28 April 2011

වේගවත් වැඩ සටහනක්...මාර සුනාමියේ අත්දැකීම්...

නැවත ඇමතීමක් ගැන ඒ හැටි බලාපොරොත්තුවක් නොතිබි උන්වහන්සේ මාගේ ඇමතීමෙන් සතුටට පත් වූ අතර...මා විසින් උන්වහන්සේ හට දැනට තිබෙන තත්වය පවසා වැඩේ කෙරෙන හැටි පිළිබඳව කතා කලෙමි...

"ලොකු හාමුදුරුවනේ..මම දැන් මේ ගමේ ටිකක් ඇවිදලා ආව ගමන්..මං හිතන්නේ මට පුංචියට හරි එක ගෙයක් හදලා දෙන්න පුළුවන් වෙයි..හැබැයි ඉතිං ඒ හැටි කාලයකට නෙවෙයි මාස කීපයකට හරි යන විදියට ලෑලි වලින් තමා..."

"අනේ අපේ හාමුදුරුවනේ..මේ වෙලාවේ හැටියට පොල් අතුවලින් හරි කමක් නැහැ මඩුවක් ගහලා දුන්නත් ඇති..ඒ තරමට මිනිස්සුන්ට වෙන්න තියෙන විපත් ඔක්කෝම වෙලා තියෙන්නේ..."

"හොඳයි හාමුදුරුවනේ එහෙනම් මම එනවා..ඒ වෙලාව දැන්ම කියන්න බැහැ..ඒත් මේ ටික හරිගස්සගෙන මම හැකි ඉක්මනට එනවා..."

"හොඳමයි අපේ හාමුදුරුවනේ..ලොකු දෙයක්"

එතැන් පටන් පටන් ගත්තේ කාලය සමඟ සටනකි.මුලින්ම පරීක්ෂා කලේ එදින සහ පසුවදා දාන මාන හිමියන්ගේ සටහනයි..ඔවුන්ගේ ආර්ථික මට්ටම් පිළිබඳව මා හට තිබූ අවබෝධය අනුව..තවත් අතිරේක දාන මාන දීමට මේ වන විට ඉල්ලුම් කර තිබූ කිහිපදෙනෙකුට කතා කොට අද සහ හෙට දින වලදී පන්සලට කෑම බීම ටිකක් යහමින් ගෙන්වා ගන්නට සලස්වා අනතුරුව තවත් දන්නා හඳුනන දායකයින් කිහිප දෙනෙකු හමුවන්නට යායුතු බැවින් පන්සල අවට සිටි අයකුගේ තුන්රෝද රථයක් සූදානම් කරගෙන වට වන්දනාව පටන් ගතිමි.

ගමන අවසානයේ සෑහෙන ප්‍රතිඵලයක් ලැබී තිබිණි අවශ්‍ය පමණටත් වඩා ගස්ද.. සිමෙන්ති..මුදල් පමණක් නොව ගස් ටික නොමිලේම ඉරා සකස් කරදීමට ලී මෝලක හිමිකරුවකු පොරොන්දු වූයේ ඉමහත් සතුටිනි.

වටය ගසා පන්සලට එන විට කැති මන්නා පොරෝ රැගත් කොළු හමුදාව සූදානම්ව සිටි අතර වහ වහා ඔවුන් සමඟ ඊ ළග වටය ආරම්භ කලෙමි...

අපගේ නිවාස වැඩපිළිවෙලට ගස් පූජා කල උදවියගේ වතු පිටිවලට ගොස් එම ගස් කැපීම පහසු කටයුත්තක් නොවීය..අඩි හැට හැත්තෑවකට වඩා උසැති ගස් කපා බිම හෙළීම පල පුරුදු අය විනා අන් අය කරන්න කරන්නට යෑම පහසු කටයුත්තක් නොවීය..කෙසේ හෝ අහල පහල උදවියත් කොළු පිරිසත් එකතු කරගෙන සෑහෙන තරමේ ගස් කිහිපයක්ම බිම හෙළා ගැනීමට අපහට හැකි වූ අතර අප එහිදී අපට ලැබී තිබූ ගිනි සපු ගස් ටික මුලින්ම බිම හෙළා දැමීමට ක්‍රියා කල අතර දන්නා කියන අයකුගේ ට්‍රැක්ටරයකටඑම ගස් පැටවූ අතර..එම ගස් අතර මැරී ගිය කොස් ගසක කොටයක්ද තිබීම නිසා ට්‍රැක්ටර් හිමිකරුවා තරමක් බියක් දක්වන්නට වූයේ එය ප්‍රවාහනයට තහනම් ගසක් වූ හෙයිනි...එහෙත් හැකි ඉක්මනින් මා තුන් සක රියේම පොලිසියට ගොස් ස්ථානාධිපතිතැන හමු වී මෙම කාරණය කියූ විට..

"හරි හාමුදුරුවනේ..ඔබ වහන්සේ වැඩේ කරගන්න..පිටින් පොලිසියකින් අතර මගදී නැවැත්තුවොත් හැර වෙන බාධාවක් මෙහෙන් නැහැ..එහෙම බාධාවක් ආවත් මට කියන්න ඉක්මනට.."

යැයි පවසා සිටි අතර එම ගැටළුද නිරාකරණය කරගත් පසු ගස් ටික ලී මෝල කරා ගෙන විත් ඒ වේලාවේ සිටම ඉරන්නට පටන් ගත් අතර..එම ලී ටික බලා ගැනීමට ළමුන් දෙනෙකු නවත්වා නැවතත් ගස් කැපූ තැන්වලට ගොස් ඉතිරි ගස් කැපීම කරගෙන යන ලදි..අපට හරහට හිටියේ රෑ බෝවීමයි..ඒ වන විට සුනාමිය පැමිණ පැය 30ක් ඉක්මවා තිබිණි. රෑ බෝවූ බැවින් වැඩය නවතා දමන්නට අපට සිදු වූ අතර කපා ගත් ගස් ටික ට්‍රැක්ටරයේම පටවා විහාරස්ථානයට ගෙන එන ලදි...

පන්සල අසල නිවෙස් දෙකකට දන්වා යැවූ පරක්කුවෙන් ඔවුන් විසින් රාත්‍රියට මඤ්ඤොක්කා තම්බා දීමට සූදානම්ව තිබූ අතර පන්සලට ගෙන ආ කොටන් ටික පොතු ගසා ශුද්ධ කර ඒවායේ කප්පිලි කැපීමත් රාත්‍රී කාලය පුරා සිදු උනේ තැම්බූ මඤ්ඤොක්කා ලුනු මිරිස් සමග උණු උණුවේ ගිල දමනා අතරතුරදීමය...
කෙසේ හෝ රාත්‍රි 1 පමණ වන විට ගෙනවිත් තිබූ සියළුම කොටන් ටික අවශ්‍ය මට්ටමට සකස් කර අවසන් විය...

දැන් ඉතිරිව තිබුනේ ‍ඉතිරි ගස් කිහිපය කපා ගෙනවිත් මදි පාඩු කනු දෙක තුනක් සකස් කර ගැනීම හා සි‍මෙන්ති ගල් හා සෙවිලි තහඩු පිළිබඳව සොයා බැලීමත්ය... එදින රාත්‍රියේදීම ළමයින් විසින් කනු සකස් කරන අතර ඔවුනට කොටන් මැන දී කැපිය යුතු තැන් හා කැපිය යුතු ආකාරය කියා දී නැවත වතාවක් ගම වටා වටයක් ගියෙමි...

එම රාත්‍රී සංචාරය තුලදී හෙට දින කෙසේ හෝ ගමන යෑම සඳහා වාහන සොයා ගැනීම අරමුණ විය...

ඒ අනුව ගමේම අළුතින් නැගීගෙන ව්‍යාපාර කිහිපයක හිමි කරු වූ කළු අයියා විසින් තමන් විසින්ම ඩීසල් ගසාගෙන තමාට අයත් කැන්ටර් රථය රැගෙන ගමනට එකතු වීම බොහෝම සතුටින් කරන ලදි... ඊට අමතරව දායක ප්‍රදේශයේ කෙලවරක සිටි තවත් අයකුගෙන් තවත් ටිපර් රථයක් ඩීසල් අප විසින් සපයා ගැනීමේ පොරොන්දුව මත ලබා ගන්නට හැකි විය...

අනතුරුව ගමේ සිටි වඩු බාස් වරයකු හා මේසන් බාසුන්නැහේලා කිහිප දෙනෙකු සොයා යන්නට වූයේ කරුමාන්තය දන්නා අය රැගෙන යාම පහසුවක් වන බැවිනි..මන්ද ගමේ සිටියදී නම් මා වහලවල් උඩ නැගගෙන වැඩ කිරීම දායකයින්ට ඒ හැටි අමුත්තක් නොවූ අතර නිතරම විහාරයේ ගොඩනැගිලි වල වහල පිළිසකර කටයුතු වලදී මා සිටියේ වහලවල් උඩටම වී බාසුන්නැහේලා සමගම හරි හරියට වැඩෙහි යෙදෙමින් බව ඔවුන් හොඳින් දන්නා කාරණයක් වූවද පිටත තැනකට ගොස් එසේ උස්තැන් වල නැග වැඩ කිරී‍මෙන් අප පිළිබඳව නොදන්නා උදවියට වැරදි අදහස් සිත් තුල ජනිත කරවාලීම සුදුසු නොවන බැවිනි.

ඒ අනුව වඩු බාස්වරයකු හා ඔහුගේ ගෝලයාද..මේසන් වැඩ කරමින් නිතරම පන්සලේ වැඩවලදී පැමිණ උදව් කරන තරුණ මේසන් බාස්වරයකුද ගමනට සූදානම් කර ගන්නා ලදි.ඇත්තෙන්ම මේ සූදානම් කර ගත් වඩුබාස්වරයා හා ඔහුගේ ගෝලයා ඇර මේගමනට එක්වූඅන් සියළු දෙනාම තරුණයින් හා කුඩා කොල්ලන් විය. නමුත් එම වැඩිමහල්ලන් දෙදෙනා රැගෙන නොගියානම් කොයි තරම් හොඳදැයි මා හට අවබෝධ වූයේ පසුවය...

කෙසේ හෝ අවශ්‍ය පිරිස කතා බස් කරගෙන මා පන්සලට පැමිණ නැවතත් පැමිණ කොළු පැටවුන් විසින් කරගෙන යන කාරිය අතරදීම හෙට දින කරන්නට නියමිතව ඇති වැඩ පිළිවෙල විස්තර කරදී දුරකථන ඇමතුමක් මගින් මුහුදු මහා විහාරයේ ලොකු හාමුදුරුවන්ටද පැහැදිලි කර දෙන ලදි...

සැලැස්ම බොහෝ සරලය..පසුදින සවස ගමන් ආරම්භ කොට අනිද්දාට එළි වෙන්නට පොතුවිල් කරා ගොස් එදා දහවල් කාලය අතරතුරදී අපගේ කටයුත්ත සිදු කොට රෑ වෙන්නට කලින් එයින් පිටත්ව එන්නට සැලැස්ම සකස් කලෙමි. මෙසේ වූ පැහැදිලි කිරීම් රාශියක් අවසන සියළු කටයුතු එදිනට අවසන් කොට කොල්ලන් සියළු දෙනාම පන්සලේ තැන තැන වැටී නිදා ගත් අතර කිහිප දෙනෙක් නිවෙස් බලාද පිටත්ව යන ලදි...මාද නින්දට වැටිණි

එලෙසින් සුනාමියට පසු දිනය නිමා වී ගියේය...

18 comments:

  1. අර කියුබන් සුරුට්ටු ලග තියාගෙනද ඊයේ නිදා ගත්තේ.(මේ ලිපියට අදාළ නැති දෙයකි.)

    ReplyDelete
  2. ඉක්මනට ඉතුරැ ටික

    ReplyDelete
  3. මේ පන්සලේ හාමුදුරුවෝ නම් සිරා හමුදුරුවෝ.... උන් වහන්සේ ඉතා දැඩි පරිශ්‍රමයකින් තමයි මේ පන්සල ආරක්ශා කරගෙන ඉන්නේ... ඉස්ලාම් අන්තගාමීන් විසින් මේ පංසල ක්‍රම ක්‍රමයෙන් යටපත් කර ගනිමින් ඉන්නේ.... එහි සීමාවන් එන්න එන්න පොඩි කරමින් ඔවුන් නිවාස සාදමින් ඉන්නේ... මුහුදු මහ විහාරය කියන්නේ විහාර මහා දේවිය ගොඩ බැස්ස තැන කියලත් මතයක් තියනවා.... අද වෙනකොට ඒ පංසලට ඇතිවෙලා තියෙන්නේ ඉතා ශෝචනීය තත්ත්වයක්... පොලීසිය විශේශ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව නැත්නම් සමහරවිට මේ පන්සල නැතිවෙන්නත් පුළුවන්.

    මෙය ආගම් වාදයක් ඇති කරලීම පිණිස ලියූවක් නෙවෙයි... එක් ආගමක අන්තවදීන් පිරිසක් තවත් ආගමක ආගමික මධ්‍යස්ථානයක් විනාශ කිරීමට කටයුතු කිරීම නම් දුක්ඛදායී සිදුවීමක්.

    ReplyDelete
  4. මාර හාමුදුරුවො ගම ඇතුලෙ මාර සුනාමියක් ඇති කරලනෙ.
    ඉතුරු ටිකත් ලියමු.

    ReplyDelete
  5. දාමු දාමු ඉතුරු ටිකත්.මහා පුන්ය කර්මයකට ලක ලෑස්ති වෙනවා වගේ.
    @ අභිත - මාත් දෑක්කා ඔක ලිපි කීපයක්ම.බලදාරින් ඇස්කන් පියන් ඉන්නෙ දේශපාලන වාසි නිසයි කියලා මට නම් හිතෙන්නේ,

    ReplyDelete
  6. මේ ටිකේම මේ කතා මාලාවේ කොමෙන්ටු වලට පිළිවෙලකට උත්තර බදින්න බැරි උනා..ඒ එක දිගටම මේක ලියාගෙන යන්න ඕන හින්දයි.

    ඒත් අභිතගේ කොමෙන්ටුව දැක්කම කතා නොකර බැහැ..මොකද ඔය කතාව මම ලියනවද නැද්ද කියලා සෑහෙන්න කල්පනා කරපු දෙයක් හින්දා...ඒත් දැන් ඒ ගැනත් ටිකක් ලියන එක හොඳා කියලා හිතුනා..
    ස්තූතියි අභියා

    ReplyDelete
  7. ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ.........................මුහුදු මහ විහාරය ගැන දැනගත්ත හැම දේම ලියන්න.

    ReplyDelete
  8. අපේ පන්සලේ හාමුදුරුවොත් ආධාර එකතුකරගෙන කට්ටියක් එක්ක සුනාමියට පස්සේ හම්බන්තොට පැත්තේ ගියා මතකයි.
    ඉතුරු ටිකත් ඉක්මනට දාමු.....

    ReplyDelete
  9. කොමෙන්ට් වලට උත්තර නැතුවට අපි තරහ වෙන්නැහැ, කතාව ලියාගෙන යමුකෝ.

    ReplyDelete
  10. මොනවා කියන්නද මලේ.... අපි මොනවා කිව්වත් නොකිව්වත් ඒ පුණ්‍ය කර්මයන් වල විපාක ඔයාගෙ පස්සේ එනවාමයි...

    ReplyDelete
  11. මේකට පිලිතුරු කමෙන්ට් අවශ්ය නෑ,,කතාව ගෙනියමු..

    ReplyDelete
  12. ඉක්මනට ලියල ඉවර කරන්නකෝ....අපිට පිළිතුරු නැති උනාට කමක් නෑ

    ReplyDelete
  13. මාරෙ අයියා යහතින් ඉන්නවා කියලා පෙන්නෙන්නවත් අපි හැමෝටම පොදුවේ පොඩි කෙමෙන්ටුවක් දීලා යන්න .ඒ ඇති නැත්තං කමෙන්ට් දදා ඉන්නකොට ලියන්න බැරි වෙයි .

    මම මාරයාගේ හෝරාව කියවනකොට මොනවා හරි කනවා . කෑමක් ලඟතියාගෙන මාරයාගේ හෝරාව කියවන එක දැන් පුරුද්දක් වෙලා ඇයිද මන්දා බං ..

    අයියා පොතුවිල් වලටත් ඇවිල්ලා එහෙනම් ....බලමූ...

    ReplyDelete
  14. මාරයියෙ අවන්කවම හිතෙන දේ කියන්නෙ තරහ වෙන්ඩ එපා... කතන්දර ටික නම් බෝරින්....

    ReplyDelete
  15. තරහා වෙන්නේ මොකටද මල්ලියේ..එහෙම කිව්ව එක හුගාක් වටිනවා...

    ඒත් මේ ටික මේ විදියට යන්න වෙනවා..මොකද මේකත් මම කියලා තියන්න ඕන කතාවක් හින්දා..කොහොමටත් තව කොටස් කිහිපයක්ම මේක ඇදිලා යනවා...ඒක නවත්තන්න බැහැනේ...

    සමා වෙයං මලයා..ආයේම කම්මැලි නැති හරියක් අහු උනොත් ඒ හරියේ ඉඳලා එක්කාසු වෙමුකෝ...

    ReplyDelete
  16. මට නම් මාර උන්නාන්සෙ, සිවුර පැත්තකින් උස්සගෙන එහෙම විධි විධාන දෙමින් වැඩේ කොරගෙන යන හැටි මැවිල පේනව, හැබෑටම පැවිදි කාලෙ නම මොකද්ද දන්නැ.

    ReplyDelete
  17. එළ එළ එහෙමයි කියල නොබලා ඉන්නේ නැහැ... :-)

    ReplyDelete
  18. අද තමා මරයියෙ කියෙවුවේ....
    ඉස්සරහට කියොගන යන ගමන් 30ස් ගානක් පොස්ට් තියනව කියවපු නැති...

    ReplyDelete