03 July 2011

මෙලෝ රහක් නැති උනත් සරල සුගම ජීවිතේ... සැලසුමක් නොවුන 3 වන අංකය...

කලින් ලිපි දෙකෙන් කිව්වේ මගේ දැනට ගෙනව ජීවිතේ තව තවත් සංකීර්ණ කර ගන්න වෙන විදියේ සැලසුමකුත්..
දැනට ගෙවන ජීවිතේට වඩා සරල..එහෙත් අභියෝගයක් තියෙන මොනවයින් මොනවා වෙයිද කියලා දන්නේ නැති දෙවන සුලසුමකුත් ගැනයි...

ඇත්තටම මම කවුද කියන එක මටම වෙලාවකට මහ ප්‍රශ්නයක්... එක අතකින් මම මොකා උනහම මොකද කියලත් හිතෙනවා... එහෙම හොයන්න තරං ඇති දේකුත් නැහැ බලං යද්දි.. ඔහේ ඉන්නං වාලේ ඉඳලා අනිත් මිනිස්සු වගේම රස්සාවක් කරලා කීය කීය හරි ඉතිරි කරන ගමන් වටේට ලෝන් ගහලා හරි ඉඩං කෑල්ලක් අරගෙන ඒකේ ගේ පැලක් අටවං.. කොහෙන් හරි ගෑණියෙකුත් ගෙනත් ලමයි බමයි හදාගෙන ඉන්න ජීවිතේකට යන්නත් ඇහැකි..

ඒත් මොන කරුමයකට හෝ වාසනාවකට හෝ මට ඒ දේ හිතෙන්නේ නැහැ...

හැම වෙලෙ‍්ම මොනවා හරි මම නොදන්න දෙයක් ගැන දැන ගන්න මට කුතුහලයක් තියෙනවා... ඒ වගේම බැඳීම් වැඩි වෙනවා වගේ පේන කොට මට ඒ හැම දේම අත ඇරලා දුවන්න හිතෙන ගතිය වැඩියි.

මං මේ දවස්වල හරියට හිතනවා... සමහර වෙලාවට හිතන එක නවත්තලා අහල පහල ශබ්ද වලට ඇහුන් කං දීගෙන සාමාන්‍ය විදියට ඉන්නවා...

පහුගිය කාලේ නිකංම හිටිය හින්දා මට වෙනසක් කරලා බලන්න හිතිලා දඩි බිඩියේ හැම දේම පිළි වෙලක් කරගෙන ඇරියා කාර්යාලයක්...ඇත්තටම ආදායං අතින් නං ඒක නරක නැහැ..ඒත් ඒ හරහා මට මගේ විවේකය නැත්තටම නැති වෙලා යන මට්ටමක් ආවේ..ඒ වගේම මුදල් ලැබෙනකොට මට මං හිතන් හිටිය තරං ජීවිතේ විදින්න තියෙන ඉඩ කඩ අහිමි වෙන ස්වභාවයත් මාව අවුල් කලා..

මිනිස්සු මේ මහා ව්‍යාපාර ගොඩ නංවගෙන ඒවා හැම දේම බලා කියාගෙන කොහොම ඉන්නවද මංදා... එක්කෝ ඒ අය මටත් වඩා පීඩනයකට ලක් වෙන්න ඕන... නැත්තං මට විතරක් මේක හරියන දෙයක් නොවෙන්න ඕන...

ඒ අනුව කල්පනා කරලා ආයෙමත් ජීවිතේ සැහැල්ලුව නිදහස අත් විඳින්න ඕන කියලා හිතලා තමයි මං සැලසුම් කිහිපයක් ගැන හිතුවේ...

එයින් පලවෙනි එක ගැන බැළුවහම ඒකට බාධක වැඩියි..ඒ වගේම ඒක සාර්ථක වෙන්නනං අවට පුද්ගලයින්ගේ හිතිවිලි හා කැමැත්ත අකමැත්තත් බලපානවා...

උදාහරණයක් වශයෙන් වතුර මොටරේ ක්‍රියාත්මක කරවන ‍ෆාමසියේ හිමිකරු මගේ යෝජනාවට කැමති වීම හෝ නොවීම...

තමන්ගේ කඩය පිහිටි බිල්ඩිමේ කවුරු හරි නැවතී සිටීම හරහා තම තමන්ගේ කඩවලට ඇති ආරක්ෂාව ගැන අනිත් කඩ හිමියන්ට ඇතිවන ගැටළු..

එක් කෙනෙකුට නවතින්න දුන්නහම අනිත් අයත් ඒදේම කරන්න ගියොත් ඇතිවන ප්‍රශ්න ගැන කඩ හිමිකරුට ඇතිවන ගැටළු...

ඔය වගේ දේවල් කිහිපයක් වගේම මට උනත් ඒ ජීවිතය ඒ හැටිම සුවදායක නොවන වග නම් හිතුනා. ඒ හින්දා පළමු සැලසුම මාව උපරිම විදියට හිරවෙන අන්දමට සැලසුම් කලත් ඒ ගැන ගැටළු රාශියක් තියෙනවා.

දෙවන එක නම් මමත් ආසයි..කරන්න ඒ හැටි අමාරුවකුත් නැහැ..ප්‍රායෝගිකව ගැටළු නැතිවා නෙවෙයි... එකක් අතරමගදී බයික් එක ආපදාවකට ලක් වීම...ඒක ඒ හැටිම අවුලක් නෙවේ..බයික් එකක් පදින නෙවෙයි සුවපහසු වාහනයක් පාවිච්චි කරන කෙනෙකුට උනත් ඔය ගැටළුවට මුහුණ පාන්න වෙනවා...මං උනත් පාර තොටේදී ඔය ප්‍රශ්න දැනට උනත් සෑහෙන වතාවක් අත් විඳලා තියෙනවා..ඒත් ඒ වෙලාවට හොඳ හුස්මක් අරගෙන වෙච්ච දේට ගත හැකි හොඳම දේ කරනවා ඇර..අඬ අඬ ඉඳලා නැහැ...

ආරක්ෂාව..ඔව් ඒ ගැනනං ගැටළු තියේ..මගේ පුද්ගලික ආරක්ෂාවනං නෙවෙයි..බයික් එක එළිමහනේ පාක් කිරීම වැනි ගැටළු..

කාලගුණය..වැස්ස..

ඔව් වැස්සනං බොහෝම තදින් බලපානවා ඔය ගමනට..එක දිගට මාස ගණන් වහින අපේ රටේ වැස්සනං සෑහෙන බාදකයක්... එහෙමනං වැස්ස නැති කාල වල විතරයි මට ඇවිදින්න වෙන්නේ...වැස්ස හරහා මට සෑහෙන ආර්ථික අපහසුකම්නං එන්ට පුළුවන්...

ඊ ළග දේ ලෙඩ රෝග..ඒකත් ඉතිං කාටත් උරුම දෙයක්නේ...ඒක ඒ ඒ වෙලාවේ හැටියට තමා බලන්න වෙන්නේ...

ඔය වගේ දේවල් තිබුනා උනත් ඒක හොඳ සැලසුමක්...

අන්තිමට තියෙන්නේනං බොහෝම සරල දෙයක්..අමුතුවෙන් සැලසුම් කරන්න දෙයකුත් නැති තරං...

ඔය කාර්යාලේ වහලා දාලා මේ රස්සාව කරගෙන පාඩුවේ හිටියා කලින් වගේම..කරන්න තියෙන්නේ ආයෙමත් මට ‍මේ අවටින් කීයක් හරි අඩුවට පුංචි ගේ කෑල්ලක් හොයා ගන්න එකයි...

පරණ විදියටම උයාගෙන කාලා..දවසක් ඇර දවසක් බ්ලොග් එක ලියාගෙන..මාසේ පඩිය අතට අරං..කලින් වගේ පුංචි මුදලකුත් ඉතිරි කරන ගමන් නිවිහැනහිල්ලේ ඉන්න එක..ඒක තමා ලේසිම දේ... හිතටනං ඒ ගැන හිතනකොටත් පවන් ගහනවා වගේ...

ඒත් මට තියෙනවා දැන් ගැටළු කිහිපයක්..ඒ තමයි අනාගතේ...

ඕනවට වඩා අනාගතේ ගැන මහ දෙවල්නැති උනත් මගේ එක අරමුණක් තමා වයසට යනකල් හිටියොත් අතේ කීයක් හරි ඉතිරි කරගෙන වැඩිහිටියන් සඳහා වූ නිවාසයකට යෑම... ගෙවලා නැවතිය හැකි තැන් දැනටත් තියෙනවා..ඒ වගේම අනාගතේ වෙනකොට ඔය වැඩිහිටි නිවාස සංකල්පය ලොකු ව්‍යාපාරයක් වෙන වගනං මං හොදටම දන්නවා..ඒ හින්දා ඒකට සූදානම් උනානං හරි.

ඒ වෙනුවෙන් මුදලක් ඉතිරි කරන ගමන්ම... රට තොට බලන්න යන්න තියෙන නොනවතින ආසාවටත් තැනක් නොදී බැහැ...

මගේ පලවෙනි සැලසුම ටිකක් සංකීර්ණ...මුදල් පසුපස හඹා යාම වැඩි..බරපතල එකක්...

දෙවෙනි එක සරල..එහෙත් අවදානම් වැඩි..අනාගතය පිළිබඳව සෑහෙන ගැටළුවක් ඇති කරන එකක්.

තුන්වෙනි එක ඔය එකක්වත් නැති කම්මැලි එකක් විතරයි..ඒකෙත් ඇති දෙයක් නැහැ...

මට දැන් ඕන කරන්නේ මැද මාවතේ සැලසුමක්... ඒ කියන්නේ හැම දේම මිශ්‍ර වෙච්ච සිව්වෙනි සැලසුමකට මං යන් ඕන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි මට්ටමේ...

ඒ සැලසුම ඇතුලේ මෙන්න මේ දේවල් තියෙන්න ඕන...

1.දැනට කරන රස්සාව බේරිලා තියෙන්න හෝ...එයට සමාන වන නිදහසක් ඇති රැකියාවක් තියෙන්න ඕන...

2.සෑම මාසයකටම දවස් 5ක්වත් එක දිගට නිවාඩු ගන්න තියෙන්න ඕන..දැන් තියෙන එකේ මට ඒක කරන්න පුළුවන්..එක දිගට දවස් 5ක් ඩියුටි ඇද්දම මටත් දවස් 5ක් ගත්තැකි..

3.සෑම මසකම දවස් 5ක් ගන්න නිවාඩුව ඇතුලේ මට ලංකාවේ කොහේ හරි ඇවිදින්න යන්න දා ගන්න ඕන දවස් හතරකට සීමා වෙච්ච..මොකද ගිහින් ආව ගමන් පහුවදාට වැඩ කරන්න ලේසි නැහැනේ..

4.ගමන් බිමන් යන්න..අනාගතේ වෙනුවෙන් ඉතිරි කරන්න..දැනට ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය තරමට මුදල් තියෙන්න ඕන...

5.පුංචි ගෙයක් කුලියට ගන්න ඕන..වැඩ පලට ළග පාත වගේම මුලික පහසුකම්..ඒ කිව්වේ උයන්න පුළුවන් තැනක්..වතුර ටැප් කරලා ඇති පුංචි හෝ නාන කාමරයක් ඇති කාමර දෙකක් විතර තියෙන තැනක්.. කැලයක්මත් නොවන.. එහෙත් අනිත් අයට කරදරයක් නැති අසල්වාසීන් ඉන්න තැනක.

ඔය කරුණු ටික සම්පූර්ණ වෙන්න ඕන...

එතකොට රස්සාව ගැනනං දැන් තියෙන එක නරකමත් නැහැ.. නැත්තං රස්සාවට රට වටේ යන්න වෙන ඒ ගියහම හැරෙන තැපෑලට ආපහු එන්න වෙන්නේ නැති රස්සාවක් හොයන්න ඕන..
යන්න තැන්නං කෙයි තරං තියේද..?
මුදල් හොයන එකත් ඒ හැටිම ගැටළුවක් වෙන එකක් නැහැ... දැනට මට නෙට් එක හරහා එන වැඩ ටික හිමිහිට කරගෙන යාම හරහා ලැබෙන ආදායමෙන් මට මාසෙකට සැරයක් ගමනක් යොදා ගන්න පුළුවන්... අනිත් දේ තමා දැන් මගේ කාර්යාලේ දැම්මට පස්සේ එතන නැති දවසට මං ඉන්න වැඩ පල ගාවටම එන්න සමහරු පුරුදු වෙලා මේ හරියේ ටික ටික දැන් මාව අදුරනවා.. ඒ හරහාත් වැඩ ටිකක් එනවා..අමුතුවෙන් කාර්යාලයක් දාගෙන එතනට දවසක්ම හිර වෙලා ඉන්න එක තේරුමක් නැහැ...

ඔහොම බැළුවම මේ විදියට වැඩ කරගෙන යාම පහසුයි...

රස්සාවත් කරගෙන ලගට ලැබෙන වැඩ විතරක් කරගෙන ගෙයක් අරගෙන උයාගෙන කාලා..මාසයකට සැරයක් රවුමක් දාලා.. නිදහසේ ජීවත් වෙන ගමන්ම කීයක් හරි ඉතිරි කර ගන්නත් ඇහැකි...

තුන් වෙනි සැලැස්ම නොහොත් මෙලෝ රහක් නැති සැලැස්‍මට දෙවෙනි සැලැස්මේ ගමන් බිමන් ටික එකතු කරලා.. පලවෙනි සැලසුමෙන් ආර්ථීක තත්වයට විතරක් සපෝට් එකක් අරන් ඔන්න ඔහොම එකක් හදා ගත්තම මං හිතන්නේ මට ටිකක් සැනසීමක් ලැබේවි වගේ...

........................................

කලින් ලිපි දෙකට හැමෝම දාපු කමෙන්ට් මම බොහෝම උනන්දුවෙන් කියෙව්වා ..ඇත්තටම ඒ හරහා හුගක් දේවල් ගැන හිතන්න වගේම..මට මග ඇරුන තැන් ගැනත් අවබෝධයක් ගන්න පුළුවන් උනා.. ඒ වගේම අර ඕනයා කිව්ව පෙට්ටි ගැන විස්තර බැටරි චාජර් ගැන අදහස් හරියට වටිනවා... ඒ විතරක්යෑ..අපේ සනත් අයියා නොහොත් ඔබා අයියා මට සංචාරේ යනවනං ඒකට අනුග්‍රහය දක්වන්න වැඩ පිළීවෙලක් ගැනත් හිතන්න අරගෙන..බොහෝම ස්තූතියි සනත් අයියේ..එච්චර අනුග්‍රහයක්නං ඕන කරන එකක් නැහැ ඒ වචනෙත් ඇති මටනං..ඒ විතරක්යෑ මේ උපදෙස් හා යෝජනා ටිකත් සෑහෙනවා...

හුග දෙනෙක් ඒ ඒ අයගේ පැති වලට ආවොත් කතා කරන්න කියලත් කියලා තිබුනා... ඒ හැම දේම හරි වැදගත් මගේ සැලසුම් වලට...

පුංචි හරි ස්ථාවරත්වයකුත් තියාගෙන රස්තියාදුවකුත් දාගෙන..හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදියට සංචාරක සටහන් ටිකක් ලියන්නත් ඇහැකි වෙන විදියට මං මේ දේ ලෑස්ති කරන්නයි කල්පනාව.. මොකද හිතන්නේ...

ආ තව එකක් කැමරා ගැන දන්න කියන අය පොඩ්ඩක් ඒ පිළීබඳව විස්තරත් දෙනවනං හොඳයි..මොකද කැමරාවක අගය මතු වෙනවා මේ ගමනෙදි..

ඒත් මං වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් නොවන නිසාත් ඔය බර පතල කැමරා ගැන හීනෙන්වත් හිතන්න මට හැකියාවක් නැති නිසාත්.. පොඩ්ඩක් මං වගේ කෙනෙකුට දරන්න ඇහැකි වෙන අඩුම මිල ගණන් යටතේ තියෙන තරමක් හෝ කොලිටියක් තියෙන විදියට පොටෝවක් ගන්න ඇහැකි කැමරා ගැන කියනවනං හොදයි...

තව එකක් අර කිව්ව ජාතියේ බයික් වලට හයි කරන පෙට්ටි තියෙන තැන් ගැන දන්න කවුරු හරි සිටී නම් ඒ ගනත් දැනුවත් කරන්න.. මොකද ඒක කර ගන්න ඕන ඉක්මනටම...

20 comments:

  1. මාරයා අයියාට 5 වෙනි එකේ ඩොංගලේට සිග්නල් තියෙන්නත් ඕනේ කියන්න අමතක වෙලානේ....

    ReplyDelete
  2. අම්මෝ ඔව්..ඒකනං ඇත්ත...:D

    ReplyDelete
  3. මාරය මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න වගෙයි ලෑස්තිය.
    කොහොම උනත් තමන්ගෙ අනාගතය ගැන හිතන එකනං කාටත් ගුණදායකයි.
    ඔය කැමරා නං දැං අඩු ගණන් වලට තියෙනවා. මං පාව්ච්චි කරන්නෙ Fuji AX200 එකක්. ප්‍රොපෙෂනල් වැඩ කරන්න බැරි උනත් පැනරෝමා, මැක්‍රෝ වගේ ඔප්ෂන් ඒකෙත් තියෙනවා. සාමාන්‍යයෙන් 14000 ක් 15000 ක් අතර ගානකට ගන්න පුලුවං. අපේ ඉන්ද්‍රනාථ මහත්තයගෙං ඇහුවනං හොද කැමරාවක් ගැන දැනගන්න පුලුවං වෙයි.

    ReplyDelete
  4. හරි, ඔය තියෙන්න මැද මාවතේ ගමන...

    කිසිම දෙයක් ඕනෑවට වැඩියෙන් ඕනෑම නැත...ජයෙන් ජය.

    මගේ දැනුමේ හැටියටනං, ඔය කියන කියන "power inverter" මොටෝ බයිසි වලට ගැලපෙන්නේ නැහැ බයිසියේ විද්‍යුත් ධාරාවේ තියෙන සිමාවන් නිසා. අටවාගෙන පාවිච්චි කලත්, එක බයිසියේ තියෙන අනෙකුත් ප්‍රධාන පද්දති වලට බලපෑමක් කරන්න පුළුවනි. අනෙක 12v, 220vට හරවලා ආයෙත් ලැපට ගැලපෙන 9v හෝ සමාන අගයකට හරවන එක තේරුමක් නැති වැඩක්. නමුත් මෙය කල නොහැකි වැඩක් නෙමෙයි, අවශ්‍ය ගැලපෙන adapter එකක්. නමුත් වෙළද පොළෙන් කෙලින්ම මිලදී ගත හැකිද යන්න ගැටළුවක්, නමුත් මේය තැනකින් පහසුවෙන් සාදා ගත හැකියි.

    ReplyDelete
  5. සරල ජීවිතේටත් වඩා මම නම් කියන්නේ කූල් පිට ඉන්න පුළුවන් නම් ඕන එකක් කියලා මාරයියේ...

    කැමරා ගැන කියනව නම් අයියගේ අවශ්‍යතාවේ හැටියට Fuji J-Series එකේ කැමරාවක් හොඳයි වගේ.එහෙම නැත්තම් Sony Cyber-shot W-Series කැමරාත් හොඳයි.ගානත් ශේප්.පොඩ්ඩක් බලලා ගන්න.අර කිව්වත් වගේ ඉන්ද්‍රනාථ සර්ගෙන් අහලා බලන්න.

    ReplyDelete
  6. ප්‍රොෆෙශනල් කැමරාවක් ගන්නනම් මගෙත් හිතේ තියෙනවා... :D

    ReplyDelete
  7. සම්පූර්ණ පර්සනල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙන්න යන හැඩයි මචං.

    උඹ දන්නවද ලෝකේ මිනිස්සු ගොඩක් කැමතියි දැනට ජීවිතේ ගෙවන රටාවෙන් වෙන රටාවකට අවතීර්ණ වෙන්න. හැකි ඉක්මනට. කොටින්ම මාත් කැමතියි.

    උඹ දැනටමත් ප්ලෑනුත් ගහලා :) ඒ අතරේ අපි තව හිතලවත් නෑ. අපි තාම රවුමේ යනවා. අපි කිව්වේ බොහෝ දෙනෙක්.

    කතාවේ අන්තිමේ තේරෙන දේ තමයි උඹ දැනටමත් දිනලා කියන එක. ජය!

    ReplyDelete
  8. සම්ප්‍රදායික රටාවෙන් මිදුන
    බොහෝ දෙනා හිතන්නවත් කැමති නැති
    ජීවිතේට අලුත් යමක් එකතු කරගන්නට කැමති
    මෙවනි චරිත ගොඩාක් අගය කරමි.

    ReplyDelete
  9. මාරයිය අන්තිම වතාවට කියන්නේ..ඔයා නාගන්නයි හදන්නේ.. ඔය මනස්ගාත අත ඇරලා ප්‍රයෝජනවත් වැඩක් කරන්න..

    ReplyDelete
  10. Olympus m-Tough would suit you as it is waterproof (and shockproof)

    Ano-01

    ReplyDelete
  11. කලින් ආතල් එකක් වගේ පෙනුනට, දැන්නම් වැඩේ කෙරෙන පාටක් තියෙන්නේ.. සුබපැතුම් අයියන්දී.. අලුත් කතා බර ගානක් අහන්න ලැබෙයි ලගදීම ඒ කියන්නේ... මරු මරු මරු...

    ReplyDelete
  12. @Niroshan:
    මචෝ මමත් ඔය භාංඩෙ බයික් වලට පාවිච්චි කරල නෑ . . . .හැබැයි ඔය වාහන වයරිං සබ්ජෙක්ට් එක දන්න මගෙ මිත්‍රයෙක් කිවුව පුලුවං කියල. වෙලාවක ටැස් කරල බලන්න ඕනෙ.
    12V, 220V වලට හරෝල ආයෙත් 9V කරන එක නෙමේ මචෝ මෙතන තියන සීන් එක . . . . අලුතින්ම ට්‍රැවල් චාජර් වලට වියදං නොකර ඉඳීම

    @මාරෙ:
    1. කැමරාවට උඹේ බජට් එක කීයද ?
    2. වරෙං වෙලාවක පංචිකාවත්තෙ ගිහිං බලමු බයික් පෙට්ටි

    ReplyDelete
  13. තුන් වෙනි සැළසුම නම් නරකම නැහැ මාරයෝ..මම හිතන්නෙ ඒක තමයි වඩා ප්‍රායෝගික.මෙලෝ රහක් නැති සාමාන්‍යය එකක්මත් නෙවෙයිනෙ. කරන දෙයක් කල්පනාවෙන්..අමතක කරන්න එපා කවදහරි දවසක තමන් හිසට තම අත්මය සෙවනැල්ල කියලා

    ReplyDelete
  14. මාරය මලයා... ( පළවෙනි පාරට වයස ඇදල ගත්තෙ )
    ටිකක් දිග කොමෙන්ටුවක් වෙයි....

    ඔය තුන්වෙනි වැඩේ නම් හරියන්නෙ නෑ... ඔන්න කෙලින්ම කිව්වා.....

    දැන් බලමු ඇයි කියල..

    මාසෙකට සැරයක් දවස් පහක් එක දිගට වැඩ කරල ඊ ලඟට දවස් හතරක් එක දිගට ඇවිදින්න යනව කියන එක අතිශය වෙහෙසකර වැඩක්... ඔබේ ඇවිදීම විනෝදමත් එකක් වෙන්නෙ නෑ... ඒ වගේම මාස දෙකක් කොහොම හරි කලොත් තුන්වෙනි මාසෙ දවස් පහ ඇදල ඉවර වෙලා හය වෙනි දවසෙ ඇවිදින්න යන එක පනිෂ්මන්ට් එකක් වගෙ දැනෙයි...

    ඒ වගේම ඔබේ ශරීර සෞඛ්‍යය දුර්වල වෙන්න ඉඩ තියෙනව...( කෙසේවත් එසේ නොවේවා ! )

    ReplyDelete
  15. අනිත් කාරනය ඔබ පාවිච්චි කරන මෝ බයිසිකලය....ඔවැනි දුර ගමනක් සඳහා කෙතරම් සුදුසුදැයි සිතා බලන්න... එය 125 cc- 175 cc අතර වන එකක් යැයි අනුමාන කරනව... එවැනි බයිසිකලයක්... එදිනෙදා පාවිච්චියට... කෙටි දුරවල් ගමන් කිරීමට සුදුසුයි...නමුත් ඔබ හිතන විදිහේ කටයුත්තක් සඳහා... තරමක් වැඩි cc ධාරිතාවක් ඇති දුර ගමන් කිරීමේදී කොඳු ඇටපෙල නිවැරදි ඉරියව්වේ පවතින ලෙස සැකසූ විශේෂ හැඩයක ආසනයකුත්,විශේෂිත හැඩයක් ඇති හැඬලයකුත් ( ? ) සහිත බයිසිකලයක් අවශ්‍යයි... නැතිනම් කල් පවතින කොන්දේ ආබාධ ඇති විය හැකියි...

    තව එක් විවාදාත්මක කරුණකුත් ලියා මෙය අවසන් කරන්නට කැමතියි... ඔබ කොයිතරම් අඩු වියදමකින් කරන්න හිතුවත් මාසෙකට දින හතරක් සංචාරය කරමින් ,නැවතෙමින්(lodge වෙමින් ),ඉන්ධන වලට වියදම් කරමින් ගතකරන්නට හිතනවානම්... එවැනි අමතර ආදායමක් ඉපැයිය යුතුයි.. නැතිනම් ඔබේ තැන්පත් ධනය ක්ෂය කර ගැනීමට සූදානම් විය යුතුයි...

    මා කියන්නේ මෙයයි..

    ඔබට තරමක් මහන්සි වී හෝ පලමු සැලැස්ම ජය ගත හැකිනම්...( ඉලක්කය එසේම තියගෙන උපාය වෙනස් කරන්න ( keep the goal steady; change the strategies ) එවිට අමාරුකම් මගහරවාගත හැකියි). රට වටේ නොව වසරකට වරක් දෙවරක් ලොව් කොතැනක හෝ ලස්සන තැන් බැලීමට පවා හැකිවේවි...

    ප.ලි. මේ ගෙවෙන්නෙ රාහු මහ දශාව වත් ද ?

    ReplyDelete
  16. අඩේ සපතේරු උන්නැහේ බයික් ගැන කියාපු කතාව නං හරියටම හරි . . . . ඉන්දියන් බයික් වල ඔය වගේ දුරක් දවස් ගානක් යනව කියන්නෙ පු* උගුරට එන වැඩක්. ඔය කියන ස්පෙසි‍ෆිකේශන් තියන බයික් එකක් (රෝඩ් මාස්ටර් එකක් වගේ) ගන්න සල්ලි අමාරු නං . . . හැඬල් එක උස්සපු සුසුකි GN එකකටවත් බැල්ම දාපං. පොඩි පොඩි මොඩි‍ෆිකේශන් ටිකක් කලාම කෲසර් එකක තත්වෙට ගන්න පුලුවං. කොහොමත් කිලෝ මීටර් 100කට වඩා පදිනවනං කෲසර් එකක්ම තමා ඕනෙ . .

    ReplyDelete
  17. හපොයි බන් ඕනේ ඔය එකෙත් දවසට 100 කිමි වලට වඩා යනව කියන්නෙ මහ අමාරු වැඩක් බන් අත් දැකීමෙන් කියන්නෙ.
    අනික අර කොන්වර්ටර් ගන්න පුලුහන් කොහෙන්ද කියහන්කො.

    ReplyDelete
  18. සපතේරු උන්නැහේ ගෙ කතාවට මාත් එකඟයි. මම තුන්වෙනි සැළසුම හොඳ එකක් විදියට දැක්කෙ රැකියාව කරන ගමන්ම සංචාරෙත් කරනවා කියන අර්ථයෙන් පමණයි. අපි හැමෝම කරන්නෙත් ඒකනෙ. ඒත් මාරයාගෙ සංචාරෙ දුර සහ ගමන් ක්‍රමය ගැන හිතන කොට අර කිව්ව විදියට උපාය මාර්ගයෙ වෙනසක් කරන එක හොඳ අදහසක්.

    ReplyDelete
  19. ඔය බයිසිකල් ගැන නං ආයෙ ඕනය තමයි ඔස්තාද්. මිනිහ හාව තියෙන්නෙ ලංකාවටම එකයි ජාතියෙ එකක් නෙව. ඕං මේ දවස් වල ෆයිබර් ග්ලාස් වැඩපොලක් හොයනව......

    @ මාරයා

    මම මේ සිරාවටම කියන්නෙ. ඔය වගේ ජීවිතයක් ගතකරන්න යන මන්තිලි බජට් එක නිකමට වගේ හදල බැලුවද ?

    ReplyDelete
  20. මේ සැලසුම නම් නරකම නැහැ, ගොඩ ඉඳලා පීනන්න බැහැනෙ නරකද ට්‍රයල් එකක් ගිහිං බැලුවොත් දවස් පහක විතර.

    ReplyDelete