06 September 2011

වෙන්දේසි සීට්ටුව නොහොත් ඉල්ලන සීට්ටුව...

මෙන්න අපේ සීට්ටු ගැන පල වෙන අවසාන ලිපිය.

මම කලින් මං දන්න සීට්ටු වර්ග දෙකක් ගැන කිව්වා.. ඒ බඩු සීට්ටු සහ තුණ්ඩු උඩ දාන මුදල් සීට්ටු ගැන. ඒවායේදී මට නොපෙනුන පැති සහ නොදන්න පැති තවත් අය විසින් කමෙන්ට් තීරය හරහාත් දක්වලා තිබුනා. ඒ සෑම දෙනෙකුටම බොහෝමත්ම ස්තූතියි. වෙන වෙනම මට උත්තර බඳින්න උනේ නැහැ ඒ එකකටවත්.මොකද පහුගිය දවස්වල වැඩ ගොඩ ගැහිලා හිටිය හින්දා.

අළුත් තැනට ගියාට තවමත් එතන මගේ වියාපාරෙට අඳාල බෝඩ් එකවත් එල්ලන්න උනේ නැහැ. ජාලෙට පින් සිද්ධ වෙන්න ගලාගෙන එන වැඩ සහ මං දන්න කියන අය හරහා එන වැඩ හින්දා බෝඩ් එක දා ගත්තනං මට සෑහෙන හිරවීමකට ලක් වෙන්න වෙන බව තේරුනා. ඒ හින්දා හිමි හිමින් වැඩ ටික කරගෙන ගියත් සෑහෙන්න වැඩවල හිරවීමක් උනා..යන්තං පහුගිය දවස්වල බ්ලොග් එකටත් දවසකට එකක්වත් වැටෙන්න ලිපියක් දාන ගමන්ම අනිත් බ්ලොග් වලත් රවුං ගහලා කමෙන්ට් එහෙමත් ලියලා..අතරින් පතර බස් පැදලා..බුකියේ සැරිසරලා ඉන්න ගමන්ම දත කාගෙන වැඩ කරලා ඊයේ මජ්ජිම රාත්තිරිය වෙනකොට යන්තං සැනසුම් සුසුමක් හෙලන්න ඇහැකි මට්ටමට ආවා කියමුකෝ.. ඉතිං දැන් තමයි ටිකක් නිදහසේ මේක ලියන්න වෙලාව ගත්තේ.. ඔය හැම එකක්ම හින්දා ‍පෝස්ට් වලට වැටුන කොමොන්ට් වලට උත්තර බැඳිල්ලනං මඟ ඇරුනා..කස්ටිය ඒකට මට සමා වෙන්ට ඕන...

හරි අපි යං දැන් මාත්තුරුකාවට අනුකූලව කතා කොරන්ට...

ඉල්ලන සීට්ටු නැත්තං වෙන්දේසී සීට්ටු කියලා තමා මේ සීට්ටු ක්‍රමය හඳුන්වන්නේ. ඇත්තටම මේක කලින් ක්‍රම දෙකටම වඩා තරමක් සංකීර්ණ ක්‍රමයක්. ඒත් පුරුදු උනාම කිසි අවුලක් නැහැ. හරියට අර ඉස්කෝලේ නොගිය මනුස්සයත් රේස් කොලේ බලනවා වගේ තමා.

මේකත් මුදල් සීට්ටුවක්.. හැබැයි තුණ්ඩු දැමිල්ලක් නැහැ.

මේකටත් අපි උදා හරණයක් ගනිමු.

මේකෙදිත් සීට්ටුවේ අයිතිකාරයා නැත්තං මුල අල්ලන කෙනා තමා ගේම ගෙනියන්න ඕන.. සාමාන්‍යයෙන් සීට්ටුවක් කරන කෙනෙක්ට හිතුනම සීට්ටුවක් දාන්න ඕන කියලා එයා කලින්ම තීරණය කරනවා සීට්ටුවේ වටිනාකම..ඒ කියන්නේ එක සීට්ටු වාරිකයක වටිනාකම.. ඊට පස්සේ තමන් දන්න කියන අයට පණිවිඩ යවනවා මම අහවල් මාසේ සිට සීට්ටුවක් පටන් ගන්නවා ලංසුව මෙච්චරයි කියලා...

ඉතිං ඔය ලංසුව තීරණය කරන්නේ සීට්ටු අයිතිකාරයා තමා.. බොහෝම වෙලාවට සීට්ටු දැන අය විවිධ ගණන්වලින් යුත් ලංසු වලින් එක වර සීට්ටු කිහිපයක්ම දානවා.. අනිත් අය තම තමන්ගේ හැකියාවන් අනුව ඒ සීට්ටුවලට ඉන්නවා..මොකද සමහර සීට්ටුවක ලංසුව එහෙමත් නැත්තං වටිනාකම රුපියල් 1000ක් වෙන අතරෙම රු.2000හේ 5000හේ 10000හේ වගේම ලක්ෂයේ දෙකේ සීට්ටුත් දැමෙනවා.

ඉතිං දැන් අපි හිතමු මම දාන්න යන සීට්ටුවේ ලංසුව රුපියල් 1000යි කියලා.. මම දන්න කියන අයට පණිවිඩයක් යවනවා ලබන ඔක්තෝබර් 10 වෙනිදා මම සීට්ටුවක් පටන් ගන්නවා කැමතිනං එන්න කියලා.. මේනෙදී අපි කතා කරන්නේ මට හොදටම විශ්වාස අයට තමයි. නැත්තං නිකං අහක යන පරිප්පුවක්නේ කන්න වෙන්නේ..

හරි මේ පණිවිඩේ දුන්නට පස්සේ දන්න කියන අය ටිකක් මට කැමැත්ත දෙනවා. අපි හිතමු 31දෙනෙක් වැඩේට සෙට් උනා කියලා...

ඔන්න පළවෙනි සීට්ටුව දාන දවස ඔක්තෝබර් 10.. ඒ කියන්නේ එදාට අර 30 දෙනාම රුපියල් 1000 ගණනේ මට ගෙවන්න ඕන.. මට කරන්න තියෙන්නෙක් ඒ මුදල් එකතු කරගන්න එක තමයි.

මේකත් හරියටම වැඩ කරන්න පටන් ගන්නේ දෙවෙනි මාසයේ ඉඳලා තමයි. ඒ කියන්නේ නොවැම්බර් වල ඉඳලා. ඒත් නොවැම්බර් මාසෙදී මේ සීට්ටුව කතා කරන්නේ මාසේ 5 වෙනිදටයි. මොකද 10 වෙනිදා සීට්ටුව බේරන්න ඕන හින්දා 5 වෙනිදා කතා බහ වෙලා සීට්ටුව තීන්දු කරලා 5 වෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකල් දවස් 5 ඇතුලත මුදල් එකතු කරලා 10 වෙනිදා වෙනකොට සීට්ටුව පියවන්න ඕන. ඉතිං සීට්ටුව පියවන දවසට දවස් ගානක් තියලා තමයි සීට්ටුව ඉල්ලන දිනය තීරණය කරන්නේ..

සමහරු දවස්5ක් 10ක් වගේ කාල ගන්නවා.... ඒත් හොඳ සීට්ටුවක්නං දවස් 5කට වඩා කල් දෙන්නේ නැහැ.මොකද දවස් 5කින්වත් සීට්ටුව බේරන්න බැරිනං ඒකට එකතු වෙලා ඉන්න අය සීට්ටුවක් කරන්න තරං හරියන අය නෙවෙයි..මොකද ඇහින්දාස් සීට්ටු කියන්නේ හරි කචල් වැඩක්.

හරි ඉතිං අපි දැන් නොවැම්බර් පස් වෙනිදට එක්කාසු වෙනවා අපි සීට්ටුව දාන්න තෝරගත්ත තැනට සහ වෙලාවට.. අපි හිතමු අඩුවක් නැතිව මාත් එක්කම 31 දෙනාම දැන් ඉන්නවා.දැන් තියෙන්නේ සීට්ටුව ඉල්ලන්න නැත්තං වෙන්දේසි කරන්න.

මේ සීට්ටු ඉල්ලනකොට නිතරම ඉල්ලන්න ඕන ලංසුවේ ඉදලා.. ඒ කියන්නේ අපි එක්කෙනෙකුගේ වාරික මුදල සමාන මුදලේ ඉඳලා...

හරි දැන් අපේ සීට්ටු වාරිකය රුපියල් 1000ක් හින්දා මේ සීට්ටුවේ ලංසුව තමා රුපියල් 1000...

දැන් ඔන්න මගේ සීට්ටුවේ ඉන්න වැප් නිශාන්ත කියන කෙනා ඉල්ලනවා ලංසුවට.. ඒකියන්නේ එයාට සීට්ටුව 1000ට දෙන්න කියලා...
ඔය 1000ට දෙන්න කියන්නේ මෙන්න මේකටයි.

අපේ සීට්ටුවේ මුළු වටිනාකම වෙන්නේ 1000 වැඩි කිරීම 31නේ..ඒ කියන්නේ රුපියල් 31000යි නේ.. දැන් මේ වැප් නිශාන්ත මේක ඉල්ලන්නේ මට ඒ මුළු මුදලෙන් 1000ක් ඇරලා ඉතිරි ටික දෙන්න කියලා තමයි. ඒ කියන්නේ එයාට මේ සීට්ටුව තීන්දු වෙනවනං අපි ගෙවන්න ඕන රුපියල් 30000ක මුදලක්. එතකොට අපි කරන්නේ 30000 බෙදනවා සීට්ටුවේ සාමාජික ගණනින්.. එතකොට 30000 බෙදීම 31 සමානයි රුපියල් 967.74 ක් වගේ වෙනවා...

දැන් මේක වෙන කවුරුවත් බාධා නොකර තීන්දු උනානං කරන්න තියෙන්නේ දවස් 5ක් ඇතුලත වැප් නිශාන්ත ඇර මාත් ඇතුළුව අනිත් 30 දෙනා රුපියල් 967.74 ගානේ එකතු කරලා ඒ මුදල 10 වෙනිදට වැප් නිශාන්තට බාර දෙන එක තමයි. එතකොට එයාට හරියටම අපි ගෙවන්න ඕන අර එයා ඉල්ලපු 30000න් එයාගේ වාරිකය වෙච්ච රුපියල් 967 යි සත 74 අතෑරලා රුපියල් 29032.26 ක වගේ මුදලක් තමයි.. එතකොට වැප් නිශාන්ත එයාගේ කොටසත් දැම්මනං හරියටම රුපියල් 30000ක මුදලක් එයාට ලැබෙනවා..

ඒත් ඉතිං ඔය සත ගණන් කේස් හරියන්නේ නැති හින්දා සල්ලි එකතු කරද්දී 970 ක් වගේ වාරිකයක් එකතු කරලා වැප් නිශාන්තට රුපියල් 29030 ක් වගේ වෙනවා. එතකොට වැඩේ ඉවරයි.

හරි අපි දැන් ඔය කිව්වේ ඉල්ලන පලවෙනි එක්කෙනාටම ඕක ගියොත්නේ.. ඒත් ඉතිං එහෙම වෙන්නේ නැහැ ලේසියකට... වැප් නිශාන්ත ඔය සීට්ටුව 1000ට ඉල්ලද්දී ඕක බලං ඉන්න තිස්ස දොඩංගොඩ කියන සීට්ටු සාමාජික මහත්මා 1100කට ඉල්ලන්න පුළුවන්..

ඒත් ඒක ලේසියෙන් ඉවර වෙන්නේ නැහැ..ආයෙමත් වැප් නිශාන්ත 1200ට ඉල්ලන්න පුළුවන්.. ඒ අතරේ වෙනම පැත්තකට වෙලා හිටිය දුශාන් කරවිට උන්නැහේ 1300ට ඉල්ලන්න පුළුවන්..

දැන් තේරෙනවනේ වැඩේ ලේසි නැහැ.. 30 දෙනෙක් ඉන්න තැන බොහෝම කිහිප දෙනයි ඕක ඉල්ලන්නේ නැතිව ඉන්නේ අනිත් අය එක පොරේට ඕක ඉල්ලනවා... අර පන්සලේ මල් වට්ටිය වෙන්දේසි කරනවා වගේ.. අවසානෙදී ඉතිං තදබල මුදල් අහේනියක් තියෙන අය කිහිප දෙනෙක් තමා අවසානය දක්වාම ඇදගෙන යන්නේ.. ඔය අතරේ සමහරු ඉන්නවා සීට්ටු වාර්කය අඩු කරවන්න ඕන හින්දම බොරුවට ගණන් උස්ස උස්ස ඉල්ලනවා. ඒත් එහෙම අය සාමාන්‍ය දුරකදි නවතිනවා..මොකද වැරදිලාවත් තීන්දුව තමාට ආවොත් කියලා..මොකද ඒ වගේ අය බලං ඉන්නේ සීට්ටුව මුලදී නොගෙන අවසානය වෙනකල්ම නිකං ඉන්න. එතකොට අවසානෙදී තරග කාරීත්වය අඩු උනහම තමන්ට හේට්ටු කිරිල්ලකින් තොරව සීට්ටුව ගන්න පුළුවන් නෙව.

ඉතිං ඕක කොහොම කොහොම හරි ඇදිලා ගිහින් අවසානෙදී නවතින්නේ සම්පූර්ණ සීට්ටුවෙන් බාගෙකට විතර අඩු උනහම තමයි. අපි හිතමු මේ සීට්ටුව ඉල්ලපු වැප් නිශාන්තම අවසානයේදී ඉල්ලනවා රුපියල් 17000 කට.. අන්න ඒ වෙලාවෙදී වෙන කවුරුවත් ඉල්ලන්නේ නැතිව නවතිනවා කියලා හිතමුකෝ..මොකද දැන් මේක බාගෙට බාගෙටත් වඩැ අඩු වෙලානේ.. දැන් අවසානයේදී සීට්ටුව තීන්දුයි 17000කට

එතකොට වෙන්නේ සම්පූර්ණ මුදල වෙන 31000න් 17000ක් අඩු කලා.. උත්තරේ 14000යි.
ඒක බෙදුවා 31 න් උත්තරේ 451.61 යි.. ඒ කියන්නේ ආසන්නවනං රුපියල් 455 යි.

මුදල් එකතු කරලා අවසානයේදී අපි 10 වෙනිදට වැප් නිශාන්තට ගෙවනවා 13545 ක මුදලක්..ඒකට එයා එයාගේ කොටසත් දැම්මනං14000ක මුදල සම්පූර්ණ වෙනවා.

ඔන්න ක්‍රමය දැන් තේරුනා නේද... සෑම විටම වෙන්දේසිය ආරම්භ වන්නේ ලංසුවේ සිටය..
ලංසුව යනු එක් සාමාජිකයකු විසින් ගෙවිය යුතු සම්මත වාරක මුදල වේ.
සෑම සීට්ටු වෙන්දේසියකදී එතෙක් සීට්ටුව ලබා නැති සෑම අයකුටම සීට්ටුව ඉල්ලන්නට හැක.
සීට්ටුව තීන්දු වූ පසුව එම තීන්දු වූ තැනැත්ති විසින් අවසානයට ඉල්ලූ මුදල මුළු මුදලෙන් අඩු කල විට ලැබෙන මුදල ඔහුට ගෙවිය යුතුවේ.

පැහැදිලියිනේ... එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති ඇත්තටම මේ ක්‍රමය යටතේ අපි ගෙවන මුදල සෑහෙන්න අඩු වෙන වග..උදාහරණයක් හැටියට ඇත්තටම හරිනං අපි මාස 31ක් තුලදී මාසයටක 1000 ගානේ ගෙව්වනං අපිට මාස විසි හත අවසානයේදී 31000ක මුදලක් ගෙවන්න වෙන නමුත්..මේ ක්‍රමය යටතේ අපිට ගෙවන්න වෙන්නේ එයින් බාගයකට විතර ආසන්න මුදලක්.

මුලදී මුලදී සීට්ටුව බාගෙටත් වඩා අඩුවෙන් ගියත් ටික කලක් ගිහින් සල්ලි හදිසි අය ඉවර උනාම ඒ හැටිම තදින් ඉල්ලන්නේ නැහැ.එහෙම ගිහින් ගිහින් අවසානෙදී අන්තිම වාරික දෙක තුන විතර වෙද්දී ඉල්ලන්න කෙනෙක් නැතිම තරං.

අපි දැන් හිතමු එහෙම කවුරුවත්ම කෙනෙක් ඉල්ලන්නේ නැති උනාම මොකද කරන්නේ කියලා.
ආන්න එහෙම වෙලාවට කරන්නේ දැනට සීට්ටුව ලබන්න ඉතිරි වෙලා ඉන්න කිහිපදෙනාගේ ගැනට සරිලන්න තුන්ඩු උඩදාලා ජයග්‍රාකයෙක් හොයන එක. ඒත් ඒකෙන් දිනුවත් මුළු මුදලමනං දෙන්නේ නැහැ.. ඒ දෙන්නෙත් ලංසුවේ වටිනාකම අතෑරලා එන ගාන තමයි. ඒත් අවසානයටම ඉතිරි වෙන කෙනාට එහෙමත් නැත්තං 31 වන සීට්ටු වාරිකය දක්වාම ඉතිරි වෙච්ච කෙනාට අර සම්පූර්ණ මුදලම වන රුපියල් 31000 ම හම්බ වෙනවා.. එතකොට මේ ක්‍රමය යටතේ සීට්ටුවේ අයිතිකාරයට මුල්ම කොටසෙදියි.. අවසාන වාරිකයේදී ඒ අවසාන සීට්ටු සාමාජිකයටයි විතරයි සම්පූර්ණ සීට්ටු මුදලේ හිමිකම තියෙන්නේ...

මං හිතන්නේ දැන් හැමෝටම පැහැදිලි ඇති.

දැන් මං කියන්නං මගේ අත්දැකීමක්..

මාත් හිටියා එක පාරක් සීට්ටුවකට.. ඒකේ ලංසුව රුපියල් 5000යි.. මං එයින් කොටස් දෙකකටම හිටියා.. ඒ කියන්නේ හරියට බැළුවොත් මං මාසෙකට ගෙවන්න ඕන 10000ක්. ඇත්තටම මට ඒ වෙලාවේ අතේ තිබුනේ නැහැ 10000ක් ගෙවන්න තරං හයියක්..මට මාසෙකට ඔය සඳහා වෙන් කරන්න පුළුවන් උනේ උපරිම 7000ක් වගේ තමා.. ඒත් මට මේ සඳහා උදව් කරපු කෙනා මට ඒ ගැන බය නොවී කෑලි දෙකක් ගන්න කිව්වා. එයා මට දුන්න උපදෙස් ගැන කිසිම බයක් තියා ගන්න ඕන නැති හින්දා මං ඒකට අත ගැහැවුවා.. ඒ සීට්ටුවෙ කට්ටිය ඔක්කෝම හිටියා 27 දෙනෙක්..

ඒ කියන්නේ 27 *5000=135000 යි එක වාරෙක වටිනාකම විය යුත්තේ..
මං ඔය සීට්ටුව දමාපු සහ මට සීට්ටු ගැන උපදෙස් ලබා දුන්න කෙනාගේ උපදෙස් මත අර වැප් නිශාන්ත දරුවා වගේ අත අරින්නෙම නැතිව ඉල්ලලා සීට්ටුවේ ඉල්ලන පළමු වාරෙම.. ඒ කියන්නේ සීට්ටුවේ දෙවන කෑල්ලෙදි සීට්ටුව ගත්තා...

5000න් ආරම්භ වෙච්ච සීට්ටුව 68000 වෙනකල්ම ඉල්ලලා තමා මට ගන්න උනේ... එතකොට මට ලැබුනේ රුපියල් 67000ක් වගේ ගානක්...තේරෙනවනේ බාගෙට බාගෙටත් අඩුයි.

මං එතනින් නැවතුනා කියලා හිතනවද..නැහැ මං ‍ඊ ළග වාරිකේදී මගේ අනිත් සීට්ටු කෑල්ලත් ඉල්ලුවා..ඒ පාර මුල් වාරෙටත් වඩා අමාරු උනා..මොකද සීට්ටුවේ අය දන්නවා මං කොහොම හරි මේකත් ගන්නම තමා ඇවිත් ඉන්නේ කියලා... ඒ පාර සීට්ටුව තීන්දු උනේ 5000න් පටන් අරං 72000න්.. ඒ කියන්නේ මට හම්බ උනේ 63000යි...

ඉවසසලා අවසානය දක්වාම හිටියනං මට 265000කට ආසන්න මුදලක් ගන්න තිබුනා උනත් මං සීට්ටු වාරික දෙකෙන්ම ගත්තේ 130000යි.. පේනවනේ බාගෙට බාගෙටත් අඩුයි... ඒත් මං එහෙම කලේ මට ඒ වෙනකොට හොඳ ආයෝජන අවස්ථාවක් තිබුන හින්දයි. දන්න කෙනෙක් ලවා මං ඒ සල්ලි වලින් 11000ක් 10% පොලියට ණයට දුන්නා.

එතකොට මට මාසෙකට නිකංම 11000ක් හම්බ වෙනවා.. ඒ 11000න් මට සීට්ටු වාරික දෙකම බේරලත් තවත් කීයක් හරි ඉතිරියි. අවසානයට මං ගණන් හදලා බැළුවම මං සීට්ටු වාරික දෙකම වෙනුවෙන් රුපියල් 158000ක මුදලක් ගෙවලා තිබුනා. ඒ කියන්නේ හරියට බැළුවොත් 79000ක් වගේ වෙලා තියෙනවා එක සීට්ටුවකට. මම අරගෙන තිබුනේ 65000ක් වගේ නිසා මට පාඩුව එක සීට්ටුවකින් 14000ක් විතර වගේ තමා.. ඒත් ඇත්තටම මං මුලින්ම වාරික අරගෙන ඒ මුදල ආයෝජනය කරපු නිසා මට කිසිම පාඩුවක් උනේ නැහැ එකට එකක් ලාභයක් මිස.

ඇත්තටම මුල්ම වාරිකය සඳහා කොටස් දෙකටම දුන්න 10000 ඇර මං තව එක සතයක්වත් ඒකට මගේ සල්ලි වලින් වියදම් කරලා තිබුනේ නැහැ. හැබැයි ඒකට හේතුව මට ආයෝජනයට පාරක් තිබුන හින්දා..එහෙම නැත්නං හොඳම දේ තමා මං සද්ද නැතිව අමාරුවෙන් හරි සීට්ටුව ගෙව ගෙවා අවසානය වෙනකල් බලා සිටීම.. එහෙම ඉදලා හිතන්න මට අවසාන වාරිකය ගන්න හම්බ උනා කියලා.. ඒ කියන්නේ 135000ක මුදල මට හම්බ උනානං මම සීට්ටුවට ගෙවා තිබුන 79000 ඇරියම මට 56000ක ලාභයක් තියෙනවා.. මේ ලභය මට ලැබෙන්නේ මං මාස 31ක් ඉවසුවනං තමා.. ඒ කියන්නේ අවුරුදු දෙක හමාරක් වෙනුවෙන් මට ලැබෙන ලාභය... එහෙම උනත් නරක නැහැ නේද..?

මං මේ මගේ අත්දැකීම කිව්වේ මේ සීට්ටුවල තියෙන දෙපැත්ත පෙන්නන්න.. ඒ කියන්නේ මං වගේ බැංකුවකින් ණයක් ගන්න බැරි කෙනෙකුට මේ වගේ සීට්ටුවක් කියන්නේ හදිසි මුදලක් ලබා ගැනීමට හොඳම පාරක්.මෙතනදී බලන්නේ විශ්වාසවන්තකම විතරයි. බැංකුවක් විශ්වාසෙට ණය දෙන්නේ නැහැනේ.. ඒත් මෙතනදී මට මගේ විශ්වාසවන්තකමට වටිනාකමක් තියෙනවා. ඒ විශ්වාසවන්ත කම උඩ මට මාස තුනක් ඇතුලතදී වාරික දෙකක් හැටියට රුපියල් 130000ක මුදලක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රමයේදී විතරයි. බැංකුවකින් කවදාවත් මට එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ...

ඒ වගේමයි මුදල් ආයෝජනය කරලා ඉවසගෙන ඉන්න කෙනෙකුටත් අවසානයේදී හොඳ ලාභයක් ගන්න පුළුවන් මේ ක්‍රමය මගින්.

මෙතනදී එක එක කෙනාට එක් එක් විදියට මේ සීට්ටු වාසිදායකයි..ව්‍යාපාරයක් සඳහා හෝ ආයෝජනයක් සඳහා මුදල් අවශ්‍ය කෙනෙකුට බාගෙට බාගෙට හරි ඉල්ලලා සීට්ටුව ගන්නත් පුළුවන්..එහෙම ක්‍රමයක් නැති කෙනෙකුට මුදල් යොදවලා බලාගෙන ඉඳලා ගන්නත් පුළුවනි.

ආයෝජන අවස්ථා තියෙන කෙනෙක් අවසානය දක්වාම බලං ඉන්න එක පාඩුවක් වගේම එහෙම දෙයක් නැති කෙනෙක් මුලින් ඉල්ලලා ගන්න එකත් පාඩුවක්. ඔය දේ තේරුම් අරගෙන ඕන වැඩේ කරන්න.

දැන් බලමු මේකේ තියෙන අස්පට් පැති...හොඳ කිව්වා වගේම නරක කියන්නත් එපැයි.

අර කලින් සීට්ටුවල වගේම සීට්ටුව අක්‍රිය වීම හරහා තමන්ගේ ගෙවූ මුදලත් නැති වීම..
ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම වරද... කවදාවත් පොලිසි ගිහින් සල්ලි ගන්න වෙන්නේනම් නැහැ. මොකද සීට්ටු කරන අයත් නීති රීති ගැන දන්නවා.නීතියේ හිල්වලින් ලස්සනට රිංගලා ගියෑකි. ඒ හින්දා සෑම විටම හොඳ සීට්ටු කරුවෙක් ගාව ඇර සීට්ටු දාන්න යන්න හොඳ නැහැ..

ඒ වගේම තව තව කපටිකං කරන සීට්ටු අයිතිකාරයින් ඉන්නවා.. එයින් එකක් තමා අයිතිකාරයා විසින් තමාගේ මුලික වාරිකයට අමතරව තවත් වාරික කිහිපයක් තමා නමට හෝ තම සමීප අයවළුන්ගේ නමට ලබා ගැනීම..පසුව එම කොටස් හරහා සීට්ටුවේ අග කාලයේදී පවා සීට්ටුවේ ලංසුව ඉහල දැමීමට ක්‍රියා කිරීම.. එ‍වෙගේම සමහර අය ඉන්නවා සීට්ටුවට කවදාවත් නොඑන සහ සීට්ටු හිමියාව විශ්වාස කරලා මුදල් දෙන..ආන්න එහෙම අයවත් බොරු ගණන් කියලා වැඩි වාරික මුදලක් කැඩීම වැනි දේවල් කරන අයත් ඉන්නවා. ඔය වගේ හැට හුට හමාරක් ගැට වලින් බේරිලා සීට්ටුවකට සහභාගී වීම ලේසිනං නැහැ.

හම්මෝ උදේ ලියන්න ගත්ත ලිපිය වෙන වෙන වැඩ හින්දා දවල් වෙනකල්ම ඉවර කරගන්න උනේ නැහැ..දැන් මේ ඇති..තව මොනවා හරි තේරෙන්නේ නැති ඒවා තිබුනොත් අහන්න මං පස්සේ කියා දෙන්නං.

22 comments:

  1. සීට්ටු මාරයා

    හික් හික්

    ReplyDelete
  2. අඩේ පළවෙනි කමෙන්ට් එක මමනෙ දාල තියෙන්නෙ (දැනුයි දැක්කෙ)

    ReplyDelete
  3. දෙවෙනි කොමෙන්ට් එක මම ද ?

    ReplyDelete
  4. මේ මොන උලව්වක්ද මම දාපු සිට්ටුවක් නැහැ බොල:DDD

    ReplyDelete
  5. එතකොට තුන්වෙනි කමෙන්ට් එක මම

    ReplyDelete
  6. මං හිතුවා හරි! මේ 'ඉල්ලන සීට්‍ටුව' කියලා පළවෙනි සටහනේ තිබ්බේ 'වෙන්දේසි සීට්‍ටුව' තමයි... මං මේ ක්‍රමේ ටිකක් අහලා තිබ්බට, හරියටම විස්තර දැනගත්තේ අද තමා...

    ඔය සීට්‍ටු වල ලොකුම කේස් එක ඉතිං විශ්වාසවන්තකම තමා නේද? අන්තිම වෙන කට්ටිය මඟ ඇරලා ගියොත් වැඩේ අල!!!

    ReplyDelete
  7. මම කැමතිම සීට්ටු ජාතිය තමා, හොඳ ලාභයක් ගන්න පුලුවන් ........

    ReplyDelete
  8. මමත් ඔය වගේ සීට්ටුවක් දාල අන්තිම වෙනකල් ඉඳල තමයි ගත්තෙ. :D

    ReplyDelete
  9. නියමයි සීට්‌ටු ගැන හොද පැහැදිලි කිරිමක්

    ReplyDelete
  10. //අපි හිතමු 31දෙනෙක් වැඩේට සෙට් උනා//

    //ඒ කියන්නේ එදාට අර 27 දෙනාම රුපියල් 1000 ගණනේ මට ගෙවන්න ඕන..//

    මාරයා ගංජ ගහන්ඩ පටන් ගත් වගය්....

    ReplyDelete
  11. //එතකොට වෙන්නේ සම්පූර්ණ මුදල වෙන 31000න් 17000ක් අඩු කලා.. උත්තරේ 14000යි.
    ඒක බෙදුවා 30 න් උත්තරේ 466.66 යි.. ඒකියන්නේ ආසන්නවනං රුපියල් 470 යි.//

    හුහ්..එහෙනම් ඉස්සරවෙලා 31 න් බෙදුවෙ මොන මගුලකටද ?
    ඒයි මාරයා බොරු කරන්න එපා..අපි පැත්තකට වෙලා හිටියට ඉන්නෙ හොඳ අවදියෙන්..හරිය....

    ReplyDelete
  12. කොහොම හරි මට පේන විදියට මේක හරියට අවබෝධයෙන් අකුරක් නෑර කියවලා තියෙන්නේ ඔබා අයියා විතරයිද කොහේද..? අයියා හරි අයියා..මට මං දාපු සීට්ටුවේ විස්තරත් එක්ක මේකේ ගාණ ටැපලවිලා තිබිලා..ආං මං ඒක හරි ගැස්සුවා...

    (මොකද මෙච්චර උනන්දු..?සීට්ටුවකට සෙට් වෙන්නවත් ඕනද..? ඕනනං අන්න වැප් නිශාන්ත වියට්නාම් පොරකුත් එක්ක සෙට් වෙලා සීට්ටුවක් කරනවා..ඒකට ජොයින්ට් ‍වෙන්ට..)

    ReplyDelete
  13. 470 X 30 = 13530 අඩෝ....හොර ගෙඩියා....

    ReplyDelete
  14. හරි හරි මෙන්න තවත් සීට්ටුවක් ගැන හීන මවන එකෙක් අහු උනා..ඇත්ත ඇත්ත මට එතනත් ගාන ටැපලිලා.. ඔන්න හැදුවා...

    (අර ඔබා අයියට දුන්න ඔත්තුවම තමා දෙන්න තියෙන්නේ..:D)

    ReplyDelete
  15. සීට්ටු ගැන මට නං තියෙන්නෙ නොකළයුතුම දෙයක් කියන අදහස තමයි, අපේ ගම් පැත්තෙ තිබුණ එක සීට්ටු ව්‍යාපාරයක් නිසා එහෙම හිතෙන්නෙ,
    ඒක කෙළවර වුණේ අන්තිමට සීට්ටුව කරපු මනුස්සය එල්ලිල මැරිල.

    ReplyDelete
  16. අන්තිම කෙනාට මුලු මුදලම ලැබෙනවාද?සිට්‌ටුව දාන එක්‌කෙනාට කොම්ස්‌ මුදලක්‌ යන්නෙ නැද්ද?

    ReplyDelete
  17. සමහර අය ඔය ඉල්ලන ගානට කට්ටයක් තියලා ඉල්ලන්න දෙනවා නේද?
    මීට අවුරුදු 5ට විතර ඉස්සල්ලා අපූරු සීට්ටුවක් තිබුනා මෙහේ,,සීට්ටු සාමාජිකයෝ 100ක් හිටියා ඒ වෙලේ රත්තරන් චේන් එකක් දුන්නේ , 100 දෙනාගේ නම් ලියලා පෙට්ටියකට දාලා ඒකෙන් අහබු ලෙස ගන්න තුන්ඩුවේ නම තිබුනු කෙනා ජය ගන්නවා, ඒ කෙනා සීට්ටුවෙන් ඉවත් වෙනවා චේන් එකත් අරගෙන,ආයේ එයාට වාරක දෙන්න වෙන්නේ නෑ එතකොට එයාට ඒ චේන් එකට දුන්නු මුදල වෙන්නේ පලමු වාරිකේ විතරයි,,පස්සේ ඔහොම වාරික 16ක් වෙනකන් ගියා චේන් එක දෙනවා ඒ කෙනා ඉවත් එනවා, අන්තිමේදී සීට්ටුවේ හිටිය 84 දෙනාටම චේන් එක ගානේ ලැබෙනවා,පස්සේ ඕක නැවතුනා සීට්ටු අයිතිකාරයෝ 16 වෙනකන් බේරලා අන්තිමේදී අතුරුදන් උනු නිසා,,,

    ReplyDelete
  18. සීට්ටුව් ගැන කියවන්න බැරි උනා තාම.නිකන් ගොඩ වෙලා යන්න ආවා...

    ReplyDelete
  19. දවසම කේන්දර බලල මේ වැඩේ එහෙම අමතක කරනවා නෙමේ හොඳඳ මාරයියේ...
    අපේ තාත්තත් ලොකු සීට්ටුවක් කලින් අරගෙන සෑහෙන්න පාඩුවක් වින්දා මට මතකයි.

    ReplyDelete
  20. ඊක්කා සීට්ටුව ‍කෙ‍රෙනකන් කි‍යෙව්වා. මඤ්ඤං ව‍ගේ. ඒ නිසා කි‍යෙව් ‍වේ නෑ. ඇයි ඉතින් ඔය කියන හැටියට අපි ගන්න ගානට වඩා අපි ‍ගෙවනවා. ඒ ව‍ගේම අනික් සීට්ටු වලදි ව‍ගේ නිශ්චිතවම අ‍පෙන් යන මුදල අපිට ලැ‍බෙනවා කියන්න බැ. වැඩි‍යෙන් ලැ‍බෙන්නත් පුලුවන් ‍අඩු ‍වෙන්නත් පුලුවන්. මං ‍තේරුම් ගත්ත හැටි හරිද මංදා??????????

    ReplyDelete