04 March 2011

මිල්ටන්ගේ අළුත් පිරිත...

ලියන්න කියලා ගත්තාට මොනවා ලියන්නද කියලා තේරෙන්නේ නැහැ.
ඔළුවත් එක්ක අවුල් වෙලා...

පහුගිය ටිකේම හුගාක් ලිව්වා. ඒත් දැන් හිතට කිසිම දෙයක් එන්නේ නැහැ.
හිත පාළු වෙලා ගිහින් වගේ.
මොකද ඇත්තටම‍ වෙලා තියෙන්නේ..? ඔක්කෝටමත් වඩා අසනීප වෙච්ච එක බලපෑවද මංදා. එයින් පස්සේ තාමත් එක විදියකට ආවේ නැහැ ජීවිතේ...

මට මතක හැටියට ඒ 2004 නැත්තං2005 අවුරුද්ද වගේ වෙන්න ඕන.
මං එතකොට පන්සලේ..මහණ වෙලා හිටිය කාලේ...
දවසක් උදේ මම නැගිටලා අතුපතු ගාලා ලෑස්ති වෙලා හිටියේ උදේ දානේ බාරගන්න.
කොහොමටත් උදේ හය හමාර හත වෙනකොට හීල් දානේ පන්සලට ගේනවා.
ඒ හින්දා ඊට කළින් මූලික වැඩ ටික කරලා තියන්න ඕන.

කොහොමටත් මං ඒ දවස්වල පාන්දර පහට නැගිටිනවා.ඒ නැගිට්ට ගමන් ගමටම ඇහෙන්න පිරිත් දාන්න ඕන...
ඈම්ප් එකයි අනිකුත් ආම්පන්නයි ඇද ගාවම ස්ටූල් එකක තියාගෙන ඉන්න හින්දා හීනෙන් වගේ අතපත ගාලා ස්විච් ටික දානවා... ඒ දවස්වල තිබුනේ පොඩි කැසට් රේඩියෝවක්..ඉතිං පැය බාගයක් විතර ගියහම කැසට් පීස් එකේ පැත්තක් ඉවර උනහම පටස් ගාලා අනිත් පැත්ත දාන්නත් ඕන...

අප්පා ඔය මතක් උනේ කේස් එකක්.
ඒක කියලා ඉම්මු.

ඒත් ඔය පිරිත් කේස් එක තමයි.

ඉතිං මං පන්සල බාර ගන්න කොට පන්සලේ රේඩියෝ කබලක්වත් තිබුනේ නැහැ.ඉතිං ඒ දවස්වල පන්සල ආසන්නම නගරයේ මුස්ලිම් පල්ලියකින් උදේ හවා මහ හයියෙන් පීකර් දාලා කෑ ගහනවා.
ඔය තත්වය හුගාක් අපේ මිනිස්සුන්ට හිතට වේදනාවක් ගෙනල්ලා තිබුනු කාරණයක්.

ඒත් ඒකට කරන්න දෙයක් තිබුනේ නැහැ. පල්ලිය ආසන්නයේම වගේ මගේ ලොකු හාමුදුරුවෝ වැඩ හිටිය නගරයේ කුඩා පන්සල තිබුනා උනත් ඒ පැත්තෙනුත් විසඳුමක් ලැබුනේ නැහැ.

ඔය අස්සේ තමයි අපේ ගමෙන් මාව බලන්න ආව නැන්දා කෙනෙක් මට පුංචි රේඩියෝවක් පූජා කලේ බණ අහන්න කියලා..ඉතිං මං ඕක පෝය දවස්වලට උපාසක අම්මලාට දෙනවා රේඩියෝවේ යන පෝදා වැඩසටහන් අහන්න එහෙම..ඒ ඇර වෙන දෙයක් ඕකෙන් කෙරුනේ නැහැ.

අන්තිමට මම එහෙං මෙහෙං යංතං හම්බ උන සල්ලි වලින් පොඩි වැඩක් කලා.
ඇත්තටම ඒ මගේ මුල් කාලේ..බොහෝම අමාරුවෙන් කෙලින් හිට ගන්නයි පන්සල කෙලින් හිටවන්නයි ට්‍රයි කරන කාලේ.
ඒ හැටි ආදායමක් තිබුනේ නැහැනේ..ඒත් පිරිකරට ලැබෙන පිටි සීනි විකුනලා කොහොම කොහොම හරි රන් එක දුන්න කාලේ.

ඉතිං එහෙම කරන අස්සේ ඉතිරි උන මුදල් වලින් මම පුංචි ඈම්ප් එකක් හැදෙව්වා.
පන්සලට ටිකක් විතර කිට්ටුව හිටිය ඔය ඉලෙක්ට්‍රොනික් වැඩ ටිකක් දන්න ළමයෙක් තමයි මට මේකට උදව් කලේ.

ඉතිං කෑලි බෑලි එහෙම අරගෙන මේ ළමයා බොහෝම මහන්සි වෙලා මේක කලා...
පුංචියි කිව්වට මේක අලි පෙට්ටියක්...
එක පාර පීකර් අටක් ගහන්න පුළුවන්..මයික් පහක් ගහන්න පුළුවන්..ඒ වගේම බෆල් වලට උනත් හොඳටම හරියන විදියට වැඩේ කලා.
ඒ විතරක් නෙවී...කාර් කැසට් එකකින් කෑලි ගලවලා කැසට් පීස් එකක් දුවවන්නත් පුළුවන්...
මට ඕන උනේ සියළු දේම එක පාරින් කරගන්න පුළුවන් දෙයක් නිර්මාණය කර ගන්න..අපේ කොළුවත් ඒක ඒ විදියටම කලා මාසයක් විතර දඟලලා..

ඒත් ඔය කිව්ව කැසට් ධාවකය ටිකක් අවුල් මොකද පරණ කෑල්ලක් හින්දා ටිකක් හිර වෙන්න බලනවා ඒ නිසා මං මගේ තිබුනු පුංචි කැසට් එකෙන්ම තමයි වැඩේ කලේ...

දැන් මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ...

මම රෑට කැසට් එකට පිරිත් පීස් එකේ මුල තියෙන පැත්ත හිටින විදියට පටිය ඒකට දාලා..කැසට් එකෙන් ඈම්ප් එකට යන ජැක් වයර් එහෙමත් ගහලා කැසට් එකේ ප්ලේ බට්න් එකත් ඔබලා..
ඈම්ප් එකෙත් නියම ගානට වොලියුම් එහෙම හදලා ඒකත් ස්විච් එක ඔන් කරලා තියනවා..
දැන් එකම අඩුව තියෙන්නේ කරන්ට් එක තමා...ඔය ඈම්ප් එකෙයි කැසට් එකෙයි දෙකේම කරන්ට් වයර් දෙකත් එකම මල්ටි ප්ලග් එකකට ගහලා ඒකේ ස්විච් එක විතරක් ඕෆ් කරලා තමයි මම නිදා ගන්නේ..

ඒ කියන්නේ උදේ නැගිට්ට ගමන් මට කරන්න තියෙන්නේ අත දික් කරලා අර කරන්ට් ස්විච් එක ඔන් කරන එක විතරයි..
ඒත් එක්කම ඈම්ප් එකයි කැසට් එකයි දෙකම එක පාර ක්‍රියාත්මක වෙලා ගමටම පිරිත් ඇහෙන්න පටන් ගන්නවා...

ඒත් එක්කම ඉතිං ඇඳන් වල නිදාගෙන හිටි අය දඩි බිඩි ගාලා ඇ‍ඳෙන් බිමට වැටිලා ඇහැරෙනවා...සමහරු ඉතිං හොඳ වචන එහෙමත් කියාගෙන නැගිටින්නේ..මම ඉතිං ඕවා දන්නේ ඒ කියන උංම මටත් ඕවා කියන හින්දයි..

මොකද අපේ හිටිය කොල්ලෝ ඔක්කෝම වගේ මාත් එක්ක ඕන දෙයක් කියනවා..ඒත් පහු පහු වෙනකොට උන් පිරිත් වලට නිදා ගන්න පුරුදු වෙලා හිටියේ..

සමහර දවස්වලට පන්සලට කරන්ට් එක නැතිව හරි..එහෙමත් නැත්තං මම පිරිතකට ගිහින් ඇවිල්ලා නැතිව හරි හින්දා පිරිත් නැතිව ගිය දවසට..හවස් වෙලා ඇවිත් අර මුලින් බැන බැන හිටිය උන්ම නෝක්කාඩු කියනවා..අද නින්ද ගියේ නැහැ කියලා...

ඒ තරමට උන්ට පිරිත් හඩට නිදා ගන්න හුරු වෙලා..කොටින්ම කිව්වොත් මට උනත් අදටත් පිරිත් ඇහෙනවනං හොදට නින්ද යනවා..ඒ තරමටම ඒක කනට හුරුයි..අර මුලින්ම ඇහෙන බෙර සද්දේට ටිකක් නින්ද කැඩුනා උනත් ඊට පස්සේ හරි සනීපෙට නින්ද යනවා.

හැබැයි ඉතිං ඔය පුරුද්ද හින්දා සමහර දවස්වලට පිරිතක් කියන්න ගියත් මහ පිරිත වෙලාවට මට නින්ද යන්න එන වෙලාවල් නොතිබුනා නෙවේ...

හරි ඉතිං දැන් මම කරන්නේ උදේ පාන්දර පහට නැගිටිනවා..ආයේ එලාම් තියන්න දෙයක් නැහැ හරියටම පහට ඇහැරෙන එක සුළු දෙයක් ඒ දවස්වල..(දැන්නං ඒක පහයි තිහට හැරිලා...)

ඉතිං ඇහැරුන ගමන්ම මං කරන්නේ කරන්ට් ස්විච් එක ඔන් කරනවා..
හරි දැන් පිරිත් වැඩ..මාත් ආයෙමත් ටිකක් අඩ නින්දෙන් ඉන්නවා ඇඳටම වෙලා...හරියටම පැය බාගෙකින් විතර ආයෙමත් අර පීස් එකේ පැත්ත ඉවර වෙච්ච ගමන් ආයෙමත් නැගිටිනවා...තත්පර ගානක් ඇතුලත පිස් එකේ පැත්ත මාරු කරනවා..ආයෙමත් පිරිත අහෙනවා..ආන්න එතකොට තමයි මම හරියටම ඇදෙන් බහින්නේ..

ඊට පස්සේ කෙළින්ම ගිහින් මූණ කට හෝදගෙන දාන ශාලාවයි ආ‍වාසෙයි අතුපතු ගාලා..
බුද්ධ පූජාවට පාත්තර හෝදලා ලෑස්ති කරලා මිදුල අතු ගාන්න පටන් ගන්නවා..
ඒ අතරෙම පිරිත අහවර උනහම අර කරන්ට් ස්විච් එක ඕෆ් කරලා දානවා.

ඊට පස්සේ තමයි ඉතිං හීල් දානෙත් අරං කවුරු හරි පන්සල් වත්තට ගොඩ වෙන්නේ..

ඔන්න ඔහොමයි වැඩ පිළිවෙල...

ඉතිං මං මේ කියන්ට ගියේ එක දවසක් මට සිද්ධ වෙච්ච ඇබැද්දියක්.

එදාත් මං කොහොම හරි පාන්දර පහට ඇහැරුනා..ආයේ ඉතිං වෙන දෙයක් නැහැනේ..දැම්මා ස්විච් එක ආයෙම මං නිදි...නිදි නෙවෙයි ඒ දවස්වලනං සැතපිලා ඕං...

ඊට කලින් දවසෙත් පිරිත් පිංකමකට ගිහින් ඇවිත් ඉන්න බැරි තරං නිදිමරගාතේ උන්න නිසා වෙන්නේ මොනවද කියලාවත් ඒ හැටි නිනව්වක් නැහැ...

ඒත් මට විනාඩියක් විතර යද්දි තේරුනා මොනවා නමුත් අවුලක් කියලා..ආයෙම කලබල වෙලා ඇස් ඇරියා...
අප්පට සිරි..කම්මුතුයි...

"පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ..."

හත් ඉලව්වේ මිල්ටන් මල්ලවආරච්චි නේද මේ.. උදේම හඩ තලන්නේ...දඩි බිඩි ගාලා ඕෆ් කලා කරන්ට් ස්විච් එක...

තත්පර ගානක් යනකල් මට වෙච්ච දේ හිතා ගන්නත් බැහැ..ලයිට් එක එහෙම දාලා බැළුවා මොකද වෙලා තියෙන්නේ කියලා...

අප්පච්චියේ... ඊයේ හවස් අතේ මම රේඩියෝ එකේ ගිය මොකක් හරි අහ අහ ඉඳලා අර බ්‍රෑන්ඩ් එක මාරු කරන්න තියෙන ස්විච් එක ඒ පැත්තෙම තියෙද්දී නෙව කැසට් එක සෙට් කරලා තියෙන්නේ...
කරන්ට් එක ඔන් කල ගමන් කැසට් පීස් එක දිවුවට මොකෝ රේඩියෝව පැත්තට බ්‍රෑන්ඩ් ස්විච් එක මාරු කරලා හින්දා ඇහෙන්නේ රේඩියෝව...

කොහොම හරි ඒ අහලා තියෙන චැනල් එකේ පහට පිරිත් යන එකකුත් නෙවෙයිද කොහේද...හරියටම ඒ වෙලාවේ ඔය මං කිව්ව මිල්ටන්ගේ සිංදුව තමා යන්න අරං තිබ්බේ...
ඉතිං අන්තිමේදී උදේ පාන්දරම මුළු ගමටම පියාපත් සලා..තමයි.

දැන් ඉතිං මොනවා කරන්නද..වැඩේ අහු උන ගමන් ඒක හරි ගස්සලා ආයෙමත් පිරිත් දැම්මා...

හැබැයි හො‍ඳේ කියන්නේ මුළු ගමෙන්ම ඒක ඇහිලා මගෙන් ආපහු ඇහැවුවේ එකම එක්කෙනයි...
හුගාක් අයට ඒක මීටර් වෙලා නැහැ.

අර ඇහුනු ගෑනු කෙනා හැමදාම උදේ හතරට නැගිටින එක්කෙනෙක්..එයාගේ මහත්තයා පොලිසියේ රාජකාරිය..
දවයි පුතයි ඉස්කෝලේ යවන්න තියෙන හින්දා උදෙන්ම නැගිටිනවා..
පහට මං පිරිත් දැම්මට පස්සේ තමයි දරුවෝ දෙන්නව අවදි කරවන්නේ..
කොහොම හරි එදා දරුවන්ව අවදි කරන්න පිරිත් පටන් ගන්නකං හිටිය උන්දැටත් එක පාර වයර් මාරු වෙලා මේ වෙච්ච වැඩේට...

මාත් ඉතිං දැන් දවල් වෙන කොට ප්‍රතිඵල හම්බ වෙයිනේ කියලා හිතලා බලන් හිටියට ම්හූ..කාගෙන්වත් නැහැ ප්‍රතිචාරයක්...

අන්තිමට හවස් අතේ තමයි අර කට්ටිය ආවේ බෝධි පූජාවකට...
අර අක්කා මං දිහා බලලා හිනාවෙලා කියනවා..

"හාමුදුරුවනේ අද අළුත් පිරිතක් ඇහුනානේ" කියලා...

මටත් හිනා..මං ඉතිං කිව්වා වෙච්ච ඇබැද්දිය...වෙන මොනවා කරන්නද..?
කොහොම හරි මංම ඉතිං ඊළග ඉරිදා මගේ දහම්පාසලේ කොල්ලෝ ටිකට කිව්වා වෙච්ච වැඩේ...
එකෙක් අහගෙන ඉඳලා කියනවා...

"අන්න හාමුදුරුවනේ වැඩේ..හැමදාම හරි එහෙම දානවනං..අපිත් උදෙන්ම නැගිටලා පොඩි ඩාන්ස් පාරක් එහෙම දාලා ප්‍රබෝධමත්ව දවස පටන් ගන්නවානේ" කියලා

ඔන්න අපේ ගෝලයෝ...ගුරාට කෙල උනත් උන්ට ආතල්...
..........................................
කොහොම උනත් කියන්න ගිය දේනං නෙවේ කියඋනේ...ඒක පස්සෙ බැරියෑ...





25 comments:

  1. හි හී නියම වැඩනෙ අයියාට වෙලා තියෙන්නේ

    ReplyDelete
  2. ඒක අළුත් පිරිතක් කළේ මිල්ටන්යැ...

    ReplyDelete
  3. MaRLaN...
    මොනවා කියනවද මලයෝ..තව මං කියලා නැහැ නෙව මට වෙච්ච ඇබැද්දි...
    වෙනම බ්ලොග් එකක් ලියන්ට ඇහැකි ඒවා ලිව්වොත්..

    ReplyDelete
  4. තනෝජා රාජපක්ෂ...

    හික් හික්..හැබෑට කව්ද එහෙනං කොලේ..?

    ReplyDelete
  5. හැමදාම එහෙම දැම්මනං ගමේ මිනිස්සු ගානට 5.00 ට නැගිටියි.

    දැන් කෝ ඔය ඕල් ඉන් වන් ඈම්ප් එක.

    ReplyDelete
  6. ඒ කාලෙ කවුරුවත් 119 කතා කරේ නැද්ද අයියෙ ශබ්ද දූෂණය කියලා

    ReplyDelete
  7. මේ කාලේ යන්නේ ඡන්ද පිරිත...... පන්සලේ උනත් කමක් නෑ දානව නම් නේ.....ඉකේයියා

    ReplyDelete
  8. මමනම් අපේ අම්මා පිරිත් දැම්මාම කන් දෙක කොට්ට දෙකකින් වහගෙන තමා නිදියන්නේ නතිනම් ඉතින් ආයෙම දොයියනවා බොරු

    ReplyDelete
  9. මං උන්නෙ උන්නාන්සෙට දානෙ වේලත් වරදින්න ඇතිය කියල. ඒත් ඉතිං හොඳ දායකයො ටිකක්නෙ ඉඳල තියෙන්නෙ. ඒත් ඉතිං ඔය මිල්ටන් වෙනුවට ච්න්ති හරි වෙන කෙනෙක් හරි උදේ පාන්දර ලඩුඩ්ස්පීකර් එකෙන් ගමම ඇමතුවනං නඩුවක් වෙන්න තිබුන නේද?

    ReplyDelete
  10. ෆට්ට සිද්ධිය :D

    ReplyDelete
  11. ඔබ රාගී මන කැළඹේදෝ
    පිවිතුරු හදවත පෑරේදෝ....//

    එමවිට පවසනු මුවින් ඔබේ.....

    ReplyDelete
  12. කියන්න ගියදේ කියවුනේ නැතිවුනාට මේකත් මරු සිද්ධිය.

    ReplyDelete
  13. මට නම් මැද හරිය කියවද්දිම හිනා ගියා..
    ඔය වගේ සින්දුවක් ගිය හින්ද හොඳා, බැරිවෙලා හරි රැප් එකක් එහෙම ගියානම් බඩුම තමා

    ReplyDelete
  14. හැබැයි ඔය උදේට නැගිටින්න අදිමදි කරන එවුන් නම් අර වගේ සිංදුවක් දැම්මම නැගිටියි.

    ReplyDelete
  15. හොද වෙලාවට මිල්ටන්ගේ එකක් ගියේ,ඉරාජ් ගොයියගේ ගේමක් දීලා ගිය අවුරුද්දේ වගේ එකක් ගියානම් කොහොම හිටීද?

    ReplyDelete
  16. ඔයින් ගියා මදැයි... කොහොමද කණාමැදිරි රාත්‍රිය වගේ එකක් ගියානම්... පංසලත් එක්ක ගිණි තියාවි...

    ReplyDelete
  17. මිල්ටන්ම හින්ද හොඳයි . චින්ති එහෙම උන්නනම් ? "ඔබ හැඩ කාරයි කටකාරයි සොකරී යන්න එපා පැණි රස කෑම දිව ගාල පීක් බොන්න සොඳා !"

    එහෙම කීවනම් මොනවා වේවිද ?

    මාරේ අයියා තමයි මාරේ අයියා . .... මම මේ කනගමං බත් හිටං පිට උගුරේ ගියා .

    ReplyDelete
  18. හලේ මට නම් කේන්තියි හවසට පිරිත් දැම්මම.... ගොර ගොර ගානවා විතරයි. කණ කූං ගානවා. මට පිරිත් එපා කෙරෙව්වා. මම දැන් කරන්නේ පොඩි පොතක් තියාගෙන පිරිත් මමම කියවා ගන්න එක.
    එක දවසක් අපේ අත්තා මරණාසන්නව ඉද්දී ලොකු හාමුදුරුවෝ පිරිත් කියලා අහනවා අපේ අම්මාගෙන් "මෙහාට පිරිත් හොදට ඇහෙනවද චන්දනී නෝනා?" කියලා. අපේ අම්මා එහෙයි කිව්ව. ලොකු හාමුදුරුවෝ ඇබිත්තයට කිව්වා "කොළුවෝ අද ගිය ගමන් ම අර පිකරේ මේ ගේ පැත්තට හරවහං ලොකු මහත්තයට හොදට පිරිත් ඇහෙන්නත් එක්ක" කියලා. අම්මපා මට දැනිච්ච සනීපේ!

    ReplyDelete
  19. හෙහෙහ්..මරු වැඩේ... මරුවට තියෙන්න ඇති... මට මැවිලා පෙනෙවා අප්පා... :)

    ReplyDelete
  20. හික් හික් මාර පිරිත් තමා.. අපේ ගෙදරත් උදේට හැමදාම පිරිත් අහනවා..

    ReplyDelete
  21. "ඔබ රාගී මන කැළඹේදෝ"


    කතන්දරට චුටි වැරදීමක් වෙලා, ඕක මාරයට හරියන්නේ
    " ඔබ රා බී මන කැළඹේදෝ" කියල.

    ReplyDelete
  22. අපෙ ඉස්කොලෙත් හැමදාම පටන්ගන්නකම් සිංදු දානව..
    ගොඩක්ම නාට්‍ය ගිත... තව අර දෙෂානුරාගි එව... පරන ඉංග්‍රිසි සින්දුත් දානව..
    එ දවස්වල ගානක් නැති උනාට පස්සෙ බලනකොට අපිට එව කාවැදිල...

    සුභ දවසක්...!!!

    ReplyDelete
  23. හෙහ් හෙහ් මාරයිනේ මාරයියා.........

    අර කිව්වත් වගේ සිංදුවක් ගියනම් තමා වැඩේ. පිරිත් නම් නින්දෙන් වගේ ඇහෙනවා. අහනවද දන්නැ. හැබැයි ඇහෙන ටික පාඩම් හිටලා.

    ReplyDelete
  24. මදැයි අතක් පයක් සෙට්ටපෝච්චි නොවී බේරුනා.....

    ලැප්ටොප් මල්ලිගෙ පිරිත් හරි, බණ හරි දාල ඇඳේ ඇල උනොත් ඉතින් බඩුම තමා...

    අනික කොච්චර ඇහුනත් කරදරයක් නැහැ කණට....

    ReplyDelete
  25. ඔය පිරිත මමත් අහල තියේ...නිදාගන්ට නං ඕක අවුලක් නැහැ නොවැ..යසට නින්ද යනවා...

    ReplyDelete