30 May 2011

දානය..පිරිකර..හා විකුණාගෙන කෑම...

වර්ෂ 2003 ක්වූ ජූලි මස එක්තරා දිනයකදී...
ගරා වැටෙමින් තිබූ අරාජික විහාරස්ථානයකදී...
පළාතේ විසූ වයෝවෘද්ධ..නායක හිමිවරුන් කිහිප දෙනෙකුගේ මෙහෙයවීම යටතේ...
එය සිදු විය...

ඔව් මේ වෙන කිසිවක් නොව මාගේ පැවිදි ජීවිතයේ ආරම්භයයි.
ජීවිතයේ කිසිදිනක නොසිතූ පරිදි දෛවය විසින් මා රැගෙන ගිය තවත් මංසන්ධියකදී මම මාර්ගයක් තෝරාගත යුතුව තිබුනි..එදා ඒ වේලාවේ මා යා යුතුම මඟක් සේ සලකා එම මාවත තෝරා ගතිමි.අදටත් මා එදා ඒ තෝරාගත් මාර්ගය පිළිබඳව සතුටු වෙමි..ඒ හරහා මට අහිමි වූ දේට වඩා මට හිමි වූ දේ බොහෝය...

ඒ නමුත් මා සූදානම් වන්නේ ඒ ලද නොලද දේ ගැන කියන්නට නොවේ..අද දින අහම්බෙන් මෙන් කියවන්නට ලැබුණු බ්ලොග් පෝස්ට්ටුවක් හරහා ලිවිය යුතුයැයි සිතේ මතු වූ කාරණාවක් ලිවීමටය...

ඔබේ වටිනා කාලය ගැන නොසිතා හැකිනම් මෙන්න මෙතනින් ගොස් අඳාළ ලිපිය කියවා එන්නේ නම් එය මේ කතාව ලිවීමේදී මට පහසුවකි....
....................................

අපි ආයෙත් යමු මම අර මුලින් සඳහන් කල දවසට...

කල යුතු වත් පිළීවෙත් අවසාන වීමෙන් පසු මාද සාංඝික සමාජයේ තවත් එක් පුරුකක් බවට පත් වී තිබිණි. සියළු විධී ක්‍රම අවසන් වීමෙන් පසුව මා ධර්ම ශාලාවේ වාඩි කරවා දුන් යම් නිවේදනයක් අනුව පැමිණ සිටි බොහෝ දෙනා මා වෙත පැමිණ නොයෙක් අන්දමේ පුද පරිෂ්කාර පිළිගන්වන්නට විය..සමහරු අත මුදල් කවර විය..ඒවා මා අත ගැසෙන්නට නොදී එතන හිටි වෙනත් තරුණ භික්ෂුවක් විසින් භාරගත් අතර අනිකුත් ද්‍රව්‍යයමය දේ මා විසින් පිළීගෙන මා හිදි තැන් පසෙකින් තබන්නට වීමු.

ටිකෙන් ටික එම පිරිකර ගොඩ විශාල වෙත්ම ලොකු හාමුදුරුවන්ගේ විධානයක් අනුව කිහිප දෙනෙකු විසින් ඒවා ආවාසය වෙත රැගෙන යන ලදි...ඒ ගෙන යන තරමටම තව තවත් භාණ්ඩ ගොඩ ගැසෙන්නට විය...

කෙසේ හෝ එම කටයුත්තද හමාර වී..දහවල දානමය පින්කමද අවසානයේ බොහෝ පිරිස විසිර ගිය පසු මා ආවාසයට ගිය විට ආවාසයේ තිබූ විශාල කාමරයේ ඇඳමතත් එහි බිමත් අර පිරිකර වලින් වැසී ගොස් තිබිණී...

ඉතිරිව සිටියේ හිමිවරුන් දෙතුන් දෙනෙකු පමණි...

පිරිකර ගොඩ දෙස බලා ඔවුනගෙන් පල වූයේ විවිධ අන්දමේ අදහස්ය...

"අවුරුද්දකට මේ මදෑ.."

"හැමදාම මෙහෙම ලැබුනොත් ආයේ පන්සල හදන්න බැරියෑ මාස හයෙන්.."

"තව ටිකක් ප්‍රචාරේ දුන්නනං මීටත් වඩා පිරිකර ගොඩ ගැහෙනවා.."

ඒ ඔවුනගේ වදන්ය..
ඒ අතරතුර පැමිණ සිටි තරුණ භික්ෂුවක් එහි තිබූ භාණ්ඩ අතපත ගා තමාට සුදුසු දෑ තෝරමින්..

"මේකනං මට හොඳයි..මං ගන්නද පොඩි හාමුදුරුවෝ..?"

මට ඒ භාණ්ඩ ගැන එවෙලේ ඒ හැටි නිනව්වක් නොවීය..

"මංනං දන්නේ නැහැ..ලොකු හාමුදුරුවන්ගෙන් අහලා ඕන එකක් ගන්න.."

ඒ සමඟින්ම ලොකු හාමුදුරුවන් කියූ කුමන හෝ වදනක් නිසා අතට ගත් දේ නැවතත් අත හැර එහිමියන් නිහඩ විය..(නමුත් මා පසුව උන්වහන්සේ හට සවස පිටත් වන්නට පෙර අඳාල දේ පිරිනැමීය..)

"..........................(මාගේ පැවිදි නාමය...) ඔය පිරිකර ටික අස්පස් කරලා තියනවා"

එම විධානය ලොකු හාමුදුරුවන්ගෙනි..එම විධානය අනුව මා විසින් එම භාණ්ඩ සවස් වරුවේ වෙන් වෙන් වශයෙන් බෙදා ඊට සුදුසු තැන්වල ගබඩා කොට තැබුවෙමි... මුදල් කවර මා හට නොලබුන අතර ඒවා ලොකු හාමුදුරුවන් විසින් ගැන බලා ගිය වියදම් වලට හිලවු කරනවා යැයි කියා පිටත්ව යන ලදි...

මේ මා පැවසුවේ මා හට ලැබුන පළමු පිරිකර පූජාවයි...එයින් පසුව මා පැවිදි කිරීමේ පින්කම් රැසකටම සහභාගී වී ඇති අතර ඒ කිසිම පින්කමකදී පැවිදිවන හිමිනමට නොලැබුන තරමේ පූජාවකින් මා මාගේ පළමු දිනයේදී පිදුම් ලැබූ බව විශ්වාසයෙන් යුතුව කිව හැක.

කෙසේ වෙතත් එම ලද පිරිකර වලින් සීනි කිරිපිටි වැනි දේ හැර අන් සියළුම දෑ වසර එක හමාරකටත් අධික කාලයක් තිබූ තැන්වලම තිබුනා විනා නැවත එළියට පැමිණියේ නැත..එයින් එකම එක වට අත්තක් පමණක්නම් මා භාවිතයට ගන්නා ලදි...

මා පැවිදිව දින තුනක් යන්නටත් මත්තෙන් මා හට පිරිත් පින්කමකට සහභාගී වන්නට සිදුවිය..පළාතේ තිබූ රජ මහා විහාරයකින් පින්කම මෙහෙයවන ලදි.. මා ගිහි පිරිත් පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබුනද සාංඝික පිරිතක් ගැන මෙලෝ හසරක් ඒ වන විට දැන සිටියේ නැතත් මණ්ඩපය පුරවාලීමට අවශ්‍ය නිසා මාත් ඔහේ කට හොල්ලමින් පිරිත් පොත කියවමින් රැදී සිටියේය..පසුවදා උදෑසන දානය වෙලාවේ පිරිකර පූජාවක් විය..සියළු දෙනාටම කුඩය බැගින් පිරි නැමුනු අතර..රාජ මහා විහාරාධිපති හිමියන් විසින් මා හට කවරයක දමා යම් මුදලක් දෙනු ලැබීය..එය මා විසින් ප්‍රතික්ෂේප කළද...

"ආව පළවෙනි පින්කම..එහෙම යවන්න බැහැ..මේකත් අරං යන්න" යැයි පවසා එය මා හට දෙන ලදී..මා එයත් රැගෙන ආවෙමි.

ඒ මාගේ දෙවන පිරිකර හා සම්බන්ධ අත්දැකීම වේ...

...............................................

පළමුව සඳහන් කල භාණ්ඩ සෑහෙන කලක් ආවාසයේ ගොඩ ගසා තිබූ අතර වසර එක හමාරකට පමණ පසුව දහම් පාසලේ සිසු සිසුවියන් දිරිමත් කිරීම සඳහා මා විසින් යම් යම් දේ සංවිධානය කරන්නට විය...

පිරිසිදුව හැඳ පැළඳ එන ළමුන්...
දහම්පාසල් දින වලදී නොකඩවා පැමිණෙන සිසුන්..
හැමදාම මල් ගේන සිසුන්...
බෙදා දී ඇති ආකාරයට පන්සල් බිම හොඳින්ම පිරිසිදු කරන ළමුන් ආදී වශයෙන් විවිධ දේ හරහා දහම් පාසලේ සෑම ළමයකුම කුමන හෝ අංශයකින් තෝරා එයට අඳාළව තෑගි දෙන්නට වූ අතර..ඒ සඳහා අර තැන්පත් කර තිබූ දේ මෙන්ම එතෙක් කලක් මා විසින් දාන මාන වලට ගොස් ලැබූ විවිධාකාර පිරිකර උපයෝගී කර ගන්නට විය...

සබන්.. දත් බෙහෙත්.. තුවා..දත් බුරුසු...සිද්ධාලේප...පැනඩෝල් කාඩ්..කොපි පොත්..පමණක් නොව දුප්පත් ළමුන් උදෙසා පාංශුකූල වලට ලැබුනු සුදු රෙදි පවා දුන්නේ නිල ඇඳුම් මසා ගැනීම සඳහාය..තෑග්ගක් ලැබෙන්නට කිසිම ආකාරයේ සුදුසු කමක් නැතිව සිටි ළමුන්ට උදෑසන රැස්වීමේදී තෑගි නොලැබුණත් දහවල් වන විට කුමන හෝ වැඩක් දී එයින් පසුව තෑග්ගක් දී සෑම දරුවකුම සිත් සතුටු කර යන ලෙස වග බලා ගත්තෙමි...

එහි ප්‍රතිඵල ලෙස පසුව බොහෝ ජයග්‍රහණ දහම්පාසල පැත්තෙන් ලද අතර ඒ පිළීබඳව මෙතනදී වැඩිදුර ලිවීම ඇවසි නොවේ...

ඊට අමතරව තවත් ඉතිරිව තිබූ පිරිකර විය..ඒ සිවුරු..අඳන..කුඩ..වට අතු...ආදියයි...

ඒවා ළමුන්ට තෑගි දිය හැකි අන්දමේ ඒවා නොවීය... පසු කාලීනව එම භාණ්ඩ මා විසින් අපගේ පන්සලට කිලෝමීටර් 10ක් පමණ දුරින් වූ වෙළෙන්ඳකු හට අලෙවි කරන්නට ක්‍රමයක් යොදා ගත්තෙමි...

එය සිදු වූයේද අපූරු හේතුවක් මතය...

දිනක් මා විසින් ලක්බිම හෝ රිවිරැස වැනි පුවත්පතක් බලමින් සිටි වේලාවක හදිසියේ දුටු පුවතක් විය...

එනම් දෙහිවල ඇන්ඩර්සන් මාවතේ පිහිටි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධීපති "කිරම විමලජෝති"නාහිමියන් විසින් වර්ෂ 2500 බුද්ධ ජයන්තිය උදෙසා වරින් වර මුධණය කරන්නට යෙදුණ පාලි සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ නැවතත් මුද්‍රණ ද්වාරයෙන් පිට කරන්නට සූදානම් වන කතාවයි..එයට අනුව ඒ සඳහා පොත් 57ක් ඇත.

නමුත් තවමත් මුද්‍රණය සඳහා අවශ්‍ය තරම් මුදල් නොමැතිකම නිසා පොත් මුලින් ඇණවුම් කරන අය හට රුපියල් 35000 කට ආසන්න මුදලකට එම පොත් ලබා දීමේ පොරොන්දුවක් මත මුලින් මුදල් ලබාගෙන පොත් මුද්‍රණය කිරීමට උන්වහන්සේ ක්‍රමයක් යොදා තිබූ අතර..පසුව මිලදී ගන්නේනම් තව සෑහෙන මුදලක් මිල වැඩි වන බවද දක්වා තිබිණී...

එම විස්තරය තිබූ පත්තර පිටුවෙහිම තවත් පුවතක් තිබිණී...

එය "හෙන්රි ජයසේන" මහතා විසින් කරනු ලබන වකුගඩු සම්බන්ධ පින්කමක් වැනි යමකි. මිය පරළව ගිය මානෙල් ජයසේන මැතිණියට පින් පිණිස පිහිටවා ගත් සංවිධානයක් හරහා එම කටයුත්ත සිදු වෙමින් පැවතිණ..

මාගේ අවධානය මෙම පුවත් දෙකටම යොමු විණී.

ත්‍රිපිටක පොත් පිළීබඳව පුවතින් මා බොහෝ කොටම අසරණ වූ බව කිවයුතුය...
මන්ද ඒ වේලාවේ 35000ක් යනු මා හට සිහිනයක්ම පමණකි. එම කාලය වන විට මා විසින් පැරණි බුදු මැදුරෙහි කැඩී බිඳි තිබු සිමෙන්ති තටුටු ඉවත් කර බුදු ගෙයි කොටස් දෙකක් සම්පූර්ණයෙන්ම පිඟන් ගඩොල් අතුරා අවසන් වූවා පමණි..බුදු ගෙයි කපලාරුවද නැවත කරවන ලද්දේද එයත් සමගමය..එහි වහළයේ පැරණි උළු ටික බිමට බා..නැවත ශුද්ධ කර පිළීවෙලකට තබන්නට සිදු විය..ඒ බුදු ගෙය නිතරම වර්ෂාවට තෙමෙන නිසාය.

මෙම කටයුත්තට සෑහෙන මුදලක් වියදම්ව තිබුණු අතර..පුදේශවාසීන් ඒ වෙනුවෙන් බොහෝ ආධාර උපකාර කර තිබුණී..

ඒ පිටටම තවත් මෙවැනි පොත් සම්බන්ධව යෝජනාවක් ගෙන එම කල හැක්කක් නොවීය... මිනිසුන් නිතරම ඉල්ලන හාමුදුරුවරුන් පිළිපඳ දරන ආකල්ප මා හොඳින් දැන සිටියෙමි..එබැවින් මේ වෙනුවෙන් වෙන යමක් කල යුතු විය...

මන්ද යත් මේ වන විටත් මා හට පිරිවෙනක ඉගෙනුම ලබන්නට අවස්ථාව ලැබී නොතිබුණී..කියවන්නට කියා පන්සලේ ඇති බණ පොතක්ද නැති.ඉගෙනුමක් ලබන්නට හැකි කවර හෝ මගක් නොතිබිණී..එහෙයින් ත්‍රිපිටක පොත් ටික ලබා ගත්තේ නම් එය මගේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් මහත් පිටිවහලක් බැව් මා සිතුවෙමි...

ඒ වස්ථාවේ මට සිතුන එක් කාරණයක් පිළිබඳව සත්‍යය තොරතුරක් මෙසේ කිව යුතුය...

අර මා සඳහන් කල හෙන්රි ජයසේන මහතාගේ පදනමට කතා කරන්නට මා සිතුවෙමි..ඒ අන් යමක් නිසා නොව..ඔවුන් දන්නා වකුගඩු රෝගියකු සම්බන්ධ කරගැනීමටය... ඇත්තටම මා අදහස් කලේ යමක් කමක් තියෙන රෝගියකු සම්බන්ධ කර ගැන්මටය... කාරණාව සැගවිය යුතු නොවේ...මට අරමුණක් තිබිණී ඒ 35000 ක මුදලක් සෙවීමටය...තව දුරටත් ඒ පිළීබඳව ඔබට විස්තර කරලීමට අවශ්‍ය වේයැයි මා සිතන්නේ නැත...

කෙසේ වෙතත් ඒ සඳහා දුරකථන අංකයක් සොයමින් හෝ දුරකථනයේ සිග්නල් නොමැති වීම හෝ නිසා මා මදක් පමා වන අතරේ පන්සලට මා දන්නා කියන ත්‍රීරෝද රථ හිමියකු පැමිණියේය..ඔහු සමග වචන කිහිපයක් කතා කරනා අතරතුරේදී මට අදහසක් පහළ විය.. වකුගඩු කතන්දරය කරන්නට කොහොමත් කල් යන අතර ඊට ප්‍රථමව අත්තිකාරම් මුදල් බැඳිය යුතුය..ඒ සඳහා තිබුනේ සීමිත දින ගනනකි..එබැවින් මේ වේලාවෙදී ණයක් වී හෝ අත්තිකාරම් බැඳ වකුගඩු සම්බන්ධ අදහස පසුපස දිවිය හැකියයි මා සිතුවෙමි..

ඒ අනුව එවෙලේම අර තුන් සක් රියේ නැගී මා මගේ නිවස පිහිටි ගමට පිටත් විය...ඒ මා දන්නා අදුරන තරමක ධනවතෙකු හමු වීමටය...

සිතූ පරිදිම ඔහු හමු වූ මට යම් අතමාරුවක් කර ගැනීමට හැකිවිණී..එය මා හට මතක හැටියට රුපියල් දස දහසක් වැනි මුදලකි.ඒද ඒ වෙලේහි ඔහු අත තිබූ මුදල පමණක්ම විය..එය හැකි ඉක්මනින් බේරන පොරොන්දුව මත නැවත පන්සලට ආ පස්..තවත් මුදලක් අඩු පාඩු විය..මට මතක හැටියටනම් අත්තිකාරම් ලෙස 14000ක මුදලක් බැඳිය යුතුව තිබිණී...

ඒ අවස්ථාවේදී මෙතෙක් කලක් පන්සලේ තිබූ පිරිකර තොගය සිහිපත් වූ මා විසින් නැවතත් තුන්සක් රියේම ගොස් මා පෙර කී වෙළෙන්දා හමුවීමි.

එයද කලින් දන්නා හදුනන කමක් උඩ නොව පන්සලෙන් ටිකක් දුර නගරයකට ගොස් හමු වූ පළමුවැනිම පිරිකර කඩයයි.

කෙසේ වෙතත් ඔහු විසින් මා ගෙන ගිය පිරිකර වලට හොඳ මිලක් ගෙවනු ලැබූ අතර එයින් මා හට මාගේ අවශ්‍යතාවය පිරි මසා ගන්නට හැකියාව ලැබිණී...මා සමඟ ගිය තුන්රෝද රථයේ හිමිකරු සමග මේ වන විට මා විසින් වකුගඩු සම්බන්ධ කතාව කියා තිබුණු අතරම අනිකුත් සිදු වූ දේ ඔහු විසින්ම දෑසින් දකින ලදි..

අවසානයේ ඔහුත් සමගම බොහෝ දුරක් ගෙවාගෙන දෙහිවලට ගොස් අත්තිකාරම් මුදල බැඳීමද එදින සවස් කාලයේදී කරන්නට මා හට හැකිවිණී...

එම කටයුත්ත අවසන් කර එන විටදී තුන් රෝද හිමියා විසින් මා හට කියන ලද්දේ වකතුගඩු කතාව පැත්තක තබා මේ කාරණාව දායකයින්ට කියමු යන්නයි...පොතක මිල රුපියල් 600ක් 700ක් පමණ වන නිසා පොත් 57 සඳහා දායකයින් සොයා ගැනීම අසීරු වන එකක් නැතැයි පවසා ඔහු හටම එක් පොතක දායකත්වය දෙන ලෙස දන්වා සිටියේය..ඒ අනුව පන්සලට පැමිණ මා විසින් ලේඛණයක් පිළියෙල කර දාන ශාලාවේ පමණක් අලවා තැබුවෙමි...

එහි කාරණාව සඳහන් කර පළමු පොත සදහා ආධාර කරන පෙර කී රියදුරු මහතාගේ නමද සඳහන් කර තැබීමි. ඒ හැර කිසිම විටකදී මේ කාරනාව සදහා කිසිවකුටත් මා විසින් කියන්නට නොගියෙමි..දානය රැගෙන ආ අය විසින් එය කියවා බලා ඒ පිළීබඳව විමසුවහොත් පමණක් එය ගැන විස්තර කර දෙන්නට වීමි... ඒ හැර එක් කටයුත්තක් කර වෙහෙසට පත්ව සිටි දායකයින් පෙළීමට මා උත්සහ කලේම නැත..

එහෙත් ප්‍රතිචාරය යහපත් විය...මාසයක් යන විට පොත් 57ම වෙන් වී අවසන්ව තිබුණි.එයට අර දායක මහත්මාගේ කැපවීමද බල පෑවේය..ඔහු විසින් දන්නා අඳුරන කිහිප දෙනෙකුටම මා විසින් දවසක් ඇතුලත නටන ලද නැටුම විස්තර කර තිබුණී. ඒත් සමඟම වකුගඩු කතන්දරේද කියා ඇති වග කිහිප දෙනෙකු විසින් කල කතා බහෙන් මා හට දැනගන්නට ලැබුණී..කෙසේ හෝ අවසානයේදී එම පොත් වහන්සේලා ධර්ම ගෞරව සහිතව පෙරහැර කොට පන්සලට වඩමවාලීමට මා හට හැකියාව ලැබුණී. (මුලින් ගත් අතමාරුවද ඉක්මනින්ම පියවා ලන්නට හැකි විණි..ඒ මා මා වෙනුවෙන් නොවුනද මිනිසකුට ණය වූ පළමු වතාවයි..)කියවන්නට කියා පොතක් පතක් නොතිබූ පන්සලට ත්‍රිපිටකය වැඩමවීමට ලැබීම මහත් භාග්‍යයක් විය..

මා කියන්නට ගියේ එහිදී මා හට පිරිකර විකිණීම සම්බන්ධව වූ පළමු අත්දැකීමයි...

ඊට අමතරව පැවිදි වී වසර තුනකට ආසන්න වූ කල මා හට දඹදිව වන්දනාවේ යෑම ගැන අදහසක් පහළ වී ඒ සදහා වරින් වර පිරිකර විකුණා ලැබෙන මුදල් වලින් ටික ටික එකතු කර තැබීමි..ඒ සඳහා විදේශ ගමන් බල පත්‍රය පවා සෑදුවෙමි..නමුත් අද වනතුරුත් ඒ බලාපොරොත්තුව මා හට ඉටු කරගන්නට නොහැකිවිණී..තවමත් ම සතුව ඇත්තේ පැවිදි නමට සෑදු ගමන් බලපත්‍රයම වන අතර ඒ සඳහා රැස් කල මුදල මා විසින් ආරම්භ කල චෛත්‍යය කර්මාන්තයේ සුළු වියදම් උදෙසාම වියදම්ව යන ලදි.

එම මුදල රුපියල් 70000 කට වැඩි මිසක් අඩු නොවේ..නමුත් එය අයවැයට ලියවෙන කියවෙන මුදලක් නොවීය..උදාහරණයක් වශයෙන් චෛත්‍යයේ කොත භාරගත් අය ඒ සඳහා 65000ක මුදලක් පිරි නැමූවද එය සකස්කිරීමට භාරදීමට පිළීමතලාවේ යෑමටත් නැවත සෑදු කොත රැගෙන ඒමට යාමටත් වියදම් කරන්නට වූයේ මා හටය..මෙවැනි වියදම් බොහෝ විය..ඒවා සදහා චෛත්‍යය අරමුදලින් මා වියදම් ලබා ගත්තේ නැත..අවසානයේ දඹදිව ගමන කෙසේ වෙතත් චෛත්‍යය කර්මාන්තය ඉතා උසස් අන්දමින් කරලන්නට මා හට හැකි විණී. ඒ සඳහා මා අතින් වැය වූ මුදල්ද මා හට ලැබුනේ පිරිකර විකිණීමෙනි.

................................................

පිරිකර ලැබීම මෙන්ම පිරිකර විකිණීම පිළිබඳවද මා හට ඇති අත්දැකීම් ගොන්නෙන් කිහිපයක් මෙසේ කියන්නට සිදු වූයේ ඉහත සඳහන් ලිපියේ අන්තර්ගතය නිසාය...

එහිදී සාකච්ඡෘවට භාජනය වනේනේ හිමිනමක් විසින් ලැබූ පිරිකර පිළීබඳව එම හිමිනම දක්වන ප්‍රතිචාරය වූවත් ඒ පිළීබඳව වැඩි දුරට සටහනක් දැමීම සඳහා මෙම කරුණු කිහිපය සඳහන් කලෙමි...

මෙම ලිපිය දැනටම දිග වැඩි නිසාවෙන් කියන්නට ගිය දේ ඊ ළග ලිපියෙන් ඉදිරිපත් කරන්නවාට කවුරුවත් අමනාප වෙන එකක් නැහැ නේද..?

29 comments:

  1. මාරයියාගේ හෝරාව මම හැමදාම එන තැනක්... මම බ්ලොග් එකට මුලින්ම ආව දවසෙම කියවපු වබ්ලොග් වලිනුත් එකක්....
    ඒත් අවශය දෙයකට විකුනන පිරිකර කමක් නෑ කියමුකො....
    ඒත් මට ලගකදි මාමා කෙනෙක් දානයක් ගැන කතාකරද්දී මෙහෙම කියනවා ඇහුනා..

    "අටපිරිකරේට කඩවල් ගානේ යන්න ඕන නෑ.. භාගයක් අඩුවට මන් ගෙනත් දෙන්නම්"

    මට මේකට උත්තරයක් දෙන්නකෝ...

    එහෙම ලාබෙට පින් කරන එක හරිද වැරදිද??

    ReplyDelete
  2. ඔන්න මම ආසම විදියේ කොමෙන්ටුවක්..ඩිංගක් ඉවසලා ඉන්න එය ගැන අනිවාර්යයෙන් මං කතා කරනවා

    ReplyDelete
  3. අනිත් කොටහත් විගහින්ම දැම්මනම් ..........:D:D:D.

    පිරිකර විකුණලා කරලා තියෙන්නේ හොද වැඩක්නේ. ඒක මිළ කරන්න බෑ කීයකටවත්.

    ReplyDelete
  4. ඔය පිරිකර දෙන එකත් සමහරු කරන්නෙ සැම්පලේට... අට පිරිකරක් නොදී වැඩක් නෑ.... මදිකමක්...කියල ගේනව ලාබෙට අටපිරිකරක්... හාමුදුරුවන්ට දනගල පූජකරනවා.. හාමුදුරුවොවත් ඒ පූජකරන ඇත්තොවත් දන්නෙ නෑ ඒ අට පිරිකරම කීවෙනි පාරටද පංසලට යන්නෙ කියල...ඒත් මගේනම් අදහස ප්‍රිකර විකුනලා ඒ සල්ලිවලින් හාමුදුවො "ෆෝන් එකට රී ලෝඩ් එකක් දැම්මත් කමක් නෑ " ඒ රීලෝඩ් එකෙන් එක වැදගත් පලක් ඇති කෝල් එකක් හරි ගනීවිනෙ.... පිරිකර කබඩ් ඇතුලෙ පුස්කනවට වඩා...

    ReplyDelete
  5. වැඩියෙන් ලැබෙන පිරිකර ඇතුලේ ගොඩ ගහලා නිකන් නාස්ති වෙලා යන්න දෙනවට වඩා ඒක විකුනන එක ලොකු දෙයක් නේ නාස්ති වෙලා විසිකරලා දානවට වඩා...

    ReplyDelete
  6. මෙතන පිරිකර විකුණුවට එකෙන් කරලා තියෙන්නේ වැදගත් වැඩක්නේ.... ඒත් සමහර හාමුදුරුවෝ දෙන පිරිකර වලට ගරහන එකනම් හොඳ නැහැ. අනික මම දන්න ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු නමක් ඉන්නවා... ලංකාවේ මිනිස්සු නම් පුදුම විදිහට එතුමන්ට ගෞරව කරනවා.... මාධ්‍ය වලිනුත් එහෙමයි. ඒ හාමුදුරුවෝ මං අඳුරන ගෙදරකට වඩිනවා. එයාල හොඳ යාලුවෝ... ඒ හාමුදුරුනම ගෙදරට වඩින්න කලින් හැමදාම ෆෝන් කරලා කියන දෙයක් තමයි එයාට කන්න ඌරු මස් හරි හරක් මස් හරි හදල තියන්න කියලා. ඇවිත් හැසිරෙන, කතා බහ කරන දේවල් ඇහුවහම මටනම් මුලු හාමුදුරු සංහතියම එපා වෙනවා.

    ඒත් හැමෝම මෙහෙම නැහැ. මේ වගේ ඉන්න ටික දෙනෙක් නිසා අපිට හාමුදුරුවන් ගැන තියෙන ගෞරවේ නැති වෙන එක විතරයි වෙන්නේ.......

    ReplyDelete
  7. එහෙනම් ඉතින් කොමෙන්ට් එකත් ඒ ළිපියෙන් පසු.. ඒකේ මොනව තියෙයිද කවුද දන්නෙ. අපි හිතන ඒව නෙමේනේ ලියන්නේ. ලියන තරමක් ලියන්නෙ පද පෙරලියි, පැදි පෙරලියිනේ..

    තරහ වෙන්න එපා.. දැනගන්නයි අහන්නේ.. ඔය පිරිකර තෑගී වශයෙන් විශාඛාව වගේ ලස්සන උපාසිකාවන්ට එහෙමත් පූජා කොළැයි...???

    තරහ අවසර.....

    ReplyDelete
  8. පංසල් ඇතුලෙ පුස් කනවට වඩා පිරිකර විකුණල කීයක් හරි අරන් ඒකෙන් පංසලට වැඩක් කරනවනං ඒක වරදක් නෙමෙයි.

    ReplyDelete
  9. මට මල්ලි ගැන කියන්න වචන නැහැ.

    ReplyDelete
  10. මාරයියේ තව ප්‍රශ්නයක්.... මේකෙ මාතෘකාව නම්...
    "විකුනාගෙන වැලදීම" විය යුතු නොවෙයිද???

    යසියා මල්ලිට තේරෙන්නේ නෑ.. ඒකයි අහන්න හිතුනේ...

    ජය වේවා

    ReplyDelete
  11. පිරිකර විකුනලා හොද දෙයක්නේ කරලා තියෙන්නේ.. එකට අපේ පන්සලේ හාමුදුරුවෝ හැමෝගෙන්ම පිරිකර වලට සල්ලි අරගෙන එකම එකක් ගෙනත් එක හැමෝටම දෙනවා.. එයාගේ නම කිවොත් අනිවා අදුරගනී.. එයාට නයිට් ක්ලබ් එකක් එහෙම තියෙනවා.. අපේ ගමේ පන්සලට නොයන්නෙම එයාගේ වැඩ වල හොදකම නිසාමයි...

    ReplyDelete
  12. හ්ම්ම් මට කියන්න තියෙන දේ ගලපන්න අද මට වෙලාවක් නැහැ. ආයෙ කවදා ඒක කරන්න වෙයිද දන්නෙත් නැහැ. බලමු වෙලා තිබ්බොත් හවස් වෙන්න කලියෙන් ලියනවා.

    ReplyDelete
  13. දානය..පිරිකර..හා විකුණාගෙන කෑම... කියන මාතෘකාව මේකට ගැලපෙනවද කියන එක ප්‍රශ්ණයක්... විකුණාගෙන කෑම කියන්නේ විකුණලා තමන්ගේ ප්‍රයෝජනයට ගන්න එකනේ.. ඒත් ඔයා එහෙම දෙයක් කරලා නැ නේ... මොනව වුනත් මාරයා කරල තියෙන්නේ ගොඩක් හොඳ වැඩක්....

    ReplyDelete
  14. හැබැයි අද ඉන්න හාමුදුරුවො වැඩි හරියක් කරන්නෙ පිරිකර විකුනලා තමන්ගෙ මඩිය තර කර ගන්න එක.ඇත්තමයි මාරයියේ මේ කතා කියවන්න ඉස්සර හාමුදුරුවො ගැන මගෙ හිතේ තිබුනෙ ප්‍රසන්න හැඟීමක් නෙමෙයි. මොකද ඒ තරම් දුසිල්වත් හාමුදුරුවො ගැනයි අහලා තිබුනේ. ඒත් සාසනේට ඇත්තටම වැඩක් කරන මෙහෙම හාමුදුරුවෝ ඇත්තටම වාසනාවන්.

    ReplyDelete
  15. පිරිකර විකිණීමේ කිසිම වරදක් මම නම් දකින්නෙ නෑ. ඒක වැ‍රැද්දක් කියල ඇතැමුන්ට හිතෙන්නෙ ඔවුන් හාමුදුරුවෝ යැයි හිතේ මවාගෙන ඉන්න පරමාදර්ශී චරිතය මුදල් පරිහරනය නොකරන නිසා වෙන්න ඇති.

    ReplyDelete
  16. ඇත්තටම ශාසනේට වැඩක් කරන හාමුදුරුවො ගැන නම් මගේ හිතේ තියෙන්නේ පහන් හැගීමක්. හැබැයි සමහර සමහර දේවල් නිසා ධර්මය පරිහානියට පත්කිරීම වැඩි වශයෙන් සිද්ධවෙන්නෙත් හාමුදුරුවො අතින්ම ද මංදා. බලන්න පත්තර වල කොච්චර ව්‍යාපාර කරනවද හාමුදුරුවොම. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියන්නෙත් බිස්නස් එකක්නේ නේද ?

    ReplyDelete
  17. යසියාගේ පළමු කමෙන්ටුව් ගැටළුව මටත් ඇත.පිළිතුර බලාපොරොත්තුවෙන් සිටී.

    ReplyDelete
  18. හ්ම්ම් මම අදයි දැනගත්තෙ මාරයියා මහණවෙලා හිටිය කියන කතාව. ගොඩක් අත්දැකීම් ලබල තියෙනව වගේ. අනිත් කොටසත් බලමුකෝ..

    ReplyDelete
  19. කලින් කොමෙන්ටුව දැම්මේ ලිපිය සම්පූර්ණයෙන් නොකියවාය.භික්ෂූන් පිරිකර විකිනීමේ වරදක් නැත.නමුත් අපේ ගමේ විහාරස්ථානාධිපති හිමියන් කඨින කාලෙට හරි නරක වැඩක් කරයි.කඨිනෙට පිරිකර පූජා කිරීමේදී කඩෙන් නොගෙන තමාගෙන් මිලට ගැනීමට දායකයන් පොලොඹවයි.දිනක් මා ඒ පිළිබදව ඇසූ විට හාමුදුරුවො කීවේ "කඩවල් වල තියෙන ඒවා හරිම බාලයි.සමහර ඒවා අපවත් වුනු හාමුදුරුවරු භාවිතා කරපුවා.කඨින දානෙට පිට පන්සල් වලින් එන හාමුදුරුවන්ට ඒවා පූජා කරන එක මුළු ගමටම මදි කමක්."
    එහෙම කියලා හාමුදුරුවොම දායකයන්ට පිරිකර සහන මිලට දෙනවා.හුඟක් ඒවා නැවත පූජා කෙරෙන්නේ විහාරාධිපති හිමිටමයි.ඔය විදියට එක පිරිකරක් අවුරුදු ගානක්ම අතින් අතට ගොස් නැවත හාමුදුරුවන් අතටම එනවා.ඉතින් මේ වැඩේ නිසා කඨින පූජාව බිස්නස් එකක් වෙලා.

    ReplyDelete
  20. කොමෙන්ට් වලින් පේන්නෙ ශාසනේ බිස්නස් 1 ක් වෙලා වගේ කියලා.........
    ( එම හේතුව නිසා ශාසනය ගැන කලකිරෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ , මොකද බුදුන් වහන්සේ මේ පිලිබදව විස්තර ඇතිව දක්වලා තියෙනවා )

    හැබැයි ලමයි මාරයාගේ කතාවෙ නොකියපු දෙයකුත් තියනවා
    පොඩ්ඩක් පසු ගිය දවස් වල පල කරපු ලිපි නැවත බලන්න........................

    ReplyDelete
  21. ගොඩාක් හාමුදුරුවරු තමන්ගේ එදිනෙදා වියදම් පිරිමසා ගැනීමට පිරිකර විකුනනවා.ඒකේ වරදක් නැහැ.නමුත් ඔක ජාවාරමක් කරගත්තු හාමුදුරුවරු ඔනි තරම් ඉන්නවා.

    ReplyDelete
  22. මාර හාමුදුරුවො 100%ක්ම අනුන් ගැන හිතලනෙ වැඩ කොලේ.......ඒත් සමහර හමුදුරුවරු ඕකෙ අනිත් පැත්තනෙ.....
    අවOකවම ඉන්න බO තිබ්බෙ සිවුරේ.....

    ReplyDelete
  23. හැම දේකම දෙපැත්තක් තියෙනවා නේද?
    මාර හාමුදුරුවෝ හොඳ චේතනාවෙන් කළ දේ හුඟක් වටිනවා. අනික් අතින් වෙනත් පල රහිත වැඩ සඳහා තව හාමුදුරුකෙනෙක් ඔය වැඩේ කරන්න පුළුවනි.
    පැවිදි බව ලැබූ කෙනෙක් ගිහියෙකුට වඩා බුදුන් අනුදැන වදාළ මාර්ගයේ ගමන් කළ යුතුයි කියලා ගිහි අපි හිතාගෙන ඉන්නවා. ඒත් වෙලාවකට හිතෙනවා එහෙම හිතන්න අපට අයිතියක් තියෙනවද කියලා. මොකද, දැනටමත් හුඟක් කැපවීම් කරලා ඉන්න ඒ අයට තියෙන ගැටළු අපි හඳුනන්නෙ නැහැනෙ.
    අනික් අතින් බොහෝ ලැබීම් ඇති හිමිවරුන්ට ලැබෙන පිරිකරක්, එහෙම නොලැබෙන දුර ඈත පන්සල්වල හිමිවරුන්ට ලබාදෙන ක්‍රමවත් වැඩපිළිවෙලකුත් නැහැනෙ.
    තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලැබෙන දේවල් ගැන බුදුහාමුදුරුවො මොකක්ද මන්දා දේශනා කරල තියෙන්නෙ. භාර නොගෙන හිටියත් දායකයන්ගෙ හිත නරක් වෙනවා.
    ඉතිරි කොටසත් ලියලා දැම්මනං මොකද?

    ReplyDelete
  24. අයියේ-ඔයා කරවපු චෛත්‍යයේ පොටෝ එකක් දාන්නකෝ ආසයි බලන්න.[ඔයා ගැන අවිස්සාසෙකට නෙවේ හොඳේ.]
    ඇත්තටම අයියේ ඔහොම හාමුදුරුවරු ඉන්නවනම් වාසනාවන්.අපේ පැත්තෙ එක හාමුදුරු කෙනෙක් ජපානෙන් වැන් එකක් ගෙන්නුව.තව එක්කෙනෙක් තව එකක්.තව එක්කෙනෙක් කාර් එකක්...අනේ මන්ද...වෙලාවකට කලකිරෙනව...

    ReplyDelete
  25. පිරිකර විකිනීම ගැන නම් කියන්න දෙයක් නැහැ, ඒක ඉතින් හොඳද නරකද තීරණය වෙන්නෙ චේතනාව මත.

    ලාබෙට පිරිකර අරගෙන පුජා කරණ එකෙත් මම හිතන්නෙ දෙපැත්තක් තියනවා. අටපිරිකරක් පුජා කරලා කිසියම් මානසික සහනයක් ලබන්න කැමති කෙනෙක් හාමුදුරුවන්ගෙන් පිරිකරක් මිල දි ගෙන , හාමුදුරුවන් ට කිසියම් මුදලක් පූජා කරණ අතරෙ පිරිකර පුජාකිරිමේ සතුටත් ලබනවා..හැබැයි ඒක නියම පුණ්‍යකර්මයක්ද කියන එකනම් මාරයට බාරයි,

    තවත් සමහරු ඕක ලාබෙට පින් කිරීමේ උපක්‍රමයක් විදියට කරණවා,
    සාසනෙ හිටිය කෙනෙක් විදියට මාරයා මේ ගැන යමක් කියන්නම ඕන....

    ReplyDelete
  26. අනිත් පෝස්ට් එකත් කියවලම කොමෙන්ට් එකක් දාන්නං . . .

    ReplyDelete
  27. හ්ම්ම්ම්ම්........

    අනේ මංදා..... අයියා ඔහොම කරාට ඔහොම පිරිකර විකුණලා සල්ලි නාස්ති කරපු අය තමා වැඩිපුර දකින්න ලැබෙන්නේ. හැබැයි ඔතන දකින්න ලැබෙන්නේ නෙමෙයි. අහන්න ලැබෙන්නේ. මොකද හොඳ නමක් ගැන කතා කරනවා හරි අඩුයි. හැබැයි පැන්සලක් ගමේ කඩේට විකිණුවත් ඔන්න මුළු ගමම දන්නවා. එහෙමනේ ඉතින් මිනිස් සමාජේ. කොච්චර හොඳ තිබ්බත් නුගුණ උළුප්පලා පෙන්නලා කතා කරනවා විතරයි. හොඳ අගයන්නෑ.

    අර යසියා අයියගේ ප්‍රශ්නේ මටත් ඇත.

    @ sameera

    මාරයියා ඒ වගේම ඒ මුදලුත් උපයෝගි කරන් සුනාමි වෙලේ ගෙවල් හදන්න මහන්සි උන එක වෙන්ට ඕනි ඔය කියන්නේ.....

    ReplyDelete
  28. මාරයියා ගොඩාක් පින් කරගෙන තියනවා... වැඩි හරියක්ම කරන්නේ දාන වලින් ලැබෙන දේවල්, පිරිකර විකින්ගෙන කන එක තමයි....

    ReplyDelete
  29. මං යෝජනාවක් ගේනවා. සිංහල බ්ලොග් කියෝන අපි කට්ටිය එකතු වෙලා මාරයාව අල්ලලා ආයෙත් මහන කොරමුද? තට්ටෙත් ගාල ඉන්නේ කියල සය්බර් අවුරුදු උත්සවේට ආපු කට්ටිය සහ ඒකෙ පින්තුර දැකපු කට්ටිය දකින්න ඇතිනෙ.

    ReplyDelete