18 April 2011

නැගනහිර වෙරලේ පන්සල් කතාවක්...මාරයාගේ පන්සල් දිවිය

හුග දවසකින් ටිකක් පිළි වෙලකට බ්ලොග් එක ලියන්න කියලා හිතුනා...ඒකත් පොඩි වෙනසක් එක්කම..
ඒ තමයි මෙච්චර දවසක් හමස් පෙට්ටියට දාලා තිබ්බ ලේබලයක් යටතේ නැවත ලියන්න හිතුන එක..‍මොකක්ද ඇහැවුවා ‍ඒ ලේබලය..ඔව් ඉතිං මගේ තියෙන තරං ලේබල් ඔක්කෝම හමස් පෙට්ටියට දාපුවා නේන්නං...ඒත් මේක ටිකක් වෙනස්ම ලේබලයක්..


කාලයක් තිස්සේ කියවන හුගාක් අය බොහෝම උනන්දුවෙන් කියවපු ලේබලයක් තමයි...ඒත් බොහෝම දුරට හිතලා හිතලා අන්තිමට ඒක ලියන එක මම නවත්තලා දැම්මා...

ඒ තීරණය ඒ හැටි පහසු තීරණයක් උනේ නැහැ මට...ඒත් මගේ පහසුවට වඩා හිතන්න හුගාක් දේ තිබුනා ඒ වෙනකොට...

ඒ හින්දාම මම ඒ කතා මාලාව නවත්තලා දැම්මේ හුග දෙනෙක්ගේ නෝක්කාඩුවට ලක් වෙද්දිමයි...ඒත් ඒ වෙලාවේ මට හිතන්න හුගාක් දේ තිබුනා...

ඒ පිළිබඳව ලියන්න ගියොත් දැන් මට මේ ලියන එකත් ලියන්න සෑහෙන වෙලාවක් ගන්න වෙනවා...ඒ හින්දා දැනට අපි යන රූලේම යමු...
.................................................

අදත් ඇත්තටම මම මේ ලෑස්ති වෙන්නේ මම නවත්තපු තැනින් පන්සල් කතාව පටන් ගන්න කියලා හිතන්න එපා.ඇත්තටම මට ඕන උනේ අතීතයේ තවත් පිටුවක් මගේ මේ බ්ලොග් එකට එකතු කරන්න විතරයි..ඒත් ඒ අතීත පිටුව තියෙන්නේ පන්සලේ දිවි ගෙවපු වකවානුවේම නිසා මං ඒ කතාවත් අර න්සල් දිවිය කියන ලේබලයටම එකතු කරන්න හිතුවා...

මොකද කවදා හරි දවසක මේවා බලන කෙනෙකුට මේ ඔක්කෝම කතා ටික එක තැනකින් බලන්න තියෙන්න ඕන කියලා මම විශ්වාස කරන නිසා...හරි අපි යං කතාවට

..................................................

ඒ දෙදහස් හතර වර්ෂයේ දෙසැම්බර් මාසයයි...එකවට මා පැවිදි දිවියට ඇතුළත්ව වර්ෂ එක හමාරක් පමණ ගෙවී ගොස් තිබිණි...කාලය කෙටි වූවද එම සුළු කාලය තුලදී වූවද පන්සල හා ගම අතර වූ සම්බන්ධය ඉතා හොඳින් ඇති කරලීමට හැකියාව ලැබී තිබිණි. ‍

පුර පසලොස්වක පොහෝ දිනයක් වූ එදින පන්සලට තරමක් අවිවේකී දිනයකි...

පන්සල බාරගන්නා සමයේ දිනකට දහයක් දොළහක් විතර පැමිණි සිල් ඇත්තන් පිරිස මේ සමය වන විට සීයයකට ආසන්නව තිබිණි...එහෙයින් කල යුතු දෑ බොහෝමයක් විය..මෙම කාලය වන විටද මා පන්සලේ සියළු දෑ තනිවම කර ගත යුතුව තිබූ හෙයින් උදෑසන යනු එකම යුධ සමයකි.

හීල් දානය බාර ගැනීම අතරම සිල් සමාදන් වීම පිණිස පැමිණි ඇත්තන්හට සිල් සමාදන් කරවා උදෑසන බුද්ධ වන්දනාව සහ බුද්ධ පූජාව පැවැත්විය යුතුය..ඒ අතරම පන්සලේ පිරිසිදු කිරීම් කටයුතුත් නිසි පරිදි කරවිය යුතුය...
උදේ සිට සවස් වන තුරාම වරින් වර පැමිණෙන අය විසින් නොයෙක් දෑ සොයනු ලබයි...

"හාමුදුරුවනේ..වැඩිපුර ඉදල් නැද්ද..?"
"හාමුදුරුවනේ ගිලන්පස තියන කෝප්ප ටික ගන්න ඕන.."
"උපාසක ඇත්තන්ගේ පිගන් ටික කොහේද දන්නේ නැහැ.."
"හාමුදුරුවනේ හීටර් එක නැද්ද.."
"අනේ හාමුදුරුවනේ බණ මඩුවේ ප්ලග් පොයින්ට් එකේ කරන්ට් එක එන්නේ නැහැනේ.."

එපමණකින් නොනවතී...පිරිසක් භාවනා කරද්දී තවත් පණ්ඩිත උපාසකවරයෙක් එයින් අහකට පැන මා සොයා එන්නේ ඔහු හට එම භාවනාව අමතුවෙන් ප්‍රගුණ කල යුතු නොවන බවත් ඔහු ඊට වඩා උසස් තත්වයකට පැමිණ ඇති බවත් මා සමඟ කියා මානසික සහනයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි..මෙවන් අය ඕනෑම පන්සලක දායකයින් අතර අඩුවක් නැතිව සිටී...

ඔවුන් හා ගනුදෙනුව ඉතා ප්‍රවේශමෙන් කල යුත්තකි...

මන්ද යත් ඔවුහූ විසින් සාදාගෙන ඇති මනෝරාජිකය බිඳවැටෙනවා දකින්නට ඔවුහූ අකමැත්තෝය...ඔවුනට අවශ්‍ය වන්නේ තව දුරටත් ඔවුනගේ බොරුව අප විසින් පෝෂණය කරනවා දකින්නටය...

ඒ හැර ඔවුන් සිටින මවාගත් ලෝකයේ සළු තිර ඉවත් කරනු ලැබුවහොත් දැඩි සේ උරන වන අතරම එතැන් සිට මුළු කාලයම වැය කරන්නේ තමාගේ සීතාම්බර සළුපටවල් ගැලවූ අය කෙරේ වූ වෛරය පිරිමැසීම පිණිසමය...

මේ බව නොදැන ඔවුන් හා ගනුදෙනුවට යාම වනාහී...විහාරස්ථානයක් පාලනය කරන්නා වූ භික්ෂුවකට සියතින් ගෙල සිඳගන්නාක් හා සමාන ක්‍රියාවක් වනු නොඅනුමානය...

පොහෝ දිනට පැමිණෙන පිරිස අතර මෙවැන්නන් කිහිප දෙනෙකු සිටින්නේමය..මොවුන්ගේ ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ඔවුන් කිසි විටක එක්ව නොපැමිණීමත්..පන්සලේ සිටින ස්වාමීන් වහන්සේ තනිවන මොහොතක් බලා එතනට කිට්ටු වී තමාගේ වගාඩම්බරය ගෙන හැර දැක්වීමත්ය..ඉතින් දිනකට මෙවැනි මාර්ගඵල පේන තෙක් මානයේ වන උපාසක උපාසිකාවන් හතර පස් දෙනෙකු ආවාසය පැත්තට පැමිණිම යනු දවසේ වැඩි ප්‍රමාණයක් අපතේ යැවීමක් බව කිව මනාද..?

එවැනි අය හා කතාවේදී මුල් අවදියේදී මා විසින් ඔවුන්ගේ මතවාද විමසුමට ලක් කලද පසුව මා හට හැගී ගියේ..එය පලක් නොවන දෙයකු බැව්ය... විශේෂයෙන්ම ඔවුනට යමක් අවබෝධ කරදීමට නොහැකිවාක් මෙන්ම ඔවුන් කියන අමුතු මාර්ගඵල මා හටද අවබෝධ නොවන තැන තව දුරටත් ඔවුන් හා ඒ පිළිබඳව සංවාද තැනීමට වඩා ඔවුනට උවමනා දේ කියන්නට හැර මුනිවත රැකීමෙන් ඔවූහු මහත් සේ සතුටට පත්වන දුටු පසු..
ඔවුනගේ සතුට එසේම තබා ගන්නට හැරීම කාලයේ හැ‍ටියට කලහැකි හොඳ දේ බව හැගී යන ලද හෙයින් එසේ සිටීමට මා පසුව පුරුදු විණි..ඒ හැර ඔවුන් බොරුවෙන් මුලා කිරීම හෝ..ඔවුනට එරෙහිව ගොස් සිත් තැළිමට හෝ යාම දෙපසටම අවැඩදායක විණි...

ඒ නමුත් දෙදෙනෙකු අතර කතාවක් නොව..ඔවුන් විසින් ඔවුන්ගේ සමත්කම් කියෑපෑමට ගන්නා කාලය හරහාද මාහට දවසින් සෑහෙන කාලයක් අපතේ යවන්නට සිදුව තිබිණී..ඒ මුත් ඔවුන් හා සංවාදයක් ගොඩ නැගීමෙන් අපතේ යන කාලයට වඩා යම් තරමක් හෝ කාලය එයින් ඉතිරි කරගැන්මට මට හැකි වන බැවින් එසේ සිටීම වඩා ඵලදායී විය...

මා මේ කියන්නට යන්නා වූ කතාවට අදාළ නැති වූවද..පන්සල් දිවිය ගැන ලියනා සෑම ලිපියකදීම මෙන්ම සිදුවීමට අදාළ පරිසරයේ තත්වය යම් තරමකින් හෝ පැහැදිලිව ඉදිරිපත් කිරීමට මා තරමක් උනන්දු වන්නේ එයින් එක් අයකුට හෝ තමුන් මෙතෙක් නොදුටු පැත්තක් දැකීමට හැකි වෙතැයි යන බලාපොරොත්තුව ඇතිව නිසා..ලියවිල්ල දීර්ඝ වීම හරහා කිසියම් පාඨකයෙකුට යම් අලස ස්වභාවයක් ඇති වූයේ නම් මා කෙරෙහි උරණ නොවෙත්වා...

නමුදු මට මේ මොහොතෙහිදී කිව යුතු දේ නැවත කියන්නට අවස්ථාවක් නොලැබී යාමටත්..සමහර විට ඒ දේවල් මාගේ මතකයෙන් ගිලිහී යාමටත් හැකි බැවින් හැකි සෑම අවස්ථාවකදීම සිහියට නැගෙන්නා වූ පන්සල හා එහි අවට සමාජය පිළිබඳව වූ මාගේ කියවීම් හැකි පමණින් මෙහි දැක්වීම පිළිබදව පාඨකයින් මා හට කමත්වා...
.....................................................

එදිනත් වැඩ කටයුතු අධික වෙමින් පැවති පුන් පොහෝ දිනයකි...
පෙර කී පරිදිම උදෑසන වතාවත් නිමවා පෙරවරු අට පසුවී පමණ උදෑසන දානය වළඳා එතැන් පටන් දවසේ කාල සටහනට අනුව වැඩ රාජකාරි සිදු කරමින් සිටියෙමි...

බොහෝ දෙනාගේ අවශ්‍යතාවයට සරිලන පරිදි එදිනත් වැඩ කටයුතු සිදු වෙමින් පැවති අතර උදෑසන කෙටි දහම් දෙසුමක්ද පවත්වා මා ආවාසයට පැමිණ මඳක් විවේකීව සිටින්නට උත්සහ කල අතර කාමරයේ තිබූ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කලේද එම මොහොතේය...

සාමාන්‍යයෙන් පොහෝ දිනවල රූපවාහිනීයේ හෝ වේවා..ගුවන් විදුලියෙහි හෝ වේවා සුදුසු දහම් දෙසුමක් හෝ ධර්ම සාකච්ඡාවක් යයි නම් කාමරයේම තබා තිබූ ඈම්ප් එක හරහා එය බණ මඩුවෙහි සිටින උපාසක උපාසිකාවන් වෙත ශ්‍රවණය කිරීමට හැකි ලෙස සැලැස්වීමට මා නිතර කටයුතු කරන ලදි..යම් කිසි නියමිත වැඩ සටහනක් නොමැති සෑම වේලාවකදීම එවැන්නක් කිරීම හරහා සිල් ඇත්තන්ට තමන් කැමති ස්ථානයක සිට නිවී හැනහිල්ලේ ශ්‍රවණයට සුදුසු යමක් සලසා දීම එහි අරමුණ විය...

සමහර දිනවලදී උදෑසනින්ම උපාසක ඇත්තන්ම මා හට දැනුම් දෙනු ලබන කාරණා වෙති...

"හාමුදුරුවනේ අද දහයට අහවල් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහවල් සේවයේ ප්‍රචාරය වෙනවා" යි පවසමින් ඔවුන් මා දැනුවත් කරනු ලබන අතර..මා විසින් එම වේලාවට වෙනත් යමක් සැලසුම් නොකොට එම ධර්ම දේශනාව විකාශයට කටයුතු සලස්වා දෙනු ලැබීමි.

විශේෂයෙන්ම කිව යුතු තවත් දෙයක් ඇත...

පෝ දින වැඩ සටහන්යැයි කියමින් මහා විශාල අංග රාශියක් ඇතුලත් කොට කාලසටහනක් මාතින් කිසිදිනෙක පිළියෙල නොවූ බවය...

එනම්..පැයක කාලයක් හිමි නමක් වඩමවා හෝ මා විසින්ම පැවැත්වූ දහම් දෙසුමක් සූදානම් කලානම් එතැන් සිට පැයක් පමණ යන තෙක් වෙනත් විශේෂ ක්‍රියාකාරමක් සැලසුම් නොකරමි...එයට හේතුවක් තිබිණී...

සිල් ගැනීමට එන බොහෝ දෙනා වයස්ගත උදවිය වන අතරම එයින්ද බොහෝ දෙනා වයසට ගියත් තවමත් ගෘහ ජීවිතයේ අනන්ත වූ වැඩ කටයුතුවල නිරත වන මහළු අම්මලා වෙති. ඔවුහූ වැඩි පිරිස පෝ දිනට පන්සලට ඇදෙන්නේ නිවන් දැකීමටම නොවන බව මා දනිමි.

මේ ප්‍රකාශය කිසියම් අයකුට ගැටළුවක් වූවද..ඔවුන් හා කල් ගෙවූ කාල සීමාව තුල මා දැනගත් දෙයක් නම්..එසේ පැමිණෙන වැඩි දෙනා පුරා මාසයක් තිස්සේ තම දරුවන්ගේ දරුවන් බලා හෙම්බත්ව..මඳක් හෝ නිවී හැනහිල්ලේ දවසක් ගත කරන අපේක්ෂාවෙන්ම මෙසේ පන්සල් එන අය වෙති...

ඉඳින් එසේ පැමිණෙන අය හට මුළු දවසටම කාල සටහන් සකස් කර සිය අබල දුබල වූ ශරීර එක් ලෙසක තබා ගනිමින් බොහෝ අපහසු ඉරියව්වලින් දවස ගත කිරීම බොහෝ දුෂ්කර ක්‍රියාවකට ඔවුනව ඇද දැමීමක් ලෙස මා හට පෙනී ගිය කරුණක් වූ බැවින්..අනිකුත් අයටත් අසාධාරණයක් නොවන සේ හැකි තරම් සරලව වැඩ කටයුතු සකස් කලෙමි...එසේ අකමැති කිහිප දෙනෙක් ලංකාව පුරා වූ අසපු සොයා ගොස් විවිධාකාර වූ නිමක් නොමැති දහම් අභ්‍යාස වල යෙදුණු අතර..ඉන්ද හෙම්බත් වී නැවත පුරුදු පන්සල කරා පැමිණි අයද විණි..

මා පෙර සඳහන් කල මග ඵල පෙනෙන තෙක් මානයේ වූ සිල් ඇත්තන්ද බොහෝ දෙනා එසේ අසපු වලින් හැළුනා වූ අය වෙති...

පෙර මා කී අබල දුබල සැදැහැතියන් විවේක කාලයක් වැනි වේලාවකට ශබ්ද විකාශන යන්ත්‍රය හරහා තරමක් හඩ අඩු කොට ප්‍රචාරය කරනු ලබන දහම් වැඩ සටහනකට ඔවුනට පහසු අන්දමකින් සිටිමින් ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීම පිලිබඳව ඔවූහු සෑහෙන ලෙස තෘප්තිමත්ව උන්නාහුය.

එදිනත් එසේ සුදුසු වැඩ සටහනක් සොයනා අතර තුරදී මාහට යම් කිසි පින්කමක රූපරාමු පෙලක් දිස්වන්නට වූයේ මා හට මතක හැටියට නම් ස්වාධීන රූපවාහිනී නාලිකාව හරහා විය යුතුය.එම වැඩ සටහනට මාගේ අවධානය මඳකට යොමු වූයේ එම පින්කම පැවතියේ ඒ වන විට දෙතුන් වතාවක් යම් යම් ආගමික වැඩකටයුතු කිහිපයක් සඳහා මා විසින් වැඩමකොට තිබූ විහාරස්ථානයක වීමය...

එම විහාරස්ථානයේ ‍අභිනව චෛත්‍යයක් ඉදිකිරීම සඳහා වූ මුල්ගල් තැබීමේ පින්කමක දර්ශන දෙස මා බලා සිටි අතරේම සිරස නාලිකාවට යොමු වූයේ එහි ඇති වැඩ සටහන් දැන ගැන්මටය..නමුත් ඒ මොහොතේ එහි විකාශය කරමින් තිබූ වැඩ සටහන හිටි හැටියේ නවතා දමා හදිසි ප්‍රවෘත්ති විකාශයක් ඇරඹීණී...

24 comments:

  1. ඉතුරු ටික කෝ.....

    ReplyDelete
  2. මම දන්නවා මාර තුමා (ආ.. වැරදුනා. මාරානන්ද හාමුදුරුවෝ) කියන්න හදන එක. ඔය දවසේ තමයි ලංකාවට සුනාමි ආවේ.
    එදා පෝය දවසක්. සිරසෙන් තමි ඉසේල්ලම news එක දුන්නේ මුහුද ගොඩ ගැලීමක් දකුණු ප්‍රදේශයෙන් වාර්තා වෙනවා කියල.
    මගේ අම්මේ.. මාර හාමුදුරුවෝ ඒ දවස් වල ද නෙගෙනහිර පළාතේ හිටියේ... ඒ කියන්නේ වෙරළබඩ පන්සලක ??
    මචන් ලා, සිරාම කතා ටිකක් අහගන්න පුළුවන් වෙයි වගේ .....

    ReplyDelete
  3. එක හුස්මට කියෝගෙන ගියා. ඊලඟ කොටස දානකම් බලාගෙන ඉන්නවා. ඉක්මනටම දැම්මොත් නම් අගනේය.

    ReplyDelete
  4. හරිම රසවත් බං, උඹ වහන්සේගේ මේ ලියවිල්ල නම්. පංසල් කතා දිගටම ලියපං......ඉඳල හිටලා දානෙ ගැනත් ලියපං.

    ReplyDelete
  5. ITN එකෙ ගියේ අලුත්ගම කන්දේවිහාරේ පින් කම එකට ඒකාලේ අගමැති තුමාත් ඇවිල්ලා හිටියා. ITN ඒකෙ සූනාමිය අලුත්ගම ප්‍රදේශයට කඩා වදින හැටි සඡිවිව පෙන්නුවා.

    ReplyDelete
  6. අම්මෝ..... කතාව ත්‍රාසජනක වීගෙනයි එන්නේ. ඔන්න කියෙව්ව ඉතුරු ටිකත් ලෙසටම ලියන්න කියලා ඉල්ල හිටිනවා.

    ReplyDelete
  7. චතුෂ ඔය පන්සල්වලත් ටීඩී එකෙත් පෝය දවසට පෙන්නන වැඩසටහන් වල ඉන්නෙ අර කියල තියෙනව වගේ තමන්ගෙ වැඩ පෙන්නන උපාසක උපාසිකාවො තමයි.
    අකමැත්තතේ හරි ඔය සුනාමි කතාව ලියන්න ආයෙ පටන් ගත්ත එකට මම කැමතියි.

    ReplyDelete
  8. ප.ලි. උඹ මේක ආයෙ නැවැත්තුවෙත් මම නරක මිනිහ කියන්න එපා.

    ReplyDelete
  9. අපිට මාරයා වැහෙනවා මේ වගේ මැදින් නතර කලාම.

    ReplyDelete
  10. අනිත් ටිකත් ලියමුකෝ.... දුක්බර කතාවක් පටන් ගන්න හැඩක් තමා පේන්නේ...

    ReplyDelete
  11. ඔන්න කලින් පන්සල් කතා සජීවිව අහන්න හිටපු නැති අයත් මේ සැරේ ඉන්නව.ඉතිරි කොටසුත් දාන්න.මේකෙනම් කිසි ත්‍රාසජනක බවක් නැහැ.බලමු ඉස්සරහට

    ReplyDelete
  12. නියමයි....

    චතුෂ වගේ හිමිනමක් මේ සාසනේට අහිමි වුනේ සාසනේම අවාසනාවට.

    අපේ හාමුදුරුවරුත් උපාසක , උපාසිකාවන්ට කරදර නොකර ඉන්නව නම් කොච්චර හොඳද?

    ReplyDelete
  13. කුතුහලය ඇතිකරල කතාව නවත්තලා නේද?

    ReplyDelete
  14. මාරයිය කියනව වගේ මමත් හිතන්නෙ නෑ සීයට අනූවක් පන්සල් එන්නෙ නිවන් දකින බලාපොරොත්තුවෙන්ය කියල. ඒක සමහර වෙලාවට පුරුද්දට කෙරෙන දෙයක් වෙන්න ඇති. එහෙමත් නැත්නං එදාට පන්සලේ තියෙන නිස්කලංක බවට ආසාවෙන් වෙන්න ඇති. නිවන් දකින පරමාර්ථයෙන් එනවනම් මීට වඩා පංසල් ගොඩක් වෙනස් තැනක් වෙයි. කොහොම උනත් බොරු ආටෝප, බොරු ‍රැවිලි, ගෙරවිලි නැතුව ලියන මේ පන්සල් අතීතාවර්ජනය මම කියවන්නෙ බොහෝම කැමැත්තෙන්.

    ReplyDelete
  15. /*
    මන්ද යත් ඔවුහූ විසින් සාදාගෙන ඇති මනෝරාජිකය බිඳවැටෙනවා දකින්නට ඔවුහූ අකමැත්තෝය...ඔවුනට අවශ්‍ය වන්නේ තව දුරටත් ඔවුනගේ බොරුව අප විසින් පෝෂණය කරනවා දකින්නටය...
    */

    මේ කතාව අහන විට මහන වී නැති අයට පවා, සිවුරු ඇරීමට සිතේ!

    ReplyDelete
  16. එලකිරි මාරයියේ, ඉතුරු ටිකත් ඉක්මනට දාන්න අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  17. කෝ මාරේ අයියේ ඉතිය ඇත්තම කීවොත් මමත් වැඩියෙන්ම කැමති පන්සලේ කතා අහන්න ...

    අර උඩ ලියලා තියන එකක් එක පාරටම බැලුවම දැක්කේ වැරදියට ..මම ඩිම් උනා ඒක දැක්ක පාර!

    මෙන්න මෙහෙම ""හාමුදුරුවනේ ගිටාර් එක නැද්ද.."

    ReplyDelete
  18. නැගෙනහිර මතකෙට අරගෙන ආයේ ආවා නේ කතා සීරීස් එකක්,,නියමයි,,මම ආසයි පන්සලේ කතා වලට

    ReplyDelete
  19. නිදහසේ කියවන්න ලැබුනේ දැනුයි.. කෝ ඉතිරියත් දාමු බලන්න..

    ReplyDelete
  20. අයි යෝ කතාව මග නේ.වලක් නෑ නිවාඩු පාඩු වෙලාවක ඉතිරියත් දාන්නකෝ.

    ReplyDelete
  21. මම මේ ලිපිය කියෙව්වත් මේකට කොමෙන්ටුවක් දාන්න තරම් දෙයක් මගෙ හිතට ආවේ නෑ. ඒත් මෙතන පලවුනු එක කොමෙන්ටුවක් නිසා මේ ටික ලියන්න හිතුනා.

    අපි බහුතරයක් හාමුදුරුවන්ට බනිනවා හරි දේ කරන්නෙ නෑ කිසිම සීලයක් නෑ වගේ දහසකුත් දේවල් කියලා. ඒත් හාමුදුරුවො කියන්නෙත් අපි වගේ පෘතග්ජන මනුස්ස කොට්ඨාෂයක් නේද? ඔවුන් පන්සලක් පවත්වාගෙන යන කාර්යයේදි කොතරම් අපහසුතා වලට ලක් වෙනවාද? සමහර විට හරි දේම කරන්න යාමෙන් දහසකුත් ප්‍රශ්න වලට මූන සිදුවෙන්න පුලුවන්. මන් හිතන්නෙ නෑ පන්සලක් පවත්වාගෙන යමින් නිවන් දකින්න භාවනා කරන්න පුලුවන් කියලා.එහෙමනම් දායකයො සම්පූර්නයෙන් අමතක කරලා බන භාවනා කරන්න ඕනි.
    මිනිස්සු බහුතරය පන්සල් යන්නෙ නිවන් දකින්න නෙමේ.පුද්ගලිකව මම පන්සල් යෑමෙන් බලාපොරොත්තු වෙන්නෙ හිත නිවා ගැනීම පන්සලක තියෙන නිස්කලන්ක කමට මම බොහෝ සේ කැමතියි.
    ඒ වාගේම මම පිලිගන්න දෙයක් තමයි දහම් පාසලෙන් මම ඉගෙන ගත්තු කරුනු කාරනා මගේ ජීවිතය හැඩ ගස්ස ගන්න හේතු වුනා කියන එක.

    ඉතින් හාමුදුරුවො අරම කරනව මෙහෙම කරනවා කියලා අපි පන්සල ඇතෑරියොත් මොකද වෙන්නෙ?

    මම දකින විදිහට හාමුදුරුවොත් මහා කැපකිරීමක් කරනවා නූතන යුගයේදි. සුලු සුලු අඩුපාඩුකම් තිබ්බට ඔවුන් කරන දෙය අවතක්සේරු කිරීම වැරදියි මම හිතන්නෙ. ඔවුන් ධර්මය හරියට කියා දෙනවානම් හොඳටෝම ඇති. මම පැහැදිලිව කියනව ධර්මය කියා දෙනව කියල මම අදහස් කරන්නෙ ඔවදන් දෙන එක නොවෙයි කියන එක. හාමුදුරුවො ඒ දේ නොකරනව වෙන්න පුලුවන් ඒත් ඒකෙ තියෙන නරක ආදීනව කියා දෙන්න ඒක බාදාවක් කරගත යුතු නෑ.

    එයින් තම ජීවිතය හැඩ ගස්වා ගැනීම තම තමන්ගෙ වැඩක්.

    ReplyDelete
  22. කතාව මැදින් නැවැත්තුවට ඔය කට්ටියම ඊලගට කියන්නෙ මොනවද කියල කියල තියෙන්නෙ හැබැයි කුතුහලේ වැඩිවෙනව ඒකෙන් කතාවෙ ඉතුරු ටිකත් ඉක්මනට දාන්න මාරානන්ද තුමෝ

    ReplyDelete
  23. ප්‍රතිචාර දැක් වූ හැමෝටම බොහෝම ස්තූතියි..ඊ ළග කොටසත් දැන් දාලා තියෙන්නේ...
    ඇත්තටම මම කැමතිම හරිය තමා පන්සල් කතාවට යටින් යන මේ කොමෙන්ටු තීරය..හැමදාමත් වගේ අනිත් කතා වලට වඩා මේ කතා යටින් කමෙනුටු හරහා හුගාක් දේ කතා වෙනවා.
    පන්සල හා බැඳුනු හුගාක් අය මෙන්ම පන්සලෙන් බාහිරව සිටින අයත් මෙතනට එකතු වෙනවා...

    මම පන්සල් එක්ක බැඳුන අය කියලා කිව්වේ ආගමික බේදයකින් නෙවේ..විශේෂයෙන්ම ඩිලාන් වැනි අන්‍යආගමික පසුබිමක අයෙකු පවා පන්සල් සමග බැඳුනු මනසකින් මේක කියවන අතරම..බෞද්ධව උපත ලබා යම් යම් හේතු හරහා..සාධාරණව හෝ ස්වාර්ථය පිණිස හෝ ධර්මයෙන් ඈත් වෙලා...එයට ගරහන්නට බලන අය උනත් විටින් විට මෙතන මට දකින්න ලැබිලා තියෙනවා.
    තම තම අරමුණු කෙසේ වෙතත් කට්ටිය එකට එකතු වීමම වටිනා දෙයක්...
    ඒ වගේම අද තමුන් එළඹෙන මතය හෙට ලිපියෙන් වෙනස් වෙන්න පුළුවන්කමත් තියෙන්න පුවවන් කියලා මතකයේ තබාගෙනම අපි ඉදිරියට යමු.

    විශේෂයෙන්ම නිශ්ට...

    මට සිටින පාඨකයින් අතරේ මම නිතරම අවධානය යොමු කරගෙනම සිටින පාඨකයෙක් ඔබ..ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි...ඔබ නිතරම හිතෙන දේ කෙලින්ම කියනවා වගේම එහිදී ලියන මට උනත් රිදෙන්න ගහනවා කියලා මම දන්න හින්දා.
    මේ ලියලා තියෙන කොමෙන්ටුවේ...
    "ඔවුන් ධර්මය හරියට කියා දෙනවානම් හොඳටෝම ඇති. මම පැහැදිලිව කියනව ධර්මය කියා දෙනව කියල මම අදහස් කරන්නෙ ඔවදන් දෙන එක නොවෙයි කියන එක. හාමුදුරුවො ඒ දේ නොකරනව වෙන්න පුලුවන් ඒත් ඒකෙ තියෙන නරක ආදීනව කියා දෙන්න ඒක බාදාවක් කරගත යුතු නෑ."

    කොටස පිළිබඳව ආයේ වචන දෙකක් නැහැ..මට ලැබුන කොමෙන්ටු අතරින් මට වටිනම වචන ටික තමා ඔය...

    ඇත්තටම මහණ ජීවිතයක්..විශේෂයෙන්ම පරාර්ථ සේවයට කැපවන්නට නියම වූ..(පන්සලක නායකත්වය ලැබීම වැනි දේ හරහා මෙන්ම වියක්ත දේශකයෙකු වීම හරහා ආදී දෙයින් මෙම තත්වය හුගාක් හාමුදුරුවරුනට ඇති වෙනවා) භික්ෂුවකට නිතරම තම පැවිදි දිවියත් දහමත් අතර මහ විශාල ගැටුමකට මැදි වෙන්න වෙනවා...විශේෂයෙන්ම අනුන්ට දේශනා කරන දේ තමන් තුල නැත්නම් දේශකයා පත් වෙන්නේ පුදුම මානසීක ගැටුමකට...

    නිශ් කියන විදියට කටයුතු කරන්න ලේසි නැහැ..ඒත් මාත් හිතන්නේ විය යුත්තේ එයයි..තමා පිළි පැද්දත් නැතත් නියම දේ ඒ ඇති සැටියෙන්ම ඉදිරිපත් කල යුතුයි.නමුත් හුග වෙලාවට වෙන්නේ කොලේ වහලා ගහන එක විතරයි...ඒත් නිශ්ගේ දැක්මෙන් දකින ශ්‍රාවකයින් තමන් ඉදිරියේ ඉන්නේ කියලා දේශකයාට විශ්වාසයක් තියේ නම් බය නැතිව ඔය දේ කලහැකි..ඒත් කරුමෙක මහත නිශ් හිතන විදියට හිතන අයත් අඩුයි..ඒහෙම හිතන බව තේරුම් ගන්න දේශකයාණන් වහන්සේලාට ඇති හැකියාවත් අඩුයි...

    ReplyDelete