02 December 2011

අමතක නොවන ඒ රුදුරු රැය...

කොට්ටය කඳුළීන් පෙගී ඇත...
ඇස් දෙක වසා ‍දෙනෙත් පියන්පත් ගුලිකොට සිටියද නින්ද යන්නේම නැත...

ගුලිකොට වසා සිටි දෑස විවර කොට බිත්තියේ ගසා ඇති ඔරලෝසුව දෙස බැළුවෙමි.. නිවසේ එහා කෑල්ලේ දැල්වෙන අඩවන් කල චිමිනි ලාම්පුවේ එළියෙන් මා සිටි කෑල්ලේ ඇති ඔරලෝසු මුහුණතේ දැක්වෙන දිග කටු කොට කටු යාන්තම් දර්ශනය වේ.. මඳ වේලාවක් ඒදෙස බලා සිටීමෙන් පසුව යාන්තමින් වේලාව කියවා ගත හැක.. එහි කටු වලට අනුව පාන්දර හතරටත් ආසන්න වී ඇත...

පුරා රැයක් මුළුල්ලේ නිදි වර්ජිතව හඬමින් සිටියද සිතට කිසිදු සහනයක් නැත...සිතෙහි වූ වේදනාව පහව යන්නේ නැත...

"උඹ පරාජිතයෙක්...
උන් උඹව පැරැද්දුවා...
උඹේ ලොකුකම දැන් ඉවරයි..
උඹ තනි වෙලා..අනිත් උන් හැම දෙනාම එක පැත්තක..."

සිත කෑ ගසා කියයි..මටත් නොදැනීම දෙනෙත් කෙවෙනි අග කඳුළු බිඳු උපදී..ඒවා මුහුණෙහි එක් පසක් තෙමාගෙන ගොස් කොට්ටයට එකතු වෙයි..ලැජ්ජාව දරාගත නොහැක..පරාජිත හැඟීම මා දවයි...

පෙර දින සවස් කාලයේ වූ සිදු වීම් පෙළ නැවත නැවත සිතෙහි නැගෙනා කල හදෙහි වූ තුවාලය අළුත් වෙමින් සිතට දුක් දෙයි...

...............
"අළුතින් සභාපති තෝරන්න ඕන"...

එවකට දොළස් වියැති වූ මාහට වඩා වසර හතරක් පමණ බාල කොළුවකු වූ කුමාර කියන්නේ ඔහුගේ අදහසක් නොවන වග ඔහු දෙස බැළු ගමන් කියන්නට අපහසු නොවේ..ඔහු එම වචන කියමින් බලන්නේ දුලිප් හා ප්‍රසන්න දෙසත්ය...කුමන හෝ නමුත් වෙනසක් මා හට හැඟි ගියේය...සියල්ල කන පිට හැරෙන්නට ඒ හැටි වෙලාවක් ගත නොවිණි...සියල්ලෝම කට පාඩම් කරගෙන ආවා මෙන් කියවන්නට පටන් ගති...එයින් පැය බාගයක් යන විට හැම දේම නිම වී තිබිණි...

මාස ගණනකට පෙර ආරම්භ කල ක්‍රිඩා සමිතියේ සභාපතිකම මෙන්ම සමිතිය සතුව තිබූ ක්‍රිඩා භාණ්ඩ වූ වොලි බෝලය සහ වොල්බෝල දැලෙන් දැල ඉතිරිකොට තබා ඔවුහූ බෝලය රැගෙන යන ලදි...

ක්‍රිඩා සමාජය දෙකට බෙදී වෙන්වීමට තීරණය වූ අතර මාගේ පැත්තට සිටියේ මල්ලීත් තවත් කුඩා කොල්ලන් දෙදෙනෙකුත් පමණි...අපගේ පිරිස සිව් දෙනෙකු වන විට අනික් පසට සාමාජිකයින් හය දෙනෙකු විය...බලය මාතින් ගිලිහී ගිය අතර දෙපසක් වූ හෙයින් භාණ්ඩ බෙදීමට සිදු විය..ඒ අනුව අපට දැල ඉතිරි විය...බෝලය දිනාගත් මිතුරන්ව සිට සතුරන් බවට පත් වූ කොල්ලන් රැල හූ කියමින් කෑ ගසමින් එය උඩ දමමින් පල්ලම බැස වෙලෙන් එහා පැත්තට යන්නට විය..අසරණ වූ මාත් මල්ලීත් කුඩා කොළුවන් දෙදෙනාත් ඔවුන් දෙස බලා සිටිනවා හැර කුමක් කරන්නද..?

"මුල මතක නැති උන්" ගයාන් සෙමින් කොඳුරනු ඇසේ... ඒ පෙරකී කොළුවන්ගෙන් එකෙකි.. ඒකා මට හිතවත්ය.. ඥාතීත්වය පමණක් නොව තරමක් දුර්වල කොල්ලකු වූ ඔහුට අනිකුන් විසින් ඔච්චම් කරනා විට ඔහු වෙනුවෙන් පෙනී සිටීම වැනි කාරණා කිහිපයක්ම නිසා ඔහු නිතරම මා ඇසුරේ සිටියෙකි.

.....................

මෙයට මාස කිහිපයකට පෙරදී අප සියළු දෙනාටම එක්තරා උනක් වැළඳිණි.. ඒ යෞවන සමාජ උන හා ක්‍රීඩා සමාජ උණයි... පළාතේ මන්ත්‍රීවරයකුගේ අනුග්‍රහය ලබා යෞවන සමාජයක් ගමේ එක් පසක ඇති වූ අතර කුඩා කොල්ලන් වූ අපව එයට බඳවා ගත්තේ නැත.අපගේ වයස අඩු යැයි කියා හේතු දැක්වූවද එය පිහිටවීමට මුල්වූ පෙදෙසේ ඇටිකිච්චන් කොල්ලන් පවා එහි සාමාජිකයින් වූ අතර අපව හලන්නට ඔවූහූ කටයුතු කරන ලදි...

අවසන මෙයට විසඳුමක් ලෙස මා යෝජනා කලේ අපත් යෞවන සමාජයක් පිහිටවමු යන්නයි. එයට වෙලෙන් එගොඩ, මෙගොඩ සිටි කොල්ලන් සියළු දෙනාම එකඟ වූ අප සියළු දෙනාම අම්බලමේ ළිඳ ළග පොල් කෑල්ලේ බිම වාඩි වී පැවැත්වූ ප්‍රථම සමිති වාරයෙන්ම නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නා ලදි.. ඒ අනුව එහි සභාපතීත්වය මා හට හිමි වූ අතර ලේකම් වූයේ මාගේ හොඳම මිතුරා වූ ප්‍රසන්නය... අනිකුත් තනතුරුත් බෙදී ගියපසුව තනතුරක් නැතිව සිටියේ කුමාර හා ගයාන් පමණි... අපගේ කොළු පිරිස ඒ හැටි නොවූයෙන් එසේ වූ අතර සියල්ල හොඳින් සිදු විණ..

එදිනම මා විසින් ගෙදරට දුව ගොස් ගෙන ආ පරණ පොතක පිටු ඉරා සකස් කල ආධාර පත්‍රයත් රැගෙන රෑ වෙන්නට ඔන්න මෙන්න තියා අවට නිවෙස්වලට ගොස් ආධාර එකතු කරන්නට වූයේ අප හට ක්‍රීඩා භාණ්ඩ ගැනීමට මුදල් සම්පාදනයටය...

එවකට කුඩා කොල්ලන් වූ අපහට ලොකු මුදලක් දීමට කිසිවකු නැති මුත් පොඩි උන් හිස් අතින් යැවීමට නොකැමති වූ ගම් වැසියන් රුපියල දෙක අපට දෙන්නට තරම් කාරුණික වූහ.. අතරින් පතර ලියඋන රුපියල් පහේ කෑලි ටික අපට මහ මෙරක් තරම් වූ අතර අපගේ නැන්දා කෙනෙකු වූ පාසල් ගුරුවරියක් පමණක් රුපියල් දහයක්ම ලෝභ නැතිව දී මගේ හිස අත ගා...

"සෙල්ලං කලාට කමක් නැහැ ඒත් ඉස්කෝලේ වැඩ පාඩු කරගන්නවා එහෙම නෙවෙයි"...

යැයි කියූ ආකාරය අදටත් මට මතක ඇත..ඇය මගේ තුන වසර පන්තිය භාර ගුරුතුමිය සේම තාත්තාගේ පාර්ශවයෙන් මගේ නැන්දා කෙනෙකු වූවාය...ඒ හැරෙන්නට ලොකු මුදලක් එකතු නොවූවද දින දෙක තුනක්ම නිවෙස් ගණනාවකට බඩ ගා අවසන අපට රුපියල් හත් අට සීයක් එකතු කර ගන්නට හැකි විය..එයට අපේ තාත්තා සහ කුමාරගේ පියා යෙදූ රුපියල් පණහේ කෑලි දෙකද අඩංගු විය...

අවසන අප විසින් කතා බස් කොට එම මුදල යොදවා ක්‍රීඩා සමාජයට බාල වර්ගයේ වොලි බෝලයකුත් එයට උවමනා දැලකුත් ගෙන එන ලදි...

ක්‍රීඩා කිරීම පිණීස යොදාගත හැකි ඉඩම් කට්ටි කිහිපයක්ම එවකට අප හට නිවෙස් අවට තිබිණී. එයින් එක පොල් කෑල්ලක් අප යොදා ගත්තේ ක්‍රිකට් ගැසීමටම පමණී..එය අපට තිබූ ප්‍රධානම පිටිය වූවද එහි සමතල පෙදෙසක් හරියාකාරව නොතිබූ හෙයින් වොලි බෝල් දැල බැඳීමට සුදුසු පොල් ගස් දෙකක්ද නිසි ලෙස පිහිටා තිබූ අප නිවසට ආසන්න පොල් ඉඩමක දිනපතා වොලි බෝල් ගැසීමට ආරම්භ කෙරිණි...

මම කවදත් තරමක ඒකාධීපතියකු විය..ක්‍රීඩා සමාජය කරනා අවධියේ පමණක් නොව පන්සල් ජීවිතය තුලදීත් එසේම විය... ක්‍රීඩා භාණ්ඩවල ආරක්ෂාව ගැන තරමක් තදින් නීති දමන්නට කටයුතු කලේ එහෙයිනි...ක්‍රීඩා කිරීමට හැර වෙන්ත් දේට පන්දුව යොදා ගැනීමට විරුද්ධ වීමත්..පන්දුවේ හා දැලෙහි පිරිසිදුකමත්..ඒවා තැන්පත්කර තැබීමේදී අනුගමනය කල යුතු විධි ක්‍රමත් ගැන තදින් සිටියෙමි... ක්‍රීඩා නොකරන අවස්ථාවලදී විනෝදයට පන්දුවෙන් දමා ගසා ගැනීම් වැනි දේට තදින් විරුද්ධ වූයේ එවැනි දේ හරහා පන්දුව පොල් ගස්වලත්..තරමක් ඈතීන් තිබූ කටු කම්බි වැටේත් පැටලී හානි වන බැවිනි. එවැනි සිදුවීම් කිහිපයකදීම එවැනි දේ කල කොල්ලන් මගෙන් බැනුම් ඇසූවේ වරක් දෙවරක් නොවේ...

මේ අතර මාගේ හොඳම යහළුවා වූ ප්‍රසන්නගේ වැඩිමහළු සොයුරා සහ ඔහු ඇසුරු කරන වැඩිහිටි තරුණයින් කිහිපදෙනෙකු අපගේ වොලි බෝලය ඔවුනට ක්‍රීඩා කිරීමට පහසු වන අන්දමින් ප්‍රසන්නගේ ගෙවල් පැත්තට ගෙන එන මෙන් වරක් කියූ බව ඔහු විසින් පවසන ලද අතර මා එයට අකමැති විය. අප මහන්සි වී ක්‍රීඩා භාණ්ඩ ගෙන ආවේ එවකට මෝරා සිටි කොළු කැලක් වූ ප්‍රසන්න‍ගේ අයියා ඇතුළු නඩයට හවසට විනෝද වීමට නොවන බව කියා එයට විරුද්ධ වීමි.

මෙවැනි දේ හරහා කිහිප දෙනෙකු සිටියේ නොපහන් සිතින් බව දැන සිටියත් නීති රීති දමන අවස්ථාවලදී එම නීතිවල අවශ්‍යතාවය පහදා දී සියල්ලගේම කැමැත්ත ඇතිව යෙදූ නීති නිසා එම නීති රැකීමට කටයුතු කිරීම හරහා කාගේ සිත රිදුනත් මා ඒ ගැන සිතන්නට ගියේ නැත. මෙසේ කාලය ගත වූ අතර දිනපතා අපගේ ක්‍රීඩා කිරීම් හොඳින් සිදුවන්නට විය...

මේ අතර දිනක් ප්‍රසන්නගේ අයියා හා ඔහුගේ මේරූ කොළු නඩයේ කිහිපදෙනෙකු අප ක්‍රීඩා කරන තැනට පැමිණ බලහත්කාරයෙන් මෙන් ක්‍රීඩාවට එක් වූ අතර එය එතරම් ගණන් නොගත්තත් ටික වේලාවක් යන විට මා හට හැඟී ගියේ ඔවුන් හිතා මතාම පන්දුව වැට පැත්තට වේගයෙන් ගසනා බවයි... කිහිප වරක්ම කියූවත් එය එන්න එන්නටම වැඩි වූ වා මිස අඩු වූයේ නැත.. අවසන මා ක්‍රීඩා කිරීම නවතා දමා දැල ලෙහා දමන ලදි... පන්දුව හා දැල මල්ලී අතට දී ඒවා ගෙදර ගොස් තබන්නට කටයුතු කරන ලදි...අරමුණ අසාර්ථක වූ ලොකු කොල්ලන් ඇනුම්පද කියමින් පිටව යන ලදි...

කැරැල්ල මතුව ආවේ එම සිදු වීමෙන් පසු දිනකදීය... අවසන සියල්ල පෙර කී පරදි තීන්දූ වූ අතර බෝලය ඔවුන්ටත්..දැල අපටත් හිමිව ක්‍රීඩා සමාජය බෙදී විසිර යන ලදි...

අවස්ථාව අනුව ඉවසා සිටියත් මා සිටියේ කඩා වැටුන මනසින් යුතුවය... ඒ රාත්‍රිය මා හට කිසිදා අමතක වන රැයක් නොවේ..ජීවිතයේ ලද ලොකුම පරාජය ලෙස ඒ වන විට මා ලැබූ අත්දැකීම එය විය...පාන්දර හතරට ආසන්න වීත් නින්ද නොගිය ප්‍රථම රැය එය විය...කොට්ටය බදාගෙන ඉකි ගසමින් හැඩූ රැය එය විය...පාන්දර හතරට පමණ අවසානයේදී තදින් අධිෂ්ඨානයක් සිතේ දරාගෙන නිදා ගත් රැය එය විය...

32 comments:

  1. ‍ඔන්න එහෙනම් අද මම එක

    ReplyDelete
  2. ඇද වැටෙන පරාද වෙන හැම තැනකදීම ආයේම වෙර ගෙන නැගිටින්නට මේ අත්දැකීම ආධාර වෙන්න ඇති...

    ReplyDelete
  3. මාරයට පොඩි කාලේ තිබිල තියෙන ප්‍රශ්න.

    තාත්ත නම් නියම පොරක්, අච්චර අමාරු කම් තිබිලත් ගෙඩි රුපියල් පනහක්ම දුන්න කියන්නෙ
    [ඒක එයාට ලේසි පරිත්‍යාගයක් වෙන්න බෑ ඒ කාලෙ]

    ReplyDelete
  4. දැන්නං මාරයට ඔය වගේ දේවල් කාගෙන ඉන්න එක ලේසි වැඩක් වෙලා තියෙන්නෙ ඔය අත්දැකීම් වලින් වෙන්න ඇති.
    දැන් කියහංකො බලන්න නැගිට්ටට පස්සෙ විච්ච දේ.

    ReplyDelete
  5. මොකෝ එකපාරම නවත්තල

    මමත් මේ දවස්වල නිදි නැතිව තමා බන්....
    පැරැද්දුවම හිතට හරිම අමාරුයි.........

    ReplyDelete
  6. ඔය වගේ එකට හිටපු උන් එක රැයින් වෙනස් වෙච්ච සිද්ධි කීයක් නම් ඇද්ද.. පොඩි කාලෙදි දරාගන්න අමාරු තමයි...

    ReplyDelete
  7. ඒ වයසට දරාගන්න හුඟක් අපහසු අත්දැකීමක්. එහෙම දෙයක් වුණහම තව තව ඒ වගේ සිද්ධි පෙළ ගැහීගෙන ඇවිත් හිත හාරන එක නවත්තගන්න හුඟක් අමාරුයි. පව් චූටි මාරයා.

    ReplyDelete
  8. අයියෝ ඕකට අඩල වැඩක් නෑ කියල විකල්ප කණ්ඩායමක් හදාගත්තනං ඉවරයිනේ. දැංකාලෙ නං එහෙමයි ඒව සිද්ධවෙන්නෙ.

    ReplyDelete
  9. බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  10. හෆ්ෆා. . . මමත් ඉස්සෙල්ලම ගමේ නැගෙන තරු ක්‍රීඩා සමාජයට බැඳුනෙ හෙනම ගේමක් දීල . . . හැබැයි සෑහෙන කාලයක් යනකං වොලිබෝලෙ අල්ලන්න ලැබුනෙ කෝට් එක තිබ්බ වත්තෙ දුරට යන්න වැදුනාම බෝලෙ ඇහිඳගෙන එද්දි විතරයි

    ReplyDelete
  11. අය්යො ඔය මොකක්ද නැට්ට පිටින් අලි මැරෙන්නෙ . දැන් බලන්න අපෙ ටීම් එක (Cricket) ලොක අනුසූරයෝ වෙලා පල්ලම් බැස්සෙ..

    ReplyDelete
  12. දැන් කාලේ ගමක ක්‍රීඩා සමාජයක් බෙහෙතකටවත් හොයා ගන්න නැනේ......

    ReplyDelete
  13. මම බෝලයක් සොයා දෙන්නම්...
    දැං ඕකට නාඬා ඉදින් මල්ලියෙ... :-(

    ReplyDelete
  14. මේකේ තව කොටසක් තියනවද බන්

    ReplyDelete
  15. පොඩි කාලේ ඕවගේ දේවල් වෙනවා. මටත් අනන්තවත් වෙලා තියෙනවා. හැමෝම ඒක පැත්ත අරන් මම තනිවුනු වෙලාවල්. :(( ඒ වෙලාවට මම ත් අඩලා ඇති ඕනතරං. එත් දැන් ඒ හැමදෙයක්ම දරාගන්න පුළුවන් පන්නරයක් ලැබුනේ ඒ කාලේ ඒ උණු දේවල් නිසා. ඒ නිසා සැලෙන්නේ නැතුව ඉදිරියටම යන්න, ජය නියතයි.

    ReplyDelete
  16. පොඩි කාලේ ඔය වගේ දේවල් වලින් හිත රිදව ගත්ත අවස්ථානම් අනන්තයි.. පොඩි දෙයක් උනත් ඒක දවස් ගානක් යනකම්ම හිතේ වද දෙනවා..

    ReplyDelete
  17. පෘථග්ජන මිනිහෙකුට බලය කියන්නේ ජලය,අහාර තරම්ම වැදගත් සාධකයක්...

    ReplyDelete
  18. පුංචි මල් වගේ උත්සාහයන් ඕන්න ඔහොම කඩා බිඳලා ඉහිරිලා ගිය අවස්ථාවන් අනන්තයි අප්‍රමාණයි හැම කෙනෙක්ගෙම ජීවිතයෙදි... ජයග්‍රහණයන් වලට වඩා ජීවිතය මුවහත් කරන්නෙ... පන්නරයක් වෙන්නෙ මෙන්න මේ වගේ බිඳ වැටීම් තමයි කියන එක මගේ පුද්ගලික අදහස !

    ReplyDelete
  19. අපි විසින් දුක්මහන්සියෙන් හදාවඩා ගත්තු දෙයක් අපේ ග්‍රහණයෙන් ගිලිහිලා යන හැටි බලාගෙන දුක් නොවී ඉන්නනම් හිත ගලක් වෙන්න ඕනේ බං

    ඕවට වැඩි වැඩියෙන් මුහුණ දුන්නට පස්සෙ ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන්න අපිට පුළුවන් වෙනවා
    මම හිතන්නේ උඹට දැන් ඒ පන්නරය ඕනෙවටත් වැඩිය තියෙනවා
    මමත් පොඩි කාලේ ඉඳල මේ වගේ දේවල් කොච්චරකටනම් මුහුණ දීල තියෙනවද

    ReplyDelete
  20. ඉතින් අලුතින් එකක් පටන් ගත්තේ නැතෙයි ...

    ReplyDelete
  21. ඇත්තටම මම පොඩි කාලෙ ඔයවගේ ජීවිතේ හැල හැප්පීම් වලට මූණ දීල නෑ... ඒක නිසා පස්සෙ කාලෙක ලෝකෙ තැන තැන නොයෙක් ජාතිවල මිනිස්සු එක්ක ගැටෙන කොට හුඟාක් අමරු වුණා දුෂ්කර අත්දැකීම් වලට මුහුණ දෙන්න... ඒ අතින් උඹට තියෙන ගැම්ම ගැන ඉරිසියයි වෙලාවකට...

    ReplyDelete
  22. මට දැනෙන විදියට නම් මාරයියාය සෑහෙන අත්දැකීම් විඳපු චරිතයක් ව‍ගේ...මගේ බාසාවෙන් කියනව නම් කට්ට කාපු චරිතයක්....මම නම් සෑහෙන්න අගේ කරනවා....

    ReplyDelete
  23. කතාව සුපිරිය. මාර පරාජය බදුය.. :)

    ReplyDelete
  24. උඹට ඒ බෝලේ අඩුව තවමත් දැනෙනවද බං .... පව්... මාරයාගේ බෝලේ....

    ReplyDelete
  25. හොඳ හොඳම නැහැ කියන්නේ ඕක තමයි අයියේ. මුලදී ආසාවට කට්ටියට තේරුනේ නැති වුනාට පස්සේ පස්සේ නීති රීති දරා ගන්න බැරි වෙන අවස්ථා වැඩියි. මට හිතෙන්නේ බෝලේ සවුත්තු කරගෙන කට්ටිය උඩ බලං ඉන්න ඇති ඊට පස්සේ............

    ReplyDelete
  26. කොහොමහරි හොඳ පන්නරයක් ලැබෙන්න ඇතිනේ මාරයියේ ඒ වැඩෙන්. ඒකම මදෑ.

    ReplyDelete
  27. ඊලග කොටසක් නැද්ද අයියේ.ඔයාලත් බෝලයක් අරගෙන රිටර්න් එක දුන්නෙ නැද්ද??

    ඔය වගේ වෙලාවට කොච්චර දුකක් දැනෙන්න ඇද්ද කියලා මට හිතාගන්න පුලුවන්.

    ReplyDelete
  28. ආ ඉතින් මොකද උනේ චුටි මාරයාට....

    ReplyDelete
  29. මට හිතෙන්නෙ අද ඔය ඉන්න නොසැලෙන මාරයා ගොඩ නැගෙන්න ඇත්තෙ..කොට්ටෙ විතරක් දැකපු කඳුලු වලින්ම තමයි...නේද මාරයියේ.. බලමුකො..මාරයට මාරාවේශ වුණාද කියල.. :D

    ReplyDelete
  30. පුංචි කාලෙ වෙන ඔයවගේ සිදුවීම්වලදි හරියට හිත රිදෙනවා තමයි.... ලේසියෙන් අමතක කරන්නත් බෑනෙ.... හොඳම යාළුවානෙ බලනකොට වැඩේ දීල තියෙන්නෙ.... ඔය 'හොඳම' කස්ටිය බොහොම ලේසියෙන් කණපිට ගහන කස්ටිය... පොඩි කාලෙ විතරක් නෙවෙයි, ලොකු උනාමත්....
    පව් මාරයා පොඩ්ඩා.....

    ReplyDelete
  31. මම තමයි ඉස්සර උදේ 5 ට ගිහිල්ල පිට්ටනියේ ස්ටම්ප් එකක් හිටවලා එන්නේ..නැත්තං 6 වෙනකොට පිට්ටනියේ මැච් ගහලා හමාරයි....මරා ගන්නේ ඊලගට පිච් එකට...ඔන්න ඔහොමයි අපි බෝල ගැහුවේ ...

    ReplyDelete
  32. උඹෙ කතාව නං බොක්කටම වැදුනා. කතාව පෙලගැස්මත් ඉස්තරම්.
    ඒත් මචෝ කිව්වට තරහ වෙන්න එපා. උඹේ ප්‍රොෆයිල් පින්තුරේ අයින් කරපං.
    ඒක නිකං , අර බෝලෙ ගත්තු එවුන් උඹේ පුකට පිහියෙන් ඇනපු වෙලාවක ගත්ත එකක් වගේ.

    ReplyDelete