29 September 2011

මොන දසාවද ගෙවෙන්නේ..? කේන්දර කතාවක්...

මේකත් සෑහෙන කලක ඉඳලා ලියන්න ඕන කියලා හිත හිත හිටි ලිපියක්..ඒත් මතක් උනේ නැහැ..මේ ළගදී අපේ මකරාත් මගෙන් ඔය සම්බන්ධව පුරස්න කිහිපයක් අහපු වෙලාවක හිතා ගත්තා සුළුවෙන් හරි ලියලා දාන්ට..ඒත් කොහේද වල් පල් ලියනවා ඇර එහෙම එකක් ලියන්ට හරි කම්මැලියි නෙව...

හරි මං මේ කියන්ට යන්නේ සුළු පැහැදිලි කිරීමක්... ඒ තමයි අපේ කේන්දර වල තියෙන මහ දශා පිළිබඳව...

හැමෝටම ඇහිලා ඇති මෙන්න මේ වගේ කියමන්...

"මගේනං දසාව හොඳටම නරකයි වගේ.."
"මොකක්ද බං උඹට ලබනා තියෙන දසාව..?"
"හෙනහුරු දසාව ලබලද මංදා..?"
"කෙහෙත ලැබුවම ඔහොම තමා.."
"මේකට සිකුරු දසාවක් ලබලද කොහේද.."

ඉතිං අහලා ඇතිනේ ඔය කතා ටික..ඇත්තටම හුඟ දෙනෙක් ඔය දසා ක්‍රම ගැන දැනුවත්..ඒත් සමහර අය ඉන්නවනේ ඒ ගැන නොදන්න..ආන්න ඒ අයට මං පොඩි පැහැදිලි කිරීමක් කරන්නං...

ජ්‍යොතිෂයේදී දශා ක්‍රම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා...පංචෝත්තරී දසා..අෂ්ටෝත්තරී දසා..කාල චක්‍ර දසා..යෝගිනී දසා..ගුලික දසා..ප්‍රාණ දසා.. ඔන්න ඔය වගේ නම් අටෝ රාසියක් තියෙන දසා තිබුනා උනත් මං මේ කතා කරන්ට යන්නේ අපි දැනට භාවිතයට ගන්නා වූ විංශෝත්තරී දශා ක්‍රමය සම්බන්දවයි... ඇත්තම කිව්වොත් මං ඔය නං වලින් දැනං හිටියට අනිත් දසා ක්‍රම වැඩි දුරට හදාරලත් නැහැ...ආයේ බොරු මොකටද..?

හරි දැන් අපි බලමු මේ දසා ක්‍රමය සකස් වෙන්නේ කොහොමද කියලා...

මේක ඇත්තටම අපේ ජීවිත කාලය යම් ක්‍රමවේදයක් අනුව එක් එක් ග්‍රහයින්ට අදාල කාල වකවානුවලට බෙදා දක්වන ක්‍රමයක්.සාමාන්‍ය මනුස්සයකුගේ ආයුෂ කාලය 120ක් වනවා යැයි සලකා බලා තමා මේක බෙදලා තියෙන්නේ.. ඒ මෙහෙමයි...

රවිට අවුරුදු 06 යි
සඳුට අවුරුදු 10 යි
කුජට අවුරුදු 07 යි
රාහුට අවුරුදු 18 යි
ගුරුට අවුරුදු 16 යි
සෙනසුරුට අවුරුදු 19 යි
බුධට අවුරුදු 17 යි
කේතුට අවුරුදු 07 යි
සිකුරුට අවුරුදු 20 යි

ආදී වශයෙන්.. ඒ වගේම ඕක යන්නෙත් ඔය සඳහන් පිලි වෙලට.. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් කේතු මහ දසාවේ උපන්නා කියලා.. එයාට කේතු ගෙවුනට පස්සේ ලබනවා සිකුරු..සිකුරු ගෙවුනහම රවි.. ඊට පස්සේ සඳු.. ඔන්න ඔය ආදී වශයෙන්...

දැන් ඊ ළගට බලමු කොහොමද කෙනෙක්ට උපතේදී තමන්ට හිමි දශාවක් අයිති වෙන්නේ කියලා...

අපි උපත ලබන වෙලාවෙදී සඳු..එහෙම නැත්තං චන්ද්‍රයා ගමන් කරන නැකතට අනුව තමා මේක තීරණය වෙන්නේ.. අපේ අහසේ තියෙනවා නැකැත් තරු වලල්ලක්.. ඒ නැකැත් තරු වලල්ල කොටස් 27කට බෙදලා තියෙනවා ඒ එක එක කොටසට අදාල නැකතක් තියෙනවා. අහලා ඇතිනේ.. අස්විද..බෙරණ.. කැති.. රෙහෙන..ආදී වශයෙන්...

ඉතිං මේ එක නැකතක් පහු කරන්න චන්ද්‍රයාට පැය විසි හතරකට ආසන්න කාලයක් යනවා... එක එක නැකතට පොඩි පොඩි වෙනස්කං තියෙනවා..කොහොම උනත් මාසයක් වගේ කාලයක් ඇතුලත මේ නැකැත් වලල්ල වටේ සඳුට රවුමක් ගහන්න පුළුවන්කම තියෙනවා... ඉතිං ඒ අනුව බලපුවම ඕනම වෙලාවක සඳු මොන යම්ම හරි නැකතක තමා ඉන්නේ.. ඒක තමා අපි ඔය සාමාන්‍ය වශයෙන් නැකතක් කියලා හදුන්වන්නේ...

ඉතිං සඳු ගමන් කරන නැකත තමා ඒ වෙලාවේ නැකත..උදා හරණයක් හැටියට කිව්වොත් මං දැන් මේ ලිපිය ලියන වෙලාවේ(2011/09/29 වෙනිදා දහවල් 12ට පමණ...) සඳු ඉන්නේ "සා" නැකතේ.. අද උදේ 10.44ට විතර තමයි සඳු ඒ නැකතට ඇතුළු උනේ.. හෙට උදේ 08.04ට වගේ සඳු "සා" නැකැත් කොටසෙන් ගමන් කරලා ඉවරවෙලා ඊ ළග නැකත වෙච්ච "විසා" නැකතට යනවා.. එතකොට ඒ වෙලාවේ ඉඳන් නැකත තමා "විසා" නැකත.. පැහැදිලිනේ...

ඉතිං මේ නැකැත් විසි හත එක එක ග්‍රහයින්ට බෙදිලා තියෙනවා.. මං දැන් පහත දාන්නේ නැකැත් තරු තියෙන පිළිවෙලයි.. ඒ ඒ නැකත අයිති කාටද යන හැටියි... ඔන්න බලන්න නැකැත් 27.. ග්‍රහයින් නව දෙනා අතර බෙදෙන විදිය...

1.අස්විද.............කේතු
2.බෙරණ..........සිකුරු
3.කැති .............රවි
4.රෙහෙණ........සඳු
5.මුවසිරස.........කුජ
6.අද.................රාහු
7.පුනාවස.........ගුරු
8.පුෂ................සෙනසුරු
9.අස්ලිස..........බුධ
10.මා..............කේතු
11.පුවපල්.......සිකුරු
12.උත්‍රපල්......රවි
13.හත............සඳු
14.සිත............කුජ
15.සා.............රාහු
16.විසා...........ගුරු
17.අනුර..........සෙනසුරු
18.දෙට...........බුධ
19.මූල............කේතු
20.පුවසල.......සිකුරු
21.උත්‍රසල.......රවි
22.සුවණ.........සඳු
23.දෙනට........කුජ
24.සියාවස......රාහු
25.පුවපුටුප.....ගුරු
26.උත්‍රපුටුප....සෙනසුරු
27.රේවතී.......බුධ

වැඩේ පැහැදිලියි නේද..?

එතකොට ඔයාලා දැකලා ඇති තම තමුන්ගේ කේන්දර වල අවසානේ තියෙනවා මෙන්න මෙහෙම කෑල්ලක්...

"...............හිමි විංශෝත්තරී මහ දශාව උපතේ සිට වර්ෂ.........මාස.........දින.... පවතී." කියලා...

එකේ නැහැනේ මං කලින් කිව්වා වගේ හරියටම ගුරු මහ දශාව අවුරුදු 16ක් ඉදිරියට පවතී කියලා.. එහෙම නැත්තං සිකුරු මහ දසාව අවුරුදු 20ක් උපතේ සිට ඉදිරියට පවතී කියලා...

ආන්න එහෙම වෙන්නේ ඇයි කියලා අපි ඊ ළග ලිපියෙන් බලමු...


35 comments:

  1. මම ඔය දෙවනි නැකතෙ එතකොට කොහොමද ඉපදුන වෙලාව හොයා ගන්නේ අයියේ

    ReplyDelete
  2. යමක් ඉගෙන ගත්තා. අනිත් ලිපියත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  3. සිකුරට 20ක්? බෙදපු මනුස්සය කවුරු උනත් සාදාරන මනුස්සයෙක්...

    ReplyDelete
  4. තව දෙයක් තියෙනෙවා මේ දැන් මතක් වුනු. ඇයි 120 ක්ම ගන්නේ? විශේෂ හේතුවක් තියෙනවද? ඇයි ඔය 120 දැන් කාලෙට හරියන්න වෙනස් නොකරන්නේ?

    ReplyDelete
  5. අපේ අම්මා කොච්චරවාත් කියවනව..
    ඔය හෙනහුරා ගැන ..."උබට තාම හෙනහුරු දාසාව පරිස්සංවෙයං කියලා..." මක්කා කොරන්ඩද මාරයියේ ඌ තව අවුරුදු 2 ක් විතර ඉන්නවලු.....ඔකා හිටිය කියලා අතපය බැඳං ඉන්ඩැ නේද....

    ReplyDelete
  6. මමනම් සඳු හිමි හත නැකතේ....

    ReplyDelete
  7. දැන් ආයුෂ ඔයිට අඩු හින්ද, ඕවා ඔයිට වඩා අඩු කාලවලට බෙදන්ඩ ඕනෙ නැද්ද?

    ReplyDelete
  8. මේක කියවන්න ගිහින් මොලේ කොලොප්පන් වුනා

    ReplyDelete
  9. හ්ම්...අනේ මන්දා හරියට සෙට් වුනේ නෑ වගේ. මගෙ කේන්දරෙත් අතට අරගෙනම ආයෙත් කියවන්න ඕනෙ.

    ReplyDelete
  10. මගෙ යාළුවො කියන්නෙ මන් ඉපදිලා තියෙන්නෙ ** දසාවෙන් කියල..ඒක මෙ දසා ටිකේ නැහැනෙ

    ReplyDelete
  11. මගේ ජ්‍යෝතිෂ කාර්යාලය මේකට ගෙනත් වගේ.
    අද රෑ අටහමාරෙන් පස්සෙ තමයි මාරයගෙ දසාව ලබන්නෙ.:D

    ReplyDelete
  12. අනේ මට සිකුරා ලබන්නේ ජීවිතේ අන්තිම කාලේ:(

    ඉතුරු ටිකත් දාන්ඩෝ,මේවගේ පොස්ට් නම් නියමයි.

    ReplyDelete
  13. ජීවිතේ රැදී ඇත්තේ දශා හෝ කේන්දර හෝ මත නොවන බව මා නම් පසක් කොට ඇත.
    කැමැත්තෝ පිළිගනිත්වා. එහෙත් කේන්දරයක් මත ජීවිතය ගොඩ නගා ගන්නට උත්සාහ නොකළ මැනවි. සෑම විටම කේන්දරයට අනුව කටයුතු කරනාවාට වඩා බුද්ධියට අනුව ක්‍රියා කිරීම වඩා ප්‍රායෝගිකය.
    හෙනහුරා නරියාටත් පැරදුනු බව මෙතනින් දැනගන්න.
    http://malmakaranda.blogspot.com/2011/09/blog-post.html

    ReplyDelete
  14. සිකුරට අවුරුදු 20ක්ම තියෙන්නේ.. අනිත් ලිපියත් දාන්නකෝ එහෙනම්.......

    ReplyDelete
  15. ඔලුව ලොකුයි බඩ මහතයි
    කෙහෙතගේ අපලේ !

    මගේ කේන්දරේ අම්මා හංගං ඉන්නේ කවදාවත් මට පෙන්නලා නෑ . ඇයිද මන්දා ?

    ReplyDelete
  16. ඉක්මනට අනික් පෝස්ට් එකත් දාන්ඩෝ..

    @හිස් අහස- හපෝ ඒ කේන්දරේ හිස් අහසෙන් අපිටත් බලා ගන්න පුලුවන්...හීහී හී

    ReplyDelete
  17. සඳුගෙන් උපන්නේ. කුජ ඉවරයි. රාහු යමින් .
    මාරයෝ මම ඇහුවේ දශායි ඒරාෂ්ඨකයි වෙනස.
    රාහු දශාවක් ගැනයි සෙනසුරු ඒරාෂ්ඨකයක් ගැනයි කියවෙච්ච නිසා.

    ReplyDelete
  18. @ශානු...

    ලොරියක් පැයට හැතැප්ම හතලිහක වේගයකින් ධාවනය වන්නේ නම් ලොරියේ ඇති බර සොයන්න යන සූත්‍රයෙන් තමා ඒකනං හොයන්න වෙන්නේ..

    ReplyDelete
  19. @සුසන්ත...

    හැකි ඉක්මනින් දානවා..ඊට කලින් ඇවිත් බලලා යන්න ආවේ මොනවද තියෙන අවුල් කියලා..

    ReplyDelete
  20. @widanarala...

    හොහ් හොහ්... ඒකත් මදි වගේ කියලා එහෙම හිතෙන්නේ නැද්ද..?

    ReplyDelete
  21. @සුසන්ත...

    මං අර කලින් කිව්ව ක්‍රම වලදී ඒ වගේ අඩු කාල ගන්න ක්‍රම තියෙනවා උදාහරණයක් හැටියට කියනවනං අෂ්ඨෝත්තරී ක්‍රමයේදී වර්ෂ 108 ක්..චතුරාෂ්ඨ ක්‍රමයේදී වර්ෂ 84ක් වගේ..

    එහෙත් අපි තාමත් භාවිතා කරන්නේ මෙම 120ක ක්‍රමය තමා බහුලව.. ඇත්තටම තාමත් 120 ඉන්න අය ඉඳ හිට ඉන්නවා කියලා ඔබ අහලා නැද්ද... මංනං මේ ළගකදීත් දැක්කා 110කට ආසන්න කෙනෙක්ගේ මරණයක් ගැන තොරතුරක්.. 108ක් හිටිය කෙනෙක්ගේ පාංශුකූලයකට දැනට වර්ෂ හත අටකට කලින් මට සම්බන්ධ වෙන්න ලැබුනා.. එහෙම බලද්දී තාමත් මිනිසාගේ පරමායුෂ 120 කියන තැන තියෙනවා කියලයි මං හිතන්නේ නම්... බහුතරයක් දෙනා ඊට අඩුවෙන් මිය ගියා උනත් ඒවාටත් නොයෙක් හේතු තියෙනවා... ඇත්තටම තාමත් අපිට ආයුෂ වැඩි කර ගන්න පුළුවන්කම තියෙනවා මේ රටාවෙන් අහකට පැන්නනං සහ මේ යන රටාවේ හොඳ ටික අරගත්තනං..

    ඒත් ආහාර පානවල ඇදි වස විස හා ඒවා ගැනීමේ අවිධිමත් විදියත්.. අපි ලෙඩ දුක් වලට භාවිතා කරන ඖෂධවල ඇති පසු හානි නිසාත්.. ශාරීරික විවේකය අඩු කම හා මානසික අසහනයන් නිසාත්.. නිසි පරිදි ඇඟට ව්‍යායාම් නොලැබීම වැනි කරුණුත්.. දූෂිත වායු ගොලය හා පරිසර පද්ධතියත්.. අපේම වැරදි ඇබ්බැහිවීම් නිසාත් මිස මංනං හිතන්නේ තවමත් අපේ ආයුෂ තලය 120ට ආසන්නයි කියලා... මං කිහිප විටක් එතරම් දුරකට නැතත් සුළු වශයෙන් ඔය චතුරාෂ්ඨ ක්‍රමයට මගේ සහ හොදින්ම දන්නා හදුනන කිහිපදෙනෙකුගේ ජීවිත සටහන් සසඳලා බැළුවත් එතැනදීත් මේ විංශෝත්තරී ක්‍රමය නිවැරදි බවත් අනිත් ක්‍රමය සමඟ තවමත් අපේ ජීවිත සටහන් ගැලපෙනවා අඩු බවත් තමා දකින්නට ලැබුනේ...

    අපි 120 නොහිටියාට මොනවා කොරන්ටද..?

    ReplyDelete
  22. @Raj...

    ප්‍රවේශමෙන් කටයුතු කිරීම කොයි දේටත් නරක දෙයක්ද මලයා..අපල ඇතත් නැතත් ප්‍රවේශමෙන් ඉන්න එක හොදයි..ප්‍රවේශම කියන්නේ වැඩක් පලක් නොකර අත පය අකුලගෙන ඉන්න එක නෙවෙයි කරන දේ සිහි කල්පනාවෙන් හා ඒ කරන දේ ගැන හොඳ අවධානයෙන් සොයා බලා කටයුතු කිරීමටයි. ඕක තේරුං ගත්තේ නැති අය තමා අත පය අකුලං ඉන්ට හදන්නේ අපලයි කියලා... අපිට උත්පත්තියෙන් කේන්දරයක් එක්කම මොළයක් කියලා එහෙකුත් ලැබෙන්නේ ඒකට නෙව... අම්මගේ අවවාදයටත් කීකරු වෙලා එයාගේ හිත රිද්දන්නේත් නැතිව..තමුන්ගේ වැඩ පාළු කරගන්නේත් නැතිව.. නුවමනා අවධානම් සහගත විනෝද වැඩ වලට නොයා සැහැල්ලුවෙන් කල්පනාවෙන් ජීවත් වෙනවනං කාටත් හොඳයිනේ...

    ReplyDelete
  23. @Gimhani...

    ඒ කියන්නේ සඳු මහ දශාවෙන් උපත ලැබුව කෙනෙක්.. දැන් මේ වෙනකොට වයස විසි ගණන් වල වගේ කියලා හිතුවොත් අනිවාර්යයෙන් යනවා ඇත්තේ රාහු මහ දශාව වෙන්ට ඕන...

    හත නැකත හොඳ නැකතක්...අනිකුත් ඒවා නොදන්න හින්දා නැකතට අනුව කියනවනං ටිකක් නිතර නිතර කෑම එහෙම ටිකක් ඕන කරන ඇඹුල් වලට කැමති ජලයෙන් සර්පයින්ගෙන් කරදර හිටින්න ඇහැකි ගති තියෙන... අනිත් අයට සලකන්න සංග්‍රහ කරන්න ඕන උනත් ඒවා ටික ටික පහු වෙන විදියට වැඩ කටයුතු සැලසෙන්ට ඇහැකි කෙනෙක් වෙන්ට පුළුවන්.. ඒත් ඉතිං මෙහෙම දේවල් කියන එක හරි භයානකයි..මොකද උපන් නැකතකට විතරක් පලා පල කීම එක ඇහැකින් බලාගෙන වස්තුවක උස පලළ දිග විස්තර කිරීමක් වගේ දෙයක් නිසා...

    ReplyDelete
  24. @නලිනි චන්දිමා...

    අර උඩින් මං සුසන්තට දීලා තියෙන උත්තරේම අඳාළයි වගේ නේද මෙතනටත්...

    තවත් දෙයක් තියෙනවා කියන්ට ඒක මං පස්සේ කියඤ්ඤං...

    ReplyDelete
  25. @Observer...

    ඇයි එයිට කළින් ඒක හොඳට තිබ්බද..?

    ReplyDelete
  26. @නිසුපා...

    නගේ නිතරම මෙහෙම ලිපියක් කියවනකොට අතට ගන්න තමන්ගේ කේන්දරේ සහ හැකිනං ගෙදර අනිත් අයගේ කේන්දරත්... මේක කියවලා විතරක්ම අහු වෙනවා අඩුයි..ප්‍රායෝගිකවම කරන්න ඕන වැඩක්...

    ReplyDelete
  27. @Weni...

    ආ ඒක හරි.. උඹ ඉපදිලා තියෙන්නේ *** දශාවේ ** අතුරු දශාවේ...

    ඒක තියෙන්නේ මෙතන නෙවෙයි..මං පස්සේ හම්බ උන වෙලාවක කියඥ්ඤං ඒක තියෙන තැන..

    ReplyDelete
  28. @Praසන්ன...

    ඒ බ්ලොග් එකේ කරන්නේ තනිකරම බිස්නස් විතරයිනේ ලොක්කා.. මෙතනනේ ඉතිං කවදත් පින් අතේ වැඩ...

    අප්පා ඒ දසාවනං ඕනම නැහැ

    ReplyDelete
  29. @නදී...

    ඉතිං හොඳානේ..අන්තිම කාලේ සිකුරු ලබලා..වෙන කියන්න තරං අපලයක් එහෙමත් නැත්තං.. සිකුරුත් හොදින් ඉන්නවනං.. සැපසේ අවසන් කාලේ හිටියැකි නෙව.. නරක් වෙලා තියෙයි... ඔය කිව්වට මටත් එහෙමමයි.. මාත් ඒකනේ මේ ඉක්මනට වයසට යන තරමට කැමති...

    (මං දන්නවා ගැහැණු ළමයි හුඟ දෙනෙක් මේවාගේ පෝස්ට් වලට මනාපයි කියලා...)

    ReplyDelete
  30. @පොත් ගුල්ලා...

    සමහර දේවල් ජීවිත අත්දැකීම් මතම පදනම් වෙනවා.. එතැනදී ඔබ ඉන්නා මතය ඔබට නිවැරදි සේම.. මා ඉන්නා මතය මගේ අත්දැකීම් මත මා ප්‍රත්‍යක්ෂ කොට ඇත...

    කෙසේ වෙතත් සියල්ල කේන්දරයට හෝ..කර්මයට හෝ බාර දී ඉන්නටයැයි මා තබා කිසිඳු ජ්‍යොතිෂ සම්බන්ධ අයකු පවසාවියැයි ඔබ සිතන්නේද..? නැත... මෙයත් අපගේ දිවි ගමනට උපකාරකයක් වැනිය... මේ දේ සලකන්න...

    ඔබ උදේ නිවසින් දුර බැහැරක යන්නට සැරසෙන විට රූපවාහිනියේ හෝ ගුවන් විදුලියෙහි හෝ නැතිනම් අන්තර්ජාලය ඔස්සේ හෝ පලවන කාලගුණ නිවේදනයක් දැන ගැනීමට ලැබෙනවා.. ඒ අනුව අද හොඳටම වහින දවසක්... එතකොට ඔබ මොකද කරන්නේ.. අපෝ වහිනවානං අද බැහැ කියා නවතිනවාද.. නැතිනම් කෝකටත් කියා කුඩයක් රැගෙන යනවාද.. එසේත් නැතිව ඕන එකක් කියා යනවාද..?

    අංක එක යටතේ තිබෙන තීරණය ගැනීම වැරදි වූවත්.. අංක දෙක මධ්‍යස්ථ තීරණයක් වන අතරම අංක තැන හිතුවක්කාර තීරණයකි. එම ඕනෑම තීරණයක් ගැනීමට ඔබට අයිතිය ඇත. එහෙත් එම ගන්නා තීරණය නිසා ලැබෙනා ප්‍රතිඵලය විඳින්නට වන්නේ ඔබටමය...

    කාලගුණ විද්‍යාව සීයයට සීයක් නිවැරදි නම් ඔබ පළමු තීරණය ගත් අයකු නම් ඔබ එදා වැස්සට අසු නොවී බේරුනා උනත් හැමදාමත් ඔබට ඔබගේ වැඩකටයුතු කල් දම දමා ඉන්නා අලසයකු විය හැක.

    දෙවැන්න ආරක්ෂිතය.. කුඩය ආරක්සා කරගනීමට වැඩිපුර අවධානයක් යෙදවිය යුතු වූවත් එයින් විය හැකි අනතුරක් හෝ වරදක් නැත.තුන් වැන්න ක්‍රියාත්මක කර පරිප්පු කනවාට වඩා නම් දෙවැන් හොඳ බැව් මගේ නම් විශ්වාසයයි... මේ කොයි දේටත් මුල් උන කාලගුණ විද්‍යාව වගේ දෙයක් තමා මේකත්... එයින් වැඩ ගන්නවාද නැද්ද යන්න තමා සතු අයිතියකි. නොගත්තා කියා කවුරුන්වත් ඔබට එය බලයෙන් දෙන්නට එන්නේ නැත.

    හුඟ දෙනෙක් තම තමන්ගේ මතයන්ට අනුව නොයෙක් ආකාරයට ජීවත් වෙති.. ඒ ඔවුන්ගේ දැනුම..අත්දැකීම්..මෙන්ම විශ්වාසයන්ද පදනම් කරගත් රටාවන්ට අනුවය... ජ්‍යෝතිෂය විශ්වාස කරන අවිශ්වාස කරන අය මෙන්ම දේශිය වෛද්‍ය විද්‍යාවද විශ්වාස කරන අය සහ නොකරන අය ඇත.. බටහිර වෛද්‍ය විද්‍යාවද.. කාලගුණ විද්‍යාවද එසේම විශ්වාස කරන නොකරන අය ඇත. එහි ගැටළුවක් නැත. එහෙත් මා දකිනා ආකාරයට සෑම දෙයකින්ම ගත යුත්ත ලබා ගැනීම අයහපතක් නොවේ.. නැතිනම් වන්නේ අන්තවාදීවීම හා තම මතය දිනවීම පිණීස කතා කරන්නට ගොස් වාද විවාද වල පැටලී සිටිනවා හැර එම කිසිම දෙයකින් තමා ඵලයක් නොගන්නා බව පමණි.

    ඔය කියූ කතාව මම කියවා බැලූ සහ ඔයිට බොහෝ කලකට පෙර සිට දැන සිටි කතාවකි. එය කතාවක් ලෙස ගත් විට කියවා රස විඳිය හැක. එහෙත් එවැනි කතාවක් පදනම් කරගෙන මෙවැනි දෙයක් ගැන කතා කරන්නට යාම සුදුසු නැත... මන්ද එතනදී පරදින්නේ ජ්‍යොතිෂය නොවන බැවිනි. එහි දැක්වෙන අයුරකට සෙනසුරු අපලය නිසි ලෙස ක්‍රියාත්මක වන අයුරුත්.. එයට බුද්ධිමත්ව මුහුණ දී ජය ගන්නා ආකාරයත් පිළීබඳ අපූරු කතාවක් මිස වෙන යමක් නොවන නිසාය...

    අප කියන්නේද එයමය... අපලය යැයි කියා අත පය හකුළුවා සිටීමට කියන්නේ කවුද..? ඉදිරියේ විය හැකි දේ ගැන යම් තරමකින් හෝ පෙර දැනුවත් වීමක් ලද්දේ නම්..එයට සුදුසු හොඳම ආකාරයෙන් මුහුණ දීමට සුලසුම් කිරීමටය මෙය යොදා ගත් යුත්තේ..එසේ නොමැතිව තියෙන ප්‍රශ්න අතරට තවත් ප්‍රශ්නයක් බවට ජ්‍යෝතිෂය පත් කර ගත යුතු නැත...

    ස්තූතියි මෙම කමෙන්ටුවට...

    ReplyDelete
  31. @Dinesh...

    හැකි ඉක්මනින් දානවා...

    ReplyDelete
  32. @හිස් අහස...

    ෂුවර් එකට උඹ රජ වෙනවා කියලා ඒකේ ඇති...
    අම්මට දුක ඇති උඹ ඕක බලලා රජ උනොත් රටට යන කල ගැන.. ඒ හින්දා හංගන්ට ඇති රට ජාතිය ආරස්සා කොර ගන්ට හිතලා..අනේ වාසනාවන් අන්න විහාර මහා දේවී පරපුරේ අම්මලා.. අදම ගිහින් මල් තියලා වැඳහන් මලේ...

    ReplyDelete
  33. @චතූ...

    අනිවා.. ඉක්මනට දමමි...

    ReplyDelete
  34. @Chanaka Aruna Munasinghe...

    ඔව් මට මතකයි.. ඒත් ඒ දෙකේ වෙනස කියා දෙන්ට හොඳම විදිය තමා ඒ දෙක ගැනම වෙන වෙනම හඳුන්වලා දෙන එක..එතකොට වෙනස හොඳටම තේරුං ගතෑකි.. දැන්නං මකරට කියා දෙන්ට දෙයක් නැහැනේ.. අනිත් අයටත් මෙහෙම කියා දෙමු එතකොට වැඩේ කාට කාටත් හොඳයිනේ...

    ReplyDelete
  35. කේන්දර පාඩමක්.. කෙන්දරෙත් බලාගන්න පුළුවන් වෙයි නේද මාරයියේ...

    ReplyDelete