02 February 2011

බස් පළුවන්ගේ කතාව...9

හොඳයි ඉතිං..මං මුළින්ම හිතුවේ මේ බස් පළු කතා ටික පහුගිය බස් සතිය ඇතුළත කියලා ඉවර කරන්ට කියලා උනත් අන්තිමේදී වැඩේ හබක් උනා..

මං හිතුවටත් වඩා මේ කයි කතන්දර දිග විත්තිය මට තේරෙන්නෙත් දැනුයි..සෑහෙන්න සිද්ධි අත හැරලා දාලා කියාගෙන ආවත් අන්තිමට මේක මහ දිග කතාවක් උනා නෙව..නැත්තං ඉතිං හිතුවා වගේ දවස් හතයි..කෑලි හතයි..වැඩේ කම්මුතුයි..ඒත් ඉතිං සිදු වෙන්නෙම නොහිතපු දේවල්ම නෙව..

කොහොමටත් අතීතය අවුස්සන්න අවුස්සන්න අපි හැමෝටම කියන්න කතා ඕන තරං..මේ බ්ලොග් එක අටවද්දී මං වත් හිතුවේ නැහැ මේ තරං කයි කතන්දර තියේද මාළග කියලා..ඒත් දැන් තමා තේරෙන්නේ..තව කොයි තරං දේවල් කියන්න තියෙනවද කියලා...

මේ බස් පළු කතන්දරේට පස්සේ ලියන්ට වෙන කතා ටිකක් ඇදලා ගන්ට ඕන..ඒ වගේම මට හිතෙනවා හැම ලිපියක් අවසාන වෙන්න ඕන නැහැ කියලා..ඒ කිව්වේ හිනා වෙන්න හරි අඩන්න හරි වෙන මෙලෝ මගුලක් ඕන නැහැ ඕන තැනකින් නැවතියං කියලා ඔහේ ලියාගෙන යන එක හොඳයි කියලත්.

විශේෂයෙන්ම කතා කතා වශයෙන් වෙන් වෙන් කරන්ට ගියොත් සමහර කාරණා මග ඇරෙනවා. ඒ හින්දා කෙටි සටහන් හැටියට ලියන එකෙත් පොඩි වාසියක් තියෙනවා...

...................................
හරි ඒ බයිලා නවත්තලා අපි එමු බස් පළුවට..

ඉතිං දැන් මෙන්න මෙහෙම අපි උන්නැහේලා ටික මේ පුහුණුව කරගෙන ආවා...
ඉතිං කොහොම හරි නියමිත පුහුණු කාලය අවසානයේ එක් දවසක් හදිසියේම හවස් වරුවක ඒ කියන්නේ හවස දෙකට විතර කියපි නේද ආ දැන් අද හවස කට්ටිය බස්වල වැඩ කරන්ඩ ලෑස්ති වෙන්න කියලා...

කවදා කාපු ටකරංද..? මොකද බෑ කියන්නයෑ..ආයේ තනියට උදව්වට කවුරුවත් නැහැ..දැම්මා බස් වගයකට...
ඒ හැම බස් එකම උදේ ඉඳලා දුවපුවා...එකම එක ටර්න් එකක් විතරයි ඉතුරු වෙලා තිබුනේ..

ඉතිං මටත් අහු උනා බස් එකක්..

ඉස් ඉස්සෙල්ලා දෙනකොට ටිකක් ලේසි එකක් දීපියකෝ..
දුන්නේ නැද්ද අර මං කළින් කිව්ව 193 කඩවත-පුරහල රූඩ් එක..

වෙලාව හවස තුනට විතර ඇති..ඕං දැන් අපි කඩවත සිට පුරහල බලා ගමනේ යා...

මොනවද ඉතිං අපේ ගුරුතුමා කිව්ව විදියටම නමෝ විත්තියෙන් දෙයියෝ බුදුන් සිහි කරලා ටිකට් මැෂිමත් අතේ හිර කොරං වේ බිලත් සීරු මාරුවට ලකුණු කොරගෙන මං දැන් බස් එකේ යනවා...
හැබැයි ඉතිං පොඩි පහසුවකට තිබ්බේ මේ මාර්ගය මට ටිකක් හුරු පුරුදු මාර්ගයක් වීම තමයි..
බස් රස්සාව කොරන්ට කළින් ඉඳලම මං දන්නවා මේකේ සෙක්ෂන් කැඩෙන්නේ කොතනින්ද කියලා..ආන්න ඒ හින්දා වැඩි අවුලක් නැහැ..ටිකක් ඉතිං අමාරු ටිකට් වලට ගණන් හදන්න තමයි..සෑම සෙක්ෂන් එකක් පහු වෙන වාරයක් පාසාම ගණන් හිලවු වෙනස් කර කර මං දැන් ටිකට් කඩනවා..ටිකක් ටැපලි ටැපලි හරි වැඩේ කරගෙන ගියහැකි මොකද මේ වෙලාවේ පුරහල පැත්තට යන්න හුගාක් සෙනගක් නැහැනේ..

කොහොම හරි ඔළුව මහන්සි කර කර වැඩේ කරගෙන දැන් ඔන්න අපි ටවුන්හෝල්..දැන් ගමන ඉවරයි..මං ගණන් හදනවා..සල්ලි ගණිනවා..වේ බිලේ ලියනවා..හැබැයි බස් එක හිමි හිමිට වටේ කරකවලා තාමත් යනවා..
මං ඉතිං හිතුවේ පැය කාලක් විතර ඉඳලා ඊ ළග ටර්න් එක යනවා කියලානේ..බුදු අප්පච්චියේ මේ අපේ රියදුරු නාම්බා මෙන්න ආයෙමත් අනිත් පැත්තෙන් ගෙනත් බස් එක ගහලා හෝල්ට් එකට..

බුදු සන්තානම් මැණියනේ...මට වෙච්ච විපතක මහත..කටේ කෙළත් නැහැ..පිපාසේ ඉන්ට බැරුවා...
මෙන්න නගිනවා නේද හිටු කියලා සේනාව..වෙලාව පහට විතර ඇති..

හා කමක් නැහැ කියලා හිතාගෙන මාත් දනි පනි ගාලා දැන් ගෙහුං ටිකට් කඩන්න පටන් ගත්තා...

කඩවතට එකයි..සීයේ කොළයක්..
හතරෙ කණුවට දෙකයි..විස්සේ කොළයක්..
මහර හන්දිය එකයි බාගයයි..මාරු කාසි වගයක්..
පුංචි බොරැල්ලට කීයද..? ප්‍රශ්නයක් අහන ගමන් දහයේ කොළයක්...
ඇස්වාට්ටුව ගාවින් බහිනවා..
රුපියල් දෙකක් අතේ තියලා මිනිහා යනවා ඉස්සරහට කඩාගෙන ටිකට් ගන්නෙත් නැහැ...
ඉස්සරහින් නගිනවා..පිටි පස්සෙන් නගිනවා..ඒ අස්සේ මාව හිර වෙනවා..ටිකට් දහයක් විතර කඩන කොට මැෂිම හිර වෙනවා...
මං හරනෙල් කට්ට දිග ඇරගෙනම ටිකට් මැෂිමේ රෝල ගලවනවා..ඇතුලේ හිර වෙච්ච කොල කෑල්ල අදින්න උත්සහ කරන අතරෙත්..

කඩවත දෙකයි..
කිරිබත්ගොඩට එකයි...
බුළු ගහ හන්දියට එකයි..
මල්ලි පාලම උඩට කීයද..?
අනේ දෙයියනේ...

මේ අහිංසක මං ඕවාට කොහොම උත්තර දෙන්නද..මගේ ටිකට් මැෂිමත් කැඩිලා තියෙද්දී...දැන්නං ඇඩෙන සයිස්..
ඒ අස්සේ රියදුරු උන්නැහේ අරෙහෙ කෑ ගහනවා..

"මල්ලී මේ ඉස්සරහින් නැග්ග අය ඉන්නවා ඇවිත් ඒ අයටත් ටිකට් කඩන්න" කියලා..

මගුල තමයි..මට මේ පස්සෙන් නැග්ග අයට කඩා ගන්න බැරුව මං දගලනවා..තව කඩහංකෝ ඉස්සරහටත්...
ඒ අස්සේ කෙල්ලෝ එහෙම නක්කලේට හිනා වෙනවා..දෙන්න හිතෙනවා ටිකට් මැෂිමෙන් ඔළුව පැලෙන්න...

වයසක ගෑණු
"මොකද පුතේ කැඩිලද..?"හිනා වෙවී අහනවා.. හනේ මට හිතට එන වචන කටෙන් පිට කොරන්න විදියක් නැතුවා..වෘත්තීය ගරුත්වය රකින්න එපැයි...
ඒ අස්සේ තව මනුස්සයෙක්..මල්ලී රුපියල් පන්සීයක් මාරු කරගන්න බැරිද...හයියෝ අයියා මට දැන් මාරු වෙන්න හිතිලා තියෙන්නේ..හිතෙන් කිව්වට ඕවාත් ඉතිං කටෙන් පිට වෙන්නේ නැහැ...

කොහොම හරි විනාඩි දෙකක් වගේ ඇතුළත මැෂිම හදා ගන්න පුළුවන් උනා..ආයෙමත් දගල දගල ඉස්සරහට පස්සට දුවන ගමන් ටිකට් ටික කැඩුවා...

කෙටි ධාවන බස් රථයක පැය දොළහක සේවා කාලයක් ඇතුළත බස් පළුවකු අවම වශයෙන් කිලෝ මීටර පහක පමණ දුරක් ඇවිදින බව ගුරුතුමා කිව්වා වගේ මට හීනෙන් වගේ මතක් වෙනවා..
මම හිතෙන්ම කිව්වා

"නැහැ ගුරුතුමා ඔබට වැරදිලා..පැය දොළහක් ඔන නැහැ එක ටර්න් එකක් ඇති ඒ දුර ඇවිදින්න..."

මුළු ගමනාන්තය දක්වාම එක තත්පරයක් නිදහසේ වට පිට බලන්න නැහැ..හුස්ම ගන්න නැහැ..හිර වෙච්ච මිනිසුන් මැදින් එහාට මෙහාට ඇවිදිමින් වැරදි වැරදි ගණන් හද හද මහා යුද්ධයක් වගේ වැඩේ කරගෙන යනවා...සමහර වෙලාවට සෙක්ෂන් මාරු උනාද කියලා තේරෙන්නෙත් නැහැ..වට පිට බලන්න විදියක් නැති හින්දා..මුළු ගමන් වාරය ඇතුළත තුන් හතර පාරක්ම මැෂිම හිර උනා...ටිකට් කඩන්න තියා මට හිටගෙන ඉන්නවත් ඉඩක් නැහැ..සමහර වෙලාවට සෙනග අතරේ හිර වෙනවා කොහේටවත් යන්න බැහැ..ඒ අවු අස්සේ මිනිස්සු කීයක් බැහැලා ගියාද දන්නේ නැහැ...අන්තිමට බලන කොට රියදුරු උන්නැහේ ගාවත් රුපියල් තුන් හාරසීයක් එකතු වෙලා..ඒ ඉස්සරහින් නැගලා ලග ලග බැහැලා ගිය අය රියදුරු උන්නැහේට සල්ලි දීලා ගියාපුවා...

අන්තිමට හය හමාර විතර වෙද්දී අපි නැවතත් කඩවත...

හම්මේ...

...................................
මේ තමයි මගේ පළමු නිල ගමන් වාරය...ඇත්තටම එදා හිටිය රියදුරු තැන හිත හොඳ කොල්ලෙක්..ඌගේ උදව්ව උඩ කොහොම හරි යාන්තං ජාමේ බේරගෙන ආවා...මිනිහා මං කළින් ඉඳලම දන්න කියන හාදයා..ඒත් මෑන්ස් මාව ඒ වෙනකොට ඒ තරංම දන්නේ නැහැ..ඒ කොහොමද ඒ දැන හැදුනුංකොම කියලා මං පස්සේ කියඥ්ඤං...

හොඳම සෙල්ලම තිබුණේ එදා රාත්තිරියේ...
එළි වෙනකල් නින්දක් නැහැ...
මාව හීනෙන් ගැස්සෙනවා...ඇදෙන් වැටෙන්න එනවා...ඒ අතරේ මම ටිකට් කඩනවා...ඇත්තටම එදා එළි වෙනකල් මම 193 රූඩ් එකේ හීනෙන් ටිකට් කැඩුවා...
පහුවදා පාන්දර හතරට තාත්තා මාව ඇහැරෙව්වා...

"උඹට එළි වෙනකල් නින්ද ගියේ නැහැ නේද..? මං අහගෙන හීනෙනුත් ටිකට් කඩනවා..ගනන් හදනවා..."

ඉඳලා ඉවරයි..හතර විළි ලැජ්ජාවයි...

"ඔහොම තමා බං මං මුළින්ම වැඩ කොරපු දවසෙත් අපිට කියලා ඉන්න හිටින්න හරි හමන් තැනක් තිබුණේ නැහැනේ බං..ඒ හින්දා කැන්ටින් එකේ බංකුවක රෑ නිදා ගත්තේ..පහුවදා උදේ මුළු ඇගපතම රිදෙනවා..බංකුවෙන් ගැස්සිලා බිමට වැටිලම..මුළු ඇගම තැළිලා..පස්සේ බැරිම තැන කාඩ් බෝඩ් කෑල්ලක් එළාගෙන බිම නිදා ගත්තා..."

26 comments:

  1. මමත් ඉස්සෙල්ලම වැඩ කරපු දවස මතක් උනා බන්

    ReplyDelete
  2. එහෙනං කොහොමහරි කට්ට කාගෙන මාරය බස්පලු රස්සාවත් කළාලු.

    ReplyDelete
  3. එල... බලනකොට හැම රස්සාවම මුලින් කරන්න ගියාම එක වගේ තමයි....!!!

    ReplyDelete
  4. මාරයා ඌ කලී බහුකාර්ය උපකරනයක් වැනිය...නොකරපු දෙයක් නැත.....(ඉකේයියා එව්වත් ඇතුලත්ව...)

    ReplyDelete
  5. නිශ්...

    උඹ ඉතිං මතක් කර කර ඉඳපන් ලියන්න එහෙම හිතන්නවත් එපා...
    මොන මගුලක්ද බං..අපි බුලත් දෙනකංද ඉන්නේ බ්ලොග් එකක් පටන් ගන්නෙ නැතුව..?

    ReplyDelete
  6. Praසන්ன...

    නැතුව නැතුව..තාම මෙ යන්නේ ලංගොමෙ නෙව..ඊට පස්සේ පුද්ගොලික අංශෙට බැස්ස හැටිත් කියන්ට තියෙනවා නෙව...

    ReplyDelete
  7. udaya.jayawardhana...

    හරියටම හරි..මං හිතන්නෙ ඔන්න අතීතය සිහිපත් වෙන්න අරංද කොහෙද..?

    ReplyDelete
  8. රත්ගමයා...

    එතකොට රත්ගමයා වනාහී...????
    මගෙ සුදු මල්ලියේ ඉකේයියා හිතන්නේ නැතුව ඒ හරියත් කියහංකෝ බං...

    ReplyDelete
  9. අප්පට සිරි එහෙනම් බස් පළු රස්සාවත් හිතන තරම් ලේසිනෑ. මම හිතාගෙන හිටියෙ ටිකට් කඩන ගමන් ගනන් හදන එක විතරයි අමාරු කියල.

    ReplyDelete
  10. Ranga...

    මෙක විතරක් නෙවෙයි ඔය කොයි රස්සාවටත් ඒවාටම ආවෙණික වෙච්ච අමාරුකං ගොඩක් තියෙනවා...මොනවා කොරන්ටද..?වියදම සැරයි..ජීවිතේ දුකයි...

    ReplyDelete
  11. මාරයා මල්ලි,මේවා කියවපුවම මට දැන් හිතෙන්නේ ලංගම ඉංජිනේරු අංශෙ වැඩ කරන එක ලේසිය් කියල. හදන්ටම බැරි නම් අලුතෙන් ඉස්ටෝරුවෙන් ඕඩර් කරලා අරගෙන හය් කරනවා, නැතිනම් "අමතර කොටස් නැත" කියල ලියල බස් එක යාඩ් එකට ඇදල දානවා. හැබය් මම අත්දැකීමෙන් කියන්නේ හුඟක් ඉංජිනේරු අංශෙ කෂ්ටිය හිතන් ඉන්නේ "අපි නැත්නම් ලන්ගමක් නැහැ" කියල. හරියට ඉතින් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ මේක තමය් ලෝකය අපි තමය් මේකේ ඉන්න ලොක්කො කියල. කොන්දොස්තරල, රියදුරෝ එපෑය ජහමනයා එක්ක හැප්පෙන්න. ඩිපෝ මැනේජර්ලා , ඩිපෝ පරීක්ෂාකල තියා ඩිපෝවක ඉන්න වෙන කිසිම කෙනෙකුට (බස් ස්ටෑන්ඩ් වල ඉන්න ටය්ම් කීපර්ල කීප දෙන හැර) ජහමනයා එක්ක ගැටෙන්න වෙන්නේ නැහැනේ. මතක් වුනා චුටි කතාවකුත්.

    මම කුරුණෑගල වැඩ කරන කාලේ. පොසොන් හරි වෙසක් හරි දවසක්, බස් ස්ටෑන්ඩ් එකේ සූ ගාල සෙනග.මමය් තව ලංගම යාළුවො කීප දෙනෙකුය්, ටය්ම් කීපර් කෙනෙකුට විහිළු කරනවා, එයාගේ එනවුන්ස්මන්ට් එකකට. මොකද මිනිහ ලව්ඩ්ස් ස්පීකරෙන් කියනවා, නගර වල ගම වල නම් කියල ඒ දිහාවල් වලට ගමන් ගන්නා මගීන්ට අහවල් මාර්ග අංක වලින් සඳහන් බස් වලින් "ගමන් පහසුව" සලසාගන්න කියල.දැන් පාන්දර එකට විතර ඇති කුරුනෑගල ස්ටෑන්ඩ් එකෙන් බස් පිටත් වෙන්නෙ කට කපල,ඔක්කොම බස් තොරන්, පෙරහැර බලල ආපහු යන සෙනගගෙන් සාඩින් පැක් වෙලා. ඒ බස් වල යන මිනිස්සුන්ට මොන පහසුවක්ද?
    ඔය අස්සෙ පොරක් ඇවිල්ල අපේ ටය්මට දෝස් මුරයක් දැම්ම " ඕය් දැන් පැයකටවත් තමුසෙල වැල්ලව පාරෙ බස් එකක් දැම්මේ නැහැ.අපි ගෙදර යන්නේ කොහොමද?" කියල.(මේ කියන දවස් වල ප්ර්යවෙට් බස් එහෙම තිබුනේ නැහැ, 77න් ඉස්සර)
    ට්ය්මගේ උත්තරේ "තමුසෙලට වෙසක් බලන්න එන්ඩ කියල ලංගමින් අරාදනා පත්තර එව්වද ඕය්?"

    ReplyDelete
  12. අදත් අර ඊයෙ වගෙම "ම්ම්..." කියල තමයි කියන්න වෙන්නෙ, ඒක මම ඊයෙ කිව්වෙත් බස් එකක රස්සාව කරන එකේ අපි නොදකින කොයිතරම් නම් අමාරුකම් තියනව ද කියල හිතුන නිසා, අපි කොච්චර නම් බනිනව ද ඒත්... විශේශයෙන්ම ප්‍රයිවට් බස්වලට...

    ReplyDelete
  13. මාරයාගේ කථා ඇහැව්වම බස්වල යන එන කොට වෙච්ච දේවල් කොච්චර තියෙනවද කියල හිතෙනවා ..මේ මටම වෙච්ච..ඉස්කෝලෙ යන කාලෙ එකක් තාම මතකයි...ඒ හිතෙන් ලව් කරන කාලෙ..(තාම කියල වෙනසක් නැහැ )ඒ කාලෙ මම ශිෂ්ය නායකයගෙ මල්ලි.. නායකය අය්ය උනාට මටත් සෑහෙන්න පිලිගැනීමක් තිබුන ඈ..අයියගෙ වැඩකට මම විදුහල්පතිතුමාගෙ ගෙදර ගිහින් එන්න බස් හෝල්ට් එකේ ඉන්නවා..මම ඇහැ දාපු බාලිකාවෙ නගා කෙනෙකුත් හෝල්ට් එකේම ඉන්නවා ඇහැ දැම්මට කථා කරන්න මම හරිම ලැජ්ජයි..ඔය අස්සෙ බස් එකත් ආපි....දෙන්නම් යුනිපෝම් පිටතමයි හිටියෙ මම ඉස්සෙලම බස් එකට නැගල මගේ ගමනාන්තය කියල ටිකට් එකක් ඉල්ලුවා...බස් පළු උන්නැහේ ටිකට් දෙකක්ම දීපි...බාලිකාවෙ නගාත් බලාගෙනම ඉන්නවා..මොනවා කරන්නද ටිකට් දෙකම අරන් වෙව්ල වෙව්ල එකක් ඉරල නගාගෙ අතේ තියල බස් එකේ ඉස්සරහටම ගියේ පස්සවත් නොබලම...මම එහෙමකලේ ඇ‍යි කියල කියන්න මට තාම හිතා ගන්න බැහැ...

    ReplyDelete
  14. මට මැවිල පේනව මාරය 93 එහෙ මෙහෙ පනකඩාගෙන දුවනව....හික්

    තාත්තගෙ විස්තරේ අන්තිමට දැක්කහම මූඩ් එක එහෙම පිටින්ම වෙනස් වුනා. ඒ මනුස්සය බොහෝ දුක් විඳල තියෙනව.

    ReplyDelete
  15. උඹෙ මේ කතාවලට පිංසිද්ධවෙන්න ජීවිතේ අපි නොදකින බොහෝ දේ අලුතින් දකිනවා මචෝ.. කලින් පන්සල් සීන් ටික කියෙවුවට පස්සෙ අලුත් ඇහැකින් සංඝ සමාජය දිහා බලන්න පුරුදුවුනා.. මේ කතා ටික කියෙවුවට පස්සෙ බස් රස්සාවෙ සාමාජිකයො ගැනත් එහෙම උපේක්ෂාවෙන් බලන්න පටන්ගත්තා.. ඒ මිනිස්සුත් මොන තරං අමාරු අපහසුකං මැද්දෙද වැඩකරන්නෙ කියන එක හිතෙන්න ගත්තා.. උඹ සමරහවිට නොදකිනවා වුනත් උඹෙ කතාවලින් ලොකු සමාජ මෙහෙවරක් කෙරෙනවා බං..

    ReplyDelete
  16. මාරයා හරියට දුක් කරදර වින්ද කෙනෙක් වගේ.බස් කතා වලින් වගේම බ්ලොග් එකේ අනිත් සටහන් වලින් ඒක හොදට පේනවා.මාරයයි මමයි සම වයසෙ වුනාට මාරයා කාල තියෙන කටු වයසටත් ඔරොත්තුදෙන්නෙ නැති තරම්.මාරයා කාලෙන් කාලෙට කරල තියෙන රස්සාවල් හා විදපු අත්දැකීම් ...අම්මෝ මටනම් හිතා ගන්නවත් බැහැ.ඒ අතින් බලන කොට අපි(මම) නිකම්ම නිකං "ළිං මැඩියෝ" වගේ තමයි.

    ReplyDelete
  17. මාර බස් කතා තමා මේ

    ReplyDelete
  18. අනික් කතා ටිකත් බලන්න ඔන්න මමත් අද සෙට් උනා ..

    පහුගිය ටිකේ එන්න බැරි උනා නෙව ..ඔන්න අද බස් කතා සේරම බැලුවා ..

    කොහොම ලයිෆ් එකද්ද බං අයියේ උඹ ගතකරේ . මම දන්නවා අයියා තවම තමන්ගේ ජීවිත කතාවෙන් කාලක් වත් අපිට කියලා නැතුව ඇති . ඔහොම කට්ට කාගෙන ජීවත් වෙන්න පුලුවන් මිනිස්සු වැඩිය නෑ බං ..

    ජය වේවා !!

    ReplyDelete
  19. Observer...

    බස් කරුමාන්තේ එක් කෙනෙක් මත පිහිටලා නැති..සාමූහික වැඩක්..ඒත් ඒකේ අන්තිම පුරුක..ඒ කියන්නේ මුළු මහත් මහන්සියේම වටිනාකම එකතු කරන්නේ බස්පළුවා..ඒ අත් හරහා එන මුදල තමයි අර හැමතැනම ඛෙදිලා යන්නේ..ඒත් සමහර ඉහළ ඉන්න උදවියට තේරෙන්නේ නැති තැනත් ඔතනයි..ඉතිං අර පුංචි මනුස්සයට හිරි හැර කරන කොට ඒ මිනිහා හොරෙක් වංචාකාරයෙක් වෙන එක නවත්වන්ට බැරුව යනවා..ඔය හැම දේම එකින් එකට බැදිලා තියෙන කාරණා...

    ටයිම් කීපර් තැන නම් නියම හාදයෙක් නෙව..

    ReplyDelete
  20. චේජනා...

    ඔන්න ඔය ලංගම සහ පුද්ගලික අංශ දෙකේම සමාන ලක්ෂණ වගේම අහසට පොළොව වගේ තැනුත් තියෙනවා..
    ඒ ගැන අපි ඉස්සරදී කතා කරමු...

    ReplyDelete
  21. kuma...

    ඔං බලමු..අච්චර පොයින්ට එකක් අල්ලලා දීලත් තමුන්නැහේට බැරි උනානෙව වැඩෙ හරියට කළමනාකරණය කොරගන්ට...
    බස් පළුවට චිහ්..කියලා හිතෙන්ට ඇති...

    ReplyDelete
  22. Heeniyata...

    බොලාට ඉතිං මං කියන්ට ඔන නැහැනේ 93 වග..

    ඇත්ත තාත්තා ගැන මට කවදාවත් ලියලා ඉවර කරන්නට වෙන එකක් නං නැහැ...

    ReplyDelete
  23. Buratheno...

    කාට හරි මොනවා හරි පලක් පරයෝජනයක් තියේනං ඒකත් මදෑ..

    ReplyDelete
  24. එහෙම කියන්න බැහැ යාළුවා..අපි අපි ගැන නොහිතුවට අපි හැමෝගෙම කතාවල ඔය දේවල් තියෙනවා..නමුත් අපිට තාමත් තේරෙන්නේ නැහැ අපි මොනවද කරලා තියෙන්නේ කියලා..ඒත් කාලයක් ගිහින් ටිකක් නිවී හැනහිල්ලේ හිතලා බැළුවම අපිටම පේනවා අපි මොන තරං දේවල් කරලා තියෙනවද කියලා..
    කොහොම උනත් ඉතිං කරු ගෙවිල්ලයි..රැස් කිරිල්ලයි තමා..

    ReplyDelete
  25. ayesha...

    නැතුව නැතුව යාළු...

    ReplyDelete
  26. හිස් අහස...

    මං ඒත් බැළුවා බොට අලියා ගහලවත්දෑ කියලා...

    ReplyDelete