24 February 2011

බල්ලෙක් දෙවියෙක් වෙයි...

ඊයේ නිදාගත්තා මදිද කොහේද..?
තාම නිදිමතයි.
ඒත් ඉතිං මොනවත් නොලියත් බැහැනේ..ඒ හින්දා අදත් බණ කතාවේ ඉතිරිටික බලමු.
..........................................

ඔන්න ඉතිං අර උස්මුරුත්තාවට එනකල් කිරිබත් කෙළලා අර ගොබිලා එදා රාත්තිරියේ අවසන් ගමන් යනවා..
පහුවදා උදැහැනක්කෙම මෙ වෙලා තියෙන විපත දැකපු උන්දැගේ බාරියාව බොහෝම විස්සෝප වෙනවා මේ වෙච්ච අකරතැබ්බෙට...ඒත් ඉතිං මක් කොරන්ටද..?

ඉතිං කොහොමින් හරි අර ගෙදර ගොපළු උන්නැහේගේ උදව් උපකාර මත අර දේහයේ අවසන් කටයුතු එහෙමත් අහවර කොරලා දාලා..දැන් මේ ගෑණු මනුස්සයා තීරණයකට එනවා මේ නිවසේම නවතින්ට.

කොහොමටත් උන්දැට ආයේ යන්ට එන්ට තැනක් නැහැ නෙව..ඒ මදිවට අර දරුපැටියෙකුත් එක්ක කොහේ කියලා යන්ටද..ඒ හින්දා අර ගෙදර උන්නැහේලාගෙනුත් අවසර අරගෙන හිටං ඒ ගෙදරම වැඩක් පලක් කොරලා දීලා ලැබෙන දෙයක් කාලා වැටිලා ඉන්නවයි කියලා හිතාගෙන හිත හදාගත්තා...

මේ අතරේ ටික දවසකින් අර ගෙදර හිටිය බැල්ලි පැටවු ගහනවා..
පැටවු කිව්වට මොකද ආයේ බර ගාණක් නැහැ..එකම එකයි.ඒ තමා අර මැරිච්ච හාදයා..දැන් පැහැදිලියිනේ...

ඉතිං මේ බලු පැටියටත් අර ගෙදර උදවියගෙන් හරි සැලකිලි.හොඳට කන්න බොන්න..එතකොට එළකිරි පාරක් එහෙම ඇදලා දාන්ට ලැබෙන හින්දා මේකත් දැන් පුස්ඌරා වගේ ආරනවා...
කොහොමින් කොහොම හරි දැන් බල්ලත් තරමක නාම්බෙක්.

ඉතිං මෙහෙම කලය ගතවෙලා යනවා..ඒ අතරේ මේ ගොපළු නිවසේ නිතරම වාගේ කෙරෙන දෙයක් තියෙනවා..ඒ තමයි අර මං මුළින් කිව්ව පසේ බුදු හාමුදුරුවන්ට දානය පිළිගැන්වීම...
මේ පසේ බුදු හාමුදුරුවනුත් දැන් සෑහෙන කාලයක ඉඳලා මේ ගොපළු නිවසට ආසන්න කැලයේ තිබුණු පුංචි ආරණ්‍යයක වැඩ වාසය කොලේ...
ඉතිං අර ගොපළු උන්නැහෙත් පුළුවන් හැම වෙලාවෙම වගේ ගෙහුං අර පසේ බුදු හාමුදුරුවන්ට ආරාධනා කොරගෙන ගෙදරට වඩමවාගෙන ඇවිත් දානේ පිළිගන්වනවා..

ඉතින් අපේ මේ පසේ බුදුහාමුදුරුවොත් මොකදෑ කොරන්නේ දිනපතාම මේ ගෙදරට දානෙට වැඩියම එක බත් මිටක් අනලා අර බළු පෝතකයට දෙනවම තමා..මේ බත් මිට කන බලු තඩියා දැන් මේ බුදු හාමුදුරුවන්ට පුදුම විදියට ලෙන්ගතුයි...

ඉතිං මෙහෙම යනකොට දවසක් අර ගෙදර ගොපළු උන්නැහේ බුදුහාමුදුරුවන්ට මෙහෙම කියනවා..ඒ කිව්වේ...
දැන් හැමදාම දානෙට වඩම්මන්ට තමුන්ට එන්න බැරි වෙන දවස්වල තමුන් වෙනුවට මේ ගෙදර ඉන්න බලු නාම්බව පන්සලට එවන්ටත්..ඒ බලුතඩියා පන්සලට ආවම ඒ ඉගිය තේරුං අරං බුදුහාමුදුරුවන්ට තියෙන්නේ දානෙට වඩින්ටත් තමයි..ඔන්න ඔහොම බුදු හාමුදුරුවොත් එක්ක කතා බස් කොරගන්නවා..

බල්ලෙක් උනාට මොකද මේ බල්ලට පුදුම දැනීමක් තියෙනවා...ඌට අර ගොපළු මනුස්සයා යම් දෙයක් කීවම ඒක හරියටම තේරුං අරං ඒ අනුව කටයුතු කොරන්ට තරං හොඳ අවබෝධයක් තියෙනවා නෙව...

ඉතිං දැන් ඒ විදියට වැඩේ කෙරෙනවා..
එහෙම කිව්වට මේක ‍ලේසි පාසු ඩියුටියක් නෙවේ..
මොකද ඔය පන්සලේ ඉඳන් මේ ගෙදරට ටිකක් දුර එන්ට ඕන..ඒකත් කැලේ මැදින් තියෙන අඩි පාරක..
ඔය පාරේ සත්තු සරුපයි පිරිලා..ඉතිං අර ගොපළු උන්නැහේ පසේ බුදු හාමුදුරුවන්ව වඩමවන්ට යද්දිත් එද්දිත් ටිකක් ෂුවර් නැති තැන් වලින් යද්දී.පොල්ලක් එහෙම කඩාගෙන ඒ ඒ තැන්වලදී ටිකක් හයියෙන් සද්දයක් එහෙම දාගෙන යන්නේ..එතකොට ඉතිං මූණට මුලිච්චි වෙන්ට ඉන්න සතෙක් උනත් හිමිං සීරුවේ වෙන පැත්තකින් මාරුව දාලා යනවා...

ඉතිං දැන් හැමදාම මේ කෙරුවාව බලන් ඉඳලා අපේ බලුතඩියත් දන්නවා අහවල් තැනදී ටිකක් සද්දේ දාන්ට ගොරවන්ට එහෙම ඕන කියන කතන්දරේ..
ඉතිං ඌත් දැන් අර බුදු හාමුදුරුවෝ වඩම්මාගෙන එන ගමන් අර වගේ මාර්ග බාධක එන්ට ඇහැකි තැන්වලදී බුදුහාමුදුරුවන්ට ඉස්සර වෙලා ඇවිත් හතර වටේට බුරනවා හිටු කියලා..තත්වය යහපත් කියලා හිතුනම තමයි බුදු හාමුදුරුවන්ට ඒ හරියෙන් යන්ට හම්බවෙන්නේ...නියම විදියට රෝඩ් ක්ලියර් කරලා ආරක්ෂාව තහවුරු කොරලා තමයි ගේන්ට ඕන..

ඉතිං මේ බලු නාම්බා තමුන්ගේ ඩියුටිය ටිප් ටොප් එකටම කරගෙන යනවා...
ඒ අතරේ සමහරක් දවස්වලට බලුතඩියා මොනවද කොරන්නේ කියලා බලන්ට අපේ පසේ බුදුහාමුදුරුවෝ පාර වැරදිලා වගේ වෙන පාරකින් එහෙම යන්ට හදන වෙලාවළුත් තියෙනවා...

ආන්න එහෙම වෙච්ච ගමන් බලුතඩියාට තේරෙනවා යන්නේ කැලේ තමා කියලා..ඌ දුවලා ගෙහුං අර පසේ බුදු හාමුදුරුවන්ගේ සිවුර කටින් හපාගෙන හරි පාර පැත්තට අඳිනවා..නියම පාරට එනකල් ඌ නෙවෙයි සිවුර අතාරින්නේ...

ඉතිං මෙහෙම කාලය යද්දී..අපේ පසේ බුදුහාමුදුරුවන්ට පොඩි ගැටළුවක් එනවා..ඒ තමයි තමුන්වහන්සේ දැනට පොරවන සිවුර අබලන් වීම...සෑහෙන කාලයක් පාවිච්චි කරලා...ඒ මදිවාට අර බලු තඩියා අදින්ට ගිහිං ඉරිලා..ඔන්න ඔහොම අලකලංචි හින්දා දැන් අඵුත් සිවුරක අවශ්‍යතාවය දැනෙන කාලය...
කොහොම හරි මේ බව දැනගෙන අර ගොපළු උන්නැහේ සිවුරක් සකස් කර ගන්න සෑහෙන තරමේ රෙදි කෑල්ලක් උන්නාන්සෙට පූජා කොරනවා...
අන්න ඊට පස්සේ අපේ පසේ බුදුහාමුදුරුවෝ අර ගොපල්ලට කියනවා සිවුර සකස් කොරන්ට මෙතන ඉඳන් අමාරුයි..ඒ හින්දා ඒකට පහසු තැනක් වෙච්ච හිමාල අඩවියේ තියෙන "ගන්ධමාදන" පරුවතයට වැඩම කොරන්ට වෙනවා කියලා...

ඉතිං දැන් අපේ ‍බුදු හාමුදුරුවෝ ගන්ධමාන පරුවතයට වැඩම කොරන්ට තමයි සූදානම..හැබැයි ඉතිං ඒ යන වැඩේ අහවරක් කොරං ආපහු මේ ඉස්ථානයටම වඩින්ට උන්නාන්සේ පොරොන්දු වෙනවා...

ඉතිං එදා මොකද පින්වතුනි උනේ...?ඔන්න බලන්ට...

අනේ කවදාවත්ම තමුන් නැතිව ආපහු නොවඩිනා බුදු හාමුදුරුවෝ...එදා තනියම වඩිනවා..ඒකත් බිමින් නෙවෙයි අහසින්...අපේ බලු නාම්බා බලාන ඉන්නවා ඒ දිහා..
මොකෝ ඌත් පස්සෙන් පියාඹලා යන්ට කියලෑ..
උන්වහන්සේ යන විදියෙන්ම බලු තඩියට තේරෙනවා..මේ නං යන්නේ අයේ ලේසියෙන් එන ගමනක්ය නෙවේ කියන එක..
ඌ බුර බුරා බලන් ඉන්නවා...ඈත අහසේ පුංචි තිතක් වෙලා අර බුදුහාමුදුරුවෝ නොපෙනී යනකල්ම ඌ බලා ඉන්නවා පින්වතුනි...
තිරිසන් සතා උනාට පින්වතුනි..මුං අපි වගේ නෙවෙයි..හරී හිතෛෂී ජාතියක්...තද උනානං හපා කෑවා..ෆිට් උනානං ලෙවකෑවා...වලිගේ වනන වැනි‍ල්ලෙන් කීවෑකි උගේ හිතේ තියෙන සතුටේ තරම...
ඒක තමයි උන්ගේ ගතිය..ආයේ හිතේ එකක් තියං කටෙන් තව එකක් කියන අපේ ඈයෝ වගේ නෙවෙයි...

මේ කවුරුත් දැකලා ඇතිනේ..මළ ගෙවල්..ඒ මලගෙවල්වලදී කොහොමද අපේ අය ෆුල් වොලියුම් ඇරලා අඩන්නේ..
"අනේ..මාව දාලා යන්න එපෝ..."
"යන තැනකට මාවත් අරං පලෝ..."
"මට ඉන්න බෑ දෙයියනේ..."
"ඇයි මාවත් අරං යන්නෙ නැත්තේ..?"

අහලා ඇතිනේ...
මිනිය වලලන්ට හදන වෙලාවට පස් කන්ට හදනවා..වලට පනින්ට හදනවා..එක යුද්ධයයි..ඒ ඔක්කෝට දුකට වෙන්ටත් පුළුවන් එහෙමත් නැත්තං ෂෝ එකට වෙන්ටත් පුළුවන්...
හැබැයි විහිළුවටවත් "ආ මෙන්න තියා ගනිල්ලා මිනිය"..කියලා බැරිවෙලා හරි ආපු අය යන්න ගියොත් තමා වැඩේ බලන්න වෙන්නේ...එහෙමත් නැත්තං..
"ආ එහෙනං වල ගාවට වෙලා ඉන්නකෝ" කියලා දාලා ආවොත්...
අපිට කළින් ඇඩුව උදවිය ගෙදරට එයි..ආන්න එහෙමයි...

මං දන්න කියන තැනක ගෙදරක තාත්තා නැති උනා...
ඒ ගෙදර ළමයි හතර දෙනයි..තුන්දෙනෙක් මර ලතෝනි දුන්නා මරණේ වැඩ කටයුතු කොරන වෙලේ...මිනිය කන්ට හැදුවා..එක දුවෙක් විතරක් එක කඳුලක් හැළුවේ නැහැ..කතාවක් බහක් නැතිව බලාගෙන හිටියා..හැම දේම තමුන්ට පුළුවන් හැටියට හොයලා බලලා කරලා දැම්මා..කොටින්ම ටිකක් හරි සිහියෙන් හිටියේ ඒකි විතරයි...හැබැයි ගෙදරින් හරිහමන් විදියට ඉගෙන ගන්න හම්බ උනේ නැත්තෙත් ඒ ඇත්තිට විතරයි...
අනිත් අය අද රටේ ලොකේ ලොකු තැන්වල ඉන්නවා...

කොහොම උනත් මං කියන මේ මළගේ වෙලා දැන් අවුරුදු අටක් විතර ඇති..
අර එදා මිනිය කන්ට හැදුව උං ටික තාත්තගේ දානෙකට එන්නෙත් බොහොම කලබලේට අන්තිම මොහොතේ...ඒ ඇවිල්ලත් දුවනකං ඉවසිල්ලක් නැහැ...දානේ දීලා පිං දෙනවෙලාවට නං ලිස්ට් එක කියවද්දී නම ටිකක් ලොකුවට කියෝගන්ට හිතාගෙන දානේ බෙදන තැනට පැනලා හෙන කැටයං පාරක් දානවා..ඒ අස්සෙම නායක හාමුදුරුවරුන්ට කිට්ටු කරලා අලි පම්පෝරිය.. නොකියා කියනවා තමුන්ගේ ලොකුකං ටික කොහොම හරි අනුමෝදනා බනේදී කියවාගන්ට බලාගෙන..

හැබැයි අර අනිත් දැරිවි සද්ද නැහැ පාඩුවේ දානේ බෙදනවා..
අවුරුද්දක් තිස්සේ මහන්සියෙන් හම්බු කොරලා අදටත් අවුරුද්දක් ගානේ දානේ ලෑස්ති කරනවා තමුන්ට ඇහැකි විදියට...ඒත් අන්තිමටම අර අනිත් උදවිය මෙ දැරිවිට දොස් කියන්ට තියා ගත්තෙ නැද්ද හැම අවුරුද්දෙම දානේ ලෑස්ති කරගත්තම එන්ට යන්ට අමාරුයි කියලා...

ඔන්න මිනිස්සුන්ගේ නියම තත්වේ...

මං මේ ටික කිව්වේ කාටවත් අපහාසයක් කොරන්ට නෙවෙයි..පොඩ්ඩක් හිතන්ට දෙයක් දෙන්ට එපෑ මේ බණ අහන උදවියටත්..අපිත් එහෙමද කියලා කල්පනා කරලා බලන්ට..පොඩ්ඩක් තම තමුන්ගේ හිත්වලට තට්ටු කරලා බලමුකෝ...මොනවද ඇහෙන්නේ කියලා..හැබැයි ඇහෙන දේවල් කාටවත් කියන්න යන්ට එපා..ලැජ්ජා හිතෙයි..ඒ හින්දා ඕනනං කියන්න "අනේ මංනං එහෙම නැහැ කියලා"...හරි ලේසියි...
නිවන ඕං මේං පේනවා වගේ පෙන්නන්ට ඒක හරි නම්බුයි...නැද්ද මං අහන්නේ..?(මාත් එහෙමයිනේ..)

හරි අපි ආයෙමත් එමු කතාවට...

දැන් පින්වතුන් දන්නවා අවස්ථාව දුක්බරයි කියන එක...
දිනපතා තමුන්ට කන්ට බත් මිටක් දුන්න හිතවත් හාමුදුරුවෝ..
තමුන් බොහෝම ආදරයෙන් ආරක්ෂා කොරගෙන එක්ක ආව ගිය හිතවත් හාමුදුරුවෝ..
තමුන්ට නොතේරේන කොහේදෝ යනවා
ඒකත් අහසින්..ටික දුරක් හරි ඒ පස්සෙන් එළවගෙන හරි යන්ට විදියක් නැහැ..උන්නාන්සේ යන්නේ අහසින්..
ඉතිං මොකදෑ කොරන්නේ...හිතට හරි වේදනාවයි..අර ඈත අහසේ..පුංචි තිතක් වෙලා උන්නාන්සේ නොපෙනී යනකල්ම බුරා වැටෙනවා ඇර අර අහිංසක බළු තඩියා මොනවා කොරන්ටද පින්වතුනි...
අවසානයේ නොපෙනී යනකල්ම එක සීරූ බිරුව මේ බළු නාම්බා ඒ දුක ඉවසාගන්ට බැරිව හෘදය වස්තුව පැලිලා වේදනාවෙන් මිය පරලොව යනවා පින්වතුනි....

ඔන්න අවසානය...
......................................
හැබැයි පින්වතුනි..කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ...
මලාඋනත් පිනක් දහමක් ඇතිව මිය ගිය එකෙක් මේකා...
අර බුදු හාමුදුරුවන් ගැන අප්‍රමාන හිතේ පැහැදීමක් දයාවක් ඇල්මක් මේ බළු තඩියගේ හිත තුළ තිබ්බා...
අන්න ඒ පැහැදීමම ඒ බළුතඩියට සුගතියකට යන්ට හේතුවක් උනා...

බල්ලෙක් හැටියට මේච්චර කාලයක් ගත කොරාපු තිරිසන් ආත්මය නිමා කොරලා...
තාවතිංසය..එහෙමත් නැත්තං තව්තිසා දෙව් ලොව මහා විමානයක් සහිතව දෙවියෙක් හැටියට උත්පත්තිය ලබනවා...
අන්න ඉතිං මේ දෙයියා කොයි දෙයියාද?
මේ දෙයියා තමයි පින්වතුනි..."ඝෝෂක දිව්‍ය පුත්‍රයා" ලෙසින් අපි හදුන්වන්නේ...

ඇයි මේ ඝෝෂක කියන නම ලැබුනේ..?
තමුන්නැහේලාට මතකයි නෙව අර බුදු හාමුදුරුවන්ට ආරක්ෂාව සලසමින් ගිය ගමනෙදි සත්තු සරපයින්ව එලවන්ට අර බළු තඩියා උපරිම සද්දේ දාලා බිරුවා කියන කතාව..ආන්න ඒ හින්දා මේ දෙවියටත් ආසාවටවත් රහසක් කියන්ට බැහැ...හැතැම්ම ගණන් ඈතට ඇහෙනවා...ඔන්න වැඩේ..ඉතිං මේ ෆුල් වොලියුම් කේස් එක හින්දා තමයි අපේ දිව්‍ය පුත්තරයාට ඝෝෂක කියන නාමය හිමි වෙන්ට හේතු උනේ...
ඔන්න අදට කතාව අහවරයි..ඉතිරි ටික අපි ඊ ළග ලිපියකින් බලමු...ඝෝෂක දෙවියන්ගේ ඊ ළග පිම්ම...
.....................................
දෙවි කතන්දරේ කෙසේ වෙතත් පුංචිකාලේ මටත් හුග දෙනෙක් කිව්වේනං ඝෝෂකයා කියලා තමයි...
හිතාගන්ට ඇහැකිනේ හේතුව..?හැබැයි මාත් බල්ලෙක් වෙලා හිටියාද දන්නේ නැහැ..හපොයි සංසාරේ...

23 comments:

  1. අපි නම් කියන්නෙ එහෙම උනාම ගිය ආත්මෙ ඝංඨාරයක් පූජා කරලා කියලා

    ReplyDelete
  2. ආදර්ශමත් කතා පොඩ්ඩ.. තද උනානං හපා කෑවා..ෆිට් උනානං ලෙවකෑවා...ඒත් මට අහන්න තියෙන්නෙ මේ බල්ලොන්ට මාව පෙන්නන්න බෑනෙ...උන්ට මාව කොහොම පේනවදමන්ද..එක්කො බුරාගෙන එනවා නැත්නම් හපා කන්නම හදනවා..සමහරු කියනවා බල්ලොන්ට බයේ වාගෙ හිටියාම උන් සයිස් එක දානවා කියල.මාව හපා කාල තියෙන හින්ද බයකුත් තියෙනවා තමයි..ඒත් මම උන්ට උවමනාවෙන්ම ගහලනම් නෑ ඕ0...

    ReplyDelete
  3. සාදු සාදු සාදු... ඝෝෂක කියන්නේ අර හෙන වස්තුවක් තියාගෙන පාන්දරට මිනිස්සුන්ව ඈහැරෙව්ව කෙනාද?

    ReplyDelete
  4. හපොයි සංසාරේ සංසාරේ......... මොනවා උනත් අන්න පින. ඝෝෂක උනත් මොකද පිනක්නොවැ කර ගත්තේ. අර දරුවට හෙම මක් උනාද දන්නැ මාර මහත්තයෝ.........

    දැන් ඉතින් කොහොමත් පින්වත් මහතාණෙනි බණ අහන්නේ ඇච්චි පැච්චි පොඩි උන් ටිකයි ඊට ටිකක් ලොකු අයයි. අනිත් අය ටික වෙලාවක් වාඩි වෙලා ඉඳලා හිමීට යනවා. (ඊට හොඳා අපේ තාත්තා වගේ නොගිහින්ම හිටියනම්. )

    අද නම් බණ අහන අය දොයි වගේ........

    ReplyDelete
  5. එලා කතාව මාරයා.ඝෝශක මාරයා.....හිකිස්....

    ReplyDelete
  6. නියම කතාව අනේ ඉතුරු කැල්ලත් ඉක්මනට දුන්නා නම් නියමයි.

    ReplyDelete
  7. මුගෙ අර මෙගා නාට්‍ය හැකියාව ප්‍රදර්ශනය කොරන්න අමතකනැති වෙලාද කොහෙද අද කතව අහවර කොරල.

    ReplyDelete
  8. සාදු සාදු සාදු.... කලින් අහලා තිබුනු නැති බණ කතාවක්....!

    ReplyDelete
  9. සාදු කාරයක් දෙන්න හැමෝම...මේකට ඉකේයියා දාන්නත් මොකක්ද වගේ....

    ReplyDelete
  10. මේ බණ කතාව නම් මල් 7යි ඕන්....වැඩි වැඩියෙන් බණ කතා අහන්න ලැබේවා...

    ReplyDelete
  11. සාදු සාදු සා......

    මම ත් මේ කතාව අහලා තිබුනේ නෑ මීටකලින්.....

    දෑන් කොහොමද තුවාලවල තත්වේ..

    ReplyDelete
  12. මෙදා පොටේ මටනං වැදුනෙ බණ ඩිංග අස්සෙන් කියවිච්ච අතුරු කතා පොඩ්ඩ. බොහොම අගෙයි ඒ දුන්න පයින් පාර නම්.

    ReplyDelete
  13. බන කතාවකට කොමන්ටුවක් දාන පළවෙනි වතාව.ඉතාමත් සිත්ගන්නා ස්වරූපයෙන් සරලව ලියපු බන කතාවක්.මේක කියවන කොට සිතට විතරක් නෙවෙයි කනටත් ඇහෙන ගතියක් තියෙනවා.අනික් අයට ඒක දැනුන් නැද්ද?

    ReplyDelete
  14. ඕන්න දැන් තමයි ෆුල් සාධුකාරේ දෙන්නේ....
    සාධු සාධු සාධු!!!!!!!!!!

    ReplyDelete
  15. බණ කතාව නියමයි . පෝයටවත් බණ අහන කෙනෙක් නෙවෙයි නේ මං . මාරයා අයියට පිං ..

    දැං අතපය සුවයි වගේ .?

    ReplyDelete
  16. හ්ම්ම්.. සංසාරේ.. බොහොම පින් අපිට බණකථා කියලා දෙනවට..
    හැබෑටම දැන් කොහොමද තුවාලේ අඩුයිද?

    ReplyDelete
  17. බණ කතාව ලස්සනට ලියල තියෙන.. මැද්දෙන් දාපු ඇඩ් එකත් ලස්සනට ගලපල ලියල තියෙනවා... මාරයාට පිං

    ReplyDelete
  18. @පිණිබිඳු...
    අම්මේ ඔව්..අපේ පරම්පරාවේ අපි දෙන්නෙක් හිටියා ඔය පූජාව කොරලා තිබුණු..අනිත් එකී මගේ මහප්පාගේ බාල දූ...
    අපි දෙන්නා කතා කරන්න ගත්තම ගමම දන්නවා

    @කුරුම්නියා...
    ඔකේ කේස්එක මේකයි..මිනිස්සුන්ට ලෙන්ගතු උනාට..උන් වරිගෙ එවුන් එක්ක කොයි වෙලෙත් ගේමටම නෙව..

    @prasanna86k...
    නැත පින්වත් මාළුවෙනි,ඒ නම් කුම්භඝෝෂකයෝය..

    @හා පැටික්කි (MS)...
    හැබැට අර එළියේ ගහයට හිටිය උපාසක යන්ට ගෙහුංද..? එහෙමත් නැත්තං ගහමුලම දපල දොයිද..?
    දරුවට වෙච්ච දේ නං දෙයියගෙන්ම තමා අහන්ට වෙන්නේ..

    @අසoක...
    නැත නැත..
    මාර ඝෝෂක වම්හ...

    @-HacKrisH- | හැක්ක්‍රිෂ්...
    දෙන්ව දෙනවා මල්ලි..ඔහොම ඉමු...

    @නිශ්...
    වැඩේ කොරන්ටත් හදලා ආයෙම නිකා හිටියා..උඹලගේ හුදී ජන ලාම්පු සංවේගය ගැන හිතලා හිටං..

    @දුමී...
    එහෙනං ඒකත් මදෑ..ඔහෙ හිටු දුමියෝ තව තියේ ඉස්සරහට..

    @රත්ගමයා...
    ඇති යාන්තං එහෙමවත් හිතුනා..

    @ItalyDilan...
    ලැබේවා පින්වත ලැබේවා...

    @ඉලංදාරියා...
    දැන්නං අවුලක් නැහැ කොළුවෝ..වේලිගෙන යමින් පවතිනවා..

    ReplyDelete
  19. @nawammawatha...
    රිදුනෙයි..
    ඒ උනත් මං හිතන්නේ කතාවේ හොඳම ටික උඹ අරගෙන වගේ..ඒකයි මට වටින්නේ..

    @තාරක Dilsh@n...
    පින් සිද්ධ වෙච්චාවේ..

    @JHOTHISHALANKA...
    ඔය ඉතිං මං ලියන විදිය විතරක් නෙවෙයි නෙව..ඉස්සර බණ කිව්වෙත් ඔහොමම තමා..

    @පූසා...
    පිංසිද්ධ වෙච්චාවේ..මෙ පිණෙන් පූසාටත් දෙයියෙක් වීමට ලැබේවා..!

    @හිස් අහස...
    උඹත් අපේ මල්ලිගෙ ජාතියේ එකෙක් වගේ..ඌටත් පන්සලේ මායිම නිකං බර්මියුඩා ත්‍රිකෝණේ වගේ..දැන් හොඳයි කොළුවෝ..

    @හසී...
    ඔව් නගේ දැන් සනීපයි සෑහෙන්න..

    @පැතුම්...
    මට ඕන ඒ ඇඩ් එක කතාව කරන්නයි මල්ලියෝ..ඒක අතරට දෙන ඇඩ් එක තමා බණ කතාව..ස්තූතියි.

    ReplyDelete
  20. මාර බණ!
    බණේ අතුරු කතාව දැක්කම මතක් උනේ, ගුණදාස අමරසේකර මහත්තයගෙ කෙටි කතාවකුත් තියනව නේද ඕකට බොහොම සමීප. මට මතක හැටියට ඒකෙ නම 'බාල පුතා' ද කොහෙද. පොත පත කටපාඩම් කරල උගත්තු වෙලා මිනිස්සු ලොකු ලොකු තැන් වලට ගියාට ගුණ ධර්මත් ඒත් එක්කම නැති බංගස්තාන වෙලා යනවා.

    ReplyDelete
  21. සාදු! සාදු! සාදු!
    එළම කිරි ටිකට බොක්කටම වදින බණ ටික.....ඇඩ් එකෙන් තමයි මුලු කථාවම ගොඩ දාල තියෙන්නේ ඕO.....

    ReplyDelete
  22. අදත් බණ ටික නියමයි.
    අයිය බයිසිමොටෝ එකෙන් වැටිල තුවාල වෙලා හිටිය කියල දැන ගත්තෙ දැන් ටිකකට කලින්, දවස් ගාණකින් බ්ලොග් කියවන්න බැරි උනා.
    දැන් තුවාල අඩු ඇති කියල හිතනව.
    මාරය අයියට බුදු සරණයි....!!!

    ReplyDelete