09 November 2011

සාමාන්‍ය පෙළ ඉංග්‍රිසී ජය ගන්නා ආකාරය... විස්තර සහිතව...

ඇත්තටම මේවා දේව රහස් වගේ එව්වා...ඒත් ඉතිං මං ඔය රහස් පරිස්සං කරන්න දෙයියෙක් නෙවෙයිනේ.. දෙයියෝ ඕන දෙයියන්ගේ ගේ පරිස්සං කරන්න.. ඒවා මාරයට අහු උනාම ඌ මොකටද පරිස්සං කරන්නේ..?ඒ හින්දා දේව රහස් ඔබගේ අතට පත් කරන්ටයි මගේ කල්පනාව...

ඒ හරියටම එකදහස් නවසිය අනූ පහේ අවුරුද්ද...ඔව් මගේ ජීවිතේ බයානකම අවුරුදු වලින් එකක්.. එයිට අවුරුද්දකට දෙහෙකට කලියෙන් ඉස්කෝලේ පිට්ටනිය අයිනේ තිබුන අර දැවැන්ත මාර ගස් හෙවනේ සිමෙන්ති පඩියක් උඩ වාඩි වෙලා ඉන්න වෙලාවේ ඒ පඩියේ තිබුන හීතල ගතිය අතුරුදහන් වෙන විදියේ ආරංචියක් අපේ එකෙක් කිව්වා.. ඇත්තටම මං එතකල්ම එහෙම දෙයක් ගැන දැනං හිටියේ නැහැ.. ඒ තමා සාමාන්‍ය පෙල විභාගේ.. ඔව් අපි කියන විදියට ඕ ලෙවල්..

එච්චර කාලයක් මං හිතං හිටියේ 13 වසරට යනකල්ම ඔහේ පන්තියෙන් පංතිය පාස් වෙවී ඉහලට යන්න තියෙනවා කියලා තමයි...කවුද ඉතිං ඕවා කියා දෙන්න හිටියේ මට... අම්ම රට..තාත්තා ඕවා ගැන කියලත් නැත.. උන්දෑ ඔය විඩෙන් විඩේ ඇස් ඇස් සී එතකොට ඇච් ඇස් සී ගැන කියෝලා තිබුනට ඒ අකුරු වලින් කියවෙන්නේ මොකක්ද කියලවත් කියලා තිබුනේ නැහැ... මං අහලත් නැහැ.. කොහොම උනත් එදා මොනවා හරි කතාවක් අස්සේ එක පාරටම ඇදිලා ආවා ඔය විභාගේ ගැන කතාවක්..මට තේරුනා මුං කතාවෙන දේ මොනවා නමුත් මං නොදන්න දෙයක් තමා කියලා...

මාත් ඉතිං එහෙං මෙහෙං අල්ල ගෙන ඇහැවුවා උන්ගෙන්..ඒ කිව්වේ මගේ එක්ක හිටිය යාළුවන්ගෙන් මොකක්ද කියලා මේ හරුපේ..ආන්න ඒ වෙලාවේ තමා මං දැන ගත්තේ 11හේ පන්තියේ අවසානයේදී තියෙන රජයේ විභාගයක් වෙච්ච සාමාන්‍ය පෙළ විභාගෙන් පස්සේ තව දුරටත් ඉස්කොලේ එන්නනං ඒක පාස් වෙන්න ඕනමයි කියලා.. ඒ කියන්නේ එකොළහේ පන්තියේ විභාගේ රජයේ විභාගයක් කියලා... ඉස්සරනං මට ඕවයේ ගානක් තිබුනේ නැහැ.. ඒ කිව්වේ මං අපේ ගමේ ඉස්කෝලේ යන කාලේ... ඒ දවස්වල මට මොන විභාගයක්වත් ඒ හැටි දෙයක් උනේ නැහැ.. විභාගේ හෙටයි කියලා අද කිව්වත් මං ගණන් ගත්තේත් නැහැ... මං දන්නේ නැහැ මං ඒවා කොහොම කලාද කියලා.. ඒත් මං ඒවා කලා.. අන්තිමට ළමයා පාස් කියලා විතරයි මං දන්නේ..

ඒත් මේ කියන කාලේ වෙනකොටනං එහෙම තත්වයක් මට තිබුනේ නැහැ..ගත වෙන හැම දවසක්ම මට මහා වදයක් වෙලා තිබුනේ.. ඉස්කෝල හැදුව අයට හිතින් සාප කර කර..පහේ සිස්සත්වේ සමත් වෙච්ච එකට මටම බැන ගන්න කාලේ ඔය.. ඒ තරමටම මං දුර්වලයි විෂයන්ට.. මට ඒ උගන්නන මෙලෝ දෙයක් තෙරුනේ නැහැ.. ඒත් මට නොතේරුනාට පන්තිය නවතින්නේ නැහැ.. ගමේ ඉස්කෝලේ වගේ බැරි හැම එකාවම ලගට ගෙන්නලා කන මිරිකලා හරි කියා දෙන.. එහෙම නැත්තං හවහට ගෙදරටම ගෙන්නලා උගන්නන ගුරුවරු මෙහෙ හිටියේ නැහැ... හිටිය හැම ගුරුවරයම පාහේ එනවා පන්තියට... ආයේ යනවා පන්තියෙන්.. ඒ අස්සේ කාලය තුලදී මොන මොනවදෝ මට නොතේරෙන භාෂාවලින් කිය කිය ඉඳලා යනවා.. මං බලං ඉන්නවා කට ඇරං..

මට ඒ දවස්වල පෙන්නන්නම බැරි වචනයක් තිබුනා.. ඒ තමයි "අන්ඩස්ටෑන්ට්..." ඕක නිකං නෙවෙයි අහන්නේ "ඩූ යූ අන්ඩස්ටෑන්ඩ්...?" කියලයි... ඒ අස්සේම පස්සේ කාලෙක ඔකම වෙනස් වෙලත් ඇහුනා.."අන්ඩස්ටූඩ්"වගේ කියලත් හිතුනට මට ඒක ඇහුනේ "අන්ඩස්ටූල්" වගේ... මං අදටත් දන්නේ නැහැ ඒ මොකක්ද කියලා.. ඒත් ඒ දවස්වල මං හරියට කල්පනා කලා ඔය වචන ගැන..

"අන්ඩස්ටෑන්ඩ්.."???

ඒ වෙනකොට මං දැනං හිටියා තාත්තගේ බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගැන.. ඒක තිබුනේ ලැගෙජ් එකත් එක්කම පිටි පස්සේ රෝදෙට හයි කරලා...ඒකෙන් තමා බයිසිකලේ පෙරලෙන්නේ නැති වෙන්ට මිදුල මැද්දේ හිටෝලා තියන්නේ...අපේ ගමේ හිටිය ඥාණේ බාසුන්නැහේගේ බයිසිකලේ ස්ටෑන්ඩ් එක ඒකට වඩා වෙනස්..ඥාණේ මාමා මේසන්බාස් කෙනෙක්.. උන්දැගේ බයිසිකලේ උන්දෑ හරියට ආරස්සා කොරනවා.. මං ඒ කාලේ දැකපු හොඳම බයිසිකලේ ඒක.. ඒක "හම්බර්" එකක්... රෝද දෙකේ රිම් දිස්නේ ගහනවා..ඒ බයිසිකලේ ස්ටෑන්ඩ් එක තිබුනේ හරියටම සෙන්ට්‍රල් ඇක්සල් එක යට..ඒක ඉංග්‍රීසි V අකුරේ හැඩේට තමා තිබුනේ... හරියටම කිව්වොත් වී අකුර අනිත් පැත්ත හරෝලා වගේ.. මට ඔය අන්ඩස්ටෑන්ඩ් කියන වචනයත් එක්කම මතක් වෙන්නේ අර ඥාණේ මාමාගේ බයිසිකලේ මැද්දෑවට වෙන්න තියෙන ස්ටෑන්ඩ් එක...

මං සෑහෙන්න කල්පනා කලා ඇයි මේ ස්ටෑන්ඩ් එක ගැන ටීචර් මේ හැටි කියවන්නේ කියලා...?

ඊට පස්සේ "අන්ඩ ස්ටූල්" ආවා...

අපේ ගෙදර ටීපෝ එකක් තිබුනා.. ඒක මහ ගෙදරින් අපේ තාත්තට හම්බ වෙච්ච දේවල් දෙකෙන් එකක්..අනික පොඩි කබඩ් එකක්. මේ ටීපෝ එක කණු හතරකින් තියෙන්නේ ඒක උසයි.. කැරම් බෝඩ් එකක් තියන්න නියම ගාන උනත් ඒක උඩනං කැරං බෝඩ් එකක් තියන්න බැහැ.. කකුල් පණ නැතිව වැනෙනවා.. පස්සේ කාලෙක මං ඒක යට පැත්තෙන් රීප්ප පටියක් තියලා ගහලා ටිකක් විතර කකුල් හයිය හිටින්න හැදුවා.. ඊට පස්සේ ඒක උඩ මගේ පොත් පත් ටිකක් එහෙමත් මං තියලා තිබුනා.. ඒක ටීපෝ එකක්..තාත්තා කිව්වේ එහෙමයි..

ඒත් අපේ උඩහ ගෙදර මහප්පලගේ ගෙදරට ඔය කාලේ ලොකු පුටු සෙට් එකක් ගෙනාවා.. ඒකේ තිබුනා පුංචි බංකු දෙකක් ලොකු බංකුවක් එක්ක. ඒවාට මහප්පලගේ ගෙදර අය කිව්වේ ස්ටූල් කියලා.. ඒක ටීපෝ එකට වඩා මිටියි.. ඒත් කකුල් හයියයි..මට උනත් වාඩි වෙලා ඉන්ට ඇහැකි.. මං ඒවට ආසා උනා... ඒත් අපිට කවදාවත් ස්ටූල් හම්බ උනේ නැහැ.. අපිට තිබුනේ ටීපෝ එකක්.. ඒකත් පරණ එකක්... ඉතිං මේ අන්ඩ ස්ටූල් කියලා ඇහෙන වාරයක් වාරයක් ගානේ මට මතක් වෙන්නේ අර මහප්පලගේ ස්ටූල් ටික... එයිට වඩා වෙනසක් මං ඒ වචනේ දැක්කේ නැහැ.. මං ඒත් හිතුවා... ඇයි මේ ස්ටූල් එකක් ගැන හැමදාම අහන්නේ කියලා.. ඒත් ඒක මගෙන් අහන්න උනේ නැහැ ලේසියෙන් ටීචර්ලාට..මොකද මං පුරුදු වෙලා හිටියේ ඉංග්‍රිසි වෙලවෙට ඔළුව ඩෙස් එකේ ගහගෙන නිදිය ගන්න...

වෙලාවකට මගේ නම කියනවා ඇහෙනවා...

"මාරයා" මොකද අදත් ඔළුවේ කැක්කුමද..?

"ඔව් ටීචර්" ඒ උත්තර දෙන්නේ මම නෙවෙයි..මගේ ළග හිටිය මගේ යාළුවා.. ඌ හොඳ එකා... දන්නවනේ අර කලින් වතාවක් මං කිව්වේ ටීචර් කෙනෙක්ගේ ශරීරය සම්බාහනය කරපු එකා.. ඔව් ඌ තමා.. ඒත් හැමදාම ඌටත් මං වෙනුවෙන් උත්තර දෙන්න වෙන්නේ නැහැ.. මොකද ඌත් හිටි හැටියේ ඔළුව කැක්කුම ගන්නවා... ඒත් ඒ මං ගාවම ඉඳගෙන නෙවෙයි.. මොකද එක ළග දෙන්නෙක් ඔළුව ගහං නිදියන එක ටීචර්ගේ අවධානයට පහසුවෙන් ලක්වෙන සහ දෙන්නගේම බොරුව අහු වෙන්න වැඩි ඉඩ කඩක් තියෙන කාරණාවක් හින්දා අපි කතා වෙලා ටිකක් දෙපොලට වෙන්න පංතියේ වාඩි වෙලා තමා ඔළුව ගහං ඉන්නේ...

ඔහොම කොහොම හරි මං කාලය ගෙවා ගත්තා... ඒත් දවසින් දවස දින ගෙවිලා සාමාන්‍ය පෙළ විභාගේ ලං උනා...

අවසානයේදී එක්තරා දවසක අපිට ඒකට මුහුණ දෙන්න සිද්ධ උනා... අනිත් විෂයන් කෙසේ වෙතත් මං දන්නවා ගණීතය ඉංග්‍රිසි සහ විද්‍යාව කියන විෂයන් තුනම පාස් වෙන්න ලේසි නැහැ කියලා... ගණිතය පොත මට එකම විකාරයක්... කොස් ටෑන්..වගු.. සමීකරණ..වීජීය ප්‍රකාශන... ඒ මදිවට ප්‍රමේයය.. ඔව් පයිතගරස්..මට ඒ දවස්වල හිටිය ලොකුම හතුරා..ඌ අහු උනානං මං ඕකට පොල් බැට්ටියකින් හරි දමලා ගහනවා.. ඒතරමට මට කේන්තියි.. ඒ යකාට නිකං ඉන්න බැරිවට මගුල් කල්පනා කරලා උලව් ත්‍රිකෝණ..චතුරස්‍ර..පීරමීඩ අස්සේ මාව අනාථයෙක් කරලා... ඇයි යකෝ තියෙන දෙයක් කාලා නිකං හිටියේ නැත්තේ..?

ඒත් මට යාන්තං කුලක ගාණයි අර ප්‍රස්ථාර ගානයි ගොඩ දාගන්න පුළුවන් මට්ටමක් තිබුනා..සමගාමී සමීකරණවල මුල් කෑල්ල විසඳගන්න පුළුවන්කම තිබුනා.. ඒත් ප්‍රස්ථාරේ ඇන්දට කවදාවත් මට ඒ ඇසුරෙන් අහන ප්‍රශ්න වලට උත්තර හොයන්න තේරුමක් තිබුනේ නැහැ...ඉතිං එතනට එනකල් කොහොම හරි අඳිනවා.. ඊට පස්සේ නිර්මාණය..අනේ ඒකනං කොහොම කොහොම හරි ඇඳගන්න පුළුවන් කමක් තිබුනා.. ඉතිං ඒ දේවල් වලටයි..කෙටි ප්‍රශ්න වලටයි පින් සිද්ධ වෙන්න ගණීතය යාන්තංවත් ෂේප් වෙන්න මං හීන බල බල හිටියා..

විද්‍යාව... ඔන්න මගේ අනිත් හතුරෝ..ආවර්ථීතා වගුවෙ තිබුන අකුරු වලින් මට 5ක්වත් පාඩං නැහැ.. අදටත් නැහැ..මෙ ඊයේ පෙරෙදා ජාලෙ සැරි සරන කොට මට ඔයින් එකක් අහු උනා..මං ඒක දිහා බලං හිටියා..මං දැන් ලොකුයිනේ..ඉස්සර නොතේරුනාට දැන්වත් මොනවා හරි තේරෙයි කියලා..මොන... මට තාමත් තේරෙන්නේ නැහැ ඒ මොන අට මගලයක්ද කියලා.. අනිත් එකා නිව්ටන්..මං ඇත්තටම ඒ දවස්වල හිතනවා ඇපල් ගහක් යට නෙවෙයි ඔය හාදයා ඉන්න තිබුනේ දූරියං ගහක් යට කියලා.. ලොකු කටු තියෙන පත දූරියමක් ඔළුවට පත බෑවිලා එතනම සෙත්ත පෝච්චි වෙලා යන්න... අනිකා ඕම්.. ඔව් අර ඉලෙක්ට්‍රොනික් කතා වලට සම්බන්ධ එකා තමා..

එතකොට ෆ්ලෙමින් නේද අර සුරත් නියමයද මොකක්ද කිව්ව හාදයා..අනේ අම්මපා මං මේ දැනුත් කල්පනා කරන්නේ මට කරදර කරන්න මේ යක්කු කී දෙනෙක් එක්කාසු වෙලා ඉඳලා තියෙනවද.. මේ අසරණ පුංචි එකාට ඉඳලා තියෙන හතුරන්ගේ ප්‍රමාණය හුගාක් වැඩියි.. අනික උන් ලොකු මිනිස්සු.. ජීවිතේ හුගක් වයස ගෙවිච්ච උන්.. එහෙම උන් කල්පනා කරලා කරලා අමාරුවෙන් හොයා ගත්ත රෙද්දවල් මේ ගමෙන් කොළඹට ගිහින් නන්නත්තාර වෙලා..මබ්බෝධ වෙලා... කර්පට් වෙලා උතුර දකුණ මාරුවෙලා හිටි පුංචි මට කොහොම තේරෙන්නද..? මං නොසෑහෙන්න අසරණ උන කාලයක් ඒක...

ඔය ඔක්කෝමත් හරි ඉංග්‍රිසී.. අපි ඒ ගැන කතා නොකර ඉමු.. ඒත් මං කියන්නං මං ඉංග්‍රිසි කියන විෂයට මුහුණ දුන්නේ කොහොමද කියලා...ඇත්තටම ඉංග්‍රිසි තිබ්බේ විභාගේ අතර මැද විෂයක් වගේ කියලා තමයි මට මතක.. මුලින්ම සිංහල බුද්ධ ධර්මය.. ඊට ප්සසේ තමා ඔය ගණිතය ඉංග්‍රිසි එහෙම ආවේ..

කොහොම හරි මුලින්ම ලිව්ව සිංහල බුද්ධාගම විෂයන්ගෙන් මට හිතට පොඩි හයියක් ඇවිත් තිබුනේ... ගණිතයත් යන්තං යන්තං ලියලා දැම්මා.. ඒත් මට ෂුවර් නැහැ මං කොයි අතට වැටෙයිද කියලා.. ඒ අතරේ තමා ඉංග්‍රිසි ලියන දවස උදා උනේ...

ප්‍රශ්න පත්තර බෙදන වෙලාව ආවා...ඒ ඒ අය අපට ඒවා බෙදං ගියා... කවුද මංදා ඒක හරව හරවා පෙරලමින් උත්තර ලිවිය යුතු ආකාරයත් පෙන්නවා වගේ මට මතකයි.. ඒත් මට මොන තේරිල්ලක්ද ඕවා...මං කල්පනා කලා.. ඔව් මට ආයේ අහවල් ලබ්බක් නැති වෙන්නද.. අම්මා දවසක් ලංකාවට ආපු වෙලාවක ගුණේ බාසුන්නැහේට... ඒ කිව්වේ අපේ ගේ හදපු බාසුන්නැහේට කියලා තිබුනේ

"ගුණේ අයියේ මොනවා නැතත් කවදා හරි දවසක අපේ කොල්ලෝ දෙන්නට මේසන් රස්සාව උගන්නන්න" කියලා.. ගුණේ මාමාත් ඒක හිනා වෙලා පොරොන්දු උනා... මං දන්නවා මට මේක නැති උනාට ගෙදරින් මහ අවුලක් නැහැ කියලා.. අම්මට මං බාස් කෙනෙක් උනානං ඇති.. උන්දැගේ ලොකු හීන තිබුනේ නැහැ.. මට ඒක ලොකු අස්වැසිල්ලක් උනා..

ඒ දේවල් ඔක්කෝම මට මැවි මැවි පෙනුනා ඔය වෙලාවේ.. මං හිතා ගත්තා මට නැති වෙන්න දෙයක් නැහැ.. හැම දේම තියෙන්නේ බින්දුවේ.. මට ඕනනං තියෙන්නේ ටිකක් දගලලා ඒක තව පොඩ්ඩක් ඉහලින් තියන එක තමා කියලා.. මං එහෙම හිතලා බැළුවා ප්‍රශ්න පත්තරේ දිහා.. ඒක කෙටි ප්‍රශ්න එක... ඉරි ගහන්න යා කරන්න ඒවා තිබුනා මුලින්ම... මං හුගාක් හිතලා හිතලා ඒවා යා කලා.. ඉරි ගැහැවුවා... හරියටම හිතා ගන්න බැරි එව්වට කනා ගැහැවුවා.. ඒ ටික කරගෙන යනකොට මෙන්න තව එකක්... ඉංග්‍රිසියෙන් තියෙන ඡේදයක් දීලා එකේ යටින් ප්‍රශ්න පහක් දාලා...

මං සැලෙන්නේ නැහැ ඒවට..මොකද මං අවුරුදු ගානක් ඔය විදියේ ප්‍රශ්න වලට උත්තර දීලා හොඳට පදං වෙලා හිටියේ.. මං ඒ මතකය අවදි කරං අත ගැහැවුවා වැඩේට...

පළවෙනි ප්‍රශ්නයේ වචන ටික ටිකක් ඇහැට හුරු කරං ඒ වචන තියෙන තැන හොයාගෙන අර ඡේදය පූරාම මගේ ඇස් දිවෙව්වා...ඔව් හම්බ උනා... මං ඒ වචනවලට සමාන වචන තියෙන වාක්කියක් හොයා ගත්තා... දැන් තියෙන්නේ උත්තර ලියන්න මුලට දැම්මා මං දන්න එකම වචනය වාක්‍යයක් ආරම්භ කරන්න "The" ඔව් ඔය වචනේ ලියලා ඊට පස්සේ අර හොයා ගත්ත වාක්කිය එහෙං පිටිංම අර "The" එක ගාව ඉඳින් ලියං ගියා... එකේ පුල්ස්ටොප් එක තියෙන තැනට එනකල්ම.. ප්‍රශ්න ටික ඉවර වෙද්දී මුළු ඡේදයම වගේ මං ප්‍රශ්න පත්තරේ ලියලා..

කොහොම හරි පළවෙනි ප්‍රශ්න පත්තරේ ලියලා ඉවර වෙලා දෙවෙනි එක දෙනකල් අපිට කතා බහ කරන්න වෙලාවක් අහු උනා.. මං මම ලියපුවා අනිත් උන්ට කියන කොට වැඩි හරියක් ඒවා හරි වගේ කියලයි උන්කිව්වේ.. ඒ කියපු හැටියට මට එතනම එස් එහෙකට ලකුණු තියෙනවා... මගේ මුළු සරුවාංගෙම කුල්මත් වෙලා ගියා... ඔව් එස් එකක්..මට ඇති.. නැහැ මට මදි... මෙච්චර ළගට ආව එකේ මට බැරිද සී එහෙකට යන්න.. සාමාන්‍ය මනුස්සයෙක්ගේ ගති ගුණ එහෙං පිටිංම මට ඇති උනා.. නොසෑහීම...ලද දෙයින් සතුටු නොවීම... මුලින්ම වාඩි වෙනකොට අසමත් තත්වයේ හිටිය මං දැන් හීන බලන්නේ එස් එහෙකට එහා ගිහින් සී එකක් ගන්න..මං වාඩි උනා දෙවෙනි කොටස ලියන්න..

විභාග ශාලාධීපති ඇතුළු අය බෙදාගෙන ගියා උත්තර ලියන කොල වගේ ජාතියක්... ඒවායේ තිත් තිත් ඉරි පේලි ගොඩාක් තිබුනා... පිටුව පිරෙන්න ඉරි පේලි අතරේ එක වාක්කියක් වගේ උඩින් ගහල තිබුනා.. මං හිතුවේ ඒ උත්තර ලියන්න දුන්න කොල මුද්‍රණය කරපු තැනින් ගහන ‍මොනවා හරි කියලා.. මං ටික වෙලාවක් බලං හිටියා මට ප්‍රශ්න පත්තරේ දෙනකල්.. ඒත් මං ඇරෙන්න අනිත් උන් ඔළු පාත් කරං ලියනවා මොනවද මංදා.. මාත් පාත් වෙලා ලිව්වා මගේ නම ගම විභාග අංක එහෙම.. ඒත් තවමත් ප්‍රශ්න පත්තර නැහැ... ඒත අනිත් උං ලියනවා... මට පේනවා මං වගේම තව එකෙක් දෙන්නෙක් ඔළුව උස්සගෙන වට පිට බලනවා.. ඔව් උන්ගේ බැල්මෙන්ම මට කිව්ව හැකි උන්ටත් ප්‍රශ්න පත්තර හම්බ වෙලා නැහැ...

අවසානෙදී ලගින් ගිය විභාග පරීක්ෂක වරයෙක් ඇහැවුවා මගෙන්...

"මොකද පුතා ලියන්නේ නැද්ද..?"

මං උත්තර දුන්නා "මට ප්‍රශ්න පත්තර හම්බ උනේ නැහැ"

ඒ මනුස්සයා කලබල වෙලා මගේ මේසේ දිහා බැළුවා..එයා දැක්කා මගේ මේසේ උඩ තියෙන අර උත්තර ලියන කොල ටික...

"ඇයි පුතා ඔය තියෙන්නේ ඔය ප්‍රශ්න පත්තර තමා.."

මං කරකෝලා අතෑරියා වගේ උනා.. දෙයියනේ දැන් මොනවද මේවෑ තියෙන ප්‍රශ්න..? අර චූටි වාක්‍යද... ඔව් ඒ තිබිලා තියෙන්නේ ප්‍රශ්නේ.. මුළු පිටුවම තියෙන්නේ උත්තර ලියන්න.. මං මොනවා ලියන්නද.. අර තියෙන ප්‍රශ්නේ තේරෙන්නෙත් නැති කොට.. ඉංග්‍රිසි භාෂාවේ අකුරු සැට් එක ඇරුනු කොට "අයෑම් මාරයා..අයෑම් ෆ්‍රොම් සිරි ලංකා" කියන්න විතරක් දන්න මං මේකේ මොනවා ලියන්නද..?

මං අතෑරලා දැම්මා.. මං බලාගෙන මට වෙච්ච දේ දැකපු අර වට පිට බල බල හිටිය මගේ අනිත් සගයෝ ටිකත් මූණු දික් කරගෙන ශාලාවේ පරාල ගනිනවා...ඒත් ගනින්න කෝ පරාල.. අපිට උඩින් තිබුනේ කොන්ක්‍රීට් තට්ටුවක් විතරයි... මාත් ප්‍රශ්න පත්තරේ පැත්තකින් තියලා ඔහේ කල්පනා කර කර හිටියා.. අනේ මගේ සී එක...? ඒක හීනයක් විතරයි.. දැන්නං එකත් අනේ මංදා...

..............................................

සෑහෙන දවසකට පස්සේ මං ඉස්කෝලේ ගියා ප්‍රතිඵල බලන්න...ඒ ප්‍රවෘත්ති වලට කියපු හින්දයි... කැන්ටිම ගාව දිගට හිටෝලා තිබුන නෝටිස් බෝඩ්වල ප්‍රතිපල ලේඛන අලවලා තිබුනා... මාත් බැළුවා මගේ අංකේ හොයා ගන්න..අන්තිමේදී මට හම්බ උනා...
50124862 මගේ අංකේ...දෙයියනේ...

සිංහල-D
බුද්ධධර්මය-D
සමාජ අධ්‍යයනය-C
විද්‍යාව-C
ගණිතය-S
ඉංග්‍රිසි-S
සංගීතය-F
කෘෂිකර්මය-C

හැම අකුරකින්ම පිරිලා..මගේ ප්‍රතිඵල සටහන ලස්සන වෙලා තිබුනා.. කොහොම හරි මං කෙටි ප්‍රශ්න වලින්ම ඉංග්‍රිසී වලට සාමාර්ථයක් අරං තිබුනා... වැරදිලාවත් අර දෙවෙනි එකෙත් හිස් කොල නැතිව මොන මොනවා හරි කොටු පිරවිල්ලක් තිබුනනං මට සී අකුරක් ගන්න බැරි වෙන එහෙකුත් නැහැ... ඒ අස්සේ මට සංගීතෙට වෙලා තිබුනේ අපූරු හරුපයක්... ඒ කියන්නේ සංගීතේ ප්‍රශ්න පත්තරේට උත්තර ලියලා ඒකෙන් පාස් වෙන අයට තමා ප්‍රායෝගික පරීක්ෂණය යෙදෙන්නේ... ඒ විදියට ලිඛිත පරීක්ෂණයෙන් සමත් වෙලා ප්‍රායෝගික පරීක්ෂණයට ගිහින් ස්වර ටික යන්තං ගායනා කර ගන්න පුළුවන් උනත් සාමාර්ථයක් තියෙන වග තමා මට දන්න අය කිව්වේ.. ඒත් මටයි තව කොල්ලෙකුටයි ලිඛිත පරීක්ෂණය සමත් වෙලා ප්‍රායෝගික පරීක්ෂණයට සුදුසුකං ලැබිලත් ඒ වග දැන ගන්න ලැබුනේ නැතිකම හින්දා මට ඒකට යන්න බැරි උනා...

ඒ කියන්නේ මං විභාගේ ලිව්වට පස්සේ ආයේ නිකමටවත් ඉස්කෝලේ ගියේ නැහැ..මං හිතුවේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ගෙවල්වලට දන්වන ක්‍රමයක් ඇති කියලයි.. ඒත් ඒක එහෙම වෙලා නැහැ... ඒ අය අපිට හොරෙන්ම ඒක තියලා.. මං කොහොම ඒවා දැන ගන්නද මං ඒ කාලේ හිටියේ ගමේ හැම තැනම කරක් ගගහා පොඩි පොඩි රස්සාවල් කරමින් එදා වේල හොය හොයා... ආන්න එහෙමයි මට සංගීතයට වෙනස්ම අකුරක් ලැබුනේ.. ඒත් ඒක මං ඒ හැටි ගනන් ගත්තේ නැහැ.. උන්න හැටියට මලා මදිද කියලා හිත හදාගෙන ගෙදර ආවා...

ඔන්න මං මෙලෝ හසරක් නොදන්න ඉංග්‍රිසිය ගොඩ දාගත්ත ආකාරය...අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි... හැබැයි දැන්නං ප්‍රශ්න පත්තර හැදෙන්නේ ඒ විදියට නෙවෙයිද කියලනං මං දන්නේ නැහැ... නැත්තං මේක කියෝලා තේරුං ගන්න නංගිලා මල්ලිලාටත් එස් එකක්නං ෂුවර් එකට ගතෑකි ඔය කියපු විදියට උත්තර ලියලා..

බලන්න මට කියා දෙන්න කවුරුවත් හිටියේ නැති උනාට මං එහෙමද.. ඔයාලා හැමෝටම මේවා කියා දෙනවා..

ආන්න එහෙමයි දේව රහස් වගේ දේවල් අපි බෙදා හදා ගන්නේ...

59 comments:

  1. පෝස්ට් එක කියවන්නේ නැතුව කමෙන්ට් එක දැම්මේ [පළවෙනියා වෙන්න]. පස්සේ තමයි තේරුනේ පෝස්ට් එකට කමෙන්ට් එක එච්චර ගැලපෙන්නේ නැහැ කියලා.

    වැරදියට හිතන්න එපා, ඔබතුමාට හිනාවුනානම් නොවේ.

    ReplyDelete
  2. උඹ දන්නේ නැති වුනාට නාථ දෙය්යො නම් රසායන විද්‍යාව දන්නව , ආසනික් දැක්කේ ඒකනේ ?

    උඹත් ඒ ගැන ලියුව නිසා මං හිතන්නෙ අර දන්න 5ට ආසනිකුත් අයිති ඇති

    ReplyDelete
  3. මොනවද අම්මේ අකුරු ජාතියක්
    මල් පෙතිවල කවුදෝ ලියලා
    ..
    ..
    ..
    අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
    කිචි බිචි ගා මොනවද කියති
    උන් දන්නව ඇති මේ මල්වල ඇති
    පුංචි අකුරු නිතරම බලති

    ReplyDelete
  4. මම මේ ලිපිය කියවද්දී ඔබ ගැන තරහවක්, දුකක්, ඒ වගේම ආඩම්බරයක් කියන සියළුම මිනිස් ආවේගයන් මගේ සිතට නැගුනා. මම ඔබට දෝ කියන්නේ නැහැ. අපේ අද්‍යාපන රටාවේ තිබෙන වැරදි ගැන මටත් තියන්නේ මහා කලකිරීමක්. විශේෂයෙන් ගුරුවරයෙක් ලෙස මමත් ඔබ අනුමත කරනවා. මගේ අදහස් වෙනම පොස්ට් එකක් ලෙස දැමීමේ අදහස මට ඇති වුනා.

    යම් මඟ පෙන්වීමක් ලැබුනානම් ඔබ අද............

    ReplyDelete
  5. ඔබත් පාසලේදී කිසිවක් ඉගෙන ගත්තේ නැද්ද? සාමාන්‍ය පෙළ එස් සාමාර්ථයක් සඳහා අදම පැමිණෙන්න මාරයා සර් වෙත.

    ReplyDelete
  6. මට හිතෙන්නෙ තවමත් අපි පාසල් වල තවත් නිවරදි මග පෙන්වීම නොලැබුනු ලමයි ඕනි තරම් ඉන්නවා , ඒ නිසානෙ සා.පෙ , උ.පෙ ඉතා හොද ප්‍රතිපල ලැබෙන්නෙ ...........
    මේක මාරයගෙ වර්දක් නෙවි අද්‍යාපන ක්‍රමයේ වර්දක් . අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ අපි තාමත් කටපාඩම් අද්‍යාපන්යක ඉන්නෙ.

    ReplyDelete
  7. ලොක්කයියේ මොකැ අර සංගිතෙට උනේ...

    ReplyDelete
  8. එලකිරි මචං. එහෙම තමයි ලියන්ඩ ඕනෙ...

    ReplyDelete
  9. අර විදිහට ප්‍රශ්නේ තියෙන වචන වලට සමාන වචන ජේදේ හොයන එක නම් මමත් කලා...අපේ ඉස්කෝලේ ඒ දවස් වල ඉංග්‍රිසි පීරඩ් එක කියන්නේ හරියට ඉන්ටවල් එක වගේ තමා...11 වසර වෙනකන් හරිහමං ගුරුවරයෙක් හිටියේ නැ..ඉතින් අපිත් කලේ ඔය මාරේ අයියා කියනවා වගේ වැඩ තමා...

    ReplyDelete
  10. මට තේරෙන හැටියට ඉස්කෝල වල ඉංග්‍රිසී උගන්වන විදිහෙ අවුලක් තියෙනවා. මුලින්ම ඉංග්‍රිසි කියන්නෙ මොකද්ද කියලා උගන්වලා වාක්‍ය හැදෙන හැටියි නීති ටිකයි ඉගැන්වුවා නම් ගොඩනෙ.

    මෙව්වයෙ උගන්වන්නෙ සබ්මැරීන් මරියානා ආගාධෙට ගිය හැටි වගේ කතානෙ. ඉංග්‍රිසි ඉගැන්වුවා නම් අපිට ඕවා තනියෙම ඉගෙන ගත්තැකි.

    මමත් ඉස්කෝලෙ කාලෙදිනම් ඉංග්‍රිසි ඉගෙනගත්තෙ නෑ. මම අදත් පින් දෙන්නෙ "පූජිත විජේසිංහ සර්ට" ඉංග්‍රීසි මංඤ්ඤං වෙලා තියෙද්දි සර් අපිට ඉංග්‍රීසි ඉගැන්වුවෙ සිංහල වගේ ලේසියෙන් තේරෙන්න.

    උඔට මතකද කුරුලු හමුදා බාසාවෙන් අන්ඩස්ටෑන්ඩ් අන්ඩා කියන වචනෙට දීලා තිබුනකු තේරුම?

    ReplyDelete
  11. හරි ලස්සන කතාවක් මාර උන්නැහෙ. ඉස්කෝලෙ කාලෙට හිතිං ගියා. සංගීතෙට වෙච්ච දේ ගැන නම් දුක් වෙන්න දෙයක් නෑ. ඒ ලෙවල් වලට ඇවිල්ල ඔය වගේ වැඩක් කරපු මනුස්සයෙක්, තද බ්‍රයිටෙක්, හිටිය මං දන්න ඉස්කෝලෙක. විෂයෙ බාගෙකට විතරක් පෙනී හිටපු!

    (ඉස්සරහට ඕවගේ ප්‍රශ්න අඩුවෙයි සබ්ජෙක්ට් ඔප්ශනල් කරන්න යන්නෙ දැං :)

    ReplyDelete
  12. අන්ඩස්ටෑන්ඩ් කියන්නෙ "යටින් හිටගන්න" කියන එක. ෆෝරෙක්සාම්පල්, එක දවසක් කොල්ලෙක් ගියාලු කෙල්ලෙකුට ටෝක් කරන්න බස් හෝල්ට් එකට. පොද වැස්සකුත් වහිනවලු. කෙල්ල තෙමි තෙමි හිටගෙන ඉන්නවලු. කොල්ල එතකොට මෙහෙම කියනවලු කෙල්ලට. " නංගි වයි ආ යූ අවුට්ස්ටෑන්ඩින්, කම් ඇන්ඩ් අන්ඩර්ස්ටෑන්ඩ් මයි අම්බ්‍රෙල්ලා" කියල.

    ReplyDelete
  13. විභාග ක්‍රමයෙදි වැදගත් වෙන්නෙ "අපි දන්න දේ නෙවෙයි මල්ලි, ඔය පැය තුන තුල කල හැකි දේ" අපිත් ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ නම් අඩු වැඩි ඇතුව ඕන්න ඔය ක්‍රමේටම තමයි!

    ReplyDelete
  14. මරු ඈ අයියේ.... මටත් මුලින්ම හම්බුනේ එස් එකක්... ඒ දවස් වල හැටියට නම් ඉහටත් උඩින්... පස්සේ ඉතිං නඩුකාරියි අපේ අම්මයි තරඟෙට ​ටොකු ඈන ඉංග්‍රිසි පොවලා යාන්තම් බී එකක් වෙනකං නැග්ගුවා....

    ReplyDelete
  15. මුලින්ම කියන්න ඕන පයිතගරස්ලට නිව්ටන්ලට බනින්න එපා බන්... ත්‍රිකෝණමිතිය, ඛණ්ඩාංක ජ්‍යාමිතිය කියන්නෙ මගේ කැමතිම පාඩම්... හැබැයි මාරෙ අයියෙ ගනන් වල තියෙන අනුකලනය, අවකලනය හොයාගත්තු එවුන් මට හම්බුවුනා නම් අනිව මම උන්ව මරන් කනව...

    ඉංග්‍රීසි කෑල්ලට එමුකො... පළවෙනි කොටසින් ගහගන්න සිස්ටම් එක හරියටම හරි... දෙවනි කොටස ඒ කියන්නෙ අර තිත් ඉරි ගොඩක් තියෙන කොලේ ලියන්න තියෙන්නෙ රචනාවකුයි ලියුමකුයිනෙ...

    රචනාව ලියන්නෙ නෑ... හැබැයි ලියුම ලියනව... ඒක ලියන්නෙ ලියුමක අනිව එන ඇඩ්රස් එක, ආමන්ත්‍රණය කරන කැල්ල, ස්තුතිය එන කෑල්ල කලින් වෙන ලියුමක තිබුන විදිහ මතක් කරල ලියල දානව... ඊට පස්සෙ මදේ කෑල්ලට ප්‍රශ්නෙ ලියනව.. :) මට ඔය විදිහට කොරල සී එකක් තියෙනව බන්... ‍‍

    වාණිජ ලියන අයට ඒකට සී එකක් ගන්නත් ක්‍රමයක් තියෙනව... උගන්නන අවුරුදු 3ම(9 වසරෙ ඉඳන් 11 වසරට වෙනකන්) නිදි... හැබැයි විභාගෙට කලින් දවසෙ රෑට වාණිජ අච්චු පොත මුල ඉඳන් අගට වෙනකන් හොඳට කියවන්න ඕන... ඊ‍ට පස්සෙ මොනාද ඉතිං ඉරි ගහන කෑල්ල හෙනම ඊසි ගේමක්... විස්තර කරල ලියන්න ‍තියෙන ටිකත් අච්චුපොතේ තිබුන ඒවගෙ මතකෙන් ඇදල දාන්න තියෙන්නෙ... එකවුන්ට් ගැන ලියන්න එන පේපරේදි කලින් දවසෙ නිදි මරපු එකට දොයි...

    ගුරුවරු ගැන කියනව නම් අයියෙ ඉතිං දෙකක් ඇනල උගන්වන අය තමයි මට නම් හරි යන්නෙ..

    ReplyDelete
  16. //ඔව් පයිතගරස්..මට ඒ දවස්වල හිටිය ලොකුම හතුරා..ඌ අහු උනානං මං ඕකට පොල් බැට්ටියකින් හරි දමලා ගහනවා.. ඒතරමට මට කේන්තියි.. ඒ යකාට නිකං ඉන්න බැරිවට මගුල් කල්පනා කරලා උලව් ත්‍රිකෝණ..චතුරස්‍ර..පීරමීඩ අස්සේ මාව අනාථයෙක් කරලා... ඇයි යකෝ තියෙන දෙයක් කාලා නිකං හිටියේ නැත්තේ..? //

    මටත් සා.පෙ. කාලේ ඔහොම හිතිලා තිබුණා. අන්තිම වාර පරීක්ෂණයට ලකුණු 20 යි. මම හිතුවේ මට දෙවැනි පාරත් ගණන් කරන්න වේය තමා කියලා. දෙයියෝ බැලුවා වගේ අපේ අයියා කෙනෙක් ගණන් ගොඩ දාලා දුන්නා. අන්තිමේදී D/C.

    බලද්දි හිනා ගියාත්, මාරේ අයියගේ ක්‍රමයත් හොඳයි. මුකුත්ම බැහැයි කියලා මාරේ අයියා කිව්වට S එකක් හරි ආවනේ...

    ආහ් හා... මම ඒත් කල්පනා කලා හැමෝගෙම ජීවිත අත්දැකිම් වලට උදව් දෙන මාරයා අයියා අපේ අහ නාවේ ඇයි කියලා. ලකුණු පුවරුව බැලුවාමයි තේරුනේ. මාරයා අයියට සංගීතේ ඇලජික් වෙන්ටෑ...!!!

    ReplyDelete
  17. උන්න හැටියට මලා මැදෑ කිව්වලු...මාරයිය දන්නවද...දිල්ට විද්‍යාවට අපොස.සාපෙ..තිබ්බෙ S එකක්..ලැජ්ජාවේ බැරුවා...විද්‍යාව උගන්වපු සර් කෙන්දක් තරම්වත් පණ නැති කෙනෙක්...උගන්වන ඒවා මෙලෝ රහක් නෑ...විද්‍යාව පීරියඩ් එකේම දිල් දොයි....

    චතුරංගට වගේ දිල්ටත් ඉස්සර උන්න ලොකුම හතුරා තමා පයිතගරස්...පස්සෙ නම් දිල් එයාව ෂේප් කරගත්තා...එයාට දිල් කිව්වා මේ තරම් වද දෙන්න නම් එපා...ඔළුවට වදින විදියට ඉන්න කියලා පිස්සු කරන්නෙ නැතුව...පස්සෙ මිනිහා ෂේප්...හික්ස්

    ReplyDelete
  18. ඔය මාර ගස් ටිකයි අපියි ඒ කාලේ නිකං ගහට පොත්ත වගේ තමයි. මාරේ උඹ ඉස්කෝලේ ගියේ සුලෝහිත සටන් කරන ඉස්කෝල දෙකෙන් පුංචි බොරැල්ලේ තියෙන එකට නේද?

    මටත් ඉස්කෝලේ කාලෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වෙන්න හේතුව මමත් උඹ වගේම ශිෂ්‍යත්වේ පාස්වෙලා කොළඹ ඉස්කෝලෙකට ආව නිසයි. උඹ කියන කතාව ඇත්ත. ඉංග්‍රීසිය ගැන කතා කලොත් එක වසරේ ඉදලා කොළඹ පාසලකට ආව කෙනෙක්ගෙයි ශිෂ්‍යත්වේ පාස්වෙලා කොළඹ ඉස්කෝලෙකට ආව කෙනෙක්ගෙයි අතර ලොකු පරතරයක් දකින්න ලැබෙනවා. මට මතකයි මම හය වසරට ආව දවස් වල පංතියේ කොල්ලෝ වගේ ඒ කාලේ ප්‍රසිද්ද වෙලා තිබ්බ පිටරට සංගීත කණ්ඩායම් වල සින්දු අහනකොට ඒව මුමුණුනකොට අපි නිකං ගොඩයෝ වගේ උං දිහා බලාගෙන හිටියා විතරයි. අඩුම ගානේ එහෙම සිංදුවක් ඊට කලින් අහලවත් තිබ්බේ නැති බවත් මතකයි. ඉතින් ඉංග්‍රීසි පීරියෙඩ් එකෙත් ඔය ටිකම තමයි වුනේ. ටීචර්ස්ලා ඉංග්‍රීසියෙන්ම ඉංග්‍රීසි උගන්වනකොට අපි ඒ ඉංග්‍රීසි පොත් වල තිබ්බ රූප දිහා විතරක් බලගෙන පාඩම හිතෙන් මවා ගත්තා. AL කරලා ඉස්කෝලෙන් එලියට යන කොටත් ඉංග්‍රීය ගැන තිබුනේ පුදුම බයක්. කවුරු හරි කඩ්ඩ වනා ගෙන එනව නම් ෂේප් එකේ අයින් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ.

    නමුත් මාරේ ඉංග්‍රීසිය කියන්නේ ඉස්කෝලෙදි ඉගෙන ගන්න පුළුවන් දෙයක් වත් ක්ලාස් ගිහින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් වත් නෙවෙයි. අපි මේ පාවිච්චි කරන ජංජාලෙම ඇති ඉන්ග්‍රීසි ඉගෙන ගන්න. හැබැයි මචං එහෙම වෙන්නත් ඉංග්‍රීයිය නැතිවම බැරි සයිස් එකේ ලොකු උවමනාවක් හරි ආශාවක් හරි ඇති වෙන්න ඕනි. ඒ ආශාව ඉදිරියේදී කොයි මොහොතක හරි උඹටත් ඇති වෙයි. අන්න එදාට උඹත් පෙරලා පෙරල බලයි ඉංග්‍රීසියෙන් තියෙන වෙබ් සයිට්, ෆෝරම් වගේම බ්ලොග් සයිට්ස්. උඹ හොයාගන්න හදන දේ උඹට හම්බවෙනවා වගේම උඹ ඉංග්‍රීසිත් ඉගෙන ගනියි.

    මම දැන් ඉංග්‍රීසියට බය නැහැ. සුද්දෙක් මොකක් හරි වැඩකට ස්කයිප් වරෙන් කීවොත් මම කියන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් නැහැ ඒ නිසා වොයිස් නම් එන්න බැහැ ඕනි නම් ටෙක්ස්ට් චැට් එන්නම් කියලා. ඌ ටයිප් කරන ඕනිම දෙයක් තේරුම් ගන්නත් ඒකට රිප්ලයි කරන්නත් පුළුවන්. ඒත් තාමත් සුද්දෝ වොයිස් හරහා කියන දේවල් නම් එක පාරටම තේරුම් ගන්න අමාරුයි. මේ ලගකදී ඕස්ට්‍රේලියන් කාරයෙක් බැරිම තැන ස්කයිප් එකෙන් මගේ මොබයිල් එකට කෝල් කළා. මුලින් අමාරුවෙන් පටල පටල උත්තර දුන්නේ. පැය කාලක් වගේ කතා කලා. ඒත් පස්සේ හිතුනා වොයිස් කරන එකෙත් අවුලක් නැහැ කියලා. කොහොමවුනත් ඉංග්‍රීසිය කියන්නේ යකෙක් නෙවෙයි. අපි පටල පටල කතා කරනකොට අපේ එවුන් හිනාවෙන නිසයි අපි ඉංග්‍රීසියට බය. ඉංග්‍රීසිය කියන්නේ අපේ දෙයක් නෙවෙයි. දෙමල මනුස්සයෙක් පටල පටල සිංහල කතා කරන කොට අපි හිනාවෙන්නේ නැහැ වගේම අපි පටල පටල කතා කරනකොට සුද්දෝ හිනා වෙන්නෙත් නැහැ. මේ දේවල් මේ තරම් දුරට කිව්වේ මේ දවස් වල ඉංග්‍රීසිය ගැන කතාවෙන නිසයි....

    ReplyDelete
  19. මාත් දෙපාරක් ඕ ලෙවල් කරා. ගණිතයයි ඉන්ග්‍රීසියි...

    ReplyDelete
  20. @ චමිල

    මාත් දෙපාරක් කළා. දෙවෙනි පාර ගණිතය
    නීතිය අනුවනම් පොඩි නෝටි වැඩක්

    ReplyDelete
  21. @Chanaka Aruna Munasinghe

    මමත් එසේමය....

    ReplyDelete
  22. අර සෙනසුරු මාරුව ගැන ලියන එකට සෙනෙසුරා ලබලද? :)

    ReplyDelete
  23. අප්පෝ උඹට එක F එකයිද ? මට F දෙකක්ම තියනවා ..

    ReplyDelete
  24. I agreed with 'Kenny Dematagoda'. I studied your neighbor girls school & have the same story. but
    how lucky i am ;... i got a "c" pass...!

    ReplyDelete
  25. …මාරය්යගෙ ලිපිය කියවල කොමෙන්ට් එකක් දාගන්න අකුරු කොටා ගන්න බැරුව මෙච්චර වෙලා හිටිය ..

    …//යම් මඟ පෙන්වීමක් ලැබුනානම් ඔබ අද............ ??//
    …සමහර ලමයි ඉන්නව මග පෙන්වීමක් නැතුව ස්ව උත්සාහයෙන් ඉගෙන ගන්න .. ඒකට හොඳම උදාහරනය තමයි 2008 වසරේ වානිජ අංශයෙන් ලංකාවේ තෙවන ස්ථානයට පත් උන සිසුවිය ..ඇයට අම්ම තාත්ත දෙන්නම නෑ . මම ඇයට කතා කලා . උදව් කලා පුලුවන් විදියට මේ කතාව පුවත් පතෙන් දැකල .. පුදුමයි ඇයගේ කතාව ඇහුවම ..

    …ඉතින් එහෙම අයත් ඉන්නව . සමහර ලමයින්ට කවුරුහරි නිතරම මග පෙන්වන්න ඕන . නැත්නම් එයාලගෙ උනන්දුවක් නෑ . මම හිතන්නෙ ඔයත් එහෙම කෙනෙක් . ඒකයි මෙහෙම උනේ නේද ?
    …මෙතනදී ගුරුවරුනුත් වැරදී . ඒත් ගොඩාක් කැපවීමෙන් දරුවන්ට් උගන්වන ගුරුවරු ඉන්නවා .

    ReplyDelete
  26. හිත ඇත්නම් පත කුඩාද කියලා කතවක් තියෙන්නේ......

    මටත් OL එපාවෙච්චි පාර ALත් දමලා ගහලා ඉස්කෝලෙනුත් ගියා. ඒ උනාට පාඩුවක් උනේ නෑ.

    ReplyDelete
  27. හරි... බොට S එකක් තියෙනව කිව්වනෙ ඉංග්‍රීසියට,පුලුහන් නං The කියන එකේ තේරුම කියහන්.

    ReplyDelete
  28. මාරයෝ,
    ඉන්ගිරිසි බැරුව ඉඳල රටා ගලපලා හරි සුද්දගේ භාෂාවට S එකක් ගත්ත කියන්නේ ලොකු දෙයක්නේ බං. ඉංගිරිසි දන්නේ නැති හැමෝටම එහෙම කරන්න බැහැ. ඒ අතින් උඹ ගොඩක් දක්ෂයි

    උඹට අර උඩම තියෙනවා නේද හොඳ අකුරු දෙකක්
    මටත් ඒ වගේ අකුරු තියෙන්නේ ඔය දෙකටම විතරයි
    ඕ ලෙවල් කියන විභාගේ ගැන දැන ගත්තේ අක්කල හිටපු නිසා
    එහෙමයි කියලා අමුතුවෙන් පාඩම් කලේනම් නැහැ
    ඔන්න ඔහේ ගිහින් ලිව්වා...
    කොහොම හරි ගොඩ ගියා... ඒ මදෑ

    ReplyDelete
  29. ඉංග්‍රීසි තමයිමටත් අප්පිරියම විෂය. අපේ පන්තියේ 53ක් හිටියා. එක්කෙනෙක්ටවත් ඉංග්‍රීසි බෑ. අපේ විතරක් නෙවෙයි ඉස්කෝලෙම එහෙමයි. ගමේ ඉස්කෝලෙ නිසා ඉංග්‍රීසි විෂය ඉගෙන ගන්න කාටවත් වුවමනාවක් තිබුණේ නෑ. මිසුත් එනවා හැමදාම කොපිරයිටින් ලියන්න දීලා එයා දොයි. ඉතිං අපිත් ලියනවා. එච්චරයි. මට ලස්සනට poem කියන්න පුළුවන්. හැබැයි ඉතිං කලාප දිස්ත්‍රික් තරග වලටත් යනවා. දිනපු සහතිකත් තියෙනවා. ඒත් වටිනාකමක් නෑ ඒවගේ. මොකද මිස් සිංහලෙන් ලියල දෙන එක පාඩම් කර ගෙන ගිහින් ගිරවෙක් වගේ කියවපු එක විතරයි කලේ.අඩු ගානේ ඒකේ මං මට බනිනවද කියලවත් දන්නේ නෑ.
    අදටත් මං දුක් වෙනවා ඒක එහෙම වුන එකට. ඉංග්‍රීසි නැතුව අද මුකුත් කරන්න බෑ.
    මමත් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලදී කලේ ඔය කිට්ටුවෙන් තියෙන වචන හොයලා තිත් ඉරි උඩ ලියන එක. හැබැයි අයියට S ලැබුණට ගණිතයට A එකක් ගනිද්දී ඉංග්‍රීසි වලට මට ලැබුනේ W එකක්. පන්තියේ අනිත් 52ටත් ඒකමයි.
    සමහර විට මගේ ජීවිතේ කනපිට පෙරලෙන්න ඔය අකුර හුගක් බලපෑවා කියල මට හිතෙනවා. ඒත් මට හිතෙන්නෙ නම් උන්න හැටියට මලා මදිද කියලා නෙවෙයි.උන්න හැටියට මෙහෙම වුනේ ඇයි කියලා. මොනවා කරන්නද? ගමේ ඉස්කෝල වල ඉංග්‍රීසි වලට උනන්දුවක් නෑ අදටත්. ඒත් ඉස්සරහටත් එහෙම වුනොත් වෙන්නේ අනිත් විෂයන්වලට ඉහලින්ම ප්‍රතිඵල අරගෙන ජීවිතේ කප්පරක් හීන පුරෝගෙන ඉදලා අන්තිමේදී මේ විදියට හීන බිදිලා ලද දෙයින් හිත හදා ගෙන ඉන්න වෙන එක විතරයි.

    ReplyDelete
  30. ගණන් ගන්න එපා අයියේ. අඩු ගානේ ඔයා පොඩි කාලේ වැඩි ආතතියක් නැතිව ඉස්කෝලේ ගියා කියල හරි කියත හැකිනේ. හෆොය් ඒකට මම ගිය ඉස්කෝලේ තිබ්බේ පුදුම තරඟකාරීත්වයක්. සා පෙ පාස් වෙන්න නෙවෙයි ඩී 10 ක් ගන්න කියලයි කියන්නේ. පළවෙනිය උනොත් අහන්නේ දෙවෙනියට වඩා ලකුණු කීයද වැඩි කියල. හයියෝ!
    මට අවුල්ම විෂය උනේ බුද්ධාගම, සමාජ අධ්‍යනය වගේ ඒවා. කට පාඩම් කරන්න මම ආස නැති නිසා. හැබැයි මම ඒවාට ලකුණු ගන්න හැටි පස්සේ ඉගෙන ගත්තා! එකත් කලාවක්!
    මම හිතන්නේ ඕනෑම විෂයක් එහෙමයි. සමහර විෂයන් ඉබේ පුළුවන් වෙනවා. සහජයෙන්ම දක්ෂ වීම හෝ ඒවාට කැමති වීම නිසා. අනික් ඒවා ඉගෙනගන්න ක්‍රමේ අල්ල ගන්න ඕන. ගුරුවරුන්ගේ වගකීම මේක. මොකද එක්කෙනෙක්ට තේරෙන ක්‍රමේ නෙවේ අනික් එක්කෙනාට තේරෙන්නේ. නමුත් ඉතින් ලංකාවේ මෙහෙම එක එක්කෙනාට ගැලපෙන විදියට උගන් වන්න සම්පත් මදියි...

    ReplyDelete
  31. අනේ මන්ද බන් මට නම් මේක කියවලා ඉවර වුනාම දුක් වෙන්නද සතුටු වෙන්නද කියලා හිතා ගන්න බැරි වුනා.

    ReplyDelete
  32. මටත් ඔය සෙත්ත පෝච්චියමයි ඒලෙවල් වලදි උනේ,,,ඕලෙවල් හිතපු නැති විදිහට දරුණු ප්‍රතිපලයකින් පාස් උනු මාව විජ්ජාව කරන්න ගියා,,, හුටස් සොරි ඩොට් කොම්....
    ඉංග්‍රීසිය නම් බන් අයෑම් සමන් අයෑම් ප්‍රොම් ස්‍රී ලංකා, අයෑම් ගීතා අයෑම් ප්‍රොම් ඉන්දියා,අයෑම් මුරු අයෑම් ප්‍රොම් නයිජීරියා කියලා 3 වසරේ ඉදන් ඕක ඉගෙන ගන්න පටන් ගත්තේ තාම බැරි උනා නේ

    ReplyDelete
  33. පාඩම් නොකර ඔහොම කරගත්තානම් පාඩම් කලානම් කොහොම වෙයිද??? එහෙනම් අයියා අද කොයි වගේ තැනක ඉදීවිද? :O

    ReplyDelete
  34. පාඩම් නොකර ඔහොම කරගත්තානම් පාඩම් කලානම් කොහොම වෙයිද??? එහෙනම් අයියා අද කොයි වගේ තැනක ඉදීවිද? :O

    ReplyDelete
  35. @බට්ටි
    බට්ටි ඔයා දැන් උනත් ප්‍රමාද නැහැ ඉගෙන ගන්න. ඉංග්‍රීසි කියන්නේ මහා අමාරු දෙයක් නෙවෙයි. ඔයාට වැරදේවි කියල බය වෙන්නවත් ලජ්ජා වෙන්නවත් එපා. මව් භාෂාව නොදැන සිටීමයි ලැජ්ජාව. ඉංග්‍රීසි පොත් කියවන්න. චිත්‍රපටි, නාට්‍ය බලන්න. ජංජාලේ තියෙන නිසා අමාරු නැහැනේ. ඔබට ජය!

    ReplyDelete
  36. @ අමා
    විශ්වාසයක් තියෙනවා බැරි වෙන එකක් නෑ කියලා. කතා කරන්න නම් බය නෑ. නැවතිලා ඉන්න ගෙදර අය කතා කරන්නේ ඉංග්‍රීසි නිසා ටිකක් දුරට කතා කරන්න පුළුවන්. හැබැයි ලියන්න තමයි අමාරැ.
    ස්තූතියි යාළුවේ ඔයා දුන්නු උපදෙස් වලට.

    ReplyDelete
  37. මටනං දුක හිතුනා බං. ඒත් ක්‍රමේටනං මාත් මනාපයි...

    ReplyDelete
  38. මාරයා සර්ගේ ඉංග්‍රිසි පන්තිය...

    මටත් s එකක් තිබුනේ විද්‍යාවටනම්.. මොකද මටත් අයියා කිවුවා වගේ නිවුටන්ව මරන්න තරම් කේන්තියි..

    ReplyDelete
  39. සිනහව අතරින් කඳුළක් උපන්නා...

    ReplyDelete
  40. හික්. . . අඩේ මට උඹට වඩා වැඩි වෙලා තියෙන්නෙ S එකයි නෙව . . .
    මගෙ, සිංහල/ සමාජ අද්්‍යනය D, සංගීතය/ආගම S, අනිත්වා C . . . .
    උඹට කියන්න විභාගෙ ගැන දැනුම මට කියල උඹේ මට්ටමෙං එහාට දෙයක් තිබුනෙ නෑ . . . ඇඩ්මිශන් ආවම තමයි දන්නෙ "යකෝ මෙහෙම විබාගෙකුත් තියනවද" කියල . . .
    A/L කරන්න ගිහිල්ලත් ඔය සෙතේම තමයි . . . .
    මට ඒ කාලෙ කිසිම එකෙක් හිටියෙ නෑ "මෙන්න මේක තමයි පාර" කියල හැදෙන පැත්තකට යන්න කියල දෙන්න . . . .ඒකට ඇරියස් අල්ලන්න මම පුලුවං හැම එකාටම අද්්‍යාපනේ ගොඩ දාගන්නයි . . ඉස්කෝලෙං එලියට ගියාම ඉගෙනගන්න ඒවටයි මට පුලුවං හැටියට උදවු කරනව . . . .

    ReplyDelete
  41. මම මාරෙගෙ පෝස්ට් එකත්, ප්‍රතිචාරත්, ඒ වගෙම වෙනත් බ්ලොග් වල (සඳරූගෙ වගෙ) ලිපි ගනත් සෑහෙන කල්පනා කලා. පයිතගරස් මගෙත් හිට් ලිස්ට් එකේ හිටිය බුවෙක් තමයි. ඒක අල්ලලා දාමු. අපි ඉංග්‍රීසි ගැන විතරක් කතා කරමු.
    මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒකයි මට ඔය කොටස ඔච්චර වැදගත්. ලංකාවෙ ඉංග්‍රීසි උගන්නන එකේ අවුලක් තිබ්බා තමයි. ඒකත් පැත්තකින් තියමු.
    ඉංග්‍රීසි අර උඩ කොමෙන්ට් එකේ කිව්වා වගෙ තනියෙමත් ඉගෙනගන්න පුලුවන්. ඉංග්‍රීසි විතරක් නෙවෙයි ප්‍රංස. ජර්මන්, ඉතාලි, ජපන් වගෙ ඕනැම භාෂාවක් තනියෙන් ඉගෙනගන්න පුලුවන්, ඕනෙකමයි අවශ්‍යයි.
    හැබැයි මම නිතරම දකින පොඩි අවුලක් නම් තියෙනවා. ඒක තමයි ඉංග්‍රීසි වලට අපි සමහරු ලඟ තියෙන සතුරු ආකල්පය. hostile attitude අන්න ඒකත් එක්ක නම් ඔය වඩේ හරියට කරන්න බෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
  42. මම dude සහ kenny dematagoda කියල තියන දේවල් වලට සහමුලින්ම එකඟයි. සියල්ල ඇත්ත.

    හැබැයි මාරයා ඇතුලු ඉංග්‍රීසි බැහැයි කියල comment දාල තියෙන හැම දෙනාටම ඔලුව හිල් වෙන්න ටොකු අනින්න ඕන කියල හිතනව. මොකද ඉංග්‍රීසි ඉගෙනගන්න අවශ්්‍ය පහසුකම අතේම තියාගෙන ඒටික නොකරනවට. Internet එකේ ඕන තරම් තියෙනව නොමිලේ ඉගෙනගන්න පුලුවන් ඉංග්‍රීසි පාඩම්. තමන්ගෙ දැනුමට ගැලපෙන තරමෙ එකක් හොයාගෙන ඒක book mark කරල දවස ගානෙ ටික ටික ඉගෙන ගත්ත නම් මොකද වෙන්නෙ. dictionary එකක් අරගෙන දවසට වචන 05ක් පාඩම් කලානම් තේරුමයි සමාන පදයි එක්ක වසරකට වචන 2000කට ආසන්න ගනනක් නේද? මමනම් කියන්නෙ කිසිම උවමනාවක් නැතිකම සහ කම්මැලිකම කියල. පොඩිකාලෙ කවුරුවත් කියල දෙන්න කෙනෙක් නැති වෙන්න ඇති. එහෙම වුනා කියමුකො. හරි. ඒත් දැං පුලුවන්නෙ. ඉංග්‍රීසි ගැන මෙතනට එන කාටවත් කිසිම සමාවක් දෙන්න බැ කියලයි මම හිතන්නෙ. උවමනානම් අදම පටන් ගන්න පුලුවන් හැබැයි dude කියල තියෙන සතුරු ආකල්පය අතහැරල දාන්න ඕනෙ ආරම්භයෙදි .

    මම මිගාර

    ප.ලි. මගෙ comment එක සැර ඇති ඒත් මම කියන්නෙ ඇත්ත.

    ReplyDelete
  43. හ්ම්...ඒත් දැන් හරි ඉංගිරිසි ටිකකුත් ඉගෙන ගත්තනම් නරකද ?

    ReplyDelete
  44. මේ ප්‍රතිඵල නරකම නෑ බන්. ගණිතයට සම්මානයක් තිබුනනම් මේක විශිෂ්ඨ ප්‍රතිඵලයක්.අපි දෙන්නම එකම ඉස්කෝලේ එකම වයසේ ඉදගෙන එකම අවුරුද්දේ එකට විභාගේ ලිවුවත් අපි ඉස්කෝලෙදි කවදාවත් කතාබහ කරලා නැහැ.මගේ යාළුවො උබේ යාළුවො වෙලා හිටියට අපි දෙන්න ඉස්කෝලෙදි හදුනගෙන නැහැ.
    ඒක නෙවෙයි අර ඉංග්‍රීසි මිස්(චීටාරා) උඹලට ඉගැන්නුවේ නැද්ද?එයාගේ කටේ හැම තිස්සෙම තිබ්බේ "අයි විල් පනිෂ්ට් යූ " ආපෝ එයා පන්තියට එනකොටත් මටනම් එපා වෙනවා.

    ReplyDelete
  45. අම්මෝ ඉන්ග්‍රිසි ගැන නම් කථා කරලා වැඩක් නැ.. ස්කෝලේ නම් ඉගැන්නුවේම නැ... කොහොම හරි ගනිත විද්යා වලට A එනකොට මට ආවේ ඉන්ග්‍රිසි වලට C එකක්...

    ReplyDelete
  46. අපිත් ඉතින් ඕ ලෙවල් කාලේ ඉංග්‍රීසි ගැන කියනවනම් අපිට උගන්නපු ටීචර් මාර කෑල්ල .අපිත් ඉතින් එයාගේ අර දෙක දිහා බලාගෙන අනිමිස ලෝචනය කළා මිසක් ඉංග්‍රීසි මළපොතේ අකුරක් බැහැ.මට අනිත් හැම විෂයටම 95 + තිබුනත් ඉංග්‍රීසි වලට 40 - ,ඉතින් මේ අනිමිස ලෝචනය යන අතරේ දවසක් මාට්ටු උනා .ඒ මදිවට එය අපි සෙට් එකම දනගස්සුවා ,මෙතනින් අපේ අංශ බාර සර් යනකොට අපෙන් ඇහුවා ඇයි උබලා දනගහගෙන කියලා,පොරත් ජොලි පොර ,ඕන එකක් කියතහැකි ,අපේ උනුත් වෙච්ච ඩේ කිව්වා, එතකොට සර් ටීචට කතා කරලා කියපි "මිස් ඕවා ගණන් ගන්නෙපා මාත් ඔතන හිටියනම් මාත් කරන්නේ ඕකම තමයි " කියලා ,කොහොමින් කොහොමින් හරි මම ඉංග්‍රීසි ඉගෙනගත්තා විතරක් නෙමෙයි අපේ ඉස්කෝලේ ඕ ලෙවල් ලියපු ළමයි අතරින් ප්‍රයිස් ඒකත් දිනාගත්තා,මම තනියම ඉංග්‍රීසි ඉගෙනගත්තේ මරදානේ පරණ පොත් කඩවල තියෙන සෙක්ස් පොත් කියවලා,එතකොට දන්නේ නැති වචනයක් උනත් කොහොමහරි හොයාගෙන අසාවෙන් කියවනවනේ ,අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ,ඔබත් අත්හදා බලන්න ,ඉංග්‍රීසි වලට ඒ එකක් ෂුවර්

    ReplyDelete
  47. මම සාමන්‍ය පවුලක ගමක ලමයෙක් . ගොඩක් සල්ලි නෑ එත් ඉගෙනගන්න ගෙදරින් උනන්දු කලා ( බල කලේ නැති වග කියන්න ඕනේ ) ඉගෙනගත්තොත් ඉණිමගේ ඉහලට කවදහරි යාගන්න පුලුවන් කියල හිතුවා .පහේ ශිෂ්‍යත්වේ පාස්වුණා .දිස්ත්‍රික්කේ තියෙන හොඳම මිශ්‍ර පාසලට ඇතුලත්වුණේ . සා/පෙල වෙනකන්ම පන්ති ගියේ නෑ කිසිම විෂයකට ඉන්ග්‍රිසි වලට ඇර .ඒත් අපි ගිය පන්ති වල මහ ගොඩාක් ලියන්න කතා කරන්න ඉගන්නුවේ නෑ . ඉස්කෝලේ පොෂ් ඉන්ග්‍රිසි තිබ්බේ නෑ.ගෙදර ඉන්ග්‍රිසි කතාකරන පසුබිමක් තිබ්බෙත් නෑ .ඒත් ඉන්ග්‍රිසි කට් කලේ නෑ. ලොකු ආසාවක් තිබ්බ රවි ජෝන් ටී වී එකේ ඉන්ග්‍රිසි නිවුස් කියන විදියට කතාකරන්නයි , ඉන්ග්‍රිසි පත්තරේ කියවල තේරුම් ගන්නයි .සා/පෙල වෙනකොට සාමාන්‍ය මටටමට ලියන්න ඉන්ග්‍රිසි දැනුම තිබ්බ .ඩී එකක් ලැබුන . උසස්පෙල එක පාරින් පාස් කැම්පස් යන්න . කැම්පස් එකේ මම ඉගෙනගත්තු විෂය භාෂා 3 න්ම ඉගැන්නුව .තීරණේ කලා ඉන්ග්ලිශ් මීඩියම් පන්තියට යන්න පලවෙනි අවුරුද්දේ ඉඳලා . එතන වැඩියක් හිටියේ ගෙදර ඉන්ග්‍රිසි කතා කල , කොලඹ ඉහල ඉස්කෝලවලට ගිය ඉන්ග්‍රිසි චටස් පට්ස් ගාල කතාකරන ළමයි . දාල යන්න හිතුනා දන්න සිංහලට .ඒත් මගේ තාත්තා මට හිතේ හයිය දුන්න ඉන්ග්‍රිසියෙන් ඉගෙනගන්න .සා/පෙල ඉන්ග්‍රිසි වගේ නෙවෙයි මේ ඉගෙනගන්න තියෙන ඒවා .මුල් අවුරුද්දේ ලෙක්චර්ස් කිසි දෙයක් තේරුනේ නෑ . ලොකු පොත් අරන් එකම පිටුව දිහා පැයක් දෙකක් බලන් හිටියා තේරුම් ගන්න . ඒත් වැඩේ අතඇරියෙ නෑ. ලෙක්චර්ස් රෙකෝඩ් කලා . සිංහල නෝට් ඉල්ලන් කියෙව්වා .ආයෙ ඉන්ග්‍රිසි පොත් කියෙව්ව . ඩික්ශනරි 3 ක් බැලුවා . අතරින් පතර ලතින් වචනවල තෙරුම් ඉගෙනගන්නත් වුනා . විබාගෙට උත්තර ලිව්වා . පැය බාගෙක රිට්ටන් ඇනැලිසිස් ඉල්ලනවා හැම ප්‍රශ්නෙටම .පරන ප්‍රශ්ණ පත්තර වලට උතතර ලියලා පාඩම් කරගෙන ගේම ඇතෑරියෙ නෑ. බී එකයි c හතරයි මුල් අවුරුද්දා . දෙවෙනි අවුරුද්ද ටිකක් ලේසි වුනා .තුන්වෙනි හතරවෙනි අවුරුදු වලදි කිසි බයක් නැතුව ලෙක්චරස්ල , යාලුවො එක්ක ඉන්ග්‍රිසි කතා කලා . ඔය මුලු කාලෙදිම යමක් ලිව්ව්නම් ඒක ලිව්වෙ ඉන්ග්‍රිසියෙන් .කියෙව්වනම් කියෙව්වේ ඉන්ග්‍රිසියෙන් . උපාධිය ගත්තා ක්ලාස් එකක් නෑ සාමාන්‍ය සමත් ඒත් ඉන්ග්‍රිසියෙන් . එකම විශයක් විතරයි ඔය අවුරුදු 4 ටම රිපීට් වුණේ . එක ගොඩ දාගත්තා එක පාරකින් .මේ මම කරන 3 වෙනි රස්සව . ෆයිනල්ස් වෙනකොට සල්ලි කීය කීය හරි හම්බ කලා ඉන්ග්‍රිසි ලිපි සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා . පලවෙනි රස්සවේ ඉඳන් තිබ්බ ඔක්කොම ඉන්ටර්විව් ඉන්ග්‍රිසියෙන් හෙවත් කඩුවෙන් . ඒවා හොඳින් කලේ අර කැම්පස් අවුරුදු හතරට පින් සිද්දවෙන්න. අද මම පිටු ගණන් රිපෝර්ට් , ප්‍රොජෙක්ට් ප්‍රපෝසල්ස් ඉන්ග්‍රිසියෙන් ලියනවා ඒවා සුද්දගේ රටටත් අරිනවා , කොන්ෆරන් කෝල් කරනවා ලෝකෙ හැමතැනම ඉන්න කලු සුදු මිනිස්සු එක්ක වැඩ කරනවා .කවදාවත් එලකියුශන් පංති ගිහින් නැතත් ඕනෙම ඇක්සන්ට් එකකට කතා කරන්න තේරුම් ගන්න පුලුවන් . කියන්න ඕනෙ වුණේ ඉන්ග්‍රිසි අමාරු වයිර කලයුතු දෙයක් නෙවේ . ඉන්ග්‍රිසි පුලුවන් වෙන්න කොලඹ ඉස්කෝලෙට යන්න ඕනෙත් නෑ. ඒ වගේම ඉන්ග්‍රිසි බැරි වෙන්නෙ නෑ ,අඩු වෙන්නෙ නෑ ශිෂ්‍යත්වෙන් කොලඹ ගියාට . අපි ඉන්ග්‍රිසි ගැන හීනමානයක් තියාගෙන වැඩ කලොත් නම් අපිට ඉන්ග්‍රිසි බැරි වෙනවා .ඒ වගෙම ඉන්ග්‍රිසි පුලුවන් වුණා කියලා එකේ බොරු ආටෝපේ මම කාටවත් පෙන්නන්න යන්නෙත් නෑ . ඕලෙවල් , ඒ ලෙවල් විබාග ගැන මතවාදී ප්‍රශ්ණ ඇති .ඒත් මෙ කඩඉම් සමත්වීම ගොඩාක් දේ වලට බලපානව ඉදිරි ජීවිතේ . ඉගෙන ගැනීමටම වෙන්වුන කාලයක් අපිට ලැබෙන්නේ නෑ අවුරුදු 20කින් විතර පස්සේ .ඒ නිසා ලැබෙන කාලෙන් යම් පලක් ගැනීම වැදගත්

    ReplyDelete
  48. යකෝ මම මේ ලිපිය කියෙව්වේ පස්සේ.මාරයිනේ.....

    ReplyDelete
  49. ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ඕන ඒත් දැන් පංති යන්න අරෙහෙ මෙහෙ බැරි වයසෙ කට්ටියට තියෙන හොඳම බේත කියවීම...

    අනෙක ඉංග්‍රීසි චිත්‍රපටි බලනකොට සිංහල උපසිරැසි තියෙනවනම් ඒක අයින් කරල ඉංග්‍රීසි උපසිරැසි එක්ක බලන්න... මම දැනුත් Sci-Fi Movie එකක් හෙම බලනකොට කරන වැඩක්...

    ReplyDelete
  50. 1 වසරෙ ඉදන්ම ස්කෝල වල ඉංග්‍රීසි උගන්නනවා... අවුරුදු 13 ක් ඉගෙන ගෙනත් ඉංග්‍රීසි බෑ... කාගෙද වැරද්ද ?

    හතු පිපෙන්න වගේ ක්ලාස් ඕනි තරම්.... ඒවයේ ළමයි පිරිල... එත් ඉංග්‍රීසි බෑ...

    වැරද්ද ඕක උගන්නන ක්‍රමේ සහ සමාජයේ.

    අමාරුවෙන් බැරි මර ගාතේ කතා කරන්න බෑ.. යන්තම් වැරදුනොත් හිනා වෙන්න බලන් ඉන්නෙ.. පුළුවන් බැරි එවුන් ඔක්කොම. ඉතින් බය හිතේ පොඩි කාලේ ඉදන්ම. ඉතින් ඉංග්‍රීසි යකෙක් වෙනවා.

    මටත් ඔය සෙතේමයි. ඒ ලෙවල් ලිව්වෙ වෙන එකෙක්ගෙ පේපර් එකක් ඉල්ලගෙන ( කොපි කරා හික් හික් )... ඒ කරලත් යන්තම් පාස් උනේ.

    රට උණ ගැහුව නිසාත් යන්න නම් විභාගෙ පාස් වෙන්න ඕනි නිසාත් ඉගෙන ගන්න ට්‍රයි කල.

    බ්‍රිටිශ් කවුන්සිල් ගිහින් ලයිබ්‍රි එකේ දවසම ගත කලා.
    සක්විතිගේ පොත 100 පාරකට වඩා බැලුව. ( පොර හොරකම් කලා තමා. ඒත් උගේ සරල ක්‍රම තිබ්බ මුල ඉදන් ඉගෙන ගන්න කෙනෙක්ට ).

    මහ ගොඩක් බැරි උනත් සුද්දන්ගෙ රටේ සුද්දො එක්ක නිතර කතා බහ කරන්න වෙන රස්සවක් කරන් ඔය ඉන්නෙ ඉතින්.

    මම නම් කියන්නේ තනියම පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න.

    පත්තර කියවන්න.... නිවස් අහන්න... ෆිල්ම් එකක් උනත් සිංහල සබ් නැතුව බලන්න. ඉංග්‍රීසි සබ් තියෙනම් දාගන්න. සිංහලයි ඉංග්‍රීසියි ඩික්ශනරි එකක් අරන් වචන හොයා ගන්න.

    තනියම හරි කතා කරන්න ට්‍රයි කරන්න. බය ඇර ගෙන උනන්දු උනානම් ඕක ගේමක් නෑ. රොකට් සයන්ස් නෙමෙයි නේ.

    ReplyDelete
  51. ඉංග්‍රිරිස් තනියම ඉගෙන ගන්න හොඳම ක්‍රමේ තමයි අර වානරයන්ගේ ටාසන් ඉන්ගිරිස් ඉගෙන ගත්ත ක්‍රමේ. ඉංගිරිස් අකුරු වලින් ලියපු මොකක් හරි මගුලක් , වචන සහ පින්තූර 2ම තියෙන (පත්තරයක්, වෙබ් පිටුවක් වගේ ඕනෙ මගුලක්) ඇස් දෙක ඉස්සරහින් තියන් තමන් කරන වැඩේ කරන එක. ෆිල්ම් එකක් බලනකොට සබ්ටයිටල් ඉංග්‍රීසි , සිංහල 2න්ම් පෙන්නන (එහෙම ඒවනම් දැකල නෑ. බයිස්කෝප් කණ්ඩායමට කරදර කරල එහෙම ඒව 2 3 ක් හදවමු ). ඉංග්‍රිසි අකුරු වච එවුවා ඔන්න ඔහේ තිබුණාවෙ. ඉගෙන ගැනුනොත් ඉගෙන ගැනුනාවෙ. ඉගෙන ගැනුන් නැතත් ඉතින් පාඩුවක් නෑනෙ.

    ReplyDelete
  52. අර චානක කිව එක නම් මාත් පිලිගන්නවා..!

    ReplyDelete
  53. එක පාරක් comment කලා... ආයෙත් දානවා වැදගත් නිසා...

    තාත්තා මට අ-A, ක-k කියලා සිංග්ලිෂ් ඉගැන්නුවේ මං තුන වසරෙදි. එදා ඉඳන් අහුවෙන හැම වචනෙම මම සිංග්ලිෂ් ලියලා පුරුදුවුනා. Sunlight එක sanlayt වුනේ නැත්තේ ඇයි කියලා මං දහ අතේ කල්පනා කලා... ඒ වගේ දිව උළුක් වෙන වචන සුන්ලිට්හ්ට් කියලා ප්රiනවුන්ස් එකනේ මතක තියාගෙන ලියන්න පුරුදු වුනා. O/L වෙනකොටත් සිංග්ලිෂ් විදියට ඉංග්රීටසි වචනයක් කියවන්නත්, සාමාන්යි විදියට තේරුම් ගන්නත් ඇරෙන්න මට ඉංග්රීතසි දැනීමක් තිබුණේ නෑ.

    මුලින්ම ඉංග්රීසසිය ආශ්රෑය කලේ ක්රිවකට් විස්තර විචාරයන් වලින්... ආසාවෙන් මැච් එක බැලුවට තේරෙන්නැති නිසා මම වුවමනාවෙන් ඉංග්රීකසි කමෙන්ට්රි අහන් උන්නා... හැමදාම කියන එකම වචන සෙට් එක මට තේරුම් ගන්න පුළුවන් වුනා... ඊට පස්සේ උසස් පෙළ ඉද්දී කොම්පියුටරේ හදි ගැහුනා... වැඩ කරන්න ආස වුනාට සද්ද දදා එන එන එන පණිවුඩ තේරුම් ගන්න බැරි වුනා... ඩික්ෂනරියත් ලඟ තියාගෙන ඒවා කියවලාම තේරුම් ගත්තා. VB ප්රෝනග්රැපමින් ඉගෙන ගත්තු නිසා එතනිනුත් යමක් ගන්න පුළුවන් වුනා... පහු කාලේ ජංජාලේ භාවිතය වැඩි වුන නිසා හැම දේම ඉංග්රීිසියෙන් කරන්න වුනා... පන්ති ගිහින් ග්රැනමර් ටික යන්තන් ගොඩ දාගත්තා. තාමත් හොඳටම ඉංග්රීගසි බෑ... ඒත් මට ඉංග්රී සි බෑ කියලා මම කියන්නෑ. මට ඉංග්රීලසි පුලුවන්... අද මං මම උගතෙක් නොවුනත්, ඉංග්රීගසි ලිපි සිංහලට හරවලා ලියන්න තරම් මට දැනුමක් ලැබුනේ. අවුරුදු 10 ක විතර ඉගෙන ගැනිල්ල නිසා... තාමත් ඉගෙනගන්නවා. වරද්ද වරද්ද කියනවා... ලියනවා... අවුරුදු 40 දී හරි ගේමක් නැතුව කඩු වනන්න පුළුවන් වේවි නොවැ...

    මෙන්න ඉංග්රීනසි ඉගෙන ගන්න හොඳ තැනක් ... ගිහින්ම බලන්න. මෙතනට කොටන්න

    ReplyDelete
  54. මටත් එහෙම්මමය.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... හැබෑ මං පළවෙනි එකෙන්ම සී එක අරන් ලඳදෙයින් සත්ටු උනා....

    ReplyDelete
  55. එළ.මේක හෙනම ප්‍රායෝගික ක්‍රමයක්.

    ReplyDelete
  56. ම්ම්ට්ත්Mamath 5 loku iskolekata giya. Melo magulak therune na. English goda demme oya vidiyatamayi. Mam wagema mage langa hitapu ekek oka kiyala dunna. Kohoma unath utayi.matai emgineruwo wenna wasanawa thibuna

    ReplyDelete