09 June 2011

මෙන්න මං කඩේ යනවා...

අදනං මොනවත්ම ලියන්න නෙවෙයි හිතාගෙන හිටියේ..ඒ තරමට වැඩ ගොඩ ගැහිලා..ඒත් උදේම පැය බාගයක් බ්ලොග් ටික කියවන්න යද්දී තමයි අපේ බ්ලොග් ලියන මිත්තරයෙක් බස් එකක දාලා තිබුන ලින්ක් එකක් හරහා වටිනා කියන ලිපියක් දුටුවේ..යාළුවගේ නම මෙතන කිව්වේ නැත්තේ ඒක ප්‍රශ්නයක් වෙයිද කියලා දන්නේ නැති නිසයි.ඒත් ඔහු කැමතිනං පස්සේ හරි මෙතන නම දාන්නං.

ඉතිං ඒ ලිපිය දැක්කට පස්සේ මෙහෙම හරි ලියන්න ඕන කියලා හිතුන හින්දයි මේක එකතු කරන්නේ..

ලිපිය මෙහි උපුටා පල කිරීමට එම ලිපිය පල වී තිබු අඩවියෙන් අවශ්‍ය අවසරයද ලබාගෙනම මෙන්න මම ලිපිය කොපි කරලා මෙතන දානවා...කරුණාකරලා කියවලා බලන්න..රාජ්‍ය මාධ්‍ය..පෞද්ගලික මාධ්‍ය කියලා වෙනසක් නැතිව අපිට හැම දේම නොකියන්නේ ඇයි කියන ප්‍රශ්නය ඔබලාට එන්නේ නැද්ද..?

මෙන්න ලිපිය...
--------------------------------------------

“සමූල ඝාතනයක්” වැලැක්වූ ශ්‍රී ලංකා රේගුවේ දේශපේ‍්‍රමී නිලධාරීන්


පසුගිය බ්‍රහස්පතින්දා දින (02) ශ්‍රී ලංකා රේගුව විසින් ලංකාවට කෘමිනාශක සහ වල්නාශක ගෙන්වා බෙදාහරිනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් 4ක් විසින් ගෙන්වනු ලැබූ, නිෂ්කාශන සඳහා සුදානමින් තිබූ, කෘමිනාශක සහා වල්නාශක බහලූම් 7ක් හදිසියේ ම වටලා අත්අඩංගුවට ගනු ලැබීය.

හේලීස්, ඇග්‍රෝ, සීයීසී සහ හැරසන් මහාරාජා කෙමිකල් යන සමාගම් සතර විසින් ගෙන්වනු ලැබූ ඉහත බහලුම් තුළ අන්තර්ගත වන කෘමිනාශක සහ වල්නාශක තුළ මිනිස් සිරුරට අතිශයින් අහිතකර ආසනික් සහා රසදිය අඩංගුව පවතින බව මෙම නිලධාරීන්ට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකරනු ලැබ තිබිණ.

තමන් වෙත ලැබුණු පැමිණිල්ලේ බරපතලකම පිළිබඳව යම් චකිතයක් ද මෙම නිලධාරීන් වෙත විය.

එහෙත්, බහලුම් නිදහස් කිරීමට ඇත්තේ තව සුළු මොහොතකි. පැමිණිල්ලේ ඇත්ත නැත්ත දැනගැනීමට නම් වහා වහා ක්‍රියාත්මක විය යුතු බව මෙම නිලධාරීන්ට පසක් විය. එහෙත් පැමිණිල්ල ඉතා බලපතල එකකි. ලෝකයේ ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම් කිහිපයක් ද මෙම සමාගම් අතර සිටීම එයට ප්‍රධාන හේතුව විය.

තමන් විසින් සිදුකිරීමට යන බරපතල වැටලීම පිළිබඳව වහා ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බව මෙම නිලධාරීන් තීරණය කරනු ලැබීය. ඒ අනුව වහා ජනාධිපති මාධ්‍යය ඒකකය හරහා හැකි ඉක්මනින් ජනාධිපතිවරයාව සම්බන්ධ කරගැනීමට මෙම නිලධාරීන් විසින් කටයුතුකළහ. ඔවුන් කෙටියෙන් ජනාධිපතිවරයා වෙත තමන් වෙත ලැබී ඇති පැමිණිල්ල සහා ඉදිරියේදී ඒ අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැටලීම පිළිබඳව සැළකරනු ලබීය.

“පරික්‍ෂාවකින් තොරව එකඳු කෘමිනාශක හෝ වල්නාශක හෝ බහලුමක් නිදහස් නොකරනු” යනු ජනාධිපතිවරයාගේ ස්ථීර හඬ විය.

ජනාධිපතිවරයාගේ පිළිතුරින් මෙම නිලධාරීන් නව පණක් ලැබූවාක් ‍මෙන් වි ය. වහා මෙම බහලූම් ගෙන්වනු ලැබූ සමාගම් වල විධායක නිලධාරීන්ව කැඳවනු ලැබීය. අවශ්‍යය සියළුම පුද්ගලයින් ඉතා කෙටි කාලයක් තුළ එක්රැස්කර ගත් මෙම නිලධාරීන් මෙම බහලුම් හත එකින් එක විවෘත කරමින් ඉහත විධායක නිලධාරීන් ලවාම කෘමිනාශක සහ වල්නාශකයන් හී නියැදි කිහිපයක් ලබාගනු ලැබීය.

මෙම නිලධාරීන් කොතරම් දක්‍ෂ දැයි කිවහොත්, ඉතා සුළු මොහොතකින් මෙම නියැදි පරික්‍ෂණාගාර කිහිපයකටම යවා අවශ්‍යය පරික්‍ෂණ සිදුකර අදාල වාර්තා ද ලබාගැනීමට කටයුතු කර තිබිණ.

වාර්තා අනුව ඔවුන්ට ලැබුණු පැමිණිල්ල සාවද්‍යය පැමිණිල්ලක් නොවන බව සනාථ විය.

මෙම බහලූම් තුළ අන්තර්ගත සියළුම කෘමිනාශක සහ වල්නාශක තුළ ආසනික් සහ රසදිය ඉතා අධික ප්‍රමාණ වලින් අන්තර්ගත බව එසේ ලියකියවිලි අනුවම සනාථකර ගත් මෙම රේගූ නිලධාරීන් මෙම බහලූම් කිසිසේත්ම නිදහස් කළ නොහැකි බව ඉහත සමාගම් වල විධායක නිලධාරීන්ට දන්වනු ලැබීය.

ඇතැම් සමාගම් වල නිලධාරීන් මෙම පරික්‍ෂණ වාර්තා පිළිගත නොහැකි බව පවසා ඇති අතර, වහා මෙම බහලුම් නිදහස්කර ගැනීමට අවශ්‍යය බව ද පුනපුනා පවසා ඇත. පරික්‍ෂණ වාර්තා පිළිගත නොහැකි බව සමාගම් වල විධායක නිලධාරීන් පුන පුනා පවසා සිටි බැවින් එම නිලධාරීන් ඉදිරියේදීම නැවතත් පසුගිය සෙනසුරාදා දින (04) උදෑසන ද අදාල පරික්‍ෂාවන් සිදුකිරීමට මෙම නිලධාරීන් වහා කටයුතු සිදුකළහ. එම පරික්‍ෂණයෙන් ද ඉතා ඉහළ ආසනික් ප්‍රතිශතයක් මෙම බහලුම් වල අන්තරගත කෘමිනාශක සහා වල්නාශක තුළ අඩංගු බව නැවතත් තහවුරු විය.

එහෙත්, ඇතැම් විධායක නිලධාරීන් මෙයින් පසුත්, මෙම රේගු නිලධාරීන් වෙත මෙම බහලුම් නිදහස් කරන ලෙසට දැඩි පීඩනයක් එල්ල කරනු ලැබූ බව සඳහන් විය. කෙසේ හෝ මෙම රේගු නිලධාරීන් නැවතත් වහාම ජනාධිපතිතුමාව අමතා ඇත.

තමන් සතු පරික්‍ෂණ වාර්තා පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළ මෙම නිලධාරීන් ඔවුන් වෙත එල්ලවෙමින් පවතින පීඩනය පිළිබඳව ද සැළකර ඇත.

“කිසිම බහලුමක් නිදහස් කරන් එපා. ඔබලාගේ රාජකාරීය කිසිදු බාහිර බලවේගයකට යටත් නොවි සිදුකරන්න.” යන්න ජනාධිපතිතුමාගේ පිළිතුර විය.

නිලධාරීන් තම රාජකාරීය අකුරටම ඉෂ්ඨ කළහ. ඒ අනුව බහලුම් හතම වරායේ හිරවිය. එපමණක් නොව අසනික් අඩංගු කිසිදු කෘමිනාශකයක් හෝ වල්නාශකයක් හෝ ලංකාවට ගෙන්වීම මින්පසු සපුරා තහනම් බවට ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස නියෝගයක් ද පනවනු ලැබීය.

මේ අතර, මෙම ආසනික් අඩංගු බහලුම් පිළිබඳ පුවත රජරට වකුගඩු රෝගකාරක පිළිබඳව පරික්‍ෂණ පවත්වා එම රෝගකාරක අන්කිසිවක් නොව ආසනික් බව සනාථ කරගත් පරික්‍ෂණ කණ්ඩායමට සැළවිය. මෙම පුවත මාධ්‍යය මඟින් ප්‍රචාරය වීම වලක්වමින් කෙසේ හෝ මෙම බහලුම් හත නිදහස්කර ගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් විසින් නිරතව සිටින බවටද ඔවුන්ට වාර්තා විය. හැකි ඉක්මනින් අවශ්‍යය පියවර ගතයුතු බව ඔවුන්ට පසක් විය. මේ පිළිබඳව මාධ්‍යය සාකච්ඡාවක් පවත්වා වහාම ජාතියම දැනුවක් කළ යුතු බවට එහිදී ඔවුන් විසින් තීරණය කරනු ලැබීය.

මෙම මෙහෙයුමට සහභාගී වූ නිලධාරීන්ට ද මෙම මාධ්‍යය සාකච්ඡාවට ඔවුන් විසින් ආරධනා කරනු ලැබීය. ඒ අනුව, ‍මෙම සාකච්ඡාවට ඉහත වැටලීම සිදුකළ නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර ද, නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක අතුල ලංකාදේව ද, ජනාධිපති මාධ්‍යය ඒකකය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල ද, රජරට වකුගඩු රෝගයේ හේතුකාරක ආසනික බවට සොයාගත් පරික්‍ෂණ කණ්ඩායම වෙනුවෙන් මහාචාර්ය නලීන් ද සිල්වා, මහාචාර්ය ප්‍රීයානී පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක සහ රජරට විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ද සහභාගී වූ අතර, එම මාධ්‍යය සාකච්ඡාව ‍පසුගිය සෙනසුරාදා දින (04) සවස කොළඹ ග්‍රේට් වොල් හෝටලයේ දී පවත්වනු ලැබීය.

මෙහිදී, මෙම වැටලීමට සහභාගී වූ නිලධාරීන් කිහිපදෙනාට විශාල ලෙස ජීවිත තර්ජන එල්ලව ඇති බව සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර මහතා පවසා සිටියේය. මෙම ජීවිත තර්ජන කොතරම්ද යත්, මෙම මාධ්‍යය සාකච්ඡාව අවසන් වී පැය කිහිපයක් ගියකල ජීවිත තර්ජන හේතුවෙන් නිලධාරීන් කිහිපදෙනෙකුටම විදේශ ගතවීමට සිදුවූ බව පසුව අප වෙත වාර්තා විය.

ලංකාවට පමණක් නොව අග්නිදිග ආසීයාවටම මෙය විශාල ප්‍රශ්නයක් විය හැකි බවත්, ඒ අනුව අනෙකුත් රටවල් සමඟ ද ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීමට රජයක් ලෙස තමා ඇතුලු රජය සුදානමින් සිටින බවත් තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේය.

රජරට වකුගඩු රොගය හේතුවෙන් මේ වනවිට 20,000 පමණ පිරිසක් මියගොස් ඇති බවත්, තවත් 20,000ක් පමණ මිය යාමට නියමිතව සිටින බවත්, මහාචාර්ය ප්‍රීයානී පරණගම මහත්මිය ප්‍රකාශකර සිටියාය.


යම් ලෙසකින් මෙම බහලුම් හත ද අලෙවිය සඳහා නිදහස් කරනු ලැබූයේ නම් තවත් 5,000 කට අධික පිරිසක් ස්ථිර වශයෙන්ම අලුතින් වකුගඩු රෝගීන් බවට පත්ව මිය යනු ඇති බව වෛද්‍ය චන්න ජයසුමන සඳහන් කළේය.

වකුගඩු රෝගය හේතුවෙන් මියගිය සහා මියයාමට සිටින පිරිස වෙනුවෙන් ඉහත සමාගම් වෙතින් වන්දි ලබාගැනීමේ මානවහිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පිරිසක් සූදානමින් සිටින බවද අප විසින් සිදුකළ සොයාබැලීමක දී අනාවරනය විය. ඇතැම් විට මෙය ලෝක ඉතිහාසයේ මෙතෙක් පවරා ඇති විශාලතම වන්දි මුදල් නඩුව බවට පත්විය හැකි බවට ද සඳහන් වේ.

මෙම වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාව තුළ කිසිදු ප්‍රතිකාරයක් නොමැති බව සියලූම දෙනා විසින් සනාත කරමින් පෙන්වා දුන්නෝ ය.

වසර විස්සක් තුළ රජරට වකුගඩු රෝගය දිනෙන් දින ව්‍යාප්ත වන බවත්, වස විස විකුණමින් අතමිට සරුකරගන්නා සමාගම් පද්ධතියක් මත ලෝකයේ හෙට දවස තීරණය වී ඇති බවත්, එය වහා නැවැත්විය යුතු බවත්, එසේ නැවැත්විය හැකි ස්ථීර පිළියම් සිංහල අප සතු වන බවත්, මේ සඳහා වන විසඳුම කුමක්දැයි මාධ්‍යවේදීයෙක් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේය.

කෘමිනාශක සහ වල්නාශක සමාගම් වලට විරුද්ධව කිසිදු හඩක් නොනඟන පිරිසක් විසින් රජරට වකුගඩු රෝගයේ හේතුකාරක සෙවීම සඳහා වසර විස්සක සිට ඊනියා විද්‍යාත්මක පර්යේෂණ සිදුකරමින් ජනතාව සහ දේශපාලකයින් නොමඟ යවමින් රජරට වකුගඩු රෝගයේ හේතුකාරක අනාවරනයවීම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටීම ගැටලු සහගත බව ද ඔහු සඳහන් කර සිටියේය.

ඇතැම් රෝග සුවකිරීම සඳහා ආසනික් යොදාගන්නා බවත්, ආසනික් යනු වකුගඩු රෝගයේ හේතුකාරක නොවන බවත් ඇතැම් විද්‍යාඥයින් විසින් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව වෛද්‍ය චන්න ජයසුමන මහතාගෙන් මාධ්‍යවේදියෙක් කරුණු විමසූ අතර, එය හිතාමතාම ජනතාව මුලා කිරීම සඳහා ගොතන ලද “අමූලීක පට්ටපල් බොරුවක්” බව ඔහු ක්‍ෂණිකවම පිළිතුරු වශයෙන් සඳහන් කර සිටියේය.

“ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් ජලයේ ආසනිසක් අඩංගු වෙන්න බැහැ. රජරට ජලයේ බටහිර රටවල සම්මත ආසනික් මට්ටමටත් වඩා වැඩියෙන් වූ, එනම් විසි තිස් ගුණයකින් වැඩි ආසනික් ප්‍රතිශතයක් පවතිනවා. මෙම ආසනික් රජරටට පැමිනෙන්නේ කෘමිනාශක සහ පළිබෝධනාශක මඟිනුයි.” යැයි වෛද්‍යවරයා සඳහන් කළේය.

ඉහත බහලුම් හතෙන් වැඩිපුරම ආසනික් අඩංගුව ඇත්තේ මහරාජා ව්‍යාපාරය ජාලය විසින් ගෙන්වූ කෘමිනාශක සහ පළිබෝධනාශක තුළ බව මාධ්‍යය සාකච්ඡාවේ දී අනාවරණය විය.

ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් සුළු වශයෙන් හෝ ආසනික් අඩංගු කිසිවක් ලංකාවට ආනයනය කළ නොහැකි පසුබිමක සහ ආසනික් අන්තර්ගතව ඇද්දැයි පරික්‍ෂණ සිදුකළ හැකි විද්‍යාගාර පහසුකම් ඇති පලිබෝධනාශක රෙජිස්ටාර්වරු ඇස්කන් පියාගෙන සිටිය දී කිසිදු පර්යේෂනාගාර පහසුකමක් නැති, එහෙත් ශ්‍රී ලංකාවේ රේගු සිටින දේශප්‍රේමී නිලධාරීන් පිරිසක් විසින් ලබාගත් ඉහත නියැදීන් එක් දිනක් තුළ අදාළ ස්ථාන වලට යොමුකරමින් සිදුකළ මෙහෙයුම ඉතා විශිෂ්ඨ ගණනයේ මෙහෙයුමක් බව සියළුම දෙනාම එකහඬින් පවසා සිටියෝ ය.

මෙම නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් වසර ගණනක සිට ඔහු ඇතුලු පර්යේෂණ කණ්ඩායම විසින් අනාවරණය කළ ලංකාවේ කෘමිනාශක සහා පළිබෝධනාශක තුළ ඉතා ඉහළ වශයෙන් පවතින ආසනික් ප්‍රතිශතය ඊනියා බටහිර විද්‍යාඥයින් නොවන එහෙත් ජාතීමාමක නිලධාරීන් පිරිසක් නිසාවෙන් සනාත වූ බව ද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේය.

මෙම රේගු නිලධාරීන් මෙයිනුදු නොනැවති ලංකාවේ වෙළඳසැල් වල දැනට අලෙවිය සඳහා තබා ඇති ආසනික් අඩංගු කෘමිනාශක සහ පළිබෝධනාශක විකිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අද දින (06) කටයුතු යොදා ඇති බව සඳහන් වේ. එවැනි වූ නියෝගයක් ශ්‍රී ලංකා රේගුවට ලබාගත හැකි බව නීතීවේදියෝ පිරිසකගෙන් අපව විසින් කළ විමසුමක දී අප වෙත සඳහන් කර සිටියෝ ය. මෙම අධිකරණ නියෝගය පිටවීමට ප්‍රථම ඊයේ දින අනුරාධපුර, පොලොන්නරු ප්‍රදේශ වල සිටින කෘමිනාශක සහා පළිබෝධනාශක අලෙවි නියෝජිතයෝ තමන් සතු කෘමිනාශක සහ වල්නාශක තොග රුපියල් 50ට අලෙවිකරන බව අප විසින් සිදුකළ සොයාබැලීමක දී අනාවරණය විය.

ජාතීයක් ලෙස නැවතත් සහජීවනය වෙත ගමන් කිරීමෙන්, ඒ මත වූ වැව් තාක්‍ෂණය මත පදනම් වූ ගොවිතැන් ක්‍රමය නැවතත් ස්ථාපිත කිරීමෙන්, වකුගඩු රෝගීන් විශාල ප්‍රතිශතයක් සිංහල වෙදකම තුළින් සුවපත් කළ හැකි බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා සහා වෛද්‍ය චන්න ජයසුමන යනමහත්වරු පෙන්වා දුන්නෝ ය.

ඒ සඳහා වූ ස්ථීර විසඳුමක් සිංහලයා සතු බව සඳහන් කර සිටි මහාචාර්ය නලීන් ද සිල්වා මහතා, එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යයව ඇත්තේ ජනාධිපතිතුමා ඇතුලු රජයේ පෙරමුණ ගැනීම පමණක් බවද පවසා සිටියේ ය. ශ්‍රී ලංකාව ආසියාවේ පමනක් නොව ලෝකයේම අශ්චර්ය බවට පත්කළ හැකි එම විසඳුම හෙට සිට වුවද ක්‍රියාත්මක කළ හැකි බව සඳහන් කර සිටි නලින් ද සිල්වා මහතා බටහිර නූතනත්වයේ අවසානය මෙය බව ද, තවදුරටත් බටහිර නූතනත්වය හා බැදුණු ජීවන ක්‍රමය තුළ කිදා බැසීමෙන් අප සියලූම දෙනා මරාගෙන මැරීමට නියමිත බවද සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර සහා නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක අතුල ලංකාදේව ඇතුලු නිලධාරීන් පිරිස වෙත ජාතීයේ ප්‍රනාමය නැවත නැවතත් හිමිවිය යුතු බව සියලූම දෙනා අවසානයට එක්ව සඳහන් කර සිටි අතර, මහා සමූල ඝාතනයක් වැළැක් වූ මෙම නිලධාරීන්ව ලෝකයේ පවතින ඉහළම සම්මානයෙන් පිදුම්දිය යුතු බව සඳහන් කර සිටියෝ ය.

- යූ. ඩී, සහන්
උපුටා ගැනීම:- ලංකා සී නිව්ස් වෙතිනි

‍....................................................................
කරුණාකර මෙම ලිපියට කමෙන්ට්ස් අනවශ්‍ය බව කියා සිටිනා අතරම..හැකි තාක් මෙය ප්‍රචාරය කරන්නට උත්සහ ගන්නේ නම් මැනවි.ඒ සඳහා මෙම ලිපිය සම්පූර්ණයෙන්ම යොදා ගත හැකි අතර උපුටනය ලංකා සී නිව්ස් වග දැක්වීමට කාරුණික වන්න.




29 comments:

  1. මටත් ඕක ඊයේ ආවා අයියේ....

    ReplyDelete
  2. නියම වැඩක් . . . සම්බන්ධවූ සියලු දෙනාටත් උපදෙස් දුන් ජනපතිටත් මගේ ආචාරය . .

    ReplyDelete
  3. ඔය c නිවුසියත් , නලින් ගොය්යගෙ පරීක්ෂනත් ඒ හරහා උන් ගන්න හදන දේශපාලන වසියත් ප්‍රමෝට් කරනවට වඩා නම් අපිට වැඩ තියනව . අර ලොකු ටෝකක් දුන්නේ මේ වගෙ ගොන්පාට් ලියන්නද ? මම හිතුව මේ රටේ අනන්තවත් සිද්ධවෙන අසාධාරනකම් දූෂන වංචා ගැන ලියන්න හදනව කියල . පරීක්ෂන නිවැරදි නම් එක පැන් පාරේන් ඔය සමාගම් වල නිෂ්පාදන විකිණීමත් තහන්ම් කරල , මෙච්චර කල් නීති විරෝධී නිශ්පාදන විකිණුවාට හා එයින් ජනතාවගෙ ජීවිත වලට කරපු හානි වලට ත් රජයට සිදුවූ හානියටත් එරෙහිව නඩු පවරල වන්දිත් අරගෙන . ඒ කොම්පැනිවල අදාල අංශ වහලම දාන්නත් පුලුවන්

    ReplyDelete
  4. @බුවා...

    ලොකු ටෝකත් මගේනේ බුවා..ගොන් පාටුත් මගේම තමා...ඒ වගේම මේ බ්ලොග් එකත් මගේ නෙව..ඉතිං ඊට වඩා දෙයක් ගැන හිතන්න එපා..

    අනිත් දේ තමා බුවා දකින දේ බුවාගේ බ්ලොග් එකේ බුවාට ඕන හැටියට ලියලා යනවා වගේ..මමත් මට පේන දේ මගේ ගොන් පාට් එකේ හැටියට ලියනවා...

    මොකද ඕනවට වඩා ගොන් පාට් නැතිව ලියන්න ගත්තොත් අනිතිමට මාව කඩේ අරින්නේ වෙනම කට්ටියක්..මොන දේ කලත් එහෙම කඩේ යන තැනට වැටෙන්නේ නං නැහැ...

    මොකද මං අපේ මිනිස්සුන්ව හොදට අදුරනවා..ඒ අයගේ වැඩ කිඩත් හොදට දන්නවා...1 2 කියන්න යන කොට මට එක පාරට 100ට යන්න කතා කලාට මං හොදටම දන්නවා ඒක කරන්නත් බැහැ..ප්‍රායෝගිකත් නැහැ..

    ඒ හින්දා මං කොනක ඉඳලා මගේ තාලෙට එන්නං..මං ඉල්ලුවේ ඒකට තමන් දන්න තොරතුරුවලින් උදව් කරන්න කියලයි...

    එහෙම නැතිව මාව වෙන අයගේ අරමුණු වලට කඩේ අරින්න ලෑස්ති වෙන්න කියලා නෙවෙයි...

    අපේ අරමුණු වෙනස්නේ බුවා..ඒ හින්දා සමා වෙන්ට ඕන..මේ මගේ විදිය..ඒක ගොන්පාට් එකක් වෙන්න පුළුවන්..ඒත් ඒ ගොන් පාට් එකෙන්ම මම යන්නං...

    මොකද මීට කලිනුත් මම ලියාගෙන ආව පන්සල් කතාවත් මම නවත්තලා දැම්මේ මාව කඩේ අරින්න ලෑස්ති වෙච්ච දෙතුන් දෙනෙක් හින්දම තමා..ඒ හින්දා මං දන්නවා ගොනා හැරෙන්නේ කොහාටද කියලා...

    ඒ හින්දා මට උවමනා නැහැ අනවශ්‍ය වාදයක් ඇදගෙන අරමුණ වෙන අතක ගෙනියන්න..ඔබට කැමතිනං දායක වෙන්න පුළුවන් නැතිනං අල්ලලා දාලා නිකා ඉන්න පුළුවන්..අර ලංකා සී නිව්ස් එක ගැන කිව්වා වගේ...

    හඳ පෙන්නද්දී ඇගිල්ල දිහා බලන්නත් ඕන වෙලාවල් තියෙනවා තමා..ඒත් ඒක හද බැලීමට වඩා වැදගත්නං විතරයි...

    @දුකා...

    දැන් යන හැටියට අපිට මෙහෙම සාමාන්‍යයෙන් විය යුතු දේකටත් අමුතුවෙන් ස්තූති කරන්න වෙලා තියෙන එක තමා බං අපේ කරුමේ..ඔතනදී ජනාධිපති ගාවට යන්නේ නැතිව ඔය වැඩේ කරන්න බැරි තරමට ඇයි මේ ආයතන වැටුනේ..?


    @රත්ගමස්...

    අඩේ බං එහෙම එකක් ආවම අපිටත් කියහං කොල්ලෝ...

    ReplyDelete
  5. මාරයියේ... ඔය වකුගඩු රෝගයට හේතුව හොයාගත්තු වෛද්‍යවරු පිරිස මීට බොහොම කලින් හොයාගත්තා ඒකට හේතුව ආසනික් බව... එයාලා මේ රටේ කෘමිනාශක පරිපාලනයට අදාල බලධාරීන්ට මේ බව දැන්වුවාම ඒ මහත්තුරු කීවලු 'ලංකාවට ආසනික් අඩංගු කෘමිනාශක ගේන්න තහනම්, ඒ නිසා ලංකාවේ ආසනික් අඩංගු කෘමිනාශක තියෙන්න විදියක් නෑ' කියලා... ඒ කියන්නෙ ලංකාවෙ මිනීමැරුම් තහනම් ඒ නිසා මිනීමැරුම් සිද්ද වෙන්නෙ නෑ වගේ කතාවක්... ඕකෙන්ම පැහැදිලි වෙනවා ලොක්කො දැනුවත්ව මේ ජාවාරම වෙච්ච බව... ඒ වෛද්‍යවරුන්ට අපි පින් දෙන්න ඕනෙ ඔය උත්තරෙන් අධෛර්යමත් නොවී සටන දිගටම ගෙනිච්චට

    ReplyDelete
  6. අනේ මයේ මොකෝ අනුන්ගේ ගොන් කම් අපිට අතැරවන්න බැනෙව , අර ඉල්ලීමක් කොරල තියනව නෙව ඔය ලිපිය ප්‍රචාරනය කොරන්නයි කියල අන්න ඒකට තමයි මම උත්තර දුන්නේ.

    ReplyDelete
  7. @දුකා, @මාරේ:

    මේ රටේ වැඩ කෙරෙන්නේ ජනාධිපති ‍පුද්ගලික මැදිහත් වීමක් ‍කළොත් විතරයි නේද? ලසන්ත වික්‍රමතුංග වෙඩි කෑවම ඇයි ඒකට ජනාධිපත් මැදිහත් වෙන්න ඕනෙ? මිනිහෙක් වෙඩි කෑවම පොලිසිය පරීක්ෂණ කරන්න අවශ්‍යමයි නේද? පොලිස් පරීක්ෂණය හරියට යන්නෙ නැත්නං නේද ‍පුද්ගලික මැදිහත් වීමක් කරන්න ඕන?

    (ලසන්ත උදාහරණයක් පමණයි. අනිත් හැම වැඩක්මත් ඔය විදියනේ)

    ReplyDelete
  8. ඔය පිටරටිං ගේන කෙහෙල්මල් නැතිඋනාට ලංකාවෙ ‍ගොවිතැන් කරන්න පුලුවං ඕන තරං ක්‍රම තියෙනව. ඒව අමතක කරල දාල කරන වැඩවලින් තමන්ටම විදවන්න වෙනව කියන එක මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.

    ReplyDelete
  9. එළ වැඩේ නියමෙටම කරලා තියනවා..

    කලින් ඔය වගේ ඒවා කොච්චර ගෙනත් ඇත්ද... රේගුවෙන් එන හැම දෙයක්ම හොදට පරීක්ෂා කරන්න ඕනේ අනිවාර්යෙන්ම.. ඇයි පැමිණිල්ලක් එනකල්ම ඕක මාට්ටු උනේ නැත්තේ.. බැරි වෙලා හරි ඒ පැමිණිල්ල කලේ නැත්නම් මොකද වෙන්නේ..

    ඇත්තටම මෙතන හොදම වැඩේ කරලා තියෙන්නේ පැමිණිල්ල කරපු කෙනා... ඒ අපේ ජාතික වීරයෙක් මම හිතන්නේ...

    ReplyDelete
  10. මේ ප්‍රවෘත්තිය සී නිවුස් එකේ දැක්කාම අවංකවම මට ලොකු කණගාටුවක් ඇති වුනා..ඒකෙ දෙකක් නැහැ...

    ඒ සමගම ප්‍රවෘත්තිය ගැන කොමෙන්ට් අනවශ්‍ය බව කීම ගැන මාරයාට ස්තුතියි.
    .......මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා...
    මේක දැම්මෙත් කිය වු බව කියන්නයි

    ReplyDelete
  11. හෙමින් යන එක හොඳා . ගොඩක් හය්යෙන් යන්න ගිහින් වෙච්ච දේවල් අපි නොදන්නවය. කලුවරේම ඉඳගෙන බැන බැනඉන්නවට වඩා බයක් නැතුව මේ වගේ දෙකට අත ගැහුව එකත් අගේ කරනවා. .

    ReplyDelete
  12. කඩේ යාමත් හොදයි , ප්‍රරචාරනයත් හොදයි .... , හැබයි දැන් බලන්න ඕනෙ රජයේ ඉදිරි පියවර ගැන . නැත්තන් ඕකත් සන්දර්ශන්යක් වේවිද ?

    ලොක්කො ටික පුම්බන......................

    නැත්තන් හැබෑටම අපේ දුප්පත් ගොවියන්ට සහනයක් ලැබේවිද ?

    ReplyDelete
  13. ඔය අතරේ අර එකපාරටම අඩු කරලා පස්සෙ තිබ්බටත් වඩා වැඩි කරපු වාහන බදු ගැන කතාවක් කියන්නකෝ :D

    ReplyDelete
  14. රටට හොඳක් වෙනවනම් කාට කඩේ ගියාම මොකෝ :)

    ReplyDelete
  15. කමෙන්ට් එපා කියලා තියනකොටත් මාරයියේ මේ කමෙන්ට් එක දාන්න හිතුනේ ඔයා අවංකවම වැඩේ කරලා තියනකොට එක එක කතා කියලා තිබුන නිසා.. කවුරු මොනවා කිවත් ඔයා යන පාර හරි කියලා මම නම් හිතන්නේ... ගොඩාක් වටින වැදගත් ලිපියක්...

    ReplyDelete
  16. එල එල මාත් දැක්ක ඔය cine එක
    ජය වේවා....

    ReplyDelete
  17. -- හඳ පෙන්නද්දී ඇගිල්ල දිහා බලන්නත් ඕන වෙලාවල් තියෙනවා තමා..ඒත් ඒක හද බැලීමට වඩා වැදගත්නං විතරයි... --

    මරැ ටෝක් ඒක මාරයියෙ.
    නිකම්ම පුහු දේශපාලන මතවාද ඔළුවෙ පුරවගෙන මෙ ප්‍රශ්න දිහා බලන පුරැද්ද අපේ වැඩිහරියක් අයගෙ තියෙන වැරැද්දක් තමයි.

    ඔය වගෙ බහුජාතික සමාගම් වලට තියෙන සමාජ අාර්ථික බලය අති විශාලයි. ජනපති වගෙ කෙනෙක් වුනත් ටිකක් පරිස්සමෙන් අතගහන්න ඔන ප්‍රශ්න වලට රේගු නිලධාරියෙක් වගෙ කෙනෙක් බය නැතිව අතගහයි කියලා හිතන්න බෑනෙ. ලංකාවට ඒල්ල වෙන ජාත්‍යන්තර බලපෑම් වල මූල්‍ය ෙහ්තු නෑ කියල කියන්න පුළුවන්ද.
    මාරයිය කිව්ව වගෙ පෙනෙන සත්‍යය වෙනුවෙන් කඩෙ යාම හොදයි.
    ඒ නිසා ජනපතිතුමා ඒකට ඍජුව මැදිහත් වීම අගය කල යුතුයි.

    නමුත් ජාතික රෑපවාහිනිය වගෙ රාජ්‍ය අායතන මේ ගැන දෙන ප්‍රචාරයෙදි හිතෙන්නෙ නම් රජයට මෙ ගැන මොකුත් කරන්න බෑ අපි තමයි කරන්න ඔ්න වගෙ අදහසක්. :-)

    ReplyDelete
  18. මාරෙ,
    මේ හත් අටසීයක් යන එන බ්ලොගයක නෙමෙයි දස දහස් ගානක් කියවන ජාල පත්තරවල මේව වැටුනත් අවසානෙ වෙන්නෙ පලක් නැති වාද කිහිපයක් නිසා කොහෙවත් ඉන්න උන් ටිකක් කටින් ගහ ගැනීම විතරයි. එහෙම නැතිව උඹල අපි මෙහෙම කෑ ගැහුවට ඔය කඳු පාත්වෙන්නෙ නෑ. මේව වෙනස් කරන්න පුලුවන් එකම ක්‍රමේ ජන්දය්ක් අඩුකිරීම විතරයි එහෙම නැතිව මොනා කලත් අපි "මහින්දට" කියල කතිරෙ ගැහුවම ඒව වැටෙන්නෙත් "මොන මඟුල කරත් ජනතාව තාම අපිට කැමතියි, ඒ නිසා කරගෙන යන විනාසෙ තව දිගට කරගෙන යතෑකි, අවුලක් නෑ" කියන එකවුන්ට් එකටම තමයි.

    උඹටත් ඒක එහෙමම තේරෙනවනම්, ඔය දිග පෝස්ට් එක දාල තීන්නෙ හිත රවට්ටගන්නයි කියලයි මට හිතෙන්නෙ. මොකද හිත කියනවද අනියමින් හරි මාත් මේ විනාසෙ පංගු කාරයෙක් නේද කියල?

    ReplyDelete
  19. මචං ඉන්දික..උඹගේ කොමෙන්ටුවේ පළමුවෙනි කොටසට මම එකඟයි. ආයේ ඒකේ දෙකක් නැහැ..ඒත් දෙයක් කරන්න හිතුනම ඒක පුංචියට හරි නොකලොත් තමා උඹ ඔය කිව්ව දෙවෙනි කොටෙසේ වගේ මම මගේ හිත රවට්ට ගත්තා වගේ මට දැනෙන්නේ...මොකද චන්දයක් අඩු කරන්න කලින් එකේත් අනියම් වාසිය යන්නේ මහින්ද තරංවත් සුදුසු නැති උන් ගොඩකට කියලා මගේ හිත කෑ ගහලා කියන නිසයි.

    මහින්ද මුලින්ම ජනාධිපතිවරණයට එන වෙලාවේ සුගතදාසේ තිබුනා උන්නැහේට සෙත් පතලා පන්දාහක් හාමුදුරුවරු වඩම්මලා "ජය පිරිත" කියපු වැඩසටහනක්. එදා ජය පිරිත කියන්න ගිය පන්දාහකටත් වැඩි හාමුදුරු ගොල්ල අතරේ මමත් එක්කෙනෙක්...මාත් එක්ක පළාතේ හාමුදුරුවරු විස්සක් තිහක් එතනට ගියා. ඒ මාත් එක්ක ගිය එකම එක හාමුදුරුකෙනෙක්වත් සොබනේට හරි ගාන පුරවන්න හරි ගිය අය නෙවෙයි හදවතින්ම එතනට ගිය හාමුදුරුවරු...අපි එදා ජය පිරිත කිව්වේ ආටෝපෙට නෙවෙයි..ෂෝ එකට නෙවෙයි... රටට දෙයක් කරන්න මේ මනුස්සයට හැකි වේවා..! කියන හෘදයාංගම බලාපොරොත්තුව ඇතිව..අදටත් ඒ හැගීම එහෙමම මගේ හිතේ තියෙනවා...මගේ විතරක් නෙවෙයි ඒ මාත් එක්ක ගිය එකම එක හාමුදුරු කෙනෙක්වත් අද වෙනකොටවත් ඒ හැගීමේ වෙනසක් කරගෙන නැති විත්තිය අදටත් ඒ අයව සැරින් සැරේට ආස්සරය කරන හින්දා මං දන්නවා.

    මචං උඹ කිව්වා වගේ හිත රවට්ට ගන්නවා කියලා මට එක තත්පරයකට හරි හිතෙනවනං මං මෙහෙම කරන්නේ නැහැ.පවතින තත්වයේ සැබෑ ස්වරූපය මම හොදට අදුරනවා.ඒක දැනගෙන මස් රාත්තලම ඉල්න්න මට පුළුවන් කමක් නැහැ.

    මේ ආන්ඩුව ඇතුලෙම කොයි තරං හොරු ඉන්නවද කියන එක මම හොදටම දන්නවා..ඒත් එක පාරෙන් පුකට පයින් ගහලා උන්ව එළියට දැම්මොත් උන් ගිහින් නවතින්නේ කොතනද කියලා මංගල සමරවීර දිහා බැළුවම හිතා ගත්තෑකි..එහෙම එකා දෙන්නා හලනකොට මහින්දට ආණ්ඩුවක් තියේවිද..?

    උඹට මතකද ප්‍රේමදාස උන්නැහේට වෙච්ච දේ..?
    පාන්දර හතරට නැගිටගෙන වැඩ කරන මිනිහෙක් එක්ක වැඩ කරන්න කැමතිද අපේ රජයේ සේවකයෝ...ලේසිම දේ එහෙම කරන එකාව නැති කරලා දාන එකයි.උන්නැහේට උනේ ඒකයි.

    අද මහින්ද ගාව ඉන්න උනුත් ඔහොමම තමයි..ඒත් මං එකක් විස්වාස කරනවා..සාමාන්‍ය ජනතාව හැටියට අපි ඒ එක එක්කෙනාගේ වැරදි ගැන සාක්කි ඇතුව පිළීවෙලකට සමාජයම දැනුවත් කරගෙන යනවනං..හෙට මහින්දට එහෙම කෙනෙක්ට අත තියන්න ඒක හයියක් වෙනවා.මොකද එහෙම එහෙකුට ගහලා එළියට දාපු ගමන් ඒ මිනිහා සමාජයේ යම් තරමකටවත් අවලංගු කාසියක් බවට පත් වෙනවනම් ඒ හරහා ආණ්ඩුවට බලපෑමක් කරන්න අර එළියට පන්නපු එකාට ඇති අවස්ථාව අඩු වෙන නිසා.

    මේක දිග කතාවක්.මෙහෙම වචනයෙන් දෙකෙන් කියලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒත් උඹ අච්චර සාධාරන කතාවක් කිව්වහම මෙහෙමවත් නොකියා හරි නැති හින්දයි මේ ටික කිව්වේ.

    මොකද අපේ මිනිස්සුන්ට තියෙන්නේ හරි අපූරු බලාපොරොත්තු...ආණ්ඩුවක් පෙරලන්න ඒ අයට ඒ හැටි ලොකු දේවල් ඕන නැහැ.මතන්ගේ රස්සාවේ උසස්වීමක් ගන්න තියෙන බාදාව කවුරු හරි එක ඇමතියෙක්නං..ඒ ඇමතියවත් ඒක්කම ආණ්ඩුව ගෙදර යවන සිහිනයෙන් ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක...

    පෞද්ගලික පරමාර්ථ උඩ බහුතරයකගේ යහපත නැති කරන අපූරු මිනිස්සු ඉන්න රටක් මේක...එහෙම රටක උඹ කියනවා වගේ අපි මෙහෙම කරන එකත් නිකං වැඩකට නැති දෙයක් කියලා හිතන්න පුළුවන්..ඒත් බං මට රෑට නිදා ගන්න ඕන හිතේ සැනසිල්ලේ...

    ReplyDelete
  20. මාරෙ උත්තර නොදෙමි. ඒ වැඩක් නැති නිසා නොව වෙන වැඩක් ඇති බැවිනි. හෙට අනිද්ද දිහාට මං උඹට කියන්න ඕනි ටික ලියල දාන්නං, ඒත් ඒ මගේ වාද කරගැනීමේ ජංම්ම පුරුද්දට මිසක් ඒකෙන් රටටවත් උඹටවත් වෙනසක් වෙයි කියානම් නොවේ!

    ReplyDelete
  21. http://aluthidea.blogspot.com/2009/09/blog-post_16.html

    ReplyDelete
  22. මට මේ ලිපිය කියෙව්වම හරිම සතුටු හිතුනා. කව්රු මොනවා කොහොම කිව්වත් තාමත් ලංකාවට නායකයෙක් කියල කෙනෙක් ඉන්න හින්ද.... මම මහින්දට පක්ෂව කතා කරනවා නෙවෙයි. එයාගෙත් වැරදි තියෙන්න පුළුවන්. එත් අනිත් රාජ්‍ය නායකයෝ වගේ හිටිය රුකඩ වලට සාපේක්ෂව රට වෙනුවෙන් ජනාධිපති මොනවා හරි දෙයක් කරනවා කියල සතුටු වෙන්න පුළුවන්....

    ReplyDelete
  23. @ඉන්දික...

    අල්ලලා දාහං බං..

    ReplyDelete
  24. ඔය සී නිවුස් ලිපිය ප්‍රචාරය කළා වගේම මෙන්න මේ ලිපියත් ප්‍රචාරය කරමු නේද ? සී නිවුස්නම් 10000ක් 15000ක් බලනව ඇති. ඒත් මේ ලිපිඅනම් එච්චර අය බලල නැතුව ඇති. ඒක හින්දා මේකටත් ප්‍රචාරයක් දෙමු. මෙන්න ලිපිය

    http://www.gossip9.com/2011/06/blog-post_08.html

    ReplyDelete
  25. //අද මහින්ද ගාව ඉන්න උනුත් ඔහොමම තමයි..ඒත් මං එකක් විස්වාස කරනවා..සාමාන්‍ය ජනතාව හැටියට අපි ඒ එක එක්කෙනාගේ වැරදි ගැන සාක්කි ඇතුව පිළීවෙලකට සමාජයම දැනුවත් කරගෙන යනවනං..හෙට මහින්දට එහෙම කෙනෙක්ට අත තියන්න ඒක හයියක් වෙනවා//

    අපි මර්වින් සිල්වාගෙන් පටන් ගමුද?ඇයි එයාව හෙලිදරවු වුනේ නැද්ද?ඔය ඕන තරම් සාක්කි තියෙන්නෙ?එස්එම් චන්ද්‍රසේන මාවිල්ආරු වන්දි මුදල් ගසා කාපු එක ගැන ඕනෙ තරම් රිපෝට් පත්තරවල ගියෙ?සද්ගුණවත් මහින්ද මහත්තයා තාම මුකුත් කරල නැහැනේද?ඇයි මර්වින් සිල්වාවා යවන්න අමාරුද?මිනිහව යැව්ව කියල ආණ්ඩුව කඩන් වැටෙනවද?තව තුනෙන් දෙකක්ම තියෙන්නෙ ඔය?එතකොට චන්දන කත්‍රිආරච්චිගේ මිනීමැරුම් චෝදනා නීතිපති ඉල්ලා අස්කරගත්තේ ජනාධිපති දන්නෙ නැතිව වෙන්න ඇති නේද?අබ්දුල් කාදර්?අර යූඑන් පී එකේ ඉදල ඊයෙ පෙරේද පැනපු හාදයා.උගෙ සමෘද්ධී අරමුදල් වංචා නඩුව පැන්න ගමන් අහක් කරගත්තා.ජනාධිපති දන්නෙම නැතිව ඇති නේද?දුම්න්ද සිල්වාගෙ නඩුව?ඊයෙ පෙරේදා ටවුන් හෝල් උද්ඝෝෂනය වෙලාවෙ දුමින්ද ගෙ පොලු හමුදාව කැරකි කැරකි හිටපු හැටි.ජනාධිපති අහිංසකය.වටේ ඉන්න අය තමයි නරක.නරක අයගෙ නරක ගැන ජනාධිපති දන්නෙ නැහැ.එයා බබා.මේ බයිලාව ගිහින් කීවනම් හොද කොණ්ඩෙ බැන්ද චීනෙක්ට නෙමෙයිද?වංචා දූෂන හෙලිදරවු කරන වැඩක් නම් හොදයි.ඒකට මේ වෙන වෙන දේශපාලන ලයින් අන්දන එක නම් චාටර්.මෙච්චර කල් දේශපාලකයො හොරකම් කලේ මහ එවුන්ගේ අනුදැනුම ඇතිව.ඒවට මහ එවුනුත් වග කියන්න ඕනෙ.තව එකක් කියන්නද?පීබි ජයසුන්දර කියන්නෙ භාන්ඩාගාර් ගිල්ල මිනිහ.උසාවියෙන් වැරදි කාරයා කරල ආයෙ රජයේ තනතුරක් ගන්න එපා කියල කිවා. ඒ වගේ හොරෙක්ව ආයෙ වඩම්මලා හිතවත්කමට භාණ්ඩාගාරේ බාර කලේ කවුද?සද්ගුණවත් මහින්ද මහත්තයාම තමයි.මහින්ද මහත්තයා ස්වාධීන අල්ලස් හා දූසන විමර්සනන කොමිසම අහෝසි කල එක වගේ සිරා කතා නොකියා කාට කාටත් තේරෙන උදාහරණ ටිකක් දුන්නෙ මේවත් එක්ක ලොක්කන්ගේ තියෙන සම්බන්ධකම පෙන්වන්න.මේව මාරයාට පේන් නැද්ද?නැත්තං මාරයා මේව දැක්කෙ නැහැ වගේ ඉන්නවද?අනේ ජනාධිපති ඕව දන්නෙ නැහැ කියල කියන එක (අපි චන්දෙ දීපු පොරනෙ.මිනිහ වැරදි කියල පිලිගත්තොත් අපිටත් ලැජ්ජයි වගේ නේ) හිත රවට්ට ගැන්මීක් හා අනුන්වත් රැවටීමක් නේද කියල ඉතාම සද්භාවයෙන් අහන්න කැමතියි

    ReplyDelete
  26. ‍‍කෝ බං මේවට උත්තර?

    ReplyDelete
  27. @ කණියා

    බය වෙන්න එපා කොල්ලො.මේවට උත්තර නැහැ.මාත් මේ දවස් දෙක තුනක්ම මේක දාල ඇවිත් බැලුව මුකුත් කියලද කියල.මක්ක කියන්නද මේවට? :)

    ReplyDelete
  28. මෙන්න අලුත්ම තත්වය

    *මුචලින්ද නයා පල්ලා කන්ටේනර් වල ආසනික් තිබ්බේ නැත

    *තිබ්බානම් ජනාධිපතිතුමා ඒවා නිදහස් කරන්න දෙන්නේද නැත

    *ආසනික් සංදර්ශනය අතරතුරදී දකුණු ආසියාවේ ලොකුම මූල්‍ය වංචාව වන වැට් බදු වංචාවේ ප්‍රධාන සැකකරුට හදිසියේම ජනාධිපති සමාවක් දුන්නේ දේව ශාපයෙන් ගැලවෙන්නටය.

    *පවතින ග්‍රහචාරය අනුව හාරත ආසියාට වඩා ඉස්කෝප්ප පොරව බලවත්ය

    ReplyDelete