27 November 2011

වෙදකං අතර මැද සකෘදාගාමී... පන්සල් කතාවක් නැවතත්...

"චන්දාලෝක..තමුන්ට බැරියෑ මේ ධම්මරතන උන්නාන්සෙට උදව්වක් කොරන්ට..."

"මාත් ඒක තමා ලොකු හාමුදුරුවනේ කල්පනා කලේ..ඒත් ඉතිං දන්නවනේ පන්සලේ තත්වේ...ඒ හැටි පහසුකමක් නැහැනේ... නැත්තං මට පුළුවනි සුමන තිස්ස වෙදමහත්තයා ගාවට මේ හාමුදුරුවන්ව එක්ක ගිහින් පෙන්නලා බෙහෙත් හේත් ටික අරං දීලා ඒවා ටික වෙලාවට කලාවට කරලා දෙන්ටනං..."

"මොන පහසුකමක්ද උන්නාන්සේ..මේ මුන්නාන්සෙලත් අපි ඔහේලා වගේම තමා අමුතු පහසුකමක් මොනවටද..? එහෙම නේද ධම්මරතන..?"

මෙතෙක් වේලා අප දෙදෙනාගේ සංවාදය බලා සිටි ධම්මරතන හිමියන් මදෙස බලා මිත්‍රශීලී සිනහවක් සිනහවක් පා...

"චන්දාලෝක හාමුදුරුවන්ට මාව කරදරයක් වෙයිද දන්නේ නැහැනේ ලොකු හාමුදුරුවෝ..එහෙම නැත්තං මට ඉතිං ලෙඩේ හොඳ වෙනවනං කොහේ උනාම මොකෝ" යැයි කියන්නට යෙදුණි...

"අනේ මටනං මොන කරදරයක්ද එහෙනං ඕන වෙලාවක එහෙ නවතින්ට එන්න...හැබැයි මට සතියක් කලින් කියන්න වෙද මහත්තයට කියලා තියන්න.."

කතාව එතැනින් අවසන් උනි...

..............................

ධම්මරතන හිමියන් යනු විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂක හිමිනමක් වූ අතර මා හට එහිමියන් මුණ ගැසුනේ අප පළාතේ තරමක් ප්‍රධාන විහාරස්ථානයක පින්කමකට සහභාගී වූ අවස්ථාවේදීය... එය පන්සලේම පැවති දානමය පින්කමක් වූ අතර එම විහාරස්ථානයේ අධීපති හිමියන්ගේ දැන හැදුනුම් කම මත ධම්මරතන හිමියනුත් දුර බැහැර සිට එහි වැඩම කොට තිබුණි...එසේ වැඩම කලත් උන්වහන්සේ නිතරම කායික අපහසුතාවයකින් පෙලෙමින් සිටි නිසා වැඩි වේලා එක් තැනක රැඳී නොසිටින ලදි.

අපහසුතාවය වූයේ පිට කොන්ද ආශ්‍රිත ආබාධයකි.වසර කිහිපයකට කලින් සිදු වූ කුමන හෝ දෙයක් නිසා එම තත්වය ඇති වී තිබූ අතර වරින් වර එම වේදනාවෙන් උන්වහන්සේ පෙලෙන්නට වී තිබුණී... එහෙත් වේදනාව සමනය වන තෙක් කුමන හෝ වෙදකමක් කලත් ඉගෙනීමත් අනිකුත් ශාසනික වැඩකටයුතුත් නිසා පිළීවෙලකට බෙහෙත් ටික කරගන්නට ලැබී නොතිබීම කරණ කොටගෙන උන් වහන්සේ මේ වන විට දැඩි අසාධ්‍ය තත්වයේ පසු විණි...

උන්වහන්සේ මා හට මුණ ගැසෙන අවධිය වන විට නැවත වතාවක් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියද කිසිදු ගුණයක් නොමැති තත්වයක් ඇතිව තිබුණි... එසේම අංශභාග තත්වයක් හෝ තුනටියෙන් පහළ පණ නැතිව යන ආකාරයේ තත්වයක් ඇති වීමේ දැඩි අවධානමක් ඇතිබවට වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම් ලැබ තිබූ හෙයින් රෝගයේවේදනාවත් ඉදිරි අනාගතය ගැන බියත් උන්වහන්සේ දැඩි සේ පීඩාවට පත් කොට තිබිණී...එසේ කලකදීය අප හමුවීම වූයේ...

"සුමන තිස්ස වෙදමහතා" යනු මා තරමක් දන්නා කියන වෛද්‍යවරයෙකි... කීර්තිමත් වෙද පරපුරකට අයත් වූ එතුමා මැදි වියේ පසූ වූ ඉතා දක්ෂ වෛද්‍යවරයෙකි.. කැඩුම් බිඳුම් වෙදකම් අංශයේ සුපතල කීර්තියක් ඔහු සතු විය... මා වැඩ සිටි පන්සලේ සිට එතුමා සිටි ග්‍රාමයට කෙටි මගක් තිබූ අතර එතුමා හමු වී ප්‍රතිකාර ලැබීමට යන බොහෝ ස්වාමීන් වහන්සේලා නිතරම අපවිහාරයටද ගොඩ වී ගිලන්පස කෝප්පයක් හෝ දානයට සුදුසු වේලාව නම් තිබෙනා හැටියකට දානය වැළදීමටත් පුරුදුව සිටියහ...

ඉහත සඳහන් කල පින්කම කෙරුණ විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් මා හා සුමන තිස්ස වෙද මහතාගේ දැන ඇඳුනුම්කම දැනසිටි හෙයින්ද.. ධම්මරතන හිමියන්ගේ තත්වයේ බැරෑරුම් කම නිසා දුර බැහැර සිට නිතර වැඩම කොට ප්‍රතිකාර පිණීස ඒම යාමත් රෝගයේ දියුණුව පිණීස හේතු වේ යැයි සිතූ හෙයින්ද යෝජනා කලේ වෙදමහතාට නුදුරු තැනක නැවතී ප්‍රතිකාර ගැනීම යෝග්‍ය බවයි. එයට සුදුසුම ස්ථානය මාගේ විහාරය වූ නිසා එසේ මගෙන් ඉල්ලීම කරන්නට යෙදුණී. මේ අවදිය වන විට මාත් විහාරස්ථානයේ තනිවම වැඩ වාසය කල අතර කොහෙන් හෝ පැමිණෙන භික්ෂූන්ට නිතරම පන්සලේ දොරටු විවෘතව තැබූවෙමි. එයට හේතුව වූයේ ඒ වන විට නිතරම විහාරස්ථානයේ කටයුතු වෙනුවෙන් මා හැම තැනම ආ ගිය හෙයින් නිතරම පන්සල වසා දමා යනවාට වඩා කවුරුන් හෝ ඉන්නවා නම් වඩා යහපත් බැවිනි.

ධම්මරතන හිමිනම තරුණ හිමි නමකි..වයසින් මා හට වඩා වසර කිහිපයක් වැඩිමහළු වූ අතර මැනවින් බණ දහම් උගත්තෙකි. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබනා අතර වාරයේම අධ්‍යාපන දෙපාර්ථමේන්තුව හා සහ සම්බන්ධව කටයුතු කල එහි යම් යම් ව්‍යාපෘතීන්හී තාවකාලික පදනම් යටතේ එකතුව වැඩ කල අයෙකි.උන්වහන්සේගේ මුල් පන්සල දකුණුකරේ මුහුදු තීරයේය... මෙරටට සිදු වූ සුවිශාලම ස්වාභාවික විපත්තිය වූ සුනාමියට උන්වහන්සේගේ විහාරස්ථානයත් ගොදුරු වූ අතර එයින් උන්වහන්සේගේ ගුරු හිමියන්ද අපවත් විණී..එහෙත් මෙම වෛද්‍ය ප්‍රතිකාර කරන්නට යෙදුන කාල සමය වන විට එම විපත සිදුව නොතිබිණ...

ඉගෙනීම පිණිස කොළඹ පැමිණි ධම්මරතන හිමියන්ට මේ වන විට අවසාන විභාග පරීක්ෂණ ආසන්නව තිබුනු අතර විභාග සඳහා සූදානම් වීම පිණීස තරමක නිවාඩු කාලයක් වැනි යමක් ලැබී තිබීම නිසා එම කාලය නැවතී පාඩම් කටයුතුත් කරනා අතරවාරයේම ප්‍රතිකාර ගැනීමට උවමනා වී තිබුණි.

කෙසේ හෝ මුල් කතාව සිදුව සති දෙකක් ඉක්ම යන්නට ප්‍රථම උන්වහන්සේ ප්‍රතිකාර පිණීස වැඩම කරන්නට යෙදුනාහ...

සුමන තිස්ස වෙද මහතාගේ පරීක්ෂාවෙන් අනතුරුව අවම වශයෙන් මාස තුනත් හයත් අතර කාලයක් බෙහෙත් බඳින්නට සිදුවන බවත් තත්වය පෙර කී ලෙසින්ම නරක බවත් දැනුම් දුන් අතර එදා සිටම ප්‍රතිකාර ඇරඹීණ... පන්සලේ නිත්‍ය දායකයකු වන රූපරතන අයියාද මෙම වැඩේට උදව් කරගත් අතර ඔහු විසින් ගම පුරා ඇවිද අමු කොල මුල් ගෙඩි ආදිය සොයාගෙන එන ලදි.. පසුව අප දෙදෙනා විසින් පන්සල පිටුපසක ගලක එම බෙහෙත් අඹරා චූර්ණකොට එළකිරි බෝමී යුෂ හා බෙහෙත් වතුර මුසු කොට වළඳක තබා උනූ කොට පත්තු සෑදීමත්.. පත්තුවට පෙර කොන්ද සකස් කිරීම සඳහා යොදන මැල්ලුම් ආදිය සකස් කිරීමත් හුමාලයෙන් තම්බා තැවීම පිණීස පොට්ටනි බැඳීමත් ආදිය එක සීරුවට කලෙමු...

මුලින්ම විනාඩි ගණනක් හුමාලයෙන් රත් කල පොට්ටනි දෙකක් මාරුවෙන් මාරුවට උපයෝගී කොටගෙන පිට තැවීමත්.. අනතුරුව වෙද මහතා විසින් ලබා දුන් පළාතේම ප්‍රසිද්ධ "කැඩුම් බිඳුම් තෙල" මඳක් රත් කොට පිටේ තවරා එය එක අතකට සියුම්ව අතගා... එයින් පසුව මැල්ලුම් යොදන සමයනම් මැල්ලුමද.. නැතහොත් පත්තුවද කෙසෙල් කොලයක ආධාරයෙන් කොන්දේ තැන්පත් කර එය රෑරා හැලීම වැලකීම පිණිස බෙහෙත් යොදන පෙදෙස පහන් තිර මෙන් අඹරා සකස් කල දළ රෙදි වැටි තබා කුඹුරක ලියද්දක් මෙන් වට කොට පත්තුව එක්ව රැඳී සිටීම පිණීස ඊට උඩින් හතරැස්ව කපාගත් සුදු රෙදි කඩක් අලවා එයින් පසුව යාර කිහිපයක් දිගට සකස් කර රෝල් කර කපා ගත් රෙදි තීරුව උපයෝගී කොටගෙන තරමක් තදින් හිරවන සේ ඇඟ වටා ඔතන්නෙමු.

පිට කොන්දත්.. පපුවත් හිරවන සේ මෙසේ රෙදිකඩ ඔතනා අතර වාරයේදී පොටවල් කිහිපයක් ඔතා නැවතත් ඝණකම් කාඩ් බෝඩ් කැබැල්ලක්ද බෙහෙත් යෙදූ තැනට සිටිනා සේ තබා නැවතත් පොටවල් කිහිපයක් වන සේ රෙද්දෙන් වෙලනු ලබන අතර එයින් පසුව නොගැලවෙන පරිදි ගැටයක් යෙදිය යුතුය..

මුලදී මුලදී ‍මෙම ගැටය ශරීරයේ ඉදිරිපසට වන්නට යෙදූවද දින කිහිපයකට පසුව එය පිට පැත්තටම සිටින සේ යොදන්නට සිදු විය.එයට හේතු වූයේ පපුව හිරවන්නට බෙහෙත් බැඳ ටික වේලාවක් යන විට ඇතිවන අපහසුතාවය නිසා ධම්මරතන හිමියන් විසින් වරින් වර ගැටය බුරුල් කොට පහසුවෙන් සිටීමට සැරසීමයි.. එහෙත් එයින් වන්නේ බෙහෙත් ටික රූරා හැලීමත් ශරීරයේ සෘජු හැඩය වෙනස් වීම නිසා කොඳු ඇට පෙළ ඇඳ වීමට බැලීමත්වැනි අහිතකර තත්වයන් නිසා ධම්මරතන හිමියන්ට අතට අහු නොවන සේ පිටුපසට වන්නට ගැටය යොදන්නට විණී.එයින් පසුව උන් වහන්සේ බෙහෙත් බැඳගෙන අප දෙස බලමින් නොක්කාඩු කියමින් හිනාවීම බලමින් සිටීමත් එක්තරා අන්දමක විනෝදයක් ගෙනදුන් ක්‍රියාවක් විණි...

කෙසේ හෝ දින කිහිපයකින් එම අපහසුව දරාගෙන සිටීමට උන්වහන්සේ හුරු වූ බැවින් බෙහෙත් බැඳීම නිසි ආකාරයෙන් සිදු කෙරෙන්නට විය. උන්වහන්සේ පැමිණ සති දෙකක් පමණ යනවිට උන්වහන්සේව බැලීමට පැමිණී මිත්‍ර හිමි නමක් හා සිවුරු හැර ගොස් තවමත් උපාදිය පිණීස ඉගෙනුම ලබන අයකුත් පසුව උන්වහන්සේගේ තනි නොතනියටත් පාඩම් කිරීම පිණීසත් පන්සලේ ලැගුම් ගත්තේද මාගේ අවසරය මතය...

අප සියළු දෙනාම විහිළුවෙන් තහළුවෙන් කල් යවමින් තම තමන්ගේ අදාල කාර්යයන් කරගෙන යන්නට විය...
ඔවුන් තිදෙනා පාඩම් කිරීමත්... මා පන්සලේ දියුණුව පිණීස හා දායකයින්ගේ උවමනා එපාකම් සොයා බලා ආගමික කටයුතු කර දීමත්..කරගෙන ගිය අතර...ධම්මරතන හිමියන්ට බෙහෙත් බැඳීම මා අතින් සහ රූපරතන අයියාගේ අතින් පමණක් සිදු විණී... පැමිණ සිටි අනිත් මිතුරු හිමිනම පන්සලේ වූ බෝධීපූජා බණ දානමාන ආදියට මා හට මනා සහයක් ලබා දුන් අතර ඒ හරහා මටද පහසුවක් අත්විණී...

මෙසේ කල් යන අතරවාරයේදී දිනක් රාත්‍රී කලෙක අප කිහිප දෙනා පන්සලේ ඉදිරිපිට වාඩි වී සිටි අවස්ථාවකදී නිතරම කෙරෙන්නාක් මෙන් නොයෙක් දහම් කරුණුද..අතරින් පතර ඔවුනගේ විශ්ව විද්‍යාල ජීවිතයට අදාළ කතාද..පන්සල් කතාද එළීයට ඇඳි එමින් තිබුණි.. ඉගෙනීමට ගුරුවරුන් නොමැති වූ මාහට නිතරම පිහිටට සිටියේ මෙසේ වරින් වර ලද මනා මිත්‍ර සම්පත්තියම වූ හෙයින් මෙවන් දිනවලදී මා හට ඇති නොයෙකුත් ගැටළු ඔවුන් වෙත ඉදිරිපත් කොට ඔවුන්ගේ අදහස් දැක්වීම් ලබා ගතිමි. ඔවුන්ද ඉතා උනන්දුවෙන් වාද විවාද කරමින් මා අසනා දේට මනාව සොයාබලා කරුණූ දැක්වීම් කරන ලද්දාහ.

එවකට රටේ මහා දහම් ප්‍රබෝධයක් ඇති වෙමින් පැවති යුගයකි...ප්‍රසිද්ධියට පත් වූ ධර්ම කථීකයින් කිහිප දෙනෙක්ම රට වටා නොයෙක් ආකාරයේ දහම් ප්‍රචාරයන්හී යෙදෙමින් සිටි අතර එක් විටෙක අපගේ අවධානය යොමු වූයේ ඒ ඒ හිමිවරුන් විසින් යම් යම් අවස්ථාවලදී දේශනා කරන්නට යෙදුණ දහම් කොටස්වල නිවරද්‍යතාවයන් පිළීබඳවයි.. එවැනි අවස්ථාවක එළියට ඇදුන යටි පෙලෙහි වූ කතාවක් අද වැනි දිනක වැදගත් වේයැයි සිතමි...

කුමන හෝ දහම් කොටසක් තරමක් විකෘතියකින් යුක්තව දේශනා කල හිමිනමක් ගැන මාතෘකාව වී තිබුණු අවස්ථාවේ මා විසින් එම ප්‍රසිද්ධ හිමියන්ගේ අධ්‍යාපන තත්වය ගැනත් උන්වහන්සේගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහිත ධර්ම දේශනාවන්ගේ රටාවත් ගැන උන්වහන්සේලාගෙන් විමසා සිටියෙමි. ඇත්තටම උන්වහන්සේට එවන් දැනුමක් නොඑසේනම් විද්‍යා උපාධියක් ඇද්ද යන්නත් එසේ උගත් හිමිවරුන් සසුනට ඇතුළු වීම සාසනයේ ඉදිරියට කොතරම් දිරියක් දැයි යන වගත් කතා කල විට මා මිත්‍ර හිමිවරුන් දෙදෙනාත් අනික් සඟයාත් සිනහ විණී... එම සිනහවේ සැග වී ඇති අරුතක් තිබූ හෙයින් නැවත ඒ පිළීබඳ විචාල විටය මට මෙම කරුණ උන්වහන්සේලා අතින් දැන ගන්නට ලැබුනේ...

එනම් දහම ගැන ආසාවක් හෝ සසුනට සේවයක් කිරීම පිණීස නොව අදාළ හිමිනම තවත් ගිහි උපාධි අපේක්ෂකයින් හය දෙනෙකු සමඟ එක්ව සසුන්ගතව ඇත්තේ හදිසියේ ලැබුන ප්‍රංශයට යමේ අවස්ථාවක් සලසා ගනු පිණීසය. ධර්ම ප්‍රචාරක සේවාවක් සඳහා යන මුවාවෙන් වීසා ලබාගෙන ප්‍රංශයට යා හැකි අවස්ථාවක් ගැන හෝඩුවාවක් ඔස්සේ එම සසුන්ගත වීම සිදු වූ අතර එයින් කිහිප දෙනෙකුට අදාළ අවස්ථාව හිමි වූවද පෙර කී හිමිනමටත් තවත් අයකුටත් අවස්ථාව ගිලිහී ඇත.

එහෙත් අවස්ථාව ගිලිහී ගියද එක්වරම උපැවිදි වීම දන්නා හදුනන අයගේ ගැරහීමටත් අපහාසයටත් කාරණාවක් වේයැයි සිතු දෙදෙනා තව ටික කලක් එසේ සිට සිවුරු හැරීමට තීරණය කොට තිබුණි.අදාල අනික් පුද්ගලයා එසේ ස්වල්ප කලකින් සිවුර හැර ගියද අපගේ ප්‍රසිද්ධ හිමිනමට ඒ වන විට සිවුර රහ වැටී තිබිණ.. ඒ උන්වහන්සේට අහම්බයෙන් මෙන් ලැබුන ධර්ම දේශනා කිහිපයක් හරහා ඇති වූ සුළු ප්‍රසිද්ධිය නිසාය... අවසානයේදී ප්‍රංශ ගමන වැලකුනද වෙනත් මාර්ගයක් පෑදීම හේතුකොටගෙන දිගටම සිවුරේ සිටීමට පෙළඹුන උක්ත හිමි නම ගැන විශ්ව විද්‍යාලයේ හිතවත් කිහිප දෙනෙකු හොඳින් දැන සිටි අතර භික්ෂූනේවාසිකාගාර වාසී අපගේ මිතුරු හිමිවරුන්ද එක් වසරක කණිෂ්ඨභාවයකින් යුතුව අඳාළ හිමිනම තරමක් ලගින් ඇසුරු කල අය වූහ...

සාසනයට සේවය කිරීම පිණීස හෝ තම ආධ්‍යාත්ම සුවය පිණීස නොව විදෙස්ගත වීමට කෙටි මාර්ගයක් ලෙස සසුන්ගත වූ හිමියන් වර්ථමානයේදී කෙටි මගකින් සකෘදාගාමීව ඇති බව නම් ප්‍රසිද්ධය.. ඒ ගැන එයින් එහාට කතා ඇවසි නැත. දහම වනසන්නේ පිටතින් එන්නවුන් නොව සාසනික ස්වරූපය දරාගෙන එන්නා වූ අභ්‍යන්තරයෙන්ම පහළවන්නා වූ මිසදිටුවන් අතිනි.

..........................................
සියල්ල අවසානයේදී අප සිතුවාටත් වඩා ඉක්මනින් ප්‍රතිකාර කිරීම අවසන් කරන්නට හැකියාව ලැබිණ.. පුරා මාස දෙක හමාරකින් පසුව ප්‍රතිකාර නැවැත්විය හැකි තත්වයටම කොන්දේ ආබාදය නිට්ඨාවටම සුවවී තිබූ නිසා සුමන තිස්ස වෙදැදුරු තුමන්ගේ ඉමහත් සතුට මධ්‍යයේම ධම්ම රතන හිමියන් ප්‍රතිකාර අවසන් කොට නැවතත් කොළඹ බලා වැඩම කරන්නට යෙදුනි.

පසු කාලීනව සුනාමි විපතට ලක්ව උන්වහන්සේගේ විහාරය මුළුමනින්ම මූදු බත් වූ අතර විශ්මයජනක ලෙසින් විහාරගෙයි පිළීම වහන්සේලා පමණක් කිසිදු හානියකින් තොරව ආරක්ෂා වී තිබුණි...පිළීම වට කොට තිබූ එකමඑක බිත්තියකුඳු ඉතිරිව නොතිබූ අතර වහලේ උළු කැටයකුඳු සොයා ගත් නොහැකි විණී.. එහෙත් පිළීමවහන්සේලා කාන්තාරයක නැගි පර්වතයන් සේ නිරුපද්‍රිතව වැඩහුන් සේක...

මෙම ආශ්චර්යයත් සමඟින්ම එම විහාරයටද කොළඹ දානපතියන්ගේ නිරන්තර අවධානය හිමි වූ අතර ඒ හරහා අද වන විට එදා තිබුනාටත් වඩා දර්ශණීය අන්දමට විහාරස්ථානය ගොඩනගන්නට ධම්මරතන හිමියන් සමත් වී ඇත. මිතුරුදමෙහිත් කලගුණ සැලකීමෙහිත් ප්‍රමාද නොවන හිමියන් විසින් එම විහාරස්ථානය ගොඩනංවා අවසන උන් වහන්සේට එහි වැඩ ඉන්නට ඉඩක් නොමැති හෙයින් හැකිනම් විහාරස්ථානය බාරගෙන කටයුතු කරන මෙන් මා වෙතින් ඉල්ලීමක් කලද එය සුහදව ප්‍රතික්ෂේප කරන්නට යෙදුන හෙයින් අවසන එහි ගොඩනැංවූ ආවාසයෙහි උඩු මහලෙහි ඕනෑම වේලාවක පැමිණ ලැගුම් ගෙන වැඩ වාසය කරන්නට යයි කියා මා නමින් කාමරයක් වෙන් කොට තබන්නට කාරුණික වූහ... සත් පුරුෂයෝ එසේ වන්නාහ...

52 comments:

  1. එක උනාම තැගි ලැබෙනවද? ඔන්න එහෙනම් මට දෙවනි එක

    ReplyDelete
  2. ආපහු පන්සල දිවිය ගැන කියවන්න ලැබිච්ච එක හොඳයි
    මම ආසාවෙන් කියවපු කතා පෙළක්

    ReplyDelete
  3. සාදු සාදු සා.....! කාලෙකින් පන්සල් කතාවක්. නියමයි!

    ReplyDelete
  4. @Chanaka Aruna Munasinghe...

    සාධූ සාධූ...

    ReplyDelete
  5. @ලොකු පුතා...

    දිගටම පන්සල් කතා ලියන්නේ නැහැ ලොකු පුතා...ඉඳහිට කාරණාවක් මතක් උනාහම ඇදලා අරං දානවා ඇර...ස්තූතියි...

    ReplyDelete
  6. @ලකී වික්‍රමසිංහ...

    ස්තූතියි කිව්වා ඕං...

    ReplyDelete
  7. කාලෙකට පස්සේ පන්සල් කථාවක්... ඇත්තටම ඉදහිට නැතුව මාසෙකට එකක්වත් ලියවෙනවානම් ගොඩාක් හොදයි අය්යේ....

    ඇත්තටම මම ඔය ප්‍රංශ කතාව කොහෙන්වත් දැක්කේ නම් නැ.. ඔහොම අය ශාසනේ විනාශ නොකර තමන්ගේ වැඩක් කරගත්තානම් ඉවරයිනේ...

    අය්යේ නොදන්න නිසා අහන්නේ.. එහෙම මාර්ග ඵලයක් ලබන අය එහෙම කියවනවද තමන් එහෙමයි කියලා

    ReplyDelete
  8. මම හිතන්නෙ මේ කතාව මට මාරයියා කියලා තියෙනවා දවසක්.....මේ අර ප්‍රසිද්ධ හාමුදුරුවො ගැන නේද ?

    ReplyDelete
  9. මාරයියාගෙ පන්සල් දිවියේ කතාවක් නම් නොවැරදීම පැන්ඩ කියවල ඇති..

    ReplyDelete
  10. කලින් කරපු කමෙන්ට් එක අනෙ නැනේ...

    අය්යේ ඇත්තටම මේ පන්සල් කතාවලට නම් මම ගොඩාක් ආසයි..

    මේ අය්යා කියපු ප්‍රංශ කථාව නම් මම කලින් දැන ගෙන උන්නේ නැ

    නොදන්න නිසා අහන්නේ අය්යේ එහෙම මාර්ග ඵල ලබන අය එහෙම එවා ප්‍රසිද්දියේ කියනවද??

    බුදුහාමුදුරුවොත් පස්වග තවුසන්ට එක කිවේ නැතුව පෙන්නුවා කියලායි මම අහලා තියෙන්නේ.,.. ඇයි මෙයා මෙහෙම කියවන්නේ

    ReplyDelete
  11. අනේ සාදු...පරක්කු වෙලා ආවත් ෂෝක් බණ පොඩ්ඩ....මේකට කීයක් දුන්නත් පාඩු නෑ..හුටා..බණ කීවම දෙන්නෙ පිරිකරනෙ..සල්ලි ගන්නෙ මොන රටේද ?

    @ නලිනි

    හරි .අපි බලා ගමු..කොකාට වාරයක් ආවොත් කෙකීටත් වාරයක් එනවනෙ.:P

    ReplyDelete
  12. මෙච්චර දේවල් ලියන්න තියාගෙනනෙ මෙයා මේ උදේට ගඳ ගහන ඒව ගැන ලියන්නෙ......

    ReplyDelete
  13. මම ආසම සීරීස් එක නැවතත්...

    ReplyDelete
  14. ඔය කියන මුහුදු බඩ පන්සලේ පින්තුර පත්තරෙත් ගියා මට මතකයි..

    ReplyDelete
  15. නියම කතාව අයියේ.
    ලාභ ප්‍රයෝජන තකා මහන වුන අය තව කොච්චර ඇද්ද අපි නොදැන.

    ReplyDelete
  16. දන්නැති හින්දා අහන්නෙ.. මාරයා මහන වෙලා හිටියද ?

    ReplyDelete
  17. හප්පේ..තවත් පන්සල් කතාවක්...

    ReplyDelete
  18. අර කට් ෂෝට් මාර්ග ඵල ලාභියා මාර්ග ඵල ලබා ගත්තේ මුඛ හා අධෝ මාර්ග වලින් වෙන්න ඇති. මාර්ගයක් හරහා ලබන්න පුළුවන් ඵල මාර්ග ඵල කියල උන්නැහේ හිතනවා ඇති....

    ReplyDelete
  19. හුදෙක් දැනගැනීම පිණිසයි.... චන්දාලෝක සාදු ඇයි අපහු ගිහි ගෙට ආවේ...

    ReplyDelete
  20. උඹලගේ හිත හොඳ වැඩී... අර කිව්ව වෙලාවේ පන්සල භාර අරගෙන එතන දායකයෝ එක්ක සෙට් වෙලා යටිකූට්ටු වැඩකින් ධම්මරත්න හාමුදුරුවන්ටත් හීන් නූලෙන් වැඩේ දුන්න නම්, මේ වෙනකොට උඹ "සකෘදාගාමී"...

    ReplyDelete
  21. අපේ බුද්ධාගම සර් ට කිව්වේ "හීරළුවා" කියලා ...හික් හික් ...

    ReplyDelete
  22. ගොඩ කාලෙකින් පන්සල් කතාවක්

    ReplyDelete
  23. අම්මා තාත්තා දරුවො මල්ලො විකුණගෙන කන අද සමාජයෙ, මොනව හරි ආගමක් පෙරටු කරගෙන වාසි ලබාගන්න ඈයොත් යහමින් ඉන්නව.

    ඔබ අසනීප වූ තැනත්තාට කරපු සේවයනම් බොහෝම අපූරුයි - උතුම්!

    ඩී.

    ReplyDelete
  24. මාරයියා පරිස්සමින් මෙක දැකලා සකෘදාගාමි උන හාමුදුරුවෝ කෝප වෙන්න බැරි නෑ..හික්ස්..

    ReplyDelete
  25. පහලින්ම්වූ කොටස දැකීමෙන් සිත පහන වියැ.

    ReplyDelete
  26. දැහැමෙන් සෙමින් හිටපු චන්දාලෝක හාමුදුරුවෝ දැන් චණ්ඩාලෝක (චණ්ඩින්ට ආලෝකයක් බඳු වූ) වෙලා ඉන්නේ මොකද ?

    ReplyDelete
  27. අනෙ අප්පෝ... අර සිංහල බේත් බැඳිල්ල නම්.... මොනතරම් කරදර උනත් ලෙඩේ නිට්ඨාවටම සුව උනා නොවැ... ඒ උපස්ථාන කිරිල්ලෙන් මාරයයි රූපරත්න අයියයි නොසෑහෙන පිණක් අත් කරගන්න ඇති..... ඒ වෙද මහත්තයා තවම ඉන්නවාද?....
    අර විහාරස්ථානෙ පින්තූර මාත් දැකලා තියෙනවා.... ඒ හාමුදුරුවො නම් හොඳට කෙළෙහි ගුණ දන්න කෙනෙක් පාටයි.....
    අර ප්‍රංශ කතාව කියපු එකටත් ගොඩක් ස්තුතියි.....
    මගෙත් ඉන්නවා මාමා කෙනෙක් උපැවිදි වෙච්චි... එහෙම කළේ ඇයි කියලා නම් මං කවදාවත් අහලා නැහැ... අහන්න ඕන දවසක.... මට හිතෙන විදියට නම් ගෑණු පරාණවලට ආස හිතිලා... ;) ඒත් ඇත්තටම මාරයා එහෙම උනේ ඇයි....?

    ReplyDelete
  28. අර වෙන් කරපු කාමරේ තාම තියෙනවද?

    ඔය කියන හාමුදුරුවන්ගෙ බන දේශනා කීපයක් අඩංගු සී.ඩී. එකකට සවන් දීල ඔබීයි, මායි,
    සෑහෙන්න පැහැදීමක් ඇතුව ඉන්න අතර, බ්ලොග් වල එහෙම සඳහන් වෙලා තිබ්බ කාරනා ගැන කුතුහලයක් ඇති වුනා.

    මාරයට කරුණු විමසල ඊයක් වත් එවන්නද කියල හිතන් ඉන්න අතරෙ තමා මේ පෝස්ට් එක පල වුනේ.

    ReplyDelete
  29. @ඔබා,

    // අර වෙන් කරපු කාමරේ තාම තියෙනවද? //

    ඇයි ඔබා අයියා ගිහිං නවතින්නද..?? :p

    ReplyDelete
  30. අදාල භික්ශුන් වහන්සේගේ ධර්ම දේශනා පිලිබද ව මුල් යුගයේදී මාද ඉතා පැහැදීමෙන් සිටි අතර නමුත් පසුව වැටහුනු පරිදි ඔහුට නිසි ධර්මය පිලිබද දැනුමක් නොමැති බවත් නිතර එකම තැටිය වාදනය කරන පුද්ගලයකු පමණක් බවත් ය .
    එමෙන්ම මෙවැනි අය දෙසූ පමණින් ධර්මය පිලිබද සැක ඇති කිරීම හෝ නොකල යුතුය එය ත්‍රපිටකය ඇසුරින් නැවත විමසා දත යුතුය .........

    ReplyDelete
  31. භික්ශුන්? හික් හික් හික් .....

    ReplyDelete
  32. කාලෙකින් පංසල් කතාවක් ලියල තියෙන්නෙ.
    අර ඔබා අහල තියෙනව වගේ අර කාම‍රේ තාම තියෙනවද දන්නෙ නෑ.

    ReplyDelete
  33. මමත් ආයූර්වේදෙට එන්න කලින් ඔය හාදයා ගිය විශ්වවිද්‍යාලෙම මෑන්ගේ උපාධියම තමයි කලේ. මම ඒක නවත්තල තමයි ආයූර්වේදෙට ආවේ. ඒත් අදාල විශ්වවිද්‍යාලය එකමයි. ඒ නිසා මෑන් ගැන හොඳින්ම දන්නවා. මාරයා හරියටම හරි. ඕක ඇත්ත කථාවක්. අපේ හරක් අහුවුනා. අර වෙදමහත්තයාට මගේ ප්‍රණාමය.

    ReplyDelete
  34. තවත් ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා ඔය විශ්වවිද්‍යාලෙ තියන හරියෙම කෙනෙක්. එයාගේ විශ්වවිද්‍යාලෙ නම් වෙන එකක්. එයාත් දැන් ඔන්න මෙන්න මාරගඵල එයාට උනේත් සමානම දෙයක්. හැබැයි ප්‍රංශෙ යනවට වඩා ත්‍රාසජනක වැඩක්. ඒ නිසා තමයි වාසනාව පැදුනෙ. අනේ මගේ මලේ මුන්ගේ වැඩ. ඒ අතින් උඹල කොච්චර හොඳද පැවිදි වුනා. ඉන්න ටිකේ වැඩක් කලා. දියුණුවක් කලා. ජනතාවට කළ යුතු යුතුකම් කළා.එපා වුනා වැදගත් විදියට ආවා. වෙන මොනවද?

    ReplyDelete
  35. 1 මාරයා හොද පිංකමක් කරල තියනව.ලෙඩවෙච්ච හාමුදුරුවන් හොදකරල
    2 පන්සල් කතා එක්ක බැලුවම උඹේ අනිත්කතා(බහුතරයක්) මට නං වැඩක් නෑ.
    3 ඔය හාමුදුරුවන්ගෙ බණ මාත් ඇහුව. ගොඩක්දුරට(ටී.වී.එකේ). ඒත් ධර්මය විකෘති කරන තැනක් මට අහුඋනේ නෑනේ. ලොකුහාමුදුරුවරු නං කියන්නෙ මෛත්‍රී බෝධිසත්ව වන්දනාව මහායාන දෙයක් කියල. උන්වහන්සේ මහායාන පතුරවනව කියල කියන්න මූලික චෝදනාව ඒක. එතනදී මට මතකයි ඔය හාමුදුරුවො කියපු වැදගත් කතාවක්. බෞද්ධයන්ගේ දේව වන්දනා සංකල්පය වෙනුවට තමයි මෛත්‍රී බෝධිසත්ව වන්දනාව ගෙනාවෙ කියල. එහෙම බැලුවම ඒකෙ එච්චරම වැරැද්දක් නෑ නේද මාරයියේ. ඒ හැර පිටිදූවෙ හාමුදුරුවෝ මහායාන ධර්ම සංකල්ප හරි ‍වෙනත් විදියකට ථේරවාදී ධර්මයට විරුද්ධව හරි දේශනා කරල තියනවද කියල පැහැදිලි කරන්න.

    ReplyDelete
  36. //දහම වනසන්නේ පිටතින් එන්නවුන් නොව සාසනික ස්වරූපය දරාගෙන එන්නා වූ අභ්‍යන්තරයෙන්ම පහළවන්නා වූ මිසදිටුවන් අතිනි.//

    මෙවැන්නන් පොරත්වයට පත් කරමින් සමාජ බලයක් ලබාදෙන්නට කටයුතු කරන්නේ බුදුදහම ගැන හරි අවබෝධයක් නැති රැලි පසුපස දුවන බෞද්ධයන්ය.
    -පොඩිගමයා

    ReplyDelete
  37. සාදු සාදු
    මෙහෙම පන්සල් කතාවක් දාන් එක ලොකු දෙයක්,
    ම්ම පංසල් කතා කියවලා තම අයියගේ කතා රහ වැටුනේ

    ReplyDelete
  38. ස්තුතියි මාරයො පංසල් කතාවට. උඔගෙ බ්ලොග් එකේ මම ආසම පෝස්ට් තමයි ඔය පංසල් සීරීස් එක. අයෙමත් ටැන්කූ කිව්වා.

    ReplyDelete
  39. @ බුරා,
    නෑ, ලංකාවට ආවම පැය ගානට කුලියට ගන්න.

    ReplyDelete
  40. යුරෝපෙට යන්න ලොකු චිත්ත පාවාදීමක් කරපු කෙනෙක් ගැන මට සිහි වුනා.

    උන්දෑ දැන් කයිය ගහගෙන එනකොට මං එක වචනයයි කියන්නේ පොර කුඩු කෑවා වගේ තමයි!

    ReplyDelete
  41. පිළිමයක්, පිළිරුවක් හදන විදිය දන්නවාද? මං නං දැකලා තියෙනවා. සුනාමියට ගහගෙන නොයාම පුදුමයක් නෑ. සාදු සාදු!

    ReplyDelete
  42. මාරෙ, අර ලියන්න හිතන් ඉන්න පොත් වල වැදගත්ම තැනක් දෙන්න ඕනැ පංසල් සීරීස් එකට... උඹ ලියපු හොඳම ලියමන් තියෙන්නෙ පංසල් සීරීස් එකෙයි බස් පලුවන්ගෙ කතා වලයි...

    ReplyDelete
  43. ෂෝට් කට එකෙන් සකෘදාගාමී උනාට බණ කියන්නෙ රැපියල් දහ දාහේ ඉදන් ඉහලට.

    ReplyDelete
  44. ඔය කියන සකෘදාගාමී හාමුදුරුවෝ මහණවෙන්න කලින් හිටියේ මම හිටිය කැම්පස් එකේ
    අපේ හොස්ටල් එකේ. ඒ දවස්වලත් මිනිහගේ ඔය යන්ත්‍ර මන්ත්‍ර වගේ අමුතු වැඩ තිබුන.

    ReplyDelete
  45. බොහෝමත්ම ස්තූතියි දක්වන ලද ප්‍රතිචාරවලට...

    පන්සල් කතාව ගැන බොහෝ දෙනෙක් උනන්දු බව දනිතත් එය ලිවීමේදී මා හට යම් ස්වයං වාරණයන් පනවා ගැනීමට සිදුව ඇති බැවින් ලිවීම අතැර දමන්නට සිදු වූ නමුත් ඉඳහිට නීතී රීතී බාධක නැතිව ලියන්නට හැකි මට්ටමේ කතාවක් මතක් වූ විට එය ලියන්නට අමතක නොකරමි.එසේ නැතිව කපා කොට සකස් කල කතාවක් ඉදිරිපත් කිරීමට මා අකමැත්තෙමි.

    සම්පූර්ණ කතාවම කිවීමට හැකියාව ඇත්නම් මනායැයි දනිතත් මෙම කතා ඔස්සේ වෙනත් වාසි ගැනීමට බලන් සිටිනා අයවලුන්ද සිටිනා බව දන්නා නිසා එසේ කල නොහැකි වීම පිළීබඳව අවංකවම කණගාටු වෙමි.

    කියවූ..ප්‍රතිචාර දැක්වූ සැමට තුති...

    ReplyDelete
  46. කායෙන සංවරො සාධු - සාධු වාචාය සංවරො
    මනසා සංවරො සාධු - සාධු සබ්බත්ථ සංවරො
    සබ්බත්ථ සංවුතො භික්ඛු - සබ්බ දුක්ඛා පමුච්චති

    කයින් සංවරය යහපති. වචනයෙන් සංවරය යහපති. සිතින් සංවරය යහපති. සදොර රැකීම යහපති. සදොර සංවර වූ භික්ෂුව සියලු සසර දුකින් මිදෙයි

    ReplyDelete