10 March 2011

කෆීර් අනතුරට පෙර සිදුවීමක්...මාරයා මතකය අවුස්සයි...

අද ඉතිං ලියන්න ගත්තේ වරුවක් ගිහිං..මෙච්චර වෙලා මං මගේ පරණ පෝස්ට් කියෙව්වා..හෙතුව තමා මං එක සිද්ධියක් ගැන ලිව්වද කියලා හරියටම තහවුරු කර ගන්න..මට මතකයි මම ඒක ලිව්වා කියලා..ඒත් ඒක මේ කොහේවත් නැහැ වගේ..සම්පූර්ණ පෝස්ට් 300 කටත් වැඩි හින්දා එකින් එක කියවන එක ලේසි නැහැ ඒ හින්දා තැනින් තැන බල බල ආවා..ඒ උනත් එහෙම යද්දී සමහර ලිපි ගාව මගේ හිත නවතිනවා..ඇත්තටම සමහර වෙලාවකට මම මේ තරම් ලිව්වද කියලා මටත් හිතා ගන්න බැරි තරං...

කොහොම උනත් අඳාළ ලිපිය නැහැ..ඊ ළගට මං කල්පනා කලා ඒකට මොකද උනේ කියලා..මොකද මට හොඳටම මතකයි මං ඒක ලිව්වා කියන එක...

පස්සේ තමයි මට තේරුනේ පහුගිය කාලේ මට ඉතාමත් කණගාටුදායක ලෙස අහිමි වී ගිය ලිපි කිහිපය අතර ඒකත් තියෙන්න ඇති කියන කාරණාව...

සාමාන්‍යයෙන් මම ලිපි ලියලා ඒවා තියාගෙන ඉන්නේ නැහැ..එවෙලෙ ලිව්වා එහෙමම පල කලා..පස්සේ තමයි ආයේ වැරදි උනත් හදන්නේ..
ඒත් සමහර දවස්වලට මට හිතිලා ලිපි දෙක තුනක් ලිව්වහම මං හැම එකම පල කරන්න ගියේ නැහැ මොකද කියවන අයටත් ටිකක් කරදරයක් එක දවසට ලිපි දෙක තුනක් දාපුවාහම..මොකද සාමාන්‍යයෙන් මම දාන ඒවාත් කෙටි කතා නොවන හින්දා..

කාටද පුළුවන් වැඩ පාළු කරගෙන මගේ මාගල් කියවන්න...ඒකත් දවසට දෙක්තුනක්..ආන්න ඒ හින්දා මම එහෙම වැඩි පුර ලියවෙච්ච කොයි වෙලේ දැම්මත් කමක් නැති විදියේ ලිපි සේව් කරලා තිබ්බා.. ඒ දවස්වල මම ලිපි ලිව්වේ වර්ඩ් පෑඩ් එකේ..ඉතිං එහෙමම සේව් කරලා තිබ්බ් ලිපි වගයක් එක දවසක් බලන කොට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා..මොනවා හරි ෆොන්ට් සම්බන්ධ අවුලක් හින්දා මුළු ලිපියම කොටු කොටු විතරයි...එක අකුරක්වත් නැහැ..මම දන්න ජාති ඔක්කෝම කලත් ඒ ලිපි ටික මට ගොඩ දාගන්න බැරි උනා..ඒ අතරින් මට වටිනාම ලිපි කිහිපයක්ම තිබුනා..සුනාමිය වෙලේ මම ඒ සඳහා දායක උන විස්තරය සහිත ලිපි තුනක් නං ඒ අතර තිබ්බා මට හොඳටම මතකයි. ඊට අමතරව ජුංගේ වැඩිහි‍ටියන්ට පමණයි කතාවකුත් තිබ්බා..

ඒත් දැන් තමයි කල්පනාවට එන්නේ මේ කියන්න යන එකත් ඒ ගොඩේම තිබ්බා නේද කියලා..කොහොමත් ලිපි දහයක් විතර මට නැත්තටම නැති උනා ඒ සිද්ධියෙන්...
එකම දේ දෙපාරක් ලියන එක මට කරන්න අමාරුයි..

ඒත් දැන් මේ ලගදී කෆීර් දෙක කඩා වැටුන වෙලාවේ තමයි මට අර සිදුවීම ගැන මතක් උනේ ආයෙමත් වතාවක්..ඉතිං යංතං හරි වර්ථමාන සම්බන්ධයක් තියෙන හින්දා බලමු අපි ආයෙමත් ඒ අතීතය ගොඩ දාගන්න ඇහැක් වෙයිද කියලා...

...................................................


මගේ මතකේ හැටියට ඒ 1998යේ අග හරි 1999 අවුරුද්දේ මුල හරි වෙන්න ඕන...

එතකොට ඉතිං මංතුමා රාජකාරි කොලේ කුරුළු හමුදාවේ නෙව...අපි මුලීක පුහුණව දියතලාව කඳවුරේ නිමා කරලා වෘත්තීය පුහුණුවට කටුනායක කඳවුරේ රැඳී සිටි කාලය.

අපේ කෝස් එකේ ඔක්කෝම 850ක් විතර පාස්අවුට් උනා..එයින් වැඩි හරියක් රෙජිමේන්තු සෙබළුන්..ඒ අයට කෙළින්ම රාජකාරිය සඳහා රට වටා තිබුනු කඳවුරුවලට මාරුවීම් ලැබුනා උනත් අපි 300 ක් විතර පිරිස වෘත්තීය පුහුණුව සඳහා කෙලින්ම කටුනායක කඳවුරට අනුයුක්ත කරනු ලැබුවා...

ඉතින් අපි දැන් බෙල්ල නවාගෙන කටුනායක කඳවුරේ ජීවත් වෙන කාලේ..ඇත්තටම මගේ ජීවිතේ ලස්සනම කාලය..කවුරු හරි මට වරමක් දෙනවනං ජීවිතේ කැමති තැනකින් ආයෙමත් පටන් ගන්න..ආයේ දෙකක් නැහැ මම යන්නේ එතනට..ඒ තරංම සුන්දර කාලයක්...

බොහෝ දෙනෙකුට පාසල් කාලය සුන්දර උනත් මට හොඳම කාලය තමයි ඒ..ආයේ ඒකේ දෙකක් නැහැ.

හැබැයි ඉතිං අපි ඇවිත් හය මාසයක් යනකල් අමු කට්ට..ඇයි පරණ බුවාලා එක්කනේ එකට ඉන්න ඕන...
ඉතිං රැග් එකේ උපරිම තමා...

මුළු ට්‍රේඩ් ට්‍රේනින් ස්කූල් එකටම සිසුන් 450ක් විතර ඉන්නවා..
ඒ අතරින් අපේ 300 ඇරුනම පරණ අය 150ක් විතර හිටියා...ඔක්කෝම බිලට්..ඒ කියනනේ අපි නැවතිලා ඉන්න කොලනැගිලි 9 යක් තියෙනවා..එකක පනහා වගේ වැටෙන්න එතනින් පරණ අය පහලවක් විතර ඉද්දී අපි තිස් පහක් විතර ඉන්නවා..ඉතිං අර පහළව කියන විදියට තියෙන තරං කටු කාගෙන අපි අඳින්න ඕන හැම බරක්ම..මම ඔය විස්තර පස්සේ වෙලාවක විස්තර ඇතිව කියන්නංකෝ..

කොහොම හරි අපේ කාල සටහන අනුව සතියේ දවස් පහ අපි ට්‍රේනින්..සෙනසුරාදා සහ ඉරිදා කඳවුරු ආරක්ෂක රාජකාරිය සඳහා අපේ ස්කූල් එකෙන් සෙබළු 150ක් අනිවාර්යයෙන් දෙන්න ඕන...

ඉතිං අපේ 450න් 150ක් ආරක්ෂක රාජකාරියට යනවා සිකුරාදා හවස ආයෙම රාජකාරියෙන් නිදහස් වෙන්නේ ඉරිදා හවස හෝ සඳුදා උදේ තමා...
තව 150ක් නිවාඩු යනවා...ඉතිරි 150 කෑම්ප් එකේ ෆැටිග් වලට යන්න ඕන...ඒකත් අමුම වහක්..ඩියුටි හොඳයි ඊට වඩා... කානු කපන්නයි, විසි ගහන්නයි, පොල් මුල් ගලවන්නයි... පිඩලි කපන්නයි..එකක් කියලා නැහැ රටේ තියෙන තරං වැඩ ඔක්කෝම...

ඉතිං මේ විදියට අපේ හැම කෙනෙකුටම එක් සති අන්තයක ඩියුටි වැටෙනවා..
ඊ ළග සති අන්තේ ෆැටිග් වැටෙනවා...
ඊ ළග සති අන්තේ නිවාඩු යනවා...

ඔන්න ඔහොම තමා වැඩේ පිළිවෙලට සිද්ධ වෙන්නේ..ඒත් ඕක පිළිවෙලකට කරන්න ලේසි නැහැ..පැරණි සාමාජිකයින් ඩියුටි යන්නේ නැතිව තමා නිතරම බලන්නේ..අළුත් එවුවෝ මදිම උනොත් හැර..

ඒ මදිවට සමහර ඇම්බැට්ටයෝ ඉන්නවා උන්ට හැම සති අන්තෙම නිවාඩුම ඕන..ආච්චිලා විස්සක් තිහක් විතර උන්ට ඉන්නවා..ඉතිං ඒ ආච්චිලා අරූට ඕන ඕන වෙලාවට මැරෙන්නත් ලෑස්ති පිටයි ඉන්නේ..සිකුරාදා උදේට තමයි ඒ ආච්චිලට අන්තිම අපල කාලේ..මැරෙනවා පෝලිමේ..ඉතින් සිකුරාදා දවල් වෙනකොට ටෙලිග්‍රෑම් පොලිමේ එනවා..ඉතිං අර නිවාඩු යන්න බලන් හිටිය කාව හරි කපලා මුං නිවාඩු යන්නයි හදන්නේ... ඔය වගේ ප්‍රශ්න හින්දා ඔය වැඩේ ලේසි නැහැ..මේකේ අමාරුව මං දන්නේ මුල් මාස හයේ අති දුෂ්කර කාල සීමාවකින් පස්සේ ස්කූල් එකේ අපිත් ටිකක් සීනියර් වෙනවා..ඒ කියන්නේ ඊ ළග කෝස් එක ආවාම අපිට තියෙන්නේ අර එන අයගෙන් වැඩ ගන්න තමා..ඉතිං හැම කෝස් එකේම සීනියර් මෑන්ස්ලාට තමයි තමන්ගේ කෝස් එකේ අයයි අර අළුත් කෝස් එකේ අයයි පාලනය කරන්න තියෙන්නේ..

ඔන්න ඔය විදියට ගියහම අපේ ට්‍රෙඩ් එකේ මම සෙකන්ඩ් සීනීයර්...ඒ උනාට අපේ සීනියර් හිටිය ධනයා කැමති නැහැ ඔය මගුල කරන්න..ඌට ඕනේ ආතල් එකේ මලක් ඇදගෙන ඩියුටියක් දාගෙන යන්න..ඉතිං ඔන්න ඔය ආකාරයෙන් මට ආවා ඒ වගකීම..ඒ විතරක් නෙවෙයි ටික දවසක් යනකොට මගේ ඇඩ්මින් සයිඩි එකේ වැඩ හොඳ හින්දා මට තමයි අපේ 450 ම බලා කියාගන්න එක පැවරුනේ...

ඉතිං ඔය රාජකාරි යැවීමයි නිවාඩු හැදිල්ලෙයි තියෙන අමාරුව මං තරං දන්න එකෙක් නැතිව ඇති අපේ මුළු කෝස් එකටම..
විවිධ හේතු හින්දා වරින් වර කාලය දික් වෙවී අපි කටුනායක සිටිය යුතු කාලයට වඩා හුග කාලයක් ඒ කියන්නේ අවුරුදු එක හමාරක් විතර හිටියා...

ඉතිං ඔය කාලේ ඇතුලත මාත් එංගලන්තේ මහ රජ්ජුරුවෝ වගේ බොහෝම සැපසේ වගේම දැහැමෙන් සෙමෙන් බිලට් ටික පාලනය කරගෙන ගේම ගෙනිච්චා.

කොහොම උනත් මම මේ කියන කතාව උනේ අර අපි මෙහෙ ඇවිත් මුල් මාස හය ඇතුලේ තමයි...
ඒ කියන්නේ මාත් ඒ දවස්වල ඩියුටි යනවා.

ඒ ඩියුටි ගියහම ආමරියෙන් වෙපන් එක ගත්තාට පස්සේ අපිව විවිධ ආරක්ෂක කලාප වලට කඩනවා..
ඒ හැම විස්තරයක්ම මට මේකේ ලියන්න බැහැ..මොකද ඒ දේවල් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හින්දා..

ඉතිං ඔතනින් අපි අකමැතිම කලාප තමා කෆිර් කෑල්ල..අමු වහක්..

ඩියුටිය අතරේ ලැබෙන කෙටි විවේකයවත් ඇහැ පියා ගන්න නැහැ..කොයි වෙලෙත් කෆීර් ඇන්ජිමක් ස්ටාර්ට් එකේ...හිටි හැටියේ බිම දිගේ හිමිහිට ඇදිලා යනවා ප්‍රධාන ගුවන් පථය පැත්තට..ඒ යන‍්නේ ඉතිං අපේ පොයින්ට් අයිනෙන්මනේ..පොයින්ට් වල තහඩු දෙදරනවා...නිදාගන්නවා කියන එක හීනයක් විතරයි..

හිතලා බලන්නකෝ ඔය අහසේ යනකොට එන සද්දේ ඔහොමනං...මීටර් පණහක් වගේ ළගින් එහෙම යනකොට කොහොමද කියලා...ආයේ ඉතිං කෆීර් හැදුව උන්ගේ මව් පාර්ශව වලටනං කවදාවත් දිව්‍ය ලොකේ දකින්න බැරි වෙන්නම අපි ආශිර්වාද කරනවා ඒ වෙලාවට...අනික විහිළුවටවත් ඔය පැත්තේ ඩියුටි කරද්දි එහෙ මෙහෙ බලන්න බැහැ..වාඩි වෙන්න බැහැ..ඇවිදින්න බැහැ බෙල්ල පාත් වෙන්න බැහැ.. කිසිම අනවශ්‍ය මූමන්ට් එකක් තියෙන්න බැහැ..පොඩ්ඩ ඇත්තං ඔප්ස් රෑම් එකෙන් බලලා අපිට තෑගි දෙනවා..මොනවද ඉතිං මහ දවල්ට පැක් ඩ්‍රිල් එකක් ෂුවර්..

පැක් ඩ්‍රිල් ගැන මම පස්සේ වෙලාවක ලියන්නංකෝ..

හැබැයි ඉතිං එහෙම නැතිව බැහැ මොකද ඕක හරියටම කෙරෙන්න ඕන ඩියුටියක්..ගුවන් හමුදාවේ හදවත තමා ඔය..ඔය කටුනායකට ගහන්න දවස් ගානකට කළින් තමා අපිව මාරු කලේ ඒකලට...

ඉතිං අළුත් කොල්ලෝ තමයි වැඩි හරියක් ඩියුටි වලට ඊට පස්සේ සෙට් උනේ..ඒ නැත්තං කවදාවත් ඔහොම හානියක් එදා නොවෙන්න තිබ්බා..මට මතකයි අපේ උන් එදා රෑ ඒකල කෑම්ප් එකට වෙලා ඇඩුව හැටි..ඒතං වේදනාවක් අපිට එදා දැනුනේ...

ඉතිං මේ විදියට තවත් අපි අකමැති කෑල්ලක් තමයි ඔය ගුවන් යානා නග්ගන ධාවනපථය පැත්ත..ඒ කියන්නේ ගුවන් හමුදාවටයි කටුනායක ගුවන් තොටුපලටයි..ඔය දෙකටම පාවිච්චිකරන ගුවන් පථය තමා...

ඕකේ කෑම්ප් එක පැත්තේ රනවේ එක දිගටම අපේ ඩියුටි පොයින්ට් තියෙනවා..සමහර විට ගුවන් තොටුපලට ගිය අය දැකලත් ඇති අර තනකොල ගොල්ල දිගට තැනින් තැන තියෙන පුංචි ටකරං හට් ටික..ඒ තමා අපේ ආරක්ෂක කුටි.

ඉතිං ඔය තැනකට ඩියුටි ගියාම වතුර ටිකක්වත් නැහැ අහල පහල..ආයෙමත් කෑම්ප් එක ඇතුලටම මීටර් දෙතුන් සීයක් එන්න ඕන..ඒ මදිවට රස්නේ..

ඒ පොයින්ට් ටිකත් හොඳා තව..වෙන්න තියෙන ලොකුම විපත තමා ගුවන් යානයක් ලගය ඩියුටි වැටීම...

ඔය එළියේ නවත්තලා තියෙන හැම ගුවන් යානාවක් ගාවම අපේ උන්ව ඩියුටි දානවා..අම්මෝ එහෙම වහක්...
වැරදිලාවත් අර ගුවන් යානාව අතපත ගෑම තහනං..අඩුම ගානේ ඒකේ හෙවනැල්ල යටවත් ඉන්න බැහැ...නිතරම හෙවනැල්ල මග ඇරලා ඉන්න වෙන්නේ..එක දිගට පැය හතරක් ඔහොම හිටියම තමා ආයෙමත් පැය දෙකක හෝ හතරක විවේකයක් හම්බ වෙන්නේ..
හිතලා බලන්නකෝ කොන්ක්‍රීට් කාන්තාරයක ගිනි ගහන අව්වේ යුනිෆෝම් ඇඳලා වෙපන් එකයි අනිකුත් ආම්පන්නයි එල්ලං කිසිම හෙවනක් නැතිව දවල් 10 යේ ඉඳලා දෙක වෙනකල් ඉන්නවයි කියන එක...

දැන්නං මට නිකං හීනයක් වගේ...ඉස්කෝලේ රැස්වීමක හිට ගෙන ඉන්න බැරිව දඩ බඩ ගාලා කලන්තේ අල්ලන අපේ උන්දලා අරෙහෙම තැනකට දැම්මාම කොහොමද සනීපේ..ඒත් ඉතිං අපිට දීලා තියෙන පුහුණුව හින්දා ඔය වෙනකොට ඕක කාගෙන ඉන්න තරං හයියක් තියෙනවා.

මාත් ඉතිං ඒ දවස්වල අම්බානකට ඕය කට්ට කාලා තියෙනවා...
එපාම වෙන්නේ MI-24 එකක් ගාවට වැටුනම ඊට හොඳා වහ කනවා...

ඔන්න ඔය වගේ කාරණා හින්දා අපි අකමැතිම අඩවියක් ඕකත්..ඒත් සැප අඩවිත් තියෙනවා..දෙයියනේ කියලා ගෙදර වගේ ඉන්න ඒ අඩවිවලට අපිට ඒ දවස්වල යන්න හිතන්නවත් බැහැ..ඒවා ජේෂ්ඨ උත්තමයන්ට පම්ණක් වෙන් වූ අඩවි.. බැරි වෙලාවත් මොන විදියකින් හරි අපේ එකෙක් ඒ අඩවියකට ඩියුටි ගිහින් තිබුනොත් ඊළගට ආපහු ඩියුටි ඉවර වෙලා බිලට් එකට එන දවසට ඌට දෙයියන්ගේම පිහිට තමා...

ඉතිං කොහොම හරි ඔය කියන දවසේ මාව වැටිලා තිබුනෙත් අර මං කිව්ව ගුවන්පථයට ඩියුටි වැටෙන කොටසේ රාජකාරියට තමයි...
හප්පා...මං දැන්නේ දැක්කේ...
පෝස්ට් එකේ ආරම්භය මං හිතුවට වඩා හුගාක් දික් උනා නෙව...
ඒ හින්දා අකමැත්තෙන් උනත් මං මේක මෙතනින් කඩනවා කවුරුවත් අමනාප වෙන්න එපා...
ඊ ළග කොටසින් බලා පොරොත්තු වෙන්න අපේ එකෙක් ප්‍රහාරක යානාවක් බිම දැම්ම හැටි...හැබැයි ඒ මාරයා නං නෙවේ ඕං..

18 comments:

  1. කිය්වන්න කලින් ලියමි මෙතන එකට එන්න හෙ හෙ

    ReplyDelete
  2. මැදින් කැඩුවානම් ඉතිරිය ඉක්මනින් දාමු.. මොන වැඩේ තිබ්බත් අයියාගේ ලිපි වරද්දන්නේ නෑ කවදාවත්, ගෙදර නොහිටියොත් ඇරෙන්න..

    ReplyDelete
  3. ඉලංදාරි මලය 99 යෙන් බේරිලා තියෙන්නේ..පේනවනේ හසී නගාගේ ඉක්මන..කියවලාම එකක් දාලා...
    ස්තූතියි දෙන්නටම

    ReplyDelete
  4. ඇයි බං ඕව අතගාපුවං දියවෙනවද?
    කොහොමහරි ඊළග කොටසත් ඉක්මනට දාන්න.

    මේ කතාව අහන්න කෆීර් එකක් කඩා වැටෙනකං ඉන්න උනා වගේ අර සුනාමි කතාව අහන්නනං ලංකාවට ආයෙත් සුනාමියක් එන්න වෙයි වගේ.

    ReplyDelete
  5. හෙහ් හෙහ්..ඒකත් ඇත්ත

    ReplyDelete
  6. කියෙඋවා හුම්ම් අමු කට්ටක් නම් තමයි ..නේ එත් කොලො සෙට් එකක් එක්ක ඉන්න එක ආතල්වෑඩේ .. වෙන බරපතල වෑඩ නෑත්නම්..

    ඉතුරු ටිකත් ලියමු..

    ReplyDelete
  7. මේ සීරීස් එක මාරයා කාපු කටු නේ,,,කුරුලු හමුදාවේ හිටියා කියලා දන්නවා, කටු තොරතුරු දන්නේ නෑ නේ,,බලමු ඊලගට ප්‍රහාරක යානය ගැන,මාරයා ඔය කෆීර් එකකට ගොඩ වෙලා එහෙම නැද්ද?

    ReplyDelete
  8. ඈ බං.. ඔය බිම දැම්ම කියන එක මේසයක් උඩ තිබුණ ඩමියක්දැ... ඈ....

    ReplyDelete
  9. කෆීර් කියල ශුවර්ද ?අර බනියා කිවුව වගේ මිග් එහෙම නෙවෙයි නේද ?

    ReplyDelete
  10. මාරයාගේ කෆීර් රැකිල්ල.....

    ReplyDelete
  11. හෙවනක් පෙනි පෙනි අව්වෙ ඉන්නව කියන්නේ..

    ReplyDelete
  12. මාරයියා කෆිර් එක හෝදන්න ගිහින් සයිඩ් කන්නාඩියවත් කැඩුවදැ ? :P

    ඉක්මනට දාපිය අනික..!

    ReplyDelete
  13. බූදු මාරයියේ.. කටුනායක රස්නේ ගැන නම් මං හොදටම දනී..ආයේ කියන්ටෝන නෑ ඒ ගැන..

    ReplyDelete
  14. හනේ හප්පුච්චේ.......... ඔහොම කටු හීනෙන්වත් මත කොලන්ට එෆා අයියාzzzzzzz
    ඉස්මනට අනිකත් දාන්ටෝ.................. :D

    ReplyDelete
  15. මාත් ඒ දවස්වල හරි ආසාවෙන් හිටියේ එස්. එෆ්. එකේ යුනිෆෝම් එකක අදින්න. කොහෙද ගෙදර බර බරෙයි එක එක ප්‍රශ්නයි හින්දා බැරි වුනා. දිග උනාට කමක් නැහැ මාරය අනික් ටිකත් දැම්මනම් තමා එල............

    ReplyDelete
  16. මාර මහත්තයා කතාව පටන් ගත්තෙ නෑහෑ නේද තාම???? මම හිතුවෙ මෙච්චර වෙලා කියෙවුවෙ කතාව කියලා.......... ලොල්z

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  17. @ඉලංදාරියා...

    අම්මේ ඒ ආතල් ගැනනං කුමන කතාද..?

    @ItalyDilan...

    එකම එක පාරක් රත්මලානෙදි නං ගොඩ උනා..හැබැයි ඒක මොනවාට හරි රෙපෙයාර් කිරිල්ලකට ගෙනත් තිබ්බ එකක්..ආයේ දුවන්න බැරි එකක්ද මංදා

    @Kush...

    ආන්න ඊළග ලිපියේ ඇති නෙව ඕකට උත්තරේ..හෙහ් හෙහ්...

    @මකරා...

    අනේ බනියගෙයි මගේයි කෆීර්...

    @Jeew...

    ඇයි ඒ විතරක්ද..?

    @තාරක Dilsh@n...

    මහා අකුසලයක් පල දීමකි...

    @Bunny...

    කටුනායක රස්නය උපරිම ඇත්තේ රනවේ එක හරයේ මලයෝ..

    සයිඩ් කණ්නාඩිය නෙවේ මලයා වම් පැත්තේ සිග්නල් ලයිට් එක..

    ReplyDelete
  18. @ජේ.ඩී...

    නැහැ මලයා හීනෙන්නං නෙවෙයි ඕං...ආං දාලා ඇත්තේ...

    @කල්හාර දිසානායක...

    මොනවා කොරන්ටද දුක තමා..
    ආන්න දාලා ඇත්තේ...

    @අළුත් කොල්ලා...

    හෙහ් හෙහ්..ඔය මගේ හැටි නෙව අප්පා..ආලවට්ටං දාලා එනකොට හති වැටිලා ඉවරයි..තව ටික දවසක් කියවනකොට තේරුං ගන්ට ඇහැකි වෙයි..

    ReplyDelete