01 February 2011

බස් පළුවන්ගේ කතාව...7

ඔන්න දැන් කියන්ට යන්නේ මෙකේ අවසානය තමයි මං හිතන්නේ..ඒත් ඉතිං ලියලා ඉවර වෙනකල් හරියටම කියන්ට බැහැ කොතනින් නවතීද කියලා..ඒ තමා මගේ හැටි.යන්නේ කොහේවත් අන්තිමට බලද්දී මල්ලේ පොල්..

නරකත් නැහැ ඉතිං මේ දවස්වල හැටියටනං..

.................................

හරි අපි කළින් නැවැත්තුවේ අපේ බස්පළුවන්ව පුහුණු කොරන හරියේ නෙව...

ඉතින් ඔන්න ඔහොම බස් රථයක වැඩට වැටුනහම..ඕන කරන ලියකියවිලි වැඩ ටිකත් කරගෙන ටිකටි ටිකත් කඩාගෙන බස් එක දුවන හැටිත්..ඒ අතරේම බස් රථයක් යම් ආපදා තත්වයකට ලක් උනහම මගීන් කළමනා කරණය කොරන හැටිත්..බස් රථය සම්බන්ධව කිරියා කොල යුතු ආකාරයත් ආදී බොහෝම දේවල් කියා දෙනවා...අවසාන වශයෙන් බස් රථය ඩිපෝවට ගෙනල්ලා කරලා..ඊ ළගට මුදල් බාර දීම...

ඒකත් ලේසි පහසු නැහැ...මැෂින් එකට සහ ටිකට් පොත් වලට අනුව වේ බිල් එක පුරවලා දවසේ අවසාන ආදයම සකස් කරලා ඒවා සටහන් තියලා..ඊට පස්සේ දුවන ලද මාර්ග අංකයට අඳාලව නියමිත ටාගට් දීමනාව වෙන් කිරීම..

ඒ කියන්නේ ඔය ඕනම මාර්ගයකට අදාලව දවසේ ඉලක්ක ආදායම් දෙකක් අපිට දෙනවා..
උදාහරණයක් හැටියට අපි හිතමුකෝ 193 පුරහල කඩවත කියලාම..

ඒකේ සීයට හයේ ටාගට් එක රුපියල් දෙදහයි කියමුකෝ එතකොට සීයට අටේ ටාගට් එක රුපියල් තුන්දහක් විතර වෙනවා...

ඒ කියන්නේ අපි දවසේ ආදායම රුපියල් දෙදහසත් රුපියල් තුන් දහසත් අතර නම්..

අපේ මුළු ආදායමෙන් සීයට හයක් අපි දෙන්නට..ඒ කියන්නේ රියදුරු තැනට සහ බස්පළු තැනට හිමියි..ඒ කියන්නේ සීයට තුන බැගින් දෙන්නට...රුපියල් දෙදහස් පන්සීයක් හොයලානං අපිට ලැඛෙනවා එක්කෙනෙකුට රුපියල් 75 ගානේ දෙන්නට රුපියල් 150ක්..

එතකොට අපි ඒ ඉලක්කයත් ඉක්මවලා රුපියල් තුන්දාහේ ටාගට් එකත් පන්නලා තිබ්බනං අර සීයට හයේ කතා මොනවත් නැහැ..කෙළින්ම සීයයට අටේ ටාගට් එක යටතේ අපිට දීමනාවක් හිමියි...

ඒ කියන්නේ අපි රුපියල් 3200ක් හෙව්වනං..අපි දෙන්නට රුපියල් 128 ගානේ දෙන්නටම රුපියල් 256ක් හිමි වෙනවා...

බැරි වෙලාවත් අපිට 2000 වත් ඉක්මවන්න බැරි වෙලානං...එහෙනං ඉතිං අබ සරණයි..අත් දෙක පිහදාගෙන ගෙදර බලා ගමනේ යා...
හැබැයි ඉතිං ටගට් එකට තව අඩු සුළු ගානක්නං ඒ ටික හරියනකං ටිකට් ටිකක් අතිං කඩලා හරි පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න වෙලාවල් උනත් තියෙනවා..අපරාදේ කියන්න බැහැ...මටනං දෙයියන්ගේ පිහිටෙන් කවදාවත් ටාගට් නැති උනේ නැහැ.එහෙමත් දවසක තමයි සීයට අටට යන්න බැරි උනානං..ඒ ඉතිං මුල්ම දවස් දෙකක් වගේ තමයි ඊට අමතරව බස් එක කැඩුනනං තමා...

ඉතිං ඔය විදියට ගණනය කිරීම් කරලා..අර ටාගට් ගනනුත් අඩු කරලා පෙන්නලා ඉතිරි මුදල මුදල් කවුන්ටරේට බඳින්න ඕන...

ඒකත් ඉතිං සල්ලි වෙන වෙනම තෝරන්ඩ ඕන...දාහේ කොළ වෙනම..
පන්සීය වෙන..සීය වෙනම ආදී වශයෙන්

ඒකත් අඩුක් කරන්ඩ ඕන එක විදියටම..ඒ කියන්නේ අර සල්ලි කොළවල උඩින්ම තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කියලා..ආන්න ඒ පේළිය එක දිගටම හිටින විදියට..ඊඨ පස්සේ කාසිත් කඳු ගහන්න ඕන..
රුපියල..ශත පනහ රුපියල් පහ වෙන වෙනම..
ඔන්න ඕය විදියට කවුන්ටරේ ලෑල්ල උඩ සල්ලි ටික හදාගෙන පෝලිමේ ගෙහුන් සල්ලි බාර දෙන ගමන් රුපියල් පහක සන්තෝෂමකුත් අර සල්ලි බාර ගන්න උන්නැහේට තියන්ට ඕන..නැත්තං ඉතිං ෂුවර් එකටම හෙට උදේට හම්බ වෙන ටිකට් මැෂින් එක පට්ට ලදරමක් වීමේ සම්භාවිතාව සීයට දෙසීයත් ඉක්මවන්ට පුළුවන්...මොකද උන්නැහේලා තමයි රෑ එළි වෙනකොට ආයෙමත් අර අපිට උදේට දෙන යකඩ පෙට්ටි ටික සකස් කරලා තියන්නේ...

අප්සැට් ගිය මැෂින්වල රග දන්න එකෙක්නං පහට දහයක් තියනවා..ආයේ එකේ දෙකක් නැහැ...

ඔන්න ඔය විදියට සියළුම වැඩ පුරුදු කොරෝලා ඊට පස්සේ ඉතිං අපි ආදර්ශ ටිකට් කැඩීම පටන් ගන්නවා..එක්කෙනෙක් ටිකට් කඩනවා අනිත් අය ටිකට් ඉල්ලනවා..කියා දුන්න රූඩ් වල ඕනම තැනක ඉඳන් ඕනම තැනකට ටිකට් කඩන්න පුළුවන්...
ඒ අතරේ බහින් අයට බහින්ට බැල් එක ගහන්ටත් ඕන..බැල් එක ගහන එකෙත් විදියක් තියෙනවා..බහින්නනං එක බැල් එකයි.
බස් එක අද්දන්නනං ළග ළග පාරවල් දෙකයි...
හදිසි නැවතීමක්නං ඇර සෝලා..දිගට නෙලාගෙන යන්ටයි තියෙන්නේ...

ඔය පුහුණුවෙන් පස්සේ තියෙනවා වෙනම පාඩමක් මැෂින් එක සිරවීම සිදු වූ විට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය...

ඔය ටිකට් මැෂින් සම්බන්ධව බොහෝමයක් කතා හැමෝම අහලා ඇතිනේ..
මං හිතනවා එයින් දෙක තුනක් හරි පහළ කමෙන්ට්ස් තීරුවේ ලිය වේවි කියලා...

ඉතිං මේ මැෂින් ලංකාවට ගෙනල්ලා දැන් බොහෝම කාලයක් වෙනවා..ඒ හින්දා ඒවා අර මුල් යුගයේ වගේ හරියටම වැඩ කරන්නේ නැහැ...නිතර හිර වෙන්ට බලනවා...
අන්න එහෙම හිර උන වෙලාවට නැවත මැෂින් එක යථා තත්වයට පත් කර ගන්ට ඉගෙන ගන්ට ඕන...

මංනං ඉතිං කලේ යථා තත්වයට පත් කොරන්ට වෙන්නේ නැති වෙන්ට මැෂිම හිර කර නොගෙන ඉන්ට පුරුදු වීම තමයි...
ටිකට් එක කඩනකොට ටිකට් එකේ වම් පැත්තේ මුල්ලෙන් හරියට අල්ලලා එක පාරින් සියුම්ව කැපිලා වෙන්වෙන විදියට ටිකට් එක කඩන්න පුරුදු උනහම කිසි අවුලක් නැහැ...නැත්තං ඔය හැට්ට කටු දිග ඇරගෙන මැෂින් හද හද ඉන්ඩ ගියහම සංසාරේ එපා වෙනවා..ඒත් ඉතිං මුල දවස්වල ඕක මටත් උනා...

හදිසියේවත් මැෂිම හදා ගන්ට වෙලාවක් නැත්තං ගත්තා ටිකට් පොතක් අතට පටන් ගත්තා ඒකෙන් කඩාගෙන කඩාගෙන යන්ට..
හැබැයි ඉතිං දුර සේවා වගේ නෙවෙයි කෙටි මාර්ගවල ඔය පොතෙන් කැඩිල්ල ලේසි නැහැ...
තත්පරේට හැටෙ වේගයෙන් කඩාගෙන යන්ට එපෑ...
ඊ ළගට ටිකට් පොත...
ඒක ඊට එහා...පොත පාවිච්චි කරන්ඩනං යන්ඩ කළින් කඩන්ඩ තියෙන ටිකට් පොත්වල ටිකට් වෙන්වෙන තැන්වල හැට්ට කට්ටකින් ඉරි ඇදගෙන තියෙන්ට ඕන..නැත්තං ටිකට් වෙන් කරන්ට අමාරුයි...
ඊ ළගට පිටුවෙන් පිටුවට මුදල් වටිනාකම එකතු කරලා ඊ ළග පිටුවට ගෙනියන්ට ඕන..
ඔන්න ඔහොම වැඩ කෝටියක්..හැබැයි ඉතිං දුර ගමන් වලට පොත්ම තමා..

පොත් කිව්වම මතක් උනේ ඊ ළග සීන් එක ඒ මට වෙච්ච ඇබැද්දියක්...
එතකොට මං වැඩ කලේ කුරුණෑගල කොළඹ..මාර්ග අංක 6 යටතේ තමයි..හුරු බුහුටි ඩිමෝ බස් එක...
දවසක් අපි කුරුණෑගල ඉඳන් කොළඹ බලා එනවා..කිසි අවුලක් නැහැ දවසේ ආදයම් වාර්ථා තියාගෙන සනීපෙට එනවා...

මාත් ඉතිං පිටිපස්සේ දොරට ඉස්සරහින් ඇති සීට් එකත් දොරත් අතර පුංචි ඉඩේ හිටගෙන නිදි කිර කිර එනවා...
ඇයි අප්පා පාන්දර හතරට නැගිටලා ලෑස්ති වෙලා මගේ පුස් බයිසිකලෙත් පැදගෙන හැතැම්ම හයක් විතර ඇවිත් පාන්දර පහට නෙව සේවයට වාර්ථා කොරන්න වෙලා තිබ්බේ..ඒ මදිවට හැමදාම ගෙදර යනකොට රෑ දහය එකොළහ වෙනවා..ඒ මදිවට සති අන්තවල ගෙදර යන්න වෙන්නෙම නෑ..

ඉතිං ඔය වෙලාව වෙනකොට ඛෙල්ල සාක්කුවට වැටෙන්නේ ඉබේටමයි...
කොහොමින් කොහොම හරි හරියටම දළුගම හරියෙදි මට ටිකක් කුකුළා වැදුනා ඒ කියන්නේ පොඩ්ඩක් නින්ද ගියා..එක පාරටම සද්දයක් ඇහිලා මාව උඩ ගිහින් විසි වෙලා ඇහැරුනා..බස් එකේ හිටපු අය කෑ ගහනවා...
මට නිකං කරකෝලා අතෑරියා වගේ..ඒ අය අත දික් කර කර මට බස් එකේ පිටි පස්ස පෙන්නනවා..මාත් බැළුවා..
අප්පද බොල...විනාසයි...දැක්ක දේට මගේ සරුවාංගෙම සීතල වෙලා ගියා...

මේ ලිපියත් දිග වැඩියි..මටත් බඩ ගිනියි..ඒ ඔක්කෝටමත් වඩා ටිකක් බැනුං අහන්ටත් ආසයි වගේ..කැඩුවා ඔන්න මෙතනින්..

32 comments:

  1. අම්මෝ අපි හිතන් හිටියෙ කොන්දොස්තරලට තියෙන්නේ ටිකට් කඩන්නයි සල්ලි ගන්නයි වැඩේ විතරයි කියලා

    ReplyDelete
  2. ඉවරයි කිව්වට ඉවරම නෑ.... තව තියෙනවා... :)

    ReplyDelete
  3. ඒ රස්සාවත් බලාගෙන ගියාම ලේසි නෑ නෙව ...
    මීට පස්සෙ නම් බස් පලුවන් ට බණින්නෙ නෑ.

    ReplyDelete
  4. මේ පෝස්ට් එක නවත්තල තියෙන තැන දැක්කම අපේ ඇග රත්වෙලා යනව.
    අති භයානක සිදුවිමක් ඊළගට බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  5. තොගෙ ආච්චිට කියලා මං බනින්නේ නෑ... හොඳ මාරයා වගේ ඉතුරු ටික දාපං ... හොඳේ..

    ReplyDelete
  6. maraya salli hala gaththa neda.

    ReplyDelete
  7. බස් පලුවන්ට ජය වේවා!!!!! (විහිලු කොමෙන්ටුවක් නොවන බව සලකන්න...ඉකේයියා නෑ)

    ReplyDelete
  8. බසයෙන් පැන ආපසු දුවන මාරයාගෙ ඇඟ කිලිපොලායන දර්ශනය මීලඟ කතාංගයෙන් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද?

    මූව යවන්න ඕනි අර ටෙලෙ නාට්ට ලියන එවුන්ට තියුසොන් දෙන්න

    ReplyDelete
  9. මාර වැඩේ නේද....බැනුං අහන්න ආසයි කියලත් එකෙක්වත් බනින්නෙ නැහැ....

    දැන් පෝස්ට් ගානකින් කෑම ගැන මුකුත් ලිව්වෙ නැති නිසා මේ පෝස්ට් කියෙව්වත් නිකං මොකක්ද අඩුයි අඩුයි වගේ, නැද්ද බස් පලුවන්ගෙ කෑම සම්බන්ධ රස කතා මුකුත් එහෙම ?

    ReplyDelete
  10. අර කිව්වත් වගේ අපි හිතන් ඉන්නේ මාර ලේසි වැඩක් කියලා......
    බලන් ගියාම මාර අමාරුයි නේ මාරයියේ.......

    ReplyDelete
  11. අම්මෝ හෙන කට්ටක්නෙ කන්න වෙන්නෙ.

    ReplyDelete
  12. බලන් ගියාම මාරයියත් කතන්දර සාගරයක් නේ. දැන් හිටහන්කෝ ඊලඟ පෝස්ට් එක එනකම්. :D

    ReplyDelete
  13. හපොයි බැලුවම බස් පළු රාජකාරියත් එසේ මෙසේ වැඩක් නෙවෙයිනේ . මම නම් හිතුවෙ නෑ බස් පළුවන්ට ඔය තරම් පුහුණුවක් දෙනව කියලා . මංහිතුවෙ ඔහේ සුටුස් ගාලා ටිකට් කඩලා සල්ලි සාක්කුවෙ දාගන්න වැඩක් කියලා .අපේ අප්පෝ බස් පළුවන්ටත් තියෙන වැඩ ගොඩ .මාර පුත්‍ර මුහුදු බඩ මාර්ග වල එහෙම දුර ගමන් සේවා දිව්වේ නැත්ද ?

    ReplyDelete
  14. මාරයා මම අහල තියෙනවා කථාවක් බස් පළුවන්ට ගෙදරදි මොනවහරි ලියද්දි කවුරුහරි මේසේ හොල්ලන්න ඔනේ කියලා... ඒක ඇත්තද..? :D

    ReplyDelete
  15. මං අහල තියෙනව මෙහෙම කතාවක්. ඔය ටිකට් මැෂින් මුලින්ම ගෙනාවෙ ජර්මනියෙන්ලු. ඒව කාටවත් හොර කරන්න බෑ කියල නිශ්පාදකයො වගකීමකුත් දීල තිබ්බලු. හැබැයි අපේ බස් පළු උන්නැහේල මේකෙ ගාන වෙනස් කරනවලු. ජර්මන් උපදේශකයො දෙන්නෙක් ඉස්සරහ අපේ බස් පළු මහත්තයෙක්, මැෂිමෙන් හොර කරන විධි විසි ගානක් කරල පෙන්නුවලු! අර මහත්තුරු කට ඇරගෙන බලා හිටියලු!

    ReplyDelete
  16. උඹට..................
    යකෝ කොතනින්ද මේ නැවැත්තුවේ.

    ReplyDelete
  17. JHOTHISHALANKA...

    හප්පච්චියේ එහෙමනං කොයි තරං එකක්ද..?

    ReplyDelete
  18. ප්රසා...

    මොන..ඉවරකරනවා තියා..

    ReplyDelete
  19. kumaraya...

    හම්මෙ ඒ ටිකත් මදෑ...
    හැබැයි ඉතිං බණින්න නෙවෙයි දත් ඇන්ද ආමාශගත කරවීමට තරං හිතෙන වැඩ කොරන එව්වනුත් ඉඳ හිටලා හම්බ වෙනවා...

    ReplyDelete
  20. prasanna86k...

    ඒ කිව්ව එකේ හොඳ කමටම ඔන්න තව දෙකක්ම දාලා ඇති...

    ReplyDelete
  21. prabathw7...

    ලකුණු සීයෙන් සීයම දුන්නා ඔන්න..මාව අඳුරන කෙනෙක්වත්ද මෙ..?

    ReplyDelete
  22. රත්ගමයා...

    අනෙ අම්මපා..තෝ නං...

    ReplyDelete
  23. නිශ්...

    මාත් මෙ බලං ඉන්නෙ උං එයිද කියලා...

    ReplyDelete
  24. දිනිත්...

    නැහැ බං අපේ එව්වෝ හරි හොඳයි..
    ( උං දන්නවා උං නොකිව්වත් මං ඊ ලග එක දානවා කියලා ඒක හින්දා මිසක්..)

    කෑම ගැන ලියන එක මම අතෑරලා දැම්මා මෙ අපේ දුමියලා වගේ අසරණයෝ කිහිපදෙනෙක් වෙනුවෙන්..
    ( ලියන එක නවත්තලා මූණු පොත හරහා දැන් කන බොන දේවල් ටික පොටෝ ගහලම අරිනවා..ආයේ මොකද ඉතිං..)

    ReplyDelete
  25. හා පැටික්කී...

    මාරයටත් අමාරු දේවල් = මාර වැඩ

    ReplyDelete
  26. nawammawatha...

    කට්ටෙත් හොඳම එක මං හිතන්නේ මුදුන් කට්ට..
    අර මොකක්ද ප්‍රශ්නේ හරි ගියාද සහෝ..

    ReplyDelete
  27. roylyfernando...

    මොනවා කොරන්ටද මලේ...කොටනවා කියලා මෙහෙමත් කෙටියැහැක්යෑ...

    ReplyDelete
  28. TG...

    මොකෝ නැතුව ලොකු අක්කේ...
    හැබැයි හැමදාම නෙවෙයි සති අන්තවල අපි මාතර එහෙම දුවනවා ඒ දවස්වල...

    ReplyDelete
  29. Beetle...

    හිහ් හිහ්..විහිළුවට කිව්වා උනත් ඒ කතාවෙ ඇත්තක් නැත්තෙත් නැහැ..
    හැබැයි ඒ පළපුරුද්ද හින්දා මටත් අද උනත් පාරෙ ඇවිදින ගමන් උනත් මොන මොනවා හරි ලියන්ට නං පුළුවන්...

    හැබැයි ඉතින් දීර්ඝ කාලීන අහිතකර බලපෑමනං නැති වෙන්න බැහැ..හුගාක් රස්සාවල් වල මෙ තත්වය දකින්න තියෙනවා..

    ReplyDelete
  30. කලිකාල...

    ඔව් ඒ කතාව ඇත්ත..ජර්මන් නිශ්පාදනයක් තමයි..හැබැයි ඔය වැඩෙ කරලා පෙන්වලා තියෙන්නේනං කොම්පඤ්ඤ වීදීයේ ඒ දවස්වල හිටපු වින්කල් බාස් උන්නැහේ කෙනෙක් කියලා තමයි මං දැනුවත් වෙලා ඉන්නේනං..ඊට පස්සේ බාස්උන්නැහේ ඇතුළු පවුලටම ජර්මනියේ පුරවැසි භාවයත් හම්බ උනාළු..

    ReplyDelete
  31. AmilaArt...

    හෙහ් හෙහ්..තරහා ගන්ට එපා ආයිබෝං..

    ReplyDelete