28 September 2011

එය ඔබ සතුයි...

කියන්නට කතාවක් මට ඇත. එහෙත් එයට යොදන්නට ඊට සුදුසු මාතෘකාවක් මා සතුව නැත.එහෙයින් එය කියවන ඔබට බාර කොට මා කතාව කියමි. ඇතැම් විට එය "අමනයා" වැනි වදනක් විය හැක.. එසේත් නැතිනම් "චපල සිතැත්තා" විය හැක.. සමහර විටක "පරාජිතයා" යනුවෙන්ද ඔබට එය නම් කල හැක... එය කෙසේ වූවත් මා හට කම් නැත.. මන්ද යත් ඔබ එයට යොදන නමින් මාහට විශාල රිදවීමක් නොවන බැවිනි.ඒ ඊට වඩා වැඩි ගුණයකින් මෙම සිදුවීම මේ වන තෙක්ම මා රිදවා ඇති බැවිනි...

මිනිසුන් තුල දෙවියකු මෙන්ම යක්ෂයකු ඇති බව මා මෙයට පෙර කිහිප විටක්ම ඔබට කියා ඇත්තෙමි. ඇතැම් විට ඔබ එයට විරුද්ධ වන්නට පුළුවන..එසේ නැතිනම් එයට එකඟ වන්නටද පුළුවන.. සමහරක් විටක ඒ පිළීබඳව කුමන හෝ අදහසක් ඔබ සතුව නැතිවා වන්නටද පුළුවන.. එහෙත් ඒ පිළීබඳව මා හට හැඟීමක් ඇත.. මන්ද යත් මා එම දෙවියා හා යක්ෂයා යන දෙදෙනාම මා ඇසුරු කොට දැක ඇති බැවිනි... මම මා තුළින් දෙවියන් දැක ඇති වාර ගණනට වඩා යක්ෂයා දැක ඇත්තෙමි. දෙවියන්ද දැක ඇත්තෙමි. එහෙත් එම දැක්මෙන් සතුටු වනවාට වඩා දස දහස් වාරයකින් යක්ෂයාගේ දැකුම සිහි වී සිත කම්පා වෙන අවස්ථා වැඩිය...

මිනිසකුට තම චරිතය සුදු චරිතයක් කොට හුවා දැක්වීමෙහි ලා අපමණ වෙහෙසක් ගත යුතුය.. එහෙත් එය කළු චරිතයක් බව දැක්වීමට එතරම්ම වෙහෙසක් ගත යුතු නොවෙයි. එහෙත් මිනිසුන් නිතරම කරන්නට උත්සහ කරන්නේ අසීරු කාර්යයි... ඒ මන්දැයි මට තවමත් හරියාකාරව තේරුම් ගත නොහැක. මම ද එසේ කොට ඇත්තෙමි. එහෙත් එයින් මා හට ලැබෙන දේ කුමක්දැයි මම විටෙක කල්පනා කරමි. අනිකුන්ගේ හොඳ නම...? එපමණක්ද ලැබිය හැක්කේ..? මා හට පිළීතුරු නැත... ලිවීම හරහා මා යම් තත්වයකට ඔසවා තබා ඇත. ඒ මා ඔබට පෙන්වූ ස්වභාවයයි. ඔබ එම මතුපිට ආවරනය දැක..එය ස්පර්ශ කොට මා අවබෝධ කරගෙන ඇත්තාහුය.. එහෙත් එය මායාවක් පමණකි. සැබෑව පවතිනුයේ ඊට බොහෝ ඈතිනි... මඳක් උත්සහ කලහොත් ඔබට එය දකින්නට අපහසු නොවනු ඇතැයි සිතමි... මේ එයට ඔබ හට දෙනු ලබන කුඩා උපකාරකයකි...

...................................................................

ඒ එක්දහස් නවසිය අනූපහත්.. අනූ අටත් අතර වර්ෂයක දිනයකි. හරියටම කාල වකවානුව සොයා කියන්නට තරම් සිත වෙහෙසවීමට මා සූදානම් නැති හෙයින් එපමණකින් සෑහීමකට පත් වීම මැනවි... ස්තානය මාගේ ගම්පළාතේ තිබෙනා මහ විදුහල ඉදිරිපිට ඇති බස් නැවතුමයි... තුන්මන් හන්දියක් වූ බස් නැවතුම පිහිටි ස්ථානයේ මා සමඟ රැඳී සිටියේ එවකට මා සමඟින් නිතර රැඳී සිටි මගේ හොඳම මිතුරන් කිහිප දෙනා අතරින් එක් අයෙකි. වෙනත් අයකු මෙය කියූවා නම් ඔහු හොඳම මිතුරා යැයි හඳුන්වා දීමට හැකියාවක් ඇති මුත්. මා හට අද වන තෙක්ම හොඳම මිතුරා හමු වී නැත. හමු වී ඇත්තේ හොඳ මිතුරන් පමණකි. එහෙයින් ඔහුද එවැන්නන් අතර සුවිශේෂී අයෙකි.

පාසල නිමවීමට තව ස්වල්ප කාලයක් ඉතිරිව තිබිණි.. අප රැඳී සිටියේ එම මොහොත උදා වනු තුරුය... පාසල් අධ්‍යාපනය නිමවා සිටි හෙයින් අපගේ ජීවිතයේ එම වකවානුවේ සෑම දිනක්ම පාහේ ගෙවී ගියේ මෙලෙසිනි. සතියේ දිනයන් තුල පාසල ඇරෙන වේලාවට මෙම ස්ථානයට එන්නට අපහට හේතු බොහෝ තිබිණි. ඒ සෑම හේතුවකම කෙලවර සිටියේ ගැහැණු ළමයින් හැර අන් කිසිවකුත් නොවේ.. යෞවන මතින් ඔඳ වැඩී සිටි අප නිතරම ආදර සබඳතාවයන් කෙරෙහි අපගේ නිරන්තර අවධානය යොමු කොට සිටි කාල වකවානුවකි මේ...

පාසලක් ඇරී හෝ.. සවස පන්ති ඇරී හෝ ගැහැණු ළමෝ වීදී පුරා පිරී ඇති කලට අප එය හඳුන්වනු ලැබුවේ "පාර මෝරන ටයිම්" එක ලෙසිනි. "පාර මෝරන" විට අපගේ "ඇස් වලට සැප" ය... "ඇහැට දා ගැනීම" සිදු කරන්නේ එවැනි අවස්ථාවලදීය... ඇහැට දාගත්ත දේවල් හැම දේම "හිතට දා ගන්නේ" නැත... එය ඊට වඩා දුර දිග යන කතාවකි. "ඇහැට දා ගත් පසු වැරදීමකින් හෝ හිතට දා ගැනීමත් වූවහොත් එතැන් පටන් ඇරඹෙන්නේ "බඩුවක් පරවනවා" යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන අතරම.. අප දකිනා අන් අය විසින් "අන්න අරුන් සෙම හලනවා" යනුවෙන් හඳුන්වනු ලබන ක්‍රියාදාමයයි... එ පහසු නැත.. ඒ සඳහා සෑහෙන්නට "කට්ට කන්නට" සිදු වේ... කටු දහසක් හෝ කා අවසන "බඩුව දමා ගැනීම" පහසු නැත.. ඊට අපමණ වූ "බාල්දි..ඇණ..කොකු.. පොළු.." ආදිය ඇත.

අප මේ වන විට සිටියේ මූලික අවස්ථාවේ මිස අවසාන අවස්තාවේ නොවේ...එනම් මේ අප බලා සිටින්නේද ඇහැට දා ගැනීමටයි...

ඇහැට දා ගන්නට පාර මෝරන්නට නම් තව වේලාව ඇත.. එහෙත් මේ අවස්තාවේ අප බලා පොරොත්තු නොවූ යමක් සිදු විය... අප සිටි බස් නැවතුම් පල පිහිටියේ තුන්මං හන්දියෙන් පාසල පැත්තට මීටර් කිහිපයක් වන්නටය.. පාසල පිහිටියේ අපට වම් පසිනි..එනම් තුන්මං හන්දිය පිහිටියේ අපගේ දකුණු පසිනි. එක් වරම අපගේ දකුණු අත පැත්තේ වූ මාර්ගයෙන් යුවතියක් මතු වූවාය... ඇය සන්සුන් ගමනින් ඇවිද එන අතරම අප දෙසටද නෙත් යොමු කලාය... අපද ඈ දෙස බලා සිටිනවා දුටු ඇගේ මුව අග සිහින් සිනහවක් ඇඳී ගිය අතර..අප දෙනොම ඇයට පෙරළා සිනහ වීමු... සිනහව අවසන අප දෙනොම එකිනෙකා ගේ මුහුණින් මුහුණ බලා ගතිමු.

"මොකද බං අරකි හිනා වෙන්නේ..?"

"අනේ මංදා..මටත් තේරුනේ නැහැ.."

"ට්‍රයි එකක් දුන්නොත් වැඩේනං අතේ මචං.."

"මටත් හිතෙනවා..ඒත් උඹටද මටද ඒකි හිනා උනේ..?"

"අනේ මංදා බං.. මට හිතා ගන්නත් බැහැ.."

"කෝකටත් කවුරු හරි එකෙක් අහමු..මොකාට හරි වැටුනොත් මොකද..?"

අවසන තීරණය එසේ විය.. එපමණක් නොව අසන්නට සිදු වී ඇත්තේ මටය.. ඒ මා සඳහා නොව මිතුරා සඳහාය.. හිතේ ඇති තරම් ශක්තිය එකතු කොට ගෙන ඈ පසු පස ගොස් ඇසීමට මා සූදානම් වූ අතර මා මිතුරා සිය පාපැදියට ගොඩ වී එහි හරස් පොල්ල මත මා වාඩි වූ සැණින් ඇය හැරී ගිය අප ඉදිරිපස වූ මාවත බලා පදින්නට විය.

තරමක් ඉදිරියේ ඇය යමින් සිටියාය... මා ඇය අසලින් බයිසිකලය යනවාත් සමඟම බයිසිකලයෙන් බිමට පැන ගත් අතර මිතුරා සෙමින් සෙමින් ඉදිරියට බයිසිකලය පදවාගෙන යන්නට විය. මා ඇය සමඟ තනි විය.

ඇත්තෙන්ම ඇය මා නාඳුනන තැනැත්තියක නොවේ... ඇයත් මමත් අසල ඇති මහ විදුහලෙහිම කුඩා කල එකට අකුරු කොට ඇත්තෙමු. ඇය මට වඩා වසරක් වැඩි මහල්ය.. දෙකේ පංතියේදී හෝ තුනේ පංතියේදී වසරක් ෆේල් වීම නිසා අපගේ පංතියට වැටුනු ඇය ඉන් පසුව අප හා අධ්‍යාපනය ලබන ලදි. පහ වසරින් පසු මාගේ කොළඹ යෑමත් සමඟින් අනිකුත් සඟයින් සමඟින්ම මැයද මට අතෑරුනු පිරිස අතර විය. දැන් මේ අප කතා කරන්නට සූදානම් වනුයේ වසර හත අටකට පමණ පසුවය...

එකල එතරම් හැඩකාරත්වයක් හෝ විශේෂත්වයක් හෝ ඈ කෙරෙන් දිස් නොවූවද මේ වන විට ඇය පිරිපුන් යුවතියක් බවට පත් වී තිබුණි. ඉතා උස් නොවූ සිහින් සිරුරත්.. දණ හිසටත් පහළට යොමු වූ දිගු කේශ කලාපයත්.. අවිහිංසක සිනහවත් ඇයටම ආවේණික සුන්දරත්වයක් මුසු කොට තිබිණි. පෙර දැන හැදුනුම්කම නිසාම ඇයත් සමඟින් කතා කිරීමට මා හට එතරම්ම අපහසුවක් නොවිණි...

"කොහොමද කාලෙකින් දැක්කේ.."

"ඒක නේන්නං.."

"දැන් මොකද කරන්නේ..?"

"මුකුත් නැහැ ආච්චියි සීයයි බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා.."

ඇත්තෙන්ම ඇය අහිංසක කෙල්ලකි..එපමණක් නොව කුඩා කලම කුමන හෝ හේතුවක් මත දෙමාපියන්ගෙන් වෙන් වූ හෝ වෙන් කරනු ලැබූ කෙල්ලකි. හැදුනේ වැඩුනේ ආච්චි අම්මා හා සීයා ලෙසින් ඇය හඳුන්වනු ලැබූ වයස්ගත යුවළක් සමඟිනි.. ඔවුනට දරුවන් නොමැති බව මා හොඳින් දනිමි.ඒ ඔවුන් දෙපල මා හටද යම් තරමක් ඈතින් ඥාතීන් වන නිසාවෙනි. එහෙයින් අප දන්නා තරමින් මැය හදා ගන්නට ගත් දරුවෙකි. මේ කිසිවක් ගැන හෝ එම අවස්ථාවේදී මා විසින් කල්පනා නොකිරීම බලවත් වරදකි. එහෙත් දැන දැනම මා එම වරද සිදු කරනු ලැබූවෙමි... තරමක් දුරට යන තෙක් ආ ගිය වල්පල් දොඩවා..ඇයගේ නිවසට ආසන්න බැවින් එක් විටම මා ආ කාරණය ගැන විමසුවෙමි...

"ඒක නෙවෙයි.. අර *** ගැන මොකද හිතන්නේ..?"

"මොනවා හිතන්නද..? මට තේරුනේ නැහැ.." ‍

"මොනවත් නෙවෙයි ඔයාට තේරෙන්නේ නැද්ද මං අහන දේ..?"

"තේරුනා..ඒත් මං එයාට නං කැමති නැහැ.."

උත්තරය මා බලා පොරොත්තු වූ අන්දමට නොව තරමක් වෙනස් විදියට ලැබීම හරහා මාගෙන් එක් විටම පිට වූයේ වෙනස් ආකාරයේ පැනයකි.

"එහෙනං කාටද කැමති මටද..?"

කිසිවක් නොකියූ ඈ අහක බලමින් සිනහසුනාය...

"කියන්නකෝ මට තේරුනේ නැහැ.."

"ඔව්..."

කුමක් කිව යුතුදැයි මා හට සිතාගත නොහැකි විණි... සිත තුල සිහින් සතුටක් මෝදු වූවායැයි නොකියා බැරිය... උත්සහයක් නැතිවම කෙල්ලකගේ සිත මා විසින් දිනා ගනු ලැබ තිබිණි. එහෙත් මා ආවේ එයට නොවේ.. මෙය මිත්‍රද්‍රෝහී ක්‍රියාවකි... එහෙත් මා දැන දැනම ඇගේ කැමැත්තට විරුද්ධව කිසිවක් හෝ නොකියා තවත් වචන කිහිපයක් කතා බස් කොට එන්නට ආවේ පසු දිනයකදී මුණ ගැසෙන්නම් යැයි පොරොන්දුවක් ඇය හට ලබා දීය...

එමින් ගමන් සිදු වූ දේ වචනයක් හෝ නොසඟවා මිතුරාට කිවූ අතර එයට ඔහුගෙන් කිසිදු විරුද්ධත්වයක් පැන නැංගේ නැත...

"කරහං බං..අත අරින්න එපා.." ඒ ඔහුගෙන් ලද අනුග්‍රහයයි... එහෙත්...

එයින් දින කිහිපයකට පසුව සන්ධ්‍යා සමයක ඇගේ නිවස ඉදිරි පිට වූ ගේට්ටුව අසලට වී අප දෙදෙනා විනාඩි කිහිපයක් කතා බස් කලෙමු.එහෙත් එම කතා බහ එතරම්ම අර්ථයක් ඇති දෙයක් නොවීය..එයින් පසුව මා එම පැත්ත පළාතේවත් නොගියෙමි. මිතුරාද ඒ පිළීබඳව මා හට වැඩි යමක් නොකියූ අතර ඇයද මා සෙවූ බවක් ආරංචි නොවීය.. එහෙත් ඇයට එවන් සෙවීමක් කල හැකි තරමේ හැකියාවක් නැති බවද මා හොඳින්ම දැන සිටියෙමි. ඇය හුදකලා චරිතයකි.

කාලය වේගයෙන් ගලා යමින් තිබිණි... එයින් වර්ෂ කිහිපයකට පසුව දිනයක් එළඹිණි...

ඒ වන විට මා සිටියේ ගුවන් හමුදා සේවය අත හැර පැමිණ මා හටම අයත් ත්‍රිරෝද රථයක් හයර් කරමිනි. දිනක් සවස් කලක මා ත්‍රීරෝද රථය එය නිතර නවතා තබන කුලී රථ අංගනය තුල නවතාගෙන සිටියදී එහි පිටුපසින් පැමිණි කිසිවකු එයට ගොඩ වෙමින් ගමනක් යෑමට මා හට කතා කල අතර මා පසු පස හැරී බැලීමි... කෙසඟ පෙනුමකින් යුතු අහිංසක මුහුණක් ඇති තරුණයකු සමඟින් මෙම කතාවේ කතානායිකාවද සිටියාය.. මා දුටු වහාම ඇගේ මුහුණේ ඇඳී ගිය සිනහවත්..කණගාටුවත් මුසු බැල්ම මට අදටද විස්තර කර දැක්වීමට නොහැකිය...

ත්‍රී රෝද රථය පණ ගන්වමින්ම කොහාටද..? යන්න මා විමසා සිටි අතර එවර උත්තරය දුන්නේ ඇයයි...

"අපේ ගෙදරට.."

කිලෝ මීටරයක් පමණ දුරක් නිහඬව ගමන් ගත් අතර පසුව මා කට හඬ අවදි කලෙමි.

"හුඟ දවසකින් නංගිව දැක්කේ.."

"ඔව් අයියේ..." ඇයද වෙනසක් නොදක්වා පිළීතුරු දිනි..

ආ ගිය තොරතුරු කිහිපයක් අවසන ඇය විසින් මා හට අනිකා හඳුන්වා දිණි.

"මං බැන්දනේ අයියේ ඊයේ.. මේ එයා..."

පසුපස හැරී බලා සිනහසුනු මා ඔහුත් සමඟත් කතා බස් කලෙමි.. ඔහුත් පෙනුමේ ස්වභාවයට සරිලන තරම්ම වූ අහිංසක තරුණයෙකි.. වෘත්තීයෙන් හේ පෙදරේරුවකු විය... ඔහුටද එතරම් නැදෑ පරපුරක් නොමැති බවක්ද කියැවිණි...

ගමනාන්තයේදී ඔවුන් බස්සවා මා පිටත්ව ආ අතර ගමන සඳහා වූ කුලිය ගැනීමට මා හට සිත් දුන්නේ නැත. තරුණයාගේ පෙරැත්තය තිබුණද.. මංගල්ලය සඳහා දන්නා කියන කෙනෙකුන්ගේ සුළු තුටු පඬුරක් හැටියට මෙම ගමන මතක තියා ගන්නා මෙන් පවසා මා නික්ම ආවෙමි... ආපසු එන්නට පෙර එක් වතාවක් ඇය දෙස බැළු මට ඒ මුහුනෙහි වූ සිහින් අවිහිංසක සිනහව තුලින් "මං තරහා නැහැ.." යැයි පවසනවාක් මෙන් මට හැඟිණි...

..........................................
අරක්කු "මත" මා කවියකු.. රචකයකු බවට පත් කරවන ලදි.. එය මෙම වර්ෂය ආරම්භයේදී නවතා දමන ලදි.. එහෙත් බියර් "මත"ද යම් තරමකින් මා මාගේ ලිවීම රඳවා ගතිමි.. ගත වූ ඊයේ දිනයෙන් එයටද සමු දුන් අතර අද දින ඇති වූ බලවත් සෙම්ප්‍රතිශ්‍යාව මැඩලීම පිණිස ගන්නා ලද පිරිටන් පෙති දෙක විසින් ඇති කරවූ නිදි"මත" ද මාගේ රචනයට යම් රුකුලක් දෙන බැව් මට හැ‍ඟේ... එයද නරකම නැත... අවශ්‍ය කෙරෙනුයේ සන්සුන් මනසක් හා වේදනාවෙන් තොරවූ සිතකි... එයට පිරිටන්ද නරකම නැත...

65 comments:

  1. අනේ මල්ලී,, හෙම්බිරිස්සවකට මිසක් හිතුමතේ නං බොන්න එපා පිරිටන්, මතින් තොරයි කිව්වට බලනකොට බියර් බීල,,හනේ මෙහෙමත් මාරයෙක්

    ReplyDelete
  2. අතීතය දිහා බලල කෙනෙක්ගෙ වර්තමානය මනින්න බෑ. ආකර්ශනය ඇති වූ පමණින් ආදරයක් කියලා හිතන්නත් බෑ. එයාගෙ ආදරේ එයා හොයාගන්න ඇති.

    ReplyDelete
  3. මේක හොඳ කථාවක්. ඔහොම දේවල් අපේ ජීවිත ගුහාවේ හැංගිලා තියනවා. ලස්සනට ලියා තිබෙන හොඳ කථාවක්. ඒත් පිරිටන් එහෙම බීම නම් වහාම නවත්තන්න ඕනෙ.

    ReplyDelete
  4. මාතෘකාවක් ඕන නෑ මාරයියේ.දැම්මත් කොහොමටවත් ඒක අමනයා නං නෙවේ.

    ReplyDelete
  5. "ඔව්ව ඔහොම තමයි. ඒනිසා ඕවා ගැන හිතන්න එපා." කියලා මට කියන්න පුළුවන්. ඒත් එහෙම කියලා වැඩක් තියෙයිද? මේ ලෝකේ සුදු චරිතත් නෑ, කළු චරිතත් නෑ. තියෙන්නේ ඔය දෙකේ mix එකක් තමයි.

    ReplyDelete
  6. මාතෘකාවට නමක් කියනෙ නම් නෑ. ඕක ඉතින් අර කොලු වයසට කරපු දෙයක්නෙ. ලැබෙන්න තියන දේ තමයි මාරෙ අපට ලැබෙන්නෙ. එයා උඹට ලැබෙන්න තිබිලා නෑ. ඒ ගැන හිතලා වැඩක් නෑ.

    ReplyDelete
  7. ඒවා නවත්තපු එක නම් ලොකු දෙයක්.

    ReplyDelete
  8. තව එකක් කියන්න අමතක වුනා. පිරිටන් බොන්න කලින් විටමින් C බීලා බලන්න.

    ReplyDelete
  9. පව්!
    වැඩකට නැති දෙයක් අහන්නේ, පැටලිලි සහගත් නිසා, එයා අක්කද නංගිද?

    /*--ඇය මට වඩා වසරක් වැඩි මහල්ය.. --*/
    /*--"හුඟ දවසකින් නංගිව දැක්කේ.."--*/

    ReplyDelete
  10. අපි හැමෝගෙම ජීවිත කතා තුල ඔය වගේ සිද්දි එක් එක් ආකරයට තියෙනව නෙව අයියේ... මම මේ දැනුත් එහෙම දෙයක් ගැන හිතමින්...

    බියර් බොනවයි කිව්වා... සික්.. එදා කියන්න එපැයි.

    ReplyDelete
  11. //අවශ්‍ය කෙරෙනුයේ සන්සුන් මනසක් හා වේදනාවෙන් තොරවූ සිතකි...//

    මාරේ අයියේ උඹට ඔය කියපුවා තියේද බං ? ඔව් නම් මටත් රහස කියපන්...

    කථාව නම් බොක්කෙන්ම ඇවිත් තියෙනවා... මතුපිටෙන් බැලුවොත් මෙලෝ රහක් නැති හරුපයක්... ඒත් මෙතන යටින් දුවන්නේ මාරයාගේ මානසික විග්‍රහයක්...

    කමෙන්ට් එක බර වැඩිද මන්දා... කොහොම වුනත් මාරයාගේ හෝරාවෙන් වෙනස් අත්දැකීමක්... !

    ReplyDelete
  12. අමනයා... අහිංසක කෙල්ලෙකුට බලාපොරොත්තුවක් දීල ඒකිව අමතක කරල තව කියවන්නත් එනව..සමහර විට ඒ දුප්පත් එකී අවුරුද්දක් දෙකක් බලන් ඉන්න ඇති.චපලයා.. වෙන මොනව කියන්නද.. මේ හිතට ආව ආවේගෙට ලිව්වෙ අම්මපා...

    ReplyDelete
  13. හ්ම් ....

    වැඩි විස්තර හෙට අහමු එහෙනම් ..මේක පටන් ගන්න හදන්නේ ඉතුරු 50 වගේ

    ReplyDelete
  14. @වැප්...

    ඔව්... පේනවද වෙනස...

    ReplyDelete
  15. @සිහින...

    ආන්න එහෙම එම තැන කියපු එක වටිනවා...

    ReplyDelete
  16. දැන් ඔය බියර් "මත" නැතුවත් අපූරුවට ලියලා තියෙන්නේ....
    කාලෙකට පස්සේ අයියාගෙන් මේ වගේ එකක් කියවන්න ලැබුණේ!

    ReplyDelete
  17. @චතුරංග පෙරේරා...

    අර තිව්ව තත්වය ගෙනත් දුන්නේ අන්තිම වාක්‍ය ටිකේ තියෙන විදියටයි මලේ...

    ReplyDelete
  18. @පූසා...

    ඇයි බං නිදිමත.. ඒකත් මතක්...

    ReplyDelete
  19. @පිස්සා පලාමල්ල...

    හිත හිත ඉන්නේම නැතිව අපිටත් කියහං හැකියාවක් ඇත්තං...

    ReplyDelete
  20. @samadhi...

    එයි මට වඩා වැඩිමහල්... ඒත් මට කියවූනේ නංගි කියලම තමා... ඒ පේලි දෙකේම වරදක් නැහැ... ගෑණු ළමයින්ට ලේසියෙන් මට අක්කා කියලා කියවෙන්නේ නැහැ... ගැහැණු ළමයින්ට තියා මට වඩා අවුරුද්දක් දෙකක් වැඩි මල් පිරිමි ළමයිනුත් හුග දෙනෙක්ට මල්ලි කියලා මං කතා කරන අවස්ථා තියෙනවා.. ඒක කොහෙන් ආව පුරුද්දක්ද මංදා..?

    ReplyDelete
  21. හෆොයි ඒ ගෑල්ලමය මේකා ගැන බලාපොරොත්තු අතඇරල ඒ පෙදරේරුවා බැඳ ගත්ත එකනම් හොඳයි ! නැත්නම් අපිට කොයින්ද මාරයාගේ හෝරාවක් කියවන්න...

    ReplyDelete
  22. @නචියා...

    අනේ නැහැ මචං..මෙතන තියෙන්නේ නොලැබීම ගැන ප්‍රශ්නයක් නෙවෙයි..මගේ බලුකම ගැන ප්‍රශ්නයක්...

    ReplyDelete
  23. @Weni...

    ඒකනං ඇත්ත... එහෙමනං මං මේ වෙනකොට මොනවා කරයිද මංදා... සමහරක් විට ජීවිතේටවත් බ්ලොග් කියන දේ දකින එකක්වත් නැති වෙන්ටත් ඇහැකි...

    ReplyDelete
  24. @@සුසන්ත...

    ඔව්..සමහරු අළු කියලත් ඕකට කියනවා...

    මට සී විටමින් එක අහන්නේ නැහැ..පිරිටන්නං ඔන්ද ස්පොට් වැඩ කරනවා...

    ReplyDelete
  25. @රාජ්...

    ඊටත් වඩා දරුණු එකක් වෙන්ට ඇහැකි..?

    ReplyDelete
  26. කවියක් වගේ විඳිනවා.
    පවනක් වගේ දැනෙනවා..
    මුහුදක් වගේ කැලඹිලා..
    සුවඳක් වගේ ආදරේ..

    ReplyDelete
  27. @වෙද ගෙදර මහ වෙදනා...

    පිරිටන් නිතරනං බොන්නේ නැහැ වෙද මහත්තයෝ.. ඒත් හෙම්බිරිස්සාවට නොවරදින පිහිට ඔච්චරයි... ඇත්තටම මං නිතරම කියන කතාවක් තමා මට පිරිටන් හම්බ වෙන්න පරක්කු උනා වැඩී කියලා..මං ඒ කතාවත් ලියන්නං දවසක...

    ReplyDelete
  28. @Gimhani...

    සමහර විට හීනෙන් ගෑ සුවඳක් වගෙත් දැනෙනවා...

    ReplyDelete
  29. @පිණිබිඳු...

    එහෙම හිතන්න තමා මාත් උත්සහ කරන්නේ.. ඒත් ඒක ඇත්තම දේ නොවුනොත්..?

    ReplyDelete
  30. @හරී - පිණිපළස...

    අනේ මං හැම තැනම කිව්වේ අරක්කු බීම නැවැත්තුවා කියලා මිසක් සම්පූර්ණ මතින් තොර කියලානං නෙවෙයි..ඒත් ඊයේ පටන්නං ඒක එහෙමයි...

    ReplyDelete
  31. වැඩේ නම් කැතයි... අපේ එකෙකුත් ඔහොම කලා... ඒත් ඉතිං දැන් වෙලා ඉවරෙන... :)

    ReplyDelete
  32. මහා මෙරක් ලෙස ඔබගැන සිතුවෙමි.
    වැලිකැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ.

    ReplyDelete
  33. @Gimhani...

    ඔහ්..අම්ම ගහයි බැට් එකෙන් කිව්වළු... ඒත් ඉතිං මේ දවස්වල කළු ගල්වලට වඩා වැලි වල මිල අහස උසට නෙව... එහෙම බැළුවම වරදකුත් නැහැ...

    ReplyDelete
  34. මාරයත් එහෙනම් බූට් එකක් තියලා හිහ් හිහ්

    ReplyDelete
  35. පිරිටන් උනත් වැඩිය බිම නුවණට හුරු නැත..

    ReplyDelete
  36. හාමත වගේ එකක් ට්‍රයි කරල බැලුවෙ නැද්ද?

    ReplyDelete
  37. @සාතන්...

    වෙලා ඉවරයි..ඒත් තවමත් මතකයි...

    ReplyDelete
  38. @cjgayan...

    බූට් දීපු සහ කාපු එකෙක්...

    ReplyDelete
  39. @නලිනි චන්දිමා...

    බී මතෙන් පසු දවසක් හාමතේ.. අද නිදිමතේ...

    ReplyDelete
  40. කොත්තමල්ලි කතාවක් අහන්න ආසයි!

    ReplyDelete
  41. මාතෘකාව අමනයා කියලා දාන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ... ඒක පසුතැවිමක්ද කියලා මට හිතෙනවා... සමහර විට මම වැරදි වෙන්න පුළුවන්..

    ඔක්කොම මතට වඩා නිදිමත හොදයි කියලා වැඩිය පිරිටන් එහෙම බොන්න යන්න එපා අයියේ.....

    ReplyDelete
  42. අඩෝව්.. මා‍රයා තොප මේ කර ඇති තුච්ඡ, වනචර, පාහර, නැහැදිච්ච, බලු, අසික්කිත වැඩේට දඬුවමක් ලෙස ෆට්ට ලස්සන කෙල්ලෙක් සොයා ඉක්මණින් බැඳ ගන්නා ලෙසට නියෝග කරමි.

    ReplyDelete
  43. මුලදීම නම් හිතුනේ නැහැ මොකවත් බිල කියල . අවුරුද්දක් වැඩිමල් කෙල්ල නංගි වෙද්දී නම් හිතුන මොනවා හරි බිල තමයි කියල . මේ පිරිටන්නේ . මොනවා වුනත් ඉවරයක් වෙන්නම ලිව්ව ඒක නම් හොඳයි.

    ReplyDelete
  44. බියර් වෙනුවට පිරිටන් බොන්නද හදන්නෙ..?
    අමනයා.....!

    ReplyDelete
  45. මෙය වර්ථමාන කතාවනේ එතකොට අතීත කථාව මෙතැනින්ද? :)
    http://atheethayen.blogspot.com/2011/09/blog-post_28.html

    ReplyDelete
  46. @කතන්දර...

    කොත්තමල්ලිනං මංදා.. තිප්පිලි නං තියේ...

    ReplyDelete
  47. @Dinesh...

    මල්ලි වැරදි නැහැ..ඒත් මෙතනදි තව අරමුනක් මගේ තියෙනවා.. ඒක ඉස්සරහට එළියට එයි...

    ReplyDelete
  48. @පැණි දොඩම්...

    එක පාර විඳවන එකක් දියං යකෝ. වද දීලා මරන්න හදන්නේ නැතිව...

    ReplyDelete
  49. @ලකී...

    නම වෙනස් වෙලා නේද..? දැන් අර මැද්දෙන් දානවා කිව්ව අකුරු ඔට්ටු නැහැ හරිද..උඹ ඉවරයි...

    150ක් වෙනුවට චූටි රුපියලක් නරකද..?

    ReplyDelete
  50. @Ano...

    ටිකක් මෝඩයි වගේ නේද..? මේත් අතීතය තමා...
    ඔය තියෙන්නෙත් අතීතය තමා...හැබැයි දැනුත් මෙහෙමම වෙන්න බැරිත් නැහැ..තේරුනාද දන්නෙත් නැහැ...

    ReplyDelete
  51. මේ දවස් ටිකේම මාරයියා මොකද්ද එකක් හිතෙ තියාගෙන පාරම්බානවා. මොකෝ මාරයියෙ භාවනාවක් වත් කරලා ධ්‍යානයක් වත් ලැබීගෙන එනවද? නැත්තම් අර චිත්‍රපටි වල වගෙ පිටසක්වල බලපෑමකට වත් අහුවෙලාද? :-P

    ReplyDelete
  52. කමක් නෑ ඉතින් අන්තිමට ඒ කෙල්ලට හොඳ කොල්ලෙක් හම්බ වෙලා නේ. දැන් මේ කෙල්ලො එපා වෙලා ඉන්නෙ ඒ කාලේ එපා වෙනකල්ම කෙල්ලො පස්සේ යන්න ඇති නේද?:)

    ReplyDelete
  53. ඔය වැඩේ ඒ කාලෙ සෙට් උනානම් මාරය වෙනකොට බ්ලොග් කෙසේ වෙතත්.. ළමයි හත් අට දෙනක් නළවන සීන් එකක් තමයි මට නම් මැවිලා පෙනෙන්නෙ !

    ReplyDelete
  54. අපේ කොල්ලෙකුනුත් පිරිටන් බීවා කෙල්ලෙකුගේ හබයක් හන්දා. ඊට පස්සේ ඌව පේරාදෙණි ඉස්පිරිතාලේ අරං ගියා.
    පිරිටන් සෝක් බේත. මම් සමහරක්දාට නින්ද යන්නත් ඒවා බොනවා. හික්ස් :)

    ReplyDelete
  55. මාරයා උඹ වගේ එවුන්ට තමා සුදු චරිත කියල කියන්නේ. පුංචි දේකින් හිත රිදෝගන්න එකෙක් කවදාවත් සමාජයට හානියක් කරන්නෙ නෑ. උඹ හොඳ මනුස්සයෙක්. දිගටම ලියපං හරිම ආසයි කියවන්න.

    ReplyDelete
  56. හ්ම්ම්ම්ම්......... මාරයියා එන්ට එන්ට හොඳ වෙනවා නොවැ..... අපේ අයියා හරී... හොඳයි.....

    කතාව ගැන නම් ඉතිං මාරයියා හරි හමන් වචනයක් බලාපොරොත්තුවක් ඒ අක්කට දීලා නෑනේ. ඔන්න එහෙම දීලා හීන ටික හදලා දීලා ගියානම් දනී මං කියන එව්වා..... හික්ස්......

    ReplyDelete
  57. මේ ලියන්නෙ පෝස්ට් එක ගැන නෙමේ පිරිටන් වලින් මත් වීම ගැන

    මාරයා, ඉල්ලීගල් ඩ්‍රග්ස් වලින් මෙන්ම ලීගල් ඩ්‍රග්ස් වලින්ද මත් වෙන එවුන් මේ රටවල සුලභය්. මෙහෙ සමහරු ඉන්නවා දොස්තර ගාවට ගිහින් බොරු ලෙඩ කියන්න දන්නවා ඌට අවශ්‍ය බේත ලියවගන්න. මගේ යාලුවෙක්ගෙ අය්ය කෙනෙක්, ගාල්ලේ ඉස්පිරිතාලේ හිටපු දොස්තර කෙනෙක්, බෙහෙත් වලට පුරුදු වෙලා, ඉස්පිරිතාලෙන්ම බෙහෙත් හොරකන් කරලා අන්තිමට රස්සාව නැති වෙලා, හොර ඇබෝර්ශන් ක්ලිනික් එකක් දාගෙන ඉඳල අඩු වයසෙන් මැරිල ගියා.

    ReplyDelete
  58. කවුරු හරි බීම නැවැත්තුවා කියලා අහන්න ලැබීමත් සතුටක්....අරක්කුයි බියරුයි විතරද දන්නේ නැහැ නැවැත්තුවේ...:)

    ReplyDelete
  59. මෙයි දවස් වල බුද්ධාගමත් අමතක වෙලා වගෙයි. බුද්ධාගමට අනුවනම් අතීත කතාව කියන්නේ පෙර ආත්මභාවන්ගේ කතාවලටයි කියලයි මගේ මෝඩ හිතට වැටහුනේ. වැරදි දෙයක් ලියවිලා තිබ්බනම් සමාවන්න. ;)

    ReplyDelete
  60. @Ano...

    සමාවෙන්න කියන්න දෙයක් නැහැ වැරදි දෙයක් එතන නැහැ ඒත් පොඩි අවුලකට තියෙන්නේ ඒක ඉදිරිපත් කරපු විදියයි...ඇනෝ කෙනෙක් හැටියට ඇවිත් ඕක දැමීම පිළිබඳව නම් ඇත්තටම මම ඒ හැටි කැමැත්තක් නැහැ..තමුන් භාවිතා කරන හැදින්වීමකින්ම ආවනං කිසිම අවුලක් නැහැ..ඇනෝ හැටියට ඇවිත් දාන කමෙන්ට් වලට මම ඒ හැටිම ප්‍රියතාවයක් නැහැ..ඒ හේතු ඇතිව.. මොකද ඔය දාපු ටිකම ඕනම කෙනෙකුට කෙලින්ම ඇවිත් දාන්න හැකි කමෙන්ට් එකක් කිසිම අවුලක් ඇති කමෙන්ට් එකක් නෙවෙයි.. හොඳ විහිළුවක්..ඒත් කෙනෙක් ඇනෝ හැටියට ඇවිත් දෙයක් දාද්දි මං ඒ ගැන දෙපාරක් හිතනවා.. ඒක දැම්ම කෙනාගේ අරමුණ මොකක්ද කියලා... හරි අපි ඒක අමතක කරමු.

    සාමාන්‍යයෙන් දෙයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කලහම ඒක සිංහල භාෂාවේ වියරණ අනුව හිතනවා ඇර අහක තියෙන බුදු දහමක් පටලවා ගෙන හිතන්නේ මොකටද..? එක්කෝ ඔයා කලින් කියන්න එපැයි.."මං මේක දාන්නේ බුදු දහමට අනුව කියලා" එහෙමනං මං එහෙම හිතනවා..ඒත් එහෙම නොදැම්මම මං මුලින්ම කරන්නේ දන්න සිංහලෙන් හිතන එකනේ...:D

    ReplyDelete
  61. පිරිටන් බී නිදිමත් වූ මාරයා විසින් ලියන ලද ආදර කතාවනං නියමයි.
    දැන් උඹ මත් වෙන්න අලුත් අලුත් දේවල් අත්හදා බලනවද?

    ReplyDelete
  62. මෙහෙමයි... ඔයා ලොකු බලාපොරොත්තුවක් දී නොතිබුනත් එයා සෑහෙන කැමැත්තකින් ඉඳලනෙ... නැත්නම් අහපු ගමන් ඔහොම කැමැත්තක්? ඔයත් ඉතින් අකමැත්තක් පෙන්නල නෑනෙ.. දවසක් ගිහින් කථා කරලත්නෙ...

    දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු.. (උඹ නුසුදුස්සෙක් කීවා නෙමේ) වෙන්න තියෙන දෙයක් වැලක්වන්න බැහැ... ඔයාගෙ නළලේ කොටපු එකී තාම ඇති කොහේ හරි...

    හැබැයි මලයා තරහ නැ කියල දාපු හිනාව නිසා තමා මටත් දුක... ඒ කියන්නෙ ඒකිව නොසලකා හැරිය උඹ කරගෙන තියෙන්නෙ හරිම මෝඩකමක්.. මොකද “අපිට“ ආදරේ කරන අය හමුවෙන්නෙ කලාතුරකින් නිසා..

    ගිය හකුරට නාඬන්නේ...

    ReplyDelete