04 April 2011

සිහින උළෙල හා පසුවදනක්...

ඇත්තටම මම අද කිසිම දෙයක් ලියන්න හිතාගෙන හිටියේ නැති දවසක්..ඊයේ හවස අවුරුදු උත්සවයට ගිහින් ඇවිත් හනිකට නාලා කරලා යන්න තිබුණු ගමනකුත් ගිහින්...ඉක්මන් කරලා සටහනක් ලියලා පල කලේ බොහෝමත්ම සැහැල්ලුවෙන්...මම ආයෙමත් සිහින උළෙල ගැන ලියන්න වෙයි කියලා හිතුවේ නැති උනත් අද මට ඒ සඳහා ලියන්න හේතුවක් දැන් ටික වෙලාවකට කළින් ඇති උනා...

ඒ ගැන කියන්න කළින් කියන්න ඕන දෙයක් තියෙනවා..ඒ තමයි ඊයේ හවස ඔක්කෝම වැඩ කටයුතු අවසන් වෙලා සමූහ ඡායාරූපය ගන්න වෙලාවේ අභිත විසින් කියපු දේ..ඒක සුළු ඉල්ලීමක් කියලත් කියන්න පුළුවන්..
ඒ තමයි..

"දැන් ගෙදර ගිහිල්ලා හැමෝම පුළුපුළුවන් විදියට මොන මොනවා හරි ලියලා දාපල්ලා" කියන වචන ටික...

ඇත්තටම ඒක අපෙන් විය යුතුම දෙයක්..මොකද අපි හැමෝටම මේ අවුරුදු උත්සවය එකිනෙකට වෙනස් අත්දැකීමක් වෙන්න පුළුවන්..බොහෝ දුරට හැම දෙනාටම එක වාගේම උනත් සමහර අවස්ථාවල එකම දේ දෙවිදියකට අපි දකින්න පුළුවන්...

ඒ දේ හොඳ උනත්..නරක උනත් එහෙම හරි ලියන එක හරි වැදගත්..විශේෂයෙන්ම අපි හැමෝටම මතකයි දැනට ටික දිනකට කළින් තිබුණු SBU සාමාජික හමුව..එදා වගේම මං හිතන්නේ අදත් පළමුවෙනි පෝස්ට් එක දැමීමේ වාසිය මටයි හම්බ උනේ...

ඒ වගේම ඔය හැමෝටම මතක ඇති ඒ හමුව ගැන "ඇනෝනිමස් ආතල්" අඩවියේ පල වූ ලිපිය...
ඇත්තෙන්ම එහි අරමුණ මොකක් උනත් මම ඒ ලිපිය පළ වීම සම්බන්ධවත් සතුටු වෙනවා.මොකද අපි හැමෝම අපි ඒ දෙවල් දකින විදිය කියන එකේ ගැටළුවක් නැති හින්දා.

එතනට ගිහිල්ලා..එතනින් දුන්න කෑම එකත් කාලා..ඒකටම බැනලා හරි ලිපියක් දැමීම වැදගත් වැඩක්..ලිපිය ලිවුව කෙනා ගැන අපේ හිත්වල ඇති වෙන හැගීම කොයි වගේ උනත්..වඩාත් වැදගත් අදහස් දැක්වීමයි.

අනිත් කාරණාව තමයි...අපි කාට උනත් අවිවාදයෙන් පිළිගන්න වෙන කාරණාවක් තමයි එදා හමුව වගේම ඊයේ පැවති උළෙලත් ඉතා වෙහෙස මහන්සියකින් සිදුකරන ලද කර්තව්‍යයන් දෙකක් කියන එක..

ඇත්තෙන්ම ඒ සඳහා දහදිය හෙළු හැම දෙනාම ඒ තමන් වෙච්ච මහන්සිය සඳහා අමුතු වාසියක් ලබන අය නෙවෙයි.අපි විහිළුවට මඩක් ගහන කොට මොනවා කිව්වත් අපේ හිත් දන්නවා කොහොමද ඒක උනේ කියලා.
ඉතිං එච්චර මහන්සි වෙලා අපේ ජීවිත වලට සුන්දර අත්දැකීමක් එක් කල අය වෙනුවෙන් අපිට බැරිනම් වචන දෙකක් ලියලා පල කරන්න...හ්ම්ම්ම්..ඒ ගැන අපි ආයෙමත් හිතන්න ඕන නේද..?

මම මෙතනදී කියන්නේ නැහැ අභිත ගැනවත්..සංවිධායක මණ්ඩලේ හිටිය අය ගැනවත් ප්‍රශස්ති ගායනා කරන්න ඕන කියලා...ඒත් අපි ඒ දේ වින්ද හැටි ගැනවත් වචනයක්...අඩු ගානේ අපි පාර හොයාගෙන ගිහිල්ලා ආවා කියලවත් ලියන එකවත් ලිව්වනං ඒ ඇති.

මම උනත් ඊයේ දාපු පෝස්ට් එකේ සංවිධායක මණ්ඩලේට නම් ගම් සිහි කර කර පින් දෙන්න ගියේ නැහැ..මම කලෙත් ඇවිල්ලා මට හිතෙන හැටියට මිනිහෙකුට කියවලා හිනා වෙන්න පුළුවන් විදියට මගේ අත්දැකීම බෙදා ගත්ත එක..

මං දන්නවා වැඩේ කරපු අය එයාලා ගැන ලියනවටත් වඩා එහෙම අපේ අත්දැකීම ගැන අපි ලියන එක එයාලා කල දේ ගැන යම් තක්සේරුවක් ඇති කරගන්න ප්‍රයෝජනවත් කර ගනී කියලා...
හැබැයි වරදවා වටහා ගන්න එපා..කෙනෙකුට ඒ අයව එකා ගානේ මතක් කරලා ස්තූති කරලා දැම්මත් ඒකේ වරදක් නැහැ.
කෙනෙක් එහෙම කරද්දී..මම මගේ තාලෙට මගේ වැඩේ කරනවා..සමහර විට හෙට වෙනකොට ඇනෝනිමස් ආතල් ලිපියක් උනත් පලවෙන්න පුළුවන් එයා මේක දැකපු ආකාරය ගැන..මං කියන්නේ වෙන්න ඕන ඒකයි.

ඒත් තාමනං මේ ගැන ලියවුනා මදි කියලා මට හිතෙනවා.
මං කාටවත් කියන්නේ නැහැ.."අනේ ලියපල්ලා බං" කියලා..ඒත් තම තමන්ම හිතලා බලන්න අපි මොනවද කරන්න ඕන කියලා...

............................................

හොඳයි ඒ ගැන කියන ගමන්ම මම මේ ලිපිය ලියන්න හේතු උන කාරණාව ගැනත් කියන්නම්.
ඒ තමා අද මේ සිහින උළෙල ගැන පල වෙලා තිබුනු අතලොස්සක් ලිපි අතරේ පල උන එත් සුවිශේෂී ලිපියක්..ඒ තමා කුමාරයාගේ ලිපිය ඇත්තටම වෙනස්ම ආකාරයේ අත්දැකීමක්...ඇත්තටම කුමාරයා අයියේ අත්දැකීම කොහොම උනත් මෙහෙම ලිව්ව එකත් ලොකු දෙයක්...

මම ඒ ලිපිය ගැන වැඩියම කියන්න ඕන නැහැ..මොකද ඔය දේ ගැන මම දන්න හින්දා...
ඇත්තටම ඔය වෙලාවේ මම පාරට ගියේ මංම එන්න කියලා ගෙන්න ගත්ත මගේ මිතුරියක් හා එයාගේ වෙන්න සැමියාතුමාව එක්ක එන්නයි.ඒ වෙන කොටත් ඇය දුරකථන මාර්ගයෙන් මාත් එක්ක කතා කරමින් හිටියේ..ඒත් කුමාරයාව දැක්ක වෙලේ මම එහෙමම කතා කරලා ටිකක් ආපස්සටත් ඇවිල්ලා අයියේ මෙතනින් යන්න කියලා තැනත් පෙන්නලා මම ආපු වැඩේටම යොමු උනා..

ඊට පස්සේත් මට පොඩි ගැටළුවක් නිසා..ඒකත් මගේ නෙවෙයි අනුන්ගේම තමා..ඒ ගැටළුවට හේතු උනෙත් ඔය උළෙලට ආව කෙනෙක් ගෙදරක පුශ්නයක් ඔතනට ගෙන එන්නට කල කාලකණ්නි උත්සහයක් නිසාම තමයි.

තමන් තැනකට ආවාම එතන වෙන දේට සහයෝගය නොදී වට්ටි අම්මලා වගේ කේලං හොයන්න නොයා ඉන්න දන්නේ නැති එක් පුද්ගලයෙකු නිසා උද්ගත උන ප්‍රශ්නයකට මම ටිකක් මැදිහත් වෙලයි හිටියේ... ඒ සිද්ධිය යම් තරමකට විතරක් මම වැප් සමගත් කිව්වා..ඒත් වැඩියම කාටවත් නොකිව්වේ වෙන වෙන ප්‍රශ්න හින්දා කරන්න ආව වැඩේට අබමල් රේනුවකවත් හානියක් වෙනවට මම කැමති නැති හින්දයි.

ඉතිං ඒ සඳහා අවධානය යොමු කරමින් හිටි හින්දාම මට ඇත්තටම කුමාරයා පිළබඳව උනත් හොයා බලන්න උනේ නැහැ..

ඒත් වැප් ඒ පිළිබඳව හරි අවධානයෙන් හිටියා කියලා මම දන්නවා..ඒ මට කතා කරලා
"අයියේ අර කෙනා කවුද..මම දන්නෙ නම් නැහැ බං..?" කියලා අහපුවාම මම ඈතට වෙලා දුරකථන ඇමතුමක පැටළිලා හිටිය කුමාරයා ගැන මම දන්න තරමින් විස්තරයක් කිව්වට පස්සේ වැප් ඒ පිළිබඳව හොයන්න උත්සුක උනා කියලා මම දන්න හින්දයි.

ඇත්තටම මෙතනදී මම කතා කරන්න ආවේ කුමාරයා අයියා ගැනම නෙවෙයි...

පොදුවේ මෙවන් කටයුතු සංවිධානය කිරීමේදී සිද්ධ වෙන සුළු සුළු නොවැලැක්විය හැකි මෙවන් කරුණු ගැනයි...

ඇත්තෙන්ම අපි ගෙදරක මොනවා හරි උත්සවයක්..එහෙමත් නැත්තං ගමක උත්සවයක් සංවිධානය කිරීමේදී..අපිට ඒ සඳහා සහභාගී වෙන අය පිළිබඳව පූර්ව අදහසක් ගන්න හැනියාව තියෙනවා.

ඒත් මේකෙදී ඒ දේ කරනවා තියා හිතන්නවත් බැහැ...

ඒකට හොඳම උදාහරණය තමා 400ක් පමණ ලියාපදිංචි වී 200ක් පමණ පැමිණිමම..ඉතිං කොහොමද අපි දන්නේ කවුරු එයිද කවුරු නොඑයිද කියලා...
අනිත් එක රට වටා..ලොකේ වටා පැතුරුනු සමාජජාලා හරහා එකතු උන අපි..ඒ අතරම..තමන්ගේ ඡායාරූපයක් තියා..තමුන්ගේ ඇත්ත නමවත් හෙළිදරවු නොකරන තත්වයක් මත..මෙතනදී හඳුනා ගැනීම ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

අනිත් කාරණාව අපි කොයිතරම් සමාජශීලිද කියන එක...

පෞද්ගලිකව මම උනත් දැන් අහල පහල අය ඇසුරු කරනවා හරි අඩුයි..මගේ අල්ලපු වැටේ ඉන්න අම්මයි පුතයි එක්ක මම මාස ගානකින් නැවතිලා වචනයක් කතා කරලා නැහැ..දැක්ක වෙලාවට හිනා වෙලා යන එනවා ඇර..පොඩ්ඩක් හරි මම ටිකක් කතා කරන්නනේ මම ඉන්න තැන යට තට්ටුවේ තියෙන ලී මඩුව මුර කරන්න රාත්‍රී කාලයට එහි එන වයසක පුද්ගලයා සමග පමණයි..මම උඩ ඉන්න කොටම ඒ මනුස්සයා හැමදාම.."මහත්තයා කොහොමද..? කියලා අහන වචන ටිකත්.."ඔහේ ඉන්නවා මාමේ"යැයි මම එයට දෙන පිළිතුරත්..සමහර විටක පමණක් තව කුමන හෝ දෙබසක් පමණයි..ඒකත් එය කාල ගුණය ගැන වගේ තමයි.

ඇත්තටම ඊට එහා ගිය ඇයි හොඳයියක් මට ඕන කරලා නැහැ..මිනිසුන් ආශ්‍රය කිරීම යම් තරමකට මම සීමා කරලා ඉන්නේ මම මිනිසුන් අතර ගැවසෙන්න ඇති කුලෑටිකමක් හින්ද නෙවෙයි..මට එහෙම ප්‍රශ්නයක් ඇති කියලා මම හිතන්නේ නැහැ..ඊයේ උනත් මම හිටිය හැම කෙනා එක්කම වගේ මට පුළුවන් උපරිම අන්දමින් සුහදව විනෝදයෙන් කාලය ගත කලයි කිව්වොත් මං හිතන්නේ නැහැ කවුරුවත් මට විරුද්ධ වෙයි කියලා..
ඒ මගේ සාමාන්‍ය විදිය..ඒත් මම ඒ විදියට දැන් ඉන්න තැන ජීවත් වෙන්නේ නැහැ..වෙන එකක් හින්දා නෙවෙයි එහෙම ආස්සරය කරන්න ගිහිල්ලම මම මට්ටු වෙලා ඉන්න හින්දා.

ඒත් මේ වගේ තැනකට ආවම ඒ අනවශ්‍ය බර මොහොතකට පැත්තකින් තියලා කාත් එක්කත් සුහදව කතා බහ කරලා ඉන්නයි අපි උත්සහ කරන්න ඕන..ඔතනදී හැම කෙනාටම එහෙම කරන්න අමාරුයි තමා..ඒ අපි ඒ හැටිම සම්බන්ධතාවයන් ඇතිව නොසිටීම...

සමහර විට බ්ලොග් හරහා..තවත් සමහර විටක මූණු පොත හරහා හෝ වේවා..මම යම් තරමකට පිරිසක් හඳුනගෙන ඉඳිම මට මෙතනදී තරමක පහසුවක්..ඒත් එහෙමවත් නොදන්න කෙනෙකුට ඒ හැටිම ලං වෙන්න අපිට අමාරුයි.

මං හිතන්නේ ඔය ප්‍රශ්නය ඔතනට ආපු අයට වගේම එන්න හිටිය නමුත් නෑවිත් හිටිය හුග දෙනෙකුටත් බලපාන ප්‍රශ්නයක්...

ආවාට පස්සේ තමුන් තනි වෙයිද කියන ගැටළුව හුග දෙනෙකුට තියෙනවා. මට මතකයි ඔය ගැන අරුණි ශපීරෝ අක්කත් එක පාරක් ලිපියක් ලියලා තිබුනා. ඇත්තටම මට කියන්න බැහැ ඒකට කරන්න ඕන මොනවද කියන එක..ඒත් මේ ප්‍රශ්නය මට ටිකක් හිතට දුකක් ගේන්න බලපෑවා.

මං ඒ හින්දා එකම එක දෙයක් විතරක් යෝජනා කරන්න කැමතියි..ඒක මං හිතන්නේ අපි කාටත් හොඳ දෙයක් වෙන්න පුළුවන් මී ළග වැඩ සටහන් වලදී..ඒ තමා පුළුවන්නම් ඇතුළුවන ස්ථානයේ මයික්‍රෆෝනයක් තබා තිබීම හා..ඒ වෙලාවේ කෙරෙන වැඩ සටහනට බාධාවක් නොවන අයුරින් එන කෙනාව කෙටියෙන් හඳුන්වා දීමට උත්සහ කිරීම...එතනදී තමුන්ටම තමන්ව හඳුන්වා දීමටත්..ඒ අනුව ඒ කෙනාව මොනයම් ආකාරයකින් හෝ දන්නා හඳුනන අය සිටිත්නම් අර කෙනාව ඒ අය අතරට මුහු කරවා ගැනීමට හැකියාවත් ලැබේවි...
වැඩසටහන ආරම්භ කල මොහොතේ වෙන වෙනම එක් එක්කෙනා හඳුන්වා දීමට වැය වෙන කාලය අඩු කරගැනීමටත් ඒක හොඳ පිටුවහලක් වේවි.

තව දෙයක්නම් අපි මේ සඳහා පැමිණිමට කල අයදුම් පතෙහිම තමුන් ගැන සුළු හැදින්වීමක් තබන්නට ස්ථානයක් තබා තිබීම..අපිට ඒ අනුවත් එන පුද්ගලයාව හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීමේ හැකියාවත් ලැබෙනවා...

මම ඇත්තටම කිව්වේ මට හිතෙන දේ විතරයි..මේ පිළිබඳව හැම කෙනාටම තම තමන් කැමති ආකාරයට අදහස් දක්වන්න පුළුවන්...කොහොම උනත් එහෙම කතිකාවක් හරහා ඉදිරියේදී සිදු කෙරෙන මෙවැනි කටයුතු වලදී.ඒ කටයුතු තව තවත් සාර්ථක කරගන්න අපට හැකි වේවි නම් ඒක බොහෝම වැදගත්..මොකද මේ වගේ උත්සව..හමුවීම්..ඉදිරියටත් තව තියෙන්න තියෙන අවස්ථාව තිබෙන හින්දා...

අවසාන වශයෙන් මේ ඩිංග කියන්න ඕන...

"ඊයේ දවස ඇතුලතදී මම මට හැකි පමණින් ඔබ සියළු දෙනා සමගින්ම එකතුව කටයුතු කරන්නට උත්සහ කලත්..මගේ අතින් කාට හෝ යම් හිත් රිදවීමක් උනානම් ඒකට සමා වෙන්න..විශේෂයෙන්ම මට කාත් එක්ක හරි කතා කරන්න බැරි උනානං..මාත් එක්ක කතා කරන්න හිතපු කෙනෙකුට හරි මාත් එක්ක කතා කරන්න බැරි උනානං මට සමා වෙන්න ඕන..මම හිතලානං එහෙම කලේ නැහැ කාටවත්ම..ඒත් සමහර විට එහෙම ‍වෙලත් ඇති..මොකද මම ඔයාලගේ හිත් කියවන්න තරං දියුණු මනසක් නැති සාමාන්‍යය පුද්ගලයෙක් වීම නිසා..."

29 comments:

  1. මයික් එකෙන් තමන් ගැන කියන්වට වඩා ලඟට ගිහින් හැමෝම එක්ක ටිකක් කතා කරන එක වඩා හොඳයි කියලා මන් හිතන්නේ. සහමර අය ෆෝටෝ දැක්කම අද තමා මතක් වෙන්නේ මේ මෙයාගේ කියලා.ඒත් ඊයේ කතා කලේ නැහැ. අපි හැමදාම දන්න අය එක්ක තමා වැඩියම කතා කෙරුනේ. ඊලඟ සුහද හමුවකදි අනික් අය අඳුන ගන්න එකට මොකක් හරි වෙනම වෙලාවක් වෙන් කරන්නවනම් හොඳයි කියලා මන් හිතන්නේ.

    ReplyDelete
  2. මරේ කියන එක හරි..ඒත් හැම කෙනාටම අනිත් අය ලගට ගිහින් එක පාරටම සුහදතාවයක් ඇති කරගන්න බැරිකමක් තියෙන්නත් පුළුවන් නේද..?මං හිතුවේ ඒ ගැන.ඒ කියන්නේ හැමෝම එක වාගේ නැහැනේ බං.පොඩ්ඩක් හරි පොදුවේ අර වගේවත් දුන්නොත් ටිකක් පහසුවක් වෙයි කියලා මට හිතුනා.
    ඇත්තටම අර කිව්වත් ව‍ගේ..මාත් දැන් මේ පොටෝ බලන ගමන් තමා සමහරුන්ව අදුර ගන්න උත්සහ කරන්නේ..

    ReplyDelete
  3. අපි උත්සවේට පස්සෙ සංවිධායකයො උත්සවේ උන අඩු පාඩු ගැන කතා කරද්දි ආව ප්‍රධාන කාරනයක් තමා මාරයා කිවුව විදියට සමහර අය තනිවීම. ඒක නිසා ආයෙ දෙයක් කරද්දි ඒ වෙන්වෙන් වෙනම කමි‍ටුවක් දාන්නයි අදහස. පලවෙනි සැරේටනෙ මෙහෙම දෙයක් කරේ. ඉතිං අඩුපාඩු වෙන්න පුලුවන්. එහෙම දකින දේවල් මාරය්යිය කිවුව වගේම අනිත් අයත් කියනවා නම් ඊලඟ තියෙන දේකදි ඒව හදා ගන්න පුලුවන්.

    ReplyDelete
  4. අන්න හරි රංග..ඒක වෙන්නම ඕන දෙයක්..අපි මේ හැම දෙයක්ම කරන්නේ එකමුතු වෙන්න..සතුටු වෙන්නනේ..ඒ ගැන සාකච්ඡා කිරීම බොහෝම හොඳ දෙයක්.

    ReplyDelete
  5. මේකට වඩාත්ම හේතු උනේ හදුන්වා දීම කියන එක, අපි ගොඩක් අයව දන්නේ ආරූඬ නම් වලින් ඊයේ උනත් එහෙමයි, තවමත් මම ඒ අයගේ ඇත්ත නම් දන්නේ නෑ,

    ReplyDelete
  6. ඔව් කට්ටියගේ අදුනා ගැනීමේ ප්‍රශ්න තිබුනා.. ඊයේ රැත් මල්ලියෙක් කියනවා අක්කා ලගින් ගියා කථා කලේ නෑ කියල.. පොඩ්ඩක් හරි කථා කලානම් කථා නොකර ඉන්නෙත් නැනේ.. පලවෙනි එක මෙච්චර දුරට කරගත්ත එක ගැනනම් දැනෙන්නෙ පුදුමාකර සතුත්ටක්.. ඉදිරියෙදි ඒ අඩුපාඩු නැති වෙලායයි.

    ගෙදර ප්‍රශ්නයක් එතනට ගෙන ඒම ගැන කියනවානම් මම ඒ පුද්ගලයාට වැට ලඟදිම කියලා ආවේ මෙතන කෙරෙන දේ ගැන සහා ඒ ප්‍රශ්න මෙතන අදින්න ලැස්ති වෙන්නත් එපා කියලා..

    ReplyDelete
  7. ඇත්තටම ඔය දේ මටත් උනා මම මේ සදහා සහභාගි උනෙ විනොද වෙන්නම නෙවෙයි ඉලoදාරියාට උදව් කරන්න. මම ගෙදරින් එනකොට හිතන් ආවෙ ටික වේලාවක් ඉදලා යන්න. ඒත් ආවට පස්සෙ අඳහස වෙනස් වුනා. මම තරග වලට සහබාගි නුනාත් තරග වදින අය දිරිමත් කිරිම සදහා මම ඉන්න තිරනය කරා. අවසානෙ ජාතික ගීය කියලත් අනිත් අය යනකම් මම බලා ගෙන හිටියා. මොකද මම යනවා කියලා කියන්නවත් කවූරුත් අදූරන්නෙනැ ඒ මොනවා උනත් මාත් ඒ අවස්ථාවට ඇවිල්ලා සතුටු උනා.
    මම නම් වශයෙන් දන්නෙ නැති වූනත් මේක සoවිධානය කරපු හැමොටම ගොඩාක් පිo. ඒ වගෙම අපිට වටිනා පොත් 3 ක් නොමිලේ ලබා දුන් අරුණි ශපිරෝ සොයූරියටත් ගොඩාක් පිo. මම පැය 2.30 පුරා නිවසට එන ගමනෙදී "තරග ජය" කියන පොත කියවලා ඉවර කරා. අවසානෙ මාරය අයියා ගැනත් කියන්න ඔන කිසිම ලොභ කමක් නැතුව කට පුරවලා හිනා වෙන අව්‍යාජ මනුස්සයෙක්.

    ReplyDelete
  8. DarKneT | ඉෂාර...

    ඒකනේ බං..අපිට අපිව හංගගෙන ජීවත් වෙන්නත් ඕන..මෙවායේ සරන්නත් ඕන..ඉතිං රැවුලයි කැඳයි අතර සෑහෙන අර්බුධයක් හට ගන්නවා

    ReplyDelete
  9. මාරයියා මුලින්ම මේ ලිපියට ස්තුතයි ....

    දෙවෙනි කාරණය .... රංග කිව්වා වගේ අපි ඔය ගැන කතා උනා .... අනිවා ඊලඟ පාර මේකට යහපත් විසඳුමක් අපිට ගන්න පුලුවන් වෙයි

    ReplyDelete
  10. මම නම් හිතන්නේ ඔතනට බලපාන්නේ සමාජශීලී කම. අපි මොන මොන විදිහ ක්‍රම භාවිතා කරලා වුනත් අපිව අනිත් අයට හදුන්වා දුන්නට වැඩක් නෑ අපි අනිත් අයත් එක්ක ගිහින් කතා කරන්නේ නැත්තම්. මටත් බොහොමයක් අයව මුලින්ම හමු වුනේ ඊයේ. ඒත් මම එයාලත් එක්ක ගිහින් කතා කළා. හිතන්න මම කාත් එක්කවත් කතා නොකර කවුරු හරි ඇවිත් මාත් එක්ක කතාකරනකම් හිටියනම්? එහෙනම් දෙතුන් දෙනෙක් ඇවිත් මාත් එක්ක කතා කරයි.
    කට්ටියක් ඉන්න තැනක කෙනෙක් තනිවෙන්නේ එයා සමාජශීලී නැත්තම්. ආයේ සුහද හමෞවක් තියනකොට අන්න ඒ වගේ අයව හැමෝගෙන ඉස්සරහට ගෙන්නන්න පුළුවන් විදිහේ දෙයක් කළානම් හරි.

    ReplyDelete
  11. මාරයියා කියපු දේ මාත් අනුමතකරනවා...මොකද මන් මුලින්ම එන්නේ නෑ කියල හිතුව කවුරුවත්ම අදුනන්නේ නැති නිසා...පොඩි පොඩි හේතු නිසා එන්න හිතුව වගේම අවා...නමුත් ආව හැටියෙමන්ම් උනේ නැනි වුන එක....මරයියා නිසා සුදු අක්කව අඳුන ගත්තා...කතා කරාට දැකල නැනේ පොටෝ වලින් ඇරෙන්න....අනිත් අය දන්නා අය....දැන් බැලින්නම් කතා කරන අය ගොඩක් ඇවිත්...නමුත් මුණගැහිලා නෑ........කොහොම උනත් අන්තිම මොහොතේ කරපු නිසා හඳුන්වාදීමත් මගහැරුණ...මුලින්ම සිද්ද වෙන්න ඕන එක තමා..

    ReplyDelete
  12. අපරදේ යන්න බැරි උනානේ. කට්ටිය කියන හන්දා මාර ෆන් ඇති කියලා හිතෙනවා.

    ReplyDelete
  13. මට මේකට සහභාගි වෙන්න බැරි උනත් සහභාගි විච්ච අය ගොඩක් එකමුතුව කටයුතු කරල තියෙන වග ෆොටෝ වලින් පේන්න තියෙනවා.
    මේ අවස්ථාවට සහභාගීවිච්ච ගොඩක් අය දැන අදුනගෙන තියෙන්නෙ අන්තර්ජාලය හරහා පමණයි. මම කොමෙන්ට් කරන බ්ලොග් ලියන අය කිසිම කෙනෙක් මම ඇහින් දැකල නෑ. ඒ නිසා මේ වගේ අවස්ථාවකට සහභාගි උනාම කතාබහ කරල කට්ටිය අදුරගන්න කිසිම බාධාවක් නෑ කියලයි මම හිතන්නෙ.
    අනිත් එක මේ වගේ අවස්ථාවක් ලාබ අපේක්ෂාවකින් තොරව සංවිධානය කරන්න මූලික වෙච්ච අයටත් ස්තුති විය යුතුයි.

    මේ වගේ අවස්ථාවකට සහභාගි වෙනකොට තමන්ගෙ ගෙදර ප්‍රශ්න, පවුලෙ ප්‍රශ්න අමතක කරල ලද අවස්ථාවෙ සතුටු වෙන එකයි කරන්න ඕන. ගෙවල්වල ප්‍රශ්න මේ වගේ තැනකට ගේනවනං ඒ අය සහභාගී නොවී ඉන්න එක තමයි සුදුසු.

    මාරයගේ මේ ලිපිය ගොඩක් වැදගත් කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
  14. සාක්කුවෙ නම ගැහුවා නම් හරි......

    ReplyDelete
  15. කියන්න දෙයක් ඉතිරිවෙලා නෑ කියන්න හිතන් හිටිය හැම දේම වගේ මාරයියාගේ ලිපියෙත් පල්ලෙහයින් තියෙන ප්‍රතිචාර වලත් තියෙනවා.
    මේක අවSතාවක් කරගන්නවා අභීත අයියා ඇතුලු සංවිධායක මණ්ඩලයට ස්තුතියි කරන්න. අනික මේ පලමු අවස්ථාවනේ ඉදිරියේදි මේ වගේ ගැටලු වටට විසදුම් දෙන්න පුලුවන් වෙයි.

    [පහුගිය සතියක කාලයක් තුල අන්තර්ජාල පහසුකම් නැතුව සිටී නිසා කිසිම බ්ලොග් එකක්වත් කියවන්න වෙලාවක් තිබ්බෙ නෑ අද තමා ජංජාලෙට ආයි ආවේ. මුලින්ම කියෙව්වෙත් මේ ලිපිය. පුද්ගලික හේතුවක් නිසා DJ music එක පටන් ගත්තු ගමන්ම වගේ යන්න වුනා]

    ReplyDelete
  16. මටත් ඔය ප්‍රශ්නෙ ටිකක් විතර බලපෑවා. මට කොහොමත් පළවෙනි පාරට කෙනෙක්ට කථා කරන්න ගිහාම හිතට මාර ප්‍රශ්න තොගයක් එන්නෙ. අම්මටසිරි මූට මළ පනීද? කිච වෙයිද? ගණන් ගන්න එකක් නැද්ද? මාව මීටර් වෙයිද?....ඔහොම ප්‍රශ්න වැලයි. හැබැයි ඒ ඉතිං පළවෙනි පාර කථා කරනකල් විතරයි. මොනවා වුණත් ඊයේ මම සැලකිය යුතු පිරිසක් හොඳින්ම හඳුනාගත්තා. මරයියා එක්ක කථා කළේ නැතත් අයියා පන්සල් කතාව නොලියන්න හේතු පැහැදිලි කරපු වෙලාවේ මමත් පිටිපස්සට වෙලා අහගෙනයි හිටියේ. ඇත්තම තමයි මාරයියේ...මිනිස්සු වෙනස් වෙන හැටි අපිට හිතාගන්නවත් බෑ. අයිය ගත්ත තීරණේ හරියටම හරි.

    ReplyDelete
  17. ඔන්න දැන් තමා කොමෙන‍්ට් බොක්ස් එක ආවේ ඇති යන්තම්...

    මේක නම් එල කිරි...
    එකම ම දේ දෙවිදිහකට ලිවීම කියන්නේ මාරම වැඩක්..
    ඊයේ පෝස්ට් එකයි මේකයි අහසට පොලව වගේ..
    සයිබර් මිතුදමට ජය වේවා!!

    ReplyDelete
  18. මමත් එනවා කිව්වට මොකද එන්න බැරි උනා. මළ ගෙදරක යන්න උනා. නොආවට මොකද මාරයාගේ කලින් ලිපියේ තිබුන ලයිව් ට්‍රාන්ස්මිෂන් එකෙන් අවුරුදු උත්සවය මැවිලා පෙනුනා

    හැබැයි හවස පොඩි වෙලාවකට එන්න ඉඩ තිබුනත් මට හිතුනා "මම දැන් ගිහින් උඩ බලාගෙන ඉන්න තමයි වෙන්නේ. ඇයි කට්ටිය ඔක්කොම උදේ සෙට් වෙන්න ඇති. මාව කවුද දන්නේ? " වගේ හැඟීමක්. ඒක නිසා මාරයා මම මේ ලිපියේ තියෙන අදහස්වලට සම්පූර්ණයෙන්ම එකඟයි. අපි හැමෝම එක වගේ නෑනේ. සමහර අය (මම වගේ) ටිකක් මූව් වෙන්නේ හිමීට. එහෙම අයට පොඩි තල්ලුවක් දෙන එක හොඳයි. (එතකොටත් ස්ටාර්ට් උනේ නැත්නම් කරන්න දෙයක් නෑ.)

    ReplyDelete
  19. මටත් කියන්න තියෙන්නේ එන්න බැරි උනාට දුකයි ඒත් අපි ඔයාලගේ කන බොන නටන. පොටෝ දැකලා හිනා උනා පන යන්න .

    මාර බනිස් .... නියමයි !

    ReplyDelete
  20. ඕකට නම් මොකක් හරි කරන්න වෙනවා මාරයියේ.. මම නම් හිතන්නේ නිකං මයික් එකකින් අඳුන්වලා දෙනවාට වැඩිය ගෘප් ගේම් එකක් වගේ තිබ්බානම් හොඳයි කියලා. මේකේ අරමුණ බනිස් කන එකවත් තෑගි ගන්න එකවත් නොවෙන නිසා පෙන්නා දුන්න එක නම් වැදගත්. ඊළඟ එකේ කට්ටියම සෙට් වෙලා ඕක හදාගමු. ඕක හදාගන්න පුළුවන් වැරැද්දක්....

    ReplyDelete
  21. මම නම් දැනගෙනම තමා ආවෙ ඔය තත්වෙට මුහුන දෙන්න වෙන බව. ඒත් ඉතින් සහබාගිවීම ගොඩක් වැදගත් කියලා හිතුන නිසා මම කරන්න ඇකමැතිම දෙයකුත් කරගෙන එතෙන්ට ආවෙ. ගොඩක් දෙනාව මම දැන හිටියත් මම හොඳාකාරවම දන්නව ගොඩක් දෙනා මාව නම් අඳුර ගත්තෙ නෑ. මරේව, රන්දිකාව, ප්‍රියා..... ආදි ගොඩක් දෙනා එක්ක කතා කිරීමට නොහැකිවීම ගැන ඇත්තටම කනගාටු වෙනව.

    හැබැයි ඇතුලුවන අය හදුන්වා දුන්නනම් ඔය ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳගන්න තිබ්බා. හැබැයි මම නම් තනි උනේ නෑ කිහිප දෙනෙක්ම මාව අඳුනගෙන කතාබහ කලා.
    ඔවැනි දේවල් වෙනවා ඒත් කරපු දේ අගය කල යුතුයි ඉහලින්ම.

    ReplyDelete
  22. මාරයගෙ කතාව සහතික ඇත්ත..මම ලංකාවෙ නොහිටියට පහුවෙනිද උදෙන්ම office ආපු ගමන් කරේ පොටෝ සහ විස්තර හොය හොය බලපු එක...ඒ තරම් අපි උඹල එක්ක හිතින් බැඳිල ඉන්නෙ...හැබැයි මම කිසි කෙනෙක් එක්ක ඊ මේල් ගනුදෙනු, දුරකථන ඇමතුම් හෝ බුකියෙ චැට් නැහැ...කරන්නෙ කමෙන්ට් එකක් දාන එක තමයි, ඒකත් හැමදාම නැහැ, හැමතැනම නැහැ...ඒ නිසා නිකං හරි ඊලඟ උත්සවයකට මම ආවත් කිසි කෙනෙක් ඇඟේ හැපුනත් මාව අඳුර ගන්නෙ නැහැ...හැබැයි මාරය කිව්ව වගේ එද්දිම පොඩි හැඳින්වීමක් කලොත් 'අහවල් නමින් කමෙන්ට් දාන්නෙ මෙයා තමයි' කියල, ඉන්න වෙලාව ඇතුලත කථා කරන්න කීප දෙනෙක්ව හරි හොයා ගන්න පුලුවන් වෙයි..

    ReplyDelete
  23. නිශ්,
    අඩේ උඹත් ගියාද..!!?? ෆොටෝ එකකවත් දැක්කෙ නෑ නෙ උඹ ඉන්නවා.. හැංගිලාද හිටියෙ..??

    පලි: මෙතන පුරස්නෙ තියෙන්නෙ බං සමහර අය කැමැති නැති වෙන්න පුළුවන් තමාව අදුන්වලා දෙන්න.. ඉතිං ඒ වගේ අය ගැන කරන්න දෙයක් නෑ.. අනිත් කාරනේ තමා මේක රැස්වීමක් නෙවෙයි නියමිත වෙලාවට සහභාගි වෙන්න.. සමහරු උදේම එනවා, සමහරු දවල් වෙලා එනවා, සමහරු හැන්දෑ වෙලා එනවා.. ඉතිං ඒ එන එන කෙනාව අදුන්වලා දෙන්න යාමත් ප්‍රායෝගික නෑ, මොකද සංවිධායක මණ්ඩලේට තව වැඩ රාසියක් කරන්න තියෙනවා.. හොදම වැඩේ තමා එන කෙනා කට්ටිය අතරට ගිහිල්ලා තමාව අදුන්නලා දීලා කතාබහ කරන එක.. හැබැයි ඉතිං මේකෙ සාර්ථකත්වය තියෙන්නෙ ඒ පුද්ගලයා මොනතරම් සමාජශීලි ද කියන එක මතයි..

    ReplyDelete
  24. හැමෝම කියන්න තියෙන දේවල් කියල නෙව..

    හැබෑටම අලුත් මූණු ගොඩක් තිබුණා. අපිත් නොදන්න..

    අපිත් ඉතිං දුකා මරේ ලිෂාන් අයියලවත් දැක්කෙ එදාමනේ..

    ReplyDelete
  25. ගියා බන් බුරා පොටෝ ගහන තැන් වල හිටියෙ නෑ. එකම එකක්ද කොහෙද ගත්තා මාරය එක්ක හිටපු ලමයෙක් ඒක පබ්ලිස් කොරල නෑ වගේ

    ReplyDelete
  26. අන්න අයියා බනිස් ඇඩ් එකක‍ට මොඩල් එකක් හොයනවා......

    ReplyDelete
  27. හ්ම්ම්. එකිනෙකාව හදුන ගන්න නම් මොකක් හරි කරන්නම වෙනවා. උත්සවයක් තියෙන දවසට කලින් තම තමන්ගේ ඡායාරූපයක් බ්ලොග් එකේ පොස්ට් කරා නම් වැඩේ ගොඩ..

    ReplyDelete
  28. මං හිතන්නේ මම මෙතෙක් කාලයක් ලියපු එකම ලිපියකටවත් වඩා දීර්ඝව අදහස් දක්වා ප්‍රතිචාර හම්බ උන කාරණාවක් මේක..ඇත්තටම මම හිතන්නේ මම හිතුවාටත් වඩා හොඳට වැඩේ ලබන පාර කෙරෙවී කියලා දැන් මට විස්වාසයි..

    ඒ සඳහා තම තමන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කල ඔබ හැමෝටම ස්තූතියි..

    ReplyDelete
  29. අනේ සමනලීටත් එන්ට බැරි උනා නෙව.... ඒකටත් ප්‍රධාන කාරනේ උනේ සමනලීගේ දෙමාපියන්ගෙන් අවසර ගන්න විදියක් නැති වීම. ඇත්තටම ගොඩාක් දුකයි මේ වගේ වටිනා අවස්තාවකට සහභාගී වෙන්න බැරි උනාට.... අපරාදේ.....

    ReplyDelete