24 April 2011

පැන පැන දෙන කැත පුරුද්ද... සුනාමියේ මාර අත්දැකී‍ම්‍...

කාලයක් තිස්සේ බ්ලොග් එක ලියලා ලියලා යාන්තං 350 කුත් ගහලා ආයෙමත් සුපුරුදු ලිවීම ආරම්භ කරන්න සූදානම් වෙන මොහොත...

ටිකක් නිදිමතයි..මොකද ඊයේ රෑත් නිදිමරලයි අදත් වැඩට ඇවිල්ලා ඉන්නේ...ඒ හින්දා ඉක්මනට මේක ලියලා ටිකක් ඇස් දෙක පියාගෙන හරි පුටුව උඩම ඉන්න ඒන..ඒ තරමට වැඩේ අමාරුයි...

...........................................................
ඔබත් මමත් අප කවුරුත් දන්නා සුනාමිය හිටි හැටියේ පැමිණ වැඩි වේලා නොරැඳි පිටව ගොසින් තුබුණේ තමාගේ එම හදිසි පැමිණිම අප සියල්ලන්ගේම හදවත්වල නොමැකෙන සටහනක් සේ ඉතිරි කර තබමින්ය යන්න මා පැවසුවහොත් එය ඔබ සියල්ලන්ටම එකඟ විය හැකි කරුණකි...

නමුත් එහිදී අප කටයුතු කල ආකාරය අනුව එම මතක සටහන් එක එක්කෙනාට වෙනස් විය හැකි බවත් කිව යුතුය...
බොහෝ දෙනෙකුට සිය ජීවිත කාලයතුලදී නැවත වතාවක් සිහි කර සිතේ සැහැල්ලුවක් ඇතිකර ගත හැකි ක්‍රියාවන් වල එම මොහොතෙහිදී නිරත වූවත් සුනාමි ආධාර වංචාකාරයින් හටනම් සිය ජීවිත කාලයතුලදීම පිටින් නොපෙන්නුවත් හදවතින් සියදහස්වාරයක් මැරි මැරි උපදින්නට හැකි තරමේ පාපක්‍රියාවක අඳුරු මතක සටහන්ද ඇති වෙන බව නිසැකය...

කෙසේ වෙතත් සිදුවූ ස්වාභාවික විපත්තිය පිළිබඳව ඇති අසුන්දර මතකය සිතේ එක් පසෙක තිබියදී..අනික් අතින් සිහි කරනු ලබන මොහොතක් පාසා සිතට යම් සැනසීමක් ඇති කරලන්නා වූ සුළු අන්දමේ හෝ කටයුත්තකට යොමු වන්නට මෙම සුනාමි ව්‍යසනය ඇති වූ අවස්ථාව මා ඇතුළු කිහිප දෙනෙකුටම ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත... මෙතැන් පටන් දිග හැරෙනුයේ එම කටයුත්ත සිදු වූ ආකාරයයි...

.......................................................

සුනාමිය රට තුලට කඩා වැදී පැය කීපයක් ඉක්ම ගොසින් තිබිණි...පන්සලට පැමිණි පිරිස අතර වූ මගේ සමීපතමයන් පිරිස වූ කුඩා දායක පිරිස අතර මෙම විපතේදී කුමක් හෝ වැදගත් කාර්යයක නිරත වීමේ අවශ්‍යතාවය ඉස්මතුව තිබිණි..ඒ අනුව කුමක් හෝ අන්දමේ ක්‍රියාදාමයක් හරහා මේ සඳහා ඉදිරිපත් වීමට උවමනා වූ ඔවූහු ඒ සඳහා මාගේ මැදිහත්වීම අපේක්ෂා කලේ ඒ වන විට පන්සලේ මෙන්ම ගමේ තිබූ සෑම සමිති සමාගමකම වාගේ කටයුතුද ටිකෙන් ටික මාවෙත පැවරෙමින් තිබූ අවදියකය...

රකින්නට පවුලක් නොතිබි මට නොපැමිනි අනාගතයක් වෙනුවෙන් වස්තුව පොදිගසන්නට උවමනාවක්ද නොවිණි..ඒ නිසාම මේ වන විටත් යම් යම් දේ හරහා මාවෙත ලැබෙන සෑම දෙයක්ම පන්සලේ මෙන්ම ගමේ පොදු කටයුතු වෙනුවෙන්ම ඒ ඒ වෙලාවේදීම බෙදී යාම නිසා..තමන් පුදන සෑම සතයක්ම ඊට වඩා කිහිපගුනයකින් වටිනා අන්දමට වියපැහැදම් වන ආකාරය දුටු මිනිසුන්ගේ නිරන්තර උදව් උපකාර ගලා එන්නට ටිකෙන් ටික හුරු වෙමින් පැවති කාලයයි මේ...

එවැනි වකවානුවක මෙවැනි කටයුත්තකදී මාත් සම්බන්ධ කරගෙන කුමක් හෝ කිරීමට යාම වඩා පහසු බව ඔවුන් විශ්වාස කරන ලදි...

ඒ අනුව ඉල්ලීම ආ සැනින්ම එය මා විසින් බාර ගනු ලැබිණි. විශේෂයෙන්ම මෙහිදී කිවයුතු එක් කරුණක් ඇත...

එනම් ඒ දිනවලදී ලැබෙන සෑම අවස්ථාවකටම මම හිස පොවමින් සිටි අවදියක් බවය..අප මෙයට පොදුවේ කියන නමක් ඇත..එනම් "පැන පැන දෙනවා" ලෙසින් කියන කියුමයි...

ඇත්තටම මම මේ වන විට පැන පැන දෙන්නෙකු වීමි...සමහර විට මෙය කියවන ඔබට පැන පැන දෙන්නෙකු පිළිබඳ සිතේ මැවෙන චිත්‍රය ඒ තරම් යහපත් නොවන බව මා දනිමි...මන්ද යනු මා හටද මාගේ ජීවිත කාලය තුලදී හමු වී ඇති පැන පැන දෙන්නන් බොහෝමයක් පිළිබඳව ඇත්තේද එවැනි චිත්‍රයන් වන නිසාමය..ඒ අතර ඉතා ස්වල්පයක් පිරිස මාගේ සිතේ නො‍මැකෙන මතකයන් වී ඇත්තේ..ඔවුන්ගේ එම පැන පැන දීම හරහා අන් අයට සිදු වූ සේවාවන් සිහිපත් කරලීමේදීය...

සමහරුන් පැන පැන දෙන්නේ කැපී පෙනීම හා ලකුණු දමා ගැනීමට පමණි...නමුත් තමා පැතූ ගරු නම්බු නාම ඒ පරිද්දෙන්ම නොලැබී යන අන්දමක් දකින්නට වූ කල ඔවුහූ එම කරන්නට ගත් ක්‍රියාව හිමිහිට අතහැර දමනු ලබයි.

එසේම තවත් සමහරු පැන පැන දීමට පටන් ගත් ක්‍රියාවට උපරිම ලකුණු සහ වෙනත් විවිධ වාසී ලබා අවසන් වූ වහාම එය අතැර වෙනත් දේකට පනින්නට උත්සහ දරනු ලබයි.. මෙවැනි අය නිසා අද සමාජයට වී ඇති විපත නම් වචනයෙන් විස්තර කරලිය නොහැකි තරම්ය.

මන්ද යත් ඔවුන් වැනි ක්ෂණීක ජනප්‍රියත්වය උදෙසා වැඩට ඉදිරිපත් වන්නන් නිසා ඇත්තෙන්ම වැඩෙහි දක්ෂතාවය හා නිපුණත්වය ඇති..එහෙත් පැන පැන දෙන්නට තරමක් මැලි අයගේ සේවය රටට සමාජයට නොලැබී යාමයි.

ගමක හෝ වේවා රටක හෝ වේවා... පොදු කටයුතු වලදී මනා සංවිධාන ශක්තියක් ඇති මෙන්ම ඒ සඳහා වඩාත් දක්ෂ අන්දමින් කටයුතු කල හැකි පුද්ගලයින් පාගා දමමින් එම වැඩට කිසිසේත්ම නුසුදුසු හැකියාවක් හෝ දක්ෂතාවයක් නැති අය පොරකමින් ඉදිරිපත් වනු දැකිය හැක..ඒ හරහා එම වැඩය කල හැකි අය එම සමාජයෙන් හැලී යන අතරම එම හේතුව නිසාම අර කරන්නට නියමිත කාරිය විනාස වී යාමද වන බව නොරහසකි. මේ සඳහාත් මා විසින් වැඩි උදාහරන පෙන්විය යුතු නොවේ...

රට පැත්තකින් තියා ගමේ චන්දය ලෙස ඔබ දන්නා ප්‍රාදේශීය සභා චන්දය පිළිබඳව සලකා බැලීමම සෑහෙන බව මගේ විශ්වාසයයි..එහිදී ජය පරාජය වූ අය පිළිබදව නොව ඒ සඳහා තරග වැදීමට සෑම පැත්තකින්ම පාහේ ඉදිරිපත්ව ඇති අයගේ හැකියාවන් පිළිබඳව සලකා බැලීමම වටී...

මිනිසුන් දහ දෙනෙකු ඒක රාශි කරගෙන ගමක නාන ලිදක් ශුද්ධ පවිත්‍ර කිරීම වැනි දෙයක්වත් කල නොහැකි මට්ටමේ උදවිය ගම හදන්නටත් රට නගන්නටත් කතා කරති... අහල පහල කොල්ලන් කෙල්ලන් එක්කාසු කරගෙන ලිද ශුද්ධ කරන අහිංසක ගැමි තරුණයින් තමන්ගේ පාඩුවේ ජීවිත ගෙවති.ඔවුන් දන්නා හෝ නියැළෙන දේශපාලනයක් නැත.ගම නැගුම සඳහා සක්‍රීය දායකත්වය දෙන ඔවූහු අහසින් කඩා පාත් වී ගම නගන්නට කතා කරන පුස්සාටම චන්දය දී ගෙදර පැමිණ අත් දෙක පිසදා ගනී...

එවැනි තත්වයක් මත පැන පැන දෙන්නන්ගෙන් රටට විය හැකි විපත බොහෝ බව මා නොකීවාට නිදහස ලැබුනු කාලයේ පටන් රට පාලනය කල ඇත්තන්ගෙන් රටට සිදුව ඇති "මහා මෙහෙය" දෙස බලද්දී ඔබටම අවබෝධ වනු ඇත.

තත්වය මෙසේ වන අතරම ඉඳ හිට තැනක පැන පැන දෙන්නන් හරහා ගමට රටට වන යහපත් ප්‍රතිඵලද නැතිවා නොවෙයි...අතින් වියදං කරගෙන ගොස් රටට අස්වද්දන ඔවූහු නිතරම තමන්ගේ වර්ගයා අතර අවමානයට හා ගැරහුමට ලක්වන්නා වූ පිරිසකි.

මෙවැනි දෙපිරිසක් අතරේ හිදි මමද හොඳ පැන පැන දෙන්නෙකු වූ බව කිව යුතුමය...
ඒ නිසාම ගමේ අය විසින් ගෙන එන ඕනම ගැටළුවකට, පොදු වැඩකට..ඒ තබා රණ්ඩු සරුවල් අතර මැදට පවා මා මැදිහත් වීමි.මෙසේ ගම වෙනුවෙන් සොය සොයා කටයුතු කරන්නට මා නිතරම පෙළඹිණි...ඒ හරහා මා හට ඇවසි වූයේ මිනිසුන් සියළු දෙනාහටම පන්සල පොදු කේන්ද්‍රස්ථානයක් කරවාලන්නටය...මන්ද යත් පන්සල වැටී තිබූ තත්වයෙන් ඉහලට ගෙන ඒමට නම් මිනිසුන් පන්සල වටා එක් රොක් විය යුතු බව මා විස්වාශ කරනු ලැබූ හෙයිනි.එසේ එක් රොක් කරගැනීමට නම් ඔවුන්ගේ සෑම කටයුත්තකදීම පැන පැන දීම කල යුතුව තිබිණි...

කටින් කියන වචන දාහකට වඩා ඔවුන් අතරට වැදී කරනු ලබන සුළු ක්‍රියාවත් වඩාත් ප්‍රතිඵල දායක වන බව කිවයුතුමය...

ඒ අනුව මෙහිදී ලද ආරාධනාවත් බාර නොගෙන සිටින්නට මට කිසිදු හේතුවක් නොවිණි..එක් අතකින් උදා වී තිබූ තත්වය යටතේ එය එවැනි මොහොතක මා විසින් කල යුතුම කාර්යයක් විය...

..........................................................

"හරි අපි මොනවා හරි කරමු..දැන් මොනවද අපිට කරන්න පුළුවන් සහ ඔයාලාට කරන්න පුළුවන් දේ කියලා හිතෙන්නේ..?" සුපුරුදු අන්දමින්ම කටයුත්තට එක් වී සිටන පිරිසගේ අදහස් විමසා සිටියේ එම අදහස් සියල්ලත් ඒක රාශී කරගෙන පොදු සැලැස්මක් හැකි ඉක්මනින් ගොඩ නැංවීමටය..

පිළිතුරු සියල්ලම බොහෝ සේ එක සමාන විය...පොදුවේ ගත් කල එය මෙවැන්නකි...

"හාමුදුරුවනේ අපි ආධාර පත්‍රයක් ලියාගෙන ගමේ අයගෙන් ආධාර එකතු කරලා වාහනයක දාගෙන ගිහින් ඒ අයට බෙදා දෙමු"

ඇත්තටම වඩා සංකීර්ණ දේ සිතීමට වඩා එම ‍යෝජනාව වේලාවේ හැටියට හොඳම ආරම්භය වන බව අප කාටත් වටහා ගත හැක. සමහර තැන් වලදී කුමක් හෝ වැඩක් පටන් ගද්දීම මහා පරිමාණ යෝජනා එන්නට පටන් ගැනීම හරහාම කරන්නට ගිය වැඩේ තිබියදී..එම යෝජනා පිළිබඳව වාද විවාද කර කර සිටින්නට වැඩි කාලයක් ගත වීම හරහාම අවසන එකදු කාර්යයක් හෝ නොවනා තැනට පත්වීම සාමාන්‍ය සිද්ධියකි..එහෙයින් මේ අවස්ථාවේදී වැඩි යෝජනා හොයන්නට නොගොස් මූලික යෝජනාව ක්‍රියාත්මක කලෙමි...

වහාම කොල කිහිපයක් ගෙනවිත් මාගේ අත් අකුරින්ම ආධාර පත්‍ර කිහිපයක් කෙටියෙන් ලියන්නට වූ අතර..තවත් ළමයකුට හිස් කොල ටිකක් රූල් ගසන්නට දුන්නේ ලැබෙන ආධාර පිළීබඳව විස්තර සටහන් කරලීම සඳහාය...

එසේ විනාඩි කිහිපයකින් සකස් කරනු ලැබූ මා විසින් කරනු ලැබූ ඉල්ලීමේ ලිපි හතරකට රූල් ගැසූ කොල කිහිපය බැගින් තබා අමුණා.. පැමිණි සිටි පිරිස කණ්ඩායම් හතරකට බෙදා වෙනත් වෙනත් පැති වලට යවන ලද අතර තවත් කොළු ගැටවුන් දෙතුන් දෙනෙකු පන්සලේ රඳවා ගන්නා ලදි.පැමිණ සිටි අයගේ පාපැදි කිහිපයක්ද පන්සලේම තිබූ අතර එසේ පන්සලේ රැඳී සිටි අයගේ කාර්යය වූයේ මාරුවෙන් මාරුවට පාපැදි වලින් ගොස් අර ආධාර එකතු කරන පිරිස් අත තියෙන දෑ පන්සලට ගෙන ඒමයි...

පැය දෙකක් යන්නට කලියෙන් පන්සලේ කාමරයක් හා ආවාසයේ ඉදිරිපස නොයෙකුත් බඩු භාණ්ඩ වලින් පිරී යන්නට විය...ප්‍රමාණාත්මක වශයෙන් කොතරම් ලැබුනද මෙවැනි අවස්ථාවකදී සිදුවන තවත් අපූරු කරුණක්ද සිදුව තිබිණි...

20 comments:

  1. දැන් ඉතින් ඒ අපුරු කාරණාවත් අහලම ඉම්මුකො....

    ReplyDelete
  2. යකෝ මේකත් නවත්තන්නෙ අර දවසගානෙ පත්තරවල යන ච්ත්‍රකතා නවත්තන විදියට ගින්නක් ඉතුරු කරලනෙ.

    ReplyDelete
  3. ප්‍රතිචාර දෙන්න අර ඉතුරු කෑල්ල අහ්න්න එපෑය් , හෑබෑය් අපිත් ඔය සුනාමි වෙලවෙ ආදාර එකතු කලා . මටත් මතක හොද සිද්දි කීපයක් උනා .

    ReplyDelete
  4. හපොයි..මම ඉස්සර වෙලා මාරයා ගෙ මුලු බ්ලොග් එකම කියවුවෙ එක දවසට.. දැන් ඉතින් බලා ඉඳපල්ලාකො ඉතුරු ටික ලියනකම්..අර අපූරු කතාව දුන්නාට පස්සෙ අපූරු කොමෙන්ට් එකකුත් දාන්නම්..

    ReplyDelete
  5. මොකෝ මේ ටෙලි නාට්‍ය වගේ කතාව ඕනිම තැනදි නතර කරන්නෙ ?

    ReplyDelete
  6. ඔන්න අපි බලමු ඊට පස්සේ මොකද උනේ කියලා...

    ReplyDelete
  7. වෙනදා වගේම මේ කතා සීරීස් එකත් නගලා යනවා.....

    අර උනැයි කියපු කරුණ මොකද්ද?

    ReplyDelete
  8. අර අපූරු කාරණාව දැන ගැනීමට මාද නොඉවසිලලෙන් බලා සිටි.

    ReplyDelete
  9. මට ඒ අපූරු කාරණාව ගැන අනුමානයක් කරන්න පුළුවනි... බලන් ඉන්නම්කො, මම අනුමාන කරන අපූරු කාරණාව ද වුණෙ කියල... එහෙම නොවුණොත් මගෙ අනුමනෙ පස්සෙ කියන්නම්.

    ReplyDelete
  10. අපේ පැත්තෙ සුනාමි හොරු අම්බානට.සමහරු ගෙවල්,ටෝලර් බෝට්‍ටු එහෙමත් ගත්තා.එහෙම හොරෙන් ගෙයක් ගත්ත එකෙක්ට මේ ලගදි අන්ශභාගේ හැදිලා.දිට්ටධම්මවේදනීය කර්ම කියන්නේ ඇත්ත කියන එක මට එදායි හරියටම තේරුනේ.

    ReplyDelete
  11. අපේ පැත්තට ආපු සුනාමි රැල්ලත් හොරුන්ට රන්දිය දහරාවක් වුනා.අපට නම් කරදරයක් වුනේ නැහැ.සුනාමි ආධාර බෙදුන හැටිත් හරි නරකයි.සුනාමි රැල්ල යාන්තම් ආපු අයටත් ගෙවල් ලැබුනා.උන් ඒවා විකුණුවා.(ඇත්තමයි.)මට මතකයි ගාළු පාර අයිනෙම තිබුනු හැම ගෙදරකම ගෙවල් පිරෙන්න ආහාර අමුද්‍රව්‍ය වගේ ආධාර ද්‍රව්‍ය තිබුනා.සුනාමි රුල්ල වැදුනු එක හැරුනාම ලොකු කරදර ඒ අයට වුනේ නැහැ.ඉතාම ධනවත් බස් තුන හතරක් හිමි(ඔවුනගේ වාහන සුනාමියට හසු නොවුනි.) වෙලද ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුටම සුනාමි ගෙවල් හිමිවුනා.ඇත්තටම සුනාමියෙන් ඉතාම අසරණ වුනු පවුල් වලට ලැබෙන්න තිබුණු ආධාර අපේ පැත්තෙ අය කොල්ල කෑවා වගේ තමයි.

    ReplyDelete
  12. ඊට පස්සෙ මොකද උනේ කියනවද ඔයා

    ReplyDelete
  13. අය්යෝ මරයියේ......මන් තාම ඔයාගේ ගිය අවුරුද්දේ දාපු පොස්ට් කියවනවා....ඔයා අලුතෙන් දවසගානේ දානකොට .........

    ඔයා අපේ පැත්තටත් ආවද දන්නේ නෑ.......

    ReplyDelete
  14. ඒ අපූරු කාරනාව ඇසීමට අප නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු

    ReplyDelete
  15. ඔය කටයුත්තටම සම්මාදම් වීමට ගොස් මා ලැබූ අද්දැකීමක් නම් මිනිසුන් ගෙවල් අස්පස්කර ගැනීම සඳහා පරණ ඇදුම් සියල්ල ආධාර වශයෙන් ලබා දී ඇති බවය.

    ReplyDelete
  16. ඇත්තද බොරුද දන්නේ නං නැහැ පිට රටකින් ආධාර වශයෙන් එවපු වතුර බෝතලේකින් තමන්ගේ නිල රථයේ වින්ඩ්ස්ක්‍රීන් එක පොලිස් නිලධාරියෙක් හෝදනව රුපවාහිනි නාලිකාවක පෙන්නුව කියල කතාවක් ආරංචි වුනා, මං ඒ ගැන වැඩියම හිතුවෙ නැහැ, ඒ මනුස්සය පාවිච්චි කරලා විසි කොරපු බෝතලයක් වතුර අරගෙන එන්න පාවිච්චි කොලාද දන්නෙ නැති නිසා.

    ReplyDelete
  17. ‍ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම බොහෝමත්ම ස්තූතියි...
    ඇත්තටම මගේ ලිපියට යටින් ඇදිලා යන කතාවටම සම්බන්ධ මෙවන් වූ ප්‍රතිචාර හරහා..අපි පුංචි කතා කියලා හිතුවට..ඊට වඩා හුගාක් වටිනා අන්දමේ කතා හුගාක් මතු වෙන බව දැකීමත් සතුටට කාරණයක්...
    මේ ලිපියටත් එවැනි අතුරු කතා කිහිපයක්ම එකතු කල..එම මොහොතේ අත්දැකීම බෙදා හදාගත් හැමෝම කරන්නේ විශාල වටිනාකමක් ඇති සේවයක්..සමහර විට ඔබලාගේම බ්ලොග් එක තුලින් ඉදිරිපත් කරන්නට නොසිතුවත් ඔය කියපු හැම කතාවකම වැදගත් ලිපියකට අවශ්‍ය හුගාක් කරුණු හැංගිලා තියෙනවා..ඒවා මෙහෙම හරි සටහන් වීම ගැන මා සතුටු වන අතරම ඔබලාටත් බොහෝම පින්...

    රෝයිට වේගය මදි වෙද්දී..සඳුනිට වේගය වැඩි වීමත් තවත් අපූරුයි නේද..? මොනවා කරන්නද විවිධාකාර ලෝකයක් නේ...හපොයි..හිතෙන හිතෙන හැටියට නෙව ලියන්නේ...

    ඉංජිනේරු නෝනා තමා ඉතිං දවසකටවත්...ලකුණු දහයක් දාගන්න මං ගානේ...ඉතිරි අනූව උත්තරේට හම්බ උනා...
    දැන් එතකොට 100% ම හරිනේ නේද..?

    ReplyDelete
  18. අනෙ අප්පේ... මෙගා සීරීස් එකක් වගේනේ....... කුතුහලෙන් තැම්බෙනව කොල්ලව...

    ReplyDelete
  19. අනේ ! ඉවරයි කියල හිතුවට ඉවර නෑ, තව තියෙනවා.........

    ReplyDelete
  20. නැහැ නැහැ..තව ඉවර නැහැ...

    ReplyDelete