17 January 2011

හිමේ නැග්ම 2 සහ මාරයාගේ පිරිත් කතා...

ඔයින් මෙයින් මම පිළි වෙලකට හිමේ නැග්ගේ මහණ වෙන්න කළින් අවුරුද්දේ තමයි...
ඒ දවස්වල මම පන්සලේ ගිහියෙක් හැටියට හිටිය කාලේ නෙව...
අපේ පන්සල පිහිටි ප්‍රදේශයේ පිහිටි පන්සලක හිටිය හාමුදුරු කෙනෙක් වර්ෂයකට වතාවක් සිරීපාදේ පිරිතක් ලෑස්ති කරනවා..දෙසැම්බර් 31 වෙනිදා තමයි දවස...

ඉතිං ඒ හාමුදුරු ගොල්ලත් එක්ක වන්දනාවේ යන්න මටත් හම්බු උනා...
හාමුදුරු ගොල්ලට ඇප උපස්ථාන කොරගෙන වැඳ පුදාගෙන බොහෝම හොඳින් වන්දනාව කොරගෙන ආවයි කියමුකෝ...

ඔන්න ඊට පස්සේ තමයි වැදගත්ම වන්දනා සමය ආවේ..
එතකොට ඉතිං මම මහණ වෙලා...

ආයෙමත් අර වාර්ෂික පිරිත...ඉතිං පිරිත් දේශකයාණන් වහන්සේ නමක් හැටියටත් තුන් පාරක්ම හිමේ නැග්ග හින්දා
දැන් මටත් බය නැතිව ඊ ළග මුරේ පද්මේ වඳින්න ගියොත් අර ඝණ්ඨාරේ ලෝභ නැතිව හත් පාරක් නාද කොරන්න ඇහැකි...

ඔය පිරිත් දෙසුමට ගිය මුල වංගියේනං මං ටිකක් සූදානං ශරීරෙන් ගියේ වැඩි පුර සිවුරක්..විශේෂයෙන්ම දෙපට සිවුරක් එහෙමත් අරං ගියා..මොකද ගිහියා කාලේ වගේ සAවීටර්..ජැකට් දාගෙන යන්නයෑ...

සිව්රු පෙරවද්දී ඩංස මකස වාතාතප සිරිංසප සම්පස්සානං පටිඝාතාය..කියලා ප්‍රත්‍යවේක්ෂා කොලාට කවද්ද ඉතිං සීතල සිව්රෙන් මුවා කොරන්ට සිද්ධ උනේ..මේ පළවෙනි වතාව නෙව..

කොහොමටත් මකර තොරණ ළග තියෙන පන්සලෙත් ඒ දවස්වල වැඩ හිටියේ අපේ බොහෝම හිතවත් හාමුදුරුනමක්.
ඉතිං උන්වහන්සේගේ ආගන්තුක සත්කාරත් විඳගෙනම අපි නඩේම නැග්ගා හිමේ...

අපි ඔක්කෝම හාමුදුරුවරු දහ නමයි...තව මේ වැඩේට අත හිත දෙන කොළඹ බෞද්ධ කවයක තරුණ කොල්ලෝ කෙල්ලෝ විස්සක් විතර තමයි ඔක්කෝම නඩය..අපරාදේ කියන්න බැහැ උං ටිකනං හරිම හොඳ දරුවෝ ටිකක්..පුදුම කැපවීමක් තියෙන්නේ...
මං හිතන්නේ අදටත් ඔය වැඩේ කෙරෙනවා.අර කොල්ලෝ කෙල්ලෝ ටිකේ උත්සහය හා උනන්දුවත් අපේ හාමුදුරුවන්ගේ කැපවීමත් මත...

ඉතිං සාමාන්‍යයෙන් අපි පිරිතකට දොළොස් නමක් විතර සූදානං කර ගන්නවා...
සුයළුම හාමුදුරුවරු මහ පිරිත කියලා..ඊ ළගට දෙනමක් පොත කියවනවා..ඒ ඒ කියන්නේ දසධම්ම සූත්‍රයේ ඉඳන් ඉසිගිලියට යනකල්...

ඊ ගාවට තවත් දෙනමක් සූත්‍ර දේශනාවට වඩිනවා...ඔය මහා සමය..කසීභාරද්වාජ..ආලවක..එතනින් ගියහම ධම්මචක්ඛප්පවත්තන සූත්‍රය ඇතුළු සූත්‍ර (මට මතක විදියට හයක් වෙන්න ඕන..හතක් කියලත් යටි හිත කියනවා...)
කිහිපයක් තමයි සූත්‍ර දේශනාවට අයත් වන්නේ..ඒත් අපේ අය අතර ඕක ප්‍රසිද්ධ ධම්මචක්කේ කියනවා කියලා තමයි...

ඉතින් ඊට පස්සේ හමාර දේශනාව එහෙමත් නැතිනම් ආටානාටිය සූත්‍රයේ පළමු භාගයට හතර නමකුත්..දෙවන භාගයට හතර නමකුත් වශයෙන් අට නමක් ඕන කරනවා.
දැන් එතකොට ගාන හරිනේ..

පොත කියවන්න දෙනමයි
සූත්‍ර වලට දෙනමයි..
ආටානාටිය පළමු භාගයට හතරනමයි
ද්වීතිය භාගයට හතර නමයි..ඔක්කෝම දොළොස් නමයි...

ඒත් ඉතිං පිරිත්වලට දක්ෂ වැඩිහිටි හිමිවරුනට හිමේ නැගීමේ තියෙන අපහසුතාවයත්..
නගින්න පුළුවන් උනාට පිරිතට හරියන්නේ නැති හයිය හත්තිය තියෙන හිමිවරුන් හිටියත්..
එහෙම පිරිස වැඩි වීම ගමනට බාධාවක් වීම හැර වෙන ප්‍රතිඵලයක් නැති නිසා සීමිත පිරිසක් තමයි ගමනට තෝරා ගන්නේ...

කොහොම හරි මාත් ඉතිං මුලින් මුලින් පොතේ පදිංචි උන හාදයා නෙව..
ඒ කියන්නේ අර මුළින්ම පොත කියවනවා කියන කොටසේ ස්ථීර පදිංචි කාරයෙක් උනා...
ඒ කොටස තමයි පිරිත්වල තියෙන ටිකක් පහසු කොටස..
ඒකෙත් දක්ෂ එක හාමුදුරු කෙනෙක් හිටියත් ඇති අනිත් කෙනාට තියෙන්නේ නිදා ගන්නේ නැතිව අග අල්ලගෙන යන්න තමයි..මාත් ඉතිං මුළිං මුළිං ඔහොම අග අල්ලන්නෙක් බවට පත් උනා...
ඊට කළින් මට ගිහි පිරිත් පිළිබඳව පොඩි පළ පුරුද්දක් තිබුනා උනත් ගිහි පිරිතට වඩා සාංඝික පිරිත බොහෝම රසවත්..
අද වෙන කොට සමාජයේ මොන මොන මතවාද තිබුණා උනත් අදටත් මටනං ඒ දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා...

මොකද මාත් ඉස්සර හිතුවේ කවුරු කිව්වත් පිරිත්නේ කියලා..
ඒත් අද වෙනකොට මං අත්දැකීමෙන් දන්නවා දෙකේ වෙනස...
ඉතිං පොතේ පදිංචිවෙලා ඉඳලා කොහොමින් කොහොම හරි පොතේ මුල කියන්නා හැටියට ටික කාලයකින් පත් වෙන්න ඇහැකි උනාට පස්සේ මං උත්සහ කලේ සූත්‍ර දේශනාවට...

ඒත් ඒක මට හරි ගියේ නැහැ..මොකද ඔය දසධම්ම සූත්‍රයේ වගේම ධම්මචක්කෙත් තියෙනවා බොහෝම සිරු මාරුවට ඇදලා කියන තැන්..හරි හමන් විදියට බින්දුවක් අහුඋනහම සමහර හාමුදුරුවරු අදිනවා ඇදිලිලක් මට තුන් පාරක් හුස්ම අල්ලලත් බැහැ අර හාමුදුරුවෝ එක හුස්මට අදින ඇදිල්ලේ භාගයක්වත් අදින්න.
ඉතිං මම එතනින් ටිකක් බැහැර උනා..

ඇත්තටම පිරිතක හොඳම හරිය තමයි සූත්‍ර දේශනාව..ඒක් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..මගේ පස් අවුරුදු මහණ ජීවිතේටම මට හමුවෙලා තියෙන්නෙත් අතේ ඇගිළි ගාණටත් වඩා අඩුවෙන් තමයි සූත්‍ර දේශනාවට දක්ෂ හාමුදුරුවරු.

හැබැයි ඉතිං සූත්‍ර දේශනාවට දක්ෂ හාමුදුරුවරුන්ට පුදුම ඉල්ලූමක් තියෙන්නේ පන්සල් වලින්..හැතැම්ම විස්ස තිහ උනත් දුර ඉන්න හාමුදුරු කෙනෙකුට බේරිලා ඉන්න නැහැ..හැමදාමත් වගේ කොහේ හරි පිරිතක් යෙදෙනවමයි..
එක පැත්තකින් හොඳ වගේම තමයි..කවදාවත්ම හරි හමන් නින්දක් නැති වෙන වැඩක් ඒක...

සාමාන්‍යයෙන් පිරිතක පිරිත පුරන්නෙත් ඔය සූත්‍ර දේශනාවට දක්ෂ හාමුදුරුවරු දෙන්නම තමයි...
පුරනවා කියන්නේ අර ජයමංගල ගාථා එහෙම කියලා මහ පිරිතට කළින් ඉඳලාම මුල අල්ලන එකට නෙව...
ඉතිං පිරිත් කාණ්ඩෙ ඉන්න හොඳම හාමුදුරුවෝ තනිවම වාගේ එක පැත්තකටත් අනිත් හැමෝම අනිත් පැත්තටත් හැටියට තමයි පිරිත පිරීම වෙන්නේ...

හා දැන් අපි යමු සූත්‍ර වලින් පස්සේ එන කොටස..ඒ කියන්නේ මාරයා උන්නාන්සේ පස්සෙන් පහු කාලේ ස්ථීර පදිංචියට ගිය හරියට..

ඒ කියන්නේ ආටානාටිය සූත්‍ර දේශනාවට...

ඔය ආටා නාටිය සූත්‍රය බණවර දෙකකින් යුක්තයි...ධම්මචක්කේ ගාවට තියෙන හොඳම හරිය තමයි ඒක..
ඕකෙත් මුළින් මුළින් අග අල්ලන්නෙක් විදියට කටයුතු කොරලා..පස්සෙන් පහු මුල් පෙළත් නියෝජනය කොරන්ට ඇහැකි උනා කියමුකෝ...ඉතිං සාමාන්‍යයෙන් පළමු බණවර හතර නමක් විසින් දෙන්නා දෙන්නා වශයෙන් ඛෙදිලා කියනවා..දෙවන බණවරත් එහෙමයි..ඔය දෙවන බණවරට අහුවෙන හතර නමම තමයි අවසානෙට පිරිත හමාර කොරළා සෙත් පිරිත් එහෙම කියලා පිරිත් හුය අකුලලා පිරිත් පැන් ඛෙදලා..පිරිත් නූල් ගැට ගහන්නත් ඕන...

පිරිතේ මොන කොටසට නැතත් මුල කාලේ ඉඳලම මාරයා උන්නාන්සේට ඔය සෙත් පිරිතටයි අවසන් කටයුතු හමාර කොරන එකටයි සෑහෙන ඉල්ලූමක් තිබ්බා..ආයේ ඉතිං වෙන එකක් හින්දා නෙවෙයි..

අර එකම ගාථාව නොනවත්වාම කියවා කියවා පිරිත් පැන් ඛෙදන්ටයි..නූල් ගැට ගහන්ටයි බොහෝම වේගෙන් පිරිත් නූල් පන්දුව අවශ්‍ය ප්‍රමාණයට කැඩීමේ ඇති හැකියාවයි හේතු කොටගෙන තමයි...

ඉතිං කොහොම හරි මේ කියන කාලේ මම පොතේ ගුරා වෙලා හිටිය කාලේ...
ඒ කියන්නේ පොත කියවීමේ අවධියේ තමා...

ඉතිං ඒ උනාට මෙදා වංගියේ ගියේ දහ නමයි නෙව..ඒ හින්දා දෙනමක අඩුවක් තිබුණා නෙව..
දැන් ඉතිං ඒකට පිළියම තමයි අර කළින් කියපු කට්ටියෙන් නැවත වතාවක් දෙනමක් මණ්ඩප්පෙට වඩමවන එක...
ආයේ ඉතිං කියන්න ඕන නැහැනේ..ජූනියර් මෑන්ලට කොහොමත් බකට් එක සෙට් වෙන වග...

ඉතිං දෙයියනේ කියලා පොතේ ගුරු වගේම.. අවසාන හමාර සහ සෙත් පිරිතට මම නැවතත් මණ්ඩපයට නියම වෙලා හිටියේ..දැන් මෙහෙම කිව්වට ඒ දවස්වල මම පැනලා යන්නේ..මොකද අතර මැදදී මහණ උන අපි වගේ අයට බණ දහම්..පිරිත් ආදිය පුහුණු වෙන්ට වැඩි කාලයක් නැති හින්දා නිරන්තර පුහුණුව බොහෝම වැදගත්..ඉතිං වෙලට බැහැලා ඉන්ටම එපැයි ගොයමේ හැටි දැන ගන්ට..මාත් අරින්නේ නැහැ...ඕනම එකකට නැහැ බැහැ නොකියා යනවා..අන්තිමට ඉතිං අවුරුද්දක් ඇතුළත සියළුම අංශ ආවරණය කරගනිමින් පන්සල කරගෙන යන්න හැකියාව ලැබුණේ ඒ පැන පැන දීම හින්දම තමයි.

ඉතිං කොහොම හරි ගමන යනකොටම මට වැඩේ බාර දීලා තිබුනේ...මාර උන්න්න්සේ පොත හමාර කොරලා..ආයෙම වංගියක් දෙවෙනි හමාරටයි සෙත් පිරිතටයි වඩින්ට ඕන කියලා...

ඉතිං මං මුළින්ම කිව්වා නෙව මං ගියේ සීතලට සූදානං සරීරෙන් කියලා...

ඉතිං මං මොකදෑ කොලේ සාමාන්‍යයෙන් අඳින සිවුර පැත්තකින් තියලා පෙරවා ගත්තා නෙව අර මං ඇන්න ගිය දෙපට සිවුර...

ආ තව එකක් කියන්ට එපැයි මං ඉතිං මහණ වෙලා හිටියේ සියම් නිකායේ නෙව..ඔය සියම් නිකායේ හාමුදුරු ගොල්ල බොහෝම අඩුවෙන් තමයි දෙවුර පොරවලා අඳින්නේ...අමරපුර රාමඥ්ඥ නිකායවල හාමුදුරුවරු තනි උරෙ වැහෙන්න සිවුර පොරවනවා අඩුයි..ඉතිං මටත් මටත් මුල් කාලේ ඔය දෙවුර පෙරවිල්ල ඒ තරං හුරු නැහැ...ඒත් යන්තං මගේ යාළු හාමුදුරු කෙනෙකු ලවා ඉගෙන ගත්තා ඒකත්...ඒ උන්නාන්සේ සියම් නිකායේ නෙවෙයි..ඒත් පස්සේ නැවතිලා හිටියේ සියම් නිකායක පන්සලක..මං මහණ වෙන්න කළින් ඉඳලම අපි දෙන්නා බොහෝම හිතවත්...

ඉතිං කෝකටත් කියලා මං අර දෙපට සිවුර දෙවුර පොරවලාම ගියා මණ්ඩප්පයට...

හරි දැන් ඉතිං වැඩේ යනවා ලතාවකට...
පිරිතත් පුරලා හමාර වෙන්ට එනවා...
මට දැන් ටික ටික තේරෙනවා උෂණත්වයේ වෙනසක්...
මණ්ඩපය ඇතුළ මම හිතුව තරංම සීතල නැහැ නෙව බොලේ...
හප්පච්චියේ ටික වෙලාවක් යනකොට දානවා නේද දාඩිය පොල්ලක්..මට නේද..දැන් උතුර දකුණත් නැහැ...

මට විතරක් නෙවෙයි අනිත් අයටත් එහෙමයි..ඒ අය දෙවුර පොරවලා නැති උනාට සිවුරු දෙක දෙක පොරවාගෙන ඇවිත් හිටියේ...
මොනවා කියලා කොරන්ටද..?
ටික වෙලාවක් යනකොට සීත ගගුල ඇගට උඩින් හැරෙව්වා වගේ දාඩිය දානවා...කාලා වරෙංකෝ දැන්...
මහ පිරිත ඉවර වෙන්ටත් තව වෙලාව තියෙනවා..කොහොම හරි මහ පිරිත ඉවර වෙනකල් අල්ලන් හිටියත්..ආයෙමත් පොත කියවන්ටත් වෙන්නේ මටම නෙව..

ආයේ ඉතිං මක්කා කොරන්ටද යාන්තං මහ පිරිත අහවර වෙනකල් ඉඳලා අනිත් හාමුදුරුවරු නැගිටලා යන කොට යුගාසනේට නගින ගමන්ම එක උරයකින් සිවුර පන්නලා ඇඳගත්තා දඩි බිඩි ගාලා...
අන්තිමට තනි උරේට සිවුර පොරවලා උනත් දෙපට සිවුරේ තරම මට තේරුනේ තවත් පැයක් විතර ඉඳලා පොත හමාර කොරද්දී තමයි...

ඒකත් එහෙමයි කියමුකෝ...

අන්තිමට පොත කියවලා හමාර වෙලා රෑ දොළහට විතර ගෙහුන් ආයෙමත් හමාර දේශනාවට පාන්දර හතරට ආවා මණ්ඩපයට...

හැබැයි අර දෙපට සිවුර නවලා තියලා තනි පට සිවුරත් තනි උරයට පෙරවගෙන තමයි...
දැන් ඉතිං ඔක්කෝම හරිනේ...

මොන පිස්සුද...
ටොපිය කෑවේ එතනදී තමයි කියමුකෝ...

මුලින් අච්චර රස්නයක් දැනුනත්..ආවාසේ ඇතුලේ රස්නේ හින්දා හීතල ඒතරම්ම දැනුනේ නැතත්..අන්තිමට පාන්දර වෙන කොට මණ්ඩපේ ඇතුළ පට්ට හීතලයි නෙව...දෙවුර පොරවලා ඉද්දී පටස් ගාලා තනි උරේට සිවුර සකස් කර ගන්න ඇහැකි උනාට තනි උරේට පොරවලා ඉඳලා දෙවුර පොරවන්ට මක් කොරලවත් බැහැ නෙව..ඒක වෙනම කෝස් එකක්.

මොනවා කොරන්නද..කොරපු මෝඩකං දෙන්නට සරියේ..මෙහෙම මොඩකං නොකරං මරියේ කියලා හිතාගෙන...
ගැහි ගැහි පිරිත හමාර කොලා...මිසක්...

ඔන්න හිමේ පිරිත් කියන්ට ගෙහුං මං අත්විඳපු ගැහැටක තරම...

හැබැයි ඉතිං තවත් දෙවංගියක් මං ගෑටුවා ඔය පිරිත දෙසන්ට හිමගිර මුදුනට..එහ්නං...

30 comments:

  1. ලැජ්ජවෙන් උනත් කියන්න ඕනි තවම සිරිපා ගොහින් නැහ නොවැ මම.

    ඒක නෙමෙයි අර රෝස කරත්තෙ ගැන ලියල නැහ නොවැ.

    ReplyDelete
  2. ඉස්සෙල්ල පෝස්ට් එකට කොමෙන්ට් එක දාල හැරෙනකොට මෙන්න තවත් එකක්.

    මාරයා විසින් මාර පිරිත් දේසනාවක්නෙ කොරල තියෙන්නේ.
    ඉතුරු ටිකත් කියමු.

    ReplyDelete
  3. සංසාරගත පිනක් නොවැ මාර හාංදුරුවනේ....

    ReplyDelete
  4. ඇත්ත බන් මටත් ඔය ගිහි පිරිත් අල්ලන්නෙ නෑ නොවැ. හා හා ඉක්මොනට ලියමු ඉතුරු ටිකත්. නියම මාරයෙක නේ.
    පලි.
    චිහ් මන් හිතුවෙ රෝස කරත්තෙ ගැන ලියලා ඇති කියලා..... :)

    ReplyDelete
  5. මමත් සිරීපාදේ ගිහින් නෑනේ :(

    ReplyDelete
  6. මාර අයියා ඒ පාර මාර ලිවිල්ලක් ලියනවනේ... එළ එළ නියමයි

    ReplyDelete
  7. විස්තරේ කියාදුන්නාට බොහොම පිං මළයෝ...
    කාගෙන් අහගන්ටද අප්පේ ආයේ මෙව්වා...
    දන්නැති දෙයක් ගැන ප්‍රස්නයක් වත් අහන්ට බෑ නෙව...
    දැං එහෙනම් ඕං පිරිත් පිංකමේ සුවාමීන් වහන්සේලාගේ වැඩ කටයුතු කෙරෙන හැටි ගැනත් යංතං අවබෝධයක් ලැබුණි...

    ReplyDelete
  8. මෙව්වයෙ හැටි සුබාවෙ හාංකවිසියක් නොදන්නා කොට පැත්තකට වෙලා එකත්පස්ව වැඳගෙන අහං ඉන්න එක තමයි තියෙන්නෙ, ස්තූතියි මලේ නොදන්නම දෙයක් කියා දුන්නට,

    ReplyDelete
  9. මමත් ගිහින් නෑ නොවැ :(((((((((

    අද මාර අයියා මාර ලිවිල්ලක් නොවැ ලියලා තියෙන්නේ

    ReplyDelete
  10. ෂ!තව කීප දෙනෙක්ම කියල තිබුන වගෙ නොදැන සිටි කරුන රැසක් ඉගෙනගත්ත අද.මාර හාමුදුරුවන්ට පිංසිදු වේවා!!!

    ReplyDelete
  11. අලුත් දේවල් ටිකක් ඉගෙන ගත්තා, බොහොම පිං....

    දැන් මේ වෙන වෙන කතා කියල වටේ යැව්ව ඇති, කියහන් බලන්න අර හිනා වෙච්ච ලමයගෙයි උඹෙයි 'ආසයි බයයි' කතන්දරේ අලුත්ම තත්වය...?

    ReplyDelete
  12. මටත් ඉතිං (බෞද්ධ නොවුණත්) දෙවතාවක් විතර සිරිපා කරුණා කොර ගන්න ලැබුණා නොවැ.. හැබැයි ඒ දෙවතාවම අමතක නොවන දවස්. පළවෙනි පාර දවල් නැඟලා රෑ වෙලා බැස්සා. ඒ වතා‍වේ පොඩි දරුවෝ දෙන්නෙක්ව අත් දෙකින් ඇදගෙන තමයි ගියේ.
    ඊලඟ වතාවේ නඩේ හිටපු අසනීප අම්මා කෙනෙක්වයි ආච්චි කෙනෙක්වයි අත් දෙකින් ඇදගෙන කරුණා කෙරුවා. ඒ ගමන නම් රෑ නැඟලා උදේ වරුවේ බැස්සා.
    හොඳම වැඩේ තමයි බැස්සට පස්සේ නඩේ මඟ ඇරුණු කෙනෙක්ව හොයන්ඩ පැය එකහමාරක් ආයෙම සිරිපාදේ මඟක් යනකල් එක හුස්මට උඩට දුවපු එක. ඒ කාලේ නං (දැනට අවුරුදු 9 කට කලින්) එක බිංදුවක්වත් හති වැටුණේ නැහැ නොවැ....
    ඒකටත් එක්ක දැන් නං මීටර් 100 ක් දුවගන්නෙත් බොහොම අමාරුවෙන්...
    හික් හික්...

    ReplyDelete
  13. තිසා කිව්ව වගේ උඹට පිං මේවා අපිට කියල දෙනවට. නොදන්න ගොඩක් දෙයක් ඉගෙන ගත්තා. හැබැයි උඹ තුමා කන්ද උඩදි කෑවෙ (සමාවෙන්න වැලඳුවේ ) මොනාද කියලා ලියපු නැති එකනම් අඩුවක් වගේ දැනුනා.

    ඔය සිරීපාදේ හාස්කම් තියෙනවාය කියන කතාවෙ ඇත්තක් තියෙනවාද අපේ හාමුදුරුවනේ (සමාවෙන්න මාරයෝ) ?

    ඒ වාගේම ඔය අටානාටිය කියවන කොට වෙනවා කියන අද්භූත සිද්දි එහෙම ඔබ වහන්සේ ( සමාවෙයන් උඹ ) අත්දැකලා තියෙනවද ?

    මම නම එක පාරයි සිරීපාදේ නැගල තියෙන්නෙ. ඒපාර අපේ ගම හාමිනේවත් කරේ තියාගෙන වගේ තමයි නැග්ගෙ. ඒ ඉතින් අපි ඔය පිළිවෙලක් කාරිය වෙන්න සෑහෙන්න කාලෙකට කලින්. නගිනවට වඩා බහින එක තමයි ගේම. දනහිස් ආයේ මැණ්ඩලින් ගහනවා වගේ තමයි වෙව්ලන්නෙ. අනික ඒකෙ තියෙන්නෙ පඩි, සාමාන්‍ය පඩියක් වගේ තුන් හතර ගුණයක් උසයිනේ.

    ReplyDelete
  14. මම නම් අහලා තියෙන්නේ අටානාටිය කියවන කොට යක්කු, හොල්මන්, අවතාර එහෙම දුවනවා කියලයි. ඒ කතාව ඇත්ත නං මාරයා ඔතන හිටියේ කොහොමද...?

    ReplyDelete
  15. පිරිතේ සැඟවුණු කතා ගොඩාක් තියෙනවා වගේ. සතුටුයි දැනගත්තු එක ගැන.........

    ReplyDelete
  16. මොකක්ද අප්පා, ඔය ගිහි පිරිතෙයි, හාමුදුරු පිරිතෙයි, තියන වෙනස? පහදල දෙන්නකො ඒකත්.

    ReplyDelete
  17. මාරයාට පිO, දැනුවත් කොලාට......

    සිරීපාද අඩවියේ හාස්කම් ගැන මමත් අහල තියෙනව...ඒවා හැබෑද බොල...

    සඟ පිරිතෙයි/ගිහි පිරිතෙයි වෙනස පැහැදිලි කොරහන්කො....

    මම සිරිපාදේ කරුණා කොලේ නල්ලතන්නියෙන් නැගලා එරත්නෙන් බැස්සා.

    ReplyDelete
  18. ජිවිතේට එකපාරක් හරි සිරිපාදෙ ගිහින් තියෙන්න ඔනි කියලා මම හිතන්නේ.යන හැම වතාවකම ලැබෙන අත්දැකීම් එකිනෙකට වෙනස්.මං දොලොස් වතාවක් ගිහින් තියෙනවා.ඒ හැම පාරකම මොනවාහරි අමතක නොවෙන අත්දැකීමක් ලැබුනා.....

    ReplyDelete
  19. @පිස්සා...
    ලැජ්ජා නැති වෙන්ටත් එක්ක මෙ පාර ආවම යමං කරුණා කොරලා එන්ට..

    @ප්‍රසන්න...
    කාගේද ඉතිං ප්‍රාර්ථනාව..

    @අභීත...

    බොලා මයෙ හංදුරුකං අරී වගේ..?

    @නිශ්...
    රෝස කරත්තේ ගැනනං ලියන්ට වටිනවා..ඒත් අර සංජීවනී ගැන ලිව්ව එකේ අනික වෙනවා..මොනවා කොරන්ටද..?

    @ගලායන ජීවිතේ...
    හුම් හුම්..මෙ කරුණා කොරන සමෙ..නගිමු බලංට..

    @අකීකරු හත...
    ඒකනේ අයියාට මාරයා කියන්නේ නගේ..

    @තිස්ස අයියා...
    බොලා ගොඩිගොමුව පැත්තේ පිරිතක් කියවන කාලෙක මතක් කොරහංකෝ ටිකක් වෙලපහිං..ඇවිත් ඉතිරි කාරණාත් කියලා දෙන්ට සහසුද්දෙන්ම...

    @රවී...
    අයියත් ලෑස්ති වෙන්ටකෝ ලබන සැරේ ගොඩිගමුවෙ පිරිත් පිංකං පොලේ ගාටන්ට..

    @පූසා...
    කාගේ හරි අග්ගලා මල්ලකටවත් ගොඩ වෙලා හරි ගෙහුං වර..අතේ පයේ හයිය හත්තිය තියෙන කාලේ..

    ReplyDelete
  20. @ඔබ්සවර්...
    දැන් ඉතිං ඒ ගරු නං නැහැ නෙව..
    මාරයා (තුමා)

    @දිනිත්...
    එව්වත් කියලා ඇති ඔන්න ඉස්සරහ...

    @ජීව්...
    අපි උනත් එහෙම තමයි බං..මගේ දකුණු කකුලේ පොඩි අවුලක් තියෙනවා එයාර්ෆෝස් ට්රෙනින් එකේදීඅඩි දහයක් විතර උඩින් ගල් පොත්තක් උඩට වැටිලා...ඒ හින්දා මං දකුණු කකුලට බර නොදී තමයි නගින්නේ බහින්නේ..ඒත් අන්තිමට වම් කකුලට අමාරු වෙනවා ඒකටම බර දීලා ගිහිල්ලා...
    ඉතිං හැමදාමත් හිතං එන්නේ ඔය ගියා ඇති ආයේ නොයමි කියලා..කොහේද..ආයෙමත් යන්න හිතෙනවනේ..?

    ReplyDelete
  21. @දුමී...
    දැන් බලහං දුමියෝ උඹටම තේරෙනවනේ කෑම බීම ගැන නැති උනහම ලිපියේ නිකං රහ නැහැ කියලා..කොහේද බොලාට ඔවා තේරෙන්නේ නැහැ...

    හාස්කම් ගැනනං මම කියන්න දන්නේ නැහැ බං..ඔය වගේ කතාවල වැඩි හරියක් තියෙන්නේ තාර බර...

    ආටානාටිය කියද්දී නෙවෙයි බං මහ පිරිතට ඛෙර ගහද්දිනං ඔය ඔන තරං ගෑනු පරල වෙන්නේ..
    ඒවත් වැඩි හරියක් ඉතිං මානසික රෝග තමා..
    ඒ ඇරෙන්න වෙන මහා වෙනසක් හෝ අමුත්තක් නං මම දැකලා නැහැ..සමහරු ඉතිං ඔවාට ටිකක් අතිං දාලා දෙනවා ඇස්ට් හැලෙන්ට...

    උඹලත් ඉතිං ගම හාමිනේලාව ඒ දවස්වල කරේ නෙවෙයි ඔළුවෙ හරි තියං යයි..දැන්..?

    ReplyDelete
  22. ජීව්...

    යකෝ මාරයා කියන්නේ යකෙක් පෙරෙතයෙක් නෙවෙයි..දෙවියෙක්..හරිය..?

    ReplyDelete
  23. හසිත...
    මල්ලියා ඉතිං පන්සල් වලට හිත ඇති එකා නෙව..මතක් වෙන වෙන වෙලාවට තව දන්න කියන දේවල් කියා දෙන්නංකෝ...

    ReplyDelete
  24. කලිකාල...
    වෙනස ප්‍රධානව තියෙන්නේ උච්ඡාරණයේ...
    ඊට අමතරව වෙනත් වෙනස් කං කීපයක් තියෙනවා..ඉන්නකෝ පස්සේ වෙලාවක පෝස්ට් එකක්ම දාන්න.

    ReplyDelete
  25. හීනියට...
    හාස්කං ගැනනං මම දන්නේ නැහැ මල්ලියේ..

    පිරිත්වල වෙනස්කං ගැනයි තව කරුණු කාරණා කිහිපයකුයි ගැන මම ලිපියක්ම දාන්නයි හිතං ඉන්නේ..

    නියම ගමනක්නේ බොලා ගිහින් තියෙන්නේ...එහ්නං..

    ReplyDelete
  26. රංදික...
    බොහෝම සංතෝෂයි..දැන් එහෙනං නඩෙ ගුරෙක් වෙන්නත් සුදුස්සෙක් නෙව...

    ReplyDelete
  27. මාරයාගේ ලිපි සෙට් එකම අදනේ දැක්කේ 5ක්ම කියෝගන යනවා,,මමත් ඔන්න සිරිපාදේ ගිහින් නෑ නොවෑ,,,වචනත් තේරුනේ නෑ වැඩිය...

    ReplyDelete
  28. @මාරයෝ,
    උඹේ පිරිත ගැන කතාව අහලා මටත් කට කහන කතාවක් මතක් වෙලා මම ඒක නෝට් කරගෙන හිටියේ. අර උඹ කිව්ව වගේ මහ පිරිතෙදි මහ රෑ බෙර ගද්දි වෙච්චි වැඩක්. උඹත් හරියටම ඉලක්කෙටම විද්ද වගේ (නැතිනම් අර දුකාගේ ටෙලි පතිද මොකක්ද එක වගේ ) කමෙන්ට් එකටත් ඒකම දාල තියෙනවා.

    ReplyDelete
  29. ItalyDilan'...

    සමා වෙන්ට ඔන..සගිස්කුරුත වල වෙනස තමා ඉතිං..
    බලමුකෝ ඉස්සරහට මීට වඩා ටිකක් ලිහිල්ව ලියන්ට ඇහැක් වෙයිදැ කියලා..

    ReplyDelete
  30. දුමී ...

    අන්න ඒකනේ කියන්නේ..
    බොලාගේ කට කස්සවන්න අපිට තියෙන අමාරුවක්..

    ReplyDelete