10 August 2011

කජු මාළුව..කැබැල්ල දළු.. සමඟ තාත්තාගේ මතකය...

ඔන්න ඉතිං ඊයේ ලිපියේ දෙවෙනි කොටහ..හැබැයි ඉතිං දන්නවනේ..කොතනින් පටන් අරගෙන කොතනින් නවතින්න වෙයිද මංදා... ඒක තීරණය කරන්න ඕන අන්තිමේදී ලිපිය ඉවර උනහම..

හරි මං ඊයේ නැවැත්තුවේ කජු මාළුව ගාවින්..අහ් එහෙම කිව්වම මතක් උනේ ඊයේ ඔය ලිපිය දාලා ඉවර වෙලා අවසානෙදි ඒක පබිලික් කොරලා දැම්ම බස්එකට හවස හයට විතර බොහෝම දුර බැහැරක ඉඳන් කෙනෙක් ගොඩ වැදිලා ඔය නාඹර කජු ගැනයි..එතකොට කලුපොල් මාළුවයි..ආ තව කැබැල්ල දළු වෑංජනෙයි ගැන ඇහැවුවා නෙව..මමත් ඉතිං මට ඇහැකි විදියට ඒ ටික කිව්වා..ඉතිං මට හිතුනා ඒ ගැනත් තව ටිකක් පැහැදිලි කරන්ට වෙයි කියලත්.

කළු පොල් මාළුව කියලා කිව්වට මොකද ඕකට ගන්නේ කොස් ඇට තමා ඕං..සමහරු කොස් ඇට පොතු ඇරලා ඕක හදනවා උනත් නියම ක්‍රමේනං පොතු තියෙද්දීම හදන එක තමා...හොදට වේළුන පොල් ගෙඩියක් අරගෙන ගාගත්ත පොල් ටිකක් කබලේ බැදලා..පහේත් බැදලා එහෙම තම්බලා තලා ගත්ත කොස් ඇට ටික අර කළු කරගත්ත පහේ සහ පොල් එක්ක අනිකුත් කලමනාත් දාලා මිටිකිරෙන් උයා ගන්නයි තියෙන්නේ...ඕනනං කලින් තම්බන්නේ නැතිව දිය කිරෙන් ලිපේ තියලා පස්සේ මිටිකිරි දාන්ටත් ඇහැකි.. අවසානෙදී හොද කළුපාටට..ටිකක් විතර සැරට..හින්දවපු හොදිත් එක්ක කන්න ඇහැකි..හැබැයි ඉතිං අර මුරුංගා කනවා වගේම තමා.පොතු ඇර ඇර කන්ට ඕන...

කැබැල්ලා දළු වෑංජනේ ගැන කියනවනං...





ඔය මං ඉහතින් දාලා තියෙන්නේ කැබැල්ල දළු සහ කැබැල්ල කොලවල පින්තූර තමා...

ඔය රත්තරන් පාට සහ ලා කොළ පාට වගේ තියෙන දළු තමා උයන්න ගන්නේ..මෝරපු කොල හරියන්නේ නැත.

ඔය දළු අරගෙන හොදින් පැහෙන උණු වතුර එහෙකට දාන්ට ඕන..දාලා සුවල්ප වෙලාවක් තියෙන කොට ඕකේ තියෙන අර කොලපාට ගතිය අඩු වෙලා ටිකක් හේ බාපු පෙනුමක් එනකොට දළු ටික අරගෙන තෙත ඇරලා..මිරිස් ගල හරි දැන්නං ඉතිං බ්ලෙන්ඩර් එක හරි කමක් නැහැ පාවිච්චි කරලා අඹර ගන්ට ඕන..හැබැයි ඉතිං මිරිස් ගල තමා හොඳම..

ඒ අඹරගත්ත දළු තලපේට රතුළුණු..කරපිංචා.. රම්පේ..කුරුඳු පොතු.. අමුමිරිස් එහෙම යොදලා අමු පහේ කුඩු..මිරිස් කුඩු ඇබින්දක්..හොද ගොරකා කෑල්ලක් එහෙම දාලා ආ තව කහ ටිකකුයි..තියේනං හොද උම්බලකඩ ටිකකුයි එහෙමත් දාලා මිටි කිරි වලින් ලිපේ තියලා හොදට හිදෙන්ට උයා ගන්ට ඕන..ඒ කරලා අවසානෙට අබ ඇට ඩිංගිත්තක්..වේලිච්ච මිරිස් කරලක්..කරපිංචා කොලයක් දෙකක්..ලියා ගත්ත රතු ළුණු ටිකක් එහෙම යොදලා පොඩ්ඩක් තෙම්පරාදු කොලා ගන්ටයි තියෙන්නේ..පුදුම රහක් තියෙන කෑමක් තමා ඒක..බත් කන්ටත් හරි අපූරුයි.. හැබැයි මගේනං අංක එක තමා ඉඳි ආප්ප වලට...

ඉතිං ඔය පැහැදිලි කිරීම මදෑ දැනට නේද..?

ඉතිං අපි යං කජු මාළුවට...

මං ඊයේ කිව්වා නේද අපිට පොඩි කාලේ කජු උතුරන්න තිබුනා කියලා...ඉතිං ඒ දවස්වල අපි දෙන්නා..ඒ කිව්වේ මල්ලියි මායි ඉස්කෝලේ ගෙහුන් ගෙදර ආවට පස්සේ තාත්තණ්ඩි උයලා තියෙන මොනවා හරි හොදට කොටාබාලා එහෙම යනවා පොඩි රාජකාරියකට..ඒ යන්නේ තනියම නෙවෙයි මමයි මල්ලියි තාත්තයි තුන් දෙනාම තමා...

අපේ ගෙදර ඒ කාලේ කොයි වෙලෙත් එක එක ගානට හදපු හීනි කෙකි කිහිපයක්ම තියේ...තාත්තා බොහෝම හොඳින් රැක බලාගෙන නඩත්තු කොල කෙකි තමා ඒ..හීන් උණ ගස් වගේම බට ගස් වලිනුත් මේවා හදලා තිබුනා..හුගාක් හීනි හයි හත්තිය ඇති කෙකි.. ඒ වගේම පේර ගස්වලින් කපාපු බලටු තමා බැඳලා තිබුනේ... අර පොල් කඩන ඒවට වගේ වාකැති බැඳලා නෙවෙයි...ඔය කෙකි වලින් එදා දවසේ වැඩේට හරියන කෙකි තුනකුත් අරගෙන අපි යනවා වත්ත පහලට..ඒ ගෙහුන් ඉතිං පටන් ගන්නවා කජු ගස්වලින් අමු කජු කඩන්ට...තාත්තා වරින් වර කෙකි මාරු කරමින් මුළු ගහේම අතු අස්සේ තියෙන නාඹර කජු තෝර තෝර කඩනවා...

අපි දෙන්නත් පොඩි කෙක්කක් අහු වෙනකල් ඉඳලා අර පාත අතුවල තියෙන නාඹර බිමට අදිනවා..කොහොම උනත් අපේ ඇස් තියෙන්නේ අතරින් පතර තියෙන ඉඳිච්ච කජු පුහුලං වලට තමා...ඒත් අපේ හිතු මනාපෙට ඒවා කන්ට දෙන්නේ නැහැ මහ උන්දෑ... මොකද ඒ දවස්වල මං හෙන ලෙඩා දුකා... කොයි වෙලේ බැළුවත් මට එක්කෝ කැස්ස..නැත්තං හෙම්බිරිස්සාව...ඉතිං කොහොම හරි ගෝනියකින් කාලක් විතර වෙන්ට කජු කඩාගෙන ගෙදර ඇවිත්.. පටන් ගන්නවා කජු කපන්ට..අපේ තාත්තණ්ඩියා ඕකට හෙන දස්සයා..මං හිතන්නේ උන්දෑ කලින් ආත්මෙක ගිරවෙක් වෙලා හරි ඉඳලා තියෙනවා..මොකද ගිරවු තමා කජු කපන්ට පුදුම දස්කමක් දක්වන ජාතිය..

ඉතිං කජු ගෙඩි තුන් හාරසීයක් කපලා..ඒවායින් මද වෙන් කරලා..මද වල සිවිඩ්ඩ ඇරලා... ලුනු වතුර එහෙකට දානවා..නැත්තං ඉක්මනටම කහට පිපෙනවා...

ඒ කරලා කජු ටික ලොකු ඇතිලියකට දාලා ඒකටම හෝදලා ගරාපු පරිප්පු මිටකුයි..සුද්ද කරලා හෝදලා ගත්ත කීරමින් කරවල කූරි ටිකකුයි දමලා..මිරිස් පහේ හෙම හොද ගානට යොදලා..අනිකුත් කලමනා එහෙමත් දාලා ඒ සියළුම දේවල් වැහිලාම යන තරමට පොල් කිරි දානවා...මිටි කිරි විතරක් නෙවෙයි දෙවෙනි වර මිරිකන කිරිත් කලවමට දානවා.... හැබැයි වේළුන පොල් තමා ඕන...

ඊට පස්සේ හවස හය විතර වෙනකොට එය හොද්ද ලිපේ තියලා හැදි ගාමින් උයනවා..හොද්ද හොදට නටාගෙන එනකොටම ගින්දර අඩු කරනවා..හැබැයි ලිපෙන් බාන්නේ නැහැ... හොද අගුරු කොටයක් ලිපේ තියනවා..සමහර විට පොල් ලෙල්ලක් දෙහෙකුත් දාලා ගිනි රස්නේ යන්තමට තියෙන්න අරිනවා..ඒක එච්චරයි..

ඉතිං අර මඳ ගින්නෙන් රත් වෙවී රත් වෙවී තියෙන කජු මාළුව පහුවදා උදේ වෙනකොට හොදට හිඳිලා...බලන්ට ලස්සනේ බැහැ උඩ තෙල් පෑදිලා තියෙනවා... කජු ටික බටර් වගේ... ඔය මාළුවත් එක්ක හීල් බත් මිටක් තියෙනවා කියන්නේ ආයේ ඉතිං ඊට වඩා දිව්‍ය භෝජනයක් තවත් නැහැ...ඔකේ හොදම දේ තමා එදා උදේටත් කාලා දවල්ටත් කාලා..අවසානෙදී අර මැටි හට්ටියේ ඉතිරි වෙන හොදි බොරේ එක්ක හවසට පාන් කන්ඩ තියෙනං... ඇතිලිය පිහගෙන පාන් වගේම..ඒ ඇතිලියටම බත් හැන්දක් දාලා හොදට පිහගෙන කන්ටත් ඇහැකි...

ඇත්තටම ඔය තමා මගේ ජීවිතේ හොඳම කාලේ...සල්ලිය බාගේ අතින්..අනිකුත් සැප පහසුකං අතින් ඒ හැටි ලොකු දෙයක් නැති උනත්... රසට කෑම බීම ටික ලැබුන කාලේ...

අද ඒ කජු ගස් එකක්වත් ඒ වතුවල නැහැ..ඒවා ඔක්කෝම වෙන්දේසි කරලා..කජු ගස් තිබුන තැන්වල අද ගෙවල් පිරිලා...යන්තං එකම එක කජු ගහක් තාමත් අපේ ගේ පිටිපස්සේ තනිවෙලා තියෙනවා..ඒකෙනං තාමත් එහෙං මෙහෙං කජු හැදෙනවා.. කොච්චර කජු හැදුනත් මොකටද..? අද ඒ විදියට මට කජු ටිකක් උයලා දෙන්න තාත්තා නැති කොට...
.......................................
අන්තිම ඡේදේ ලියලා ඉවර වෙලා කාලෙකට පස්සේ මම හොඳටම ඇඩුවා...ටික වෙලාවක් යනකල් අකුරු දිහා බලන් ඉන්නවා ඇර මේක පෝස්ට් කරන්නවත් සිහියක් තිබුනේ නැහැ..ඒත් දැන් හරි. මෙන්න කියවන්න..මේ තමා මගේ ජීවිතේ...



53 comments:

  1. මේක තමයි අපි කාගෙත් ජීවිතේ. අද වැඩ අනුව කමෙන්ට් තියා ලියන්න කියන්නවත් වෙලාවක් නැහැ. ඒත් මේ ලිපිය, අපි කාගෙත් ජීවිතේ අතීතයට ගොඩක් සමීපයි. ස්තුතියි. සිතින් අතීතයට ගියා.

    ReplyDelete
  2. කුඩා කාලෙට අපි නැවත ගියා වගේ.. ඒත් මාරයියේ..දැනුත් ගමේ ගියාම මේ හැම දෙයක්ම වත්තේ ඒ අක්කරයෙන් තිබුනත් එතන ලොකු අඩුවක් තියනවා ...ඔය කිව්වා වගේ අපිත් එක්ක එකට ජීවත්වූ චරිත කීපයක්ම දැන් අපි අතරේ නැති නිසා වෙන්නැති...

    ReplyDelete
  3. අනේ මන්දා... මේක කියවන කොට සතුටකට වඩා දුකක් දැනෙන්නේ. මාරයියගේ පොඩි කාලෙන් තුන් කාලක් වත් අපිට විඳින්න පින තිබ්බේ නෑ. මට දුක ඒකට නෙවෙයි. ඔය ලස්සන බලන්න අපේ පොඩි වුන්ට පින නැති එකටයි. කැබැල්ල දළු මාළුව, කළු පොල් මාළුව මමත් පොඩි කාලේ අපේ ආච්චි අම්මගේ අතින් කෑවා. කජු නාඹර නම් කාල නෑ. ඒත් ඔය කියල තියෙන විදියට නම් කජු ගස් පාස්සන්න හිතෙනවා අප්පා...!

    කළුපොල් කිව්වම මතක් වුනේ. එක්තරා ගෑනු කෙනෙක් කළුපොල් මාළු හදන්නයි කියලා පොල් ගෙඩි විස්සක් තිහක් බිඳ බිඳ කළුපාට පොල් හෙව්වළු...හී හී...!

    ReplyDelete
  4. ඇත්තටම අපේ හිතේ රැඳුනු මේවගේ පුංචි පුංචි දේවල් තමයි හිත ගොඩක්ම රිදවන්නේ...
    කජු මාලුවක්නම් ඉතින් මාස දෙකකට විතර කලින් කෑවා .. හැබැයි ඔය කියන විදිහට නෙමෙයි හැදුවේ... මේ විදිහ ගොඩක් රස ඇති... කජු ගස් නැති හින්ද ඉතින් කඩෙන් තමයි ...
    කැබැල්ල කොළ අදයි දැක්කේ ... ගොඩක් පින් photo ටික දැම්මට :)
    කොස් ගස් නැති හින්ද පොලොස් කන්න ලැබෙන්නෙත් නැහැ ... අනික ඒවා උයන්ඩ දන්නෙත් නැහැ නෙව හරියට.. අම්ම හිටියනම් හදල දෙනවා...
    දානේ ගැන ලිපියත් ඉක්මනටම ලියන්ඩ ලැබේවා කියල පතනවා... :)

    ReplyDelete
  5. අර ඇතිලියට දාගෙන කනවා කියල කියවනකොට මයෙ කටටත් කෙළ උනාගෙන ආව, ඉස්සර ආච්චිලගෙ ගෙදරදි කාපු හට්ටිබත් මතක් වෙලා. බතුත් කාලා දැලිත් නාලා ඉන්න හැටි මතක් උනා....

    අප්පේ ඒවයෙ තියන දිවියලෝක රහ....

    ReplyDelete
  6. අපේ ආච්චි අම්මට පින් සිද්ද වෙන්න මටත් ඔය ‍කොස් ඇට කලු පොල් පොලොස් කජු මාළුව එහෙම කන්න පුලුවන් උනා... ඒත් අපෙන් පස්සෙ පරම්පරාවට මෙව්වා දකින්නවත් ලැබේ දැයි සැකයක් තියෙයි...
    කැබැල්ල දළු ගැන ඇහැව්වෙ ගියපාර පෝස්ටුවෙන් දැක්කෙ දැන් පොටෝ එකෙන්..අපේ ගම් පලාතෙ(මාතර පැත්තෙ) මෙව්වා නැතිද මන්දා...
    රෙසිපිය මොකක් වුනත් තමන්ගෙම අම්මා තාත්තා හදන කෑම වල අමුතුම රසයක් තියෙයි...එයාලගෙ ජීවන රසයත් ඒ කෑම වලින් දැනෙනවා...ඒක නිසා වෙන්න ඇති..

    ReplyDelete
  7. ජීවිතේ හැටි ඔහොම තමයි මාරයෝ. (මාරයට බණ කියන්න මම කවුද?)
    කොහොම උනත් දැන් උන්ට කලුපොල්, කජු තියා අම්‍ම තාත්තවත් ඉන්නවද කියල බලන්න සිහියක් නෑ තරගය නිසා. ඒ දේ කරල තියෙන්නෙත් ඉතිං දෙමවුපියොම තමයි.
    කොහොම උනත් 'රසවත්' ලිපියක්.

    ReplyDelete
  8. මාරයියා කාල තියෙනවයි මඩු දළු මාළුව. ඒකත් ඉතින් කාලම තමා බලන්න ඕනෙ. මාර රහයි.
    හොඳ වෙලාවට අපේ ගෙදරම තියෙනවා මඩු ගහක්.

    ReplyDelete
  9. හ්ම් ආඩම්බරයි .කළු පොල් ..කැබෙල්ල දළු ..කජු නාඹර තුනම කාල තියෙනවා . කැලණිය පැත්තේ තාමත් කජු ගස් දෙකතුනක් ඉතුරු වෙලා තියෙනවා . ඒත් මාළු උයන්න ඉතුරු වෙනවද මන්ද . කැරන් කොකු මාළුව කාල තියේද . රත්නපුරේ පැත්තේ ඉව්ව ඉස්සර . තව හත් මාළුව . අවුරුද්දට තමයි ඒක උයන්නේ .

    ReplyDelete
  10. මාර කුකරි ක්ලාස්. :D
    අර අදහස ගැන හිතන්නකො පොඩ්ඩක්. දැන් තුන්දෙනෙක්ම කිව්වනෙ. ගැලපෙන වැඩේ.

    පොඩි කාලෙ කෑ බී දේවල අමුතු රසයක් අපිට මතක හිටින්නෙ, ඒ දේවල් හැදුණු අත්වලින්, හිත්වලින් ආදරයත් මුසු වුණු නිසා වෙන්නැති.

    ReplyDelete
  11. අපිනම් තාමත් අවුරුදු කාලෙට අහල පහල වතු වලට පැනල කජු හොයාගෙන කජු මාළුව කනවා වෙනදට කුස්සිය පැත්ත පලාතෙවත් යන්නැති අක්කයි මායි කජු ලෙලි ගලවන්න අම්මට පැනල උදව් කරන්නෙ කජු ලෙලි දෙකක් ගැලෙව්වත් එකක් කනවා අන්තිමට බතුත් එක්ක කන්න බෑ මත් වෙනව

    මමනම් ඔය කැබැල්ලා දළු වෑංජනේ අහලම නෑ මෙ පැත්තෙ නැතුව ඇති

    ReplyDelete
  12. @වෙද ගෙදර මහ වෙදනා...

    බොහෝමත්ම ස්තූතියි අච්චර වැඩ අස්සේ වචනයක් කොටලම ගිය එකට...

    ReplyDelete
  13. @Gimhani...

    ගිම්හානිත් බොහෝම දේවල් අත්දැකල අත්විඳලා තියෙන වගනං පේනවා... බොහෝම ස්තූතියි දෙන්නාවූ සහයට...

    ReplyDelete
  14. @චතුරංග පෙරේරා...

    ඇත්තටම එන්න එන්නම ළමයින්ට අත්වෙන ඉරණම දැක්කම පුදුම කණගාටුවක් දැනෙන්නේ...අම්මලා තාත්තලා උන්ගේ ජීවිතේ ලස්සනම කාලේ හොරකං කරනවා..කැත විදියට...

    කොහොම හරි අර පොල් අස්සේ කුණු පොලයක් තිබ්බනං එදා ඒ ගෑණු කෙනා කළුපොල් උයන්ටත් ඉඩ තිබ්බා..හෙහ් හෙහ්...

    ReplyDelete
  15. @දිනූෂා...

    කඩෙන් කජු අරගෙන කනවයි කිව්වේ අර වේලිච්ච කජුද..ඉපේයියා...වේලපු කජු උයලා කනවා කියන්නේ මහ අපරාදයක්..ඒවා හොද ටිකක් බැදලා සීනි හරි මිරිස් කුඩු වගේ දේවල් එක්ක හරි කන්ට මිසක් උයන්ටනං නෙවෙයි... නාඹර කජු මාළුවක් අහලින් තියන්ට බැහැ ඔය කඩේ තියෙන වේලුන කජු...

    හිටින්ට ඉක්මනටම ලියනවා ඒ ලිපි ටිකත්...

    ReplyDelete
  16. @nawammawatha...

    ඔය ඉන්නේ තව වල‍ඳේ වළඳපු එකෙක්...

    ReplyDelete
  17. අන්තිම ජේදය වාවන්නේ නැති උනා වගෙ උනා බොල......තාත්තට පිං....උඹැහැව ඔපමට්ටම් කොරල තියෙන්නේ ඒ මනුස්සය....

    ඉස්සෙල්ල පෝස්ටුවට දාපු කොමෙන්ට් පොල්ල නැහැ නොවැ...බොලා අයින් කොලා වත්ද?

    ReplyDelete
  18. @ප්‍රසංග...

    මං හිතන්නේ මාතර අහත් ඇති ඔව්වා..මොකද සාමාන්‍යයෙන් රස්නෙ පැතිවල වගේම සාමාන්‍ය සෞම්‍යය පළාත්වලත් මං හුගක් දැකලා තියෙනවා කැබැල්ල...

    ReplyDelete
  19. @Praසන්ன...

    බොහෝම ස්තූතියි..කියලා තියෙන කතාවලට අත් දෙකම ඔසවා අනුමැතිය දක්වමි

    ReplyDelete
  20. @පැණි දොඩම් - [නුවන් කුමාරනායක]...

    මඬු දළු කා ඇත... ඒ කිව්වමයි මතක් උනේ..මගේ වැඩ කරන තැනත් මඩු ගහක් වගේ එකක් තිබුනා නෙව..හිටු බලන්න හෙටම ඒ මඩුද කියලා..එහෙම තිබ්බොත් දන්නවනේ ඉතිං...

    ReplyDelete
  21. @Bindi...

    හප්පච්චියේ අපේ තාත්තා හත් මාළුව උයන්නේ හෙනට ආලවට්ටං දාලා නෙව අළුත් අවුරුද්දට...
    කැරන් කොකුත් වළඳා ඇත...(හය අවුරුද්දක් හිටියා නෙව පන්සලක තැපලා...)

    බලාගෙන යද්දී බින්දි අපේ මැරවින් තුමාගේ ආසනේ වගේ..අපේ අල්ලපු ආසනේ නෙව ඕක...

    ReplyDelete
  22. @නලිනි චන්දිමා...

    පොඩ්ඩක් හිටු..මං විවෘත කරන්න පොරධාන ආරාධිතයා හැටියට කතා කොරනකං...
    යකඩෝ මං ගස්යන වැඩම සැට් කොරන්න හදන්නේ ඇයි අම්මපා..?
    හා මං දන්නවා..ඊට පස්සේ උඩ පැන පැන හිනා වෙන්ට නේද..?
    දැන ගොවිතැන් නොදැන වෙළඳං කිව්වළු...(මට ටැපළුනාවත්ද..කමක් නැහැ ඔය දෙක කොක කලත් මට ටැපලෙනවාම තමයි..)

    ReplyDelete
  23. @චතුරංග ජයවර්ධන...

    අනෙ අම්මේ අපේ දිහාත් එහෙම තමයි...උයන්න ලෑස්ති වෙනකොටත් මමයි මලයයි සෑහෙන තරමකට වග කියලා...

    කැබැල්ල හුගාක් ප්‍රදේශවල තියෙනවා..ඒත් අඳුරනවා අඩුයි දැන් ඉන්න අය..

    ReplyDelete
  24. @හීනියට...

    ඇත්ත තාත්තා මගේ සැකැස්මට හුඟක් බලපාලා තියෙනවානං තමා..

    අනෙ අපොයි..කිසිම කොමෙන්ටුවක් අහක් කොරලානං නැහැ...හිටු බලන්ට ස්පෑම් ගොඩටවත් ගෙහුන්ද කියලා බලන්ට...

    ReplyDelete
  25. රහට කියවගෙන ආවත් අන්තිම ටික කියවෙනකොට ලොකු දුකක් ඇති උනා. අපිට නම් ඉතින් කජු නෑ ඒ උනාට කැබැල්ල දලු ටිකක් උයවගෙන කන්න පුලුවනි. ඒකත් කාලම බලමු.

    ReplyDelete
  26. තාත්තලා ගැන කියවන කොට මටත් ඇඩෙනවා.
    තාත්තා නැතිවෙලා දැන් මාස අටක් ගියා!
    මොනවා කරන්නද, දවසක මගේ පුතාටත් අඬන දවසක් ඒවි!

    ප/ලි
    කජු කිරි ගෑවෙන එකට මොකක්ද තාත්තා ගේ පිළියම. ඒක අපිට ඒ දවස්වල තිබුණු ලොකුම ප්‍රශ්ණයක්. කජු පුහුලං කහටත් ලේසි නෑ අරින්න ඇඳුම් වලින්.

    ReplyDelete
  27. කැබැල්ල ගහක් දක්කෙත් මේකෙන්,, කෙළ ගිල ගිල ලිපිය කියෙව්වෙ. අවසානය ගැන නං අපිටත් දුකයි. මමත් හොඳින් අත්දැකපු දෙයක් කජු මාලුව රස පහුවදාට,, එහෙනම් මේකයි රහස. කලින්දා ඉඳලම උයලා තිබ්බ නං හරි නේද? මමත් හරි හරි‍යට කජු නාඹර කාලා තියෙනවා,, දැං කොහේද එව්වා,,

    ReplyDelete
  28. ස්තුතියි ලිපියට. අන්තිම ටික කියවද්දී මහා මූසල අසරණ බවක් දැනුනා, ජීවිතය ඔහොමයි නේද?

    කැබැල්ල කොළනං දැකලා තියේ, නමුත් කලා නැහැ. ඔය කියාපු විදිහට කජු මාලු උයන්න සෙට් කර ගන්න ඕනේ.

    ReplyDelete
  29. මටත් දුකක් දැනුනා කජු ගස් ටික නම් තාම තියනවා ඒවා උයපු ආච්චි නෑ,,මේ අවුරුද්දේ කජු වාරෙට ගමේ මිනිස්සු අවසරයෙන් හා හොරෙන් කජු ගස් ටික හූරන් ගියා කියලා සීයා කිවුවා...

    ReplyDelete
  30. මාරයියේ...... කැබැල්ල දළු කියද්දිත් මට කෙල ගිලුනා....ෂික්...නුවර උන්නා නම් මෙලහකටත් ගහ ලඟට දුවනවා....

    මම නම් කැමති කැබැල්ල දළු හීනියට ලියලා රත්කරපු වතුර ටිකකට දාලා අරගෙන පොල් සම්බෝල වලට අනලා කන්න... බත් මිට්ටියටම වග කියත හැකි..දවසක හදලා බලන්නකො...

    ReplyDelete
  31. මුල ටික එක හුස්මට කියවගෙන ආවා මාර අයියේ..ඒත් අන්තිම ටික කියවගෙන යනකොට පුදුම දුකක් දැනුනා :(

    ReplyDelete
  32. උඹ කෑම ගැන ලියලා තිබුනට මට නම් මේ පොස්ට් එක ඇතුලෙ පෙනුනෙ අපේ පොඩි කාලෙ මාරෙ....අනේ ආයෙත් ඒ කාලේ එනව නම්....

    ඒක නෙවෙයි,....ඔය කැබැල්ල ගහ තියෙන්නෙ ස්කීම් එක ඇතුලෙද..?

    ReplyDelete
  33. මමනම් ඔය කොල ජාතිය ජීවිතේට කාලා නෑ අයියන්ඩි .. මගේ පියාත් ඔය වගේම හොඳ දක්‍ෂ විදිහට උයන්න හැකියාව තිබුනු කෙනෙක් .ඉස්සර එයා උදේ වැඩට යන්නෙත් ගෙදර අයට කෑම හදලා තමයි . එයැයි ආපහු නො එන්නම වැඩට ගිය දවසෙත් හිටි අපිට කෑම උයලා දීලයි ගියේ ..

    ජීවිතේ හැටි මාරේ අයියේ ..

    ReplyDelete
  34. තෙබු දලු සම්බල් රසට හදන්නෙ කොහොමද ? for diabitic patients

    ReplyDelete
  35. මමත් දැන් ලඟදි ඉඳලා මාරයාගේ කතා වලට වහ වැටිලා වගේ කියවගෙන යනවා
    ගොඩක් ලිපි වලින් මම දැකපු දෙයක් තමයි මාරයා වයසට වැඩිය හොඳ අත්දැකීම් ගොන්නක් කරපින්නාගෙන ඉන්නවා කියන එක
    මමත් හැදුනේ ගමේ ගොඩේ තමා, ඒත් මේ ලිපියේ තියෙන සමහර කෑම මමත් කාල නැහැ,
    මටත් පුදුමාකාර සුන්දර අතීතයක් තිබුනා
    අදටත් මම කැමති ගමට වෙලා ගමේ තියෙන සුන්දර බව විඳගෙන ජීවත් වෙන්න
    එහෙම කැමති මම අද කාන්තාරේ වේලි වේලි රන්මසු හොයනවා....
    ලබන සතියේ මම ආපහු ලංකාවට එනවා, අනිවාර්යයෙන්ම මමත් මේ කියපු කෑම වර්ග එකක් හරි මේ නිවාඩුවේදී කන්න ඕනේ

    ඒ වගේම ලිපියේ අන්තිම කොටස බලලා මමත් හොඳටම ඇඩුවා...
    අපිත් එක්ක එකට වාඩි වෙලා කතා කර කර හිටපු ගමන් නොසිතු ලෙස මිය පරළොව ගිය මගේ ආදරණීය තාත්තව මතක් වෙලා....

    ReplyDelete
  36. ඇතිළිය පිහදාගෙන බත් කන එකට ඉස්සර මාය් මල්ලිය් කියන්නේ "බලුබත්" කනව කියල. ඒ බත් වලට වත්, බල්ලන්ට වත්, අපහාසෙකට නෙමේ, අපි හරි ආසාවෙන් කෑව දෙයක් "බලුබත්". අපි කෑවෙ නැත්තන් අම්ම ඇතිලි පිහදාල දෙනව අපේ ගෙදර හිටපු "ටෝනි"ට. ඒකය් බලුබත් කියල අපි දෙන්න කිව්වෙ. අපි දෙන්නට ඕක රහ වැටුනට පස්සෙ ටෝනියට බඩු හම්බ වුනේ බොහොම කලාතුරකින්.

    ReplyDelete
  37. කජු මාළු????? විකාරද?????? අ‍පේ අම්මා අමු කජු ටිකත් කජු කටර් එ‍කෙන් ‍බේර ගන්‍ ‍‍නේ ‍බො‍හොම අමාරුවෙන්. ඉස්සර අපිත් නිවාඩු කා‍ලෙම ‍ජොබ් එක නිදි ඇ‍දෙන් ‍කෙලින්ම කජු ගස් යටට ඔ‍ඩොක්කු පි‍රෙන්න අරන් එනවා.‍කොකු ‍කෙකි මුකුත් ඕනි නැ. බිම තියන ටිකයි හරහට ගියපු ගස්වල නැග්ගම ලැ‍බෙන ටිකයි ‍හොඳ‍ටෝම ඇති. පුංචි ගස්. අහුලන ඒවා තම තමන් ‍ගෙනාපු ගානට එ‍වෙ‍ලෙම පුච්චලා ‍තලලා දෙනවලු අම්මා. හැබැයි එ‍හෙම ‍ගෙනාපු තරමටම උන්නැ කවදාවත්.

    කජු කා‍ලෙට කබඩ් අල්මාරි අස්සේ බැඳපු කජු ‍බෝතල් වල දාලා හංගන තරමට ‍හෙන ඩිමාන්ඩ් එක. ඒ උනාට කජු කටර් එ‍කෙන් ඒවා බේ‍රෙනවා ‍බොරු. ටිකක් කාලා ‍බෝත‍ලේ අනික් පැත්ත ගහලා ආ‍යේ ‍කෙලින් කරාම එක ‍බෝත‍ලේකවත් කිසි අඩුවක් නැ. ඉතිං නීතිමය වස‍යෙන් ‍බෙදද්දිත් අඩුවක් නැතුව පංගුව හම් ‍බෙනවා.

    කියන්ට දුකයි දැන් නම් ‍මේ පැත් ‍තෙත් කජු ගස් හිඟයි. ක‍ඩෙන් ‍ගේන එව්වා බැඳලා කටර් එක මගින් වාස්ප කිරීම තමා ‍වෙන් ‍නේ............ හැබැයි ඒව‍යේ අර අළුත් කජු කපලා බැඳලා කනවා ව‍ගේ රහ නැහැ.

    කැබැල්ල දැක නැති බවට නිච්චිය.

    හට්ටිය අප්පා අ‍පේ ‍ගෙදර වැඩි‍යෙන්ම රණ්ඩු ‍වෙන භාණ්ඩය. එක කට කට හරි 4 ‍දෙනාම කති. දැන් ඉතින් ‍මොන හට්ටිද ඇලුමීනියම් කෑලි මිසක්. ඒව‍යෙත් ‍හොඳ කර‍වෙන එකක් එ‍හෙම හැදුවම කනවා.

    ReplyDelete
  38. @මධුරංග...

    අනිවා මගේ තියෙන දේ කාලා ඉමු..ඊ ලගට බැරියෑ අනිත්වා හොයන්ට

    ReplyDelete
  39. @කතන්දර Kathandara...

    කජු කිරි ගැටළුවට නොවරදින විසඳුම..කජු කැපීමට පෙර අත්ලෙහි පොල් තල් ස්වල්පයක් ගා රෙදි කැබැල්ලකින් පිසදා ගන්න..එහෙම පිහදා ගන්නේ නැත්තං කජු ටික අල්ලන්න බැරි වෙනවා ලිස්සනවනේ..
    කජු කපලි වැඩ ටික ඉවර උනහම සබන් දාලා අත හෝදන්න අර තෙල් ගතියත් එක්කම කිරි ගෑවිලා තියෙන ඒවා යනවා... අවසානෙට පොල් කුඩු වලින් අත පිස ගැනීමත් හොදයි..කොහොමත් කජු ටික කපලා ඒදලා..ඒකට දාන්න කිරි මිරිකනකොට දකුණු අතේ තියෙන කිරිනං අහක් වෙනවා...

    වම් අත ගැනනං මං දන්නේ නැහැ.හැබැයි ඉතිං දැන් කව්ද අතින් පොල් මිරිකන්නේ හුග දෙනෙක් ඒකත් බ්ලෙන්ඩරේට බාර දීලානේ..එහෙමනං කරන්න වෙන්නේ අතත් බ්ලෙන්ඩරේටම දාන එක තමා..

    ReplyDelete
  40. @හරී - පිණිපළස...

    කරුණාකර අර දුමි අයියලා සිටින පේලියෙන් වාඩි වෙන්න අක්කේ...

    ReplyDelete
  41. @Niroshan...

    හ්ම්ම්..මේ තමා ජීවිතේ...

    කොහොම හරි කමක් නැහැ රසට කන්න බලමු.

    ReplyDelete
  42. @ItalyDilan...

    අම්මේ ඔව්..කජු ගස් පරිස්සං කරන එක ලේසි නැහැ...

    ReplyDelete
  43. @දිල්...

    අන්න ඒකනං අළුත් ආරංචියක්..කරන්නත් ලේසියි..හිටුකො හෙට අනිද්දට කරලා බලන්න...

    ReplyDelete
  44. @ChammA...

    මොනවා කොරන්ටද බං...

    ReplyDelete
  45. @Luckey...

    නැහැ මචෝ මේක මේ මං කලින් බෝඩිං වෙලා හිටිය තැන කිට්ටුව..හිතේ කොනක යන්තං තිබුනා අහවල් තැනදී මං දැක්කා‍ නේද කියලා.. ඒ ගමන පෙරෙදා උදේ ආපහු එතනට ගෙහුන් බලද්දි බඩු තියෙනවා..පටස් ගාලා ගත්තා පොටෝ ටිකක්.පාරෙ කවුරුවත් ඇවිත් මූට පිස්සුද කියලා බලන්න කලියෙන්..මේ බෙහෙත් වත්ත හරියේ..දන්නවනේ තැන...

    ReplyDelete
  46. @හිස් අහස...

    කියලා වැඩක් නැත මලේ... හුග දෙනෙක් මේ කියමනට විරුද්ධ වෙයි..ඒත් තාත්තලා අතින් හදන කෑම තරං වෙන කිසිම දෙයක් රස නැත..(දැන් කට්ටිය එයිද දන්නේ නැහැ අම්මලගේ පැත්ත අරගෙන අපි දෙන්නට නෙලන්ට)

    ReplyDelete
  47. @ඇනෝ-1

    පළමුවෙන්ම කියන්ට ඕන මං තාමත් මේ වෙනකල්ම තෙබු දළු සම්බෝලයක් හැටියට හදලානං නැහැ..මොකද මං ඒ ගැන ඒ හැටි හිතුවේ නැහැ..
    ඒකට හේතුව තෙබු සාමාන්‍යයෙන් අනිත් කොල වලට වඩා ටිකක් ගොරෝසු කෙදි ගතිය වැඩි දෙයක් හින්දයි..ඒත් අක්කපාන කොලත් හදන්න පුළුවන් එකේ මේක බැරි වෙන්නේ නැහැ..

    අනිත් සම්බල් වගේම මේකත් පුළුවන් තරං හීනියට ලියලා රතුළුණු අමුමිරිස් ලුනු දෙහි ඇඹුල් දාලා හදන්න ඇහැකි වෙයි..ඒ වගේම කොලේ ස්වභාවය අනුවනං මේකට ගම්මිරිස් ටිකක් නැතිව බැරි වෙයි..ඒ හින්දා ගම්මිරිස් පොඩ්ඩකුත් දැම්මනං හරියයි..දිය වැඩියාව තියෙන කෙනෙකු හින්දා පොල් මුසු කරන්නේ නැතිව හදන එක හොඳයි...හැබැයි පුච්චපු මිරිස් කරලක් වගේ දේකුත් කෑලි කඩලා දැම්මොත් වැඩේ හොද ගානකට එයි කියලනං මගේ දිව කියනවා.ලෙඩෙකුට නෙවෙයිනං මිටි කිරි ඇබින්දක් දාලා තමයි මංනං මේකට අත තියන්න හිතන්නේ

    මේ ගැන මීට වඩා හොදට කියන්න තිබුනා හදලාම බලන්න මට අවස්ථාවක් ලැබුනනං..සමහර විට යන්තං උනු වතුරේ දාලා කොල ටික ලියන්න ගත්තත් හොඳයි කියලත් හිතෙනවා..මං මේ හැම දේම කියන්නේ කොලේ හැටි සුභාවේ දන්න හින්දා ඒකට හරියන්න...

    ReplyDelete
  48. @ඇනෝ-2...

    බොහෝම ස්තූතියි දකුවලා තියෙන දීර්ඝ ප්‍රතිචාරයට..ඒ වගේම ගං රටවල් බලා ආවට පස්සේ හිතූ මනාපෙට කෑම බීම ටික ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  49. @Observer...

    ඔන්න ඔහොමයි කොල්ලා බල්ලා වෙලා..බල්ලා කොල්ලා උනේ..නැද්ද මං අහන්නේ...

    බලු බැරිනං බළල් හරි කමක් නැහැ ඔබා අයියේ ඒ බත තරං වෙන මොනවද රහ...

    ReplyDelete
  50. @හොර හාවී...

    දැක්ක කල්...

    අප්පා ඔය කටර් එක ගැනනං කියන්ට එපා..මට හිතා ගත්තෑකි..ඒක මල්ටි කටර් එකක්නේ...ඒ ඒ කාලෙට තලේ මාරු වෙනවා..කාලෙකට කජු..කාලෙකට කැරට් වගේ...

    අර බෝතලේ අනිත් පැත්ත ගහලා කෙලින් කරන සිල්පේනං මමත් දැනං උන්නා..දැන් අහන්න එපා..කිරි පිටි බෝතලෙන් නේද ඒ සොයා ගැනීම කලේ කියලා එහෙම..ඒවා අපේ රහස් හරිද..?

    අපේ ගෙදරනං ඉස්සර වැඩිය පොර කන්න දෙයක් නැහැ... තාත්තා දන්නවා හට්ටි දෙක තුනම පිහලා ආයේමත් ඒ හට්ටි දෙකකටම බතු ටික බෙදා හදා දෙන හැටි...

    ReplyDelete
  51. තෙබු දලු සම්බෝලෙ හදන විදිය දවසක් පබිලිස් මහත්තය කිවුවා ඒත් මට මතක නෑ. කැබෙල්ල ගෙඩිත් ගොඩක් රසයි කියල අපේ අම්ම කියනව හරියට ගඩුගුඩා වගේලු.. හැ‍දෙන්නෙ නම් කාලෙකට සැරයක් විතරයි.. මාත් ජීවිතේට එක පාරක් දැකල තියෙනව. ගෙඩි ටික කඩාගෙන එන්න යනකොට පහල ගෙදර එකා ගහ කපාගෙන ගිහින්..

    ReplyDelete
  52. කලු පොල් මාලුව නම් කාලා තියනවා මතකයි. කැබැල්ල දලු ගැන නම් මතකයක් නැහැ ........

    ReplyDelete
  53. මම බ්ලොග් ලියන්නියක නොවෙමි. නමුත් ඇතැම් වෙලාවට බ්ලොග් කියවමි. මාරය්යගේ කැබැල්ල දලු මාළුව(2011 ) මරේ මරුය. අද(2014) මමත් මහත්තයත් කැබැල්ල දලු මාළුව කෑවේ මාරය්යාගේ පිහිටෙනි. බොහොම ස්තූතියි ඔබට.

    ReplyDelete