24 March 2011

මාර සරණිය... චිලී පේස්ට්...



හම්මේ ඔන්න යාන්තං එක දිගට දවස් හතරක් රාජකාරි කොරලා කොහොමින් කොහොම හරි ගෙදරට කඩන් පාත් උනා...
අදනං උයන්නේ නැහැ අම්මේ මුත්තේ කිව්වත්..ඒ තරමට වැඩ තියේ කරන්න...දැන් මේක ඉක්මනට ලියලා දාලා ගම්පහ යන්න ඕන...වැඩ කිහිපයක්ම කරන්න තියේ...

සොෆ්ට්ලොජික් එකට ගිහින් ඩයලොග් බිල ඒ කිව්වේ මේ අන්තර්ජාල බිල ගෙවන්න ඕන..බිල ආවේ 5 වෙනිදා..දැන් 24 වෙනිදා මෙච්චර දවසක් වෙලත් ගෙවන්න බැරි උනා.. මේ පාර බිලත් අඩුපාඩුවක් නැතිව 1500ක් විතර තියෙනවා..ඒ ඉතිං අපේ ක්‍රිකට් ටීම් එකට පින් සිද්ධ වෙන්න තමයි..වෙනදනං ඉතිං 1000න් ෂේප්..කමක් නැහැ ඉතිං අපි වෙනුවෙන් හොරු කියලා හිතාගෙන ඒකත් ගෙවමුකෝ..

ඊ ළගට ලයිට් බිල..මම සාමාන්‍යයෙන් ඒකනං මාස තුනකට හතරකට සැරයක් ගෙවන්නේ කොහොමටත් මට මාසෙකට 250 ක විතර බිලක් එනවා මාස හතරකට සැරයක් 1000 ක් දාපුවහම ඒකත් හරි.. මේ මාසේ වෙනකොටනං තාම 1000ක් වෙලා නැහැ..හරිනං ලබන මාසේ තමා ඕක ගෙවන්න ඕන ඒත් අවුරුදු මාසේ වියදං වැඩි හින්දා ඕක ලබන මාසෙට තියා ගත්තහම හෙන ඇනේ..ඒ හින්දා අදම ඒකත් ගෙවන්ට ඕන...

තව ඉතිං පොඩි පොඩි බඩු වගයක් ගන්නත් තියේ.. විශේෂයෙන්ම මං දැන් වැඩ කරන තැනට මට උයාගෙන එන්න බැරි උන දවසට කඩෙන් කෑම එක ගෙනත් දෙන වයසක ගෑණු මන්සුසයෙක් ඉන්නවා.. ඒ මනුස්සයට මොනවා හරි රෙදි කෑල්ලක් හරි කුඩයක් හරි මොනවා හරි අරං දෙන්න ඕන.. අර කාස්ටක අවුවේ පයින් බඩ ගාගෙන ඇවිත් මට කන්න ටික ගෙනත් දෙන එකට එහෙමවත් දෙයක් කරන්ට එපැයි...

තව කේන්දරෙක වැඩකට ජා ඇල කිට්ටුවට යන්ටත් තියෙනවා..ඒත් ඒක යනවද නැද්ද කියලා තාම මම මේ කල්පනා කරනවා..

ආ ඒ අතරේ අපේ හිතවත් කොළු ගැටයෙක් කැන්ගරු දේසේ ඉඳලා ලංකාවට කඩං පාත් වෙලා තියෙන හින්දා උන්නැහේවත් පුළුවන් උනොත් මුණගැහෙන්ටත් හිතේ තියෙනවා...

ඒ කවුද කියලා ඉතිං අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ..මොකද දැන් ටික කාලයක් ඉඳලා මගේ ඔය කොමෙන්ටු තීරය බදු අරගෙන ඉන්න හිතිං තරුණ ගැටයා ගැන කව්ද නොදන්නේ..මේ දවස්වල උන්නැහේ කොමෙන්ට් තීරයේ පේන්ට නැති වෙයි මගේ හිතේ..ආයෙමත් ගියාට පස්සේ තමා පේන්ට හිටියොත්...

ඒ ඇරුනාම දෙස් විදෙස්හී සුපතල නාමයක් ඇති විශේෂඥ වෛද්‍යාචාර්‍ය තුමෙකුත් අද යක්කල පැත්තේ එන වග කියලා තිබුනා.. සමහර විට අහම්බෙන් හරි මෑන්වත් මුණ ගැහෙන්ට ඉඩ තියේ..ඒත් ඉතිං ඊට පස්සේ මට යහතින් එන්ට ලැබෙයිද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි..

මොකද මෑන්ස්ට මාත් එක්ක බොහෝම කේන්ති ගෙහුං ඉන්න වග තමා දැන ගන්ට තියෙන්නේ...
ඒකට හේතුව මෙතන ලියන්ටනං බැහැ..එහෙම උනොත් උදේට පාන් කෑව දත් ටික නැතිව තමයි අද මට දවල්ට බත් කන්ට වෙන්නේ...ඒ හින්දා එි ගැන නොලියා ඉම්මු...

හරි අද මේ ලෑස්ති උනේ විශේෂ පොරොන්දුවක් ඉෂ්ඨ කරන්ට..මේක දැන් පොරොන්දු වෙලා දවස් තුන හතරක් වෙනවා..ඒත් ගෙදර එනකල් මට මේක ලියන්ට බැරිව හිටියේ කිරුම් මිනුම් ප්‍රශ්නයක් හින්දා...

ඒ හින්දා මේක ලියන්ට පරක්කු උනාට මට නොසෑහෙන්ට බැනුං අහන්න උන වගනං මං මේකේ ලියන්ට කැමතිම නැහැ...

හරි කෙටියෙන් කියන්නං හදන්ට යන්නේ චිලී පේස්ට්..හරිනේ..කොහොමත් මං උඩින් මේ නම දාලානේ ඇත්තේ...

හුගාක් වෙලාවට චිලී පේස්ට් කියන්නේ දැන්නං කවුරු උනත් හොඳට දන්න කියන කන්න ආසාම කෑමක්..
ඒත් හදාගන්ට දන්නේ නැතිව ලත වෙන දෙයක්..මාත් ඉස්සර දන්නේ නැහැ..ඒත් මං සැරෙන් සැරේට මේක හදන්ට උත්සහ කලා ඒ හැම වෙලේම මොනවා හරි අවුලක් උනා..ඇත්තටම මට නියම පදම ගන්ට බැහැ..හේතුව මේකට මම එකතු කරපු හැම දේම මගේ හිතේ හැටියට දැම්මේ..

මං ඕකට දාන දේවල් අහගන්ට කෙනෙක් හිටියේ නැහැ නෙව..ඒත් ඉතිං ඔය ප්‍රයිඩ් රයිස් එකක් එහෙම ගෙනාව වෙලාවට ඒකත් එක්ක ලැබෙන චිලී පේස්ට් ටික මම බොහෝම සීරු මාරුවට පරීක්ෂා කොරලා බලනවා..ඊට පස්සේ එයින් ටිකක් දිවට තියලා රසයන් හදුනා ගන්න උත්සහ කරනවා..එහෙම කරලා තමා මම පදම අල්ලන්න බැළුවේ..ඒත් මොනවා නමුත් අඩුවක් මේකේ තියෙනවාමයි..

ඒත් අන්තිමට මට මේකේ පදම අල්ලලා දුන්නේ අද මා ළග නැති අරයා තමා..ඒ කවුද කියලා මගේ බ්ලොග් එක කියවන අය දන්නවා නෙව..ඔව් ඔව් දැන් මේ පිස්සු නට නට හිනා වෙවී හිටියට පහු ගිය කාලයක් තිබ්බානෙව මං දුක් අ‍ඳෝනාම මේකේ ලිය ලිය හිටිය කාලයක්. කවියක් ලිව්වනං එකම අඩෝවැඩියාවයි..කතාවක් ලිව්වනං එකම ශෝකාලාපයයි..

අම්මපා කොහොමද මන්දා මේක කියවපු කට්ටිය ඉවසගෙන හිටියේ කියලත් මට දැන් හිතෙනවා..මොනවා උනත් අමාරුවෙන් හරි ඒවා කියව කියව මාත් එක්ක හිටිය හැමෝටම බොහෝම ස්තූතියි...ඒ වගේම ඒ කාලයේ මට බොහොම පිහිට උපකාර වෙච්ච මගේ අප්‍රාණවාචී නමුත් පාවිච්චි කලාට පසු ප්‍රාණය රසගන්වන මගේ හිත මිතුරාටත් පින්...(හෝව් හෝව් ඔය බනින්න කියලා පුටු වලින් නැගිටින්න හදන කට්ටිය ඔහොමම වාඩි වෙන්න..දැන් යාළුවා දකපු කාලයක් මතක නැහැ..හරිනේ..)

ඉතිං කොහොම උනත් එයා තමා මට මේ වැඩේ නිරාකරණය කරලා දුන්නේ..දවසක් අපි දෙන්නා දවල් කෑමට කොහේ හරි ගිය වෙලාවක මට ඔය චිලී පේස්ට් කතාව කිය උනා...අනේ අපරාදේ කියන්න බැහැ ඊට දවස් දෙකකට පස්සේ මෙන්න මෙයා හෙන බඩු මල්ලකුත් කරේ ගහගෙනම බයික් එකට ගොඩ උනා..

ගෙදර ආවට පස්සේ තමා මට තේරුනේ චිලී පේස්ට් පාඩම තමා කියලා..ඒත් ඉතිං මං එදා ඕක හරියටම ඉගෙන ගන්න ගියේ නැහැ..මොකද ඉතිං මං හිතුවේ දැන් ඕක හදන්න ඉගෙන ගන්න ඕන නැහැ..ජීවිත කාලේ පුරාවටම මෙයාම මට ඕවා හදලා දෙයිනේ කියලනේ...හිනත් යනවා නේද..? අන්තිමට මටම තමා තාමත් චිලී පේස්ට් හදාගන්න වෙලා තියෙන්නේ..ආන්න එතකොටනං ඇඩෙනවා...

කොහොම උනත් එදා මට අහු උනා මෙච්චර දවසක් මට අඩු පාඩු වෙලා තිබුනේ මොනවද කියලා..
ඒ තමා සුදුළුණු... මම සුදු ළුණු දැම්මා උනාට මම දාපු ප්‍රමාණය මදි...ඒකයි මගේ වැඩේ අප්සෙට් ගිහින් තියෙන්නේ...ඇත්තටම චිලී පේස්ට් එකේ වැඩි අන්තර්ගතය විය යුත්තේ සුදුළුණු..අපි හිතනවයෑ ඕකක්. අපි හිතන්නේ මිරිස් සහ සෝස් කියලනේ...

ආ මෙතනදී සෝස් වර්ග ගැනත් කියන්න ඕන..
චිලී පේස්ට් එකේ රස වෙනස් කරන්න සෝස් බොහෝම වැදගත් කාර්යයක් ඉෂ්ට කරනවා..
විශේෂයෙන්ම චිලී පේස්ට් සඳහා..

සොයා සොස්
තක්කාලි සෝස් වගේම චිලී සෝස් උනත් යොදා ගැනෙනවා..

ඒත් මම නම් කැමති තක්කාලි සෝස් පමණක් භාවිතා කරන්න...ඒත් චිලී පේස්ට් එක කල් තියා ගන්න කාලේ වැඩිනම් සෝයා සෝස් පමණයි හොඳ..

චිලී සෝස්නං ඒ හැටිම වැඩක් නැහැ..ඒත් සමහරු ඒක පාවිච්චි කරනවා..මංනං කියන්නේ අල්ලලා දාන්න කියලයි..

හරි මෙන්න මේ බඩු ටික ලෑස්ති කරගන්නකෝ..

කෑලි මිරිස් 100 g
ආ තව එකක් කෑලි මිරිස් කිව්වහම ඉතිං කඩේ තියෙන ඒවාට වඩා වේලිච්ච මිරිස් ටිකක් අවුවේ කර කරලා තමන්ම බ්ලෙන්ඩ් කරගන්නවනං හරි අපූරුයි..හොඳට සැර හිටිනවා..

සුදු ළුණු 100 g
බය වෙන්න එපා සුදුළුණු වැඩි වෙන්නේ නැහැ.. මේක හොදට පොඩි කර ගන්න ඕන..බ්ලෙන්ඩරයක දාලා ක්‍රීම් එකක් වෙනකල් බ්ලෙන්ඩ් කරන්න ඕන. තව දෙයක්..එය සුදුළුණු පොතු දෙක තුනකුත් මේකෙම ඇඹරුණාට කමක් නැහැ..ඇත්තටම ඒකෙන් හොඳ සුවඳක් වගේම රසයටත් ලොකු වාසියක් වෙනවා..
අඹරා ගත් සුදුළුණු අමු ඉඟුරු මිශ්‍රණය...

අමු ඉඟුරු පොඩි කෑල්ලක්
අඟලක විතර කෑල්ලක් මදෑ..ඒකත් සුදු ළුණු එක්කම අඹරගන්ට..

උම්බලකඩ 20 g
මෙකත් සියුම්ව කුඩු කරගත්ත ඕන..

වියළි ඉස්සන් හෝ කූනිස්සන් 50 g
කූනිස්සන්නං ටොප්..ඒත් හොයා ගන්න කරදරනං ඉස්සන් උනත් කිසි අවුලක් නැහැ..ඒකත් හොඳට සුද්ද කරලා කුඩු කරන්න ඕන. මතක තියා ගන්න ඉස්සාගේ පිට පොත්තත් එක්කම කුඩු කරගන්න.කූනිස්සෝනං වැඩිය කුඩු කරන්න යන්න එපා පොඩ්ඩක් කෑලි උනහම ඇති..
කුඩු කර ගත් උම්බලකඩ සහ කූනිස්සන් මිශ්‍රණය...


තක්කාලි සෝස් මේස හැඳි 5ක් පමණ..
කැමතිනං සෝයා සෝස් හැන්දකුත් මේකටම එකතු කරාට කමක් නැහැ

සීනි මේස හැඳි 2ක් 3ක් පමණ..

අජිනමොටෝ තේ හැඳි කාලක්

ලුනු කුඩු තේ හැදි බාගයක්

එළවළු තෙල් හෝ පොල් තෙල්..
කණගාටුයි මටනං මේකට ප්‍රමාණයක් කියන්න බැහැ..මොකද තෙල් මැනලා මම මේක කරලා නැහැ..ඒත් මං විස්තර කරන කොට ඕන කරන ප්‍රමාණය තේරුම් යාවි.(කෝකටත් කියලා තෙල් ලීටර් 5ක්වත් ලෑස්ති කරගන්නකෝ..:P )

විශේෂයෙන් මතක තියා ගන්න මේක හදලා ඉවර උනාට පස්සේ රස බලලා තව ලුනු ටිකක් එකතු කරන්න වෙයි...ඒත් ඒක කරන්න ඕන චිලී පේස්ට් එක නිවුනට පස්සේ..මොකද රස්නෙත් එක්ක දිවට දැනෙන රස නිවුනට පස්සේ වෙනස් වෙනවා..සීනි ගැනත් ඒ විදියටම කටයුතු කරන්න.

................................
හරි මෙහෙමයි වැඩේ..

මුලින්ම කියන්න ඕන ඕන කරන බඩු ටික ලිපට කිට්ටුවෙන් තියා ගන්න එහෙ මෙහෙ දුව දුව මේක හදන්න බැහැ පොඩ්ඩක් හරි එක ජාතියක් හරි වැඩියෙන් කර උනොත් මේක නිකංම විනාස වෙලා ගිය තවත් එක් කුස්සියේ මෙහෙයුමක් බවට පත් වීමේ හැකියාව ඇත...

මුලින්ම තාච්චියක් ලිපේ තියලා ඒක රත්වෙනකොට තෙල් ටිකක් ඒකට දාලා රත් වෙන්න අරින්න..මෙකෙදි තෙල් දාද්දී අර මිරිස් කැලී ටික බැදගන්න ඕන තරමට දාන්න..අතර මගදී තෙල් මදි උනොත් වැඩේ අප්සට් යන හින්දා ටිකක් වැඩි පුර තෙල් තිබ්බට කමක් නැහැ..

තෙල් රත් උනහම කෑලි මිරිස් ටික ඒකට දාලා තත්පර ගානක් බැදගන්න..හොදට හැදි ගාන ගමන් බැද ගන්න වැඩි වෙලා එපා බොහෝම චුට්ටයි..කළු වෙන්න දෙන්න එපා..යන්තං රතු පාට පිච්චෙනවා වගේ පේන කොටම මිරිස් ටික තාච්චියෙන් අහක් කරගන්න..මෙතනදී තෙල් එක්කම එක පාරට ඉවත් කරගන්න එක හොඳයි නැත්තං ටික ටික අහක් කරන්න යද්දි තාච්චියේ තියෙන මිරිස් ටික කර වෙන්න පුළුවන්..

තාච්චියෙන් අහකට ගත්ත මිරිස් ටික තෙල් බෙරෙන්න තෙල් පෙරන හැන්දක හෝ භාජනයකට දාලා නැවතත් තාචිචියට තෙල් මේස හැදි තුනක් හතරක් වගේ දාලා ඒක රත් වෙද්දී අර සුදුළුණු ටිකත් බදින්න..මේකෙදිත් හරි පරිස්සම් වෙන්න..අඩිය අල්ලන්න පුළුවන්, කර වෙලා තිත්ත වෙන්න පුළුවන්, කළු වෙන්න පුළුවන්..ඔය හැම දෙයින්ම පරිස්සම් වෙලා හොඳට හැදිගාමින් ඒ වගේම සුදු ළුණු තලිය හැන්දෙන් පොඩි කරමින් ටිකක් රන්වන් පැහැයකට හැරෙනකල් බඳින්න..රත්තරන් පාට වෙන කොට ඒ ටිකත් බාන්න...

දැන් අවසාන මෙහෙයුම..නැවතත් තාච්චිය ලිපේ..තෙල් පොඩ්ඩක් ආයමත් ඒකට දාන්න දැන් අපි හදන්නේ අර ඉස්සෝ සහ උම්බලකඩ කුඩු ටික බදින්නයි..මේකට වැඩිය තෙල් ඕන නැහැ මොකද අපි මෙක අවසානයේ තෙල් පෙරන්න යන්නේ නැහැ..
ඉතිං තෙල් රත්වෙද්දී ඒකට උම්බලකඩ කුඩු ටික දාලා ඊට තත්පර 30කට විතර පස්සේ ඉස්සෝ හෝ කූනිස්සෝ ටිකත් දාලා ඒක කර වේගන එනකොටඒකටම දාන්න අර සෝස්..අජිනමොටෝ..ලුනු කුඩු කියන දේවල් ටික..සෝස් ටික රත් වෙලා බුබුළු දාලා නටන්න ගත්තහම අපි කළින් බැදගත්ත සුදුළුණු ටිකත් මිරිස් ටිකත් එකතු කරන්න..ඒ ටික හොදට කලවම් ‍කරලා ඊට උඩින් සීනි ටිකත් ඉහලා ලිප නිවලා හොදට කලවම් කරන්න...

සීනි ටික අපි අන්තිමට දාන්නේ සම්පූර්ණයෙන්ම දිය නොවෙන්න හින්දයි..යාන්තමට වගේ සීනි ඇටයක් දෙකක් හැපෙන කොට මාරම රසයක් එනවා..
හරි දැන් වැඩේ ඉවරයි..මේකේ නියම පදම ආවානං ටිකක් තෙල් වැඩියෙන් වගේ පේන්න ඕන..එහෙම තෙල් ටිකක් වැඩි උනහම ඕක හරි රසයි ඒත් මං නොකිව්වට දන්නවනේ තෙල් කියන්නේ අදකාලේ අපේ විනාසේ කියලා..ඒ හින්දා මමනං ඕක හදනකොට හුගාක් දුරට තෙල් අඩු කරලා අවසාන ප්‍රතිඵලය බොහෝම වියළි චිලීපේස්ට් එකක් ගන්න තමයි බලන්නේ..ඒත් ඒක ටිකක් අවදානම්..ඒකට හේතුව තෙල් අඩුවෙන් කරන්න ගියහම..කර වෙන්න.. පිච්චෙන්න.. අඩිය අල්ලන්න තියෙන අවදානම වැඩියි..ඒත් ඇගට හොඳයි...
වරදින්න තියෙන හැකියාව වැඩියි.

අපි කඩෙන් ගන්න චිලී පේස්ට් එකේ රසය පෙනුම හොඳින් තියෙන්නේ ඒ අය තෙල් පාවිච්චියේදී ඒ හැටි බය වෙන්නේ නැති හින්දා තමයි..මොකද කන්නේ අපිනේ..ඒත් අපිම හදා ගන්න යද්දී ටිකක් පරිස්සම් වෙන්න..
මොකද චිලී පේස්ට් කියන්නේ තනිකරම තෙල් ගොඩක්..ඒකටම මිරිස් ගොඩකුත් ආවම ආයේ මම කියන්න ඕන නැහැනේ..කවුරු හොයාගත්තත් චිලී පේස්ට් කියන්නේ ආමාශයට ඇසිඩ් ගහනවා වගේ වැඩක්..
ඒත් ඉතිං අපිත් කැමති කටට රසට කන්න නෙව..එතනදීනම් චිලී පේස්ට් වලට තියෙන්නේ ඉහළ තැනක්..වෙන මොනවා නැතත් චිලී පේස්ට් එක්ක බත් ටිකක් පාන් කෑල්ලක් බඩට බස්සන්න පුළුවන් දෙයියනේ කියලා...

මම නං ඉතිං චිලී පේස්ට් එක්ක කැකුළු බත් කන්න කැමතියි..ඒකෙන් රසය ව‍ගේම චිලී පේස්ට් එකේ තියෙන අධික සැර ගතිය අඩු කරගන්නත් පුළුවන්..දිවට දැනෙන රසයත් උපරිමව තියා ගන්න ගමන්ම...

හරි දැන් වෙලාව දහය හමාරත් පැන්නා..මම යනවා ගම්පහ යන්න..ඔයාලත් කැමතිනං හදලා කරලා මටත් දන්නන්ටකෝ...







29 comments:

  1. අයියගේ කටේ චිලි පේස්ට් දාන්න හිතෙනවා !
    අද රෑට පොඩ්ඩක් ටෙස්ට් කරන්න ඔනේ මේක. කලින් පාරත් හැදුවා බලමු මාර සරණියෙන් කියන විදියටත්

    ReplyDelete
  2. ම්. යම් යම් යම්... පාන් ගෙඩියකුත් තිබ්බනම්....

    ReplyDelete
  3. හොය හොයා හිටපු රෙසිපි එකක් හම්බුනා. දැන් අවුරුද්දට එන අයට දෙන්නම්කො බඩ පැලෙන්න. ඒක නෙවෙයි අයියෙ අජිනමොටෝ නැතුව හැදුවොත් රස වෙනස් වෙයිද?

    ReplyDelete
  4. මේක දිහා බලාගෙන බත් කෑවැකි

    ReplyDelete
  5. ඔය කොරන රස්සාව අතෑරල කෑම කඩයක් දාන්න හිතුනෙ නැද්ද මාරයියෙ හැබෑටම. ආයෙ නෑ බිස්නස් යයි නැගල

    ReplyDelete
  6. අපි හදලා බලමුකෝ... කොහොම වෙයිද කියලා.... ;)

    ReplyDelete
  7. අඩා මාරයා මාරයි අා මම අාසම කෑමක්. කඩ කෑම ෙගදරදී කියලා class ඒක පටන් ගන්න ෙගාඩම තමා

    ReplyDelete
  8. මාත් එකපාරක් ඕක හදල බැලුවා.
    ඉස්සන්ට වැඩිය ‍කූනිස්සෝ දානවනං තමයි හොද.

    ReplyDelete
  9. කෙල ඉනුවා. බත් කනගමන් මේක කියවන්න ඔන.

    ReplyDelete
  10. මාරසරණියෙ චෙෆා දැන් හරි පරසිද්ද වෙලා නේ...අද කාන්තාවෝ නෑ වගේ තාම..
    ආරන්චී ඔබා මාමා අයියා මාරයව පන දාගෙන හොයනවා කියලා,,,අද මතට තිත හම්බෙන්න වගේ යන්නේ

    ReplyDelete
  11. ම් ම්.. බලමුකෝ දවසක කරලා...

    ReplyDelete
  12. කෑම පැත්තකට දාමුකො . . . . ජා ඇල පැත්තෙ එනව නං . . . මේ පැත්තටත් ගොඩ වැදියං . . . තේකක් වත් බීල යන්න මයෙ ගානෙ

    ReplyDelete
  13. තාම ඔම්ලට් හදාගන්ඩ බැරි උන එකේ මේව හදනව කියල ඉල්ලං කන්නෙ නැතුව හොඳ කෑමක් කියාල නිකං ඉමුකො.......

    ReplyDelete
  14. ටෙස්ට් කරන්න ඕන... මාරසරණියෙන් කිව්වානම් ආයේ දෙකක් නෑ එලටම ඇති :D

    ReplyDelete
  15. අයියේ අර අජිනෝමොටෝ දැමිල්ල තමා අවුල.ඕවා කන්ට හොඳ නෑ නෙව.ඇඟට අගුණයි.

    ReplyDelete
  16. බොහොම ස්තුතී මාරයා අයියා,මේ පාඩම් මාලාව නිසා ටික ටික ඉවුම් පිහුම් දනුමත් ඔන්න වෑඩි වෙනවා.එක නෙමෙයි මාරයා අයියා අර චායාරුප විචාරය එහෙම්ම නෑවතුනද මන්දා,ඒ වේඩේ නම් පට්ට කොහෙන් එන අදහස්ද මන්දා....

    ReplyDelete
  17. මගේත් ආසම කෑමක්. බිග් තැන්කියු හොඳේ....

    ReplyDelete
  18. අලේ මාර අයියේ ජය වේවා.. දවසක් දාන් ඔන්න මම හදනවා ...හෙහ්..මොනාවයින් මොනා වේද දන්නේ නම් නැ.. ( ඇත්තට තෙල් ලීටර් පහක් වැඩි නැද්ද )

    ReplyDelete
  19. තාම හදලා බැලුවේ නැහැ..
    දැන්ම රස දැනෙනවා..

    ReplyDelete
  20. ස්තුතියි! කිව්ව ඕO...

    ReplyDelete
  21. ඔන්න ඔන්න මාරයා අයියා කොලෙස්ටරෝල් වැඩි වෙන ජාති හදල කට්ටියට බෙදන්ටයි යන්නේ නේද?? :D

    ReplyDelete
  22. ලෙසටම හදල තියෙනවා... ම්ම්ම්ම්ම්ම්ම්..........

    ReplyDelete
  23. ඔන්න මේකට අඩු පාඩුවක් වෙලා තිබුන පොටෝ ටිහිකුත් එල්ලුවා...

    ReplyDelete
  24. කියලා වැඩක් නැ ඔයි

    ReplyDelete
  25. කියලා වැඩක් නැ ඔයි

    ReplyDelete
  26. චිලී පේස්ට් වලට සිංහලෙන් කියන්නේ මොකක්ද

    මිරිස් උදපේෂය?
    මිරිස් පාප්ප?
    මිරිස් කල්කය?
    මිරිස් තලපය?
    මිරිස් විලේපය?
    මිරිස් පේස්ටය?

    ReplyDelete
  27. මරු ඕයී මාරයෝ.
    රොම්බ තැන්ක්

    ReplyDelete