13 June 2011

අදත් ගියේ අන්තිමට බලනකොට කැලේනේ...

වෙලාවනං රෑ දහය හමාරට කිට්ටු කරලා..ඒත් මොනවාම හරි කුරුටු ගාන්න ඕන කියලා හිතුනා..දැන් දැන් මේ බ්ලොග් එක වැහෙන කලාවට යනවා වගේ..දවස ගානේ විකාර ලියපු..කොමෙන්ට් වලට මතක ඇතිව උත්තර බැඳපු..අනිත් අයගේ බ්ලොග් වල නිතර කරක් ගහපු...දවසට හත් අට පාරක් සින්ඩිවලට ගෙහුන් අළුත් පෝස්ට් හොයපු.. ආන්න එහෙම හිටපු මට වෙච්ච සන්තෑසියක්...

දැන් මොකද කරන්නේ...ගත්තා කේන්දරයක් ලගට..හැදුවා ගණන් ටික ඒක පැත්තකින් තිබ්බා..බැළුවා ජීමේල් එකවුන්ට් එක..අළුත් මේල් විස්සක් තිහක් ඇවිල්ලා..ඉතිං දඩ බඩ ගාලා කියෙව්වා ඒ ටික..අයෙමත් අර නවත්තපු කේන්දරේට යැව්වා ඔළුව... ලිව්වා සටහන..ඒ අස්සේ විසි තිස් පාරක් ඇස් දෙක දගලනවා ලැපේ මුහුණ බලන්ට...

මේකත් හරියට මොකක්ද සෙල්ලමක් වගේ..මට ඒකත් ඕන..මේකත් ඕන...

කාලයක්ම නිකං හිටලා හිටලා මටම කම්මැලි හින්දා මේ වැඩේට අත ගැහැව්වා..ඒත් මේ තරමටම බ්ලොග් එකෙන් බස් එකෙන් ඈතට යන්න වෙයි කියලා කවුද හිතුවේ..?

කොහොම උනත් මං ආසයි ලියන්න...මොකද මං ඒකෙන් මගේ හිතේ බර සෑහෙන්න අඩු කරගන්න හින්දා...ඇත්තටම මං කතා කරන්න ඒ තරංම කැමති නැහැ දැන්..මොකද මගේ වචන වලින් හුගාක් අයගේ හිත් රිදෙන හින්දා..ඒ මගේ කටට බ්‍රේක් නැති හින්දා...

ඇත්තටම වචන කියන්නේ පිහිතල වගේ ජාතියක් අපි ඒවා පිට කරන්න ඒන පරිස්සටම..බුදු හාමුදුරුවෝ කිව්වේ කටේ කෙටේරියක් තියෙනවා කියලයි...

ඒකට උත්තරේ කතා නොකර ඉන්න එක නෙවෙයි..වචන කතා කිරීමේදී සිතා මතා පාලනයක් ඇතිව ඒවා පිට කරන එක..ඒත් ඉතිං කරුමෙක මහත කියන්නේ මට එහෙම හිතා මතා වචන පිට කරන එක හරි අමාරුයි..ඊට වඩා කොයි තරං ලේසිද පොල්ලෙන් ගහනවා වගේ කියලා දාන එක..ඒත් ඒක හොඳ නැහැ..මොකද අපේ අයට ඒවා දිරවන්නේ නැහැ.

හැම මිනිහම ආස තමන් ගැන හොදක් කියනවා දකින්න..ආයේ මම කියලා බුදු වෙලායෑ..මාත් ඒහෙමම තමා..අපි අපිට නරකක් කියන කොට අපේ සිතේ කේන්තියක් උපදිනවා..එහෙම අපිට නරකක් කියන අයව අපි ඈත් කරලා තියා ගන්නවා..සමහරුනං ගහ මරා ගන්නත් යනවා...

ඉතිං අනිත් අය එහෙමනං මාත් එහෙමයිනේ..මං එහෙමනං අනිත් අයත් එහෙමයිනේ..ඒ හින්දා මං මගේ වචන පිට කරන්න තියෙන අවස්ථා ගාන අඩු කරන්න තමා වැඩිය කැමති...ඒ හින්දා මං කතා කරනවා අඩුයි...ඒත් මං මගේ හිතේ තියෙන දේවල් පිට කරන්නත් එපෑ මොන විදියකින් හරි...නැත්තං එවා හිත ඇතුලේ පල් වෙලා..දෙල් වෙලා කුනු වෙලා..ආයේ මොනවයින් මොනවා වෙයිද කවුද දන්නේ..?

ඒ හින්දා මටත් ඒවා පිට කරන්න තැනක් ඕන..ආන්න එතකොට තමා මේ බ්ලොග් එක මට රටක් රාජ්ජයක් ලැබුනා වගේ වටින්නේ..ඉතිං මං ආසයි ලියන්න..දිගින්දිගටම ලියන්න...කවුරු කියෙවුවත්..කවුරු නොකියෙව්වත් මං මේක ලියන්න ඕන..එතකොටයි මගේ හිතට සැනසීමක් ලැබෙන්නේ...මේ හිත කියන එක ගලවලා පැත්තකින් තියන්න පුළුවන්නං...

මගේ හිත හුගාක් අතේ දුවනවා...වෙලාවකට හීන ලොකෙක ජීවත් වෙනවා...මං මගේ හිතෙන් හැම තැනම ඇවිදිනවා...මං මේ පුංචි රටේ ආගිය තැන්වල විතරක් නෙවෙයි..මං පොත් වල දැක්ක රුසියාවේ විශාල තණ බිම් මැදින්... අරාබි කාන්තාර හරහා...නයිල් ගංගාව දිගේ...චීන මහා ප්‍රාකාරේ දිගේ..මං ඇවිදිනවා...

ඒ විතරක්ද..අර පොප්ලර් ගස් දෙක..ඔව් ඔව්..අර අල්තිනායි දුන්ෂෙන් එක්ක හිටෝපු ගස් දෙක තමා..මං ඒ හෙවනනේ ඉඳගෙන කල්පනා කරනවා... හිටිහැටියේ මං යනවා ප්‍රංශ හිරගෙවල් ඇතුලට..සමහර විට ඔය ගමන් වලදි මට හම්බ වෙනවා මගේ ප්‍රියතම චරිත..නැපෝලියන් බොනපාට්...හිට්ලර්..මහා ඇලෙක්සැන්ඩර්...හරි දරුණු මිනිස්සු නේද..ඒත් මං කැමතියි..මං විශේෂයෙන්ම නැපෝලියන්ට කැමතියි..ඒ පුංචි සෙබලාට බොහෝම කැමතියි..යට ඉඳලා උඩට ආව විශාල පෞර්ෂයක් තිබුන සාමාන්‍ය සෙබළා...ඒත් ආදරේ ගාවදී පුංචි එකෙක් උන අධිරාජයයාට මං කැමතියි...හිට්ලර්..මිනීමරු හිට්ලර්ට කැමති පිස්සන් අතරින් එකෙක් මං..ඒ හිට්ලර්ගේ මිනී මැරුම් ගැන ආසාවකට නෙවෙයි...ඒත් පොඩි තැනකින් පටන් අරං විශාල අණසකක් ලෝකය පුරාම විහිදුවන්න තරං හිට්ලර්ගේ තිබුන සංවිධාන ශක්තියට මං කැමතියි...

ඔය අස්සේ මං හිටිය ගමන් ගිහිල්ලා අර පාළු දූපතේ පුංචි හිරකූඩුවෙත් ඉන්නවා..මං ගාවම ඉන්නවා අර පස්සේ කාලෙක මහා පොහොසතෙක් වෙලා තමන්ට වෙච්ච අසාධාරණේට නිර්මාණාත්මකව පළි ගන්න මනුස්සයා..ඔව් ඒ ඉන්නේ එඩ්මන් ඩාන්ටේ...අපි කවුරුත් අදුරන ප්‍රසිද්ධ සිටුවරයා..වෙන්නේ ඔහු තමා පස්සේ කාලෙක..ඒත් ඔහු මගේ සිරගත ජීවිතේ සගයෙක්...පස්සේ තමා ඔහු මොන්ත ක්‍රිස්තෝ වෙන්නේ...බැරි වෙලාවත් ඔහුට නොදී අර නිධානේ සිතියම මට දුන්නනං අර මහළු සිරකරුවා..ඔව් ඔහු ඉන්න ඇත්තේ මගේ අනිත් පැත්තේ..ඒ කියන්නේ දාන්තේගේ කුටියට එහා පැත්තේ වෙන්න ඕන..නැත්තං මටත් හම්බ වෙන්න එපෑ..ආ ඔව්..මං කම්මැලියා..මං ගියායෑ ඔය බිත්ති හාරන්න..එහෙම ගියානං සමහර විට ඔහුව හම්බ වෙන්නත් තිබුනා...මේ දවසකට විතරක් ආව මං මොකටද ඔය වැඩ කරන්න මහන්සි වෙන්නේ...මං යනවා යන්න එතනින්..මට එපා නිධානය...

මගේ සිතුවිලි ගමන් කරනවා දස අතේ..හරියට සුළඟ වගේ...අඩේ මෙන්න ක්‍රිකට් මැච් එකක් ලංකාව බෝල් කරන්නේ..එහා පැත්තේ සුද්දෙක් බැට් කරනවා...මල කෙළියයි මෙන්න මට බොලෙ දෙනවා සංගක්කාර..ඔව් සංගා තමා..ඩිල්ෂාන්ගේ ඇගිල්ල තැළුනනේ...

දැන් දාහංකෝ බෝල..අවුලක් නැහැ...ඕවර් දෙක තුනකින්ම මම අනිත් සුද්දන්ගේ ඉනිම අවසන් කරනවා..මුං නිකං පොඩි එවුන් වගේනේ මගේ බෝල් වලට පිත්ත දාන්නේ..එහෙං මෙහෙං කැරකැවිලා කකුල් අස්සෙන් බොලේ යනනේ විකට් එක හොයාගෙන හරියට ඉරිදට මාස තුනක නිවාඩුව දවසට කෙල්ල බලන්න ගමේ දුවන කොල්ලා වගේ...

ඉතිං විකට් ටික කැඩුවට ලේසි නැහැ..මට දැන් ඔපන් යන්නත් වෙලා බැට් කරන්න..ආයේ මොනවද ඉතිං එහෙං මෙහෙං තට්ටු දාන ගමන් දුර්වල ඒවට බිම දිගේ හරවලා යවනවා හතරේ සිමාව පැත්තට...අප්පා දැන් ඇති මට බැට් කරලාම මහන්සියි..මං එනවා ඒක පැත්තකට දාලා..අනික මෙච්චර ගොඩ දාලා දුන්නට පස්සේ ඉතිරි ටික ගහ ගන්න සංගලාට බැරිද..?

මට තව ඇවිදින්න හිතං..වංලුං බලන්න රතු රට පැත්තේ යන්න හිතයි..ඒත් මිනිහා තරගෙකට වගේ ළමයි හදනවා මේ කාලේ..ඔහොම ගියාම ළමයින්ගෙන් කරදරේ..පස්සේ කාලෙක බැරියෑ යන්න..මං එනවා ආපහු...

මට වීසා ඕන නැහැ..ටිකට් ඕන නැහැ..හිත හිතුවිල්ලට වැටුනහම ඔය ඕන අතක ගියෑකි...හැබැයි වැඩියම ඔය නිදහස් ගමන් යැවෙන්නේ වැසිකිලි ගිය වෙලාවට...ඇගේ තිබෙන ඝණ අප ද්‍රව්‍යය ඇගෙන් පිට කරන ගමන්ම හිතේ තියෙන සැහැල්ලු සිතුවිලිත් පිටවෙලා යන්නේ පුදුම සහනයක් හිතට දෙන ගමන්...

මං ආසයි ඒ හැම දේම බ්ලොග් එකේ පිටු අතරට ලියන්න..ඒත් ඒ හැම එකක්ම ලියන්න තරං මගේ ඇගිලි මට උදව් කරන්නේ නැහැ...නැත්තං මට ලියන්න කොයි තරං දේවල් ඔළුවට එනවද..?මට බලන බලන අතේ දකින දකින හැම දේත් එක්කම ලියන්න දෙයක් ඔළුවට එනවා...ඒත් ඒක ලියන්න කියලා වාඩි උනහම අන්තිමට ලියවෙන්නේ වෙනම දෙයක්..ඉතිං අර කතාව මං කවදද කියන්නේ...අද ලියන්න කලින් දවල්ම හිතා ගත්තා කොයි වෙලේ හරි ලියන්න ගත්ත ගමන් මං ලියන්නේ මගේ මනුෂ්‍ය ජීවිතේ අමනුෂ්‍ය හරි වෙන මොනයම්ම බලවේගයකට හරි ඇත්තටම හිතේ බයක් කියලා දෙයක් ඇති වෙච්ච දවසක් ගැන ලියන්න..ඒකට නිමිත්ත දුන්නේ අපේ බ්ලොග් එකක ලිපියක්ම තමා..ඒත් දැන් බලපුවාම ඒක ලියවිලා නැහැනේ...

43 comments:

  1. ඒක නේ කියන්නේ මාරයියේ...හිතට එන දේ ඔන්න ඔහේ කුරුටුගාලා දාන්න....

    ReplyDelete
  2. "මං ආසයි ඒ හැම දේම බ්ලොග් එකේ පිටු අතරට ලියන්න..ඒත් ඒ හැම එකක්ම ලියන්න තරං මගේ ඇගිලි මට උදව් කරන්නේ නැහැ...නැත්තං මට ලියන්න කොයි තරං දේවල් ඔළුවට එනවද..?"

    උබේ ආසාව නිර්දෝශී බං, ඇඟිලි 10යෙන් කොටන කෙටිල්ල කියලා නිම කරන්න බැරි සතුටක් ගෙනල්ලා දෙනවා!

    උබට ජය!

    ReplyDelete
  3. මාරය අයියෙ දෙකක් දාගෙනද මේක ලිව්වෙ? :P කොච්චර වැඩ තිබුනත් කමක් නෑ ඔන්න, බ්ලොග් එක ලියන්නත් වෙලාවක් තියාගන්න. නැත්තන් මේකෙ උන් ඔය ජෝතිශ්‍ය කාර්යාලෙ කරගෙන යන්න දෙන එකක් නෑ.

    ReplyDelete
  4. කොහෙද බොල ඔය ජෝතිශ්‍ය කාරියාලය තියෙන්නෙ ඇවිත් යන්න, කියාල්ලකො!

    ReplyDelete
  5. ජීවිතේ සරල වෙනකොට සැහැල්ලුයි නේද අයියෙ? මම දන්නවා අයියගෙ ජීවිතේ මොන තරම් සරලද කියලා. සමහර දවස මම කෝල් කරනකොට කොහේට හරි වෙලා. " මොනාද කරන්නෙ අයියෙ ? " කියලා අහද්දි " අනේ පුතේ මම මේ ස්පන්චි එකක් කකා ප්ලේන්ටි එකක් බොනවා " කියලා අයියා දෙන උත්තරය ඇතුලෙ අයියගෙ ජීවිතේ මොන තරම් සැහැල්ලුද කියලා මට හිතා ගන්න පුළුවන්...

    අයියා මට " පුතේ " කියලා කතා කරද්දී මගෙ ඇස්වලට කඳුළු පිරෙනවා කියලා ඔයා දන්නෙ නෑනෙ....නේද ?

    ඔන්න ඔහෙ ඔයාගෙ දවස ගෙවන හැටි ලියන්න අයියෙ. කොච්චර දිග මාගලක් උනත් ඒක අපි කියවනවා....


    ආ... අර " මඟුලෙ " අපි ගියා...ඩිරෙක්ෂන් කිව්වේ සිග්නල් නැතුව කැඩි කැඩී උනාට..තැන හොයාගත්තෝ.......

    ReplyDelete
  6. මම බැලුවා මාරයා යකඩවල කැලේ පැත්තෙ වත් ඇවිදලාද කියලා ? මාරයො, අද මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නය තමයි අනික් මිනිස්සු සාර්තක වෙන්නෙ කොහොමද කියන එක..පොරක් වෙන්න හැමෝම කැමතියි. ඒත් උන්ට බැරි වුනාට උඹ මක් කරන්නද ? අනික් වුන් මඩ ගහලා පොරක් වෙන්න හදද්දි ( ජෝක් එකට මඩ ගසන්නන් නොවේ )උඹ උඹ ගැන ලියලා, අනික් අයට තල්ලුවක් දාලා නියම පොරක් වෙලා. උඹට ඕන එකක් ලියපන්. බැන බැන හරි අපි බලනවා.

    ReplyDelete
  7. හිත තැන තැන ගියාට යන හැම තැනක් ගැනම මෙතන ලියන්න එපා. ඕක කොහේ කොහේ යනවා ඇද්ද :D

    ReplyDelete
  8. හිට්ලර්ට කැමතියි කිව්වවම මතක් වුනේ ,

    ලෝකේ බලවත්ම රටවල් එකතු වෙලා කණ ගාවින් යන්න මිසයිල් ගහද්දී රටින් පැනලා යන්නේ නැතුව මගේ මුලු හමුදාවම මැරුණත් මම ජීවත් වෙලා ඉන්නකල් තනියම ගෙයක් ගෙයක් ගානේ පයින් ගිහින් හරි සතුරන්ව මරනවා කියන කර්නල් මුහමර් ගඩාපිටත්...

    තමන්ට ලැබෙන විනාඩි කීපයෙන් පවා ජේලර්ලා අස්සෙන් ඔළුව දාලා රටේ ඉන්න බලවත්ම පුද්ගලයින්ගෙන් ගේම ඉල්ලන ජෙනරල් සරත් ෆොන්සේකාටත්...

    මම එක වගේ කැමතියි...

    ReplyDelete
  9. වීසා නැතුව ඕනා තැනක යන එක මමත් කරනවා උදේට අරක උඩ,,,,කොහොමත් ඉතින් මාරයියා ලියන්න දක්ශයා නේ,,,අපි කියවන්නේ ඒකනේ මෙහෙම

    ReplyDelete
  10. බොරු කියනවා නෙමේ.ඔය ක්‍රිකට් ගැන හීනේ මටත් පෙනිලා තියෙනවා.:)

    ReplyDelete
  11. ලියන්න මාර අයියේ ඕන දෙයක්. අනිවා කියවලා කමෙන්ට් කල යුතුයි කියලා හිතෙන තැනදි කමෙන්ට් කරලා යනවා. අද ගොඩක් ලියලා තියෙන්නේ වීසා නැතුව යන ගමන් ගැනනේ. අවුලක් නෑ. හිරෙත් හිටියා කියලා දැනගත්තානෙ.

    අර භය වුන සීන් එකත් ලිව්වනං...

    ReplyDelete
  12. මම හිතුවේ මෙහෙම වීසා නැතිව හීන ලෝකේ පුරාම කරක් ගහන පුරුද්ද තියෙන්නෙ මට විතරයි කියලා..බලාන ගියාම මාරේ අයියත් එහෙමනේ.මම නම් දවස පුරාම කරන්නේ ඔය හීන ලෝකේ සැරිසරන එක තමයි.

    ReplyDelete
  13. නියමයි මාරයියේ... අර කිවුවත් වගේ බ්ලොග් එකට ලිපියක් දැම්මම තියන ආතල් එක කියලා නිමකරන්න බෑ.

    ReplyDelete
  14. අඩේ මාරයෝ, උඹේ ඔළුවට එන ඕනෙම දෙයක් අකුරු කරපන්. ඒව හරිම රහයි, කියවගෙන කියවගෙන යන්න පුළුවං. මොන වැඩේ තිබුනත් මොනව හරි ලියලා දාන්න පොඩි වෙලාවක් හොයා ගනින්.....උඹව කියවන එවුන්ව අතරමං කරන්න එපා....

    මේ මේ... හැබැයි පුතෝ අර ඝණ අප ද්‍රවය්‍යය පිට කරන එක ගැන නම් නොලිය හිටියට කමක් නෑ. අර එක පාරකුත් අහිංසක වවුල් රෑනකට ගේම දීල තිබුනේ....!

    ReplyDelete
  15. මාරයියෙ ඔයාගෙ සටහන් කියවන්න ඒන ඒක පිස්සුවක් ෙවන තරමට ඔයාගෙ ලිවිල්ලෙ තියෙනවා අමුතු ගතියක්.

    මම මොනවා නැතත් කොම්පියුරෙ ඔන් කරගත්තු ගමන් ඔපන් කරගන්න වෙබ් සයිට් දෙකක් තියනවා.

    1. Mail.google.com
    2. ctkumara.blogspot.com

    ඔය දෙකෙන් පස්සෙ තමයි ඔන අටමගලක් පටන් ගන්නෙ. අනෙ මන්දා මම පොඩි ට්‍රයක් දාල බැලුවා ඔය පුරුද්ද වෙනස් කරගන්න. කොමා ඔන් උන ගමන් ඒව්ව සුම්මා... ඔය දෙකටම තමයි යැවෙන්නෙ.

    මොනවා ලිව්වත් අාසාවෙන් කියවන්න පුළුවන් විදිහට ලියන්න පුළුවන් ඉතාම සුළු පිරිසයි ඉන්නෙ. මාරයිය වගෙම කතන්දර කාරයත් කෙහෙල් ෙකාටුවෙ චූටි මහත්තයත් රත්ගමයත් ඔය ලිස්ට් ඒකේ මුලම ඉන්නවා.

    ඔබට ජය!

    ReplyDelete
  16. ඒයි බොට ඔය ඝන අපද්‍රව්‍ය පිටකරන්න පැය කීයක් යනවද ඔච්චර ලෝකෙ වටේ ගිහින් එන්න.

    අර කසුන් කියල තියෙනව වගේ මේක නැවැත්තුවොත් ඔය ජෝතිශ්‍ය කාර්යාලෙ ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරන්න වෙනව.

    ReplyDelete
  17. මගේ බ්ලොග් එක ඇතුලෙදි මට මම වෙන්න පුලුවන්. ඒක මාර නිදහසක්. බ්ලොග් ලියන්න පටන් ගත්තු එක තමා මම නම් ජීවිතේ කරපු පසුනොතැවෙන පලවෙනි දේ.

    ReplyDelete
  18. මාරයියට බ්ලොග් එපා වෙලාද මන්දා. එහෙම උනොත් කියවන්න තියෙන එක බ්ලොග් එකක් නැති වෙන එකයි වෙන්නේ. එහෙම වෙන්න දෙන්න එපා.

    කට ගැනැ කියපු දේවල් නම් ඇත්ත. අම්මෝ කට කියනදේ පරිස්සම් කරගෙන ඉන්න ඕනේ. කොයිවෙලේ මොනා කියයිද කියලා කවුද දන්නේ

    ReplyDelete
  19. ඔන්න දැන් තමයි මට අර මාරයගෙ කොමෙන්ට් එක තේරුනේ. සතුටුයි මේ වීසා නැති ගමනට මගෙන් යම් ප්‍රමානයක දායකත්වයක් ලැබුනා නම්. ප්‍රංශෙට ගියානෙ?

    ReplyDelete
  20. මට නිකන් පිස්සු වගේ.. ඒවා මේවා හොද එව්වා, බයිලා ලුණු අබුල් සහිතව මරුවට තියනවා.මමත් දවසක ට්‍රයි කොරන්න ඕනේ මේ වගේ හිතට එන දේවල් හිතන්නේ බලන්නේ නැතුව ලියන්න. හ්ම..... මරු වැඩේ..

    ReplyDelete
  21. "කොහොම උනත් මං ආසයි ලියන්න...මොකද මං ඒකෙන් මගේ හිතේ බර සෑහෙන්න අඩු කරගන්න හින්දා...ඇත්තටම මං කතා කරන්න ඒ තරංම කැමති නැහැ දැන්..මොකද මගේ වචන වලින් හුගාක් අයගේ හිත් රිදෙන හින්දා..ඒ මගේ කටට බ්‍රේක් නැති හින්දා"

    මට 100% ගැලපෙන වාක්‍යක්

    නයිල් ගංගාව දිගේ ගිය නිසා මම අහන්නෙ දැක්කද ලස්සන නයිල් නදිය දෙපැත්තෙ ඇති දුප්පත් කම? මමනං ඔය මෑත කාලෙ වෙච්ච ඊජිප්තු පෙරලිය වෙන්ට ලඟ බව දැනං හිටියා, දැක්ක දුප්පත් කමටයි ඇලෙක්සැන්ඩ්‍රියාවෙ බිත්තිවල තිබිච්ච පෝස්ටර් වලිනුයි. හොඳට අවදියෙන් ටීවී ප්‍රෝග්‍රෑම් එකෙක් බැලුවොතින් ඉස්සරහට මක්වේද කියා හිතාගන්ට පුලුවන් වේවි.

    ReplyDelete
  22. අද හරිම කම්මැලි කමක් දැනෙනව .
    නරකද පොඩ්ඩක් නැගල යන .. එකක් ලිව්වොත්.

    ReplyDelete
  23. anunta karadarayakuth nowenawa nam thamange hina athule avidhagena giyala mokadda thiyena weredda

    ReplyDelete
  24. කොච්චර වැඩ අස්සේ හරි මගේ ලපටි බ්ලොග් එකට ඔලුව දාල ර්කේ මුනත් ඇතුළු කල එකට පින්.. අළුත්න් බ්ලොගක් කරන මං වගේ එකෙකුට හය්යක්.. වෙලාවක් තිබ්බොත් ආයිත් ඇවිත් කොටලා යන්න..
    දුරං ගමං ඒක චරං අසරීරං ගුහා සයං කිවුවනේ. හිත එක තැනක නොරඳයි..

    ReplyDelete
  25. නියමයි 'කව්රු කියෙව්වත් නැතත් මම ලියනවා' අන්න ඒ අදහසට මම ගොඩක් කැමතියි. මාත් ඒ අදහස දරනවා..:-)

    ReplyDelete
  26. සරත් ලංකාප්‍රිය කිව්ව දෙයම තමා මටත් කියන්න තියෙන්නේ :D

    කොච්චර වැඩ අස්සේ හරි මගේ ලපටි බ්ලොග් එකට ඔලුව දාල ර්කේ මුනත් ඇතුළු කල එකට පින්.. අළුත්න් බ්ලොගක් කරන මං වගේ එකෙකුට හය්යක්.. වෙලාවක් තිබ්බොත් ආයිත් ඇවිත් කොටලා යන්න..

    ReplyDelete
  27. මාරෙ,මට මේ පෝස්ට් එක කියවන් යද්දි හිතුනු දෙයක් ලියල දාන්න හදන්නෙ...

    මට පේන හැටියට මාරෙ හොඳට පරිවර්තන ඇසුරු කරපු කෙනෙක් වගේ..
    ඒත් කාලයක් එහෙම ඇවිල්ල මගදි නැවතුනු වගක් පේනව...දැන් බලන්න..චින්ගීස් අයිත්මාතව් ල, ඇලෙක්සැන්ඩර් ඩූමා ල, පර්ල් එස් බක් ල කියෝගෙන ඇවිල්ල නැවතිලා වගේ පේනව....
    හේතුව ජාලෙ නම් ... මේක අපේ කාලෙ හුඟ දෙනෙකුට වෙච්ච දෙයක්... ඒත් එහෙම වෙන්න දෙන්න එපා....

    මම අතට අහුවුන සෑම දෙයක්ම කියවපු කෙනෙක්, මේ ජාලෙ නිසා ගොඩක් අඩු වුනා.. ඒත් සීරෝ වෙන්න දුන්නෙ නෑ.... මම ජාලෙ ඇසුරට වැටිල දැන් අවු 16 ක් විතර වෙනව.. ඔය කාලෙදි මග හැරුනු පොත් බොහොම ඇති... එත් වෙලාවක් ලැබුනොත් මේව ලියවල බ්ලන්න...

    Oriana Fallaci - A man ( මිනිසා - සුනිල් මාධව )
    Kurt Vonnegut - Mother Night (රෑ මාතා - ගාමිනී වියන්ගොඩ )
    Khaled Hosseini - Kite Runner ( සරුංගල් ලුහුබඳින්නා - ?? )

    මේ මට කියවන්න ලැබුනු එකකට එකක් හුඟාක් වෙනස් පොත්... අපේ පරිවර්ත්නන ගොඩාක් දුර ඇවිල්ල කියන්නයි මේව දැම්මෙ... තව හුඟාක් ඇති...( මම ඉන්නෙ අරාබියෙ )

    කියවීම අත් අරින්න එපා...

    කොහොමටවත් එපා ජාලෙ නිසා නම්...

    ReplyDelete
  28. කාලෙකට පස්සේ මලක් ලැබිලා වගෙයි..... රුපියල් 50ට ඔච්චර දුර යන්න බෑ බන් මොන එයාර් ලයින් එකකටවත්......

    ReplyDelete
  29. මම නම් හිතන්නෙ අපිට හරියි කියලා හිතෙනවා නම් ඒක කොහොම දෙයක් උනත් ලියලා දාන එකේ වැරැද්දක් නැහැ කියලා.

    සමහර වෙලාවට අපි ලියන ඒවා තව කෙනෙකුට වහ කදුරු වගේ වෙන්නත් පුලුවන් ......

    ReplyDelete
  30. ආ‍යේ ඉතින් මං ගැන කියන්න ඕනි නෑ‍නේ. පරක්කු උනත් ‍මේ පැත් ‍තේ රවුමක් දාලා යනවා ඇවිත්. ‍මොනවා කරන්නද. බැරිද අයියා ‍කොළ වල අකුරු කරාම අර ගෑණු දැරිවිට ඒක ටයිප් කරලා ‍දෙන්නවත් කියන්න?????

    ඔන්න මං දිව් ‍වෝ.............

    ReplyDelete
  31. හිතේ තියෙන දේවල් නොකියම ඉන්න එපා... මොකද පැහැව පැහැව තියන් ඉන්නවට වඩා හොදයි ඒක පිට කරල නිදහස් වෙන එක... ඒ වගේ හිතේ තියෙන දේවල් හංගන්නේ නැති මිනිස්සු යම් දුරකට අවංකයි... ඒකයි මගේ දැක්ම...

    සමහර අයට අපි කියන දේ දිරවන්නේ නැති වෙන්න පුළුවන්... හැබැයි එකක්... අපි කියන දෙයින් අනිත් කෙනාට ජීවිතේ නැති කර ගන්න හිතෙන්නෙ නැති වෙන්න අපි පිට කරන වචන ගැන පරිස්සන් වෙන්න ඕනෙ... මොකද කටින් පිට උනු වචනයක් ආයෙත් ඇදල ගන්න බැරි නිසා... මේ ගැන මගෙ අත්දැකීම් අනන්තවත්...

    ඒක නිසා හිතේ තියෙන දේවල් පිට කරන්න බ්ලොග් එක ‍තෝර ගත්තු එක හොඳ මාර්ගයක් මම හිතන්නේ... හිතත් සැහැල්ලු වෙනව වගේම කියන්නෙ මොනවද කියල දෙපාරක් කියවල බලන්නත් පුළුවන් නිසා...

    ඔයා ලියන විදියට හිත සැහැල්ලු වෙනව... ඔළුවෙ තියෙන බර අමතක වෙනව... ඒ නිසා මම ගොඩක් වෙලාවට කියවන බ්ලොග්ස් වලින් එකක් මේක...

    මේ පෝස්ට් එකෙන් හැම හීනයක්ම හැබෑ නොවුනත් හීන අපිව ජීවත් කරනව කියල මතක් කරවනව...

    හැමදාම කමෙන්ට් කරන්න නොලැබුනත්, කරන වැඩේ ඉදිරියටම කරගෙන යන්න මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  32. කෝ යකෝ මේවට රිෆ්ලයි....හෙනම ගහපිය කිව්වලු.........

    ReplyDelete
  33. හිත දකින මිනිස්සු අඩුයි; දැක්කත් අනුන් ඒ ගැන මොනවා හිතයිද කියලා විස්සෝප නොවී ඒ ගැන එළිපිට කතා කරන මිනිස්සු ඊටත් අඩුයි. එහෙම මනුස්සයෙක් වටේ අවංකකම අගය කරන මිනිස්සු එක් රොක් වෙන එක.....
    පොඩ්ඩක් හෝව්. අභීත මොකක්ද අර කියල තියෙන්නෙ? ;-))

    ReplyDelete
  34. අඩේ සමා වෙයල්ලා..මේක දිහා බලන්න වෙන්නේ අද රෑ වෙලා තමා..අද මේ මට කෙලවෙලා ඉන්නේ...හෙට එළි වෙනකල්වත් වැඩ කරන්න වෙයිද මංදා...එහෙං මෙහෙං හැම තැනින්ම එන වැඩ ඔක්කෝම ටැපළිලා...මේක ටිකක් ගොඩ දාපු ගමන් මං එඤ්ඤං ජාතිය අමතන්න...

    ReplyDelete
  35. මමනම් හිතට එනව ඒව කවි වල කරනවා... ඒතකොට මාර සැනසිල්ලක් දැන්නෙන්න.. :)

    ReplyDelete
  36. මාත් කැමතිම පොතක් තමයි මොන්තො ක්‍රිස්තෝ සිටුවරයා ගේ කතාව.

    http://sannasa.sinhalajukebox.org/2009/Jul/2009Jul_page26.pdf

    ReplyDelete
  37. මාරයා,
    ඔලුව එහෙම කොහෙවත් හය්යෙන් වැදුනද?
    මහ වෙදන ට වත් පෙන්නල බලන්න වෙය්ද මන්ද?

    සපතේරු උන්නැහේ කියන, Khaled Hosseini - Kite Runner ( සරුංගල් ලුහුබඳින්නා - ?? ) සිංහල පරිවර්තනය අහු වෙලා කියෙව්ව, හොඳ කියවන්න වටින පොතක්

    ReplyDelete
  38. @ රසික සූරියාරච්චි,
    මොන්ටි ක්‍රිස්ටෝ කියන්නෙ අර කන්‍යාවන්ගේ ලේ උරා බොන පොරද?

    ReplyDelete
  39. හිතක් කතා කරනවානම් ඒකට විලංගු දාන්න එපා මාරේ !~ හිතට කතා කරන්න දෙන්න දෙන්න ..

    ReplyDelete
  40. හා හා වීසා නැතුව කරක් ගහන ලෙඩේ තියෙන අය ඉන්නේ මම විතරක් නෙමේ [.ලංකාවේ අපිට වීසා ගන්න එක ලේසිත්නැති එකේ.] අපි නම් පහු ගිය දවස් වල පරණ රුසියන් සාහිත්‍යයේ ගිලිලා පීනලා නාලා ඉන්නේ . මාරයා ට නම් එන්න අවස්ථාවක් ලැබුනේ නැහැ නේද . වෙලාවක් තිබුනොත් කියවල බලන්න . අද ඇඩ් දාන දවසක් නෙමේ හින්ද ලින්ක් එක දානේ නැහැ ඔන්න. හිට්ලර්ට කැමතියි???මට නම් කිසිම හොඳක් දකින්න බැරි උන් කීප දෙනාගෙන් එකෙක් තමයි . ලියන්න අප්පා කියවන අය ඕන තරම් . ''මාරයා හරි අව්‍යාජයි කියලා ''අපේ ගෙදර නම් ඔයා ඉන්නේ අලි මුරුංගා අත්තක් උඩ

    ReplyDelete
  41. අවුරුදු 10කට ඉස්සර මාසයක් ගානෙ වගෙ ගියපු සිංහරාජයේ, මම දැනුත් හිතෙන් යනව ඔහේ පාවි පාවි.........

    හිත හීලෑ නෑ....හරිම මුරන්ඩුයි.....තැන තැන ඇවිදිනවා....හිතෙන හිතෙන තැන නවතිනවා.....

    ReplyDelete
  42. හිතට එන ඒවා එහෙමම ඔන්න ඔහේ ලියන්න අයියා..මන් මේ බ්ලොග් කලාවට අපු දා ඉදන්ම කියවන බ්ලොග් එක ඔයාගෙනෙ....තාමත් සමහර ඒවා කියවල නෑ.....කොහොම නමුත් හිතට වැට බදින්න එපා..........

    ReplyDelete
  43. ක්‍රිකට් ගහල ටික තමා හොඳම. ඔය වෙලාවට දාගන්න තියෙන අඩුම කුඩුම ඔක්කොම දාගෙන යන්න. පළවෙනි බොලෙන්ම බොල 2ක් නෝ බෝල් කරගන්න ඕනේ නෑනේ... :D

    ReplyDelete