11 May 2011

සම්බුද්ධත්ව ජයන්තිය හා ඔබ...අගට වන්නට වැසිකිළි කතාවකුත් ඇත...

හෙට අනිද්දාට එළඹෙන්නට ඇත්තේ සුවිශේෂී දිනයකි...
අද අප ගත කරන්නේ බුද්ධ වර්ෂ 2554 වැනි වර්ෂයයි. එය මේ එළඹෙන පුර පසලොස්වක පෝදිනයත් සමගම වර්ෂ 2555 සේ වෙනස් වනු ඇත...
ඒ බුදු රජානන් වහන්සේගේ පිරිනිවනේ සිට මේ දක්වා ගත වූ කාලයයි...

නමුත් සෑම අතම ඇහෙන්නට තිබෙන්නේ බුද්ධ ජයන්ති වර්ෂයක කතාවකි...සමහරුන්ට මෙය මහා ගැටළුවක් වී ඇත..ගතවන වර්ෂ පිළිබඳව ක්‍රිස්තු වර්ෂයෙන් හැර අන් ක්‍රමයකින් නොදන්නා අයට එය එතරම් ගැටළුවක් නොවන්නේ මොන ජයන්තිය කීවද එය කුමක්දැයි කියා සොයා බලන්නට නොදන්නා නිසාවෙනි..නමුත් සමහරු ඉතා හොඳින් මේ පිළිබඳව දනිති..එහෙයින් ඔවුනටද මෙහි ගැටළුවක් නැති...

එහෙත් තවත් පිරිසක් මේ අතර සිටිති..ඔවූහූ බුද්ධ වර්ෂ පිළිබඳව දනිති මෙ ගෙවෙන්නේ 2555 වැනි වර්ෂය බව දන්නා ඔවුන් මේ කියනා බුද්ධ ජයන්තිය කුමක්දොහෝයි විපරම් කරනු දකින්නට ඇත.
එයට හේතුව සමහර විට බුද්ධ ජයන්තිය පිළිබඳ කියනා වැඩිදෙනෙකු මේ කුමන ආකාරයේ බුද්ධ ජයන්තියක්දැයි හරියාකාරව පැහැදිලි නොකරනු බලන හෙයිනි..

නමුත් මාධ්‍ය මගින් ඒ පිළිබඳව සදහන් කරනා බොහෝ වෙලාවල් වලදී එය හරියාකාරව උච්ඡාරනය කරයි..මුද්‍රණය කරයි..එයද සමහරුන්ගේ ඇසට පෙනුනද මනසට ග්‍රහණය නොවූ ආකාරයකි.

"සම්බුද්ධත්ව ජයන්තිය"

මෙම පද දෙකහි පැහැදිලිව සඳහනක් ඇත..
"සම්බුද්ධ ජයන්තිය නොහොත් අප දන්නා බුද්ධ ජයන්තියට වඩා අක්ෂර කිහිපයක වෙනසක් මෙහි ඇත..
එනම් "සම්බුද්ධ+ත්ව" යන්නයි..

ඇත්තෙන්ම මේ ප්‍රකාශ කරන්නේ පිරි නිවනේ සිට අද දක්වා ගත වූ කාලය පිළිබඳව නොවේ...
"ජයන්තිය" යන යෙදුම මෙහිදී අප භාවිතා කරන්නේ සියක් වසරක පරිපූර්ණත්වයක් සම්බන්ධවය...එය සියය..දෙසීයය ආදී වශයෙන් සියයේ ගුණාකාර වලදීද එලෙසින්ම භාවිතයට ගන්නා අකාරයකි. ඒ ආකාරයෙන් බුද්ධ වර්ෂ 2500යේදී සම්බුද්ධ ජයන්තිය ක්‍රිස්තුවර්ෂ 1956දී සැමරූ ලක් වැසියන්හට නැවත සම්බුද්ධ ජයන්තියක් සමරන්නට නම් 2056 වන තෙක් බලා සිටිය යුතුය...

එහෙත් මෙම වර්ෂයේදී මේ සමරන්නට සැරසෙනුයේ ඒ කියනා සම්බුද්ධ ජයන්තිය නොව එදා සිදුහත් තවුසානන් බෝමැඩ හිදී සියළු කෙලෙසුන් නසා නොඑසේනම් ක්ලේෂ පරිනිර්වාණය කරනු ලැබූ..එසේත් නැතිනම් ඔබ අප භාවිතා කරන බුදුවීම සිදු වූ දවසේ සිට මේ දක්වා ගත වූ කාලය සම්බන්ධවයි...

උන්වහන්සේ සිය 29 වැනි වසරේදී ගිහිගෙය අතැර ගොස් පුරා සය වසක් නොයෙකුත් ධර්මයන් අත් හදා බලමින් අනන්ත දුක් පීඩාවන් විඳිමින් කාලය ගත කොට අවසන ඒ සියළුම අත්හදා බැලීම් ඉගෙනීම් පසෙක ලා මැදහත් සිතින් සිහියට එළඹ ක්‍රමයෙන් සිත දියුණු කොට අවසන සිත්හී උපදින සියළුම ලොභ ද්වේශ මෝහාදී ක්ලේෂ නැත්තටම නැති කර දමමින් සසරෙහි අවසානය හෙවත් නිවීම ලබා ගන්නා ලදි...
එවකට උන්වහන්සේට වයස වසර 35ක් විය.

එතැන් පටන් ලෝක ශාසන සේවාවෙහි යෙදෙමින් සමාජයේ නොයෙක් මට්ටම්වල ජනී ජනයා අතරින් ඇවිද යමින් ලොව ඇති යථා ස්වභාවය ඔවුනට අවබෝධ කරවාලමින් පුරා හතළිස් පස් වසක් ගත කරනා ලදි..අවසන සිය අසූවැනි ජන්ම දිනය එළඹෙන්නා වූ වෙසක් පුර පසළොස්වක පුන් බොහෝ දිනයේදී ස්කන්ධ පරිනිර්වාණය හෙවත් හතළිස් පස් වසකට පෙරදී ක්ලේෂ නැති කොට දමා ලද නිවන තව දුරටත් සාක්ෂාත් කරමින් ඉතිරිව තිබූ තම ශරීර ධාතුවෙන්ද පිරිනිවීමට පත් වන ලදි...

එසේ බුද්ධත්වයට පත් වූ දිනය හෙවත් ක්ලේෂ පරිනිර්වාණය කල දිනය හා ස්කන්ධ පරිනිර්වාණය අතර වූ කාලය පුරා පන්සාළිස් වසරකි..හෙවත් හතළිස් පස් වසරකි.

දැන් ගත වන 2555වන බුද්ධ වර්ෂයට අර මා කී හතළිස් පස් වසර එකතු කල විට අපට ලැබෙනුයේ 2600 යන වර්ෂයයි..එනම් ක්ලේෂ පරිනිර්වාණය කොට වර්ෂ 2600 ක් ගත වීමෙන් එළඹෙන්නාවූ බුද්ධ ජයන්තිය හෙවත් "සම්බුද්ධත්ව" ජයන්තියයි...

....................................................................
මේ දිනවල නිතර ඇහෙන්නට ඇති වදන් පෙළක් ඇත...

"පිළිවෙතින් පෙළ ගැසෙමු"

අර්ථය නම් බොහෝ හොඳය...නමුත් මා දකිනා ආකාරයටනම් මෙවරත් වන්නේ අප හැමදාම දකිනා ආකාරයට පිළිවෙත පසෙක ලා... ආටෝප සාටෝප සහිත බුදු මඟුළකටය...ඇත්තටම මට කියන්නට ඕනෑ වූ නියම වචනය නම් බුදු වෙඩිම යන්නයි..මඟුළ යන වදන බොහෝකොටම එයට ගැලපෙන්නේ නැත...

අද සමාජයේ..මා දකිනා පරිදි බොහෝ විට විවහා මංගල්ලයකදී කෙරෙන්නේ එක හා සමාන කාර්යයකි...මගුලක් නැත්නම් එවන් වෙඩිමකදී කරන්නේ තමාත් රැවටී..අනුන්වත් රවටන ක්‍රියාවලියකි.

වසර ගණනක් තිස්සේ කීය කීය හරි එකතු කරගත් මුදල් විය පැහැදම් කර වෙඩිමක් කියා දෙයක් ගනිති.
එහිදී පැය කීපයකට මනාළියගේ මූනත් තහඩුව පොලිෂ් කොට සුකුරුත්තං එල්ලීමට ඇන්දවීම යනුවෙන් කෙටියෙන් කියනු ලබයි..දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ අප අන්දනවා යනුවෙන් අදහස් කරන කෙනෙකුව රවටා ඉහළ තැනකින් තැබීමත් මෙම ඇන්දවීමත් අතර කිසිදු වෙනසක් නැත...

මනාළිය වියදම් කරගෙනම ඇඳ ගනී..ඒසේ ඇද ගත් මනාලිය ඉන් පසුව පැමිණෙන නෑදෑ හිතවතුන්ව අන්දන්නට පටන් ගනී..මෙතෙක් දවසක් කළුවට සිටි මනාලිය සුදුවට සිටිනු දකින ඥාතීහූ ඇඳ ගනිති...එසේමමනාල පාර්ශවයෙන් පැමිණෙන මීට පෙර ඇය දැක නොමැති අයද හොඳට ඇඳ ගනිති...සමහර වෙලාවට මනාලයාද ඇඳ ගන්නා අවස්ථා නැතිවා නොවේ..ඒ යෝජිත විවහාවලදීය..කඩි මුඩියේ යෝජනා ස්ථීර වීමෙන් කෙරෙන වෙඩිමකදී එසේත් විය හැක...

මෙකී නොකී බහුරූ කොලං වෙඩිමකදී දත හැක...කවදාවත් කෝට් බෑයක් ඇඳ නැති බුවාලා බොහෝ දුක සේ කුලියට ගත් පත කොට් බෑයකින් ශරීරය හිරකරගෙන අනාගතයේ තමන්ට විඳින්නට නියමිත දඩුවමට පෙර පුහුණුවීමක් ලෙස එදින ගෙවා දමනු ලබයි..පොටෝ කාරයින් දස අතේ පොටෝ ගසති...හැකි සෑම විටම වෙඩිමේ සැලැස්ම ඔවුනට ඕනා පරිදි වෙනස් කරති..ඒ වැඩකට ඇතුවාටම නොව ඒ හරහා ඔවුන් වෙහෙසෙන ආකාරයක් පෙන්නා දීමටය...

බතක් උයා මසක් මාළුවක් හොදි වෑංජනයක් එක්ක කෑම වේලක් රසවත්ව ගුනවත්ව ලාබෙට කල හැකි වූවද එදිනට එක පිගානක මිල දිළිඳු පවුලක සතියක වේල පිරිමසන්නටත් සෑහේ...

ගෙවල් දොරවල්වල හුණු ටිකක් උලා වත්ත පිටිය සුද්ද කර මඩුවක් අටවා මගුල් කෑම සිද්ධ වූයේ අපි කුඩා කලදීය..අද ඒ සඳහා උත්සව ශාලා හිමියන්ට ජාති ණය ගෙවිය යුතුය...මා කුඩා කල උත්සව ශාලාවක මඟුලක් ගන්නවා යනු පහත් ක්‍රියාවකි...එසේ කරන්නේ ඉන්නට හිටින්නට තැනක් නොමැති අය සේ සැලකීම එයට හේතුව විණි..

නමුත් අද ගෙදරක උත්සවය ගැනීම අවමානයකි...අවසාන වශයෙන් මේ ආකාරයේ වෙඩිමකින් ලාභ ලබන්නෝ බොහෝය...කාර් කුලියට දෙන අය..අන්දන අය..පොටෝ ගන්නා උදවිය..උත්සව ශාලා හිමියන්..ආහාර සපයන්නන්..බාර් කාරයන්... ඇයි ඒ විතරක්ද..?කේක්..

කේක් කියනකොට මට මතක් උනේ මේ ඊයේ පෙරේදා අපේ නංගි කෙනෙක් කියපු කතාවක්..එයා වෙඩින් කේක් ඇනවුම් බාර ගන්නවා...මං ළගකදී එහෙ යනකොට හෝ ගාලා වැඩ..ඉතිං මං නිකමට වගේ ඒවායේ ගණන් හිලවු අහන කොට දන ගත්තේ නගාට ඒ එක කේක් කෑල්ලකට රුපියල් 35ක් ලැබෙනවා කියන එක..නමුත් එයත් පාඩු වගයි කියන්නට යෙදුනේ..ඒ තිස්පහ අර පෙට්ටි මුකුත් නැතිව කේක් කෑල්ලට විතරයි..ඔය වගේ බැළුවහම පෙට්ටියත් එක්ක එද්දී හතලිහක් පණහක් වෙයිනේ..ඒ ඔඩරය කෑලි 600කට කිව්වා..එතකොට එතනම තිස්දාහකට ආසන්න මුදලක්..හනේ ඉලවුවේ... මේපුංචි කේක් කෑල්ලක් මිනිස්සුන්ට කවන්න මුංදලා වියදං කරන සල්ලියක්...අනිත් ඒවට කොහොම ඇද්ද..?

ඉතිං මං කිව්වත් වගේ ඔය හැම එකකම අවසානය කොහේවත් නැති මුදලාලිලා ටිකක් පොහොසත් වෙන එක තමා..ඇත්තටම වෙඩිම ගන්න අය බලන් ඉන්නේ වෙඩිමට එන අය දෙන මුදලින් ලාභ ලබන්න..ඒත් එහෙම වෙනවද කියන එකනං මං හරියටම දන්නේ නැහැ..වෙඩිමට යන අයත් රුපියල් දෙසීයක් නොවටිනා කෑම එකක් කාලා දාහා හමාර පූජා කරලා එනවා..ඒත් ඒ සල්ලි වැඩි හරියක් යන්නේ අර මං කිව්ව මුදලාලිලාට මිසක් මනාල යුවල අතටනං නෙවෙයි..

අන්තිමට කාපු වෙඩිමකුත් නැහැ අතේ සල්ලිත් නැහැ...බැඳලා අවුරුද්දක් යනකල්ම ණය ගෙවපංකෝ...
ඊට එහා වෙඩිමට යන උන්ට වෙන දේ...මාසෙකට ඔහොම වෙඩිමක් දෙකක් සෙට් වෙනවා කියන්නේ සාමාන්‍ය පවුලකට දෙයියන්ගේම පිහිටයි කියන එක තමා...

අළුතින් කමිසයක් කලිසමක් සාරියක් පොඩි උන්ට කන්න දෙයක් ..ඒ මුකුත්ම නැතිව බොහෝම අමාරුවෙන් රෝල ගහන උන්ට අරෙහෙම වෙඩිමක් දෙකක් සෙට් උනහම ඇති වෙන සෙතේ මං කියන්න ඕනද..?

ඔන්න දැන් තියෙන වෙඩිං...

මං මේ කියන බුදු වෙඩිමත් එහෙම වැඩක්...

වෙනදා වගේම වෙසක් කාඩ් එකේ පටන් වෙසක් කූඩු..කොඩි...බලුබ් වැල්..තොරණ්... දන්සැල්...ඒ විතරක්ද බණ මුදලාලිලා මෙහෙයවන ධර්ම දේශනා... මෙකී නොකී සෑහෙන දේවල් කෙරෙවි.ගමේ උදවියගෙන් බලෙන් මෙන් එක් රැස් කෙරෙන ආධාර මුදල් විය පැහැදම් කොට අල්ලපු ගමේ දන්සැලට වඩා මාළු පිණී වැඩි දන්සැලක් දෙන්න සංවිධායක කමිටු පොරකාවී...එදාට..ඒ කියන්නේ දන්සැල දවසට ගමේ ගෙදරක එක බත් හැළියක්වත් නොයිදේවී...හැමෝම දන්සැලට පැමිණ සිත් පුරා කා..අත්පුරා පාර්සල් බැඳගෙන ගෙවල්වලට ගෙනියති..සමහරුනං ශිතකරණවල දමාගෙන පහුවදාටත් රත්කරගෙන කති...

තවත් අය වට කරගෙන කූඩුවක් ගහගෙන ටිකට් කඩා පොලිමේ සෙනග ගෙන්නවා කූඩුව පෙන්නාවි... තොරන් ගාව තරගයට කවි කියවමින් පැමිණෙන අයගේ තුට්ටු දෙක ඩැහැ ගැනීමට සැරසේවි.

පොඩි අප්පු සිංඥෝ
සත පණහක් දුඤ්ඤෝ
ඒ පින ලැබ ගඤ්ඤෝ
නිවන් පුරට යඤ්ඤෝ

එසේ අසා ගැනීමට රිසි බොහෝ දෙනා අල්ලපු ගෙදර දරුවන් වෙසක් සැරසිලි බලන්නට යන්නට වත්කමක් නොමැතිව සිටිනු දැක දැක ඔවුන් අතැර දමා පැමිණ තොරනට මුදල් ආධාර දෙති..නම් කියවා ගනිති...

පිනට දහමට සතයක් වැය නොකරන මුදලාලිලා මුලින් තමන් අතින් ආයෝජනය කොට තොරන ගස්සවා..පසුව ආධාර මුදල් හරහා වියදම් පියවාගෙන තමාගේ සද්ගුනවත් නාමයද රක්ෂා කර ගනිති.

වෙසක් කලාප රට පුරා ඉඳි වනු ඇත. සැම තැන තොරණ විකුනනු ඇත... දන්සැල් පෙරලගෙන කති. ඒ අවසන හවසට ඔළු බක්කෝද නටනු ඇති...මුදල් ගෙවා මුචලින්ද නාග දරණය..මැටි පහන් කූඩුව නරඹනු ඇති...පැයකට රුපියල් දස දහසේ සිට ඉහළට අය කරනු ලබන ධර්ම භාණ්ඩාගාරිකලා වෙසක් දින දෙකේ පැය කිහිපය උපරිම ඉහළ ගණන්වලින් අලවි කරනු ඇති...

මිනිසුන් බුදු වෙඩිම ගන්නේ මෙසේය... පිළිවෙත මොන බම්බුවක්දෑයි සිතෙනු ඇත..ඊට වඩා මෙය කොතරම් ආතල්දැයි සිතනු ඇත...පෝයදාට මස් මාළු නැති හෙයින් පෙරදින සවසම හැකිනම් මස් මාළු ටික ගෙනවිත් ශීතකරණයේ තැන්පත් කර ගනිති. බෝතල් පිළීබඳව කතාවද එසේමය...

මේ මා කියන්නට යෙදුණේ තිත්ත නමුත් අද පවතින ඇත්ත කතාවය...
ඔබත් මාත් ඇතුළු සියළුම දෙනා කරන්නේ සම්මාදම් වන්නේ මෙයට නොවේද..?

මේ අතර තුරදී වෙනදා මෙන් පෙහෙවස් සමාදන් වන උවසු උවැසියෝද වෙනසක් නැතිවම කරගෙන ආ පින් දහම් එලෙසින්ම කරනු ලබන අයද නැත්තාහු නොවෙති. නමුත් වැඩිමත්ම සිදු වන්නේ ඔය මා කී ටිකම පමණි.

.......................................................

විය යුත්තේ එයද..? 2555 පහට 45ක් එකතු කර හෝ හදා ගත් 2600 යේ සම්බුද්ධ ජයන්තිය සමරන්නට මීට වඩා ක්‍රමයක් ඇත්තේම නැද්ද...?

එක දවසක මගුල් ගෙයකට ලක්ෂ ගණන් වියදම් කරන අපි...පුංචි කේක් කෑල්ලකට තිස් හතලිස් දහ වියදම් කරන අපි... තොරණ් ගසා දන්සැල් කියා තමුන්ම උයාගෙන තමුන්ම කන ආකාරයේ වැඩ කරන අපි..ඒ හැම දේටම වඩා හරයක් ඇති දෙයක් කරන්නට සිතන්නටම බැරිද..?

මෙතැන් පටන් මම ඔබට කිසිවක් යෝජනා නොකරමි...ඔබ සියල්ලන්ම බුද්ධිමත් මිනිසුන්ය..හිතන්නට මොළයක් ඇතිව සිටිනා අයවළුන්ය...

දහස් ගනන් දුගී දරුවන් ඉගෙනුමට වියපැහැදම් නැතිව අධ්‍යාපනය කඩා කප්පල් කරගන්නා රටක..

වේලක් කෑවොත් ඊළග වේල ලැබෙනකල් විශ්වාස නැති අසරණයින් ඉන්නා රටක...

ළමයා හම්බ වෙන්න ඉස්පිරිතාලෙට ඇතුල් කල ගෑනු මනුස්සයට අවශ්‍ය යැයි ඉස්පිරිතාලෙන් දෙනු ලබන චීත්ත බෙඩ් ජැකට් ඉටි කොල සිරින්ජර ආදී බඩු ලැයිස්තුව ගන්න අතේ සතේ නැතිව ඉස්පිරිතාලේ බංකුවට වෙලා දහ අතේ කල්පනා කරන මිනිසුන් ඉන්නා රටක...

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් දුන්න බෙහෙත් තුණුඩුවේ ෆාමසියෙන් ගත යුතුව ඉතිරි වූ බෙහෙත් ටික ගන්නට බැරිව සුසුම්ලන මිනිසුන් ඉන්නා රටක...

තමන්ට කියා ඉන්න හිටින්න තැනක් නැතිව පාර අයිනේ අටවාගත් නිවසක ජීවිත ගෙවන මිනිසුන් ඉන්නා රටක...

වැදූ දරුවා රැක ගැනීමට නොහැකිව මහ මග දමා යන අම්මලා ඉන්නා රටක...

පාරක් පාරක් ගානේ යමින් එමින් මිනිසුන්ගේ පොළු මුගුරු පහරවල් කනවා හැර වෙනත් යමක් කෑමට නොලැබෙන බලු කුරුවන් අපමණ සරණා වීදි ඇති රටක...

මට ඔබට මෙය කරන්න මෙය කරන්න යැයි කියා අමුතුවෙන් සිහිපත් කල යුතුයැයි මා නොසිතමි..එය ඔබට භාරය...

අවසාන වශයෙන් මෙයට ප්‍රථමව මා ලියු ලිපියේ තැනක සඳහන් කරන්නට යෙදුණු කරුණකට සම්බන්ධ කතාවක් මම කෙටියෙන් පවසන්නම්...

ඒ මෙයට වසර 4කට පමණ ඉහතදීය...
ස්ථානය ඇඹිළිපිටිය නගරයට කිලෝමීටර කිහිපයක් මෙහාට වන්නට ඇති කොබ්බෑ කඩුව හන්දියෙන් හැරී පනාමුරේට යන පාරේ මද දුරක් ගමන් ගන්නා විට හම්බ වෙන ගල් අමුණ නම් ගම්මානයක කෙලවර වූ කුඩා පන්සලකි.

මමත් අප පළාතේ නායක හිමි නමකුත් තුන් රෝද රියකින් ගල් අමුණ බලා වැඩම කරන්නට යෙදුණේ එහි ඊට පසුවදා දිනයෙහි පැවති දානමය පින්කමකට සහභාගී වීම පිණිසය...එම දානමය පින්කම පැවතියේ නායක හිමියන්ටත් මටත් හිතවත් වූ මේසන් බාසුන්නැහේ කෙනෙක්ගේ නිවසෙහිය...

පින්කමට ප්‍රථම දිනයෙහි එහි ගිය අප හට එම නිවසෙහිම නවතින්නට යැයි කීවද හතර දෙනෙකුටවත් හැරෙන්නට ඉඩක් නැති නිවසෙහි අප රැඳී සිටීම ඔවුනගේ කටයුතුවලට බාධාවක් බැව් හොඳින්ම වැටහිණි.
කෙසේ වෙතත් මෙවැනි ආකාරයේ ගමන් කිහිපයක්ම මීට ඉහතදී අප දෙදෙනා විසින් ගොස් තිබූ පළපුරුද්ද නිසාවෙන් හැකි සෑම විටම අප යන තැනට නුදුරෙන් ඇති පන්සලක නැවතීම අප දෙදෙනාගේම පුරුද්ද විය.

ඒ අනුව අප එදිනත් අසල පන්සලක නැවතිය හැකි බව කියා අප පැමිණී රථයටම එම නිවසින් මග පෙන්වන්නකුද ගොඩ කරවාගෙන ගියේ රථය නැවතත් නිවසට එවා අප එහි ලැගුම් ගැනීමේ අරමුණීනි...

කළුවරේම ගිය පාරක් ගැන මට වැටහීමක් නොතිබිණී..නමුත් පාරකට වඩා අගලකට සමාන මාර්ගයක් ඔස්සේ විනාඩි විස්සක් පමණ හෙමි හෙමින් ගමන් ගත් අප අවසානයේ යාන්තම් පහන් එළියක් දැල්වෙන තැනකට ලගා වීමු.එම පහන් එළියට මීටර් පණහක පමණ දුරකින් රථය නවතා ගන්නට වූයේ එතැනින් එහාට ගමන් කිරීමට නොහැකි බැවිනි.
අප පන්සලට ගොඩ උන පසු රථය ආපසු හරවා යැවිණි...

එහි සිටියේ එක් හිමි නමක් පමණි...ආවාසය කොටසක් ඉලුක් හා මුදුනට ආසන්න කොටස උළු හෙවිල්ලා සකස් කල කෑලි දෙකකින් සමන්විත එකකි. ආවාසයට ඉදිරිපසින් ඇතුල් විය යුත්තේ හිස බිමට නවාගෙනය නැතිනම් වහලයේ වූ ඉළුක් මුහුනෙහි ඇනෙයි...

ඇතුල් වූ විට පැරණි පිල් කණ්ඩියක් වැනි කොටසත්..ආවාසයේ ඇතුලත එකම කොටස කබඩයක් තබා දෙකට බෙදාද තිබුණි...අප ආ විස්තරය කියා නවාතැන් ඉල්ලා සිටි අතර වැඩ උන් හිමි නම බොහෝ අසරණව
"ඉන්නනං බැරියෑ..හැබැයි ඉතිං ඒ හැටි පහසුකමක් නං නැහැ"
යනුවෙන් පවසන ලදි.

එය අපට ගැටළුවක් නොවුනෙ අප දෙදෙනාම මෙවන් දුෂ්කර ගමන්වලට හුරුව සිටි බැවිනි.
පන්සල පුරාවටම කුප්පි ලාම්පු දෙකක් විණි..එයින්ද එකක් නිතර දල්වනු ලැබුවේ නැත..ඒ තෙල් පිරිමසා ගැනීම සඳහාය..දල්වා ඇති කුප්පි ලාම්පුව සැමට ආලෝකය සැපයිය යුතු විය...අප ගොස් මඳ වේලාවකින් මුහුනෙහි වීදුරුව බිඳුනු කුඩා විදුලි පන්දමක් රැගත් හිමිනම ගමේ මළ ගෙයකට ගොඩ වී යන බව පවසා ගියේ අමාරුවෙන් කන්න ටික දෙන උන්ගේ මලගෙදරට ගොඩ වෙලා හෙට වැඩ ටික කෙරෙන හැටි කතා කරගෙන එන්නනට ඕනෑ..උන්ට මෙහෙ එන්න වෙලාවක් නැහැ යනුවෙන් පවසාය..ඇත්තෙන්ම අප ආ මගෙහි නිවෙසක මළ ගෙයක ලක්ෂණ තිබුණි...

උන් වහන්සේ ගිය පසු අප ආවාසයේ ඉදිරි පස හා පසුපස කුප්පි ලාම්පුවේ ආධාරයෙන් විපරම් කර බැළුවෙමු..පිටුපස දොරින් එළියට බැසි විට හමු වන්නේ ආවාසයටම අල්ලා බාන ලද ඉළුක් හෙවිලි කල පැලැල්ලකි..එහි බිම කළු ගල් තුනක් තබා සැදි ලිපක් වූ අතර එය පත්තු කල කාලයක්නම් සිතා ගත් නොහැක...
ඒ හැර පැරණි ‍තේ පෝච්චියක් එහි තිබූ භාණ්ඩ විය...
ආවාසය තුල තත්වයද එසේමය..වසා දැමූ තරමක් උස පැරනි අල්මාරියක් වැනි කබඩයකින් එය වෙන් කොට තිබිණී..ආවාසයෙහි එක් ඇඳක් හා බූරු ඇඳක් විය..පැදුරු කිහිපයක් පසෙක විය...

පිටතට ගිය හිමිනම පැය බාගයකින් පමණ පසුව ආපසු ආවේය..ඒ එන විට උන්වහන්සේ අත කුඩා ගොටුවක් වැනි යමක් විය..ඒ තේ කොල හා සීනි ඇබින්දකි... ඒ අප වෙනුවෙන් තේ කහට ටිකක් වත් කරන්නටය..

එහි ඇති තත්වය මනාව අවබෝධ කරගෙන උන් අපි උන්වහන්සේ ඒ සඳහා නොවෙහෙසවා නිදා ගන්නට ඇත්නම් ඒ මැනවැයි යනුවෙන් පවසා උන්වහන්සේගේ ඇඳ උන්වහන්සේටම තබා නායක හිමියන් බූරු ඇදෙහිත් මා බිම එළාගත් පැදුරු කඩමාල්ලකත් නිදා ගතිමි...

පසුවදා පාන්දරට එළඹිණ...අපගේ උර මල්ලේ වූ දත් බුරුසු අතට ගෙන එළියට ගිය විට පිටුපස දොරට මීටර් හයක් පමණ ඈතින් බිම සිමෙන්තියෙන් බැඳි කුඩා ටැංකියක් හා එයට වතුර ගලාගෙන එන අගල් බාගේ බටයකින් සමන්විත ජල කරාමයක් තිබුණු අතර ප්‍රධාන ජල ටැංකියක් හෝ අන් යමක් නොවූ හෙයින් ඒ පිළිබඳව විමසා සිටි පසු උන් වහන්සේගේ පිළිතුර වූයේ එම ජලය මෙහි එනු ලබන්නේ සැතැප්ම ගණනක් එපිටින් සිට බවත්..එයත් මීට ප්‍රථමව අප කිහිප විටක්ම දැන උන් ව්‍යාපෘති කිහිපයකම නියමුවාණන් වූ "ඕමල්පේ සෝභිත" හිමියන්ගේ මැදිහත් වීමෙන් දුෂ්කර පන්සල් සඳහා ලැබෙන තවත් එක් සේවාවක් බවය...

නායක හිමියන් දත් මදිනා අතරෙහි..මා වට පිට බැළුවේ වැසිකිළිය තිබෙන තැන සොයා ගැනීමටය..එවිට පන්සලේ වැඩ සිටි හිමියන් ඊට පාර පෙන්වීය...ආවාසයේ සිටඑහි පිටුපස කැලය මැදින් මීටර් විස්සක් පමණ බටහිර දෙසට ගොස් තවත් මීටර් විස්සක් පමණ වම් පසට ගිය විට වැසිකිළියක් හමු වේ...

ඒ යන අතර වාරයේ කැප්පෙටියා ගාල් ඇග පුරා දැවටේ...රෑ පුරා බැන්ඳ මකුළු දැල් අතරින් යා යුතුය..මා ජීවිත කාලෙටම පියවි ඇසින් දැක ඇති විශාලම මකුළු දැල එදා දුටුවෙමි...රිටිගල රක්ෂිතයේ ඇතුළු වීමට තහනම් සීමාවෙන් ඉහළට එක් වරක් ගමන් ගත් දින කඳු මුදුනෙහිදී හමු වූ දැල එයට වඩා තරමක් කුඩාය..

වාසනාවට දැල තිබුනේ මාර්ගය හරස්කොට නොවුන බැවින් එයට හානියක් නොවන ආකාරයෙන්වැසිකිළිය කරා ගියෙමි...වැසිකිළිය වල වැසිකිළීයකි..එහි වැසිකිළි පෝච්චි නැත.ඇත්තේ බිමට දැමූ කොන්ක්‍රීටය හරි මැදට වන්නට ඇති සෘජුකෝණාස්‍ර හැඩැති කුඩා කටකුත් එහි සෙපස ඇති පා රැඳවිය හැකි සිමෙන්ති කට්ටා දෙකකුත්ය... මෙය මට එතරම් නුහුරු අත්දැකීමක් නොවේ..ඒ අපගේ නිවසේද මා කුඩා කල තිබුනේ එවැනි වැසිකිළියක් වීම නිසාය..යාන්තම් මට වයස දහයකට පමණ ආසන්න වද්දීය එය වෙනුවට වැසිකිළි පෝච්චියක් සවිකල ජල මුද්‍රිත වැසිකිළියක් අපට සාදා ගැනීමට හැකියාව ලැබෙනුයේ...

වැසිකිළිය ඉදිරි පිට පොඩි මුට්ටියක් ඇත..ඔබ කවුරුත් දන්නා හදුනන බෝධිය නැහැවීමට පැන් ගෙන යන කුඩා පැන් කලයකි එය..
එයත් රැගෙන ආපසු ජල කරාමය වෙත පැමිණ වතුර එකක් පුරවාගෙන වැසිකිළීයට ගියෙමි...
එක් වරම කලබල වූ වවුලන් කිහිප දෙනෙකු වැසිකිලි වල තුල හිඳි පිටතට පියාඹා යන ලද්දේ මාගේ පශ්චාත් භාගයේම හැපීගෙනය..
මෙය කියවන ඔබටනම් එය සිනහා වීමට හේතුවක් විය හැකි මුත් මා එහි ගත කල විනාඩි කිහිපය ගත කලේ කෙසේදැයි මට අදටත් සිතා ගත් නොහැක. ඒ තවමත් වල තුල රැදී සිටිමින් ඉවතට පියඹා යන්නට සැරසෙන වවුලන් කිහිප දෙනා පිළිබඳව වූ විචිකිච්ඡාව මතය...ඇත්තටම එය මට අමතක නොවන අත්දැකීමකි... සිතුවිලි සමඟ පොරබදිමින් යාන්තං ගිය වැඩේ කර අවසන් කල මා ඉවතට ආවේ ඉන්දියාව අත්පත් කරගත් මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මානසික තත්වයට සමානවය...

ඒ සමගින්ම කල බල වූ විශාල හොටයක් සහිත කෑදැත්තෙකු මහා භයංකාර ශබ්දයක් නංවාලමින් මා හිසට ඉහළින් පියාඹා ගස් අතරින් නොපෙනී යන ලදි...ඔය මා එක දිනකදී ලද අත්දැකීමය... එහි වෙසෙන ස්වාමීන් වහන්සේ දින පතා මුහුණ දෙන අතවරය කෙසේ විය හැකිද..?

උදෑසනින්ම පැමිණි තුන්රෝද රියෙහි නැගුණූ අප උන්වහන්සේට ස්තූති කොට අප සතුව තිබූ යම් මුදලක්ද පිරි නමා එයින් පිටව ආ අතර ඊට පෙර පන්සලේ බණ මඩුවද දැක ගතිමි.එය මැටියෙන් කොට බිත්ති ගසා වල් ලී කණු සිටුවා වහලට දිරාපත් වූ ටකරං තහඩු හා ඉටිකොල කලවමේ හෙවිල්ලා ඇත්තකි..තවත් පසෙක තරමක් දිගට අත්තිවාරමක් දමා තිබුනේ ධර්ම ශාලාවක් හා බුදු මැදුරක් සඳහා එකම ගොඩ නැගිල්ලක් තැනීමටය.. බෝධීන් වහන්සේ අනිකුත් ගස් වැල් අතරම සැගවී තිබූ අතර වෙනසකට තිබුනේ ඒ ඉදිරි පිට කණුවක ලෑල්ලක් ගසා තිබීමය..එය අප කුරුල්ලන්ට කෑම දෙන්නට සාදන ලෑල්ලක් වැනිය...මුළු පන්සලේම තතු ඔපමණය...

මා එයට වඩා කතාව නොකියමි...
සම්බුද්ධත්ව ජයන්තිය හෙට අනිද්දාට එළඹෙනු ඇත...
එය බුදු වෙඩිමක් කරන්නට ඔබට හැක..නමුත් එය ඊට වඩා හරවත් යමක් බවට හැරවීමට ඔබට හැකිදැයි ඔබ සිතනවාද..?

................................................
පසු සටහන..
මෙහෙම දිගට ලියන එක කියවන්න කරදරයක්නං ඉතිං මට ඒකට කරන්න දෙයක් නැතිවා..දෙකට කඩන්න ඇහැකි තැනක් මට හිතා ගන්නත් බැහැ.අනේ මංදා...

24 comments:

  1. ඉක්මනට තරු පහේ පහසුකම් වලින් නිවන් යන්නේ කොලබ රූපවහිනි එකේ ඉන්න හාමුදුරුවො (එහෙමමද මන්දා) විතරද??? ඔහොම පන්සල සම්බුද්ද සාසනයට අයත් නැත්ද???

    ReplyDelete
  2. අනිත් අයට තමං පි කරනව කියල පෙන්නන්න පිං කරන උදවියනෙ අද කාලෙ වැඩි... ඒවගෙම
    "මේ සැරේ වෙසක් එකටවත් කොළඹ යන්න ඕනෙ වෙසක් බලන්න නැත්නම් වඩක් නෑ අන්න කොළඹනෙ වෙසක් තියෙන්නෙ... මේ ගමේ එකාලන්ල අඩුම ගානෙ කූඩුවක්වත් හදනවද ? කම්මැලි හැත්ත..." මගේ ඇස් ඉදිරිපිටම කියපු කෙනෙකුත් මේ වෙලාවෙ මට මතක් උනා.. ඕක ගොඩක් මිනිස්සුන්ට තේරුමක් නෑ මාරයියෙ.. තේරුම් ගන්න උත්ත්සහ කරන්නෙත් නෑ... එහා ගෙදර බල්බ් වැලක් දාලනම් තම්න්ගෙ ගෙදර දෙකක් දානයි බලන්නෙ.. බුදුහාමුදුරුවෝම දේශනා කරපු සියලුදේම නැසෙන සුලුයි කියන දේ තමයි මේ වේගෙන යන්නෙ...

    ReplyDelete
  3. චොකා බයිලා කොහොද දැන් නැත්තේ. අන්තිමට බුදු දහමත් විකුණගෙන කන ඈයොනේ දැන් ඉන්නේ.

    ReplyDelete
  4. බොහෝ ඉතා කණගාටුවක් දැනුනි..බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ්යේ කතා නොකරන දෙයක් ගැන මේ තරමින් වත් කතා කිරිම අගය කරමි. ඇත්තටම අපි වැඩි දෙනෙක් පින් කරනවා යයි කියමින් කරන්නේ අකුසල් රැස් කිරිමක් නේද ?

    මම හිතන්නෙ සමහර පන්සල් අතර ඇති තරඟයත් මේ අවාසනාවන්ත තත්වයට තරමක බලපැමක් කරණවා. තමන්ගේ ඇති හැකි දායකයන් නැති බැරි පන්සලකට යොමු කර කිසියම් හෝ උදව්වක් ලබා දීමට කැමැත්තක් ඇති හිමි වරු ඉතා දුලභයි නේද ? එසේ මග පෙන්වීමක් නොමැතිව කිසියම් කෙනෙක් නොදන්නා පන්සලකට ගොඩ වැඩි උදව්වක් කිරීමේ සම්භාවිතාව ඉතා අවමයි කියලා මට හිතෙනවා..

    ( මේ වගේ දේවල් දෙකට කඩලා ලියන්න එපා..කොපමන දිග වුවත් එකදිගටම කියවන තරමට හිතට වදිනවා )

    ReplyDelete
  5. 2600 (වෙඩිමෙන්) අදුරෙන් එලියට...

    පොඩි අප්පු මාරයා
    2600 පුස්ස බින්දා
    ඒ පිනම හන්දා
    නිවනටම යන්නා

    ReplyDelete
  6. ගොඩක් තදින් හිතට වැදුනා. එය ඔබගේ දක්ෂකමක්. කොයිහැටි වෙතත් ඔවැනි අත්දැකීම වලින් පරිපූර්න ඔබ උපාධි දහසක් ඇත්තෙක් වැනිය. මල්ලී වල වැසිකිලියට කුඩා කල මමද ගොස් ඇත්තෙක්මි. අදටත් මට නෑම හෝ වෙනත් රාජකාරියක් කිරීමට ඕකට ඇතුළු වුනහම ඉක්මනට එලියට යන්න ඕනේ. මම හිතන්නේ ඒ කාලෙ ඇති වුන ඒ ඔබ කියූ වැනි අප්‍රසන්නතාවය විය යුතුයි. ස්තුතියි.

    ReplyDelete
  7. මාරයියේ, කට කැපුවත් කියාපු ඩිංග සහතික ඇත්ත බං.

    ReplyDelete
  8. කියන්න දෙයක් නෑ..මාරයියා ලියපු විදිහට තත්වේ හිතා ගන්න පුලුවන්..ඔය දෙකට තුනට කඩන්න ඕන කමක් නෑ...කියවන එක ර්ක දිගට කියවන්න පුලුවන් මෙහෙම දැම්මාම

    ReplyDelete
  9. බුදු හාමුදුරුවො වදාරල තියෙන ධර්මය ඒ ආකාරයෙන් අවබෝධ කරගෙන පිළිපදිනවනං ඔය දේ සිද්ධ වෙන්න විදියක් නෑ මං හිතන්නෙ.
    අර රෝයි කියල තියෙනව වගේ මේ වගේ කතා කඩල ලියන්න එපා දිගටම කියවන එක තමයි වැදගත්.

    ReplyDelete
  10. ඔය කතාවට මම විරුද්ධයි මාරයෝ වෙසක් තියෙන්න ඕනි, තොරන් දන්සැල් තියෙන්න ඕනි මම හිතන විදිහට. මොකද බුදු දහමේ පැවැත්මට ඔය දේවල් අවශ්‍ය වෙනවා. මොකද අපේ ගොඩක් උදවියට තමන් ගෙ ආගම මතක් වෙන්නෙත් ඕවා නිසා නේ. ඒ මතක් වීමෙන් වැඩක් නැති එක වෙනම කතාවක්. නමුත් ඔතනින් පටන් ගැන්මක් කරන්න පුලුවනි නේ.

    වෙලා තියෙන්නෙ අද ධර්මය දේශනා කරන අය බුදු දහමේ හරය දේශනා නොකරන එක. ඒක වෙනස් කරන එක තමා මූලික දේ. ඉතින් කාට හරි පුලුවන් නම් ඔය දේවල් සංවිදානය කරන මිනිස්සුනව ඔය මාරයා කියල තියෙන විදිහෙ තැනකට උදව්වක් කරන තත්වෙට යොමු කරන්න මම හිතනවා ඒක ලොකු දෙයක් කියලා. මම කියන්නෙ නෑ දන්සල නවත්තලා ඕක කරන්න කියලා. අර දේ කරන ගමන් කරන්න බැරි කමක් නෑ නේද?

    ඔය කොහොම කිව්වත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ කොච්චර දර්මය ඉගෙන ගත්තත්, ශද්‍රාව තිබ්බත් වැඩක් නෑ ඒ දේ හරියට භාවිතා කරන්න තරම් මොලයක් නැත්තම්.
    ඉතින් මේක බලන අයගෙන් මම ඉල්ලීමක් කරන්න කැමතියි කවදාවත් ඔය උඩින් මාරයා කියල තියෙන වගේ අවස්තාවකදි මග හරල යන්න එපා පුලුවන් විදිහට මොනා හරි කරන්න බලන්න.

    ReplyDelete
  11. කියන්ඩ වචන නැහැ මාරයියා... අර උඩ කියපුවැයින් සෑහෙන දේවල් අපි උනත් කරනවා....
    මේක කියවල කොල්ලට පොඩි ඇත්තක් තේරුම් ගියා...
    අපේ බ්ලොග් උදවියගෙ පිඹුරක් එහෙම නැත මේ පාර වෙසක් එකට මොකුත් පිං අතේ වැඩක් කරන්ට.

    දිගට ලිව්වට කමක් නැහැ. මේ වගේ ඒව බලනකොට දිගයි කියල තේරෙන්නෙ නැහැ.

    ReplyDelete
  12. හුඟාක් දුෂ්කර පැති වල තියෙන පන්සල් වල කිසිම පහසුකමක් නැතුවත් හුඟක් කැපකිරීම් කරන හාමුදුරුවරු ඉන්නවා. ටීවී එකේ සෝබන හාමුදුරුවෝ කවදාවත් ඒ වගේ පැත්තකට අඩිය තියන්න හිතන්නෙවත් නෑ.

    ReplyDelete
  13. මාරයා,
    බුද්ධාන්තර කාලයක් කියන්නෙ කොච්චර දිග කාලයක්ද කියලා හිතුවම වසර 2600 කියන්නෙ අද ඊයෙ වගේ දෙයක්​ නේද? ඒ ගැන හිතද්දි අපිත් යම්කිසි පිනක් කරලා තියෙනවා මේ කාලයේ ඉපදෙන්න.

    ඒ ගැන ඒත්තු ගැන්වෙන විදිහට මුකුත් ලිව්වොත් මොකද මාරයා...!

    ReplyDelete
  14. එකෙන්ම සිරා ලිපියක්!

    ReplyDelete
  15. ඉතින් ලමයි මොකද කරන්න හිතෙන්නෙ මේ වෙසක් මාසෙ

    ReplyDelete
  16. //අර්ථය නම් බොහෝ හොඳය...නමුත් මා දකිනා ආකාරයටනම් මෙවරත් වන්නේ අප හැමදාම දකිනා ආකාරයට පිළිවෙත පසෙක ලා... ආටෝප සාටෝප සහිත බුදු මඟුළකටය...ඇත්තටම මට කියන්නට ඕනෑ වූ නියම වචනය නම් බුදු වෙඩිම යන්නයි..මඟුළ යන වදන බොහෝකොටම එයට ගැලපෙන්නේ නැත..//
    සම්පූර්න ඇත්ත!!..මටත් මේ හිතාගන්න බැරුව ඉන්නෙ මේ කරන කෝලම මොකක්ද කියලා

    ReplyDelete
  17. තිත්ත උනත් ඇත්ත ඇත්තනම්, නම් තිත්ත මැකෙන්න සීනි ටිකක් කකා හරි කියවන්න ඕන හොද ලිපියක් කාලෙකට පස්සෙ කියෙව්වා. මාරයියා වගේ මහා දැනුම ඇත්තියක් නෙමේ උනත් " හිතන්න යමක් " ඉතිරි කල ලිපිය හදවතින්ම අගය කරනවා

    ReplyDelete
  18. අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක....
    තවත් දැකපු ආදර්ශමත් කතාවක්...

    ReplyDelete
  19. අර බුද්ධි කියනදේ මටත් අනන්ත හිතෙනව. බුදු හාමුදුරුවො ජීවත් වෙච්චි කාලෙ අපි සත්ත්ව ආත්ම වල ඉන්න ඇති නේද? අඩු ගානෙ බුදු බණ තියෙන කාලෙකවත් ඉපදිච්චි එකත් පිනක් තමා නේද?

    ReplyDelete
  20. සම්බුද්ධත්ව ජයන්තිය ගැන කියල දුන්නට පින් අයියා...ඇත්තටම දැනගෙන හිටියේ නෑ අදහස. වෙසක් , පොසොන් කියල බුදු දහම විකුනන්නේ නැතුව් පින් අතේ හොද වැඩක් කරන්න අයි මේ මිනිසුන්ට බැරි කියල හිතෙනවා....

    ReplyDelete
  21. මචං මේ දේවල් අපේ උන්ට තෙරෙන්නෙ නෑ.උන් හරිම ජොලියෙන් ඉන්නෙ.අපි ටිකවත් හැදෙමු.අනුන්ගෙ ආතල් කඩන්න හොඳ නෑනෙ

    ReplyDelete
  22. මචO උපරිමයි.....

    ReplyDelete
  23. වෙලාව අරන් කියෙව්ව සේරෝම ටික....මාස 1 1/2ක් මග හැරිච්ච....

    ReplyDelete
  24. අපේ සිංහල මිනිස්සුන්ට සමරන්න දෙයක් තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නැහැ. ඇත්තටම පිළිවෙති පෙළ ගැහුනාටත් වඩා අපේ උන්දැලා කරේ දන්සලට, කූඩුවට පෙළ ගැහුණු එක. ඒ ගැන මට හිතුණු දේ තමා මේ විදිහට ලියලාම පළ කරේ..........

    http://aagiyakatha.blogspot.com/2011/05/market.html

    ReplyDelete