22 November 2011

අපෙත් කතාවක් ඇත...

මේ ලිපිය කොතනින් පටන් ගන්නද කියලානං මටත් තේරුමක්නැහැ..ඒ වගේම කොහෙන් පටන් අරන් කොහෙන් කෙලවර වෙයිද කියන්නත් මට තේරුමක් නැහැ.. ඒත් මටත් කියන්න කතාවක් තියෙනවා.. ඒ තමා මගේ වගේම මගේ පවුලේ හා ඒ හා සමාන හුගාක් පවුල්වල කතාව...

මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා සමහර වෙලාවට මේ වගේ දේවල් ලියන්න පටන් ගත්තට ලියාගෙන යද්දී හිතේ ඇතිවෙන දහසකුත් එකක් සිතිවිලි එක්ක ලියන්න හිතුව දේ මට ලියවෙන්නේ නැති එක...අන්තිමේදී පටන්ගන්න කොට මං ලියන්න හිතුව දේ නෙවෙයි මට ලිය විලා තියෙන්නේ..ඒත් බලමු පුළුවන් තරං හෙමිහිට ඒ දේ කරන්න...

හවස බ්ලොග් බල බල ඉන්නකොට අපේ බනිය මලයගේ ලිපියක් හම්බ උනා කියවන්ට... කොහොමත් මං බනියගේ ලිපි කියවන්න කැමතියි... ඒකාත් වැඩි කැටයං නැතිව ඔහේ හිතට හිතෙන දේවල් ලියාගෙන යන විත්තිය මං දන්න හින්දා අහු වෙන හැම වෙලේම මං ඒකගේ ලිපි කියවනවා. ලිපි ගාන අඩු උනත් වැඩි අඩ බෙර ගැහිලි නැති උනත් බනියා කියන්නෙත් මේ බ්ලොග් අවකාශයේ පරණම පොරක් සහ මගේ දැකීමේ හැටියට මටනං පොරක්...

අපි ලියන්න පටන් ගන්නකොටත් බනියා බ්ලොග්වල හතර අතේ කැරකි කැරකි හිටිය හාදයා.. ඒ වගේම මුල් කාලේ ඉඳන්ම මාවත් දැන හදුන ගත්ත එකෙක්...ඌ ගැන කියන්නං දේවල් හුගාක් තියෙනවා උනත් ඕවා කියලා ඕකාව උඩ දාපුවම බිමට බස්සගන්නත් ආයෙම මං තව පෝස්ට් දෙක තුනක්වත් ලියන්න ඕන හින්දා ඒ ගැන වැඩිය නොකියා ඉම්මු..කෙටියෙන්ම කියනවනං හොඳ කොල්ලෙක්..

ඉතිං මේකා දාලා තිබුනේ චිත්‍රපටයක් ගැන කතාවක්..ඒත් චිත්‍රපටය හරහා ඒකා කියලා තිබුනේ දේශපාලන කතා වගයක් තමා... ඒත් ඇත්තටම ඌ ඒ ලිපිය ආරම්භ කරපු විදිය දැක්කම මට ඌ ගැන ඇති උනේ ගෞරවයක්... වටේ යන්නේ නැතිව කෙලින්ම තමුන්ගේ දේසපාලන කැමැත්ත ගැන ලියලා ඒ අනුව ඉස්සරහට ගිහින් තිබුනා. ඒ අතරේ විස්තර කරලා තිබුනා ඇයි බනියා ඒ දේසපාලනයට කැමති උනේ කියන කාරණාව... මහා ලොකු දේවල් නැති උනාට ඒ අතරේ තිබුන දේ තමයි බනියාගේ පවුල් පසුබිම... එයට දේශපාලනය ගෑවෙන්නේ කොහොමද කියන එක... ඒක කියව කියව ඉන්න වෙලාවේ මට එක පාරටම ඇහැ ගිය තැනක් තමා බනියට කැමරාවක් අරං දෙන්න තාත්තට හැකියාවක් නැති වීමේ කතාව...ඒක ඇත්තටම ටිකක් සංවේදී විදියට ඒකා ලියලා තිබුනා...

"මට ඔනි ඔනි දේ මේකයි කියලා දෙපාරක් ඇඩුවාම දුක හිතිලා අරන් දීපු තාත්තට මට කැමරාව අරන් දෙන්න විදියක් නැ පුතෙ කිවාම මගේ පපුව හෝස් ගාලා ගියා.. ඒක කලේ ඔබයි රජතුමනි..!"

ඒත් ඒ කොටස දැක්කම මට මං ගැනයි මගේ තාත්තා ගැනයි මතක් වෙන එක අහන්නත් දෙයක්ද..? මං ඒ ගැන එතන කෙටියෙන් කියලා එන්න ආවා උනත් තාමත් හිත ඇතුලේ ඉතිරි වෙච්ච කතාවක් තියෙනවා...බනියටයි බනියගේ තාත්තටයි වගේම මටයි මගේ තාත්තටයි කතාවක් තියෙනවා...
.............................................

මා උපන්නේ වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ නවයේදීය...එහෙත් උත්පත්ති අවධියත් ඒ හා සබැඳුන කිසියම්ම හෝ මතකයක් මා සතුව නැත... මාගේ මතකයේ ඇත්තේ එක්දහස් නවසිය අසූ තුනත් අසූ හතරත් ආසන්න සමයේ සිට ඉදිරියට ගලා එන්නා වූ මතකයක් පමණි...

ඒ මතකය අතරේ තිබුනේ වැඩි පුරම දුකත් වේදනාවත් පිරි මං සලකුණු පමණි. දරිද්‍රතාවයත් ඒ හා වෙලුන අත්දැකීම් සමුදායකුත් අදටත් සිහියට නැගෙන්නේ සිත පුරාම ගලා යන තුනී වේදනාවක්ද සමඟිනි...

පර්චස් විසි පහේ ඉඩම් කැබැල්ලේ තනා තිබු නිවස ප්‍රධාන කාමර දෙකක් පමණක් විය. එහි සාලය කෑම කාමර ආදි කිසිවක් නැත නිවස පල දෙකකින් යුතු වූ අතර කාබොක් ගලින් බැඳ කපලාරු කොට රට උළු හෙවිලි කොට බිමට සිමෙන්ති දමා රතු පැහැයෙන් මැද තිබුනි.නිවසටම වූයේ කාමර දෙකක් පමණී. මුදුන් බිත්තියේ වූ නිවසේ ඉදිරිපස දෙරටුවෙන් ඇතුළු වූ විට නිවසේ පළමු කාමරයටත්.. ප්‍රධාන දොරටුව කෙලින්ම වැටුන් මැද බිත්තියේ දොරින් ඊ ළග කාමරයටත් පිවිසිය හැකි අතර එම කාමරයේත් පිටුපස උළුවස්සක් පිහිටා තිබූ අතර එයින් නිවසින් එළියට යා හැකිව තිබුනි.. කෙටියෙන් කිවහොත් උළුවහු තුනක් එක කෙලින් පිහිටා තිබූ නිවසේ කාමර දෙකට අමතරව තිබුනේ ඉදිරි පසත් පසුපසත් මිදුලේ කනු සිටවා දෙපැත්තට බා තුබූ යාලතු දෙක පමණි.පසුපස යාලත්ත කුස්සිය සේ භාවිතා කල අතර ඉදිරිපස කෑල්ල යන එන අයට සෙවන පිණීස විය.


මෙම කාමර දෙකින්ද ඉදිරිපස කාමරයේ තාත්තා විසින් සිල්ලර බඩු කඩයක් පවත්වා ගෙන ගිය අතර වරින් වර කාල වලදී එය වසා දමන අතර..නැවතත් කීයක් හෝ හොයා ගත් විට නැවතත් ආරම්භ කරනු ලැබූ ආකාරයේ එදා වේල කඩයක් විය. ඒ අනුව ගෙදර හතර දෙනාටම ජීවත් වන්නට තිබුනේ එකම එක කාමරයක් පමණී..එයද අඩි12*10 වැනි ඉඩක් තිබූ එකකි.

නිවසටම තිබුනේ එකම එක ඇඳකි. අල්මාරි ආදිය එයි නොවුන අතර මේසයකට කියා තිබුනේ කඩේ මේසය පමණී.නිවසටම ආලෝකය සැපයූවේ භූමිතෙල් ලාම්පු වලිනි... කඩේටත් අප ජීවත් වූ කාමරයටත් චිමිනි ලාම්පු දෙකක් වූ අතර කුස්සිටය පාවිච්චි කලේ කුප්පි ලාම්පුවකි... මෙයට අමතරව තාත්තා සතුව කොහෙන්දෝ ගෙන ආ පැට්‍රෝල් මැක්ස් එකක් විය..එහෙත් එය පත්තු කිරීම පහසු දෙයක් නොවීය..එයි තිබූ භූමිතෙල් කාන්දු හේතුවෙන් එය දැල්වීම යනු අධීක වියදම් යන කාරියකි.එහෙත් නිවසේ විශේෂ අවස්ථාවලදී එය වරින් වර දැල් උනා මට මතක ඇත. එවන් විශේෂ අවස්ථා රාශියක් නොවූ අතර වැඩි පුරම සිදු වූ දේ නම් තාත්තා ඉතා සමීපව ඇසුරු කල දේශපාලකයකු හා ජනප්‍රිය නළුවකු වූ විජය කුමාරණතුංග හා ඔහුගේ ඇඹේණීය පැමිණෙන අවස්ථා ආදිය පමණී. එවන් දිනවල වේල පහම ලාම්පුව සුද්ධ කොට තෙල් තමා අළුත් මැන්ටලයක් සවිකර හුලං ගසා එය සූදානම් කර කළුවර වැටෙන විටම එය දල්වයි.චිමිනි ලාම්පු එළියට වඩා දීප්තිමත් එළියක් වූ එම එළියට එවකට පොඩි උන් වූ මාත් මල්ලීත් මහත් සේ ඇළුම් කලෙමු.එහෙත් හැමදාම එය එසේ දැල්විය නොහැක්කේ මන්දැයි අපට වූ ගැටළුවට මා හට පිළීතුරු ලැබුනේ පසු කාලයකදීය.. එය වියදම පිළීබඳව වූ ගැටළුවකි.

කුස්සියේ බිම කළු ගල් තබා සකස් කල දර ලිප් වල ඉවුම් පිහුං වැඩ කල අතර මැටි කලයක පිරවූ වතුර නිතර බීමට ගන්නා ලදි. ගෙයින් අඩි විස්සක් පමණ දුරින් වැසිකිලිය පිහිටා තිබූ අතර එය වල කක්කුස්සියක් විය. ළඳ තිබුනේ ගෙය ඉදිරි පස වූ හෙයින් වැසිකිලි යාමට උවමනා වූ කල්හී ලිදේ සිට වතුර පනිට්ටුවක් රැගෙන වැසිකිලියට යාමට තිබූ දුර පොඩි එකෙකු වූ මා හට එකල දැනුනේ සැතපුම් වලිනි.

මේ මාහට මතක ඇති මුල්ම කාලයේදී අපගේ නිවසේ පැවති තත්වයයි... අහල පහල අයට වඩා අප හට නැති බැරිකම් වැඩි බව තේරුනේ ඒ ඒ අයට ඇති ඉඩ කඩම් හා ගෙවල්වල ඇති ලොකු පුංචිකං අනුවය...එහෙම බලනා කල අප හිටියේ බොහෝම පහළ තැනක වූ අතර දන්නා කාලයේ පටන්ම මේ ජීවිතය ගැන මා තුල වූයේ බලවත් දුකකි. එහෙත් ඒ දුකට හේතුව මා දැන සිටියේ නැත.. එහෙයින් එයට හේතු සෙවීමට හැකි සෑම විටම උත්සහ කලෙමි...

"ඇයි තාත්තේ අපිට සල්ලි නැත්තේ..?"
"ඇයි තාත්තට රස්සාවක් නැත්තේ..?"

එවකට මැදි වසයත් පසුකොට සිටි තාත්තාට අපේ පැන වලට දීමට පිළීතුරු නොවීය.. එහෙත් වරින් වර නැගෙන ප්‍රශ්න හමුවේ තාත්තා වෙනුවට ඒවාට උත්තර බැන්දේ අම්මාය...

"උඹලගේ තාත්තටත් හොඳ රස්සාවක් තිබුණා පුතේ..ඒත් කොහේද මේ දේශපාලනයක් හින්දා ඒකත් නැති කර ගත්තනේ..නැත්තං මෙහෙමද ඉන්න තිබුනේ?"

ඔය ටික කිය වෙන විට තාත්තා කොහේ හෝ සිට පැමිණ එයට උත්තර දෙන්නට පටන් ගනී...ඔහුට අනුව වරද ඔහුගේ නොවේ..වරදකාරයා "ජේ ආර්"ය... "ජේ ආර්" විසින් හිත් පිත් නැතිව දහස් ගණනක් දෙනාව රැකියා විරහිත ගොඩට ඇද දැමීම හරහා අසරණ වූ පවුල් රාශියකින් එකක් බවට මාගේ පවුලද පත්ව තිබිණ...

එය 81 වර්ජන සමයේම සිදු වූ දෙයක් වූ අතර කෙලින්ම වර්ජනය හා සම්බන්ධ ඉවත් කිරීමක් නොවන බව මා තේරුම් ගත්තේ පසු කාලීනවය... පතනක් මගින් ලංගම සේවකයින් ඉවත් කිරීමකදී එයින් ඉවත් වෙනවා හැර වෙන කල හැකි දෙයක් නොවූ තැන තාත්තා විසින් ගත් තීරණයකි. නමුත් ඉවත් වූ ඔහුත් ඇතුළු සේවකයින් රැසක් වෙනුවෙන් ලංගමයට සුවිශේෂී පුද්ගලයකු වූ "අනිල් මුණසිංහ"යන්ගේ මෙහෙයවීමෙන් නඩුවක් පවරා තිබූ අතර එය ජය ගැනීමට සේවකයින් සමත්ව තිබිණ..ඒ අනුව එහි තීන්දුව වූයේ නැවත රැකියාව හෝ නිසි වන්දියක් සේවකයින්ට ලබා දිය යුතු වූවත් නැවත කිසිම දිනකදී ඔවුනට රැකියා ලබා දීමක් නොවීය...

ඒ වෙනුවට වන්දි ගෙවීමට රජය තීන්දු කලද එය කෙදිනකවත් නොලැබෙන වන්දියක් බවට පත්ව තිබී වර්ෂ එක්දහස් නවසිය අනූ හතරෙන් පසුව පැමිණි චන්ද්‍රිකා රජයෙන් ඒ පිළීබඳ සොයා බලා වන්දි ගෙවීමට යෙදුණි. එය ලැබෙනා විට එක්දහස් නවසිය අනූ හත වසරද එළඹී තිබිණී... එක් දනස් නවසිය අසූ දෙකෙදී නිගමනය වූ වන්දි මුදල වූ රුපියල් එක් ලක්ෂ විසි දහසක් වැනි වූ විශාල මුදල ඒ වන විට නිකංම නිකං බාල්දූ වූ මුදලක් වී තිබිණ.

මෙවැනි කරුණු හරහා ජේ ආර් හා ඔහුගේ රජය සමඟ මාගේ සිතෙහි වෛරයක් ඇති වීම මහා පුදුමයක්ද..? ඒ ආරම්භය විනා අවසානය නොවීය..රැකියාව නැති තාත්තා ජීවත් වීම පිණිස කුඩා කඩයක් දැමූවත් නිතරම ණයට බඩු ගැනීමට පැමි‍ණෙන මිනිසුන් නිසාත්..එන කිසිවකුව හෝ හිස් අතින් අරින්නට අකමැති කම නිසාත් තාත්තාට කඩ කෙරුවාව යා දුන්නේ නැත...කඩයෙන් පමණක් දිවි ගෙවීම අපහසු බව වැ‍ට හීම නිසා තාත්තා තව බොහෝ දේ ජීවත් වීම පිණීස කරන්නට යෙදුණී.

සිල්ලර කඩයට අමතරව තේ කඩයක් කිරීම එයින් එකකි. හිමිදිරි පාන්දරම අවදිව කිලෝ ගනන් පිටි අන අනා ඉඳි ආප්ප තම්බමින්..රොටී පුච්චමින්..තෝසේ හදමින් ඔහු අපමණ වෙහෙසක් දරන අන්දම අප බලා සිටියෙමු.හවස් වරුවේ පිටි තම්බමින්..වඩේ සෑදීමට පරිප්පු අඹරමින් නැහෙන අන්දම අපි බලා සිටියෙමු. එයින්ද මහා ලාභයක් නැති වූ කල කාඩ් බඩු සෑදීමට පටන්ගත් තාත්තා ඒ සඳහා සෑහෙන මහන්සියක් දැරීය...
ඇත්තෙන්ම එතරම් වෙහෙසක් තනි මිනිහෙකුට කෙසේ නම් දැරිය හැකිදැයි මට අදටත් සිතා ගත නොහැක.

උදෑසනම අවදිව කඩයප්පං හදන ඔහු සවස බාගෙට බැඳ තිබූ වඩේ තොගය නැවත වතාවක් බැඳ උදෑසනම බයිසිකලයත් පැදගෙන ගොස් පළාතේ තවත් කඩ වලට දමා එයි.. පාපැදියෙන් ඔහු ගිය දුර පිළීබඳව එවකට මට වැටහීමක් නොවුනද පසු කාලයකදී මා තේරුම් ගත්තේ එම දිනවල උදෑසනම හැතැම්ම අටක් පමණ වටයක් ගසා එන බවයි. එසේ පැමිණෙන තාත්තා එතැන් පටන් උදේ කඩේට එන අයට කෑම බීම තේ වතුර සපයයි.

පාරිභෝගිකයින්ගේ පැමිණීම තරමක් අඩු වන උදෑසන නවය පමණ වන විට නැවතත් පාපැදියේ පිටුපස ඇති ලැගේජයට ලොකු ලෑලි පෙට්ටිය බැඳ ගන්නා ඔහු එයට කාඩ් බඩු පුරවාගෙන ගෙදරින් පිට වී ගොස් නැවත පැමිණෙන්නේ හවස තුන හතර වෙද්දීය... ඒ පැමිණි වහා බත් ඩිංගක් කා දමා නැවතත් වඩේ සඳහා පරිප්පුත්..ඉඳි ආප්ප සඳහා පාන් පිටිත් සකස් කරයි... දවසක් තුලදී ඔහු කොතරම් දුරක් බයිසිකල් පඳිනවාද යන්න සිතාගත නොහැක තරම්ය.. පැමිණි පසුව කියනා ගම්වල නංගං එවකට මා දැන නොසිටියත් පසු කාලීනව දැන ගත් පසු මා පුදුම විය.. ඒ අනුව ඔහු මුළු ගම්පහ දිස්ත්‍රික්කය පුරාවටම පාරවල්වල බයිසිකල් පදිමින් කඩ වලට බඩු දැමීම කර ඇත. එක් දිනකට හැතැම්ම විස්ස තිහ බයිසිකලය පැද ඇත...

එවකට අප නිවසේ රාත්‍රි ආහාරය ගනු ලැබූයේ හවස හයත් හය හමාරත් වැනි කාලයකදී වූ අතර එයින් පසුව කුඩා උන් වූ අප නිදි මරගාතේ වැටුන වැටුන තැන නිදියන අතර ඇතැම් දිනවලදී පමණක් තරමක් රෑ වන තෙක් ඇහැරී සිටියෙමු. අප නිදා ගත්තත් තාත්තාට එවන් නින්දක උරුමය නොතිබිණී... රෑ කෑමෙන් පසුව එදිනෙදා ගනන් හිලවු බලා අවසන ඔහු රාත්‍රී සේවා මුරයට සූදානම් වෙයි... හවස අනා සකස් කල පරිප්පු ටික සකස් කර වඩේ බැඳීමත්... තැම්බූ පාන් පිටි කැට පොඩි කර හැලීමත් කල යුතුම රාජකාරි විය..

ඒ ටික ඉවර වන්නේ කීයටද එතැනින් පසුව ආරම්භ වන්නේ කාඩ් බඩු සෑදීමයි...

තොග මිලට ගෙන එන ගම්මිරිස්..එනසාල්..කරඳමුංගු..ගොරකා..රබර් බෑන්ඩ්...නිල් කුඩු...හූණු බිජු...ආදී බොහෝ දෑ ඒ අතර විය..සැමදාම රාත්‍රියේ පැය කිහිපයක් මේ සඳහා වැය විණී...

ලොකු කාඩ් බෝඩයකින් කපා ගත් අඟල් අටක් පමණ පළල අඟල් විස්සක් පමණ උසැති කාඩ් බෝඩ් වල ඉහලින්ම කුඩා විස්තර ඇති පත්‍රිකාවක් තබා එයට හතර පැත්තකින් ස්ටෙප්ලර් කටු ගසයි..එම දැන්වීම තිබුනේ මල්ලිගේ නමටය... **** නිශ්පාදන යනුවෙන් සටහන් වූ මුද්‍රිත කොලයේ භාණ්ඩ වර්ගය.. ප්‍රමාණ මිල ගණන් ආදිය පෑනකින් සටහන් තැබිය යුතු විය.එසේ කාඩ් සකස් කර ගෙන අවසන එයට කුඩා පොලිතින් කවරවල ඇසිරූ භාණ්ඩ පැකට් පේළි දෙකකට සිටින සේ ස්ටෙප්ලර් කටු වලින් සවිකර ගත යුතුය. මෙය කරනවා තබා බලා සිටීමත් වෙහෙසකර වැඩකි.. කම්මැලිය.. ඒකාකාරීය.. එහෙත් තාත්තා කිසිදු හඬක් නොනඟා මෙය එක දිගට කරගෙන යයි...

කාඩ් වල සවි කිරීමට භාණ්ඩ පැකට් කිරීමත් කල යුතු විය... අගල් තුනේ සෙලෝෆේන් රෝලක් දිග ඇරගෙන ඒ තුලට දැමිය යුතු ද්‍රව්‍ය දමා ඉටි පන්දමක් දල්වාගෙන කියත් පටියක් ආධාරයෙන් කවර සීල් තැබීමත්..කතුරකින් එම පැකට් වෙන් කිරීමත් එක සීරුවට නොනවත්වා කරගෙන යන ඔහු දවසේම විඩාව නිවා ගත්තේ වෙළඳ සේවයේ විකාශය වන ගුවන් විදුලි නාට්‍ය ආදියට සවන් දීමෙන් පමණී.. වෙනත් විනෝදයක් ඔහුගේ ජීවිතයේ තිබුණා යැයි කිව නොහැකි තරම්ය.. ඔහු එතරම්ම දුකක් ජීවිතය වෙනුවෙන් විඳිමින් සිටියේය... මේ වසර කිහිපයක්ම ඔහු ජීවිතය ගත කල ආකාරයයි...

මේ ඔහුගේ ජීවිතය පමණි... තවත් දාහස් ගනනක් පිරිස ඒ කාලයේදී මේ හා සමානව දුක් විඳිමින් සිටියේය... ඒ 81 වර්ජනයට සම්බන්දව එක රැයින් එළියට දැමූ සේවකයින්ගේ පවුල්වල උදවියයි... ඇතැමි විට තාත්තා දන්නා හදුනන රැකියා අහිමි වූවන් තාත්තා සොයා පැමිණි විටකදී ඔවුන්ගේ ජීවිත ගෙවෙනා ආකාරය ගැන ඇස්වල කඳුළු පුරවාගෙන තාත්තා සමඟ කියනු මා අසා ඇත.එයින් ඇතමෙකු තාත්තා මෙන්ම බයිසිකල්වල නැගී පාරක් පාරක් ගානේ යමින් වෙළ හෙළදාම් කල අය විය..තාත්තා කාඩ් බඩු ගෙන යන අතර තවත් අය කරවල..තේ කොල.. දුම්කොළ ආදී වෙළඳාමට බැස තිබිණී..අපගේ නිවෙස් පැත්තෙන් යන විට පැමිණ තේ කහට එකක් බී වචනයක් කතා කර යන්නට ඔවුන් අමතක කලේ නැත... ඒ අතර තුර ඇතිවන කතා බස් අසා සිටින මා හට අප විඳින දුකත්..අප මෙන්ම තවත් දහස් ගණනක් විඳින දුකත් අවබෝධ නොවන්නේ කෙසේද..?
..............................................................
මේ ආරම්භයයි...ඉතිරියත් අද දක්වාම පැතිර ඇත... හැකියාවක් ඇතොත් ඒ ඉතිරියත් ලියන්නට සිතා සිටිමි...

60 comments:

  1. අපිට කණාමැදිරි එළියෙත් වටිනාකම දැනෙන්නෙ අඳුරෙ ඉඳලා තියන නිසානෙ බන්.....80 ගනන් වල මුල් ටික මටත් ඒ තරම් හොඳ වුනේ නැහැ...ඒත් මම අද ඒ ගැන සතුටු වෙනවා..මම හිතන්නෙ උඹත් එහෙමයි,...
    අපි අද පොළවෙ පය ගහල ඉන්නෙ ඒ නිසා කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
  2. ඇත්තටම දිලෝ මමයි එක...ඒත් අද මාරයගෙ පොස්ට් එක කියෙව්වට පස්සෙ සිහිය ගන්න ටික වෙලාවක් ගියා....

    ReplyDelete
  3. බොරු කියන්නෙ මොකටද...මේ වගේ ජීවිතයක් මම කවදාවත් ගෙවලා නෑ...හැබැයි මේ වගේම ජීවිතයක් මගේ හොඳම යාළුවා ගෙව්වා..එයා ඒ ගැන මට අකුරෙන් අකුර කියලා තියෙනවා...එයාලගේ තාත්තා නැති උනාට පස්සෙ අම්ම ජීවිතේ අදින්න කරලා තිබ්බේත් සිල්ලර කඩයක්...මේ දුක අකුරක් නෑර ඒකි විඳලා තිබුනා...හැබැයි ඒ ගෙදරට අද මම ගොඩ වෙද්දී තියෙන පරිසරය දැක්කම...මේ වගේ අතීතයක් ඒකිට තිබ්බද කියලත් හිතෙනවා...

    අද මාරයා අයියා ඉන්නෙත් මේ තරම්ම නැති උනත් සරළ ජීවිතයකනේ...ඒ ජීවිතය පටන් ගත්තේ මෙතැනින්නෙ.... එච්චරයි මට හිතෙන්නේ...

    ReplyDelete
  4. @ලකී

    බොරු කියන්නෙ මොකටද...මටත් උනේ ඒ ටිකමයි...ලියනවා...මකනවා..... මේ දැන් ටිකකට කලින් කතා කරද්දී බඩ අල්ලන් හිනා උන එකාගේ කතාව නේද මේ කියලා හිතුනා....

    ReplyDelete
  5. " විජය කුමාරණතුංග හා ඔහුගේ ඇඹේණීය පැමිණෙන අවස්ථා"
    ඉතින් රජ උනාට පස්සේ මාරයියලාට විජය කුමාරණතුංගගේ ඇඹේණීය සැලකුවේ නැද්ද?

    ReplyDelete
  6. පිස්සු හැදෙනවා....... අම්මප මට ඔහොම උනානම් කියල හිතෙන කොටත් බොක්ක කූල් වෙලා යනව.......

    ReplyDelete
  7. අඩෝ.. මාරේ මුලු කතාවෙන්ම මට දැනුන එකම දේ උබලගේ තාත්තගේ චරිතේ විතරයි කෙහෙල්මල් දේශපාලනේ අනික් මගුල් කිසි දෙයක් පෙනුනේ නෑ. මටනම් උබගේ තාත්තා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පොරක් කරුමේ කියලා හූල්ල හුල්ල ඉන්න එවුන් දාහකගෙන් වටින කියන එක මිනිහෙක්.

    එහෙව් මිනිහෙක්ට තෝ වගේ උලමෙක් හිටියනේ.

    ReplyDelete
  8. මේ තරම්ම නොවුනත් අපේ තාත්ත ත් ගොඩක් දුක් විඳලා තියෙනවා. ඒ තාත්තල පුංචි කාලෙම සීය මැරුන නිසා. අපි වෙනුවෙන් අපෙ තාත්තත් තරමක් දුක් වින්ඳ. පස්සෙ කාලෙක අපි ලොකුවෙද්දි එයාට බොහොම සැපට ඉන්න ඉඩකඩ හදල දෙන්න උත්සහ කලත් වැඩක් උනේ නැහැ. එයාට කල්පනාව නැතිව ගියා. මම හිතන්නෙ සැප විඳීම එයාට උරුම නැතිව ඇති කියල.

    ReplyDelete
  9. උබට වගේම ගොඩක් මිනිස්සුන්ට ඔහොම කතාවක් තියනවා බන්,,මට උනත් පොඩි මතකයක් තියනවා මගේ දෙමවුපියෝ විදපු දුක,,තාත්තා ගඩොල් පෝරණුවක් එක්කත් අම්මා මහන මැශිමක් එක්කත් විදපු දුක,,ඒත් අන්තිමේදී හිටිය ගේ ඉඩම උගස් කරලා තාත්තා රටින් පිට උනු නිසා අපිට ඒ දුක දැනෙන එක නැවතුනා...

    ReplyDelete
  10. ලොකු කතාවක් මගේ මේ පොඩි කමෙන්ට් එකකින් මොනවා කරන්නද හැබැයි අයියෙ මං උබේ තාත්තගෙ උත්සාහයට ගරු කරනවා මොකද ඒ කාලෙ ඒ විදිහට ආරම්භ වූ ව‍යාපාර අද වනවිට මහා ව්‍යාපාර බවට පත් වූ ඒවාත් තියනවා ........
    මට පුද්ගලිකව එවැනි අත්දැකීම් කීපයක් තියනවා
    මට දුක ඔය උත්සාහයෙන් අරික්කාලක් මට නැති එක............
    තවදෙයක් ජේ.ආර් නිසා ඔයාලගෙ තාත්තට ජොබ නැති උනා වගෙම මගේ තාත්තට ජොබක් හම්බ උනා මොක්ද ඒයා 77 ආණ්ඩුව බලයට ගේන්ඩ සෑහෙන්ඩ වැඩකොටසක් කලා , හැබැයි ජොබ් එක ගත්තෙ හැකියාවත් උගත් කමත් ඇතුව .............

    ReplyDelete
  11. පිතු පදවියත් ලේසි නැ.............................එකනේ ඔය මාරය මගාරින්නේ............

    ReplyDelete
  12. //මෙවැනි කරුණු හරහා ජේ ආර් හා ඔහුගේ රජය සමඟ මාගේ සිතෙහි වෛරයක් ඇති වීම මහා පුදුමයක්ද..? //

    පුදුමයක් නැත ,පුද්ගලික කාරනා මත දේශපාලක්යින් පිලිබඳ හෝ දේශපාලන පක්ෂ පිලිබඳ බැඳිම් හෝ ගැටුම් ඇති කරගැනීමට අනුවන කමකි , අඩු පාඩු තිබුනත් ජේ ආර් උත්සහ කලේ කැලේ සිටි ශ්‍රි ලංකාව එලියට ඇදීමටයි , ජේ ආර් නොවුනා නම් ශ්‍රි ලංකාව අදටත් ගෝත්‍රික රටකි (වෙනසක් නැත , අද අපි කෙමෙන් කැලේ පනිමින් සිටින්නෙමු )

    ReplyDelete
  13. දිරිය මිනිසෙකු වූ ඔබගේ පියාණන්ට මා ගෞරවය පල කරන බවත් කිව යුතුය

    ReplyDelete
  14. මටත් මේ වගේම කතාවක් (මෙච්චර අසීරු ජීවිතයක් නෙමේ ) කියන්න තියනව . . මම ඒක මෙතන කොමෙන්ට් එකක් විදියට නොදා පස්සෙ මගෙ බ්ලොගේ පෝස්ට් එකක් විදියටම දාන්නං . . ස්තුතියි උඹට මට කතාවක් මතක් කරල දුන්නට

    ReplyDelete
  15. අම්මගේ කටේ බලේ නිසා අප්පච්චි ඔය වර්ජනේට ගියේ නෑ. ගියානම් අද මම මෙහෙම ලියන්නැතිවෙන්න තිබුනා. නමුත් මාරයා වගේ ජීවිතයක් ගෙවපු මගේ යාළුවෙක් හිටියා. ඒ උනත් අද ඌ හොඳ ජීවිතයක් ගෙවනවා.

    ReplyDelete
  16. අනේ මංදා.
    මොනවා කියන්නද කියලා තේරෙන්නෑ... නෝටිට කියා ගන්න පුලූවන් මෙච්චරයි. නෝටිට නෝටිගේ තාත්ති එකම වීරයා. නෝටිගේ තාත්ත වගේම වීර තාත්තෙක්.
    ඒත් මම හිතන්නේ හිතේ තියක හැගිම් සේරම මේ වචන ටිකට ගන්න බැරි උනා....

    ReplyDelete
  17. මෙහෙම පොළවෙ හිටපු අයට තමයි දරා ගැනීම උපරිමයෙන්ම තියෙන්නෙ..ඒ වගේමයි හිනා වෙන්න පුළුවන් බොක්ක අතට අරන් !
    කී දාහක් නම් මෙහෙම හිටියද , ඉන්නවද, ඉඳීවිද මල්ලි ?

    ReplyDelete
  18. මටත් කියන්න තියෙන්නේ උඹලගේ තාත්තා වචනයේ අර්ථයෙන්ම නියම තාත්තා කෙනෙක් කියන එකයි.

    ReplyDelete
  19. වෙනදා වගේ කියවලා නිකම්ම යන්නත් බැහැ, ලියන්න ඕන දේවල් ලියාගන්නත් බැහැ මලේ. පමණක් කරුණු නැවත නැවත කියවමින් එකතැන කැරකුනේ ඒවා බොහෝම සමීපයි වගේම ඒවා දුන් පන්නරය මෙතෙකැයි කියන්න බැරිතරම්.

    ජේ.ආර් එක රැයින් රජයේ සේවකයෝ දොට්ට දාපු වර්ජනය 1980 ජූලි සිදුවුනේ. ඉන් රස්සව අහිමි වූ ගුරුවරුන් පිරිසකට උපකාරයක් හැටියට අමතර පන්ති පවත්වපු ආයතනයක මා ස්වේච්ඡාවෙන් වැඩ කලා. ඒ කාලේ මං උසස්පෙල දෙවන වසර පටන් ගත් ගමන්.

    අසනීපයක් නිසා එන්න බැරි වූ ගුරුතුමෙක් වෙනුවට ගුරුවරියක් එන බව දන්වා තිබුණා. එදා මට පැවරී තිබුනේ සා.පෙල පන්තියක්, පන්තියේ දොරකඩ බලා සිටින මහත්මියක් දුටු මා එතැනට ගියා. ඇය කඳුලු පුරවාගත් ඇසින් මගේ උරහිසින් අල්ලා උඹට බොහෝම පින් පුතේ කිව්වා. ඇය වසර කිහිපයක් පහල පන්තිවලදී මට උගන්වපු ගුරු මවක් විය, ඒවෙන තුරු මා දැන සිටියේ නැහැ අර ගුරුවරයා ඇගේ මහත්මයා කියන වග.

    ඒ කාලේ වර්ජනය නිසා රැකියාව අහිමිව ගිය අපි දන්න ගුරුවරු, පරිපාලන නිලධාරීන් ආදී බොහෝ අය සුලු රැකියා කරමින් පවුල් නඩත්තු කලේ. පෞද්ගලික බස් හඳුන්වා දී අලුත වූ ඒ කාලයේ බස්වලට සෙනඟ ලෝඩ් කර අය පවා හිටියා.

    මා කාන්තාර වාසියෙක්ව ආවිට එවැනි පුද්ගලයින් බොහෝමයක් මුණ ගැසුනා.

    ReplyDelete
  20. කොහොමද මොනවත් කියන්නෙ?
    හොරකමක් වංචාවක් නොකර, තමන්ගෙ ශක්තියෙන් දරුපවුල ජීවත් කරවන්නට වෙහෙසුණු නියම තාත්තාකෙනෙක්.

    ReplyDelete
  21. ජීවිතයක් මුල ඉඳලා පටන් ගන්නවට වඩා ජීවිතේ එක පාරට කඩා වැටුනට පස්සෙ ආපහු නැගිටින එක ගොඩක් අමාරුයි බං.
    උඹගේ තාත්තට තිබ්බ ඒ ධෛර්යය අද කාලේ අපි උඹලට නැහැ නේද.
    පිය පදවියක වගකීම කොයි තරම්ද කියල උඹගේ තාත්තගේ කතාවෙන් පේනවා.
    උඹේ තාත්තට නිවන් සුව ලැබේවා...!!

    මේ හා බොහෝ සමාන දුක් ගින්නක් ගලාගෙන ගිය මගේ තාත්තගේ කතාවත් උඹ නිසා ආපහු මතක් උනා.

    ReplyDelete
  22. හ්ම්.... උඹ නං කවදාවත් ඔය වගේ වෙන එකක් නැහැ....

    ReplyDelete
  23. ගොඩ දෙනෙක්ට ඔය වගේ කතා තියෙනවා අයියේ.. කොටින්ම අපේ තාත්තටත්.. කලබල කාලේ අපේ අයියයි අක්කයි ආරක්ෂා කරන්න තාත්තා ගොඩක් දුක් විදලා තියෙනවා..

    ReplyDelete
  24. මේක මාරයාගේ කතාව විතරක් නෙමෙයි මාරයෝ. බොහෝ මිනිසුන්ගේ කතාව අන්තිමට ඕක තමයි. දරුවෝ ඉන්න දෙමාපියෝ ඒ වගේ කැපවීම් නොකර බෑ. ඒත් එහෙම වගකීමක් නොගන්න ඕනෙ තරම් දෙමාපියන් ඉන්නවා. ඒ අතින් ඔබගේ පියා අදහන්න වටිනවා.

    ඒත් ඔබේ පියාගේ රැකියාව අහිමිවීම හින්දාම ඒ මුහුනදීපු ප්‍රශ්න හින්දාම ඔබගේ දේශපාලනය සාධාරණිකරණය කරන්න උත්සාහ කරනවා නම් ඒක සාර්තකයි කියනන් පුළුවන්ද?

    ReplyDelete
  25. මුලින්ම කිව යුත්තේ හතලිස් දාහකට රැකියා නැතිකළ ජූලි වර්ජනය වූයේ 1980 දී බවයි.

    මේ වගේ දුක්බර කතා තවත් 39,999 ක් තියෙනවා. මාර පියා වීරයෙකි. මගේ ප්‍රනාමය.

    දේශපාලුවන් නම් උනුත් එකයි මුනුත් එකයි. එදා වර්ජනය කලේ දවසකට පඩිය රැපියල් 10 ක් වැඩිකරන්න කියලායි.

    එදා සිට අද දක්වාම තවත් ජීවිත දහස් ගණනක් දිනෙන් දින දුකට හෙලමින් තිබෙන බවද දමතක කරන්න එපා.

    අද වෙන කතන්දර තව වසර විසිපහකින් මේ ආකාරයටම ලියවෙනු ඇත.

    ReplyDelete
  26. තාත්තා නියම දිරිය පුරුෂයෙක්.
    ජීවත් වෙන්න කුරුනෑගල, බඩගමුව කැලේ කොස් කඩල විකුනපු ලංගම සේවකයො හිටිය.
    මේ වර්ජනය පිළිබඳව මතක තාම අවුස්සනව, පෝස්ට් එක කියෙව්වට පස්සේ.

    ReplyDelete
  27. ඔහොම පියවරු ලබන්න වාසනාවන්ත වෙන්න ඕනි. පිස්සු කෙලියට මාරයියගේ තියෙන සමහර ගති ගුණ වලට පියාගේ ආභාෂය හේතුවක් වෙන්න ඇති..

    ReplyDelete
  28. මේ සීන් උනේ කොයිකාලෙද.....ජේආර් කිව්වේ අර සූරුයප්පෙරුමද.....

    ReplyDelete
  29. අපේ අප්පච්චිගෙ යාලුවෙකුත් 80 ජූලි වර්ජනෙන් රස්සාව නැතිවෙලා පස්සෙ ඒ අන්කල් පොලේ රෙදි විකුනුවලු ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව.ගොඩක් මහන්සියෙන් පවුල ගොඩ අරන් තියෙන්නෙ.ළමයි ඉගන ගත්ත නිසා දැන් නම් සැනසිල්ලෙ ඉන්නව.

    ReplyDelete
  30. මාරයියාගෙ අනික් සහෝදරයා කො ?

    ReplyDelete
  31. අනේ මන්දා මොනවා ලියන්නද කියලා? මාරයියගේ තාත්තා හැබෑම තාත්තෙක්. ඔයවගේ තාත්තලා ගැන කියද්දී හිතෙනවා අම්මා වරැන් පමණක් බුදු වෙන එකක් නෑ කියලා.
    මගේ ජීවිතේ දී තාත්තා අපි වෙනුවෙන් එක රැපියල් 100ක් වත් වියදම් කරන්න දුක්විදපු කිසිම සිද්ධියක් නෑ අකුරැ කරන්න. ඒත් අයියගේ තාත්තට දෙවෙනි නොවෙන්න අම්මා බර ඇද්දා තාමත් එහෙමමයී.
    අයියට මම ආපු වෙලාවෙත් කිව්වනේ මගේ හිතේ තියෙන එකම දුක අම්මා තාම ගෙදර නතර කරන්න බැරි වුන එක කියලා. අම්මට දැන් නිතරම අසනීපයී අයීයේ. නෑයෝ කියනවා අම්මා ඉස්සර ගුටිකාපු ඒව නිසා තමයී දැන් මෙහෙම වෙන්නේ කියලා.
    පුළුවන් තරම් ඉක්මනින් මම අම්මව ගෙදර නතර කරනවා. බට්ටී අලුතින් පුංචි වැඩකට අතගහලා තියෙන්නේ. ඉතිං දැන් රෑ දවල් නොබලා වෙහෙසෙනවා ඒ වෙනුවෙන්.
    හැමදාම වරදින එකක් නෑ කියලා විශ්වාසයක් තියෙනවා.

    ReplyDelete
  32. අපේ තාත්තා ඔහොම දුකක් දැනෙන්න ඉඩ තියලා නැති උනත් අපේ ලොකු අක්කයි අම්මයි තාත්තයි මාරම කට්ටක් කාලා තියෙනව.. මාරයා අයිය කිවටත් වඩා මැටි ගහපු පොඩි ගෙදරක ඉදලා තිබ්බෙ.. එක කාඹරයයි කුස්සියයි.. ගේපිලයි එච්චරයි..
    සමහර දවස් වලට හාල් තම්බලා අක්කට කැද ටික දීලා අම්මයි තාත්තයි බත් ටික කාලා නිදා ගත්තාලු.. ඔය වගේම ලොකූ කතාවක් තියෙනවා.. ඒත් ඒක තාත්තා මට තාම හරියට කියලා නැ..!!

    ReplyDelete
  33. දුක හිතුනා. මගේ පියා ඔබලාගේ පියාට රැකියාව නැතිකරන්න මුල් වූ ජාතික සේවක සංගමයේ ප්‍රභලයෙක් ඒ කාලේ. එයාට කරපු දේ බරපතලකම තේරුනේ වැඩේ වෙලා මාසෙන්. ඊලඟ මාසේ පක්ශෙ හිටි අපේ ඤාතියෙක් මාර්ගයෙන් රට ගියා. ඒ ඇති වූ කලකිරීම මත. ඔබ වින්ද දුක ගැන මෙහෙම ලියන්න හොඳ කොන්දක් තියෙන්න ඕනෙ. ඔබට ජය පතනවා.

    ReplyDelete
  34. හ්ම්ම්ම් ඇහැට කඳුළක් ආව බන්.

    මේක කියෙවුවම තමා තේරුම් ගියේ අද මගේ සමීපතයෙකු පවතින ආණ්ඩුව කෙරෙහි මෙතරම් වෛරයෙන් ඉන්නෙ ඇයි කියලා. උඹලගෙ තාත්තට 80 දි උනු දෙය ඔහුට 94 දි වෙලා .

    ReplyDelete
  35. මේවගේ කතන්දර තව කොච්චර ඇද්ද :(,
    මාරයාගෙ තාත්තා වීරයෙක්!!!!!!!!

    ReplyDelete
  36. හිතේ හයිය ට.. උබල වෙනුවෙන් මහන්සි උන ඒ චරිතය මට " පොරක් " විදියට පෙනුනා බන් අයියේ මේ පෝස්ට් එක කියෙව්වම

    ReplyDelete
  37. මාර පියා 'නියම' තාත්ත කෙනෙක් තමයි.

    ReplyDelete
  38. වන්නි වන පෙතේ - ගම් දනව් පුරා
    නිවහන වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්.....!

    ReplyDelete
  39. මගේ තාත්තටත් උනේ ඒ දේම තමා...තාත්ත ඒ වෙන කොට උපාධිධාරියෙක්...නීති උපාධියත් බාගයක් කරලා තිබ්බේ...ඒ නිසා ඒ වැඩ ඔක්කොම අවුරුදු ගානක් ආපස්සට ගියා. මම නම් ඒ කලේ හිටියේ නෑ.එත් පස්සේ කලේ විස්තර කියල තියෙනවා. එත් අපිට අයිති ඉඩමක් වත් ඒ කලේ තිබුනේ නෑ.උදව් කරන්නේ සල්ලි තියන නැයෝ හිටියෙත් නැ එහෙම්මම. කන්න බොන්න නැතුව සැහෙන ඒ කලේ දුක් වින්ද ඒ නිසා කට්ටියම. මාරයාගේ තාත්ත වගේම ඔය පොඩි වෙලදාම් හෙම කලා.
    අන්තිමට උඅද්ව් කලෙත් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තමා.තාත්ත උන්නැහේට 77 වැඩ කලා.එත් අවාසනාවට තාත්ත කරපු රස්සාව අයත් උනේ ඒ කලේ අගමැතිගේ subject එකට. උන්නැහේ කට්ටිය රස්සා වලින් දොට්ට දාපු ගමන් උන්නැහේගේ ගෝල බාලයෝ ඒ තැන වලට දාල තිබ්බා. ඒ නිසා අපහු ගන්න කොමද?ඒ නිසා පලවෙනි සැරේ වැඩේ කර ඇරියා.දෙවැනි සැරේ කිව්වහම 83 කලබල වලට සම්බන්ධ මැරයෙක්ද කියල හොයල බලන්න කියල CID එකට දාල තිබ්බා. ඒ අය පසුබිම් පරීක්ෂාවක් (background check) කරලා සම්බන්ධ නෑ කියද්දී තව අවුරුද්දක් ගියා. ඔහොම ගිහින් ජොබ් එක හම්බවෙනකොට අවුරුදු 5 විතර ගියා(CID එකේ වැරැද්දක් කියනවා නෙමේ.ඒ ය කලේ එයාලගේ ජොබ් එක.4 වෙනි තට්ටුවට නගින්න නම් උනේ නෑ).
    තාත්තත් අර නළු තුමා සහ බණ්ඩාරනායක මහතාගේ හොද අනුගාමිකයෙක්.බණ්ඩාරනායක නම තියෙනවනම් පොල් පිත්තකට උනත් කැමතියි. ඒ වගේම මේවා උනේ අප තාත්තට සෙනසුරු අපල කලේ.අපල ඉවර වෙනකොටම ජොබ් එක හම්බුනා.

    ඒ නිසා කියන්න තියෙන්නේ මම නම් චන්දෙ දෙන්නේ හොද මිනිහට නෙමේ. නරක අඩුයි කියල හිතෙන මිනිහට. සුරඟන කතා මම ගණන් ගන්නේ නෑ මොන පැත්තේ උනත්.

    ReplyDelete
  40. පීතු පාදං නමාමි !

    ReplyDelete
  41. දැන් අර අගමැති/ජනාධිපති තාත්තගේ පුතණ්ඩිය අපහු ඒ යුගයක් ගේනවා කිව්වහම හිතෙන දේවල් කියන්න ඕන නැනේ. ඒ තාත්තන්ඩියා මන් හිතන්නේ අගමැති කාලෙට වඩා ජනාධිපති උනහම තම වඩා පෙන්නුවේ. ඒ පුතන්ඩියත් හරි පින් අතේ වැඩ කලා කියලනේ කියන්නේ.

    ReplyDelete
  42. තමන්ගේ දරු පවුල වෙනුවෙන් පුදුම කැප කිරීමක් කල පියෙක්. ඔබේ පියානන්ට මගෙ ආචාරය..

    ReplyDelete
  43. ඇහැට කදුලක් ආවා. මගේ ජීවිතේ මම දුක විදලම නැති තරම්.. පරම්පරාගත වස්තු නැති උනත් තාත්තයි අම්මයි , අපි දරුවෝ තුන් දෙනාව සැප දීල හැදුවා. එත් අපි කවදාවත් වැරදි පාරේ ගිහින් නැහැ. බස් එකක ගමන ගියෙත් මම A/L කරද්දී.. දුක කියන දේ හුරු වෙලා තිබුනේ නැහැ.. හැමදේම සාමාන්‍ය තරමින් තිබුනා. ඉල්ලන හැමදේම අරන් දුන්නා. අදටත් මම ඒ දේ ගැන දුක වෙනවා.. නැති වීම් කියන දේ, දුක කියන දේ පුරුදු කෙරුවේ නැති නිසා දෙමව්පියෝ. ජීවිතේ එක දිගට ලැබුණු පරාජයන් දරාගන්න බැරි උනා ඒ නිසා.. මගේ අම්මා මට කියනවා දැනටත් ඉල්ලන ඉල්ලන දේ අරන් දීලා දැන් අපිට දෙන්න බැරි දේ අපිට දෙන්න බැරි උනාම ඔයාල කම්පාවෙන තරම් දැකලා ඇයි අපි ඒ කාලේ එහෙම මෝඩකම් කලේ කියලා.. දුක කියන දේ පොඩි කාලෙම ළමයින්ට පුරුදු කරන්න ඕනා...

    ReplyDelete
  44. මාරයියෙ.. තාත්ත " පොරක් " ආයෙ හෝදන්න දෙයක් නෑ...

    ReplyDelete
  45. කවද හරි මාරය ගැන මේ විදියට ලියන්නේ කවුද .
    ''' අපේ තාත්තට රසට උයන්න පුළුවන් කම තිබුන . කේන්දර බලන ගමන් බ්ලොග් කියල ජාතියකුත් ලිව්වා [ ඒ කාලේදී බ්ලොග් නෙමේ වෙන මොනවා හරි තියෙයිනෙ] .. පොඩි පොඩි අමතක වීම් වුනාලු. ''ස'' ප්‍රසංගය දෙපාරක් බැලුව කියන්නේ .''

    ReplyDelete
  46. අනේ මන්දා මාරයියේ... උබලා අපි පව් බං.. අපේ පන්තියේ හුගක් උන්ට ජීවිතය විදිනවා වෙනුවට විදවන්න වෙලා බං...

    දිරිය මිනිසෙකු වූ ඔබගේ පියාණන්ට මාද ගෞරවය පල කරමි.

    ReplyDelete
  47. ඇහැට කදුළකුත් ආවා අයියේ මේ සන්වේදී සටහනට

    ReplyDelete
  48. ඔබ කියන යුගය ගැන මටත් සැහෙන අවබෝදයක් තියෙනවා ඒ ඔබට වඩා වසර 6 කින් මා වැඩිමහල් නිසා.ඒගැන තර්කයක් නැහැ දුෂ්ට දුෂිත යුගයක්.නමුත් අද ගත වෙන මේ යුගය හොඳයි කියා කියන්න පුලුවන්ද.දේශපාලනයේ,නීතියේ සදාචාරය බිඳ වැටිලා තියෙනවා.ඔබේ පුද්ගලික සිදුවීමක් නිසා එදා නරකයි අද හොඳයි වගේ කතාවක් කියන්න උත්සහ කරනවා.පක්ෂ පාට කෙසේවෙතත් අපේ රටේ දේශපාලන සදාචාරය වලපල්ලට ගිහින් අවසානයි

    ReplyDelete
  49. මටත් තියෙන්නෙ ඔයවගෙ අත්දැකීමක් ඒ හන්දා කතාව හොඳට හිතට වැදුනා

    ReplyDelete
  50. අයියා මට නම් මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ...ඇස් වලට කඳුලු ඉනුවා....මාරයි....අපේ කාලයේ වීරයෙක් විදියට තාත්තව හැඳින්නුවත් වැරැද්දක් නෑ.....

    ReplyDelete
  51. මාරයාගේ පියා දිරිය පියෙකි.දරුවන්ගේ යහපත වෙනුවෙන් ඉතා දුක් ගැහැට විදි අයෙක් බව මෙම සටහන කියවීමෙන් වැටහී ගියේය.මා හට අදාළ නොවුවත් එක් ප්‍රශ්ණයක් අසන්නනම් ඔබලා හදාවැඩීමට මෙවන් දුක් කරදර විදි පියා වෙනුවෙන් ඔබ(මාරයා) පියාට යුතුකම් ඉටු කළාද?ඔබ එසේ කළානම් ඔබත් වටිනා අයෙකි.ඔබ එසේ නොකළා නම් ඔබ නොවටිනා කෙනෙකි.

    ReplyDelete
  52. මම නම් මේ බ්ලොග් අවකාශයේ ආසම චරිතය තමා මාරේ අයියා. සරල මනුස්සයෙක් !!!
    ඒකයි මම් මාරේ අයියා මගේ ප්‍රියතම චරිතය කියලා කියන්නේ.

    බනියත් හොදයි තමා.:)

    ReplyDelete
  53. දේශපාලුවන් නම් උනුත් එකයි මුනුත් එකයි. // මගේ මතෙත් ඒක තමා, කාලෙන් කාලෙට අදාල චරිතය කරන්න වෙනස් මුනු එන එකයි වෙනස.

    ReplyDelete
  54. වෙන එකෙක්වත් නැති කාලෙක නම් බනියත් හොදයි. ඔය සැප වැඩිකමේ වැරැද්දතමා. සැබෑ තත්වය පෙන්නවනම් හොදයි හැම දෙමාපියෙක්ම. සල්ලි තියෙනවානම් හැම අදාල නොඅදාල හැම ලභ්භක්ම අරන්‍ දෙන්න දගලන්නේ නැතුව ජීවිත් වෙන්න ඉගෙන ගන්න දේවල් වලට යොමුකරන්න දෙමාපියෝ දැනගන්න ඕන.
    ඒක්කෝ නැති බැරි කම් ඇත් නම් ඒකත් දරුවන් එක්ක බෙදාගන්න එක. ඒකෙන් උන්ට හොද‍ ධෛර්ය්‍යක් එනවා.
    එහෙම නැතිනම් උන්ට තනියම නැගිටින්න දැනගන්න පුලුවන් සමාජෙකට දමන්න ඕන ඇති හැකි අය.

    ReplyDelete
  55. samawenna ahanawata... ithin thaththa ehema mahansi wenakota ko amma? mata mathakai mage ammai thaththai dennama eka widihata mahansi una ea kaale.

    d.

    ReplyDelete
  56. මාර අයියේ, ඔයාගේ තාත්තා වීරයෙක් වගේම ඒ කතාව කියන්න පිට කොන්දක් තිබුණු ඔයා නියම පිරිමියෙක්. කවදාවත් කොච්චර කාර්යබහුල වෙලාවක වුණත් ඔයාගේ පෝස්ට් වලට මම ඇනෝ කමෙන්ට් නොදාන්නේ ඒ නිසා.
    මේ කතාව කියවනකොට මගේ හිතට ආපු සිතුවිලි තාමත් හිත ඇතුලෙ එක පොදියට හිරවෙලා. හැබැයි මම මේ ටික කිව්වහම ඔයා හිතන්න එපා මේ යකා කිසිම සංවේදී කමක් නැති ප්‍රතිගාමී ගොබ්බයෙක් කියලා. ඒත් මට කියවන මුළු වෙලාවෙම හිතුණෙ "මෙහෙම දුකක් මට විඳින්න වුණා නම් විඳ දරා ගන්න පුළුවන්ද ? " කියලා.ඒ වගේම තමයි මට හිතුණා අපි ප්‍රශ්ණ කරදර කියලා දකින්නෙ මොනතරම් පොඩ්ඩද කියලා.

    ReplyDelete
  57. "මෙවැනි කරුණු හරහා ජේ ආර් හා ඔහුගේ රජය සමඟ මාගේ සිතෙහි වෛරයක් ඇති වීම මහා පුදුමයක්ද..?"

    චාමි ලියපු ඉස්පීකර් නිලමෙ මළා.....! පෝස්ට් එක මතක් උනා මේක කියෙව්වාම.

    අපේ කතාව ටිකක් වෙනස්.

    අපේ තාත්තා අපිට පිටු අසූවේ පොතක් ගන්න රුපියල් පහක් දහයක් ගන්න සල්ලි ඉල්ලුවාම සත්තම දාලා නොදී හිටියත් පක්ෂ අරමුදලට රුපියල් පාලොස්දාහේ දහදාහේ ඒවා පූජා කලා කියලා අම්ම තාත්තගේ සර්ට් හෝදනකොට තමා දන්නේ . . .

    අක්කට නංගිට කරාබු දෙකක් වත් අරන් දෙන්න තාත්තාට ඕන නැති උනාට පක්සේ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් කම තිබ්බා . . .

    එහෙම බැලුවාම යූ.එන්.පී. දේසපාලනය නිසා උඹලා දුක් විඳිද්දී ඒ කාලේම වමේ දේසපාලනය නිසා අපි හතර දෙනෙක් සමහර දවස්වලට කන්නබොන්න වත් නතුව, ස්කෝලේ පොත් පත් ගන්න විදිහක් නැතුව, එකම යුනිෆෝම් එක හෝදලා වේලිලා නැති නිසා ඉස්කෝලේ යන්න විදිහක් නැතුව දුක් වින්දා.

    ඒත් වමේ දේසපාලනයට වෛර කරන පාඩම ඒ දුක් විඳීමෙන් අපිට ඉගෙන ගන්න බැරි උනා බන් . . .

    ReplyDelete
  58. පන්සල් කතා වලින් පස්සෙ හිතට වැදුන පෝස්ට් එකක්...උඹෙන් අපි දකින පොලවේ පය ගහල ඉන්න සරල මනුස්සයට ඒ ආභාෂය ලැබුනු හැටි දැන් පැහැදිලියි...

    ReplyDelete
  59. මේක අදයි කියෙව්වෙ බං.
    මොනව කියන්නද මන්ද. මට නම් මාර දුකක් දැනෙන්නෙ. අපි පිළිල වගේ ඒ අයගෙ සාරය උරාගෙන හැදුන නේද?

    ReplyDelete