04 September 2011

ආයේ යන්න බැහැ...

බොරළු කැටයක් දකින්නට නැති..
ගෙවල් අසබඩ දෙවට පාරේ..
එදා වාගේ ඇවිද යන්නට නොහැක අද මට
අතීතය සිහියට නැගේ..
කඳුළු බිඳුවක් නෙත නැ‍ඟේ..

අඟල් ගණනක ඝණකමින් යුත්..
කොන්කිරිට් තට්ටුවක් වැතිරී..
එදා තිබු ගුරු පැහැය සඟවා
මලානික දසුනක් මැවේ..
නෙතට නුහුරක් ඉන් මැවේ...

දියුණුවේ වේගවත් රකුසා..
මගේ ගම වට ගිල ගමින් ඇත..
ඒ තුලින් පෙර ගමේ තිබු නෙක
සුන්දරත්වය දැන් මැකේ..
අතීතය සිහිනයක් වේ...

22 comments:

  1. මගේ ගමටත් ඔය සෙතේම වෙලා මාරයියෙ. ඉස්සර අම්මා ජීවත් වෙලා ඉන්න කාලෙදි බත් කන්න බෑ කියලා මම අපෙ ගේ අද්දර තිබ්බ ගුරු පාරට දුවනවා. දුඹුරු පාට දූවිලි වලින් කකුල් නෑ වෙද්දී ආසාවටත් එක්ක තවත් දූවිලි අවුස්සනවා.වැස්ස දවස්වලට ඔය ගුරු පාරට වැගි බින්දු වැටෙද්දී පැතිරෙන නැවුම් සුවඳට මම කවදත් ආස කලා. දැන් ඒ පාරත් කොන්ක්‍රීට් තට්ටුවකින් වැහිලා ගිහිල්ලා...

    රටේ දියුණුවත් එක්කම අපේ මතක විතරක්ම අරගෙන අර ගමත් කොන්ක්‍රීට් වලින් වහලා දලා.


    ලඟදි ගමේවත් ගියාද ?

    ReplyDelete
  2. ලංකාව ඔහොම තමයි. සංවර්ධනය කියන්නෙ පරිසරයෙ තියෙන ලස්සන නැතිකරල දාන එකක්. නමුත් වෙන රටවල්නං සංවර්ධනය වෙන්නෙ පරිසරයෙ තියෙන ලස්සන හැකි පමණින් ආරක්ෂා කරගෙන.

    ReplyDelete
  3. සංවර්ධනය කියන්නේ ඕක තමයි...

    ReplyDelete
  4. ඊට පස්සෙ කණ්ඩලම වගෙ පරිසර හිතකාමී හෝටලයකට යන්න ඕනි සල්ලි දීල ඔය සුන්දරත්වය විඳ ගන්න..

    ReplyDelete
  5. යන්න බැරිනම් ගෙදර ඉදපන්....

    ReplyDelete
  6. ඒකනම් ඇත්ත ප්‍රසන්න..
    මං අවුරුදු 5කට පස්සෙ ලංකාවට ඇවිත් ගියේ පහුගිය මැයි මාසෙ.
    හිතන්න පුළුවන්නෙ ඊනියා සංවර්ධනය දැකලා කොල්ලා කොච්චර ශොක් වෙන්න ඇතිද කියලා. ඇත්තටම බොරළු පාරක් හොයාගන්න තියෙන අමාරුව. ඇඬෙනවා අයියා..........

    ReplyDelete
  7. දැන් එහෙනං බයිසි මොටෝ එකේ ටයර් අඩුවෙන් ගෙවෙනව ඇත්තෙ...

    ReplyDelete
  8. මාතලන්ගෙ කතාව හරියටම හරි! සංවර්ධනය කියන්නේ ඕකට තමයි...

    මටත් මතක් වෙනවා අපි පොඩි කාලෙ ගේ ඉස්සරහින් වැටිල තිබ්බ ගුරු පාර... වාහන කීපයයිනෙ ඒ කාලෙ ගියේ, ඒ නිසා කොන්ක්‍රීට් කරනව වගේ අවශ්‍යතා තිබ්බෙ නෑ... මැදින් පොඩි තණකොළ ගොල්ලක් වැවිලා දෙපැත්තෙන් බොරලු මතුවෙලා තිබ්බ පාර... දැං ෂුවර් එකටම කොන්ක්‍රීට් වෙලා ඇති!

    ReplyDelete
  9. අපි ආදරේ කරන කොච්චර දේවල් දියුණුවත් එක්කම යට වෙලා යනවද? මමත් ඉස්සර ඉදන්ම හරිම ආසයි පන්සලේ බෝමළුව පුරා වැලි අතුරල තියෙද්දී ඇවිදන් ගිහින් වැලි මළුවේ වාඩිවෙලා බුදුන් වදින්න. ඒත් ඒ ලස්සන වැලිමළුව දැන් කොන්ක්‍රීට් මළුවක් වෙලා. ඒක දකිද්දි මට කෑගහලා අඩන්න හිතුනා.ඒත් එහෙම කලා කියලා වැඩක් වෙන්නේ නෑ කියලා හිත කියපු නිසා මං නිහඩ වුනා.

    ReplyDelete
  10. අනේ මන්දා මාරයො.. මටත් ඕකනම් තේරෙන්නේ නෑ.. හැබෙයි ඉතින් ඕවා නොකරත් බෑ මේ ඊයෙ පෙරේදා රෝද දෙකේ ගමනක් ගියා ඔය කියනා සාම්පලේම ගුරු පාරක. අනේ දෙයියනේ කියලා වලක වැටුනම වල ඇතුලෙම කිලෝ මීටරයක් විතර දුර යන්න පුලුවන් ගෙදර එද්දි හෝන් එකෙන් ඇරෙන්න අනික් හැම කෑල්ලකින්ම සද්දේ එනවා.

    අනික බලපන් ඔය පාරක් හැදුවම මිනිස්සු කෑ ගහනවා ලස්සන වනසනවා කියලා. එක වැස්සක් වැහලා කුබුරක් උන ගමන් කෑ ගහනවා පාර හදන් නෑ කියලා. පාර ලොකු කරලා කානුවක් දැම්මම කෑ ගහනවා ඉඩම් වනසනවා කියලා , වැස්සකට පාර යටවෙලා වතුර බහින් නෑති උනාම කියනවා පාරවල් ලොකු කරන් නෑ කානු දාන් නෑ කියලා ඔතන අවුල කාගෙද බං..

    කොන්ක්‍රිට් වනාන්තරේ ඉන්න අපි ආසයි බන් ගම , ගුරු පාර හැමදාමත් එදා වගෙම දකින්න ඒත් ගමේ ඉන්න එකා ආසයි ගම ටවුමක් වෙනව දකින්න ගුරු පාර තාර පාරක් වෙනවා දකින්න මං හිතන්නේ එතන වෙන්න ඇති අවුල තියෙන්නෙ.

    ReplyDelete
  11. මතක් කරන්න එපා ඔය කොන්ක්‍රීට් කෙරුවාව නම්..ඕන තැනයි එපා තැනයි සේරම කොන්ක්‍රීට් කරලා..ඕවා කරන්න ඕන නිතරම අබලන් වෙන පාරවල් වලට ...
    පොඩි එවුන් සෙල්ලම් කර කර හිටිය හොඳට තිබුන අපේ ගෙදර ඉස්සරහ ගුරු පාරත් අල්ලපු ගෙදර මනුස්සයගෙ දේශපාලන උවමනාවකට කොන්ක්‍රීට් කරලා වනසලා...
    මම දවසක එක්ක යන්නම් මාරයෝ..උඹ ඒක දැක්කනම් මේක කොන්ක්‍රීට් කරපු එවුන්ට පිස්සුද කියලා අහයි..දැනටත් හැමෝම අහනවා..
    මේ සිද්ධිය නිසා අල්ලපු (අ )මනුස්සයා දැන් මාත් එක්ක තරහය..

    ReplyDelete
  12. මොනවා කියන්නද මන්ද.... ආදරය කරන දේවල් සංවර්දනය කියල විනාශ වෙනවා....

    අර අධි වෙගී එකට කරපු විනාශයක් අනේ අම්මේ හිරි වැටෙනවා දැක්කම...

    ReplyDelete
  13. සියල්ල අනිත්‍යයි

    ReplyDelete
  14. ඔය කොන්ක්‍රීට් මොනවද බං. මේ දවස් වල අපේ පාරක් හදනව ප්‍රධාන මාර්ගයක්. කි.මී.08 ක් විතර. මම දන්න විදිහට අති දැවැන්ත මාරගස් විසි ගානක් කපනව කියල දැනගන්න ලැබුණ. සමහර දවස් වල හරියටම ගහ කපන වෙලාවට මමත් වාහන පෝලිමේ. ඇත්තටම මගේ ඇස් වලට කඳුළු ආව මාර ගහ බිම වැටෙද්දි. අපි හැමදාම බයිසිකලේ යද්දි හරි අපූරුවට හෙවන දීපු ගස්.
    මාරයා
    මේ වගේ දේවල් ලියන්න එපා උත්තර නෑ. ලොවකට උපේන්ද්‍ර කියන දේ හරි කියලත් හිතෙනව.

    ReplyDelete
  15. හැමතැනම ඔහොම තමා අප්පා... :DD

    ReplyDelete
  16. වැස්සොතින් එක වතාවක් හරි
    මෙකල වහිනා මුරුගසන් වැසි
    නොස්ටලිජීය මාර සිහිනය
    කුඩුව ගොස් ඇත බසිනු එලියට
    නුඹේ හිත තුල ඉන්න ඇත්තම මාරයා

    "පාරවල් නොව මඩ වගුරු වන්
    මෙහෙම තැන් ගොඩ නගන වෘෂභුන්
    අනේ අපි මුන් පත්කොලා නොව
    මුන්ට දුන්නට වඩා චන්දේ
    හොඳයි ඒ පත හපා කෑවත් එදිනේ"

    "සල්ලි නැතිනම් තාර ලන්නට
    දැම්මනං අඩු ගානේ කොන්ක්‍රීට්
    රජ කලේ හිඳ බොරළු පාරයි
    අපට දියුණුව ලැබෙනු කවදා"

    අනේ හැකිවෙද සතුටු කරනට මනුසතා

    ReplyDelete
  17. අපොයි දිග කොමෙන්ට් එකක් ලියලා ඒක මගේ අතින් මැකිලා ගියානේ...

    තාමත් මගේ ගෙදරට යන පාරනං පරණ පුරුදු ගුරු පාරම තමයි.. තව ටික දවසකින් ඒක කොන්ක්‍රීට් වෙයි.. ඒකටනං මං කැමතියි. ඒත් මට පහු ගිය දවස්වල කොන්ක්‍රීට් නිසා හොඳට තිබුන පාරවල් කිහිපයකුත් නාස්ති වෙච්ච හැටිත් මං දැක්කා..ඒත් ඒ පාරවල් වල ඉන්න අයගේ කැමැත්ත පරිදි ඒවා එසේ සිදු උනානං අපිට මොනවත්ම කියන්න බැහැනේ..

    ඇත්තටම මේ පද ටික ලියඋනේ සංවර්ධනේ ගැන හිත හිත ඉඳලා නෙවෙයි.. අද එකපාරට සේකරව මතක් වෙච්ච ගමන් මට ගෙදරට යන පාර මතක් උනා...

    සේකරට කොන්ක්‍රිට් පාරවල් ගැන ලියන්න උනේ නැහැ නේද යකෝ කියලා මතක් උනහම මාර හැපී එකක් මට ආවේ..

    ඇයි වදේ මං ලියන්න හැදුවොත් ඒක ඊට කලින් සේකර ලියපු එකක්නේ.. යන්තං එක පාරක් වැටේ සුදාගෙන් ගොඩ ගියා..මේ පාර කොන්ක්‍රීට් තට්ටුවක් මගේ පිහිටට ආවා වගේ දැනුනා.. විනාඩි තුනක් වගේ කාලෙකදී දඩි බිඩි ගාලා ඕක ලියලා පෝස්ට් කලා.. එච්චරයි...

    අර හර්ෂණ කිව්ව අනිත්ම ටික හුගාක් දේවල් කියනවා...

    "කොන්ක්‍රිට් වනාන්තරේ ඉන්න අපි ආසයි බන් ගම , ගුරු පාර හැමදාමත් එදා වගෙම දකින්න ඒත් ගමේ ඉන්න එකා ආසයි ගම ටවුමක් වෙනව දකින්න ගුරු පාර තාර පාරක් වෙනවා දකින්න මං හිතන්නේ එතන වෙන්න ඇති අවුල තියෙන්නෙ."

    ඇත්තටම මම ඉන්නේ ඔය දෙක අතර මැද... තාමත් ගමේ උනාට.. ගම ටවුමක් වේගන එනවා... ඒක නවත්තන්න මට ඕන නැහැ..ඒත් තව අවුරුදු දෙක තුනකින් අපි දැක්ක පස් තට්ටුව ඊ ළග පරම්පරාවට දකින්න වෙන්නේ නැති එකනං හිතට පොඩ්ඩක් වඳින කතාවක් තමා..

    ඒත් බයික් එකේ නැගලා රට වටේ රවුං ගහන මං පාරවල් හැදෙනවට කැමතියි.

    ReplyDelete
  18. තාර තමයි හොඳ කොන්ක්‍රීට් වලට වැඩියේ, ඒත් එය මඩ වලට වැඩියෙ නම් හොඳයි.

    ReplyDelete
  19. අනේ මන්දා, එක අතකට හොඳයි නරකයි දෙකම තියනවා ..

    ReplyDelete
  20. යමක් හැදෙද්දි යමක් විනාස වෙනවා. ඕකට අපි මක් කොරන්නද........

    ReplyDelete
  21. "අතීතය සිහිනයක් පමණයි.. සැබෑ සුවඳක් නෑ"

    මොනවා කරන්නද මාරෙ....

    ReplyDelete
  22. මම කැමති නැහැ මගේ ගම ඕනෙවට වැඩිය දියුණු වෙනවට
    ඒකට හේතුව මම ගමට යන්නේ ගමේ සුවය විඳින්න ඕනේ නිසා වීම
    නමුත් ගමේ ඉන්න අයට ඒ දියුණුව උවමනා වෙලා
    මම පොඩි කාලේ ඉඳල සෙල්ලම් කරපු ගමේ පාරවල් අයිනේ තිබුණු සමහර ගස් වර්ග දැන් දකින්නත් නැහැ
    ගොඩක් තැන වල ගෙවල් හැදිලා, මිනිස්සුන්ගෙන් පිරිලා
    මම ගොඩක් අකමැති දෙයක් තමයි මිනිස්සු කියන්නේ, උන් හැමතැනම පිරිලා මේ ලස්සන ලෝකේ විනාශ කරනවා
    ඒ වගේම අද තියෙන කාර්පට් පාරට වැඩිය එදා බස් එකක් එද්දී කාණුවට බැහැල ඉඩ දෙන්න තරම් පොඩියට තිබුන පුංචි තාර පාරට අදටත් මම අසයි
    මම O/L කරද්දී පාඩම් කලෙත් චිමිනි ලාම්පු එළියෙන්, එහෙම නැත්නම් ඉටිපන්දම් එළියෙන්
    චිමිනිය පත්තු කලාට පස්සේ අත් වල හෙවනැල්ලෙන් බිත්තියේ එක එක රටා මැව්වේ TV එකේ පෙන්නලා කවුරුවත් උගන්නපු නිසා නෙමෙයි, පුංචි කමට හිතට ආපු නිසා
    අපි ඒ වෙද්දී TV එකක් දැකලවත් තිබුනේ නැහැ
    විදුලි බලය නැති රැයකට අදත් මම ආසයි, එහෙම සුවයක් ගන්න අදටත් මම වෙලාවක් ලැබුනහම එහෙම දුෂ්කර පැති වලට යනවා
    ගිහින් දවස් ගණන් ඉඳල එනවා, අඩු ගානේ මාස දෙකකට තුනකට වතාවක්වත් (මට ඒක සුවයක් මිස දුෂ්කරතාවයක් නොවීම නිසා)
    ඒ කාලේ අපි රැට එලියට බැහැල අහස දිහා බලාගෙන තරු දිහා බලාගෙන, උල්කාපාත, දේවතා එළි බල බල ගෙවපු අතීතය කොච්චරනම් සුන්දරද...?
    අදටත් මම අහන්න ආසම සද්දේ උළමගේ ලතෝනිය, එහෙම නැත්නම් නරි හු කියන එක...
    ගොඩ දෙනෙක් අහන්න අකමැති මේ සද්ද දෙක අහද්දී පුදුම සතුටක් මට දැනෙන්නේ.....

    ඉතින් එහෙම තිබ්බ මගේ ගම නැති නාස්ති වෙද්දී හැමෝටම වගේ මටත් දුකක් දැනෙනවා, පපුවේ ගැඹුරින්ම....!

    JK
    (ඇනෝ කෙනෙක් විදිහට ආවට මමත් හැකි ඉක්මනින් ඔයාලගේ බ්ලොග් පවුලට එක්කාසු වෙන්නයි හිතේ තියාගෙන ඉන්නේ)

    වැදගත්:
    වැඩිම කල් පැවැත්මක් ඇත්තේ කොන්ක්‍රීට් පාරවල් වල බව සිහියේ තබා ගන්න(වෙනත් අඩු පාඩු නැතුවා නොවේ)
    දැනට සිදු වන තත්වයෙන් බාල ඉදිකිරීම් කටයුතු නිසා කල්පැවැත්ම අඩු වී යා හැක

    ReplyDelete