26 April 2011

සැලැස්ම වෙනස් වීම...පන්සල් දිවියේ සුනාමි අත්දැකීම...

අද මේක ලියන්න ගත්ත උනාට..එක දිගටම ලියන්න වෙන්නේ නැහැ..සැරින් සැරේ වෙන දේකටත් යොමු වෙන්න වෙනවා..ඒත් ඊයේ ලිව්වෙත් නැති හින්දා අද කොහොම හරි ලියන්නත් එපැයි...

අළුත් අවුරුද්දේ අළුතින්ම දෙයක් පටන් ගන්න ඕනයි කියලා හිතිලා තියෙන්නේ...දැන් ඉතිං ඉස්සර වගේ කිසිම දේකට පන්නගෙන යන ගතියක් නැති හින්දා ලොකුවටම නැති උනත් පුංචියට හරි වැඩේ පටන් ගන්න ඕන කියලා හිතුනා.වෙන දෙයක් නෙවේ ඉතිං මගේ කේන්දර වැඩේම තමා...

ඒකට මම මේ දවස් ටිකේ තැනක් බලනවා...අදත් ඒ හින්දා තැනක් හොයා ගන්න එකට පොඩ්ඩක් දඟලන්න ඕන...ඒකට හරියන දෙතුන් දෙනෙක් අල්ලගන්න තමා අද මේ බලන් ඉන්නේ...

මට ඕනම තැනකින් තමයි තැනක් ගන්න හදන්නේ..ඒ හින්දා ටිකක් වැඩේ ලේසී වෙන්නේ නැහැ.
ඒත් වෙන තැනකට වඩා එතනට මම කැමතියි..ඒ වගේම මට ගැලපෙනම තැනක්...
ගාන කීයක් වෙයිද දන්නේ නැහැ..ඒ වගේම අත්තිකාරම් මුදල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන...ඕන කරන මේස පුටු උපකරණ ආදියට යන වියදම..ආදී ඔය හැම දේම මට සහනදායී විදියට සෙට් උනොත් ජීවිතේ 32 වන අවුරුද්දේ ආරම්භයට මම මුහුණ දෙන්නේ වෙනස් විදියකට වෙන්න පුළුවන්...
බලමු.........

...........................................................

සවස් වන විට සෑම අතින්ම ගෙන එනු ලැබූ ආධාර ද්‍රව්‍යය පන්සල තුල එක් රැස් වන්නට විය...
ගෙන් ගෙට යමින් ආධාර එක් කල අය මෙන්ම ආරංචියට සංවේදී වූ ඇතැම් අය විසින් පන්සලට ගෙනවිත් භාර දුන් භාණ්ඩද ඒ අතර විය...
ආධාර එකතු කල අයද ක්‍රම ක්‍රමයෙන් පන්සලට එකතු වන්නට විය... පැය දෙකක් වැනි කාලයක් තුල ඔවුන් සෑහෙන කාරියක් කොට තිබුණද...තත්වය ඒ තරම්ම යහපත් නොවීය...

එනම් අප විසින් මුලින්ම සිතූ පරිදි වාහනයක් රැගෙන ගෙන ගොස් බෙදා දීමට තරම් දෙයක් එහි නොවිණි...

හාල් මිටි තුනකට මදක් වැඩි ප්‍රමාණයක්ද..පරිප්පු.. ළුණු සීනි ආදී දේද ඒ තරම්ම එකතු වී නොතිබිණ..ඒ වෙනුවට වැඩි පුරම එකතු වී තිබුණේ ඇදුම් පැළඳුම්ය...ඇදුම් නම් ලොරි දෙකක් පමණ පිරවීමට හැකි පමණ තිබුණි..ඇත්තෙන්ම මේ ඇඳුම් දෙස බැළු විට අප සියළු දෙනාටම මිනිසුන් ගැන ඇති වූ සිතුවිලි ගැන මෙහි ලිවීම ඉතා අපහසු කතාවකි...

පෙර ලිපියේදී මා සඳහන් කල පරිදිම මෙය මහා විකාරයක් බඳු කරුණක් විය...

එකතු වූ ද්‍රව්‍ය පන්සලේ කාමර හා ඉඩ ඇති සෑම තැනම රැස් කර තිබූ අතර උහුලාගත නොහැකි අන්දමේ මහා දුර්ගන්ධයක් මතු වෙමින් තිබිණි...ඊට හේතුව අර මහා ඇඳුම් කන්දය...

මෙවැනි අවස්ථාවලදී බොහෝ විට කරන්නාක් මෙන් බොහෝ උදවිය තම තමන්ගේ ගෙවල්වල අල්මාරි කුනු බාල්දි අහු මුළු සෑම තැනම පුරවා තිබු කුණු ගොඩවල් රැසක් අස් පස් කොට තිබුණි...මනුස්සයෙකුට අදින්නට තබා සිතන්නටවත් නොහැකි කුණු ගද ගහන කිළිටි රෙදි වැඩි ප්‍රමාණයක් අතර අතරින් පතර භාවිතා කල හැකි අන්දමේ රෙදිත් නොතිබුණාම නොවේ..එහෙත් විපතකදී වූවද මිනිසකු විසින් තවත් තමන්ම වැනි වූ මිනිසෙකුට දිගු කරනු ලබන පරිත්‍යාගශීලී දෑතකින් දිය හැකි අන්දමේ ඇගළුම් ඒවා අතරබොහෝ අල්ප විය...

අපගේ ඉල්ලීම වූයේ තමන් පාවිච්චි කර ඉවත් කල පාවිච්චි කල මට්ටමේ ඇති ඇගළුම් වූවත්, පාවිච්චි කල නොහැකි..අඩුම තරමේ ඉවත ලෑමේදී සෝදා පිරිසිදු කරවත් නොතිබූ හඩු ගද ගසන පට්ට ගිය ඇදුම් රාශියක් මෙම එකතුවෙහි විය...

මෙහිදී මිනිසුන් ක්‍රියා කොට ඇති ආකාරය හා ඔවුනගේ සිතුම් පැතුම් පිළිබඳව දීර්ඝ ලෙස විග්‍රහ කිරීමට යාමට මා බලා පොරොත්තු නොවන්නේ.. මෙය බොහෝ අයට වෙනස් වෙනස් අන්දමෙන් දැකිය හැකි කාරණයක් වන නිසාවෙනි..

විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවකදී අතට අහු වෙන කොයි දේ හරි දෙන එක ලොකු දෙයක් නොවේදැයි කෙනෙකු ට ප්‍රශ්න කල හැකි බව මා දනිමි.

එසේම දෙන දේ හොඳ හිතින් දෙනවානං මොනවා දුන්නම මොකෝ යනුවෙන් ප්‍රශ්න කල හැකි බවද මා දනිමි.

නමුත් හෘද සාක්ෂියට එකඟව තමුන් මේ ඇත්තටම දෙනවාද නැත්තං හිත්වල තියෙන ලෝබ කම නිසා මෙතෙක් කලක් කුණු ගොඩට හෝ විසීකරන්නට අකමැත්තෙන් තිබූ දෙයක් පින් පිණිසයැයි කියා සිතට කියා ගනිමින් නොදී බැරි කමට දෙනවාදැයි තම තමන්ම විමසා ගත යුතුය.

මේ දේවල් අප දෙන්නේ අප වැනිම වූ තවත් ආත්ම ගරුත්වයක් ඇතිව සිටින මිනිසකු සඳහාම නොවේදැයි මොහොතක් හෝ කල් පනා කරන්නේ නම්...?
....................................................

අවසන අපට සිදූ වූයේ ලැබූ තිබූ දේ වර්ගීකරණය කිරීමයි...

මුදල්..
වියළි ආහාර ද්‍රව්‍ය
හා ඇදුම් පැළදුම් මේ අතර විය...

මුදලින් ඒ හැටි ප්‍රමාණයක් එකතු වී නොතිබිණ..මට මතක ඇති අන්දමට රුපියල් තුන් දහසත් හාර දහසත් අතර ප්‍රමාණයක් විය...
එහිදී කිව යුතු තවත් දෙයක් නම් ලේඛණ වල සඳහන් මුදල් ප්‍රමාණයට වඩා ලැබී තිබු මුදල වැඩි වී තිබීමයි...
එසේ වන්නට හේතු වී තිබුනේ සමහරක් අය තම නම ගම සඳහන් නොකර සිටින්න යැයි කියමින් මුදල් ආධාර දීමයි... එහි අරමුණු දෙකක් ඇත..ඇත්තෙන්ම සමහර උදවිය තම නම ගම ප්‍රසිද්ධ කර ගැන්මට නොව අවංක සිතින් ආධාර කිරීමට බලා පොරොත්තු වීම නිසා එසේ පවසන අවස්ථා බොහෝය...

නමුත් ඔවුන් වැනි අය නිසාම සමහර වංචාකාර උදවියට ආධාර මුදල් වංචා කිරීමට අවස්ථාවක් උදා වෙයි..එබැවින් එසේ කරනු ලබන්නා වූ පින්වතුන් ඒ කරුණ ගැන සිතා කටයුතු කිරීමත් යෙහෙකි.

දෙවන පිරිස නම් තමන් දුන් මුදල අන් අය දැන ගැනීම හරහා තමන් හට සමාජයේ ඇතැයි කියා තමන්ම සිතා සිටින නම්බුව යැයි කියා මමන් විසින්ම කියා ගනු ලබන දෙයට හානි වීම වලක්වා ගැනීමයි...එබැවින් තමන් දෙනු ලබන මුදලට වඩා යමක් සමාජයට තමා විසින් දිය යුතුව තිබුණා යැයි සිතන ඔවූහූ විසින්ම තම ආධාරය පහත් කොට සිතා මෙසේ ක්‍රියා කරති...

මෙහිදී ඔවුන් බලා පොරොත්තු වන තවත් දෙයක් ඇත..එනම් තමා දුන් මුදල ආධාර එකතු කරන්නට ආ අය විසින් යටි මඩි ගසනු ඇතැයි යන්නයි..එසේ වීම හරහා තමාගේ ආධාරය පිළිබඳව කිසිවකුට හෝ පැවසීමට එම ආධාර එකතු කරන අය නොපෙළෙඹේවී යැයි සිතා එවැනි දේ කරනු ලබයි...ඇත්තෙන්ම ඔවුන් ගේ අදහස ක්‍රියාත්මක වන අවස්ථාව බොහෝ බහුල බවත් කිව යුතුය...

එහෙත් එවැනි අරමුණු ඉෂ්ට වීමට නම් ආධාර එකතු කරන්නන් වංචාකරුවන් වීම අනිවාර්ය විය යුතුය.
නමුත් ආධාර එකතු කරන්නට ගිය පොඩි උන් විසින් අවසානයේදී දෙකට තුනකට නවන ලද කොල කැබලි කිහිපයක් මා වෙත ඉදිරිපත් කරන ලදි..එහි සදහන්ව තිබුනේ එවැනි ප්‍රධාන ආධාර පත්‍රයට බැහැරින් ආධාර කල අයගේ නාම ලේඛනය විය...
පොඩි උන් සමග පොදු වැඩවලදී කටයුතු කිරීමෙන් ලද හැකි යහපත් ප්‍රතිඵල මෙවැනි සිදු වීම් හරහාම තේරුම් ගත හැකිව තිබිණි...

දෙවැනිව තිබූ වියළි ආහාර ප්‍රමානය වෙන් කිරීම ඒ හැටි අපහසුවක් නොවීය...

අපහසු කාරණය වූයේ ඇඳුම් පිළිබඳව කටයුතු කිරීමේදීය..එහෙත් සෑම දෙනාම සුළු මොහොතක කතා බහකින් පසුව ගත හැකිව තිබූ හොඳම තීරණය ගැනීමට පසුබට නොවූහ...

ඒ අනුව නාස් අකුලා ගනිමින් බොහො අමාරුවෙන් රෙදි පිළී වර්ග කිරීමටත් සුදුසු ඒවා පිළි වෙලකට නවා තබා ඇසුරුම් කිරීමටත් කටයුතු යෙදිණි...අවසානයේ යහපත් ඇදුම්වලට වඩා වැරහැලි ඇදුම් ප්‍රමාණය අධික විය...
මෙම ඇදුම් වලට කල හැකි යමක් නොවීය..නැවත සොයා බලා ආපසු භාර දීම හෝ..ඒවා අනුන්ට පෙනෙන සේ තැබීමද කල නොහැකි විය...එසේ යැයි කියා පන්සල ඇතුලත ඒවා තැබීමත් කල නොහැකිය...

එබැවින් ආවාසය පිටුපස තැනක ඒවා ගොඩ ගසා තැබුනු අතර ඒ සඳහා සුදුස්සක් කිරීම පසුවට කල් තබන ලදි...
පසුව කල එකම කටයුත්ත වූයේ මදක් රෑ බෝ වූ පසුව ඒසේ වූ මහා කුණු ගොඩකට අප විසින් ගිනි ලෑම පමණි... පසුව දැන ගන්නට ලැබුණු ආකාරයට සෑම ආධාර එකතු කල කණ්ඩායමටම මෙම අත්දැකීමට මුහුණ පාන්නට සිදුව තිබූ අතර..ඔවුන්ගේ ක්‍රියාවලියත් අපගේ ක්‍රියාවලියට වෙනස්ව තිබුණේ නැත.

කෙසේ හෝ සවස හතර පමණ වන විට මෙම භාණ්ඩ සියල්ල සූදානම්ව තිබුනද ඉන් එහාට කල යුතු දේ පහසු නොවීය...

වාහනයක් සොයා ගැනීමත් තරමක අසීරු කරුනක් වූයේ..වෙන දිනකදී නම් පහසුවෙන් සපයා ගත හැකිව තිබූ සියළුම වාහන බොහෝ අය විසින් තම තමන්ගේ නෑදෑ මිතුරන් සෙවීම සදහාත් සිදුව ඇති විපත දැක ගැනීම සඳහා රැගෙන යාමත් නිසාය.

එසේ වූවද කෙසේ හෝ වාහනයක් සොයා ගැනීමත් කල හැකිව තිබුනු මුත්..වාහනයකට සෑහෙන ආකාරයේ භාණ්ඩ රැස්ව නොතිබිණ...

එසේ වූවද එක්ව සිටි ගැටවුන්හට කෙසේ හෝ අදාල දේ දැක ගැනීමට යාමට දැඩිව උවමනා වී තිබිණි.
නමුත් මා ඔවුනට වඩා වගකීමක් ඇතිව කටයුතු කල යුතුව තිබිණි... වේලාවේ හැටියට අදාල දේ දැක ගැනීම පෞද්ගලික වශයෙන් අපහට අමුතු අත්දැකීමක් විය හැකිව තිබූ මුත් ඉන් අපට හෝ විපතට පත්ව උන් අයට අත්වන සෙතක් නොමැත.

එහෙයින් එක්ව සිටි කොළු ගැටවුන්ට තිබෙන තත්වය අසීරුවෙන් මෙන් පැහැදිලි කර දෙන්නට මා හට සිදු විණි...

මේ මොහොතේදී කල යුත්තේ අප එහි ගොසින් දැක සෑහීමට පත්වීමට වඩා එපිටින් ගිය දෙයක් බව ඔවුනට අවබෝධ කරදීම තරමක වෙහෙසක් දරා හෝ අවසන මා හට හැකි විණි..නමුත් බලාපොරොත්තු කඩ වීම හරහා කීප දෙනෙකුගේ මුහුණු බිමට බරව තිබිණ...

ඔවුන් සෑහීමකට පත්වන ආකාරයේ දෙයක් මෙන්ම ඒ හරහා ඇතිව තිබූ තත්වය යටතේ අප විසින් කල යුතුව තිබෙන කටයුත්තට වැඩි අරුතක් දීමත් කල යුතුව තිබිණි.

ඒ පිළිබඳව කටයුතු කිරීමට ප්‍රථමව දැනට එකතුව තිබෙන දේ පිළිබඳව කල යුත්තක් කල යුතුව තිබිණි..ඒ අනුව කොළු ගැටවුන් කිහිප දෙනෙකු යවා අසල පන්සල් විමසීමි. මේ වන විට දුරකථන මාර්ග හරහා සම්බන්ධතා ගොඩ නැගීම අසීරුව තිබිණි...තිබුනත් පන්සලේ තිබූ අපූරූ දුරකථනය වූ "රංකතා" නැමැති දුරකථනය හරහා කතා කිරීමට වඩා පයින් ගොස් පණිවිඩය කියා ඒම පහසු විය..පන්සල හා බැඳි මෙම දුරකථන පිළිබඳව වෙනම කතාවක් ඇතත් එය මෙ‍හි සඳහන් කිරීමට යෑම මෙය සුනාමි කතාව නොව අරාබි නිසොල්ලාසය වීමට හේතු වන්නක් බැවින් එය පසෙකින් තබමි.

ඒ අනුව අසල පන්සලක මේ වන විටත් සකස් වෙමින් පැවති බත් පාර්සල් බැදීමේ ක්‍රියාවලිය සඳහා සියළුම වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයත් එම පන්සලෙන්ම පිටත්ව යන්නට නියමිතව තිබූ ආධාර බෙදා දීමේ පිරිස අත‍ට අනිකුත් සියළුම ආධාර ද්‍රව්‍යත් භා කලෙමු..ඒ සඳහා එම පන්සලෙන් අප වෙත රථයක් එවා තිබූ අතර අප සියල්ලන්ම එකතුව අප සතුව තිබූ ආධාර ද්‍රව්‍ය සියල්ලම එයට පටවා දුන්නෙමු.

භාණ්ඩ රැගත් රථය පන්සලෙන් පිටත්ව යද්දී කොළුවන්ගේ මුහුණු මලානිකව ගොස් තිබිණි... ඔවුන් බලා පොරොත්තු වූ ආකාරයට මුහුදු කරයේ සවාරියක් යෑම ඔවුනට අහිමි වීම එම මලානික වූ මුහුණු යට තිබූ කතාව විය...

සියළුම ආධාර ද්‍රව්‍ය අසල පන්සලට භාර දී අවසන මා අත ලැබී තිබූ මුදල් ආධාර ඉතිරිව තිබිණ...
මැලවී ගිය මුහුණු මා ඉදිරියේ තිබියදී අත ඉතිරිව ඇති රුපියල් හාර දහසකට ආසන්න මුදල දෙසත් බලා කුමන හෝ දෙයක් කල යුතුය යන සිතිවිල්ල සිතේ ඇති කරගත්තෙමි...ඒත් සමගින්ම මා ඔවුන් හා කතාවට වැටුනෙමි...

"මොකද මල්ලිලා නිකං මැල වෙලා ගිහින් වගේ..."

"මැල වෙලා නොයා තියෙයිද හාමුදුරුවනේ..මදැයි අපි වැඩේ බලන්න යන්න හැදුවා..ගෙවල් වලින් අපිව යවන්නේ නැති හින්ද තමයි හාමුදුරුවොත් සෙට් කරගෙන යන්න අපි මේකට අත ගැහැව්වේ මදැයි කොලා..."

ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වීම වචන හරහා පිටට පැමිණෙමින් තිබුණි...

"ඒක ඇත්ත බං කොල්ලනේ..ඒත් තේරුමක් නැති දෙයක් කරලා මොකටද..?"

"ඒ උනාට හාමුදුරුවනේ..දැන් ඉතිං අපි කොහොමද මේක බලන්න යන්නේ..?"

"අනේ බං අපි බලන එකේ නෙවේ වැඩේ තියෙන්නේ..අපි කරන දේ..ඒත් උඹලට මේ වැඩේ ගැන හිතට හරි නැහැ තමයි..අපි බලමු මොනවා හරි කරන්න..හෙට උදෙන්ම වරෙල්ලා කට්ටියම..අපි ඒක හෙට බලමු..කොහොම හරි උඹලට වෙලා තියෙන දේ පෙන්න ගෙන ඒ එක්කම තව මොනවා හරි දෙයක් කරමු..."

එතැනින් කතාව අවසන් වූ අතර රාත්‍රිය පුරාම මා සිතන්නට වීමි. මෙහිදී ඇතිව තිබෙන විපතේදී කටයුතු කිරීම මෙන්ම පන්සලේ දියුණුව රැදී තිබූ අනාගත දායක පිරිසගේ සිත් නොතලා කටයුතු කිරීමත් අප විසින් කල යුතුව තිබිණ...රැය පුරාවට සිත වෙහෙසවා කල හැක්කක් ගැන සිතා ගත නොවූ තැන හෙට උදෑසන වන විට ඇති තත්වය පිළිබඳව සොයා බලා සුදුස්සක් කරන අදහසින් සිතීම අතැර දැමුවෙමි.

පසු දිනට එළි විණි...

7 comments:

  1. දෙයියනේ කියල අපේ පැත්තේ අයට නම් අලුත්ම අලුත් ඇදුම් හම්බුනා. මන් නම් ගෙදර අවේ සුනාමියට පස්සේ මාසයක් ගියාම......

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම් සුනාමිය..

    ReplyDelete
  3. මාරයා මල්ලි විශ්වාස කරය්ද දන්නෙ නැහැ මං මේ කියන එක, අපේ පන්සලෙත් එකතු වුනා ඔය විධියට ගඳක් ආවෙ නැතත්, කාටවත් දෙන්න තියා හිතන්නවත් බැරි ඇඳුම් තොගයක්. ඇත්තටම කීවොත් ඒවා කන්ටේනර් කීපයක පටවන්න තරං. මුදල් සහ අනිත් ආධාරත් එකතු නොවුන නෙමේ, හැබය් වැඩක් නැති දේවල් ඉවත් කොරන්න සංවිධායක කොමිටියට වෙනම වියදමක් දරන්නත් වුනා.

    ReplyDelete
  4. ඔය ඇදුම් ප්‍රශ්නේ අපිටත් ආවා,,ගෙවල් වල විසිකර ගන්න බැරිදේවල් තමා ඕවා....

    ReplyDelete
  5. ඇත්තටම කීවොත් ට්සුනාමි ආධාර වලට බෙදන්න කියලා රාජ්‍ය නොවන සංවිධාන ව්ලින් ගෙනාපු ඇඳරෙදි . මදුරු දැල් තව තව දේවල් අනතුරට යන්තමින්වත් ලක්නොවුනු අපේ පැත්තේ අයගාව තවම තියනවා . මට හිතෙන විදිහට මේ අපේ පලාතේ ඔය සහනාධාර බෙදීම හරියට උනේ නෑ ...

    ඇත්තම කීවොත් අපේ ගෙදරත් තියනවා සුනාමි ආධාර මදුරු දැලක් ! අපි උස්සලා ගත්ත එකක් නෙවේ . ලඟපාත ගෙදරක කෙනෙක් ගෙනාපු ඒවගෙන් අපිටත් ලැබුන එකක් ..කියන්නත් ලැජ්ජයි ඒත් සත්‍ය එයයි !

    ReplyDelete
  6. 'පොඩි උන් සමග පොදු වැඩවලදී කටයුතු කිරීමෙන් ලද හැකි යහපත් ප්‍රතිඵල මෙවැනි සිදු වීම් හරහාම තේරුම් ගත හැකිව තිබිණි...'
    ඒ කතාවනං ඇත්ත තමයි.

    ReplyDelete
  7. (දැන් ඉතිං ඉස්සර වගේ කිසිම දේකට පන්නගෙන යන ගතියක් නැති හින්දා ලොකුවටම නැති උනත් පුංචියට හරි වැඩේ පටන් ගන්න ඕන කියලා හිතුනා)

    ඊ ලඟ වතාවෙ ආවාම මාරයාට කියලා කේන්දරේ බලා ගන්න ඕන..වැඩේ පටන් ගත්තාම අපටත් කියන්න.....

    ReplyDelete