01 January 2011

මනුස්සකම..හරහා සිස්ටම් එකට පිටින් යාමේ පිස්සුව...

අද දිනයෙහි කියා අමුත්තක් ඊයේ රාත්‍රිය වන තුරුම මාහට නොතිබුණි.
එනමුදු ගත වූ රැය අවසන අද වන විට පෙර දිනයට වඩා යම් තරමකින් අමුත්තක් සිතට දැනෙනවා දැනෙනවා වැනිය..ඒ කුමක්දැයි කියා එක එල්ලේ කිව නොහැකි වූවද එයට හේතුව මිනිසුන්ගේ මනුස්සකම හා සබැඳි දෙයක් බව නම් ඉඳුරා කිව හැක...

රාජකාරිය තිත්ත වූ දින කිහිපයක් වූ පසුගිය සතිය කායිකව මෙන්ම මානසිකවද බොහෝ වෙහෙසකර සතියක් විය...

එකින් එකට නිමක් නොමැති වැඩ කටයුතු...දොළොස් දෙනෙකුටත් ඉසිලිය නොහැකි තරම් අධික වැඩ කටයුතු රාශියක් අට දෙනෙකු විසින් කරගෙන යාමට සිදු වීම යම් තරමකට හෝ දරා ගත හැකි වීමට නම් ඒ ඉන්නා අට දෙනා උරෙන් උර ගැටී කටයුතු කල හැකි අය විය යුතුය...
එනමුදු මෑතක සිට අපගේ ආයතන කළමණාකාරීත්වය විසින් මා හට සපයනු ලැබූ නිලධාරීන් අතරින් බොහෝමයක් රාජකාරීමය වශයෙන් බොහෝ අලස හා වගකීම් රහිත අය වීම නිසා කටයුතු කරගෙන යාම පහසු නොවීය...

මා යටතේ සිටිනා අනිකුත් අය හත් දෙනෙකි.
පිරිමි නිලධාරීන් පස් දෙනෙකුත්..කාන්තා ආරක්ෂක නිලධාරීනියන් දෙදෙනෙකුද ඒ පිරිසට අයත් විය...
එයින් නිලධාරීන් තිදෙනෙකුත් එක් නිලධාරිනියකත් ඉතා සතුටු දායක ලෙස රාජකාරි කරනු ලබයි...

සේවාවට සරිලන අන්දමෙ වෘත්තීය වගකීම් පිළිබඳව අවබෝධයෙන් හා මනා නිපුණත්වයකින් ඔවූහු කටයුතු කරති..නමුදු මා ළගට පහළින් සිටිනු ලබන නිලධාරියා ඇතුළු නිලධාරීන් දෙදෙනෙකුද..එක් නිලධාරිනියකද යම් තරමකින්වත් ඒහා සමව කටයුතු කිරීමට අපොහොසත් වීම නිසා මා ඇතුළු අනෙකුත් නිලධාරීන්ටත් විඳින්නට වී ඇති අපහසුතාවය වචනවලින් කියා පෑමට නොහැකිය... නොහැකියාවමත් නොව කියා පෑමට ගියහොත් මොනවා කියවෙදැයි මා දන්නේත් නැත.
මිනිසුන් නුපුහුණු වීම මට කිසිසේත්ම ගැටළුවක් නොවේ...මට ඔවුන් පුහුණු කළ හැක.
ඔවුන් අදක්ෂ වූවද කම් නැත..ඔවුන් දක්ෂයින් කල හැක..

නමුත් උවමනාවක් උනන්දුවක් නැති අය වීම මාහට ගැටළුවකි..ඔවූහු අප මතින් යැපීමට සූදානම්ව සිටීම මහා ගැටළුවකි...
ඒ මොහොතේ කළ යුතු දෙය නොකර එය අප කර මත පටවා යෑම ඉවසිය නොහැක.
උදෑසන රාජකාරියට වාර්ථා කර පළමු පැය හතර බොහෝ කාර්ය බහුලය...නමුත් ඒ කාර්ය බහුලත්වය අතරදීම පෙරදින රාජකාරියේ අත හැරුනු හා අතපසු කල දේවල් සම්පූර්ණ කිරීමට තවත් බොහෝ කාලයක් මිඩංගු කල යුතු වීම උදෑසන ආහාරයත් මා හට අහිමි කරවන දෙයක් බවට පත්වූ කල...
උදෑසන අටට පටන්ගත් පසු තේ එකක් හෝ බීමට එකොළහ හමාර වන තෙක්ම අවස්ථාවක් නොලැඛෙන තරමට වැඩ කටයුතු අධික වී ඇති විට ඇතිවන පීඩනය දිනක් දෙකක් දරා ගත හැකි වූවද...එය දිගින් දිගටම කරන්නට සිදුවීම මහිසට යක්ෂයා ආරූඪ කරවන්නකි.

කෙසේ කීවද තත්වය සමනය නොවන විට කළ හැක්කේ එම පීඩනය සමග ජීවත් වීමට වඩා නූවමනා බර පැත්තකින් තබා හිත සැහැල්ලූ කර ගැනීමය...
ජීවිතයේ එක්තරා කාලයකදී නම් හැම දෙයම තදින් බදාගෙන තබනා තබනා සෑම පියවරක් පාසාම අනෙකකු හා සටන් වැදි යුගයක් තිබුණි.
එකල්හී නම් කිසිදු අයුරකින් සටන අත හැර දැමූවෙ මා නොවේ...
එසේම එහි අවසානය සියල්ල මා හට ඇවසි පරිදි සිදු වීමය..එනමුදු ඒ යුගය අවසන් කල පසු මා අත්විඳි සැනසුම අදටත් මසිත සනසවාලයි.
ඒ සියල්ලම නැවත නැවත සිහිවන කල්හී..තව දුරටත් සටන් වැදීමට මා පොළඹවන්නේ නැත...

එබැවින්ම රැකියාව හැරපියා දමා සැහැල්ලූවෙන් ජීවත් වන්නට මා හට සිත් වූයේ දැන් කීප දිනක සිටමය...

ගැටළු නැතිවාම නොවේ...
මා යන්නට සිතා සිටිනා බව පැවසූ පසු කිහිප දෙනෙක්ම සසල වූ බව නොරහසකි.
මා නිසා රැකියාව සුරක්ෂිතව ඇති බව වටහාගෙන ඇති කිහිප දෙනා ඒ අය අතර වෙති.
දැන් ඔවුන්ටද රැකියා සොයාගන්නට වනු ඇතැයි සිතා කණගාටු වන විට යම් කණගාටුවක් සිතට නැගුණද..ඔවුන්ගේම වගකීම් රහිත බව හා අලසකම නිසාම මාහට මේ පිළිබඳව සිතා බලන්නට වූ බව ඔවුන් දත යුතුය...

ගහන්න ගහන්න වඳින එකාත්..
වඳින්න වඳින්න ගහන එකාත්..යන දෙදෙනාම මෝඩයෝය..
ඒ කීවේ මා නොවුනද..ඒ කී එකාද බොහෝ සෙයින් සමාජය විසින් පීඩාවට පත් වූවකු විය හැක.

පසුගිය වර්ෂයේ අවසාන දිනය වූ ඊයේ බොහෝ සෙයින් කාර්යයන් අධික දිනක් විය...
සේවක සේවිකාවන් බොහෝ පිරිසක් සවස පහ පමණ වන විට සේවය නිමවා පිටත්ව ගියද විධායක මට්ටමේ නිලධාරීන් කිහිප පළක් බොහෝ වෙහෙස මහන්සියෙන් ජනවාරි පළවෙනිදාට සිදු කරනු ලබන ආගමික කටයුතු සඳහා හා විනෝද කටයුතු තෑගි ඛෙදා දීම් ආදී කටයුතු සංවිධානය කරමින් සිටි නිසා මා හට රාත්‍රී කාලයතුළත් නිවනක් නොවීය...
අවසානයේ එක් විධායක නිලධාරියකු ඉතිරිව සිටියේ ඔහුට අයත් කටයුතු නිමවා ගැනීමට නොහැකි වූ නිසාවෙනි.
රෑ නවය හමාර වන තෙක්ම රෑදී සිට නිවස බලා යන විට හැකිනම් කොඩි කනු තුනට කොඩි ටික එල්ලා තබන මෙන් පැවසූ හෙයින් එය මා බාර ගත්තේ එතකින්වත් වැඩ කටයුතු නිම කර ගැනීමටය...

නමුත් ඔහුද පිටත්ව යාමට සූදානම්ව යතුරු පැදිය පණගැන්වූ පසු තවත් ගැටළුවකි. ප්‍රධාන ආලෝක ලාම්පුව ක්‍රියා නොකරයි...
මා සතු ආයුධ කට්ටලය ගෙනවිත් එය සකස් කර දී ඔහුව පිටත් කරවන විට රාත්‍රි දහයටත් ආසන්නය...
ඒ වන විට අනිකුත් ආරක්ෂක නිලධාරීන් මාරුවෙන් මාරුවට යවා ඔවුන්ට නාගන්නට අවස්ථාව සලසා දී තිබුණද..තවමත් මා හට රාත්‍රී ආහාරය ගෙන ඒමටවත් හැකි නොවිණි.

අවසන මා යන විට කෑම අවසන්ය...

තව තවත් දුර ඇවිද යාමට තරම් වේලාවක් නොවුනෙන් ක්‍රීම් ක්‍රැකර් පැකට්ටුවක්ද රැගෙන ආපසු පැමිණියෙමි.
අනිකුත් නිලධාරීන් කෑවාටත් පසුව යන්තම් රාත්‍රි දහය හමාරට පමණ ගොස් නා ගත් පසුව පැමිණ ආරක්ෂක නිලධාරීන් ආරක්ෂක රාජකාරී සඳහා ස්ථානගත කරවා කොඩි කණුවලට කොඩි දැමීමට පටන් ගතිමි.

එක් නිලධාරියකු ආයතනය වටා ආරක්ෂක සංචාරයෙහි යොදවා සිටි නිසා මා හා රැදී සිටියේ තවත් එක් අයකු පමණි..නමුත් සවස් කාලය සිටම සිදු වූ කටයුතු කාරණා නිසා ඔහුට කතා කිරීමත් මා හට රිසි නොවීය...

ඊට වඩා හොඳට පොඩි දරුවකුට කියා යමක් කරවාගත හැක...
ඒ තරමටම අලස පුද්ගලයකු වූ ඔහු සමග එක්ව කොඩි දමනවාට වඩා තනිවම වැඩය කර ගැනීම පහසුය...

ඔහුද සවස් වරුවෙ මාගෙන් තරමක් බැනුම් අසාගෙන සිටි නිසා මා කතා කරනා තෙක්ම බලා සිටී...
ඇත්තෙන්ම තනිවම කළ හැකි මට්ටමේ වැඩක් නොවීය..පසුගිය දිනක කොඩි කණු තීන්ත ගා ගෙනවිත් සවිකර තිබුණේ එහි වූ ලණුද ගලවා දමාය..

මා බලා සිටියදීම දෙදෙනකු එක්ව බොහෝ අපහසුවෙන් කෙළින් කර සිටවා තැබූ කණු තුන බිමට ගෙන ඒවාට තංගුස් ලණු දමා සකස් කිරීම පහසු නොවුනද කෙසේ හෝ තීන්ත නොසීරෙන සේ වැඩෙ කිරීමට අත ගැසූවෙමි.
අගල් එක හමාරේ යකඩ කනුවක් අඩි දහ නවයක් පමණ උසැතිය..පොළොවට බස්සවා තිබූ තවත් අඩි තුනක පමණ බටවලට ඒවා බස්සවා ඇත...
සීරුවෙන් ඉහලට ඔසවා පසුව පරිස්සමට ඇල කර බිත්ති කණ්ඩියකට හේත්තු කර ඒවාට ලණු දැමිය යුතුය..
නැවත කණුව කෙළින් කර ඔසවා ගෙන ගොස් අර බටවලට බැස්සිය යුතුය.
ජාතික කොඩිය දමනා මැද වූ කනුව අනිත් කණු වලටත් වඩා අඩි එක හමාරක් පමණ උසැතිය..

කෙසේ හෝ සමබරතාවය රඳවාගෙන කණු ගලවා දන්නා ශිල්ප සියල්ලම දමා පරිස්සමට ලණු දමා කොඩි කණු සිටුවා කොඩි තුනද ගැට ගසා ඒවා ඉහළට නංවා ගැට ගැසූ පසු නැවත පැමිණෙන විට මුලින් කී පුද්ගලයා ලැජ්ජාවෙන් බලා සිටිනවා දුටු විට මට සිනහා නැගුණි.

ඔහුද ලැජ්ජාවෙන් සිනා සී පැත්තකට වී සිටියේය...
තව දුරටත් රථ වාහන එන තත්වයක් නොමැති බැවින් ඔහුට පැය කිහිපයකට නිදා ගැනීමට පිටත් කරවා ලැප් ටොපය ක්‍රියා කරවා ජාල ගත වන විට රෑ එකොළහට පමණ විය...
ජාලගත වෙමින්ම බිස්කට් කිහිපයක් ගිල දමා කිරි තේ එකක් හදා ගෙන බී නව වසරට මුහුණ දෙන්නට සූදානම් වීමි...
...........................................

රාත්‍රිය ගෙවා දමා එළි වූ සැනින්ම මා කොඩි දමනවා බලා සිටි පුද්ගලයා දිව විත් නව වසරට සුභ පැතීය...
සියල්ල අමතක කර දමා ඔහුටද සුභ පැතූ මා මුහුණ කට සෝදා පැමිණ නැවතත් සූදානම් වූයේ අද දිනය ආරම්භ කිරීමටය..
අනිකුත් වසරවලදී ජනවාරි පළමුවෙනිදාට ආරක්ෂක අංශය සැරසීම මා අතින් සිදු විය..එකල්හී සිටි අනිකුත් නිලධාරීන්ද ඒ සඳහා මා හට මනා සහයක් ලබා දිණි..
නමුත් මෙවර ඒ කිසිවක් කිරීමට මා හට සිත් නොවූයේ ඇති වී තිබු කලකිරීම මතමය.

කෙසේ වෙතත් අවසන මිනිසුන් නිසාම ගිලන් වී තිබූ මසිත..ඔවුන් හරහාම නිවී සැනසෙන තත්වයට පත්වන මොහොත උදාවෙමින් තිබුණි.

මා මෙ ගත කරනුයේ මේ ආයතනයේ තුන්වන වසරයි.
මීට පෙර වසර වලට වඩා මිනිසුන් මා හඳුනාගෙන තිබිණි.

මා පිළිබඳව දැන සිටි කිහිප දෙනෙකුම පැමිණ සිටියේ යම් යම් දෑ රැගෙනය...

"............මහත්තයාට මේක අම්මා දෙන්න කිව්වා..."
ඒ කිරිබත් පාර්සලයකි..තවත් අයෙක් තවත් රස කැවිලි වර්ගයකි.

සුභ පැතීම් නම් කොහොමටත් අඩුවක් නැත...

ඒ අතර තවත් අයෙක් රහසින් මෙන් කුඩා පාර්සලයක් මා අතේ තබන්නේ..

"ආ පුතේ ගෙදර ගෙනියන්න..ඔයාට ඉතිං ගෙදර කවුරුවත් නැහැනේ..."

සිත කඩා වැටීමට ඒ හැටි වේලාවක් යන්නේ නැත...

ඇයගේ අග්ගලා පාර්සලයට වඩා ඒ වචන කිහිපය රසවත්ය...මිනිස් සිතිවිලි පුදුමාකාරය..
මිනිසුන් අතර බැඳීම් ඊටත් වඩා පුදුමාකාරය...
ඒ සෑම සියළු දෙයක් හරහාම සිතට දැනෙන හැගීම පුදුමාකාරය...

අප ක්‍රමක්‍රමයෙන් යාන්ත්‍රික වෙමින් පවතිමු...

අද වන විට මූලික වැටුප පමණක් බලාගෙන වැඩ කරනා අය නොමැත...
අතීකාල යනු සිරුරෙ කොටසක් මෙනි..
සමහරු ජීවත් වන්නේ අතීකාල කිරීමටමදැයි සිතෙනා තරමට ඔවුහූ ඊට ඇබ්බැහි වී සිටිති.
නැති බැරිකම පමණක් ඊට හේතුව වී යැයි මා කියන්නේ නැත...

අසීමිත ආශාවන් සපුරා ගැනීම සඳහාත්...
තරගකාරී ලෝකයත් සමග ගැටීමට නිතර සූදානම් වීමත්...
තමනුත් නොදන්නා මොකක්දෝ දෙයක් වෙනුවෙන් අධික ලෙස වෙහෙස මහන්සි වන මිනිසුන්ගෙන් සමාජය ඉතිරී ගොස් ඇත...
බොහෝ දෙනා නොදන්නා හෙට දවසේ සුරක්ෂිත තාවය පිළිබඳ අසීමිත වූ අනියත බියකින් පසු වේ..
ඒ අවිනිෂ්චිත තාවයට එකම පිලීයම හරි හම්බ කිරීමත් ගොඩ ගසා සිටීමත් යැයි සිතන ඔවුහූ..දිගින් දිගටම කුමන අන්දමකින් හෝ මුදල්ම සෙවීම අරමුණු කරගෙන ජීවත් වෙති.

හැගීම් දැනීම් කිසිවක් නැති යකඩ ගොඩකින් සැදුම්ලත් යන්ත්‍රයකට සමීප වී ඔවූහු රැකියාවන් කරති.
කාලයක් යන විට එම යන්ත්‍රයේම කොටසක් බවට ඔවුහූ පත්ව සිටිති.
යන්ත්‍රයට මෙන්ම ඔවුන්ටද හැගීම් දැනීම් නැති බව තේරුම් යන්නේ නැත...
ඔවුහූ වැඩ කරති..
සතියේ දිනවලද...සති අන්ත..ඉරිදා..පෝය..කියා ඔවුනට වෙනසක් නැත...
ඇත්තේ එකම බලාපොරොත්තුවකි..
තව තවත්..තව තවත්....අතීකාල..ඩබල්...මුදල්...

අවසානයේ නොදැනීම ඔවූහූ යාන්ත්‍රික වෙති...
යන්ත්‍රයේ හිමිකරුවන් ඔවුන්ගේ සියළු සාරය සූරාගෙන කෝටි ප්‍රකෝටි ගණන් උපයති...
යන්ත්‍රයේ කොටස් බවට පත් වූ මිනිස්කම නැති වෙමින් පවතිනා මිනිසාටද සොච්චමක් දෙති..
උවූහු ඒ සොච්චම වෙනුවෙන් තම ජීවිතය පුදති.

නිවාඩුවක් ගෙන දූ දරුවනුත් සමග විනෝද ගමනක් යන්නේ ඔවුන් නොවේ...
පැමිණිමේ දීමනාව අහිමි වේයැයි බියෙන් අසනීපයකටවත් ඉසිඹුලන්නේ ඔවුන් නොවේ...
පැනඩෝල් පෙති අමු අමුවේ ගිල දමන්නෝය..නැවතත් යන්ත්‍රයේම ජීවිතය...

ඇත්තෙන්ම මෙයද ජීවිතය කියන්නේ...?මටනං එපා...

දවසේ පැය විසි හතරින් පැය දහසයක් කඹුරා ලබන වැටුපෙන් ගෙවීමේ පදනමට ලබා ගන්නා විසල් යහන් මට ඇවසි නැත...
ඊට වඩා පැය අටකින් පසු ගොස් බිම පැදුරේ වැටී නිදා ගැනීම මට සැපතකි.

මිනිසුන් දෙස මා බලා සිටින්නට පුරුදු වූයේ පන්සලේ සිටි අවදියේදීය..ඒ සඳහා පන්සල ඉතා සුදුසු තැනකි.
අදටද මා මිනිසුන් දෙස බලා සිටිමි.
ඒ බැළු බැල්මෙන්ම මා නැවතත් මා දෙසම බලමි.

උඹටත් ඕනද ඒ වගේ වෙන්න..?

මා මගෙන්ම නිතරම විමසමි.

ජීවත් වීම පිණිස මුදල් මිස..මුදල් පිණිස ජීවත් වීමට මා හට නොහැක.

එහෙනං පුතේ උඹට කවදාවත් අනිත් මිනිස්සු වගේ ගෙයක් දොරක් හදාගෙන ගෑනියෙක් ළමයෙක් එක්ක ජීවත් වෙන්න වෙන්නේ නැහැ.

ඒ කියන්නේ මුදල් පස්සෙම දුවනවානං විතරද මිනිහෙකුට ඒ දේවල් ලැඛෙන්නේ..?

නැතුව..ඒ දේවල් ඕන කරන හැම මිනිහෙකුටම මුදල් පස්සේ දුවන්න වෙනවා.
නැත්තං කවුද උඹත් එක්ක එන ගෑනි.
උඹ කොහොමද ළමයි හදන්නේ..?
ගෙවල් දොරවල් හදන්නේ..
හැමදාම කුලී ගෙවල්වල ඉන්නද උඹ හදන්නේ..?


හ්ම්ම්...ඒ කියන්නේ මේ ලොකේ හැම මිනිහම ඒ විදිය වෙන්න ඕනද..?
හැම ගෑනියෙක්ම එහෙම උන්වද හොයන්නේ..?අරයා උනත් මාව දාලා ගියේ ඒ හින්දද..?

වෙන්න ඇති...උඹ හිතන විදියට ජීවත් වෙන්න මේ ලෝකේ බැහැ...

කමක් නැහැ.එහෙනම් මම මට ඕන විදියට ජීවත් වෙන්නම්.
යන්තරේක වහලෙක් වෙන්න..
මුදලේ වහලෙක් වෙන්න..
කොටින්ම යන්තරයක් වෙන්න මට බැහැ..
මම මිනිහෙක්...
මට ජීවිතේ විඳින්න ඕන..විඳවන්න නෙවෙයි.
ගෑනියෙක් හින්දා මට මගේ හිතට විරුද්ධ වෙන්න බැහැ.
මම හිතන විදියට හිතන ගෑනු නැත්තං මට තනියම ඉන්න එක හොඳයි.
හිතේ සැහැල්ලූව මට හුගාක් වටිනවා.හිරකාරයෙක් වෙන්න මට බැහැ.

මිනිසුන්ගේ හැසිරීම් බලනා සෑම විටම මා සිත මෙවැනි හැගීම් වලින් පිරී ඉතිරී යයි.
මිනිසුන්ගේ මිනිස්කම් ටිකෙන් ටික අඩු වෙමින් යන අතරතුර අග්ගලාවක් හරහා..කිරිබත් කෑල්ලක් හරහා මා වෙත ගෙන ආ ඒ පණිවිඩය මා මුසපත් කරවයි.
තවමත් මිනිස්කම ටිකක් හරි ඉතිරි වෙලා තියෙනවා.
හැබැයි ඒවා ඉස්මතු වෙන්නේ අවුරුද්දකට දවසයි දෙකයි..අනිත් දවස්වලට ඒ මනුස්සකම කොහේ හැංගෙනවද..?
යන්තරවලට හිර වෙනවද..?

කොහොම උනත් තනියම පාඩුවේ උඩුමහලක ගෙවන ජීවිතේ මා ගැන දැනගෙන ඉන්නා කිහිප දෙනෙක්ම මා කෙරෙහි සිය මනුස්සකම එළියට ගත් විට මසිත සසල වීම නවතාලිය නොහැකියි.
ඇත්තෙන්ම අරක්කු පොදක් එක්ක හිතන්න ඕන කරුණු කාරණා හුගාක් තියෙනවා.ඒත් බීම ගැන මූලික ප්‍රතිපත්ති මාලාවට අළුත් සංශෝදන එකතු කරපු නිසාවෙන් ඒ අදහස අද මැඩපවත්වා ගන්න වෙනවා.

ඒ මැඩපවත්වා ගැනීම හා ප්‍රතිපත්ති හරහාත් වෙන්නේ මනුස්සකම අභියෝගයට ලක්වීමක්ද මන්දා.
කොහේද ඔය කිසිම දෙයක් මෙහෙම අමුවෙන් හිතන්න අමාරුයිනේ...

..............................

තවත් කිසිවක් මෙහි අඩංගු කරවිය යුතුයි කියලා හිතුනා...
අද මා වෙනුවෙන් හිත යොමුවෙලා මට අවුරුදු ගෙනාපු ඒ විතරක් නෙවෙයි මා පමණක් අරමුණු කර නොගෙන ආරක්ෂක අංශයේ සියළු දෙනා වෙනුවෙන්ම යම් යම් දේ සකස් කරගෙන ආපු හැම දෙනාම කාන්තා පාර්ශවයේ අය උනේ ඇයි...?
පිරිමින්ට වඩා තාමත් මනුස්සකම ඉතිරි වෙලා තියෙන්නේ ගැහැණු ළගද..?

කොහොමටත් මම දන්න කියන කාලේ ඉඳලාම මට හුගාක්ම සමීප යාළුවෝ උනේ කාන්තා පාර්ශවයේ උදවිය...
අදටත් මට අතීතයේ කිසිම කාලෙක පණ වගේ හිටියා කියලා නම් කරන්න පුළුවන් පිරිමි යාළුවෙක් නැහැ...
එකට වල බැස්සත්..කට්ට කෑවත්...චාටර් උනත්... මාත් අපේ අනෙත් යාළුවොත් අතර තිබුණු යාළුකමට යටින් නොයෙක් අර්බුධ තිබුනා...

ක්‍රීඩා සමාජයේ සභාපතිකම...
ගමේ අහල පහල හිටිය උන්ගේ ක්‍රිකට් ටීම් එකේ නායකකම..
දේශපාලන කටයුතුවලදී..
මෙ හැම තැනකදීම එකට ඉන්න අපි අතර පවා තරගකාරීත්වයක් ඇති උන අවස්ථා එකක් හෝ තියෙනවා..

ඒත් අදටත් නොබිඳුනු හදවතින්ම සමීප සම්බන්ධ හිතවත්කම් මා හා ගැහැණු ළමයින් අතර තිබුණා...
අද මේ වෙනකොට මම ඒ අයව වසර දහයකින්වත් දැකලා නැහැ...ඒත් හෙට හම්බ උනත් උන් මා ගැන කරදර වෙන බව මම දන්නවා...
අදටත් මට වෙච්ච දෙයක් දන්නේ නැතුව දුකින් ඉන්න අය ගැන මම දන්නවා.
අහම්ඛෙන් පහුගිය කාලෙදී එහෙම හම්බ උන කිහිපදෙනෙක්ම මාත් එක්ක කතා කලේ ඇස්වල කඳුළු පුරෝගෙන...

අවුරුද්ක ආරම්භයත් එක්ක මතක් වෙන තවත් චරිත කිහිපයක් තිබුණා..ඒ අපේ ගමේ කිහිප දෙනෙක්...
අද ජනවාරි පළවෙනිදා..
ඒ දවස්වලනං ඒ කිහිපදෙනා මාව අග්ගං ගිහිල්ලා දවල්ට කන්න දීලා තමයි අවුරුද්ද පටන් ගන්නේ.

හරියටම මේ වගේ වෙලාවට..ඒ කියන්නේ දැන් 11.20යි...

අපේ ගෙදරට කිලෝ මීටරයකටත් වඩා දුරින් ඉන්න අයියා කෙනෙක් වෑන් එකත් අරගෙන එන්නේ මාව හොයාගෙන..

"චතූ යමං බං අන්න අරහේ අපේ ගෙදර උන්දෑ චතූ මල්ලිව එක්ක එන්න කියලා කරදරේ..නැත්තං අද පළවෙනිදා මටත් බත් නැහැ.."
හිනා වෙවීම අල්ලලා මාවත් දාගෙන ගෙදර යන්නේ අවුරුද්දේ ඉස්ඉස්සෙල්ලාම බත් කට මට කවන්න.
අක්කාත් එහෙම තමයි...

ඒ මම උන්ගේ ළමයි මගේ කරේ තියාගෙන උන්ව බලා කියාගෙන ඇවිදින හින්දම නෙවෙයි.
උන්ගේ මළ ගෙවල් මගේ කරගෙන දුවපු පැනපු හින්දා නෙවෙයි.
ගමනක් බිමනක් යන වෙලාවට උන්ගේ ගෙවල් මුර කොරන ජොබ් එක අනිවාර්යයෙන්ම කොරන හින්දා නෙවෙයි.

ඊට වඩා ලෙන්ගතුකමක් උන්ගේ හිත්වල මා ගැන තිබුණා.

අද මේ වෙනකොට මම ඒ අයව අවුරුදු දොළහකින් විතර හම්බ වෙලා නැහැ..ඒත් ඒ අය නිතරම අපේ අම්මගෙන් මා ගැන අහනවා කියලා අම්මා ඉඳලා හිටලා මම ගෙදර ගිය වෙලාවට මතක් කරනවා.

මම තාත්තගේ මළ ගෙදර නොහිටියට ඒ හැමෝම ඇවිත් හැම දෙයක්ම හොයලා බලලා කරන්න පුළුවන් හැම උදව්වක්ම කරලාදීලා ගිහින් තියෙන්නේ ඒ මනුස්සකං හින්දයි.

ඇත්තටම මුදල්වලට වඩා කොයිතරං දේවල් අපිට හම්බ කළහැකිද..?

....................................

මේ ඔක්කොමත් එක්ක අවසානයේ මට හිතෙන්නේ මාත් වැරදියි..
මං දැන් සමහර වෙලාවට කේන්ති ගන්නවා වැඩියි..නිතර නිතර සමාජයත් එක්ක ගැටෙන කොට ඒ තත්වය වැඩියි.
මිනිස්සුන්ගේ අඩු පාඩු වලදී මම කිපෙනවා වැඩියි.ඒක මගේ ලොකු දුර්වල කමක්..සෑහෙන වෙලාවක් ඉවසං හිටියත් මගේ සීමාව පනින අවස්ථා කිහිපයක්ම පහුගිය කාලේ ඇති උනා.ඊයේත් එහෙමයි.

එත් මේ සමාජයේ උපන්නාට පස්සේ මං කියලා මොනවා කරන්නද..?
සමාජයෙන් වහං වෙලා දුවන්න තැනක් අද මට නැහැ.

පැවිදි වෙලා හිටිය කාලයතුලදී මම ඒ ගැන හුගාක් අත්දැකීම් ලැබුවා..
මතු පිටින් පේන්න තියෙන හුගාක් දේවල් ඒ ඇතුලේ ජීවත්වෙනකොට වෙනස් කියන එක තේරුම් ගත්තට පස්සේ ඒ ජීවිතෙත් එපාම වෙලා ගියා.

අද මට හැංගෙන්න තැනක් නැහැ.
ඉතිං කොහොම හරි මේ සිස්ටම් එකේම ජීවත් වෙන්න වෙනවා..හැබැයි සිස්ටම් එකෙන් වෙනස් විදියට...
සිස්ටම් එකේම ඉන්නකොට මාත් නොදැනීම ඒ සිස්ටම් එකේම කෑල්ලක් වෙන්න යන වෙලාවල් තිබුනත්..මගේ ඇතුළේ තියෙන මොකක්දෝ දෙයක් ආයෙමත් මාව ඒ සිස්ටම් එකෙන් ගලවනවා...

සමහර විට මේකත් මානසික රෝගයක් වෙන්න පුළුවන්...
කොහොමටත් පවතින වෙනස් වීම විකෘතියක් කියලානේ මේ සමාජය දකින්නේ...
මට හරි ආසාවක් තියෙනවා මානසික රෝහලක ටික කාලයක් ජීවත් වෙලා බලන්න...
සමහර විට මගේ ජාතියේ තව අය ඒ අය අතර ඇති.
තවත් මං ආසම දෙයක් තමා අර ෆෝබියාද සින්ඩ්‍රෝම්ද කොහේද කියන වචනේ..
මිනිහෙකුට මොකක් හරි අමුතු මානසික තත්වයක් ඇති උනහම ඒකට මුලට මොකක් හරි වචනයක් දාලා අගට ඔය සින්ඩ්‍රෝම් එල්ලන එකත් හරි අපූරු වෛද්‍ය විද්‍යාවක්නේ...

හ්ම්...දොළහටත් කිට්ටුයි..දැන් ඇති...
එක අතකින් පිස්සු හැදෙන එකත් හොඳයි...
මොකද පිස්සුවක් උනත් මට ඒ හරහා සිස්ටම් එකට පිටින් යන්න පුළුවන් වෙන හින්දා.
සිස්ටම් එකට පිටින් යන්න ක්‍රම දෙකයි තියෙන්නේ..එකක් නිර්වාණ අවබෝධය කියලා අපි හඳුන්වන ගෞරවනීය පාර..අනික උමතු වීම...

ඔය දෙකම එක වගේද කියලා මම දන්නේ නැහැ.
මොකද මට තාම ඔය දෙක හරියටම අත්විඳින්න හම්බවෙලා නැති හින්දා...

22 comments:

  1. පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මංදිරේ....

    සුබ නව වසරක් චතුෂ.

    ReplyDelete
  2. ඔබටත් සුභ නව වසරක් වෙවා..ප්‍රසන්න...

    ReplyDelete
  3. මේක හරිම අසාධාරණයි...... මං ඉස්සෙල්ලා අමාරුවෙන් ලියලා කමෙන්ට් එක දාද්දි පෝස්ට් එක අයින් කරලා.......
    මට බෑ ආයේ ලියන්න ඒකෙ ලියපුවා......

    මේක විතරක් ලියනවා...... නව වසර ආරම්භයේදී සියලුදේ වහලා කතා නොකර ලියපු පෝස්ට් එකක් තමා........

    මාරයියට කරදර ජරමර බරබර නැති නිදුක් නීරෝගි සුවය හා සතුට පිරි සුභ නව වසරක් වේවා.......!!!!!1

    ReplyDelete
  4. අනේ නංගියේ මම ඒ වගක් දන්නේ නැහැ..
    මගේ කොනෙක්ෂොන් එක ස්ලෝ වෙලා හින්දා ඒ පෝස්ට් එක දාන්ට ගිහින් හරි ජරමර ගොඩක් උනා නෙව..ඒ ගමන ආයෙමත් දාලා අරක මකලා දැම්මා..
    හත් ඉලව්වයි..මට වෙච්ච දෙයක්..අපලාදේ...
    මොනවා කොරන්ටද මගේ නොලැබීම..
    කව්ද දන්නේ හැරෙන තැපෑලෙන් නගා කොමෙන්ට් කොරලා කියලා..සමාවෙයං නංගියේ දැනගෙන කොරපු හුට්ටප්පරයක් නෙවෙයි ඒක..
    මෙ ඒක නෙවෙයි මෙකේ තේරුම මක්කැයි..මට තේරුනේ නැහැ නෙව...

    "නව වසර ආරම්භයේදී සියලුදේ වහලා කතා නොකර ලියපු පෝස්ට් එකක් තමා....."

    ReplyDelete
  5. සුබ නවවසරක් වෙවා අයියා හෙ හෙ...

    ReplyDelete
  6. මාරයියේ උඹටත් සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....මතින් තොර සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  7. නීරෝගිබව සපිරි යහපත්ව ගතවෙන නව වසරක් වේවා

    ReplyDelete
  8. මාරෙට නිදුක් නිරෝගී බව පිරුණ සියළු සිතුම් පැතුම් ඉටුවන සතුට ඉතිරී දොරෙ ගලන සුභම සුභ නව වසරක් වේවා.

    ජයවේවා !!

    ReplyDelete
  9. මේක බරපතල කතාවක්, ඒත් විසේසයෙන් අර අහවල් එක හොයාගෙන කොලොම් පුරෙන් නැව් නැගපු අපිට අදාල කතාවක්. තව ම කියවනවා, පස්සෙ උත්තර බඳින්ඤ්ඤා.

    ReplyDelete
  10. Suba nawa wasarak wewa
    ane manda maara kattakne kanne

    ReplyDelete
  11. වැල යන්න පැත්තටලු මැස්ස ගහන්නේ කියලා විදව විදවා ලෝකෙට බොරුවට ජීවිතේ විදිනවා කියලා පෙන්නනවා. හුඟක් මිනිස්සු යන්ත්‍ර වෙලා. එහෙම හිතෙන අපිටම වෙන්නැති පිස්සු. අනේ මන්දා?

    ReplyDelete
  12. ජීවිතේ ඔහොමයි..
    හිතන දේ ඉටුවන සිත් කරදර නොවන බැඳීම් අළුත්වන නව වසරක් වේවා............!!!!!!

    ReplyDelete
  13. වෙලාවකට අපි මේ දුවන්නේ හරියටම අපේ ඉස්සරහ දැකලද කියලත් හිතෙනව මාරයියේ.., වේදනාවයි මේ නිර්වින්දනය වුනු මනුස්සකම් අස්සේ ඉන්න එක.., සිස්ටම් එකට පිරින් යනකොට අනුගත වෙච්චි එවුන් කියන්නේ මූට පිස්සු කියල, ඒත් සිස්ටම් එකට පිට ඉන්න එවුන් සිස්ටම් එකට කත් අදින එකෙක් ව දැක්කම කියන්නේ ඌට පිස්සු කියලා.., අනේ මන්දා අයියේ.., මේ විසම ලෝකේ මට අයිති තැන මම තවම හොයනවා..!

    ReplyDelete
  14. LishWish...

    මම දන්නවා මලේ උඹත් බොහෝම හිතන එකෙක් කියලා.
    හැම වෙලාවෙම උඹෙ අකුරු යට නොකියවුනු කතාවක් මම දකිනවා.
    බොහෝ පිරිසක් එකතු වෙලා හදාගන්නා දෙය සම්මතය වෙද්දී..
    අතරින් පතර තනි තනිව බිහි වෙන දේ අසම්මතය උනේ ඉඛෙමයි.

    පිස්සුව කියන්නෙත් ඒ වගේ තවත් එක් දෙයක්...

    සමහර විට අපේ මෙ දැනට දන්න විදියට ත්‍රිමාන ලෝකේ අපි පිස්සු කියලා හදුන්වන දේ..තවත් තැනක හරි දේ වෙන්නත් පුළුවන්...

    අපි ඉන්නේ වැරදි තැනක වැරදි වෙලාවට කියලත් මට සමහර වෙලාවට හිතෙනවා...

    ReplyDelete
  15. මිනිස්සුන්ට බලෙන් උනන්දුව කියන දේ ඇති කරන්න බෑ කියන එකට නම් මාත් එකඟයි. ඒ වගේ වෙලාවට දැනෙන කළකිරීම නම් කියලා වැඩක් නෑ. කරදර වලින් තොර සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  16. Praසන්ன කියපු දේ තමා මත් කියන්නෙ
    ..පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මංදිරේ....

    ReplyDelete
  17. මට අයියලාට තරම් මේ සමාජය ගැන අත් දැකීම නෑ. හැබැයි මම සමාජයේ සිද්ධවෙන දේවල් දිහා උනන්දුවෙන් බලනවා.
    මිනිස්සු යන්ත්‍ර වෙන්නේ සමාජයට ඕනේ විදිහට හැඩගැහෙන්න ඕනේ නිසා. සමාජයට ඕනේ විදිහට හැඩ ගැහෙන්න සල්ලි ඕනේ. ඉතිං කට්ටිය සතුට කැප කරලා සල්ලි හොයනවා. මිනිහෙක්ගේ මඟුලකට දානෙකට යන්නෙ නෑ. ට්‍රිප් එකක් යන්නේ යාලුවෙක් හම්බ වෙලා කතාකරන්නේ ඔය මුකුත් නෑ. සල්ලි සල්ලි සල්ලි. මේ පොර ටෝක්ස් දෙන මාත් කවදා හරි දවසකට ඔය තැනටම වැටෙයිද දන්නේ නෑ.
    කෙල්ලෝ ගැනත් කියලා තිබ්බා....... ඔය බ්ලොග් ලියන අපේ අක්කලාගෙන් අහලා බලන්න පණ වගේ ආදරේ කරත් අතේ සති නැති කොල්ලෙක්ටද කැමතිද කියලා. බොක්කෙන්ම ඇත්තම ඇත්ත උත්තරයක් දෙන්න කියන්න. මගේ යාලුවන්ගෙන්ම මම දකිනවා. තාත්තට සල්ලි තියනවානම් පුතගේ පස්සේ කෙල්ලෝ ඕන තරම්.

    කොහොම කොහොම හරි මට හිතෙන විදිහට ප්‍රධානම හේතුව වෙන මුකුත් නෙමෙයි සල්ලි

    ReplyDelete
  18. සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...මතින් තොර නිදුක් නීරෝගි සුවය හා සතුට පිරි සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  19. අනේ මංදා මචං, මමත් ජීවිතේ පුලුවන් තරම් සරලව තියා ගන්න බලන්නෙ. අවුරුදු 10 කට වඩා රස්සා කරාට අදටත් මම යන්නෙ එන්නෙ බස් එකේ. අපේ කොම්පැනියෙ කාර් එකක් නැත්තෙ මට විතරයි. අනික අපේ රස්සාවෙ කොහොමත් OT නෑ.

    ඒ වෙනුවට අපේ උන් කරන්නෙ, හවස ගෙදර ඉඳන් Freelance වැඩ කරනව වැඩිපුර සල්ලි හොයන්න. මට නම් හවස එක්කො ස්ංදුවක් අහන්න, ‍ෆිල්ම් එකක් බලන්න, නැත්නම් යලුවො එක්ක සෙට් වෙන්න වගේ නිදහස් දෙයකට මිසක් සල්ලි පස්සෙ දුවන දෙයකට යොදවන්න බෑ.

    දවස තිස්සෙම් නැහිල නැහිල, නිදහසෙ ඉන්න තියෙන වෙලාව සල්ලි වලට විකුනන්න පුලුවන්ද? ඒ නිදහසේ වටිනකම සල්ලි වලින් මනින්න පුලුවන්ද?

    ReplyDelete
  20. සල්ලි වල වහලුන් වෙලා බන් අපි ඔක්කොම... උබ කිව්ව වගේ කසාදයක් බඳින්න ගෙයක් දොරක් හදන්න...මටත් ඔය කතාව අහන්න ලැබිල තියෙනවා. ඒත් බන් මට නම් ඉතුරු කොරන් අනාගත හීන දකින්න කියල නහින්න බැහ. හොඳට කාල බීල නිදා ගෙන පිස්සුවක් නටල ඉන්න තිබ්බ නම් ඇති. ඒත් අනේ මන්දා හිතන්න බැහ බන්.. හිතුව ලෙඩක්

    සුබ අලුත් අවුරුද්දක් අයියේ

    ReplyDelete
  21. සියළුම දෙනාට සුභ නව වසරක් වෙවා...

    ReplyDelete
  22. ඔබට සතුට සාමය සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete