30 September 2011

කේන්දර ගැන ඉදිරියට.. දසා ගෙවෙන හැටි...

ඔන්න මං දැන් පටන් ගන්න යන්නේ කලින් නවතපු තැනින්...

අපි දැන් බලමු ඇයි කේන්දරේ දසා ශේෂය ලියන කොට එක එක ගණන් එන්නේ කියලා...

දැන් මං කලින් ලිපියෙදි කිව්වනේ යම් කිසි දසාවක් තීරණය කරන්නේ එම ජන්මියා උපත ලබන කොට සඳු ගමන් කලේ කුමන නැකතේද කියලා බලලා කියලා... ඒ අනුව අපි හිතමු යම් කිසි කෙනෙක් අද (2011/09/30) දහවල් 12.00ට උපදිනවා කියලා.

එතකොට අපි බලනවා අද සඳු ගමන් කරන්නේ මොන නැකතේද කියලා..
අද උදේ 08.04 ඉදලා හෙට උදේ 05.50 විතර වෙනකල් සඳු ගමන් කරන්නේ විසා නැකතේ.. එතකොට කලින් ලිපියේ දක්වා ඇති ආකාරයට බැළුවම ඔයාලට පේනවා ඇති විසා නැකත අයිති ගුරුට එහෙමත් නැත්තං බ්‍රහස්පතීට කියලා... ඒ කියන්නේ අද දවල් 12 ට උපන් කෙනාට අයිති ගුරුට හිමි විසා නැකත.. පැහැදිලියිනේ...

එතකොට අපි දන්නවා ගුරු වර්ෂ 16ක් දසා කාලය හිමියි කියලා.. එතකොට අපි අද දවල් 12ට උපන් කෙනාගේ කේන්දරේ ලියනවද මෙම දරුවාට උපතේ සිට වර්ෂ 16ක් ඉදිරියට ගුරු මහ දශාව පවතී කියලා.. නැහැ..

ඇයි ඒ නැහැයි කියන්නේ..?

ඔන්න අද උදේ 08 04න් පස්සේ විනාඩි දෙක තුනක් ඇතුලත උපන්නනං එයාට 16 අවුරුද්දම වගේ මහ දසාවත් ලැබෙනවා.. ඒත් දවල් දොලහ වෙනකොට නැකත ලබලා පැය කිහිපයක් ගෙවිලනේ... හරියටම බැළුවොත් පැය තුනයි විනාඩි පනස් හයක් වගේ ගෙවිලා...

අපි මෙතනදී කරන්නේ මෙච්චරයි.. දරුවා උපන් නැකතේ සම්පූර්ණ කාලය හොයනවා..ඒක හරි පහසුයි..අද උදේ 08.04 ඉදලා.. හෙට උදේ 05.50 වෙනකල් කාලය නේ.. ඒ කියන්නේ පැය 21 යි විනාඩි 46ක් වගේ කාලයක්.. ඒත් අපි මෙතන විස්තර කිරීමේ පහසුවට සම්පූර්ණ නැකත පැය විසි හතරක් පවතින එකක් කියලා සලකලා කටයුතු කරමු... ඒක ඔයාලට තේරුම් ගන්න පහසුවක් වෙනවා..


එතකොට පැය 24කට අවුරුදු 16ක් නං.. දැන් මේ ළමයා ඉපදුනේ අර පැය 24න් පැය 4ක් ගෙවුනට පස්සෙනං තව ඉතිරි පැය 20යි නේ... පැය 4ක් කියන්නේ 24න් නං හයෙන් එකක්.. ඒකියන්නේ සම්පූර්ණ නැකතෙන් හයෙන් එකක් දැන් ගෙවිලා ඉවරයි..එහෙමනං අපි කරන්නේ අර ගුරුට අයිති අවුරුදු 16ක දසා කාලයෙනුත් හයෙන් එකක් අහක් කරන එකයි.

අවුරුදු 16 බෙදනවා හයෙන් ඒ කියන්නේ අවුරුදු දෙකයි මාස අටක් වගේ කාලයක්...එතකොට අර අවුරුදු 16න් අවුරුදු දෙකයි මාස අටක් අහක් කලාම තව ඉතුරුයි අවුරුදු දහ තුනකුත් මාස හතරක්...

ඒ කියන්නේ මේ අද දවල් දොලහට උපන් දරුවට උපතේ ඉදලා අවුරුදු 13 කුත් මාස 04 ක් ඉදිරියට ගුරු මහ හසාව තියෙනවා.. පැහැදිලිද..? නැත්තං නැවත වතාවක් හිමිහිට කියවලා බලන්න.

දැන් මං ඔය කිව්වේ සරල විදියට ඕක හැදෙන හැටි.. ඒත් නක්ෂත්‍ර ගණිතයේදී ඔයිට වඩා සියුම් විදියට ඔය ගණිතමය කොටස් ටික භාවිත කරලා වැඩේ ගොඩ දාගන්න ඕන..දැන්නං ඕවට වගු චක්‍ර වගේ පහසු කම් වගේම පරිඝණක මෘදුකාංග එහෙමත් ඕන තරං තියෙනවා නෙව.. ඒ හින්දා ඒ හැටි අමාරු නැහැ.. ඒත් නියමිත ක්‍රම වේදය නක්ෂත්‍රය හදාරන අයත් එය පාවිච්චි කරන අයත් ඉගෙන ගන්ට ඕන..

මොකද ඇතැම් වෙලාවල් වලදී අපි ගාව ඔය කිසිම පහසුකමක් නැති වෙන්ට ඇහැකි.. ඒ වෙලාවට අහස බලලා හරි කියන්ට පුරුදු වෙන්ට එපෑ.. ඉස්සර හිටිය උදවිය මේවා කොහොම ගොඩ දාගත්තද කියලා මට කල්පනා වෙන්නේ දැනට අවුරුදු හත අටකට කලින් මං මාස ගානක් නිදි මරාගෙන අහසේ තාරුකා රටා දිහා බලාගෙන ඒවා හඳුන ගන්න දඟලපු කාලේ තමා.. අහස හිතින් කොටස් වලට කඩාගෙන ඒ පැත්ත මේ පැත්ත බල බල කල්පනා කර කර දවල් කියෝපු පොත පතේ සඳහන් කරුණු සිහි කර කර ඔය වැඩේ කරන එක හරි අපූරු වැඩේ... ඒත් පණ යනවා...හරි ඒ කතා පැත්තකට දාමු...

දැන් ඔයාලට තරමක අවබෝධයක් තියෙන්ට ඕන කොහොමද මේ දසා ශේෂය වෙනස් වෙන්නේ කියලා...එතකොට එතැනින් ගත්තාම කරන්ට තියෙන්නේ.. තමා උපන් දසාවේ ශේෂය උපන් දිනයට එකතු කරලා ඒ දසාව අවසන් වෙන දිනය හොයාගෙන.. එම දසාවට පසුව තියෙන දසාවේ අවුරුදු ගාන ගෙඩිය පිටින්ම එකතු කරලා ඊ ලග දසාව සොයා ගැනීම..

ඒක මෙහෙමයි දැන් කලින් කිව්ව විදියටම අද උපන් කෙනාගේ උපතට අර දසා ශේෂය එකතු කරනවා.. ඒ කියන්නේ 2011/09/30ට අවුරුදු 13 යි මාස 04ක් එකතු කලාම එනවා 2025/01/30 කියලා...

එතකොට අපි මේ කතා කලේ ගුරුගෙන් උපන් ළමයෙක් ගැනනේ... ගුරුට පස්සේ තියෙන්නේ සෙනසුරු මහ දසාවේ අවුරුදු 19 ය නෙව..එතකොට 2025/01/30 ඉදලා ඒ ළමයට අවුරුදු 19ක් යනකල්ම තියෙන්නේ සෙනසුරු මහ දසාව... ඊට පස්සේ බුධගේ අවුරුදු 17... පැහැදිලියි නේද හොඳටම..? අපැහැදිලිනං කියන්ට...
.................................

ඔන්න ඔය විදියට මහ දසා ගත වෙද්දී ඒවා ඇතුලේ තවත් බෙදීම් සිද්ධ වෙනවා... ඒ කියන්නේ ගුරුගේ ගුරු අතුරු දසාව.. ගුරුගේ සෙනසුරු අතුරු දසාව.. ගුරුගේ බුධ අතුරු දසාව ආදී වශයෙන් පොඩි පොඩි කොටස්වලට කැඩෙනවා.. ඒකත් සිද්ධ වෙන්නේ යම් කිසි අනුපාතයකට අනුවයි...ඒකත් දැන් කියන්ට ගියොත් මේ කිව්ව ටිකත් පැටලෙන්ට ඇහැකි. ඒ හින්දා ඔය මදෑ...

7 comments:

  1. අලුත් කතාවක්ද කියල බැලුවෙ, තාම මාරයා කේන්දර බලනවනෙ, හොඳා, හොඳා, ඔය වැඩකටයුතු ඉවර වුනාම එන්නන් ආයේ.

    ReplyDelete
  2. අහ්..දැන්නම් සුට්ටක් සුට්ටක් තේරෙනව වගේ....
    (ඔහොම ගියොත් හැබෑටම බිස්නස් නැති වෙයි නේහ්..හී හී)

    ReplyDelete
  3. ඇත්ත මාරයියේ.....
    කොච්චර මුරන්ඩු වැඩ කලත්...අම්මා කියන එකත් පොඩ්ඩක් අහන්ඩ ඔන තමා....මරයියේ...ඔය කෙන්දරේ තියෙන අපලයි කියන ඒවා මග ඇරලා....ඔකේ ඔය හොඳා කියල තියෙන දෙවල් සපල කරගන්ඩ උත්සහකොරනවනං එක හොඳ දෙයක් නෙද....

    ReplyDelete
  4. මාරයා,
    මේ තමයි මම අර කියන භූත විද්‍යාවේ එක් කොටසක්. මට කවදා හරි තැනක් ලැබුනොත්, ( සියළුම සුදුසුකම් ඇතත් කවදාවත් නොලැබේ යැයි සිතමි.) ඒත් ලැබුනොත් මම මේ විෂය ඉගැන්වීමට ගනිමි. (ඔබටත් අවස්තාවක් අනිවාර්ය්‍යයෙන්ම දෙමි.) මේවා අපේ වටිනා දේශීය විද්යාවේ හරයයි. මිනිසුන්ගේ බඩ වඩා ගැනීමේ සහ කඩේ යාමට මෙවැනි විද්‍යාවන් පාවිච්චි කිරීම නිසා විහිළුවක් වී ඇතිවුවත් විද්යාත්මකව ඉගැන්වීමෙන් විශාල සේවයක් සලසාලිය හැක.

    ReplyDelete
  5. මටත් තේරුණා :) ගොඩක් වටිනවා මෙහෙම පාඩම් නම්..දැන් ඔය ලබන දශා අනුව අපේ පලාඵලත් වෙනස් වෙනවා ඇති නේද..

    ReplyDelete
  6. දැන් ඔය ගුරු මුෂ්ටි තියාගත්ත ටිකත් කිවුවනං.

    ReplyDelete
  7. ඔන්න නමෝ විත්තියෙන් මමත් දැම්ම කොමෙන්ට් එකක්...... ගෙස් කරමු බලන්ට කව්ද මේ කියල ....

    ReplyDelete