10 July 2011

ධනපාල කතා වස්තුව... ජීවිතේ අතරමගදී...

"ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදෙන්..උතුම් වූ දළදා සමිඳු පිහිට ආරස්සාවෙන්..සමන් දෙවි රැකවරණයෙන්..ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආනුභාවයෙන්...තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරස්සාවෙන්..සතර වරම් දෙවි රජවරුන්ගේ ඇල්මෙන්..බැල්මෙන්..දයාවෙන් කරුණාවෙන්...විෂ්ණූ කතරගම විභීෂණ..සිද්ධ පත්තිනි දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව බැල්මෙන්...

මේ දුන්නා වූ දෙයට නිවන් දකිනාතුරා..මතු උප නුපන් ජාතියක් ජාතියක් පාසා..මට වන් දුකක් නොවී.. උසස් උසස් රාජ රාජ මහාමාත්‍යාදී කුලයන්වලම ඉපිද..වස්තු සම්පත්..රූප සම්පත්..නිරෝගී සම්පත් ඇතිව..දුටු දුටුවන් පිත් පිනනා මන වඩනා සෝබමාන දේහ සම්පත් ඇතිව........"

ඔහු කියවා ගෙන යයි..මොහොතක්දු නොනැවතී කියවාගෙන යයි...අසන්නා මුලින්ම තරමක් වික්ෂිප්ත වූවත් තත්පර ගණනකදී එම ස්වභාවය පහව ගොස් අර හෑල්ල අසා සිටීමට කාට වූවද සිත්දේ... එය එතරම්ම සිත් ඇඳ ගන්නා සුළු වූත් ප්‍රිය උපදවන්නා වූත් පින් දීමකි...

..............................................

ධනපාලව මා මුලින්ම හඳුනා ගන්නේ වර්‍ෂ 2002 අග භාගයේදී පමණය...සමහර විට එය 2003 මුල් කාර්තුවද විය හැක...

මා උන්නේ පන්සල් මිදුලේ තිබූ වල් පැල උගුලවමිනි... කුඩා ප්ලාස්ටික් බාස්කට් එකක් පසෙකින් තබාගෙන අතරින් පතර වැලි අතරින් දළු දාගෙන ඉහලට ඇදීගෙන එන ලා තණ පත් මුලින් අල්ලා සීරු මාරුවට උගුල්ලමින් බාස්කටයට දමමින් පැයක් දෙකක් පමණ කාලයක් පන්සල් මිදුලේ ඇති ගස් කොලන්වල හෙවණට මුවා වී මෙම කාරිය කිරීම මා සිත් ගත් දෙයක්ය..එය එක් අන්දමකින් භාවනාවක් වැනි දෙයකි. නමුත් තවත් පසෙකින් සත්ව ඝාතනයක් මෙන්ම සිත කම්පා කරවන්නකි.

තැනින් තැන ඇති තණ පත් එකින් එක ගැලවී මිදුලේ කොටසින් කොටස වැලි පමණක් සහිත පිරිසිදු දසුන මතු වී පෙනෙනා විට ඒ හා සමගම සිතේ ඇති වල් පැලද ඉවත් වී සිත යම් පිරිසිදු තත්වයකට..සැහැල්ලුවකට එනවාක් මෙන්ම....

ඇතැම් තැනක අගලක්..තවත් තැනක ඊටත් වඩා වැඩි ඝණකමකින් යුක්ත වූ වැලි තට්ටුව පසා කරගෙන බොහෝ අසීරුවෙන් ඉහළට ඇදී ආ පලාවන් පැහැ ගත් පත්‍ර එකක් දෙකක් හෝ ඇතැම් විට තුනකින් සමන්විත තෘණ ශාකය මුලත් සමග උදුරා දැමීම තවත් පණක් නසනවාක් වැනිම හැගීමක්ද සිතට ගෙන එනවා නොවෙද..?එහෙත් පන්සල් බිම වල් වැදී යනු බලා සිටීමත් කන වේලක් ගානේ ණයකරුවෙකු වෙනවා මෙන් දැනෙන හැඟීම වලකා ගනු පිණීසත් කල යුතු දේ කරන්නට සිදුව ඇත..

මෙවන් හැගුම් අතර සිත බැඳී තිබූ මොහොතක යාන්තමින් ඇස් කොනින් මෙන් මා පිටිපස කිසිවකු සිටිනවා මෙන් දුටු බැවින් කරමින් තිබූ වැඩය මඳකට නවත්වා එදෙස හැරී බැලිමී...

අඩි පහකට පමණ ආසන්න උසකින් යුත් වයස හතලිහක් හතලිස් පහක් පමණ වන හිස කෙස් තරමක් දිගට වැවී තිබූ..දින දෙකකින් පමණ නොකැපූ අන්දමේ රැවුලකින් යුතු.. සරමකින් කමිසයකින් සැරසුන මිනිසකු මා දෙස බලා හිස පසෙකට ඇල කර බුලත් කහටින් අව පැහැව ගිය දසන් දක්වා සිනාසෙමින්...

"නායක හාමුදුරුවෝ නැතෙයි..?"යනුවෙන් විමසා සිටින ලදි...

"මොන නායක හාමුදුරුවෝද..?"

"මේ පන්සලේ නායක හාමුදරුවෝ.."

"ආ මේ පන්සලේ නායක හාමුදුරුවොනං මං දන්න තරමින් ඉන්නේ පිට රට..ඒත් උන්වහන්සේ දැන් අවුරුදු ගාණකින් මෙහෙට වැඩම කරලා නැහැ..ආයේ කවදා වැඩම කරයිද දන්නෙත් නැහැ"

"ආ එහෙමද..? එහෙනං කවුද දැන් ඉන්නේ..? මට කාව හරි කමක් නැහැ දැන් ඉන්න හාමුදුරුකෙනෙක් හම්බ උනානං ඇති"

"ආ ඉන්න එහෙනං"

කරමින් තිබූ වැඩේ අවසන් කිරීමටත් කාලය ලගා වී තිබූ හෙයින් බාස්කටයත් රැගෙන ආවාසය දෙසට ගමන් කරනා අතරම.. මෙම කතා බහ ඇසී ආවාසය තුල වැඩ හුන් පොඩි හාමුදුරුවන් ආවාසයෙන් පිටතට වැඩම කරනා බව දුටු බැවින්..

"පොඩි හාමුදුරුවනේ මෙන්න මේ කෙනා හාමුදුරුවන්ව හම්බ වෙන්ට ඕනයි කියනවා"

කියමින් මා එතනින් පිටව ගොස් ගලවන ලද වල් පැල ආවාසය පිටුපස කුණු ගොඩට දමා තුවායත් රැගෙන ගොස් ඇඟපත සෝදා ගතිමි.

මා එනවිට පැමිණී අමුත්තා දක්නට සිටියේ නැත. එහෙත් පොඩි හාමුදුරුවන් විසින් ඔහු පිළිබඳව මා හට දැනුම් දෙන ලදි.

"හිඟන මනුස්සයෙක්..හැබැයි නම්බු ඇතිව"

"හ්ම්ම්..මොකද කලේ..?"

"මොනවා කරන්නද දෙන්න දෙයක් තියේයෑ.."

"ඒකත් ඇත්ත"

පොඩි හාමුදුරුවන් කියන කතාවේ වරදක් නැත. මේ අවදිය වන විට පන්සලේ තත්වය අන්ත දුක්ඛිත විය. එක් දාන වේලක් පැමිණි පසුව ආයේ දාන වේලක් ලැබෙන වෙලාවක්..දිනයක් පිළීබඳව හරියාකාරව කීමට හැකියාවක් නොතිබිණී... පන්සල් භූමිය තුල ඇති සම්පත් සීමිත විය... සීනි තේ කොල ටිකත් හිග පාඩු මට්ටමින් පැවතිණි...රුපියල් දහයත් ලොකු මුදලක් ලෙස දැනෙනා අවස්ථාවන් එමටය...

එම කතාව එතැනින් අවසන් විණි...

...................................

මා පැවිදි වූයේ වර්‍ෂ 2003 ජූලි මාසයේදීය...පැවිදිව මාස කිහිපයක් ගත වූ තැන මට නැවතත් පෙර කී පුද්ගලයා මුණ ගැසිණි..උදෑසන 10ට පමණ ආසන්න වේලාවකදී මා ආවාසය ඉදිරිපිට ඇති පුටුවක වාඩි වී පිරිත් පොත පාඩම් කරමින් හුන් අවස්ථාවේදී ඉදිරි පස පාරෙන් සෙමෙන් සෙමෙන් ඉහලට එසවී ආ ඔහුගේ රුව මා ඉදිරිපිට නැවතිණි...ඔහු පිළීබඳ යන්තම් මතකයක් ඒ වන විටත් මා සතුව තිබිණී...

"අපේ හාමුදුරුවනේ..පුංචි ආධාරයක් බලාපොරොත්තුවෙන් ආවේ.."ඔහු හඩ අවදි කරයි..

"මොකදෑ වෙන්න ඕන උපාසක මහත්තයට..?"

"අනේ හාමුදුරුවනේ මං මේ ටිකක් දුර ඉඳලා ආවේ..මගේ මේ අතේ අමාරුවක් හින්දා මට මොනවත් වැඩක් පලක් කර ගන්ටත් අමාරුයි..ඒ මදිවට මට වලිප්පුව හැදෙනවා..ඉස්සරනං මං වඩු වැඩ කලා..ඒත් මේ අසනීපේ හින්දා මාව දැන් කොහේවත් වැඩකට ගන්නේ නැහැ..මැෂින් වලට වැටිලා මොනවා හරි වෙයි කියලා බයට..ඒත් මං එපෑ හාමුදුරුවනේ අපේ අම්මයි තාත්තයි බලා ගන්ට..ඒ මදිවට මැරිච්ච අයියගේ දරුවෝ දෙන්නත් අපේ ගෙදර.. අයියගේ පවුල වෙන මිනිහෙක් එක්ක ගිහින්......"

දීර්ඝ විස්තරයකි.ඇත්ටම දුක හිතෙන ආකාරයටත් ඔහු පිළීබඳව තරමක විශ්වාසයක් ගොඩ නැගෙන පරිදිත් එම විස්තරය ඉදිරිපත් කිරීමටත් ඔහු සමත්ය...මේ වන විටත් පන්සලේ තත්වය එතරම්ම විශාල ලෙස ගොඩනැංවී නැතත් මේ මිනිසා ආපසු හරවා යැවීම යුතු නැත...

"පොඩ්ඩක් ඉන්නකෝ බලන්න.."

"එහෙමයි අපේ හාමුදුරුවනේ.."

ඇත්තටම දීමට තරම් දෙයක් හෝ මුදලක් නැතත් මිනිසාට ප්‍රයෝජනවත් යමක් පිළීබඳව සිතේ යම් අදහසක් තිබිණී..එනම් දුම්කොල මල්ලයි...

පන්සලට ඉඳ හිට හෝ දානය ගෙන ආ පෙර දිනවලදීත් ගිලන් පස රැගෙන ඒමේදී ඇතමෙක් බුලත් අතක් දුම්කොලයක් සීනි තේකොල ඇබින්දක් ගෙන ඒමට හුරුව සිටියහ.. එසේ ලැබෙන සීනි තේකොල පාවිච්චියට ගන්නා අතරම බුලත් අතත් වැඩ සිටි හිමිවරුන් මෙන්ම ආ ගිය ගිහි අයගේ විටට ගන්නා ලදි..එහෙත් බුලත් තරම් දුම්කොල වැය නොවන බැවින් අතරින් පතර දුම්කොලයක් හැර අන් සියල්ල මල්ලක එකතු කරන්නට මා හුරු වී තිබිණි. පෙර දිනවලදී නම් පන්සලේ රැඳී සිටි අරුණ නැමැත්තා දුම්කොල වලින් ප්‍රයෝජන ගන්නා ලදි..

එනම් දුම්කොලය මදක් රත්කොට සිහින් තීරු ඉරා එය හීනියට ඔතා පත්තු කර දුම් ඉරීමයි..එයට ඔහු හට මනා හැකියාවක් තිබිණී...නමුත් මේ වන විට ඔහු පන්සලට ආවේ ගියේ නැති අතර..පෙර මෙන් නොව දැන් දිනපතාම දානය රැගෙන එන්නට උපාසක ඇත්තන් සිටීමත් හරහා දුම්කොල එකතු වීමත් හොඳින් කෙරුනි..අවට පන්සල්වල හිමිවරුන් පැමිණි විට මෙයට අත දමා හොද දුම්කොලයක් දෙකක් විට පිණීස ගෙන ගියද සෑහෙන දුම්කොල ප්‍රමාණයක් එහි ඉතිරිව තිබිණි.

ඒ වන විටත් එහි දුම්කොළ තිහක්වත් තිබෙන්නට ඇත...එයත් රැගෙන ආවාසයෙන් එළියට ආ මා...

"උපාසක මහත්තයා දෙන්න කියලා මහ ලොකු දෙයක් නං නැහැ..ඒත් මෙන්න මේ දුම්කොල උරය අරන් යන්න..වෙලාවේ හැටියට මට මීට වඩා යමක් දෙන්න විදියක් නැහැ..තාම මේ පන්සල ටික ටික ඔළුන උස්සනවා විතරයිනේ..මෙතන දුම්කොල ටිකක් තියෙනවා..මේ ළගපාත කඩයකට නොදී ටිකක් දුරකට ගිහින් මේක විකුණ ගන්න කීයක් හරි ගන්න බැරිවෙන එකක් නැහැ"

එසේ කියමින් දුම්කොල උරයේ කට බඳිමින් ඔහු අත තැබීමි...දොතින්ම එය අතට ගත් පුද්ගලයා එක් වරම තරමක් ශබ්ද නගමින් මා ඉහතදී සඳහන් කල පින් වාක්‍යය කියවන්නට විය...

ඇත්තෙන්ම විනාඩි තුනක් පමණ කාලයක් හුස්මක්වත් නොගෙන මෙන් කියාගෙන යන පින් වාක්‍යය ඔහුට බොහෝ සෙයින් කටට හුරුව ඇත..එහි අර්ථය නම්..මොහුට මෙම සිගමන හොඳින් හුරු වූවක් බවයි..ඉන්මට ඇති වැඩේ කිම..?එහෙත් පින් වාක්‍යය අසා සිටි මට තව වචන කිහිපයක් ඔහු හා කතා කරන්නට රිසි විය... ඒ

"හරි අපූරුවට පින් දෙනවා නෙව..මහණ වෙලාවත් හිටියද.."

මන්ද යත් මහණ වූ අපට නම් පින් වාක්‍යය කීම අප හසු නොවේ..

"ඉච්ඡිතං පත්විතං තුහියං..
ඛිප්ප මේව සමිජ්ජතු..
සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා
චන්දෝ පණ්ණරසී යථා..."

ආදී වශයෙන් පටන් ගෙන දුන්නා වූ දානයේ ආනිසංස වර්ණනා කොට දිව්‍යය ලෝක පෙන්වා..අනතුරුව මනු ලොවට ගෙනවුත් එහි සැපත් වින්දවා..අනතුරුව මෛත්‍රී බුදුනුත් පෙන්වා බණත් අස්සවා නිවන් දක්වනා අන්දමින් එම පින් වාක්‍යය සකස් කොට ඇත...

ධනපාලගේ පින්වාක්‍යයත් එයට දෙවැනි නොවේ..ඔහු සමස්ථ දේව මන්ඩලයම පොළවට ගෙනවිත් දනය දුන් තැනැත්තාගේ වටා සිටුවා ආරක්ෂාව තහවුරු කරයි.

"ධනපාල" ඔව් ඒ ඔහු විසින් මා හට කියනු ලැබූ නාමයම වේ... දැන් මෙය කියවන ඔබගේ සිත ඇදී යන්නේ කොතනටදැයි මා හොඳින්ම දනිමි..ඒ "සන්ෆ්ලවර්" කන්ඩායමේ අර ජනප්‍රිය ගීතය වෙතයි... අහම්බයක් වූවත් නොවූවත් ඇත්තෙන්ම මේ ධනපාලගේ කතා වස්තුවයි...

මෙසේ කිහිප වරක්ම මාගේ පස් අවුරුදු පැවිදි සමය තුලදී මා හට ධනපාල හමු විණී... ධනපාල නරක අයකු නොවේ..නිතර නොපැමිනේ..එහෙත් මාස තුනකට සැරයක් අනිවාර්යයෙන්ම පැමිණේ...එය යම් ආකාරයක බදු එකතු කිරීමක් මෙන් වූවත් ක්‍රම ක්‍රමයෙන් පන්සලේ තත්වය දියුණු කිරීමට මා හට හැකි වී තිබූ නිසා ඔහුගේ පැමිණීම මා හට ගැටළුවක් නොවිණි... ඔහුගේ සිත සපුරා ආපසු යැවීමට හැකි තත්වයක් පස්සෙන් පහු ඇති වී තිබිණි...

........................................

දිනක් මා සිටි පන්සලට තරමක් දුරින් තිබූ නගරයකට කිසියම් උවමනාවක් සඳහා යාමට මට සිදුව තිබිණි.මට මතක හැටියට නම් කිසියම් මුද්‍රණ කටයුත්තක් පිණිස විය යුතුය. මා මගේ කාර්යය නිම කොටගෙන නැවත එම නගරයේ වූ ප්‍රධාන බස් නැවතුම්පලට පැමිණ මගේ පන්සල පිහිටි ප්‍රදේශයට ගමන් ගන්නා බස් රථයකට ගොඩ උනෙමි...කුඩා ඉසුසු තනි දොර බස් රථයක් වූ එහි පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන්ව තිබූ අසුන කරා මා ගියද ඒ වන විට එහි යම් අයෙකු වාඩි වී සිටියේය...එහි වූ අනිත් අසුන මත විශාල එළවළු බෑගයක් තබා ඒ මත තම අතද තබාගෙන දුම් වැටියක්ද දල්වාගෙන සිටියේ අනිකකු නොව "ධනපාල"ය...

මා ඔහු දෙස බැළුවත් ඔහු මා නොදුටුවා සේ දුම් වැටිය උරන්නට විය.. බස් රථයේ පසුපස තවත් ආසන හිස්ව තිබූ මුත් ඒවායේ වාඩි වීම පෞද්ගලිකව මට අපහසුවක් නොවූවද චීවරයට කරන්නා වූ යම් නිගරුවක් බැවින් එම බසයෙන් බැස ඊ ළග බසයෙන් යාමට තීරණය කල මා බසයෙන් බසින්නට සූදානම් වෙත්ම ධන පාල වාඩි වී සිටි අසුනට සමාන්තරව අනික් පසින් තිබූ තනි ආසනයේ වාඩි වී සිටි අයකු ඉන් නැගිට..

"මෙතනින් වාඩි වෙන්න අපේ හාමුදුරුවනේ"

යනුවෙන් පවසන ලදි...තනි දොර බසයේ දොරට ඉිදිරි පසින් තිබෙනා ආසනයේ වාඩි වී යාම තරමක් අපහසු වන්නේ එහි පාද තබා ගැන්මට වන්නේද තරමක් ඉහළිනි..එහෙත් අපහසුතාවය ගනනකට නොගෙන එහි වාඩි වී ටිකට්ටුව සඳහා මුදල් අතට ගෙන සිටියේ කොන්දොස්තර තැන මා වෙත එනතුරුය...

ධනපාල සිගරට්ටුව බොන අතරම මා දෙස බැලීය..එහෙත් නාඳුනනා බැල්මකි...මා සිනාසුනෙමි... මුලින් නාදුනන සේ සිටි පුද්ගලයා යන්තමින් මා හා සිනා සිණි...

"කොහොමද ධනපාල..කොහේද මේ යන්නේ..?"

සිතා ගැන්මටවත් කාලයක් නොවීය..සිගරට්ටුව අතින් ගුලි කරගත් ධනපාල එළවළු බෑගයත් රැගෙන තත්පර දෙකක් වැනි කාලයක් තුලදී බසයෙන් බැස සෙනග අතරෙ නොපෙනී යන ලදි...බසයෙන් බැස්සා නොව පැන්නා යයි කිවහොත් නිවැරදිය... මා හට ආසනය දුන් පුද්ගලයා මාහා සිනාසී

"හාමුදරුවෝ දන්න කෙනෙක්ද.."

"ඔව් ටිකක් විතර"

"පුදුම මිනිස්සුනේ..මුලින් හාමුදුරුවන්ව දන්නෙවත් නැති විදියටනේ උන්නේ.."

මා සිනා සී නිහඩ වීමි...

....................................................

එයින් මසකට පමණ පසුව මා ආවාසය තුල සිටියදී කිසිවකු මා අමතනවා ඇසී ඇඳ සිටි අඳනයට උඩින් සිවුර පොරවමින් එළියට එන විට ධනපාල ආවාසය ඉදිරි පිට සිටගෙන සිටිනු දක්නට ලැබිණී...

"අපේ හාමුදුරුවනේ මං මේ.."

"ආ ධනපාල සෑහෙන දවසකින් නේද..? මොකද එදා .................දී මා කතා කලාම බස් එකෙන් පැනලා දිව්වේ..?"

ධනපාල උඩ බිම බලන්නට විය...

"ඈ..කොහේදීද හාමුදුරුවෝ මාව දැක්කේ..?"

"ඇයි ධනපාල අර බස්එකේ වාඩි වෙලා එළවළු මල්ලත් තියාගෙන සිගරට් එකක් එහෙම බිබී හිටියේ..අර මං අනිත් සීට් එකේ වාඩි වෙලා කතා කල ගමන් පැනලා දිව්වේ.."

තවත් කිසිවක් කියන්නට නොතබාම ආපසු හැරුනු ධනපාල අඩියට දෙකට දිව යන ලදි...

"ධනපාල ඔහොම ඉන්නවා මනුස්සයෝ.."

"ආ ආ හරි හරි හාමුදුරුවනේ..මං එන්නං.."

කියමින්ම නැවත ආපසු නොහැරීම පිටත්ව ගිය ධනපාල එදායින් පසුව මා දුටුවේ නම් නැත...

36 comments:

  1. අහ් අද්භූත කතාවක් කියෙව්වා වගේ.............

    ReplyDelete
  2. පව් ධනපාලට මාර බය දැනෙන්න ඇති. :D

    ReplyDelete
  3. ඔය වැටිලා තියෙන්න මාරයිය ආපහු ට්‍රැක් එකට..


    mothagamanaya.blogspot.com/

    -මොතා

    ReplyDelete
  4. ඕකට කියන්නේ දනපාල "පන දාල" දුවනවා කියලයි!

    (මේ වාක්‍යය අහල තිබුනේ පොඩි කාලේ ඉඳන්. නමුත් අදයි - මං දැන ගත්තේ මේකේ මූලාශ්‍රය!!!)

    ReplyDelete
  5. අනේ කමක් නෑ ධනපාලට සරු වගේ...
    එලවලු මල්ලක් අරගෙන සිගරට් එකක් බොන්න සෑහෙන වත්කමක්
    තියෙන්න එපාය.

    ReplyDelete
  6. මොන පවක්ද ඒක ඒ යකාගෙ ජොබ් එක නේ...

    ReplyDelete
  7. ඇත්තට ඇයි අයියේ පොර දිව්වේ..?

    ReplyDelete
  8. පන්සලක් කියලා කියන්නේ ගොඩක් කට්ටියට පිහිට වෙන තැනක්. කාට උනත් දුකකදි පන්සල මතක් වෙන එක නම් හොදා.

    පව් අර ධනපාල !!!!

    ReplyDelete
  9. ධනයා පොඩ්ඩක් ඔලුව උස්සන්න ඇති

    ReplyDelete
  10. අපොයි! පුදුමයි මාරය අයිය අන්තිම දවසෙත් ඒ මනුස්සයට හොඳට කතා කලා. මට එහෙම වුනා නම් දෙකක් කියල පටන් ගන්නෙ.

    ReplyDelete
  11. අර උඩින් කියල තියෙන දෙයියො ටික ධනපාලට හම්බඋනාද දන්නෑනෙ.

    ReplyDelete
  12. මක්ක කොරන්නැයි බන් . . .

    එක එක ජාතියේ මිනිස්සු . . . !!

    ReplyDelete
  13. මිනිහගෙ හිතේ වරදක් කලා කියන එක තියෙන්න ඇති.. මරු පොරක්නෙ හැබෑටම

    ReplyDelete
  14. ධනේ වත්ත වටේ ගියාට, යහමින් යමක් කමක් ඇති එකෙක් නොවැ.....

    කිව්වත් වගේ දෙයියො ටික ධනයව ගොඩ දාන්න ඇති පව් කියල.....

    මමත් ෆුල් සොමියේ කොරන දෙයක් තමයි නිවී හැනහිල්ලේ තණකොල උගුල්ලන එක...

    ReplyDelete
  15. අප මෙම කතා වස්තුව තුලින් දැක්වෙන අරුතින් . සිහිතබා ගත යුත්තේ .. යාචකයින් කිසි විටකත් ධනපාල වෑනි නම් භාවිතා නොකර සිරිපාල වැනි නම් භාවිතා කල යුතු බවයි


    හැබැයි මාරයො... මට වෙලාවකට හිතෙනවා අර දුම්කොළ ගැන හිත වැටිලා අර හිගන්නා බය කරලා එලවලා අපිට දැන් මුසා ඇද බානවද කියලා

    ReplyDelete
  16. ඔබතුමාගෙ පන්සල් කතානම් ආයෙ ඉතින් අහන්න දෙයක් නැහැ. පන්කාදුයි.
    නියමයි මාරයෝ ආසාවෙන් කියෙව්වා.
    JH

    ReplyDelete
  17. ඔන්න මාරෙ උඹ මට ෆිට් වෙන සබ්ජෙක්ට් එකකට බැස්ස..

    මිනිස්සු...

    කවදාවත් ඉවර වෙන්නැති විවිධත්වය ක් ඇති තමාව යලි යලිත් අඳුර ගන්නව වගේ වැඩක්...

    මොකද මිනිස්සු කියන්නෙ අපි නෙ..

    ReplyDelete
  18. "මාරයාගේ හෝරාව" බ්ලොගයේ මුල් ලිපි වල තිබුනු ලේඛන ශෛලය මේකෙන් නැවත දැක්කා.පසුගිය දිනවල මාරයාත් වෙස් පෙරලල වගේ තමයි හිටියේ.

    ReplyDelete
  19. අප්ප එලවලු මල්ලක් අරන් සිගරැට් එකකුත් ගැහුව කියන්නෙ හාමුදුරුවන්ට ආධාරයක් කරන්න සයිස් එකෙ වත්කමක් තියෙන්න ඕනි

    ReplyDelete
  20. ප්‍රශ්නයක් නැහැ . ධනපාල හොඳින් නම් ඒ මදැයි . .

    ReplyDelete
  21. මාරයෝ, මේකෙන් ජීවිතයට ගත යුතු දේ උඹ වහන්සේම කීවානම් තමයි හොඳ. මට නම් හිතා ගන්නත් බෑ. ධනපාල හරිද , හාමුදුරුවෝ හරිද කියලා !!!

    ReplyDelete
  22. දනපලගෙ කතව කියවද්දි මතක් උනේ මගෙ අම්මා.ඔය වගෙ දනපාල කෙනෙක්ට හෑම මසෙම ඈන්කර් පිටි 1ක් අරන් දෙනව අම්මා බස් එකෙදි දෑකල ඈන්කර් එක ගන්න එන ලේඩා හොද් මහත්තයෙක් වගෙ බස් එකෙ වාඩි වෙලා ඉදලා අම්මා දෑක්කම නිදි වගෙ ඉදල........ ඔය වගෙ දනපාලලා එමටයි............

    ReplyDelete
  23. මට හිතෙන විදිහට දනේ කොහෙන් හරි තැනකින් එලවලු මල්ලක් ගල් කරලා . ! එක්කෝ කාගේ හරි පොකැට් එකට ගහලා . ඒකනේ ඔය හාමුදුරුවෝ දැක්කාම පැනලා දිවුවේ . වෙන මොහකටවත් නෙවේ මූන දීගන්න බැරුව .

    ReplyDelete
  24. සමහරු නැති බැරි කමටත් , අබල දුබල වීම නිසාත් ඔය වගේ දේවල් කලත්, ගස් ගල් වගේ ඉන්න තනියෙන් යමක් කරගන්න පුළුවන් අය වගේම කිසිම අඟ හිඟ කමක් නැති සමහරුත් පුරුද්දට ඔය වගේ දේවල් ඉන්නවා.ඒ කොහොම වුනත් අපේ තල්මසුන් (අනුන්ගේ දේ හොරෙන් කන) එක්ක බලපුවාම මේ ගොල්ලෝ කූනිස්සෝ (අනුන්ගේ දේ ඉල්ලාගෙන කන) ..

    ReplyDelete
  25. මොනවා වුණත් ධනයාගේ හර්ද සාක්ෂියද මොකද්ද එක ඉතිරිවෙලා තිබිලා තියෙනවා... ඒකනේ මූණ දෙන්නැතුව මාරුවුණේ...

    වෙන එකෙක් නං කරන්නේ ඇඟට නොදැනි හෙන ගජබින්නයක් අතෑරලා තව ගානක් කපාගන්න එකයි...

    ReplyDelete
  26. මටත් හිතුනෙ Beetle කියපු දේමය්.

    ReplyDelete
  27. මෙහෙම ධනපාලල ඉන්න එක පුදුමයක් නෙවෙයිනේ.. ලේසිම ධනොපයන මාර්ගය හිඟමන.. හරිම අපුරු සටහන .. ඒ වගේම ලියල තියෙන ශයිලිය. අර මනුස්සය ගැන තරහක් ඇතිවෙන්නේ නැති විදිහට. ඇත්තටම ඒ මනුස්සය අඳුනගත්තෙ නැද්ද ? අඳුනගතත නම් පන්සලට ඒවිද ආයිත් හිඟමනේ ??

    ReplyDelete
  28. මුන් වගේ උන්ට තමා කියන්නෙ වංචාකාර @#% ^&ල කියලා

    ReplyDelete
  29. එල කතාව... ඔන්න මාරයියා නියම track එකට වැටිල... track පනිනව එහෙම නෙවි ඕන්... ධනපාල වෙනින් පංසලක් හොයාගන්න ඇති නේද...???

    ReplyDelete
  30. මට පුදුම බස් එකේදි මාරු වුන ධනපාල ආයෙම පන්සලට ආවෙ මොකද කියලා. සමහර විට හාමුදුරුවන්ව හරියටම මතක තියෙන්න ඇතුව ඇති. තවත් එක බොරු කාරයෙක් විතරයි...

    ReplyDelete
  31. @පූසා...

    අනේ බං එහෙං පිටිංම සත්‍යය සිදුවීමක්...

    @නලිනි චන්දිමා...

    හික්..ඔය කිව්වේ..

    @මොතා...

    එකම ට්‍රැක් එකේ දුවන්න හොඳ නැහැ මලේ..වස කම්මැලි වෙනවා..එහෙට මෙහෙට පැනලා බලන්න ඕන පොඩි වෙනසකට එක්කලා..ඒත් වටේම ගියත් ගෙටම එන්ට එපැයි..ස්තූතියි කිව්වා...

    @කතන්දර...

    ඒකනං මේකේ හෙඩිමට උනත් හරියන කතාව...ස්තූතියි..

    @Gimhani...

    ඔව් නංගියේ ඒක ඇත්ත..එහෙම තත්වයක් ඇතිව ඒ මිනිස්සු ඉන්න තරමටම ඒකට උදව් කල අයට පින වැඩියි...

    @දිලීප...

    ශය පහළින් දීලා තියෙන්නේ හොඳ උත්තරයක්...

    @indi...

    ඇත්ත කතාව...

    @prasanna86k...

    ඒක අහගන්නවත් උන්දෑ හිටියේ නැහැනේ මලේ..

    @මධුරංග...

    ඒක ඇත්ත..අනික් දේ තමා කෙනෙකුගෙන් ඉල්ලනවා කියන එක කරන්නත් ලේසි නැහැ මිනිහෙකුට

    @ItalyDilan...

    හරියටම දන්නෙ නැහැ ඩිලා..ඒත් ඔහොම අය වැඩිය ඔළුව උස්සන්නෙත් නැහැ..කොච්චර ලැබුනත් ඒවා විදින්න පින අඩුයි


    @Kasun...

    මොනවට කියලද බනින්නේ මලේ..?

    @Praසන්ன...

    අම්මපා ඒක කියන්නත් බැහැ තමා...

    @දුකා...

    ඒක හරි...

    @විසිතුරු...

    අපි වටේ ඔය වගේ චරිත ඕන තරං ඉන්නවා...

    @හීනියට...

    කොච්චර තිබුනත් ඔය චරිතවල නැවතීමක් ඇත්තෙත් නැහැ බං..දෙයියොනං බලන්න ඕන තමයි ඒ කියවන හෑල්ලේ තරමටම..

    අන්න හොඳ පුරුදු තියෙන යහපත් දරුවෙක්...

    @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා...

    අම්මපා මලයා විතරයි එහෙම ආදර්ෂයක් ගත්තේ..සෑහෙන වටින කියන මොලයක්නේ තියෙන්නේ..පරිස්සං කොරල තියා ගන්ට වෙයි..හොර හතුරො හැම තැනම..:D

    ඔන්න දුංකොළ ලෝලීයෙක් හිතිව විදිය..:P

    @JH...

    ස්තූතියි බොහොමත්ම...

    @සපතේරු උන්නැහේ...

    "මොකද මිනිස්සු කියන්නෙ අපි නෙ"

    අන්න මමත් කැමතිම කතාව...

    @JHOTHISHALANKA...

    ස්තූතියි සහෝදරයා... වෙස් පෙරළිලා වගේත් ඉන්න ඕන නැත්නං ජීවිතේ මහ මොකක්ද වගේ වෙනවා...

    @buwa...

    සමහර වෙලාවට එහෙමත් හිතන්න පුළුවන්..ඒත් එක අතකට අපේ මිනිස්සු කරන වියදං වල හැටියට ඔය ටික මහ දෙයක් නෙවෙයි..ඒත් මට සතුටු හිතුනේ මොනවා නැතත් මිනිහා ගෙදරකට සලකනවා නේද කියන දේ දැනුනම..සිගරට් එකක් කියන්නේ මිනිහගේ විඳීම..මිනිහෙක්නේ ඒ මනුස්සයත්..

    ReplyDelete
  32. @Bindi said...

    ඒක හරි බින්දි..මිනිහත් හොඳින්නං..මටත් ප්‍රශ්නයක් නැත්තං එච්චරයි නෙව

    @දුමී...

    උඹ ඇහැවුවේ ලොකු ප්‍රශ්නයක් දුමියෝ... ඇත්තටම මේකේ ගන්න දෙයක් නැතිව ඇති..ඒත් ප්‍රශ්නේ හැටියට මං දෙයක් කියන්නං..

    අපි හැම වෙලාවෙම මිනිස්සුන්ව විනිශ්චය කරන්න හදන්නේ ඇයි..? මං හිතනවා තේරුම් යයි කියලා...

    @රීමා සෙනෙවිරත්න...

    ඇත්ත හරියට ඉන්නවා එහෙම අය..ඒත් ඔතනදී අපි තව දෙයක් හිතුවනං වැඩේ ලේසියි..එහෙම මිනිස්සු ඉන්න හින්දයි අපිට පිනක් කරගන්න අවස්ථාවක් අහු වෙන්නේ... දෙන දේට ලබන්නා කරන දේ අනුව නෙවෙයි පින අඩු වැඩි වෙන්නේ..ඒ දේ දීම හරහා කොයි තරං දුරකට අපි හිත පිරිසිදු කරගන්නවද කියන එක මතයි...


    @හිස් අහස...

    ඒක දන්නේ නං ඉතිං උන්දැම තමයි බං..

    @ඉඳුනිල්...

    එකඟයි සම්පූර්ණයෙන්ම...

    @Beetle said...

    හිත හදාගෙන තව මිනිහෙකුගෙන් දෙයක් ඉල්ලන එක ලේසි වැඩක් නෙවෙයි මචං...
    මොනවා උනත් අර කිව්වත් වගේ මිනිහාගේ ඇත්ලේ ඉන්න මිනිහා මැරිලම නැහැ..

    @නරක සමනලයා...

    :)

    @Observer...

    ඒ දැක්ම හරි අයියේ..

    @සරත් ලංකාප්‍රිය...

    මං හිතන්නේ මිනිහාට අර වගේ යාතිකාවක් හොඳ කට පාඩමෙන් කියන්න තරං මතකයක් තිබුනට තමන්ගේ අනුග්‍රහකයෝ ගැන මතකය තරමක් දුර්වලයි..එහෙමත් නැත්තං අනුග්‍රහකයන්ගේ මතකය දුරුවලයි කියලා මිනිහා හිතනවා..
    අපි දාහක් වැරදි කර කර කොහොමද තවත් මනුස්සයෙක් කරන වරදකට විතරක් කේන්ති ගන්නේ..

    @නිශ්...

    දැන් යාළුවට වැඩ රාජකාරි බහුලයි නේද..? ඒ අස්සෙත් ඇවිල්ලා මෙහෙම හරි කියෙව්වා කියලා පෙන්නලා යන එකත් වටිනවා...

    @අලුත් කොල්ලා...

    හා හා කලබල වෙන්න එපා..අර සිගරැට් එකෙන්වත් අතේ තිබුන බඩු මල්ලෙන්වත් එච්චර හරියක් කියවෙන්නේ නැහැ...

    @ප්‍රසංග...

    එකම ට්‍රැක් එකේ යනකොට එපා වෙනවා මලේ..එතකොට පොඩ්ඩක් එහෙ මෙහෙ පනින්නත් වෙනවා..

    ධනපාලට මම තවත් එක අනුග්‍රහකයෙක් විතරයි..තව හුගාක් අනුග්‍රාහ‍කයෝ ඇති..එක තැනක් නැති වෙනකොට ඒ අඩුවට තව තැනක් හොයා ගන්න එපැයි...

    @නචියා...

    අනුග්‍රාහක භවතුන් පිළීබඳව ඇති නොසැලකිල්ල...

    ReplyDelete
  33. ඔන්න දැන් තමා වෙලාවක් සෙට් උනේ මේ බ්ලොග් එකට එන්න, ධනපාලලාව පෝෂණය කරන අපි තමයි වැරදි කාරයෝ, එහෙම කරන්න කරන්න තව තවත් ධනපාලලා බිහි වෙන එක තමා වෙන්නෙ ..........

    ReplyDelete