08 September 2011

වට්ටක්කා උයන්න කැමති අයට මෙන්න නියම විදිය...




අදත් කෑමක්ද..?

මං දන්නවා දැන් කට්ටියකට අම්බානකට තද වෙනවා මේ කෑම ගැනම පෝස්ට් දැමිල්ල ගැන.. ඒත් ඉතිං මොනවා කරන්නද..? මේ ටිකේ හුගාක් දිගට වෙලාව අරගෙන ලිය ලිය ඉන්න විදියක් නැති කම හින්දා මං ගාව තියෙන පොටෝ කෑලි ටික එල්ලලා ලියන ටික ටිකක් අඩු කරලා පෝස්ට් එකක් දා ගන්න තමා කල්පනාව...

මොකද කාරණේ කියනවනං රාජකාරියේ වැඩයි..ගෙවල් දොරවල්වල වැඩයි අස්සේම වියාපාරේ වැඩයි හැම එකක්ම එකතු වෙලා තියෙද්දී ලියන එක ලේසි නැහැ.ඒත් එහෙමයි කියලා මේක නවතින්න දීලා පුළුවන්ද..? ඒ හින්දා කොහොම හරි වැඩ රාජකාරි අස්සෙම දවසට එකක්වත් වැටෙන්න පෝස්ට් එකක් දාන්නත් ඕනකම තියෙනවා. හැබැයි පහුගිය ටිකේම දාපු පෝස්ට් වල කොමෙන්ට් වලට උත්තර බැඳිල්ලනං මට කරන්න බැරිව ගියා.. ඒකට කස්ටියම එකතු වෙලා මාව භාජ..අහ් නැහැ සමාව භාජනයකට දාන්ට. කොළුවට අත් දෙකයි තියෙන්නේ.. ඇස් දෙකයි තියෙන්නේ.. ඒ ඇස් දෙක එක පාරකට බලන්නේ එක පැත්තක් විතරයි.. කණ් දෙකක්ම තිබුනට මොකද එක පාරකට ඇහෙන ශබ්ද වලින් අවධානය යවන්ට ඇහැකි එක දේකට විතරයි..

ඔන්න ඔය වගේ ගැටළු හින්දා ඒවා එහෙම උනත්..අඩුම ගානේ අළුත් පෝස්ට් එකක් ඇවිත්ද කියලා බලන්න එන උදවියට නිකංම හිස් අතින් හැරිලා යන්න දෙන්න බැහැ බැහැ වගේ හින්දා කොහොම හරි පෝස්ට් එකක් දාන්ටයි මේ වෑයම...දෙන එකත් නිකංම දීලා බැහැ..එක්කෙනෙක් දෙන්නෙක්ට හරි වැඩක් තියෙන විදියට දාන්ට එපෑ.. ඒ හින්දා උයන පිහන උදවියට සහ උයන්න ආස.. ඒ උනත් ඒ ගැන උපදේසයක් ගන්න බැරිව ලත වෙන උදවියවත් මේක පලක් පරයෝජනයක් වෙන්නේ නැතෑ කියලා හිතලයි මෙහෙම දාන්නේ...

හැබැයි කස්ටියම එක හඬින් කිව්වොත් "කෑම ජාති හදන හැටි ගැන දාන්ට එපෝ" කියලා.. මං මේක නවත්තලා දාඤ්ඤං..හරිනේ...

රයිට් අපි යමු අද හදන්න කියා දෙන දේ ගැන බලන්න.. වට්ටක්කා.. වෙළඳපලේ ඉතාම ලාභ එළවළුවක්.. ඒ වගේම බොහෝම ගුණදායක දෙයක්..පොඩි ළමයින්ට වගේම ඔය අරක්කු සිගරට් බොන උදවියටත් හිතකර කෑමක් විදියට තමා පතපොතේ සහ දන්න කියන අය කියන්නේ..මංනං දන්නේ නැහැ ඒක.

කොහොම උනත් වට්ටක්කා හරියට ඉව්වේ නැතොත්නං ඒ හැටි රස නැති කෑමක් වෙනවා සිකුරුයි.. මං දන්න හුග දෙනෙක් වට්ටක්කා වලට කැමති නැහැ..ඒකට හේතුව ඒ අයට කවදාවත් හරි හමන් විදියට වට්ටක්කා ටිකක් උයලා කන්න නොලැබීමම තමයි.. ඒ හින්දා අද කියා දෙඤ්ඤං නියම ලෙසටම වැඩේ ගොඩ දාන විදිය..හැබැයි පුතෝ වැඩේ ටිකක් වෙලා යනවා..ඒකට මට කොරන්න දෙයක් නැහැ..රහට ගුණට කන්ටයි..තත්පර දෙකෙන් හදන්ටයිනං බැහැ..එහෙම අයට තමා අර මැගී නූඩ්ල්ස් එහෙම තියෙන්නේ...

එහෙමත් නැත්තං කෝකටත් තෛලේ වගේ හේදුවා කැපුවා දැම්මා තෙලට ඔය අතට අහුවෙන තුනපහ මිරිස් ටිකක් ඉස්සා දෙපැත්ත පෙරළුවා බෑවා වගේ වැඩත් කරන්ට ඇහැකි..හැබැයි මෙලෝ රහක් නැහැ.. වට්ටක්කා සඳහටම එපා වෙන්නේ අන්න එහෙම ඉව්වම තමා.. අපේ හුගාක් ඈයෝ ළමයින්ට වට්ටක්කා එපා කොරවලා තියෙන්නේ ඔය කතන්දරේ හින්දා...

ඒ වගේමයි වට්ටක්කා ඉව්වට ඒකත් එක්ක පෑහෙන තව මොනවා හරි දෙයක් බත් එකත් එක්ක එකතු වෙන්නම ඕන.. ඒ අනිත් දේ හැටියට හොද කරවල කෑල්ලක් තෙලට හදා ගත්තනං පංකාදු පහයි... මේ තියෙන්නේ මං හදපු එක බලන්ට හොඳයි නේද කියලා... තව ඉතිං ඕකට ගොටු කොල සම්බෝලයකුත් තිබ්බනං මල් හතයි...


හරි මෙන්න කොරමේ... මුලින්ම වට්ටක්කා ටික සුද්ද කරලා හෝදලා කෑලි කපා ගන්නවා මෙන්න මේ විදියට.. මමනං ඉව්වේ වට්ටක්කා ග්‍රෑම් 300ක විතර පොඩි ගෙඩියක්. ඒක ටිකක් ළපටියි. ඒත් ඔයාලා ගන්නවනං අර ලොකු ගෙඩියකින් කෑල්ලක් ගන්න ඒවා පැහිලා තියෙන්නේ හොඳට.. මං එවෙලේ උයන්නනං ඇර වට්ටක්කා කෑලි ගේන්නේ නැහැ.පොඩි ගෙඩියක් ගෙනාවම දවසක් දෙකක් පහු වෙලා උනත් උයන්න ඇහැකිනේ..මොන එළවළුව උනත් කැපුවට පස්සේ හුඟ වෙලාවක් තියලා ඉව්වම රස නැහැ.. ගහෙන් වැලෙන් කඩා ගත්ත ගමන් උයන්න තියෙනවනං පුදුම රහක් තමා තියෙන්නේ...මෙන්න කෑලි කපා ගත්ත වට්ටක්කා...


එහෙම කෑලි කපා ගත්ත වට්ටක්කා වලට හීනියට ලියාපු අමුමිරිස් කරලක්.. කරපිංචා ඉත්තක්.. ලියා ගත්ත රතුළුණු ගෙඩි දෙක තුනක්..ගොරකා කෑල්ලක්.. පොඩි රම්පේ කොල කැබැල්ලක් එහෙම දා ගන්ට ඕන

ඊට පස්සේ තියෙනවා අපිට ලොකු වැඩක්.. ඒක තමා එපාවෙන කෝස් එක මේ වට්ටක්කා ඉවිල්ලේ..

හොදින් සෝදා ගත්ත සුදු කැකුළු හාල් මේස හැන්දක් විතර.. ලොකු සුදු ළුණු බික් දෙකක්.. සුදු ළුණු බිකකින් බාගයක් විතර තරමේ අමු ඉඟුරු කෑල්ලක්.. කුරුඳු පොතු කෑල්ලක් උළු හාල් ඇට පහක් හයක්.. අබ ඇට තේ හැන්දක් විතර.. ගම්මිරිස් ඇට දෙකක් තුනක් විතර.. ගාගත්ත පොල් මේස හැදි දෙකක්.. කහ කුඩු තේ හැදි බාගයක් පමණ.. මෙන්න මේ ටික හොඳට ගලේ අඹර ගන්න ඕන... මංනං කලේ වංගෙඩියේ දාලා කොටන එක..ඒත් ලේසි ගලේ අඹරන එක..ඔයාලටනං ඕක බ්ලෙන්ඩරේට දාලා හොදට බ්ලෙන්ඩ් කර ගතෑකිනේ... එහෙම එව්වා නැති බෝඩිං කාර ජීවිත එහෙම ගෙවන අයට මෙහෙම වංගෙඩි සරන තමා ඉතිං. ඔය කලමනා ටික හොඳට අඹර ගන්න හරි කොටා ගන්න හරි ඕන මේ විදියට..
එහෙම කලාම අවසානෙට මෙන්න මෙහෙම තලපයක් වගේ හැදෙනවා.. ඒක තමා මේකේ ලොකුම බෙහෙත...
ඊට පස්සේ අර කලින් ලෑස්ති කර ගත්ත වට්ටක්කා වලට මේ පොල් අඹර ගත්ත පේස්ට් එකයි.. මිරිස් කුඩු තේ හැඳි බාගෙකුයි..ලුණු කුඩු තේ හැදි තුන්කාලකුයි.. හොදට කළු වෙන්න බැඳපු තුන පහ කුඩු තේ හැඳි එක හමාරකුයි වගේ දාන්න ඕන... පේනවනේ පින්තූරේ...
ඊට පස්සේ මේක වැහෙන්නම ඇතිළියේ කට මට්ටං දාන එකයි ඇත්තේ පොල් කිරි... එකෙදි මිටි කිරි වගේම අපි දෙවෙනි පාරට මිරිකන දියකිරි ටිකකුත් කලවං උනාට වරදක් නැහැ...සාමාන්‍යයෙන් මිටිකිරි කොටස් හතරකට දිය කිරි කොටස් 1ක් හෝ එයිට පොඩ්ඩක් වැඩි උනාට කමක් නැහැ... ඊට පස්සේ ඉතිං වෙන මොනවද ලිපේ තියලා හොදට ගින්දර දාන එකයි ඇත්තේ.. බලාගෙනයි හොද්ද නිතරම උතුරන්න බලනවා..ඒ හින්දා හොඳට හැදි ගාන්න ඕන මුලදී... ඊට පස්සේ වට්ටක්කා තැම්බුනාට පස්සේනං වැඩිය හැදි ගාන්න යන්න ඕන නැහැ..එතකොට උතුරන ගතිය ගිහිල්ලා හොද්ද ගොද ගොද ගගා නට නට තියෙනවා..අනික ඒ වෙලාවට ඕනවට වඩා හැඳි ගාන්න ගියහම වට්ටක්කා කෑලි පොඩි වෙනවා.. එතකොට ඕක බෙදන්න ගියහම පෙනුමේ ලස්සන අඩු වෙනවා... ඒ හින්දා හොඳ සැලකිල්ලෙන් වැඩේ කර ගන්නයි තියෙන්නේ... තමන්ට කැමති තරමට හින්දවගන්න පුළුවන්..ඒත් මංනං ටිකක් විතර හොඳි තියලා තමයි වැඩේ නැවැත්තුවේ..මොකද මට ඔය වට්ටක්කා හොඳි ගෑවුන තැන කෑහැකි.. ඉතිං ඔන්න වැඩේ අහවරයි මේ තියෙන්නේ අවසාන ප්‍රතිඵලේ... හොඳට කරෝල කෑල්ලක් තෙල් දාගෙන ඔය දෙක බත් එකට වැඩැම්මවෙව්වනං බඩුම තමා...

42 comments:

  1. haffaaa mage asama kama oya halui polui kabale badala haduwamth rahai neda ayye

    ReplyDelete
  2. අඩේ අද නම් දවල් කෑමට එනවම තමයි.. :D

    මම දවසක් වට්ටක්කා හොද්දක් කන්න ලැබුනා පොල් එක්ක,මුලින් නිකන් අප්සට් වගේ උනාට , පට්ටම රහයි.කතරගම යනකොට හම්බුවෙනවා අලිමංකඩ කියලා හෝටලයක් අන්න ඒකෙන් කෑවේ..ඒක තමා දැනට වට්ටක්කා කාපු හොදම අවස්ථාව

    ReplyDelete
  3. අනේ අයියේ, ඔය බත් පතේ තියන බැදුම හදන හැටිත් දානවනම් ගොඩක් පින්, ඒක දැකල කටට කෙළත් ඉනුවා

    ReplyDelete
  4. මම ගිය ඉරිදා හැදුවා ඕකට ඔයිට වඩා ලපටි වට්ටක්කා ටිකක් හොයා ගත්තා නම් මැක්සා

    ReplyDelete
  5. අනික ඔය තුනපහ ටික හොද්ද පැහිල ඉවර උනාම දැම්ම නම් තවත් රහයි

    ReplyDelete
  6. මමත් ආසම කෑමක් ටට්වක්කා. අපේ අම්මා හැමදාම එකම විදිය තමා. මේකත් ට්‍රයි කරමුකෝ එහෙනම්. හදලා කියාඤ්ඤා......ං

    ReplyDelete
  7. ටිකක් වෙනස් . අපේ අම්ම උයන විදිහ . රතු ළුණු ..අමු මිරිස් කහ තුනපහ මිරිස් ලුනු හෙම පොඩ්ඩ පොඩ්ඩ දාල යන්තම් වතුර ඉහල වට්ටක්ක වල උනන වතුරෙන්ම වගේ තැම්බෙන්න තියනවා . ඊට පස්සේ සුදුළුණු හාල් පොල් ..අබ ..අඹරල මිටි කිරි ටිකකට දිය කරලා වට්ටක්ක එකට මිශ්‍ර කරනවා . මාරයාගේ රෙසිපි එකත් උයල බලන්න ඕන . කොහෙද මේ සමහරු වට්ටක්ක කන්නේ නැහැනේ .

    ReplyDelete
  8. පැහුණු වට්ටක්කා සාමාන්‍ය ගානට තම්බලා ලුණු ටිකක් ඉහලා පොල් එක්ක ගත්තාම ෂෝක්.

    ReplyDelete
  9. වට්ටක්කයි කරවලයි මලගෙවල් වල උයන්නෙ ඒකෙ දුක තුනී කරන එන්සෛමයක් තියෙන නිසා කියන්නෙ ඇත්තද අනේ..?

    ReplyDelete
  10. මේ පොස්ට් දැකලම දැන් අපේ බෝඩිමේත් උයන්න පටන් ගත්තා...වට්ටක්‍කා ගැන ඉතින් තව මොන කතාද...මාරයියේ වට්ටක්කයි පානුයි ගැන මොකද හිතන්නේ...

    ReplyDelete
  11. වට්ටක්ක මාලුවට නියමෙටම ගැලපෙන දෙයක් තමයි කරවල බැදුම.

    ReplyDelete
  12. මගෙ නම් ආසම නැති කෑමක් "වට්ටක්කා" . . . එහ්

    ReplyDelete
  13. මමත් වට්ටක්කා වලට එතරම් මනාපයක් නැහැ. ඒත් මේ ක්‍රමේටත් උයලා කාලා බලන්න ඕන...

    ReplyDelete
  14. මමත් ආස නෑ වට්ටක්කා... ඒත් මාර රෙසිපිය නම් හොඳයි වගේ.. :D

    ඒත් සීන් එක කියන්නේ මාරයියේ මට නෑ නේ වංගෙඩියක් වත් මිරිස් ගලක්වත් බ්ලෙන්ඩරයක් වත්... ඒකට මොකෝ කරන්නේ..?

    ReplyDelete
  15. අනේ බුදු අයියේ මේ කෑම පෝස්ට් නවත්තපං. අනිත් එක වට්ටක්කා නං කොහොමවත් එපෝ. ඉස්සර මම අම්මත් එක්ක වාද කරනවා වට්ටක්ක ලොකුවට හැදිල තියෙන්නෙ අලි වගේ සත්තුන්ට කන්න මිසක් මිණිස්සුන්ට කන්න නෙවේ කියල..හික්!

    ReplyDelete
  16. වට්ටක්කා කා එපා වී ඇත...හික්

    ReplyDelete
  17. කවදා හරි මාරයව ලබන භාර්යාව මාරම වාසනාවන්තයි ....

    ReplyDelete
  18. මම වට්ටක්ක වලට එච්චර කමති නැති උනත් වට්ටක්ක ඇට කන්න නම් කැමතියි..

    ReplyDelete
  19. මෙයා දැන් කෑම ජාතිමයි හදන්නේ...කාලා කාලා අර දුමී අයියා වගේ වෙයිද දන්නෙත් නෑ...

    ReplyDelete
  20. අඩේ.. ඔකේ හාල් පොල් කියන ජාති දෙක විතරක් රන්වන් පාටට එන ගානට කබලේ බැදලා ඊට පස්සේ සුදුළුනු, අමු ඉඟුරු, ගම්මිරිස්, කුරුඳු, උළු හාල් ජාති ටික එකතු කරලා කොටලා ගත්තහමත් මාරම රසයි මාරම ලස්සනයි.

    ReplyDelete
  21. කන්ට නං ඒ තරං ආසා නැති කෑමක්. ඒත් ඉතිං ලාබෙට තියෙන හිංදා හිත හදා ගන්ට එපාය. ඔය රෙසිපි එක දීලා බලන්ට ඕනි අපේ මුළුතැන් ගෙට....

    අර තලපෙ කලිං හදාගෙන තියා ගන්ට පුළුවනිද? මොකද උදේට නැන්දම්මයි ලේලියි එකතු වෙලා බොහොම කලබොලෙං තමයි ඔය උයන ගේම් එක දෙන්නේ... කලිං හදලා හීතල පෙට්ටියේ දාලා තියාගන්න තියෙනවනං ඒ ගොල්ලො කරයි.. නැත්තං කොහෙද?

    ReplyDelete
  22. අඩේ ඔය මෙනු එකට කටට කෙල උනනව.මේ මාරය මට දවසක උයන්න උනොත් මම මෙවයෙ ප්‍රින්ට් එකක් දාල ඒවිදියට කරන් යනවා (හැබැයි පු‍තෝ දාන පෝස්ට් එකේ හැම විස්තරේම පිලිවෙලට දාපන්,නැත්නම් වෙනදේ හිතාගන්න ඇහැකිනෙ):D

    ReplyDelete
  23. වට්ටක්කා සුදු හාලේ බත් සමග බැදපු කරවල හෝ ඇඹුල් තියල් දැමූ බල මාලු ( පොඩි මාලු ත් නරක නැත ) ගොටුකොල සම්බොල හෝ මුකුණුවැන්න මැල්ලුම එක්ක පට්ටය ඕනෑ තරමක් කෑ හැකිය ,
    අපෝයි මාරය අය්යා මේ ලියන කියන විදිහ හොදටම හොදයි නැත්තන අපි මොන කුකරි ක්ලාස් යන්ඩ ද ?

    ReplyDelete
  24. මාරයා,
    @!%$#()_+*&^%ත්ය්$එෆ්$KLNMMFR

    ReplyDelete
  25. වට්ටක්කා හරි රසයි හරියට උයන්න ඕන.. මමනම් ගොඩාක් ආසයි..
    අර මොනාද ඔබා අය්යා කියලා තියෙන්නේ..එවා කියවන්න පුරා විද්‍යා එකෙන් ගේන්න වෙයි වගේ..

    ReplyDelete
  26. නරකද රූපවාහිනියේ සූප ශාස්ත්‍ර වැඩසටහනක් කලොත්?

    ReplyDelete
  27. ඔබා අයියා සමඟ 100% ක්ම එකඟයි... හික්ස්!

    ReplyDelete
  28. මේ කියලා තියෙන්නෙ වට්ටක්කා උයන හැටිනෙ. වට්ටක්කා බැදුම් කාලා තියෙනවද?

    ReplyDelete
  29. Marayo,

    Wattakkai , aguna kolai thamai niyama galapeema.
    Pudumai huga denek aguna kola gana danne ne.

    ReplyDelete
  30. මෙහෙම උයනවට කියන්නෙ කලුපොල් කියලලු. අප්පෝ මේ වට්ටක්කා හොඳනැහැ සීනි තියන අයට. මං කියන්නෙ මේ diabitics වලට එතකොට මේ තව ගෑස් වැඩි අයට gastraitis.

    මේ දවස්වල මල්ගෝවා ලාබයි උයන හැටි කියමු බලන්න. මම නම් හදන්නෙ තෙල් දාලා කිරිදාලා. සුදුලූනු ටිකක් වැඩියෙන් දාල. මරේමරු......

    ReplyDelete
  31. Anith eka wattakka gaddi hondai pahunu thada kaha wechcha ekak thamai ganna ona. Evage thamai hondata piti gathiya thiyenne. Lapati eva nam melo rahak ne.

    ReplyDelete
  32. මාරයාගෙ බ්ලොග් එක කියවන අයට වෙනම කුකරි ක්ලාස් යන්න ඕනවෙන්නෙ නැහැනෙ. මාරයා මෙතනම නොමිලේ කුකරි ක්ලාස් එකක් දාලා තියෙනවනෙ.

    ReplyDelete
  33. වට්ටක්ක අපෙත් නවාතැනේ මූලික කෑමල් වෙලා.... අපි ඔය විදිහට කියන්නේ පොල් තලා දාල උයනව කියල... තව ඔය විදිහටම තමයි උයන්නේ "පුහුල්" ගෙඩිත්.

    අපිට ඉතින් මොන පොල් තලා දැමිලිද?.. ගත්ත,.. හෙදුව.. කැපුව.. තුන පහ මිරිස් එක්ක වතුර ටිකක් දැම්ම, ලිපේ.... ලිපේ තිබ්බට පස්සේ පැරලල්, වීදුරුවට පිටි කල පොල්කිරි දැම්ම, සට පට ගාල දිය කලා.. වට්ටක්ක එකට දැම්ම.. උපරිම විනාඩි දහයයි.. හැබැයි ඉතින් මාරය උයන ඒව තරම් රස නෑ... !!!

    ReplyDelete
  34. මාරයා අයියට බොහොම පින් මේ ලබාදෙන කුකින් දෑනුමට....

    ReplyDelete
  35. වට්ටක්කයි, මිරිස් වැඩිවෙන්න දාල උයාගත්තු වෙල් මාළුයි,අගුණ කොළ සම්බෝලෙයි කොහොමද? මට මේ දැනුත් කටට කෙළ ඉනුවා මතක් වෙද්දි.

    ReplyDelete
  36. කටට කෙල උනනවා සහෝදරයා. මාරයි..

    ReplyDelete
  37. වට්ටක්කා වලට මං නම් එච්චර ප්‍රියමනාප නැහැ.නමුත් පොටෝ එකේ තියෙන ඉස්සෝ බැදුම දැක්කාම නම් කටට කෙල උනනවා.පුලුවන් නම් මාරයියේ ඉස්සෝ බැදුම හදාගන්න විදිහ ගැන පොස්ට් එකක් දානවද?

    ReplyDelete
  38. දැන් වට්ටක්ක වෙනස්....... අවුරුදු 10-15 කට කලින් තිබුණු පැහුනත් කොලපාට... ලොකු ගෙඩි වෙනුවට දැන් තියෙන්නේ පිටි ගතිය වැඩි පොඩි ගෙඩි (ඩුබායි වට්ටක්ක නෙමේ). ඒවා මෙලෝ යකෙක්ට රහට හදන්න බෑ ගස්ලබු වලට වුන සීන් එකමයි වට්ටක්කෙටත් වුනේ

    ReplyDelete
  39. අර ලොකු වට්ටක්කා වලට මොකද උනේ. කාලෙකින් කෑවෙ නෑ...

    ReplyDelete
  40. පැස්බරාSeptember 14, 2014 at 2:50 PM

    මම ඔය විදිහට හැදුවා... හොඳ රසට ආවා... හැබැයි අන්තිමේට සීනි ටිකකුත් දැම්මා. Thank You මාරයෝ...

    ReplyDelete