08 November 2011

අපි නොදන්න ඉඹුල් කිරිබත්...


මාර සරණිය වේලෙනවා නෙව.. ඒ හින්දා කෙටියෙන් නමුත් මේක ලියලා දාන්ට හිතුනා... මේ ඇවිල්ලා කෑමක් හදන හැටි තමා.. කෑම නැතිව ඉතිං මාර සරණියේ වෙන අහවල් එකක් දාන්ටයෑ..නේද..?

ඇත්තටම මේක මං ඊයේ හදිසියේ හදපු දෙයක්...ඒ විතරක් නෙවෙයි මීට කලින් කවදවත් හදපු දේකුත් නෙවෙයි... ඔයිට කලින් එකම එක වතාවක් මං මුං ඇට කිරිබත් හැදුවා.. ඒකනං හොදට තිබ්බා.. ඒත් කිරිබත් විතරක්ම හදලත් නැහැ.. ඒ මදිවට පැණිපොල්..කන්ට ආසා උනාට ඒක හදලත් නැහැ...

ඒත් මේ ළගකදී ඉඳන් මට ඕක හදන්ට උවමනාවක් තිබ්බා...ඒත් ඉතිං කෙරුනේ නැහැ... කොහොම හරි ඊයේ හදිසියේ කොළඹ යන්ටත් තිබුන හින්දා මං ඕක හදන්ට තීරණය කලා...

හිතුව තරං නරක නැහැ වැඩේ හොඳටම ආවා... ඒත් කාපු කෙනානං කිව්වේ තව කිරි මදි කියලයි... මටත් ඒක හිතුනා මොකද මං කිරිබතට කිරි එකතු කරන කොට ටිකක් පරිස්සං උනා..ඒකට හේතුව ගෙදර තිබුන පොල් ගෙඩිය ටිකක් වේලිච්ච පොල් ගෙඩියක්... වෙලිච්ච පොල්වල තෙල් ගතිය මතු වෙයි කියලා බයට ටිකක් පරිස්සමට තමා වැඩේ කලේ.. අනික ඉස් ඉස්සෙල්ලාම කරන වැඩේ අනාගන්නත් බැහැනේ... ඒ හින්දා කොයි කොයි කරණාව ගැනත් සැලකිල්ලෙන් තමා වැඩේ කලේ... හැබැයි ඉතිං කිරි බබාලට කොච්චර කිරි දාලා හැදුවත් හරියයිද මංදා...:D

ඉතිං දැන් කියඤ්ඤං හදන හැටි.. මේකත් නිකං බිත්තර තම්බනවා..පපඩම් බඳිනවා වගේ හරි අමාරු වැඩක් හො‍ඳේ...

හැබැයි තවත් එක දෙයක් තියෙනවා මේක හදන්න ඒ හැටි දේවල් ඕන නැහැ..හරියටම කිව්වොත් ජාති දෙකය් ඕන.. ඒ තමා

1.කිරිබත්
2.පැණි‍පොල්

පැහැදිලියි නේද..? දැන් ඉතිං කිරිබත් හදන්න දන්නේ නැති අයට මං ඒක කරන හැටි කියන්නං... ඔය කිරිබත් හදන්න දක්ෂ උදවිය ඒ ගැන වෙන වෙන අදහස් මතවාද හා අත්දැකීම් තියේනං ඒවා විස්තර කරලා දාන්න මොකද ඒක මට වගේම අනිත් අයටත් වටින කාරණාවක් වෙන්ට ඇහැකි හින්දා...

මුලින්ම කැකුළු හාල් තමන්ට අවශ්‍ය තරමට සෝදලා ලිපේ තියන්ට ඕන තැම්බෙන්ට..ඕක වතුරෙන්ම තම්බන්ටත් ඇහැකි..එහෙම කරන වතුරෙන් තම්බලා පස්සේ කිරි දාන අය වගේම..තනිකරම මිටි කිරිවලින්ම උයන අයත් මං දැකලා තියෙනවා.. ඒ කොහොම උනත් මංනං කලේ දිය කිරෙන් හාල් තැම්බෙන්ට තිබ්බ එක තමා...ඒ විතරක් මදි මේකට ලුණු ටිකකුත් දාන්ට ඕන...බත් එක තැම්බීගෙන එද්දී.. ඒකියන්නේ අමු ගතිය ගිය ගමන්ම වගේ ඒකට එකතු කලා මිටි කිරි... ඊට පස‍්සේ හොඳට කූරු ගාලා ගින්දර අඩු කරලා ටිකක් වේලෙන ගතියට එනකල් තැම්බෙන්න අරින එකයි ඇත්තේ.. ඒ වගේම අමතක කරන්ට එපා කිරි බතක් උනහම අඩිය පොඩ්ඩක් රොස් වෙන්ට අරින්නත් ඕන.. මොකද එහෙම කලාම තමා අපිට කිරිබත් දංකුඩ කියන වටිනා කියන රසම රස කෑම ජාතිය හදා ගන්ටත් ඇහැකි වෙන්නේ.. ඔය මොන කිරිබතටත් වඩා රසම එක ඒක තමා...:D

ඉතිං මේ විදියට අපිට පුළුවන් කිරි බත් උයා ගන්ට මේ තියෙන්නේ ඒ කිරි බත තමා ඕං...

හරි දැන් දෙවෙනි එක..ඒ කියන්නේ පැණිපොල්...

ඔය පැණි පොල් හදන්ට ගියාම මං හිතං උන්නේ ඇත්තටම සීනිවලට වතුර ටිකක් එකතු කරන්ට වෙයි කියලා පැණි හදා ගන්ට.. මං ඉතිං එහෙම හිතාගෙන වතුර කෝප්පෙකුත් ලගට අරං තියා ගත්තා.. ඒත් අපරාදේ කියන්ට බැහැ වතුර බිංදුවක්වත් ඕන උනේ නැහැ...

මං මුලින්ම කලේ ‍භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට ඒකට සීනි මේස හැඳි පහක් විතර දාපු එකයි.. මොකද මං කලින් අහලා තිබුනා සීනි ටිකක් දුඹුරු පාට වෙන්න බැද ගන්න වගේ ඕන කියලා...ඉතිං ඒකට තමා සීනි මුලින් දැම්මේ.. එහෙම දාලා ටිකක් ඒ මේ අත පෙරල පෙරල ඉන්නකොට සීනි ටික කර වෙලා රත්තරන් පාටට හැරෙනවා.. ඒත් එක්කම මං නොහිතපු දෙයක් වෙන්න ගත්තා.. ඒ තමා වතුර බින්දුවක්වත් නැතිව සීනි ටික උනු වෙලා පැණි හැදිච්ච එක... මට දැනුන සංතෝසයක්...හැබැයි මං පාවිච්චි කලේ අර නොන්ස්ටික් කියන භාජනයක්.. ඒ හින්දා ඕක උනාද මංදා.. ඒ හින්දා අනිත් අයත් ඒක කරද්දි වැරදිලාවත් සීනි නිකංම පැණි වෙන්නේ නැහැ වගේනං බය නැතිව වතුර ජුංඩක් දාන්න..හරිනේ...නැත්තං නොන්ස්ටික්ම පාවිච්චි කරන්න...

ඉතිංඑහෙම පැණි උනුවේගන එනකොටම ඒකට කරාඹු නැටි දෙක තුනක්.. කරඳුමුංගු ඇටයක්.. කුරුඳු පොතු කෑල්ලක් එහෙමත් දාලා ඊ ළගට ගා ගත්ත පොල් එකතු කරන්න පටන් ගත්තා...ටික ටික..එහෙම එකතු කරන ගමන්ම හොඳට හැඳි ගාලා කලවං කලා...පැණිවලට සෑහෙන ගානට පොල් එකතු උනා කියලා තේරුන ගමන් ගම්මිරිස් කුඩු ජුංඩකුයි ලුනු ටිකකුයිත් ඒකටම දාලා ආයෙත් හොදට කලවං කලා..එහෙමම ලිපෙන් බෑවා.. දැන් පැණි පොළුත් හරි.. මේ තියෙන්නේ...


ඉතිං ඔන්න ඔය ජාති දෙක විතරයි අපිට ඉඹුල් කිරිබත් හදන්න ඕන කරන්නේ..ඒකනේ මං කිව්වේ හරි පහසුයි කියලා...

ඊට පස්සේ තමා මේකේ අමාරුම වැඩේ තියෙන්නේ.. ඒ කියන්නේ කිරිබත් ගෙඩි හදා ගන්න එක..සමහරුනං ඕකට තෙත රෙදි කෑලි ගන්නවා.. තවත් සමහරු කෙසෙල් කොල ගන්නවා.. අනේ මංනං ඒ සුකුරුත්තං කරන්න ගියේ නැහැ..ගත්තා පුංචි හුරු බුහුටි අර නිකල් පාට කප් එකක්.. ඔය ඩෙසර්ට් කප් කියලා සිංහලෙන් කියන්නේ ආන්න ඒකක්.. දැම්මා කිරිබත් පොල් කටු හැදි බාගයක්.. පිත්තල හැන්දක පිට පැත්තෙන් ඒ කිරිබත් ටික කප් එකේ පතුලේ හොදට තුනීකලා..නිකං නෙවෙයි මැද්දේ ටිකක් වල වගෙත් හිටින්න.. ඊට පස්සේඒ වලට දැම්මා පැණිපොල් මේස හැන්දක්..ඒකත් කලින් වගේම පිත්තල හැන්දේ ආධාරයෙන් තුනී කලා.. මේ තියෙන්නේ බලන්ටකෝ...


ආන්න ඊට පස්සේ ආයෙත් දැම්මා කිරිබත් පොල් හැදි බාගයක් විතර ඒ පැණිපොල් වලට උඩින්...නැවතත් පෙර සේම පිත්තල හැන්දෙන් මට්ටම් කලා ටිකක් තද වෙන විදියට...දැන් හරි.. කෙලින්ම ඒ කප් එක පිඟානක් උඩට අනිත් පැත්ත හැරෙව්වා... කප් එකේ රවුං හැඩය නිසා කිසිම කරදරයක් නැතිව කිරිබත් ගෙඩිය පිඟාන උඩ... කිසිම අවුලක් නැහැ...එහෙම ගැල උනේ නැත්තං පොඩ්ඩක් උස්සලා ගැස්සෙන විදියට ගහන්න පිඟානට..හැබැයි පිඟාන බිදෙන්න එහෙම නෙවෙයි...


ඒ වගේම හැම කිරිබත් ගෙඩියක් ගානේම කප් එක හෝඳලා ගන්න එතකොට කිරිබත් කප් එකේ ඇලෙන්නේ නැහැ.. අපේ පරණ අයනං කරන්නේ කප් එකට අමු පොල් කිරි පොඩ්ඩක් ඉහින එක තමා.. මංනං ඒවා කරන්න ගියේ නැහැ.. ඒත් ඉතිං ඔය වැඩේ ආවේ ටිප් ටොප් එකට...මෙන්න බලන්නකෝ පැණි බේරි බේරි තියෙන අපූරුව...


ඔය ඉතිං ඉඹුල් කිරිබත් හදන එක විදියක්.. තව ඉතිං ඔය පැණිපොල් වෙනුවට හාල් මැස්සෝ තෙල් දාලා එහෙමත් දාලා හදනවා.. ඒකත් රසයි.. ඒත් මංනං ආස පැණි පොල් දාපු ඉඹුල් කිරිබත් වලට තමා ඕං...

දැන් අවසාන වශයෙන්මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි.... එකෙක්වත් අහන්න එපා කෝ මේකේ ඉඹුල් කියලානං...

52 comments:

  1. ඇත්තටම මාරයියේ කෝ මේකෙ ඉඹුල්.හික් හික්

    ReplyDelete
  2. ඇත්තටම මමනම් මේක හදනවාමයි . මොකද අපේ ගෙදර සුපිරි කිතුල් පැණි එකක් තියනවා . හදල බලන්න ඕන . රෙසිපියට ස්තූතියි ...

    ReplyDelete
  3. ඕක මාරයෝ පළාත් වල හැටියටත් වෙනස් වෙනවා. සමහර පැතිවල කරන්නෙ පොල් මැදට දාලා රෙදිකෑල්ලක් ආධාරයෙන් තදවෙන්න ටිකක් දිගටි හැඩේට ගුලියක් වගේ හදනඑක. තවත් පැතිවල හදන්නෙ ලේයර් කේක් එකක් වගේ.
    @Gimhani
    මම අත්හදා බලල තියන විදියට නං පැණි දැම්ම කියල විශේෂ රසයක් එන්නෙ නෑ. සීනි දැමීම හොදටම ප්‍රමාණවත්.
    (සුපිරි කිතුල් පැණිටිකට එවන්නද හොද මීකිරි හට්ටියක්:D)

    ReplyDelete
  4. මම මුදලාලි වෙන කාලෙට එක්කෙනෙක් මාව බලන්න එනවා කිව්වනෙ...මේකත් ඒ ලිස්ට් එකට හොඳේ....

    ReplyDelete
  5. මමත් හදල බලන්න ඕන.වැඩේ තියෙන්නේ මෙහේ හොද පොල් හොයාගන්න අමාර එක.

    ReplyDelete
  6. අපේ ගෙදරත් ඕවා හදන්නෙ කප් එකක් පාවිච්චි කරලා තමා.

    ReplyDelete
  7. මන් නම් කම්පනා කොරන්නෙ කවුද මේ ඉඹුල් කිරිබත් රස බලපු කෙනා කියලා...................:D :D

    ReplyDelete
  8. පොල් පැණි ටිකේ ලස්සන. ඒක විතරක් නිකන් කන්න හිතෙනවා.
    (මෙන්න බලන්නකෝ අයියේ වැඩක් අක්කා මුදලාලි වෙලා කන දේවල් දැම්ම තීරණය කරලා නේද)

    ReplyDelete
  9. පේන විදියටනම් නියම කෑමක් වගේ,අහලා තිබුනට ඉඹුල් කිරිබත් දෑක්කේ අදනොවෑ.....

    ReplyDelete
  10. කටට කෙල උනනව බං දැක්කම...D

    ReplyDelete
  11. අපෙ ගෙවල් වල හැදුවෙ කොළ පොතක් - ඒ කියන්නෙ පුවක් ගස් වල කොළය එක්ක වැටෙන අවාන වගේ කොටස කපල අරන පදන් කරල ගන්න හතරැස් කොළය - තමයි ගත්තෙ ඉඹුල් කිරිබත් හදන්න.. එතකොට එන හැඩය දිගටි පොල් ගෙඩියක් වගෙයි..ඒ වගේ ලොකු ඉඹුල් කිරිබත් ගෙඩියක් කෑවහම හොඳට ඇති බන්ඩි ගෙඩියට.. දැන් නම් අපි ගන්නෙත් කෝප්පයක් තමයි මාරයා වගේ !!
    හැබෑටම කවුද මලේ "කෝ මේකෙ ඉඹුල් ?" වගේ ගොන්, මෝඩ, නොසන්ඩාල පුරස්න අහන්නෙ ? එහෙම උන්ට මගෙත් බවලත් අප්‍රසාදය ! වැරදියිනෙ වැඩේ..

    ReplyDelete
  12. දැන් මේක කාල කිරි මදියි කිවුව කෙනා කවුද?

    ReplyDelete
  13. @cjgayan...

    ඕනැන්නැති පුරස්න අහන්ට එපා හරිය..:D

    @Gimhani...

    අප්පද බොල.. ආයේ ඉතිං කාලා මත් වෙන්ටම ඇහැකි...

    @රාජ්...

    ඔව් ඔව්..ඔය යටින් කියලා තියෙන්නේ කොළපත් ගැනත්..

    @දිල්...

    මල මඟුලයි..මගෙ හොඳ පණ යයි වගේ මුන්දැට දොල දුක් කෑම ඇඳලා..
    හාකෝ හාකෝ....මුලින් මුදලාලි වෙලා ඉමුකෝ බලන්ට...

    ReplyDelete
  14. අපිට මොන ඉඹුල්ද?. ඉඹුල් තියා නිකම් කිරිබතක්වත් නෑ.

    ReplyDelete
  15. @ashivanthi29...

    ඔය කිව්වේ කොයි දේසෙකද..?.. මොනවා උනත් කිරිබතට කඩේ තියෙන පොල් කිරි හෝ දියර එළකිරි ගතෑකි කිසිම අවුලක් නැතිව..එළ කිරි වලින් හදන කිරි බතත් හරි රසයි.. ඒ වගේම දිසිඳි පොල් වලින් පැණි පොල් එක ගොඩ දා ගතෑකි කියලා මට සෑහෙන ෂුවර් එකක් තියෙනවා.. අතාරින්ට එපා..

    @නිසුපා...

    මොනවද නගේ අපේ ගෙදර අපේ ගෙදර කියන්නේ.. නිකමටවත් කියහංකෝ "මං හදන්නෙත් ඔහොම තමා" කියලා... නැත්තං මේක බලන උන් හිතයි නගා කුස්සිය හතර මායිමේ යන්නේ නැහැ කියලා.. කාරණෘව එහෙම උනත් ඕක හැමෝම දැන ගන්න එක හොඳද මං අහන්නේ..?

    @නිශ්...

    නොදකින්... මූටත් හඳ නෙවෙයි බලන්න ඕන..ඇඟිල්ලමයි...

    @batti...

    ඇත්තම කියන්ට එපැයි... මාත් ආස ඔය පැණි පොල් නිකංම නෙලන්ට තමා.. කොහේද ඉතිං ඒ දවස්වල මහ උන්දලට හොරෙන් පැණි පොල් කෑවට දැන් එහෙම බැහැනේ..මංනේ ගෘහ මූලික...ඉවුම් පිහුම් බාර නිලධාරී තැන.. ඕවා නිකංම කාලා රහ නැහැ හොරෙන්ම තමා කන්ට ඕන...
    (අනේ මංදා උන්දා මොනවා දොඩවනවද කියලා)

    ReplyDelete
  16. මට නම් මේවා ඕන තරමක් කන්න පුළුවන්. වැඩිය හැදුවම අපිටත් කියන්න. යක්කල නෙමේ ඕනෙ දිහාකට එනවා.

    ReplyDelete
  17. @අසoක...

    මුළු පෝස්ට් එකම ලියපු මහන්සිය අන්න ඒ කීමත් එක්ක ගියා...මොනවා නැතත් ඒකම මදෑ...

    @Raj...

    උඹට ඕන තරං කෙල හලපං..ඕනනං ගිලපං..ඒත් දැන් මේවා කාලා ඉවරයි...හැක් හැක්...

    @Weni...

    "බවලත් අපසාදය" නේද..? අනේ වරෙං හරහට දාලා නලවන්න..හුහ්...

    @Praසන්ன...

    ඇයි මොකද කෙනා දැනගෙන උඹලත් ඉඹුල් කිරිබත් හදලා දෙන්ටද..?දුප්...

    @Missaka...

    ඉඹුල් කිරිබත් පැත්තකට දාහං මලයා..පොඩ්ඩක් කොමෙන්ට් ටික කියවහං.. මොනවා හරි අමුත්තක් පේනවද කියලා බලන්ටත් එක්කලා...

    ReplyDelete
  18. @වෙද ගෙදර මහ වෙදනා...

    ඒක කිව්ව තාලෙට මට මතක් උනේ අර ඉස්සර කිස්ට් ඇඩ් එකක් යන්නේ.."කට්ලට් නං සීයක් උනත් කතෑකි" කියලා... ආන්න ඒක...

    කලින් කිව්වනං ඊයෙම සප්ලයි කරනවනේ...

    ReplyDelete
  19. අන්න මාරය්යගෙ ඉඹුල් කිරිබත් කාපු එක්කෙනාට බඩේ ගාය හැදිලලු අපි කෙල ගිලලා

    ReplyDelete
  20. කෙල ගිලේ :/
    මමත් හදනව හිටුකෝ

    ReplyDelete
  21. මාරේ අයියේ... පොල් පැනි හදද්දී අපි නම් සීනී ටිකක් කර කරලා වතුර පොඩ්ඩකුත් දානවා... පැණි පොල් එකට ගම්මිරිසුත් දානවැයි... මම කලින් නම් එහෙම අහලා නෑ. කරලා බලන්න ඕන... මම හිතන විදියට ඉඹුල් කිරිබත් කියන්නේ අපිටම ආවේනික ආහාරයක්... එහෙම නේද ?

    දන්නා ඇත්තෙක් ඉඹුල් කිරිබත් කියන්නේ මොකෑ කියලා පැහැදිලි කොරා නං !!!

    ReplyDelete
  22. කිරිවලින්ම තැම්බෙන්න තිබ්බනම් මරු කිරිබතක් හැදෙනව.ගොඩක් රහයි එතකොට.මෙහෙම හදනකොට ඇයි ඉඹුල් කිරිබත් කියන්නෙ."ඉඹුල්" කියන්නෙ මොකද්ද?ගස් ජාතියක්ද?

    ReplyDelete
  23. ඉඹුල් කියන්නෙ මරයාගෙ ජාතික වෘක්ෂය "කටු ඉඹුල " වෙන්න ඇති !

    ReplyDelete
  24. මචං . . ලබන අප්‍රේල් 21වෙනිදට ඉඹුල් කිරිබත් උඹ ගානෙ . . . . අපේ ගෙදර ඇවිත් හදනවද . . .??? නැත්තං හදාගෙන අපේ ගෙදර එනවද . . . ???

    ReplyDelete
  25. අර කිරිබත් දංකුඩ තමයි මගේ සිත ගත් කෑල්ල....

    ReplyDelete
  26. @Gimhani...

    පික්ෂුනං කියවන්ට එපා..එයා හිටියට වඩා හොඳින් ඉන්නවා...

    @නදී...

    අනේ මංදා කවුද මංදා මේ දවස්වල ආහාර පාලනය කරනවා කියලත් කොහේද මංදා තිබුනා...හැක් හැක්...

    @Chathuranga Perera...

    ඔව් මල්ලි මාත් හැදුවේ වතුර ඇබින්දක් දාන්ට තමා..ඒත් මෙන්න බොලේ නිකංම උනු වෙලා ආවා පැණි ටික.. මං කල්පනා කොලා ආයේ මක්කටෙයි ඕකට වතුර එක්කාසු කොරලා පැණි බාල කරන්නේ කියලා...

    ගම්මිරිස් ඇබින්දක් දාන්ට ඕන මලේ.. එතකොටයි පැණීපොල්වල නියම කොලිටිය එන්නේ.. හරියට අර අග්ගලා වලට දානවා වගේ..

    මාත් හිතන්නේ මේකනං අපේම කෑමක් තමා...

    මේ නම ගැනනං මං මුකුත්ම දන්නේ නැහැ ඕං..

    @නදී...

    ඉඹුල් කියලා ගහක්නං තියෙනවා..ඒත් ඒ ඉඹුලෙයි මේ කිරිබතෙයිනං සම්බන්ධයක් නැහැ මං හිතන්නේ.. ඔව් ඊ ළග පාරනං කිරි වලින්ම උයන්ට තමා කල්පනා කලේ.. ආයේ ඒකේ දෙකක් නැහැ...

    @Weni...

    පොඩ්ඩක් හිටිං ඇහැකි වෙච්ච ගමන් තෝව නංගනවා ඕකේ...

    @ඕනයා...

    ඇයි බං ලබන 21ක ආච්චි ලමිස්සිවත් වෙනවද බොලාලයි අහ..?

    @Ashieee...

    අන්න රස අඳුරන අය... පොඩ්ඩක් හෝව්..මේ මෙයානේ..මං ඒත් බැළුවා කවුද කියලා...

    ReplyDelete
  27. ඒත් කාපු කෙනානං කිව්වේ තව කිරි මදි කියලයි...

    ඒ කෙනා කව්ද බන් අයියේ ??

    මෙන්න මේ වගේ හදා ගන්න පුළුවන් කෑමක් කරමේත් එක්ක දානවනම් අපිත් සතුටුයි නෙව....

    ReplyDelete
  28. මාරයියෙ.. ඕකෙ ඔරිජිනල් ශේප් එක ඉඹුල් ගෙඩියක් (අර පුළුන් ගස් කියල කියන්නෙ) ඒ වගේ දිගටියි.. ඒකයි නම..ඉඹුලක් දා ගත්තනං එලේ එල.. සීනි සම්බෝල දැම්මම තමයි මටනං පංකාදු..උම්බලකඩ කාරිය දාල..

    ReplyDelete
  29. දැක්ක ගමන් මට බඩගිනි උනා..ගියා...කෑවා..කෙහෙල් ගෙඩියක්

    ReplyDelete
  30. මාරයියත් දන්නා දේවල් ......... මගෙත් ආසම කෑමක් තමයි ඕක.

    ReplyDelete
  31. මේක මම පොඩි කාලෙ අපේ ගෙදරත් හදල තියනවා.අපේ අම්මලගෙ ගමේදි.නමුත් හැඩය මේ වගෙ නෙවෙයි.ඉඹුල් ගෙඩියක් (පුලුන් ගෙඩි) වගේ දිගටියි.මේකට ඉඹුල් කිරිබත් කියන්නෙ ඒ හැඩය නිසා.මේකට ඉඹුල් දාන නිසා නෙවෙයි..:D

    ReplyDelete
  32. කිරිබත් දංකුඩ නම් මම ලෝකෙන්ම කාලතියෙන කෑම වර්ග වලින් ඉහලින්ම තියෙන කෑම වලින් එකක්...

    ඉඹුල් කිරිබත් ක්ලැසික් වර්ශන් එකනම් අර කොලපතෙන් හදන දිගටි එක තමා... ඒත් ඉතින් දැන් කාලෙ ඕව කොහෙන්දැ...

    තව දින කීපයයි මාර සරණියට ඇඹරෙන්නෙ...

    ReplyDelete
  33. දිල්ට හරි වගේ.. :P

    ReplyDelete
  34. යාන්තන් ඇති කේන්දර බැලිල්ල නවත්තල.

    ඉඹුල් නරක නැහැ, හාල්මැස්සෝ ළුනු එහෙම තෙල් දාල හදන එක තමා නියම (හදිසියට බයිට් එකටත් එක්ක)

    ReplyDelete
  35. ඉඹුල් කිරිබත්...මම මේව හදනව දැක්කේ ටී වී එකේ.. ඒක නම් හක්ගෙඩියක් වගේ තිබුනා..දැන් නම් මේවා හදල කන්නම ඕන වගේ..

    මාරයියා හේදුවේ කැකුලු හාල් නේද .. මේවා කොහොමද සුදු උනේ..

    ReplyDelete
  36. @නිශ්

    කාපු කෙනා දන්නවා...ඒත් කියන්නෙ නෑ... :P

    @Missaka

    අපෝ..මාරයියට කෑම හදන්න එන්න දැම්ම වද දෙන්න හොඳ නෑ...මාරයියා පව්..තව කෑම ජාති හදන්න පුළුව්න්න උනාට පස්සෙ තමා..නැත්තම් ඊට පස්සෙ හදන ඒවා මට මිස් වෙනවනෙ... :P

    ReplyDelete
  37. කෑවා මදිවට පෝස්ටුත් දානවට තොට බඩම පලයන් . .

    ReplyDelete
  38. කිරිබත් තම්බනකොට එනසාල් දාන්නෙ නැද්ද? :P

    ReplyDelete
  39. @පිස්සා පලාමල්ල...

    ලේසියෙන් ගොඩ යන දෙයක් කියා දුන්නමවත් ඕන නැති පුරස්න අහ අහ ඉන්නේ නැතිව හදලා කාහං...

    @වැම්පයර්...

    අඩේ පුළුන් ගස්වලටද ඉඹුල් කියන්නේ...ඒත් බං අපේ පැත්තේ ඕකට කියන්නේ කොට්ට ගස් කියලා.. ඉඹුල් කියලත් වෙනම ගස් ජාතියක් තිබ්බා... ඒකත් මෙලෝ වැඩක් ඇති ගස් ජාතියක්නං නෙවෙයි.. ඒත් එකේ ගෙඩිනං මට ඒ හැටි නිච්චියක් නැහැ.. කොහොම උනත් පුළුන් ගෙඩි හැඩේට තමා ඔරිමජිනල් ඉඹුල් කිරිබත් හදන්නේනං.. හරියටම කිව්වොත් හක් ගෙඩියක් වගේ...

    @Niroshan...

    යකෝ මේක බලලා කෙහෙල් කාලා ඇති වැඩක් තියේයෑ..?

    @රොකියා...

    බොලා දැක්ක කල්..?

    @ඇනෝ-1...

    ඔව් ඔව් ඔහොම කතාවක් ඔය අපේ වැම්පා මාස්ටරුත් කිව්වා... ඇත්ත වෙන්ටෑ තමා...

    @සපතේරු උන්නැහේ...

    හරි හරි ලගදිම ලංකාවට අඩිය ගහනවා වගේ නේ..?

    @Missaka...

    ආයෙත් අහලා..ඇප නැහැ...

    @Observer...

    කොහේද ඉතිං වන්දනාවේ ගියත් බොන්ට දඟලන එකාලට මොන මගුල හැදුවත් බයිට්...සික් ඉතරක්...

    @පබලු...

    ඉතිං නගේ අපි කැකුළු හාල් කියන්නේ ඕවට තමා.. තව ඉතිං අර රතු කැකුළු කියලත් ජාතියක් තියෙනවා.. මේක සුදු කැකුළු.. සුදු කැකුළු මිස මංනං රතු කැකුළු වලට ආස නැහැ...රතු කැකුළු තියා රතු හාලේ කිසිම බතක් මට හරියන්නෙම නැහැ...

    ReplyDelete
  40. @දුකා...

    හූ.......

    @නලිනි...

    කහ බත් හදනකොටනං දානවා... මෙයා දෙක පටලෝගෙනද මංදා...:D

    ReplyDelete
  41. පැණි පොල් ටික් විතරක් කන්න හිතෙනවා.. මමත් ආසම කෑමක් තමයි මේ...

    ReplyDelete
  42. මං කියල දෙන්නම් බොලාට නියම ඉඹුල් කිරිබත් හදන හැටි. අපේ පළාතෙ නම් කොරන්නෙ මෙහෙමයි ඕං.
    කිරිබත් සහ පොල් පැණි නම් ඉතින් මාරයා කියාපු විදිහට හදාගන්න හැමෝම දන්නව වගෙ. [හැබැයි .. සීනි දාල හදන පොල් පැණියි ... නියම කිතුල් පැණි දාල හදන පොල් පැණියි කිට්ටු කරන්න බෑ පුතෝ]
    දැන් ඔය හදා ගත්තු කිරිබත් සහ පොල්පැණි ගුලි කරගන්න ඕන. මාරයගෙ කරමෙත් වැරදි නෑ. නමුත් නියම කරමෙ මේකයි.
    අපේ පළාත්වල තියෙනව පුවක් කියල ගස් ජාතියක්. එව්වයෙ හැදෙනව ... ගෙඩි නෙමෙයි .. [ගෙඩිත් හැදෙනව ඇති. එව්ව මෙතෙන්ට වැදගත් නෑ] කොලපත් කියල ජාතියක්. ටිකක් කල් ගියාම ඒව වේලිල වැටෙනව .. හරියට මේ කොළඹ පොල් ගස්වලින් පොල් අතු වැටෙන්නැහෙ. ඔය කොලපත් නුවර එවුන්ට හරිම ප්රයයෝජනයි. කොලපත් පදිංට [එකෙක් කොලපොතේ ඉඳගෙන ඉත්දි තව එකෙක් නැට්ටෙන් අල්ලල ඇදගෙන යනව .. හරියට කරත්තයක් ඇදගෙන යනව වගේ.] පස් අදිංට... එතකොට ඔය කුස්සියෙ බිම වතුර කළගෙඩිය තියංට .. ඈත ගමන් බිමන් යනකොට බත් බැඳගෙන යංට .. තෙලිජ්ජ .. රා .. වගේ එව්ව ගෙනියන්ටත් ඕක ගොට්ටක් වගෙ හදාගෙන පාවිච්චි කොරනව. රා පැහෙන්ට පඳුරක් අස්සෙ හංගන්නෙත් කොලපත් ගොට්ටක තමා. ඔය ආදී මෙකී නොකී වැඩ හැට හුටාමාරක් කරගැනීමට කොලපොත වුවමනා වෙනව. ඉතින් ඔය කොලපොතේ පිට තියෙන ගොරෝසු පොත්ත සූරල දැම්මම.. ටිකක් තුනී නැමෙන සුලු ගතියක් එනව. බත් බැඳන් යන්නෙත් ඒවයෙ තමයි. පැණි එහෙම දාල දුම්මැස්සෙ එල්ලල තියන්නත් බාවිතා වෙනව.[දැන් අහන්න එපා දුම්මැස්ස කියන්නෙ මොකක්ද කියල] පැණි පට්ටෙ කියන්නෙ ඒකට තමයි.
    ඉතින් ඔය කොලපොත සුද්දකරල අරගෙන ඒකට කිරිබත් ටිකක් දාල තුනී කොරනව. ඊට පස්සෙ පොල්පැණි ටිකක් මැදට වෙන්ට තියනව. ඊට පස්සෙ දෙපැත්තෙ කොන් දෙකෙන් අල්ලල අඹරනව. [තදින් නෙවෙයි.. හි හි .. කිරිබත් තද දෙයක් නෙවෙයිනෙ] එතකොට අර ඇතුළෙ තියෙන පොල්පැණි ටික මැදි වෙලා වටේට ලස්සනට කිරිබත් එතෙනව. ඇඹරිල්ල අත ඇරියම තරමක් ලොකු ලැවරිය එකක් වගේ කිරිබත් ගෙඩිය පෙනෙනව. දෙකොන උල් සහිත මෙය ලස්සන කොට්ට ගෙඩියක් මෙනි.ඇතුලෙ පොල්පැණි තියෙනව. ඔය විදිහට තමන්ට ඇවැසි ප්ර මාණයක් හදාගන්න පුලුවන්.කිරිබත් ගෙඩියෙ සයිස් එකත් තමන්ට ඕන විදිහට ලොකු හෝ පොඩි කරගන්න පුලුවන්.
    හැබැයි පැරැන්නො නම් ලොකු කොට්ට කිරිබත් ගෙඩියක් තමයි කෑවෙ. ඒ කිව්වෙ කිලෝ එකක විතර එකක්. කිරිබත් ගෙඩි දෙකකට වග කියල උදේට [ මේ කෑම වැඩියෙම හැදුවෙ උදේ කෑමට] කුඹුරට බැස්සම දවල් ඇඹුල ගේනකම්ම එක දිගට කුඹුර කොටන්න පුලුවන් කියලයි අපේ ලොකු අත්තල එහෙම කිව්වෙ. ඒ තරම් ගුණ පණ ඇති කෑමක් තමයි ඕක.
    ඒ වුනාට මේ කොළඹ එව්වොන්ට නම් කිරිබත් [පැණිපොල් දාල හරි නැතා හරි] කෑවම දවසම නිදිමතයිලු කියල මං අහල තියෙනව.
    ඔන්න දැන් ඉඹුල් කියන නම ලඟට ආව. කමෙන්ට් කරපු දෙන්නෙක් විතර කිට්ටුවටම ආව.
    ඇත්ත කාරණේ මේකයි. ඔය කිරිබත් ගෙඩිය හැදුවට පස්සෙ එහි පෙනුම හරියටම කොට්ට ගෙඩියක හැඩේ ගන්නව. කොට්ට කියල කියන්නෙ අර පුලුන් හැදෙන ගස් ජාතියට. අපි නිදාගන්න කොට්ටවලට දාන පුලුන්... [කපු පුලුන් නෙවෙයි] අපේ පළාතෙ කොට්ට කිරිබත් කියන්නෙ ඒකයි. ඔය ගහටම තමා මේ පැතිවල ඉඹුල් කියල කියන්නෙ. ඉඹුල් පුලුන් ගහේ ගෙඩියක හැඩේ ගන්න නිසයි ඉඹුල් කිරිබත් කියන්නෙ. නැතුව කිරිබත්වල ඉඹුල් තියෙන නිසා නෙවෙයි.

    ReplyDelete
  43. hari hari marayye mama lagadima enawane.mata mekath hadala dennako :D

    ReplyDelete
  44. ඔය කිරිබත කන්න දුන්නේ කාටදැ

    ReplyDelete
  45. ඩෙසර්ට් කප් කියලා කියන්නෙ සිංහලෙන් නම්, ඩෙසර්ට් කප් එකට ඉංගිරිසීයෙන් කියන්නෙ කොහොමෙයි? :O)
    කොහොම උනත් ඉඹුල් කිරිබත නම් ටොප්!

    ReplyDelete
  46. අපේ හාමිනේ කිරිබත් කන්ට රුසියා. මේ සුමානේ කිරිබත් ඩයට් එකට ඉඹුල් කිරිබතක් හදන්න යෝජනාවක් දාලා බලන්ට ඕනා.

    ReplyDelete
  47. මේක ඇවිල්ලා හොට්ඩෝග් මොඩල් එකේ එකක්...ඔරිජිනල් එක ඇවිල්ලා ඉඹුල් ගෙඩිය වගේ.....එළ එළ ...

    ReplyDelete
  48. මාර මහතාණෙනි,මගේ පණ්ඩිත කට ඇරීමට අවසර දෙනු මැනවි.ඉඹුල් යනු අර කොට්ට වලට දමන පුළුන් ලබාගන්නා ගෙඩි වර්ගයයි. ඔය කෑම ඉස්සර හැදුවේ පුවක් කොලපුවල ඔතා ඉඹුල් ගෙඩියේ හැඩය ලැබෙන පරිදි නිසා ඉඹුල් කිරිබත් යැයි ව්‍යවහාර කෙරේ.

    ReplyDelete
  49. සමපෝශ වලට වඩා මේවා හොඳ නොවැ,කාපු කෙනා සමපෝශ පැත්තකින් තියයිද දන්නෙ නෑ.
    අපිත් ඉන්නෙ ඔය කොලඹ කිට්ටුවම තමා ඕං, ඔය ආපු දිහෑ ඉඳං කිලෝමීටර 2ක් විතර මෙහායින් මං හිතන්නෙ.

    ReplyDelete
  50. සික්.. හදපිය ..හදපිය......හදලා තනියම කාපිය..

    ReplyDelete
  51. Imbul Kiribath kala nethi ayath innawada kolapathei/rediwalai haduwe issara dan hadanne cupekaka hari mould ekaka hadana eka thamai aluth kalawa

    ReplyDelete
  52. කොලපත නැති නිසා අපේ අම්මා නම් ඕක කරන්නේ ඉටි කොලයක් හරි ලන්ච්ශීට් එකක් හරි උඩ..ඒ විදියටම එනවා...කොහොම උනත් මාරයියා ගේ පැනි පොල් හැදීම අත්හදා බලන්න ඔනේ

    ReplyDelete