දුරයි...
යන කොට ෂොප් එක වහලා..
උදේ වැඩියි නේ අරින්න පරක්කු ඇති...
ඒත් තව ටිකක් ඉඳිරියට ගියේ ටවුම හරියටම ගිහිල්ලා හරවගෙන එනවා කියලා හිතාගෙන...
ටික දවසකින් මේ පැත්තේ ආවත් නැහැනේ...

ෂොප් එක පහු කරගෙන මීටර් දෙසීයක් විතර යනකොට මෙන්න මෙයා..තවත් ගෑනු ළමයෙකුත් එක්ක හිනා වෙවී කතා කර කර එනවා...

එයාලාව පහු කරගෙන බයික් එක ගියේ වේගය වැඩි හින්දයි.
හැබැයි එයා මාව දැක්කා..
බය වෙලා වගේ බලලා.ආයෙමත් ඉස්සරහ බලාගෙන යන්න ගියා..

මම හැකි ඉක්මනින් බයික් එක කරකවලා ගත්තා..

එයාලා ළගටම පිටු පස්සෙන් ගිහින් නැවැත්තුවා එයා හැරිලා බැළුවා...

මම ඇස් දෙකෙන් එයාට කතා කළා..ළගට එන්න කියලා...

එයා ආවා..ඇස් දෙකේ බයෙන් පිරිලා..
ඒත් එක්කම තමයි මම අනිත් ළමයව දැක්කේ එයාවත් මම අඳුරනවා...
හැබැයි වැඩි කතා බහක් නැහැ.
මට තේරුනා එයා හුගාක්ම බයෙන් ඉන්නේ ඒ හින්දයි කියලා...
එයා ඒ ළමයා දිහාවට හැරිලා

"අඳුරනවා නේද..?" කියලා ඇහැවුවා ඒ ළමයා යන්තං හිනා වෙලා ඔළුව වනලා ටිකක් පස්සට උනා...

"මම පණිවිඩයක් තිබ්බා හම්බ උනාද..?"

"මොකක්ද අම්මටද..?" අර ළමයා ඉන්න හින්දා කතාව වෙන පැත්තකින් යවනවා කියලා මට තේරුනා..
මොනවා උනත් එයාව අපහසුතාවයකට පත් කරන්න මට බැහැ.

"ඔව්.."

"මම අම්මට කියන්නම්..ඔයාට කෝල් එකක් දෙන්න කියලා..."

"හා.."

"කොහෙද යන්නේ..."

"මම .........ට යනවා"..අත දුරින් පේන නගරය ඇස් වළින් පෙන්නන ගමන් මම කිව්වා...
"මම යන්නම්.."

ඇය ඔළුව වැනුවා..

මම බයික් එක හරවාගෙන ටවුම පැත්තට ගිහින් ආපහු හරවගෙන ආවා..ඇය ෂොප් එක ගාවටම කිට්ටු කරලා...

මම පුළුවන් උපරිම වේගයෙන් ඇයත් පසු කරගෙන ආවා...
වාහන පෝලිම අතරින් කොහොම ආවාද මමම දන්නේ නැහැ...
හැප්පියං..ඔන එහෙක හැප්පියං...එතකොටවත් බලන්නේ නැතෑ..එහෙම හිතාගෙනම ඇසිල්ලකින් වාහන අතරින් පැදෙව්වත් කිසිම හානියකින් තොරවම වාහන පේළිය අතරින් එළියට මතු උනා...

මම ආයෙමත් හැරිලාවත් බැළුවේ නැහැ..එහෙමම ආවා...ගෙදරට එනකම්ම එක වේගයෙන්..ඔළුව යකාගේ කම්මල වගේ වෙලා...

බයික් එක නවත්තලා උඩට දුවලා ආවා...
එක හුස්මට උගුරු තුන හතරක්...පඩ පපුව පිච්චිලා යනවා මට තේරෙනවා..උදේ තේ එක විතරයිනේ...
ඒත් කමක් නැහැ..මැරිලා පලයං...

ඒ ඇස්..ඒ කතාව...ඒ ඒ..හැම දෙයක්ම නැති උන මං මැරිලා පලයං...
තවත් වෙන මොනවද මට ඉතුරු..?

..........................................

කළින් ලිපියට ප්‍රතිචාර ලෙස මාත් එක්කම ඇයට සුභ පතන්න එකතු උන හැමෝටම අනේක වාරයක් ස්තූතියි.
ඒත් එක්කම උන්නැහේ කළ ඉල්ලීමක් අනුව මෙ ලින්ක් එක දෙන්නේ..පහු ගිය කාලෙදී ..මම දාපු පෝස්ට් එකකට...ඒකත් බලන්න...

ඒත් එක්කම...පරණ සටහන් අතර තිබුණු මගේ තවත් සටහනක් මේ තියෙන්නේ..
අන්තිමට මම තාමත් එදා හිටපු තැනම නේද..?

ගලා යන ඇළ දොළට..
හමා යන පවනකට..
පිපෙන මල් කැකුළකට..
හැකි වේද ජීවිතේ
පැතුම් මල් පුබුදන්න...

නිමා වූ වසන්තය..
යළිත් නොඑනා ලෙසේ..
බොහෝ දුර ගොසින් ඇත..
මතකයන් ඉතිරි කර..


කරුමක්කාර ජීවිතේ...කවදා ඉවර වෙයිද කියලා මංවත් දන්නේ නැති කරුමක්කාර ජීවිතේ...

07 December 2010

සුභ උපන් දිනක් වේවා...

කවියක් ලියන්න හිතුවා..
ඒක හරියන්නේ නැහැ..
මොන විදියකින්වත් ලිය වෙන්නෙම නැහැ...
මොනිටරය දිහා අසරණව බලනවා හැර වෙන කිසිම දෙයක් කරන්න බැහැ මට..

ඇගිළිතුඩු වෙව්ලන දිහා බලන් හිටියා මම..
ඇස් වේගයෙන් ගැහෙනවා මටම තේරෙනවා..
වැඩට යන්න තව වෙලා තියෙනවා..නැත්තං මම තව මොහොතක්වත් මෙතන ඉන්න කැමති නැහැ.

මම හිතුවෙ නොහිතා ඉන්නයි..
ඒත්..................

අද වැඩ දවසක් උන එක හොඳයි..
නැත්තං අද වගේ දවසක මට මේ කාමරේ බිත්ති හතරට කොටු වෙලා ඉන්න බැහැ.
මගේ ඔළුව පුපුරලා යාවි...

ඔයාට සුභ උපන් දිනක් වේවා...!

06 December 2010

පැරණි සටහන්..කරවිල..තාත්තා..සහ හෙට...

අදනං දවසම ගෙවිලා ඉවරයි..
හිතං හිටියේ අද මොනවත්ම ලියන්නේ නැහැ කියලා..ඒත් අන්තිමෙදී ඒ අදහස මගේ මිත්තරයා විසින් වෙනස් කරන්න පටන් ගත්තා..

උදෙම්ම ගෙදර ඇවිත් කාලෙක ඉඳන් අත පහු වෙවී තිබුණු වැඩක් අහවර කොරංට කියලා හිතලා අත ගැහැව්වා.

කාමරේ අස්පස් කරලා දැංට තමයි..
කාමරේ කිව්වට ඒකේ හැම තැනම විසිරිලා තිබුන කඩදාසි එක්ක තමයි වැඩෙ තිබුනේ..
පහු ගිය දොහේ අද හැදුනුංපත හදන්න ගත්ත වෙලාවෙ ඉඳන් කාමරේ පුරා ලිය කියවිලි.

එක පාරට විසූ කොරලා දාන්නත් බැහැ..කවුද දන්නේ ඕවයේ මොනවා තියෙනවද කියලා..ඒ හින්දා ටිකක් හීන් සීරුවට කොරන්න ඔන කටයුත්තක් හිංදයි පහු වෙවී තිබුණේ..ඒ හින්දා උදේ ගෙදර ඇවිත් බත් එක ලිපේ තියලා වැඩෙට අත ගැහැව්වා...

යංතං පැයක් විතර දගලලා වැඩෙ ඉවර කොර ගත්තා...
අන්තිමට බලන කොට කඩදාසි කිලෝ තුනකට එහා පැත්තේ බඩු..ලොකු බාස්කට් එකකට ඔබලා ඔබලා පුරවලා ඊට පස්සේ පල්ලෙහාට ගෙනිහින් මම කුනු පුච්චන කොන්ක්‍රීට් වළල්ල ඇතුලට දාලා කුස්සියේ තියෙන මගේ කුණු බකට් එකේ කුණු ටිකත් එක්කම පුච්චලා දැම්මා...

සමහර ලිය කියවිලි අවුරුදු පහකටත් එහා..
හැබැයි ඒ අස්සේ තිබිලා මම මීට අවුරුදු ගාණකට කළින් ලිව්ව පොඩි පොඩි කවි..එහෙමත් හම්බු උනා.

පොඩ්ඩක් ඉන්නකෝ බලන්න මෙකේ දාන්න පුළුවන් මට්ටමේ ඒවා තියේද කියලා..

හ්ම්ම්..බලමු...

"ලොවේ දෙතැනක ඉපදිලා..
කොහේ හෝ අප හමු වෙලා..
යළිත් දෙඅතක යන්න යනවද..
නාඳුනන සේ වෙන් වෙලා.."


කවද ලිව්ව එකක්ද මංදා..තව තියෙනවා...

"පතාගෙන ආ පැතුම් නැතිවද..
පෙරූ පාරමි තවත් මදිවද..
එසේ නැතිනම් කියා දෙනු මට..
ඔබේ හදවත ගලක් වූවද.."


ඔන්න ඔහොම ඒවා තමයි හම්බ වෙන්නේ..
ඒ අස්සේ මෙන්න මෙහෙම කෙටි වදනකුත් තිබ්බනේ..

"අස්ථීර ලොකේ ස්ථීර වූ දෙයක්..
සොයා යන්නට හදන මා හරිම මෝඩයෙක්.."


ෂුවර් එකටම ඔකනං ලියන්න ඇත්තේ සුනිල් එදිරිසිංහ මහත්තයගේ අර සාදාකාලික නොවූ ලොකේ කියන ගීතය අහපු වෙලාවක වෙන්න ඇති...

හැබැයි ඉතිං මං කරන ගොංකං වල හැටි එහෙම තමා..මේ තියෙන්නේ එහෙම කවියක් වගේ එකක්..

"ගොන්කම උනත් ආදරයෙන් කරනකොට..
ගොන්කම නොවේ එය පණ්ඩිතකමකි මට..
බැන්නත් කොයි තරම් වාගේ හරකෙකුට..
මමනම් නෙවේ එය ගන්නේ මගෙ හිතට.."


ඔක ලිව්වෙනං අරයා මට මොකක් හරි එහෙකට බැන්න වෙලාවක...
ඒ වගේ වෙලාවක මම කරන්නේ ඔහොම එකක් ලියලා ඒක් සිංගිරිස් වලින් කොටලා එයාට මැසේජ් එකක් යවන එක..
ටික වෙලාවකින් මට කෝල් එකක් එනවා..
"මොනවද අර ලියලා එවලා තියෙන්නේ..පිස්සුද?" කියලා..හැබැයි අන්තිම වචනේ කියවෙන්නේ හිනාව අතරින්...
ඉතින් අපි දෙන්නා ආයෙත් යාළුයි.

මගෙ අම්මේ..ඒ වෙලාවේ හම්බ උනාට මම කියෙව්වේ නැහැ..දැන් තමයි කියවන්න ගත්තේ...
හ්ම්..මෙහෙම ලියලා හරියන්නේ නැහැ වෙන වෙනම පෝස්ට් දෙක තුනක් දාන්න වෙයි වගේ..ඒක නැවැත්තුවා...

ඉතිං අස්පස් කරන වැඩෙ ඉවර වෙලා උයන්න ගත්තා බත් එක ඉඳිලා තිබුණේ...
අලයි හාල් මැස්සොයි තක්කාලියි එකට දාලා ඉව්වා..මට කවදාවත් එපා වෙන්නේ නැති කෑමනේ ඒක.
පොල් සම්බෝලෙකුත් හැදුවා.
ඊට අමතරව උදේ එන ගමන් කඩේට ගිය වෙලාවෙ නිකමට වගේ කරවිල කරලකුත් ගෙනත් තිබ්බා.
මම උයන්න අරං දැන් හුග කාලයක්.ඒත් මෙතුවක් කාලෙකට කරවිල උයලා නැහැ.හිතුනෙත් නැහැ.

අල, බෝංචි,ලීක්ස්,කැරට්,ගෝවා,රතු අල, රාබු, නෝකෝල්, බණ්ඩක්කා, වම්බටු,එළබටු,කැකිරි,පොළොස්,අඹ,විශේෂයෙන් වට්ටක්කා,වැටකොළු..එතකොට දෙල්,කිරිකොස්,කොහිළ දළු, මුරුංගා,...ඔය කොයිකත් වගේ මම නිතරම උයන ජාති..

ඊට අමතරව පතෝල,දඹළ,පිපිඥ්ඥා වගේ දේවල් සලාද හදලා කන්නත් මම කැමතියි.
ගොටුකොළ,මුගුණුවැන්න,කතුරුමුරුංගා, වගේ කොළ ජාති මැල්ලූමට සම්බෝලෙට හදලා කන එකත් නිතරම කෙරෙනවා..කොහොමටත් මම ලොකු මුගුණුවැන්න මිටිය දෙවේලට කන්න තරං දක්ෂයා...
බත්වලට වඩා කොළ වලට කැමති ඉතිං මං හරකෙක් හින්දාද මංදා..?
හැබැයි ඉතිං මේ බොන බීම මට ඔරොත්තු දෙන්නේත් ඒ හින්දාම වෙන්න ඇති.

කොහොමත් බත් වලට වඩා මට එළවළු, කොළ ජාති කැවෙනවා.

මම උයන ජාතිවලින් නිතරම වගේ පරිප්පු කන එකත් මම කැමැත්තෙන් කරන දෙයක්..
සමහරු පරිප්පු වලට කැමති නැති උනාට මටනං පරිප්පු කියන්නේ හොඳම කෑමක්...
ඇයි එතකොට මුං ඇට හිදෙන්න උයලා, කව්පි වලට කතුරු මුරුංගා කොළ අහුරක් දාලා උයලා...
එහෙමත් මම කැමතියි..
හැබැයි කඩලනං ඔනම නැහැ.

මම ඉතිං කියන්න ගියේ කරවිල ගැනනේ..ඉවුං පිහුං ගැන වෙන වෙලාවක ලියන්න ඕන...

අන්තිමට මම කෝකටත් කියලා කරවිල ගෙඩියත් උයන්න ගත්තා...

මට ඔය කොයි දේ උයන්නත් උදව් කරන්නේ මතකය තමයි.

ඒ කිව්වේ ඒ දවස්වල අපේ තාත්තා උයන කොට ළගට වෙලා බලාගෙන හිටපු මතකය...
මම කවදාවත් තාත්තා එක්ක එකට උයලා නැහැ.
එයා මට නියම ක්‍රමයට ඉගැන්නුවේ හාල් ගරන එකයි, බිත්තර ඔම්ලට් හදන විදියයි විතරයි...
ඊට අමතරව සමහර වෙලාවට උයන ගමන් පොඩි පොඩි දේවල් කියවනවා...
ඒ ඇර අනිත් කිසිම දෙයක් මට මෙහෙමයි කරන්නේ කියලා කියා දීලා නැහැ.

ඒත් මං ඒ දිහා බලං ඉන්නවා.
තාත්තා උයන කොට ඒක හරියට මැජික් එකක් වගේ...
මේ ලොකේ විදියකින් කන්න බැහැයි කියලා හිතෙන ඕනම දෙයක් එයා බොහෝම ඉක්මනට එයාගේ විධික්‍රම භාවිතා කරලා..කන්න ආසා හිතෙන දෙයක් බවට පත් කරනවා.

ඉතිං ඒ මතකයත් එක්ක මම පටන් ගත්තා...

කරවිල කපනකොට කතා කරන්න හොඳ නැහැ..

තාත්තා එහෙම කියනවා මම අහලා තියෙනවා..
එයා කවදාවත් කරවිල කපනකොට අපිත් එක්ක කතා කරන්නේ නැහැ.

ඉතිං මාත් ඒ විදියටම පටන් ගත්තා...අනික ඉතිං මේ පාළු ගෙදර කව්රු කියලා මාත් එක්ක කතා කරන්නද..?
කොම්පීතරේ පැත්තෙන් ඇහෙන
"එක කුඩයක් යට ගෑවි නොගෑවී..දවසක් හැන්දෑවේ"
ගීතය ඇරුනු කොට වෙන මෙලෝ දෙයක් අහන්නවත් නැති කොට...ඒ සිංදුවනේ මේ දවස්වල මගේ ජාතික ගීය වෙලා තියෙන්නේ...දවසකට සිය පාරක් විතර අහලත් තාම එපා උනේ නැහැනේ...

ඉතිං කරවිල කපලා මතකයේ හැටියට තුනපහ දාලා දියකිරෙන් තම්බලා හිඳීගෙන එනකොට මිටි කිරි ටිකක් දාලා ආයෙමත් හින්දෙව්වා..සමහරු කරවිල උයද්දී සීනිත් දානවනේ..ඒත් තාත්තා කවදාවත් දාන්නේ නැහැ..මම දැම්මෙත් නැහැ..

අන්තිමේ අවුරුදු එකොළහකට දොළහකට විතර පස්සේ ආයෙමත් අර පරණ රසය විඳින්න මට ඇහැකි උනා...

ඇත්තටම තාත්තා දැක්කා වගේ..
අදටත් මට මම උයන කෑම බීම වල නියම පදම ආවාම තාත්තාව පේනවා...
අදත් මම කරවිල මාළුවත් එක්ක තාත්තා දැක්කා...

තාත්තේ...තාත්තා මට කෙළින්ම ඉගැන්නුවේ නැති උනාට..බලං ඉඳලා පුරුදු වෙන්න හරි නියම විදියට උයන හැටි පෙන්නුව එකට බොහෝම පිං...
නැත්තං අද වගේ දවසක මට කන්ඩ වේලක් උයලා දෙන්නේ කව්ද..?
ඒ පිනත් අරගෙන ඉක්මනට නිවන් දකින්ට..

තාත්තා කොහොමත් දැනගෙන උන්නා ලොකු එකා ගැන..
ඌට දෙයක් කියා නොදුන්නට ඕන දෙයක් බලං ඉඳලා අල්ලගන්න ඇහැකි බව තාත්තා දැනං උන්නා..
ඒ හින්දා අදටත් මට තාත්තා හිංදා කටට රහට කන්න හම්බ වෙනවා.

නාලා කරලා බත් ටික කාලා ටිකක් ජාලගත වෙලා නිදා ගත්තා...
දැන් හවස් යාමය...
සුපුරුදු විදියට ගෙවනවා...

දෙසැම්බර් හත...හෙට විශේෂ දවසක්..ඇයගේ උපන් දිනය...හ්ම්ම්...

02 December 2010

ආවා..ආවා..ආවා..ජුංඅල නැවතත් ආවා..කුංග්ෆු මාස්ටර්...

ඔන්න ඉතින් මටත් හිතෙන දේවල්..
අද එක පාරටම මට හිතුනානේ අපේ පරණ යාළුවා..ඔව් ඔව්..සූර වීර ජුංඅල නැවතත් එකතු කොරාගෙන එන්ට...

මං හිතන්නේ මගේ මේ බ්ලොග් එකේ හුගාක්ම ජනප්‍රිය චරිතේ තමා අපේ මේ ජුං...
පහු ගිය සංධියේ මට සෑහෙන තර්ජන හිටං තිව්නා නෙව මෙකාව ආයෙමත් කරළියට කැඳවන්ටය කියලා..

ඔන්න ඒ ඉල්ලීම ඉෂ්ට කොරන්ට තමයි අද යන්නේ...

ඇත්තමට මම ලියපු අනිත් කයි කතන්දර එක්ක බැළුවම ජුං ගැන මම ලියලා තියෙන්නේ හරිම ටිකයි..මට මතක විදියට කතා හයක් විතර වෙන්ට ඕන...
ඒත් ඒ කතා හය හරහා මගේ මේ බ්ලොගේට යන එන අය හැමෝම වගේ දැන් මේ ජුං ගැන දන්නවා...

අනේ ඉතිං ජුං දන්නවනං ඒකා කොයි තරං පොරසිද්ධ ජනප්‍රිය බුවෙක්ද කියලා..?

ආ තව එකක් මම මේ ළගදී අපේ ගෙවල් පාරෙන් යනකොට දැක්කා ජුංලගේ ගෙදර..එහෙමත් නැත්තං අපේ පරණ ක්ලබ් එක...

හප්පා දැන් එතන සෑහෙන්න වෙනස් වෙලා...
ගේ වටේටම කළු ගල්..වැලි..සිමෙන්ති ගල්...
ඒ මදිවට සිමෙන්ති ගල් හදන යන්තර දෙක තුනක් හයි කොරපු ටිකක් විතර ලොකු මඩුවක්.. අත්ට්‍රැක්ටර්..ලොරියක්..එහෙම ගේ වටේට..

මට පේන විදියට දැන් අයියා මලෝ..ඔව් ඒ කිව්වේ ජුංඅල සහ රතන.. දෙන්නා තමා..උන් දෙන්නා දැන් ගොඩනැගිළි ද්‍රව්‍ය වෙළහෙළදාමට බැහැලා වගේ...

සෑහෙන්න දියුණු පාටයි..ඇස් වහක් කටවහක් නැහැ ඕකුන්ට හරියන්න ඕන..මගේ පුංචි සංධියේ මිත්තරයෝ දෙන්නා...

හැබැයි ඉතින් දුකකුත් තියෙනවා...
අපිට දැන් කාලෙකින් එකට ආස්සරේ කරන්න හම්බ උනේ නැති එක ගැන..
අපරාදේ කියන්න බැහැ..ජුංව අවුරුද්දක් ආස්සරේ කරන්න හම්බ වෙනවා කියන්නේ අවුරුදු දහයක් විතර කිසි කරදරයක් නැතිව බ්ලොග් එකක් කොරගෙන යන්ට කයි කතන්දර හම්බ වෙනවා කියන එක තමයි ඕං...

ඉතින් අදත් මේ කියන්ට යන්නේ එහෙම කතන්දරයක් තමා...

මම මේ කියන සංධිය වෙනකොට අපි කවුරු කවුරුත් ටිකක් කර දඩු උස් මහත් වෙච්ච කොල්ලෝ කුරුට්ටෝ තමයි..මටත් එතකොට වයස දහ අටක් විතර නැතෑ...ඒ කියන්නේ ජුංට පහළොහක් විතර ඇති..

හැබැයි ඉතිං ඒ වෙනකොට ජුං අපි හැමෝටම වඩා උස හාදයා...

ඒ පැත්තේ තියෙන එක අවුරුදු උත්සවයකවත්..ඉස්කෝලවල තරග වලදීවත් ජුංව පරද්දලා දුවන්න ඇහැකි එකෙක්වත් හිටියේ නැහැ..

මිනිහා දස්සයා...නිකං වෙඩිල්ල වගේ තමයි...
ඒකට හේතුව මිනිහාගේ අසාමාන්‍ය උස..
ඒ කියන්නේ අවුරුදු පහළොහක් විතර වෙනකොටත් මිනිහා අඩි හයකට විතර කිට්ටු වෙන්න උසයි...

ඔයාලා දන්නවා නේද අර ඉස්සර කොදෙව් පිලේ හිටිය වේග පන්දු යවන්නා..කර්ට්ලි ඇම්බ්‍රෝස්..
අන්න මෑන්ස්ගේ කපාපු පළුව තමයි මේකා...

ඉතින් අපි කාලයක් මේකට කිව්වෙත් ඇම්බ්‍රෝස් කියලා තමයි..මිනිහාගේ බෝල් කිරිල්ලත් ඒ වගේ...
මගේ ටීම් එකේ ආරම්භක පන්දු යවන්නා නෙව මිනිහා...
කාලයක් ආරම්භක පිති කරුවත් වෙලා හිටියා..පස්සෙන් පහු ටිකක් දුරුවල වෙච්ච හින්දා..මෑන්ස් මැද පෙළට ගියා...

ඉතින් මම මේ කොයිකත් කිව්වේ මිනිහාගේ තිබුණු ක්‍රීඩාශීලීත්වය ගැන ඔයාලට ටිකක් විතර අදහසක් දෙන්න තමයි...
ආ මේකා ගැන කියද්දී නොකියා බැහැ..මේකාගේ මලයා..ඒ කියන්නේ රතනයා..ඒකත් මේකා තරමටම නැතත් සෑහෙන්න උසයි..ඒ වගේම දුවන්න එහෙම හපනා..

ඉස්සර ඉතින් ඉස්කෝලේ තරගයක් තියෙනකොට මුන් දෙන්නා තියෙන තරං කප් බාල්දි බේසං ඔක්කෝම ගෙදර ගේනවා...
ආ තව එකක්..ජුංඅල මීටර් සීය තරගේ දුවන කොට බලාගෙන ඉන්න අයට පේන්නේ දඩු කොල්ලෙක් ජෙට් එක වාගේ ඉස්සරහින් ඇරලා යනවා සහ තව ඇඹිටිල්ලන් කොල්ලෝ රැලක් ඊට මීටර් විස්සක් විතර පස්සෙන් වෙනම තරගයකට දුවනවා තමයි...අනිත් උන් දුවන්නේ එක වෙන්න නෙවෙයි කොහොම හරි දෙක වෙන්න...
කරුමෙකටවත් තරගෙට රතනයාත් හිටියොත් ඉතින් අර කොල්ලන්ට දුවන්න වෙන්නේ තුන්වැනි ප්ලේස් එක දිනා ගන්නා අරමුණෙන් තමයි ඕං...

හරි...

ඉතින් ඕන්න ඔය කාලේ අපේ මෑන්ස්ට..ඒ කිව්වේ අපේ ජුංට අළුත්ම උණක් හැදුනා..ඒකත් එක්තරා අන්දමක ක්‍රීඩා උණක් තමයි...

මෑන්ස්ට හැදුනේ කරාටි උණ...

දන්නවනේ ඔය කාලෙට කොල්ලන්ට හැදෙන උණ වර්ග..

කරාටි උණ..
සංගීත උණ..
බඩු පැරවීමේ උණ..(කිව්වට මොකද..මටත් තිබුණා නෙව තදේටම...)
ආදී වශයෙන් තව උණ වර්ග ගොඩාක් තිබුණා...

ඉතින් ජුංටත් මේ උණ වැළදුණා..
ඇත්තටම කරාටි උණ කිව්වට මේක කුංග්ෆු උණක්...

ඉතින් මේ රෝගයට හේතු වෙච්ච රෝග නිධානයකුත් තිබ්බා...

ඒ තමයි අසීමිත ලෙස කරාටි ෆිල්ම් නැරඹීම...
ඒ දවස්වල දැන් වගේ සීඩී ඩීවීඩී නැහැ නෙව...

තිබ්බේ අර වී එච් එස් පටි තමයි...
ඩෙක් එකකට ඔයින් එකක් දාලා බලන එක තමයි කොලේ..
හැබැයි ඉතිං ඒක ආවාට ගියාට කොරන්න බැහැ..
අතර මගදී පේන්නේ නැතුව ගියහම පීස් එක එළියට අරන්...පුස් පිහින්න වෙනම කෝස් එකක් කරන්න ඕන...

හරි ඒ කතා පස්සට තියමුකෝ...

මොකද තව ටිකක් ගියානං මට වෙන කතාවක් ලියන්න වෙනවා...පීස් බැලීම ගැන..ඒක ටිකක් වැඩිහිටියන්ට පමණයි එකක්.

ඒ හින්දා අපි පොඩි හිටියන්ට හරියන මේක කියමු.

ඉතින් ඒ දවස්වල ඔය ෆිල්ම් බලලා බලලා අපි කාටත් වගේ ඔය කරාටි උණ ඇගට දැනි දැනි තිබ්බට ඒ තරංම උත්සන්න උනේ නැහැ...
අනික ඉතිං මට ඒ උණේ ටිකක් කළින්ම හොඳ වෙලා තිබ්බේ..අපේ ඉස්කෝලෙම තිබුණු දෝ වදෝකායි කියලා කරාටි ජාතියක් ටික දවසක් ඉගෙන ගෙන තිබුණු හින්දා...
හැබැයි ඉතින් මම ඒ පන්තියෙන් ඉගෙන ගත්ත දේවල් වලින් දැන් මතක එකේ ඉඳලා දහයට ජපන් වලින් ගණින එක විතරයි.

ඉතින් දැන් අපේ මේ කුංෆු උණ වැළදුන රෝගී තරුණයා..කොහොම හරි ඔය කිරිබත්ගොඩ පැත්තේ තිබුණු කුංෆු පංතියකට සෙට් උණා කියමුකෝ...

අප්පා අපි ඉඳලා ඉවරයි..

දැන් මෙකා ඉන්න තැනක ඉන්නත් අමාරුයි..කට ඇරියොත් කුංෆු...
කොටින්ම කියතොත්..දැන් මේකා ඇවිදින්නේ කුංෆු ස්ටයිල් එකට..කන්නේ බොන්නේ..නාන්නේ..ඒ විතරක්නං මදැයි..නිදියන්නෙත් කුංෆු සෑත්තරේට අනුව තමයි ඕං...
එක විකාරයයි...

ඉතින් දැන් මෙකා අඳින්නෙත් අර ඒ දවස්වල බලන්න හම්බ උන ඔය ෂැවොලින් ටෙම්පල්..තායි චී..වගේ ෆිල්ම් වල ඉන්න අර චීන සටන් කරුවෝ වගේ තමයි...

ඇඳුම් පැළදුම් ඉතින් කොහොම හරි ටිකක් විතර ඒ ෙසෙලීයට හදාගත්තත් මෑන්ස්ට මේ කිට් එක සම්පූර්ණ කර ගන්න එක දෙයක්නං අඩු උනා...

ඒ තමයි මිනිහාගේ භාෂාවෙන් කියනවනං කුංෆු ෂූෂ්..
ඒ කිව්වේ අර ෆිල්ම්වල ඉන්න අය දාන ජාතියේ සපත්තු දෙකක්..

ඕකේ වර්ග දෙකක් තිබ්බා..එකක් දණ හිසට එනකල්ම ලේස් එකක් කකුළ වටා ඔතාගෙන යන ජාතියේ එකකුයි..අනික නිකං කැන්වස් වගේ ජාතියක් ලේස් මුකුත් නැති නිකංම දා ගත හැකි..

දැන් අපේ පොර හොයන්නේ මේ දෙවෙනි ජාතිය..

මිනිහාගේ වැඩෙ සතියකට දවසක් දෙකක් කඩ සාප්පු ගානේ ඇවිදලා අතේ තියෙන ගාණට හරියන්න ඒ වගේ සපත්තු දෙකක් හොයන එක..

අපිටත් ඉතින් නිවනක් නැහැ මේ වැඩේට සපොට් ඉල්ලලා..
අපි කොහේ හරි ගමනක් යනවා දැක්කොත් මේකා දුවගෙන ඇවිත් කියන්නේ.."අනේ බං බලහංකෝ ඔය යන ගමන් කඩවල කුංෆුෂූෂ් තියෙනවද කියලා"...

ඉතින් කොහොම හරි මාසයක් හමාරක් ඇවෑමෙන් අපේ ජුංඅල ළමයා තමුන්ගේ හීනේ ජයගත්තා...

ළා අළු පාටට හුරු කළුපාටට වඩාත් කිට්ටු..කැන්වස් රෙද්දෙන් නිම කරපු කකුළ රිංගවන තැන දෙපැත්තෙන් ටිකක් විතර ඇදෙන සුළු රෙදි වර්ගයකුත් මිශ්‍ර වෙච්ච හරි අපූරු සපත්තු දෙකක් මිනිහා හොයාගෙන ඇවිත් තිබුණා..

මේකට ඉතින් මේස් එහෙම පාවිච්චි කොරන්නේ නැහැ.

දැන් තමයි වැඩේ...

අර කුංෆු උණ උත්සන්න වෙලා තිබුණු කාලේනේ..හප්පච්චියේ දැන් මේකා නිදියන්නෙත් කුංෆු ෂූෂ් දාලා...
ඒ කලේ මම දැක්කේ නැහැ මේකා ෙමික ගලවලා හිටපු වෙලාවක්නං ඕං..කොයි වෙලේ බැළුවත් පොර කුංෆු ෂූෂ් දාපු ගමන්මයි...

අපිටත් ඉතින් හරි ආතල්...
පොරගෙන් මේ කුංෆු ෂූෂ් ගැන අහන එක..

මිනිහත් ලෝභ නැතිව විස්තරේ කියනවා...

"මචං මේවා හදන්නේ චීනේ ඈත පළාත්වල කඳුවල තියෙන පන්සල්වල...
බොහෝම ටිකයි හදන්නේ..ලේසියෙන් ගන්න හම්බ වෙන්නේ නැහැ...
උඹලා දන්නවනේ මම මාස ගාණක් හොයලානේ මේක හොයා ගත්තේ...
මාර ෆිට් බං..මේක දාගෙන නියමෙට කික් කරන්න පුළුවන්..හරි බැලන්ස්...ෂහ්..."


ඔන්න ඔහොමයි තොරණෙ විස්තරේ...
ඇත්තටම ඉතිං ඒ දවස්වල ඔය ජාතියේ සපත්තු දකින්න හම්බ උනේ නැහැ...
හැබැයි කාලයක් යනකොට ගෑනු ළමයි ඔය වර්ගය පාවිච්චි කොරන්ට පටන් ගත්තා..ඒත් ඒ කියන කාලේ වෙනකොට අපේ මෑන්ස්ගේ කුංෆු ෂූෂ් අතීතයට එක් වෙලා හමාරයි..

ඉතින් ඒක සිද්ධ වෙච්ච හැටි තමයි මේ...

ඔන්න ඒ කාලේ අපේ ගැන්සියේ හිටිය මටත් වඩා අවුරුදු හතරක් විතර වැඩිමහල් බුවෙක් කසාඳයක් බැන්දා නෙව...

ඔව් ඔව්..මංතුමා තමයි කෝට් බෑයකුත් දාගෙන යාළුවට ගියෙත්...
හප්පා එදා වගේ දවසක්...
යාළුවට ඉඳීම කොයි තරං අමාරුද කිව්වොත් එදාම මං තීරණය කොළා..මටවන් දුකක් තව එකෙකුට දෙන්නේවත්..මං ඒ දුක ආයේ විඳින්නේවත් නැහැ කියලා...

ඒ කිව්වේ පිළිවෙළකට වෙඩිමක් ගන්නේ නැහැ කියන එක තමයි...
එතකොටනේ මටත් ආයේමත් ඔය කෝට් බෑයවල් දාන්ටත්..තව යාළුවෙකුට කෝට් අන්දගෙන දහදුක් දෙන්ට වෙන්නේත්...ඔයාලට කියන්ට..මං මගේ තීරණය මේ අද වෙනකල්ම අකුරටම ආරක්ෂා කොරගෙන තියෙනවා ඕං..අපි එහෙමයි...

ඉතිං කොහොම කොහොම හරි මගුල් ගෙදර පළවෙනි දවස ඒ කියන්නෙ මනමාලි කැන්දං එන දවසේ වැඩ ඉවර වෙලා දෙවෙනි දවසේ තමයි මේ සිද්ධිය සිද්ධ උනේ...

මනමාළ යුවල මනමාල මහතාගේ නිවසට පැමිණියා කියමුකෝ..ඒ ඇවිත් මූලික චාරිත්තර වාරිත්තර අහවර කොරළා මං සුටුස් ගාලා ගෙදර දුවපි..මොකටද අර කෝට් බෑයෙන් නිදහස් වෙන්න...

ඒ ඇඳන් හිටපු සූට් බූට් ලෙහලා විසි කොරලා සාමාන්‍ය විදියට ඇඳ පැළඳගෙන ඇවිත් අර අනිත් වැඩ කටයුතු එහෙම..ඒ කිව්වේ අමුත්තන්ට සංගරහා කොරන වැඩ ටික එහෙම කොරන්න පටන් ගත්තා...

ඉතින් ඔන්න අපේ කතානායකතුමාත් දැන් මගුල් ගෙදර අපිත් එක්කම වැඩ බරටම...
කිව්වට මොකද එදත් මේකා කළු කළිසමකුයි..සුදු කමිසයකුයි ඇඳලා..අර කුංෆු ෂුස් දෙකම දාගෙන ඇවිත් කියහංකෝ...

මගුල් ගෙදරට පිටින් ආපු අයනං මේකාව දැක්කහම ටිකක් අමුතුවට බැළුවා උනත් අපි ඉතිං දන්නවනේ අපේ කොල්ලා කවුද කියලා...

කොහොම කොහොම හරි..
මගුල් ගෙදර වැඩ ඉවර වෙලා අර ආව ඥාතී මිත්‍රාදීන් පිටත් වෙලා එහෙම ගියාට පස්සේ..දැන් රෑ බෝ වෙනකොට අහල පහළ හිතවතුන්ට සංග්‍රහය පටන් ගත්තා..කිව්වට මොකද ඉතින් දවල් හොඳ මහත්තුරු වගේ ඉඳලා රෑ වෙනකොට අපිත් ඉතිං මඳ පමණින් වැඩ අල්ලලා තිබුණේ...

ඇයි යකෝ මගේ යාළුවා අමාරුවේ වැටීමේ දුකට අපි නොබී අර ගෙනාපු ගෑණු මනුස්සයගේ පැත්තේ උන් බොන්නයෑ...

හැබැයි ඉතිං ජුං අලට ඒ වෙනකොට නිල වශයෙන් අනුමත වෙන්න අවසර නැහැ..මොකද තාම පොඩි එකා නෙව..
ඒ උනාට මොකද..රෑ වෙන්ට වෙන්ට මේ නිල වශයෙන් අනුමත වෙන අපිට වඩා... ජුංඅල නොනිල වශයෙන් අනුමත වෙච්ච ගති ලක්ෂණ පහළ වෙන්ට පටන් ගත්තා...

ඒත් ඉතිං අපි ඕක ගණන් ගත්තේ නැහැ..මොනවා උනත් ඉතිං අපේ එකා නෙව..

අප්පට සිරි..ටිකක් වෙලා යනකොටනේ ඇණෙA තරම තේරෙන්නේ..මූට අර අනුමත වෙච්ච සැර මදිවට..කුංෆු උණත් නැගගෙන එනවා...

දැන් පොර මේම තමයි ටෝක...

"අරී අයියා..උඹලා මොකද කියන්නේ..මේම ඉටියට ජුංට වෙරි නැහැ හරිද...එහෙම ඉතංටත් එපා...

ඕන නං බලහං මං කික් බැලන්ස් කරන හැටි..අරී.."


මේම කියලා දැන් බුවා අපිට වැඩ පෙන්නනවා...

තනි කකුලෙන් හිටගෙන අනිත් කකුලෙන් අහසට කික් කරනවා...
අපරාදේ කියන්න බැහැ...පොර නියමෙට කික් බැලන්ස් කරනවා...තනි කකුලෙන් ඉඳගෙන අනිත් කකුළ උස්සද්දී දඩෝරියං ගාගෙන බිම පත බෑවෙනවා..ඊට පස්සේ අර කුංෆු ෂූෂ් දාපු එක කකුළක් ඊ තලේ වගේ අහසට දික් කරගෙන ඉන්නවා..මාර බැලන්ස්...

අපිට නේද මළ ආතල්...

ඒත් ඉතිං අහළ පහළ උංට වැඩේ නොන්ඩි වෙන්ඩත් දෙන්න බැහැ..
මොකද ජුං තාම පොඩිහිටියෙක් විතරයිනේ...
මේකා අනුමත උන සිද්ධිය අයියම්මට ආරංචි උනොත් අපිටත් එක්ක බොරේ..

ආ මම අයියම්මා ගැන කිව්වේ නැහැනේ...

ඔයාලා දන්නවනේ මේ වෙනකොට ජුංලගේ තාත්තා පරලොව සැපත් වෙලා තිබුණේ..ජුං ලගේ අම්මත් අපි දන්න කියන කාලේ ඉඳලම සිහි මඳ ගතියෙන් හිටියේ...

ඉතින් පුංචි කාලේ ඉඳලම ජුංවයි, රතනයවයි බලා ගත්තේ ජුංලගේ තාත්තගේ සහෝදර සහෝදරියෝ ටික තමයි...
ඒ හැමෝම හිටියෙත් ජුංලගේ ගේ වටේම තමයි...

ඉතිං මේ අයියම්මා කියන්නෙත් ඒ වගේ ජුංගේ ඉස්සරහ ගෙදර හිටිය ලොකු අම්මා කෙනෙක්..
හැබැයි මුං දෙන්නම පුංචි කලේ ඉඳලම උන්දැට කිව්වේ අයියම්මා කියලා...
ඇත්තටම මුං දෙන්නා ලොකු මහත් කරන්ට සෑහෙන මහන්සියක් උන්දෑ ගත්තා...
උන්දෑගේ කටනං බොහෝම සැරයි...
අපි උනත් අයියම්මාගෙන් බැණුං අහන්ට බොහෝම අකමැතියි...

ඉතිං ජුං උනත්, අපි උනත් මොනම දෙයක්වත් අයියම්මට නොදැනෙන්න තමයි කොළේ..නැත්තං ඉතිං අපිටත් එක්ක බඩුම තමයි...

ඉතිං ආයෙත් අපි කතාවට එමුකෝ...

කොහොම හරි මේකා මෙහෙම පිස්සු නටනවා කියලා අයියම්මට මැසේජ් එක ගියොත් අපි උනත් කම්මුතුයි නෙව..
ඒ හින්දා ඉක්මන් කොරලා මේකාගේ මේ කික් බැලන්ස් කිරිල්ල නවත්තන්ට ඕන හින්දා...

"යං යං ජුං නටන්න යං" කියලා..අර මගුල් ගෙදර පැත්තකට වෙන්න වේග රිද්ම සංගීතයට දගර නැටුං දා දා උන්න අයගේ පැත්තට මේකාව අරගෙන ගියා...

අම්මද බොල දැන් මේකා නටනවා මයිකොල් ජැස්සොන්ගේ බාප්පගේ පුතා වගේ...

හැබැයි ටික වේලාවක් යනකොට ඒකත් අමුතු වේගන එන බව අපිට පෙනුනේ..මෑන්ස්ගේ නැටුම් විලාශය නිකං සරඹ සංදර්ශනයක් වගේ වීගෙන එනකොට තමයි...

මළ කෙළීයයි මෙන්න මූ විවිධාකාර වූ සටන් ඉරියව් විදහා දක්වනවා...
කාලා වරෙංකෝ...

නටන ගමන්ම අතපය වීසු කොරනවා..
උඩ පැනලා පයින් ගහනවා..
ඒ එක්කම බිමට වැටෙනවා..
ආයෙම වැලි පිහ පිහ නැගිටිනවා...
අත පය අඹරනවා..
ඒ අස්සෙන් නයි ඉරියව්..රාජාලි සෙවනැළි... කොටි පිමි..එහෙං පිටිංම සත්තු වත්තක ඉන්න සත්තු ඔක්කෝගෙම ඉරියව් පෙන්නනවා..
කකුල් දෙක දෙපැත්තට කරලා බිම ගෑවෙන්න උත්සහ කරනවා..
දුන්නක් වගේ පිටි පස්සට නැවිලා ආයේම කෙළින් වෙන්න හදනවා...

දැං මක්කා කොරන්නද...

ඒ අස්සේ කික් කොරන්න ගිහින් අර රටක් වටින කුංෆු ෂූෂ් අහසේ පාවෙනවා..

කොහොම හරි පැයක් විතර දගලලා අන්තිමට අපි ජුංට බත් ටිකක් එහෙම ගිල්ලෙවුවා...

ඊට පස්සේනං තත්වය ටිකක් විතර සමනය උනා...

අන්තිමේ රෑ දොළහ විතර වෙලා අපි විසි උනා..ඒත් ජුංට ගෙදර යන්න බැරි මට්ටමේ හිටිය හින්දා මගුල් ගෙදරම ඉස්සරහා කාමරයක බුදි කොරෝලා අපි ගියා...
කතාව එතනින් ඉවරයි...

අප්පද බොල..පහුවදා උදේ අටට විතර මාත් නැගිටලා මුණ කට හෝදගෙන මගුල් ගෙවල් පැත්තට ගියා අස්පස් කොරන වැඩ ටික කරලා දාන්ට හිතාගෙන...

මම පාර දිහාවට යන කොට මෙන්න බොලේ පාර මැද්දේ එක කෙළියයි...

මිනිස්සු වට වෙලා හිනා වෙවී සීන් එක බලනවා...
අයියම්මා දුම්මල වරම අතට ගත්තා වගේ හීන් කොටුවක් අරගෙන පාර පුරා එළෝ එළෝ ජුං පස්සේ පන්නනවා..
ජුං විලාප තිය තියා දුවනවා...

"අනේ අයියම්මේ ආයේ බොන්නේ නැතෝ...
ගහන්න එපෝ"...


අහං ඉද්දිත් අපට ඇඩෙනවා..හැබැයි ඇඩෙන ගමන්ම බකස් ගාලා හිනා යනවා...

හොඳම සීන් එක තමයි...
අර ඇඳන් හිටිය කලිසමට උඩින් පොඩි වෙලා මඩ නෑවිච්ච කමිසෙත් ඇඳගෙන දුවන ජුංගේ අතේ අර කුංෆු ෂූෂ් කුට්ටම...ඒකත් බරට බරේ...පස්සෙයි දන්නේ මේකා එදා රෑ අර ඇඳේ ඉන්න ගමන් සපත්තු දෙක පිරෙන්නම කබරයා දාලා...

රෑ තිස්සේ ජුං ගෙදර ඇවිත් නැහැ කියලා දැන ගත්ත අයියම්මා මාරවේශයෙන් ඇවිත් එල්ල කරපු ක්ෂණික විහිදුම් බලකා ප්‍රහාරයට ලක් වෙච්ච ජුං අර සපත්තු දෙක ගසා ගන්නවත් විදියක් නැතිව කබරයා පාර පිරිච්ච සපත්තු දෙකත් අතේ අරගෙනම පාර දිගේ දුවනවා දිව්වට මොකද ඒ තරං දුර දුවන්න මෑන්ස්ට පණ නැහැ...
ඒ හින්දා ටිකක් දුවනවා නවතිනවා..ආයෙත් පස්ස පැත්තට කෝටු පාර වදිද්දී අර කබරයා පාර සපත්තුවලින් හල හලා දුවනවා...

ඔන්න ඔහොමයි වැඩේ ඉවර උනේ...

හැබැයි ඊට පස්සේ නං ජුං අනුමත වෙන එක නැවැත්තුවේ නැහැ...
ඉඳලා හිටලා අනුමත උනා..

හැබැයි...

මිනිහා ඊට පස්සේ අපි ඉන්න අහළට එනකොට අපි නහය වහගෙන

"අම්මේ බං ගඳ"
කියලා කියන හින්දම කුංෆු ෂූෂ් පාවිච්චිය නං සදහටම අත ඇරලා දැම්මා ඕං...