23 May 2011

දඩි බිඩි නිවස...සුනාමියේ නැගෙනහිර වෙරලේ කතාව...

මුලින්ම සමා වෙන්ට ඕන පහුගිය දවස්වල එක පිට එක වැටුන වැඩ රාජකාරි හින්දා මේ කතාව අතර මගදී නවත්තන්න උන එක සම්බන්ධව...

මගේ අළුත් වැඩ කටයුතුයි..ඒ අස්සෙම ආව අසනීප තත්වයි..දිළුම්ගේ අවසන් කටයුතු සඳහා පිටත්වීමයි..මේ හැම එකක්ම හින්දා එක දිගට පැයක් අරගෙන නිදහසේ ලියන්න තරං ‍හැකියාවක් තිබුනේ නැහැ නෙව ...


ඒත් පුළුවන් වෙච්ච ගමන් මේක ලියන්න ඕන කියලා තමයි හිත කිව්වේ..ඒ හින්දා ඔන්න ආයෙමත් අර පරණ පන්සල් කතාවටම අඳාළව ලිය වෙන සුනාමිය සහ නැගෙනහිර වෙරලේ විස්තරය පිළිබඳ කතාවට අදත් මම යනවා...

............................................


හිමිදිරියේම පොතුවිල් හී පිහිටි මුහුදු මහා විහාරයට අප ආ සැටි ඔබට මේ වන විට මතකයේ ඇතැයි සිතමි..එසේම ඉන් පසුව සඳහන් කරන්නට යෙදුණේ අප එන විට විහාරයේ හා අවට පරිසරයේ ඇති තත්වය පිළිබඳව යම් පැහැදිලි කිරීමක්ය..දැන් ආරම්භ වන්නේ අපගේ ගමනේ මූලික අරමුණ කරා අප ගමන් කල ආකාරය පිළිබඳව වූ විස්තරයයි...


විහාරයට පැමිණි අප සියළු දෙනාම එහි පිටුපස වූ ජල කරාමයෙන් මුහුණ දොවා ගැනීමටත්..වැසිකිලි යාමේ අවශ්‍යතා ඉටු කර ගැනීමත් මාරුවෙන් මාරුවට කර ගන්නා අතරම කිහිප දෙනෙකු එකතු වී ගෙන ආ කලමනා වලින් අවශ්‍ය දේ රැගෙන විහාරයේ තිබු කුස්සියට වී පරිප්පු හොද්දක් පිළියෙල කරන්නට විය..පෙර දින අප පිටත් වීමට ආසන්න වෙද්දී ලොරියට පැටවූ පාන් මල්ලක් වූ බැවින් එය උදේ ආහාරය සඳහා ගැනීමට පරිප්පු හොද්ද සකස් කරන්නට යෙදුණි. කෙසේ හෝ උදෑසන හත හමාර පමණ වන විට අප සියළු දෙනාම කාබී අවසන්ව යළිත් ගමන ආරම්භ කිරීමට සුදානම් වූ අතර මෙතැන් සිට අපට මග පෙන්වීම නියමිත වූයේ එහි විහාරාධිපති හිමියන් හටය..උන් වහන්සේ නියම කරන කිසියම් පවුලකට අපගේ නිවාසය ඉදිකර දීමටය සැලසුම් කර තිබුනේ...


අප පිටත් වන්නට පෙරම උන්වහන්සේ පා ගමනින්ම පිටත්ව ගිය අතර අපට එන්නට අවශ්‍ය මාර්ගයක් පෙන්වන ලදි. ඒ අනුව කා බී අවසන් වූ වහාම අප සියළු දෙන රථයන් දෙකට ගොඩ වී එම පෙන්වූ දිශාවට ධාවනය කරන ලදි..මෙහිදී කිවයුතු තවත් දෙයක් වූයේ ප්‍රදේශය පුරාම වූ වැලි සහිත පසේ ලොරි රථ ධාවනයේ ඇති අපහසුවයි..ඒවා අඩියෙන් අඩිය එරෙන්නට පටන් ගනී...කොළු නඩය ඒ සෑම විටම බිමට පැන රථ දෙකම තල්ලු කරමින් එම ස්ථාන වලින් ගොඩ ගනිමින් ගමන් කරන්නට විය.


අවසානයේ අප පැමිණියේ ආරුගම්බේ කලපුවට උඩින් අනික් පසට යාමට තිබෙන ආරුගම්බේ පාලම තිබූ තැනටය...නමුත් මේ වන විට එහි පාලමක් නොවීය..අප සිටිනා තැන පාලමක ආරම්භක කොටස යැයි කිව හැකි පාදමක් සහ දෙපස විශාල ගරාදි වැටක් පමණක් ඉතිරි කොට තබා සෙසු සියල්ල සුනාමියට ගසාගෙන ගොස්ය...


මෙම පාලම සුළු පටු පාලමක් නොවීය...කලපුව මුහුදට සම්බන්ධවන මීටර් දෙසීයක පමණ කලපු විවරයත් පාලම නියමිත උසකට එනතෙක් තවදුරටත් ගමන් කල යුතුව තිබූ නිසා අනික් පසින් ගොඩ බිමට උඩින්ද වැටී තිබුනු සෑහෙන දුරකින් යුත් පාලමකි..මාගේ මතකයේ හැටියට එය අවම වශයෙන් මීටර් 300 කට එහා ගිය පාලමකි..නමුත් මේ වන විට එහි ඉතිරිව තිබුනේ මීටර් දහයක පමණ කොටසක් පමණි...

පාලමට පිවිසෙන තැන දකුණු පස කුඩා බෝධියක් සහ බුද්ධ මන්දිරයක් විය...අර පැමිණි රළ පෙල යකඩ කඳකින් තැනූ මහා විශාල පාලමත් අවට පරිසරයේ තිබු බොහෝදෑත් තූ තූ කොට විනාස කර තිබියදී..අර බෝධීන් වහන්සේත්..බුද්ධ මන්දිරයත් නිරුපද්‍රිතව තිබෙන ආකාරය අප සියළු දෙනාම මවිත කරන්නට සමත් වූ වග නොකියා බැරිය...අඩුම තරමේ බුදු මැදුරේ වීදුරුවකට හෝ හානි වී නොතිබුණි..එහෙත් එයට හතර වටේම තිබු ගොඩ නැගිලි සියල්ලම විනාශයට පත්ව තිබිණි.සුනාමිය අවස්ථාවේ සිදු වූ මෙවැනි ආශ්චර්යමත් දේ ගැන බොහෝ දෙනා කතා මේ වන විට ඇති පදමට කතා කොට ඇති නිසා මා ඒ පිළිබඳව අමුතුවෙන් ලියන්නට උවමනා නැතැයි මා සිතමි...මා දුටු මෙම දසුනට අමතරව මාතර බෙලිවත්තේ මුහුද ආසන්නයේම ඇති මා හිත මිතුරු හිමි නමකට වර්ථමානයේ භාරකාරීත්වය හිමිව ඇති විහාරස්ථානයේත් බුදු පිළීමය සහ පස්වග මහණුන්ගේ පිළිම ඉතිරිව තිබියදී..එහි බිත්ති පවා මුහුදට ගසාගෙන ගොස් තිබූ අයුරුද මා පසුව සියැසින්ම දුටු කරුණුය...


අප සිටි පැත්තෙන් පාලමට පිවිසීමට තිබූ තැන එක් වරම පොලොව ඉහලට ඔසවා සකස් කල තැනක් විය...දැන් එයට පිවිස පලක් නැත...එගොඩට යායුතුව ඇත්තේ බෝට්ටු මගිනි.මෙය දුටු අප සිතුවේ අප ගෙන ගිය බඩු බාහිරාදිය ටික ටික පටවා සැරින් සැරේට එගොඩ කරන්නටම දවස ගත වනු ඇති බවය...


පාලමට වම් පසින් මුහුද පැත්තට වන්නට බෝට්ටු සේවයක් පවත්වාගෙන යන්නේ නාවික හමුදාව විසිනි...එම බෝට්ටු වලට වරකට පහළවකට පමණ පිරිසක් එතෙර කරවීමේ හැකියාවක් විය...එහෙත් අප ගෙන ගිය කොටන් වල බර එම බෝට්ටු වලට දරන්නට හැකිදැයි සිතා ගත නොහැක..එක් කොටයක් ඔසවා ලීමටත් අවම වශයෙන් හය දෙනෙකුටත් අපහසුය...එවැනි මහ කනු නවයක් විය..කුඩා කණුත් හයක් පමණ විය..අනිකුත් දෑ..යටලී..පරාල..රීප්ප..ලෑලි..බඩු කන්දරාවකි. අප ඉදිරියේ ඇත්තේ මහා ගැටළුවකි..ඒ කෙසේ වෙතත් දැන් කොට වතුරට දමා ඒවා සමග පීහිනා හෝ එගොඩට ගෙන යායුතුය...


ස්වල්ප වේලාවකින් අප සිටි තැනට විහාරාධිපති හිමියන් පැමිණී අතර උන්වහන්සේ සමග හමුදා නිලධාරියකු විය...එම නිලධාරී මහත්මා ගේ උපදෙස් මත අපගේ ලොරි රථ දෙක මිනිසුන් සදහා බෝට්ටු සේවාව පවතින පාලමේ වම් පසින් නොව දකුණු පසින් ඇති වැලි තලය මතට ගමන් කරවන්නට වීමු. එය ඉතා අපහසු කටයුත්තකි..රථ දෙකම පොලවේ එරී ගිය අතර සියළු දෙනාම එකතු වී තල්ලු කලත් ඒවා සෙලවිය නොමැකි විය...


ගත වූයේ තත්පර ගාණකි...ඒ සැණින්ම එතනට දිව ආවේ ඇමරිකානු මැරීන් සෙබළුන් කිහිප දෙනෙකි...පාලමට වම් පසින් ඔවුන්ගේ කූඩාරම් කිහිපයක් සහිත කුඩා නැවතුම් පලක් වූ අතර..ඔවුන් ඔවුනගේ රටින්ම ගෙනවිත් තිබූ රථ වාහන කිහිපයක් ඒ අසල විය..එපමණක් නොව බෝට්ටු කිහිපයක්ද විය..නැගනහිර වෙරලේ විපතට පත් වූවන්ට ආධාර පිණිස මෙහි පැමිණ සිටි එම සෙබළුන් බොහෝ කාර්යක්ෂමව කටයුතු කරනා අන්දම ඇත්තෙන්ම බලා සිටීමට ප්‍රිය උපදවන්නා වූ දර්ශනයකි...


අපගේ රථයන් එරී ගිය බව දුටු වහාම ඔවුන් එතැනට ආවේ ඉතා වේගවත්වය..අපට සිතා ගන්නටවත් යමක් නොතැබූ ඔවුන් වහාම ඔවුන් සතු අමුතු ආකාරයේ කඹයක් ගෙවිත් අපගේ රථයට සම්බන්ධ කොට වෙරලේ නවතා තිබූ ජීප් රථයක් ගෙනවිත් එයට සම්බන්ධ කොට අදින්නට විය..නමුත් එම කඹය අප දන්නා ආකාරයේ එකක් නොවීය..රථය ඇදෙනු වෙනුවට වූයේ කඹය ඇදීමට පටන් ගැනීමය..නමුත් එක්වරම අපගේ රථය දුන්නකින් විද්දාක් මෙන් ඉදිරියට පැන නැවතිනි..අපේ රථයේ රියදුරු තැන අන්ද මන්ද වී සිටිනු අපට දැක ගත හැකි විය..ඒත් සමගම කඹයේ අපූරුව ඔහු මැනවින් තේරුම් ගන්නා ලදි..එසේ කිහිප විටක් ඇදීමෙන් පසුව අපට අවශ්‍ය තැනට රථය ගෙන ඒමට හැකි විණි..


පසුව එගොඩහ සිට එතනට විශාල පාරුවක් නාවික හමුදා සෙබළුන් විසින් පැදගෙන එනු ලැබීය..එය කඩක බැරල් ව්ස්සක් පමණ එක් කොට එය මතට ලෑලි දමා සාදන ලද විශාල එකකි. උස්සා තැබිය හැකිනම් ලොරිය වූවත් එගොඩ කිරීමට එයට හැකියාව ඇත... අපගේ නඩය යුහුසුළුව රැගෙන ගිය භාණෟඩ එය මතට පටවන්නට වූ අතර..අප ගෙන ගිය මුදුන් උළු කැට සියල්ලම බිඳී ඇති වග එහිදී දැන ගත හැකි විය...වල් අලින්ට බියේ ලාහුගල පාරේ ආ වේගවත් ගමන එයට හේතු වී තිබිණී.


සියළු භාණ්ඩ එයට පැටවූ පසුව නාවික හමුදා සෙබළුන් විසින් පාරුව ‍එගොඩට පදවන්නට වූ අතර අප පාලමේ අනික් පසින් වූ බෝට්ටුවක නැගී කලපුවේ අනිත් සීමාව කරා යාත්‍රා කරන්නට වීමු...අපගේ පිරිස බොට්ටු දෙකටම බෙදී ගිය අතර වෙනත් සාමාන්‍ය වැසියන්ද අප සමග ගමන් ගන්නා ලදි.


අප එගොට යන විට පාරුව එහි ගොස් තිබූ අතර හමුදා සෙබළුන් විසින් භාණ්ඩ බෑම ආරම්භ කොටද තිබුණි..වහාම අපගේ නඩයද එයට එක් වී සියළුම දෑ ඉක්මන් කොට බා ගන්නා ලදි...මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන් සියළුම දේ පිළිවෙලකට කතා බස් කරගෙන තිබුණි...බඩු ටික බා අවසන් කර විනාඩි දහයක් ගත වන විට එතැනට විශේෂ කාර්ය බලකායට අයත් ට්‍රැක්ටර් රථයක් එහි සෙබළකු විසින් පදවාගෙන ආ අතර අපහසුවෙන් හෝ ගෙන ගිය සියළු දෑ එයට පටවාගෙන සියළු දෙනාම එහි ගොඩ උන අතර විහාරාධිපති හිමියන් සහ මා ට්‍රැක්ටරයේ දෙපස මඩ්ගාඩ් දෙක මතට නැගුනෙමු...කලපුව අසල සිට තවත් මීටර් පන්සීයයක් පමණ අපට යායුතුව තිබිණි...පාලම තිබූ මග ඔස්සේ ඉදිරියට ගොස් ප්‍රධාන මාවතෙන් වම් පැත්තට එනම් නැවතත් මුහුද පැත්තට හැරී ගමන් කරන්නට විය.මෙම හැරෙන මංසන්ධිය පසු කාලීනව රටේ තරමක් ප්‍රසිද්ධියට පත් වූ මං සන්ධියකි..ඒ පිළිබඳ කතාව පසුවට තබමි...


කෙසේ හෝ නැවතත් අප පැමිණ තිබුනේ මුහුදු වෙරලටමය...එහි නිවාස රාශියක් තිබූ බවට සලකුණු පමණක් ඉතිරි වී තිබිණි... ඒ හැර කිසිවක් නොවූ අතර..ඉතිරිව තිබූ එකම ගොඩ නැගිල්ල වූයේ එක් ටැම් ගෙයක ආකාරයෙන් තනා තිබූ විදේශිකයෙකුට අයත් කුඩා සංචාරක නිකේතනයක් පමණි...


අප ගෙන ගිය භාණ්ඩ සියල්ල බෑමෙන් පසුව අපගේ හිතවත් හිමියන් විසින් එතැනට එක්තරා පිරිසක් කැඳවාගෙන එන ලදි.ඒ අය නම් අප විසින් සාදා දීමට යන නිවසට හිමිකම් කියන්නට යන උදවියයි...

එය සිංහල දෙමළ මිශ්‍ර වී සෑදුන පවුලකි..වැඩිහිටි යුවළත් ඔවුනගේ දරුවන් සිවු දෙනාගේ පවුල් හතරත් එකතු වූ විට එහි සාමාජික සංඛ්‍යාව දහ හතක් පමණ විය... පෙරදී ඔවුන් නිවාස දෙකක දිවි ගෙවූවද දැන් අප විසින් සාදන්නට යන එක නිවාසයේ සිටීමට බොහෝ කැමැත්තෙන් සිටියෝය...


දැනට සියළු දෙනාම රැඳී මිටියේ ඒ ආසන්නයේ සකස් කල තාවකාලික කූඩාරම් වලය... එසේ තැනූ කූඩාරම් දකින දකින අත විය.එම ජීවිතය පහසු නැත.එබැවින් පොල් අතු වලින් හෝ පැලක් අටවා ගෙන එහි විසීමට සියල්ලෝම රිසි වූහ...


ඔවුන් හා කතා බස් කොටගෙන කටයුත්ත ආරම්භ කරනා විට දහවල් දහය හමාරට ලංව තිබිණි.මෙතැනදී අප සිතාගෙන ගියාට වඩා යම් පහසුවක් අප හට සැලසිණි..එනම් අප සිතාගෙන ගියේ නිවස සකස් කර බිමට කටු සිමෙන්ති දමා දීමටය..නමුත් බිත්ති ගැලවී ගොස් ඉතිරි වී තිබූ නිවාස වල පාදමත්..බිම තිබූ සිමෙන්ති පොලවත් දුටු පස්ව මා ඔවුනගෙන් විමසා සිටියේ ඔවුන්ගේ නිවස තිබූ තැනම ඒ මතම අපේ නිවාසය ඉදි කරදෙන්නටදැයි කියාය..එයට ඔවුන් බොහෝ සේ සතුටට පත් විණී...


ඒ අනුව මා විසින් රැගෙන ගිය ටේප් පටිය ගෙන අදාල ගෙබිම මත දිග පළල මනිනා අතරවාරයේම අපේ කොළු රෑන එහි වූ සුන් බුන් ඉවත් කිරීමේ යෙදුණි... එයත් පහසු කටයුත්තක් නොවිණි..කඩා වැටුන බිත්ති කොටස්..ලී දඩු වැලි පස්..සුන් බුන් වලින් වැසී තිබුණු බිම බොහෝ වෙමෙසක් දරා සුද්ධ පවිත්‍ර කර අවසන්ව මා සලකුණු කර දුන් තැන්වලින් සිමෙන්ති පොලව මත වලවල් කැණ ඒ මත කණු මිටවා සිමෙන්ති අනා කණු මුලපුරවා සිටවූ කණු නොසෙල්වෙන සේ මුක්කු තැබීමට වූයේ ඒවා මත නැගී වහල ගැසීමට තිබූ නිසාවෙනි.


ගැටළුව ආරම්භ වූයේ මෙතැන් සිටය..ඒ අප ගෙන ගිය වඩු බාස් සහ ගෝලයා නිසාය..කොල්ලන්ගේ වේගයට අසලකින්වත් ඔවුන් වැඩ කරනා බවක් නොපෙණුනි.අප බිම සුද්ද කරන්නට ගත් වේලාවේදීම මා ඔවුනට දන්වා සිටියේ අනිත් අය වැඩේ කරනා අතර වාරයේ වහලය ගැසීමට අවශ්‍ය දැව දඩු කපා පුරුද්දා ගන්නා මෙන්ය..දහවල් එක පමණ වන විටත් ඔවුන් දෙදෙනා එකම එක යට ලීයක් පමණක් පුරුද්දා සිටි අතර ආම්පන්න මල්ලේ සගවාගෙන පැමිණි මත්පැන් බෝතලයක් විටින් විට බිඳ වැටුන නිවසක ඉතිරිව තිබූ කොට බිත්ති කැබැල්ලකට මුවා වී පැනය කිරීම නම් සිදුව තිබුණි...මේ වන විට බිම සුද්ධ කර මුදුන් කණු හා දෙපස කණු සියල්ල සිටුවා සිමෙන්ති යොදා ඒවා සවිකර නොසෙල්වෙන සේ මුක්කු ගසා දෙකේ දෙකේ ලී වලින් කණුවලට ඈදා උළුවහු පවා සකස් කරමින් තිබිණි..නවුත් මේ මක බාසන් දෙදෙනා ඒ මුළු කාලය තුලදීම ලී දණ්ඩක් පමණක් පුරුද්දා ඔහේ ඕනෑවට එපාවට වැඩේ කරගෙන යනු දකින්නට ලැබිණි...


මේ අතරතුර අප රැගෙන ආ ආහාර ද්‍රව්‍යය අප සකස් කරන නිවසේ හිමිකරුවන් විසින් බාරගෙන අප වෙනුවෙන් දහවල් බත පිළියෙල කොට තිබිණි.දහවල් බතට සැරසෙන වේලාවේදීය අර බාසුවරුන්ගේ වැඩය ගැන මට සොයා බැළීමට හැකි වූයේ..මන්ද යත් ඔවුනට අවශ්‍ය ලී දඩු සපයා මා ඉල්ලා සිටියේ අඩි 40 කට පමණ ආසන්න වන සේ යට ලී තුනක් පුරුද්දා දෙන ලෙසට පමනී...ඒ පිළිබඳව සොයා බැලීමට වෙලාවක් නොවූයේ අන් සියළුම දේ පිළීබඳව ළමුන්ට උපදෙස් දීමට මා හට සිදුව තිබූ නිසාය... කොල්ලන් දඟකාරය..නිතර විමසිල්ලෙන් නොසිටියහොත් විහිළු තහළුවටත් කතාවටත් ගොස් වැඩේ ප්‍රමාද විය හැකි බැවින් එක තත්පරයක් හෝ ඔවුන්ගෙන් දෑස් මිදවීමට හැකියාවක් නැත. එහෙයින් ඔවුන් සමගම එකට වැටී වැඩ කිරීමට මා පෙළඹුනේ බාස්වරුන් වැඩිහිටියන් නිසා අමුතුවෙන් ඔවුනගේ වැඩට ඇගිලි ගැසීමට අවශ්‍ය නොවේයැයි සිතාය..නමුත් අවසන වී තිබුනේ වැඩිහිටි දෙපල හරක් පැටවුන් සේ කටයුතු කර තිබීමයි... අනිත් වැඩ අවසන්ව කෑමට පෙර ඔවුන් ගැන අවධානය යොමු කරනා විට සිදුව ඇති දේ අප සියළු දෙනාහටම වැටහිණී..වැඩේ කෙසේ වෙතත් ඇස් රතුවන්නට දෙදෙනාට වැදී තිබිණී.


මා හට යක්ෂයා ආරූඪ වීමට මෙයට වඩා තවත් දෙයක් ඇවසි නැත...වචන දෙක පිට වද්දීම කොල්ලන් කිහිප දෙනෙකු බාස්ලා දෙදෙනාට එතැනින් පිට වන්නට සංඥාව දී ඔවුන් එයත් බාර ගන්නා ලදි. බාස්ලා දෙදෙනා ඉන් පසුව මා දුටුවේ ආපසු යෑමට සැරසෙන අවස්ථාවේදීය...


කෙසේ හෝ දහවල් ආහාරය ගෙන අවසන් වූ වහාම යළිත් වැඩට බැසීමට සියළු දෙනාම යුහුසුළු වූ අතර විනාඩි පහකවත් විවේකයක් නිවස සාදා අවසන් වන තුරුම කිසිවකුත් විසින් ගනු නොලැබීය...කෑමෙන් පසු පැයක් යන විට යට ලී සකස් කර ඒවා වහල මතට ගෙන සවිකර පරාල සවි කරද අවසන් කල හැකි විය.කෙසේ හෝ සවස පමට ආසන්න වන විට නිවසේ කටයුතු සියල්ල නිමා කිරීමට අප සමත් විය.


දිගින් අඩි 35කට පමණ ආසන්නව පළලින් අඩි විස්සකට මදක් වැඩි වන්නටත් නිවස තැණිනි.කනු සිටවා යටලී ඇද..පරාල හා හරස් රීප්ප ගසා..ටකරං තහඩු සවිකර මුදුන් උළු වෙනුවට වැඩි පුර ගෙන ගිය තහඩුම යොදා මුදුන් සකස් කර නිවසේ බිත්ති වලට එකක් මත එකක් ආකාරයට ලස්සනට ලෑලි ගසා ප්‍රධාන උළුවහු දෙකක් හා ජනේල තුනක්ද යොදා..ඇතුලේ කාමරයක් හා පිටුපස කුස්සියක් සේ යාලත්තක් බා සකස් කර දොර පියන් ජනේල පියන් සරනේරු වලින් සවි කොට..ඉබි යතුරු දැමිය හැකි පරිදි සකස් කර දී අවසන් කර තිබුණී...


වැඩේ අවසන් වූ වහාම නිවසේ හිමි කරුවන් හට නිවස බාරදී අප වහ වහා මුහුදු වෙරළ ඔස්සේ නැවතත් බෝට්ටු සේවය තියෙනා තැනට යාමට පටන් ගතිමු.ඒ අවස්ථාව වෙනකල් සැග වී සිටි බේබදු බාස්ලා දෙදෙනා වැනි වැනී වෙරළ දිගේ අප පිටුපස ගාටන්නට විය...


නැවතත් කලපුව අසලට පැමිණෙන විට බෝට්ටු සේවය නිමා වීමට ආසන්නව තිබිණි.එහෙත් අප විසින් පෙර කල දැනුම් දීම නිසා අප වෙනුවෙන් එක් බෝට්ටුවක් බලා සිටිනු දක්නා ලදි..පැවති ආරක්ෂක තත්වය හමුවේ සවස පහෙන් පසු බෝට්ටු සේවය පවත්වන්නේ නැති නිසා අප කෙසේ හෝ ඊට කලින් පිටත්ව යායුතුව තිබිණි.හරියටම පහට විනාඩි පමක් තිබියදී දුවගෙන මෙන් ඇවිත් අප වෙනුවෙන් තිබූ බෝට්ටුවට නැගී සියල්ලෝම යළි මෙගොඩට ආවෙමු.


නැවතත් අපගේ ලොරි රථ ඇද දීමේ කටයුත්ත ඇමරිකානු මැරීන් සෙබළුන් විසින් කර දෙනු ලැබීය...මුහුදු මහා විහාරයට ගොස් එහි හිමියන් හමුව..කටයුත්තේ අවසානය පිළීබඳව දැනුම් දී නැවතත් හැකියාවක් ඇතොත් එහි එන බව පවසා දඩි බිඩියේම සවස හයට ආසන්න වෙද්දී අප පොතු විල් වලින් පිටත් වීමු....


‍පෙර අත්දැකීම් ඇතිව සිටීමත් කල යුතු අන් කිසිවක් නැති හෙයිනුත් හැකි උපරිම වේගයෙන් ආපසු ලාහුගල තෙක් ගමන් ගත් අප ලාහුගල වන තෙක් කිසිදු බාධා කිරීමකින් තොරව පැමිණි අතර ඉන් පසුව සාමාන්‍ය වේගයෙන් නැවතත් ආපසු එන්නට වීමු... නමුත් ආපසු ඒමේදී අපට උඩ වළවේ වැව් කණ්ඩිය මතින් ඒමට අවසර නොලැබිණී..එබැවින් වට රවුම් පාරකින් තවත් සෑහෙන දුරක් ගමන්ගෙන පැමිණී අතර පසුදා හිමිදිරියේ හිරු නැග ඒමට පැය දෙකක් පමණ තිබියදී නැවතත් අපගේ ගම් ප්‍රදේශයට පා තැබීමට අපට හැකියාව ලැබිණී.


කොල්ලන් ටික පන්සලේ වැටුන වැටුන තැන නිදා ගත් අතර මාද එලෙසින්ම නින්දට වැටුනේ..සුනාමිය ආ දිනයේ සිට මේ දක්වාම එක දිගටම වැඩ කර ඇතිව තිබූ වෙහෙස මේ වන විට උසුලා ගත නොහැකිව තිබූ නිසාමය...


තව එක ලිපියකින් මෙම කතාව අවසන් වන බව දන්වා සිටිමි...ඒ අපගේ ඊ ළග ගමන පිළිබඳව වූ කෙටි සටහනකිනි...

17 comments:

  1. ඉතාම හොඳ වැඩක්. ඔය පින මටත් අනුමෝදන් වේවා !!!

    ReplyDelete
  2. බුදු අම්මෝ..........මාරයියේ මේක මාගලක් විතර දිගනෙ......කියවලා කියවලා අන්තීමට යමක් ලියන්න කලින් විනාඩි දහයක් විතර හති ඇරියා...හික්ස්....

    අපූරු අත්දැකීමක් නේද ? කොහොම හරි පැය කීපයකින් නිවසක් ඉදි කිරීමේ පුන්‍යකර්මයටත් දායක උනානෙ....

    මාරයියට තියෙන්නේ අපූරු අත්දැකීම්...ඒව ලේසියෙන් මිනිහෙකුට ජීවිත කාලයෙදි ලබා ගන්න බැරි ඒවා.....

    ReplyDelete
  3. නියමයිනෙ මාර හාමුදුරුවො කරල තියෙන වැඩේ.
    මේ වගේ තව සෙට් හතරක් පහක් හිටියනං ලංකාවෙ නිවාස ප්‍රශ්නෙ විසදගන්න පුලුවංවෙයි.

    අර බාස්ල දෙන්න එහේම දාල එන්න තිබුණෙ.

    ReplyDelete
  4. ඒක නම් මාර පින්කමක්

    ReplyDelete
  5. @මකරා...

    අනිවාර්යයෙන්ම වේවා..!

    ReplyDelete
  6. @දිල්...

    ඔහොම තමයි දිල් වයසට යනකොට..ඔයා ඕවා ගණන් ගන්න එපා..කාටත් ඔහොමයි..දැන් ඉතිං අඩි දෙකක් ගෑටුවත් හති තමා ඔයාලගේ වයසේ ආච්චිලට..ඒකටත් එක්ක මෙන්න අපි වගේ කොල්ලෝ..හික්...
    (මං කන් දෙකේ ඇගිලි ගහගෙන ඉන්නේ)

    ReplyDelete
  7. @Praසන්ன...

    ඔව් ලෑලි ගෙවල් වලින් ලංකාව පුරවන්න තිබුනා..හික් හික්...
    බාස්ලා දෙන්න නං එහෙදි කොල්ලන්ට පින් සිද්ද වෙන්න බේරිලා ආවට පස්සේ මගෙන් අහ ගත්තා හොදට..ඊට වඩා හපන් උන්දලාගේ බාරියාවෝ පස්සේ කතාව දැනගෙන සෑහෙන දවසක් දෙන්නා කෑවා පරිප්පුව මදි නොකියන්නම...

    ReplyDelete
  8. @පිණිබිඳු...

    හපොයි ඔව්..මාරයා ඉතිං මාර පින්කම්ම එපැයි කොරන්ට නගේ...

    ReplyDelete
  9. සෙල්ලන් නෑ ගෙවල් හැදිල්ල ......... , හැබෑටම ගේ හැදුවද මැව්වද ?

    ReplyDelete
  10. @ මාරයියා....

    අනේ මල්ලියො ඒක නේන්නම්...අපි ඉතින් වයසයිනෙ..... ( ඇයි දන්නෑ එහෙනම් මම කතා කරද්දී මට " පුතේ " කියන්නේ...... ඒ කියන්නේ මම ආච්චි නම් මට පුතා කියන ඔයාට වයස කොච්චරක් විතර ඇද්ද ? )

    ReplyDelete
  11. හැබෑටම මාරයියේ ගෙවල් හදන කොන්ත්‍රාත් බාර ගත්තොත් නරකද?.....

    ReplyDelete
  12. හැබෑම වැඩක් නොවැ.....උපරිම ජවය ඇති අපූරුම කොල්ලො සෙට් එක බO.....මරු මරු

    කොහොමද අසනීප තත්වය...කම්පනාවෙන් ඉන්න වෙයි බන්ඩිය ගැන ඕO.....

    ReplyDelete
  13. අපරාදේ බාස්ලා දෙන්නෙක් අරගෙන ගියේ .තව කොලෙක් දෙන්ක් දාගත්තානම් තිබුනා .සමහර වයසක අය තමන්ට ඉහලින් කවුරුත් යනවාට අකමැතියි .ඒකයි ඒ දෙන්නට ඩෝං යන්න ඇත්තේ .

    මාරේ අයියා පලමු නිවාසය නැගෙනහිර පලාතටම හදා දෙන්න තීරනය කරපු එක අහම්බෙන් වෙච්ච දෙයක් උනත් .. මමනම් ඒකට මාරම කැමතියි .

    තව එක කොටසකින් ඉවරයිලු නේද ? ඒකත් හෙමිහිට ලියන්ඩ මාරේ අයියේ .

    ReplyDelete
  14. මේ දවස් වල වැඩ හින්දා ටිකක් එන්න පමා උනා මාරයියා. මොනවද ඉතින් කියවද්දි නම් එතෙන හිටියා වගේ. ඊගාව ලිපියත් ඉඩක් ලැබුණ විගසම දාන්ට.

    ReplyDelete
  15. කියවද්දි ඒ පරිසරය මැව්ලා පේනවා

    ReplyDelete
  16. @මාරයා,
    මම හිතන්නෙ මේ ලිපිය ඔයාට වැදගත් වෙයි
    http://pansalhandiya.blogspot.com/2011/05/blog-post_23.html

    ReplyDelete
  17. ඔබගේ අව්‍යාජ ජිවන අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවාට ස්තුතියි. අපේ ගෙදර අපි දෙන්නම ඔබගේ මේ පුහු ආටෝප නැති ලියවිලි වලට හරිම ආසයි. එත් අදහසක් ලියන්න වෙලාවක් ඇත්තේ මට පමණයි. මේ සුබ පැතුම 2 න වැඩි කර ගන්න

    ReplyDelete