17 August 2011

ජීවිතයට පාඩමක් ඉගැන්වූ අයෙක්...අතීතයෙන් තව පිටුවක්...

ඒ එක්දහස් නවසිය අනූවත් අනූපහත් අතර කාලයයි..මට මේ වන විට ඒ කුමන වර්ෂයදැයි නිශ්චිතව කීමට නොහැක..සිදුවීම් පෙල මිසක් කාලය හරි හැටිම මතකයේ නැතත් මා සිතනා අන්දමට ඒ වන විට වයස 12-13ත් අතර යැයි සිතමි..එසේ වූවහොත් එය 1991 හෝ 1992 වසර විය හැක...

අප කුඩා උන් වීමු... කුඩා වයසට හිමි දැඟළිල්ල.. කුතුහලය.. සෙල්ලක්කාර ස්වභාවය අඩු නැතිවම තිබූ අවදියයි...

මාගේ ගේ පිහිටා තිබුනේ බොහෝම නිසංසල පරිසරයක විය...ගෙට පිටුපස පැත්තෙන් එනම් සම්මත දකුනු දිශාවෙන් නැවත ගෙයක් සෙවීමටනම් මීටර් හත් අට සීයයකටත් එහා දුරක් යා යුතු විය...

ගේ ඉදිරිපසින් පිහිටි වෙද බාප්පාගේ නිවසටත් මීටර් තුන්සීයක පමණ දුරක් තිබුණී...ගෙයින් බටහිර පැත්තේ පිහිටි මහප්පලාගේ නිවසට මීටර් දෙසීයක් පමණ විය..එසේම නැගනහිර දෙසට වූ බෑවුම මීටර් සීයයක් පමණ වූ අතර එයින් අනතුරුව තිබුනේ පළලින් මීටර් සියයක් එකසිය විස්සක් පමණ වූ වෙල් යායයි..වෙල් යායට එපිටින් නැවතත් නැගෙනහිර දෙසට කන්දක් පිහිටා ඇති අතර එයත් මීටර් සීයයකට පමණ වූ අතර එය අවසානයේ තාර දැමු මහ පාර පිහිටා තිබුණි...

මේ ආකාරයෙන් කෙසේ බැළුවත් ගෙයට කිට්ටුවෙන් නිවසක් පිහිටා තිබුනේ නැත.

අපගේ ගේ මුහුණලා තිබුනේ උතුරු දිශාවට වූ අතර නිවස ඉදිරියෙන් වැටී තිබුනේ ගම් සබා පාරයි...ප්‍රධාන මාවතේ සිට අපගේ ගේ ඉදිරිපිටින් දිවෙන බොරළු පාර ගෙට සමන්තරවම වැටී තිබූ අතර එයින් එහා පැත්තේ වූයේ පටු ඉඩම් කට්ටියකි.

එම ඉඩම දිගින් මීටර් දෙසීයක් පමණ වූ අතර වැඩිම පළල් හරිය වූ ඉඩමේ පහළ කොටස මීටර් තිහක් තිස් පහක් පමණ විය...එය උඩහට වන්නට බොහෝ සෙයින් සිහින් විය...මෙම ඉඩමත් තවත් අවට තිබූ පාළු ඉඩම් කිහිපයක්ම අයත්ව තිබුනේ අපේ නිවෙස්වලට තරමක් දුරින් ජීවත් වූ පවුලකටය...

ඔවුන් මෙම ඉඩම් වලින් පල නොලැබූ අතර එම ඉඩම් වල හරි හමන් ආකාරයකින් වැටවල්ද නොවිණී..තැනින් තැන තිබූ පැරණි වී ගිය ලී කොටන් හා මල කා කළුව ගිය කටු කම්බි පොටවල් පැරණි වැටක සලකුණු කියා පෑවද මා කුඩා කල වන විට තැනින් තැන විනා එක දිගට එම වැට නොතිබුණි...

පටු ඉඩම් තීරයක් වූ ඉඩම පුරා පොල් ගස් සෑහෙන ප්‍රමාණයක් වූ අතර ඒවා කිසි කලෙකවත් පොහොර මිටකින් සංග්‍රහ නොලැබූ ඒවා වීම කරන කොටගෙන පලදාවත් බොහෝ දුප්පත් විය.

මෙම කණාටු පොල් ගස් මැද අප බාල කල ක්‍රිඩා පිටිය තැනී තිබිණි...

අහල පහල කොළු කුරුට්ටන් හත් අට දෙනෙකු එකතුව මාත් මල්ලීත් මෙහි ක්‍රිකට් ගැසීමට පටන් ගත්තේ මෙම සිදුවීම සිදුවන්නට වසර දෙකකට පමණ කල් සිටය...

පාසල් කාලයට සවස තුන හතර වන විට පටන් ගන්නා සෙල්ලම.. අඳුරෙහි ගිලී බෝලය සොයා ගැන්මට නොහැකි වන තුරුම පැවතුනු අතර...

නිවාඩු දිනක නම් උදෑසන හත වන විට ආරම්භ කෙරී දවස නිමා වන තෙක්ම පවතී..වරින් වර එකා දෙන්නා පිටත්ව ගොස් කෑම කා එන අතර..කිසිදු හේතුවක් නිසාවත් අතර මගදී ක්‍රීඩාව නවතින්නේ නැත.එසේ නැවතුනානම් ඒ අධික වර්ෂාවකටම පමණී...වර්ෂාව අධික වීමත් සමගම සියල්ලන්ම ගොස් පහල වූ අම්බලම ළිඳට පැන සිත් සේ නෑවෙමු...

මේ ලෙසින් කාලය ගත වද්දී එක් වසරක අළුත් අවුරුදු කාලය ළගා විණී...

අවුරුදු කාලය කිට්ටුවත්ම එතෙක් අප සමඟ ක්‍රීඩා කිරීමට නොපැමිණෙන චරිතයක් අප හා එක් විය...හේ නමින් පාලිත යැයි අප හඳුන්වමු...

පාලිත යනු ගමේ සිටි බොහෝම දුප්පත් පවුලක දරුවෙකු වූ අතර ඔහුගේ පියා දිවිරැක ගත්තේ එදිනෙදා ලැබෙන කුලී වැඩ කිරීමෙනි...ඔවුන්ගේ නිවස පිහිටා තිබූ ඉඩමටම යාබදව තිබූ අක්කර ගාණක පොල් ඉඩමක් වූ අතර දවස් තුන්සිය හැට පස් දවසෙන් වැඩි දවසක්ම එහි මොනවා හෝ කුලියක් තිබිණි..ඊට අමතරව වරින් වර හොර මත් පැන්(වැටේ සුදා) අලවි කිරීමද ජීවනෝපාය මාර්ගයක් විය...

දරුවන් හතර පස් දෙනෙකුම වූ පවුලේ බාලයා පාලිත විය..හෙතෙම මට වඩා වසර කිහිපයකින් වැඩිමහල් අයකු විය...මා සිතන්නේ අප අතර වයස් පරතරය වසර 5ක් පමණ වන්නට ඇත කියාය...

කෙසේ වූවද ඉගෙනීමට තරමක් දක්ෂතා තිබූ මොහු ආස්සරයට හොඳ අයකු සේ හඳුනාගෙන තිබූ බැවින් ඔහුගේ මේ හදිසි ආගමනය අප හට එතරම් ගැටළුවක් වූයේ නැත...ආස්සරයට හොඳ යැයි කියූවේ ඔහුගේ තිබූ වෙනත් ගුණයක් නිසා නොව..අපත් සමඟින් හොදට පෑහෙන්නට හා පිස්සු කෙලින්නට ඔහු හට හොඳින් හැකි විය..

ඒ හැර කිව හැකි යහපත් ගතියක් නම් ඔහු තුල නොවූ බව අද ඔහු පිළීබඳව කල්පනා කරන මා හට වැටහේ...මා ජීවිතේ එක්ම එක් වතාවක් පන්ස‍ලකින් බුද්ධ පූජාව හොරෙන් කන්නට යෙදුනේද මොහුගේ මග පෙන්වීමකිනි.

ඒ අප සියළු දෙනාම ගමේ තිබූ දානයකදී බුද්ධ පූජාව රැගෙන පන්සලට ගිය අවස්ථාවකදීය...වැඩිහිටි පිරිස බුද්ධ පූජාව තබා ආවාසයට ගිය අතරේ අප දෙතුන් දෙනෙකු කැඳවාගෙන බුදු ගෙට ගොස් බුද්ධ පූජාවට තබා තිබූ දේ අතුරින් හොඳ හොඳ දෑ රැගෙන කමින් අපටද ඒවා බෙදා දුන් අතර..රසවත් දෙයට ඇති පොඩි උන් තුල ඇති ආශාව විසින් පව් වැඩ ගැන වැඩිහිටියන් දී තිබූ අවවාද යටපත් විණී...

කෙසේ හෝ අප සමඟ ක්‍රිඩා කරන්නට ආ පාලිත වෙනසක් නැතිවම අපත් සමඟ සිටිනා අතර වාරයේ අපත් සමඟම සිටි තවත් වැඩිහිටි කොල්ලකු වූ ජිනසිරි නම් වූ මෙතෙක් නොකියූ ඉදිරියේදී ලියවෙන්නට ඉඩ ඇති සුවිශේෂී කතා රැසකම කතානායකයා විසින් අළුත් යෝජනාවක් කරන්නට යෙදුණි...

"අවුරුදු උත්සවයක්"
ඔව්... අපිත් අවුරුදු උත්සවයක් තියමු යන්නයි.

මේ වන විට ගමේ වාර්ෂිකව පැවැත්වෙන මහා පරිමාණ අවුරුදු උත්සවයක් තිබූ අතර එයට අමතර තැනින් තැන පැවති කුඩා අවුරුදු උත්සවද අළුත් අවුරුදු සමයට අඩුවක් නැතිවම තිබුණි...

මොනවා හෝ අළුත් දෙයක් කරන්නට ඇති අප තුල ඇති ආසාව නිසා කියන්නටත් කලින් යෝජනා ස්ථීර වූ අතර අප සියළු දෙනාම ඒ සඳහා සංවිධානය වන්නට විය...

අප අතර සිටි වැඩිහිටියා ජිනසිරි වූවද ඔහු එතරම්ම ලොකු වැඩකට උරදිය හැකි අන්දමේ අයෙකු නොවූ මුත් ඕනෑම දේකට මැරෙන්නට හෝ ඉදිරිපත් වන අයෙකි.අප කුඩා උන් වීමු..එහෙත් යමක් කමක් කරන්නට හැකි විය..එහෙයින් ජිනසිරිත් පාලිතත් හට මෙහි ප්‍රධානත්වය හිමි වූ අතර අපත් අපගේ මට්ටමට සෑහෙන තනතුරු වලට පත් විය... අවසානයේ අප අතරින් සංවිධායක මණ්ඩලයක් පිහිටුවා ගත් අතර එහි භාණ්ඩාගාරික ධූරය පාලිත හට හිමි විය...

මෙම අවුරුදු උත්සවයට ආධාර එක්කාසු කිරීම පොඩි උන් වූ අප විසින් ඉතා කැමැත්තෙන් කල අතර පාලිත විසින් ආධාර පත්‍රයක් ලියා දී තිබූනි. රුපියල් පහ දහය ආදී වශයෙන් ලැබුන ආධාර අතරට ඉඳ හිට සීයයක් දෙසීයක්ද ලියවෙන්නට විය...කෙසේ හෝ අවසානයේ රුපියල් පන්දහසකට ආසන්න මුදලක් රැස් වූ බව මතකයේ ඇත.

තරඟයේ ජයග්‍රාහකයින්ට තෑගි ගෙන ඒම ජිනසිරි හා පාලිත අතින් සිදු විය... අප කලේ ඉඩම සුද්ද පවිත්‍ර කිරීම පුවක් ගස් කපා සුද්ද කර ග්‍රීස් ගෑම ආදී අවශ්‍ය දේ සූදානම් කිරීමය...ස්ටේජ් සඳහා හට් මඩු ආදිය කුලියට ගැනීම..ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට ගැනීම ආදී සෑම දෙයක්ම කෙරුනේ පාලිතගේ හිතේ ආකාරයට වූ අතර අපට ඒවා සම්බන්ධව ඒ තරම්ම දැනුමක් හෝ අවබෝධයක් නොවූ නිසා ඕන දෙයක් පාලිතට කරගන්නට හැර අපේ කොටස කරන්නට මහන්සි ගත්තෙමු...

අවසානයේදී අවුරුදු උත්සවය පැවත්විණී...ගෙවල් අහල පහල සෑහෙන පිරිසක් ඊට සහභාගී වූ අතර පාලිත විසින් ජයග්‍රාහකයින්ට බෙදා දීම සඳහා සහතික පත් වගයක්ද මුද්‍රණය කොට තිබුණි...තෑගි සඳහා වැඩි වශයෙන්ම තිබුනේ ප්ලාස්ටික් බඳුන් හා පොත් පත්ය...

තරඟවලට ඉදිරිපත් වන අයට රුපියලක ටිකට්පතක් නිකුත් කල අතර ආරාධිත අමුත්තන් අතින්ද මුදල් ලැබිණී...

කෙසේ හෝ අවසානයේ කිසිත් අඩුවක් නැතිවම අවුරුදු උත්සවය නිමාවට පත් විණී...ජයග්‍රාහකයින්ට තෑගි හා සහතික ප්‍රධානය කොට ඉඩමද අස්පස් කොට අවසන් වී ආදායම් වියදම් බලනා තැනට එළඹිණී...

පාලිත විසින් කොටු රූල් කොල කිහිපයක ලියූ ගණන් හිලව් වගයක් ඉදිරිපත් කෙරිණී.හොඳින්ම පැහැදිලි නැතත් එහි ආදායම් වියදම් වගන්ති ආකාරයෙන් ලියා තිබූ අතර මා හා තවත් කිහිප දෙනෙක් ඒවා වෙන වෙනම එකතු කර බලන ලදි.

අවුරුදු උත්සවයෙන් සියළුම කටයුතු අවසානයේදී රුපියල් එක්දහස් පන්සීයයකට මදක් වැඩි ගණනක් ඉතිරි වී තිබිණී...මගේ මතකයේ හැටියට එය රු.1567/=ක් වැනි මුදලකි.(අයහපත් අත්දැකීම් පිළීබඳ ඇති දැඩි මතකය..)

එම ඉතිරි වූ මුදලට කරනා දෙය ගැටළුවක් විය.දැන් කාලයේ හැටියට මහ ලොකු මුදලක් නොවූවත් ඒ කාලේ හැටියට එය අප වැනි පොඩි උන්ට සුළු මුදලක් නොවීය...එකල පාන් ගෙඩිය රුපියල් 3ක් වත් නැති තරම්ය..ඒ අනුව මුදලේ වටිනාකම ඔබට සිතා ගත හැකි වනු ඇත...

මා හා තව කිහිප දෙනෙකු කියා සිටියේ අපට ක්‍රීඩා කරන්නට ක්‍රීඩා භාණ්ඩ ගැනීමක් හෝ ඉදිරියේදී එන වෙසක් පොහෝ දිනයට එයින් දන්සලක් දෙමු කියාය..එහෙත් පාලිතගේ යෝජනාව වූයේ ලබන වසරෙත් අවුරුදු උත්සවය පවත්වමු යනුවෙනුත් මෙම ඉතිරි මුදල ඒ සඳහා තබා ගමු යනුවෙනුත්ය. එය එතරම්ම නරක යෝජනාවක් නොවූ හෙයින් සියල්ලන්ම පාහේ එයට කැමති වූවත් එය තබන්නේ කවුරුන් භාරයේද යන්න ගැටළුවක් විය.අප කිසිවකුටත් බැංකු ගිණුම් සම්බන්ධව කටයුතු කල හැකි වයසක් නොවූ අතර ජිනසිරිට එම හැකියාව තිබූ නමුත් අවසානයේදී කෙසේ හෝ මුදල පාලිත භාරයේම තබා ගන්නට කතාව සකස් උනි.

ඒ අනුව සියල්ල යහපත් අයුරින් විසඳාගෙන කාර්යය නිමා විය...එහෙත්

එදායින් පසුව අප හා නැවත ක්‍රිඩා කරන්නට ආවේ පාලිත නම් නොවේ...අප කිසිවකු හෝ දුටු විට හෙමින්ම මඟ හැර යන පාලිත ටික කලකදීම අපව නාඳුනන සේ හැසිරුණි...එයින් කාලයකට පසුව අප සමඟ වරින් වර කතා බහ කලද අර අවුරුදු උත්සවයේ මුදල ගැන කතා නොකිරිමට ඔහු වග බලා ගන්නා ලදි.කාලයත් සමඟම එය අපට ටිකෙන් ටික අමතකව ගියෙන් ඒ පිළීබඳව සොයා බැලීමක් එයින් පසුව සිදු වූයේ නැත...

පසු කලෙක පොලිසියට බැඳුන පාලිත මේ වන විට කොහේ රාජකාරි කරන්නේද යන්න මා නොදනිමි. දැන් දශකයකටත් එහා කාලයකින් පාලිත මට හමු වී නැත...එහෙත් එම මතකය මා සතුව ඇත...

එයින් පසුව ගෙවුන ජීවිත කාලයේදී මා විසින් පොදු වැඩ රාශියකට සම්බන්ධව කටයුතු කරන්නට වූ අතර එයින් වැඩි හරියක ප්‍රධානත්වයද දරන්නට සිදු විය.එහෙත් ඒ සෑම කටයුත්තක් ආරම්භ කරනා අවස්තාවකදීම මට සිහියට නැගෙන පළමු දේ නම් මෙම පාලිත හා අවුරුදු උත්සවය සම්බන්ධ පුවතයි. එහෙයින් ඒ සෑම කටයුත්තකදීම විවෘත අයවැය ලේඛනයක් පවත්වාගෙන යාමටත් මුදල් භාවිතය උපරිම විනිවිද පෙනෙනා අයුරකින් සිදු කිරීමටත් කටයුතු කරනා ලදි..විශේෂයෙන්ම පන්සලේ සිටි කාලයේදී ලක්ෂ ගණන් මුදල් අත පත ගෑමටද සිදු විණී... එහෙත් ඒ කිසිම තැනකදී වංචාවක් ගැන කිසිදු චෝදනාවක් ඇසීමට නොවන අන්දමෙන් කටයුතු කරන්නට පාලිතගේ සිදුවීම සෑමදාම මට හේතුවක් වූ බව කිව මනාය...ඒ පාලිත මට දුන් පාඩමය...

_____________________________

මිනිසුන් යනු අරුම පුදුමාකාර සත්ව කොට්ඨාශයකි.කිසි ලෙසකින් තේරුම් ගත නොහැකි සත්ව විශේෂයකි.ඇතැම් විට ඒ සඳහා කාලය යෙදවීමත් නිරර්ථක දෙයක් වීමට ඉඩ ඇත.
සාමාන්‍ය සමාජයේ ජීවත් වන විට අපට නිතරම මේ මනුෂ්‍ය කියන සත්වයින් සමඟ ගැටෙමින් වෙලෙමින් කටයුතු කල යුතුව ති‍බේ.. එහිදී අපගේ හැසීරීම් රටාව හා ගති සිරිත් නිසා අනිකාගේද.. අනිත් අයගේ එවැනිම වූ දේ හරහා අපගේද සිත් රිදෙනා.. බි‍ඳෙනා අවස්ථාවන් අපමණය... සමහර සිදුවීම් අප ජීවිතවලට හොඳ පාඩම් උගන්වනු ලබයි. මිනිසුන් සැක කරමින් ජීවත් වීම වනාහී පුදුමාකාර වෙහෙසක් ගෙන දෙන්නා වූ කටයුත්තකි. එහෙත් මිනිසා විසින්ම මිනිසාව සැක කිරීමට අපව පොළඹවාලයි...

මිනිහෙකුගේ සමාජ තත්වය..අධ්‍යාපනය..ජන්මය.. මේ කිසිවක් මත මිනිසා පිළීබඳව තීරණය කල නොහැකි වීම මත ඹ්නෑම කෙනෙකුට විවිධආකාරයෙන් මේ සමාජය හමුවේ පෙනී සිටිය හැක.. එහෙත් ටික දිනකින්ම පොරවාගෙන සිටිනා නේක වර්ණ සළු පිළි ගිලිහී ගොස් සමාජය හමුවේ නිරුවත් වීමට සෑම කෙනෙකුටම සිදු වෙයි.එදාට අප එතෙක් සඟවාගෙන සිටි කුණු එළියට පැමිණීමත්.. පෙන්වාගෙන සිටි විසිතුරු දසුන් බොඳව යාමත් එකටම සිදු වන කල්හී... තවදුරටත් සමාජයේ රැඳී සිටීමට අපහසු වන බව කිව යුතුද..?

එහෙයින් හැකි සෑම විටම සැබෑ ස්වරූපයෙන් සමාජය හමුවේ පෙනී සිටීම අප කාගේත් සුභ සෙත පිණීස හේතු වන බව මටත් ඔබටත් සිහිපත් කරමු...බොරුවට ආයුෂ අඩුය..වංචාව සෑමදාම සෑම තැනදීම කල හැකි නොවේ...අනුන් රැවටීම යනු දිනෙක තමාව තමා විසින්ම රවටා ගැනීමක් බව අමතක නොකරන තාක් කල් ජීවත් වීම අපහසු නොවේ...




45 comments:

  1. ලොකු කතාවක් බොහොම ලස්සනට ලියලා ගමේ පරිසරය කතාවට පාදක වූ භූමිය ලස්සන්ට අකුරු අතරින් මැවිලා පෙනුනා .......
    ඇත්තටම ඔය පාලිත ල අපි අතර ඕනෙ තරම් ලොකු පොඩි භේධයක් නැතිව . මටත් පුද්ගලිකව දන්සලක් සම්භන්දව ඔවැනි සිදුවීමක් උනා

    ReplyDelete
  2. පාලිතගේ පාඩම අපිටද කියා දුන්නාට පින් සිදුවේවා!!

    ReplyDelete
  3. අනේ මන්ද මොනාද කියන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නවා..

    ReplyDelete
  4. කතාවනම් මරු.............

    කාට කාටත් ආදර්ශයක් ගන්ට හොඳයි වගේ.

    ReplyDelete
  5. පාලිතලාගෙන් අඩුවක් නැති සමාජයක අපි ඉන්නෙ. හොදටම තේරිච්ච පාඩමක්.

    ReplyDelete
  6. Bob Marley ගෙ Get Up .. Stand Up කියන ගීතයෙ එක තැනක මෙහෙම කියනව..

    You can fool some people sometimes,
    But you can't fool all the people all the time.

    ඔබට සමහර දෙනෙක් සමහර විටෙක රැවටිය හැකි වුණත් සෑම දෙනාම සෑම විටම රැවටිය නොහැකිය..

    ReplyDelete
  7. ආදර්ශමත් කතාවක්.. :)

    ReplyDelete
  8. දැන් පොලිසියේ නම් ඔයිට වඩා හොඳට ඔය වගේ වැඩ කරන්න් පුලුවන් ඇතිනේ.. සුදුස්සාට සුදුසු තැන!

    ReplyDelete
  9. ඔය පාලිතල වගේ කට්ටිය ඕන තරං ගම්වල විතරක් නොමයි ටවුන්වලත් ඉන්නව.
    කොහොම උනත් ඒකෙන් පාඩමක් ඉගෙනගන්න පුලුවන් විච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
  10. අත ඇරියා නේද මූදට. පතුලක් පේන තෙක් මානෙක නෑ. දැන් ඉතිං කිමිදියන්කෝ...... හප්පා ...........:D :D :D

    ReplyDelete
  11. දුමීගේ රෙකමදෝරුවෙන් ඩුබායි-සාජා තියෙන "අපේ කට්ටිය" සංවිධානෙට මාවත් ගත්තා.

    ඉලාංදාරියා වෙනුවෙන් කරපු පැදුරු පාර්ටි බොහොමයක් සංවිධානය කෙල්ත් ඒකෙන්. බොහෝ චැරිටි වැඩ ඒකෙන් කරනවා (මම නම් තාම සම්බන්ද උනේ ඉතාම සුලු ප්‍රමානෙකට විතරයි)

    ඒකේ ප්‍රධාන සංවිධායල "ජෝර්ජ් අය්යා" නිතර කියන දෙයක් තමයි දේකට මුදල් එකතු කලාම ඒ මුදල් කටයුතු විනිවිදභායවයකින් පරිහරණය කරන්න ඕන කියන එක.

    මමත් අදහන දෙයක් තමයි විනිවිදභාවය කියන දේ.

    පුංචි ළමා සමාජෙක විතරක් නෙමෙයි ආන්ඩුවේ දේවල් වල උනත් විනිවිද භාවය ගැන අපි ප්‍රශ්න කල යුතුයි.

    විනිවිදභායව ගැන මිනිසුන්ගේ උවමනාව නැති කමින් තමයි ෆර්ඩිනන්ඩ් මාකෝස් - ඉමෙල්ඩා මාකෝස්ලා බිහිවුනේ.

    ඔය කියූ පාලිත උනත් එහෙම කලේ ඒ දේ නිසා නොවේද?

    තව දුරටත් මින් මත්තට වත් විනිවිදභාවය ගැන අපි නොසලකා හැරියොත් මහජන මුදල් ගසාකන මහින්ද කෙනෙක් හෝ රනිල් කෙනෙක් මුලු රටම ලෝකෙක උකස් තියලා ණය අරගෙන අනාගත පරම්පරා දහයක් විතර ණක කාරයෝ කරන්න බැරි නෑ . . .

    ඒ නිසා අවදියෙන් සිටිනු.

    ReplyDelete
  12. පාලිත ගේ කතාව හොදයි. .......

    ReplyDelete
  13. අසිරිමත් පරිසරයකට ගෙනිහින් කියා දුන්න පාඩම අපූරුයි. දේශණයකින් කරන්න බැරි දෙයක්.

    ReplyDelete
  14. ඔය පාඩම අනිත් පැත්තට ඉගෙන ගත්ත නං.... :-)

    ReplyDelete
  15. මාරයගේ මහින්ද මාමා අපේ ඇස් වහලා චීනෙන් නය අරගෙන නැව් නො එන වරායවල හදනවා.

    ඒකට ටෙන්ඩර් කැඳවීමක් වත් කලේ නෑ කියලා අන්න හිටපු අගවිනිසුරු කියලා තියෙනව.

    එච්චර ලොකු ප්‍රොජෙක්ට් එකකට ටෙන්ඩර් කැඳෙව්වේ නෑ කියන්නේ මහින්ද මාමාත් පාලිත ගේ ජාතියෙම ගේමක් දුන්නා වෙන්න ඇති කියලා මට හිතෙනවා.

    මාරයාත් කෑ ගහන්නේ පාලිත වගේ රුපියල් 1567ක් ගත්තු හාල් මැස්සෝ ගැන තමයි . .

    යකෝ කෝටි ගනන් මහජන මුදල් පිල්ලි යවන තෝරු මෝරු ගැනත් කතා කරපල්ලකෝ

    ReplyDelete
  16. නියම පාඩමක්. අපි කවුරුත් මේවගේ දේ වලට මුහුන දෙනවා ජීවිතේ වරක්වත්. ඒ නිසා මේ සමාජයේ මෙවැනි චරිත බහුලයි. මොකද මේ සමාජ ක්‍රමයමයි ඔවුන් බිහි කරන්නේ. අපි එහෙම නොවන සමාජයක් ඉදිරියටවත් පතමු. ( නිකම්ම පැතුමක් වෙන්න තියන ඉඩ වැඩියි.)

    ReplyDelete
  17. වෙච්ච දේ නරකයි තමා. ඒත් ඒ නිසා ඉගෙන ගත්ත පාඩම නම් වටිනවා.

    ReplyDelete
  18. ඇයි බාල තෙල් බාල සිමෙන්ති ගෙනාපු " පාලිත " ලා ........ , කස්ටියම සාටකේ එල්ලිලා " පාලිත " ගේම් තමයි ගහන්නෙ..........

    ReplyDelete
  19. අනේ මචං! නිකං ගොංපාට් නොදා හිටපං

    උඹලට මතක තියෙන්නෙ අනූ ගනන් වල උඹලත් එක්ක එකට හිටපු පාලිතල සමන් ල කරපුව තමයි.
    අර මහින්ද කියල එකෙක් සුනාමි සල්ලි ගැහුව බිලියන ගානක්, ගෙවල් දොරවල් නැතිවෙච්ච උන්ට පිට රටවල් වලින් එව්ව ඩොලර්, යෙන්, පවුම්! ගැහුවා කිසි අනුකම්පාවක් නැතුව.
    උඹ මේ බණ කිය කිය ඒ හොරාට කඩේ යනව නේ! යකෝ ලැජ්ජාව කියල එකක් තියෙනවද තොට?

    -සුමිත් දේවාදිත්‍ය

    ReplyDelete
  20. පාලිතය තව හොඳා...ඌ ඉතුරුවා නේ මාටියා ගැහුවෙ... දැන් කාලෙ සමහරු අවුරුදු උත්සව, දන්සැල්, තොරන්, ලෙඩ, පෙරහැර වගේ දේවල් මුවාවෙන් සල්ලි එකතු කරන් පැදුරටත් නොකියා මාරු....
    විශ්වාස කිරීමට අමාරුම සත්ත්වයා මිනිසාය....

    ReplyDelete
  21. හික් හික්....දුකා අයියා ලයික්.. :))

    ReplyDelete
  22. වෙන වචන වලින් කියනවා නම් මේ මාරයා කියන්නේ මේ ළඟ කාලෙක තමනුත් පෙනී හිටිය අවුරුදු උත්සවවලත් ගසා කෑම් වුනා කියලද?

    ReplyDelete
  23. වැඩිහිටියෙක් ගේ උපදේශකත්වය නැති කම!
    ඕනැඟ ළමා සමාජයක ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික කෙනෙක් සිටිය යුත්තේ මේ නිසා තමයි.

    ReplyDelete
  24. වටිනා කියන පාඩමක්... මටත් ලඟදි ඔය සර්පයා (ආනන්ද සර්පයා දුටුවේද? ) සමග වැඩක් කරන්න උනා... එහිදී මමත් විනිවිදබාවය අංක 1 තියාගෙන තමයි වැඩ කලේ...

    හැබැයි ඉතින් අද සමාජයේ වැඩිපුරම ඉන්නේ පාලිතල නෙමෙයිද? ලොකුම පුටුවත් ඉතින් පාලිතගෙත් පාලිත කෙනෙක් වෙච්චි... අර කතාවක් තියෙන්නේ "සෑම රටකටම ඊට ගැලපෙන නායකයෙක් තමයි ලැබෙන්නේ " කියල ... දැන් ඉතින් කියන්න එපා වෙන කවුරු ඔතෙන්ට ආවත්, මම එතෙන්ට ගියත් එච්චරයි කියල... :))

    ReplyDelete
  25. පොදු අරමුදල් දෙයියන්ගේ හාල් කියලත් කියනව නේද?

    ReplyDelete
  26. වී අයි ලෙනින් උන්නැහැ කියනව නිර්ධන පංතිය සතු එතම අවිය සංවිධානයයි කියල...අපි දෙයක් පොදු අරමුණක් වෙනුයෙන් පෙනී ඉන්නවනම් අපි සතුව සැබෑ කැපවීම තියෙන්න ඕනි...කරන වැඩේ හොඳ උණ පලියට අපේ හිත් හැමවෙලේම මල් වගේ තියාගන්න බෑ...
    සංගමයක කෙනෙක් වැරදියට යනවනම් ඒකට ප්‍රධාන සාමාජිකයො වගේම ඉන්න හැමෝම වගකියන්න ඕනි..
    ලංකාවෙ වෙන්නෙම වෙන හොරකම සැපට අට්ටාල ගහන් බලං ඉඳල පස්සෙ තට්ටු මාරුවක් හරි පුටු මාරුවක් හරි උනාම වමාරන එක...

    ReplyDelete
  27. පාරේ යන වෙලාවට අවධානයෙන් යන්න , මෝටසයිකලයක් ත්‍රිවීලයක් නතර කරගෙන ජරාවක් කන්න අර අඳින රාලහාමිලා අතර "පාලිත" ත් ඉන්න පුලුවන් ,

    ReplyDelete
  28. ඔය වගේ මිනිස්සු නම් ඕනේ තරම් ඉන්නවා අයියේ...

    ReplyDelete
  29. නරක සිද්ධියකින් වුනත් හොඳ දෙයක් ඉගෙන ගැනීමයි වටින්නේ

    ReplyDelete
  30. කොහොම උනත් පාලිතට සෙට් වෙලා තියෙන්නෙ හොඳට ගැලපෙන ජොබ් එකක්, කාලකන්නි .........

    ReplyDelete
  31. @Duka,

    "මහින්ද මාමාත් පාලිත ගේ ජාතියෙම ගේමක් දුන්නා වෙන්න ඇති කියලා මට හිතෙනවා."

    මොකෝ බන් හැමදාම වෙන්ඩ ඇති, මට හිතෙනවා වගේ කතා කියන්නේ. හරියට කියපල්ලකෝ මොනවද හොරා කෑවේ, කීයක්ද හොරා කෑවේ, කොහොමද හොරා කෑවේ කියල. අර කකා ගේ අල්ලපු ගෙදර උන් බොරු video හරි හදාගන තමා කත කරන්නේ, උබල මුකුත් ශක්ෂියක් නැතුව නිකන් මිනිස්සුන්ට මඩ ගහනවා.

    ReplyDelete
    Replies
    1. හරිනෙ මචන් උබ නරි බෑනනෙ......

      Delete
  32. අපේ ගෙදර තියෙන්නෙත් ඔය වගේම තැනක තමා. තාත්තගේ මහගේ විතරයි එළියට බැස්සම පේන්නේ. කොහේ ගියත් ගෙදරට ආවම තියෙන සනීපෙ නම් කියන්න බැහැ.

    ReplyDelete
  33. කොහෙන්ද බන් මේ කතාව මැද්දට මහින්දයෙක් පැන්නේ..

    ReplyDelete
  34. ඔහොම අය හැමතැනම ඉන්නවා අයියේ..මොනව කරන්නද සමාජය විශමයිනෙ..

    ReplyDelete
  35. මාරයා, පාලිතගේ පැත්තෙනුත් කතාවක් ලිව්වොත් නියමයි... තමන්ගේ තාත්තා තමන් හංගපු සල්ලි උස්සලා බූරුවා ගහලා කියලා දැනගෙන, උඹලට මූන දෙන්න බැරුව මඟඅරින පාලිත කෙනෙක් ගැන... :)

    ReplyDelete
  36. හික්ස් මාරයෝ වරෙන් ඉක්මනට මේවට උත්තර දෙන්න,,

    ReplyDelete
  37. මමත් දන්න පාලිත කෙනෙක් හිටියා, හැමදාම කැන්ටිමෙන් තේ එක ගත්තේ හොරාට. මේ නං මම දන්න පාලිත වෙන්න බෑ, එත් දැන් මුන් වැහි වැහැලා...

    ReplyDelete
  38. සපතේරු උන්නැහේ කිව්ව දේම තමයි මටත් කියන්න තියෙන්නේ. හැබැයි එයා කිව්ව අර්ථයෙන් නෙමෙයි වෙනත් අර්ථයකින්,

    You can fool some of the people all of the time, and all of the people some of the time,
    but you can not fool all of the people all of the time.

    Abraham Lincoln.

    :)

    ReplyDelete
  39. හ්ම්ම්ම්ම්....... සමහර විට පාලිත දැන් තවත් එක් පාලිත කෙනෙක් නොවෙන්නත් පුලුවන් ඔය සිද්ධිය නිසාම.

    ReplyDelete
  40. පාලිත පසුගිය යුද සමයේදී මියගියා වෙන්නට බැරිද?

    ReplyDelete
  41. සල්ලි සම්බන්ධයෙන් උපරිම පාඩම් මාත් ඉගෙනගෙන ඉන්නෙ මේ වෙනකොට.
    හිතවත් කම් පෑත්තක තිබුනාවේ.. මුදල් නම් ඒක ගනුදෙනුවක්... ඒ නිසා ගනුදෙනුව ලිඛිතව පිලිවෙවලට කරන තරමට හොඳා.. විශෙශෙන්ම දුක් මාන්සියෙන් හම්බ කල , සුලුපටු මුදලක් නෙවෙයි නම්...

    ReplyDelete