02 May 2011

ලාහුගල වනය මැදදී හමුවූ..."උඩ ළඟ ලයිට්"... සුනාමි ආධාර නැගෙනහිරට...

මේකත් දැන් නිකං කොටි වල්ගේ අල්ලා ගත්තා වගේ වැඩක් වෙලා..ඒත් ඉතිං ඉක්මනටම ඉවර කරලා දාන්ටත් එපැයි...
කොහොමටත් ඉදිරියේදී මට ටිකක් ලියන්න කියන්න වෙලාව අඩු වෙන තත්වයක් පෙනි පෙනී තියෙන හින්දා පුළුවන් වෙලාවෙවත් ලිව්වේ නැතොත් සොරිම තමා...
......................................................................

"උඩ ළඟ ලයිට්.." මේ වචන කිහිපය අපේ ගමේ උඩහට වෙන්න තිබූ පැත්තක උදවියට රාත්‍රී කාලයේදී ඇසූ පමණින් බිය උපදවන්නා වූ වචන කිහිපයකි.
මේ වදන් වැල ඇසූ සැනින් එම පෙදෙසෙහි ඇත්තෝ යුහුසුළුව තම තමන්ගේ ස්වයං ආර්ථීක ප්‍රවර්ධන කටයුත්තට උපයෝගී කර ගන්නා වූ ආම්පන්න අමුද්‍රව්‍ය පමණක් නොව අවසන් නිෂ්පාදනයද සඟවන්නට වෙහෙසෙති...

සමහරු අවට වෙසෙන තම ව්‍යාපාර සගයින්ට මෙන්න රාත්‍රී කාලයේදී පවා තමන් සොයාගෙන එන ගනුදෙනු කරුවන්ට පවා අනතුරු අගවන අතර...සමහරු කරන්නට දෙයක් ඇත්තේම නැත්නම් අමාරුවෙන් නිදි වරා සකස් කර තිබෙන ද්‍රවය රැගත් කෑන් කර මත තබාගෙන ගම වටා අඳුරෙම දිවයන්නේ තම තමනට ආරක්ෂිත ස්ථානයන් සොයමින්ය..මෙම ධාවනයට උපන් හපන්කම් පාන්නා වූ කිහිප දෙනෙකු එදා මෙන්ම අදද අපගේ ගමේ වෙසෙති.

ඉතිං අපි බලමු මේ අතිභයංකර "උඩ ළග ලයිට්" යනු කවරක්ද කියා...

.....................................
වල් අලියා පාර මැද සිහින් සෙලවීමක් ඇතිව සිටිනා ආකාරය අප හ‍ට අඳුරේ වූවද මනාව දිස්වේ...කල යුතු දේ පිළීබඳව හරි හැටි තීරණයක් ගත නුවූ අප බලා පොරොත්තු වූයේ කීයට හෝ මේකා මෙතනින් ගිය පසු මාර්ගය තරණය කරන්නටය..එළි වෙනකල් හෝ මෙතනටම වී සිටිනවා හැර වෙන අන් කල හැකි දෙයක් නොවීය...

මෙසේ මඳ වේලාවක් ගත වන්නට විය..එය විනාඩි පහක් හෝ..දහයක් පමණ වන්නට විය...

ඒත් සමඟින්ම එක් වරම අප හට දිස්වන්නට වූයේ අලියාටත් එහායින් වනාන්තරය අතරින් මතුවන යම් ආලෝකයකි...
එය ඉතා වේගයෙන් අප සිටිනා පැත්තට පැමිණෙමින් තිබුණි...

"උඩ ළඟ ලයිට්" මටද කියැවිණි... ඒ ගමේ පුරුද්දටය... මේ වන විට භාවිතයෙන් ඉවත්ව ඇති මුත් එකල අප ගම් පළාත්වල පොලිස් ස්ථානයන්හී තිබූ මහේන්ද්‍රා වර්ගයේ ජීප් රථ රාත්‍රී කාලයේදී ඈත තියාම හදුනා ගත හැකි ප්‍රභල සලකුණ වූයේ මෙයයි..සාමාන්‍ය රථයකට වඩා ඉහළින් හා රථයේ පළලට වඩා අඩු පළලකින් මෙම ජීප් රථවල ඉදිරිපස ප්‍රධාන ආලෝක ලාම්පු සවි වී තිබිණි... එබැවින් ඕනෑම වේලාවක "උඩ ළග ලයිට්" දුටු පමණින් එන්නේ කවුරුන්දැයි එකල අප ගම්වල සිටි ඕනෑම අයකු පහසුවෙන් හඳුනා ගනිති...

එන්නේ ජීප් රථයක් බව වටහාගත්තද..අලියා නිසා ඔවුන්ද නවතිනවා ඇතැයි අප සිතූවෙමු..එසේම රථය එන අධික වේගය නිසා අලියා කලබල වූවහොත් අපටද අනතුරක් විය හැකි යැයි සිතීමට හැර වෙනත් යමක් කිරීමට කාලයක් නොතිබිණී...

ගත වූයේ ඇසිල්ලකි..ජීප් රථයේ ආලෝකයෙන් අපහට පාර මැද සිටි වල් අලියා මනාව දර්ශනය වූ අතර..අප සිතූ ලෙස රථය නැවැත්වූයේ නැත..අලියා අසලදී අලියාට වෙට්ටුවක් දමා ඒ වේගයටම අප අසලට පැමිණ ක්ෂණීකව බ්‍රේක් ගසා ජීප් රථය අප අසලින්ම නවත්වනු ලැබීය...

අපට සිදු වූ දේ සිතා ගැනීමටත් තත්පර කිහිපයක් ගත විය...
එහි සිටියේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විය..
රථයෙන් හිස එළියට දැමූ අයෙක් අපගෙන් තොරතුරු විමසීය..මා විසින් හැකි තරම් කෙටියෙන් අප පිළීබඳවත් මෙතන නතර වී සිටි කාරණයත් ඔහුට දන්වන ලදි..

"ආ හාමුදුරුවනේ ඔහොම හිටියොත් උදේ හත වෙනකල් මෙතනටම වෙලා ඉන්න වෙයි..මොකද ඕකාගේ වෙලාව උදේ හත..ඒ වෙනකල් ඔයා නෙවෙයි ඔතනින් යන්නේ..බය වෙන්න එපා ටිකක් හයියෙන් ඇරලා දාලා අලියට දකුණු පැත්තෙන් දාලා යන්න..ඕකා ඒ හැටිම කලබලයක් කරන්නේ නැහැ..වැරදිලාවත් එතනදී ස්ලෝ කරන්න එපා..එච්චරයි...එකක් ගිහින් විනාඩි දෙකක් විතර යන්න ඇරලා අනිත් ලොරිය යවන්න..පාරේ ඉඩ තියෙනවා බය නැතිව දකුනෙන් අල්ලන්න"

ඔහුගේ වදන් වැල් අපහට තරමක් සැනසීමක් ගෙන ආවද..මේ නොදන්නා රටේ නොදන්නා වල් අලිත් එක්ක සෙල්ලං දමන්නට යාම ඒ හැටිම සුවදායක නොවේ..කෙසේ වෙතත් වෙන කල හැක්කක්ද නොවීය..අපට දහවල් කාලය රත්තරං සේ වටී...

අවසානයේ ඔහුට ස්තූති වන්ත වූ අප ඒ කියු ආකාරයෙන්ම රථය පණ ගන්වා එක් වරම වේගවත්ව අලියා පසු කර යන ලදි...අවුලක් නැත..ඌ කඳ බඩ සොලවමින් පාර අයිනේ අතු ඉති සමග ඔට්ටු වෙයි...මඳ වේලාවකින් අනිත් රථයත් අලියා පසු කරනු ලැබීය..අප නිරුපද්‍රිතව අලියා පසු කල පසු මෙතෙක් වේලා අප දෙස බලා සිටි පොලිස් ජීප් රථය නැවතත් ඔවුනට හුරු පුරුදු අධික වේගය උපදවාගෙන පිටත්ව යන ලදි...

අප නැවතත් ගමන් ආරම්භ කලෙමි...පැයකට ආසන්න වන විට කෙසේ හෝ කුඩා කුඩා ගම්මාන යැයි කිව හැකි නිවාස කිහිපයක් හා පොලිස් මුර පොලවල් ආදී ස්ථාන කිහිපයක් පසු කරමින් තරමක් ජනාකීර්ණ ගති ලක්ෂණ පෙන්නුම් කරන කුඩා නගරයකට අප සේන්දු වී තිබිණි...

"පොතුවිල්"

ඔව්, අවසානයේදී අප අපගේ ගමනේ අවසානයට පැමිණ තිබිණී...

නගරයේ පටු මාවත් ඔස්සේ රථ දෙකම ඉදිරියට ඇදිණී...උදෑසන හයට ආසන්නව පැවති හෙයින් මේ වන විට මඳ ආලෝකයක් පැතිර තිබුණී...පාර අයිනේ සිටි මනුස්සයකුගෙන් පාර අසා ගත් අප තවත් විනාඩි කිහිපයකදී වැලි පාරක් ඔස්සේ මුස්ලිම් ගෙවල් රාශීයක් මැදින් මුහුදු වෙරළ පැත්තට ගමන් කලෙමි..රථය කිහිප විටකදීම එරෙන්නට වූ අතර කොල්ලන් පිරිසත් මාත් සියළු දෙනාම එකතුව තල්ලු කර එම තැන් වලින් වාහන දෙක ගෙන එන්නට සමත් වූයෙමු...

සම්පූර්ණ ගමනටම පැය දහසයක් ගත කරවාලමින් හරියටම හයට විනාඩි දහයක් තිබියදී අප සිටියේ ‍නැගෙනහිර වෙරළේ පොතුවිල් නගරාසන්නයේ පැවති ලංකාවේ ඉපැරණී විහාරස්ථානයක් වූ "මුහුදු මහා විහාරය" ඉදිරිපිටය...

11 comments:

  1. උඩ ලඟ ලයිට්.............. ලොල්.....

    ReplyDelete
  2. "කොහොමටත් ඉදිරියේදී මට ටිකක් ලියන්න කියන්න වෙලාව අඩු වෙන තත්වයක් පෙනි පෙනී තියෙන හින්දා පුළුවන් වෙලාවෙවත් ලිව්වේ නැතොත් සොරිම තමා.."
    මොකද්ද අයියෙ ඒ පාර, ඒ ආරන්චියනම් බ්ලොග් පවුලේ ඈයොන්ට හොද එකක් නෙවෙයි.
    හුදී ජන පහන් සන්වේගය ගැන සිතා වෙලාව හම්බ වෙන වෙලාවට ලියමුකො.
    ඊළග කොටස ...........?

    ReplyDelete
  3. අයියෝ මාරයා අයියා කොච්චර බිසී උනත් ලියන එක නවත්තන එපා.... අනිත් කොටස් ටිකත් ඉක්මනට දාන්න...

    ReplyDelete
  4. මේ මාරයෝ ඔන්න නොකීවයි කියන්න එපා. මේක ලියන එක නවත්තනව එහෙම නෙමෙයි.

    මෙම ධාවනයට උපන් හපන්කම් පාන්නා වූ කිහිප දෙනෙකු අතර මාරයාද සිටි බව අපට දැනගන්නට ලැබින. :D

    ReplyDelete
  5. අය්යා හොද අය්යා වගේ ලියල ඉවරකරනව නේ,..............

    ReplyDelete
  6. මාරයියට මාර අත්දැකීම්නේ තියෙන්නේ...

    ReplyDelete
  7. නෑ නෑ මේක ඉවර කරයි,,ඒ ගැන බය වෙන්න දෙයක් නෑ

    ReplyDelete
  8. මෙවැනිම තවත් රසබ‍ර කොටසක් සමගින් නැවත්ත් හමු වෙමු.

    ReplyDelete
  9. එහෙම ලියන එක අඩු කරන්න දෙන්න බැහැ. ඕනම නම් තාවකාලික විරාමයක් දෙන්න පුලුවන් ලියන්න තියන සේරම ඉවරවුනාට පස්සෙ. දැනට no chance..

    ReplyDelete
  10. කොහොම හරි හාමුදුරුවන්ටත් කරේ තියන් දුවපුව මතක් වුනා එහෙනම්

    ReplyDelete
  11. ඉඩක් අල්ලලා ලියන්න අයියේ ඔහොම කීවට බොක්කෙනම ලියන කෙනෙකුට එහෙම ලේසියෙන් බ්ලොග් ලිවීමෙන් අයින් වෙන්න බෑ . ඒක නිසා වැඩ අස්සේ හරි හෙමීට ජුංඩක් ලියන්න ..

    ReplyDelete