13 August 2011

මෙන්න මාර සරණියෙන් අපූරු බත් වර්ග කිහිපයක්...

ආයුබෝවන්..!
වාසනාවන්..!

ඔව් හිතාදර ප්‍රේක්ෂක..ශ්‍රාවක..පාඨක ජනතාවෙනි..මෙන්න ඔබ පුල පුලා බලා සිටි ඒ අසිරිමත් මොහොත..මේ මොහොතේදී උදා වෙනවා...(ගහපියව් යකුනේ අත්පුඩියක්..)

ඔබගේ ප්‍රියතම ඉවුම් පිහිමු වැඩ සටහනයි මේ දැන් ඔබ ඉදිරියේ දිස්වන්නේ...

මාර....සරණිය....
(තූ විතරක් මේකලාට කැඳ නැද්ද ටිකක් හයියෙන් අත්දෙක තලා ගන්නවත්..)

හරි හිතවතුනි..එහෙනම් අදත් ඔබේ වැඩ සටහන ඉදිරිපත් කිරීම සඳහා ඔබේ දයාබර නිවේදක..සූපවේදී...මාරයා නොහොත් මං තුමා පිළි ගන්න...(හා හා ඔය හූ නවත්තගෙන තියෙන හැටියකට කොහෙන් හරි වාඩි වෙයල්ලා බං..මාව කන්න බලන්නේ නැතිව..)

ඔව් මා හිතවත් ආහාර ලෝලී පෙරේත මිතුරනි..අදත් වෙනදා වගේම සුපුරුදු සෙනෙහසින් මේ මොහොතේදී ඔබත් සමඟ මෙහෙම එකතු වෙන්න ලැබීම ගැන මං බෝහෝම සංතෝෂ වෙනවා..මං හිතන්නේ ඔයාලටත් එහෙමම ඇති...(මොකද මුං නිකං කින්ඩියට වගේ බලන්නේ)

ඇත්තටම මං දන්නවා ඔයාලා මේ වැඩ සටහනත් එක්ක පුදුමාකාර ලෙන්ගතු බවකින් බැඳිලා ඉන්න විත්තිය..ඒ වගේම මේ වැඩ සටහන හරහා..ඔයාලගේ ජීවිතේට හුගාක් වටිනා අත්දැකීම් එක්කාසු කරගන්නා විත්තිය..ඒ වගේම හිතවතුනි...කියන්න සතුටුයි මේවන විට ජනතා ප්‍රේක්ෂක ප්‍රතිචාර නොනවත්වාම මේ වැඩ සටහන සදහා ලැබෙමින් පවතින බවත්.. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර අතර ඉදිරියෙන්ම සිටිමින් මාව දිරිමත් කරනු ලබන අරාබි දේසේ මිතුරු මිතුරියන්ටත්..අනිකුත් විදේශගත හිතවතුන්ටත් මං මගේ හද පතුලෙන්ම ස්තූතිය පිරි නමන්නට බලා පොරොත්තු වෙනවා..

ආ ඒ විතරක් නෙවෙයි කියන්න සංතෝෂයි..දැන් මේ ප්‍රතිචාර කොයි තරංද කියලා කිව්වොත් අපේ රටේ උදවිය අතරින් සමහරු මට තව තවත් අළුත් කෑම වර්ග ගැන තම තමන්ගේ යෝජනා මාලාවල් එහෙමත් ඉදිරිපත් කරලා තියෙනවා..ඒ අතරින් මේ ඊයේ දවසේදී මට ලැබුන ලිපියක තිබුනා දේශිය වශයෙන් රෝස්පාන් නැමැති ආහාර වර්ගය නිපදවාගන්නා ආකාරය ගැනත් හරිම ආකර්ෂණීය ලිපියක්..අපි ඉදිරි වැඩ සටහන්වලදී ඉඩකඩක් ලැබුනොත් අනිවාර්යයෙන්ම ඒ හිතවතියගේ නිර්මාණයට..එහෙමත් නැත්තං ඒ රස ආහාරයට තැනක් දෙමු..

ඉතිං අදත් මං මේ ලක ලෑස්ති වෙලා ආවේ මෙච්චර දවස් කරගෙන ආවා වගේම අදත් ඔයාලට වටිනා කියන ආහාර කිහිපයක් අඳුන්වා දෙන්ටයි..ඔව් ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ උඩ තියෙන හැදින්වීම් පූවරුව දැක්ක ගමන්ම හිතා ගන්න පුළුවන් ඇති අද මොනවද මං මේ ඔයාලට කියා දෙන්න යන්නේ..එහෙමත් නැත්තං හදුන්වා දෙන්න යන්නේ කියලා...
ඔව් මිතුරනි..අද මං කියා දෙන්න යන්නේ බත් වර්ග කිහිපයක් ගැන...

ඇත්තටම බත් වර්ග කිව්වහම අපිට නිතැතින්ම මතක් වෙන්නේ උත්සව සමයන් කියලා කිව්වොත් මං හිතන්නේ මම නිවැරදියි... වෙනත් මේ වගේ ආහාර හා සූප ශාස්ත්‍ර වැඩ සටහන්වලින් වගේම පුවත් පත් ලිපි ආදියෙන් පවා මෙවැනි බත් වර්ග හදුන්වා දෙන්නේ රටේ සාමාන්‍ය උත්සව සමයක් ලගා වෙද්දී විතරයිනේ..ඒත් හිතවතුනි මං එහෙම නැහැ..ආන්න ඒකයි මේ මාර සරණියේ තියෙන විශේෂත්වය...

ඇත්තටම මේ මං අද ඉදිරිපත් කරන්න යන බත් වර්ග ගැන කෙටියෙන් හඳුන්වනවානම්..මේ බොහෝමයක් බත් වර්ග අපේ එදිනෙදා ජන සමාජයේ එදා ඉඳන් පැවත ආව සුවිශේෂී බත් වර්ග කියලා කියන්න මං කැමතියි..ඒ විතරක්ද ඒ බත් වර්ගවල විවිධ ආකාරයේ වෙනස්කම් තිබුනා..එයින් සමහරක් කාලෙන් කාලෙට ඒ ඒ කාලෙට අනුරූපව වෙනස් උනත්..සාමාන්‍යයෙන් එදා පැවති මූලික හැඩතලයන් ආරක්ෂා කර ගනිමින්..තව දුරටත් වර්ධනය වෙමින් මේ දක්වාම පැවත ඇවිත් තියෙනවා...

ඒ විතරක් නෙවෙයි හිත වතුනි..ඇතැම් විටක මේ බත් වර්ග ඉදිරියේදී නැත්තටම නැති වී යාමේ අර්බුදයකටත් මුහුණ පාලා තියෙන්නේ කියලා කිව්වොත් ඇතැම් විටක ඔබ පුදුමයට වගේම දුකටත් පත් වේවි.. ඒ හින්දා අද මං මේ වැඩ සටහන හරහා බලාපොරොත්තු වෙන්නේ ඒ විනාශ වෙමින් පවතින මේ වටිනා කියන බත් වර්ගවලට යම් ජීවයක් දෙන්නත් අනාගත පරපුර වෙත මේ බත් වර්ග වල වටිනාකමත්..ඒවායේ ඇති සුවිශේෂී ගති ලක්ෂණත් පිළීබඳව යම් කිසි මට්ටමක අවබෝධයක් ලබා දෙන්නත් තමා.. හොදයි මිත්‍රවරුනි..වැඩි කතා වැඩි බයිලා ඕන නැහැ..(මං මේවන විටත් සෑහෙන බයිලාවක් ගහලා තියෙන හින්දා ඔය හොඳටම ඇති..)අපි යං ඒ බත් වර්ග ගැන අවධානය යොමු කරන්ට...

කිරි බත...

ඇත්තටම සිංහල මිනිස්සුන්ට නැතිවම බැරි බතක්... ඕනම උත්සව අවස්ථාවකදී..ජීවිතයේ වැදගත් අවස්ථාවලදී..මුල් තැන ලැබෙන බතක් තමා මේ කිරිබත..කිරිබත් නොකාපු සිංහලයෙක් ඉන්නවනං ඒක ටිකක් විතර පුදුම වෙන්න ඕන කාරණයක්..මොකද අපි හුග දෙනෙක් ජීවිතයේ මුල්ම කලෙදී ඉඳුල් කටගාන දවසේදී හරි කිරිබත් ඇබින්දක් කනවා...

එහෙම බැළුවම අපේ ජීවිතේ ආරම්භයේදීම මේ කිරි බතට යම් වැදගත් ස්ථානයක් ලැබෙනවා...ඒ වගේම මේ කිරිබත නොයෙක් ආකාරවලට හදා ගන්නත් අපේ අය පුරුදු වෙලා තියෙනවා...ඉතිං මං වැඩි හරියක් කතා කරන්නේ මං කාපු දේවල් ගැන මිසක් ඔය එහෙ මෙහෙ දැකපුවා ගැන නෙවෙයිනේ...

සුදු කැකුළු හාලෙන් වගේම රතු කැකුළු හාලෙනුත් මේ කිරි බත හදනවා උනත්මංනං ඉතිං ඔය රතු කිරිබතට ඒ හැටි මනාපයක් නැහැ..ඒත් ඉතිං හම්බ උනොත් රතුද සුදුද කියන කාරනා අදාල නැහැ බඩට බස්සනවා...

කැකුළු හාල් සෝදලා ගරලා ලිපේ තියලා බත තැම්බීගෙන එනකොට ඒකට පොල්කිරි එකතු කරලා තමා මේ කිරිබත හදන්නේ කියලා හැමෝම දන්නවනේ..ඒ වගේම ඒ කිරි බතට පදමට ලුනු යොදන්න ඕන..ඇත්තටම කිරිබතේ රසය තියෙන්නේ ඒකට ගන්න පොල්වල ඇති කිරිවල හොඳකම හා එයට යොදන ලුනු වල තමා..හොදට පැසුන වේලුන පොල් වලින් මිරිකා ගත්ත මිටිකිරි තමා මේකට ඕන වෙන්නේ..සමහරුනං බත උයන්නත් දිය කිරි ගන්නවා..සමහරු සාමාන්‍යවතුරෙන් උයලා අවසානෙදී මිටිකිරි දාලත් හදනවා..

ඒ වගේම මේ කිරි බතට පොල් තෙල් ස්වල්පයක් එකතු කිරීම හරහාත් රසයේ වෙනසක් වගේම ඒකේ පෙනුමත් ආරක්ෂා කර ගන්න පුළුවන්..විශේෂයෙන්ම කිරිබත කෑලි කැපීමට එයින් පොඩි පහසුවක් වෙන බවත් කියන්න ඕන...ඒ වගේම හැලියේ අඩිය ඇල්ලීම අඩු කරනවා...හැබැයි අමතක කරන්න එපා අඩිය අල්ලලා රොස් වෙච්ච කිරිබත් දංකුඩේ තමා ඔය කිරි බතේ රසම හරිය...

ඉතිං මෙහෙම උයන කිරිබතටම හොදින් සෝදා පොගවා ගත් මුංඇට එකතු කිරීම හරහා මුං කිරිබත් කියන දේත් හදා ගන්න පුළුවන්..ඒ වගේම සාමාන්‍ය ක්‍රමයට සාදා ගත් කිරිබත්, කෝප්පයක් ආධාරයෙන් හෝ රෙදි හෝ පොලිතින් කැබැල්ලක ඔතා හෝ විවිධ හැඩයන්ට සකසා ගන්නත් ඒ සකසා ගැනීමේදී ඒ කිරිබත් කුට්ටිය මැදට පැණි පොල් හෝ හාල්මැස්සන් ළූණුතෙල් දැමුමක් හරි යොදලා හදා ගන්න කිරිබත ඉඹුල් කිරිබත් හැටියටත් අපි අඳුන්වනවා..

මේ කිරිබතේ හොඳම අවස්ථාව ඕක නෙවෙයි.. ඒ තමා මුරුතැත් බත.. ඒකත් කිරිබතේම ඉදිරි සැකැස්මක්... විහාර දේවාල වලදී..දෙවියන් උදෙසා සකස් වෙන මේ බත, පූජාව අවසානයේදී බැතිමතුන්ටත් ස්වල්පය බැගින් බෙදනවා..

ඒ මුරුතැන් බතෙදී සාමාන්‍ය කිරිබතකට අමතරව හකුරු..වියළි කජු..මුද්‍රස්පලම්.. සීනි..වගේ දේවල් වගේම එළඟිතෙල් බටර් වගේ දේවළුත් යම් පමණකට මුසු කරනවා..ඔය මුරුතැන් බත කන්න බොහෝමයක් අය කැමතියි..ඒ තරම්ම රසයි මේක...

හැබැයි මේ බතේ ඇති සුවිශේෂීම කාරණාව තමා කොහොම කෑවත් මේක කාලා ඈනුමක් අරින්නේ නම් නැතිව ඉන්න බෑ කියන ඒක...ඒ කියන්නේ කිරිබත් කෑවම නිදිමත නම් එනවා හරි අපූරුවට... ඉතිං ජාතියක් හැටියට අපි සෑම කටයුත්තකදීම මුලින් කිරිබත් කාලා පස්සේ ඈනුම් ඇර ඇර ඉන්න නිසාදෝ අපි මේ වන විට ලෝකයේ දියුණුම ජාතීන් කිහිපය අතරට එකතු වෙලා අවසානයි කියලත් හිතන්න පුළුවන්... ඉතිං අපි අදත් හෙටත් හැමදාමත් කිරිබත් කාලා වැඩ අරඹමු..

ආ ආ තව පොඩ්ඩෙන් එක දෙයක් කියන්න බැරිව යනවා..ඇයි යකෝ කිරිබත් නිකං කන්ට ඇහැකිද..ඕකට තව මොනවා හරි තියෙන්ට එපැයි..

ඔව් එක එක්කෙනා එක එක විදියට කිරිබත් කනවා..උදාහරනයක් හැටියට අපේ මල්ලි කිරිබත් කන්නේ සීනිත් එක්ක...
අපේ ගෙවල්වලට පොඩ්ඩක් එහායින් හිටිය ටැක්සි ඩැයිවර් උන්නැහේ කෙනෙක් අවුරුද්දට කිරිබත් කද්දී අවුරුදු මේසේ තියෙන කැවුම්..කොකිස්..අතිරස..මුංගුලි..මුං ඇට කැවුම් විතරක් නෙවෙයි කෙසෙල් ගෙඩිත් මේකට දාලා අනලා තමා කන්නේ..ඇත්තටම මාත් කාලා තියේ..ඒකත් හරි අපූරුයි..ටිකක් අප්‍රසන්න වගේ දැනුනට...

සාමාන්‍ය වශයෙන්නං ඉතිං කිරිබත් වලට හොද ලුණු මිරිසක්..කට්ට සම්බලයක් වගේ දෙයක් ඕන.. ඒ වගේම මිරිසට ඉව්ව මාළු උනත් ඇත්තටම හොඳයි..ඒ වගේම සීනි සම්බල්..චිලී පේස්ට්..කරවල තෙල් දාලා එහෙම වගේම සමහරු මස් වර්ග එක්කත් කිරිබත් කනවා...

මාත් ඔය හැම දේම එක්ක කාලා තියේ..ඒ වගේම සැමන් තෙල් දාපුවත් එක්කත් කිරි බත හරි අපූරුයි..ඉස්සර කුරුළු හමුදාවෙ ඉන්න කාලේ කිරිබත් කන්න ලැබුනේ හරක් මස් හොදිත් එක්ක... ඔය වාගේ එක එක ජාතියේ කෑම එක්ක මේක හොදට යනවා..

ඒත් වැදගත්ම දේ තමා කිරිබත් කන්න ගන්න දේ සැර වැඩි වෙන්න වෙන්න කිරිබත් වැඩි වැඩියෙන් කෑහැකි කියන එක..ඒත් පැණිපොල් එක්ක වගේ කන කිරිබත්වලට ඉක්මනටම මත් වෙනවා..එතකොට වැඩි හරියක් කන්න අමාරුයි... පෞද්ගලිකව මංනං කිරිබත් කන්න කැමති මිරිස් මාළු හොදියි ලුණුමිරිසුයි එක්ක තමා...එහෙම කාලා හොඳ රස්නෙන් ඉඟුරු කෑල්ලක් තලා දාලා හදපු ප්ලේන්ටියක් සීනි ටිකකුත් වැඩි කරලා ගහලා ඇරියනං... ආයේ ඉතිං බඩට දෙයියෝ වැඩියා වගේ තමා...

හරි ඊ ළග බතට යමු..මං හිතන්නේ කිරිබත ගැන කල මේ සුවිශේෂී පැහැදිලි කිරීම දැනට ප්‍රමාණවත් ඇති...

කයි බත...

ඔන්න මංනං ආසාම බත් දෙකෙන් එකක්..ඇත්තටම කිව්වොත් මං ආසාම බත් වලින් දෙවැන්න මෙය...

කයි බත සකස් වෙන්නේ කුඹුරු වැඩ කාලෙට තමා ඕං...කුඹුරු කොටන කාලෙට..කුඹුර වපුරන දවස්වලට..ඒ අතරින් පතර සී සානකොට එහෙමත් කුඹුරු වැඩට උදව් වෙන අය වෙනුවෙන් උයන මේ බත කයි බත යනුවෙන් හඳුන්වනවා..ඒත් මේකේ හොඳම කයිබත සකස් වෙන්නේ ගොයම් වැඩවල අවසානෙදී තමා..ඒ කිව්වේ කුඹුරේ ගොයම් කපන දවසටයි..මොකද මුල් කාලවලදී සැරින් සැරෙට ටික ටික කට්ටිය එකතු වෙලා කුඹුරේ වැඩ කෙරුවත්..එක පාර වැඩි දෙනෙක් මේ කුඹුරු වැඩට එකතු වෙන්නේ ගොයම් කැපීමේදී තමා..ඉතිං කඹුර කපන දාට උදේට ..දවල්ට..විතරක් නෙවෙයි රෑටත් කයි බත සකස් වෙනවා..ගොයං කයියක් කියන්නෙත් ඉතිං ඔය ගොයම් කැපීමට නෙව... සමහරු ඉතිං ඇඹුල කියලත් කියනවා...

ඔය ඇඹුල කන්න කිව්වහමනං අපේ හුගාක් අය කැමතියි..වැඩිමනත්ම දැන්නං ගොයි මහත්තුරු නෙවෙයි උපන් තේකට කුඹුරකට පය නොගහපු නගර බද පොෂ් මහතැන්ලා..ලමාතැනීලා තමා ඕකට වැඩි හරියට ආසා..ඉතිං උන්දලගේ රිඹ යන්ටත් එක්ක දැන් ලංකාවේ තැනින් තැන බිහි වෙලා තියෙනවා නෙව අමුතුම බත් කඩ වගයක්..ඒවායේ නම "ඇඹුල" අනේ ඉතිං ඇඹුල කන්න කියලා හිතාගෙන අපේ සමහරුත් අර සිමෙන්ති ගලෙන් බැඳලා..ඒවා වැහෙන්න මැටි ගාපු කඩ ඇතුලට ගිහින් කවදාවත් ලිපේ නොතියන පිටින් වාර්නිශ් ගාපු ඇතිළී වළං වලීන් පොඩි පන් වට්ටි වලට එලපු කෙසෙල් කොල හරි නෙළුං කොළයකට හරි බෙදාගෙන හිටු කියලා මෙලෝ රහක් නැතිව නෙලලා අදිනවා..

ඒ වගේම ඔය ජාතික වප් මඟුල් වගේ සෝබන ටිං ටිං වැඩ වලදීත් අර ටීවී එකේ පෙන්නන්නේ හරි ලතාවට කොළඹින් ගිය කෙලි පැටික්‍කියෝ යස රගේට වන වන ඇවිත් ඇඹුල බෙදන හැටි..හා හා ඒවා පැත්තකින් දාමු...

ඉස්සර ගංවල ගෙවල් වල තිබුනා පන් වලින් හරි පොල් කොල වලින් හරි වියාපු ‍හතරැස් පෙට්ටියක් වගේ දෙයක්..සමහර විට බට පොතු වලිනුත් වියනවා...

ඉතිං මේ කයි බතේ එහෙම නැත්තං ඇඹුල බෙදිල්ලේදී කුඹුරට බත ගෙනියන්නේ මෙන්න මෙහෙම සකස් කරපු පන් පෙට්ටියේ අඩියට හොදට තවා ගත්ත කෙසෙල් කොලයක් එලලා..වටේටත් බත් බෙදන ගමන් කෙහෙල්කොල තියලා..අවසානෙදී බත්වලට උඩිනුත් කෙසෙල් කොලයකින් වහලා එහෙම තමා...

අනිකුත් හොදි මාළු පිණීත් එහෙමම වෙන වෙනම ගෙනියනවා..ඒ ඉතිං සාම්ප්‍රදායික කයි බත...දැන් මං කියන්නංකෝ මං කාපු කයි බත් ගැන...

ඔය පන් පෙට්ටියේ බත්නං මාත් වංගියක් දෙකක් කාලා තියේ..අපට කුඹුරු තිබුනේ නැතත්..අපේ ගම් පළාතේ තියෙන හැම කුඹූරු යායකම මං වැඩ කරලා තියේ..අපට කුඹුරු නැති හින්දා කුඹුරු තියෙන අය බොහෝම කැමතියි අපි වගේ උන්ට ගොයං කයියට කතා කොරන්ට..මොකද ආපහු අත්තමට යන්ට ඕන නැහැනේ..ඉතිං මටත් තියෙන අමාරුව හොඳ වෙනකල්ම මාත් ඔය කයි බත් වලට හුරු වෙලා හිටියා...

අනේ ඉතිං අ‍පේ කාලේ වෙනකොට උදේට පාන්..නූඩ්ල්ස් එහෙම තමා කුඹුරට උනත් ආවේ...
ඒත් ඉතිං ඇලට බැහැලා අත පය හෝදගෙන..ඇල අයිනේ ගස් හෙවනේ වාඩි වෙලා..කුඹුරේ හීතල හෙවනක තියලා තියෙන කලෙන් වතුර උගුරක් බීලා... කැන්ද කොල වලට හරි ‍හබරල කොල වලට හරි බෙදන නූඩ්ල්ස් හරි බත් හරි කන්ට ලෑස්ති වෙනවා..

පාන් වගේ දෙයක්නං තියෙන්නේ කුඹුරු අයිතිකාරයාගේ ගෙදර අය පාන් කන්න හොදි දාගන්න මොනවා හරි පොඩි පිගන් හරි පීරිසි හරි ගෙනියනවා කුඹුරට..ඉතිං එක පිගානකට දෙතුන් දෙනෙක් වට වෙලා හොදි පොගෝගෙන පාන් කනවා..

බොහෝමයක් වෙලාවට ඉතිං උදේට පරිප්පු හොද්දයි පොල් සම්බෝලෙයි වරදින්නේ නැහැ..පාන් නෙවෙයි බත් උනත්..නූඩ්ල්ස් උනත්...

ඉතිං ඊට පස්සේ දෙනවා කහට තේ..සීනි අල්ලට දාලා කන ගමන් කහට බිලා ඕන ආයේ වැඩට බහින්න...

එහෙම කරලා දවල්ට අර මං කිව්ව විදියට බත් පෙට්ටිය එහෙම වෙලට වඩිනවා..බොහෝමයක් වෙලාවට වෙල අයිනේ ඕවිටක හරි අයිනේ වත්තක හරි තියෙන කමතේ අයිනකට තමා දවල් බතට සෙට් වෙන්නේ.. ඔය ඇඹුල කඩෙන් කන විදියේ බතක්නං නෙවෙයි සාමාන්‍යයෙන් අපට ලැබෙන්නේ...
කුඹුරු හාලෙන් උයාපු පුසුඹ ගහන බතකුයි..
තම්බාපු කොස් අනිවාර්යයි..මේක ඉතිං බත් ටිකක් පිරි මහන්ඩ වගේම ඇගේ හයිය එන්ට කොරන උප්පර වැට්ටියක්...
කට්ටා කරවල හොද්දක් වරදිනවා අඩුයි.. දන්නවනේ කට්ටා කරවල හොද්දේ සුවඳ එක්ක බත් පිගානක් කෑවැකි..
එළවළු ජාති දෙක තුනක්.. බෝංචි වරදින්නේ නැහැ.. තව ඉතිං කජු කාලෙනං කජු මාළුවක්..කැකිරි වෑංජනයක්..වගේ සාමාන්‍ය එළවළු ජාතියක් එහෙම තියෙනවාම තමා...
කුඹුරු වලට බැදුම් පුලුටු එහෙමනං ගේනවා අඩුයි..සමහර වෙලාවට කොච්චි වගේ දෙයක් නං බැදලා ගේනවා...

පස්සෙන් පහු කාලෙදී නං ඕකේ කරවල හොද්ද හැලිලා..මස් ජාතියක් එකතු වෙන්ට ගත්තා..එයින් පස්සේ තමා අර කයි බතේ සාර සුබාවේ අපේ පැති වලින් ගිලිහිලා ගියේ...

මුල් කාලෙදී එළවළු වෑංජන එක්ක කරවල හොදියි කොච්චි බැදුනුයි සමහර වෙලාවට එන තක්කාලි සම්බෝලෙකුයි එක්ක බත් පිගන් දෙකක් විතර නෙළුවත් මස් එන්න ගත්තාට පස්සේ බත් කෑම අඩු වෙලා කොස් එක්ක මස් හොදි කන්න අපි බොහෝමයක් දෙනා හුරු උනා... එයින් පස්සේ අර කලින් වතාවල් වල තිබුන කයි බතේ රහ අපටත් නොදැනිම අපෙන් ඈත් උනා...

මුලින්ම කුඹුරට ආවේ ගම් කුකුළු මස්..පස්සේ බ්‍රොයිලර් කුකුල්ලු..අවසානේදී ඌරු මස්...

ඔන්න ඔහොමයි අපේ පළාතේ ගොයං කයියේ කෑම එක වෙනස් උනේ...මං මේ කියන්නේ 1994 ඉඳලා 1998 අවුරුද්ද වෙනකල් මං කුඹුරුවල පදිංචි වෙලා හිටිය කාලේ ගැන කතා..දැන් මේ වෙනකොට එයින් අවුරුදු13ක් විතර ගෙවිලා ගිහිල්ලා..මං කුඹුරකට බැස්ස කාලයක් මතක නැහැ..දැන් මේ වෙනකොට කයි බතේ තත්වේ කොහොමද කියන්ටනං මං දන්නේ නැහැ..ඒ කොහොම උනත් කයි බත ගැන තියෙන සොඳුරු මතකය හැමදාටමත් මගේ හිතේ කොනක පැලපදියං වෙලා තියේවී...

මල බත...

තව මීට කලින් ලියන්න බතක් තිබුනා උනත් ඒක වෙන ලිපියකට අරගන්න හිතාගෙන මං කෙලින්ම මේ මල බතට බහින්ට තීරණය කලා..නැත්තං තමුන්නැහේලාට මේක කියවන්ටත් දවස් තුනක්වත් ගන්ට වෙනවා...

ඇත්තටම බත් අතරින් මටනං සුවිශේෂම බත මේක තමා...

ලංකාවේ විවිධ පළාත්වල විවිධ ආකාරයට සෑදෙන බතක් මේක..මං කියන්නේ අපේ පළාතේ හැදෙන විදිය විතරයි...

සාමාන්‍යයෙන් අපේ ගං රටවල් වල මරණයක් උනාම ඒ දවස්වල කලේ වලක් කපලා වලලන එක..දැන් නෙව ඔය ආදාහනාගාර ඇවිත් තියෙන්නේ...ඒක ඉතිං ඉඩ කඩ ප්‍රශ්නේ අතින් ගත්තාම හොඳ විසඳුමක්නං තමයි..

ඒත් අපේ ගමටනං අදටත් ආදාහනා ගාරයක් ඕන නැහි..මොකද මං දන්න හැටියට නාගරීකරණය පෙනි පෙනී තියෙන ගමක් උනත්..ලංකාවේ තියෙන ලොකුම කනත්තක උරුමය අපට තවමත් තියෙනවා..නියම විදියටනං අක්කර 11ක් අපේ කනත්තට අයිතියි..ඒත් දැන් දැන් ඕකෙත් සමහරු මායිං අල්ලගෙන..ඒත් තව ඕන තරං ඉඩ තියේ..ඒ කනත්තේ තමා අපේ ආතා.. ආච්චි අම්මා..මහප්පලා තුන් දෙනා වගේම අපේ තාත්තා වැළලිලා ඉන්නේ... කවදා හරි මං යන්නත් නියමිතව හිටයේ මේ කනත්තටම තමා උනත්..දැන්නං ඒක සිද්ධ නොවේවි කියලා ලොකු විශ්වාසයක් මගේ හිතේ තියෙනවා...

ඒත් ඇත්තටම මං කැමතියි ඒ වගේ තැනක අවසන් නින්ද නිදා ගන්ට.. ඒ තරංම සාමකාමී..නිදහස් තැනක් ඒ.

ඉතිං ඉස්සර මලගෙයක් උනහම ඔය කනත්තේ වලවල් කපන්ට හතර පස්‍ දෙනෙක් සෙට් වෙනවා..හුගක් වෙලාවට ගමේ ඉන්න බූරු ගහන..මොන මොනවා හරි දෙයක් කරලා දවස ගෙවන..උන් ටිකක් තමා කියන්නත් කලින් වැඩේට එකතු වෙන්නේ..මොනවද ඉතිං අටේ කෑන් දෙහෙකට වැටේ සුදායි... පාන් රත්තල් පහකුයි..ඒක කන්ට මොනවා හරි වෑංජනේකුයි දුන්නනං හොදටම ඇති බීඩි මිටි දෙහෙකුත් එක්ක...

ආයේ කිසිම අ‍ඬෝ වැඩියාවක් නැතිව ලස්සනට වැඩෙ කෙරෙනවා..මිනිය වලලන්ට ගෙනියනකොට අර සෙට් එක වල කපලා..වල වටේ සරසලා..ලී මෝලෙන් ලීකුඩු ගෝනියක් ගෙනිහුං වල වටේ තුනී කොරලා..වටේට ගොක් රෑන් ඇඳලා..ඔක්කෝම කොරලා බලං ඉන්නවා...මිනිය ගෙනිහුන් වල වටේ කරකවලා ඔක්කොම් කොරලා බාර දුන්නට පස්සේ ලණු පොටවල් වලින් පෙට්ටිය වලට බාලා ඒකේ වැඩ ඉවර කොරලා පස් කඳු ගහලා.. ඒ මත්තේ මාදං අතු..දවට ලී..අරලියා අතු එහෙමත් හිටෝලා කොරන්ට තියෙන හැම දේම අඩුපාඩුවක් නැතිව කොරලා යනවා කට්ටියම හොඳට නා ගන්ට..නාලා කරලා ආයෙමත් විගහින් මල ගොදරට සෙට් වෙනවා..

මේ අතරේ මල ගෙදර උදවිය හිටු කියලා වැඩ.. අර මිනිය තියලා තිබුන තැන කහ දිය ඉහලා පිරිසිදු කරලා ඒ මත්තේ පැදුරු එළලා කරලා තියන අතරේම කටිටියක් ලොකු කල්දේරමක බතක් උයනවා..තව කට්ටියක් බාගෙට පැහුන ඇඹුල් කෙසෙල් කැනක් තම්බලා ගෙඩි වල ලෙල්ල ඇරලා සුද්ද කරලා ඒක කිරට උයලා හින්දවනවා..තව ලිපක ලොකු කරවල කටු හොද්දක් ඉදෙනවා..තව පැත්තකින් ලොකු වට්ටක්කා හට්ටියක් ගොද ගොද ගාලා නටනවා..

ඉතිං අර වල කපලා ආව අය එනකොට මෙතන වැඩ ඉවරයි..තියෙන්නේ උන්දලටයි..මල ගෙදර අයටයි සංග්‍රහ කොරන්ට... කෑමට පෙර හොද සීල් අරක්කු බොතලයක් අරුන්දලාට දෙනවා..ආයේ ඉතිං ඔය ලොකු දේවල් නැහැ..ඉන්න හතර පස් දෙනා ඒකෙන් කට තියලම වගේ ලොකු උගුරු දෙක තුන වශයෙන් බීලා විනාඩි ගානෙන් බොතලේ වාස්ප කරලා ගෙහුන් වාඩි වෙනවා අර මිනිය තිබුන තැනම පැදුරුවල..අනිත් අයත් ගේ පුරා එළලා තියෙන පැදුරුවල වාඩි වෙනවා...

ඊට පස්සේ ලොකු ඇතුල්පොතක තියාගෙන ආව කෙසෙල් කොලය ගානේ හැම කෙනාගේම ඉස්සරහින් එළාගෙන යනවා..
තව කෙනෙක් බත් බෙදාගෙන යනවා..
වට්ටක්කා මාළුව..
කරවල හොද්ද..
ඇඹුල් කෙසෙල් මාළුව.. ඔය හැම දේම යහමින් බෙදාගෙන ගියාට පස්සේ..තව කෙනෙක් පොඩි ඇතුල් පතකට කෙසෙල් කොලයක් එලාගෙන හැම කෙනා ගාවටම යනවා..

ඒ කෑමට වාඩි වෙලා ඉන්න හැම කෙනාම තමන්ගේ පංගුවෙන් පළමු බත් කට හොදට අනලා අර ඇතුල්පොතට දානවා.. ඊට පස්සේ අවසානයේදී ඒ එකතු වෙන බත් ගෙයින් ටිකක් ඈතට වෙන්ට දානවා ..ඒක ඉතිං සත්තු කාලා දානවා..

ඉතිං ඔය මුල් චාරිත්තරේ කෙරුනට පස්සේ එතන තියෙන්නේ එකම සටනක්... බත් බෙදනවා..හොදි බෙදනවා..හොදි වැඩි වෙනවා..ඒකට හරියන්න බත් බෙදනවා..බත් වැඩි උනාම ආයේ හොදි බෙදනවා..කොහොම උනත් බොරු සෝබන කාරයෝ මල බතට වාඩි වෙනවා අඩුයි... එහෙම නැති කෝටත් ඔට්ටු ගමේ ගොඩේ අපි කවුරුත් එක දිගට දීලා අදිනවා ඔය කෑම වේල...

ඇත්තම කිව්වොත් මල බත කියන්නේ බොහොම රස කෑමක්..මගේ ජීවිතේට මං මලබත් බර ගානක් කාලා ඇති...කවදාවත් ඒ කාලේ මල ගෙදරකට ගෙහුන් මල බත නොකා එන සිරිතක් අපේ නැහැ..ඒක ඒ ගෙදර උන්ට කරන අවනම්බුවක් හැටියටයි ගම්මු සලකන්නේ...තොපේ මලබතවත් අපිට එපා කියලා කියන්නේ ගමක මිනිහෙකුට කරන්න පුළුවන් ලොකුම නිග්‍රහයක්... මරණයක් වෙලා දුකට වැටිලා ඉන්න උන්ට එහෙම කොරන එක හොද දෙයක් නොවෙනවා වගේම..ලොකුකං නැති මට කොහොමත් මලබත ඔට්ටුයි..

ඒ විතරක් නෙකවෙයි අපි තරගෙට මලබත කනවා දැක්කමත් ගෙවල් වල උන්ට හරි සැහැල්ලුවක් දැනෙනවා..ගෙදර එකෙක් මලා උනත්..ආයෙමත් ඒ ගේ ඇතුලේ වෙනසක් නැතිව බත් කටක් කන උන් දිහා බලලා හිතේ සැහැල්ලුවක් ඇති කර‍ගත්තාම තමයි ඒ ගෙවල්වල අයටත් බත් ටිකක් ගිලින්ට ඇහැක් වෙන්නේ..

ආයේ ඉතිං ඔතනට ගිහින් මොන කැටයංද අපිට..නෙලනවා සුපිරි නෙලිල්ලක් බුරිය උල් වෙන්ටම... හැම වෙලේම අපිට මොනවා හරි මදි..මල බත බෙදන කෙනාට..

"අයියේ කරෝල කට්ටක් බෙදහං.."
"වට්ටක්කා ටිකක් මදි වගේ.."
"හොදි වැඩියි ඉක්මන් කරලා බත් ටිකක් දාන්ට.."
"බත් වලට හොදි මදිනේ..දාන්නකෝ හොඳට හොදි හැදි දෙකක් මේක නෑවිලා යන්ට.."

ඔන්න ඔහොම කිය කිය ඇති පදං බෙදාගෙන නෙලනවා..එකෙක් හරි කාලා ඉවර නැත්තං අනිත් උන්ට නැගිටින්ට තහනං..ඉතිං හැම එකාම ආයේ කලින් නවත්තලා නැගිටින්ටත් නැති එකේ..හිතේ හැටියට කනවා...

එක කට්ටියක් කාලා ඉවර උනාම අනිත් අය වාඩි වෙනවා..කොහොමටත් දෙපාරකට යන්ට දෙයක් නැහැ..මුළු ගේ පුරාම හරි පැදුරු එලලා ඉන්න හැමෝවම වගේ එක වටෙන්ම වාඩි කරවන්ට ඇහැකි....එහෙමත් තැනක තමා කට්ටි දෙක තුනකට යන්ට වෙන්නේ...

ඉතිං ඔය රසවත් කෑම වේල මටනං කවදාවත් අමතක වෙන්නේ නැහැ..ඒත් දවසක්...

අපේ ගමේ ටිකක් යමක් කමක් තියෙන ගෙදරක අවමගුලකදී ඔය කෑම ටිකට අමතරව ළුණු සම්බෝලයක් ඇවිත් තිබුනා..අපි මූණෙන් මූණ බලාගත්තා..අපිට ඕන නැහැ එහෙම දෙයක්..හැමදාමත් වගේ මල බත මල බත හැටියට දකින්නයි අපි කැමති..අපි කවුරුවත් ඒකට අත තිබ්බේ නැහැ...ඒත් ඒක ලෑස්ති කරලා තියෙන්නේ අර ගෙදරට කොළඹින් ආව නෑදෑයෝ කට්ටියකට සාමාන්‍ය විදියට මල බත දෙන්ට මොකක්ද ඇති වෙච්ච මදි කමකටළු..ඒ කොළඹීන් ආව උන්දලානං ළුණූ සම්බොලයි බතුයි යන්තං අතගාලා ගියා...

ඒත් එදායින් පස්සේ තැනින් තැන මල ගෙවල්වල ඔය වගේ විකාර එළියට ආවා..ළුණු සම්බෝල..බෝංචි මාළුවක් වගේ දේවල්...

ඒක උනේ අපේ මිනිස්සුන්ගේ තියෙන හීන මානේ හින්දා කියලයි මට හිතුනේ..අරුං දුන්නනං අපිත් නොදී බැහැ වගේසංකල්පයක්..ඒත් අන්තිමට ඔකෙන් පොඩි දුප්පත් මිනිහා තැලෙනවා..කොයි කාටත් සමානව තිබුන මළ බතටත් බෙදීමක් ගෙනාවා අපේ මෝඩ හරක්...

ඒකෙන් උනේ මල බතේ සාම්ප්‍රදායික ගතිය ටික ටික වෙනස් වෙච්ච එකයි...නැති බැරි එකාටත් අනිත් අය වගේ සෝබන වැඩ කරන්න වෙච්ච එකයි තමා..

1998න් පස්සේ කයි බතක් නොකාපු මං..2001න් පස්සේ මල බතක් කාලා නැහැ මේ වෙනකල්ම..අද වෙනකොට අපේ ගමේ මළබත කොහොමට වෙනස් වෙලාද කියලනං මං හරියටම දන්නේ නැහැ...ඒත් තාමත් වට්ටක්කා ..කරවල.. කෙසෙල් මාළු.. සම්ප්‍රදාය ඇති..මොන මොන දේවල් පස්සෙන් පහු එක්කාසු උනත්...

ඉතිං අද ඔන්න මං අපේ සමාජයේ වැදගත්..රසවත්..අමුතුම ආකාරයේ බත් වර්ග තුනක් ගැනම කිව්වා..දැන් කට්ටිය මට බනින්ට එපා..අපි ආවේ බත්වලට වද දෙන විදිය අහගන්ට කියලා.... ඒකිව්වේ තෙලෙන් බදින්ට හරි..බැදලා උයන්ට හරි..මස් වතුරෙන් උයන්ට හරි වගේ අරුමෝසම් ඉගෙන ගන්ට හිතාගෙන ආවානං සමා වෙන්ට ඕන..එව්වානං දැන ගත්තා උනත් මට කියා දෙන්ට වෙලාවක් නැහැ..ඊට වඩා මං කැමතියි මල බතක් කයි බතක් ගැන කියා දීලා කාලේ ගෙවන්ට...

එහෙනං තවත් වැඩ සටහනකින් හම්බු වෙනකල්..ආයි‍බෝං හො‍ඳේ...

39 comments:

  1. අඩෙහ් අප්පා...මල බත් නම් ආයේ කැව හැකි ඇති පදමට..එත් අපි ඉන්න දිහා ඔය ඉන්න එව්වා නෙමෙනේ දෙන්නේ මම දන්න මල බතේ දෙනවා..වට්ටක්කා,,බටු මෝජු,අල තෙල් දාලා..,බෝංචි තෙම්පරාදු කරලා..,මස් වර්ගයක්,,මාලුත් තියෙනවා සමහර එව්වා වල ..තව පපඩම් බැදලා.. අච්චාරුවකුත් තියෙනවා..

    කිරි බතුත් කනවා..අදත් කැවේ මුං ඇට කිරිබත්..නිදිමත බේරෙනවා...ආන් අර කයි බත නම් කාලා නැ..

    ReplyDelete
  2. අඩේ අද උදේට කෑවේ කිරිබත්.කිරිබත් උයද්දී තැම්බීගන එනකොට කිරිදානවට වඩා කිරෙන්ම තැම්බුනා නම් ඊටවඩා රහයි.අපිනම් එහෙමයි කරන්නේ.

    ReplyDelete
  3. ආය කිරිබත් දංකුඩේට පොල් ගාපුවාදාලා ගුලිහදලා කනව මාර රහයි.

    ReplyDelete
  4. හොඳට කිරිදාපු කිරිබත් කෑලි දෙකයි ගින්දර වගේ ලුණු මිරිසකුයි. හොඳ‍ට කහට දාපු දුම් දාන ප්ලේන්ටියයි. ම්ම් මට වෙන මොනවත් ඕනෙ නැතෝ......

    ReplyDelete
  5. කිරිබත් නං හැමෝම වගේ ඇති පදං කාල ඇති. අපේ ලොකු දුවට පොඩි කාලෙ, අහල පහල නෑනලා මස්සිනාලා කිරිබතා කියල ආදර නාමෙකුත් දාල තිබුන, කාපු කිරිබත් කෑමට. එයාර් ලංකා ප්ලේන් එකක මට මතකය් උදේ කෑමට කිරි බතුය්, මිරිසට උයපු තෝර මාලුය්, ලුණු හෝ මිරිස් රසක් නොතිබුන ලුණු මිරිසකුය්, කැමති අයට තෝරාගන්න අනිත් ඒවත් එක්ක තිබ්බ. මිරිසට උයපු කිව්වට මාළු වලත් මිරිස් රහක් තිබුනෙ නැහැ.

    කය් බත, පාරු බත, කරත්ත බත, ගැන අහල තිබුනට කන්න හම්බ වෙලා නැහැ කවදාවත්. ලොරි නවත්තන කඩේකින් නං කාල තියෙනව (කන්ද කපාපු සහ කිරිල්ලවල හන්දි අතර නුවර පාරෙ මහ විසාල ගහක් යට කඩේ තිබුනෙ) කට දැවිල්ලට තමා හැම වෑන්ජනයක්ම තිබුනෙ, රසය් හැබය් දෙකක් ඇනගෙන කෑවම දාඩිය පෙරාගෙන තමා එලියට එන්නෙ.

    නියම විදියටම මල බත කෑවේ 1988 අපේ මාමන්ඩිගේ මල බත. ඒ කාලෙ මාරපොල කියන ඒ ගම මොඩ් වෙලා තිබුනෙ නැහැ, මාරයා කියපු විදියටම තමා මල බතේ චාරිත්තර එහෙමත් සිද්ද වුනේ.
    ලඟදි කාපු මල බත් වල නං කරෝල කටු නෙමේ තිබ්බෙ කටු, හම, නැති සුපිරි මොඩල් කරෝල කෑලි, මාරය කිව්ව ළුණු සම්බෝලෙ තවත් මොඩ් වෙලා තක්කලි සහ ළුණු සම්බෝලයක් තමා දැන් දැන් ලැබෙන්නෙ, හැබය් ඒක නරක නැහැ කන කට්ටියට, ශෝබනේට අත ගාන කට්ටියට ඉතින් මොනව දුන්නත් වැඩක් නැහැනෙ.

    ReplyDelete
  6. කිරිබත් කනවා කියන්නේ කෑවට පස්සේ නිදිය ගැනීමක් තියෙන්නේ. ඇයි ඉතින් කිරිවලට මත් වෙනවනේ.

    වට්ටක්කයි කට්ට කරෝලයි !!!!!
    මම් ආසම කෑම ජාතියක් !!!!! මල බතට විතරයි ඔහොම කන්න වෙන්නේ. ඉතින් දීලා අදිනවා හාල් සේරුවක් විතර !!!!!

    ReplyDelete
  7. අපේ පැත්තෙ නං මලගෙවල් වලයි ඔය මඟුල් ගෙවල් වල කලින් දවසෙ පොරුව ,හට් එක වගේ ගහන්ඩ එන කට්ටියටයි දෙනව බතක් අලුකෙහෙල් වැංජනේකුයි තිබ්බටු උම්බලකඩ යහමින් දාපු පොල් මැල්ලුමකුයි කරවල හොදියි එක්ක. කැහැකි ඉඳගත්ත තැනින් හිටගන්ඩ බැරිවෙන්ඩ.

    ReplyDelete
  8. @ kassa , ඔය රෑට අලුකෙහෙල් වාන්ජනේ දෙන්නේ කෙල්ලෝ පරිස්සන් කරගන්න

    ReplyDelete
  9. ඕං අපි හූ කිය කිය අත්පුඩි ගැහුවා කියාපු විදිහටම!

    කිරි බතයි මල බතයි නං කලා තියේ අඩු නැතුව. ඔය කයි බත තමා ටිකක් හිඟ, කාපු එකක තිබුනා සුදු හදුන් කොළ මැල්ලුමකුත්, ජාතියි අප්පා. පස්සේ මම වෙනමත් ඔය සුදු හදුන් කොළ මැල්ලුම කෑවා. පොල් ටිකක් දාලා ලාවට මලවල ගත්තහම නියම කෑම.

    ReplyDelete
  10. අෆ්ෆා.. මේ මාර රසැති බත් ගැන කියවන්න උදේම ටැබක් දාගත්තට මොකෝ දැනුයි දැක්කෙ කොමෙන්ටුවක් දැම්මෙ නෑනේ කියල.. හි හී..

    මංනං මොනා තිබුනත් කිරිබත් කන්න කැමති ලුනු මිරිස් එක්කල තමයි.. :) වට්ටක්කයි කට්ට කරෝලයි.. ම්ම්ම් මාත් ආසයි..
    මං තාම මේ කයි සහ මල බත් නං කා නොමැත. කරුනු කිව්වාට තුති.. !!!

    ReplyDelete
  11. මාරයියේ කිරිබත් දන්කුඩවලට පොලුයි , පැණියි දාලා කාලා බලන්න්කෝ..

    ReplyDelete
  12. කිරිබත් සහ මල බත් තාමත් කනවා.. ගමේ තිබ්බ කුඹුරු දැන් කරවන්නෙ කුලියට දමල නිසා...කයි බත් නැහැ. කයි බත මට මතකයි හාල්මැස්සො හොද්දක් හදනව කුරුම්බා සහ පොල් අතරෙ තියෙන පොල් දිග අතට කෑලි කපල දමලා..කුඹුර පුරා සෙල්ලම් කරල කරල මහන්සි වෙන අපි තමයි වැඩියෙන්ම කන්නෙ..ඔය මුං ඇට කිරිබත් වලට හකුරු දමල තයිපොන්ගල් වලට කාලෙ හදනව බතක්..ඒක දමිල විතරක් නෙවෙයි සිංහල වුනත් හරක් පට්ටි තියෙන අයත් හදනව. එව්ව හරක්ට කවනව.ඒත් වැඩිපුරම කන්නෙ අපි තමයි.

    ReplyDelete
  13. උදේ තෝෂෙ කාල ලියල තියෙන්නෙ ලෙසටම.

    කිරි බතෙන් පටං අරන් මල බතෙන්ම ඉවර කරල තියෙන්නෙ. කොහොම උනත් මෙතන තියෙන බත් වලින් මලබත තමයි රසම එක කියල තමයි මටනං හිතෙන්නෙ. හැබැයි ඔබ කියන ජාතියෙ මල බතක් දැන්නං හොයාගන්න ටිකක් අමාරුයි.

    දැන් ඔය උයපු ඒව ඕඩියන්ස් එකේ කට්ටියට කන්න දුන්නද?

    ReplyDelete
  14. මම නම් ඔය කියපු හැම බතක්ම කාලා තියනවා. කයි බත විශේෂයෙන්ම, හැබැයි කයි බත රහ වෙන්නෙ අමුඩ කෙටියක් ගහලා, කුඹුරට බැහැල අඬහැරයක් තියලා මඩ හෝදගන කනකොට තමා,
    අප්පේ කිරිබතේ දංකුඩ මම තාම හාමිනේට කියලා වෙන් කරගෙන කනවා එහෙම කෑමක්, හොඳි ඕ..න්..නෙ නැහැ,
    අපේ බතට ගහන්න කෑමක් අනේ මන්ද...........

    ReplyDelete
  15. බෙහෙත් ගනිල්ලා.......:)

    ReplyDelete
  16. කිරිබත රස වෙන්නෙ වේලුන පොල් දැම්මම නෙමෙ...දාන්න ඕනි කොලපාටට ලෙල්ල තියෙන ගානට පැසුන පොල්..ගහේම වේලිල වැටෙන පොල් දැම්මොත් තෙල් ගතිය වැඩි වෙනව...
    අපිනම් මල බත කියල එකක් කාල නෑ උපන්තෙකට..බාගෙදා ඒක අපේ පැත්තෙ නැතුව ඇති...

    ReplyDelete
  17. සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව කාර් එකක් හයර් කොරගෙන තමයි පෝස්ට් එකේ උඩ ඉදන් පහලට ආවේ....

    ReplyDelete
  18. බලාගෙන ගියහම මළ බතත් රසම කෑමක් නෙ. මමත් කාල තියෙන්නෙ මොඩ් වෙච්චි මල බත් තමා. අපරාදෙ කෑමට පෙර මේක බැළුවෙ. දං ඉතින් උයා ගත්තු පරිප්පුවයි, කුකුළු මස් හොද්දයි, කරවිල සම්බෝලෙයි කන්න හිතෙන්නෙත් නෑ . අනේ බොල තොට නං............

    ReplyDelete
  19. මළබතට ඔච්චර පෙරේත වෙන්න එපා බොලව්. එකෙක් මැරෙන්නම එපැයි ඒක කන්න.

    ReplyDelete
  20. කිරිබත් දංකුඩේ කාපු කාලයක් මතක් නෑ.. දැං උයන පිහන හට්ටිවල අඩිය අල්ලන්නෙ නැතුවද මංද.

    ReplyDelete
  21. කිරිබත් උදේ හදල ටිකක් දවල් වෙලා කන එකත් නියම ගති කෑමක්... හැබැයි හොඳට කිරි දාල තියෙන්න ඕන....

    අපේ මහප්පලගෙ කුඹුරු වැඩ වලදි කයි බත කාල තියෙනව... හොඳටම මතක පොල් කෑලි දාල උයන හාල්මැස්සො හොදි....

    මල බත නම් කාල නෑ... අපේ පලාතෙ ඔය චාරිත්‍රෙ නෑ... ඔය කියපු කරවල වට්ටක්ක එක්ක බතක් උයල කෙසෙල් කොලේකට දාල වත්තෙ කොනක දාන එක තමා අපි මලබත කියන්නෙ...

    ReplyDelete
  22. කයි බත හැර අනික් දෙක නම් කාල තියෙනවා . දැන් නම් මළගෙයක් වුනහම ඕන වෙලාවක අහල ඵල ගෙදරක හරි ඒ ගෙදරම පැත්තක හරි හොඳ කාම මේසයක් අරිනවනේ . තවම ගම්වල නම් පරණ සිරිත් කෙරෙනවා ඇති . අපි ඉගෙන ගන්න කාලේ මළගෙවල් සොයා සොයා යනවනේ . මුලින්ම කොල්ලෝ කෙල්ලන්ට තර්ජනය කරලා එක්ක යන්නේ . ''කන්න බැරි එවුන් කට වහන් හිටපියව් . අපිටවත් කන්න දීල . ''ඇයි සමහර කෙල්ලෝ ලජ්ජාවට කිව්වොත් කලයි ආවේ කියල . ඔය තර්ජන මට නම් අදාළ නැහැ . උන් දන්නවා කන්න කිව්වම කලින්ම නැගිටින්නේ මන් බව.

    ReplyDelete
  23. අඩේ, බත් ගැන පෝස්ට් එක හරි දිගයිනේ.මහන්සිවෙලා ලිව්වට ස්තූතියි.සම්පූර්ණයෙන් කියෙව්වෙ නෑ.මේ මාර සරණියේ ලිපි පසුකාලීනව වැදගත් වූ බව සතුටින් කිව යුතුය.මේ ලිපි මකන්න නම් හිතන්න වත් එපා.

    ReplyDelete
  24. මාරයියෙ නියම පෝස්ට් එක, කටට කෙල උනනව. කොහුබත් කියල ජාතියකුත් තියෙනව නේද මාරයියෙ? කාල තියෙනවද

    ReplyDelete
  25. කයි බත් නම් කාලම නෑ.. මල බතත් මොඩරේට් වෙච්ච එව්වා තමා ඉතිං කාල තියෙන්නෙ... තවත් බත් වර්ග..හුන්සල් බත්..දිය බත්...

    ReplyDelete
  26. ඇ මාරයියේ...... මේක මාර සරණියක්ද නැත්නම් අර මනාප පොරේට බංකුව උඩට නැග්ග වෙලාවක් සිහිවෙලා ලිව්වද????

    අනික බරිකිත මං නම් ආස කෑලි කපන්න බැරි තරමට කිරි දාලා. කෑලි කපන එව්වා වේලිලා වැඩියි. කිරි රහ මදියි. ඒක කට්ට සම්බල්/මාළු ඇඹුල් තියල්/චිලි පේස්ට්/සීනිසම්බල් වගේ ජාති එක්ක තමා ප්‍රධාන ලෙස කන්නේ. පුදුමේ කියන්නේ ගෙදර හැදු බල්ලෝ දෙන්නම හරිම පෙරේතයිනේ ඔය බරිකිතට. (හරි හරි අම්මා කියන්නෙත් ඕක තමා අක්කයි අයියගෙයි කරමෙට මල්ලිලත් හැදෙන්නේ කියලා)

    මුංඇටබරිකිත් කා නැත. මුරුතැන් බත කන්නට ලොකූ................ ආසාවක් ඇත. (කවුද ඉතින් ගෙනත් දෙන්නේ දොළ දුකටම තමා කන්ට වෙන්නේ. හික්ස්) කරුමෙට බරිකිත් පල්ල අල්ලන්නේ නැත දංකුඩ කන්නට.

    කයි බත අසා ඇත දැක නැත. කොහේ දකින්නද ගොයම් කපනවා වත් දැක නැතිකොට. ඒ නිසා දවසක අයියා කයි බතක් සාදා දෙනු ඇතැයි සළකමි. (කොහොමද සිම්පල් ප්ලෑන)

    මල බත එකම එක් වරක් ඉස්කෝලේදී සිස්ටර් යන්නම නොදුන් නිසා කෑවෙමි. ආගමේ මල බතක් නිසාද නොදනිමි ඔය අයියා කිව් වැඩි ජාති තිබුනි. වට්ටක්කා තිබූ බවට යාන්තම් මතකයක් ඇත. කටවල් 4කට වඩා කෑවේ නැත. (මං මළ ගෙවල් කියලා ගිහින් තියෙන්නේ 3ටනේ ඉතින් මොන මලබත්ද)

    තව මුකුත් නැත. දැන් කියවා ලියා හතිය. හෑහ් හෑහ් හෑහ් හෑහ්.........

    ReplyDelete
  27. අඩේ . . . . එතකොට ඔය දංසැල් වල දෙන බත් ජාතිය . . . . ."මහා බත්" . . .??? එවුව ගැනත් ලියහං කෝ . . .

    ReplyDelete
  28. හොඳා හොඳා . . අපේ අයට බත් වර්ග අඳුන්නලා දෙන්නත් එක්ක මෙහෙම හොඳා . . . මගේ මරනෙත් දවසක් ලිව්ව වගේ මතකයි මළ බත ගැන

    ReplyDelete
  29. කයි බත තමයි හොඳම එක!
    කයි බතත් දැන් පීzස හට් වගේ තැනකින්ද ඔර්ඩර් කරන්නේ, මලබත වගේ?

    ReplyDelete
  30. සිරා බං උඹේ ලියවිල්ල. ඒ ඒ බත්වල රස දිවට දැනුනා වගේ කියවගෙන යනකොට.

    මම අන්තිමට මල බත කාපු දවසේ, හවස් වරුවේ මාරයාවත් හම්ඹවෙලානේ ආවේ, කීයෙන් කී දෙනාටද ඒ චෑන්ස් එක වදින්නෙ.....!

    ReplyDelete
  31. ඇයි තව ඉන්දියානු ක්‍රෙමේට හදන බතකුත් තියෙන්නෙ "මොහොබ් බත්"

    ReplyDelete
  32. හොද වෙලාවට මේ බත් වර්ග සේරම කාලා තියේ, මුරුතැන් බතත් කාලා තියේ,,ඒක නම් මරේ මරු ,ඔය මළ බත නම් අපේ පලාතෙත් ඕකම තමා හැබැයි දැන් දැන් පොඩ්ඩක් වෙනස්,,,කරන පිලිවෙතත් පොඩ්ඩක් වෙනස්,,මිනිය වළ දාන වෙලාවටම තමා බත ලිපේ තියන්නේ,,ඒ වගේම මිනිය තිබුනු තැනත් පොඩි මුට්ටියක බතක් ඉදෝනවා ඒ වෙලාවටම...
    ප්‍රවීන සූපවේදී මාර තුමාට අපගේ ස්තූතිය.

    ReplyDelete
  33. මේවා අහනකොටත් කෙළ එනවා නේ! මාත් කිරිබත් කන්න ආස බල මාළු මිරිසටයි ලුණු මිරිස් එක්කයි. ඒක කාල අතුරුපසට වගේ චුට්ටක් හකුරු එක්කත් කනවා. අපේ කිරිබතට වෙන වෙන රටවල අයත් ගොඩක් ආසයි. මං කීප දෙනෙක්ට හදල දීල තියෙනවා. එයාලගේ හිතේ රහේ හැටියට හරි අමාරු දෙයක් කියල. හික්ස්
    ඉඹුල් කිරිබත් කාල නැහැ. මේක දැක්කම නම් හදාගෙන කන්න හිතුනා. මුරු තැන් බත නම් කාල තියෙනවා කතරගම දේවාලේදී කීප පාරක්ම.
    මළ බත ගැන - ඕක දකුණේ දෙන්නේ නැහැ නේද? අම්බලන්ගොඩ පැත්තේ එහෙම මිනිය තියෙද්දී ගෙදරම බත් උයලා මරණෙට එන මිනිස්සුන්ට කන්න දෙනවා. ආදාහනෙන් පස්සේ ආයි වෙනම බතක් උයන්නේ නැහැ, තේ අල්ලනවා විතරයි.
    අපේ ගෙදර බෙන්තර ගඟෙන් එහා සහ මෙහා දෙකම නිසා මරණයක් වෙලාවට බත් දෙකක් උයන්න වෙනවා! ඇයි ඉතින් බෙන්තර ගඟෙන් එහායින් එන මිනිස්සු මුල් බත කන්නේ නැහැ නේ. :D

    ReplyDelete
  34. ඔය හැම බතත් හරි මල බතත් හරි, ඒ උනාට දැන් ඔරිජිනල් මල බත හුඟක් තැන්වල නැහැ .......

    ReplyDelete
  35. මුං කිරිබත්, ඉඹුල් කිරිබත් සහ හකුරු කිරිබත්......... කත හැකි බඩ පැලෙනකල්..

    ReplyDelete
  36. 15-16 කාලේ මළගෙවල් වල පදිංචිම වෙලා වගේ හිටි නිසා මළ බත් නම් කෑවා. අපි කෑවේ කට්ට කරවල හොද්ද, වට්ටක්කා හොද්ද හා ලූණු/තක්කාලි සම්බෝල... ඒ රස නම් මාරයි... කිරිබත් ඉතින් කොයිවෙලේත් කනවනේ...

    කයි බතක් කන්න තිබ්බ චාන්ස් එක කෑමට කලින් දෑකැත්තට අත කපා ගත් නිසා මිස් වුනා... දුක තමා... දැන් හදන කයි බත් නම් මෙලෝ රහක් නෑ...

    ReplyDelete
  37. oya bath jaathi okkoma kapu ekek widiyata kiyanda thiyenne niyamaaaaai kiyala.mala batha kana eken mala gedara una minissunge hith walata loku gatak enawa egollo thaniwela na kiyala.matanam hithenne ehemai.maraya polowe paya gahala jeewath wena kenek kiyala hodatama therenawa.jaya wewa!!!!

    ReplyDelete
  38. ඊලඟට ඉඹුල් කිරිබත්....

    ReplyDelete
  39. ඔන්‍න‍ මමත් කිරිබත් කෑල්ලක් කෑවා ..හරිම බඩගිනියි

    ReplyDelete