07 March 2011

ගලක් වෙයං මගෙ හදවත..!

හම්මේ..වෙලාව 11.15ත් වෙලා...
වෙලාව යනවා තේරුනෙත් නැහැ..අද සෑහෙන්න පරක්කු උනා.හෙතුව අර මුගුණුවැන්න මිටිය තමා..කොයි තරං ආස උනත් මං මුගුණුවැන්න නිතරම ගේන්නේ නැත්තෙත් ඕකමයි..
ඒත් උදේ ගෙදර එන කොට මං හැමදාම එළවළු අරගෙන එන කඩයක් තියෙනවා..එතන නැවැත්තුව ගමන් ඇහැ ගියේ තද කොළ පාටට දිලිසි දිලිසි තිබ්බ මුගණුවැන්න මිටි කිහිපයට..ආයේ ඉතිං ඕක දැක දැක අහක බලාගෙන එන්නයෑ..පොල් ගෙඩියක් එහෙම අරගන්න ගමන් මුගුණුවැන්න මිටියකුත් අරං ආවා...

ගන්න කොටම මං දන්නවා ඕක හෙන ඇනයක් කියලා..ඒත් ඉතිං හිත හදා ගත්තා..කොච්චර වෙලාවක් ගියත් අර මේකට වැඩේ දෙනවා කියලා...

ඉතිං ආව ගමන් රෙදි ටික පොඟන්න දාලා හාල් මිටක් හෝදලා ලිපේ තිබ්බා...සුදු කැකුළු සම්බා බත් එක්ක පොල් සම්බෝලයක් තිබ්බත් ඇති...

ඊට පස්සේ හාල් මැස්සෝටික ඔළු කඩලා ‍ශුද්ධ කරලා හෝදලා පොල් ගෑවා...කොහොම හරි තක්කාලි ගෙඩි දෙකක් එහෙම දාලා හාල් මැස්සෝ ටික ඒදලා ඉවර වෙනකොට බත් එකත් ගානට ඉදිලා.ඒක බෑවා මේක තිබ්බා...

හප්පා දැන්නේ වැඩේ...කරහල්ලාකෝ ශුද්ධ..මට තියෙන ප්‍රශ්නේ මේ ගැණු හරි ඉක්මනට මේ මුගුණුවැන්න ශුද්ධ කරන්නේ කොහොමද කියන එකයි.එක්කෝ උන්දැලාගේ අත් මැෂින් වෙන්න ඕන..එහෙමත් නැත්තං උඩින් පල්ලෙන් අතපතගාලා දානවා වෙන්න ඕන..
ඒත් හත්දෙයියනේ..මට ඕක කොලයක් කොලයක් ගානේ බලන්න එපැයි.
අග්ගිසි කඩලා හොද කොල තෝරලා කොල මිටිය සුද්ධ කරන්නම පැයක් විතර යනවා.

කොහොම උනත් අන්තිමට කොල මිටියෙන් බාගයක් විතර කුණුගොඩේ..
ඒ අස්සෙම කොල මිටියත් එක්ක අතරින් පතර ගිරා පලා ගස් හිටන් තියෙනවා..ගිරා පලා දැක්ක කල්..ඒ ටික වෙනම වෙන් කරලා තිබ්බා හෙටඋදේ බත් මුලට ඒකට පරිප්පු මිටක් දාලා උයලා තෙම්පරාදු කරලා ගත්තාම මල් හතයි කියලා දන්න හින්දා.

කොහොම හරි උයන අතරේම රෙදි ටිකත් හෝදලා ගේත් අතුගාලා මං නාගත්තා.
වැඩ ටික ඉවර වෙද්දී එකොළහයි.ඊට පස්සේ ඉතිං බත් හැදි දෙකක් බෙදාගත්තා..වැඩි දෙයක් නැහැ කැකුළු බතට තක්කාලියි නයි කොච්චියි දාලා බොරේ හිටින්න උයාපු හාල්මැස්සන් හොදියි..මුගුණුවැන්න මැල්ලුමයි...
මේ ඉතිං උදේටනේ කන්නේ..දවල්ට කන කොට තව මිරිස් කරලක් බැද ගන්නවා ඒ ඇති...

කොහොම හරි ලියන්න ගත්තට මොකෝ දැන් ආයෙමත් මරාලයක් කඩං පාත් උනා...මම කන පැලෙන්න සිංදුවකුත් දාගෙන මේක කොට කොට ඉන්නකොට මට ඇහෙනවා කවුද මංදා මහත්තයා මහත්තයා කියලා කෑ ගහනවා...

බැලින්නං පල්ලෙහා ලීමඩුවේ පීටර් අයියා..

මව හම්බ වෙන්න කව්ද ඇවිල්ලාළු..පව් ඒ මනුස්සයා කොයි තරං වෙලා කෑගැහැවුවාද දන්නේ නැහැ..
මට ඇහෙන එකක්යෑ..

හම්බ වෙන්න ඇවිත් තිබුනේ වයසක ගෑණු පරාණයක්..කාලයක් මං යටතේ මං කලින් හිටිය තැන වැඩ කරපු කාන්තා ආරක්ෂක නිලධාරිනියක් ඒ මනුස්සයත් ඉන්නේ මේ කිට්ටුව පාතක තැනක.
ඒ ගෑනු මනුස්සයාගේ ගෙයි කෑල්ලක් අපේ තවත් නිලධාරියෙකුට කුලියට දීලා තිබිලා මං දන්නෙත් නැහැ..මොකද පහුගිය ටිකේ මං කලින් හිටිය තැන ගැන මෙලෝ දෙයක් හෙව්වේ නැහැ..අතඇරලා ගියාට පස්සේ ආයෙමත් එතනත් එක්ක සම්බන්ධකං මොකටද..එත් ඉතිං දවස් දෙකතුනකට සැරයක් එතන හිටපු කවුරු හර කතා කරලා මගේ දුක සැප අහනවා..වැඩි හරියක් ඉතිං වැඩි හරියක්මත් නෙවෙයි ඒ කතා කරන ඔක්කෝම ඉතිං ගැණු පරාණම තමයි..

උං ඉතිං මං යකා වගේ හිටියට මට හරි හිතවත්...ඒ හින්දා ඉතිං ඉඳලා හිටලා මං ගැන හොයනවා මතක් උනහම...ඒ හැර වෙන සම්බන්ධයක් එතනත් එක්ක මගේ නැහැ..

කොහොම උනත් මේ ගෑනු මනුස්සයාගෙන් ගේ කුලියට ගත්ත දෙන්නාගෙන් මේ මනුස්සයාට උන කරදරයක් කියාගෙන තමයි ආවේ...

මං ඉතිං ඕවාට මොනවා කරන්නද..මගේ ගෙවළුත් නෙවේ..මං කුලියට දුන්නත් නෙවේ...මං කුලියට ගත්තෙත් නැහැ..
අනික ඔය ගෑණු මනුස්සයත් මාත් එක්ක ඒ හැටි හිත හොඳින් නෙවෙයි රස්සාවෙන් අස්වෙලා ගියේ...
රාජකාරිය පැහැර හැරීම නිසා ටිකක් බැන්න වෙලාවට මූණ පුප්පගෙන ඉදලා..අන්තිමට මට විරුද්ධව අපේ ආරක්ෂක සේවයේ හිමිකරුට කේලං කියන්න ගෙහුං ඒමනුස්සයාට තද වෙලා ඔය ගෑණූ කෙනා‍ව එදාම අස්කරලා තිබ්බා.
මං කතාව දන්නෙත් පස්සෙන් පහු දවසක මොකක් හරි වැඩකට අපේ කාර්යාලයට ගිය වෙලේ එතන ඉන්න කාන්තා නිලධාරිනියක්.
එතකං මං දැනං උ‍න්නේ නැහැ ඇයි එකපාරටම අර මනුස්සයාව අස් කලේ කියලා.

අපේ ආයතනයේ හිමිකරු වෙච්ච හිටපු මේජර්වරයා දැනට ටික කාලෙකට කලින් මිය ගියා.අන්තිම හොඳ මනුස්සයෙක්..වැඩ කරන මිනිහට සලකන්නත් වංචාකාරයාට පස්ස පැත්තට පයින් ගහලා එළවලා දාන්නත් දෙපාරක් හිතන්නේ නැහැ.
ඕක දන්නේ නැතිව අර ගෑණු මනුස්සයා මට විරුද්ධව කේලං කියන්න ගිහිං තිබ්බේ..
අපේ හිටපු බොස්තුමා මං ගැන හුගාක් විශ්වාසයක් තියලා තිබ්බේ.මොකද මගේ පොයින්ට් එකෙන් තමයි ඉහලට කරදරයක් නැතිවම තිබ්බේ..
පඩි සල්ලි ටික උනත් බය නැතිව මගේ අතේ එවන්න තරං මං ගැන විශ්වාසයක් තිබ්බා.
මාත් අද වෙනකල්ම ඒ විශ්වාසය රැකගෙන ජීවත් වෙනවා ඒ මනුස්සයා අද අපි අතරේ නැති උනත්...
එතුමාට නිවන් සැපම ලැබෙන්න ඕන...

කොහොම උනත් මං අර මනුස්සයා කියන යාදින්න අහගෙන හිටියා...
චෝදනා ගොඩයි..කොහොම හරි මං මොනවා හරි කරන්න බලන්නං කියලා යාන්තං හිත හදලා පිටත් කලා.
ඒත් ඉතිං මං පොලිසියෙන් නෙවෙයිනේ...
කරන්න තියෙන එකම දේ අපේ ආයතන කළමණාකාරීත්වය දැනුවත් කරන එක විතරයි.ඒ හැර ඔය ගෑනුන්ගේ ප්‍රශ්න වලට අත දාන එක මට අන්තිම අගුණයි.
ඕනනං ඉතිං අර බෝඩිංකාරයාගේ රස්සාව නැති කරන්න සෑහෙන තරමේ තොරතුරු අර මනුස්සයා මට කියලා ගියා. ආයතනයෙන් අර යකා බඩු හොරකං කරගෙන එන ඒවයි..‍රාජකාරි වෙලාවේ කොයි වෙලෙත් ගෙදරට ඇවිත් ඉන්න ඒවයි..
ඒත් ඉතිං දැන් ඒවා මට අඳාල දේවල් නෙවෙයි..මං මගේ හොඳ නම රැකගෙන එළියට ආවා.ආයෙමත් ඕවා කියන්න ගියාම නැති ප්‍රශ්න..
කොහොමටත් හැම ආයතනයේම වංචා දූෂණ පිරිලා.ඒවාට හුගාක් දුරට ආරක්ෂක අංශත් සම්බන්ධ කරගන්නවා..ඒවා කරන්තේ පොඩි අය නෙවෙයි ආයතනයේම ඉන්න ලොකු පුටු කාරයෝ තමයි.
ඉතිං අපි ඒවට දගලන්න ගියාම එතන ඉන්න එක ලේසි නැහැ.
ඒත් මගේ අවුරුදු දෙකහමාරෙදි මං එතන හැම දේම හරි කලා..පොඩි මිනිස්සුගේ වගේම මැනේජර්ලාගේ පවා හැම මාර්ගයක්ම මම හිර කරලා තිබ්බේ.
මුලදී මුලදී මැනේජර්ලාගෙන් හිටං මට ප්‍රශ්න ආවා..එත් මට විරුද්ධව ඒ අයත් පැමිණිලි කලාට වැඩක් උනේ නැහැ.
මොකද අපේ බොස්තුමා ආයතනයේ අයිතිකාර පාර්ශව එක්ක කතා බහ කරලා මං නිවැරදියි කියන කාරණාව තේරුං කරලා දීලා තිබුණු නිසා..අන්තිමට මැනේජර්ලා උනත් මට විරුද්ධව ඒ හැටි දඟලන්න ගියේ නැහැ ඒඅයට වඩා මාව ඉහලට විශ්වාසයි කියන දේ උඩ...

එක වතාවක ආයතනයේ සේවයට මාව එක්කාසු කරගන්නත් එක අවංක මනුස්සයෙක් උත්සහ කලා..ඒත් මං දුරදිග හිතලා ඒක බාරගත්තේ නැහැ..ඇත්තටම මං ඒ වෙලාවේ ගත්තේ හොඳ තීරණයක් කියලා මට තේරුනේ ටික කාලයකින් අර මනුස්සයව එතනින් අයින් කරලා දාන්න ඇතුලේ වැඩ කරන එවුන් ගහපු ප්ලෑන් එකකට ඒ මනුස්සයාව අහුවෙච්ච වෙලාවේ...

ඇත්තටම ඊට පස්සේ ආව කාටවත් අර මනුස්සයා කරපු වැඩ ටික කරන්න බැරි උනා..අදටත් ආයතනයේ ඒ අංශය අක්‍රීයයි..දවසෙන් දවස කඩාගෙන වැටෙනවා.
මං අර යෝජනාව පිළි අරගෙන මට දෙන්න ගිය රස්සාව බාර ගත්තානං මටත් අර මනුස්සයා යද්දී නම්බුපිට අස්වෙලා යන්න වෙනවා.
එහෙම නැතිව මෙච්චර කාලයක් මගේ වැඩ පිළිවෙල හින්දා හොරකං කරන්න බැරිව හිරවෙලා හිටිය හොරුන් එක්ක වැඩ කිරීම ලේසි නොවන නිසා...

කොහොම උනත් මේ ප්‍රශ්නෙට හොට නොදා ඉන්න මං හිතුවා වෙලාවේ හැටියට අර මනුස්සයාගේ හිත හැදෙන්න වචන දෙක තුනක් කියලා ඒ මනුස්සයාව පිටත් කලා.ඒ ඇර දැන් අනවශ්‍ය ප්‍රශ්න වලට කොහොමටවත් හවුල් වෙන්න මට උවමනාවක් නැහැ.

වෙලාවට හිතෙනවා මං දැන් හරි ආත්මාර්ථකාමී වෙලා නේද කියලා.
ඇත්තටම මං දැන් එහෙම වෙලා තමයි. අනුන්ගේ මගුල් වෙනුවෙන්ම නැහිලා නැහිලා මට දැන් ඇති වෙලා.
අන්තිමට අපිට කෙල උනහම කවුරුවත් නැහැ.
පන්සල් කෙරුවාවෙන් මං හුගාක් පාඩං ඉගෙන ගත්තා..මිනිස්සුන්ට අපි කරනකං මිනිස්සු හරිම හොඳයි ඒත් සීයක් කරලා එකක් නොකලහම ඒ ඇති අර හොඳ ඔක්කෝම නරක් වෙන්න.
අනිත් කාරණාව තමා අපේ මිනිස්සුන්ට අපි කොයිතරං හොඳින් හිටියත් හිතට මදි.
කොයි වෙලෙත් හිත යටින් හිත හිත ඉන්නේ මෙහෙම හොඳට ඉන්නවා උනාට මොනවා හරි නරකක් තියෙන්නම ඕනෑ කියලා..
ඉතිං අර කොයි තරං හොඳට ඉන්න කෙනෙක්ගේ උනත් හොයන්න හඳන්නෙම කුණක්...අන්තිමට එහෙම දෙයක් හොයාගන්න බැරි උනහම පුදුම අමාරුවකින් මිනිස්සු ඉන්නේ..කොහේ හරි යන අසත්පුරුෂයෙක් හිතළුවක් කිව්වත් ආන්න ඒක ලොකු කරලා අරගෙන පටන් ගන්නවා අර මෙච්චර දවසක් ඉස්ට කරගන්න බැරි උන හිත හදා ගන්න.
හරි හරි මං ඒ මනුස්සයාගෙත් වරදක් හොයා ගත්තා කියලා හිතලා සැනසෙන්න..ඒත් ඒ මිනිස්සු කරන්නේ තමන්ගේ වැරදි නරක වහගන්න අනුන්ගෙන් ආවරණ සෙවීමක්..නිකමටවත් හිතන්නේ නැහැ තමුන් නොදැන කරන වැරදි කතාවලින් මොන තරං විනාශයක් වෙනවද කියලා.

අන්තිමට මිනිස්සුගේ මොලේ පෑදෙනකොට අර හැම දෙයක්ම විනාශ වෙලා ඉවරයි...
ආයෙමත් ගොඩ ගන්න බැරි තරමටම...

අපේ රටේ මිනිස්සුන්ට කොයි තරං කලත් වැඩක් නැහැ.
ධර්මපාලතුමා කියලා තියෙන කතාව සීයයට දෙසීයක් ඇත්ත...
අපේ මිනිස්සුන්ට වැඩ කරන්න හිතනවනං බැනුම් අහන්නම ලෑස්ති වෙන්න ඒන..වැඩ කලත් බනිනවා..නොකලත් බනිනවා..
නොකලහම කරන්නැ කියලා බනිනවා..
ඒත් කරන්න ගියහම ඊටත් වඩා බනිනවා.
අපේ මිනිස්සුන්ට වැඩ කරන එක ලේසි දෙයක් නෙවෙයි.
අන්තිම එතුමාට ලංකාවත් එපා වෙලයි මිනිස්සුන්ට වැඩ කරන එක නැවතුනේ...
මටත් අද වෙලා තියෙන්නේ ඒකම නේද..?

දැන්නං ඉතිං මං මගේ හිත රිදෝගන්න වැඩවලට අත දාන්නෙම නැහැ.
නිකං ඉද්දී බැන්නට කමක් නැහැ..කරලත් බැනුම් අහන්න මට ඕන නැහැ.
මං ආත්මාර්ථකාමියෙක් වෙන එක හොඳා..ඔව් මං එහෙමම ඉන්නවා.දෙයියනේ මගේ හිත උණු වෙන්න එපා කිසිම තැනකදී...
මට හැම දේකදීම හිත ගලක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයං.
ලොකෙට හෙන ගැහැවුවත් මට දැනෙන්න එපා.

30 comments:

  1. හ්ම්ම්ම් හ්ම්ම්ම් අහක යන නයි මොකට ගෙන්න ගන්නවද අයියා........ තමන්ගේ පාඩුවේ ඉන්න. පුලුවන් දෙයක් තියේ නම් හිතට එකඟ නම් කරන්න.

    ReplyDelete
  2. සහතික ඇත්ත.... අපේ මිනිස්සු ඒ අතින් ගත්තම නම් අන්තිමයි

    ReplyDelete
  3. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියන්න වෙන්නෙ නැතිවෙන්න වැඩකරන්න ඕන බං. එහෙම නැත්නං අපිට වෙන උන් නිසා කෙලවෙච්චදාක උදව්වට එන එකෙක්වත් නෑ. එහෙමෙයි කියල ගලක් වෙන්න එපා, හැම එකාම පිට අතුල්ලන්න පටන් ගනී උන්ගෙ කුණු ඇරගන්න.

    ReplyDelete
  4. මගේ හිත ගලක් නේ....ඒ විදිහට හිත හදා ගන්න...මම වගේ වෙන්න..මාව ආදර්ශෙට ගන්න...
    මම වගේ ලස්සන වෙන්න බැරි උනාට මගේ ගති උන වත් ලබා ගන්න බලන්න....
    මම හිත ගලක් කරගත්
    රත්ගමයා මහතා

    ReplyDelete
  5. සම්පූර්න ඇත්ත මේ කාලේ අපේ දෙයක් බලාගෙන අනුන්ගේ ඒවට හොට දන්නේ නැතුව ඉන්න කාලයක් මේක,,මොක්ද මොනා කලත් ඒව අපේ පස්සෙන් එලවන්න ගන්නවා....ජීවත් වෙන්න ආත්මාර්තකාමී වෙන්නම වෙනවා.....

    ReplyDelete
  6. උඹ හෝටලේක වැඩට ගියොත් එහෙම පහුවදාම එලවනවා.... එක මුගුණුවැන්න මිටියට පැයක් නම්.... හෝටලේකටම.....?

    ReplyDelete
  7. 'අන්තිමට මිනිස්සුගේ මොලේ පෑදෙනකොට අර හැම දෙයක්ම විනාශ වෙලා ඉවරයි...
    ආයෙමත් ගොඩ ගන්න බැරි තරමටම...'

    ඒ කතාවනං ඇත්තම ඇත්ත..

    ReplyDelete
  8. අනිතිම ටික නිකමට වගේද කිව්වෙ......
    සිරාවටනම්, මාගේ බලවත් නොකමැත්ත හීනියට ප්‍රකාශ කොරමි.

    පOසල වෙනුවෙන්, ඒ මිනිස්සු වෙනුවන් තමුන් කල සේවය ජනාධිපතිටවත් කොරන්න බැහැ කියන එකයි යථාර්තය...
    ඒ මොහොතෙදි කොච්චර බැණුම් ඇහැවත්, දැන් හිතනකොට මොන තරම් සතුටක්ද බO........

    ReplyDelete
  9. දැන් ඔය කෑම ගැන දකිද්දි මටත් ඉන්න බැරියෝ...

    ReplyDelete
  10. මච්ං මාරය උබෙ ඉමෙල් 1ක දෙන්නකො.. පොඩි වඩක් තියනව කියන්න..

    ReplyDelete
  11. දැන් මාරය ලියපු දේවල් කීදෙනෙකුට වෙලා තියෙනවද කියල ප්‍රතිචාර වලින් මාරයටය්, අපි ඔක්කොටමය් අද හෙට බලාගැත්තකි. මාරය උඹ ඉඳල හිටලා කොරනව වගේ මේ පොස්ට් එක දවසක් දෙකක් තියෙන්න අරියනං වැටෙන කොමෙන්ට් බලන්න, මන් මේ කියන්නේ කුපාඩි කමකට එහෙම නෙමෙය්, මිනිස්සු අත් දකින දේවල් අහගන්න විතරය්.

    අනිත් එක මාරය ඔය කෑම ගැන කියන එක ..... නවත්තහන් කවුරු හරි මාරයගෙත් බෙල්ල මිරිකන්න ඉඩ තියෙනව.

    ReplyDelete
  12. මේ ගෑනිගෙ ප්‍රශ්නෙදි ඔයා පැත්තකට වෙලා ඉන්න.ඒව කොහොම හරි විසදේවි.ඔයවගේ ගූ කේස් වලදි අහක ඉදල හොට දාලා අන්තිමට නරක මිනිහ වෙන්නෙ මාරයාමයි.ඒක නෙවෙයි මාරයෝ මම මේ වෙලාවෙ ඉන්නෙ ටිකක් බඩගින්නේ පුංචි වුනත් මාරයාගේ කෑම වට්ටෝරුව....අම්මප ඉන්න බැහැ.ගිරා පලා කියන්නේ මොනවද?

    ReplyDelete
  13. මොකෑ ඉතින් උනේ එකපාරටම කෑම ගෑනනම් ලිවට කමක් නෑ තම කිවනකොට සුවද එන කොම්පිතර හදලා නෑනේ ..එහෙම හදපු දවසකනම් ඔහොම කෑම ගෑන ලිවාම Observer අයියා කිවා වගේ වෙයි අනිවා

    ReplyDelete
  14. ගෑනුන්ගෙ ප්‍රස්ණ වලටනම් අත දාන්න එපා මාරයියේ, ඒත් හිත ගලක් කර ගන්නත් එපා.
    අපිත් ඔහොම තමා කැම්පස් එකේ ඉන්නකම් එක එක රෙද්දවල් කරා ඒත් ඇති හොදක් නම් අන්තිමට තිබ්බේ නෑ, කොච්චර අනුන්ට අපේ හොඳක් නම් නැතිවුනත් දැන් අපි කට්ටියටම මතක් කරන්න තියෙන්නෙ එ අපි කාපු කටු තමයි, මතක් වෙනකොට හරි සතුටුයි බන්, බොක්කෙන්මයි කියන්නේ

    ReplyDelete
  15. මාරයාට මේ දැන් හිතෙන හිත ගලක් කරගන්න ඕන කියන එක මට නම් හිතිල ගොඩක් කල්..ඒ වගේම ක්‍රියාත්මක කරල ...අන්තිමට නම්බුනාම ගොඩකුත් ලැබුණ ..

    ReplyDelete
  16. මේක මේ පොඩි අතුරු කතාවක්...ඒත් ප්‍රතිචාරයක් දෙන්න... මම හිතාගෙන හිටියේ හාල්මැස්සෝ ඔලු කඩලා සුද්ධ කරලා හෝදන්න තමයි වැඩියම වෙලාව යන්නේ කියලා... මොකද මට සමහර දවස් වල ඕක සෙට් වෙනවා... මටනම් පැයක්වත් යනවා... මම කරන්නේ...

    1. ඔලුව කඩනවා

    2. බඩ ඇතුල සුද්ද කරනවා

    3. බඩ දෙපැත්තේ සිල්වර් ලයින් දෙක ගලවනවා

    4. හෝදනවා

    හැම හාල්මැස්සෙක්ටම ඔය ස්ටෙප්ස් හතර කරනවා... මම කරනවිදිය වැරදිද...?

    ReplyDelete
  17. Beetle මචෝ,
    හැම හාල්මැස්සෙක්ගෙම බඩ යට තියෙන චූටි කටුත් ඔක්කොම ගලවලා අයින් කරන්න ඕන.. අන්තිමට හාල්මැස්සෝ එකින් එකා නෑඹිලියකට දාලා වෙන වෙනම හෝදන්න (අඩුගානෙ තුන්පාරක් වත්) ඕන වැලි යන්න..

    ReplyDelete
  18. කෑම සුවඳ ආවෙ නැති වුනාට විස්තරේ කියෙව්වම කටට කෙල උනන එකනෙ ප්‍රශ්නෙ.

    @ බුරා, මනුස්සයින්ට ලනු දෙන්න එපා, ඕව මේ ආත්මෙදිම පල විපාක දෙන පව්.

    ReplyDelete
  19. මාරයා අයියා නරකද කෑම ගෑන පෝස්ට් ටිකක් දෑම්මොත්..නියමෙට කෑම උයනවනේ.......

    ReplyDelete
  20. මාරයියෙ ඔය හාල්මැස්සොයි තක්කාලියි එකට දාලා උයන එක විසයි කියනවා නේද?

    ReplyDelete
  21. @පිණිබිදු,
    ඒ දෙක එකට හැදුව කියලා විසක් නම් නෑ.. ඔය කතාවට පදනම් වෙන්නෙ මෙන්න මේ හේතුවයි මමනං දන්න විදියට.. හාල්මැස්සො කියන්නෙ කැල්සියම් බහුල ආහාරයක්, මේ කැල්සියම් තක්කාලිවල තියෙන ඔක්සලික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරල හදනව කැල්සියම් ඔක්සලේට්.. කැල්සියම් ඔක්සලේට් කියන්නෙ වකුගඩු වල ගල් හැදෙන මූලිකම සංඝටකයක් (90% විතර)..

    @ජ්යෝතිෂලංකා,
    ගිරා පලා (Commelina sp.) කියන්නෙ කුඹුරුවල හැදෙන වල් පැලෑටි ජාතියක්..

    @ඔබා,
    ඔන්න අංකල් මේවා ලණු නෙවේ හරිය..

    ReplyDelete
  22. @ Buratheno,
    හාල් මැස්සො,කුම්බලාවො සයිස් එකටවත් ඉන්නවනං බඩ යට චුටි කටු අරන් දාන්න....එකා එකා වෙනම අරන් හෝදන්න....හොඳා හොඳා. Mrs Observer ට කියල බලන්නන්. අත පය කඩා ගන්නෙ නැතුව බේරුනොත් ඒ ගැන කොමෙන්ට් එකක් දාන්නන්.

    ReplyDelete
  23. @Observer,
    සමාවන්න, ගෘහස්ත අනතුරු ගැන අප ආයතනය වගකියනු නොලැබේ...

    ReplyDelete
  24. @ Burathno,
    හෙහ් ....හෙහ්....හෙහ්....යකා කියන තරං කළු නැහැ ඒකය් මෙච්චර කල් බේරිලා ඉන්නේ.

    ReplyDelete
  25. @ Bura
    විහිළු නෙමෙයි, ඔය ප්‍රශ්නේ මුලදිම මට ආපු දවසත් කියන්නම්...

    දවසක් මම හෝටලේකින් දවල්ට කන්න ගියාම බත් එක්ක හාල්මැස්සෝ තෙල් දාලා තිබුණා... දෙන්නෙකුට කන්න හාල්මැස්සෝ සුද්ධ කරන්න යන වෙලාව මම ඕල්රෙඩි දන්න හින්දා කඩේ ඉන්න සෙනඟ කන්දරාවට කන්න හාල්මැස්සෝ සුද්ධ කරන්න යන වෙලාව ගැන හිතලා බලද්දියි මගේ සිස්ටම් එක අවුල්ද කියලා සැකයක් ආවේ... අද ඒක තහවුරු වුණා...

    කෝ හෙඩ් කුක් ගෙන් නෑනේ කිසිම විසඳුමක්...

    ReplyDelete
  26. @all...

    බොහෝම ස්තූතියි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධව..මට මේ ටිකේම ප්‍රතිචාර වලට උත්තර බඳින්න..උනේ නැහැ..අද තමා යාන්තං ඔක්කේම ටික කවර් කලේ..දැන්නං හැති වැටිලා ඉන්නේ..ඒ නිසා වෙන වෙනම සටහනක් නොදැමීම සම්බන්ධව උරන නොවනා මෙන් ඉල්ලා සිටිමි..ඒත් කිහිප දෙනෙකුටනං කතා නොකරත් බැහැ වගේ විශේෂයෙන්ම අපේ ලණු කොම්පැණියේ "බුරා"ට එහෙම...

    අනේ බුරෝ ඔවා සහගහන අපරාද යකෝ...

    අර මනුස්සයා මෙච්චර කාලයක් කාපු කට්ට මදිවටද..?

    ReplyDelete
  27. @Beetle...

    අම්මපා ඔය තමුන්නැහේ හාල්මැස්සෝ සුද්ද කොරන්න ‍විඳින දුක මෙච්චර කාලෙකට ගෙදර උන්දෑ දැක්කේ නැතුවද..නැත්තං දැකලා මේ වෙනකල්ම ලොක්කට මහා පරිමාණ රැගක් අනුභව කරන්ට දීලා හිනා වෙනවද..?

    කවුද හත්දෙයියනේ අර දෙපැත්තේ ඉරි ගලවන්නේ..හපෝයි..

    ඔළුව කඩන කොටම හාල් මැස්සාගේ යට පැත්තේ තියෙන අර කළුපාට කුනු සහිත හරියත් එක්කම වගේ එන්න ඇදලා කඩන්න හුරු උනහම ඒක හරි පහසු වැඩක්..
    ඊට පස්සේ එකපාරක් වතුරෙන් හෝදලා වතුර ඇරලා දාර සහිත නෑඹිලියක් වගේ එකක අතුල්ලලා දෙපාරක් විතර හෝද ගන්න..
    මතක ඇතිව එක පාරක් හාල්මැස්සන් හෝදන භාජනයේ වතුර ටිකක් පිරෙන්න තියලා..හාල්මැස්සන්ව ටිකක් වතුරේ තිබිද්දිම ගසලා වගේ අහකට ගන්න..උඩින් උඩින්..එතකොට භාජනය පතුලේ වැලි ටික ඉතිරි වෙනවා..

    ඔච්චරයි හාල් මැස්සන්ගේ බොක්කේ කුණ වැඩියි වගේනං මාපටගිල්ලේ අගින් ශුද්ද කලත් කමක් නැහැ..ඒත් හරියට ඔළුව කැඩුවනං ආයේ එහෙම ඉතිරි වෙනවා අඩුයි..මතක තියාගන්න මේ කියන්නේ හාල් මැස්සගේ බඩ මැද්දෙන් කඩන්න එහෙම නෙවෙයි..

    ReplyDelete
  28. ඔය තියෙන්නේ... දැං මට මෙහෙම වෙන්න හේතුව හොයලා බැලුවා... ඇත්තම හේතුව ගත්තොත් පරිණාමය පැත්තටම යනවා...

    දැං මේකයි වෙලා තියෙන්නේ... මතක ඇති කාලෙක ඉඳන් අපේ ගෙදරත්, උන්දැලාගේ ගෙදරත් ගෙනල්ලා තියෙන්නේ ලාෆ් එකේ තියෙන සුද්දකරපු හාල්මැස්සන්... ඉතින් ඊළඟ පරම්පරාව හාල්මැස්සෝ සුද්දකරන්න දන්නේ නැති තත්වෙටම පරිණාමය වෙලා...

    දැං සේරම හරි... මේ දවස්වල කලුපාට කෑල්ලත් එක්කම ගැලවෙන්න ඔළුව කඩන එක ප්‍රැක්ටිස් කරන ගමන්...

    බුරා ලණු දුන් පවට, හාල්මැස්සෝ සුද්දකරන තැනක කොලිටි කොන්ට්‍රොලර් කෙනෙක් වී ඉපදේවා...

    ReplyDelete
  29. මාර අයියේ මේ කමෙන්ට් එක බ්ලොග් එකේ පොස්ට් කරන්න ඕනේ නැහැ.කියවලා ඩිලීට් කොරල දාන්න.මං මේක කියන්නේ ඔයාගේ දැන ගැනීම පිණිසයි.සමහර විට ඔය දන්නවත් ඇති.ඒත් කියන්නම්.අයියේ මං දන්නවා හාල් මැස්සෝ ටිකකට තක්කාලි දාලා ඒදල ගත්තම ඉතින් පට්ටම පට්ටයි කියලා.ඒත් අයියේ තක්කාලි වල "ඔක්සලික් අම්ලය" තියනවා.හාල්මස්සන්ගේ පුංචි කටු වල කැල්සියම් වැහි වහින්න තියනවානේ.ඔය දෙක එකට දාලා ඉව්වම කැල්සියම් ඔක්සලේට් කියන සංයෝගය හැදෙනවා.ඒක අයියේ ස්පටික(කැට) ස්වරුපයක් වෙනවා.ඒක හින්ද තක්කාලි දාලා හාල්මැස්සෝ උයලා කෑවම ඇග ඇතුලෙදි ඔය සංයෝගේ ස්පටික වෙන්න පුළුවන් ලේ වලට ඔය සංයෝගය උරාගෙන වකු ගඩු හරහා බහිස්ශ්‍රරාවිය ද්‍රව්‍ය පෙරෙන කොට.එතකොට වකුගඩු වල ගල් ඇති වෙන්න පුළුවන්.ඕක අය්යේ සමහරු දන්නේ නැහැ.කෑමක් රහට කන්න ඕන තමයි.ඒත් අය්යේ විහින් ජිවිතේට ඉල්ලන් ටින්කිරි ගාගන්න ඕනේ නැහැ නේද.අපේ අම්මත් ඉස්සර ඔහොම තමයි හැදුවේ දැන් මම බැනල බැනලම හල්මස්සෝ හැදුවොත් තක්කාලි දාන්නේ නැහැ. මේ ලෝකේ අයියේ කෑමක් රස විදින්න පුළුවන් ඒත් මිනිහෙකුගේ ජිවිතයක් එයිට වඩා වටිනවා නේද...??? විශේෂයෙන් මේ ගෙන්දගම් පොලවේ කට්ට කාලා තෙම්පරාදු වෙච්ච ඔයා වගේ වටිනා මිනිසුන්ව.මන්දා ඉතින් ඔයාගේ කැමැත්තක්.ඔයාගේ නම මාරයනේ මාරයත් ඔයාට බය ඇති මයේ හිතේ.

    ReplyDelete
  30. හුටා මං හිතුවේ කමෙන්ට් විසිබල් වෙන්නේ ඇඩ්මින්ගේ ඇප්රුවල් එකට පස්සේ කියලා.මං කලින් කවදාවත් මේකේ කමෙන්ට් කරලා තිබ්බේ නැහැ පොස්ට් කියෙව්වට.දැන් ඉතින් කොරන්න දෙයක් නැහැ.

    ReplyDelete