22 March 2011

අද වගේම හෙටත්...

මේ දවස් ටිකේම මගේ ලිවීමේ වේගය බාල වෙලාදෝ කියලා හිතෙනවා..ඒත් ඒකට පැහැදිලි හේතුවක් දක්වන්න මට බැහැ. කොහොම උනත් මං මේ දවස් ටිකේ හොඳින් ඉන්නවා කියන දේනං මට තේරෙනවා...
ගලාගෙන යන ගඟක් වගේ මගේ ජීවිතෙත් ඔහේ ගලාගෙන යනවා..ඒකේ නැවතීමක් නැහැ...

සමහර කාල වලට මහා වේගයෙන් පහතට කඩාගෙන බිඳගෙන වේගයෙන් ගලන මේ ජීවිත ගඟ..ආයමත් කාලයකට බොහෝම නිසලව ගලනවා...වෙලාවකට ගල් පර්වත අස්සෙන් බොහෝම අසීරුවෙන් ගලාගෙන ඇවිත් ආයෙමත් වතාවක් ලස්සන ගස් කොළන් සහිත මිටියාවත් මැදින් බොහෝම සීරු මාරුවට ඇදීගෙන යනවා...

හැබැයි කොයිම වෙලාවකවත් නැවතීමක් නැහැ...සමහර තැනකදී ඉවුරු හෝදගෙන බොර වෙලා ගලන මේ ගඟම තවත් වෙලාවකට නිල් අහස වගේ පැහැදිලියි...

සමහරු මේ ග‍ඟෙන් බොහෝම පුයෝජන ගත්තා... ගඟ කිසිම කොන්දේසියක් නැතිව ඒ හැම දෙනාටම පිහිට උපකාර උනා..ඒ අයගේ ජීවිත සරුසාර කරගෙන ගලන අතරෙම ඒ ගැන බොහෝම සතුටෙන් ගඟ නොනැවතීම ගලාගෙන ගියා...

ඒත් ගඟ දන්නවා ගලාගෙන ආව කාලය තුල සමහරුන්ට ගඟ නිසා විසාල හානිත් සිදු උනා කියලා...
මහා වරුසා කුණාටුවලට හසු වෙලා ගඟට උහුලාගන්න බැරි තරං දුක් වැහි කඩාගෙන වැටිලා ගඟ පිරිලා උතුරලා ගියේ ගම් බිම් ගේ දොර යටකරගෙන...
ඒත් ගඟට කරන්න දෙයක් තිබුණේ නැහැ..මොකද ගඟ ගලන්න ඕන..නොනවත්වාම ගඟ ඉදිරියට ගලාගෙන යන්න ඕන..ඒ බව ගඟ දැනගෙන හිටියා...ආයේ නවතින්නවත්...එකතු වෙලා තියෙන මහා වතුර කන්දරාව අත හැරලා යන්නවත් ගඟට පුළුවන් කමක් තිබුනේ නැහැ..

ඒ හින්දා ගඟ නොනවත්වාම ගැළුවා...
හුගාක් අයට ප්‍රයෝජනවත් වෙන අතරේම සමහර ජීවිතවලට හානි කරගෙනම ගඟ ගැළුවා...
ඒත් ගඟට ඒ කිසිම දේකින් වෙච්ච ප්‍රයෝනයක් තියේද කියලා තාමත් ගග දන්නේ නැහැ..සමහර විට කවදාවත්ම දැන ගන්න එකකුත් නැහැ...

හුගාක් කාලෙක ඉඳලා ගලාගෙන එන ගඟ..අද වගේම හෙටත් ගලාවි..ඒ ගමනෙදි පුංචි පුංචි අතු ගංගා..ඇළ දොළ මේ ගඟට එකතු උනා..ඒ වගේම සමහර වෙලාවට ගඟ දෙකට තුනට බෙදිලා අර එකතු උන ඇළ දොළ ආයෙමත් වංගියක් ග‍ඟෙන් වෙන් වෙලා යන හැටිත් ගඟ බලාගෙන හිටියා..පුංචි දුකකුත් එක්කම...සමහර විට ඒ වගේ වෙලාවට ගඟ තවත් වේගයෙන් ගැළුවා..කිසිම සිහි කල්පනාවක් නැතිව ගැළුවා..

එදා ඉඳලා මේ වෙනකල් ආව ගමන වගේම තවත් සෑහෙන දුරක් ගඟට ගලාගෙන යන්න තියෙනවා..ඒත් තාමත් ගඟ දන්නේ නැහැ මේ කොහාටද යන්නේ කියලා..ඒ කොහාට ගියත් දැන් ආව දුරත් එක්ක ගඟට තේරුම් ගිය දෙයක් තමා...ගඟට ඕන ඕන විදියට ගලන්න ගඟට හැකියාවක් නැති විත්තිය..ඒක තීරණය වෙන්නේ ගඟට එකතු වෙන අතු ගංගා වගේම ගලාගෙන යන පොලොවේ හැඩතලවලට ඕන විදියට...

ඉතින් දැන් ගඟ ඔහේ ගලාගෙන යන්න ඇරලා බලාගෙන ඉන්නවා ඇර කිසිම විදියකින් කිසිම දෙයක් වෙනස් කරන්න උත්සහ කරන්නේ නැහැ...

ඊයේ වගේම අදත් ගඟ ගලනවා..හෙටත් ගලාවි..කවදා හෝ මේ ගමන නිමාවෙන දවස එනතාක් කල්ම ගලාවි...ඒ ගමනෙදී විඳින්න ‍උන..විඳිමින් පවතින..ඉස්සරහට විඳින්නට වෙන කිසිම දෙයක් ගැන දැන් ගඟට වැඩක් නැහැ...ඒ කිසිම දේකින් ගඟ තමන්ගේ ගමන වෙනස් කරන්නේ නැහැ...

ඉතිං...මොහොතකට හෝ නොනැවතිම ගලන මගේ ජීවිත ගඟ හෙට කොහාට ගලාවිද..?

ඒක මම තවමත් දන්නේ නැහැ..ඒත් මං එකක් දන්නවා..මේ මොහොතේ ඒක හරිම නිශ්චලයි..පුදුමාකාර තරමින් නිශ්චලයි...මට ඒ ඇති...










15 comments:

  1. කවදහරි දවසක මුහුදට වැටෙනකං ගඟට ගලන්න ඉඩ දෙන්න.

    ReplyDelete
  2. එක තැන නොනෑවතී ගලන නිසාම තමය් ගඟ පොකුනකින්, නෑත්නම් විලකින් වෙනස් වෙන්නෙත්. එක තෙනක නොසලී තියෙන පොකුනකට වඩා ගලාගෙන සුලි නන්වමින් ගලන ගඟක ට ලෑබෙන අත්දැකීම් වැඩිය්. මම දන්න තරමට ලංකාවෙ එකම චලන මෝය තමය්, කලු ගඟ මුහුදට වටෙන තැන, හැම දාමත් වෙනස් වෙනවා, ගඟ පිටාර ගලන කොට ගඟ දෙපස ජීවත් වෙන දහසකුත් දෙනාට හානි වෙනව, ඒ ගඟක ස්වභාවය. හැබය් කවදාවත් ඒ මිනිස්සු ගඟත් එක්ක තරහ උනේ නෑ. බැන බැන ගිහින් ආපහු ඇවිත් පදිංචි වෙන්නෙත් එතනමය්, ඒ මිනිස්සුන්ගෙ ස්වභාවය.

    ReplyDelete
  3. අපි අරන් ආපු ආයුස ඉවරවෙනකන් ගග ගලනවා.ජිවිතේ ගලායාම අපට ඔන විදියට වෙන්නේත් නෑ,එක ජීවිතයට ඔන විදීයට ගලාගෙන යනවා අප්ට තියෙන්නේ බලන් ඉන්න.
    මමනම් හිතන්නේ අඩු බලාපොරොතු සහිත ජීවිතයක් කියන්නේ පසුතෑවීම අඩුයි කියන එකයි.

    ReplyDelete
  4. මුහුදට වැටෙන්න කිට්ටු වෙනකොට ගඟ පළල වැඩියි. නිශ්චලයි. හෙමිහිට ගලන්නෙ. මුහුදට වැටෙන්න පොඩ්ඩකට කලින් ගඟ අතු ගංඟා රාශියකට බෙදෙනව. මැද හැදෙන දූපත් වලට කියන්නෙ 'ඩෙල්ටා' කියල!

    ReplyDelete
  5. මට මතක් උනේ ක්‍රිෂ්ණ මූර්තිගෙ පොතක තිබුණු දේවල්...
    ( මෙයාත් ඒ වගේ වේගෙන එනවද මන්දා)

    ReplyDelete
  6. උදේ පාන්දරම මඟුලක් කතා කරනවා... මේ කාන්තාරේ කොහෙද බං ගඟවල්.... මේ මඟුල මට නම් තේරෙන්නේ නැහැ... රෑට ඇවිත් කියවලා තේරුණොත් මොනව හරි කොටල යඥ්ඤං..

    ReplyDelete
  7. ගගක්නම් ඉතින් ගලාගෙනයන්නම වෙනවනේ ..අපි ගලාගෙන යන්න ඉඩ දේමු නේ..

    ReplyDelete
  8. ඔය කොයි ගඟත් ගලන්නෙ තමුන්ට ඕනෙ නිසා නෙමෙයි. උල්පතකින් දවසක බිහි උන නිසා. මාර මහත්තයො, ඔබ තුමානම් අදහන්ඩ වටිනවා........... හිත හෙල්ලිලා තියෙන වෙලාවෙ මේ පෝස්ට් එක කියවල සහනයක් ලෑබුන කාටත් තියෙන්නෙ මට තියෙන ප්‍රශ්නමනෙ කියලා.

    ජීවිතෙත් දර්ශනයක් තමයි බෑලුවහම......... අපි හෑමෝමත් දර්ශනවාදියො එක පෑත්තකින්.

    ස්තූතියි....

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  9. නිච්චලව ගලනවනම් ඉතිං මේ ග‍ඟේ ගැඹුරු හරිය වෙන්න ඕන. මේ කාලෙදි කාන්න වතුරට බහින අය පොඩ්ඩක් විතර සැලකිල්ලෙන් වතුරට බැස්සොත් තමයි හොඳ. අණතුරකට ඉඩකඩ ඕන තරං. ඒත් පරිස්සමින් හොයල බලල බැස්සොත් කිමිදිලා නාන්න තරං හිතෙයි.

    ReplyDelete
  10. ගඟ කොහොමත් එහෙම තමා බං...

    ReplyDelete
  11. මිනිස්සු, මාලු, අරුන් මුන්...කොච්චර ගඟෙන් ජීවත් උනත්, ඒ ගඟටම කුණු ජරාව දැමුවත්.....ගඟ නෙමයි ඇහැක් ඇරල බලන්නේ.
    ඒකම මදැ....

    ReplyDelete
  12. ගඟ ගලා ගලා යාවි...අපි හිතාගෙන ඉන්න ගඟ නවතින තැන...ඇත්තටම ගඟ එතැන නැවතීවිද?

    ReplyDelete
  13. ගඟකට කිසිම දවසක මිනිහෙක් බනින්නේ නෑ . ගඟකින් තමන්ට වෙනේ නරක දේවල් වලට වඩා හොඳ දේවල් කියලා ඕනම කෙනෙක් දන්නවා . දුප්පතාට පෝසතාට සතා සීපාව කියලා වෙනසක් නැතිව හැමෝටම උදවු කරපු ගඟක් ගලාගෙන එනකම් මූද බලාගෙන ඕන තරම් කාලයක් ඉඳීවි. ආදරෙන් ..

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. ජිවිතයත් ගලන ගගක් වගේ..නැවතුමක්..මුහුදට ලං වෙනකම් ගස් ගල් කටු හැම දේකටම ඔරොත්තු වෙලා ගලනවා...වෙලාවකට දරාගන්න බැරි උනාම ගගත් පිටාර ගලනවා..එත් පුරුදු නිශ්වල තාවය ලගටම එනවා... අද වෙන දේ ගැන විතරක් හිතන්න අයියා..හෙට මොනවායින් මොනා වේයිද කියලා කියන්න හරි අමාරුයි...ඉන්න එක දවස හරි කෙනෙක්ට හිනාවක් දෙන්න ..සතුටක් දෙන්න...හිතට එකග වෙන්න ...ජිවිතේ නවතිනකම්...ගග මුහුදට ලං වෙනකම්ම ,,,,,,

    ReplyDelete