ඔන්න ඉතින් මටත් හිතෙන දේවල්..
අද එක පාරටම මට හිතුනානේ අපේ පරණ යාළුවා..ඔව් ඔව්..සූර වීර
ජුංඅල නැවතත් එකතු කොරාගෙන එන්ට...
මං හිතන්නේ මගේ මේ බ්ලොග් එකේ හුගාක්ම ජනප්‍රිය චරිතේ තමා අපේ මේ ජුං...
පහු ගිය සංධියේ මට සෑහෙන තර්ජන හිටං තිව්නා නෙව මෙකාව ආයෙමත් කරළියට කැඳවන්ටය කියලා..
ඔන්න ඒ ඉල්ලීම ඉෂ්ට කොරන්ට තමයි අද යන්නේ...
ඇත්තමට මම ලියපු අනිත් කයි කතන්දර එක්ක බැළුවම ජුං ගැන මම ලියලා තියෙන්නේ හරිම ටිකයි..මට මතක විදියට කතා හයක් විතර වෙන්ට ඕන...
ඒත් ඒ කතා හය හරහා මගේ මේ බ්ලොගේට යන එන අය හැමෝම වගේ දැන් මේ ජුං ගැන දන්නවා...
අනේ ඉතිං ජුං දන්නවනං ඒකා කොයි තරං පොරසිද්ධ ජනප්‍රිය බුවෙක්ද කියලා..?
ආ තව එකක් මම මේ ළගදී අපේ ගෙවල් පාරෙන් යනකොට දැක්කා ජුංලගේ ගෙදර..එහෙමත් නැත්තං අපේ පරණ ක්ලබ් එක...
හප්පා දැන් එතන සෑහෙන්න වෙනස් වෙලා...
ගේ වටේටම කළු ගල්..වැලි..සිමෙන්ති ගල්...
ඒ මදිවට සිමෙන්ති ගල් හදන යන්තර දෙක තුනක් හයි කොරපු ටිකක් විතර ලොකු මඩුවක්.. අත්ට්‍රැක්ටර්..ලොරියක්..එහෙම ගේ වටේට..
මට පේන විදියට දැන් අයියා මලෝ..ඔව් ඒ කිව්වේ ජුංඅල සහ රතන.. දෙන්නා තමා..උන් දෙන්නා දැන් ගොඩනැගිළි ද්‍රව්‍ය වෙළහෙළදාමට බැහැලා වගේ...
සෑහෙන්න දියුණු පාටයි..ඇස් වහක් කටවහක් නැහැ ඕකුන්ට හරියන්න ඕන..මගේ පුංචි සංධියේ මිත්තරයෝ දෙන්නා...
හැබැයි ඉතින් දුකකුත් තියෙනවා...
අපිට දැන් කාලෙකින් එකට ආස්සරේ කරන්න හම්බ උනේ නැති එක ගැන..
අපරාදේ කියන්න බැහැ..ජුංව අවුරුද්දක් ආස්සරේ කරන්න හම්බ වෙනවා කියන්නේ අවුරුදු දහයක් විතර කිසි කරදරයක් නැතිව බ්ලොග් එකක් කොරගෙන යන්ට කයි කතන්දර හම්බ වෙනවා කියන එක තමයි ඕං...
ඉතින් අදත් මේ කියන්ට යන්නේ එහෙම කතන්දරයක් තමා...
මම මේ කියන සංධිය වෙනකොට අපි කවුරු කවුරුත් ටිකක් කර දඩු උස් මහත් වෙච්ච කොල්ලෝ කුරුට්ටෝ තමයි..මටත් එතකොට වයස දහ අටක් විතර නැතෑ...ඒ කියන්නේ ජුංට පහළොහක් විතර ඇති..
හැබැයි ඉතිං ඒ වෙනකොට ජුං අපි හැමෝටම වඩා උස හාදයා...
ඒ පැත්තේ තියෙන එක අවුරුදු උත්සවයකවත්..ඉස්කෝලවල තරග වලදීවත් ජුංව පරද්දලා දුවන්න ඇහැකි එකෙක්වත් හිටියේ නැහැ..
මිනිහා දස්සයා...නිකං වෙඩිල්ල වගේ තමයි...
ඒකට හේතුව මිනිහාගේ අසාමාන්‍ය උස..
ඒ කියන්නේ අවුරුදු පහළොහක් විතර වෙනකොටත් මිනිහා අඩි හයකට විතර කිට්ටු වෙන්න උසයි...
ඔයාලා දන්නවා නේද අර ඉස්සර කොදෙව් පිලේ හිටිය වේග පන්දු යවන්නා..කර්ට්ලි ඇම්බ්‍රෝස්..
අන්න මෑන්ස්ගේ කපාපු පළුව තමයි මේකා...
ඉතින් අපි කාලයක් මේකට කිව්වෙත් ඇම්බ්‍රෝස් කියලා තමයි..මිනිහාගේ බෝල් කිරිල්ලත් ඒ වගේ...
මගේ ටීම් එකේ ආරම්භක පන්දු යවන්නා නෙව මිනිහා...
කාලයක් ආරම්භක පිති කරුවත් වෙලා හිටියා..පස්සෙන් පහු ටිකක් දුරුවල වෙච්ච හින්දා..මෑන්ස් මැද පෙළට ගියා...
ඉතින් මම මේ කොයිකත් කිව්වේ මිනිහාගේ තිබුණු ක්‍රීඩාශීලීත්වය ගැන ඔයාලට ටිකක් විතර අදහසක් දෙන්න තමයි...
ආ මේකා ගැන කියද්දී නොකියා බැහැ..මේකාගේ මලයා..ඒ කියන්නේ රතනයා..ඒකත් මේකා තරමටම නැතත් සෑහෙන්න උසයි..ඒ වගේම දුවන්න එහෙම හපනා..
ඉස්සර ඉතින් ඉස්කෝලේ තරගයක් තියෙනකොට මුන් දෙන්නා තියෙන තරං කප් බාල්දි බේසං ඔක්කෝම ගෙදර ගේනවා...
ආ තව එකක්..ජුංඅල මීටර් සීය තරගේ දුවන කොට බලාගෙන ඉන්න අයට පේන්නේ දඩු කොල්ලෙක් ජෙට් එක වාගේ ඉස්සරහින් ඇරලා යනවා සහ තව ඇඹිටිල්ලන් කොල්ලෝ රැලක් ඊට මීටර් විස්සක් විතර පස්සෙන් වෙනම තරගයකට දුවනවා තමයි...අනිත් උන් දුවන්නේ එක වෙන්න නෙවෙයි කොහොම හරි දෙක වෙන්න...
කරුමෙකටවත් තරගෙට රතනයාත් හිටියොත් ඉතින් අර කොල්ලන්ට දුවන්න වෙන්නේ තුන්වැනි ප්ලේස් එක දිනා ගන්නා අරමුණෙන් තමයි ඕං...
හරි...
ඉතින් ඕන්න ඔය කාලේ අපේ මෑන්ස්ට..ඒ කිව්වේ අපේ ජුංට අළුත්ම උණක් හැදුනා..ඒකත් එක්තරා අන්දමක ක්‍රීඩා උණක් තමයි...
මෑන්ස්ට හැදුනේ කරාටි උණ...
දන්නවනේ ඔය කාලෙට කොල්ලන්ට හැදෙන උණ වර්ග..
කරාටි උණ..
සංගීත උණ..
බඩු පැරවීමේ උණ..(කිව්වට මොකද..මටත් තිබුණා නෙව තදේටම...)
ආදී වශයෙන් තව උණ වර්ග ගොඩාක් තිබුණා...
ඉතින් ජුංටත් මේ උණ වැළදුණා..
ඇත්තටම කරාටි උණ කිව්වට මේක කුංග්ෆු උණක්...
ඉතින් මේ රෝගයට හේතු වෙච්ච රෝග නිධානයකුත් තිබ්බා...
ඒ තමයි අසීමිත ලෙස කරාටි ෆිල්ම් නැරඹීම...
ඒ දවස්වල දැන් වගේ සීඩී ඩීවීඩී නැහැ නෙව...
තිබ්බේ අර වී එච් එස් පටි තමයි...
ඩෙක් එකකට ඔයින් එකක් දාලා බලන එක තමයි කොලේ..
හැබැයි ඉතිං ඒක ආවාට ගියාට කොරන්න බැහැ..
අතර මගදී පේන්නේ නැතුව ගියහම පීස් එක එළියට අරන්...පුස් පිහින්න වෙනම කෝස් එකක් කරන්න ඕන...
හරි ඒ කතා පස්සට තියමුකෝ...
මොකද තව ටිකක් ගියානං මට වෙන කතාවක් ලියන්න වෙනවා...පීස් බැලීම ගැන..ඒක ටිකක් වැඩිහිටියන්ට පමණයි එකක්.
ඒ හින්දා අපි පොඩි හිටියන්ට හරියන මේක කියමු.
ඉතින් ඒ දවස්වල ඔය ෆිල්ම් බලලා බලලා අපි කාටත් වගේ ඔය කරාටි උණ ඇගට දැනි දැනි තිබ්බට ඒ තරංම උත්සන්න උනේ නැහැ...
අනික ඉතිං මට ඒ උණේ ටිකක් කළින්ම හොඳ වෙලා තිබ්බේ..අපේ ඉස්කෝලෙම තිබුණු දෝ වදෝකායි කියලා කරාටි ජාතියක් ටික දවසක් ඉගෙන ගෙන තිබුණු හින්දා...
හැබැයි ඉතින් මම ඒ පන්තියෙන් ඉගෙන ගත්ත දේවල් වලින් දැන් මතක එකේ ඉඳලා දහයට ජපන් වලින් ගණින එක විතරයි.
ඉතින් දැන් අපේ මේ කුංෆු උණ වැළදුන රෝගී තරුණයා..කොහොම හරි ඔය කිරිබත්ගොඩ පැත්තේ තිබුණු කුංෆු පංතියකට සෙට් උණා කියමුකෝ...
අප්පා අපි ඉඳලා ඉවරයි..
දැන් මෙකා ඉන්න තැනක ඉන්නත් අමාරුයි..කට ඇරියොත් කුංෆු...
කොටින්ම කියතොත්..දැන් මේකා ඇවිදින්නේ කුංෆු ස්ටයිල් එකට..කන්නේ බොන්නේ..නාන්නේ..ඒ විතරක්නං මදැයි..නිදියන්නෙත් කුංෆු සෑත්තරේට අනුව තමයි ඕං...
එක විකාරයයි...
ඉතින් දැන් මෙකා අඳින්නෙත් අර ඒ දවස්වල බලන්න හම්බ උන ඔය ෂැවොලින් ටෙම්පල්..තායි චී..වගේ ෆිල්ම් වල ඉන්න අර චීන සටන් කරුවෝ වගේ තමයි...
ඇඳුම් පැළදුම් ඉතින් කොහොම හරි ටිකක් විතර ඒ ෙසෙලීයට හදාගත්තත් මෑන්ස්ට මේ කිට් එක සම්පූර්ණ කර ගන්න එක දෙයක්නං අඩු උනා...
ඒ තමයි මිනිහාගේ භාෂාවෙන් කියනවනං කුංෆු ෂූෂ්..
ඒ කිව්වේ අර ෆිල්ම්වල ඉන්න අය දාන ජාතියේ සපත්තු දෙකක්..
ඕකේ වර්ග දෙකක් තිබ්බා..එකක් දණ හිසට එනකල්ම ලේස් එකක් කකුළ වටා ඔතාගෙන යන ජාතියේ එකකුයි..අනික නිකං කැන්වස් වගේ ජාතියක් ලේස් මුකුත් නැති නිකංම දා ගත හැකි..
දැන් අපේ පොර හොයන්නේ මේ දෙවෙනි ජාතිය..
මිනිහාගේ වැඩෙ සතියකට දවසක් දෙකක් කඩ සාප්පු ගානේ ඇවිදලා අතේ තියෙන ගාණට හරියන්න ඒ වගේ සපත්තු දෙකක් හොයන එක..
අපිටත් ඉතින් නිවනක් නැහැ මේ වැඩේට සපොට් ඉල්ලලා..
අපි කොහේ හරි ගමනක් යනවා දැක්කොත් මේකා දුවගෙන ඇවිත් කියන්නේ
.."අනේ බං බලහංකෝ ඔය යන ගමන් කඩවල කුංෆුෂූෂ් තියෙනවද කියලා"...ඉතින් කොහොම හරි මාසයක් හමාරක් ඇවෑමෙන් අපේ ජුංඅල ළමයා තමුන්ගේ හීනේ ජයගත්තා...
ළා අළු පාටට හුරු කළුපාටට වඩාත් කිට්ටු..කැන්වස් රෙද්දෙන් නිම කරපු කකුළ රිංගවන තැන දෙපැත්තෙන් ටිකක් විතර ඇදෙන සුළු රෙදි වර්ගයකුත් මිශ්‍ර වෙච්ච හරි අපූරු සපත්තු දෙකක් මිනිහා හොයාගෙන ඇවිත් තිබුණා..
මේකට ඉතින් මේස් එහෙම පාවිච්චි කොරන්නේ නැහැ.
දැන් තමයි වැඩේ...
අර කුංෆු උණ උත්සන්න වෙලා තිබුණු කාලේනේ..හප්පච්චියේ දැන් මේකා නිදියන්නෙත් කුංෆු ෂූෂ් දාලා...
ඒ කලේ මම දැක්කේ නැහැ මේකා ෙමික ගලවලා හිටපු වෙලාවක්නං ඕං..කොයි වෙලේ බැළුවත් පොර කුංෆු ෂූෂ් දාපු ගමන්මයි...
අපිටත් ඉතින් හරි ආතල්...
පොරගෙන් මේ කුංෆු ෂූෂ් ගැන අහන එක..
මිනිහත් ලෝභ නැතිව විස්තරේ කියනවා...
"මචං මේවා හදන්නේ චීනේ ඈත පළාත්වල කඳුවල තියෙන පන්සල්වල...
බොහෝම ටිකයි හදන්නේ..ලේසියෙන් ගන්න හම්බ වෙන්නේ නැහැ...
උඹලා දන්නවනේ මම මාස ගාණක් හොයලානේ මේක හොයා ගත්තේ...
මාර ෆිට් බං..මේක දාගෙන නියමෙට කික් කරන්න පුළුවන්..හරි බැලන්ස්...ෂහ්..."ඔන්න ඔහොමයි තොරණෙ විස්තරේ...
ඇත්තටම ඉතිං ඒ දවස්වල ඔය ජාතියේ සපත්තු දකින්න හම්බ උනේ නැහැ...
හැබැයි කාලයක් යනකොට ගෑනු ළමයි ඔය වර්ගය පාවිච්චි කොරන්ට පටන් ගත්තා..ඒත් ඒ කියන කාලේ වෙනකොට අපේ මෑන්ස්ගේ කුංෆු ෂූෂ් අතීතයට එක් වෙලා හමාරයි..
ඉතින් ඒක සිද්ධ වෙච්ච හැටි තමයි මේ...
ඔන්න ඒ කාලේ අපේ ගැන්සියේ හිටිය මටත් වඩා අවුරුදු හතරක් විතර වැඩිමහල් බුවෙක් කසාඳයක් බැන්දා නෙව...
ඔව් ඔව්..මංතුමා තමයි කෝට් බෑයකුත් දාගෙන යාළුවට ගියෙත්...
හප්පා එදා වගේ දවසක්...
යාළුවට ඉඳීම කොයි තරං අමාරුද කිව්වොත් එදාම මං තීරණය කොළා..මටවන් දුකක් තව එකෙකුට දෙන්නේවත්..මං ඒ දුක ආයේ විඳින්නේවත් නැහැ කියලා...
ඒ කිව්වේ පිළිවෙළකට වෙඩිමක් ගන්නේ නැහැ කියන එක තමයි...
එතකොටනේ මටත් ආයේමත් ඔය කෝට් බෑයවල් දාන්ටත්..තව යාළුවෙකුට කෝට් අන්දගෙන දහදුක් දෙන්ට වෙන්නේත්...ඔයාලට කියන්ට..මං මගේ තීරණය මේ අද වෙනකල්ම අකුරටම ආරක්ෂා කොරගෙන තියෙනවා ඕං..අපි එහෙමයි...
ඉතිං කොහොම කොහොම හරි මගුල් ගෙදර පළවෙනි දවස ඒ කියන්නෙ මනමාලි කැන්දං එන දවසේ වැඩ ඉවර වෙලා දෙවෙනි දවසේ තමයි මේ සිද්ධිය සිද්ධ උනේ...
මනමාළ යුවල මනමාල මහතාගේ නිවසට පැමිණියා කියමුකෝ..ඒ ඇවිත් මූලික චාරිත්තර වාරිත්තර අහවර කොරළා මං සුටුස් ගාලා ගෙදර දුවපි..මොකටද අර කෝට් බෑයෙන් නිදහස් වෙන්න...
ඒ ඇඳන් හිටපු සූට් බූට් ලෙහලා විසි කොරලා සාමාන්‍ය විදියට ඇඳ පැළඳගෙන ඇවිත් අර අනිත් වැඩ කටයුතු එහෙම..ඒ කිව්වේ අමුත්තන්ට සංගරහා කොරන වැඩ ටික එහෙම කොරන්න පටන් ගත්තා...
ඉතින් ඔන්න අපේ කතානායකතුමාත් දැන් මගුල් ගෙදර අපිත් එක්කම වැඩ බරටම...
කිව්වට මොකද එදත් මේකා කළු කළිසමකුයි..සුදු කමිසයකුයි ඇඳලා..අර කුංෆු ෂුස් දෙකම දාගෙන ඇවිත් කියහංකෝ...
මගුල් ගෙදරට පිටින් ආපු අයනං මේකාව දැක්කහම ටිකක් අමුතුවට බැළුවා උනත් අපි ඉතිං දන්නවනේ අපේ කොල්ලා කවුද කියලා...
කොහොම කොහොම හරි..
මගුල් ගෙදර වැඩ ඉවර වෙලා අර ආව ඥාතී මිත්‍රාදීන් පිටත් වෙලා එහෙම ගියාට පස්සේ..දැන් රෑ බෝ වෙනකොට අහල පහළ හිතවතුන්ට සංග්‍රහය පටන් ගත්තා..කිව්වට මොකද ඉතින් දවල් හොඳ මහත්තුරු වගේ ඉඳලා රෑ වෙනකොට අපිත් ඉතිං මඳ පමණින් වැඩ අල්ලලා තිබුණේ...
ඇයි යකෝ මගේ යාළුවා අමාරුවේ වැටීමේ දුකට අපි නොබී අර ගෙනාපු ගෑණු මනුස්සයගේ පැත්තේ උන් බොන්නයෑ...
හැබැයි ඉතිං ජුං අලට ඒ වෙනකොට නිල වශයෙන් අනුමත වෙන්න අවසර නැහැ..මොකද තාම පොඩි එකා නෙව..
ඒ උනාට මොකද..රෑ වෙන්ට වෙන්ට මේ නිල වශයෙන් අනුමත වෙන අපිට වඩා... ජුංඅල නොනිල වශයෙන් අනුමත වෙච්ච ගති ලක්ෂණ පහළ වෙන්ට පටන් ගත්තා...
ඒත් ඉතිං අපි ඕක ගණන් ගත්තේ නැහැ..මොනවා උනත් ඉතිං අපේ එකා නෙව..
අප්පට සිරි..ටිකක් වෙලා යනකොටනේ ඇණෙA තරම තේරෙන්නේ..මූට අර අනුමත වෙච්ච සැර මදිවට..කුංෆු උණත් නැගගෙන එනවා...
දැන් පොර මේම තමයි ටෝක...
"අරී අයියා..උඹලා මොකද කියන්නේ..මේම ඉටියට ජුංට වෙරි නැහැ හරිද...එහෙම ඉතංටත් එපා...
ඕන නං බලහං මං කික් බැලන්ස් කරන හැටි..අරී.."මේම කියලා දැන් බුවා අපිට වැඩ පෙන්නනවා...
තනි කකුලෙන් හිටගෙන අනිත් කකුලෙන් අහසට කික් කරනවා...
අපරාදේ කියන්න බැහැ...පොර නියමෙට කික් බැලන්ස් කරනවා...තනි කකුලෙන් ඉඳගෙන අනිත් කකුළ උස්සද්දී දඩෝරියං ගාගෙන බිම පත බෑවෙනවා..ඊට පස්සේ අර කුංෆු ෂූෂ් දාපු එක කකුළක් ඊ තලේ වගේ අහසට දික් කරගෙන ඉන්නවා..මාර බැලන්ස්...
අපිට නේද මළ ආතල්...
ඒත් ඉතිං අහළ පහළ උංට වැඩේ නොන්ඩි වෙන්ඩත් දෙන්න බැහැ..
මොකද ජුං තාම පොඩිහිටියෙක් විතරයිනේ...
මේකා අනුමත උන සිද්ධිය අයියම්මට ආරංචි උනොත් අපිටත් එක්ක බොරේ..
ආ මම අයියම්මා ගැන කිව්වේ නැහැනේ...
ඔයාලා දන්නවනේ මේ වෙනකොට ජුංලගේ තාත්තා පරලොව සැපත් වෙලා තිබුණේ..ජුං ලගේ අම්මත් අපි දන්න කියන කාලේ ඉඳලම සිහි මඳ ගතියෙන් හිටියේ...
ඉතින් පුංචි කාලේ ඉඳලම ජුංවයි, රතනයවයි බලා ගත්තේ ජුංලගේ තාත්තගේ සහෝදර සහෝදරියෝ ටික තමයි...
ඒ හැමෝම හිටියෙත් ජුංලගේ ගේ වටේම තමයි...
ඉතිං මේ අයියම්මා කියන්නෙත් ඒ වගේ ජුංගේ ඉස්සරහ ගෙදර හිටිය ලොකු අම්මා කෙනෙක්..
හැබැයි මුං දෙන්නම පුංචි කලේ ඉඳලම උන්දැට කිව්වේ අයියම්මා කියලා...
ඇත්තටම මුං දෙන්නා ලොකු මහත් කරන්ට සෑහෙන මහන්සියක් උන්දෑ ගත්තා...
උන්දෑගේ කටනං බොහෝම සැරයි...
අපි උනත් අයියම්මාගෙන් බැණුං අහන්ට බොහෝම අකමැතියි...
ඉතිං ජුං උනත්, අපි උනත් මොනම දෙයක්වත් අයියම්මට නොදැනෙන්න තමයි කොළේ..නැත්තං ඉතිං අපිටත් එක්ක බඩුම තමයි...
ඉතිං ආයෙත් අපි කතාවට එමුකෝ...
කොහොම හරි මේකා මෙහෙම පිස්සු නටනවා කියලා අයියම්මට මැසේජ් එක ගියොත් අපි උනත් කම්මුතුයි නෙව..
ඒ හින්දා ඉක්මන් කොරලා මේකාගේ මේ කික් බැලන්ස් කිරිල්ල නවත්තන්ට ඕන හින්දා...
"යං යං ජුං නටන්න යං" කියලා..අර මගුල් ගෙදර පැත්තකට වෙන්න වේග රිද්ම සංගීතයට දගර නැටුං දා දා උන්න අයගේ පැත්තට මේකාව අරගෙන ගියා...
අම්මද බොල දැන් මේකා නටනවා මයිකොල් ජැස්සොන්ගේ බාප්පගේ පුතා වගේ...
හැබැයි ටික වේලාවක් යනකොට ඒකත් අමුතු වේගන එන බව අපිට පෙනුනේ..මෑන්ස්ගේ නැටුම් විලාශය නිකං සරඹ සංදර්ශනයක් වගේ වීගෙන එනකොට තමයි...
මළ කෙළීයයි මෙන්න මූ විවිධාකාර වූ සටන් ඉරියව් විදහා දක්වනවා...
කාලා වරෙංකෝ...
නටන ගමන්ම අතපය වීසු කොරනවා..
උඩ පැනලා පයින් ගහනවා..
ඒ එක්කම බිමට වැටෙනවා..
ආයෙම වැලි පිහ පිහ නැගිටිනවා...
අත පය අඹරනවා..
ඒ අස්සෙන් නයි ඉරියව්..රාජාලි සෙවනැළි... කොටි පිමි..එහෙං පිටිංම සත්තු වත්තක ඉන්න සත්තු ඔක්කෝගෙම ඉරියව් පෙන්නනවා..
කකුල් දෙක දෙපැත්තට කරලා බිම ගෑවෙන්න උත්සහ කරනවා..
දුන්නක් වගේ පිටි පස්සට නැවිලා ආයේම කෙළින් වෙන්න හදනවා...
දැං මක්කා කොරන්නද...
ඒ අස්සේ කික් කොරන්න ගිහින් අර රටක් වටින කුංෆු ෂූෂ් අහසේ පාවෙනවා..
කොහොම හරි පැයක් විතර දගලලා අන්තිමට අපි ජුංට බත් ටිකක් එහෙම ගිල්ලෙවුවා...
ඊට පස්සේනං තත්වය ටිකක් විතර සමනය උනා...
අන්තිමේ රෑ දොළහ විතර වෙලා අපි විසි උනා..ඒත් ජුංට ගෙදර යන්න බැරි මට්ටමේ හිටිය හින්දා මගුල් ගෙදරම ඉස්සරහා කාමරයක බුදි කොරෝලා අපි ගියා...
කතාව එතනින් ඉවරයි...
අප්පද බොල..පහුවදා උදේ අටට විතර මාත් නැගිටලා මුණ කට හෝදගෙන මගුල් ගෙවල් පැත්තට ගියා අස්පස් කොරන වැඩ ටික කරලා දාන්ට හිතාගෙන...
මම පාර දිහාවට යන කොට මෙන්න බොලේ පාර මැද්දේ එක කෙළියයි...
මිනිස්සු වට වෙලා හිනා වෙවී සීන් එක බලනවා...
අයියම්මා දුම්මල වරම අතට ගත්තා වගේ හීන් කොටුවක් අරගෙන පාර පුරා එළෝ එළෝ ජුං පස්සේ පන්නනවා..
ජුං විලාප තිය තියා දුවනවා...
"අනේ අයියම්මේ ආයේ බොන්නේ නැතෝ...
ගහන්න එපෝ"...අහං ඉද්දිත් අපට ඇඩෙනවා..හැබැයි ඇඩෙන ගමන්ම බකස් ගාලා හිනා යනවා...
හොඳම සීන් එක තමයි...
අර ඇඳන් හිටිය කලිසමට උඩින් පොඩි වෙලා මඩ නෑවිච්ච කමිසෙත් ඇඳගෙන දුවන ජුංගේ අතේ අර කුංෆු ෂූෂ් කුට්ටම...ඒකත් බරට බරේ...පස්සෙයි දන්නේ මේකා එදා රෑ අර ඇඳේ ඉන්න ගමන් සපත්තු දෙක පිරෙන්නම කබරයා දාලා...
රෑ තිස්සේ ජුං ගෙදර ඇවිත් නැහැ කියලා දැන ගත්ත අයියම්මා මාරවේශයෙන් ඇවිත් එල්ල කරපු ක්ෂණික විහිදුම් බලකා ප්‍රහාරයට ලක් වෙච්ච ජුං අර සපත්තු දෙක ගසා ගන්නවත් විදියක් නැතිව කබරයා පාර පිරිච්ච සපත්තු දෙකත් අතේ අරගෙනම පාර දිගේ දුවනවා දිව්වට මොකද ඒ තරං දුර දුවන්න මෑන්ස්ට පණ නැහැ...
ඒ හින්දා ටිකක් දුවනවා නවතිනවා..ආයෙත් පස්ස පැත්තට කෝටු පාර වදිද්දී අර කබරයා පාර සපත්තුවලින් හල හලා දුවනවා...
ඔන්න ඔහොමයි වැඩේ ඉවර උනේ...
හැබැයි ඊට පස්සේ නං ජුං අනුමත වෙන එක නැවැත්තුවේ නැහැ...
ඉඳලා හිටලා අනුමත උනා..
හැබැයි...
මිනිහා ඊට පස්සේ අපි ඉන්න අහළට එනකොට අපි නහය වහගෙන
"අම්මේ බං ගඳ" කියලා කියන හින්දම කුංෆු ෂූෂ් පාවිච්චිය නං සදහටම අත ඇරලා දැම්මා ඕං...