31 October 2011

මරු දෙඩවීම...

මේ ලියන්න පටන් ගන්නේ මගේ බ්ලොග් එකේ ලියවෙන 485 වැනි පෝස්ට් එක. ඇත්තටම ආපහු හැරිලා බලන්න කාලය හරි කියලා මට දැන් දැන් හිතෙනවා. මෙච්චර දවසක් ආපහු හැරිලා මං මේක කරගෙන ආව හැටි නොබැළුවා නෙවෙයි.. ඒත් ඒ ගැන මං කතා කරන්න ගියේ නැහැ. මොකද එහෙම දෙයක් කරන්න තරං වැදගත් හේතුවක් නොතිබුන හින්දා. ඒත් දැන් මට ඒකට හේතුවක් තියෙනවා.

දැනට අවුරුදු දෙකකට කලින් මං මේක පටන් ගන්න වෙලාවේ මට මහ ලොකු බලාපොරොත්තු තිබුනේ නැති විත්තිය මං කීප වතාවක් කියලා තියෙනවා විවිධ අවස්ථාවලදී. ඇත්තටම ඒක එහෙමම තමයි.

මට මුලින්ම දින පොතක් කියලා දෙයක් ලැබුනේ 1996 වගේ කාලෙක කියලයි මට මතක.. ඒක සුවිශේෂී දින පොතක්.. සාමාන්‍ය දිනපොතකට වඩා වෙනස් එකක්.. ඒක ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කවුරුන් හෝ නිකුත් කල එකක්. රතු පාට පිට කවරය.. රාදුගා ප්‍රකාශකයින් විසින් නිකුත් කල පරිවර්ථන පොත් වල වැනි අක්ෂර ක්‍රමයක්.. ඒ වගේම දිග පළල අඩු පොතක් ඒක.. අතරින් පතර පිටුවල ලෝක දේශපාලනය තුල සමාජවාදය පිළීබඳව පුංචි පුංචි කතා වගේම සුවිශේෂී අවස්ථා ගැන සඳහනක් තිබුනා.

ඇත්තටම ඔය ගති ලක්ෂණ හින්දා මට ඔය පොත අමතක වෙන්නේ නැහැ. ඒක මට නෙවෙයි තාත්තට එයාගේ හිතවත් ජවිපේ යාළුවෙක්ගෙන් ලැබිලා පසුව මට දුන්න එකක්.කොහොම උනත් මං ඒ පොතට හුගක් කැමති උනා... ඒ වගේම මං ඒක ලිව්වා.. දවස ගානෙම මොන මොනවා හරි ලිව්වා... කට්ටිය මොකද හිතන්නේ මොන වගේ දේවල් තියෙන්න ඇතිද ඒකේ...? මහ බර බර දේවල්ද? නැහැ ඇත්තටම ඒවා මතක් වෙනකොට අදටත් මට හිනා යනවා... ඒක තනිකරම කෙල්ලෝ ගැන ලියවිච්ච එකක් කිව්වොත් වැරදි නැහැ...සරලව කිව්වොත් ඒවා මෙන්න මෙහෙම සටහන්...

"අද හවස අහවල් තැනට අහවලත් එක්ක ගියා අහවලාව බලන්න. ලියුම දී ගත්තා.. හිනා වෙලා ගියා හෙට තමා මොකද වෙන්නේ කියලා දැන ගන්න වෙන්නේ."

"අදත් අහවල් තැනට ගියා.මල කෙලියයි CH, KU, NIM, තැන් දෙනාම ඇවිත් එකටම.. හදිසි ගමනක් යන ගමන් කියලා මං මාරු උනා."

"*** අයියලගේ පිරිත් ගෙදර ගියා NIM ඇවිත් හිටියා එළී වෙනකල්ම කයිය ගගහා හිටියත් අනිත් උන් හින්දා අදත් කියා ගන්න බැරි උනා."

ඔන්න ඔහොම සටහන් තමයි පොතෙන් වැඩි හරියක්ම.. ඔය ඉංග්‍රිසි අකුරු වලින් කෙටි කරලා යොදන්නේ ගෑණු ළමයින්ගේ නම් තමා. කොහොමත් කෙල්ලෝ හත් අට දෙනෙක්ම ඒ දවස්වල මගේ ජීවිතේට එහෙං මෙහෙං එබිකං කරපු හින්දා ඕක කියවන එකෙකුටවත් හිතා ගන්න බැහැ මේ මොන විකාරද කියලා...:D

ඔහොම ලියාගෙන ආව පොත් ලිවිල්ල අතරේ මට මතකම හිටින සටහන මං දැම්මේ 1998 වර්ෂයේදී.. හරියටම දිනය 1998 අගෝස්තු මාසේ 24 වැනිදා වගේ තමා මතක තියෙන්නේ..සිදුවීම උනේ දහවල් 12.24 ට..වෙලාවනං හරියටම හරි.. මොකද ඒ සිදුවීමට කලින් පාර හරහා පනිද්දි මං වෙලාව බැළුවා.


"අද දවල් 12.24ට KU මට කැමතියි කිව්වා. විභාගේ ඉවර වෙලා එයා ආවා බස් හෝල්ට් එකට. මාව දැක්ක ගමන් යාළුවෝ ටිකට මොනවද කියලා මං හිටි පැත්තට ආවා. මං නුවර පාරෙ මෙහා පැත්තේ ඉදලා එයා හිටිය පැත්තට පැන්නා. කියන්න දෙයක් ඒ හැටි තිබුනේ නැහැ. මං ඇහැව්වා මොකද කියන්නේ කියලා. එයා කිව්වා මං හිතුවා ඔයා අද ඕක අහයි කියලා. මං කිව්වා ඔව් මං ඔයා විභාගේ ඉවර වෙනකල් බලං හිටියේ. ඉතිං දැන් මොකද කියන්නේ. එයා හිනා වෙලා ඔළුව වැනුවා. හවස පන්සල් යන්න එන්න කිව්වා. මං ගියා එයයි අම්මයි අක්කයි ගියේ.මං එනකොට අනිත් අයට යන්න කියලා ඒ තුන් දෙනා එක්ක ආවේ.අම්මයි අක්කයි ඉස්සර වෙලා කතා කර කර ගියා අපි දෙන්නා පිටිපස්සෙන්. අම්මත් දන්නවා වගේ වැඩේ. මං දිහා බලලා කැත හිනාවක් දැම්මා. දැන් ඉතිං මෙහෙම ඉඳලා හරි යන්නේ නැහැ."

ඔන්න ඔය ටික තමා ලිව්වේ පොඩ්ඩක් එහෙට මෙහෙට උනත් ඔය ටික තමා ලියඋනේ. ඒත් එක්කම මාසයක් ඇතුලත මම ගුවන් හමුදාවට බැඳුනා. ඒත් එක්කම දින පොත් ලිවීමත් නැවතුනා. ආයෙමත් මං ලියන්න ගත්තේ 2001 වගේ ඉදලා 2008 විතර වෙනකල් කාලේ තමා.. කොහොම හරි 2008 මං පන්සලෙන් එන්න හදනකොට මං ගාව දින පොත් 11 ක් තිබුනා. ඒ හැම එකක්ම නැවත නැවත කියවන්න පුළුවන් ලස්සන මතකයන් රාශියක් ලිය උන ඒවා. ඒ විතරක් නෙවෙයි මගේ හැම දුකක් කරදරයක්ම මං ඒවායේ අකුරු කරලා තිබුනා. ජීවිතයේ අමාරුම දවස් ගැන... ඒ හැම දෙයක්ම මට බෙදා ගන්න හිටිය එකම යාළුවා ඔය දින පොත් විතරයි... ඒත් මං පන්සලෙන් එන්න කියලා තීරණය ගත්ත දවසේ මං ඒ හැම පොතක්ම පිච්චුවා. ඔව් ඒ පොත් එකොළහම පිච්චුවා. ඊට කලින් උදේ වරුවම ඒවා කියෙව්වා. දවල් දොලහටත් එකටත් අතර කට්ට අවුවේ පන්සල ඉස්සරහ මං පොඩි කාමරයක් හදන්න දමාපු අත්තිවාරම උඩ තියලා පිච්චුවා. දින පොත් එහෙම ලේසියට පිච්චෙන්නේ නැහැ‍.. ඒ හින්දා කෝටුවකින් නිතර අවුස්ස අවුස්ස පැය බාගයක් විතර කාලයකදී ඒ හැම පොතක්ම අළු කරන්න මට පුළුවන් උනා. එයින් මාස තුනකට පස්සේ මං පන්සලෙනුත් සිවුරෙනුත් වෙන් වෙලා ආවා...එතනින් එහාට මං දින පොත් ලියලා නැහැ...

ඒත් 2009 වර්ෂයේදී අන්තර්ජා‍ලයේ ඉන්න කොට මට හම්බ උනා අපූරු දෙයක්.. ඒ තමා මේ බ්ලොග් කෙරුවාව. අනිත් අය වගේම මමත් මුලින්ම අනුන්ගේ බ්ලොග් දිහා බල බල හිටියා.. පස්සේ මටත් හිතුනා හිතේ තියෙන දේවල් එළියට දාන්න මේක හොදයි කියලා. ඉතිං මමත් පටන් ගත්තා ලියන්න...

කලින් දින පොත්වල ලිව්වා වගේම බොහොම සරලව මං මගේ හිතේ නැගුන හැම දෙයක්ම මේ හරහා වචන බවට හැරෙව්වා. ඒත් වෙනසකට තියෙන්නේ මං ලිව්ව දිනපොත් කාටවත්ම කියවන්න උනේ නැති එකයි. ඒත් අද මං ලියන දේවල් හුග දෙනෙකුට කියවන්න අවස්ථාව තියෙනවා.මට හුගාක් ගැඹුරු තාලෙන් ලියන්නවත්.. හර බර විදියට ලියන්නවත් කවදාවත් ඕනකමක් තිබුනේ නැහැ. මොකද මං ලියන්නේ මගේ සතුටට නිසා.. ඒත් හුග දෙනෙක් කියවන හින්දා සමහර තැන්වලදී මං මම දන්න කියන දේවල් අනිත් අයටත් ඉගෙන ගන්න ඇහැකි විදියට ලියලා දාන්නත් උත්සහ ගත්තා. ඒත් ඒවාත් මේ ලොකු ලොකු දේවල් නෙවෙයි.. හොද්දට ලුනු දාන හැටි වගේ දේවල්... එහෙම නැත්තං ලග්නය හදා ගන්න විදිය සරල විදියට වගේ දේවල්...මහප්‍රාණ කවදාවත් මං ගාව තිබුනේ නැහැ.. ඒ මේක මගේ දින පොත මිස මගේ වීර කාව්‍යය නොවන හින්දා...

මේක දිග වැඩි වේගන එන්නේ ඒ හින්දා මෙතනින් පල්ලං පොල්ල දාමු.

43 comments:

  1. ඔන්න ඉතින් මාත් කියෙව්වා මොනාද කියන්න ඕන කියල හිතට එන්නේ නෑ ....කොහොම් උනත් මම ආසයි ඒ දින පොත් ටික
    …පිච්චුවෙ නැත්නම් ...

    ReplyDelete
  2. දිගින් දිගට බ්ලොග් සටහන් තැබීමට ඔබට දිරිය ලැබේවා

    ReplyDelete
  3. නිකන් සිද්දි ටිකක් ලියලා කියල හිතුවට ඇත්තටම අවුරුදු 10ක 15ක මතකය්න් ඔක්කොම අව්සලා වගේ කියලා මටනම් හිතෙන්නේ...

    ReplyDelete
  4. තව කතා කොච්චර ලියන්න තිබුනද ඒ දිනපොත් තිබ්බනම් කියල හිතුනෙ නැද්ද ?

    ReplyDelete
  5. හප්පා ඉංග්‍රීසී හොඩීයේ ඔක්කොම අකුරු ටික තියෙනවද මන්දා.. හික් හික්...

    ReplyDelete
  6. මට තේරෙන්නෙ නෑ බන් අයියෙ ඇයි දින පොත් පිච්චුවෙ කියල...

    ReplyDelete
  7. අයියා හුගක් වෙනස් හිත හොද කෙනෙක්. මම නම් එදා වගේම අද කියන්නෙත් මගේ බ්ලොග් ලෝකෙ ඉන්න රැජිණ දිල් අක්කා පතාක යෝධයා අයියා.
    මමත් හැම අවුරැද්දෙම දින පොතක් පාවිච්චි කරනවා. හැබැයි ගනු දෙනු වතරමයි ඒකෙ ලියන්නේ. වෙන දේවල් ලියන්නෙම නෑ.

    ReplyDelete
  8. අනුන්ගෙ දිනපොත් අවසර නැතුව කියවන එක වැරදි වැඩක් ලු.....

    ආයි මම මාරයාගෙ හෝරාව නොකියවමි....................:D

    ReplyDelete
  9. ඔව ඔහොම තමා මාරයියේ..මේ ලොකේ හැමොටම මොකක් හරි කතාවක් තියෙනව...එක සුන්දරද ..අසුන්දරද..කියන එක අහගෙන ඉන්න එකා..ඔන විදිහකට තෙරුම් ගත්තදෙන්...
    නමුත් කෙනෙක් කෙනෙක් ව තෙරුම් ගත්තහම..එතන සුන්දර බැඳිමක් ඇතිවෙනව නේද...හැබැ එකත් විවිදාකාරයි...
    ඔන්න ඔහේ ඔන මගුලක්...මාරයියේ..මෙච්චර ලියනව කියන එක ලේසී දෙයක් නෙවෙයි..ඒත් දිගටම ලියපං

    ReplyDelete
  10. කාලයක් මාත් දින පොත්වල කුරුටු ගෑවා....අතීතයේ සතුටට වඩා දුක ගැන ලියවෙච්ච ඒවා අන්තීමට එකතු කොරලා පුච්චලා දැම්මා.....දැන් ලියන්නෙම නෑ...ලිව්වම හිතට වදිනවා...ඔය දිනපොතට වඩා දිල්ගෙ මතකය හොඳයි වගේ...ඕනෙ දේවල් විතරක්ම තියා ගන්න....

    ReplyDelete
  11. දින පොත් කෙරුවාව මම කලෙත් තනිකම දැනුන කාලේ විතරයි.. තනිකමට වැටුනාම ජීවිතේ ගැන මිනිස්සුන් ගැන තේරුම් ගන්න අවස්ථාවක් පෑදෙනවා . දිනකට පිටුව ගන්නේ ලියන දින පොතක මම එහම ලියපු සටහන් මට අද කියවනකොට සමහර වෙලාවට මට හිතෙනවා මෙවුව ලිවුවේ මමද කියල.. කාට හරි මගේ ගැන තේරුම් ගන්න ඒ පිටු හොඳටම ඇති.. හැබැයි එවුවගේ පිරිලා තියෙන්නේ ජීවිතයේ ස්වභාවය ගැන කලකිරීම විතරයි.. අවුරුද්දක් ඇතුලත මේ කලකිරීම ක්‍රමානුකුලව වෙනස්වෙලා තනිකම අවසාන වෙන තැනට එනවා.
    ඔන්න ඔහොම මාරයා මලයාටත් වෙයි කියල මන් හිතනවා..

    ReplyDelete
  12. අනේ අපරාදෙ අර දිනපොත් ටික පිච්චුවේ නම්...

    මට කවදාවත් දින පොතක් පාවිච්චි කරන්න බැරි උනාට අපේ සීයගෙ අවුරුදු දහයක විතර කාලයක් ලියපු සාක්කු දිනපොත්, අර චූටි පැන්සලක් එහෙම පැත්තකින් රඳවල තිබුන ඒවා ටිකක් මා ගාවත් තියෙනවා..... ඒ දිනපොත්වල වැඩිපුරම ලියවිලා තියෙන්නෙ ඒ දවස්වල දේශපාලන කතා, අනගාරික ධර්මපාලතුමා ගැන, කාලගුනය ගැන එහෙම...

    මාරයා දිනපොත්වල ලියල තියෙන ඒවා කියෙව්වම මට හිතුනෙ අනේ අපේ සීයත් ඒවගෙ ඒවාත් ලිව්ව නම් කියලා... :)

    ReplyDelete
  13. මම ගාවත් දිනපොත් 10ක් විතර තියනව ඒත් ඒව ඔක්කොම හිස් :)

    ReplyDelete
  14. මම නම් කවදාවත් දිනපොත් ලියපු එකෙක් නෙමේ.

    ReplyDelete
  15. අපූරු මතකයන් ටික(ගොඩ ) මමත් ලගදි තමයි බ්ලොග් කියවන්න ගතේ.. මෙ වෙබ් පිටු අස්සෙ මෙචර ලස්සන (බාග වෙලවට කටුක ) රසබර හරබර... නොයෙක් ජීවිත පෙරලි, අත්දකීම්... අතිකියල මම දැනගෙන හිටියෙ නෑ.. මර අයියගේ ජීවිතේ සෑහෙන පෙරලියක් වෙල තියෙන හැඩයි

    ReplyDelete
  16. කුණ්ඩලකේසී....
    චාරුලතා....
    නිමලණී...
    ?

    ReplyDelete
  17. අර චතුරංග කියල තියෙන ජාතියෙ දිනපොත් මා ගාවත් තියෙනව. ඒකත් මගේ බ්ලොග් එක වගේ තමයි.
    උඹ වෙලාව බල බල පාර පනින්න ගිහිල්ල වාහනේක හැප්පුනේ නැති එක ලොකු දෙයක්.

    ReplyDelete
  18. @ තිස්ස, එතකොට මූට කැමති උනේ කුණ්ඩලකේසි ද?

    ReplyDelete
  19. මාරයා අය්යා ලියන ඒවා සරලයි, ඒ වගේම ලස්සනයි. ගැඹුරු වහල තියෙන දේකට වඩා ලස්සනක්, සුගම බවක් කාටත් පේන්න තියෙන සරල දෙයක තියෙනවා. ඒක ගොඩක් දේවල් වලට පොදු දෙයක්.

    ReplyDelete
  20. හික් හික් . . . කීපවතාවක්ම ට්‍රයි කොලා දින පොතක් ලියන්න . . . අන්තිමට අතෑරල දැම්ම. ඒත් 1996 දි සටහන් කීපයක් විතරක් ලියපු එකම එක දිනපොතක් තාම තියාගෙන ඉන්නව

    ReplyDelete
  21. අවුරුද්ද පටන් ගන්නකොට පොර කාලා දිනපොත අරන් පැත්තකින් තියනවා ආයේ ඊලඟ එක ගන්නකන් අරක කොහේ හරි මුල්ලක ... :DDD

    හැබැයි එදිනෙදා දින චරියාව මේකේ ලිව්වා නම් ..මේකත් සුපර් ස්ටර් පොන් එකක් තමයි :DDD

    ReplyDelete
  22. දින පොත් ලිවිල්ල මාත් කරන දෙයක්. 2000 හේ මුල කාලේ ඉඳන් විතර. ඒත් දැන් නම් වැඩේ ටිකක් අතහැරිලා. ආයේ පටන් ගන්න ඕනේ.

    ReplyDelete
  23. මාත් ලිව්ව දිනපොත් ලංගම ඉන්න කාලේ. ඒ දිනපොත් ලංගමෙන් දුන්න ඒව. උඩ ඉඳල පහලට අඟල් දහයක් විතර ඇති, පළල අඟල් තුනක් විතර. ගෙදරින් පිටත් වුන වෙලාව, ඩිපෝවට පැමිණි වෙලාව, කුරුනෑගල, නාරාහේන්පිට, වේරහැර ආගිය වෙලාවල්, ගිය වාහනේ අංකය වගේ දේවල් තමා ලිව්වෙ එකේ. වෙන මොනාටවත් නෙමේ, බටා ක්ලේම් කරන්න.

    ReplyDelete
  24. මමත් පොරකාලා දින පොත් එකතු කරනවා.. දෙසැම්බර් ඉඳන්.. ජනවාරි වල වැඩිපුර ටික දීලා දමලා පොඩි එකයි , ලොකු එකයි , එක්සෙකටිව් එකයි තියාගන්නවා ! ඊළඟ අවුරුද්දෙ ඒ තුන විසි කරනවා.. තුනේම ලියල තියෙන්නෙ කොළ 2-3 ක් විතරයි !

    ReplyDelete
  25. මටනම් දින පොත් අරහං. ලොක් කරලා තියන්න පුලුවන් නම් අවුලන් නෑ.

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. දින පොත් ගැන නම් කියන්න විශේෂ දෙයක් නෑ. මොකද ජීවිතේට වැඩකට ඇති දෙයක් ලියල නෑ.:) මේ පෝස්ට් එක කියෙව්වම මට දෙයක් හිතෙනවා. හැබැයි මම ප්‍රාර්ථනා කරන්නේ මට හිතෙන දේ වරදින්න කියල.

    ReplyDelete
  28. මම නම් දිනපොත් ලියලම නෑ. මේ බ්ලොග් එකවත් හරියට ලියාගන්න වෙලාවක් නැති මට මොන දිනපොත්ද. කොහොමහරි ලියපන් දිගටම.. අපි කියවනවා..
    උබේ අර කේන්දර ලිපි ලියන එකට දැන් මොකෝ වෙලා තියෙන්නේ? ඒකට රාහු ලබලද?

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. @ නිසුපා
    එහෙනම් මේ නිසුපා අක්කට ගජරාමෙට හොර මගඩි ඇති නේ...?

    ReplyDelete
  31. මමත් නම් දින පොතක් නම් ලියලා නෑ හැබැයි හැම අවුරුද්දේම එකක් ගන්නවා

    ReplyDelete
  32. මං ඉස්සර සෑහෙන්න උත්සාහ කලා දිනපොත් ලියන්න. ඒත් ලියන්න මෙලෝ මඟුලක් නැති නිසා එහෙම්මම අතර මඟ නැවතිලා ගියා.

    ආයෙම ඉතිං ඔය ප්‍රථමාදරේ හන්ද දිනපොත් තුනක් ලිව්ව. ඒවත් මාරය කියල තියනව වගේ බොහොම සරළව වෙන කෙකෙන් බැලුවොත් ප්ලොව පලාගෙන යන්න තරං ලැජ්ජාවක් හිතෙන දේවල් තමා.

    ඒ දිනපොත් තුනම වැලිකඩින් නිදහස් වෙලා එන දවසෙ බැ‍රැක්කෙ පිටිපස්සෙ මාරගහ යට ගිණි තිව්ව. කිව්වත් වගේ මාත් අමු ගස්ලබු පිත්ත්ක අරං විනාඩි දහයක් පහලොවක් විතර ඒ මේ අත පෙරළ පෙරළ උන්න. ඒ මතකයන් පිච්චිලා ආපු ගින්නෙ උණුහුමේ.

    ReplyDelete
  33. මාත් ලිව්වා දින පොතක් කාලයක්....ඒත් හරි ගියේ නැ....ඒ නිසා අතැරලා දැන්මා....අපරාදේ පිච්චුවේ ඒ පොත් ටික....

    ReplyDelete
  34. මමනං ඔය පොත් කවදාවත්ම ලියලා නැහැනේ. ඒත් හිත අතීතයට ගියා පොතේ ලියලා තියෙන දේවල් දැක්කහම. අර කැත හිනාව කැල්ල මට නිකං මැවිලා පේනවා වගේ

    ReplyDelete
  35. මම නම් මේ දින පොත් ලිවිල්ල කරන්නෙම නැහැ. ඒක ඒ තරම්ම අමාරුයි. ඒත් ඔබ ඒ වැඩේට දක්ෂයෙක් වෙන්න ඇති. මම හැමදාම ඔබෙන් යමක් ඉගෙන ගන්නවා. බ්ලොග් අවකාශයේ මම ඔබෙන් බොහෝ දේවල් ඉගෙන ගෙන තිබෙනවා. ඔබ 500 පෝස්ට් ලියලා මේකෙන් ඉවත් වෙනවයි කියන කාරණය මට නම් දුකක්. ඒත් ඔබේ කැමැත්ත විශේෂයි. මම හිතනවා අපි කාටත් යන්න වෙනවා. ඒ දිනේ එනකම්ම අපි කවුරුත් මෙහෙම රඟපාන්න ඕනෙ. ඒකයි ලෝක ධර්මතාවය.

    ReplyDelete
  36. හික් හික්.. ඔන්න උඹ පරණ මතක අවුස්සනවා.. මගෙත් ඉස්කෝ‍ලෙ කාලෙ දිනපොත් ඔහොම තමා.. කෙල්ලො ගැන මවපු හීනවලින් තමා පිරිලා තිබ්බෙ.. පස්සෙ දවසක මටම හිතුනා යකඩෝ කවුරුහරි මේවා කියෙවුවොත් මං වසලා හමාරයි කියලා.. ඒකනිසා ගිනි තියලා දැම්මා, දැන් මතක්වෙනකොට දුකයි.. :)

    ReplyDelete
  37. "මේක දිග වැඩි වේගන එන්නේ ඒ හින්දා මෙතනින් පල්ලං පොල්ල දාමු."

    කෝකද ?

    ReplyDelete
  38. මාත් ඔය වගේම මෝඩයෙක්.

    උසස් පෙල කළායින් පසු කැම්පස් යන කාලය අතරතුර ලියූ දින පොත පිච්චීම මං කළ අතීසාර අමන වැඩක් තමයි.

    ඒකේ මං දවසකට පේලි පනහක් කූඹි කකුල් අකුරෙන් ලියලා තිබුණා.

    අවුරුදු පහක් බ්ලොග කරන්න තිබුණා ඒ ටිකෙන්.

    හෆොයි!

    ReplyDelete
  39. අවුරුද්දේ මුල හම්බුවෙන දින පොත් ගන්නවා විතරයි ලියන්නේ නෑ.. බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සේ තමයි දින පොතේ ලියනවා වගේ හැමදේම හැමදාම ලියන්න පටන් ගත්තේ...

    ReplyDelete
  40. මමත් ඉස්සර දින පොත් ලිව්වා, මාරයාගේ වගේම තමා
    මටත් හිත ගිය කෙල්ලෝ හැම එකෙක් ගැනම ඔව්වයේ ලියවුනා
    ඒත් ලොකුම කරදරේ තිබුනේ මගේ අක්කලගෙන්, උන් කොහෙන් හරි ඕක හොයාගෙන මට ඒකෙ තියෙන දේවල් කියා කියා විහිළු කරන්න ගත්තා

    පස්සේ මම අලුත් මේසයක් ගත්තා ළොක් කරන්න පහසුකම් එහෙම තියෙන. ඒකට ඔය දින පොත් ඔක්කොම දාල වහල දැම්ම, පිච්චුවෙනම් නැහැ
    දිනපොත් විතරක් නෙමෙයි කෙල්ලන්ට දෙන්න කියල ලියපු, ඒ වුනාට නොදීපු ලියුම් එහෙමත් තාම තියෙනවා
    කවුරුහරි දැක්කොත් පටි රෝල් තමා ඉතින්
    ඊට පස්සේ මම දින පොත් ලියන එකත් නතර කරලා දැම්ම

    පස්සේ පස්සේ එක්සෙල් ෂීට් එකක දිනපොත වගේ දවසේ කරුණු, දවසේ වියදම් වගේ කරුණුත් ලිව්වා
    ඒකෙ තියෙනවා මම වියදන් කරපු හැම සතයක්ම මට ලැබුනේ කොහොමද මම වියදන් කලේ කොහොමද කියලා
    දැනට අවුරුදු 5 ක වගේ ඉඳල විස්තර ඒකෙ තියෙනවා, දැනටත් ලියනවා
    හැබැයි දැන් ලියන්නේ අය-වැය විතරයි
    ඒකට පාස් වර්ඩ් එකක් දාල තියෙන නිසා කරදරයක් නැහැ

    ReplyDelete
  41. මම නම් මගේ දින පොතේ ලියන්නේ විසේෂ දවස් විතරයි. ඒ නිසා මගේ දිනපොත ජීවිත කාලෙම තියාගන්න පුලුවං. :)

    ReplyDelete
  42. අප්පා මාරේ අයියේ මගෙ ජීවිතේට මම ඔය දින පොත් පාවිච්චි කරලා නෑ නේ ..

    මම පොඩිම කාලේ හිතාන උන්නේ ඩයරිය කියන්නේ මේ පාචනේ වගේ බඩ යන ලෙඩක් කියලා ... බලහංකෝ ඉතින්

    ReplyDelete
  43. 1999 ඉඳන් 2009 වෙනකල්ම එක අවුරුද්දක් ඇර අනික් ඔක්කොම දිනපොත් මගේ ලඟ තාමත් තියෙනවා. 2009 න් පස්සේ දිනපොත් ලියවුනේ නෑ. හැබැයි ඒවා කියෙව්වම නම් අතීතයේ මතක වලම ජීවත් වෙන්න පුලුවන්. කාලෙන් කාලෙට තමන් පරිණත වෙන හැටි, තමන්ගේ අදහස් වෙනස් වෙන හැටි බලාගන්න දිනපොත් තරම් වෙන සාක්ෂියක් නෑ... !

    ReplyDelete