02 November 2011

සෙනසුරු කොටු පනී.. කුජගේ නීච වීම අවසානයි...

මේ බ්ලොග් කට්ට කියෝන කවුරු කවුරුත් දන්නවනේ පහු ගිය කාලේ අපේ නගරං යාළුවා වෙච්ච කුජ අර අහිංසක සඳුට අයිති ගෙදර වෙච්ච කටකෙට පැනපු දා ඉදලා කුජ ගොයියා නීචම වෙලා ගියානේ.. ඉතිං ඒ දවස්වල වෙන්ට ඇහැකි කතන්දර ටික මං කලින් ලිපියක දැම්මා නෙව...

ඉතිං උන්දෑ පහුගිය සැප්තැම්බර් මාසේ නව වැනිදා ඉඳලා මේ ගෙවිලා ඉවර වෙච්ච ඔක්තෝබර් මාසේ තිස් වැනිදා වෙනකල්ම එහෙම නීච වෙලා හිටලා ඔන්න තිස් වැනිදා යාන්තං අර ගිරහයින්ගේ අප්පච්චි වගේ ඉන්න සූරිය දෙයියගේ ගේ වෙච්ච සිංහ රාසියට පැන්නා.... ඒ කියන්නේ මෙච්චර දවසක් නීච වෙලා හිටිය කුජ ඒ තත්තෙන් ගොඩ ඇවිත් යාන්තං තමන්ට හිත මිත්තර තැනකට ආවා...ඒත් එක්කම කුජ නීච වීම හරහා කාට කාටත් තිබුන අපල උපද්‍රව දැන් සෑහෙන දුරකට නිමා වෙලා තියෙන්නේ...ඒත් ඉතිං ඔය සිංහය අයිති සූරිය නොහොත් රවි උන්නැහෙයි අපේ යාළුවා කුජයි දෙන්නම හරි ගිනියං කාරයෝ හින්දා ඒ හැටි ලේසිත් නැහැ. ඒත් මෙච්චර දවසක් පස්ස ගගහා හිටි ගති අහකට ගිහිල්ලා ලෝකයම ටිකක් වෙනදාට වඩා හයියෙන් දුවන්ට පටන් ගන්න දවස් ටිකක් තමා මේ ලබාගෙන එන්නේ... හරි හරි මං ඉතිං ලෑස්ති උනේ කුජගේ මේ කොටු පැනිල්ල ගැන විස්තර කොර කොර ඉන්ට නෙවෙයි නෙව.. ඊට වඩා ලොකු කතාවක් කියන්ට...

කවුරුත් දන්න කියන හාදයෙක් මේ නොවැම්බර් මාසේ පනින්ටයි යන්නේ කොටුවක්...වෙන කවුද ඉතිං අර වයසක ලොක්කා හෙනහුරා මිස... දැන් අවුරුදු දෙකක විතර වෙලේ ඉඳන් ඒ කිව්වේ දෙදහස් නවයේ සැප්තැම්බර් මාසේ දොලොස් වෙනිදා ඉඳන් මේ සෙනසුරු උන්දෑ තප්පලං දාගෙන උන්නේ අර අහිංසක දරුවා බුධට අයිති කන්නි රාසියේ නෙව... හැබැයි අපරාදේ කියන්ට බැහැ හෙනහුරා එතන ඉන්නකොට ටිකක් විතර පාලනයක් තියෙනවා උන්දැගේ.. ඉතිං මෙදා පාර සෑහෙන දවසකට පස්සේ ඕන්න උන්දෑ යන්ටයි යන්නේ අපේ බොහෝම ලස්සණ තරුණ ලමිස්සිගේ ඒ කිව්වේ සිකුරුට අයිති තුලා රාසියට...හැබැයි මේ තුලා රාසිය තමා ඔය සෙනසුරු ගොයියට බලවත්ම රාසිය. අනිත් එක රාසියකටත් වඩා මෙතනදී උන්දෑ හුගක් හයිකාරයා වෙනවා... ඒ හින්දා හොඳ හොඳ වෙනස්කං ටිකක් බලා ගන්න ඇහැකි වෙන කාලයක් ඉස්සරහට ඒවී...

ඉතිං මේ කොටු පැනිල්ල වෙන්නේ කවද දිහාවෙද කියලා කිව්වේ නැහැනේ.. හෙනහුරා මෙච්චර දවසක් හිටි කොටුවෙන් මේ නොවැම්බර් මාසේ පහලොස් වැනිදා හවස් අතේ පනිනවා පැනිල්ලක් කෙලින්ම තරාදි කොටුව එහෙමත් නැත්තං තුලාවට...ඉතිං මේ පැනිල්ලත් එක්ක කොයි කාගෙත් ජීවිතවල වෙනස්කං දකින්ට ලැබෙයි ඉස්සරහට... ඒක මේ පුද්ගල ජීවිත වලට විතරක් නෙවෙයි මුළු ලෝකයටම දැනෙන ආකාරයේ වෙනසක් වෙන්ට ඕන..කොටින්ම කිව්වොත් ගස් කොලං වල ගෙඩි පලතුරු ආදියත් හොදින් හට ගන්නා කාල වකවානුවක් වෙන වග තමා පත පොතේ සඳහන් වෙන්නේ...

මේ නොවැම්බර් මාසේ මැද හරියෙදි තුලා රාසියට යන හෙනහුරු ඔතන ඉන්නවා දෙදහස් දාහතරේ නොවැම්බර් තුන් වැනිදා විතර වෙනකල්... ඒ විතරක් නෙවෙයි ඔය කාල සීමාව අතර මැදදී ආයෙමත් වංගියක් පුංචි කාලයකට ඒ කිව්වේ මාස කිහිපයකට දැන් ඉන්න තැනටම ඒ කිව්වේ කන්නි රාසියටත් ඇවිත් යනවා ඒ කාලය වෙන්නේ දෙදහස් දොලහේ මැයි මාසේ දාසය වෙනිදා ඉඳලා අගෝස්තු හතර වැනිදා වෙනකල් කාලේ තමා...ආන්න එහෙම මාස දෙක තුනකට ආපහු පනින කාලෙත් හරි වැදගත් කාලයක්.. ඒත් ඒවා ගැන විස්තර ඒ කාලේ කිට්ටු වෙනකොට කිව්වම මදෑ...

හරි එහෙනං ඉතිං දැන් තියෙන්නේ මේ හෙනහුරාගේ මාරුව කොහොම බලපායිද කියන එක ටිකක් විස්තර කොරන එක තමා... ඒක තමා පුතේ අමාරුම කෙලිය.. මොකද ඕකත් එක එක්කෙනාට බල පාන්නේ එක එක විදියට හින්දා නිකං ගලෙන් ගහනවා වගේ කරුණු කාරණා කියන එක ලේසි නැහැ.. මොකද උත්පත්තියේදී මේෂ ලග්නයෙන් උපන් කෙනාට ලැබෙන ප්‍රතිපලය නෙවෙයි වෘෂභ ලග්නයෙන් හෝ වෙනත් ලග්නයකින් උපන් කෙනාට ලැබෙන්නේ.. ඒ විතරක්නං මදෑ.. උපදින කොට සෙනසුරු පලවෙනි කොටුවේ හිටිය කෙනාට ලැබෙන ප්‍රතිපල නෙවෙයි දෙවෙනි කොටුවේ හෝ අනිත් කොටුවලින් එහෙක හිටිය කෙනාට ලැබෙන්නේ...

තවත් තියෙනවා.. දැන් ඔය හෙනහුරා එන තැන උපදිනකොට තව මොන මොන ගිරහයෝ හිටියද කවුද දන්නේ.. ඒවත් බලලා එපැයි දෙයක් කියන්ට.. ඉතිං ආන්න එහෙම නොදැන අනාවැකි කීම ලේසි වැඩක් නෙවෙයි... ඒත් එහෙමයි කියලා බැහැනේ.. මොනවා හරි කියන්ට එපැයි... ඒ හින්දා අපි බලමු මොනවද කියන්ට පුළුවන් කියලා... අපි වෙනදා වගේ මේස රාසියෙන් පටන් අරගන්නේ නැතිව වෙන තැනකින් පටන් ගමු..මොකද මං මීට කලින් වතාවකත් රාහු මාරුවක් ගැන ලියන්ට ගෙහුං මුල් ටික කියලා අනිත් ටික අතෑරලා දාලා තියෙනවා.. දන්නවනේ මගේ වැඩවල හැටි.. මුල ඇල්ලුවට අවසානයක් නැති වෙන්ට ඇහැකි.. කම්මැලි හිතුනේ කොතනදිද එතනින් ඒ කෙරුවාව ඉවරයි... ඒ හින්දා මේ සැරේ ඔය තැනින් තැන කියෝමු...හ්ම්ම් ඉතිං කොතනින්ද පටන් ගන්නේ...

හරි අපි පටන් ගමු "සිංහ" ලග්නයෙන් මොකද හොඳක් කියන්ට තියෙන තැනකින් පටන් ගන්න එක හිතටත් හොඳයි නෙව...

ඒ කිව්වම හිතා ගතෑකිනේ මොකද වෙන්නේ කියලා... ඔව් ඇත්තටම මේ මාරුවෙන් වැඩිම වාසියක් වෙන ලග්නයක් තමා සිංහ ලග්න කාරයෝ.. මොකද මේ සිංහ ලග්නය අයිති උන්දලා දැන් සෑහෙන කාලෙක ඉඳන් සෙනසුරුගේ ඒරාෂ්ඨක අපලයක් ගෙව ගෙව හිටියේ පොඩි කාලයක් එහෙම නෙවෙයි හරියටම කිව්වොත් දෙදහස් හතරේ සැප්තැම්බර් මාසේ ඉඳන්ම සිංහ ලග්නයේ අයට හුග දෙනෙකුට මේ සෙනසුරු කරදර කර කර හිටියේ.. ඔය අතරට සෙනසුරුගේ මහ දසාවක් එහෙමත් සෙට් උනානං ඒ කාලේ ලේසි නැහැ කෙනෙකුට... ඒත් උත්පත්ති කේන්දරේ සෙනසුරු තරමක් යහපත්ව පිහිටලා හිටිය කෙනෙකුටනං තරමක් විතර අපල තත්වය අඩු උනත් කරදර හිරිහැර නැතිව යන කාලයක් නෙවෙයි ඒ කාලේ.. ඉතිං එහෙම වද කරදර බාධක..දුක් පීඩා.. වෙහෙස මහන්සි වීම්..මහන්සියේ තරමට ප්‍රතිඵල අඩු වීම්.. හිතවතුන්ගේ මරණ.. දුක හිතෙන ආරංචි.. ආදියෙන් හෙම්බත් වෙලා හිටි අයට මෙන්න සතුට සැනසිල්ල උදාවෙන කාලයක්...

සිංහ ලග්න කාරයින්ගේ කේන්දරයේ සෙනසුරු යන්නේ තුන්වැන්නට... ඒ වගේම තුන් වැන්න තුලාව වීම නිසා සෙනසුරු උච්ච බලයෙන් යුක්තයි.. සෙනසුරුට තුන් වැන්න නරක රාසියක් නෙවෙයි.. ඒ හින්දත් උච්ච බලය නිසාත් මේ කාලය.. ඒ කිව්වේ මේ මාරුවෙන් පස්සේ දෙදහස් දාහතරේ නොවැම්බර් වෙනකල් කාලේ ඇතුලත සිංහ ලග්න හිමියන් සෑහෙන ජයග්‍රහණ හිමි කරගන්න කාලයක් වගේම ජීවිතයේ අමතක නොවන මතක සටහන් කිහිපයක උරුමය ලබා ගැනීමටත් හැකි වෙන කාලයක් කිව්වොත් හරි. සෙනසුරු නරක් උනහම දෙන්නේ ඒ හැටි හොද මතක සටහන් නෙවෙයි.. ඒත් දැන් මෙයාලට සෙනසුරු හොද අතටයි බල පාන්නේ.. ඒ හින්දා සිංහ ලග්න හිමි කොයි කවුරුත් දැන් බය නැතිව අළුත් වැඩවලට අත ගහන්න ලෑස්ති වෙන්ට ඕන...

කොහොමටත් සිංහ ලග්නේ අයගේ මේ දවස්වල ගුරු ඉන්නෙත් හොද තැනක හින්දා ඉදිරි කාලය ගැන බය වෙන්ට ‍කාරණා අඩුයි.. පොඩි අවුලකට දැනට තියෙන්නේ රාහු හතර වැන්නේ යන එක තමා.. ඒත් ඒක ගොඩාක් ලොකුවට ගණන් ගන්ට යන්ට ඕන නැහැ.

හරි ඉතිං හොද කිව්වම මොන වගේ හොදද ලැබෙන්නේ කියලා බලමු...

අළුත් අළුත් ආදායං මාර්ග පෑදෙනවා.. රැකි රක්ෂාවලින් දියුණුවත් උසස් වීමත් වැටුප් වැඩිවීම් වැනි දේත් ලැබෙනවා.. ඒ විතරක් නෙවෙයි රට රාජ්ජවල ඇවිදින්ට.. වන්දනා ගමන් යන්ට...ඉඩකඩංවලින් ලැබෙන ආදායං එහෙම වැඩි වෙන්ටත් මේ කාලේ හොදයි.තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ පවුලටත් ඒ හරහා තරමක දියුණුවක් හිමි වෙනවා. සමාජයේ ඇති තමාගේ ගෞරවය වැඩි වෙන අතරෙම අළුත් අළුත් උසස් අය දැන හදුනා ගන්ට වෙන එක.. මෙච්චර කාලයක් මොනවා හරි දේකට වැරදි කරුවෙක් වෙලා හිටියනං ඒකෙන් නිදහස් වෙන එක.. නින්දා අපහාස එල්ල වෙලා තිබුනනං ඒවා සේදී යන එක.. අළුතින් ගෙවල් හදන්ට පටන් ගන්න එක.. එහෙමත් නැත්තං ඉඩමක් එහෙම ගන්ට කටයුතු සැලසීම.. ඥාතීන් අතර තත්වය දියුණු වීම.. තිබුණ ණය තුරුස් වලින් නිදහස් වෙන්ට ලැබීම වගේ දේවල් බලාපොරොත්තු වෙන්ට ඇහැකි කාරණා...

තව ඉතිං ඔය හුරතල් සතුන් විතරක් නෙවෙයි වෙන වෙන ආකාරයේ ආදායං මාර්ග හැටියට හරි සතුන් ඇති කරන අයට තව තව සතුන් ආදිය හිමිවීමත් පේන්ට තියෙනවා. විශේෂයෙන්ම පොදු වැඩවලට අත ගහලා ඉන්න අයටත් මේක හොද කාලයක්.. දේශපාලනයට බර උන්දලට තම තමුන්ගේ බලය වැඩි කර ගන්ට ඇහැකි කාලයක්... හෝව් හෝව්... මේක කිව්ව ගමන් කට්ටිය මං පොලේ ගිය ගමන් ඇදලා ගන්න දේසපාලනේ මෙතනත් ඇදලා ගනීද මංදා.. ඒ හින්දා ඔන්න කිව්‍වා මං දන්න තරමින් මහින්ද උන්නැහේ සිංහ ලග්නකාරයෙක් නෙවී... අනිත් අය ගැන මං දන්නේ නැහැ ඕං...

එතකොට දැනට විදේසගත වෙලා ඉන්න අයට වගේම නිවසෙං පිටමං වෙලා කොහේ කොහේ හරි ඉන්න අයට නැවත ගෙදරට පය ගහලා හොදින් ජීවත් වෙන්න වගේම අළුතින් තමන්ටම කියලා ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙන්ටත් හැකියාව ලැබෙයි කියලා කියන්ට පුළුවනි... හැබැයිලබන අවුරුද්දේ මැයි මාසේ විතර වෙනකල් ඔය නිවාස සම්බන්ධ කාරණා හුගාක් හොදින් බල පවත්වන එකක් නැහැ එයින් පස්සේ ඒ තත්වය හරියාවි.

ඒ වගේම ලබන ජූනි වලින් පස්සේ රස්සාව සම්බන්ධ නොයෙකුත් වෙනස්කං ටිකක් බලාපොරොත්තුවෙනං ඉන්න එකත් හොදයි..තමන්ට ලැබෙන වෙනස්වීම් හොද අතට පෙරලගෙන වැඩ කර ගන්න එක තම තමුන්ට බාරයි. එහෙම නැතිව ඒ කාලෙදි සිද්ධ වෙන්ට තියෙන රැකි රක්ෂාවල වෙනස් වීම් ගැන අසුභදායක විදියට බලන අය ගැන මං දන්නේ නැහැ ඕං...

එතකොට විවාහ වෙන්ට ඕන අයට ඒ ඒ කටයුතු බොහෝම හොඳින් කෙරෙනවා..අවිවාහක අයට විවහා යෝගත්... වෙන වෙන සම්බන්ධකනුත් ගොඩ නැගෙන්ට ඇහැකි.. විවාහය ප්‍රමාද අයටත් මේ කාලය තුලදී නොසිතූ ආකාරයෙන් විවහා මංගල කටයුතු කෙරෙනවා වගේම ඒ හැම දෙයක්ම වඩාත් හොඳ දේවල් බවත් කියන්ට ඕන.

ඉගෙන ගන්න අයටත් මේ කාලය හොදයි.. හැබැයි ‍ඉගෙන ගෙන ආ විෂයන්ගේ වෙනසක් වගේ දෙයක් වෙන්ටත් පුළුවං..

අම්මෝ දැන් ඇති.. මට බැහැ තව තව ලියන්ට..අනිත් ඒවත් කොහොම කොහොම හරි බලමු ඉස්සරහට.. ඒත් මෙච්චර දිගට ලිය ලිය ඉන්ටනං ඇහැකි වෙයිද මංදා... අඩේ.. තව මං දසා ගැන ලිය ලියත් හිටියා නේද..? ඒකත් අතරමගද කොහේද..?

56 comments:

  1. හොදක් වෙනවානම් ඕන දෙයක්.

    ReplyDelete
  2. අනේ ඇති යන්තං... මට දැන් මේ හෙනහුරා ඇති වෙලා උන්නෙ..

    ReplyDelete
  3. "කවුරුත් දන්න කියන හාදයෙක් මේ නොවැම්බර් මාසේ පනින්ටයි යන්නේ කොටුවක්...වෙන කවුද ඉතිං අර වයසක ලොක්කා හෙනහුරා මිස.."

    ;-)

    ReplyDelete
  4. අයියේ මකරට මොකද වෙන්නේ

    ReplyDelete
  5. ඔය බොල අයියල එහාට මෙහාට පනිනකොට පෘතුවියේ අහිංසක ජනතාවට තමා කෙලවෙන්නේයි..හරියන්නේයි....හි..හි..

    ReplyDelete
  6. මම මේෂ. මට කොහොමට මේක බලපායිද ?

    ReplyDelete
  7. එළකිරි මචං... කියලා..... කියලා වැඩක් නැත.. මේක මචං ඇත්තටම කේන්දර සංස්කෘතිය කනපිට පෙරලපු, විප්ලවීය පෝස්ට් එකක්.. අනිත් ටිකත් මේ විදියටම ලියපන්.. බලාගෙන හිට්ස් වැඩිවෙලා හැක් වෙයි.. අළුත් පරපුරට ගෙනියන්න නියම ක්‍රමේ.. ඊරිසියාවේ බෑ..

    ReplyDelete
  8. මාරයියාගේ 500න් බ්ලොග නැවැත්වීමේ හිතිවිල්ලට හේතුව මේකද ?

    එතකොට විවාහ වෙන්ට ඕන අයට ඒ ඒ කටයුතු බොහෝම හොඳින් කෙරෙනවා..අවිවාහක අයට විවහා යෝගත්... වෙන වෙන සම්බන්ධකනුත් ගොඩ නැගෙන්ට ඇහැකි.. විවාහය ප්‍රමාද අයටත් මේ කාලය තුලදී නොසිතූ ආකාරයෙන් විවහා මංගල කටයුතු කෙරෙනවා වගේම ඒ හැම දෙයක්ම වඩාත් හොඳ දේවල් බවත් කියන්ට ඕන.

    ReplyDelete
  9. එතකොට මලයා අනිත් ලග්න ගැන කියන්නෙ එහෙම නැත්ද ....
    ටිකක් ලාවට වගේ වත් එව්වත් කියහංකො ...
    නැත්තං ඕං බැනුං අහගන්ටයි වෙන්නෙ.

    ReplyDelete
  10. මකර ලග්නෙට කොහොමද කියලත් ලියන්ඩෝ

    ReplyDelete
  11. ආයෙමත් ජ්‍යොතිශේට බැහැල.....

    ReplyDelete
  12. හ්ම්ම්ම්.... මාත් අවුරුදු 11ක් වගෙ බලන් හිටිය වෙනසක්ලුනෙ මේක ... හි හි.. :)

    ReplyDelete
  13. "කවුරුත් දන්න කියන හාදයෙක් මේ නොවැම්බර් මාසේ පනින්ටයි යන්නේ කොටුවක් වෙන කවුද ඉතිං අර වයසක ලොක්කා මිස"
    මන් හිතා හිටියෙ ඔය හාදයා කොටුව පනින්න ලංකාවට එන්නෙ බක් මහේ කියලයි.. මුවා පස්සෙ එලවන හාදයාවත්ද නොවැම්බර් එන්නෙ ?

    ReplyDelete
  14. @සුපර්...

    ආයෙත් අහලා...

    @Umesh...

    සිංහ ලග්න කාරයෙක් වගේ...

    @තිස්ස දොඩන්ගොඩ...

    තුන් හිතකින්වත් නොහිතපු දෙයක් සෙට් වෙලා තියෙන්නේ ටක්කෙටම..හැක් හැක්...

    @MaRLaN...

    ආ ඌව කඩේක බෝඩ් ලෑල්ලකට තියලා ඇන ගහනවා...

    @Raj...

    හික් හික්...

    @nihalw...

    වෙනදටනං පටන් ගන්නේ මේසෙන් නෙව.. අද මේ පිළීවෙල පැන්නා..

    @මාතලන්...

    මක් කිව්වා...:D

    @ඉඳුනිල්...

    මම සිංහ නෙවෙයි අඩා...

    @kumaraya...

    අනිවාර්යයෙන් ලියන්ට තමා මේ හිතං ඉන්නේ... අඩුම ගානේ තව දෙක තුනක්වත් ලියවෙන්නේ නැතෑ.. ඉස්සර උන ඒවා ලියවෙයි..දැනටම මකරු දෙන්නෙක් ඉන්න වග පේන හින්දා ඊ ළගට මකට තැන දෙන්නයි කල්පනා කලේ...

    @නදී...

    මාලන් මලයයි නදීයි දෙන්නෙක්ම ඇහැවුව හින්දා ඊ ළගට අපි මකරා ගැන බලමු...

    @Observer...

    හැම දේම සමබරව යන්ට එපැයි...

    @ජීවිතේ මල්...

    බලමු මෙදා පොටේ කොහොමද කියලා...

    @Weni...

    එහෙං හෙනහුරා කොටු පයිනවා.. මෙහෙං කෙහෙල්කං වැට පයිනවා.. මේ අසරණ මං කියලා ආයේ මොනවා කොරන්ටද ආයිබෝං

    ReplyDelete
  15. ධනු ලග්නෙට කොහොමද අයියා????

    ReplyDelete
  16. මාර අයියේ අනිවා .. මකරා ගැන ඊලගට හොදේ...

    ReplyDelete
  17. මාරයියේ සිංහ ලග්නෙ අයගෙ කැඩිල බිඳිලා කුඩුපට්ටම් වෙලා ගියපු ආදර සම්බන්ධතා එහෙම එහෙම ආයේ ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් එහෙම තියනවද?? :(

    ReplyDelete
  18. ආ මේශ ලග්නෙට හොඳයිලු නේද ?

    ReplyDelete
  19. @නිසුපා

    බලමු නංගි ඉස්සරහට...

    @සඳා...

    ආයේ දෙකක් නැහැ මකර තමා ඊ ළගට වැඩිම ඉල්ලුමට නෙව සැපයීමත්...

    @ඇනෝ...

    මොකටද අප්පා කැඩුන බිඳුන දේවල් රෙපෙයාර් කොරන්ට හදන්නේ.. ඔන්න ඔහේ අළුත් එහෙකට මුල් ගල් තියමු...

    @Gimhani...

    එහෙමළුද..?

    ReplyDelete
  20. ලංකාවට කොමෙයි..?(කුම්බ ලග්නෙට...)
    අනේ ඉතිං කාටහරි හොඳක් වෙනවනං අපිත් කැමතියි....

    ReplyDelete
  21. ගෝනුස්සෝ එකෙක්වත් නැතෙයි...

    ReplyDelete
  22. මේ ගැන බස් එකක් දාන්ටෝ............

    ReplyDelete
  23. ඔන්න මාරයියේ මාත් සිංහලූ මෙච්චර කල් අඩ අඩ උන්නලූ සෙනසුරා මාව හොද තැනකට ගෙනාවොත් ගොඩලූ මට පහලින් තිබ්බ ටික බොහෝම වැදගත්ලූ ....

    "අවිවාහක අයට විවහා යෝගත්... වෙන වෙන සම්බන්ධකනුත් ගොඩ නැගෙන්ට ඇහැකි.. විවාහය ප්‍රමාද අයටත් මේ කාලය තුලදී නොසිතූ ආකාරයෙන් විවහා මංගල කටයුතු කෙරෙනවා වගේම ඒ හැම දෙයක්ම වඩාත් හොඳ දේවල් බවත් කියන්ට ඕන."

    පස්වාන් දහසකට බුදුවන්න අනේ සෙනසුරු දෙවියනේ වේලි වේලි ඉන්න මා දිහා බලනු මැනවි .....

    ReplyDelete
  24. අයියේ ලග්නවලට කොහොමද කියලා කියනව නම් අග ඉදන් කියන්න.

    ReplyDelete
  25. මාරයා, මම ටක්කෙටම කියන්නම් මකර ලග්නෙට නම් අන්තිම නරක ඇති. උඹ ඒකයි ලියන්නෙ නැත්තෙ. එහෙම නොවේ නම් ඊළඟ පෝස්ට් එක දාපන් මකර ගැන.මම චැලෙන්ජ් කරනවා.

    ReplyDelete
  26. @ඉෂාර ගුනවර්ධන...

    අන්න නරක තැනකින් ඇල්ලුවා.. මම මේ මකර ගැන ලිය ලිය හිටියේ.. ඔන්න ඒක නැවැත්තුවා... බොලා චැලෙන්ජ් කොරහං වෙන කාට හරි... මකර දැම්මා අන්තිමටම...

    ReplyDelete
  27. @ගලයා...

    ලංකාවට හොදයි ගලේ... යන්නේ නව වැන්නටනේ..ඒක ඇවිත් පින් දහංවලට බර සාමකාමි තැනක්...

    @මාතලන්...

    ගෝනුස්සෝ ඉන්නවා උන් නැතිව කොහොමද..?

    @ශානු...

    දවසක්ම ඒකට වෙන් කරන්න මේ දවස්වල අමාරුයි සානු..

    @Gihan Lakmal - Athal24...

    බය වෙන්න එපා මේ පාර ආතල් හම්බ වෙයි...

    @batti...

    යකඩෝ බට්ටි කපටිම නැහැනේ..හැක්...

    ReplyDelete
  28. මාරයියේ..මටත් මකර ගැන තමා දැනගන්ට ඕනේ.............. අනේඒඒඒඒඒ හොඳ සුදු මාරයියනේ ඉක්මනට ඒ ගැනත් ලියන්න හොදේ... :D

    ධනු ගැනත් ඔන්න දෙවෙනියට රික්වෙස්ට් එක.. :D

    ReplyDelete
  29. "ලංකාවට හොදයි ගලේ... යන්නේ නව වැන්නටනේ..ඒක ඇවිත් පින් දහංවලට බර සාමකාමි තැනක්..."
    එහෙනම් හතර මහ නිධානේ පහළ වේවි...... හික්

    ReplyDelete
  30. ඇයි මේ මකරට මෙච්චර තැන? අනික් එවුන් ඔටුවොද?

    ReplyDelete
  31. @JHOTHISHALANKA...

    හපොයි වැරදුනා... ලංකාවට අන්තිම නරකයි..රාජ්‍ය නායකයාට අපලයි. විපක්ෂයට ජයයි. තව මොනවද කියන්න ඕන.. නිකං මොකටද මාත් ඉල්ලං කන්නේ..:D:D:D

    ReplyDelete
  32. @මකුළු පැංචි...

    ඒක තමා දාන්න හිටියේ නගේ..කොහේද අර එක්කෙනෙක් ගේමක් ඉල්ලුවානේ පුළුවන්නං දාන්න කියලා.. ඒ හින්දා මට දැන් ඒක බැහැ බැහැ වගේ..හික්

    @Niroshan...

    මකරු ගොඩයි වගේ නෙව ඒකයි මේ මකරෙට තැන ඇවිත් තියෙන්නේ...

    ReplyDelete
  33. දවස් 12ක පෝස්ට් ටික දැම්මම ෂේප්නෙ. අනිත් 11ත් ලියල දාමු

    ReplyDelete
  34. ඔහොම පැනල පැනල කවදහරි දවසක මට්ටු වෙන්නෙ නැතැයි.

    ReplyDelete
  35. දැන් මේ සිංහයාට විතෙරද හොද?

    ReplyDelete
  36. මොකෝ මේ හැමෝම මකරා ගැන අහන්නෙ ?
    මට මොකුත් වෙන්නෙ නෑ.

    මම මකරා වුණාට ලග්නෙ වුර්ශික. ඉපදෙනකොට සෙන්සුරා හිටියෙ 12 කුජත් එක්ක. සෙනසුරා දැනුත් ආයෙ එතනටම නේද ඇවිල්ල නේද ඉන්නෙ ඔය කොහෙදෝ රෝන්දයක් ගහලා ?

    ReplyDelete
  37. හොඳක් වෙනවානම් කොහේ කොටු පැන්නාම අපිට මොකෝ.. :)

    ReplyDelete
  38. ඔන්න ඔහේ මකරා ගැන ලියමු බං... :)

    ReplyDelete
  39. මා ගැන මොනව ලියන්නද අනේ. මම මේ හොඳට ඉන්නේ

    ReplyDelete
  40. අනේ මේ ගැත්තාට සමාවෙන සේක්වා. මකර අනික් උන් ගැනවත් හිතලා ඕක ලිලා දාන්න ආයුබොවන්. (මට පස්සෙනෙ සිහි උණෙ මම මේ චැලෙනජ් කොරේ මාරයට බව. මොන ජගතටද ඒකෙන් දිනන්න පුළුවන්)

    ReplyDelete
  41. බොලේ බලාගෙන යනකොට සයිබරේ මකරු විමානයක්නෙ...හිකිස්..අයියෝ ඒත් මකර අධිරාජ්‍යයා මකර නෙවෙයිනෙ... :D

    අන්න ඉසාරත් බටර් පාරක් ගාලා...ඒ නිසා ඔන්න මකර ලියන්න හොඳේ... :)))

    ReplyDelete
  42. බොහොම තැන්කු මාර අයියේ මුලින්ම සිංහ ලග්නේ ගැන කිව්වට...මම දැනගෙන හිටියේ නෑ නේ මෙච්චර කල් හෙනහුරා මට වද දීලා කියලා :-|

    ReplyDelete
  43. මමත් සිංහ.
    එක දිගට සෙනසුරු ඒරාශ්ඨක කාලය අවුරුදු 20 ගෙවල ඉවර වෙනව. පටන්ගත්තෙ අශ්ඨම හා රවි ඒරාශ්ඨකයෙන්. ඊට පස්සෙ ඒක ඒරාශ්ඨක 03ක් වුනා. අශ්ඨම, රවි හා ජන්ම ඒරාශ්ඨක. ඒ 03නම ඉවර වෙනකොට ලග්න ඒරාශ්ඨකය. දැං ඒකත් ඉවරවෙනවලු මාරය කියන විදියට.
    ඒ උනත් මාරයෝ කො‍ටු පනින වයසක ලොක්කා මාව දාල යන්න නම් කිසිම බලාපොරොත්තුවක් නෑනෙ. 2010 ජනවාරි ඉඳල සෙනසුරු මහ දසාව පුරා වර්ශ 19 යයිලු. මගෙ මුලු ජීවිත කාලෙම සෙනසුරා එක්කම තමයි ඉන්න වෙන්නෙ.
    හපෝයි වෙලා තියන දේ. මාර මලයෝ මම නම් ප්‍රාර්ථනා කරන්නෙ ලබන ආත්මෙදිවත් සෙනසුරා නැති කේන්දරයක් ඇතිව ඉපදෙන්න කියලයි. මොකද මම මෙ ආත්මෙ ඉපදිලා තියෙන්නෙ සෙනසුරු ඒරාශ්ඨක 03කින්ලු.

    මම මිගාර

    ReplyDelete
  44. මමත් මකර නේ ...මේ 15 හරියටම ලොකු නඩුවක් තියෙනවා මටත් ..ඇත්තටම මකරට සුබ වේවිද?..
    කුරුමිනියා.

    ReplyDelete
  45. @ මකුළු පැංචි

    මකර අධිරාජයා මකර ලග්නෙ නොවුනට මූණු සයින් එක (Moon Sign) . ඒ කීවේ චන්ද්‍රයා ඉන්නෙ මකර කොටුවෙ. ඒක තමා ලග්නෙටත් වඩා වැදගත් එක. නේද මාරයෝ ???

    ReplyDelete
  46. "....ඒ කාලය වෙන්නේ දෙදහස් දොලහේ මැයි මාසේ දාසය වෙනිදා ඉඳලා අගෝස්තු හතර වැනිදා වෙනකල් කාලේ තමා.. .. ඒත් ඒවා ගැන විස්තර ඒ කාලේ කිට්ටු වෙනකොට කිව්වම මදෑ..."

    ඒ අනුව අර 500 න් ඉවරකරන කතාව ගැන වැඩිය කලබල වෙන්න ඕන නෑ වගේ.

    ReplyDelete
  47. හලේ ලිය ලිය හිටපු මකර විස්තරේ දාන්නකෝ...බහුතර ඉල්ලීමනේ අය්යේ.
    දන්නා තරමින් මගේ හෙනහුරා ඉන්නේ 10 ද කොහෙද. එතකොට මොකද වෙන්නේ කියල චුට්ටක් කියනවනම් එල

    ReplyDelete
  48. ඔය වෙන නමක් දාලා හැන්ගුවාට අර හන්දියේ සනී නේද ? මන් දනන් හිටියා ඕකා අඩවුවක් අල්ලයි කියලා කරක් ගගහ හිටි හැටියට..

    ReplyDelete
  49. ජරාවක් දීල ඔය ග්‍රහයො කට්ටිය ඕනෙ වෙලාවට කොටුව පන්න ගන්න බැරුද ??

    ReplyDelete
  50. මෙන්න මේ එක්කෙනෙක්ගෙ මල කරදරේ මීන ලග්නෙ ගැන දාන්න කියල. පුලුවන්නං ඒකත් දාපං බං.

    ReplyDelete
  51. @අලුත් කොල්ලා...

    මොන පිස්සුද බං එහෙම ඇද ඇද ලිව්වොත් අවසානෙට බාගයක්ම ඉතිරි වෙද්දී මම මේ ගැන ලියන එක නවතී.. එක පාර දෙක තුන දාලාවත් ගොඩ යන්ටයි හිතුවේ..ඒ කලත් අන්තිමට දෙකක්වත් අතෑරෙන වගනං මං දන්නවා..

    @Praසන්ன...

    ඔය බොට උනා වගේද..? හික් හික්...

    @සුසන්ත...

    අපි බලමු තව ඉස්සරහට කාට කාට හොඳයිද කියලා...

    @Chanaka Aruna Munasinghe...

    ඔව් ඔව් මකරට මොකුත් වෙන්නේ නැහැ..ඒත් ලංකාවට ආව ගමන් එල්ලනවා හෝටලේක බෝඩ් එහෙක...

    @හසී...

    ආන්න ඒකනේ...

    @ලොකු පුතා...

    උඹලා ලියහල්ලා කියනවා..අන්න අර මකරා එපා කියනවා.. ඒ කොහොම උනත් ආන්න දැන් ඒකත් ලියලා දාලා තියෙන්නේ..

    @ඉෂාර ගුනවර්ධන...

    ආන්න එහෙම වරෙං...තව ඩිංගෙන් අනිත් මකරුන්ගෙන් බොලා අහගන්නවා හොදි නැති වෙන්නම... ආන්න දාලා ඇති බලහං මලේ...

    @මකුළු පැංචි...

    අන්න දාලා ඇති විස්තරේ...

    @සයුරි...

    ඒ කියන්නේ වද දුන්නේ නැතිවද..? නැත්තං වද දුන්නේ මොකාද කියලා නොදැන හිටියද..?

    @මිගාර එහෙම යෙදෙන්නේ කෙනෙකුට කලාතුරකින්.. ඒත් එහෙම යෙදෙන කෙනා එක පැත්තකින් බලවත් වෙනවා..විශේෂයෙන්ම ආත්ම ශක්තිය අතින්.. ගුඹුරු දැනුමෙන්.. ලෝකය ගැන යථා අවබෝධයෙන් සපිරි තත්වයකට පත් වෙනවා. මොකද එහෙම අයට ජීවිතේ හුගාක් ගැඹුරෙන් දැනෙනවා... ඒ හින්දා එක පැත්තකින් වද දෙන ගගමන් අනිත් අතින් සාමාන්‍ය සමාජයේ දකින්න දුර්ලභ ශක්තිවන්තයින් බිහි කරවන්නත් සෙනසුරුට හොඳ හැකියාවක් තියෙනවා.. හැම වෙලෙම නරකක් එක්ක එන හොඳක් තියෙනවා.. ඒත් ඒක හදුන ගන්න හැමෝටම ලේසි නැහැ... ස්තූතියි කාලෙකින් ආවට...

    @කුරුමිනියා...

    මල්ලි නඩුවක් නං හොඳට ඒක ගැන විශේෂ අවධානය යොමු කරන්න වෙයි.. කෝකටත් ඔයා ඔය නඩුවට වෙන දේ මට කියන්න..මොකද මටත් දැන ගන්න ඕන කරුණු එතන තියෙනවා...

    @මකරා...

    ඔව් චන්ද්‍ර කේන්ද්‍රයත් බොහෝම වැදගත් දෙයක් මේ සිල්පෙදි.

    @අමා...

    අන්න දාලා ඇත්තේ.. අමාට වයස 30කට ආසන්නයි නේද..? ඔය අහලා තියෙන පුරස්නේට අතනදී උත්තරයක් දෙන්නං..මට අමතක උනොත් මතක් කරන්න...

    @සරත් ලංකාප්‍රිය...

    ඔය ඉන්නේ දන්න අඳුරන අනිත් යාළුවෝ ටික...

    @පොඩි මෑන්...

    ම්හූ..අම්මේ මුත්තේ කිව්වත් උන්දලා නෙවෙයි ඔය ජරාවට යටවෙන්නේ...

    @Praසන්ன...

    බලමු.. දැනටමත් ඊ ළග ලිපියට ඇවිත් තියෙන කමෙන්ට්වල වැඩි හරියක් මීන ඉල්ලන වගක් පේනවා.. ඒක එහෙමම උනොත් ඒක දෙන්නං ඊ ළගට...

    @Geethika Dilruk...

    ආන් ගෙහුන් බලන්ට ඊ ළග අංසේ...

    ReplyDelete
  52. ශනි මාරුව ඒ ඒ ලග්නවලට බලපාන්නේ මෙසේය

    මේෂ ලග්නය - ශුභයි. අනුන්ගේ ආධාර උපකාර බොහෝ ලැබේ. විවාහ සහකරුට ද ශුභයි. රැකියා කටයුතුවල විශේෂ ප්‍රගතියක්‌ ඇතිවේ. විවාහ අපේක්‍ෂ කරන අයගේ විවාහ සිදුවේ. සතුරන් මර්දනය කෙරේ.

    වෘෂභ ලග්නය - රෝගවලින් සුවය ලැබේ. රහස්‌ සතුරු කරදරයන් නිමවේ. ණය වලින් මිදිය හැකි වේ. තමන්ගේ බලය පෙරට වඩා වැඩිවේ.

    මිථුන ලග්නය - මුදල් ආයෝජනය කර කරන ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දරුවන්ගේ කටයුතු දියුණුවේ. ඉගෙනීම සාර්ථක වේ. පෙරපින වාසනාව උදාවේ. ලොතරැයි ජය ලැබේ.

    කටක ලග්නය - කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට බොහෝ ශුභයි. වතු පිටි පිළිබඳ දියුණුවක්‌ ලැබේ. පැරණි උරුමකම් තහවුරු වේ. මව් පියන්ගේ දේපළ තමන්ට ලැබෙන කාලයකි.

    සිංහ ලග්නය - උත්සාහය, ධෛර්ය වැඩිවේ. අසල්වාසීන් හා සහෝදරයින්ගෙන් වෙනදාට වඩා සහයෝගය ලැබේ. විවාහ අපේක්‍ෂකයින්ගේ බලාපොරොත්තු සාර්ථක වේ. බාල සහෝදරයින්ට ශුභ කාලයකි.

    කන්‍යා ලග්නය - මෙතෙක්‌ පැවති ඒරාෂ්ඨක අපල කාලය බොහෝ දුරට නිම වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. තැන්පත් ධනයත් ඉතිරිකර ගැනීමට හැකි වන්නේය. කලක්‌ පැවති අසනීප සුව අතට හැරෙනු ඇත.

    තුලා ලග්නය - ලග්නයේ ශනි උච්චවීම ශුභයි. ගේ දොර ඉඩ කඩම් පිළිබඳ විශේෂ දියුqණුවක්‌ ඇතිවේ. අලුත් නිවාස ඉදිකර ගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කටයුතු සැලසේ. ව්‍යාපාර වලින් ලාභ ලැබේ.

    වෘශ්චිත ලග්නය - ලග්නයේ රාහු ගමන්කරන නිසා තරමක්‌ දුරට ශුභඵල හීන කරයි. ධෛර්යෙන් කරන කටයුතු අන්තිම මොහොතේ සාර්ථකවේ. විදේශ ගමන් අපේක්‍ෂා කළ අයට එම බලාපොරොත්තු සාර්ථක වේ.

    ධනු ලග්නය - ආදායම් මාර්ග ඉහළ යයි. අලුත් මිතුරන් ඇතිවේ. උසස්‌ අයත් ඇසුරට පත්වේ. උත්සාහය, ධෛර්ය ඉහළ යයි. රැකියා අංශවල ප්‍රගතියක්‌ ඇතිවේ.

    මකර ලග්නය - රැකියාවේ උසස්‌ වීම් ලැබේ. උසස්‌ අයගේ මෙන්ම කනිෂ්ඨ සේවක පක්‍ෂයේද විශේෂ සැලකිළි ලැබේ. දේශපාලනයේ යෙදෙන මකර ලග්න හිමියන්ට විශේෂයෙන් සුබයි.

    කුම්භ ලග්නය - පෙර තිබූ ඒරාෂ්ඨක අපලය නිමවෙනු ඇත. වාසනාව, භාග්‍යය, පෙරපින උදාවේ. ආගමික අංශයට විශේෂ නැඹුරුවක්‌ ඇතිවේ. ශුභයි.

    මීන ලග්නය - වැය පක්‍ෂය අධික වේ. අන්තිම කැමැත්ත මත ධනය ලැබෙන කාලයකි. ශනි 8 ගමන් කිරීම නිසා තරමක්‌ අපලයි.

    කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත් (දිවයින පත්තරේ)

    ReplyDelete
  53. ඔන්න මාරයා රූට රූට එක එක කියනව බලන් ඉන්න බැරි හදිස්සි කාරයන් වෙනුවෙන් මම පොඩි කොප්පක් ගැහුවා :)

    ReplyDelete
  54. dhanu laknaya gena kiyanawada

    ReplyDelete