29 April 2011

සුනාමිය සොයා ගමනේ යා... මාර පන්සල් කතාවේ ඉදිරි පියවර...

සුනාමිය පැමිණියේ 26 වැනිදාවකය...
එයින් පසු දිනය බොහෝ සෙයින් කාර්ය බහුලව අවසන් කරන්නට යෙදුණි.

උදා වූයේ 28 වැනිදා නම් වූ ව්‍යසනයෙන් තෙවැනි දවසයි...මේ වන විට සිදුවීමෙන් පැය "44" ක් පමන ගෙවී තිබුණි...

.............................................

පන්සලේම වැටී නිදා සිටි කොළු ගැටවුන් අතරින් සමහරක් උදෑසනම ගෙවල් වලට ගොස් මුහුණ කට සෝදා පැමිණි අතර..සමහර අයවළුන් හැකි අන්දමට පන්සලේම සිටිමින්ම එම කටයුතු සිදු කරගෙන උදෑසනින්ම නැවතත් ගස් කැපීමට යන්නට සූදානම් විණී...
කිසිවෙකුටත් ආහාර පිළිබඳ ගැටළුවක් නොවීය..පෙර දින සැලසුම් කල පරිදි කෑම බීම ටික නියමාකාරයෙන් භාර ගත් උදවිය විසින් ගෙන එන ලදි..

මෙයටම තවත් කාරණාවක් එක් කල යුතුය...
පන්සල් කෙරුවාවේදී සැලකිලිමත් විය යුතු ප්‍රධානම කරුණක් නම් පේරු දානයයි...
මොන දේ කලත් දවසේ දාන වේල් දෙක හරියාකාරව ලැබීම සිදුවනවාද යන්න සොයා බැලිය යුතු අතර..කිසිදු හේතුවක් නිසා දානය ගෙන එන වේලාවට දානය භාර ගැනීමටත් බුද්ධ පූජාව තැබීම..පින් වාක්‍යය කිවීම වැනි දේදී හිමිනමක් පන්සලේ වැඩ සිටිය යුතුමය...

නොඒසේ නම් දානය ගෙන එනු ලබන දායකයාගේ හිත නරක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ...

මෙතනදී මා දැක ඇති ආකාරයට බොහෝ හිමිවරුන්ට "මොනවා උනත් දින පතා ගෙන එන දානයනේ" යැයි සිතා මෙම පේරු දානය පිළිබඳවවත් එය ගෙන දායකයාගේ මහන්සිය හෝ සිතුවිලි පිළිබඳව වත් ඒ හැටි අවබෝධයක් නොමැත..

නමුත් අපට දිනපතා ලැබෙනවා වූවද..දායකයාට ඒ සඳහා අවස්ථාව ලැබෙනුයේ සෑහෙන කලක් බලාගෙන සිටීමෙන් පසුය...සමහර විට එය මාසයකට එක් දිනක් වන අතරම..තවත් තැනක වසරකට එක් දිනක් විය හැක.

(අප විහාරස්ථානයේද මා යන විට මාසයකට දිනක් ලෙස තිබුණද..පසු කාලීනව..එනම් මාගේ පැවිද්දෙන් වසරක් පමණ යන විට එය මාස තුනකට දිනක් ලෙස වෙනස් වී..අවසාන කාලය වන විට එනම් පැවිද්දෙන් වසර පහක් පමණ යද්දී සමහරුන් හට වසරකට දිනක් පමණ වන දානද තිබුණි..)

එබැවින් මොන යම්ම හේතුවක් නිසාවත් දායකයා මහන්සියෙන් ගෙන එනු ලබන දානය පිළිබඳව අවධානය නිතරම තබා ගත යුතුමය...

නමුත් මෙහිදී පන්සලේ පැත්තෙන් සිතීමට දායක මහත්වරුනුත් හැඩ ගැසිය යුතුය..
උදාහරණයක් ලෙසින් මා විහාරස්ථානයෙහි වැඩ සිටියේ තනිවමය...
මටය කියා පෞද්ගලික කටයුතු කිසිවක් නොතිබූ මුත් නිරන්තරයෙන්ම එහා මෙහා ඇවිදිමින් කල යුතු බොහෝ කටයුතු රාශීයක් පැවිදි වී නොබෝ කලකින්ම මා කර මතට වැටුනි...

එවන් තත්වයක් යටතේ සෑම දිනකම උදෑසන 6 සිට 7 දක්වා වූ උදෑසන දාන වේලාවටත්..දහවල් 11 සිට 12 පමණ වන තෙක් දහවල දානය ගෙන එනු ලබන වේලාවත් පන්සලේ නිරන්තරයෙන්ම රැඳී සිටිම අභියෝගාත්මක කටයුත්තකි.

එය එක් අතකින් බැළු විට වරදක් කල පසු උසාවියෙන් ඇඟ බැඳ ඇති මිනිසකුගේ තත්වයට සමාන නොවන්නේද..?

සමහර විට කෙනෙකුට මෙසේ කියන්නට සිත් විය හැක..

"ඇයි ඉතිං දානෙ ගේන වෙලාවට වෙන මොකක් හරි වැඩක්නං කලින් දවසේ කිව්වනං හරිනේ දානේ නවත්වන්න කියලා.."

එය කල හැකි වැඩකි..නමුත් මොහොතක් සිතන්න..ඔබ දායකයා නම්..එම දිනය ඔබ ලබාගෙන ඇත්තේ කුමන හෝ ඔබට වැදගත් අරමුණක්..සමහර විට ඔබේ මිය ගිය ඥාතියකු සිහිකර හෝ..දුවගේ හෝ පුතාගේ උපන් දිනයක් අරභයා නම්..?

එසේ කලින් දැනුම් දී හෝ ඔබට කලකට පසුව ලැබෙන අවස්ථාව මග හැරීමට ඔබ කැමතිද..?ගැටළුව ඇත්තේ එතනය..?මොන විදියකින් හෝ ඔබේ දානය පිළි ගැනීමට හාමුදුරුවන් පන්සලේ සිටිය යුතුමයි කියා ඔබට නිකමටවත් සීතී නැද්ද..?

බොහෝවිට මෙම කාරණා නිසා දානය දීමත් පිළි ගැනීමත් යන කාරණා වලදී දෙපාර්ශවයම අවුලකට පත්වේ...

හිමිවරුන් කිහිප නමක් වැඩ වාසය කරන්නා වූ පන්සල් වලටනම් මෙහිදී යම් සහනයක් ඇත.නමුත් මා සිටියේ තනිවමය...කලයුතු වැඩ කොටස සීමා රහිතය...

ඇත්තෙන්ම සමහර විට පැවිද්දෙකු වශයෙනුත් විහාරස්ථානයක භාරකරුවකු හැටියටත් මා හට ලෙහෙසියෙන් අනිත් හිමිවරුනට නොලැබිය හැකි අවස්ථාවන් රාශියක් හිමිවිණි...

ඒ අතරින් පැවිදි වූ දින පටන්ම විහාරාධිකාරී ධූරයක් හිමි වීම සුවිශේෂී මෙන්ම අභියෝගාත්මක අවස්ථාවකි.

භික්ෂුවක් හැටියට කල යුතු සියල්ල තනිවම ඉගෙන ගැනීමටත්...දායකයින්ගේ අවශ්‍යතා පිරි මැසීමත්...යන අංශ දෙකම සමබරව කල යුතුව තිබිණි. මෙහිදි ගෘහස්ථ ජීවිතයේදී මා වරින් වර ලද්දා වූ අත්දැකීම් මාහට මනාව පිටුවහල් වූ බවද සඳහන් කල යුතුය.

මා හට වාසිදායක පැතිද තිබිණි...

එනම් කාලයක් තිස්සේ අරාජිකව පැවති විහාරස්ථානය මට උවමනා අන්දමට සකස් කර ගැනීමට ඇති බාධක අවම වීමයි. බොහෝ අවස්ථා වලදී තනි මතයට වැඩ කරන්නට පුරුදු වී සිටි මට එය සෑහෙන නිදහසක් විය..එම නිදහස මා හැකි සෑම මොහොතකම භුක්ති විඳි අතර සෑම තැනකදීම කරන කාර්යයේ වේගය වැඩි වීමට එය හේතු විය.

ඊට අමතරව පන්සලේ දියුණුව ඇවසි නම් මට උදව් කරනවා විනා කකුලෙන් ඇදීමට සූදානම් නොවන සේ මා වරින් වර කරන්නට යෙදුණ සිහි කැඳවීම් ඔවුන් මනා කොටම පිළි ගත් අන්දමත් වාසියට හේතු විය...
(මහණවූ පසු මා පළමුවෙන්ම කල දේ වූයේ දායක සභාව විසුරුවා හැරීමයි...එතැන් පටන් නැවතත් එම පන්සලේ දායක සභාවක් නොවූ අතර...අවසානයේදී මා පිටත්ව ඒමට මඳ කලක් තබා දායක සභාවක් මාගේ මුල් වීමෙන්ම පිහිටුවා දෙන ලදි)

පන්සලේ දාන මාන වලදීත් මා සිටිනා තත්වය අවබෝධ කරගත් අය වූහ...

එහිදී මා සැබෑ තත්වයම ඔවුනට ප්‍රකාශ කරන්නට යෙදුණි.

"උපාසක අම්මේ හෙට මට පන්සලේ ඉන්න හැටියක් නැහැ.මම පොතුවිල් යනවා ළමයි ටිකත් එක්ක එන වෙලාවක් කියන්නත් බැහැ..ඒ හින්දා හෙට දානේ නවත්තන්න වෙයි..මොකද කරන්නේ..?"

"ඒක නේන්නං හාමුදුරුවනේ..අපිට ආරංචියි යන ගමන..අපිත් කතා උනේ මොකද කරන්නේ කියලා..දෙන්න හිතපු දේ නොදිත් හිතට හරි නැහැ"

"එහෙනං උපාසක අම්මා කැමතිනං මට වෙන යෝජනාවක් කරන්න පුළුවන්"

"මොකක්ද අපේ හාමුදුරුවනේ කියන්න.."

"මෙහෙමයි උපාසක අම්මේ අපි අද හවස එක දෙක වෙනකොට යන්නයි හිතං ඉන්නේ..උපාසක අම්මලට කරදරයක් නැත්තං විතරක් ඔය දානෙට ලක ලෑස්ති කරපු කලමනා වලින් අපිට අද හවස ගමන යද්දි අරං යන්න බත් පාර්සල් දෙක තුනක් බැඳලා දෙන්න පුළුවන්ද..?"

"ආ හාමුදුරුවනේ ඒකනං මහ වැඩක්යෑ..කී දෙනෙක් යනවද දැන් ඔය ගමන..?"

"ඒකනං දැන්ම හරියටම කියන්න අමාරුයි උපාසක අම්මේ..කොහොමටත් පහළවක් වත් එක්කාසු වෙයි වගේ..උපාසක අම්මලා එච්චර කරදර වෙන්න එපා..පුළුවන් ප්‍රමාණයක් කියන්න මං අනිත් ටික ලෑස්ති කර ගන්නං.."

"අනේ හාමුදුරුවනේ ඕක මොකක්ද..අපි එහෙනං බත් පාර්සල් විස්සක් බැඳලා දෙන්නං.."

"එච්චරම මහන්සි වෙන්න ඕන නැහැ උපාසක අම්මේ..මොකද අපේ අර වරුසවිතාන රාළහාමිත් මගෙන් ඇහැවුවා මොනවද කෙරෙන්න ඕන කියලා..අපි උන්නැහේටත් කොටහක් බාර දෙමු..එතකොට දෙගොල්ලන්ටම පින් සිද්ධ වෙනවා නෙව..අනික ඉතිං වැඩි පිරිසක් සම්මාදං වෙන තරමටනේ පිනත් වැඩි දියුණු වෙන්නේ.."

"ඒකත් එහෙමයි නේන්නං..හා හොඳමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කැමැත්තක්"

ඔවැනි ආකාරයට කතා බස් කර පසුවදා දාන මාන රාත්‍රී දානයක් බවට පත් කර ගනිමින් දෙපාර්ශවයේම උවමනා එපාකම් පිරි මසා ගනිමින් කටයුතු කිරීම සිද්ධ උනි.

පසුවදා උදේ දානය දීමට නියමිත අය විසින් හවස බේකරියෙන් බාන ලද ගමන් පාන් මල්ලක් ගෙනවිත් බාර දුන්නේ පහුවදා උදෑසනට හෝ ගන්නට කියාය...මුහුදු කරයේ කෑම සොයා ගැන්මේ බලාපොරොත්තුවක් තබා ගත නොහැක. හෙට දින දහවලට බතක් උයා පරිප්පු ටිකක් උයා පොල් සම්බෝලයක් තනා ගැනීමට අවශ්‍ය අඩුම කුඩුමද තවත් නිවෙසකින් ලැබිණි...

උදෑසනම අවදි වී සිදු කලේ අහාර ප්‍රශ්න විසඳාලීමයි..ඉන් අනතුරුව නැවතත් ගස් කපන පිරිස එයට යොමු කර..තවත් දෙතුන් දෙනෙකු ලී මෝලට යවන ලද්දේ ඉරා ඇති ලී ටික පන්සලට ගෙන ඒමටයි...ලී මෝල අසලම සිටි අයකුගේ වාහනයකින් ඒම කටයුත්ත කර දීමට එම වාහනයේ හිමිකරු විසින් මා හට පොරොන්දු වී තිබිණ.

අනතුරුව තවත් අයකු සමග ගොඩනැගිලි ද්‍රව්‍ය අලවිසැලකට ගොස් මා සිතා සිටි අන්දමේ තාවකාලික නිවසකට අවශ්‍ය තහඩු මුදුන් උළු..යකඩ ඇන..දොර ජනෙල් සඳහා කොන්ඩිපට්ටම්..සොයිබ සරනේරු හා ඒවාට අවශ්‍ය ඇණ වර්ග බ්ලොක් ගල් සිමෙන්ති කොට්ට කිහිපයක් ආදියද මිලදී ගෙන එම ද්‍රව්‍යද අත්ට්‍රැක්ටරයක පටවා පන්සලට එවන ලදි..පෙර දින වට වන්දනාවෙනුත්..අද දින උදෑසනම ආරංචියට දුව ගෙන ආ දායකයින්ගෙනුත් ලද මුදල් ඒ සඳහා පිරි මසා ගත් හැකි විය.

ඉහත සඳහන් ද්‍රව්‍ය අතරින් මුදුන් උළු කැට වලටනම් නිරුපද්‍රිතව පොතුවිල් යෑමට නොහැකි වූ වගද සඳහන් කිරිමට සිදු වන්නේ..ගමනේදී ඒ සියල්ලම පාහේ බිඳී ගිය බැවිනි...

කෙසේ හෝ දහවල් දොළහට ආසන්න වන විට සියළුම භාණ්ඩ පන්සල් මිදුලේ තිබූ අතර තව දුරටත් සිදු වූයේ ලී කඳන් වල සකස් කිරීම් පමණි..

මන්ද සැලැස්ම සකස් කරන්නට යෙදුනේ පොතුවිල්වලදී කාලය උපරිම ලෙස ඉතිරි කර ගෙන ගෙය සෑදීමටය...

එබැවින් මෙහි සිටම හැම දේම සූදානම් පිට ගෙනයාම ඇවැසි විය...

අවසන දහවල් එක පමණ වන විට කතා බස් කරගත් පරිදිම ලොරි රථ දෙක පන්සල් මිදුලේ විය..පිරිසද අඩුවක් නැතිවම සිටි අතර මාත් සමගම පිරිස දහ අටක් පමන විය...

ලොරි රථ දෙක පැමිණි පසු සූදානම් කරගත් සියළුම දේ ඒවාට පටවන්නට වූ අතර පන්සල් මිදුලත් ඒ සමගින්ම ශුද්ධ කොට දැමිණි.දාන ශාලා අස් කර සියළු දෙනාටම කන්න බොන්න දී දහවල් දෙකට විනාඩි දහයක් තිබියදී අප ගමනාරම්භ කලෙමි.එනම් සුනාමියෙන් පසු පැය 52 ක් වැනි කාලයක් අපට ගත වී තිබිණි.

මා නැගගත් රථයට උපරිම ලෙස භාණ්ඩ පටවා අනිත් රථයට පැටවෙන භාණ්ඩ පුමාණය අඩු කොට එයට අපේ නඩයට නගින්නට සැලැස්ස වූ අතර...එම රථය අපගේ රථයට ඉදිරියෙන් ධාවනය කිරීමට උපදෙස් දුනිමි..එහි රියදුරු තරුණයෙක් වූ බැවින් රට තොට පාරවල් පිළීබඳව ඒ හැටි දැනුමක් නොවිණි.එබැවින් අතර මගදී මාර්ගය තෝරා ගත යුතු අවස්ථෘවලදී පමණක් වේගය අඩු කොට අපගේ රථයට ඉස්සර වීමට දෙන ලෙසත්..නැවතත් නිසි මාර්ගයට පිළිපන් විට අපට ඉදිරියෙන් ධාවනය කරන්නටත් සකස් කරන ලදි...

මේ උපදෙස් මාලාවේ අරමුණ කොල්ලන්ට වැට හෙන්නට වූයේ ගමන ආරම්භ කර මඳ දුරක් යන විටය...
ඒ වන විට ඔවුන් පැරදී හමාරය...

13 comments:

  1. ඒ අරමුණ මට වැටහෙන්නෙත් නෑනෙ...

    ReplyDelete
  2. ඊ ලග එකේදී වත් බලමු තාරක

    ReplyDelete
  3. මමනම් දන්නවා... හාමුදුරුවන්ට පේන්න කොල්ලො ටික බොන්නෙ කොහොමද? හාමුදුරුවෝ කට්ටයි වගේ....

    ReplyDelete
  4. පව් අප්පා කොල්ලො ටික.මාර හාමුදුරුවො ආතල් කුඩුකලානෙ!

    ReplyDelete
  5. පේරු දානයක අපි නොදන්න කොච්චර පැති තියෙනවද

    ReplyDelete
  6. මාරයෝ, සිරා කතාව බං. මේක කියවද්දි සිරා නවකතාවක් කියවනවා වගේ තමයි දැනෙනෙ. මාරයෝ, මෙක හොඳට ලියලා පොතක් විදිහට පල කරන එක ගැන හිතපන්.

    දැන් අවුරුදු බර ගාණක ඉඳලා (අවුරුදු 25 කට වැඩියි ) හැම මාසෙම 4 වෙනිදා අපේ ගෙදරින්ග් කළුබෝවිල සුනන්දාරාමෙට මුර දානය සැපයෙනවා. අපේ අම්මා පුදුම ආසාවකිනුත් කැපවීමකිනුත් තමයි ඒක කරන්නෙ.

    පංසලේ ලොකු හාමුදුරුවො තමන්ගේම ගෙදරින් ලැබෙන දානයක් විදිහට තමයි අපේ දානය පිලිගන්නෙ. උන් වහන්සෙ කන්න කැමති කෑම මොනවහරි තියෙනවනන් අපේ ගෙදරට කෝල් එකක් දීලා කියනවා, "උපාසකම්මෙ කරදරයක් නැතිනම් හෙට දානෙට කරවිල මාළුවක් තිබුනොතින් ගොඩක් පිං" වගේ.

    ඒ වගේම පංසලට කොහෙ හරි දාන ගෙදරකට වඩින්න, පිරිත් ගෙදරකට වඩින්න වගේ කටයුතු තියෙනවනන්, නොවරදවා කලින්ම දානෙ එවන්න එපා කියලා පණිවිඩේ එවනවා.

    ReplyDelete
  7. maraya kollo tika wenin paraka giya neda. maru story eka pothe wadenam niyamai. ATB

    ReplyDelete
  8. අම්මප අබේපාල උපාසක මහත්තය මතක් කොලා වගෙ කොල්ලො ටික,පින් අතේ වැඩක් කොර ගන්න ගමන්,ෂොට් එකක් දාගෙන,සිංදුවකුත් කියාගෙන ට්‍රිප් එකකුත් යන්න හිතා හිටියද දන්නෙත් නැහැ.

    ReplyDelete
  9. බලමු ඊළග එකේ මට තේරුනේ නෑ කාරනවා

    ReplyDelete
  10. හුග ක්කල්කින් ජාලේ පැත්තෙ ආවේ, නියමයි අයියා

    ReplyDelete
  11. බලමු මේ මොකද්ද වෙන්න යන්නේ කියලා ... ඔන්න කට්ටියම පොතුවිල් බලා එනවා !... . කොතනද කොල්ලන්ට වැරදුනේ ?

    ReplyDelete
  12. මාර හාමුදුරුවො කොල්ලන්ට දෙකක් නවාගෙන දුමක් දාන්න තිබිච්ච අවස්තාව නැතිකරල වගෙයි.

    කොහොමහරි කතාවනං නියමෙට ලියල තියෙනව. ඊගාව එකත් ඉක්මනට දාන්න.

    ReplyDelete