10 May 2011

බෞද්ධයින්ට වචනයක් සමගින් මුහුදු මහා විහාරයේ තතු...



කරන්නට යන සද්කාර්යයේ පළමු කොටස සාරථක කර ගනිමින් සුනාමියෙන්පැය 72 ක් ගත වද්දී අප සිටියේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරලේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් වන පොතුවිල් ප්‍රදේශයේ ආරුගම් කලපුව හා ආරුගම් බොක්ක ආශ්‍රිත පෙදෙසේ වෙරළබඩම පිහිටා තිබූ ඓතිහාසික "මුහුදු මහා විහාරයට" අයත් භූමියේය...

ඉහත ඡායාරූපය බලන ඔබට මෙම ස්ථානය තරමක් පැහැදිලිව දැක ගත හැකි වනු ඇත..එහි එක් ඡායාරූපයක මවිසින් රතු පැහැති සලකුණක් තබා ඇත. ඒ මගේ අවබොධයේ තරමින් මුහුදු මහා විහාරය පිහිටි ස්ථානයයි..අනෙක් නිල් පැහැති තිත මගින් දැක්වෙනුයේ අප විසින් නිවස ඉදි කල ස්ථානය ආසන්න වශයෙන් බවද සටහන් තබමි.

අප යන විට අපව පිළි ගන්නට පැමිණියේ සෑහෙන උසකින් යුතු සිහින් සිරුරකින් හෙබි වයසක් පිළිබඳව හරියටම නිශ්චිත වශයෙන් කිව නොහැකි උවත් ආසන්න වශයෙන් අවුරුදු හැටක සීමාවට එපිටින් හෝ මෙපිටින් යැයි සිතිය හැකි හිමි නමකි. ඒ මුහුදු මහා විහාරාධිපති ස්වාමීන් වහන්සේයි...

මේ වන විට දෙතුන් විටක් දුරකථනය ඔස්සේ අප කතා බහ කොට තිබූ නිසාම උන් වහන්සේ බොහෝ කලක සිට අදුරන කෙනෙකු හා සමානව අපව පිළි ගන්නා ලදි.තව දුරටත් විපරම් කරනා විට උන් වහන්සේ හැරුනු විට කුඩා සාමණේර හිමිවරු කිහිප දෙනෙකුද එහි සිටිනු දක්නා ලදි..පසුව නම් කුඩා හිමිවරු හය නමක් එහි වාසය කරනා බව දැන ගතිමි.

විහාරාධිපති හිමියන්ගේත් කුඩා හිමිවරුන්ගේත් ස්වරූපයේ වැඩි වෙනසක් නොවීය..උන්වහන්සේලා සියළු දෙනාම බොහෝ විඩාබර ලක්ෂණ පෙන්නුම් කරනු ලබන ප්‍රදේශයේ ඇති දුක් සහිත බව මනාව පිළිබිඹු කරනු ලබන්නා වූ පෙනුමකින් යුක්තය...

ආවාසය එතරම් විශාල වූවක් නොවේ...කාමර දෙකක් ප්‍රධාන සාලයක් වැනි කොටසත් ඇති කුඩා ආවාසයක් වූ අතර පිටුපස කුස්සියක්ද..ආවාසයට එක් පැත්තකින් පිහිටි පටු එළිමහන් බරාඳයක් වැනි කොටසකින්ද සමන්විතය.

එහි පහසුකම් කියා කියත හැකි මහා දෙයක් නැත. ආවාසයට එපිටින් කුඩා වැසිකිලියත් ඒ ආසන්නයේම කුඩා කොහොඹ ගසකට අල්ලා බැඳ සිටුවා තිබූ වතුර බටයකට සවි කල වතුර මලක් හා කරාමයක්ද විය...

සියළු ජල අවශ්‍යතා සපුරා ගැනීමට එම කරාමය ප්‍රයෝජනවත් විය. නාන පයිප්පය අසල බිම කටු සිමෙන්ති තට්ටුවක් යන්තමින් අතුරා තිබුනා මෙන් මතකයක් ඇත.

ආවාසයේ බිම පුරාම සිහින් වැලි තට්ටුවක් නිතරම පැතිරී ඇත..එයට හේතුව ආවාසය වටා ඇති මුහුදු වැලි තට්ටුවයි..ඇත්තටම පන්සල පිහිටා ඇත්තේ මුහුදු වෙරලේ වැලි තට්ටුව මතය..අප දකින පස් සහිත පොලොවක් එහි දක්නට නැත... සියළු ඉදිකිරීම් කල යුතුව තිබුනේ මුහුදු වැල්ල මතමය...ආවාසයේ සිට මුහුදට තිබුනේ මීටර් සීයයකට ආසන්න දුරක් පමණි...ඇත්තෙන්ම විහාරය සුනාමියේ රළ පහරකුදු නොවැද ආරක්ෂා වී තිබුණත් එය එසේ වූයේ කෙසේදැයි සිතා ගැනීමටත් අපහසුය...

මුහුදත් ආවාසයත් අතරට එක් වැලි පරයක් ඇති වී තිබුණි එම වැලි පරය වැව් බැම්මක් වැනිය..නමුත් සුනාමිය අවට ප්‍රදේශ වලටත් සමස්ථ ලාංකීය වෙරළ තීරයන්ටත් කඩා වැදී තිබු වියරු ස්වභාවය දන්නා අයකුට නම් එම වැලි පරයෙන් පමණක් වූවද විහාරය ආරක්ෂා වීම සිතා ගත නොහැකි තරමේ පුදුමයකි.ඒ තරම්ම සමීප බවක් මුහුදත් විහාරයත් අතර තිබිණි.

ආවාසයේ ඉදිරිපස භූමියේ මද දුරක් ගමන් ගත් විට ඉපරණි නටබුන් සහිත බිම් කඩක් හමුවේ..ගරා වැටුන සෙල් මුවා බුද්ධ ප්‍රතිමාවක් සහ කුළුණූ කිහිපයක් ආදී දේ එහි විය...එය මෙම විහාරයේ ඇති ඓතිහාසික වටිනාකම අපට මොනවට කියා පායි.

ආවාසයේ මුහුදු පැත්තට විරුද්ධ දෙසින් මෑතකදී රෝපණය කල කුඩා බෝධියකි.එය වටා ලී දඩු යොදා තැනූ වැටකි. බෝධීන් වහන්සේ මා එහි යන කාලය වන විට අඩි දහයකට පමණ ආසන්න උසකට වැඩී තිබිණී. මා එය අසලට යන විට එහි පැමිණී ලොකු හාමුදුරුවන් වහන්සේ තවත් අතුරු කතාවක් මා හට පවසන්නට විය..

ඒ අනුව මේ උන් වහන්සේ එහි රෝපණය කල පළමු බෝධි අංකුරය නොවීය...මීට ප්‍රථම කිහිප විඩක්ම රෝපනය කල බෝධි අංකුර අවට සිටින මුසල්මානුවන් විසින් උණූ වතුර වත්කර විනාශ කර තිබිණි...උන් වහන්සේ මා හට එම කතා පුවත පවසන ලද්දේ බොහෝ දුක් මුසුවය..මා යන විට තිබූ බොධියට වඩා සෑහෙන තරමකට වැඩුනු බෝධීන් වහන්සේ නමක් මීට පෙර තිබී ඇත..නමුත් එයද මුස්ලිම් ජාතිකයින් දෙතුන් විඩක් උත්සහ කොට විනාශ කර තිබුනි..ලොකු හාමුදුරුවන්ට බෝධීන් වහන්සේ රැක බලා ගැනීමට මහත් වෙහෙසක් දරන්නට සිදුව තිබිණී...

එපමණක් නොව..අතීතයේදී මෙම විහාරස්ථානයට එවකට සිටි රජදරුවන් විසින් පුද දෙනු ලැබූ විහාරස්ථානය සතු වය යුතු අක්කර සිය දහස් ගණනක භුමිය අද වන විට අක්කරයකට දෙකකට සීමා වී ඇත...
කෙසේ වෙතත් විහාරස්ථාන සතුව මහා පරිමාණයෙන් අක්කර සිය දහසු ගණනක දේපල අද වන විට පැවතිය යුත්යැයි මමද විශ්වාස නොකරමි..ඒ හරහා ගොඩ නැගෙන්නේ ආගමික පිළිවෙතට ලැදි භික්ෂූ සමාජයක් වෙනුවට පරම්පරාවෙන් පරම්පරාවට එම දේපලට කෑදර කමින් එම විහාරස්ථාන වලට අධිපති හිමිවරුන්ගේ සහෝදර සහෝදරියන්ගේ පුතුන් පැවිදි බිමට පත් කරගෙන ඒ හරහා ගොඩ නැගෙන ව්‍යාපාරික සසුනක් හැර අන් යමක් නොවේ...

එහෙයින් පන්සල් සතු පන්සලේ යැපීම් වලටත් වඩා ආදායම් ලබන ඉඩ කඩම් දුප්පත් ජනයා අතරට හෝ නැවත රජය අතටම යෑම සාධාරණීය කරණය කල හැක..නමුත් එහිදී එම විහාරස්ථානයේ යැපීමට සාධාරණ ප්‍රමාණයක් ඉතිරි කිරීම අතිශයින්ම වැදගත් කරුණකි.

නමුත් මෙහිදී මුහුදු මහා විහාරයට වී ඇත්තේ බලවත් අකටයුත්තකි...පැවති චන්ද්‍රිකා රජය යටතේ මෙන්ම ඊට පෙර සිටම අශ්රෝෆ් අමාත්‍යවරයාගේ බලවත් හස්තයට බියෙන් නැගෙනහිර වෙරලේ මුසල්මානුවන්ට රිසි පරිදි දේපල පවරා දීමේදී එහි පැවති බොහෝ පුද බිම්වලට වී ඇති අසාධාරණය වචනයෙන් පැහැදිලි කල හැක්කක් නොවේ.

සෑම අතින්ම විහාරස්ථානයට මුසල්මානුවන් අතින් කෙරෙන්නේ කෙණහිලිකම්ය...මෙසේ මා එක් වරගයකට චෝදනා කරන්නේ උන්වහන්සේ අතින් දැන ගත් කරුණු මතම පිහිටා නොවන වග කිව යුතුය..මන්ද එදින උදෑසන හීල් දානය වළඳා අවසන අප ‍නිවාස තැනීමට යෝජනා වී තිබූ තැනට යන අතර මග පාරේ සිටි මුස්ලිම් දරුවන් ඉදරපස වාඩි වී යන සිවුරු පෙරවා සිටි මා දුටු මොහොතේම අපගේ රථය පිටුපස දිව එමින් අපගේ රථවලට කෙල ගසන්නට කරන ලද අශෝභන උත්සහය මතමය...මා රථයෙන් හිස ඉවතට දමා පිටුපස පැමිණි අපගේ කොළු නඩයට කිසිවක් ගණන් නොගෙන යමු යැයි නොකියන්නට ඇති විය හැකිව තිබුනේ ගැටුම් කාරී තත්වයක්ය...

අප විහාරස්ථානය පිහිටා ඇති ප්‍රදේශයේ එක් පසක් මායිව තිබුනේ කුඩා මුස්ලිම් ගම්මානයකටය..අනික් පසින් ලංකාවේ තරමක් ප්‍රසිද්ධ කතෝලික පල්ලියක් සහිත කතෝලිකයින් වෙසෙන ප්‍රදේශයකින්ය..නමුත් කවදා කිසිම ආකාරයකින්වත් ආගම් හා ජාතී ප්‍රශ්න මත අප හා ඔවුන් අතර ගැටළු පැන නැගී තිබුනේ නැත. අපගේ ගමක් මැදින් මුස්ලිම් දරුවෙකුට සිය අනන්‍යතාවය හැගවෙන මුස්ලිම් තොප්පියත් පැළඳගෙන යාමට ඒමට කිසිම අවහිරයක් බාදකයක් නොවුන අතර...එවන් අයකුට උවමනාවක් වෙත්නම් සොයා බලා ඉටුකිරීමටද ගම් වැසියන් කිසි විටක පැකිලෙන තත්වයක් නොවීය.

සමහර අවස්ථාවලදී සිංහල බෞද්ධයකුට වඩා වැදගත් හා වාසිදායක තත්වයක් ඔවුනට අප සමාජයේ නිරන්තරයෙන්ම ලැබී තිබුනේය කිවහොත් එයද වරදක් නොවේ..ඊට හේතුව වෙනත් ජාතිකයකුට ඔහුගේ ජාතිය හේතුකොටගෙන අකටයුත්තක් වේ නම් එය අපහට තරම් නොවනා දෙයක් බව මිනිසුන්‍ගේ සිත් තුල තිබීමයි...

එසේ පරිසරයක වෙසෙන දරුවනට අර වැනි අත්දැකීමක් විඳින්නට වූ කල ඇති වන කම්පනය කෙසේ දැයි දැන ගැන්මට නම් එදා මා ගමන් කල රථයේම ඔබත් සිටිය යුතුමය...

එවැනි අත්දැකීම් කිහිපයකටම මා නැගෙනහිර සංචාරය කල අවස්ථා දෙකෙහිදිම මුහුණ දුන් බව කිව යුතුය..එසේ නැතිව මුහුදු මහා විහාරාධිපති හිමියන් පැවසූ කරුණු මත පමණක් පදනම්ව මෙම කාරණය දෙස මා නොබැලීමි.

ඇත්තෙන්ම උන් වහන්සේ සිටියේ බොහෝ වෙහෙසටත් කලකිරීමටත් පත්වය...
අතීතයේ මෙහි ශ්‍රී විභූතිය කොතෙක් වූවද වර්ථමානයේ තත්වය අතිශයින්ම දුක්ඛිතය...

එම විහාරස්ථානය හා සබැඳි ප්‍රවාදයේ ආකාරයට කැළණියේ මුහුද ගොඩ ගැළු අවස්ථාවේ මුහුදට බිලි දීම පිණිස ඔරුවක පා කර හැරි විහාර මහා දේවිය නැවත වෙරළට ගොඩ ගසා ඇත්තේ මෙම මුහුදු මහා විහාරයීය වෙරළ තීරුවෙනි.එය සිහි වීම පිණිස කාවන්තිස්ස රජු විසින් මෙම විහාරස්ථෘනය පිහිටුවා ඇති අතර එයින් තරමක් ගොඩ බිමට වන්නට යෙදුණු ස්ථානයක කාවන් තිස්ස රජු විසින් වෙහෙර මහා දේවියව සරණ පාවාගෙන ඇත..එය වර්ථමාන "මඟුල් මහා විහාරය" පිහිටා ඇති ස්ථානයයි සැලකේ...

අවාසනාවකට මට එම විහාරයි දැක බලා ගැනීමට අවස්ථාවක් උදා නොවීය..හේතුව ගමන් වාර කිහිපයේදීම මඟුල් මහා විහාරයට හැරෙනා තැනට එන විට අප සිටියේ රාත්‍රි කාලය අතරතුරේ වීමයි.

එසේ පෞරාණික වටිනාකමක් ඇති මෙම විහාරස්ථානය අද ඒ වන විට තිබුනේ ඉතාමත් දුර්වල තත්වයක විය..කුඩා ආවාසයත්...අවම පහසුකම් මැද...දානයක් මානයක් දීමට තරම් සූදානම් දායකයින් පන්සලට නොමැති විය...යාන්තම් හෝ එවැන්නකට සිටියේ විහාරයට තරමක් දුරින් ආරුගම්බේ පාලමටත් එපිටින් පිහිටි ප්‍රදේශයේ විය..එයද තනිකර සිංහල පවුල් නොවූ අතර සිංහල හා ද්‍රවිඩ කලවම් විවහා හරහා පැවත එන පවුල් කිහිපයක් විසු කුඩා ගම්මානයෙනි. එම පවුල් වල අම්මා සිංහල නම් තාත්තා ද්‍රවිඩය..තාත්තා සිංහල නම් අම්මා ද්‍රවිඩය...දරුවන් ඒ දෙකටම නැත...ඔවුහූ දෙමළ බස පහසුවෙනුත්..සිංහල බස තරමක් අපහසුවෙනුත් වහරන්නාහ.

නමුත් ඔවුන් පන්සලට ලැදිය..ජීවනෝපාය මුහුදු යාමත් සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත කර්මාන්තත් විය...ඇත්තෙන්ම මා දුටු අපූරු මිනිසුන් කොට්ඨාශයකි එය...නැවත වතාවක් නැගෙනහිර වෙරළේ මාහට කවදා සංචාරය කරන්නට ලැබේදෝයි මා නොදනිතත්..එවැනි අවස්ථාවක් නැවත ලද හොත් ඔවුන් බැලීමට යාමට අමතක නොකරමි..ඒ තරම්ම සුහද ශීලී මිනිසුන් කිහිප දෙනෙකු ඒ ගමන්වාර වලදී මා දැන හැදින ගතිමි.

එම පවුල් කිහිපය හැර අන් දායක පිරිසක් පන්සලට නොමැත...නමුත් ඒ වෙනුවට පන්සල හා එහි වෙසෙන භික්ෂූන් වහන්සේලා රැක ගැන්මට පොතුවිල්හී පිහිටා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සිටින සියළුම සෙබළුන් හා නිලධාරීන් කැපවී සිටී..ඇත්තෙන්ම අප එහි ගිය දිනයේද උදෑසන දානය ගෙන ආ කහ පැහැති බස් රථයක් විහාරස්ථානයට මඳක් දුරකින් නවතා තිබිණි. එසේ දෙවේලටම දානය සැපයීම සිදුකෙරෙන්නේ එම කඳවුරෙන්ම විය. ඒ හැර සෑම විටම පන්සලේ ආරක්ෂාව සඳහා සෙබළුන් දෙදෙනෙකු රඳවා තබන්නටද මා එහි යන අවධිය වන විට කදවුරේ ප්‍රධානීන් විසින් කටයුතු යොදා තිබිණි..ඒ තරමටම එහි තත්වය අනතුරු දායක විය.

මෙවැනි දාහකුත් එකක් අපහසුතාවයන් මධ්‍යයේම උන් වහන්සේ පුදුමාකාර හිතේ හයියක් ඇතිව විහාරස්ථානයත් එහි නටඹුන් වස්තූන් හා එම ප්‍රදේශ රැක ගැනීමට වෙහෙසෙති... නොයෙකුත් සිවිල් සංවිධාන වලට නිතරම ලිපි යවමින්... සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සිංහල උදවියගේ උපකාර සොයා යමින් පන්සල පවත්වාගෙන යති..ඊඨත් වඩා මහා මෙහෙවරක් හැටියට උන් වහන්සේ මේ සියළුම තත්වයන් යටතේ සෑහෙන ගෝල බාලයන් පිරිසක් නඩත්තු කරනු ලබයි.
මා අර මුළින් සඳහන් කල සිංහල දෙමළ මිශ්‍රිත දරුවන් මෙන්ම ලාහුගල ප්‍රදේශයේ දුප්පත් දරුවන් සෑහෙන පිරිසකුත් උන් වහන්සේ යටතේ පැවැදිව වෙනත් ප්‍රදේශවල පිරිවෙන් හී නැවත අධ්‍යාපනය ලබති.මා එහි යන විටත් කුඩා හිමිවරුන් හය නමක් එහි වැඩ වෙසෙන ලදි...
කුඩා හිමිවරුන්ට දරා ගත නොහැකි තරම් විශාල සිවුරු ඇග වටා ඔතාගෙන බොහෝ දුක සේ සිටි ඔවුන්ට ඊට පස් වතාවේ දෙවන නිවස සාදන්නට මා යන විට අළුතින්ම සිවුරු හා අඳන මසාගෙනම රැගෙන යන ලදි. ඒවා ලද කුඩා හිමිවරුන්ගේ මුහුණුවල තිබූ සතුට අදටත් මා හට අමතක නොවන පින්කමක් බවට පත්ව ඇත.

අදවන විට නම් එම හිමිවරුන් සාසනයේ ඇද්ද නොඇද්ද යන්න මා නොදනිමි..එය වැදගත් කරුණක්ද නොවේ..එහෙත් එසේ හෝ දුප්පත් ළමුන්ට අකුරු හතරක් ‍ඉගෙනුමට මාර්ගයක් පාදා දීමම එම විහාරස්ථානයේ නායක හිමියන් කරනු ලබන මහත් වූ පින්කමකි.

එවැනි කටයුත් කරනා ගමන්ම ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගෙවන හිමිවරයාණෝ සැබවින්ම සම්බුද්ධ ශාසනයට වටිනා ආභරණයැක්යැයි කිව යුතුමය..
අද වන විට උන්වහන්සේ ජීවතුන් අතර සිටී දැයි නොසිටී දැයි මා නොදනිමි.එහෙත් එවැනි එඩිතර කාර්යශීලී යතිවරයාණන් කෙනෙකු දැන හැඳින ගැනීමට හැකිවීමම මා ජීවිතයේ ලද ඉමහත් භාග්‍යයක් කොට සලකමි.

‍ඇත්තෙන්ම බස්නාහිර පළාතේ වෙසෙන ධානපති පින්වතුන් අවස්ථාවක් ලද විගස අටමස්ථාන වන්දනාවට හා දළඳා වන්දනාවටම නොදුවා යා යුතු බොහෝ තැන් ලංකාවේ එමට ඇත.නැගෙනහිර පමණක් නොව මා දෙතුන් වතාවකදී ඇඹිළිපිටිය දිස්ත්‍රික්කයේ ඇතුලට වන්නට පිහිටි විහාරස්ථාන කිහිපයකම රාත්‍රි කාලයේ ලැගුම් ගෙන ඇත්තෙමි.ඒවාහී තත්වය පිළිබඳව ඔබට සිතා ගැන්මටවත් හැකිදැයි මා නොසිතමි. ඕමල්පේ සෝභිත හිමියන්ගේ දේශපාලන ව්‍යාපාරයට අකමැති අයට මා හට කීමට ඇත්තේ
"යන්න ගිහින් ඇඹිළිපිටියේ ගම්මාන ඇතුළට එහි වෙසෙන හිමිවරුන්ගේ තත්වය දෑසින් දැක එන්න" යන්නයි. මා මෙහිදී සෝභිත හිමියන් ගැන පවසන්නට යෙදුනේ මා ගිය පන්සල් කිහිපයටම එකම පිළිසරණ වී තිබුනේ උන්වහන්සේ පමණක්ම වන බව එහි සිටිනා හිමිවරුන්ගේ ස්තූති පූර්වක වචන තුළිනි.

එහෙයින් හැමදාම දුවන වන්දනා මාන කරන ස්ථානවලට ඔබ නොගියා කියා එම ස්ථානවලට හානියක් සිදු නොවේ..එකඳු සිද්ධස්ථානයකවත් බුදුන් වැඩ සිටින්නේ නැත..උන්වහන්සේ සිටිය යුත්තේ පිළිමයක..බෝධීයක..චෛත්‍යයක නොවේ..ඔබේ සිත තුලය... උන්වහන්සේට ඇප උපස්ථාන කිරීමට ඔබට ඇවසිනම් යන්න දුෂ්කර ගම්මාන වලට එහි ගරා වැටෙන පන්සල් තුල දිවි ගෙවමින් ප්‍රදේශයේ සුභ සෙත උදෙසා ජීවිත කැප කරමින් කාලය ගත කරන අහිංසක හිමිවරුන්ට පුංචිම හෝ ඇප උපස්ථානයක් කරන්න...ඔවුන්ද අර මහා සංඝ රත්නයේ පිරිසිදු කොටස්ය...

ගම්වල රැදී නොසිට නාගරික පෙදෙස් කරා ඒමට ඔවුනට හැකියාව ඕනෑ තරම් ඇත.අද වන විට කොළඹ පන්සල් හිමිවරුනගේ හිඟයෙන් පෙලෙන බව ඔබට රහසක් නොවනු ඇත..ඔනෑම විහාරස්ථානයක දානයට පාංශූකූලයට අඩුව පුරවන්නේ බංගලි දේශයෙන් වැඩමවාගත් හිමිවරුන්ගෙනි..එසේ හෙයින් අර ගම්මාන වල දුක් විඳින හිමි වරුන්ට කොළඹ පැමිණියහොත් වැඩ වසන්නට පන්සල් ඕනෑ තරම් සොයා ගත හැක.නමුත් උන්වහන්සේලා එසේ නොකරති..දුප්පත් මිනිසුන් අතරම වැටී සිටිමින් ඔවුන් පිළිගන්වන අල ගෙඩිය මුං ඇට ටික..බඩ ඉරිඟු කරල වළඳමින් එම මිනිසුන් අතරම රැඳී සිටී...

ඔබට අවශ්‍ය බුදුරජානන් වහන්සේගේ ආශීර්වාදය..දහමේ ආශීර්වාදය..සංඝරත්නයේ ආශීර්වාදය නිසැකවම එහි පිහිටා ඇත.

"පින්සිද්ධ වෙච්චාවේ මහත්තයෝ" යන වචන කිහිපය පමණක් සමහර විට ඔබට හිමිවනු ඇත..
ඔවුන් ඔබගේ හිස මත සධාතුක කරඩු තබනා එකක් නැත..අත පිරෙන්නට නූල් බඳිනා එකක්ද නැත..
එහෙත් හිත පිරෙන්නට ආශීර්වාද කරනු ඇත...



29 comments:

  1. කාලීන මාතෘකාවක් මාරයියා... අපේ මේ ඉන්න හරක් පන්සල් යන්නෙ පෙනුමට....

    ReplyDelete
  2. අපේ අයට කියවන්න හුඟක් වටින ලිපියක්.

    ReplyDelete
  3. @අළුත් කොල්ලා...

    ස්තූතියි මල්ලි...

    @හරී...

    බොහෝම ස්තූතියි කිව්වා...ඒත් අක්කේ මම දැන්නේ බැළුවේ ආපහු කියවලා..මේක හෙන පතරංග ජාතකයක් වෙලානේ..කියවන අයට එපා වෙයිද මංදා...

    ReplyDelete
  4. වටිනා ලිපියක්. අවස්ථාවක් වෙතොත් අපේ මහා සංග්‍රාම භූමිය වූ අප ලෝකයේ ප්‍රමුක ජාතියක් ලෙසින් වැජබුණු ඒ අතීත මහා රුහුණු රාජ්‍යය පිළිබඳ තොරතුරුත් එය විනාශ වී අනුරාධපුර රාජ්‍යය ගොඩනැගුනු සැටිත් කියන්නට සිතා සිටිමි. ඔබගේ වටිනා අදහස් ඉතාමත් අගනේය, වෙසක් මාසයට උචිතය.

    ReplyDelete
  5. @වෙද ගෙදර මහ වෙදනා...

    වෙද මහත්තයටත් බොහෝම ස්තූතියි..හැබැයි අර කිව්ව ලිපිය ලියනවනං ඊටත් වඩා ස්තූතියි...ඔබ ලියන රටාවට මමත් බොහෝම කැමතියි.එහෙම රටාවකට ලිය වෙන ඉතිහාසය කියවන්න කවුරු උනත් ආසා වෙයි

    ReplyDelete
  6. අද ලිපියනං බොරු සෝබනේට පංසල් යන අයට කියවන්නම වටින ලිපියක්.
    කොච්චර ලිව්වත් කියවන අයට එපා වෙන්නෙ නෑ. දිගටම ලියන්න.

    ReplyDelete
  7. අඩේ මාරයියේ මේක කොහොමද වුනේ :O මම මුහුදු මහා විහාරයයි මඟුල් මහා විහාරයයි ගැන ලිපියක් පොටෝත් එක්ක ලබන සතියේ ලියන්න හිටියේ :O

    ReplyDelete
  8. මාරයා අය්යේ අපිට බැරිද සම්බුද්ධ ජයන්තියට පින් කමක් කරන්න්න ඔය වගේ විහාරයකට උදව්වක් කරලා, මාරයා තුමාට පුලුවනිද මේ වගේ දෙයකට අපිට මගපෙන්වන්න.

    ReplyDelete
  9. ගම් වල සෝබනේට පන්සල් යන අය අඩුයි.ගොඩක් වෙලාවට පන්සල් යන එක මාර පොශ් කමක් කියලා හිතන අය ජීවත් වෙනව මේ ලංකාවේ.
    ඇත්තම අන්තිම ටික ඇත්ත.පින් සිද්ද වෙච්චාවෙ කියන එක බොරු සෝබන පිරිත් නූල කාරයෝන්ගේ නූලේ පිනට වඩා දහස් ගුනයක් වටිනවා තමා අයියෙ..

    ReplyDelete
  10. @Praසන්ன...

    ඇත්ත ප්‍රසන්න..ඒත් එහෙම කරන කවුරුවත් පිළිගන්න ලෑස්ති නැහැ තමන් කරන්නේ බොරුවක්ය කියන එක...

    බොහෝම ස්තූතියි හැමදාමත් වගේ දෙන තල්ලුවට

    @sameera...

    මට කතා කරන්න මල්ලි අපි බලමු මොනවා හරි කරන්න පුළුවන්ද කියලා..කාලෙනං අඩුයි..ඒත් මොනවම හරි දෙයක් අපි බලමු...

    @රත්ගමයා...

    ගම්වල ඉන්න අයට සෝබනේට පන්සල් යන්න තරං වෙලාවක් නැහැ මල්ලි..ජීවන සටන හින්දා..ඒත් යන්න ඕන හැම වෙලේම කැපවීමෙන් ඒකට යනවා.ඒත් ඒ අස්සෙත් ඉන්නවා ගමේ පන්සලේ නැති බුදුන් වෙන පන්සල් වලින් හොයන ඈයොත්...

    නූලකින් පිරිත් වතුර ටිකකින් ක්ෂණික ආශීර්වාදය හොයන හුග දෙනෙක් දන්නේ නැහැ ආශීර්වාදයක් කියන්නේ මොකක්ද කියන එකවත්. නූල හොඳයි සෝබනේට සමාජයට පෙන්නන්න "මෙන්න අපිත් හෙන බෞද්ධයෝ තමාය" කියලා

    ReplyDelete
  11. වටිනා ලිපියක් . හිතට තදින් දනෙන ආකරයෙන්
    ලියලත් තියෙනවා. අපෙන් මල් මිටක් ඔබට! ! !

    ReplyDelete
  12. @Gimhani...

    බොහෝම ස්තූතියි.

    ReplyDelete
  13. ඇයි ලිය ලිය විතරක් ඉන්නේ මේවා දැනගෙන.

    යමක් කරන්න කම්මැලිද කොන්ද පණ නැද්ද ලැජ්ජද බයද?

    ලියල අනුන් කරනකම් බලන් හිටියොත් ඇත්ද?

    ReplyDelete
  14. @avani...

    අන්න හොඳ කමෙන්ටුවක්..ඒ ඔබ දන්නා තරම නේද..? මං මෙතන කොතනකවත් කියලා තියේද මං වැඩ නවත්තලා කියලා..?

    ReplyDelete
  15. කලින් යන්තමින් ඔය ගැන අහල නම් තිබුනා. ඒත් මේ තරම් විස්තර දන්නේ අදයි. ගොඩක් කණගාටු දැනෙනවා. අපේ බෞද්ධ සාසනයට වෙන මේ අකටයුතුකම් ඇසුවම.

    ReplyDelete
  16. බොහොම ස්තුතියි විස්තර කිව්වාට. මට හිතෙන්නෙ අපේ වැඩි දෙනෙක් තමන් දායකයෙක් නොවන තැනක් දාන මාන දෙන්න තෝර ගන්නෙ හරිම ආත්මාර්තකාමි විදියට. එක්කො තමන්ගෙ ඇස පින වන්න පුලුවන් පොෂ් පරිසරයක් තියෙන්න ඕන, එහෙම නැත්නම් මිහිරි හඬින් ලස්සන කියන ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්න ඕන.

    බුද්ධ සාසනයේ පැවැත්ම ගැන හිතලා දාන මාන දෙන්නෙ කීයෙන් කී දෙනාද ?

    @ avani ...

    තමුන් විසින් යමක් කිරීමත්, අනුන්ට මග පෙන්වීමත් එක සේ ප්‍රයෝජනයි.

    ReplyDelete
  17. හැමදේම වගේ අපේ අය පන්සල් යන්නෙත් සෝබනේට.. දළදා මාලිගාවට දවසකට කීයක් එකතුවෙනවද..? ස්ටාර් ස්වාමීන්වහන්සෙල කොච්චර හම්බ කරනවද..? කළුතරට කීයක් එකතුවෙනවද..? බුඩිස්ට්ට් චැනල් එකෙයි ස්වර්නවාහිනියෙයි නම ප්‍රචාරයකරගන්න මූන දාගන්න පිංකම් කරන අය කොච්චරද..?ඒත් දානේවත් ලැබෙන්නෙ නැති පන්සල් කොච්චර තියෙනවද..? බඩගින්නෙ ඉන්න ස්වාමීන් වහන්සෙල කොච්චර ඉන්නවද..? මමනම් චාරිකා යනකොටත් යන්නේ දුප්පත් පන්සල්වලට. මහ ලොකු දේවල් අරගෙන නෙමෙයි.. පොඩි දෙයක් දුන්නත්..ඒ ලැබෙන පින වැඩියි කිලයි මටනම් හිතෙන්නේ. ඇත්තම කියනවනම් හිඟා නොකන හිඟන්නො... එල ලිපිය ලොක්ක.....

    ReplyDelete
  18. ඔකේ වැරද්ද අපි දානයක් දිය යුත්තේ කාටද කියන එක හරියට තේරුම් ගෙන නොතිබීම තමා. අපි පින් වැඩියි කියලා මහා නාහිමිවරුන්ටයි ප්‍රසිද්ද සිද්දස්තාන වලටයි දන් දෙන්න පොරකනවා. ඒත් ඔය මාරයා කියන කතන්දරේ ගොඩක් මිනිස්සු දන්නෙ නෑ. මමත් කාලයක් දුශ්කර පෙදෙසක ජීවත් උන නිසා මම දන්නවා ඔය කියන තත්වය.

    මම නම් කියන්නෙ දනක් අවශ්‍ය කෙනෙකුට දෙයක් දීලා බලන්න විදින්න ඒ අත් දැකීම. මාරයා සාමනේර හාමුදුරුවන්ට දන් දීලා අත් විඳුපු දේ මම අත් විඳල තියෙනවා ඇඹිලිපිටිය ප්‍රදේශයෙදි. ඔබට මහා පුන්‍යානුමෝදනා, පිරිත් නූල් , ගුන ගායනා නොලැබෙනවා වෙන්න පුලුවන් ඒත් ඔවුන්ගේ හිනහව මහා කතාවක් කියාවි.විශ්වාස කරන්න ඒක හරි අපූරු කතාවක්. ඒක අනුස්මරනය කරන වාරයක් පාසා සිත පැහැදේවි. ඊට වඩා තවත් මොනවද අවශ්‍ය.

    මන් හිතනවා මේක කියෙව්වයින් පස්සෙ තව කීප දෙනෙක් වත් ඔය දුශ්කර පලාත් වල තියෙන පන්සල් වලට උදව් උපකාර කරයි කියලා. උඹ මහා සාශනික මෙහෙවරක් කරනවා බන් සිවුර දා ඇවිල්ලත් ඉවර වෙලා. ස්තූතියි උඹට.

    පලි: මන් හිතන්නෙ දැන්නම් උඹේ පන්සලේ කතාවලට කැමැත්තෙන් හිටි සමහරු නම් දැන් ඇකමැති ඇති මේකට :)

    ReplyDelete
  19. @සඳ සාවි...

    ඔන්න ඕහොම නොදන්න එක්කෙනෙක් හරි දැනුවත් උනානං ඒකත් ලොකු දෙයක්නේ..ඒ විතරක්මත් මදි හැබැයි..ඊ ළගට පවුලේ උදවිය පින්කමක් කරන්න කැරකෙන වෙලාවක..වන්දනාවක් යන්න හදන වෙලාවට ඔයාට පුළුවන්කම තියෙනවා ගෙදර අයට පොඩි යෝජනාවක් කරලා බලන්න...ඒක ඒ හැටි දෙයක් වෙන්න ඕන නැහැ..යන ගමන අතරතුර ගමන් මාර්ගයෙන් අතර මගදී හැරිලා අමතර කිලෝ මීටර් කිහිපයක් යන්න වෙයි..සීනි තේකොල ටික නැති පන්සල්වලට එහෙම දෙයක් දුන්නත් ඇති හොඳටම...අපි බලමු එහෙම යමක් කරන්න තරං ඔයාට හිතට දෙයක් මේකෙන් ලැබුනද කියලා..
    ස්තූතියි...

    ReplyDelete
  20. @Roy...

    ඇත්තෙන්ම සාංඝිකයක් දෙනවයි කියන එකේ අර්ථය සාසනයේ පැවැත්මට කරන අනුග්‍රහයක් කියන එකයි...
    ඒකෙදී අර වගේ තැන්වල තියෙන පුංචි පන්සල් ටික රැක ගත්තේ නැත්තං ටික දවසකින්ම දුෂ්කර පලාත්වල පන්සල් ටික වැහිලා යනවා..ඊ ළගට ඒ තැන්වලට වෙන්නේ මොකක්ද කියලා අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
    ස්තූතියි...

    ReplyDelete
  21. @මාතලන්...

    "හිඟා නොකන හිගන්නෝ"

    ඇත්තටම මට දවසක් ඇඹිළිපිටියේ ගල් අමු‍ණ පැත්තේ පන්සලක හාමුදුරු කෙනෙක් ඔය කතාවම කිව්වා...මට ඒක මතක් උනේ..
    ඇත්තෙන්ම භික්ෂුව කියන වදන හැදිලා තියෙන්නෙත් පිණ්ඩපාතයෙන් යැපෙන තැනැත්තා කියන අරුතින්..නමුත් ඒක කිසි විටකත් සිඟමනක් ලෙස අර්ථ දැක්විය නොහැකියි... එය පූජාවක් පිළි ගන්නා ආකාරයක් විය යුතුයි..නමුත් අද උන්වහන්සේලා ඔබ කිව්ව තත්වයට පත් වෙලා...වැඩිය ඕන නැහැ අපි දන්න මේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රීක්කයේ ඇතුලට වෙන්න පන්සල් තියේ ඔය තත්වය තියෙන..

    ඇත්තටම ලොකු දේවල් ගැන නෙවෙයි මාත් කතා කරන්නේ..ඔබ කියනවා වගේ පොඩි දේත් ඒ වගේ තැන් වලදී ලොකු දෙයක්...

    සබන් කෑල්ල නැති පන්සල් ඕන තරං තියෙනවා...

    ReplyDelete
  22. @ නිශ්...

    උඹ තරං හොඳට බෙල්ල මුලින් අල්ලන එකෙක් තව නැද්ද මංදා...
    අර අන්තිම වචන ටික දැක්කම මට හිතුනේ...

    මේ කිව්ව දේවල් අත්විඳලා ඒ තැන් වලට පිහිටක් උපකාරයක් කල කෙනෙකුට මම අමුතුවෙනි කිසිම දෙයක් කියන්න ඕන නැහැ..උඹ විඳින සතුට ගැන මම හොඳටම දන්නවා.
    අවුරුදු පහ හයක් ගෙවිලත් මට ඒ හැම දෙයක්ම අද වගේ මැවිලා පේනවා... මරන මංචකයේදීත් ඒ දේවල් මතක් නොවෙයි කියලා මට හිතන්න අමාරුයි..උඹටත් ඒ විශ්වාසය තියෙනවා නේද..?

    ඒ දේ ගන්න පුළුවන්ද මහ හයියෙන් පීකරයකින් නම කියවගත්තම විතරක්.

    ස්තූතියි නිශ්...

    ReplyDelete
  23. පින උපදින්නෙ හිතේ....

    ReplyDelete
  24. මගේ ඇඟේ මාළු නටන්න ගත්තා මේක කියවලා .. මූදු මහ විහාරයට මමත් කීපවතාවක්ම ගිහිං තියනවා .. මාරේ අයියා කියාපු මේ විස්තර මම හැබැහින්ම දැකලා තියනවා ..

    .. මුස්ලිම් අය අතින් කෙනෙහිලි කම් වලට ලක් වෙන නැගෙනහිර එකම විහාරය මූදු මහ විහාරය විතරක්ම නෙවේ.. දීඝවාපිය පුද බිමත් අද අන්ත අසරන වෙලා ! ඔය ගැන කතා කරන්න යන්න ඕන නෑ මොකද අපිත් අර ලේබලේ ගහගන්න ඕන නෑනේ .. අනිත් අයගේ ඇස් ඇරෙන දවසක් වෙනකම් අපිත් බලං ඉමු ..එදාට පියවරක් ගමු ..

    කතාවේ මම කැමතිම කොටස මේක ...

    ReplyDelete
  25. අනිවාර්යයෙන්ම ලිවිය යුතු ලිපියක් වගේම කියවිය යුතුම ලිපියක්.

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. මම මේ පන්සල ගැන අහලා තිබුනට,,මේ පන්සලේ මෙහෙම තත්වයක් ඇති කියලා හිතුවේ නෑ..මේ වගේ වටිනා තැන් අතැරලා දාලා මෙහෙම ගිහාම ඉක්මනින්ම මේවා නැති වෙලා යයි...

    ReplyDelete
  28. මාරය තුමගේ පන්සල් ජීවිතේ ලිපිපෙල මුල ඉදන්ම කියවල බලුව අද.. අත්තටම වටින කියන ලිපිපෙලක් ඒක..පන්සල් වලට අපෙන් වෙන්න ඔනි යුතුකම්/ වගකීම් අපි හරියාකාරව නොකර, අපි පන්සල් වල ඉන්නේ රහත් වුන හාමුදුරු වරු කියල හිතන් වැඩ කරන එක හරිම වරදියි. මම පන්සල් ගැන තෙරුම් අරන් තිබ්බ විදිහ වැරදී කියල තේරුම ගත්ත..


    මෙ ඔක්කොමත් එක්ක අවුරුදු 2600ක් කියන්නේ සමන්යයෙන් මනුස් ජීවිත නම් 30ක් විතර නේද කියන එක හිතෙන වෙලාවට දැන් නම් හරිම දුකයි.. හැමවෙලේම මතක් වෙන්නේ..
    "බුදුහාමුදුරුවො අපිත් දකින්න ඇති,බණත් අහන් අති ඒකාලේ.. නිවන් දකින්න පින් මදි වෙන්නැති ඒකාලේ.. "
    කියන එකයි.. :'(

    ලිපිවලට බොහොම ස්තුතියි.. හැමදාම කියවන්න බලපොරොත්තු වෙනව..

    ReplyDelete
  29. ගිය අවුරුද්දේ කැම්පස් එකෙන් ඉතිහාස අධ්‍යනාංශයේ ට්‍රිප් එක ගියේ අම්පාරේ. ඒ ගමන් මුහුදු මහා විහාරෙටත් යන්න පුලුවන් වුණා. එහි වැඩ වාසය කරපු නායක හාමුදුරුවෝ අපේ උරුමය රැකගන්න වෙන මහන්සිය ඇස් දෙකටම දැකගන්න අපිට පුලුවන් වුණා.

    වටේම මුස්ලිම් ගෙවල් ගොඩක් මැද්දේ දානේ දෙන්න සිංහලයෙක්වත් නැතුව හමුදාවේ පොලීසියේ සහයෝගයෙන් හාමුදුරුවෝ කරන කාර්ය්ය ඇත්තටම ප්‍රශංසනීයයි.

    අපිත් පුලුවන් විදිහකට මුදලක් එකතු කරලා දුන්නේ හාමුදුරුවෝ කටයුතුවලට සහයක් වෙන්න.

    ඒ වගේම ඊටත් වඩා දෙයක් ඒ වෙනුවෙන් කරන්න ඕනේ කියලා හිතුණු නිසයි ඊ අටුවාව බ්ලොග් එකෙත් මේ ගැන ලිපියක් ලිව්වේ

    http://eatuwawa.blogspot.com/2010/11/muhudu-maha-viaharaya.html

    ReplyDelete