30 May 2011

කතාවක අවසානය...

මොකක් හරි එහෙක අවසානයක් තියෙන්නම එපැයි..නැත්තං ඕවා ඇදි ඇදි වැල් වැල් වෙවී යනකොට අප්පරසන්න වෙනවා..ඒක ලියන මට විතරක් නෙවෙයි කියවන අයටත් මල ඇනයක් වෙන්න ඒ හැටි කාලයක් යන්නේ නැහැ..

ඒ හින්දා මං හිතුවා මේක ඉවරයක් කරලා දාන්න...
............................................

පළමු වතාවට ජීවිතයේ ලද අමුතුම ආකාරයේ අත්දැකීමක් සමගින් ගම් රටවල් බලා ආ පිරිසට එම අත්දැකීමට තවත් යමක් එකතු කර ගැනීමට උවමනා වූයේ ආපසු පැමිණ දිනක් ගතවන්නටත් පෙරදීය...

පළමු නිවස සාදා දී පැමිණ නින්දක් ලබාගත් පිරිසේ එකා දෙන්නා ගෙවල් වලට ගොස් නැවත සන්ධ්‍යා යාමයේ විහාරස්ථානයට එකතු වූයේ ගමන පිළිබඳව නැවත සිහිපත් කර සිදු වූ අඩුපාඩු මෙන්ම අනිකුත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමටය...

ඇත්තෙන්ම සියල්ලන්ටම මෙය තම ජීවිතවලට අමතක නොවන අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ..එයට සහභාගී වූ අය හැර අප පැමිණ ඇති බව දැනගත් තවත් දායක දායිකාවන් පිරිසක් සවස්කරේ පැමිණියේ ගමනේ විස්තර අසා දැන ගැන්මටය...

එහිදී තවත් කාරණාවක් මතුවිය..එනම් අපට ගස් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටි උපාසක අම්මා කෙනෙකු තරමක් දුකින් යුතුව තමාගේ පරිත්‍යාගය කිරීමට පසු වූ නිසා මෙයට දායක වීමට නොහැකි වීම ගැන විස්සෝප වන්නට විය...

"බලන්නකෝ හාමුදුරුවනේ මට බැරි උනානේ මේකට සම්මාදන් වෙන්න..කොහේද මං මේ අපේ පුතාලගෙන් අහ අහ ඉන්න අතරේ හාමුදුරුවෝ මේ සේරම ලක ලෑස්ති කොරන් ගිහිනුත් ඇවිත්නේ.."

"මොනවා කරන්නද උපාසක අම්මේ..වෙලාවේ හැටියට බල බල ඉන්න තරං කාලයක් තිබුනේ නැහැ..බඩු ටික ලෑස්ති වෙච්ච පරක්කුවට අපි ගියා.."

"ඒක නේන්නං මටත් දැන් හිතට මොකක්ද වගේ..දෙන්න ලෑස්ති උන දේ දී ගන්න බැරි වෙච්ච එකට..ඔන්න ආයේමත් පන්සලේ වැඩකට හරි ඕන උනොත් අර අපේ ගේ පිටිපස්සේ තියෙන් ගස් තුනම ඔබ වහන්සේ මුලින්ම කපා ගන්න ඕන..ආයේ මගෙන්වත් අහ අහ ඉන්න ඕන නැහැ..ඒ ටික මං හිතින් දීලා ඉවරයි.."

"හොඳයි උපාසක අම්මේ..පොඩ්ඩක් ඉන්ඩකෝ බලන්න අපිට තව මොනවා හරි කරන්න පුළුවන් වෙයිද කියලා බලන්න..මොකද අපි එන ගමනුත් එහෙ හාමුදුරුවන්ට කියාගෙන ආවේ පුළුවන් උනොත් තව එකක් හදන්න අපි එන කතාව.."

"අනේ එහෙමනං කොච්චර දෙයක්ද..? ආයේ වංගියක් යනවනං මගේ පිංකමත් මට ඉක්මනටම කර ගතෑකි"

වටේ සිටි කොළු රෑන මගේ මුහුණත් මං ඔවුනගේ මුහුණුත් බැළුවේ එක් විටමය..සියළු දෙනාගේම මුහුණු සිනහවෙන් පිබිදී යන්නට විය..

ආයේ වැඩි සාකච්ඡාවක් උවමනා නොවුනි..තීරණය ගැනීමට විනාඩි දෙකක්වත් ගත නොවිණී.

"හාමුදුරුවනේ තව එකක් හදමුද..?"
පැනය කලින් වතාවේ වැඩේට උදව් කල මුත් ගමනට එකතු වීමට නොහැකි වූ කොළුවකුගෙනි..

"කට්ටිය ලෑස්තිනං මං හා"

"මේ මොනවා අහනවද අපි ලෑස්තියි.."

අයේ තවත් මොනවා කතා කරන්නද නැවතත් සංවිධානය වන්නට විය..උපාසක අම්මා පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට වූවාය..

"ඔන්න දැන් හරිනේ උපාසක අම්මාගේ ඉල්ලීම හින්දාම තමයි මේක මෙහෙම ඉක්මන් උනේ..ඒ පිනත් උපාසක අම්මාටම තමා.."

.....................................

පෙර වතාවේ මෙන් කටයුත්ත පහසු නොවන බව මා දැන සිටියෙමි..මන්ද සිංහල මිනිසා වනාහී..වහා ගිනි ඇවිලෙන සුළුය..එහෙත් ඒ සැණීන්ම නිවි යන්නාහුය...

මුලදී සුනාමිය ගැන කම්පා වූ ඔව්න් අතේ පයේ තිබූ දේ පවා ගලවා දීමට වූවද සුදානම් වන මුත් කල් යන්නට යන්නට පෙර තරම් පරිත්‍යාගශීලී වන්නේ නැත..හේතුව ඒ වන විට රජයෙන් මෙන්ම විදේශ ආධාරද මහා පරිමාණයෙන් ලැබෙනා බව පැතිරයාමත් සමගමය..එහෙත් මේවන විටත් තත්වය එතරම් නරක් වී තිබුනේ නැත...

නමුත් කලින් වතාවේ උදව් කල අය ලගට මෙවර යෑම සුදුසු නොවේ...එහෙයින් අපහට අතෑරුන අය සොයා යෑමට කතාබස් කරගත්තෙමු.

එහිදී පෙර වතාවේ මෙන්ම තරුණ පිරිස සහයෝගය දැක්වූ අතර ගස් කපා දීමටත් ගස් ලබා දීමටත් තව තවත් අය ඉදිරිපත් විය...

මේ අතර වාරයේ සියදිවි නසා ගැනීමෙන් මරණයට පත් වූ දායක මහතකුගේ බිරියක් පන්සලට පැමිණියේ එම මරණයේ තුන්මාසයේ දානය පිළිබඳව සාකච්ඡා කරගැනීමටය...

ඒ අතරවාරයේම අපගේ නිවාස සෑදීම ගැනත් කතාව ඇදී ආ අතරම..ඇගේ නම්‍යශීලීත්වය මත මා විසින් ඇයට යෝජනාවක් කරන ලද්දේ දානය සුළුවට පවත්වා එයට වැය කරන මුදලින් අප සාදන්නට යන නිවසේ වහලයට ඇවසි තහඩු ලබාදිය හැකිද යන්නයි.

කිසිදු විරෝධයකින් තොරවම ඇය එයට එකඟ විය..ඒ අනුව ඇය විසින්ම මා ලබා දුන් ලයිස්තුවේ ආකාරයට අවශ්‍ය තහඩු ටික මිලට ගෙන පන්සලටම ප්‍රවාහනය කර දුන්නාය.

තවත් එවැනිම පින්කම් දෙකක් සම්බන්ධව පැමිණි අය හා කතාබස් කොට වාහනයේ ඉන්ධන ගැටළුවත් අනිකුත් උපකරණත් පිළිබඳ ගැටළුත් විසඳාගතිමි...

පෙර නිවස සාදා සති දෙකකට පමණ පසුව අප නැවතත් නැගෙනහිර බලා පිටත් වූ අතර..මෙවර කිසිදු අපහසුවකින් තොරවම ගමනේ යෙදීමට අපහට හැකියාව ලැබුණි.
උඩවළවේ ඩෑම් එක මතින් රාත්‍රී කාලයේ ගමන් කරන්නට නොදෙන නීතිය පවා අප හට බලපැවැත්වූවේ නැත..මන්ද පෙරවතාවේ අපගේ ගමන ගැන දැන සිටි ආරක්ෂක අංශයේ හිතවතුන් මෙවර අපට කිසිදු බාධා කිරීමකින් තොරව ඒ මතින් යන්නට ඉඩ හලෝය...

ලාහුගල වනය මැද තනි අලියාද එසේම අපට යන්නට ඉඩ හැරි අතර පෙර වතාවට වඩා සෑහෙන පහසුවක් අපට අවසානයේ ලැබුනේ පොතුවිල් කරා ගිය පසුවය...

එනම් මේවර යන විට කලපුව හරහා යාත්‍රා කිරීමට අපට උවමනා නොවීය..ඒ වෙනුවට හමුදාව විසින් කලපුව වටා කි‍ලෝමීටර 15ක විස්සක පමණ දුරකින් යුත් අළුත් පාරක් කපා තිබුණි...තරමක් ගමන් කිරීමට අපහසු වූවද කලපුව තරණය කිරීමට වඩා එය සෑම අතින්ම පහසු විය...

එවරද නායක හිමියන්ගේ උපදෙස් මත දරුවන් තිදෙනෙක් ඉන්නා මවකට නිවස සාදා දුන් අතර පෙර වතාවක වඩා ඉක්මනින්ම වැඩය හමාර විය..කොළු රැල පලපුරුද්දෙන්ම කියන්නටත් කලින් වැඩ ටික කරන්නට වූ අතරඑකම අපහසුවකට වූයේ බිම වලවල් හෑරීම පමණකි.

එයට හේතුව වූයේ එම නිවස සෑදු තැන කලින් ඉස්සෝ පැටවු බෝ කරන ලද ටැංකි කිහිපයක් තිබීම නිසා පොළව කොන්ක්‍රීට් කරතිබීමය...කොන්ක්‍රීට් කැඩීම පහසු නොවූවත් කෙසේ හෝ එම කටයුත්තත් කරනා ලදි...

අවසානයේ එම නිවසත් සාදා දී අවසන් විය...

මෙම ගමනේදී එම නිවස සෑදූ තැනට මෙහායින් වූ හන්දියේ කුඩා බුදු මැදුරක් හමුදාව විසින් තනමින් සිටි ආකාරය අප විසින් දක්නා ලදි. එය තිබුනේ ආරම්භක අවස්ථාවේ විය..නමුත් පසුව එම බුදු මැදුර නිසා විශාල ආන්දෝලනයක් රට පුරාම ගිය අන්දම සමහර විට ඔබට සිහියේ ඇතැයි සිතමි. එයට විරෝධය පෑ මුස්ලිම් ජාතිකයින් පිරිසක් විශේෂ බලකා සෙබළුන් හා ගැටෙන්නට වූ අතර එම පිළිමය එතැනින් ඉවත් කරන්නට ගත් උත්සහයක් හරහා එම තත්වය ඇති වී තිබිණි.

රටකට ගිය කල..?

කෙසේ හෝ අවසානයේ පොතුවිල්හී මුහුදු මහා විහාරයේ නායක හිමියන්ගේ පින්දීම් මැද අප ආපසු ආවෙමු..මෙම ගමනේදී තවත් පින්කමක් කරගන්නා ලදි..එනම් විහාරස්ථානයේ වැඩ සිටි කුඩා හිමිවරුන්හට ඔවුනගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන සේ මැසූ සිවුරු අඳන හා බඳ පටි කට්ටල 6ක් ගෙනගොස් පූජා කිරීමයි...

(ඈත පන්සල්වලට පූජාවන් කරන්නට සිතන අය හට මෙම කාරණාව විශේෂයෙන් සඳහන් කර සිටිමි..ඔවුනට පොත්පත් පෑන් පැන්සල් සේම කුඩා සිවුරු කට්ටල ලබාදීමට උනන්දු වන්න..මන්ද පොඩි සිරුරුවලට නොගැලපෙන විශාල සිවුරු පරිහරණයට වඩා ඔවුනට ගැලපෙන සිවුරු පරිහරණය ඔවුනට සෑම අතින්ම පහසු බැවිනි.කුඩා ප්‍රමානවල පාවහන්ද එසේම පූජා කිරීමට අගනා දේ බව සටහන් තබන්නේ එවැනි පින්කම් සඳහා උනන්දු වන අයගේ දැනුවත් වීම සඳහාය...)
.............................................

එම ගමනත් එසේ නිමා විණී...වැඩි පුර විස්තර කිරීමට අවශ්‍ය නොවූයේ පෙර ලිපිවලින් එම ගෘහකර්මාන්තය පිළීබඳව ඇති තරම් විස්තර කර ඇති නිසාවෙනි...

මේත් සමගස සිහියට නැගෙන තවත් එක් කාරණයක් සමඟන් මෙම සටහන නිමා කරමි..මෙය මෙතන යෙදීම සුදුසු දැයි මා විසින් කිහිපවිටක්ම කල්පනා කලත් අවසානයේ සිතුනේ..මේ සටහන් හා මතකය කවදා හරි ඉතිරි වන්නේ මෙම බ්ලොග් පිටු අතරම වන බැවින් සෑම කුඩා සිදුවීමක්ම මෙහි සටහන් තැබීම වැදගත් වන බවයි. එය කිසිවකුට හෝ කරන අගතියක් නොව වැඩක් කරන්නට යන අයහට පාඩමක් ලෙසිනි.

...........................................

පළමු නිවස තනා දී අවසන දෙවන නිවසට භාණ්ඩ එක් රැස් කරමින් ඉන්නා අතරවාරයේ එක් දිනක් රාත්‍රී අසල පන්සලකට සම්බන්ධ දායක නිවසක පිරිත් පින්කමකට සහභාගී වීමට ගොස් සිටි අතරවාරයේ ලද විවේකයකදී මහ රාත්‍රියේදී මා හා තවත් පළාතේ හිමිවරුන් කිහිප දෙනෙකු කතා බහේ යෙදී සිටි අවස්ථාවේදී මේ නිවාස තැනීමත් සුනාමියත් පිළිබඳව කතාව ඇදී ආවේය...

එහිදී මා විසින් මෙවැනිම වූ නිවාස කිහිපයක් සාදා දීමට හැකිනම් ඒ සඳහා මා හටත් උන්වහන්සේලාට උදව් කරන්නට සූදානම් බව දන්වා සිටි අතර..මාගේ නිවාස සෑදීමේ ක්‍රියාවලිය පැසසුම් ලැබුවේ මෙසේය...

".........................(මාගේ පැවිදි නාමය) ඔය ලෑලි ගෙවල් හද හද ඉඳලා හරියන්නේ නැහැ..අපි හිතාගෙන ඉන්නේ සම්පූර්ණ ගෙයක් හොඳට හදලා දීලා ඒ ගෙට ඕන කරන හිරමනේ හැන්දේ ඉඳලා ඔක්කෝම බඩු මුට්ටු අරන් දෙන්න..ආන්න ඒකට උදව් කරනවා..නැතිව ඔය පිස්සු වැඩ කර කර ඉඳලා වැඩක් නැහැ.."

අන් කිසිවකු නොව මේ මාගේ ගුරුවරයාම විය. එය අනුමත කරමින් තවත් අයකු කතා කල අතර..මා කියා සිටියේ මං පටන් ගත්ත වැඩේ අවසානය දක්වාම කරනා බවත් ඔවුන් විසින් සාදන්නට යන නිවසේ විදුලි පද්ධතිය හා ජලනල පද්ධතිය මා විසින් කර දෙන් බවත් පමණී..එයින් එහාට ඒ පිළිබඳව කතා කරන්නට ගියේ මා නොවේ..නමුත් අද වෙනතුරුත් මා විසින් වූ පොරොන්දුව පරිදි එම නිවස වයරින් කර දීමට හෝ..ජලනල එළීමට මා හට නොහැකි විණි..ඒ මාග් වරදක් නිසා නොව..තාමත් ඒ ගෙය සෑදී නැති නිසාවෙනි...

මේ අසිරිමත් ලංකාවේ හැටිය...කිසිවකුත් කලකිරෙන්නට ඇවසි නොවේ...

වැඩක් කරන්නට යන සෑම දෙනාම "අනගාරික ධර්මපාල"තුමාගේ ජීවිත කතාව හා එතුමා විසින් දුන් අවවාද සිහියේ තබා ගැනීම ඉතා අගනේය...

"සිංහල මිනිස්සු හරි පුදුම ජාතියක්...ඔවුන් වැඩ කලත් බනිනවා..නොකලත් බනිනවා..වැඩ කලහම වැඩියෙන් බනිනවා..ඒ හින්දා වැඩක් කරන්න යනවනං බැනුම් අහගෙනම ඒක කරන්න යන්න ඕන"

ඕන්න ඔහොම තමා එතුමා කියලා තියෙන්නේ මට මතක හැටියට...ඇත්තටම ඒ කතාව අතීතයට වර්ථමානයට වගේම අනාගතයට එකසේම වලංගු ප්‍රකාශයක්..එච්චරයි මට කියන්න තියෙන්නේ..ඒ මගේ අත්දැකීමෙන්ම තමයි.

24 comments:

  1. උඹ වැදගත් කාරනා දෙක තුනක්ම කියලා තියෙනවා. හිතනව හුදු රසාස්වාදයට පිටින් කියවන අය ඒවා ගැන හිතයි කියලා.

    ReplyDelete
  2. මම මේ සෑහෙන්න වෙලාවක ඉදලා දාන්න කමෙන්ට් එක්ක හොයනවා..තාම හිතා ගන්න බැරි උනා..කාට බනින්නද කියලා..

    ReplyDelete
  3. මාරේ අයියේ අන්තිම කතාව නම් ඇත්තම ඇත්ත

    ReplyDelete
  4. කාගෙවත් නෙවෙයි අපේමයි වැරරද්ද අපි හිතන විදිහෙයි වැරැද්ද අපි ඉක්මනට මුල අමතක කරනවා ඕක තමයි අපට තියන හෙනේ අපේ බහුතරයක් කරන්නෙ කරන අයට බනින එක ඒ අයගෙ අඩුපාඩු ගැන කියන එක... ඒත් ඒ අය කවදාවත් තමන්ගෙ වැරදි ගැන කතා කරන්නෑ... හොද උදාහරනයක් තමයි අර මාරයා අංකල්(අයියා) දීපු අංගසම්පූර්ණ ගෙයක් හැදීම ගැන කතාව... කියනවනං කියන්න දේවල් ‍ගොඩයි... හොදම වැඩේ තමයි සද්ද නැතුව හරිදේ කරන එක මොකද ඕවා හදන්න තව ගොඩක් කල් යන්න පුලුවන් නිසා.. දැන් මගේ අත පාලනය කරගන්න අමාරුයි මොකද ඕව ගැන තව කියන්න ගියොත් මේක දේශපාලන කමෙන්ටුවක් වෙන්නත් ඉඩ තියන නිසා මෙතනින් මේක නවත්තනවා....

    ReplyDelete
  5. වැඩ කරේ නැතුවම බනින බැනිල්ලට වඩා වැඩ කරාම බනින බැනිල්ල නම් ඇත්තටම වැඩියි තමා.

    ReplyDelete
  6. දෙවනි කොටස නේද ඉවර.මහන්සි නැත්නම් තුන්වෙනි එකත්.......

    ReplyDelete
  7. අනගාරික ධර්ම්පාල තුමා ගේ ඔය කියමන නම් ගොඩක් වටිනවා. ලංකාවේ මිනිස්සුන්ට වැඩක් කරද්දි අනිවා බැනුම් ශුවට්.

    ලස්සන කතා ටිකක් මාරේ අයියේ.

    ReplyDelete
  8. යමක් කමක් ඇති දායක පිරිසක් ඉන්න ලොකු හාමුදුරුවෝ ලොකු වැඩ ගැන බයිලා ගහන අතරේ....
    අසරන වුන මිනිසුන්ට හම්බ වුන තුට්ටු දෙකත් තමුන්ගෙ සාක්කුවට දාගත්ත දේශපාලකයො ඉන්න රටේ...
    එදා වේල හොයා ගන්න අහින්සක සාමාන්‍ය මිනිස්සු එක්ක එකතු වෙලා මාරයා ගෙයක් හදලා දීලා...අති විශිෂ්ඨයි ....

    ReplyDelete
  9. නේ, අර බාස් උන්නැහෙල දෙන්නව මේ ට්‍රිප් එකේ එක්ක ගිය නැති එක නං වස වැරද්දක්.

    ReplyDelete
  10. මාරයා තුමාගෙ සුනාමි පින්කම් මෙතනින් ඉවර නැ නොවැ ...........................

    ReplyDelete
  11. වැඩ නොකර බැනුම් අහන එක සැපයි. වැඩක් කරලත් බැනුම් අහන්න ගියාම තමයි එපා වෙන්නේ.

    එක දෙයක් හදන්න අරන් අන්තිමට 2ක් හඳපු එකනම් නියමයි.

    ReplyDelete
  12. මාරෙ,

    ඔය ජාතියෙ මිනිස්සු කොහෙත් ඉන්නව.

    අර සමහර චිත්‍රපටි සංගීත විචාරකයො වගේ තමයි. සුනාමියෙන් බහුතරයක් දකුණෙ මූදුකරේ මිනිස්සුන්න්ටනං උනේ ආර්ථික සෙතක්, සමාජීය ව්‍යසනයක්. ඒකයි මගේ නං පෞද්ගලික අත්දැකීම.

    ReplyDelete
  13. අර අන්තිමට කියලා තිබුණු කතාවනම් සහතික ඇත්ත. වැඩක් කරන මිනිහගෙ තමයි වැරැද්දක්, අඩුපාඩුවක් පේන්නෙ. නොකරන මිනිහා අතින් වැරැද්දක් වෙන්න විදිහක් නෑනෙ. අනික් කාරණේ සේරම අංගසම්පූර්ණ විදිහට එක සැරේම කරන්න ඉන්නවයි කියන්නෙ ඒ වැඩේ නොකෙරෙනවාට ආසන්න වශයෙන් සමානයි. විශේෂයෙන්ම ලංකාවෙ මිනිස්සුන්ගෙ උනන්දුව කාලයත් සමග ශීඝ්‍රයෙන් අඩු වෙන නිසා.
    එහෙම තියෙද්දි, තමන්ගෙ හැකියාවෙ මට්ටමෙන්, උපරිම ලෙස කටයුතු කළ ඔබත් ඔබේ පිරිසත් විශිෂ්ටයි.

    ReplyDelete
  14. සිරා වැඩක් බං. අපරාදේ උඹ වගේ එවුන් තමයි බං මේ සාසනේ ඉන්න තිබුනේ. එහෙමනං ගමටයි රටටයි ලොකු වැඩක් වෙලා.....

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඇත්ත කතාව... ඉදුල් පිගන් හෝදන්න යන මිනිහි අතින් තමයි පිගන් බිදෙන්නෙ.. පිගන් සීයක් හෝදල දැලි කුණු පෙරාගෙන එක පිගානක් බිදුනොත් පිගං ගොඩ ලගටවත් ආවෙ නැති උන් බනිනවා එකසිය ගානට...ඔය සිංහලයගෙ සිරිතම තමා ආයෙ හෝදන්න දෙයක් නෑ... ඒ වගේම නිශ් කියන විදියට ඒ මතුකරපු කාරණා 3ම ඉතාම වටිනව මාරයියේ... ඔබත් කරන්නෙ යම්තාක් දුරට අනගාරික සේවයක්...

    ReplyDelete
  17. /* ඒ මාග් වරදක් නිසා නොව..තාමත් ඒ ගෙය සෑදී නැති නිසාවෙනි...
    */

    අපේ වැඩ කෙලින්ම මාස හයෙන් ඉවරයි නේ!
    සුනාමියේ අනාථයෝ මාස හයෙන් පදිංචි කළා (නමුත් තාම මොරටුවේ පවා අනාථ අයට ගෙවල් නෑ)
    යුද්දෙන් අනාථ වූ අයත් මාස හයෙන් පදිංචි කලේ කොට්ට මෙට්ට පාව දීලා ලු.
    (හැබැයි දැන් අවුරුදු දෙකයි, හතලිස් පන්දාහක් කඳවුරුවල)

    ReplyDelete
  18. බැන්නත් එකයි නැතත් එකයි .. තමන් අතින් යහපත් වැඩක් උනා කියලා තමන් දන්නවානම් ඒකම මදිද ? කටින් බතල කොළ හිටවනවන්න හරිම ලේසියිලු ..

    තවුසන් ටෝක් දෙන අය කොහෙත් ඉන්නවා ..වැඩක් කරලා කරබාගෙන ඉන්න සමහර අයත් ඉන්නවා..ඉතින් මාරේ .ඔයා කරපු පිස්සු වැඩේ ගැන ආඩම්බර වෙන්ඩ ..

    අනිත් කට්ටිය හදාපු අහස් මාලිගාවේ වයරින් එකනම් මේ කපේදී කරන්න ලැබෙන එකක් නෑ ..

    ReplyDelete
  19. ප්ලස් ගොඩක් දාමි මේ කතාවට +++++++++++++++

    ReplyDelete
  20. මේ කතාව නම් ඉවර උනා නේ,,,

    ReplyDelete
  21. අයියා අන්තිමට කියලා තියෙන කතාව එක්ක එකග වෙනවා.. මේ සීරිස් එකත් ඉවරයි නේද?

    ReplyDelete
  22. අති විශිෂ්ටයි.....(කොහොමත් එහෙමනේ ඉතිO)

    කිව්වත් වගේ අර මකබාස්ල දෙන්න එක්ක ගිහින් ලාහුගල අලිය ගාව දාල එන්න තිබ්බෙ බෝතලෙත් එක්කම......

    ReplyDelete
  23. "සිංහල මිනිස්සු හරි පුදුම ජාතියක්...ඔවුන් වැඩ කලත් බනිනවා..නොකලත් බනිනවා..වැඩ කලහම වැඩියෙන් බනිනවා..ඒ හින්දා වැඩක් කරන්න යනවනං බැනුම් අහගෙනම ඒක කරන්න යන්න ඕන" sada kalika aththa maraya thumooo

    ReplyDelete
  24. "සිංහල මිනිස්සු හරි පුදුම ජාතියක්...ඔවුන් වැඩ කලත් බනිනවා..නොකලත් බනිනවා..වැඩ කලහම වැඩියෙන් බනිනවා..ඒ හින්දා වැඩක් කරන්න යනවනං බැනුම් අහගෙනම ඒක කරන්න යන්න ඕන" sada kalika aththa maraya thumooo

    ReplyDelete