25 January 2011

බස් පළුවන්ගේ කතාව 2...

ඔන්න ඉතිං කළිං කිව්වැහේ..අපේ තාත්තත් හා හා පුරා කියලා බස් පළුවෙක් එහෙමත් නැතිනං කොන්දොස්තර උන්නැහේ කෙනක් උනා කියමුකෝ...
ඉතිං මං මේ කියන කාලේ ලංකා ගමනා ගමන මණ්ඩලය..එහෙමත් නැත්තං අපි කෙටි කරලා කියන ලංගම ය ඒ කියන්නේ සීටීබී නොහොත් සිලොන් ටකරං බස් සේවය ස්ථාපිත කොරලා තිබුනේ නැහැ.

ලංකාවේ හිටිය බොහෝම වත් පොහොසත් කං ඇති මුදලාලිලා කිහිප දෙනෙක් අත තිබුනු ව්‍යාපාරයක් හැටියට තමයි මෙ බස් කරුමාන්තේ පැවතුනේ..

ඉතිං ඔය යුගය ගැන බොහෝම රස කතන්දර වරින් වර අපේ තාත්තා අපිත් එක්ක කියලා තිබුණත් ඒ එකක්වත් හරියටම විස්තර ඇතිව කියන්න තරං මතකයක් මෙ වයසක මංතුමාට දැන් අඩුයි නෙව..

කොහොම උනත් බස් සේවය මුදලාලිලාට සහ ගෝල බාලයින්ට ඕන හැටියට විනා මගීන්ට ඒ හැටි සලකාපු යුගයක් නොවන වගනං ඔය කියුං වලින් අපේ පුංචි ඔළු ගෙඩිවලට වැටිලා තිබුණා කිව්වොත් ඒක නිවැරදියි..

ඔය සමහරු කියනවා ඔයාලා උනත් අහලා ඇති..කවුරු හරි බස් එකේ යන්න ඕන මනුස්සයෙක් බාබර් සාප්පුවෙ කොණ්ඩෙ හරි රැවුල හරි කප කප හිටියොත් අර මනුස්සයා එනකල් උනත් බස් එක නවත්තාගෙන ඉන්න යුගයක් කියලා..ඒ කොණ්ඩෙ කපන මනුස්සයගේ පැත්තෙන් ගත්තොත්නං වැඩේ හොඳා තමා..ඒත් ඉතිං අර බස් එකට වෙලා ලගා ගහං බලං ඉන්ට ඕන ඇත්තන්ගේ තත්වය ගැන මං අමුතුවෙන් කියන්ට ඕන නැහැනේ..

අද වාගේ කාලෙකනං කොහොමට හිටීද..?

ඉතිං අපේ පියාණෝත් ඔන්න ඔය වගේ තමුන්ගේ රස්සාවත් කොරගෙන පවුලේ උදවියටත් සලකාගෙන..බොහෝම දුක සේ කාලය ගත වෙන කොට තමයි..අපි කවුරුත් අහලා තියෙන 56 යුග පෙරළිය ඇති වෙන්නේ...

.....................................

80 දශකයේ අග භාගයේ වගේ දවසක් අපේ තාත්තා හොඳට ඇඳපැළඳගෙන උදැහැනැක්කෙම කොහේදෝ පිටත් වෙලා ගියා මට මතකයි..අපේ ඉතිං අම්මත් ඒ වෙන කොට රට ගිහිල්ලා හිටිය හින්දා..ඔය ළගපාත අපි නිතර ගැවසෙන ගෙදරකට වෙලා උන්නා උන්දෑ එනකල්...
හවස් ජාමේ වෙනකොට මෙන්න තාත්තණ්ඩි එනවා අඩි දෙකක් විතර පළල..අඩි තුනක් විතර උස අගලක විතර ඝනකම ඇති මොකක්දෝ එකක් පාර්සල් කරගෙන..බොහෝම සද්ධාවෙන්..
හරියට නිකං මාළිගාවේ කරඩුව ගෙනියන ඇතා සේ..බොහෝම උජාරුවට උන්දෑ ආපු ඒමට අපිට තේරුනා මොකක් නමුත් වටිනා කියන දෙයක් තමයි මේ කියලා..

ඇත්තටම ඉතිං ඒ සන්ධියේද අපිට වටිනාම දේවල් උනේ කන බොන ජාති සහ ඔය අළුත් අළුත් ගැජමැටික්ස් ජාති තමා..

තාත්තා අපිවත් අර හිටිය ගෙදරින් එක්කාසු කොරගෙන ඉක්මන් ගමණින් ගෙදරට ආවා..

අපිත් දැන් හරි ආශාවෙන් බලං ඉන්නවා මේ මොකක්ද කියලා දැන ගන්න..හැබැයි මේකේ හැඩේට අනුව කන්නනං බැරි දෙයක් වග අපි දෙන්නට..ඒ කියන්නේ මටයි මලයණ්ඩිටයි තේරිලා තිබ්බේ..ඒත් ඊට වඩා වටිනා කියන මොනවා හරි දෙයක්නං කියලා අපිත් ඉක්මන් කොරලා ආවා...

තාත්තා කලේ ආපු ගමන්ම ඉක්මනට මිටියකුයි ඇණේකුයි අරගෙන ආව එකයි..
අර ඇණේ ගෙදර බිත්තියේ හොඳට ඉඩ කඩ ඇති තැනක ටිකක් ඉහළට වෙන්න ගහලා කිරලා තමයි තාත්තා අර පාර්සලේ දිග ඇරියේ ඕං...

හොඳට රාමු කොරාපු චිත්‍රයක්...

වටින කියන විදියට පිටුපස පැත්තටත් වැනිස්ට්‍රා බෝඩ් එහෙම දාලා හොඳ වීදුරුවක් එහෙම දාලා රාමු කොරාපු මේ චිත්‍රය තනිකරම පැන්සල විතරක් භාවිත කරලා ඇඳපු එකක්.

ඇත්තටම මම මේ වන තෙක් දැකපු හොඳම චිත්‍රය ඒකද මන්දා...
ඒකේ හිටියේ බණ්ඩාරනායක මහත්තයා...
බොහෝම සියුම්ව අඳුර හා ආලෝකය වෙන් කරගෙන ඇඳලා තියෙන චිත්‍රයේ එක තැනකවත් කිසිම වරදක් කියන්න නැහැ..මම පහු කාලීනව බලද්දී මට පෙනුනේ අර හෙවණැලි එහෙම මතු කරගෙන තිබුණේ පැන්සලෙන් තිත් තිත් තියලා විතරයි...පැන්සල කොහේවත් අතුල්ලලා නැහැ..ඉතාමත් සියුම් තිත්...
යටින් ලියලා තිබුණා එහි නිර්මාණ ශිල්පියාගේ නම..මට මතක හැටියට..අමුණුගම ජයසේන...

මම ඒ චිත්‍රයට ටිකක් හෝ ළගින් යන නිර්මාණ කිහිපයක් මේ දවස්වල දැක්කා අපේ ඉන්ද්‍රනාථ තේනුවර මහත්මාගේ කටු සටහන් අතරින්...

ඉතිං එදා ඉඳලා මේ චිත්‍රය අපේ ගෙදර වැඳුම් පිඳුම් ලබන දෙයක් බවට පත් උනා...

මේ චිත්‍රය බොහෝම පැරණි එකක්...ඒ කියන්නේ 1959 වර්ෂයේ දිහාවේදී අපේ තාත්තයි තවත් මිතුරකුයි හවුලේ ගෙවලා මේක අන්දවගෙන තිබ්බේ..ඒත් රාමු කරන්න අරන් ගිය චිත්‍රය ආයෙමත් තාත්තට ලැබිලා නැහැ අර යාළුවා අරන් ගිහින්..ඒත් ඔහුගේ මරණය හෝ වෙන මොනයම්ම හේතුවක් මත ආයෙමත් 80 දශකයේ අවසාන භාගයේදී තාත්තාට මේක ආපහු ලැබුනා...

ඉතිං එදා ඉඳලා තාත්තාගේ පුදපූජා මැද මේ චිත්‍රය වැජබුනා උනත්...
පහු කාලීනව ඔහුගේ ගෙදරට තිබුණු වගකීමට වඩා දේශපාලනයට තිබුණු කැපවීම මත අපට ඇතිවන කේන්ති පිට කරන්න එකම මාධ්‍ය උනේ ඔය චිත්‍රයම වීමත් ඉතාමත් අභාග්‍ය සම්පන්න සිදුවීමක්...

ඒ පිය පුතු ගැටුම් උගව තිබුණු අවධිය...

මාත් මල්ලීත් පමනක් නොව අම්මාත් එක් පැත්තකින් සිටියදී...තාත්තා තනිවම පෙරමුණක් හදාගෙන අප වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් නහින කොට ඇති උන කේන්තිය පිට කරන්න මේ චිත්‍රය හොඳම මෙවළමක් උනා...

අද ඒ පිළිබඳව කණගාටුවක් ඇතත් ඒ දිනවල අප විඳී මානසික අසහනයන් මත එවැන්නක් නොවූවානම් තත්වය ඊට වඩා දරුණු වීමට වූවද ඉඩ තිබි හෙයින් එසේ හෝ අපගේ කේන්තිය පිට කිරීමට මගක් ලැබීම ඇත්තෙන්ම විශාල සහනයක් බව හිතට එකගව නොකියා බැහැ.

ඇත්තටම ඇයි තාත්තාට තමුන් කියන වචනයකටත් වඩා අර චිත්‍රයට කරන අගෞරවය බර පතළ ලෙස හැගුනේ...

.........................................

නිදහස් රටක් වූවද ඒ නිදහස නිසි ලෙස භුක්ති විඳීමට අවකාශයක් නොවුන තත්වයක් යටතේ...ඉතාමත් අනුකම්පා විරහිත මුදලාලිලාගේ බස් කරුමාන්තයේ සිට එහි වෙහෙස..නින්දා අපහාස දරාගෙන..නිසි වැටුපක් රහිතව...
සේවකයාගේ අවම පහසුකම්වත් නොසැලසෙන මට්ටමේ සිටි බස් පළු ජීවිතය වඩාත් සුවදායී තත්වයකට හැරවූ ඒ යුග වෙනස සිදු කරන්නට මූලික වූ පුද්ගලයාහට දේවත්වයෙන් වැදුම් පිඳුම් කිරීමට තාත්තා සහ ඔහු ඇතුළු සමගාමී සමාජයේ විසූ පීඩිත ජනයා පෙළඹීම මහා පුදුමයක් නොවන්නේ කොම්පැණි යටතේ විඳි දුක දන්නේ ඔව්න්ම පමණක් වන නිසාවෙනි.

ඒ යුගය නිමවා...සියළුම බස් සහ එහි සේවය කරන සේවකයින්ද ඇතුළුව රජයට පවරාගෙන පැවතියාට වඩා විශිෂ්ඪ සේවයක් මෙන්ම...සේවකයාට හිතකර පරිසරයක් සලසා දීම හරහා ඔවූහු සිය දිවි හිමියෙන්ම බණ්ඩාරනායක අගමැතිවරයාට ලෙන්ගතු වූහ...

බණ්ඩාරනායක පාලනය ගැන විවිධ මතිමතාන්දර අද සමාජයේ ඇත..
විශේෂයෙන්ම දෙමළ ඛෙදුම්වාදී ගැටළුව ගැන කතා කරන සෑම විටම ඔහු විත්තිකූඩුවට නංවා කතා කරනු මම ඕනෑ තරම් අසා ඇත..ඒ කතා කෙසේ වෙතත් ඔහු යටතේ සිට ජීවිතය සකස් කරගත්තවුන්ගේ සාදා නොවෙනස් ආදරය කිසි දින ඔවුන්ගේ හෝ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ සිත් සතන් තුළින් මැකිය නොහැක...

...............................................

මෙතැන් පටන් උදා වන්නේ ලංකා ලමනා ගමන මණ්ඩලයට අඳාළ බස් කරුමාන්තය වේ...
මුදල් ඇමති ඇන් ඇම් පෙරේරාගේද සැකැස්මවල් යටතේ ලංගමයේ සිදු වූ මහා වෙනස එතැන් පටන් වරින් වර තාත්තාගේ මුවින් නිකුත් වූ ආකාරය අප අසා සිටියෙමු...

ඒ සියළුම දේ අතරතුර තාත්තා සිය රැකියාව ඉතාමත් හොඳින් තෘප්තිමත්ව ගත කලා යන්න අමුතුවෙන් කිවයුතු නැත...
බස් පළුවාගේ ජීවිතය සතුටින් ගලා යයි...
ඔහුගේ සොහොයුරෝ හොඳින් ඉගෙනුම ලබති...මවට බස් පළුවාගේ සහය හරහා පවුලේ බර සැහැල්ලූ කරගන්නට හැකි වේ...

අධික වගකීම් නිසාම ජීවිතයේ සුන්දර අවදියේදී විවහා වීම මග හැරී ගියද..ඔහු ඒ ගැන ලත වූයෙකු බව මා අසා නැත...
ලංකාව පුරා විවිධ ප්‍රදේශ වල ඩිපෝ රැසක රාජකාරි කරමින් ජීවිතය ගෙවූ ඔහු..ඒ සෑම තැනක් පිළිබඳවමත් ලංකාවේ සෑම පළාතක් පිළිබඳවත් හොඳ අවබෝධයක් ඇතුව සිටියෙකි.

ලංකාවේ ඕනෑම තැනක විස්තරයක් පැවසූවහොත් ඒ තැනට ආසන්න ඕනම පාරක වග විස්තර ඔහු මතකයෙන් කියයි.

විශේෂයෙන්ම මා බස්පළුවකු වූ මුල් අවදියේ දුර සේවා බස් රථ වල සේවයට වැටුනු පසු සමහර මාර්ග වල මුදල් අය කරනා අයුරුවත් සෙක්ෂන් කැඩෙන්නේ කොතැනින්ද යන්නවත් එක්වරම අවබෝධ කරගත නොහුනු කල..රාත්‍රියේ පැමිණ තාත්තාට කිවූ පසුව ඔහු ඒ සෑම මාර්ගයකටම මුදල් ගණනය කර පෙන්වා දෙයි...

මතකයේ ඇති සියළුම මං සලකුණු ගෙන හැර දක්වමින් සෙක්ෂන් කැඩෙන තැන් කියා දෙයි...
කොටින්ම කිවහොත් පුත්තලම හරහා අනුරාධ පුරය දක්වා වැටී ඇති නොම්මර 4 දරන මාර්ගයේ ඇති රැස්ස ගස් වැල් පවා ඔහු මං සලකුණු වශයෙන් පිළිවෙලට මා හට කියා දී ඇත...
පසුවදා වැඩට යන මා ඒ සෑම මංසලකුණක් ඔස්සේම මාගේ කටයුත්ත නිවැරදිව කරගන්නා අතරම තාත්තාගේ මතකය හා අත්දැකීම් පිළිබඳව විස්මයට පත් නොවුනාද නොවේ...

ඔහුට වසර තිහකටත් වඩා කලක මතකය නිවැරදිව අවධි කල හැකි වෙතත් දැන් සිහි කරනා කල්හී මා හට වසර පහලොවකට එහා මා ගෙවූ බස් පළු ජීවිතයේ මතක සටහන්ද නිවැරදිව සිහිපත් කළ නොහේ...

පරම්පරා දෙකක වෙනස හා..ඔවුන්ගේ දුෂ්කර ගමන් මාර්ගය ඔවුන් සවිමත් කර ඇති අයුරු...

30 comments:

  1. තාත්තා ජීවිතය විඳින්න කියලා දීපු අඩි පාරෙම යන නිසා අයියත් අද ජීවත් වෙනවා කියලා දැනෙන්න ජීවත් වෙනවා...... සාරාංශය ඒක මට තේරුන.

    ReplyDelete
  2. හා පැටික්කී...

    ඇත්ත නංගියේ..මොනවා නැතත් මට උන්දෑ ජීවත් වෙන්න ඉගැන්නුවා..මම ඒ දවස්වල ඒ දේ තේරුම් ගත්තේ නැති උනත්..අද මට තේරෙනවා..මම පාඩම අල්ලගෙන කියලා...

    ReplyDelete
  3. "පරම්පරා දෙකක වෙනස හා..ඔවුන්ගේ දුෂ්කර ගමන් මාර්ගය ඔවුන් සවිමත් කර ඇති අයුරු... "

    අපි බොහෝ දෙනෙක්ගෙ ජීවිත කතාවල සාරාංශය එකම පේළියකින්...

    ReplyDelete
  4. චේජනා ...

    එහෙම සාරාංශ කරන එකත් අසාධාරණද මන්දා..?

    ReplyDelete
  5. අනේ මන්දා... ඒත් මට ඒක හිතුණෙ මම ඉපදෙන්නත් ඉස්සෙල්ල ඉඳල අපේ තාත්තගෙ ජීවිතේ ගැන ඔය විදියට කතා කලත් මටත් ඕකම කියන්න වෙයි කියල හිතුන නිසා, ඒ වගෙම ඒ දුෂ්කර ගමන් මාර්ගයෙ නෑවිත් ජීවිතය අපිට දිනල දෙන්න ඒ කැපවීම් දිගටම කළා කියලත් හිතුන නිසා...

    ReplyDelete
  6. චේජනා...

    ඇත්ත.
    ඒ උනාට වෙනත් විදියකට හරි අපිත් ඒ දුෂ්කර මාර්ගයේම යනවා නේද..?
    මටනං එහෙම හිතෙනවා අනන්තවත්..හැබැයි තාම අපිට ඒක දැනෙන්නේ නැහැ..අපි ඉන්නේ සටනේ අතර මැද හින්දා...
    දවසක ආපහු හැරිලා බලනකොට අපිටත් ඔය විදියටම පෙනෙයි...
    සරසලා වගේ තිබුනට අපි ඇවිත් තියෙන්නෙත් ඒ මාර්ගයේම තමයි කියලා..
    එහෙම බලනකොට කොහොම කළත් කාටත් වෙන්නේ එකම දේ...

    ReplyDelete
  7. මාරයෝ, අද ඉතාමත් අගය කලයුතු විදිහට මේ ලිපිය ලියවිලා තියෙනවා. මොනවා උනත් තාත්තා ගැන උඹේ හිතේ තියෙන දාරක සෙනෙහෙත් මතුපිට ස්පර්ෂ කරනවා මේ ලිපියෙන්.

    ඒ වගේම අපි නොදැන හිටි පැත්තකටත් උඹ අපිව අරගෙන යනවා. උඹට මතක තියේ නම් ඔය බස් කම්පැණි කාලේ විස්තර තව ටිකක් විස්තර ඇතිව ලියපන්. ඒක හොඳ අටුවාවක් වේවි..

    ReplyDelete
  8. හ්ම..දැනට කියෙව්වා කියල විතරක් කියන්නම්.....

    ReplyDelete
  9. මාරයෝ..අපේ තාත්තත් බස් බලුවෙක් විදිහට තමා පටන් අරන් තියෙන්නේ...
    ඒ වගේම අපේ තාත්තත් එයාගේ තාත්ත අකාලයේ මැරුණට පස්සේ ඉගෙනුම මගින් නවත්තල පවුලේ බර කර ගහන්න මේ රස්සාව පටන් අරන් තියෙන්නේ ...
    අද එත් එයාලට ඒ ඔක්කොම අමතකයි...ලෝකේ හැටි ඔහොම තමයි...

    ReplyDelete
  10. මාවත් නිකං හිරි වැටිලා ගියා බං කතාවට. ඇත්තට අපිට මේ දැං කියන දේ තව චුට්ටකින් මතක නැහැනේ බං.

    ReplyDelete
  11. මාරයා හරි........එයාල සීමිත පහසුකම් එක්ක දුක් විදල අපිව මෙතනට ගෙනාව.
    අපිත් මහා බරක් අදිනව නොතේරුනාට, පහසුකම් එක්ක.
    මුදල් හිඟ කම පරම්පරා දෙකටම එකලෙස බලපෑ මූලිකම සාදකයක්.

    ReplyDelete
  12. දුමී..පොඩ්ඩක් ඉවසලා ඉම්මු මගේ මිත්තරයෙක් ඉන්නවා..මං මෙ උන්නැහේ ඇවිස්සෙනකල් බලං ඉන්නේ..ඇත්තටම අපි කියනවට වඩා හොඳට අහගත්තෑකි..

    ස්තූතියි දුමියා..සමා වෙයන් කන්න බොන්න මුකුත් නැතුවට..?

    ReplyDelete
  13. jolybuwa...

    අපි කොළදේ අපි ගෙනියයි..උන් කළ දේ උන් ගෙනියයි බං..ඔවට හිත නරක් කරගන්න හොඳ නැහැ...

    ReplyDelete
  14. prasanna86k...

    ඒ මචං..නිකං දැකලා හුරුයි හුරුයි වගේ උඹ කවුද මචං..මට හරියට මතක නැහැනේ..?

    ReplyDelete
  15. Heeniyata...

    ආන්න ඒක තමයි..අන්තිමට යන්නේ එකම තැනට...

    ReplyDelete
  16. ඒ කාලෙ හිටපු මිනිස්සු එක්ක බලද්දි අපිව ලගින් තියන්නත් බෑ....රටේ තොටේ දැනීම අතින් උපරිමයි අපි ඒ අතින් බලද්දී මොනාද දන්නේ, තනියම අනුරාදපුරෙ පැත්තට යැවුවොත් ආයෙ එන එකක් නෑ වෙනින් දිහාවකට යයි

    ReplyDelete
  17. අනේ මන්දා බන් මාත් කොහෙටදෝ ගියා.
    අපි හැමොගෙම කතා එකම නූනත් සමානකම් තියෙනව කියල හිතුනා.
    මේ ලියවිල්ලෙ තියෙන දාරක ප්‍රේමය මගෙත් හිතට දැනුනා.

    ReplyDelete
  18. එළ පෝස්ට් එකක් මචෝ...

    @දුමී,
    "මොනවා උනත් තාත්තා ගැන උඹේ හිතේ තියෙන දාරක සෙනෙහෙත් මතුපිට ස්පර්ෂ කරනවා මේ ලිපියෙන්.."

    තාත්තා ගැන කොහොමද බොලං 'දාරක' සෙනෙහසක් දැනෙන්නෙ, ඒක දැනෙන්නෙ දරුවො ගැනනෙ..

    ReplyDelete
  19. @Buratheno,
    පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්නෙ. පීතෘ සෙනෙහසයි, දාරක සෙනෙහසයි අර ඩිංගි මහත්තයට වගේ මාරු වෙලානෙ...

    ReplyDelete
  20. අපේ තාත්තාගේ කථාවත් මේකම තමයි මාරයෝ. සීය නැතිඋනහම තාත්තා හැකි විදිහට ඉගෙනගෙන රැකියාවක් කරලා අම්මවයි නංගිලාවයි බලා කියා ගත්තා. අමාරු කාලේ ඔය මොකෙක්වත් හිටියේ නැහැ. අපේ අම්මා නිසා තමයි අපිට පොලවේ පය ගහල නැගිටින්න පුළුවන් උනේ. අපේ තාත්තා දැන් වයසයි, අපිට පුළුවන් උපරිමයෙන් අපි එයාව බලා කියා ගන්නවා. ඒ, එයා අපිට යුතුකම් ඉස්ට කල නිසා විතරක් නෙමෙයි, එයා තමන්ගේ සහෝදර සහෝදරියන්ටත් සමාජයටත් යුතුකම් ඉෂ්ට කල නිසා. මම හිතන්නේ හැම තාත්තාම මෙහෙම තමයි. හැකි උපරිමයෙන් හැමෝටම කරනවා. සමහරවිට මමත් මේ විදිහටම දේවල් කරාවි.

    මොනවා උනත් මාරයා, තාත්තාගේ පාඩම හොදින් ඉගෙන ගත්ත එක ගැන නම බොහොම සතුටුයි....

    ReplyDelete
  21. "තාත්තා ගැන කොහොමද බොලං 'දාරක' සෙනෙහසක් දැනෙන්නෙ, ඒක දැනෙන්නෙ දරුවො ගැනනෙ.."

    මාරයා සිහියෙන් ඉන්නේ.

    මාරයා,අර පොර බිසී මේ දවස් වල, ඒවුනාට එකට දෙකක් කොහොම වුනත් පොඩි පොඩි කතා ටිකක් email මගින් හරි එවන්නම්.

    ReplyDelete
  22. බණ්ඩාරනායක පුද්ගලිකව නරක මිනිසකු නොවූවා සේම නරක නායකයකුද වුණේ නැහැ. ඔහුගේ මූලිකම දුර්වලතාවය වුණේ කොන්දක් නැතිකම. එක එක්කෙනාට ඕනැ විදියට ඔහුව කඩේ යවන්ට පුළුවන් වුණේ ඒ නිසයි.

    බස් ජනසතුව (කවර අරමුණකින් කළත්) බණ්ඩාරනායකගේ හොඳ වැඩක්, කුඹුරු පනත වගේම.

    ජනවාර්ගික අර්බූදය විසඳීමට ඔහු අවංක උත්සාහයක් දැරුවා. එදා මෙදාතුර ඉතිහාසයේ දෙමළ නායකයින්ට පිළිගත හැකි එකම විසඳුම ඉදිරිපත් කළ නායකයා ඔහුයි. (තම පාසල් සගයකු වූ) චෙල්වනායගම් හරහා රට සන්ධිස්ථානයකට ගෙනගිය බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ඔහු අත්සන් කළා. නමුත් ඊට දින දෙකකට පසු තමන් විසින් දුන් පොරොන්දුව නිර්ලජ්ජිතව කැඩුවා, ඒ ගිවිසුම ඉරා දමමින්. ඔහුට දොස් පැවරිය යුත්තේ ඒ දෙවැනි කොටස සඳහා පමණයි. ඉතිරි කිසිවකට ඔහුට බනින්ට බැහැ.

    මේ අශිෂ්ට ක්‍රියාවට ඔහු පෙළඹවූ එක් ප්‍රබල චරිතයක් වූ විමලා විජේවර්ධනම පසු කලෙක බණ්ඩාරනායක ඝාතනයටත් හවුල් වුණා තම සොර සැමියා වූ බුද්ධරක්ඛිත හරහා.

    බණ්ඩාරනායක හැදුවේත්, නැති කළේත් එකම බලවේගයක්. ඒ බලවේගය හඳුනා නොගැන්ම ඔහුගේ දුර්වලතාවයක්.

    - Taboo

    ReplyDelete
  23. මට මාරයගෙන් පුද්ගලික උපදේසයක් ගන්න ඕනෑ. Email හරි phn no එක හරි ලැබෙන්න සලස්වන්න ..

    ReplyDelete
  24. අපි හිතුවට වඩා බස් කතාව ඉක්මනින් ලියල තියෙනවා වගේ.බස් කිව්වට මේ කතාව ඇතුලේ තවත් වටිනා කතා ගොඩක් තියෙනවා.අපේ තාත්තත් බණ්ඩාරණායක මහත්තයාට ලෙන්ගතුකම් පාපු කෙනෙක්.(අතීතයේ සිටි අපි ජීවමානව නොදුටු කිසිම පුද්ගලයකු ගැන තක්සේරු කිරීමට පැරණි පොත්පත්වල සගරා වල තිබූ විස්තර හෝ කටකතා අනුව යුගයෙන් යුගයට ගමන් කරමින් පැමිණි විස්තර ප්‍රමාණවත් වන්නේ නැහැ.අපි බණ්ඩාරණායක මහත්තයාව නොදැක්කට අපේ තාත්තල එයාව ජිවමානව දැකල තියෙනවා.ඒගොල්ල එච්චර බණ්ඩාරණායක උන්නැහේට කැමති වෙන්න විශේෂ හේතුවක් ඇති.)
    ඔන්න මාරයා කිව්ව විදියට වෘත්තීය අත්දැකීම් ගැනත් විටින් විට ලියන්න හිතුණා.පොඩ්ඩක් ඇවිල්ල බලල හොද නරක කියන්න.ආ .. ඒක නෙවෙයි අපි දෙන්නම එතකොට නොට්ටිගෙ පුතාලා වෙලා තියෙනවා නේද ටික කාළයකට හරි.

    ReplyDelete
  25. අපොයි මට වචනෙ වැරදුනා නේද? අපි නොට්ටිගෙ පුතාල නොවී බේරුණා කිව්වම හරි නේද?

    ReplyDelete
  26. මාරයා : අර හුලං තුවක්කුවේ කතාව මම කට්ටියට කියන්නද? උඹට මාව මතක නැත්තං.

    ReplyDelete
  27. මේකනං හිතට වදින විදියට ලියල තියෙනවා.

    ReplyDelete
  28. මම දැක්ක ඔබ ලියූ හොඳම පෝස්ටය! සුභ පැතුම් සමග කොමෙන්ටු කෑල්ලක් දාන්න හිතුනා..

    කේ. ජයතිලකගෙ කතා මතක් උනා කියවද්දි, ඇත්තටම...

    @දුමී: පොරක් තාත්තාත් සමග අනුමත වෙමින් ඉඳලා වැඩි වෙලා..කිව්වලු 'තාත්තෙ, උඹෙයි මගෙයි සහෝදරකම් අදින් ඉවරයි' කියලා!!

    ReplyDelete
  29. හ්ම්ම්ම්.. නිවි සැනසිල්ලේ කියවන්න පටන් ගත්තා..

    ReplyDelete