19 May 2011

අසංවේදී නරුමයා...

දුක...

ඔය අකුරු දෙකේ පුංචි වචනය තේරුම් කරන්න තරං මම දන්න හරිය හොදටම මදි කියලයි මට හිතෙන්නේ...බුදු බණේ ඕක විවිධාකාරයට විග්‍රහ කරලා තියෙනවා...මම බණක් කියන්න ලෑස්ති වෙනවා නෙවෙයි.

සාමාන්‍ය විදියට බැළුවාමනං අපි කවුරුත් ඔය දුක කියන දේ ජීවිතය පුරාවටම විවිධ අවස්ථාවලදී විවිධ ස්වරුපයන්ගෙන් විදලා තියෙනවා.ඉපදීම දුකක් කියලා බණේදි කිව්වට ඕක අපිට එක පාරටම තේරෙන්නේ නැහැ..ඒකට හේතුව උපදින අවස්ථාවේ අපි වේදනාවක් විඳගෙන ආපු බව දැන් කාටද මතක තියෙන්නේ.

ඒත්මේ ජීවත් වෙන හැමදාම විඳින හැම දුකටම මුල ඉපදුන එක කියලා කිව්වහමනං ඕක හැමෝටම වගේ ටිකක් ඔළුවට එනවා..ඇත්ත නේන්නං කියලා...

වයසට යෑමත් දුකක්..කවුද කැමති තරුණ විය ඉක්ම ගිහින් කෙස් ගස් එක දෙක සුදු වෙලා..දත් හැලෙන්න ගත්තහම..හැමදාම උදේ කැඩපතක් ඉදිරියෙන් හිට ගත්තම තමාව දිරලා යන හැටි තමාටම ටිකෙන් ටික පෙනෙද්දී මොන පුතයද ඒක ඉවසන්නේ..කොහොම කිව්වත් අපි හැමෝම කැමතියි එක දවසක් හරි තරුණ පෙනුමින් ඉන්න..ඒත් ඒක කරන්න පුළුවන් දෙයක්ද..?

ඉතිං දුක නැත්තේ කාටද..?

ලෙඩදුක්..හම්මේ මතක් කරන්න එපා..මටනං ඔය හැම එකටම වඩා ඕක දැනෙනවා මේ දවස්වල...ලෙඩක් හැදුනමම තමා ඒකේ රඟ තේරෙන්නේ...අපේ ශරීරය අපිටම පාලනය කරගන්න බැරි වේදනාවකින් පෙලෙන කොට කොහොමද ඉවසන්නේ..අනේ දන්න දවසේ ඉඳලා පුළු පුළුවන් හැම වෙලේම මොන මොනවා හරි කලේ මේ සරීර කුඩූව හොදින් තියන්න නේද..?මේක සරසන්න නේද..?මේකට සැපක් දෙන්න නේද..?එහෙව් සරීරේ නිකං ලනුව කඩා ගත්ත හරකා වගේ අපේ පාලනයෙන් මිදිලා ගින් අනතුරු කර ගන්නවා දකින කොට...ඔන්න ඉතිං දුකේ තරම...


මරණය ගැනනං කොහොමටවත්ම කියන්න මං දන්නේ නැහැ.මරණ මංචකයේදී මිනිස්සු පණ අදින හැටි..බය වෙන හැටි...නොමැරී ඉන්න උත්සහ කරන හැටි මම කිහිප විටක්ම දැකලා තියෙනවා..සමහරු ලතෝනි දෙනවා..තවත් අයගේ සරීර කූඩු වෙව්ලලා යනවා..සමහරු අතට අහුවෙන මොනම දේ උනත් තද කරලා මිරිකලා අල්ල ගන්න තැත් කරනවා..හරියට ඒ අල්ලා ගන්නා දේ නිසා තමාට ජීවිතය අල්ලා ගන්න පුළුවන් කියලා හිතලා වගේ..ඒ වගේ දරුඹන ඇර වෙන වේදනාවක් මම නං තාම දන්නේ නැහැ..ඒත් ඒ දැකීම් හරහා හිතන තරං මරණය සුවපහසු නැතිව ඇද්දෝහෝයි හිතෙනවා..


ඒක ශාරීරිකව දුකක් නොවෙන්නත් පුළුවන්..ඒත් මිනිස්සු මේ ජීවත් වෙන ටික කාලෙට අල්ලගෙන ඉන්න දේවල් අතෑරලා යන්න වෙන එකටයි වැඩියම දුක කියලයි මට හිතෙන්නේ. දුක් මහන්සියෙන් වගේව වංචාවෙන් හරි තමුන් ගොඩ නගාගත්ත දේපල..ධනය..කාලයක් තිස්සේ ඇති කරගත්ත බැදීම්..දූදරුවන්..ස්වාමි පුරුෂයින්..භාර්යාවන්..නෑදෑයින්..දෙමව්පියෝ..මේ හැම දේම තව ක්ෂණික මොහොතක් තුල අතෑරලා යන්න වෙන වග දැනුනම...දුක කියන අකුරු දෙක ඇතුලේ තියෙන දේ නෙවේද ඉස්මතු වෙන්නේ...

ශරීරයේ කැපීමක් කෙටීමක් උනහම..එයින් හට ගන්නා වේදනාව...හිතේ යම් අමනාපයක් ගොඩ නැගුනහම..මොනවා හරි දේකට තමාටත් නොදැනිම සුසුම් හෙලන්න උනහම...වෙච්ච වරදක් මතක් වෙලා හිත පශ්චාත්තාපයට පත් වෙද්දී...කිසියම්ම හේතුවක් නිසා හඩලා දොඩලා අවසන් වෙලත් තවමත් හිතේ මහා පාළු හිස් ගතියක් පවතින කොට..ඒක වචනයට විස්තර කරලා තවත් කෙනෙකුට කියන්නත් බැරි තරං සිත වෙහෙසට පත් උනහම..මොන තරං දුකක් හිතේ ඇති වෙනවද..?


අපේ අම්මා තාත්තා..නෑදෑයෝ මිත්‍රයෝ..මේ කවුරු හරි මොන යම්ම හේතුවක් නිසා හරි..ඒ කිව්වේ..දුර ගමනක් වෙන්න පුළුවන්..ඒ වගේම සමහර විට ඒ අය මැරෙනවා වෙන්න පුළුවන්..ආන්න එහෙම දෙයක් නිසා එයාලගෙන් ටික කාලෙකට හරි සදහටම හරි වෙන් වෙන්න උනොත්...

ඒ විතරක්ද..? අපි අකමැතිම කෙනෙක් හෝ පිරිසක් සමග...එකට ඉන්න උනොත්..ඒ අය තමන්ට හුගාක් අප්‍රසන්න අය වෙන්න පුවවන්..සමහර විට ඒ බාහිර ස්වරූපය මත වෙන්න පුළුවන්..ඒ කියන්නේ අපිරිසිදු කම..ලෙඩ රෝග..දද කුෂ්ඨ ආදිය තියෙන් අය හෝ සමහර විට බාහිරව නොවන කරුණු මත..එයාලා තමා සමග ඊර්ෂ්‍යාවෙන් සිටින අය වෙන්න පුළුවන්නං..තමන්ට හතුරු කම් කල මදි පුංචි කම් කල..තමාගේ වරදක්ම හොයන අය වෙන්න පුළුවන්..එහෙම අයත් එක්ක අපිට එකට ඉන්න වෙන අවස්ථා එනවා..සමහර ඥාතීන් අතර ඉද්දී උනත් අපිට මේ තත්වය ඇති වෙනවා...කොයි තරං නෑදෑයින් උනත් අපිට අහිතවත් අය නම්..මොනයම්ම හෝ හේතුවක් මතවත් ඕවුන් හා එක්ව විසුම හරි අමාරු කාර්යයක්...ඉතිං එහෙම ඉන්න උනහම හිතේ ඇතිවන නොරිස්සුම වේදනාව..අප්‍රසන්නතාවය..ඒකත් එක්තරා ආකාරයක දුකක්.


අපි මොනතරං දේවල්වලට ආසා කරනවාද..?මොන තරං දේවල් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාද..තමා සතුව තියෙන සමහර දේවල්වලට මොන තරං ආසාවක් තියේද..? යම් කිසි මොහොතක ඒ තමන් සන්තකයේ තිබූ දෙයක් හෝ..තමා ප්‍රාර්ථනා කල දෙයක් තමන්ට අහිමි වෙනවා කියලා දැනුනම..? පැතූ දේ තමාට නොලැබී යනවා කියලා දැනුනම...සමහර විට ඒ ඔබ පතන රැකියාවක් වෙන්න පුළුවන්..එහෙමත් නැත්තං ආදරය කරන්න තෝරගත්ත ගැහැණූ ළමයා හරි පිරිමියා හෝ වෙන්න පුළුවන්..ඒ දේ තමන්ට හිමි නැති බව තේරුනහම...වෙන දෙයක් ඕන නැහැ..අඩු ගානේ කන බොන දේ උනත් තමන්ට රිසි දේ නොවී..ප්‍රිය නොවන දෙවල් නම් ලැබෙන්නේ..අපි මොන තරං වේදනාවට පත් වෙනවද..?මොන තරං ප්‍රාර්ථනාවන් අපි හිත් ඇතුලේ ගොඩ ගහගෙන තියෙනවද..? ඒ හැම දේම අපිට නැති වෙද්දී..එතන ඇති වෙන්නේ දුකක් නෙවේද..?


අපේ ඉන්ද්‍රියන් නිතරම සූදානම් වෙලා ඉන්නේ රිසි දේ ලබන්න..නොරිසි දේ ඈත් කරන්න.කවුද කැමති අමිහිරි දෙයක් ආහාරයට ගන්න..කවුද කැමති අසුන්දර දසුන් දකින්න..තවුද කැමති කණට කඨෝර ශබ්දයන් අහන්න..කුණු ගඳ ගහන දේ ආඝ්‍රාණය කරන්න..රළු ගොරහැඩි දේවල් ස්පර්ෂ කරන්න... ඒ වගේ දේවල් හරහා අපිට උපදින්නේ වේදනාවක්..කලකිරීමක්..අප්‍රසන්න තාවයක්...අපේ ඉන්ද්‍රීයන් හොයන දේ නැතිව අකමැති දේ ලබන්න වෙන එක දුකක් නෙවෙයිද..?


අපි නිතරම සැප කැමති අය...ඒත් ඒ දේවල් ඒ විදියට නොලැබෙන කොට අපිට ඉතිරි වෙන්නේ දුකක් විතරයි..පොදුවේ ගත්තහම මේ අඩි හයක් විතර ශරීරය ඉල්ලන දේවල් අසීමිතයි..එහෙත් ඒ අතරින් අපට ලැබෙන දේවල් ඉතා සීමිතයි..එහෙම බැළුවහම අපිට ඒ හරහා ඇති වෙන්නේ සතුටක්ය කියලා කොහොමද කියන්නේ..අපි තව දුරටත් හති දමමින් ඒ සැප හොයාගෙන යනවා..ඒ කියන්නේ තව තවත් දුක් අපේ ජීවිතයට ලං කරගන්නවා..ඇයි..අපි කොච්චර එලෙවුවත් අපි පතන හැම දේම අපිට ලැබෙන්නේ නැති හින්දා..ඔන්න ඔහොම දේකටයි දුක කියන්නේ...ඔය සරලව...

ජීවිත කාලය තුලදී අපි විඳින දේ හරහා අපට වැඩි පුරම ලැබෙන්නේ සැපක් සතුටක්ද..?එහෙමත් නැත්තං දුකක් වේදනාවක්ද කියලා මම ඇහැවුවොත් ඒකට උත්තරය කොහොම වෙයිද..?අනිවාර්යයෙන් එක උත්තරයයි හම්බ වෙන්නේ...ඒක ඕබ දන්නවා.

අපේ ජීවිතයේ වැඩිම දුක් උන දවස මොකක්ද..එහෙමත් නැත්තං වැඩිම සතුටු උන දවස මොකක්ද..? ඔය දෙකට උත්තර හොයන්න ලේසිත් නැහැ..කාටවත් කියන්න යන්න ඕන නැහැ තමන්ම මතක් කරගෙන නිකා ඉන්න.ඒත් අවසානයේදී තේරෙයි එහෙමටම කියලා කෙලින්ම කියන්න අමාරු දෙයක් කියලා..මොකද අපි විදින දුක සතුට දෙකම හරියටම අඩු වැඩි කරලා කියන්න බැහැ කියලා අපිට තේරුම් යනවා ඒ වෙලාවට..එක දෙයක් හොදම සතුට තමන්ට ගෙනාවා කියලා හිතෙන කොටම තවත් දෙයක් මතක් වෙලා ඒක් ඊට වඩා සතුටුදායකයි නේද කියලා හිතෙයි..ඒත් ඊටත් වඩා සතුටක් ඇති කරපු දෙයක් ඒ ඇසිල්ලෙම සිතට එන්න පුළුවන්..ඒ විදියට ඕක හරි තීරණයකට එන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවේ..


දුක ගැන ගත්තත් එහෙම තමා..


ඇයි මට මේ උදේ පාන්දර මේ දේවල් හිතෙන්නේ...?

ඒ ඒකට හේතුවක් තියෙන හින්දා.ඊයේ රෑ අහන්න වෙච්ච පණිවිඩයක් නිසා...ඒ පණිවිඩය අහපු වෙලාවේ මට මහා වෙනසක් දැනුනේ නැහැ.මහ හිස් කමක් විතරයි.මං ඒ ගැන හිතුවා..ඇයි එහෙම වෙන්නේ. හරිනං මං ඒ ගැන දුක් වෙන්න ඕන නේද..?ඒත් ඇයි මට එහෙම හැගීමක් එන්නේ නැත්තේ..?මගේ කාලකණ්නි කමක්ද..?මං සංවේදී නොවන පුද්ගලයෙක්ද..? හිතේ ඇතිවන හැගීම් මරා දාලා හරි එහෙම කරන්න හදපු හරි එකෙක්ද..?


අනේ මම දන්නේ නැහැ.මට මගේ තාත්තගේ මරණය ගැන ආරංචි උනේ මරණය සිද්ධ වෙලා මාස තුනකටත් කිට්ටු උන වෙලාවේ...එදා මං සෑහෙන්න කල්පනා කලා..ඒ ඇති උනේ දුකක්ද කියලානං මට ඒ හැටිම තේරුමක් නැහැ..ඒත් මං කල්පනා කලා මට මතකයි...අවසානයේ කල්පනාව ඉවර උනේ..ඒ මරණය ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ කියලා හිතිලා..මොනවා උනත් තාත්තා මැරිලා ඉවරයි..හෙට මාත් මැරෙන්න පුළුවන්..සමහර විට අම්මාගේ මරණයේ ආරංචිය තව සුළු මොහොතකින් මට ඇහෙන්න පුළුවන්.ඒ තමා මේ ලෝකේ හැටි.මං ඒකට දුක් උනා කියලා ආයේ ඒ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ.


ඉතිං ඇයි මං දුක් වෙන්නේ..?අනේ මංදා..මම මහා කාලකණ්නියෙක්ද කියලා..මට ඇයි අනිත් මිනිස්සු එක්ක එකතු වෙලා අඩන්න..එහෙමත් නැත්තං ඒ දේවල් ගැන දුක හිතෙනවා වගේ කතා කර කර ඉන්න බැරි...මිනිස්සු එහෙම නේද කරන්නේ ඒ වගේ වෙලාවක..ඒත් ඇයි මට එහෙම කරන්න බැරි.මරණයක් ගැන අහන කිසිම වෙලාවක මට එහෙමට කියලා දුකක් හිතෙන්නේ නැද්ද මංදා...මට ඈතින් ඉන්න පුද්ගලයින් පැත්තකින් තියලා ළගින් ඉන්න අය ගැන බැවවත් ඔච්චරම තමා...


කොටින්ම කිව්වොත් අම්මාගේ හරි මල්ලීගේ හරි වෙන කාගේ හරි හෝ වේවා..මරණයේ පණිවිඩය මාව සලිත කරන්නේ නැති වග මම දන්නවා..මං දැන් හිතන්නේ මගේ මරණයේ පණිවිඩය ගැන මට දැනගන්න ලැබුනොත් ඒ වෙලාවටවත් මං දුක් වෙයිද කියන එක..ඒක මට තාම තේරුම් ගන්න බැහැ.දාලා යන්න බැරි දේවල් තව කොච්චර ඉතිරි වෙලා තියේද..?හ්ම්ම්..එහෙමටයි කියලා දෙයක් නං නැහැ..ඒත් මැරෙන්න කලින් එකම එක දෙයක් විතරක්නං කරන්න කැමැත්තක් තියෙනවා..ඒ තමා මේ ලැප් එකේ තියෙන යම් යම් දේවල් ටිකක් මකලා දාලා තියන්න..එයින් එකක් තමා මම ආදරය කරපු මට ආදරය කරපු කෙනාගේ ඡායාරූප ගොන්න..ඒවා තාමත් ඇයි මං තියාගෙන ඉන්නේ කියලා මං දන්නේ නැහැ..ඒත් ඒවා මා ළග අදටත් තියෙනවා..තණ්හාවේ හැටි තමා..හුගාක් දේවල් අත ඇරියත් මේ වැදගැම්මකට නැති දේවල් තියං ඉන්නවා...


හෙට මගේ මරණයේ පණිවිඩය එන්න පුළුවන් ඒ හින්දා අද මං ඒ හැම දේම මකලා දානවා.එතකොට ඒකත් ඉවරයි.හ්ම්ම්..ඊට පස්සේනං ඉතිං වෙන දාලා යන්න බැරි තරං දෙයක් තව නැද්ද මංදා..?ඔව් ඒ වගේනං තමා...

කොහොම උනත් ලැබුන ආරංචියට මාත් සුදු කොඩියක් දානවා..ඒ සමාජ ක්‍රමයට අනුචිත වෙන්න.පැතුමකුත් පතනවා..ඒ හදවතින්ම...ඒත් මං අවංකව කියන්න ඕන මගේ හිතට ඒ හරහා දුකක් දැනිලානං නැති වග..

මං මහා නරුමයෙක්ද..?


24 comments:

  1. මාරයියා තරම් ජීවිතේ අත්දැකීම් නැති නිසාද මන්ද, මගෙ හිතට නම් දරා ගන්න බැරි තරමෙ දුකක් දැනෙනවා.
    හරිම හුදෙකලාවක් දැනෙනෙවා.
    වචනවලට නගන්න බැරි හැඟීමක් හිතේ තියනවා.

    ReplyDelete
  2. "ඒත් ඇයි මට එහෙම හැගීමක් එන්නේ නැත්තේ..?මගේ කාලකණ්නි කමක්ද..?මං සංවේදී නොවන පුද්ගලයෙක්ද..? හිතේ ඇතිවන හැගීම් මරා දාලා හරි එහෙම කරන්න හදපු හරි එකෙක්ද..?"

    ඔබ රහත් වෙලා නැති නිසා ඔබ ගැන යම් ප්‍රමාණයක් ඔබගේ මෙම බ්ලොගය හරහා දන්න නිසාත් මට කිව හැක්කේ

    "හිතේ ඇතිවන හැගීම් මරා දාලා හරි එහෙම කරන්න හදපු හරි එකෙක්ද..?"

    විය හැකි බවයි ........

    ReplyDelete
  3. මල්ලි ඕක තමයි ජීවිතයේ හැටි. මම මේ දෙවල් කියලා දෙන්න ඕනෙ නැහැ. ඔයා දන්නවා හොද හැටි මට වඩා. කොහොම හරි ඉතාම සංවේදී මේ ලිපිය මට ගොඩක් දැනුනා. අපි කවුරුත් එතුමාට නිවන් සුව පතමු. එකක් කියන්නම් ඕක ආරංචි වුනත් නැතත් උබ දන්නවා නියතවම අපි කාටත් යන්න වෙනවා,,,,, නියම දවසක් ඇති,,, එදාට අපි කවුරුත් යන්න බලාගෙන ඒක පිළිගන්න ලෑස්ති වෙමු.

    ReplyDelete
  4. මාරයියේ මට හිතනව ඔයා මේ කීවේ මටද කියලා...
    අනිත් අයටත් එසේ සිතෙනවා ඇති...



    මගේ ජීවිතේ මා ලැබූ අත්දැකීම් ගොඩාක් ඔබ අතින් ලියවිලා...
    දුක කියනදේ ඔබ විස්තර කර ඇති අපූරුව..

    මිනිසුන්ගේ සිත්වලට කතා කිරීමේ හැකියාවක් ඔබට තියෙනවා..

    ස්තූතියි

    ReplyDelete
  5. මගෙ හැඟීමුත් ටිකක් විතර ඔය වගේ කාගෙවත් මරනයකදි හිස් බවක් තමයි දැනෙන්නෙ...මොකද මන්දා.......

    ReplyDelete
  6. මාරයිය නරුමයෙක් නම් දුක් වෙන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි කියල දන්න හින්දම, දුක් නොවී ඉන්න සාතනුත් නරුමයෙක්...

    එකපාරම දෙයක් දැනගත්තහම එන පොඩි ෂොක් එකක් විතරක් නම් තියෙනව තාම ඉතුරුවෙලා...

    ReplyDelete
  7. මොනා කියන්නද මාරයියේ...ජිවිතේ කියන්නේ දුකක්....ඒක වදන් වලට අපුරුවට ගලපලා තියනවා ඇහැට කඳුලක් උනන අයුරින්....

    ReplyDelete
  8. කටත් වඩා දැනෙන්නෙ බලාපොරොත්තු කඩවීමත් එක්ක එන හිස් බවක්.

    ReplyDelete
  9. ඉලන්දාරියා උඹට නිවන් සුව ලැබේවා...!

    ReplyDelete
  10. මරයා මල්ලි මෙක තමයි හොදිම ලිපිය. පසුගිය ඇවුරුඩ්ඩෙම ලිපි මම කියෙවුව නමුත් 1 අවස්තා වක හර ප්‍රතිචර ලිව්වෙ නහ.

    අපි අපෙන් ඇසිය යුතු වඩගත් ප්‍රස්නය නමි ඇපි හඩන්නෙ අපිට වෙච්ච පඩුවට තමයි. එආතින් උබ මෙක තෙරුම් අරන් තියනව.

    තිලින

    ReplyDelete
  11. උඹ නරුමයෙක් නෙමේ. සමාජයට ඕන ක්‍රමයට නොව උඹට ඕන ක්‍රමයට ජීවත් වෙයන්. ලබන ආත්මයක් ගැන මම නම් විශ්වාස කොරන්නෙ නැති ඔවැනි සිද්දි වලදි පොඩි ගැස්මක් ඇති උනත් දරාගන්න බැරි දුකක් ඇතිවන්නේ නෑ. තව තවත් ජීවිතේ අවබෝධ කර ගනින්, එතකොට නොසැලෙන මනසින් ඉන්න පුලුවන්. මම ඕමාර් කයියාම් ගේ දර්ශනය 100 ගානට ඇදහුවත්. මමත් සංවේදී පුදිගලයෙක්. අන්තිම හරියෙදි මට තේරෙන්නෙ දුකට වැඩියෙ, අනුන් උඹ ගැන මොකක් හිතයිද කියන බය.. ඒකට බේත තමා. තන් හිසට තම අතමය සෙවනැල්ල.. හෙහ් හෙහ් සැර වැඩිද මංදා. දෙහි ටිකක් දාලා ගනින් කොලුවො....

    ReplyDelete
  12. ඔතන පැති දෙකක් තියෙනවා එක්කො උඹ ජීවිතේ යම්කිසි දෙයක් තේරුම් අරගෙන ඉන්නව නැත්තම් උඹ නරුමයෙක් හිතලා බලහන්

    ReplyDelete
  13. අනේ මන්ද මේ ජීවිතේ හැටි

    ReplyDelete
  14. ඉලන්දරියව පුද්ගලිකව අදුරන්නෙ නැති වුනත් ඒක අහපුවම මටත් මොකක්දෝ දෙයක් දැනුන,මං හිතන්නේ අයිය ඒක නරුම කමක් නෙවෙයි, අයියගේ ජීවිතේ අපිට වැඩ අත්දැකීම් තියෙන නිසා "හිතේ ඇතිවන හැගීම් මරා දාලා හරි එහෙම කරන්න හදපු හරි එකෙක්"

    ReplyDelete
  15. මූනු පොතේ සුභ පැතුමට ලියපු පිලිතුරම තමය් කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  16. දිලුම්ට නිවන් සුව ලැබේවා.නැවත සසර උපදින මනුෂ්‍ය ජාතිවල අකල් මරණ අත් නොලැබේවා.

    ReplyDelete
  17. උඹ හිතනවා නම් උඹ නරුමයෙක් කියලා, මමත් ඒ හා සමානම නරුමයෙක් බං.... ම‍ට දැනුන් තේරුන් තියෙන කාලේ ඉඳලා කවුරු මළත් අඬලා නැහැ.... කවදාවත් අඬන්නෙත් නැහැ.... දුක් වෙන්නෙත් නැහැ... කවදා හරි මං මැරුණු දවසට මං වෙනුවෙන් කවුරුහරි අඬනවට, දුක් වෙනවට කැමතිත් නැහැ...
    දිලුම්ට වුණේ කවදා හරි යන්ඩ තිබුණු ගමන ටිකක් විතර ඉක්මන් වුණු එක විතරයි....
    ටිකක් හරි දුකක් හිතෙන්නේ අපිට එක්ක එකට ජීවත් වෙන උන් අපෙන් ගන්ඩ පුළුවන් උදව් ඔක්කොම අරන් අපිටම කෙලවන්ඩ හදන වෙලාවට විතරයි... ඒකත් ටික වෙලාවයි.... ඕන මඟුලක් කියලා අමතක වෙන්ඩ අරිනවා....
    කොහොමද බන් අපි එකම බෝට්ටුවේ ඉන්නේ....

    ReplyDelete
  18. කුමාර උඹට පිO තේරෙන විදිහට අපි ගැනම ලිව්වට.....

    ඉළOදාරිය නැති වෙලාද? ඈ ඒ හදිසියෙම.....ජීවිතයක හැටි.....අනේ මOද බO.

    ReplyDelete
  19. http://ilandhariaya.blogspot.com/2011/04/blog-post.html

    හිතන්නවත් බැහැ.....මෙච්චරටම අවිනිස්චිතද????????

    ReplyDelete
  20. අයියා කවුද කියන්නෙ උඹ නරුමයෙක් කියලා? අපි හැමෝටම වඩා දුක දැනිලා තියෙන්නෙ උඹට මේ යස අපූරුවට!!! නැත්නම් උඹ මේ ලියල තියෙන්නෙ අහවක් කෙං ගෙඩියක් ද???

    දිලුම් නැති දුක හැමදාම අපි ගාව තියේවි. කිසිම ඉලන්දාරියෙකුට බැරි වෙයි ඒ අඩුව පුරවන්න. ඒ අපි දන්නෙ එකම ඉලන්දාරියෙක් නිසා. ඒ දිලුම් විතරමයි.

    ReplyDelete
  21. අත පය හයිය තියෙනකං අතමිට සල්ලි ගැවසෙන කං යාලු නැදෑ මිත්‍රයො ඉන්නකන් ජීවිත්ය එතරම් දුකක් නොවේ.

    දිලුම්ටත් හිතෙන්න ඇති දැන් ඇති කියලා.

    ReplyDelete
  22. ප්‍රතිචාර දැක්වූ සැම දෙනාමට ස්තූතියි විවිධ විවිධ ආකාරයෙන් කාරණාව ග්‍රහණය කරගන්න උත්සහ කරලා තියෙනවා..තව මේ සම්බන්ධව කෙටි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා උනත් දැන් වෙලාව මදි...ඒ හින්දා ඊ ළග පෝස්ට් එකෙන්වත් ඒ දේ කරන්න බලමු...

    ReplyDelete
  23. වැදගත් ලිපියක්.
    ඉලංදාරියාට නිවන් සුව පතනවා !

    ReplyDelete