24 January 2011

බස් පළුවන්ගේ කතාන්දරේ...

ඔන්න ආයෙමත් පරණ සීන් කෝන් ටිකක් ඇද ගන්නයි සූජානම..

හැබැයි ඉතිං මෙව්වාගේ හිනා කෑලි..අටුවා..එතනින් ගියහම ගැට පඳ විවරණ.. ඔය මෙලෝ කෙන් ගෙඩියක් නැහැ..නිකංම නිකං පැරණි මතකය අවුස්සා ලීමක් විතරයි...

විශේෂයෙන්ම අදනං ලියන්නේ මාත්තුරුකාව මුලින් දාගෙන..ඔය උඩින් තියෙන්නේ ඒක තමයි..මොකද මම වෙනදට ලියන්නේ මාත්තුරුකාවක් නැතිව..ලියලා අන්තිමට තමයි බලන්නේ මොකක්දෑ දාන මාත්තුරුකාව කියලා..ඉතිං අතට අහු වෙන කොතනින් හරි වචන දෙක තුනක් පටලෝලා දැනවා මුලට...මගේ මාත්තුරුකා මෙලෝ රහක් නැති මාත්තුරුකා බවට පත් කිරීමේ රහස ඔකයි...

ආ මාත්තුරුකා ගැන කිව්වහම මතක් උනේ...මෙ ඊයේ පෙරෙදා ලියාපු නිවිති වැලක කතන්දරයක් හින්දා..මගේ බ්ලොග් එකට දැන් වැල බලන්න එන කට්ටියත් සැට් වෙන බව කව්දෑ මන්දා ලියාලා තියාලා ගෙහුන් තිබ්බා...
කාටද දෙයියනේ ආඩම්බර...?
ඔන්න මාත්තුරුකා හින්දා මට ගිය කලක්...
අන්තිමට මාත් සුනිල් ටී ලා..ලූවී වැන්ඩා...අප්පා මට ඒ නම ලියන්න බැහැනේ..දන්න අය දන්නවා මං කවුරු ගැනද කියන්නේ කියලා...ආන්න ඒ වගේ උන්දලාගේ ගොඩට වැටිලා තමයි නවතින්නේ..මේ බ්ලොග් කෙරුවාවකට ගෙහුන් මගේ නිකැළැල් චරිතයත් සෙත්තපෝච්චි..

..........................

හරි ඒ සුකුරුත්තං පැත්තකින් තියලා අපි පටන් ගම්මු මාත්තුරුකාවට අනුකූල වෙන්ට...

ඉතිං අපේ වැප් කොළු..අර මරණයා එක්ක එක්කාසු වෙලා බස් වලින් බ්ලොග් වලට තල්ලූවක් දෙන්ට කියලා වැඩ සටහනක් පටන් අරං නෙව..ඉතිං ඒක ආරම්භ කරලා තියෙන්නෙත් උන් බානම බස් කතා ලියලාම තමයි...
ආයේ ඉතිං ඔව්වා දැක්කහම මංතුමාටත් කට තියාගෙන ඉන්ට බැහැනේ..අර කටකහන මුදියන්සේලාගේ දුමියාගේ වගේ මගේත් කහනවා..හැබැයි ඇගිලි අග්ගිසි තමයි..ඉතිං ඒ කැහිල්ල අඩු කොරගන්ට කියලා මේ ලැප් මල්ලියාගේ යතුරු උඩ ඇගිළි අග්ගිසි ටික කොට කොට ඉන්න කොට තමයි මේ පරණ අහු මුළුවල තිබිච්ච පුස්කාපු මතකය ආයෙමත් නැගිටලා එන්නේ...

ඉතිං බස් ගැන කිව්වහම මටත් තියෙනවා නෙව හරි අපූරු බස් ඉතිහාසයක්...
කොටින්ම කිව්වොත් අපේ තාත්තගෙන් තමයි මේ බස් කතන්දර පටාන් ගන්නේ...

උන්දෑ ඉතිං හිච්චි එකා කාලෙම එක එක රස්සාවල් කොරන්ට පාරට වැටිච්ච උන්දෑ වෙච්චි..

තාත්තාගේ පවුලේ කොල්ලොම පහයි..තාත්තා ඔතනින් හතර වැනියා...
ඒත් ඉතිං මුල් කාලේ ඉඳලාම ආච්චි අම්මාගේ ළගින්ම ඒ කිව්වේ තාත්තාගේ අම්මාගේ ළගින්ම ඉඳගෙන ඔය උයන පිහන වැඩපල වලට..එතනින් ගියහම පොල් අතු වියන වැඩ පොල වලට..ආයේ තව අර දුනුකේ ගාල් කපලා පදං කොරලා පැදුරු වියන වැඩ එහෙම..කොටින්ම කිව්වොත් කෙල්ලෙක් නැති පවුලේ ගෑනු ළමයෙක් වගේ අම්මා ගාවට වෙලා බොහෝම කීකරුව හැදිච්ච කොල්ලා තමයි අපේ තාත්තා..අපේ තාත්තා හයේ කැලෑසියේ ඒ කියන්නේ තාත්තට අවුරුදු දොළහක් විතර වෙනකොට තමයි සීයා ඒ කියන්නේ තාත්තගේ තාත්තා නැති වෙලා තියෙන්නේ..
ඉතිං එදා ඉඳලා ආච්චි අම්මට මුළු පවුලම ඇදගෙන යන්ට උදව් කොරලා තියෙන්නේ තාත්තා..කොහොමින් කොහොම හරි ඇස් ඇස් සී පන්තිය පාස් වෙනකල් ඉසකෝලේත් යන ගමන් මොන මොනවා හරි කොරලා ගෙදරට හරි හම්බ කොරලා දීලා තමුන්ට වඩා ඉගෙනීමට දස්ස වෙච්ච අයියලා දෙන්නෙකුටයි මල්ලිටයි ඉගෙන ගන්ට එහෙම උදව් කොරලා තියෙන්නේ උන්දෑ...
උන්දැගේ උදව් උපකාර ගත්තු ඒ උන්නැහේලානං ගොඩ ගියා...
වැඩිමහල් මහප්පා ඉස්කෝල ගුරෙක්..
දෙවැනියාත් එහෙමයි..
තුන් වැනි මහප්පා පුංචි සන්ධියේ ඉඳලා ලෙඩා දුකා...තනිකඩව ඉඳලා මේ දැනට අවුරුදු පහ හයකට කළින් මියෑදිලා ගියා...
අන්තිමට බාප්පා ගිරාමසේවක...

ඔන්න ඒ කෙරුවාව..
හැබැයි ඔය ලොකු මහප්පලා දෙන්නත් මුල් කාලේ ඇච් ඇස් සී පාස් කොරලා ගෙහුන් තියෙනවා බස්වල රස්සාවට..ඒ කියන්නේ බස් පළුවෝ හැටියට..ඔය කොන්දොස්තර නෙවෙයි කියනවනේ නියම ආරිය සිංහල වචනේ..හරි වචනේ බස් පළුවා...ළු...
ඒකත් නරකම නැහැ...

ඉතින් අපේ තාත්තා අයියලා දෙන්නාට ඒ රස්සාවෙන් අහක් වෙන්ටය කියලා තමුන් අර රස්සාවට බැහැලා අරුන්නැහේලාට ඉගෙන ගන්ට විය පැහැදං කොරලා තියෙනවා..
ඒ හින්දා මහප්පලා දෙන්නා ගුරු විජ්ජාලේ ගෙහුන් ගුරුවරු හැටියටත්...
පාප්පණ්ඩි ගිරාම සේවක කෙනෙක් හැටියටත් රස්සාවල් අරන් තියෙනවා...
තාත්තා කාලාන්තරයක් තිස්සේ බස් පළුවා වෙච්චි...

ඉතිං මුළින්ම කාලේ රස්සාවක් කොරන්ට වයස එහෙම මදි හින්දා මුළින්ම කොරලා තියෙන්නේ සමූපාකාරයක බඩු කිරාපු එකයි කියලා.. ඔං ඒ දවස්වල අපිත් එක්ක කියලා තියෙනවා..කොහොමින් කොහොම හරි යාන්තං දන්නා අදුරන අයගේ මාර්ගයෙන් ඒ දවස්වල තිබුනු කොම්පැණි බස් සමාගමක වැඩට යන කොට දහටත් නැතිළු..ඒ කියන්නේ එකදහස් නවසිය පනස් දෙකේ වරුසයේ වගේ තමා...

ඉතිං ඒ සමාගමේ කැළණිය ශාඛාවේ තමයි මුළින්ම වැඩ කොරලා තියෙන්නේ...

ඒ කියන්නේ දැන් ඔය කැළණිය ඩිපෝ එක තියෙන්නේ එතන තමයි...

ඉතිං මුළින්ම දවස් ටිකේ කොරලා තියෙන්නේ බස් ටික අතුපතු ගාගෙන..හෝදගෙන ඉන්න වැඩ...
රෑට කොහේ හරි බංකුවක් උඩට වෙලා බුදියා ගන්නවා... තියෙන හැටියකට කාලා..ලැඛෙන දෙයක් නාස්ති නොකර ගෙදර උන්දලාව ජීවත් කොරනවා...

ඔය කතා මතක් වෙද්දිත් මට ඇස් දෙකට දැනුත් කඳුළු පිරෙන එක වලක්කන්ට මට බැහැ...ඒකට කමක් නැහැ...

අදටත් මට උනත් බංකු ලෑල්ලක් උඩ නිදා ගන්න වෙන අවස්ථා ඕන තරං...
සිකුරුටි ජීවිතේ කියන්නේ ආයේ සුව පහසු එකක් නෙවේනේ..ඒත් ඒ කෙරුවාවෙදී..යන්තං හරි බංකු ලෑල්ලක් හරි බිම කාඩ්බෝඩ් කෑල්ලක් හරි එලාගෙන පොඩි නින්දක් දානකොට මට හැමදාමත් තාත්තාගේ ඔය කතන්දර සිහියට එනවා..
ඒ වෙලාවට මටත් එහෙම නිදා ගන්න එකේ අමාරුවක් කවදාවත් දැනිලා නැහැ.
අඩි හයක් දිග තියේනං...අගල් දහයක් හෝ දොළහක් පළල තියේනං බංකු කෑල්ලක් කියන්නේ අදටත් මට හොඳ සුව පහසු යහනාවක්...
තාත්තලා වින්ඳ දේ අපිත් වින්දට මොකද..?

ඉතිං ඔන්න ඔහොම තමයි තාත්තා මුළින්ම බස් කොම්පැණියට යන්නේ...
හැබැයි තාත්තාගේ තිබ්බ කීකරු කොමයි අහිංසක කොමයි හින්දා බොහෝම ඉක්මනට තාත්තාව කොම්පැණියේ අයිතිකාර උන්නැහේගේ අවධානයට ලක්වෙලා තියෙනවා..මට මතක හැටියටනං ඇම් ෙජ් පෙරේරා වෙන්ට ඕන..ඉතිං බොහෝම ඉක්මනින්ම තාත්තට උසස් වීමක් හම්බු වෙලා තියෙනවා අපේ පරම්පරාවටම ආවේනික බඩ රස්සාවට..ඒ තමයි බස් පළුවෙක් වෙන එක...

ඉතිං ඔන්න ඔහොමයි බස් පළුවාගේ කතාව ආරම්භ වෙන්නේ..ඇත්තටම මම ලියන්ට පටන් ගත්තේ මෑත කාලීන සිද්ධියක් කියලා පටන් ගන්න උනත් මගේ අකීකරු ඇගිලි අග්ගිසි ටික මාව අරන් ගෙහුං තියෙන්නේ ඈත කාලයකට..
ඒත් මං හිතන්නේ ඒකෙත් වරදක් නැහැ කියලයි..මොකද හිතෙන්නේ...
බස් පළුවන්ගේ කතන්දර ටිකත් පිළි වෙලකට මුල ඉඳලා කියාගෙනම එන්ටද..නැත්තං ඊ ළග ලිපියෙන් කෙටි කොරලා අහවරක් කොරලා දාන්ටද..?

31 comments:

  1. හ්ම්.......
    නැ නැ පිළිවෙලට ලියමු අපි...... ආසයි කියවන්න ඔය වගේ කතා.

    ReplyDelete
  2. අනේ මාරයො! ඉක්මනට කියල දාන්න! පිළිවෙලකට කියන්න ගිහින් අර ඝොෂක සිටුවරයා ගේ කතාව තාම මඟ!

    ReplyDelete
  3. සතියක්ම තියේනේ පිළිවෙලකට කියමු එහෙනම්..

    ReplyDelete
  4. @හා පැටික්කී...
    @කලිකාල...
    @හසී...

    ලත් තැනම ලොප් විය...
    කෙළලා තියෙන්නේ තාප්පෙටම..තුන් දෙනා තුන් අතක..ඉතිං මොකදෑ කොරන්නේ..?

    ReplyDelete
  5. මාරයාගෙ කැමැත්තක් මාරයො කවද්ද අපි කැමති වෙලාවට අපිට ඕනි විදිහට කලේ.

    ReplyDelete
  6. හ්ම් ... පිළිවෙලකට කියනවා නම් හොඳයි තමයි....

    ReplyDelete
  7. මාරයා මල්ලි,
    මේ කතාව නම් මග නවත්තන්න එපා,විශේෂ ඉල්ලීමක් පරණ bus කාරයෙකුගෙන්.පුළු පුළුවන් හැටියට ලියාගෙන යන්න වෙලාව තියෙන වෙලාවට.පොරොන්දු වෙනවා පොඩි පොඩි ලංගම කතා ප්‍රතිචාර හැටියට වත් එවන්න.

    ReplyDelete
  8. ලියන්න ලියන්න.. පිළිවල නැතත් කමක් නෑ.. :D

    ReplyDelete
  9. piliwelakata liyahan MARAYO mage maraya nagga gan nathuwa. 2/3 labilane thiyenne

    ReplyDelete
  10. යකෝ තාත්ත පොඩිකාලෙ කරපු දේවල් බලාහිටිය වගේ ලියල තියෙන්නෙ.
    දැන් මේකවත් නවත්තන්නෙ නැතිව ඉදිරියට ඇදගෙන යං.

    ReplyDelete
  11. අයියාගේ කෙටි වැඩ තිබ්බෙ නෑනෙ කවදාවත්. එහෙව් එකේ මේකට විත‍්රක් මොකටද ඕය කෙටියක්. ඔන්න ඔහේ කියලා දාන්න අනේ සේරම.

    ReplyDelete
  12. අපිත් එල්ලෙනවා පාපුවරුවේ පොල්ල එහෙම තද කොරල අල්ල ගන්න ගමන්ම....
    කිව්වත් වගෙ කෝ බොල පෝයට දානවයි කියපු බණ කථා.....

    ReplyDelete
  13. මූ අපිට ඕන වෙලාවට එන එකෙක් නෙමේ නේ...ඒකනේ මූට මාරයා කියන්නේ.......

    ReplyDelete
  14. වැඩේ කල් ඇද්දොත් තමයි කෙරෙන්නෙ නැත්තෙ.....ඒ නිසා පිලිවෙලට කියමු, හැබැයි දවසට පෝස්ට් 3-4 ක් දාල ඉක්මනට සීරීස් එකම ලියල ඉවර කරමු.....කොහොමද ටිකිරි මොලේ ?

    ReplyDelete
  15. ම් ම් උඹේ කතාවලින් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා බන්.

    තව එකක්නංගිලා මල්ලිලාට යුතුකම් ඉටු කොරපු තාත්තලා ගොඩක් දෙනෙක් තමන් ජාතක කොරපු දරුවන්ට යුතුකම් ඉස්ට නොකරන එකට මට නම් තියෙන්නේ පුදුම මලක්.

    ReplyDelete
  16. ලියමු ලියමු, මාරයා අයියගේ කතා ටික නම් එල තමා.ඉස්මනට කියල දාන්න....

    ReplyDelete
  17. අයියා කැමති විදිහකට. කොහොම හරි ඔක්කෝම කතා ටික ලියන්නකෝ :)

    ReplyDelete
  18. මාරයගේ මාර කතා අහන්න අපි මඟ බලන් ඉන්නේ

    ReplyDelete
  19. prabathw7
    සිංග්ලිෂ් වලින් ලියන කෂ්ටිය මේකෙන් ට්‍රය් එකක් දාල බලන්න.කරදරයක් නැතුව සින්හලේම්ම ලියන්න පුළුවන්.
    මටත් අහු වුනේ අද,වෙන බ්ලොග් එකක කොමෙන්ට් එකක මේ ලින්ක් එක දාල තිබුන පින්වතෙක් . මට මතක විදියට taboo ගේ බ්ලොග් එකේ coments අතර.
    තමන්ට අවශ්‍ය වචනය ආවෙ නැත්නම් අන්තිම අකුර ළඟ බැක් space ගහන්න ලඟින් යන සිංහල වචන සහ ඉංග්‍රීසි වචන වැටෙනවා තෝරගන්න. භාසා දෙක අතරේ මාරු වෙන්න ඕනේ නම් කොන්ට්‍රෝල් G ගහන්න.
    http://www.google.com/transliterate/Sinhalese

    ReplyDelete
  20. @පැන්ඩා...
    අන්න මල්ලිට තේරුනා..මල්ලි හරි මල්ලි..

    @කුමාරයා...
    කුමාරයා කිව්වහම මාරයාත් ටිකක් අහන්න එපැයි.. බලමු...

    @ඔබ්සවර්...
    අනිවාර්යයෙන්ම මාත් ආසයි ඒ පැරණි බස් කාරයාට පණ දීලා ගන්න.. ඇත්තටම මම මෙ මාතෘකාව ඇදලා ගත්තේ මා වෙනුවෙන් නෙවෙයි..ඔබට පිට්ටනිය හදලා දෙන්නයි..එහෙනං කරගෙන යමු...
    ආයේ කියන්න දෙයක් නැහැ. මගේ එකට ඔබතුමාගෙන් දෙකක් ඔන..
    ෂයිලොක් මීට වඩා හොඳ ඇති..ඒත් ඒක තමයි විය යුත්තේ...
    පහතින් දක්වා තිබූ සිංහල වැඩසටහනත් ඉතාමත් හොඳ එකක්..ඒ සඳහාත් ස්තූතියි.

    @ළමයා...
    බලමු පුතේ..

    @ප්‍රභාත්...
    යකඩෝ මෙන්න මුන් මාරයාටත් පාට් දානවා..හනේ කාලේ වනේ වාසේ..අපිටත් ගිය කලක්..

    @ප්‍රසන්න...
    ඇත්තටම තාත්තා අත්විඳපු දේවල් වරින් වර අපිත් එක්ක කියනවා..ඒ ඉතිං අපිත් එක්ක වත්ත පිටියේ වැඩ කරන ගමන්..එක්කෝ බුලත් පාත්තියක් සකස් කරන ගමන් ඒ පාත්තිය හදන තැන ඉස්සර තිබුණු ගහ කොළ ගොඩ නැගිලි..ඒවා සම්බන්ධ වෙච්ච පුංචි පුංචි සිදුවීම් පවා...
    හුගාක් වෙලාවට තාත්තා නාඹර කජු ගොඩක් කපන්න පටන් ගන්නේ මායි මල්ලියි ළගින් තියාගෙන ඔහුගේ පැරණි කතා පෙට්ටියේ අගුල් පන්නන ගමන්මයි...
    ඇත්තටම මට ලියන්න ටිකක් හරි පුළුවන්නං ඒකේ ගෞරවය අපේ අම්මාට යන්න ඔ්න..මොකද මගේ අම්මා ත් ලියන්න පුදුම හැකියාවක් ඇති කෙනෙක්.
    ඒත් ඒ හැකියාව එකම එක අත් පිටපතකට සීමා වෙලා ..දැනටත් ඒක ගෙදර ඇති..මට පුළුවන් උන කාලයක ඒක තිබුණොත් ඔබ වෙනුවෙන් ඉදිරිබත් කරන්න බලන්නම්..ලිවීම එසේ වූවත්..මා සිතන්න පුරුදු උනේ තාත්තගෙන්...
    ඇත්තටම මම කවදා හරිදිග කතාවක් ලියනවනං ඒ මගේ කතාව නෙවෙයි..තාත්තාගේ කතාවයි...

    ReplyDelete
  21. කියමු කියමු.බස් පාළුවො(සොරි පළුවො) කතා අහන්න ඔන්න මමත් ලෑස්තියි.හදහන් වැඩ කරල හෙම්බත් වෙලා ඉන්න අපිට හවස් වරුවෙ මේ වගේ කතාවක් බලල මානසික සුවයක් ලබා දෙන එකට තමුන්නාන්සෙට බොහොම පින්

    ReplyDelete
  22. @අනුරාධ...
    බලමු මල්ලියා..

    @හීනියට...
    හා හා බලාගෙන..තව තද කොරලා අල්ල ගන්න වෙයි...
    කෑ ගහන්න එපා මනුස්සයෝ දැන් ඔක මතක් උනහම අපේ උපාසක උපාසිකාවෝ ටික ෆෝම් වෙන්න පුළුවන්..
    යකඩෝ එක පාරින්ම ඔවා කියලා ඉවර කොරලා පුළුවනෑ...ඔය හිමිහිට බැරියෑ..

    @රත්ගමයා...
    ඔය කිව්වෙ..ඔය කිව්වෙ..කිව්වොත් ඉතිං කු...කථාවක්ම තමයි..හෙහ් හෙහ්...

    @දිනිත්...
    අම්මපා හැබෑට ඔය මොලේ තමයි මොලේ..අපරාදේ මෙහෙ උපන්නේ..හෙහ්...

    @දුකා...
    උඹ කියන කතාව ඇත්ත..අපි දෙන්නම එකම දේ අත්විඳපු අය...ඒත් බං මට නොලැබිච්ච දේට වඩා මට ලැබුනු දේ ගැන මං සෑහෙනවා...සමහර විට අනිත් පැත්තෙන් දේවල් උනානං අද මං මෙතනට වඩා වෙනස්ම තැනක ඉන්නවා වෙන්න පුළුවන්..ඒත් බං මගේ හිතුම් පැතුම්...ඒවා කොතැනක තියේවිද කවුද දන්නේ..එහෙනං උඹලට මාරයෙක් නැහැ බං..අපිට දුකෙකුත් නැහැ..
    උන් දෙන්නා ඉන්න එකම මදිද බං...
    ඒ තාත්තලට හොඳක්ම වෙවා...

    ReplyDelete
  23. @අසංක...
    අනිවාර්යයෙන් බලමු මල්ලියා..මාත් උත්සහ කරනවා ඉක්මනට ඉවර කරන්න..

    @පූසා...
    උඹ ඉතිං හැමදාමත් ඔහොමනේ..ඔන දේකට ඔට්ටු කොල්ලානේ..

    @අයේෂා...
    කියනවා යාළු..

    @ජෝතිෂ්‍යලංකා...
    අනිවාර්යයෙන්ම..මෙ ඒක නෙවෙයි..ඔබතුමාත් පොඩ්ඩක් බලන්ටකෝ ජොතිෂයට අමතරව..ඔය වෘත්තීය හා සම්බන්ධ කතා එහෙමත් අපිට දෙන්න...ඒවා අනිවාර්යයෙන්ම මට වගේම හුගාක් අයට ප්‍රයෝජනවත් වෙයි...

    ReplyDelete
  24. එතකොට අපිට දැන් සතියක්ම කියවන්න වෙන්නෙ බස් කතා තමයි. හපොයි... ඔය බස්වල යන්නැති අපි වගේ උදවියට කරන හරිම අසාධාරණයක් තමයි බොලේ මේකනම්. ඔය එක බස් එකක්වත් අපි ඉන්න හෝල්ට් එහෙක නවත්තන්නෙත් නෑනෙ.

    ReplyDelete
  25. අනේ බොල මාරයො.. උඹ කවද්ද පිළිවෙළකට වැඩක් කෙරුවේ.... ඒ හින්දා මේකටත් පිළිවෙලක් ඕනේ නැහැ... කැමති විදිහකට දාපන්.. දාන ටික අපි කියවන්නන්....

    ReplyDelete
  26. අපේ සීය නැතිවෙද්දි තාත්තට වයස 16යි. අක්කල නංගිල 6 දෙනයි. මල්ලිල දෙන්නයි. ඒ ඔක්කොගෙම වැඩ කරල දීල කසාද බන්දල දුන්නෙත් තාත්ත. අද තාත්ත ලෙඩ වෙලා බිස්නස් නවත්තල ගෙදර ඉඳිද්දි ඔය එකෙක්වත් බලන්නවත් එන්නෙ නෑ.

    ReplyDelete
  27. @දුමී...
    උඹ නාඩා ඉඳින්..මං ආයේ දුමියාව අමතක කරන එකක්යෑ..අනිචාර්යයෙන් ඒ අස්සවල් වලට කෑම බීමත් රිංගෝනවමයි.
    උඹලා ඉතිං මෙට්ට්‍රො වල මිසක් අපේ වගේ දුප්පත් බස්වල යන එකක්යෑ..

    @ජීව්...
    උඹ විතරයි බං මාව තේරුං ග්තත එහෙකුට ඉන්නේ..

    @රංග...
    ඒ සන්තෑසිය මෙහෙත් එහෙම තමයි බං..ඒත් තාත්තා කවදාවත් ඔවට වග පල කියන්න ගියේ නැහැ..එයාගේ පාඩුවෙ හිටියා මිසක්

    ReplyDelete
  28. හෝව්....හෝව් ...බස් එක අම්මයි මායි දෙන්නයි....අපිවත් දාගෙන යන්...

    ReplyDelete
  29. මේකත් නරක නෑ නොවෑ,,මේ ටිකේ බස් කාරයෝ බරටම වැඩ නේ....මාරයෝ අර බස් අයිතිකාර උන්නැහේ ඇම්.ජි.කුරේරා....පොර අපේ ගම්පලාතේ,අපේ සීයගේ හිතවතෙක් හින්දා මට ඒ නම මතක උන්දැගෙ මහ ගෙදර තවමත් ඒ පරන කොම්පැනි බස් එකක් තියනවා ගරා වැටිලා....

    ReplyDelete
  30. @ ItalyDilan,
    M.J.පෙරේරා කියලත් බස් කොම්පැනියක් තිබුන.

    ReplyDelete
  31. ස්තුතියි observer ....මේක ඉතාම හොද tool එකක් .....

    ඔන්න මාත් සෙට් වෙනවා බස් එකේ යන්න....කොහොමත් බස් පිළිවෙලට යන්නේ නැහැනේ, එක නිසා යන විදිහට යමු..

    ReplyDelete