21 June 2011

ඇඳක කොනක්... නොහොත් සිරි යහන් සුවය...

ඔන්න ආයෙමත් ලියන්න හිත හදා ගත්තා..හිත හදා ගත්තා කිව්වට ඉතිං මේක ලියන්න ගත්තම තමා මගේ හිත හැදෙන්නේ..මේ ටිකේම අරකයි මේකයි බදාගෙන ඉඳලා ඉඳලා මට එපා තිත්ත උනා...

මොනවා හරි වෙනසක් ඕන කියලා හිතුන හින්දා හදිසියේම දඩි බිඩි ගාලා අත ගැහැවුවා කේන්දර රස්සාවටත්..ඒත් එක්කම මං මෙච්චර කාලයක් හිටිය මගේ නවාතැන් පොලින් අහක් වෙලා වෙනම තැනක පුංචි කාමරයකට කූඩු උනා..රස්සාව කරන තැනනං කොහොමත් පෙබරවාරි වල ඉඳලා වෙනස් උනානේ..අනික මේ හැම වෙනසකටම හේතුව උනේ..දැන් රස්සාව කරන තැන තියෙන අසීමිත නිදහස තමා..ඒ හින්දා ඇර කලින් හිටි තැන ඉඳලානං මේ එකක්වත් කරන්න මට වෙලාව හම්බ වෙන්නේ නැහැ.

ඉතිං මේ ටිකේම යකා බැඳ ගත්තා වගේ එහෙට දුවනවා ..මෙහෙට දුවනවා..පැය විසි හතරක් රස්සාව කොරන තැන..ඊ ළග පැය දොළහ මගේ කාරියාලේ..අන්තිමට යනවා පැය 12ක් ඉන්ට කියලා හිතාගෙන මගේ කාමරේට...

රස්සාව කොරන තැනට ආවත් කේන්දර බල බල දවස ගෙවනවා..කාරියාලෙට ගියත් එහෙමමයි..අන්තිමට කාමරේට වැටුනම තමා ටිකක් පාඩුවේ ඉන්නේ..අත්තටම කාමරේට යන වෙලාව පැය දොලහක් කියලා කිව්වට එච්චරම නැහැ..මොකද මම කාරියාලේ පහට වහනවා කියලා කිව්වට හැමදාම වගේ රෑ අට විතර වෙනකල් පහු ගිය ටිකේම එතනට වෙලා වැඩ කලා. ඉතිං ඊට පස්සේ තමයි කාමරේට යන්නේ..ගියා නෑවා..කඩෙන් අරං යන බත් එක හරි..කොත්තුවක් හරි..බිත්තර රොටී හරි ඉදි ආප්ප හරි වේවා..මොනවා හරි ගිල දැම්මා..ලැපත් අරං ඇඳට උනා...

අපරාදේ කියන්න බැහැ මට ඒ කාමරෙත් එක්කම හම්බ උනා පත සයිස් ඇඳක්..ඒ හින්දා මං මගේ පරණ නිදා ගත්ත..මං විසින්ම අටවා ගත්ත ඇඳන් පොජ්ජ මගේ කාරියාලේ තියෙන තැනටම ගෙනිහුං හයි කරලා දැම්මා...
ඒත් මේ කාමරේ ඇ‍ඳේ නිදියනවා කියන එකත් මහ අමාරු වැඩක්... මට මතක ඇති කාලෙක මං ඩබල් ඇඳන් පාවිච්චියක් නැහැ නෙව...

මං හිච්චි එකා සංන්ධියේ අපේ ගෙදරට තිබුනේ එක ඇඳයි..ඒක පරණ ඇඳක්..මට මතකයි ඕකේ අපේ අම්මයි තාත්තයි..මල්ලියි..මමයි හතර දෙනාම නිදියනවා..ඒ ඇදේ නිදියන අතට නෙවෙයි හරස් අතට...ඒක ඉඩ තිබුනා..පස්සේ අම්මා රට ගියා..ඇදේ අපි තුන් දෙනයි ඉතුරු උනේ...
තාත්තා අපි දෙන්නව බිත්තිය පැත්තට තියලා එයා ඇදෙන් බහින පැත්තෙන් නිදා ගත්තා..ඔහොම ඉන්නකොට අපේ අම්මා රට ඉදලා ආව වෙලාවක තව පුංචි ඇදක් ගෙදරට ගෙනාවා...

ඒ ඇඳ හම්බ උනේ මට...මං එදා ඉදලා ඒ අදත් එක්ක වෙනම කෑල්ලක පදිංචියට ගියා..තාත්තයි මල්ලියි අර පරණ ඇදේම හිටියා..ආ ඕක කියනකොට මට මතක් උනේ..ඒ දවස්වල මහ රෑට මගේ නින්ද කැඩෙනවා තාත්තා කෑ ගහන සද්දෙට..ඒ කෑ ගහන්නේ..මල්ලි තාත්තට පයින් ගහන හින්දා..ඌට මක් කරලවත් ඇදේ එක විදියකට නිදා ගන්න බැහැ.ඉතිං හාමදාම තාත්තට වදිනවා හොඳවයින් පයින් පාරවල් දෙක තුනක්...

ආ අනිත් එක තමා ඔය ඇ‍ඳේ කතාව කිව්වහම මට මතක් උනේ..ඉස්සර ඉතිං අපි කන්නේ..බොන්නනේ නාන්නේ නිදියන්නේ ඔක්කෝම ඉතිං කලිසං කොටේ පිටින්නේ..මුලින්ම සරමකට බහින්න උනේ මට වයස නවයක් දහයක් වගේ වෙනකොට තමා...මල්ලි මට වඩා වයස අවුරුදු දෙක හමාරක් අඩුයි..ඒත් ඉතිං මට ලැබෙන කොටම මෑන්ටත් සරම් භාවිතයට අවස්ථාව සැලසුනා...

ඒ දවස්වල උදේට මං ඇහැරෙන්නේ තාත්තගේ හිනාවට තමා..මොකද අපේ තාත්තා හැමදාම පාන්දර ඇහැ‍රෙන මනුස්සයා... එයා විතරක් නෙයෙි එයාගේ සහෝදරයෝ ටිකත් එහෙමම තමයි..ඒ දවස්වල අහගෙන ඉන්න ඕන කෙනෙකුට ඇහෙනවා පාන්දරම අපේ තාත්තයි ලොකු මහප්පයි..ඥනේ මහප්පයි පාන්දර හතරට විතර පොලිමට කිඹුහුං යවන සද්දේ..හරියටම එකම වෙලාවට එකම ගානට ඔය තුන්දෙනා මේ වැඩේ කරනවා..කොහොමත් පාන්දර 4ට විතර තමා... මහ ඉඩම අක්කර පහක් විතර හින්දා ගෙවල් තිබුනේ ටිකක් ඈත ඈත වෙන්න උනත් පාන්දරට වෙන සද්දයක් බද්දයක් නැහැනේ...ඉතිං කුකුළ අඩලන්න කලින් මේ තුන් දෙනා අඩලනවා මට මතකයි.

ඉතිං පාන්දරම නැගිටලා තාත්තා ගිහින් උයනවා..ඉදි ආප්ප තම්බනවා..ඒකට හොඳි සම්බෝල හදනවා..අන්තිමට මං ඉස්කෝලේ යන දවසක්නං මට තේ එක හදලා මාව ඇහැරවනවා හතර හමාරට විතර...
මල්ලිව ඇහැරවන්නේ ඉතිං හයට වගේ තමා...ඔන්න ඒ වෙලාවට තමා වැඩේ තියෙන්නේ..මාත් ගෙදර ඉන්න දවසට තමා අර උදේපාන්දර හිනා වෙලා ලේ පිරිසිදු කරගෙන දවස පටන් ගන්න හම්බ වෙන්නේ..හේතුව තමා මල්ලී සහ මල්ලීගේ සරම...

සමහර වෙලාවට තාත්තා තේ එක හදලා මල්ලිව ඇහැරවන්න එද්දී..මල්ලි ඉන්නවා ඇඳ උඩ..ඒත් සරම නැහැ..ඒක ඇඳ පාමුල..ඒත් සමහර දවස්වලට සරම ඇඳ උඩ තියෙනවා හරි ලස්සනට..මල්ලි නැහැ පේන්න..බලනකොට ඒකා ඇද යට..එහෙම දවසට තාත්තණ්ඩි මාව ඇහැරවලා එක්ක ගිහින් පෙන්නනවා..මල විකාර කෝටියයි..අන්තිමට ඌ සරමට ආයිබෝං කිව්වා..මංනං ඉතිං අදටත් සරමට බහින්නේ කොයි වෙලෙද කියලා තමා බල බල ඉන්නේ..අපිනේ දන්නේ එකේ සැහැල්ලුව ඉතිං...

සැහැල්ලුව කිව්වාම මතක් උනේ..අර කුරුළු හමුදාවේ හිටිය දවස්වලනං ඉතිං රෑට නිදා ගත්තේ ඕයිටත් වඩා සැහැල්ලුවට...උපන් අඳුමෙන්ම තමයි..මොකද ඒ වෙනකොට එහෙ අපි නෙව අයියලා..ඉතිං කොයි වෙලාවේ බැළුවත් බිලට් එකේ ඉන්න වෙලාවට ඔය ටවල් එකක් ගහගෙන ඉන්නේ..රෑට නිදා ගද්දී ඉතිං මොන ටවල්ද..වැටුනා ඇඳට..පෙරවගත්තා බෙඩ් ෂීට් එකක් ඔතා ගත්තා දොයිය බබා තමා..හා හා..දැන් මේ කතාව කොහේද යන්නේ...තව ටිකක් ගියා නං මේ කතාව ආයෙත් යන්නේ කුරුළු හමුදාවේ කතාවකට...

ඉතිං මං කොහේද හිටියේ...ආ හරි ඇඳ උඩ... ඉතිං අර අම්මා පස්සේ ගෙනත් දුන්න පුංචි අඳ තමා මාව සෑහෙන කාලයක් බලා කියා ගත්තේ... ඊට පස්සෙත් කොහේ ගියත් මට ඔය වගේ පුංචි ඇඳන් හම්බ උනා..අනික ඉතිං මට අර ‍අපේ මල්ලිට වගේ ඇඳ පුරා බල්ටි ගහන ලෙඩක් තිබුනෙත් නැති හින්දා නිදා ගන්න කොට අඩි දෙකක් පළල තිබුනම හොඳටම ඇති..මොකද නිදා ගත්තත් මං ඒ මේ අත පෙරළෙනවා අඩු හින්දා.

ඒකටත් එක්ක වදේ..දැන් මේ පත ඇඳක් හම්බ උනාම මට මේකේ ක්‍රිකට් ගහන්න තරං ඉඩ තියේ...මොනවා කොරන්නද නිකං හම්බු වෙච්ච එකනේ..මේකේ ලගින කල් දැන් මේ ඩබොල් ඇ‍ඳේ දපහංකෝ... එහෙමයි කියලා ඉති මං ඇඳ පුරා නිදියන්නයෑ..මං මගේ පාඩුවේ ඇ‍ඳේ පැත්තකින් දොයියනවා...අර ඉඩ පාඩු තියෙන හරියේ ලැප් උන්නැහේ සුවසේ වැඩ ඉන්නවා...

ඒත් ඉතිං ඉස්සර වගේ නෙවෙයි බෙඩ් ෂීට් එක හරි ගස්සන්න එහෙම ගියාම පණ යනවා...ඇයි යකෝ මේක සප්ත මහා සාගරේ වගේ නෙව...අනික මං දොයියන්නේ ඒකේ පුංචිම පුංචි දූපතක් විතර තැනක..ඒත් මුළු සාගරේම මට අස් පස් කොරන්න වෙලා..එපා වෙනවා අප්පා...
හ්ම්ම්ම්..මං මේ ලියන්න කොනක් අල්ල ගන්න කියලා වැඩේට අත ගැහැවුවේ..ඒත් කොනක් මතු වෙන්න කලින් ඇ‍‍ඳේ කොන අහු උනා නෙව..ඒ හින්දා වෙන ලියුං කරදහියකින් ඊ ළග කොන ලියමු.. ඒ තමා මං කුරුළු හමුදාවේ ඉද්දී සිද්ධ උන "ගුවන් භටයාගේ අද්භූත මරණය"

43 comments:

  1. මමනම් සරමට ආයුබෝං කියලා දැන් අවුරුද්දක් විතර වෙනවා . මොන මොනවා හරි සිදුවීමක් මත මට සරම එපා වෙලා සෝට ලං වුනා .. මගේ බොසා උපන්දා ඉඳන් අද වෙනකම් සරම් ඇඳලා නෑලු ..

    "ගුවන් භටයාගේ අද්භූත මරණය" රහස් පරීක්‍ෂන කතාවක් වගේ ..! බලමු මොකද ඒ වෙලා තියෙන්නේ කියලා .. කුරුළු හමුදාව කීවේ මේ එයාෆෝස් එකටද ?

    ReplyDelete
  2. පොඩි තැන ඉදලා උඩට එන මිනිහෙක්, සිරා මචන්, අති උක්කුස්ටයි

    O.o වැරදුනාද මන්දා කමක් නෑ, අනේ උබට දැන් හරි නිදාගන්න පුලුවන්නෙ,

    මල්ලිගෙ සීන් එක අපෙ මල්ලිටත් තියනවා මූ හොද හරිය එලියෙ නැගිටිද්දි.

    ජය, මම කැපුනා!

    ReplyDelete
  3. ඔය ඩබල් ඇදේ ඔයාගේ එහාපැත්තෙ හිස් නොතියන්නයි, උදේට ඇද ලස්සනට හදන්නයි.....ලැප්ටොප් එක වෙනුවට ගැණු පරානයක් ආවනම් මොකද .......හොදයි නේද

    ReplyDelete
  4. මාරයියෙ, ඔය ලොකු ඇඳේ අනිත් පැත්තෙ නිදා ගන්න කෙනෙක් දැන්ම හොයා ගත්තොත් හොඳ නැද්ද? මම කිව්වෙ ඇඳ අපරාදෙනෙ, ඒකයි.

    ReplyDelete
  5. ඇඳේ කොනේ ඉදන් හරි ලියනවානම් මොකෝ.... අපි එනවා කියවන්න.... :)

    ReplyDelete
  6. හෙහ් හෙහ්...
    ඩබොල් ඇඳක් හම්බු උනාය... ඇඳේ ඉඩ තියේය...තනියෙන්ය.... මොනාදබං මේ වහෙං ඔරෝ කතා..?
    හෙහ් හෙහ්...හෙහ්...

    ReplyDelete
  7. මාරයියා ඇදට ලැබෙන ප්‍රතිචාරේ වෙන පැත්තකට යනව වගේ නේද ? (අනෙත් පැත්තේ හිස් තැන පිරවීම) හොදා හොදා ජය වෙන්න ඕන.

    ReplyDelete
  8. ඔය ඉතින් අදෝනා තියන්නෙ නැතුව ඩබල් ඇඳ පාලුවෙන් හින්දා සීදේවි නෝනා කෙනෙක් කැන්දන් ආවා නම් මක් වෙනවද.

    ReplyDelete
  9. ඩබල් ඇද නම් යකාට ගියාවේ කියමුකෝ මාරයියේ මොකටද අර පරණ ඇද කාර්යාල පොජ්ජට ගෙනිහින් හයිකොරේ...?? :DDD

    ReplyDelete
  10. හ්ම්ම්.දැන්නම් ඉතින් එනපොට හොද නෑ වගේ.
    ටික ටික සිග්නල් වැටෙනවා.
    අනේ මන්ද මම මේ කල්පනා කරන්නේ ලැප්ටොප් එක වෙනුවට ගැණු පරානයක් ආව දාට ලැප්ටොප් එකෙන් කරන කාරිය ගැණුපරනෙන්
    වෙයිද කියලා...
    Gimhani

    ReplyDelete
  11. දැන් ඇඳ හරි ඔන්න පින්වතුනි ඊළග කොටුවෙන් දැක්වෙන්නේ ඔය සප්ත මහා සාගරයක් වන් ඇදේ කෙලවරක ලස්සන ගැහැණු ළමයෙක් සමග....

    "ගුවන් භටයාගේ අද්භූත මරණය" ඒකත් ලියමුකො බලන්න.

    ReplyDelete
  12. ප්‍රශ්ණ හැම තැනම ප්‍රශ්ණ ..ඇයි අර පරණ ඇඳ කාර්යාලයට දැම්මේ???????

    ReplyDelete
  13. ඩබල් ඇඳන් හදන්නෙ කොල්ලෙකුටයි ලැපකටයි බුදියන්න නෙවේ . අදාල තැනට අදාල කෙනා එන්න කාලෙ හරි කියලයි ඔය ලියවෙන්නෙ

    ReplyDelete
  14. බුහුහාහා මාරයියේ කාලෝ අයන්තේ ! කාලෝ අයන්තේ...
    ඉක්මණට හිස් ඉඩ මනුෂ්‍ය වාසයක් කරමු... :D

    ReplyDelete
  15. මලේ,
    ඔය ඇඳේ ඉඩ නම් තියන්න එපා අපරාදෙනේ ඉක්මනට කාටහරි ඔතන ඉඩටික වෙන් කරවා දෙන්න.

    ඔය සරම් කේස් එක අපේ ගෙදරත් ඔහොමමයි අපි පොඩි කාලේ,

    ReplyDelete
  16. මාර තුමා, ඔයා හරි ගල් ආඳ නේද ? අපිට කියලම යෝජනා ඉස්තිර කොරගෙන අර කියපු කට සැර නෝනව ගෙන්න දාන උප්පරවැට්ටියක් තමයි ඕක.
    හෙහ්.. හෙහ්.. අපි අහුවෙයි ඕවට .. LOLzzz

    ReplyDelete
  17. මාරයාගේ පෝස්ට් ගැන පෝස්ට් එකක් ලියන්න වෙනවා කමෙන්ට් එකක් විදිහටත්.
    ඉතින් නෝනාවරුනි මහත් වරුනි, මම කලින් වැප්නි ශාන්ත මහත්තයා ඇති කරපු ප්‍රශ්ණය මතු කරන්න කැමතියි... ඒ මාරයාගේ පෝස්ට් එකේ මෙන මේ කොටසින්...

    ඒ හින්දා මං මගේ පරණ නිදා ගත්ත..මං විසින්ම අටවා ගත්ත ඇඳන් පොජ්ජ මගේ කාරියාලේ තියෙන තැනටම ගෙනිහුං හයි කරලා දැම්මා...

    ඔන්න ඔහොම කලේ ඇයි කියන එකට උත්තරේ මෙන්න මෙතනින් එනවද කියන සැකය මගෙ හිතේ පොඩ්ඩක් තියෙනවා....

    ඒත් ඉතිං ඉස්සර වගේ නෙවෙයි බෙඩ් ෂීට් එක හරි ගස්සන්න එහෙම ගියාම පණ යනවා...ඇයි යකෝ මේක සප්ත මහා සාගරේ වගේ නෙව...අනික මං දොයියන්නේ ඒකේ පුංචිම පුංචි දූපතක් විතර තැනක..ඒත් මුළු සාගරේම මට අස් පස් කොරන්න වෙලා..එපා වෙනවා අප්පා...

    තෙරෙනවා නේද වෙලා තියෙන සංගදිය.... ඒත් මේක නොතේරෙන්න පාඨකයා නොමග යැවීමකුත් කරලා තියෙනවා....

    ඒ තමා මං කුරුළු හමුදාවේ ඉද්දී සිද්ධ උන "ගුවන් භටයාගේ අද්භූත මරණය"

    දැන් කට්ටියම ඒ දෙස බලන් ඉන්නවා මිස නෑනේ අර ගැන කල්පනා කරන්නේ... මූ නම් මාර කපටියෙක්....

    කොහොමත් මාරාපරාධ ඝණයට තමයි දෙකෙන් මොක වුනත් වැටෙන්නේ....

    එක. සිත එක්තැන් කර ගැනීමට උත්සහ කල තැනැත්තියක් නොමඟ යැවීම.

    දෙක. මාර බාලාපරාධ

    ReplyDelete
  18. ඔය සරම් කෙරුවාවනම් මට හරියන්නෙම නෑ. ඉස්සර තාත්ති හෙන ට්‍රයි එකක් දුන්න මට සරම් පුරුදු කොරන්න. කවදාවත් නැගිටිනකොට සරම ඇදේ නෑ. ඉතින් මම සරම අත ඇරිය.
    මතක ඇති කාලේ සරමක් ඇන්දේ දහම් පාසල් යනකොට තමා. ඒත් යටින් කලිසමක් ගහගෙන.
    මටනම් දෙයියනේ කියල ටිකක් ලොකු ඇදක් ඕනෙමයි. මොකද ඔය නින්දේදී පනුගාය මට හුරේ කියල තියනවා.
    අයියන්ඩි ලොකු ඇදකුත් තියන එකේ ඇද රෙද්ද පොඩ්ඩක් පිළිවෙලකට නවල තියන්න, පැය 12 ඉවරවෙලා එනකොට පොල්සම්බලක් එක්ක හරි බත් ටිකක් උයල තියන්න ගෑනු පරාණයක් දපනේ දාගත්තොත් අගෙයි කියලයි මගේ සිගිති මොලේටනම් තේරෙන්නේ.

    ReplyDelete
  19. මට නම් මේක කියෙව්වාම මෙච්චරයි තේරුණේ. මාරයියගේ ඇඳේ දැන් තව කෙනෙක්ට ඉඩ තියනවා. මාරයියා මේ කතාවෙන් උලුප්පලා දක්වන්න උත්සාහ කරලා තියෙන්නේ ඇඳේ ඉතිරි වුණු ඉඩට තව කෙනෙක් ළඟදීම කැන්දන් එනවා කියලයි.
    එහෙම නේද?

    ReplyDelete
  20. මාරයියා මොකක්දෝ ඒකකට අර අදිනවා වගේ පේනවා

    හතර වටෙන්ම පර්මිසොං අරං වැඩේ ගොඩදාන පැලෑන් ඒකක්ද කොහෙද..

    කෝකත් ජය සිරි මංගලං කිව්වලු

    ;-)

    ReplyDelete
  21. ඩබල් ඇඳකුත් තියෙන එකේ මාරයා අයියා බැන්දනම් අහවරයි නේ. කිවිසුම් අරිනවා කිව්වම තමා මතක් උනේ. මටත් උදේම නැගිට්ටම තියෙන්නේ ඔය ලෙඩේමයි. උදේම නැගිට්ට ගමන් කිවිසුම් යනවා.

    ReplyDelete
  22. අඩේ මදුරංග අයියා මාරයගෙ කලින් පෝස්ට් එකේ ඔය නෝනා කෙනක් ගන්න එක ගැන මාරයා අයියම ලාවට හින්ට්ස් පාරක් ගහලා තිබුනනේ ලගදිම ඕකට තව කෙනෙක් එයිනෙ ඉතින් ඊට පස්සේ සප්ත මහා සාගරේ අස්පස් කරන වැඩේ නෝනට දෙන්න පුලුවන්​ නේද මාරයා අයියේ...

    ReplyDelete
  23. මමත් සරමට පුරුදු වෙන්න කියලා දවස් දෙක තුනක් ට්‍රයි කලා, හැබැයි යටින් ෂෝටක් ඇදගෙන..
    ලඟදි ආයෙ ට්‍රයි එකක් දාල බලන්න ඕනේ

    ReplyDelete
  24. ඔහොම යං...ඔහොම යං.....

    ReplyDelete
  25. ඉන්න බෑ දත් කැක්කුමයි . . කියලා කිව්ව වගේ ඇහුනේ . . හික්ස්

    ReplyDelete
  26. සඳරු...

    ඔන්න බලහං..උඹලා ගමේ කිව්වට මොකද සරම අදින උන් නෙවෙයි..බලාගෙන ගියහම අපි තාමත් ගමේ බයියලා..තෝ මෙතන ගමේ කිව්වට බලං ගියාම අපිනේ තාම ගමේ..

    ඔව් කොල්ලෝ..ඒ කිය ෆෝස් එක තමාළු...

    ReplyDelete
  27. මලියා...

    අහ් එහෙනං මලියගෙ මලයත් ඒ වගේ නේද..?:P
    ජය වේවා..!

    ReplyDelete
  28. සිතිවිළී නිහඩයි...

    පිස්සුනං කතා කරන්න එපා..හොඳට හිටී..අම්ම ගහයි බැට් එකෙන් කිවවළු...

    ReplyDelete
  29. කසුන්...

    ඊට හොඳා ඇඳ තියෙද්දී බිම දොයියනවා...

    ReplyDelete
  30. හසී...

    ආන්න එච්චරයි නගේ...තැන්කූ වේවා..!

    ReplyDelete
  31. උන්නැහේ...

    ඔන්න ඉතිං උන්නැහෙත් ඔලොක්කුවට හිනා වෙන්ට තිබා ගත්තා..මොකද ඉතිං ඔහේටනං..පිලේ පැදුරයි..එකේ රටා වියපු ඇත්තියි දෙන්නම ඇති කොට..?

    ReplyDelete
  32. මගේ කතා...

    වැඩක් නැහැ මලේ..දැන් මං මොනවා කිව්වත් මේ උන්දලා බලන්නෙම රුයිතෙට..

    ReplyDelete
  33. පිණි බිඳු...

    ඔන්න ඒ පාර එයත් කිව්වා කතාවක්...
    අනික සීදේවි බොනී කපූර්ව බැන්දා නෙව..අන්තිමට තව ජරමරයක් වෙන වැඩක් උන්දැව ගේන්න ගියොත් මට වෙන්නේ..

    ReplyDelete
  34. සෝඩා ගුනේ...

    අරිනවා දැන් මං සෝඩා බො‍තලේ මූඩිය..ඕං නොකිව්වා කියන්ට එපා...

    ReplyDelete
  35. ගිම්හානි...

    මොන පිස්සුද..ලැප් එක රත්තරං...

    ReplyDelete
  36. ඒ පාර ඔලුව කචල් වෙන පෝස්ට් මයි එන්නේ,,,කතාව යටින් එක එක අරුත් මතු වෙනවා

    ReplyDelete
  37. ඇත්තටම ඔෆීසියට මොටද ඇදක්. මට පේන්නේ ඔෆීසියෙයි නවාතැනෙයි දෙකේම මාරයියා ගජරාමෙට නිදියන්නයි යන්නේ.

    ReplyDelete
  38. මාරෙ...
    මං අහන්ඩ හිටපු එක ශාමින්ද අහල...
    මම ඩිංගක් extend කරන්නම්....
    එක පාරක් ඇමති කෙනෙකුත් නෝනට අහුවුනා නේද අමාත්‍යංශ කාරියාලෙ ඇඳකුත් තියාගෙන ලේකම් වරියකුත් එක්ක මොකක්ද වැදගත් වැඩක් කර කර ඉඳල....
    මලට කියපු කවිය දුරදිග ගිහින්වත්ද....?

    ReplyDelete
  39. අර ළමයා තාම වැඩට එනවද මන්දා..... :D

    ReplyDelete
  40. දැන් ඉතිං වයසත් හරි, ඇඳේ ඉඩත් තියනවා, ඇයි තවත් බලං ඉන්නෙ .........

    ReplyDelete
  41. සරමේ සැප දන්නේ දනිති කිව්වලු. ඇදේ ඉඩ වැඩි එකටනම් කරන්න ඕනෙ වැඩේ දන්නවනේ. නරකද ඒ ගැන හිතලා බැලුවානම්....

    ReplyDelete
  42. මාරයා දැන් දැන් අමුතුම සිස්ටම් එකකට වැඩේට ඇන්ටර් වී ඇති හැටියක් පෙනේ. එනම් . . . .. මුගේ ගුජුප්සාජනක පහත් අදහස් "හිතේ තනිකම, ලොකු ඇඳේ බෙඩ් ශීට් එක සකස් කිරීම, ඩබල් ඇඳේ පාලුව මකන්න ලැප්ටොප් එක" වගේ මාතෘකා යටතේ හෙමීට දාල . . . . ඒවට කොමෙන්ට්ස් ටිකක් වැටෙන්න කලිං සු‍ටුස් ගාල වෙන පෝස්ට් එකක් (මාර පරාජය වගේ) දාල අර කලිං එක වසාගැනීමේ නවතම මෙතඩ් එකයි . . . . .
    මේ තියරියට "කොලේ වසා ගැසීම" නැමති නමද ඇතැමුන් භාවිතා කරයි . . .

    ප.ලි.
    ඇඳේ අනිත් පැත්තෙ ලැප තියාගෙන ඒකෙ ඉන්න රෙදි නැති සුද්දියන් දිහෑ බලං නිදාගන්නා කාලය අහවර වෙමින් පවතින බවක් හැඟේ . . .

    ReplyDelete