26 April 2011

හදිසියේම ගත් තීරණයක්...මාර සුනාමිය...

අළුත් දිනයක් ආරම්භ වී තිබූ මුත්..සිත තාමත් ඇත්තේ පෙර දිනයේ සිදු වීම පිළිබඳවය..අවදි වූ වහා රූපවාහිනිය ක්‍රියාත්මක කරවා එතැන් පටන් වෙනත් කාර්යයන් සිදු කරනා අතරම විටින් විට සුනාමි රළ පහරින් විපතට පත් වූවන්ගේ හා විනාසයට පත් වූ ස්ථාන පිළිබඳව විස්තර නරඹමින් කාලය ගත කරනා අතරම නැවතත් කල යුතු යමක් ගැන සිතන්නට විය...

දකින දකින රූපවාහිනී චැනලයන් ඔස්සේ පෙන්වමින් තිබුනේ දකුණු පළාතට වැඩි අවධානයක් දෙවන්නා වූ පුවත්මය...එතකොට කෝ අනිත් පැති ගැන විස්තරයක්..මා සිතන්නට වීමි...

උතුර පිළිබඳව තොරතුරු ලබා ගැනීම පහසු නොවන වග එවකට පැවති ත්‍රස්ථවාදී යුද්ධය අද යන්තමින් හෝ මතක අය හට නම් ගැටළුවක් නොවනු ඇති...

එහෙයින් මා හට උවමනා වූයේ නැගෙනහිර ප්‍රදේශය පිළිබඳව අවධානය යොමු කිරීමටය..
ඒ අනුව එම පැත්තේ සම්බන්ධතාවයක් සොයමින් කල්පනා කල මා හට මා සතුව තිබූ දිනපොතේහි මුල් පිටුවල මුද්‍රණය කර තිබෙන පොදු තොරතුරු ලයිස්තුවකින් නැගනහිර පළාතේ රජයේ ආයතන කිහිපයක දුරකථන අංක ලබා ගතිමි.

උදෑසන නවය පමණ පසුවන විට බොහෝ උත්සහ කිරීමෙන් පසුව මා හට එක් ඇමතුමක් ලබා ගන්නට හැකි විය..ඒ නැගෙනහිර පළාතේ අම්පාර ප්‍රදේශයේ අංකයකි..මට මතක හැටියට එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විය යුතුය. කතාවට එකතු උනේ පිරිමි අයෙකි...

මා ඔහුට මා පිළිබඳව කෙටි හැදින්වීමක් කලෙමි..අනතුරුව මේ මොහොතේ කුමක් හෝ කාර්යයක නිරත වීමට මා ඇතුළු ප්‍රදේශවාසී තරුණයින් සූදානම් බැව්ද..ඒ සඳහා යම් මග පෙන්වීමක් කරනා මෙන්ද ඔහුගෙන් ඉල්ලා සිටියෙමි...

ඇත්තෙන්ම එදා එහා පැත්තෙන් කතා කලේ කවුදැයි මා නොදන්නා මුත් ඒ මොහොතේ හැටියට එවැනි අයෙක් දුරකථනය අතට ගැනීම මම අදටත් අගය කරමි..ඇතිව ඇති තත්වය පිළිබඳව මා හට කෙටියෙන් දැනුම් දුන් ඔහු... මේ මොහොතේදී ඔවුන් හට උදව් අවශ්‍ය මුත් ඒ පිළිබඳව හරි හැටි සංවිධානය වීමක් හෝ...නිසි සම්බන්ධීකරණයක් කල නොහැකි බවත් මා හට ඉතා පැහැදිලිව විස්තර කර දී එසේ වූවත් අවස්ථාවේ හැටියට කුමක් හෝ කල හැකිනම් එය බොහෝ සෙයින් වටිනා දෙයක් බව පළාතේ විපතට පත් වූවන් සියළු දෙනාම වෙනුවෙන් මා හට දැන්වීමට කැමති බවත් දන්වා සිටිනු ලැබීය...

වෙන කල හැකි යමක් නොවුන තැන මා විසින් අවසානයේදී එක් උදව්වක් කරනා මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි..

එනම් නැගෙනහිර පළාතේ මුහුදට කිට්ටු කුමක් හෝ විහාරස්ථානයක දුරකථන අංකයක් ලබා දෙන මෙන් පැවසීමි.

වහා ක්‍රියාත්මක වූ ඔහු විසින් මා හට යම් අංකයක් ලබා දෙන ලදි...

"මුහුදු මහා විහාරය" පොතුවිල්...එම විහාරය විය...

පසුව එම අංකයට කතා කල විට මා හට එම විහාරස්ථානයේ නායක හිමියන් ඇමතීමට හැකියාව ලැබුනු අතර..මා විසින් උන්වහන්සේට මා ඇතුළු පිරිස විසින් කල යුතු දෙයක් ගැන අදහසක් ලබා දෙන මෙන් ඉල්වනු ලැබීය...

එවිට උන්වහන්සේ විසින් මා හට දැනට එම ප්‍රදේශයේ තත්වයත් ඉදිරිපත්වීම පිළිබඳව සිය සතුටත් ප්‍රකාශ කරනා අතරතුරදීම දැනට විය යුතු කාර්යයන් කිහිපයක්ම මා හමුවේ තබන ලදි..ඉන් බරපතලම දේ වූයේ විපතට පත්ව සිටි අයගේ නිවාස විනාශ වීම නිසා ඔවුන්ට අත්ව ඇති තත්වයයි...

මෙවන විට මා පැවිදිව වසර එක හමාරක් පමණ බව මා මීට පෙර සඳහන් කර ඇත්තෙමි..ඇත්තෙන්ම ඒ කාලය තුල ටිකෙන් ටික පන්සලේ දියුණුවට වැඩ කරගෙන ඒම හරහා කාලයක් තිස්සේ විහාරස්ථානයෙන් ඈත්ව සිටි පිරිස ක්‍රමක්‍රමයෙන් නැවත පන්සල වටා එක් ‍රොක් කරගනිමින් මා විසින් ගමනක් යන්නට මුල පිරූ අවස්තාවක් විය..පන්සලේ කලකදී සිටි මහා දායකයින් පන්සල අතැර දමා තිබූ අතර තවමත් ඔවුන් තුල විශ්වාසයක් ඇති කර ලන්නට මට අවස්ථාවක් නොලද බැවින් විශාල දෙයකට අත ගැසීම තරමක් බරපතල කරුණක් විය...

අනිත් කාරණය නම් පෙරදින ලැබූ ප්‍රතිචාර හරහා කුමක් හෝ පටන් ගන්නා කටයුත්තකට අවශ්‍ය තරම් ප්‍රතිපාදන සොයා ගැනීමට පහසු නොවන බව දැන සිටීමයි..විශේෂයෙන්ම ගමේ වැඩකට මිස ගමෙන් පිටත කෙරෙන දේකට උදව් කිරීමට ගම්මුන් ඉදිරිපත් වේවිදැයි හරියටම කිව නොහැකි විය..එහෙයින් මඳක් කල්පනා කල මා අද දින ඇතුලත කුමක් හෝ කටයුත්තක් සංවිධානය කරගෙන උන්වහන්සේට කතා කරනා බව කියා දුරකථනය තැබිමී...

තරමක් දහවල් වන විට පෙරදා පිරිසෙන් කිහිපදෙනෙකු පැමිණී අතර ඔවුන්ට මෙම අළුත් කාරණාව කියා ඔවුන්ද එකතු කරගෙන පන්සලෙන් පිටත පාරට පිවිසියේ දන්නා කියන ගෙවල් දෙක තුනක ඇවිද මේ වන විට මා සිත තුල ඇති වෙමින් තිබූ කාරණාවට යම් උදව්වක් ගත හැකිද යන්න දැන ගැනීමටය...

ඒ අනුව කොයි වේලාවෙත් පන්සල හා බැඳී සිටි උපාසක යුවලක් හමු වීමට මා ගියේ ඔවුන්ගෙන් ලැබෙන අබ ඇටයකින් පවා ආරම්භ කරනා ඕනෑම කටයුත්තක් ඉතා හොඳින් කර ගැනීමට හැකියාව ඇති බව පසුගිය කාලය තුලදී කෙරුණු වැඩ වලදී අවබෝධ කරගෙනසිටි නිසාමය...

ඔවුන් සමග කතා වේදී මා පවසන තෙක්ම මා සමඟ ගිය ගැටවරයින් පවා එහි ගිය අරමුණ නොදැන සිටියේය...
මම මෙතෙක් දක්වා තත්වය උපාසක යුවලට කියා..මුහුදු මහා විහාරයේ නායක හිමියන්ගේ ඉල්ලීමද පවසා සිටි..පසුව අපට හැකි අන්දමකින් තාවකාලික කුඩා නිවහනක් ඉදිකරලන්නට ඇති හැකියාව පිළිබඳව සොයා බලන්නට මෙහි ආ වගත් පවසා සිටි අතර..ඒ සඳහා සිතේ ඇති සැලැස්ම ඔවුනට මට හැකි උපරිම අන්දමින් පැහැදිලි කර දෙන ලදි.

කටයුත්තට ඔවුනගේ උපරිම සහය ලැබෙන බව ඉතා සතුටින් පවසා සිටි එම යුවල වහාම නිවසින් පිටතට මා කැඳවාගෙන ගොස් ගේ පිටිපසට වන්නට හොඳින් වැඩී තිබූ ඇට්ටෝනියා ගස් කිහිපයක් පෙන්වා..

"අපේ හාමුදුරුවන්ට ඕන ගහක් කපා ගන්න..ඔය මහ ගස් තුනම කැපුවත් කමක් නැහැ" යනුවෙන් පවසන ලදි...

"නැහැ උපාසක මහත්තයා..මට එක ගහක් හොඳටම ඇති..අනිත් අයවත් සම්මාදන් කර ගන්න ඕන"

අප මේ ගස් වදුල දෙස බලමින් කතා කරනා අතර තුර ඊට අල්ලපු වත්තේ සිටි පන්සලේ දායිකාවක්ද එතනට ඉක්මන් ගමනින් පැමිණි අතර කරන්නට යන කාරිය අපෙන් අසා දැනගෙන

"අපේ හාමුදුරුවනේ අපේ වත්තේ මායිමෙත් ගහක් තියෙනවා..ඒත් වැට මැද්දට අහුවෙලා ඒකට අපේ මල්ලිලායි අපියි අතරේ ටිකක් අයිතිවාසිකං ගැන අවුලකුත් ඇති වෙලා තියේ..අපේ හාමුදුරුවනේ මම මගේ පංගුව අතාරින්නං අපේ මල්ලිටත් කතා කලානං.."

"ආ බොහෝම හොඳයි උපාසක අම්මේ..මම උන්නැහේට කතා කරන්නං"

"ආ ඒ විතරක් නෙවෙයි හාමුදුරුවනේ ඒ ගහ කොහොම උනත් මේ ගෙට එහා පැත්තෙන් තියෙන ගස් දෙකෙනුත් එකක් කපා ගන්න"

"එහෙම ඕන නැහැ උපාසක අම්මේ මට අරක ගන්න පුළුවන් වෙයි ඒ මදෑ.."

"හොඳමයි හාමුදුරුවනේ එහෙම බැරි උනොත් ආයේ දෙකක් නැහැ අර ගස් දෙකම හරි කපා ගන්න"

"හරි හරි උපාසක අම්මේ අපි ඒක දෙවෙනුව බලමුකෝ"

ඒ පැවසූ පරිදිම වැට සීමාවේ තිබූ ගස ඉතා කැමැත්තෙන්ම අනිත් පාර්ෂවයද මැදිහත්ව අපට ලබා දෙන ලද අතර...පැයක දෙකක ගමනකින් පසුව මා පන්සලට එන විට අපේ අනිත් නඩය මා ගිය අතක් නොදැන පන්සලේ මිදුලේ තැන් තැන් වල වාඩි ලාගෙන උන්නෝය...

හරි හමන් විදියේ පැහැදිලි සැලැස්මක් නැතිව පාරට බැස්ස මුත් මේ වන විට අතර මගදී හමු වූ අය හා කතා බහින් හා මා සමඟ පැමිණි කොළුවන්ගේ අදහස් සියල්ල ඒකරාශී කරගෙන මේ වන විට කල යුතු දේ පිළිබඳව මා විසින් නියම ආකාරයේ සැලැස්මක් සකස් කරගෙන තිබිණි..ඒ සඳහා ගැටවුන්ගේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව දෙවරක් සිතිය යුතුව නොතිබිණි... මැරෙන්න යන්න කතා කලානං එයටද ඒමට සූදානං කොල්ලන් පිරිස අම්පාරේ ගමනක් හා ඒ හා සම්බන්ධ පින්කමකට සම්බන්ධ වීම යන කාරණා දෙකට ඉහටත් උඩින් කැමති විය...

එපමණක් නොව...පැය කීපයකට පෙරදී කිසිවක් නොතිබූ නමුත් දැන් මේ වන විට සැලැස්මක්..එයට එකතු උන තරුණ පිරිසක් හා ගම් වැසියන්ගේ නොමසුරු සහයද ලැබෙමින් පැවතෙමින් තිබිණි.

මිදුලේ සිටි පිරිස වහ වහා යවා අවශ්‍ය කරන ආයුධ ගෙනෙන්නට පිටත් කල අතර මා නැවතත් මුහුදු මහා විහාරය ඇමතීමි.


13 comments:

  1. මෙවැනි දේ නම් බොහෝ අගනේය

    ReplyDelete
  2. ඇත්තටම හොඳ වැඩක්.. කාලෙකින් බ්ලොග්ස් පැත්තේ ආවේ... මම අනිත් ඒවත් කියවලම එන්නම්කෝ.... :)

    ReplyDelete
  3. නියම වැඩක් අපේ හාමුදුරුවනේ.... මාරයි...!

    ReplyDelete
  4. ඊලග කොටස එනකන් මග බලාගෙන ඉන්නේ

    ReplyDelete
  5. මාරයි හාමුදුරුවනේ මාරම මාරයි.. ඔහොම අහම්බෙන් එන අයිඩියාස් තමා ගොඩක්ම වැදගත් වෙන්නේ..

    ReplyDelete
  6. වැඩේ නැගල යනවා වගේ, ඉතුරු ටිකත් කියෝලම ඉන්නන්කො.

    ReplyDelete
  7. ආසාවේ බැ ඔහොම දෙයකට අතගහන්න තියෙනවා නම් මාත් හෙන ආසයි..ගමේ උන් එකතු උනාම එන හැගීම.. කොහොම පෙන්වන්නද? සිරා..!

    ReplyDelete
  8. කියලා වැඩක් නෑ... ඇත්තටම ලොකු වැඩක් කරලා තියන බව පේනවා... හොද දායකයෝ පිරිසකුත් ලැබිලා තියනවා......

    ReplyDelete
  9. නියමයි මාරයා අයියා....ඉතුරු ටිකත් ඉක්මනට දාන්න...

    ReplyDelete
  10. ගස් හොයාගෙන, කපලා, ලී ඉරාගෙන..... හ්ම්ම්ම් සමාන්‍යයෙන් කෙනෙක්ට හිතා ගන්නත් අමාරු වැඩක් නෙ උඹ පටන් අරගෙන තියෙන්නෙ.


    ලියමු බලන්න මොකෑ උනේ කියලා. ඔක්කොම කියවලා ඉවරවෙලා හිතුන දේ කොටල යන්නම්.

    ReplyDelete
  11. හොද වැඩක් අය්යේ.....ඒ දවස් වල මිනිස්සුන්ට ගෙවල් නැතුව වින්ද දුක මාත් හොදට දන්නා නිසා කරන්න හදපු වැඩේ නම් ඉතා ඉහලයි....

    ReplyDelete
  12. මාර වැඩක් කරන්න වගේ මාර හාමුදුරුවො හදන්නෙ.
    හැම එකාම දකුණට වැඩ කරන වෙලාවෙ උතුරට වැඩක් කරන එකනං ලොකු දෙයක්. (දැන් උනත් එහෙමනෙ)

    ReplyDelete
  13. මාරේ අයියා කරපු ඒ වැඩේ ගැන මට මාරම ආඩම්බරයි .. හැමෝම එකම පලාතක් ගැන අවධානය යොමු කරන අතරේ ඔයා අනික් අයගේ ඇස් වලින් බලන්නේ නැතිව නැගෙනහිර පලාත තෝරගත්ත එක ගැන මට තියෙන්නේ පුදුම සතුටක් ..මට ඒතරම් සතුටු ඇයි කියලා මාරේ අයියා දන්නවා ඇති ...

    ReplyDelete