20 April 2011

පන්සල් දිවියෙන් අතර මැද කතාවක්...ඒ බිහිසුණු මතකය...

උඩ දාගෙන ලියන්න ගත්තට මොකද..පට්ට කම්මැලියි දැන් ලියන්නත්...උදේ හත හමාරට විතර මේක ලියන්න කියලා පටන් ගත්තත් ඊට කලින් සිංදුවක් අහලා ඉන්න කියලා ගිහිල්ලා අන්තිමට වික්ටර් රත්නායකයන්ගේ ගීත ගොන්නක පැටළුනා...

යාන්තං ඒවායෙන් මේවායෙන් මිදිලා ආයෙමත් ලියන්න කියලා පටන් ගන්න යනකොට මම ලියලා පල කරලා නොතිබූ කවි වගේ පද වැල් වගයක් හම්බ උනා..නිකා ඉන්න එකේ ඒකත් පෝස්ට් කරලා දැම්මා...

ඊට පස්සේ ආයෙමත් ඒ මේ අත සැරි සරලා දැන් මේ බලන්නේ දැන්වත් මේක ලියන්න පුළුවන් වෙයිද කියලා...
......................................................................
ඔය උඩ ලියලා තියෙන විදියට පටන් ගත්තට මොකද ඊයේත් මේක අතර මගදි නැවතුනා දැන් ආයෙමත් ලියන්නයි හදන්නේ

......................................................................

මා කලින් ලිපියෙන් කියා සිටි ආකාරයෙන්ම අහම්බෙන් මෙන් පෝදා දින උදෑසන රූපවාහිනිය නරඹන්නට ගිය මා හට ඇසුනු පුවත අන් කිසිවක් නොවේ..ඒ ඔබ සෑම දෙනාම දන්නා වූ මෑත කාලීන ලාංකීය ඉතිහාසයේ සිදුවූ විශාලම ඛේදවාචකයේ ආරම්භක තොරතුරුය...

නමුත් ඒ වන විටත් තත්වය දරුණු නොවීය..පුවතින් කියවෙන්නට වූයේ බස්නාහිර පලාතේ මොරටුව හා පානදුර අතර මුහුදු තීරයේ මුහුදේ කැළඹිම් ස්වභාවය පිළිබඳවය...එය පසුව අපහට අසන්නට ලැබුනු කරුණු හා සසඳා බලද්දී ඒ තරම්ම දරුණු නොවීය...

එම පුවතද සාමාන්‍ය පුවත් ගනයටම ලා සලකනු විනා ඉන් එහාට ඒ පිළිබඳව උනන්දු වීමට මා හ‍ට ඉඩක් නොවුනේ, වැඩි වේලාවක් එම පුවතට අවධානය යොමු කිරීමට නොහැකි වූ නිසාය..පන්සලට පැමිණෙන දායක පින්වතුන් එකා දෙන්නා පැමිණ යම් යම් කරුණු කාරණා සම්බන්ධව විමසීම් කරනා අතරම සිල් ඇත්තන් පිළිබඳව කරන්නට වන නිරන්තර සොයා බැලීම් මැද කාලය ගත විය...

නමුත් දහවල් එකොළහට පමණ ආසන්න වන විට කවුරුන් හෝ පැමිණ

"හාමුදුරුවනේ මුහුද ගොඩ ගලනවා නේද..?" දැයි මා විමසූ අතර උදෑසන දුටු ප්‍රවෘත්තිය පිළිබඳව මා දන්නා තරමින් පවසා
"ඒ හැටි ලොකු දෙයක් නෙවෙයි නේද..?" දැයි පෙරලා විමසීමි.

"නැහැ හාමුදුරුවනේ දැන් බැළුවේ නැද්ද..?වැඩේ හුගාක් දරුණුයි කියලා ආරංචියි..හුගාක් මැරිල කියලයි කියන්නේ.."

ඒ හා සමගම නැවත වතාවක් ගොස් රූපවාහිනිය ක්‍රියාත්මක කොට එහි විටින් විට එම සිදුවීම පිළිබඳව තොරතුරු වලින් පිරී යන්නට වූ අතර... එදා ඒ වන විට කිසිදා නොඅසා තිබූ "ත්සු නාමි" නම් වූ අද වන විට ඔබ මා සියළු දෙනාම හොඳින් දන්නා වූ "සුනාමි" නම් ව්‍යසනයේ මහා භයංකාර පුවත් එකින් එක මා හටද දැන ගන්නට ලැබිණි..

එතැන් පටන් එදින සිල් සමාදන් වීමට පැමිණි සිටි පිරිස අතරද පන්සලට යන එන සියල්ල අතරද මුවෙන් මුව රැඳී තුබුණේ වෙන අන් යමක් නොව මෙම සිදුවීම පිළිබඳව වූ අතර..තත්වයේ උපරිම භයංකාර සිද්ධීන් පිළිබඳව අප නොදැන සිටියද මිනිස් සිත් සතන් කම්පා කරවන්නට තරම් සෑහෙන තොරතුරු රාශියක් ඒ වන විටත් අප අත පත්ව තිබුණි...

මෙතැන් පටන් එදා ලාංකීය සමාජයේ සියල්ලන්ම මෙන් අපද මෙම තත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින්නට වීමු...එදින සාමාන්‍ය ජන ජීවිතයේ තත්වය පිළිබඳව මෙය කියවන ඔබ සෑම දෙනාම අත්දැකීම් ලබා ඇති හෙයින් ඒ පිළිබඳව අමුතුවෙන් මා විසිනු කිව යුතු නොවේ...

සෑම දෙනාම උනන්දු වූයේ අනතුරෙහි ස්වභාවය පිළීබඳව මෙන්ම තමන්ගේ කිසියම් හෝ ඥාතියකු හිතවතකු මෙයට ගොදුරුව යම් විපතකට පත්ව ඇත්දැයි සොයා ගැන්මටය...

පන්සලේ දායකයින් වූ බොහෝ දෙනෙකු මුහුදු බඩ පුදේශවල විසූ තම නෑදෑ හිත මිතුරන් පිළිබඳව මෙන්ම..එදින ගමන් බිමන්වල යෙදී සිටි සමීපතමයින් පිළීබඳවද සොයා වෙහෙසෙන්නට වූවෝය...

පසුව දැන ගන්නට ලැබුනු ආකාරයට නම් අප දායක ප්‍රදේශයේ කිසිවකු හෝ..ඔවුනගේ සමීපතමයින් කිසිවකුට හෝ එම විපත්තියෙන් කිසිදු බලපෑමක් නොවූ බවද සඳහන් කල යුතුය...

නමුත් ලාංකීය භික්ෂූ සමාජයේ අති මහත් ගෞරවාදරයට ලක්ව තිබූ ශ්‍රේෂ්ඨ පැවිදි පඬි රුවනක් වූ "මීගොඩ පඥ්ඥාලෝක" හිමියන් දැ‍යට අහිමි වීම පිළිබඳව නම් අප පළාතේ සියළුම භික්ෂූන් වහන්සේලා කම්පාවට පත්ව තිබූ බව කිව යුතුමය...
කුමන කාල වකවානුවකට අයත් වූවද..ලෝකයේ කොතනක වැඩ විසූවද..කුමන ජාතියකින් සාසනයට පිවිස සිටියද..භික්ෂූවක් යනු සෑම අනිකුත් භික්ෂුවකගේ සාසනික ඥාතියකු වන බැවින් උන්වහන්සේගේ අපවත්වීම හරහා අපට නම් ඥාති හානියක් සිදුව තිබිණ..ඒ විනා අන් කිසිදු දන්නා කියන කුමන හෝ දායක පින්වතකුගේ ඥාති සමූහයාට හෝ..හිතෛෂීන් කිසිවකුටද වෙන කුමන අන්දමේ හෝ විපතක් සිදු නොවීම එක් අතකින් බලනා කල තරමක හෝ සැනසීමකට කරුණක් විය...

තත්වය මෙසේ වද්දී සවස් කාලය වන විට රට පුරා දුරකථන ජාල පද්ධතීන් බිඳ වැටී තිබිණි...එයට හේතුව දුරකථන මාර්ගවල වූ අධික භාවිතාව හරහා ඇති වූ තදබදය බව පසුව දැන ගන්නට ලැබිණි...පණිවිඩ හුවමාරුවේ බිඳ වැටීම හරහා බොහෝ දෙනා අසරණව සිටුනු දක්නා ලැබුනු අතර..හැකි සෑම දෙනාම කුමන හෝ අන්දමේ ගමන් පහසුකම් සොයාගෙන මුහුදු බඩ පෙදෙස් කරා ඇදීමට උත්සුක වූයේ..එසේ හෝ තොරතුරු සොයා ගැනීමේ අභිලාෂය ඇතිවය...

සන්ධ්‍යා යාමය වන විට එසේ එම පළාත් වලට යන්නට පිටත් වූ අයගෙන් සමහරක් නැවත ආපසු පැමිණ තිබූ අතර ඔවුන් හරහා සිදුව ඇති විපතේ සැබෑ තොරතුරු අප වෙත ලැබෙමින් පැවතිණ...

තත්වය අප සිතුවාට වඩා බොහෝ දරුණුව තිබිණි...

මුළු මහත් සමුද්‍රාසන්න වෙරළ තීරයම මුළුමනින්ම විනාශ වී පැවති අතර බලන බලන අත තැන තැන වැටී තුබූ මෘත ශරීර වන බව එසේ පැමිණි අයගෙන් දැන ගන්නට ලැබුණු අතර ඔවුහූද ඉමහත් භීතියට පත්ව සිටියෝය...

විපත්තිය පිළිබඳව මීට වඩා වැඩි විස්තරයක් ඔබ හට කීමට ඇවැසි නොවනුයේ..ඒ සියළුම දේ අද වන විට ඔබ සියළු දෙනාම මා වාගේම දැන ගෙන සිටිනා බැවින්ය...

මෙතැන් සිට ඇරඹුණේ වෙනස්ම කාල පරිච්ඡේදයකි...

ලෝකයේ තිබෙනා රටවල් අතුරින් ඉතාම කුඩා රාජ්‍යයක් වන අපගේ දේශයේ සිටිනා වූ මිනිසුන්ගේ හදවත් වල ඇති උතුම් ගුණාංගයන්හී විශාලත්වය මැනවින් පෙන්නුම් කරන්නා වූ යාමය උදාවිය...

ගමක් ගමක් පාසා..නගරයක් නගරයක් පාසා සෑම තැනම මිනිසුන් එකාවන්ව ඒක රාශී වන්නට වූයේ තම සහෝදර ජනයාගේ විපත්ති දායක අවස්ථාවේදී ඔවුනට විය හැකි උපරිම ශක්තිය හා පිළිසරණ වීමටය...

මෙහිදී විහාරස්ථාන මූලික කොටගෙන බොහෝ දෑ සිදුවිණි...
උදෑසන දහයට ආසන්නව ආරම්භ වී පැය කිහිපයක් ඇතුලත සිදු වූ මහා විපතින් අවතැන් වූ ජනයාගේ දුක සැප සොයා බැලීමට මුළු මහත් රට වැසියන්ම උනන්දු වූ බව නොකිව මනාය...

එහිදී පලමු අවධානය වූයේ අවතැන් ජනයාගේ කුසගිනි නිවාලීමය...මුහුදු කරයට සැතැප්ම විස්සක් තිහක් අතර දුරකින් සිටි අප ප්‍රදේශයේ මෙන්ම දිවයිනේ සෑම තැනකම පාහේ ලහි ලහියේ ආධාර එකතු කිරීමත්...හැකි ඉක්මනින් එම ආධාර වෙරළ තීරයන් කරා ගෙන යාමත් සිදු විණි...

විහාරස්ථානය හා නිබඳවම සම්බන්ධ වී සිටින තරුණයින් කිහිප දෙනෙකු සවස තුනට පමණ ආසන්නව පැමිණ මා හමු වී ඇති වී ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කරමින් සිටියෝය...ඔවුන් තරුණයින්යැයි මා කීවද ඇත්ත වශයෙන්ම වයස අවුරුදු දහසයත් දහ නවයත් අතර යෞවන වියේ පසුවන්නන් විය.

සාකාච්ඡාව ක්‍රම ක්‍රමයෙන් හැරුනේ මෙම අවස්ථාවේදී අප විසින් ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳවය...
සෑම දෙනාටම කුමක් හෝ කිරීමේ අවශ්‍යතාවය තිබිණි..නමුත් ඒ කුමක්දැයි ඔවූහු මෙන්ම මා හටද වැටහීමක් නොවීය..මෙවන් තත්වයකට මින් පෙර මුහුණ දී නොතිබීම ඊට හේතුව විණි.

"හාමුදුරුවනේ අපි මොකද කරන්නේ..?"

"මටත් දැන්ම කියන්න බැහැ ඒත් අපිත් මොනවා හරි කරන්න ඕන මේ වෙලාවේ"

"ඒක තමයි අපිටත් ඕන..ඒත් කොතනින් පටන් ගන්නද කියලා තමා හිතා ගන්න බැරි..හාමුදුරුවන්ට බැරිද ඔය අනිත් වැඩ වලදී වගේම මේකට කර ගහන්න"

එම ඉල්ලීමත් සමඟින්ම මෙතෙක් වෙලා පැවති සාකච්ඡාව අළුත් පැත්තකට යොමු වූ අතර ඇති වී තිබූ ව්‍යසන අවස්ථාවේදී අප සියළුම දෙනා එක්ව කරන්නට යෙදුණු පින්වත් සත්කාරයක ආරම්භය එතැනින් ඉපදිණි...


19 comments:

  1. එදා නමය නමයහමාර වෙනකොට ගාල්ල මාතර පැත්තට මුහුද ගොඩගලනව කිව්වට කවුරුවත් ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. ටිකක් හවස් වෙනකොට තමයි වැඩේ බරපතල කම තේරුනේ.

    කොහොම උනත් ඒ සිද්ධියෙන් පස්සෙ මිනිස්සුන්ගෙ තියෙන එකමුතුකම හොදින් පෙන්නුම් උනා.

    ඉතුරු ටිකත් ලියන්න.

    ReplyDelete
  2. හ්ම්ම්.. එදානම් මතක් වෙද්දි බය හිතෙනවා..

    ReplyDelete
  3. අපිත් මුහුද ගොඩගලනවා කිව්වට ගනන් ගත්තෙ නෑ. වඩදිය බාදිය සිද්දියක් වගේ තමා හිතුවෙ. ඒත් මිනිස්සු මැරෙන ගාන කිව්වම තමා දෙලෝ රත් උනේ.

    ReplyDelete
  4. අපේ පැත්තට මූද හත් ගව්වක් දුරයි. ඒත් අසරණ වෙච්චි මිනිස්සු දැක්කම සංසාරෙත් එපා උනා.

    ReplyDelete
  5. මම ඔය ගැන මුලින්ම දැනගත්තේ හිරු FM එකෙන්, ටී වී එකේ ගියේ ඊට ගොඩක් පස්සෙ. මුලින්ම එච්චර ගානක් නැති උනාට එදා හවස් වෙද්දි නම් මගේ ඔළුව තෝන්තු වෙලා තිබුනේ ෂොක් එකටම :(

    ReplyDelete
  6. හපෝ එහෙම දවසක්...... මටත් මුලදි ගානක් නැතුව හිටියෙ පස්සෙ තමා වැඩේ සීරියස් කියලා දැන ගත්තෙ. ඒ වෙලාවේ මුහුද අයිනෙ යාලුවන්ට කෝල් දෙන්න හැදුවා හැදුවා කොහෙද ගන්න වුණේම නෑ. එතකොට තමා දෙලෝ රත් වුනේ. හැබැයි කාටවත් හානියක් නෑ.... කල්මුණේ මුස්ලිම් යාළුවන්ට නම් සෑහෙන්න මරණ තිබිලා තියෙනවා. පව්.

    ReplyDelete
  7. අපි නම් 10 විතර වෙනකොට වැඩේ බරපතලකම තේරුම් ගත්තා . අපි ඉන්නේ මුහුදට ඒතරම්ම ලඟකින් නෙවේ . ඒත් ඔය උඩ කමෙන්ට් කරල තියන් සංජුගේ යාලුවා ඉන්න ගම් පලාතේ අය වාහන වලින් ආපු පාර නතර උනේ අපේ ගමේ . .... ගමම ඒ අයට සලකුවා තමන්ගේ පවුලේ උංට වගේම ...

    ReplyDelete
  8. සුනාමිය අපේ රටේ මිනිස්සුන් ගේ යහපත් ගති ලක්ෂණ පෙන්නුම් කරපු අවස්ථාවක්. අපේ office එක තිබුනේ කොළඹ ගාලු පාරේ. අපි සුනාමියට office එකෙන් එකතු කරපු සල්ලි වලින් බඩු ගන්න ගියාම office එකෙන් බාගයක් එතන. කට්ටිය වෙන වෙනමත් සෙට් වෙලා ගිහින් බඩු අරන් තමුන්ගේ සල්ලි වලිනුත්. Collection එකට දීපුවා මදි කියල හිතුන ලු. මාරයි කියල හිතුන.
    ඔයාල විශ්වාස කරයි ද මන්දා, එදා හවස් වෙනකොට කඩවල බඩු තිබුනේ නැහැ. (කට්ටිය බයවෙලා ගෙවල් වලටත් බඩු ගන්න ඇති. නමුත් ප්‍රධාන හේතුව ආධාර වලට එකතු කිරිල්ල තමයි)
    ඒ වගේම සුනාමි වලට සල්ලි එකතු කරලා වාහන ගත්ත කලකන්නිත් අපි අතර හිටිය.
    ඇයි නැතිවෙච්ච ළමයි හොයල දෙනවා කියල දෙමවුපියන් ගෙන් සල්ලි අරන් මාරු වෙච්ච පාහරයෝ කොච්චර හිටිය ද?

    ReplyDelete
  9. සුනාමිය හින්ද අපේ රටේ දේශපාලන සමගියක් ඇති වෙයි කියල ගොඩක් අයගේ ලොකු විශ්වාසයක් තිබුන. ඒ වගේම LTTE ප්‍රශ්නේ විසඳ ගන්නත් chance එකක් ලැබෙයි කියලත්.
    නමුත් ඒ දෙකෙන් එකක් වත් සිදු උනේ නැහැ. ලොකුවට අඬබෙර ගහල ජාතික සමගිය පක්ෂ සමගිය පටන් ගත්ත. එත් යටි අරමුණු වෙනස් හින්ද එකක්වත් සාර්ථක උනේ නැහැ.
    LTTE ප්‍රශ්නේ නම් ඊට අවුරුදු 5 කට පස්සේ හරි විසඳුනා. අනෙක් ප්‍රශ්නේ කවද විසදෙවිද මන්දා.

    ReplyDelete
  10. සුනාමියෙන් ගොඩ ගිය අය නම් බොහෝ ඉන්නවා,,මම මෙහෙට ආවේ සුනාමියෙන් අවුරුදු 2ට විතර පස්සේ,,ඒත් සුනාමියෙන් ගොඩගිය පිටරටවල ඉන්න ලාංකික කපටියෝ ගොඩක් ඉන්නවා,,,සමහර එහෙම අයට සුනාමි ..... කියලා නම් හිටන් වැටිච්ච අය ඉන්නවා..

    ReplyDelete
  11. උඹ දකින්න ඇතිනෙ මම සුනාමිය ගැන සහ අපේ පවුලෙ නැතිඋන අය සිහි කරල දාපු පෝස්ට් එක. මට අදටත් හිතා ගන්න බැරි, ඇයි හොඳ අයම බිළි වෙලා ගොම රිටි ඉතුරු උනේ කියල!

    ReplyDelete
  12. හම්මෝ... එදා මම හිටියේ යාලුවෙක්ගේ ගෙදර. එහේ ඉඳන් ගෙදර එන්න මට මාර වෙලාවක් සහ මාරම කට්ටක් කන්න උනා. ගෙදර ආපු වෙලාවේ ඉඳන් කලේ ගමේ අනිත් අයත් එක්ක එකතු වෙලා ගෙයින් ගෙට ගිහින් බඩු මුට්‍ටු, සල්ලි, එකතු කරලා කඳවුරු වලට ගිහින් දීපු එක. ඒ හිටපු මිනිස්සුන්ව මතක් වෙනකොට මටනම් තාම ඇස් වලට කඳුලු එනවා. සමහරු දන්නේ නැහැ තමන්ගේ ළමයි කොහෙද කියලා. තව සමහරු අම්මලා තාත්තලව හොයනවා, සහෝදරියන්ව හොයනවා. ඒ එක්කම සුනාමි ආපු තැන් වල හැමතැනම බිම මිනිස්සු මැරිලා වැටිලා....අම්මෝ එහෙම දුකක්....

    ReplyDelete
  13. මචන්.. මේ ගැන මට කියන්න කථාවනම් පට්ටම සංවේදීයි... සුනාමියට දවස් දෙකකට පස්සෙ මම ගියා ස්වේච්ඡා සංවිධානයක් එක්ක මිනිස්සුත් එක්ක කථා කරලා ඒ මිනිස්සුන්ගෙ හිත එකලාසයක් කරන්න.. හික්කඩුව පංසලකදි මට හම්බුනා මනුස්සයෙක්.... මාළු වෙළදාම මහා පරිමාණයෙන් කරපු ධනවතෙක්.... මනුස්සයාගේ බිරිඳ, දරුවන් තුන් දෙනෙක්, ටෝලර් 6ක් කාමර 7ක ගෙයක් කියන ඔක්කොම නැති වෙලා.... කරේ තියෙන මාලෙයි අතේ තියෙන බේස්ලට් එකයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ... මෙන්න මනුස්සයගෙ වචනෙන්ම..

    මල්ලි අන්තිම රැල්ලට ගහගෙන යද්දි මම පොර බැදුවේ මගේ ජීවිතේ බේර ගන්න මරන භයට.... ඒත් මගේ නෝනටයි දරුවන්ටයි මෙහෙම වෙලා කියලා දන්නවනම් මම එහෙමම යනවා මල්ලි.... ජීවිතේ නොකා නොබී හම්බ කරපු මට කිසිම වටිනාකමක් නැති දේවල් ටිකක් ඉතුරු උනා වටිනා ඔක්කොම දේවල් නැති කරලා...

    අදටත් මට කල්පනා කෙරෙනවා අපි නැහීගෙන හම්බ කරන්නෙ මොකටද කියලා...

    ReplyDelete
  14. සුනාමිය ගැන නං අත්දැකීම් බෝමයි . . . මගෙත් එක්ක ඒ අත්දැකීම් බෙදාගන්න හිටියෙ මගෙ බයිසිකලේ විතරයි . . . . සුනාමියට පහුවදා ඉඳං ජනවාරි මාසෙ පලවෙනි සතිය වෙනකන් මම දිනපතා බයිසිකලෙන් ගාලු ඇද්ද . . . . මම යාලුවොත් එක්ක වගේම තනි මිනිහෙක් වීදියටත් මට කරන්න පුලුවන් හැමදේම කලා කියල හිත සතු‍ටුකරගන්න පුලුවන්. ඒත් මම ඒ දේවල් ගැන කතා කිරීම ඊට පස්සෙ නවත්තල දැම්ම. අන්තිමටම සුනාමියට පහුවදා පලවුන හැම පත්තරයක්ම අරං තියාගත්ත. . . . මතක සටහනක් විදියට නෙමේ . . . . ඒත් ඒ ඇයි කියන්න මට තේරෙන්නෙ නෑ

    ReplyDelete
  15. මමත් රූපවාහිණිය හරහා සියලු දේ දැක ගතිමි.. පුලු පුලුවන් හැටියට උදව් කලෙමි....

    ReplyDelete
  16. සුනාමිය අත් වින්ද කෙනෙක් විදියට මේ පෝස්ට් එකේ ලියලා තියෙන දේට උපරිමෙන්ම එකග වෙනවා. අපේ පැත්තට ( වැලිගම) සුනාමි ආවේ 8.30ට විතර. අපිට බොන්න එක වතුර පොදක්වත් තිබුණෙ නැහැ. දවල් 12 වෙනකොටත් වෙන ප්‍රදේශවලින් කෑම, වතුර අරගෙන ගොඩක් අය අපිව බලන්න ආවා. ඒ වගේ අසරණ වුණ වෙලාවක දක්වපු සහයෝගය කවමදාකවත් අමතක වෙන්නේ නැහැ.....

    ReplyDelete
  17. මම ඉන්නෙත් සුනාමි ආපු පලාතක නෙමෙයි, හැබැයි ඕක වෙනකොට මමත් හිටියෙ ගාල්ලේ. ඒ නිසා මමත් ඒ ගැන පොඩි අත්දැකීමක් ලැබුවා.
    හැමෝම කිව්වා වගේ එක අපේ අයගේ එකමුතුකම පෙන්වපු අවස්තාවක් වුනා. පැය කිහිපයක් ඇතුලත විපතටපත් වෙච්චි අයට උදව් කරන්න අපෙ අයට පුලුවන් වුනා. මම හිතන්නේ මැතකදි ජපානේ වෙච්චි සුනාමියෙදි ඒ විපතට පත්වෙච්චි අයටත් අපේ තරම් ඉක්මනට උපකාර ලැබෙන්න නැතුව ඇති.

    ReplyDelete
  18. සුමානාමි රළ සමග පොර බදලා අපේ ගමේ බේරුනේ කිප දෙනයි එයින් කෙනෙක් තමයි මම ඒ වේලාවේ අපිටත් ඒකෙ බරපතල කම තේරුනේ නෑ මොකද කවදාවත් අපේ පැත්තට ගoවතුරක්වත් ඇවිල්ලා නැති නිසා වතුර බැහැලා ගියාම තමයි මට මැරුනනම් මිට හොඳයි කියලා හිතුනෙ

    ReplyDelete
  19. සුනාමිය අපේ මිනිස්සුන්ගේ තිබුන මනුස්සකම බලාගන්න අපිට ලැබුන අවස්ථාවක්!
    සුනාමියට පහුවදාම ඉඳලා අපිට නැගෙනහිර පළාතේ ස්වෙච්චා සේවයට අවස්ථාව ලැබුනා. පාරවල් වල යන්න හොඳටම අමාරු උනා අත්‍යවශ්‍ය දේවල් අරගෙන යන වාහන පෝලිම නිසාම. වාකරේ වගේ පළාත්වල අපි යද්දී බොහම දෙනා තමන්ගේ තිබුන අත් ට්‍රැක්ටර් වගේ වාහන වල වතුර, කෑම පුරවාගෙන අනාථ උන අය හොයා හොයා ගියා. LTTE එකෙන්, ගෙනියන ඒවා ගන්න සමහර තැන් වල උත්සාහකරත්, එයාලත් එක්ක බහින් බස් වෙන්නත් ගොඩක් අය පැකිලුනේ නැහැ.

    ReplyDelete